සනි අක්කා එල්ලීම – ඇරිබතෝවේ සිට ලොං ඩැහැගන්වන වාර්ථාකරණය

හවුචාව නම් මනංකල්පිත ග්‍රහ ලෝකයේ ජංගියන් සාගරයේ හුකෑෂ් සමුද්‍ර සන්ධියට දකුණින් පිහිටි ඇරිබතෝව දූපතේ කාන්තා හිංසනය, දූෂණය, අසරණ දරුවන් කෙළෙසීම, කාමාපරාද, ඝාතන දිනෙන් දිනම ශීඝ්‍රයෙන් ඉහළ යන්නට විය….

මේ ග්‍රහලෝකයේ කොම්පර්ජාලය කියා එකක් ඇත….ඒක කොම්පියුටර් ජාල රාශියක් එකතුවීමෙන් සෑදෙන අපූරු මෙව්වා එකකි…සමාජ විජ්ජාව සහ මනෝ විජ්ජාව පැත්තෙන් බැලුවොත් ඒක වර්චුවල් රියැලිටි එකකි..කොටින්ම කිව්වොත් රියැලිටි ෂෝ එකකි…..අනිත් රටවල ජනතාව සමාජයේ ප්‍රගමනයට ඒක පාවිච්චි කරත්, මේ රටේ ජනතාව ඒක පාවිච්චි කරන්නේ වැල අදින්න සහ වැල දමන්නටය….ඒක ඒ අයගේ ජාතික උරුමයන්ගෙන් එකක් නිසා, කොම්පර්ජාලය නම් වර්චුවල් අවකාශයේත් කරන්නේ ඒකමය….ඒකට ඉතින් මොනව කියන්නද නේද?….

ඔන්න දවසක් මේ රටේ හන්දියේ කඩයක් කළ මුදලාලි කෙනෙක්ව කවුරු හරි විසින් ඝාතනය කරන ලදී…පහුවදා උදේ බලනකොට මුදලාලි මිනිය කඩේ පිටිපස්සෙ හරස් අතට වැටිලා තිබුණේය….

මේ එතැන් සිට සිදුවූ සිද්ධි දාමයයි….

ඇරිබතෝ වාසීන් පොලීසිය අවට උද්ඝෝෂණයේ ( සජීවී දර්ශණ ) :

” රටට සඳක් වගේ හිටපු මුදලාලි මාත්තයා මරා ගත්තා…මුන්ට එණ ගානවා…!…මේ පාහර වැඩේ කරපු එවුන් අල්ලපියෝ…!..අල්ලලා එල්ලපියෝ…!…අනේ කැසිල්ලේ රජතුමනි…!…උඹට මුන් එල්ලන්න බැරි නම් දීපිය මං එල්ලන්නම්…!…බාල්කෙකුයි, කඹෙයි තිබ්බම ඇති යකෝ..!…ඔය ලොකු ලොකු පෝරක හද හද ඉන්න වෙලාවක් නෑ…!…අල්ලපියව්…එල්ලපියව්…!”

කැමරාවේ පසු සටහන් වූ උද්ඝෝෂණයට පැමිණි දෙදෙනෙකු අතර කථාබහක්…

“කවුද බං මේ මරලා තියෙන්නෙ?… ”

“දන් නෑ බන්”

“දන් නැත්තන් තෝ පපුවට ගහගෙන ෂර්ට් එකත් ඉරා ගත්තෙ?”

” වීඩියෝ කරනව හු*තෝ! අර බලපන්”

“අම්මට? ඒනන් අපිත් අද “ලයින්ග් ඇට් නයින්” එකේ ඉඳියි පණපිටින් වගේ යකෝ”

ඔය අස්සේ මුදලාලි ඝාතනයේ සී.සී.ටී.වී කැමරා දර්ශණ ලීක් වේ….මුලින්ම දාන්නේ “අම්මපා TV” එකේ නිව්ස් සයිට් එකේ සහ පේස්බුහ් පේජ් එකේය….ඊට නැනෝ-තප්පර දෙකකට පසුව ඒකම “අම්මපා FM” එකේ ගොසිප් සයිට් එකේ සහ එයට අදාළ පේස්බුහ් පේජ් එකේ වැටෙයි….ඊටත් නැනෝ-තප්පර හතරකට පසුව මේ නිව්ස් පෝස්ටර් එක අමුඩෙ පිටින්ම උස්සා එක එක කොළු බච්චලා කරන පේස්බුහ් පේජ්, නිව්ස් සයිට්, ගොසිප් සයිට් වල වැටෙයි….

නිව්ස් එක මුලින් “අම්මපා” මාජ්ජ ජාලයේ ඕක මුලින්ම ගිය එක ගැන “ඔලුව” මාජ්ජ ජාලයේ උන්ට මළය….

“මොන ලබුවක්ද යකෝ? තොපිට මෙච්චර පඩි ගෙවන්නෙ, ආතල් දෙන්නෙ මේකටද? තොපේ පඩියෙන් බාගයක් ගෙවන්නේ නැතුව උන් කොහොම හරි මුලින්ම සී.සී.ටී.වී විෂුවල්ස් ගෙනත් දැම්මා….බලපන් ඒකෙ “රීච්” එක පාලොස් ලක්ෂෙත් පැනලා….ලයික් හතළිස් පන් දාහයි…ෂෙයා විසි එක් දාස් දෙසීයයි… මෙච්චර හරියක් වෙනකල් තොපි ඉස්ටේප්ලර් කටු කාපු රිලව් වගේ ඇණ තියාගෙන හිටියා….මං තොපිට තව පැය බාගයක් දෙනව…ඔය උන් දාපු සී.සී.ටී.වී ඈන්ගල් එකට අනිත් පැත්තේ ඈන්ගල් එකේ කැමරා විෂුවල්ස් මොන ලෝකෙන් හරි හොයාගෙන ගෙනල්ලා අපේ  “කක්කන් FM” එකේ පේස්බුහ් පේජ් එකේ නොදැම්මොත් මං තොපිව ප්ලාස්ටික් බෝතල් උඩ උළ තියනවා…දුවපියව්!”

කෙසේ හෝ මුදලාලිගේ කඩේ අනිත් පැත්තේ ඈන්ගල් එක කවර් කරපු කැමරාවේ දර්ශණ ලබා ගැනීමට “ඔලුව” මාජ්ජ වේදීන් සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඇරිබතෝ පොලීසියේ අයියලාට පගුං පනස් දාහක් සමග විෂ්කි බෝතල් හතළිහක් පගාව දීමට සිදුවිය… ( පගුං යනු ඇරිබතෝවේ මුදල් ඒකකයයි…)

ඇරිබතෝ කොම්පර්ජාල වාසීන් වනාහි සර්ව විශේෂඥයන්ය….සර්පිල මන්දාකිණියක සිට අත්තම්මාගේ රෙද්ද දක්වා ඇති සියල්ල සියළුම ආකාරයෙන් සුපිරියට ඇනලයිස් කිරීමේ හැකියාව ඔවුන් උපතින්ම ගෙන පැමිණ ඇත…ආයෙ ඒවාට ඒ ඒ විෂය ක්ෂේත්‍රයන් වල අධ්‍යාපනය හැදෑරූ ප්‍රවීණයන් නැතුවාට කමක් නැත….විශ්වයේ නොවිසඳුණු අබිරහස් ඕන එකක් ඇරිබතෝ කොම්පර්ජාල වාසීන්ට බාර දුන්නා නම් තුන් වරුවෙන් සහනය ලැබේ….”නොදන්නා දේවල්” කියා දෙයක් ඔවුන් අසාවත් නැත…

පහත දැක්වෙන්නේ ඒ සී.සී.ටීවි කැමරා දර්ශණ පේස්බුහ් පිටුවල ප්‍රචාරය වූ පසුව ඒවා ෂෙයාර් කරමින් දමා තිබුණු විශ්ලේෂණයකි….

“දැන් බලන්න මේ වීඩියෝ එක හොඳ කල්පනාවෙන්…පුළුවන් එකෙක් මේක ඩවුන්ලෝඩ් කරලා, VLC එකේ ප්ලේ කරලා ඉස්ලෝමෝෂන් බලපන්…එතකොට තේරෙයි මංකියන දේ..ඕකෙ 23 වැනි තප්පරේට ඇදපල්ලා….මුදලාලි මැරිලා වැටිලා ඉන්න තැන තිරස් රේඛාවක් ඇන්දොත්, මුදලාලිගේ අතේ දබරැඟිල්ල පිහිටලා තියෙන්නෙ ඒ රේඛාවට අංශ 43 ක් ආනතව… එතකොට සයින් 43 කියන්නෙ -0.8314…ඒ අනුව මට නම් හිතෙන්නේ ඒ දබරැඟිල්ල යොමුවෙලා තියෙන දිහාවෙ හමුවන පළමුවැනි ගෙදර ඉන්න අයගෙ පුංචි අම්මගෙ පුතා තමයි මේ මිනී මැරුම කරන්න ඇත්තෙ”

විශ්ලේෂණයට කොම්පර්ජාලයෙන් සහ ඉන් පිටත සැබෑ ලෝකයෙන් ලැබෙන ප්‍රතිචාර….

( අදාළ ගම ආශ්‍රිතව ජීවත් වුනු උදවිය )

“අඩෝ සිරාවට මචන්! ඔය කියන ගෙදර ඉන්න ගෑණු කෙනාගෙ නංගිගෙ පුතා තමයි ඕක කරන්න ඇත්තෙ…අර හජුශානයා! ඌ තමයි…ඌ මීට අවුරුදු දෙකකට කළින් සාටර්කුළම වැව් බන්ට් එක උඩ සුස්තියක් අදිනවා අපේ මැරිච්ච කිරි අප්පු මුත්තා දැකලා තීනවා….ෂුවර් එකට ඌ තමයි”…

“ඇත්ත..ඇත්ත…හජුශානයට තියෙන්නෙ ඒ වගේ මූණක් මචන්..!.උගේ මූණ දැක්කාම ඌ කවද හරි මිනියක් මරයි කියල හිතෙනවා”…

( යාබද නගරයේ කාර්යාල වල )

“නෑ සොහොන්ශිකා ! මට ඒ ගමේ එක්කෙනෙක්මයි කිව්වෙ….හජුශාන් කියල එකෙක් ඒක කරල තියෙන්නෙ…ඌ වවුල් වෙසක් අරගෙන අහසින් ඇවිත් මුදලාලිගෙ බෙල්ල විදලා ලේ බීලලු…එහෙමයි මරලා තියෙන්නෙ”

“වෙන්න ඇති සුසානි ! මාත් අද උදේ කෝච්චියෙ එද්දි කවුදෝ කියනව ඇහුණා….ඌට ගංජා බොන්න මුදලාලිගෙන් සල්ලි ඉල්ලුවලු…නොදුන්නයි කියල මළෙන් ලු ඉඳල තියෙන්නෙ”

( අගනුවර කාර්යාල වල )

“අඩෝ ණයමල්! උඹ දන්නවද? අර මුදලාලි මරපු සීන් එකේ මිනීමරුවා ඒ ගෙදරට අංශක 43 ක් උතුරින්, මීටර් 23.5 ක් ඈතින් තියෙන ගෙදරක ඉන්න ගෑණු මනුස්සයගේ නංගිගෙ පුතාලු… ඔව් හු*තෝ…!…ඌ තමයි ගේම දීලා තියෙන්නෙ…!…ඌ කුඩු බොන්න පුරුදු වෙච්ච පොරක්….ඌට මාසෙකට පගුං අසූ දාහක කුඩු ඕනලු… ඉතින් මුදලාලිගෙන් සල්ලි ඉල්ලලා තියෙනවා….මුදලාලි 2013 ජනවාරි 23 වෙනිදා දවල් 12:34 ට කඩේ ඉස්සරහ උතුරු දිශාව බලාගෙන කියල තියෙනවා සල්ලි දෙන්න බෑ කියලා…ඊට පස්සෙ මූ සැප්තැම්බර් 27 වෙනිදා රෑ 11:22 ට අඩි 120 ක් උඩ ඉඳලා පහළට පැනලා වවුල් වෙසකින් පියාඹලා ඇවිත් තමයි මුදලාලිට ගේම දීලා තියෙන්නෙ….”

“අම්මට ! මාර සීන්නෙ ප* දැන් වෙන්නෙ…?…කවුද උඹට කිව්වෙ?”

“උබේ අතේ පෝන් එක තියෙනව නේද? ඔහොම්ම පේස්බුහ් ලොග් වෙලා අර “ළපන්වාහිණී ” එකේ පේජ් එකට පලයන්…ඒකෙ තියෙනවා සම්පූර්න ඉස්ටෝරියම….”

