අපේ පොලිසිය?

අද වෙච්ච සිද්ධිය ගැන යන කතිකාවන්හිදි මට නම් වැඩියෙන්ම කථා කරන්න ඕන කියලා පෙනිච්ච පැත්ත තමයි මේ “අපේ පොලිසිය සහ ධනපති පොලිසිය” කියමින් නිර්මාණය කරන්න තතනන සුවිශේෂිතාවය….

ධනපති පොලිසිය තියෙන කල් ශිෂ්‍යයන්ට ගහනවලු…..සමාජවාදය ගේනාවාම සමාජවාදි රජයේ පොලිසිය ජනතාවගෙලු…ඒ කියන්නෙ කම්කරු පන්තියෙලු….ඒකෙන් ශිෂ්‍යයන්ට ගහන්නෙ නෑලු….ජනතාව මර්ධනය කරන්නෙ නෑලු…..

මේක ගැන ඉතින් වැඩිය අටුවා ටීකා උවමනා නෑ…සුද්ද සිංහලෙන්ම…වැරදුණා…සුද්ද මැන්ඩරීන් වලින්ම කියනවා නම් “ටියන්-ආන්-මන්” කිව්වාම ඇති….

දැකල නැති කෙනෙකුට බලාගන්න පුලුහන් මෙතනින් : https://www.youtube.com/watch?v=AGJoaHr2QdM

කියවලා නැති කෙනෙකුට කියවගන්න පුලුහන් මෙතනින් : https://en.wikipedia.org/wiki/Tiananmen_Square_protests_of_1989

සමාජවාදය නෙමෙයි මොන මළ ඉලව් ක්‍රමය ආවත් පොලීසිය ඒ ක්‍රමයේ ආරක්ෂකයා වෙනවා….ඊට පස්සෙ යම් කාළයකින් පසුව මිනිස් ප්‍රජාවේ සිතුම් පැතුම් වෙනස් වෙනකොට ඔවුන් ඒ ක්‍රමය විවේචනයට ලක් කිරීම ආරම්භ කරනවා…මේ විවේචන භෞතික ප්‍රතිචාර බවට පත්වෙන කඩඉමේදි පොලීසිය හෝ එයට අනුරූප අනෙකුත් ආදේශකයන් ( මිලීෂියාවන්, ජනතා භටයන්, හෝ වෙන මොකුන් හෝ වේවා ) ක්‍රියා කරන්නේ ඒ ක්‍රමය ආරක්ෂා කර ගන්න….ඕක ධනවාදයේ කියලා දකින විශේෂ අමුතු දුර්ගුණයක් නෙමෙයි….සමාජවාදී රටවලත්, ආගමික රටවලත් එකම සන්තෑසිය තමයි….

වඩා ශක්තිවන්තයා වෙන්නේ බොහෝ විට ක්‍රය ශක්තිය වැඩි කෙනා….එහෙම නැත්නම් දැනුම හෝ කැපවීම වැඩි කෙනා….එහෙමත් නැත්නම් යම් ව්‍යාපාරයක හෝ ප්‍රවාහයක නිර්මාතෘන් හෝ ප්‍රමුඛයන්….මේ එක් එක් ක්‍රම වලට අනුව වෙනස්…උදා: ධනේශ්වර ක්‍රමයක ශක්තිවන්තයන්, බලවතුන් වෙන්නෙ ක්‍රය ශක්තිය සහ රැස්කරගත් ධනය සහ සම්පත් වැඩි, භාණ්ඩ හා සේවා නිෂ්පාදන බලවේග අයිති කරගෙන සිටින, ඒවා හසුරුවන කෙනා….සමාජවාදී ක්‍රමයක ඊනියා විප්ලවීය ව්‍යාපාරයක නිර්මාතෘවරුන්, ආදිතමයන්, ප්‍රමුඛ සටන් කරුවන්… ආගමික රාජ්‍යයක ආගම පිළිබඳව දැනුම සහිත අය, කට පාඩම සහිත අය, කාළයක් දේශනා කරපු අය….මේ අය තමයි ක්‍රමය පවත්වා ගන්නේ…එතකොට ඒ අයට ලැබෙනවා තව පිරිස් බලය නඩත්තු කිරීමේ හැකියාව….ඉතින් මේ නඩත්තු කරන පිරිස් බලයේ නිළ ස්වරූපය තමයි “පොලීසිය, හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව” කියන්නෙ….ඒක හැම විටම පෙනී සිටින්නේ ඒකට කන්න දෙන හාම්පුතා විසින් නිර්දේශ කරනු ලබන ක්‍රමය ආරක්ෂා කර දෙන්න….ඒ ව්‍යුහය ආරක්ෂා කරලා දෙන්න….