“අඩෝ ඔව්මයි ! මූද එතකොට පොර ? අඩෝ මේ හු**ට තියෙන්නෙ මිනීමරු ඩෑල් එකක් බන්…මුන් වගේ කුපාඩින්ව එල්ලන්න ඕන”

“එල්ලලා මදි බන්…! ඕකා එල්ලලා, ලණුව කපලා, බිම වැටුණාම ආයෙ උස්සලා එල්ලන්න ඕන”

දිනකට පසුව ඇරිබතෝ ජනතාව ( සජීවි දර්ශණ ) :

“මහත්තයෝ ! අපි මේ අති උතුං කැසිල්ලේ රජතුමාට කියන්නෙ ! මේවා බල බල ඉන්න එපා ! මේ පාදඩයන්ව එල්ලන්න ඔබ තුමාට බැරි නම් කඹ යාර දුසිමක් එක්ක පොල් පරාලයක් හොයල දෙන්න, අපි එල්ලන්නම් ! අපිට මේ දුක දරාගන්න බෑ…!.. තවත් මේවා වෙන්න දෙන්න එපා !”

කැසිල්ලේ රාජ සභාව :

( දුරකථන පණිවිඩයක් )

“මේ .. මේ කොහෙවත් යන හුයන්නක් නිසා මටත් සවුත්තුව ඕයි…!…කවුද දැන් ඔය කියන්නෙ….?…ගෙනෙන් ඕකා කුදලගෙන….!….දාපන් අර පෝරකේට ලණුව…!…ඔන්න ඕකව එල්ලලා දාමු…!..එතකොට සේරම හරිනෙ..?…..”

( ඔය අස්සේ අදාළ ගමෙන් තවත් ආරංචියකට තටු ලැබේ)

ඇරිබතෝ පොලිෂ් මාජ්ජ ප්‍රකාශක :

“අපට මේ වනවිට කරපු පරීක්ෂණ අනුව හෙළිවෙලා තියෙනවා මේ මුදලාලිගෙ හාමිනේ මුදලාලිගෙ නංගි බැඳපු මහත්තයගෙ අයියගෙ පුතාට ඉන්දියාවෙ හන්දියකදි හම්බ වෙච්ච සරෙයිරාමා කියන මනුස්සයා එක්ක තප්පර තුනක් හිනාවෙලා තියෙන බව….ඒ නිසා මේක අනියං පේම සම්බන්දයක්ද කියලා මේ ඇත්තන්ට සැක පොජ්ජක් මන්දො වෙලා තීනවා”

( එයින් පසුව )

” මං කිව්වද කොහෙන් හරි මේකට මුදලාලිගෙ ගෑණි සම්බන්ධ ඇති කියලා….?…. ඔය ගෑණු විශ්වාස කරන්න පුළුවන්ද යකෝ අද කාලේ? …. පට්ට වේ*යෝ….!….ෂුවර් එකට අර ඉන්දියන් කාරයගෙ පනාවට රැවටිලා ඌ එක්ක පැනල යන්න මුදලාලිට ගේම දෙන්න ඇති…මේක ඇතුළෙ වැඩක් කියලා පට්ට පැහැදිලියිනෙ බං….ගෙදර වටේට තව ගෙවල් ගොඩක් තියෙද්දි, ගෙදර දඩෝරි බල්ලො එකසිය තිහක් ඇති කරද්දි, ගේ වටේට අඩි පනස් තුනක් උස තාප්පයක් තියෙද්දි කොහොමද මේ කාටවත් නොදැනෙන්න මෙහෙම මර්ඩර් එකක් දෙන්නෙ?….අනිවා, ඔය බැල්ලි තමයි ඕක කරන්න ඇත්තෙ….මම ඕක එදා උඹලට කියද්දි උඹලා පිළිගත්තෙ නෑ….ගෑණු කියන්නෙ සල්ලි වලට ඕන කුපාඩි වැඩක් කරන මහ ජරා ජාතියක්…”

“රටක් වටින මුදලාලි මහතා මරාගත් මුදලාලි බිරිය එල්ලා මරනු !”

කැසිල්ලේ රාජ සභාව :

( දුරකථන පණිවිඩයක් )

“මේ .. මේ කොහෙවත් යන හුයන්නක් නිසා මටත් සවුත්තුව ඕයි…!…කවුද දැන් ඔය කියන්නෙ….?…ගෙනෙන් ඕකි කුදලගෙන….!….දාපන් අර පෝරකේට ලණුව…!…ඔන්න ඕකිව එල්ලලා දාමු…!..එතකොට සේරම හරිනෙ..?…..”

( දවසක් දෙකක් ගතවනවිට කොම්පර්ජාල වාසීන් ඇතුළු ඇරිබතෝ ජනයා නොඉවසිලිමත් වේ )

“කෝ අනේ ! එල්ලන්නෙ නැද්ද? අපි දැන් දවස් කීයක් බලන් හිටියද එල්ලන කල්…!….හරි කැතයිනෙ මෙහෙම ජනතාව රවට්ටන එක….!…එල්ලනව නම් මෙළහකට දහ පාරක් එල්ලන්න වෙලාව ….!.. උනුත් එකයි, මුනුත් එකයි….!…දෙගොල්ලම කරන්නෙ අපිව රවට්ටන එක….!…එල්ලන්නෙ නෑ මුන්…!….මොකද මුන් කරල තියෙන වැඩ වල හැටියට එල්ලන්න ගත්තොත් ඉස්සෙල්ලම තමුන් එල්ලෙන්නයි වෙන්නෙ….!…තව මාසයක් මුන්ට කල් දෙනවා…!…එල්ලුවෙ නැත්තන් බලාගමු…”

( එයට පසුව )

ඇරිබතෝ එල්ලනාගාර දෙපාර්තමේන්තුවේ මාජ්ජ ප්‍රකාශක :

“අපි මේ දවස් වල පෝරකේ ඒ.සී කරගෙන යනවා….ඔව්…!…කඹේ ප්ලැටිනම් වලින් හදන්න ඕන….!…නැත්තන් එල්ලන කෙනා ඊළඟ ආත්මෙත් මේ දූපතේමයි උපදින්නෙ….ඒක නිසා අපි කඹයක් ගොබිලාන්තයෙන් ආනයනය කරනවා….ඒ සඳහා ප්‍රතිපාදන සම්පාදනේ කරල තියෙන්නෙ දැනටම….බොරු නම් බලන්න අර එළියෙ තියෙන අලුත්ම BMW එක මගේ…..!…ඔව්…!…මේ පාර නම් දෙයියම්පා එල්ලනවා…!…කැසිල්ලේ රාජ සභාවෙන් නියෝගයක් ආපු ගමන් එල්ලීමට අපි සැදී පැහැදී සිටිනවා….!… මොකක්ද?….අලුගෝසුවද?…ආහ් අලුගෝසුවෙක් නම් නෑ, ඒක වෙනම කථාවක්…!… බඳවා ගත්තු හත්සිය විසිතුන් වෙනියත් ගිය මාසෙ පැනලා ගියා….ඔව්…!…ඒක අවුලක් නෑ….අරහෙන් ඕඩර්ස් ආපු ගමන් කොහොම හරි එල්ලනවා..!”

( මේ අතර, මීට පෙර අත් අඩංගුවට ගත් හජුශාන්ගේ කොම්පිටර් එකේ තිබී සුප්‍රකට වැල රැජිණි “සනි අක්කා” මහත්මිය රඟන වැළ 210 ක් අසුවේ )

එයට සතියකට පසුව නයිටවාහිණියේ “පොරමඩලාව” හරසරණියේදී

“දැන් බලන්න වසන්ත මහත්තයො වෙච්ච දේ ! මේ අහිංසක තරුණයන්ගෙ මල් වගේ හිත් දූෂණය කරන කාම චිත්‍රපටි නිසා තමයි මේ අපරාදෙත් වෙලා තියෙන්නෙ! … මේක දර්ම්ද්වීපය නේද?…. මේ අපේ තරුණ පරපුර කොයිබටද යන්නෙ?….”

පේස්බුහ් පිටුවල

“අපරාදෙ ඕයි අපි අර හජුශාන්ටයි, මුදලාලිගෙ වයිප්ටයි බැන්නෙ….පව් ඕයි උන් දෙන්නා ! කෝමද උන් දෙන්නව එල්ලල තිබ්බ නම් ?… අඩෝ බලපන් මේ හජුශාන් වගේ පොඩි එකෙක් කෝමද මේ වගේ අපරාදයක් කරන්නෙ….?…අනේ උගේ මූණ දැක්කම මට මතක් වෙන්නෙ මම දෙක වසරෙදි ගහපු පොටෝ එකක්”….

අවසානයේ සනි අක්කා මුදලාලි ඝාතනයට වරදකරු කරන කැසිල්ලේ රාජ සභාව සනි අක්කා ඇරිබතෝවට ගෙනවුත්, එහි අගනුවර “ඕල්ඩ් ෆේස්” පිටියේදී ප්‍රසිද්ධියේ එල්ලා මැරීමට තීන්දු කොරයි….

ඇරිබතෝවට යාබදව පිහිටි ජන්ගියාව විසින් සනි අක්කා ඇරිබතෝ බළධාරින්ට බාර දෙනු ලබයි….

( “පොරණ” මාජ්ජ ජාලය )

“සනි අක්කා එල්ලුම් ගස් යෑම සජීව විකාශය ඕල්ඩ් ෆේස් පිටියේ සිට…එයින් පසුව දිවඉනේ සුප්‍රකට ඉස්ටාර්ලා රැසක් “පරලෝ රාත්‍රී” මහා සංගීත ප්‍රසංගය  ”

“Watch “Sunny Hanging” Live at Old Face….DJ Absurd in concert”

( “ඔලුව” මාජ්ජ ජාලය  ) :

“මෙන්න ඔබට පගුං හැට ලක්ෂයක් දිනා ගත හැකි ප්‍රශ්ණය…..!….සනි අක්කා එල්ලූ පසුව මැරෙන්නෙ හරියටම කීවෙනි විනාඩියේද?.…නිවැරදිව පිළිතුර “විනාඩිය හිස්තැනක් Sunny ” යනුවෙන් 88119 ට එස්සෙමෙස් කරන්න …. සනි අක්කා එල්ලූ පසුව ජයග්‍රාහකයා එතනම තෝරනු ලැබේ….”

( “විහින් බයිට්” මාජ්ජ ජාලය )

“හායි මගේ යාලුවනේ ….ඔයාලා උක්කොමලම දන්නවා අපෙ අලුත් සෙග්මන්ට් එක….”සනී වාසනා” දිනුම් ඇදීම….ඔබ කළ යුත්තේ සනි අක්කාගේ අන්තිම වචන හරියටම ගෙස් කරලා 15889 ට ටෙක්ස්ට් කරන එක…නැත්තන් ඌ ගොල්ලාන්ට පුලුහන් අපේ පේස්බුහ් පේජෙ එකේ කමෙන්ට් කරන්න….ප්‍රයිසස් ගැන දන්නවනෙ…මම කලින් කීලා තිනවනෙ….?…උයාලට ලොකුම ලොකු “ටොනෝටා බකමූණාස්” හයිබ්‍රිඩ් කා එකක් දිනාගන්න මේක හොඳම චාන්ස් එක….ඕකේ…?….ඕල් රයිට්…දැන් අපි යමු ඊළඟ සෝන් එකට…”

( “ළපන්වාහිණී” මාජ්ජ ජාලය )

“දුකට පත් අසරණ ඔවුන්ට පිහිටක් වෙන්න මෙන්න ඔබට අවස්ථාවක්…”එල්ලුං සත්කාරය”…සනි අක්කා එල්ලන තැනට අප විසින් ගෙන්වන අසරණ පවුල් 25000 කට අවශ්‍ය වියළි ආහාර, පොත්පත් ආදිය පරිත්‍යාග ඔබට හැකි පමණින් ඔබේ ගමට එන අපේ “ළපන්වාහිණි” කණ්ඩායමට දෙන්න…අපි ඒවා එතනදි ඒ පවුල් වලට බෙදා දී ඒ පින් සනි අක්කාට අනුමෝදන් කරමු…ඒ පින් බලෙන් අපේ වාහිනිය අයිති අක්කාත් එර්දි වේවායි පතමු” ….

(“Lat FM” මාජ්ජ ජාලය )

“Do you want to be in a photo with Sunny at her last moment? ….call us now to register on three double seven three double seven ”

( මේ අතර අගනුවර ප්‍රධාන පෙළේ මාකටින් ආයතන වල සහ ව්‍යාපාරික ආයතන වල “Brain Storming Sessions” )

” මගේ අයිඩියා එක තමයි අපි එයාව බිකිණි එකක් අන්දලා යවමු….බිකිණි එක ස්පොන්සර් කරන්න “මිඩ්නයිට් හුකෑෂ්” කම්පණි එක දැනටම ඔෆර් කරලා තියෙනවා….

“බෑ බෑ….එයා සාරි එකක් අන්දල යවන්න දැනටම sign කරල තියෙන්නෙ….සාරි එක ස්පොන්සර් කරන්නෙ “සාරි කුන්දීර්”… අන්ඩවෙයාස් Sponsor කරන්නෙ “ගොඩෙල්”….

“ෂැක්…!… කාගේද ඒ අයිඩියා එක?….මම කියපු විදියට කරා නම් අපිට එයාගෙ ඇඟ පුරාම ස්පොන්සර්ෂිප් ස්ටිකර්ස් අලවලා companies දුසිමක විතර offers ගන්න තිබුණා…..දැන් ඉතින් ඉතිරිවෙන්නෙ පිටයි, බඩයි විතරනෙ….”

“එයාගෙ High heels දෙක?”

“සනීගේ ඉවෙන්ට් මැනේජර්ස්ලා අපිට කෝල් කලා….Heels දෙක යූ.ඇස් වලින්….එයා ඒවා නැතුව වෙන ඒවා දාන්නෙ නැතිලු….”

“ආ…ඕකේ…!…මේකප්?”

“මේකප් ස්පොන්සර් කරන්නෙ “ජලාහුටාස්” සලෝන් එක “….

(මේ අතර ඕල් ෆේස් පිටියේ ඉදිවෙන පෝරකය ළඟ තරුණ තරුණියන් “සෙල්ෆි” ගසා පේස්බුහ් අප්ලෝඩ් කරති….)

Kolla rockza : “Near da “ellum tree” broz ! Shit totally rokzzzzzz” ( replies : “ado sira kollaz…..elazzz” )

Pissu Angel : “She`s gonna swing 2moro … totally kool …! ”

( මේ අතර සනි අක්කාද තම පේස්බුහ් Official Fan page එකේ ස්ටේටස් දමයි  )

“2morro I`m gonna die ! Super Koool ! B sure 2 B there !  – Feeling Excited”

( replies : ” yeah you roxxx gal !… yo yo “)

( සනි අක්කා එල්ලුම් ගස් යන දවස උදා වේ ) 

පෝරකය ඉදිරියේ සියළු මාජ්ජ නියෝජනය කරමින් ළපටි නිවේදක නිවේදිකාවන් රැසකි….

සමහරු :

“හායි ! ගුඩ් මෝනින් ! අපි මේ ඇවිල්ලා ඉන්නෙ එක්ස්ම එක්සයිටින් ඉවෙන්ට් එකකට….ඔයාලට තව ටිකකින් බලාගන්න පුලුවන් සනි අක්කා එක්ස්පයර් වෙන හැටි”

තවත් සමහරු :

“ඔව් … මේ පෝරකයේ ඉතිහාසය අවුරුදු එක්දාස් හත්සිය පණහක් පමණ ඈතට යන එකක් කියලා වීපීඩියා එකේ සඳහන් වෙනවා….ඔයාලා නොදන්න කාරණයක් තියෙනවා….”

“ඒ මොකක්ද ගුජිත?”

“සනී තමයි ඇරිබතෝවෙ එල්ලුම් ගස් යන දෙසිය වෙනියා….”

“යේ….ක්ලැප් ක්ලැප්”…..

“ඒයි ඒයි… සනීව ගේනවා…සනීව ගේනවා….ටක් ගාලා දුවල ෆ්‍රන්ට් ලයින් එක අල්ලමු කවර් කරන්න”

“රතු හරකා” ශක්ති ජනක පානයේ වෙළඳ ලාංඡනය ගැසූ, සහ එයින් විශාල කෑන් එකක අනුරුවක් වහළේ පටවා ගත් මෝටර් රියක්, ආරක්ෂක රථ පෙළකට මැදිව එනු පෙනිණි…..කැමරා ෂටර “සට, සට” ගාන නාදයෙන්ද, ඒවායේ ෆ්ලෑෂර දෙන විදුලි ධාරා වලින්ද අවට පරිසරය පිරී යයි…..මෝටර් රථයෙන් බැස ගත් සනී මේකප් තට්ටු පනහක් තවරන ලද මුව පොබයා මුළු ඇරිබතෝවේම සියළු රෝග නිවාරණය කරන සිනාවක් පා ආචාර කරන්නීය….අනතුරුව ඇය “රතු හරකා” කෑනයක් කඩා එය පානය කරන්නීය….අදාළ ශක්ති ජනක පානයේ අළෙවි ප්‍රවර්ධන කළමනාකරු අසළින් සිනාමුසු මුහුණින් සිටී….ඒ අතර තුර සජීවී විකාශයට මදකට බාධා පමුණුවමින් කළින් දිනයේ පටිගත කරන ලද, සනි අක්කා සිටින “රතු හරකා” වෙළඳ දැන්වීම විකාශය වේ…

“Even to Die, you need a lot of energy….My Energy comes from “Rathu Harakaa”

ඉහළ පැලැන්තිය නියෝජනය කරන වාහිණියක නිවේදිකාවක් සනි අක්කා ඉදිරියට පැන ගනී…..

“So tell us Sunny ! How do you feel right now?”

“Well…I`m so excited to be here….I can even speak your language a little…..මම්ම ඇරිබත්..තෝවට ගොඩ්ඩාක්….ආදරයි….මම මෙහෙ මැරෙන ලැබිච්ච එක ගොඩක් ආසයි…Thank You All….you were wonderful…This island rock…”

අනතුරුව V අකුරක හැඩයට ඇඟිලි උරුක් කර ගත් සනි අක්කා සමග පෝරකය පසුබිමෙහි තබා ඡායාරූප ගැනීමට විවිධ නාළිකාවල පැවති කුසපත් ඇදීම් වලින් තේරුණු ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට අවස්ථාව ලැබේ….

අවසානයේ සනි අක්කා පෝරකයේ පඩිපෙළ පාමුලට ගෙන එනු ලබන අතර, ඇයගේ දෑත් පිටුපසට බැඳීමට පෙර ඇය පෝරකය සමග සෙල්ෆියක් ගසා සිය අවසන් සෙල්ෆිය පේස්බුහ් අප්ලෝඩ් කිරීමට විනාඩි කිහිපයක් වැය කරයි….

“Me N Ma Gallows !… “

( එතැන් සිට සිදුවූ දේවල් සංවේදී හදවත් ඇති අයට දරා ගැනීමට අපහසු බැවින් වාර්ථාකරණය මෙතකින් හමාර කරමු )

පෝරකය ඕනද?

ඔන්න දැන් අපි යනවා ගල් යුගයට….

සතෙක්ගෙ හමක් පොරව ගත්තු, ගල් ගෙඩියක් උල් කරලා ඒකෙන් ප්‍රාථමික අවියක් හදා ගත්තු ආදි මානවයෙක් ( ඇඟ පුරා ලොම් පිරිච්ච, දිගැටි මුහුණ, ඉදිරියට නෙරා ගිය දත් සහිත ) බිම පහුරු ගාගෙන ගාගෙන යනවා…පොළවේ වසන යම් ජීවියෙක් අල්ල ගන්න දරන උත්සාහයක් කියමුකො….එතනට තවත් ඒ වගේම මුල් කාළයේ මානවයෙක් එනවා….අර බිම හාරමින් සිටි ආදි මානවයා හිස ඔසවලා, නළල රැලි ගන්වලා අලුතින් ආපු එකා දිහා බලනවා….මේ ඔවුන් අතර දෙබස:

1 : “ඌ…බජ බජ හුජාබු” ( “මේ ඒරියා එක මගේ යකෝ!” )

2 : “හවුවා….ගැජ ගැජ ගජුන්ගා” (  ” එව්වා හඳේ ඩෝ !” )

1: “උග් උග් උග් …. ගව්වා … හබ්බුජා…බජා” ( “බැහැපිය පරයා එළියට ! නැත්තන් තොගෙ *)

2: ” ආගා….ආගා…ගිජා ගිජා ගිජා ගිජ්ජුචා” ( ” කරපිය බලන්න පුළුවන් නම් තොට !” )

ඔන්න ආවේගය…පළවෙනි එකාගෙ අම්මා මතක් කරලාද කොහෙද?  ගත්තා අහුවෙච්ච ගල් පතුර කෙළලා ඇරියා …

“උජා…!”  (” ඉඳා!” ) ….

“ගවුකුචා!” ( “අම්මෝ!” )

දැන් එකෙක් ඩවුන්….ඌ ඉවරයි එතනම….

ඔන්න ගල් ගුහාවේම සෙට් එක සද්දෙට දුවගෙන එනවා…අර ගහපු අනිත් එකා එතන බලාගෙන ඉන්නවා….අනිත් එවුන් ටික රවුමට හැදිලා කහ කහ ඉන්නවා….උන් අතරින් එනවා උස මහත, ලොම් තද “ඇල්ෆා” ඉස්සරහට….ඌ බලනවා මිනී මරුවා දිහා…..

දැන් අර මැරිච්ච එකාගෙ ගෑණි එනවා…. ඇවිත් බිම වැටිලා ඉන්න මිනිහව අල්ලලා හොල්ලනවා….

“හාගා….හාගා….හාගේ හාගා….හගෝ හාගා…!”  ( “අනේ කථා කරන්න වස්තුවේ…නැගිටින්න රත්තරං”)

අරූ මැරිලා…ඉතින් ගෑණු කෙනා ඔලුව උස්සලා බලලා කෑ ගහනවා….

“අරා….කා…කා…කා…ගවුකුචා….අරා…අරා….” ( “මූව මරපියව් ! මගේ අහිංසකයා මරා ගත්තා…!…හෙණ ගානවා තොට…!”)

අර “ඇල්ෆා” එකා මිනී මරුවා දිහාට ඇඟිල්ලක් දික් කරලා අනිත් එවුන්ගෙන් ප්‍රශ්ණ කරනවා….

“අග්ගා…චකා…චකා…බකා?” ( “කියපියව් කොල්ලනේ ! මූට මොකද කරන්නෙ?” )

අනිත් උන් එක හඬින්….

“හච්චා…හච්චා…ගච්චා…ගච්ච….බච්චා…බච්චා….කච කච කච…කජෝ” ( “ඕකට ගල් ගහලා මරපියව්!”)

“ඇල්ෆා” තමන්ගේ අතේ තිබ්බ දණ්ඩක් අහසට උස්සලා බෙරිහන් දෙනවා….

කස්ටිය වට වෙලා අරූට අහුවෙන දේකින් නෙළනවා…ටික වෙලාවකින් ඌත් ලේ විලක් මැද්දෙ ඩවුන්…..

උගේ මිනියටත් පයින් ගහලා අරුන් ටික “බජ බජ බජ” ( “දුන්නා වැඩේ තිතට!” ) කියාගෙන යනවා….

මේ කාලෙදි මොළයේ සංකීර්ණ සැකසුමක් විකසනය වෙලා නෑ….ගහෙන් බැහැලා තාම කී දොහද?…ඉතින් :

“ආවේගය ආවා >> කෙළලා ඇරියා >> අපරාධ කරුවෙක් සහ වින්දිතයෙක් බිහිවුණා >>>  වින්දිතයාගේ පාර්ශවය සහ නිරීක්ෂකයන් ආවා >> වෙච්ච දේ දැකලා උන්ටත් ආවේගයක් ආවා >> උනුත් අපරාධ කරුවාට කෙළලා ඇරියා >> ඌත් වින්දිතයෙක් උනා….ගේම් ක්ලෝස් !”

ආවේගය >> ක්‍රියාව ( අපරාධය ) >> ප්‍රති-ආවේගය ( ප්‍රතිචාරය ) >> දඬුවම 

සූට්ටක් ශිෂ්ඨාචාරය 

Reciprocal Justice කියන එකේ මූලික දෙසුම් බොහෝ ප්‍රාථමික සමාජවල සම්මත නීති පද්ධතිවල තිබුණත්, ඒ පිළිබඳව මූලිකම ලේඛණගත කියවීම ලැබෙන්නේ ක්‍රිස්තු පූර්ව 1850 දි පමණ බැබිලෝනියාවේ ( වත්මන් ඉරාකය ආශ්‍රිත ප්‍රදේශය ) රජකළ හමුරාබි රජුන් කරවන ලද “හමුරාබි ඛේත සටහන්” සහිත ශිලා ලේඛන වලින්….