පොලිසිය කියන එක කවදාවත්, මොන ක්‍රමය යටතෙ වත් “අපේ” වෙන්නෙ නෑහමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව කියන ඒවා කවදාවත්, මොනම ක්‍රමයක් යටතෙ වත් “අපේ” වෙන්නෙ නෑ…..බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක යාන්තම් හෙවණැල්ලක් හරි තියෙන, මානව හිමිකම් ප්‍රඥප්තීන් අත්සන් කරල තියෙන රටක මෙහෙම නම්, ඒක පාක්ෂික කම්කරු ආඥාදායකත්වයක් යටතේ පොලිසිය එක්ක පට්ටම ෆන් එකක් ගත්තෑකි….එතකොට තියෙන්නෙ පොලිසියකුත් නෙමෙයි….රතු මිලීෂියාවක්….ඒකෙන් දෙයි දෙලෝ රත් වෙන්න ආතල්…..

ජනතාවගේ පොලිසිය, ජනතාවගේ ත්‍රිවිධ හමුදා කියන කතන්දර 19 වැනි සියවස් හැරවුමෙදි කිව්වා නම් පිළිගන්න තිබුණා….ඒත් මේ වෙනකොට 20 වැනි සියවස පුරාවට ඒ කතන්දර අස්සෙ සැඟවිලා එන දේශපාලනයේ සැබෑ රසාස්වාදය ලෝකය පුරා ජනතාව විඳලා තියෙන්නෙ….ඒ විඳින්න අවම වශයෙන් 8 කෝටියකට දිවි දෙන්න සිද්ද උනා….

අපේ පොලිසියක් කියලා එකක් කවදාවත් එන්නෙ නෑ…එන ඕනම සමාජ ක්‍රමයක, ඕනම දේශපාලන ක්‍රමයක පොලිසිය කියන්නේ ක්‍රමාරක්ෂක සේනාංකය….සමාජවාදී ක්‍රම වලදි ඇත්ත වශයෙන්ම වෙන්නෙ ඒ යාන්ත්‍රණයන්ගේ මර්ධනයේ ස්වභාවය වඩාත් සාහසික වීම පමණයි….

මෙව්වයෙ නම් අඩුම ගානෙ පොලිසියෙන් කෙළියාම යන්න මානව හිමිකම් කොමිසන්, අධිකරණ, ජාත්‍යන්තර සහන සේවා තියෙනවා….ඒවයෙදි රතු මිලීෂියාවට එරෙහිව ඊනියා ජනතා අධිකරණයකට කම්ප්ලේන් කොරන්න යනකොට අඹු දරුවන් සිප සනසා, අන්තිම වතාවට උන්ගෙ මූන පොඩ්ඩක් බලලා යන්න වෙයි….

ස්ටාලින් කෝටි දෙකහමාරක් මැරුවා….එයින් 70 ලක්ෂයක් මැරුවේ බඩගින්නෙ තියලා…යුක්‍රේන සාගතය හෙවත් “හොලොදොමෝරය” කියන්නෙ ඒකට….ඒකත් කරලා ඉවරවෙලා ස්ටාලින් අවුරුදු විස්සක් විතර තිස්සෙ ජනතාව ඔය “ගුලාග්” වගේ ලස්සන ලස්සන තැන් බලන්න ට්‍රිප් යැව්වා….