එහි එන රෙගුලාසි අංක 196 කියනවා “මිනිසෙකු තවත් මිනිසෙකුගේ දතක් කඩා දැමුවහොත්, ඒ මිනිසාගේ දතක් අහිමි කරනු ලැබිය යුතුය….මිනිසෙකු තවත් මිනිසෙකුගේ ඇසක් උපුටා දැමුවහොත්, ඔවුහු ඒ මිනිසාගේ ඇසක් උපුටනු ලැබීම යුක්තිය වේ” යනාදි වශයෙන්…

ඕකම තව ටික කාළයක් ගියාට පස්සෙ, මේ බැබිලෝනියාවේ හමුරාබින්ට උපදේශණ සේවාවන් වල නිරත වුනු “රාබින්” හෙවත් ජුදා දහමේ ( යුදෙව්වන්ගේ ) මුල් නිර්මාතෘවරුන් මේ නීතිමය පැහැදිලි කිරීම් වලින් කෙටුම්පත් සකස් කරනවා….

එයිනුත් අවුරුදු දෙසිය පණහකට පමණ පස්සෙ ඊජිප්තුවේ සිට හය ලක්ෂයක් යුදෙව්වන් නිවහල් භාවය කරා ගෙන ගිය මෝසෙස් නම් නායකයා සීනායි කඳුබඩ ප්‍රදේශයේදි මේ ව්‍යතිශංගික නීති වඩා දරදඬු විදියට යුදෙව් සමාජයට හඳුන්වා දෙනවා….මේක බයිබලයේ පැරණි තෙස්තමේන්තුව / ගිවිසුම කියවන කෙනෙකුට “නික්මයාම” ( Exodus – Chapter 21 ) නම් පරිච්ඡේදයේ 12 ඡේදයේ සිට ඉදිරියට හමුවනවා…

“යමෙක් මිනිසෙකුට පහර දී ඔහු මරන්නේ නම්, ඒ තැනැත්තා මරනු ලැබිය යුතුමය” ( 21 : 12 )

ඕක ඉතින් ඉස්ලාමයටත් යනවා….සුරාහ් අල් මයිදා 5:45…

ඊළඟට ඉතින් රෝමයට යනවා – Lex Talionis කියලා ලතින් බසින් හඳුන්වනු ලබනවා…එතනින් බටහිරට, අතනින් පෙරදිගට…ඔහොම තමයි….කාළය ක්‍රමයෙන් ගතවෙනවා….හමුරාබි සටහන් සහිත ගල් කණු දූවිල්ලෙන් වැහෙනවා….මුලින් දුප්පතුන්ගේ කල්ලි අතරේ හැදුණු වැඩුණු ක්‍රිස්තියානියෙන් මහා පල්ලි සංස්ථා බිහිවෙනවා…ඉස්ලාමය අධිරාජ්‍ය හදනවා….රෝමය මහා සම්ප්‍රදායක් වෙනවා…එතැන් සිට ක්‍රමය පමණක් වෙනස් වෙමින්, හරය එක ලෙසම පවතිමින් සම්ප්‍රදාය ඉදිරියට එනවා….උල සහ බෙළි කපන මන්නය තොණ්ඩුවක් වෙනවා…තොණ්ඩුව ඉලෙක්ට්‍රෝඩ සහිත පුටුවක් වෙනවා….පුටුව ඇඳක් වෙලා එන්නත් පද්ධතියක් ඒකට සවි වෙනවා…

මේ ලෝකයට වර්ථමානයේ වැරදිලා තියෙන එක තැනක් තමයි, ප්‍රාථමික නොදියුණු ශිෂ්ඨාචාර පාලනය කරන්න, හසුරුවන්න, මිනිසා මනෝවිද්‍යාව ගැන නිසි විද්‍යාත්මක අවබෝධයක් නොතිබුණු යුගයේ, මිනිසාව හැසිරවිය හැකි ආකාරය ගැන විද්‍යාත්මක ගවේෂණයක් නොතිබුණු කාළයේ, සාපේක්ෂ උගතුන් ( වත්මනට අනුව පට්ට නූගතුන් ) විසින් පනවන ලද නීති සහ සම්මුතීන් ඒ විදියටම ඉදිරියට කරගහගෙන යාම….

පසුගාමී සමාජ මේවා තුළ විෂම චක්‍රයක් නිර්මාණය කරගෙන ඉන්නවා….

උදා:

හේතුව

යල්පැනගිය ගල් යුගයේ කාන්තාර ගෝත්‍රවලට, එහෙම නැත්නම් වෛදික සමාජ වලට ගැළපෙන සම්මුතීන් මගින් වර්ථමානයේත් තම රට තුල “සංස්කෘතිය” සහ “සභ්‍යත්වය හසුරුවනවා”

ප්‍රතිඵලය

නූතනත්වය සමග එන නිදහසට එක් ඔළුවකිනුත්, මෙකී ආදි කල්පික යල් පැනගිය සභ්‍යත්වයට සහ සදාචාරයට තවත් ඔලුවකිනුත් දෙපසට අදින “ඔලු දෙකේ බූරුවෙක්” වැනි සමාජයක් නිර්මාණය වෙනවා… ඒ තුළින් විශාල අසහනයක් නිර්මාණය වෙනවා….(මෙහෙම සතෙක් දැකලා නැත්නම් අර “දොස්තර හොඳ හිත” කාටුන් එකේ දොස්තරගේ නැවේ කුඹ ගහ මුදුනේ ඉන්න සතාව බලන්න)….

විසඳුම

ඔන්න එතකොට අර ආදි කල්පික දර්ශණයන් පමණක් හදාරලා තවමත් අපේ සමාජයේ නොනැසී සිය පැවැත්ම තහවුරු කරගෙන ඉන්න ව්‍යාජ විද්වතුන් පෙරට ඇවිත් ඒ ගල් යුගයෙන්ම විසඳුම් නිර්දේශ කරනවා….ඒ විසඳුම තමයි දඬුවම තවත් තද කිරීම සහ දඬුවමේ භයානක බව වැඩි කිරීම…

ඒ මතය හිසට ගන්නා ජනතාව ඒකම කිය කියා යනවා….අර ආදි කල්පික නොදියුණු ශිෂ්ඨාචාර වල කිව්වා වගේ “මරන්න ඕන….ඉරන්න ඕන…පලන්න ඕන….උල තියන්න ඕන…රජ කාලේ දඬුවම් ඕන”…..

දැන් මේ “මොවුන්ට දෙන්න ඕන රජ කාළේ දඬුවම්” කියන එක කියන්නෙ උපරිම ආවේගයක් ආවාම නේද?….දැක්කද ඒක අද කාළෙත් අර ඉස්සර “ආවේගය” අනුව දඬුවම් නියම කරන සමාජයේ සිතුම් පැතුම් වලටම සමපාත වෙන හැටි….කිසිම විශ්ලේෂණයක් නෑ…අවශ්‍යත් නෑ…ආවේගයට සරිලන විදියට දඬුවම තීරණය කිරීමනෙ ඒ කාලෙ කළේ….ඒ යුගය යළි ඉල්ලන්නෙත් ආවේගය මිස වෙන කිසිවක් ඔලුවේ නැති නිසා නේද…?..ඒකනෙ මේ ආවේගය සියල්ල තීරණය කරන “රජ කාලේ දඬුවම්” ඉල්ලන්නෙ…? …

ලෝකය කොච්චර දුරක් ඇවිත් තිබුණත්, මැද පෙරදිග ගොබ්බ ගුබ්බෑයම් වල තාම නීති කියලා තියෙන්නෙ ඒ තුට්ටු දෙකේ ක්‍රමනෙ….නගර වල ප්‍රසිද්ධියෙ බෙලි කපනවා…අත පය කපනවා….අර නූගත්, නොදියුණු, ප්‍රචණ්ඩ, ප්‍රාථමික කාන්තාර ගෝත්‍රිකයන් හසුරුවන්න හඳුන්වා දීපු නීතිමයි තාම තියෙන්නෙ….ආවේගය විතරයි…වෙන කිසිවක් නෑ…ආවේගයට හරියන දඬුවම දෙනවා….එතකොට මේ රටෙත් ආවේගයක් ආපු ගමන් “අම්මපා මේවට තියෙන්න ඕන අර සවුදි අරාබියෙ නීති” කියන එකෙන් තේරෙන්නෙ ආවේගය නිසා එන ප්‍රාථමික, නොදියුණු අශිෂ්ඨ කමට තමන් නොදැනුවත්වම සමපාත වීම නෙවෙයිද?

ආවේගය >> ක්‍රියාව ( අපරාධය ) >> ප්‍රති-ආවේගය ( ප්‍රතිචාරය ) >> දඬුවම 

ඉතින් මේ ප්‍රශ්ණය සහ අර්බුදය ගල් යුගය නිසා පටන් අරන්, ගල් යුගය හරහා, ගල් යුගයටම යනවා….

දැන් එතකොට මොකක්ද මේ වෙලා තියෙන්නෙ?….

වෙලා තියෙන දේ පැහැදිලි කරන්න මම යොදා ගන්නවා, අපේ හිතවත් බ්ලොග් අඩවියක් වන “අසම්මත සටහන්” බ්ලොග් අඩවියේ “ජේමිස් බණ්ඩා” නම දරන විචාරකයා ලියන ලද ලිපියක් වන

https://asammathasatahan.wordpress.com/2015/07/30/uniforms-for-mothers/

එකට මම යොදපු පිළිතුරු කමෙන්ටුවක් එඩිට් කරලා…ආයෙ මුල ඉඳන් ලියනවට වඩා ලේසියි ඒක දාන එක…මේ රෑ බෝ වෙච්ච වෙලාවෙ…

ලිංගික කුහකත්වය

මේක මම ඕපන් කරන්නම් අර “මොනවද මුත්තේ මොකද කරන්නේ?” සින්දුවෙ පදයකින්ම … ( සොරි වෙන්න ඕන ප්‍රතිචාරය පමා වීම ගැන ..)

“තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට කරන්න හැකි දේ නොම තේරෙයි මට”

මේක තමා අපේ රටේ 50 – 60 දශක වලට පසුව සහ 80 දශකයට පෙර කාළය තුල සිය තාරුණ්‍ය ගෙවලා දැන් මේ වන විට වැඩිහිටියන් බවට පත්වෙලා ඉන්න අයගේ සියළුම සදාචාර විවරණයන් සහ සංස්කෘතික බ්‍රහ්ම ටෝක්ස් තනි පද පේළියකට සම්පිණ්ඩනය කළොත් ලැබෙන පද පේළිය….

දැන් ඔය දොරමඩලාව කියන මානසික ගුබ්බෑයමට එන පොර ටෝක් කාරයන්ගේ ඉඳලා සියළුම දෙනා තමන්ගේ යෞවනය තුළ තමන් නුදුටු, තමන් පැතූ එහෙත් බොහෝ විට නොලැබුණු දේ අනාගත පරම්පරා වලට ලැබෙනවාට එරෙහිව අවි එසවීමක් තමයි ඔය රාජ්‍ය පරිපාලන පද්ධතිය තුළ සහ ඒවා මගින් මෙහෙයෙවෙන ආයතන ව්‍යුහයන් තුල දකින්න ලැබෙන යල් පැනගිය මතවාදයන් සහ හැසිරීම්….තමන් විසින් “විඳවන ” ලද ජීවිතය ඉදිරි පරම්පරා වලුත් ඒ විදියටම විඳවිය යුතුයි කියන දෘඨ ස්ථාවරය තමයි අද සදාචාරය, අපේ කම, සංස්කෘතිය, සභ්‍යත්වය විදියට සම්ප්‍රේෂණය කරනු ලබන්නෙ….

මේක විෂම චක්‍රයක්….වැඩිහිටියන් තමන්ට නොලැබුණු දේ තමන්ගෙන් ජනිත වූවන්ට ලැබෙනවාට තිබෙන අකමැත්ත / තමන් විඳවූ ජීවිතය තමන්ගේ පසු ජනිතයන් “විඳිනවා” දකින්න තියෙන අවිඥාණික අකමැත්ත නිසා මේවා දරුවන්ට පටවනවා…. ඒ දරුවො ලොකු වෙලා ඒවා ඊළඟ දුහිතෘ පරපුරට පටවනවා….ඔවුන් ඊළඟ පරපුරට….

දේශපාලනය මේකට සෘජුව බලපානවා….ඉහත කී පරම්පරාවල් වර්ථමානයේදී සදාචාරය, සභ්‍යත්වය, සංස්කෘතිය නිර්වචනය කරන අය…..ශ්‍රී ලාංකික පවුල් ඒකක පාලනය කරන්නේ මේ අය…මොකද අපි ඇතැම් සංවර්ධිත රටවල මෙන් නිසි වයසට ආවාම ලෝකයේ අපට හිමි තැන හොයාගෙන පිටවෙලා යන අය නෙමෙයිනේ…ඉන්න දෙනව නම් අවුරුදු 40 ක් වෙනකල් උනත් අපි අම්ම අප්පගෙ ඔක්කෙ දපලා ඉන්න අයනෙ… ඒ නිසා අපේ සමාජයේ තරුණ, තරුණියන්ට දේශපාලනයේ මුදුනට දැනෙන තීන්දු ගන්න ලැබෙන ඉඩකඩ අඩුයි සාපේක්ෂව….ඒ නිසා දේශපාලනයේ කේන්ද්‍රය මේ ඊනියා වැඩිහිට් පරපුර… වඩාත් නිවැරදිව කියනවා නම් මැදි වයස් කාරයන් සහ පූර්ව සැඳෑ විය ගත කරන අය….. ඒ අයගේ තීරණ තීන්දු මත දේශපාලන බලය පැවතීම හෝ නොපැවතීම තීරණය වෙන්නෙ…ඉතින් බලයේ රැඳී සිටීම සඳහා දේශපාලනය මේ ස්ථරයන් පිනවන්න යල්පැන ගිය මතවාදයන් පෝෂණය කරනවා…..

“ස්ත්‍රිත්වය” – අධිපතිවාදය, සභ්‍යත්වය, ෆැන්ටසිය සහ රියැලිටිය

රටක් නිදහස් රටක්ද, නැද්ද කියන එක මනින කදිම මිනුම් දඬුව තමයි ඒ රටේ “ස්ත්‍රිත්වය” පිළිබඳව ඇති පොදු සමාජ විග්‍රහයන් කියවීම….

සුද්දො එද්දි අපේ හිටපු එවුන්ගෙන් සම්පූර්ණ ඇඳුමක් ( යැයි සම්මත ඇඳුමක් ) අඳින්න අවසර තිබුණෙත් එහෙමත් පිරිසකට විතරයි….සුද්දො ඔවුන්ගෙ මධ්‍ය කාළීන ක්‍රිස්තියානි, බැරොක් සහ වික්ටෝරියානු සභ්‍යත්වයන් වල සංකලනයක් තුළින් අපිට පොදුවේ රෙදි ඇන්දුවා….( ඒක කරන්න ගියාම ඔය ලෙනාඩ් වුල්ෆ් එහෙම ලියනවා හම්බන්තොට පැත්තෙ ඊනියා වංශක්කාරයො දිසාපති කාර්යාලයට ඇවිත් විරෝධය පාපු හැටි ගැන… ) .. ඒකත් ඒ කාලෙ අපේ හැටියට ප්‍රගතිශීලියි … මොකද රෙද්ද අඳින එකටත් කුළ තහංචි තියෙන සිස්ටම් එකකට වඩා “අඩු ගානේ තොපි ඔක්කොම ඕක හොඳට වහගෙන හිටපියව්” කියන සිස්ටම් එක සාපේක්ෂව ප්‍රගතිශීලියි…

මෙතෙන්දි අර ඉන්දීය අධිපතිවාදයේ ස්වාමි දියණියන්ගේ වස්ත්‍රය අපේ මානසික වහලුන් ඔවුන්ගේ සභ්‍යත්වය තුළ “උත්තම” කර ගත්තා සේම, බ්‍රිතාන්‍ය ස්වාමියන්ගේ වස්ත්‍රයත් උත්තම කරගෙන, ඔවුන්ගේ සදාචාර රේඛා, පරිමිතයන් උත්තම කරගෙන ස්වදේශික වහළුන් ෆැන්ටසියක් හදාගන්නවා….ඉන් පසුව ඒ ෆැන්ටසිය තුළ සිය ආත්මයට පරම ප්‍රමෝදජනක ස්ත්‍රීත්වය දකිනවා….

ෆැන්ටසිය : “ගවුම අඳින, අධිරාජ්‍ය හිමියන් කියා දුන් ක්‍රිස්තියානි – වික්ටෝරියානු සංවරය සුරකින, ශ්‍රේෂ්ඨ, නිකැළැල්, දේවභාෂිතෝපගත ස්ත්‍රිය”

ඊට පස්සේ ඒ ගොල්ල මේ ෆැන්ටසිය යථාර්තයක් බවට පත් කරගන්න ක්‍රමානුකූලව ට්‍රයි කරනවා….ඒ සඳහා සමාජ චින්තනය සකසනවා…කාළයක් ගියාට පස්සෙ අර ෆැන්ටසිය අනුක්‍රමික රියැලිටියක් වෙනවා….ඔන්න දැන් අපට වික්ටෝරියානු යුගයේ අපේ සීයලා, බාප්පලාගේ ෆැන්ටසියේ හිටපු ස්ත්‍රිය රියැලිටියෙත් ඉන්නවා…

නමුත් පශ්චාත් ලෝක යුද සමයෙදි සුද්දො කියන සභ්‍යත්වය, සදාචාරය, හැසිරීම, හැදිච්ච කම, හොඳ නරක, යනාදියට තිබුණු සමාජ පිළිගැනීම මත කරන “ඒකාකෘතික” කරණය නවත්තලා “Personal Choice / Choice of the Individual” කියන නව මානය සොයාගෙන ගියා…නමුත් ඒ වෙනකොට අපිවත් වෙනස් කරන්න සුද්දා අපි ළඟ නොහිටපු නිසා අපි ඒ වෙනස් කමට ගියේ නෑ….අනෙක අධිරාජ්‍යය අමතක කරත්, සදේශපාලනිකව මේ වෙනස කරන්න තිබුණු අවස්ථාව එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ඇතුළු දේශපාලක නඩයක් විසින් වාසි තකා වික්ටෝරියානු පදනම මත විකෘති ජාතිකත්වයක් ගොඩ නැගීම තුළ දියවී ගියා….මීට කළින් සුචරිතවාදී “වීරයන්” ඇතුළු ඊනියා නිදහස් සටන්කරුවන් මේක කරන්න ගිහින් ඇනගෙන නෝණ්ඩි වුනේ ඔවුන්ට මේ වෙනස් කම් ඝණීභූත කරන්න අවශ්‍ය කේන්ද්‍රයේ දේශපාලනික බලය නොමැතිකම නිසා…..නමුත් බණ්ඩාරනායක ප්‍රමුඛ පිරිසට ඒ අඩුව පිරිමැහුණු නිසා ඔවුන් මේක කොහොම හරි කර ගත්තා…අන්න ඒ විකෘතිය මුල් වරට ග්‍රහණය කරගෙන එදා ඉඳන් අද වෙනතුරු ඒක කරපින්නාගෙන ඇවිදින එවුන්ට අපි කියනවා ඊනියා ’56 දරුවෝ කියලා…සුද්දා පුද්ගල නිදහස කියන මානය තුළ වඩා දීප්තිමත් සභ්‍යත්වයක් සොයා ගත්තා….අපි තාම සුද්දා ඉතිරි කරලා ගිය පිළිණු වෙච්ච කෑම පීරිසිය දිවි හිමියෙන් රකිනවා…

මෙතනදි වෙච්ච ලොකුම කරුමෙ තමයි මේ ජනප්‍රියවාදී 56 විකාරය ඊනියා “වාමාංශික දේශපාලනයක්” ලෙසට මේ සමාජයේම කොටස් විසින් හඳුනා ගනු ලැබීම….ඔවුන් මෙය “අධිරාජ්‍ය විරෝධී වමේ ව්‍යාපාරයක්” ලෙස හඳුන්වා ගැනීම තුළ වමටත් පිරිස් බලය රැකගැනීම සඳහා මේ අදහස් තමන්ගේ අදහස් අස්සට දාලා චට්නියක් හදාගන්න සිද්ද උනා….මේ “අපේ ක්‍රමයේ සමාජවාදය…අපට ගැළපෙන සමාජවාදය…මාක්ස්වාදයේ අපිට ගැළපෙන අර්ථකතනය” කියන්නෙ ඒකට….

අද මේ මොහොත වනවිටත් ඉන්න ඊනියා වාමාංශිකය, විප්ලවවාදීන්ය කියාගන්න කොටස මේ අතින් වික්ටෝරියානු සිංහල බෞද්ධ සදාචාරවාදීන්ට දෙවැනි නෑ…..විශ්ව විද්‍යාලයේ පළමු වසර කෙල්ලන්ට කලිසම්, ත්‍රී ක්වාර්ටර්ස් ඇඳීම තහනම්…ගවුම් සායවල් විතරයි අඳින්න පුලුවන්….නියෝගය ඊනියා රැඩිකල් ශිෂ්‍ය සංගම් වලින්…මෙරට සාම්ප්‍රදායික වමේ ව්‍යාපාරයත්, එයින් ඉච්ඡා භංගත්වයට පත්වූවන් කැඩී වෙන්වී හදාගත් රැඩිකල් වාමාංශික ව්‍යාපාරත් මේ ගුඩු වෙච්ච මානසික තත්වයන්ගෙන් රට මුදවා ගනු වෙනුවට කලේ ඒක තවත් තීව්‍ර කරන්න උදව් කිරීම….ඔවුන්ට ශාස්ත්‍රීයත්වය සප්ලයි කරන්නෙත් අර 56 දරුවන් හෝ ඔවුන්ගේ පරිණාමික අවස්ථා….

මේ තමයි අපි යථාර්තය ලෙස දකින, අපි යථාර්තය තුළ සම්මත කරන, අනුමත කරන ගැහැණිය….

ඉතින් තවමත් Stereotyping ප්‍රබල විදියට ක්‍රියාත්මකයි…

“ගැහැණු ළමයෙකු වනාහි… මෙන්න මේවා, මේවා, මේවා, මේවා….තිබෙන….මේ, මේ ග්‍රන්ථවල, ශුද්ධ ලියවිලි වල, කයි කතන්දර වල, පඬි ටෝක්ස් වල, ජන ප්‍රවාද වල තියෙන පරිදි වන….මෙන්න මේ මේ ලේඛකයන් අප කෙරෙහි පතළ මහා කරුණාවෙන් ලියූ සිරිත් මල්දම, අරක, මේක අනුව හිතන පතන … කෙනෙකු වන්නේය”

ඉතින් පරිපූර්ණ යුවතියක, කාන්තාවක ලෙස සමාජයේ පිළිගැනීමට ලක්වෙන්න, සමාජයෙන් ප්‍රතික්ෂේප වීමෙන් වැළකෙන්න කාන්තාවන් මේ ස්ත්‍රිත්වයේ අර්ථ නිරූපණයට කීකරු වෙනවා…ඇයට වෙන කරන්න දෙයක් නෑ කීකරු වෙනවා ඇරෙන්න….”හොඳ කෙල්ලෙක් වෙන්න මේ වගේ වෙයන්!” කිව්වාම ඒ වගේ වෙනවා…

ෆැන්ටසි – රියැලිටි ගැටුම

මේක වඩාත්ම භයානක අතට හැරෙන්න ගත්තෙ අපි දියුණු ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ ප්‍රවාහයන්ට නිරාවරණය වෙන්න පටන් ගත්තාමයි…

තොරතුරු තාක්ෂණය හරහා අපට ලිබරල් ධනවාදී සමාජයේ වාණිජමය උත්සාහයන් + ලිබරල් සභ්‍යත්ව පරාමිතීන් එකතුවක් එනවා…”Baywatch” එකේ චූටි ස්විම් සූට් ඇඳගෙන පිරිපුන් ඇඟවල් තියෙන කෙල්ලො නිරුවත් තට්ටම් නටව, නටව ඇවිදිනවා….කෙල්ලො “සිනා නොමසෙන් දසන් දක්වා” කුඩු කරලා හයියෙන් කෑ ගහනවා…හැන්ඩි කොල්ලෙක් දැක්කොත් ඌ එක්ක ත්‍රිල් ගන්නවා…..කෙල්ලො කොල්ලො කිසි භේදයක් නැතුව නිදහසේ, සතුට බෙදාගෙන ජීවිතේ උපරිම වින්දනයක් ලබන්න උත්සාහ කරනවා අපේ අයට මාධ්‍ය හරහා පේනවා…

සුද්දො හොඳට සෙක්ස් කරලා ෆන් ගන්නවා…නව යොවුන් කොල්ලො කෙල්ලො හොඳට සෙක්ස් කරනවා…නිදහසේ පාටි දානවා…බොනවා…ලිංගිකත්වය උද්දීපණය කළ හැකි විලාසිතා අත්හදා බලනවා…ජීවිතයේ තෘප්තකර හැඟීම් පෝෂණය කිරීම උපරිමයෙන් කරනවා….මේ මාධ්‍ය හරහා එන්නේ ඔවුන්ගේ සමාජයේ රියැලිටි වල එකතුවක් උනත්, ඒවා කරන්න නිදහසක් නැති අපේ අයට ඒක ෆැන්ටසි වෙනවා…අන්න ඒ මාධ්‍ය හරහා දකින බටහිර අයගේ රියැලිටියෙන් අපේ පසුගාමී සමාජ වල අලුත්ම පරම්පරාවේ අයට ෆැන්ටසියක් හැදෙනවා….