මාඕ කෝටි 4 ක් මැරුවා….මේ ගැන ලියවිච්ච හොඳම පොත තමයි මේක : Mao’s Great Famine: The History of China’s Most Devastating Catastrophe, 1958–62 by Frank Dikotter…. අරගෙන කියවන්න…

ලෙනින්ගෙ විප්ලවයෙ ඉදිරිපෙළ වගකීමක් ඉටු කරපු කොන්ස්ට්‍රැඩ් සේලරුවන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටි වෙලාවෙ ලෙනින් උන්ට වෙඩි තිබ්බෙ හිම කැලෑ වල පෝලිම් ගස්සලා….ඒක මෙහෙයෙව්වෙ මහා ජාත්‍යන්තරවාදියා වෙච්ච ( ඒ කාලෙ නම් රතු හමුදාවෙ නිර්මාතෘ ) ලියොන් ට්‍රොට්ස්කි….

දැන් මේ ගොල්ල ආවෙත් ජනතාවගේ පොලිසි, ජනතාවගේ හමුදා, ජනතාවගේ අරක, ජනතාවගේ මේක දෙන්න තමයි….දීපු හැටි 20 සියවස පුරාම ලියවිලා තියෙනවා….ස්ටාලින් එක්ක බලනකොට හිට්ලර් කියන්නෙත් පොඩි අපරාධකාරයෙක්….හිට්ලර් ගෑස් ගහලා, පුච්චලා මරපු යුදෙව්වන්ගේ එකතුව වගේ දෙගුණයක් යුදෙව් සහ රුසියානු නොවන සම්භවයෙන් යුත් මිනිසුන් ස්ටාලින් බඩගින්නෙ තියලා මැරුවා….තමන් වවපු දේ තමන්ට කන්න නොදී බලහත්කාරෙන් උදුරගෙන මිනිස්සු හාමත් කරලා මැරුවේ….පාරවල් දිගේ ඇට ගැහිච්ච මිනී ගඳ නොගහන්න හිම යට ගහලා තියන්න සිද්ද උනා…. රුසියානු සිවිල් යුද්දයෙදි ලෙනින් මරවපු ගාණ ලක්ෂ 50 කට එහා මිසක් මෙහා නෙමෙයි….

පොලිසිය කවදාවත් මොන සමාජවාදෙකදිවත් “අපේ” වෙන්නෙ නෑ…..අපේ පොලිසියක් දෙනවා කියලා සහතික වෙන ක්‍රමයන් අනුගමනය කරන්න ගියාම වෙන්නෙ තිබිච්ච ටිකත් නැති කරගෙන “අලේ මෙන්න අපිට වම් පයින්ම ගහනෝ” කියලා අඬන්න….එතකොට ඇඬුවට අහන්න කෙනෙකුත් ළඟපාතක නෑ….“අපි මේ පොලිසිය ගලවලා අපේම අපේම අපේ පොලිසියක් ගේමු” වගේ ටෝක් එක්ක යන ගමන් අන්තිමට කෙළවර වෙන්නෙ අන්තිම භයානක තැන්වලින්….Totalitarianism කියන එක දර්ශණවාදයක් එක්ක ආවත් එකයි, ආගමික අන්ත දෘෂ්ඨිවාදයක් එක්ක ආවත් එකයි….අවසානය ඛේද ජනකයි….