අර සීයලා, මුත්තලාට හැදුණු 18 වැනි සියවසේ වික්ටෝරියානු ස්ත්‍රිත්ව විවරණය සහිත ෆැන්ටසිය වගේම එකක් මෙයාලටත් හැදෙනවා….පරම ප්‍රමෝද ජනක ස්ත්‍රියක් මේ අයත් විවරණය කරගන්නවා….

21 වැනි සියවසේ ෆැන්ටසිය….

ඉතින් ඊට පස්සේ මේ 21 වැනි සියවසේ ෆැන්ටසිය හිසින් දරාගෙන, ඒ මනෝභාවය පිනවනන්න ඔවුන් රි‍යැලිටිය වෙත එනකොට රියැලිටිය තාම 18 වැනි සියවසේ…!…ඇයි ඉතින් සුද්දො අපිට 18 වැනි සියවසේ ෆැන්ටසිය හදල දුන්න නිසා අපි තාම ඒකෙ ඉන්නවා…සුද්දා එතනින් එහාට ගියා කියලා අපි දන්නෙ නෑනේ…අපි තාම උන් 18 වැනි සියවසේ හිටපු තැන….

ඉතින් මේක දකින ඔවුන් ෆුල් හොල්මන් වෙනවා…ෆැන්ටසියේ ඉන්න සෙක්ස් වලින් ත්‍රිල් ගන්න ආස, කන බොන, විනෝද කාමී ගැහැණිය සිය නිදි යහනට ඇත්තටම ගෙනියන්න හිතාගෙන ඔවුන් පාරට බැස්සාම ඔවුන්ට හමුවන්නේ අර ඔවුන්ගේ අප්පලා, මහප්පලා, බාප්පලා, සීයලා ඔවුන්ගේ ෆැන්ටසිය අනුව රියැලිටියට ගේන්න කටයුතු කරපු ස්ත්‍රිය….ඇය සිපගන්න බයයි…පෙම්වතා සමග තනිවෙන්න බයයි…අතකින් අල්ලන්න බයයි…පොකුරෙන් ගැලවෙන්න බයයි…ලැජ්ජයි…නිදහසේ අදහස් ප්‍රකාශනයට බයයි….කයින් සහ මනසින් දෙමාපියන්ට සිරකාරියක්…

ඇයි තාම ස්ත්‍රිත්වයේ සමාජ සම්මත අර්ථ නිරූපණය තියෙන්නෙ අර 18 වැනි සියවසේ මොඩල් එකේ නෙ…?….සම්මතය තීරණය කිරීමේ වැඩි බලය තියෙන්නෙ වැඩිහිටියන්ට නෙ….එයාලා තාම අල්ලගෙන ඉන්නෙ සම්මතයේ එයාලගෙ නිර්වචන නෙ….ඉතින් තාම කාන්තාව අර යටගිය දවස ස්ත්‍රිත්වයට කීකරුයි….මොකද සමාජ ගැරහීමෙන් මිදෙන්න ඕන නිසා….”හොඳ කෙනෙක්” වෙන්න ඕන නිසා…

ඔන්න 21 වැනි සියවසේ ෆැන්ටසිය 18 වැනි සියවසේ රියැලිටිය එක්ක ගැටෙනවා….

ඔන්න ඉතින් නව පරපුරෙන් සමහරක් අය අර පෙර පරම්පරා කලා වගේම ඔවුන් ගොඩ නගන ෆැන්ටසියත් රියැලිටියට ගේන්න උත්සාහ කරන්න පටන් ගන්නවා…

එතකොට වැඩිහිටියෝ ඔවුන්ගේ රියැලිටිය රැක ගන්න මෙහෙන් අදිනවා….තරුණ පරපුර එහෙන් අදිනවා…මේ කඹ ඇදීමේ ප්‍රතිඵලයක් ලෙස “ඔලු දෙකේ බූරුවෙක්” නිර්මාණය වෙනවා…

මේ ඔලු දෙකේ සමාජ බූරුවාගේ එක ඔලුවක් ලිබරල් චර්යා දේශනා කරනවා….ඒ අතට අදිනවා…අනිත් ඔලුව අධි සංරක්ෂණ වාදී ආදි කල්පිත අදහස් දේශනා කරනවා… ඒ අතට අදිනවා…

මේ බූරුවා හමුවට පමුණුවනු ලබන සමාජ ජීවියා Full Confuse වෙනවා….ඒ Confuse වීමේ ප්‍රතිඵලය වෙන්නෙ අසහනය සහ පීඩනය….

ඊට පස්සෙ කකුලක් දැක්කොත් මළ පනිනවා….දුක් විඳිනවා….ඒ දුකේ Focal Object එක ස්ත්‍රිය කියලා හිතාගෙන ඒ පීඩනය ඇය මතින් යවනවා….ගෑණුන්ට කුණු හරුප කියලා, ජැක් ගහලා, අවයව මිරිකලා, ගොසිප් හදලා, ඒ ද්වේෂය පිට කර ගන්නවා…

ෆැන්ටසිය රියැලිටිය කරගන්න දඟලන දැඟලිල්ලෙ භයානකම අවස්ථාව තමයි ස්ත්‍රී දූෂණය…..

ඉල්ලුම තිබෙනවා දරුණුවට….ඉල්ලුමට සරිලන සැපයුම ලොවෙත් හොයාගන්න නෑ…ඊළඟට බිහිවෙන්නෙ උද්ධමනය…සමාජය පැත්තෙන් බැලුවොත් අසහනය…උග්‍ර අසහනය…අවසානයෙදි පීඩනය පුපුරා යන්නෙ අනෙක් හැම පීඩනයකම වගේම ප්‍රචණ්ඩත්වය හරහා….පීඩනය වාන් දමන්නෙ ප්‍රචණ්ඩත්වයේ ඇළට…..

ඉතින් කාව හරි එල්ලුවොත් මේක හරි යාවි කියලා හිතෙනවද?

සුජී ප්‍රස්තුතය – රුදාවට කරන පසු කියැවීම

මෙයට පෙර මේ සම්බන්ධයෙන් ලියන ලද ලිපියට, මෙවන් උඩුගං බලා පිහිණීම් වල යෙදෙන අතළොස්සට එල්ලවන්නා වූ සරලතම චෝදනාව වන “සදාචාරවාදියා” යන චෝදනාව ( මා මෙය චෝදනාවක් ලෙස පිළිගන්නේ මා සදාචාරවාදියෙකු නොවන නිසාය…මම පව් කර ඇති නිසා ගල් ගැසීමෙන් වැළකී සිටිමි…සදාචාර වාදියෙකු වන්නට හැක්කේ කවර කළකවත්, සිහිනෙන්වත්, රහසින් වත් පවු නොකළ කෙනෙකුටය..) මෙම ලිපිය බුකියට ගිය පසුව අපටත් එල්ල වී ඇත…ඒ නිසා යමක් ලිවිය යුතුය…මට සදාචාර වාදියෙක් වෙන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ…මොකද මම පව් කරපු, පව් කරන සහ ඉදිරියටත් පව් කරනු ඇතැයි සිතන සාමාන්‍ය මනුෂ්‍යයෙක්…මම විමුක්තිකාමියෙක් නෙමෙයි….කාටවත් විමුක්තිය උදාකර දෙන්න, රට හදන්න, සමාජය හදන්න මට රුදාවක් නෑ….ඊට වඩා හොඳයි කීයක් හරි හම්බ කරගන්න එක….නමුත් මේක ගැන මෙච්චර ලියන්නෙ ඇයි කියලා කියෙව්වාම වැටහෙයි…

නිකොලායි නෝසොව් ගැන 80 දශකයේ ළමා කාලය ගත කළ සියල්ලෝම අසා ඇතුවාට සැක නැත….දැදිගම රුද්‍රිගු ශූරීන් විසින් ලක්දිව ළමා පරපුරට දායාද කරන ලද නෝසොව්ගේ “The Adventures of Neznaika and His Friends” හෙවත් “වැඩබැරි දාසගේ කථා” උක්ථ කුළකයට අයත් අය පරිශීලණය කර ඇතැයි සිතමි…මේ කථා මාලාවේ එන “වැඩබැරි දාස චිත්‍ර ශිල්පියෙකු වූ හැටි” පොත සිහියට නගා ගන්න…

වැඩබැරි දාසගේ සංගීත වාදනය අසා ඔහු එළවා ගත්තායින් පසුව හෙතෙම චිත්‍ර ඇඳීමට තීරණය කළා..මේ චිත්‍ර වලට ඔහු වස්තු බීජය කරගත්තේ ඔහුගේම යහළුවන් … උදා: කඩිනම් රාළ, ඈනුමා, බොත්තම් පැංචා, දක්ස පාල, එරඬු තෙල් දොස්තර, ඉස්කුරුප්පුවා සහ මුරිච්චියා ආදීන්…වැඩබැරි දාස මේ යාලුවන් විෂය කරගෙන අඳින චිත්‍ර වලදී ඒ යාලුවන් නියැළෙන වෘත්තීන්ට සම්බන්ධ යම්කිසි උපාංගයක් ඒ යාලුවන්ගේ ශරීරාංගයට එකතු කරලා ඇන්දා…උදා: එරඬු තෙල් දොස්තරව ඇන්දෙ නහයට උණකටුවක් සම්බන්ධ කරලා, තමන්ගේ චිත්‍ර ගුරු වෙච්ච වර්ණපාල ව ඇන්දේ නහයට පින්සලක් දාලා….දක්සපාලව ඇන්දේ පොතක් ඔලුවට අලවලා….රැයක් එළිවෙනකල් මෙයා ඒ ගෙදර ජීවත් වෙච්ච අනෙක් අයගේ චිත්‍ර ඇන්දා…ඇඳලා පහුවදා උදේ යාලුවො ටික අවදි වෙනකොට ඇවිත් බලන්න ප්‍රදර්ශණයක් හදල තිබ්බා…

උදෙන්ම අවදි වෙච්ච එක් එක් යාලුවා පහළට ඇවිත් චිත්‍ර බැලුවා…උදා: මුලින්ම අවදි උනේ එරඬු තෙල් දොස්තර…එයා පහළට ඇවිත් අනෙක් යාලුවන්ගේ චිත්‍ර බලලා, ඒවායේ විකෘතීන්ට බඩ අල්ලගෙන හිනා උනා…හිනා වෙන ගමන් මෙහෙම කිව්වා…

” වැඩබැරි දාස හැබෑ දක්ෂයෙක්….මගේ ජීවිතේට මම මෙච්චර හිනා වෙලා නෑ”

හැබැයි ඔහොම චිත්‍ර බලාගෙන, බලාගෙන ඇවිල්ලා අන්තිමේදි තමන්ගේ ( ඒ කියන්නෙ එරඬු තෙල් දොස්තරගේ) චිත්‍රෙ ළඟට ආවා විතරයි කෝපයෙන් වෙව්ලන්න ගත්තා….ඊට පස්සෙ ප්‍රතිචාරය උනේ මෙහෙමයි…

“වහාම ඉරනවා මේ චිත්‍රෙ….!…නැත්තන් මම තමුසෙට මීට පස්සෙ බෙහෙත් කරන්නෙ නෑ”…..

අන්තිමට දොස්තරගෙ ගෝරනාඩුව නිසා ඒ චිත්‍රෙ ඉරන්න වැඩබැරි දාසට සිද්ද උනා….

ඔය විදියට පහළට එන අනිත් යාලුවොත් අනුන්ගෙ චිත්‍ර වලට උඩ පැන පැන හිනා උනා…අන්තිමට තමන්ගෙ චිත්‍රෙ ආවාම කෝපයෙන් ගොරවලා “ඉරපිය!” කිව්වා….

දැන් ඔය කථාව ඇප්ලයි කරගන්න මේ දිනවල සිද්ද වෙන සමූහ සයිබර් හිංසනයන්ට එකතු වෙන අය….

ඔෂානි, බී.එම්.ඩබ්ලිව් එකෙන් ආපු කාන්තාව, මේ කථා ප්‍රස්තුතය වෙච්ච මැද පෙරදිග කාන්තාව, වාරියපොළ අමල්කා, ඔය හැම කෙනෙක්ටම තළු මර මර දහස් ගණනක් එකතු වෙලා පහර දෙනවා…ඒ අය කියපු දේවල් වලින් උප-සංස්කෘතික ටැග් ලයින් හදා ගන්නවා…නේද?…ඒ අය වෙනුවෙන් හෝ ඒ අය විසින් හදපු පේජ් වලට ගිහින් පතුරු යන්න ගහනවා…කමෙන්ට් කියවලා විනෝද වෙනවා…ඒ කමෙන්ට් වල තියෙන සුපිරි නිර්මාණශීලීත්වය ඇගයීමට ලක් කරනවා…අදාළ ප්‍රහාරයේ වින්දිතයො වෙච්ච අයට “ලණුවක් එවන්නද? සාරියක් එවන්නද?” කියලා අහනවා…මොකද සවිඥාණිකව ඒක විහිළුවට කිව්වට, අවිඥාණිකව අදාළ යෝජනාව කරන අය ඒ වින්දිතයන්ට නිර්දේශ කරන්නෙ සිය දිවි හානි කර ගැනීමෙන් මේ අපහාසයෙන් මිදෙන්න කියලා…

මේවා හරි රසවත්…මාර රස වින්දනයක් ගන්න පුළුවන්…ඒ කමෙන්ට් එහෙම වෙන වෙන තැන්වල ගෙනත් යාලුවන්ට කිව්වාම මාර රසවත්….තමන් Latest Trend එක Follow කරන, මොඩර්න් පොරක් හෝ පොරියක් කියලා යාලුවන්ට පෙන්න ගන්න පුළුවන්…එතකොට කෙල්ලො හිනස්සලා, ඒ කෙල්ලන්ට Popular creative අයියා කෙනෙක් වෙන්න පුලුවන් නේ…?…වාසි ගොඩයි….

උදා: ” ඔය ෆෝන් එක දීපන් ළමයෙකුට” කියන එක…එතකොට “ඔය ත්‍රෙඩ් කියවන්න යන අය චුවින්ගම් අරගෙන යන්න”…”කමෙන්ට් බලන්න යන අයට කඩල, රටකජු” වගේ ඒවා..

මිනිස් සමාජය මුලින්ම මේ භෞතික ලෝකයේ, ඒ කියන්නේ ග්‍රහ ලෝකයේ පොළව මත අනුක්‍රමිකව පරිණාමය උනා…අමු අමුවෙ ගොදුරු සොයන, අමු අමුවෙ ලිංගික එක්වීම ලබා ගන්නා තැනින් ක්‍රමයෙන් ආවා ඒවාට නීති, රීති පනව ගත්තු තැනකට…ඊට පස්සෙ ආවා ඒ නීති රීති ටික ටික සුමට වෙන තැනකට…කවුරු හරි වැරදි කාරයෙක් කියල කටකථාව ගිය ගමන් කට්ටිය සෙට් වෙලා ඒ කෙනාට ගල් ගහල මරණ තැන ඉඳලා, ගරු අධිකරණයක සංකීර්ණ නෛතික ක්‍රියාදාමයකින් සියළු සැකයෙන් තොරව යම් කෙනෙක් වරද කරුවෙක් කියලා ඔප්පු කරලා දඬුවම් දීම දක්වා ආවා…

මේ සයිබර් එක කියන්නෙ වර්චුවල් ග්‍රහලෝකයක්….මේ පෘතුවිය නම් වූ භෞතික ග්‍රහලෝකයේ සමාජ පරිණාමයෙන් අපි “මැග්නා කාර්ටා, ඉංග්‍රීසි විප්ලවය, ප්‍රංශ විප්ලවය, පුරවැසි අයිතිවාසිකම් කෙටුම්පත්, මානව හිමිකම් ප්‍රඥප්ති” පහුකරගෙන හුඟක් දුර ඇවිත් හිටියට, සයිබරයේ මිනිස් වර්ගයා ලබපු දෙවැනි උප්පත්තියෙන් පසුව තාම එතන සමාජ පරිණාමය තියෙන්නෙ ගල් යුගයෙ….ඒ කියන්නෙ අපි පෘතුවි ග්‍රහ ලෝකයේ කෙතරම් දුර ආවත්, සයිබර් ග්‍රහ ලෝකයේ මුළ ඉඳන් යන ගමනක තාම ඉන්නෙ මුල හරියෙ….ඒ කියන්නේ සමූහ වශයෙන් සතුන් පස්සෙ එලවලා, ඌව අමු අමුවෙ මරාගෙන ලේ පිටින් පුච්චගෙන කාලා, ගිණි මැළයක් වටේ නටලා, “ටෝටම්” එකකට පසඟ පිහිටුවලා වැඳලා, ගල් ගුහාවට වැදිලා ස්ත්‍රියක් බලහත්කාරයෙන් හෝ කැමැත්තෙන් හාන්සි කරගෙන රමණය කරන යුගයෙ….

නිකමට හිතන්න ඔබ මේ නූතන සමාජයේ ඉඳලා එක පාරට ක්ෂුද්‍ර කුහරයක් හරහා රජ කාළෙට විසි වෙනවා….ඔබ මොනතරම් පරිස්සම් වෙන්න ඕනද?….අද කාලේ ලෙඩවලට තියෙන බෙහෙත් ඒ කාලෙ නැහැ….අද තියෙන මානව හිමිකම්, පුද්ගල අයිතිවාසිකම්, දියුණු නීතිය ඒ කාලෙ නෑ….අද තියෙන විවෘත භාවය ඒ කාලෙ නෑ….වන සතුන් සහ වනය ඔබ මත ආධිපත්‍ය පතුරුවන, ප්‍රාථමික දේශපාලන ව්‍යුහයක් තියෙන ඒ කාලෙ ඔබ මොනතරම් පරිස්සම් වෙන්න ඕනද රැකිලා ඉන්න…?…සයිබරයත් ඒ වගේ තමයි කියලා වෙලාවකට හිතෙනවා….

කාව හෝ ඉලක්ක කරගෙන කරන දරුණු සමූහ හිංසනයක් අතරෙ තමන්ගේ නිර්මාණශීලීත්වය පෙන්නලා පොරක් වෙන්න කදිම අවස්ථාවක් පෑදෙනවා….අපිත් ඔය වින්දනය කාළයක් ගත්තා…..

අරාජික හිංසනය අනුමත කරන කිසිම කෙනෙක්, ඒකෙන් ලබන වින්දනය උපරිමෙන් අරගෙන එහෙම ගන්න එක සාධාරණීකරණය කරන කිසිම කෙනෙක්, තමන් හෝ තමන්ගේ ආදරණීයයන් ඒ ප්‍රහාරයට යම් දවසක ලක් වුනොත් “හිස ගිනි ගත්තෝ එගිනි නිවන ලෙස” සාධාරණය, යුක්තිය සොයාගෙන දුවනවා මිසක්, එදාටත් “අඩෙ අප්පා මාර ක්‍රියේටිව්” කියලා ඒ ප්‍රහාරය රස විඳින්නෙ නැහැ…..

තමන්ගෙ අම්මට, නංගිට, පෙම්වතියට, ළඟම මිතුරියට ඔය වගේ සමූහ සයිබර් ප්‍රහාරයකට මුහුණ දෙන්න උනොත්, එදාට මුහුණ අඳුරු කරගෙන, ද්වේෂයෙන් වෙව්ලමින්, නිහඬව, හිස පහතට නමාගෙන, අදාළ ප්‍රහාරකයන්ගෙන් පළි ගන්න හැටි කල්පනා කරනවා මිසක් “අඩෝ මොනව උනත් ඒකිට අරුන් කියල තියෙන ඒවට හිනා යනවා මචං…ඒවා ආතල් මචං…පට්ට ක්‍රියේටිව්!” කියාගෙන මිතුරන් අතරට යන කිසිවෙක් නැතැයි උපකල්පනය කරමි…

මේ පාඩම ඔබට එක්කෝ පහසු විදියෙන් ඉගෙන ගත හැක….නැතිනම් අමාරු විදියෙන් ඉගෙන ගත හැක….මින් පෙර මේ ගැන ලියන ලද ලිපියේ අවසානයට මෙම ලියුම්කරුවා පෙන්වා දුන් අවදානම මෙතැනත් යළි ගෙනහැර දක්වමි…ශ්‍රව්‍ය, දෘෂ්‍ය, සචල-අචල පටිගත කිරීමෙ පහසු කම් සුලභ, ඒවා ප්‍රචාරය කිරීම සඳහා නාමික සහ නිර්ණාමික මාධ්‍යයන් සුලභ මෙවැනි වකවානුවක, අප සහ අපගේ ළබැඳියන්ගේ ජීවිත ඇත්තේ විශාල අන්ත්‍රායකය…අපගේ එක් සුළු නොසැලකිලිමත් මොහොතක් අපව ඒ ප්‍රහාරයට ගොදුරු කරවන වස්තු බීජය විය හැක…

දැන් සතිපතා ලාංකික සයිබරයෙ සිද්ද වෙන්නෙ මොකක්ද?…හිතන්න මෙහෙම….කවුරු හරි සතියක් පුරා ගමක පිට්ටනියකට කාන්තාවක් ඇදගෙන ඇවිත් ඇයව ප්‍රසිද්දියෙ නිරුවත් කරලා රෑ එළිවෙනකල් දූෂණය කරනවා….ගමේ මිනිස්සු ඔය දූෂණය යන අතරෙ පිට්ටනිය වටේට කතුරු ඔන්චිල්ලා හදලා ටිකට් විකුණනවා…මාරක ළිඳක් ගෙනත් හයි කරලා මෝටර් සයිකල් ධාවනය පෙන්නනවා…මෙරි-ගෝ රවුන්ඩ් යනවා….ෂෝට් ඊට්ස්, කඩල, රට කජු විකුණනවා…සතිය පුරාම ඇයව සෑම දිනකම රෑ එළිවෙනකල් පිට්ටනිය මැද්දෙ දූෂණය කරනවා…සතිය පුරාම ඒ සිද්ධිය වටේට විශාල සැණකෙළියක් පවත්වනවා….මේක තමයි දැන් ඔබ සතිපතා දකින දේ…කවුරු හරි කාට හරි ප්‍රහාරයක් ආරම්භ කළාම අනෙක් අය දහස් ගණනින් එකතු වෙලා සිය නිර්මාණශීලීත්වය පාවිච්චි කරලා ඒ ප්‍රහාරය විවිධ අයුරින් හැඩවැඩ කරනවා…

සුළං රැල්ලකට ඔබේ නංගි ඇඳන් ඉන්න ගවුම ඇයට නොදැනුවත්ව පොඩ්ඩක් උඩ යෑම, ඔබේ බිරිඳට වෙළඳ පොළේ වෙළෙන්දෙකු සමග බහින්බස් වීමට සිදුවීම, ඔබේ පෙම්වතිය මගදි ඇයට සිදුවන හිංසාවකට ප්‍රතිචාර දැක්වීම, ඔබේ මිතුරියට මාරු සල්ලි නොදුන් කොන්දොස්තරගෙන් මාරු සල්ලි ඉල්ලා සිටීම වැනි සිදුවීමක් ඇය දහස් ගණනක් සහභාගී වන සයිබර් විනෝද සැණකෙළියක ඉලක්කය කරන්න හොඳටම ප්‍රමාණවත්....අද අනුන් වටා ඉදිවන සයිබර් සැණකෙළි වල ඔබ ලබන වින්දනය එදාටත් ඔබට ලබන්න හැකිනම්, “මගේ නංගි, පෙම්වතිය, අම්මා, යෙහෙළිය සමාජයේ නිර්මාණශීලීත්වය ඔප් නැංවීමට දායක වූවා” නේදැයි ඔබට චිත්ත ප්‍රීතියට පැමිණිය හැක….

එහෙම බැරි නම් ඉතින් කවුරු හරි කාන්තාවක් පිට්ටනියක් මැදට ගෙනත් නිරුවත් කරලා දූෂණය කරනකොට, එතන වටේට බකට් එල්ලලා, ලයිට් වැල් දාලා ලස්සන කරන්න යන්නෙ නැතුව ඉන්න එක නුවණට හුරුයි කියලා නිකන් හිතාගත්තට වරදක් නෑ….නිකමට කියන්නෙ මේ…ගුරුහරුකම් උපදෙස් දෙනව එහෙම නෙමෙයි…වැඩිය ගණන් ගන්න එපා…

සයිබර් කැළණි ගඟට දැවිතෙල් දමන්න එපා…මක් නිසාද ඔබේ පයිප්පයට එන්නේත් ඒ ජලයමයි….

වාරියපොළ අමල්කාට යුක්තිය ඉටුවීම !

තිළිණි අමල්කා නොහොත් මෙරට ජනතාවගෙන් 21.9% ක් පමණ  “වාරියපොළ අක්කා / නංගි / කෙල්ල” ලෙස අනන්‍යතාවයක් ලබා දුන් තරුණියට මේ වනවිට යුක්තිය ඉටු වී තිබේ…ඒ ඇයට වාරියපොළ බස් නැවතුමේදී අඩන්තේට්ටම් කළ, සංඥෙයිය හිංසනයකට ලක් කළ බවට එල්ල වූ චෝදනාවන්ට වැරදිකරු වූ “සෙල්වා” නම් තරුණයාට සය මසක සිර දඬුවමක් සමග රුපියල් ව්සි පන්දහසක මුදලක් වන්දි වශයෙන් ගෙවන්නට දණ්ඩ නීති සංග්‍රහයේ 1995, අංක 22 දරණ සංශෝධනය ප්‍රකාරව ගරු අධිකරණය නියෝගයක් නිකුත් කිරීම නිසාය….