රටක්, රටක් හැටියට පවත්වා ගන්න පොලිසිය කියන්නෙ අත්‍යාවශ්‍ය සාධකයක්….එහෙම නැතුව අරාජිකවාදයට ආසාවක් තියෙනවා නම්, ඒක කොයිවගේද බලන්න ශරීර ප්‍රමාණයෙන් එක එක සයිසස් වල අවුරුදු 16-17 ගැටව් ගැටිස්සියො ටිකක් දූපතක අමු හෙලුවෙන් තනිකරලා තියන්න මාසයක් දෙකක්…මාසෙ ඉවර වෙනකොට සිරා සොමියක් පේන්න තියේවි…..ඔව්, ඔව් ඔය අරාජිකවාදින්ගේ Tendency, Dimensions, අරක මේක ඔක්කොම පැත්තක තිබ්බොත් ප්‍රායෝගික අන්තඵලය එච්චරයි….බකුනින් සහ මාක්ස් දෙන්නම කලේ පුටු දෙකක වාඩිවෙලා හීන බලපු එක විතරයි කියලා කවුරු හරි දැඩි ප්‍රකාශයක් කරන්න නැගී හිටියොත් මම ඌට විරුද්ධ වෙන්නෙ නෑ…..ප්‍රවුඩොන්ගෙ කැපිටල් A අකුරෙන් කියන්නෙ Anarchy … ඒක වටේට තියෙන ලස්සන එකෙන් කියන්නෙ Order…ඒකත් අර දෑ කැත්තයි මිටියයි වගෙම තමයි…දශක ගාණක් සඳ මෝල් වෙන්න සංවාද කරගෙන අන්තිමට බලනකොට ප්‍රායෝගිකව ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ…..

ඉතින් මොකක්ද විසඳුම? … නීතිය බල ගැන්වීම, මානව හිමිකම් ප්‍රඥප්තීන් වල නෛතික ක්‍රියාන්විතය ශක්තිමත් කිරීම තුලින් පොලිසිය මෙල්ල කර, හික්මවා තබා ගැනීම….බලය අනිසි ලෙස භාවිතා කළොත් ගෙවන්න සිදුවන වන්දිය විශාල බව පොලිසියට නිතර දෙවේලේ මෙනෙහි වන්නට සැලැස්වීම….පොලිසියටත් නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක විය යුතුයි….ඕනම පුද්ගලයෙකුට නිසි ආත්ම ගරුත්වය දීලා ආමන්ත්‍රණය කරන, නීති රීති ගැන දැනුවත් “සාපේක්ෂව” ශිෂ්ඨ සම්පන්න පොලිස් සේවයක් හදන්න පුලුවන්…. මෙහෙමයි ඉතින්, ක්‍රියාත්මක වෙන්න ඕන තැනදි සෘද්ධි බලයෙන් වළා පටලයක් මවා ඒ මත කළහකාරීන් වඩා හිඳුවා අහසින් ගෙන ගොස් පැත්තකින් තබන සෙනෙහෙබර පොලිසියක් නම් ඉතින් තාවතින්සයේ, නිර්මාණරතියේ සහ ස්වර්ගයේ ඇති (SDPD – Sakra Devendra Police Department)…..පෘතුවියේ යථාර්තය වෙනස්…ඒ යථාර්තයට අනුව හිතලා, ඒ යථාර්තයේ අවශ්‍යතාවයන්ට සහ කළ හැකි ප්‍රායෝගික දේට සාපේක්ෂව හික්මවන ලද, මනුෂ්‍යත්වය වෙනුවෙන් අලුත් කෙරෙන ජාත්‍යන්තර නීති රීති සහ ප්‍රමිතීන්ට අනුව සැකසුණු පොලිස් සේවයක් නිර්මාණය විය යුතුයි….

පොලිස් ආඥා පණතේ පොලීසියේ ක්‍රියාකාරකම් වල සීමා මායිම් සඳහන් වෙනවා….රටක සම්මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිසිය සහ හමුදාව අයත්වන විධායක ව්‍යුහයේ ක්‍රියා හමුවේ හෝ ඒවාට සාපේක්ෂව පුරවැසියන්ට ලැබෙන අයිතිවාසිකම් ගැන සඳහන් වෙනවා….1978 ශ්‍රී ලංකාවේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙ නම් මේ මූලික අයිතීන් ගැන සඳහන් වෙන්නේ වගන්ති අංක 10 – 17 තුළ….

ලංකාව ජාත්‍යන්තර මානුෂීය නීති පිළිබඳව ජිනීවා ප්‍රඥප්ති 1,2,3,4 සහ ඒවායේ 1977, 2005 අතිරේක ප්‍රොටොකෝලයන් වලට අත්සන් තබා තිබෙනවා….ඒ වගේම සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් නීති වලටත්, පරිහාරය වළකන ජාත්‍යන්තර නීති රීති වලටත්, ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් සුරකින ප්‍රඥප්තීන්ටත් 1966,1979,1989 යනාදි වසර වලදි අත්සන් තබා තිබෙනවා….

මේවායින් සිවිල් පුරවැසියන්ට ලැබෙන අයිතිවාසිකම් ක්‍රියාත්මක කළ යුතුයි….එසේ ක්‍රියාත්මක කර, පොලීසිය ප්‍රමුඛ විධායකයේ ක්‍රියාකාරිත්වය දැඩි ලෙස පාලනයට ලක් කළ යුතුයි….සාධාරණ උද්ඝෝෂණ තත්වයන්ට මුහුණ දෙන්නේ කෙසේද, ඒවා අපාලිත තත්වයන්ට පත් වන්න නොදී නිවැරදි ලෙස විසුරුවා හරින්නේ කොහොමද කියන එක ගැන නිසි පුහුණුවක් ලබා දිය යුතුයි….සාම්ප්‍රදායික චින්තනය හෙවත් “අපි රාළහාමිලා….අපි ඉන්නෙ ඔළු පලන්න….අපි ඉන්නේ ගෝරනාඩු කරන්න….අපි ඉන්නෙ සැර කරන්න…අපි ඉන්නෙ ගහන්න, වෙඩි තියන්න” කියන සොම්බී මානසිකත්වයෙන් ඔවුන් බැහැර කර, විධිමත්, ගරු සරු ඇති වෘත්තිකයන් පිරිසක් කළ යුතුයි…මරුමුස් චණ්ඩි කම, උස් අඩි මෙච්චරයි පපුව අඩි මෙච්චරයි, ඉස්කෝලෙදි රගර් ගහලා, ක්‍රිකට් ගහලා, ෆුට්බෝල් ගහල තිබීම ( කොටින්ම කිව්වොත් සෙල්ලමට පොර කාලා තිබීම ) විතරක් සුදුසුකම නොකොට, අධ්‍යාපනික සුදුසු කම් දැඩිව බැලිය යුතුයි….සෑම පොලිස් සහ හමුදා නිලධාරියෙකුටම සම්මත ජාතික සහ ජාත්‍යන්තර නීති පිළිබඳව ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබා දිය යුතුයි…..

පොලීසිය හමුදාව කියන්නෙ ගමට ඇවිත් කොල්ලො කුදලගෙන යන ගෝනි බිල්ලො රැළක්ය කියන තැනින් එළියට අරගෙන ඔවුන්ට තමන් ජනතා සේවකයන් විනා ස්වාමින් නොවේය යන හැඟීම ලබා දීම යුරෝපා සමාජයන් ඉතා දක්ෂ ලෙස සිදු කරමින් සිටිනවා…උමං දුම්-රිය මාර්ග වල සින්දු කියන කෙනාගෙ ඉඳලා, නයිට්වරු, බැරන්වරු දක්වා හැම කෙනෙකුටම තරාතිරම නොබලා “සර්, මිස්, මැඩම්”  කියලා කථා කරන ශීලාචාර පොලිස් සේවා යුරෝපයේ තියෙනවා…….අඩුපාඩු නැත්තෙ නෑ…මම කළින් කිව්වා වගේ පරම සුසාධිත නිරවද්‍ය සාදු සමාජ ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ….සාපේක්ෂව දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් කරා නොකඩවා යෑමක් තමයි ඉතින් ප්‍රගමණය හැටියට තියෙන්නෙ….

නැතුව ජනතාවගේ පොලිසියක්, ක්‍රමය නොරකින පොලිසියක් යනාදි සංකල්ප නම් මට හිතෙන හැටියට සදහටම මනෝ රාජිකයි… අප්‍රායෝගිකයි….