මෙම තීන්දුව සැළවීමත් සමග ඇයට එම සිද්ධිය සිදුවූ වකවානුවෙහි එල්ල වූ දැවැන්ත සයිබර් ප්‍රහාරයේ ඉතුරු බිතුරු යළි පණගැන්වී අවලාද නැගීමටත්, සෙල්වා නැමැත්තා පිළිබඳව අනුකම්පාවක් ජනිත කරවන කථා කීමටත්, සෙල්වා “දුකට පත් සහෝදරයෙකු ලෙස” හඳුන්වා දෙන්නටත් පටන්ගෙන ඇත….

ලාංකික ජන සමාජය සුපුරුදු පරිදි මෙම සිද්ධියත් ඩැහැගත්තේ වලිගයෙනි…එය සදේශපාලනිකව සමකළ හැක්කේ ආර්. සම්බන්දන් මහතා විපක්ෂ නායක ධූරය ලබාගැනීම අරඹයා ඔහු අයත් නොවන බව කියන මෙරට බහුතර ජන වර්ගය දක්වන ලද, සහ දක්වමින් සිටින ප්‍රතිචාරයන්ටය…

සංකල්පමය වශයෙන් දියුණු, සංකීර්ණ සමාජ ව්‍යුහයක් කාළානුරූපීව විකසනය නොවූ සහ නූතනයේ ජාත්‍යන්තරව ශිෂ්ඨ යැයි සම්මුතිගත හර පද්ධතීන් පිළිබඳව අවබෝධයකින් කරන ප්‍රකෘති දේශපාලනයක් නොමැති වූ සමාජවල බොහෝ විට සමාජ සම්මත පීඩකයන් සහ සමාජ සම්මත පීඩිතයන් සිටිති….මෙයට උදාහරණ ලෙස:  “මහ ජාතිය සහ සුලු ජාතිය / ජාතීන්, විදේශ වලින් පැමිණි සංක්‍රමණිකයන් ( ශිෂ්ඨාචාර ගත වූයේ සංක්‍රමණික ප්‍රවාහයන් නිසා නම් “පෙර සංක්‍රමණිකයන් සහ පසු සංක්‍රමණිකයන්” ) , කුළවතුන් සහ කුළ හීනයන්, පුරුෂයන් සහ ස්ත්‍රීන් වශයෙන් දැක්විය හැක…

මෙහිදී සමාජ සම්මුතිගත පීඩකයන්, එකී සම්මුතිගත පීඩිතයන්ට කරනු ලබන පීඩාවන් අදාළ සමාජය ඉවසා වදාරති…එසේ ඉවසා වදාරන්නේ බොහෝ විට මිථ්‍යාමය හෝ පාර-භෞතික ප්‍රපංචයක් මත පිහිටා සිටය…එසේත් නැතිනම් යාවත්කාළීන නොවූ ඓතිහාසික සමාජ දැක්මක් මත පිහිටා සිටය…සමාජය මෙකී පීඩාවන් ඉවසා මුණිවත රැකීමක් සේ “සම්මත පීඩිතයන්ගෙන්” අපේක්ෂා කරති…

උදාහරණ රැසක් පහත පරිදි සැපයිය හැකිය:

1.ස්ත්‍රීන්ට සංඥෙයිය හෝ කායික අඩන්තේට්ටම් කිරීම පිරිමින්ගේ හැටියක් ලෙස හෝ “කොලු කම” ලෙස අර්ථ දැක්වීම….ස්ත්‍රියක් ගමන් කරන මාවතක දෙපස සිටින පුරුෂයන්ට ඇයට උසුළු විසුළු කිරීමට, නිග්‍රහ කිරීමට, අශ්ලීල යෝජනා කිරීමට හෝ වර නැගීමට ඉහත “කොලු කම / පිරිමි කම” හරහා බළපත්‍ර ලබාදීම…කාන්තාවක් හඳුන්වන ජනප්‍රිය අවප්‍රමාණික වදන් ( උදා: “කෑල්ල, බඩුව” ) ඊනියා යථාර්තවාදී සාහිත්‍යයට පවා යන තරමට සාමාන්‍යකරණය වීම….ඒබ්‍රහමික ආගම් ඇසුරෙන් මෙරටට පැමිණි “වස්ත්‍ර පීඩනය” සහ “වස්ත්‍ර අනන්‍යතාවය”…කායික අවශ්‍යතා වික්ටෝරියානු පරාමිතීන් මගින් හසුරුවනු ලැබීම….එසේ කරන ලද හැසිරවීම්, සීමාවන්ට යටත්ව සිටි බවට ඔප්පු කළ යුතු වීම.. ( උදා: මනාලියන්ගේ කන්‍යාභාවය පිරික්සීම )

2. දෙමාපියන්ට දරුවන් කෙරෙහි කායික හෝ මානසික දණ්ඩනය, නිග්‍රහය, නිදහස සීමා කිරීම, අයිතීන් උල්ලංඝණය කිරීම යනාදියට ඇති සදාචාරාත්මක යැයි කියන, සහ ජාතික අනන්‍යතාවයන්ට එකඟ යැයි කියන අයිතිය…

3. ප්‍රධාන ජන වාර්ගිකත්වය, හෝ ආගමිකත්වය සුළුතර ජනකොටස් හෝ සුළුතර ආගමිකයන් කෙරෙහි පතුරුවනු ලබන ආධිපත්‍යය…

4. ඊනියා කුළවතුන් කුළ හීනයන් කෙරෙහි දක්වන හැසිරීම්….

පීඩිතයා වීම එම කොට්ඨාශය සතු භූමිකාව වන අතර, පීඩිතයා වීම අනෙක් කොට්ඨාශය සතු භූමිකාව ලෙස අරුත් නගති…එම නිසා පීඩාවට පත් වන්නන්ට එම පීඩාව විඳ දරා ගැනීම සඳහා අතාර්කික වේදනා නාශක සපයති…

උදා: ” පාරක යනකොට ඔහොම තමයි… ඕවා ගණන් නොගෙන යන්න”… “කොල්ලෙක් විහිළුවක් කළාම ඔච්චර ඩෝං යනවද?”…”ගෑණියෙක් උනාම ඉවසන්න පුරුදු වෙන්න ඕන”….”පිරිමි වෙලා ඉපදෙන්නෙ පින් කරපු අය”…”ඒක දෙවියන් වහන්සෙගෙ කැමැත්ත වෙන්න ඇති”…

එය තමන්ගේ සංස්කෘතිය හෝ සමාජ සම්මතය බව හෝ එය ආගමික න්‍යායක් බව හෝ එය පීඩකයන්ගේ ශුද්ධ වූ අයිතියක් බව කීමත්, කෙසේ හෝ මේ පීඩිත ජීවිතය තුළ පින් රැස කරගැනීම, දෙවියන්ට කීකරු වීම ආදි අභෞතික ශක්තීන් එකතු කිරීම මගින් වෙනත් ජීවිතයකදී පීඩිතයන්ගේ වර්ගයෙන් මිදී පීඩක වර්ගයට එක් වන තෙක්, මේ පවතින පීඩාව ඉවසා වැදෑරීම යහපත් ස්ත්‍රියක් සතු යුතුකම සහ වගකීම මෙන්ම හැදියාව බව මෙවැනි සමාජයන් වල වැටත් නියරත් උදේ හවස වමාරති….

ඥාති වැඩිහිටියන් විසින් වයසින් බාළ අය උදෙසා පතුරුවනු ලබන ආධිපත්‍යයේ පීඩිතයන්ට  “ඔවුන්ගේම හොඳට” සිදුකරන්නක්ය යන උන්නතිවාදී කුටීරයේ බහාළනු ලබයි… “ගැහුවත් තාත්තනෙ පුතේ ! “…”අයියා කියන දේ අහන්න එපැයි හොඳ නංගිලා උනාම දුව !”යනාදි සදාචාර රචකයන් හරහා වේදනා නාශක සපයනු ලබයි…

මෙබඳු වූ සම්මතයන්ට එරෙහිව යමින් හෝ නොගැළපෙමින් සිදුවන දෑ වහාම ඉස්මතු කරනු ලබන අතර ඒවාට සකළ සමාජයේම ක්ෂණික අධි-අවධානයක් යොමුවේ…ඒවාට ලැබෙන්නේද බොහෝ විට අධි-ප්‍රතිචාර වේ…

උදා: සම්බන්ධන් මහතා යනු මෙරට ප්‍රථම දමිළ සම්භවයක් සහිත විපක්ෂ නායකවරයා නොවන අතර, ඒ මහතාට පෙර විපක්ෂ නායක ධූරය දැරූ දමිළ සම්භවයක් සහිත අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් මහතාගෙන් මෙරට ඒකීය භාවයට හෝ ප්‍රධාන ජන වර්ගයට හානියක් සිදු නොවිණි…ඒ මහතා කොටි ත්‍රස්තයන් අතින් ඝාතනයට ලක්වීම, කොටි ත්‍රස්තයන්ගේ ෆැසිස්ට්වාදී වියරුවට ඒ මහතා නියෝජනය කළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය කෙතරම් තර්ජනයක් වීද යන්න මනාව නිරූපණය වූවත්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් දමිළ සමාජයෙන් ආ සෘජු නියෝජනයක් වන සහ උගත් නීතිඥයෙකු, ත්‍රෛ-භාෂා කථිකයෙකු වන සම්බන්ධන් මහතාට විපක්ෂ නායක ධූරය ලැබීම විශාල විනාශයක පෙර නිමිති ලෙස බහුතර ජනතාවගේ ජන විඥාණය ඔවුන්ට බළ කරනු ලැබීම, එදිනෙදා සමාජයේ අපට බහුලව දක්නට ලැබේ…විපක්ෂ නායක ලෙස සම්බන්ධන් මහතාගේ ක්‍රියාකාරීත්වය නොදැකම ඒ මහතා නිසා රට විනාශයට යනු ඇතැයි නිර්ණය කිරීම දශක ගණනාවක් තිස්සේ ජානගත කරන ලද සම්මතයන් නිසා සිදුවන්නකි…එය අනෙකක් නොව, සම්බන්ධන් මහතා අයත් ජන වර්ගයට “අකැප” ලෙස සම්මත තනතුරු වලින් එකක් ඒ මහතාට ලැබීම කෙරෙහි දක්වන විරෝධය සහ ඒ මහතා තමාගේ වාර්ගිකත්වය විෂයෙහි ගෙනයන ස්වාධීන නියෝජනයට දක්වන විරෝධය සංකලනය වීමෙන් සෑදුණකි…

වාරියපොළ ඉමල්කා ගැන කියවා ගත යුත්තේද ඒ අයුරින්මය….ඇය ස්ත්‍රියක් වෙනුවෙන් සම්මත කරවා ඇති “නිහඬ වින්දිතයා” භූමිකාවෙන් මිදී, කාන්තාවකට සංඥෙයිය පීඩාවක් කර තෘප්තිමත් වීම සඳහා පුරුෂයාට සමාජය විසින් පවරා දී ඇති නිළ නොවන අයිතියට අභියෝග කර, තමන්ගේ මානසික පීඩාවට ප්‍රතිචාර දැක්වීම ඉතාම ප්‍රගතිශීලී ලක්ෂණයක් වුවද, මෙරට සමාජය එය මර්ධනය කළ යුතු පොදු අභියෝගයක් ලෙස බාර ගන්නේ ඉහත පැහැදිලි කරන ලද තත්වයන් නිසාය….ඇයට එල්ල වූ දැවැන්ත ඒකාබද්ධ සයිබර් ප්‍රහාරයෙන් එය මනාව පැහැදිලි වේ…මෙය අධි-ප්‍රතිචාරයක් වීම තුලම මේ තනි සිද්ධිය නිසා සමාජය කෙතරම් කලබල වී ඇතිද යන්නද වටහා ගත හැක….අයිතිය උදෙසා අතක් එසැවූ අයෙකු මර්ධනය කර දමන්නට එක්වූ සුවිශාල ජන සහභාගීත්වය තැතිගන්වන සුළු අඳුරු යථාර්තයකි…මේ වනාහි 21.9% ක් වූ මෙරට සයිබර් පරිහරණයට සබැඳිය සහිත ජන පිරිසය…ඔවුන් පරිඝණක උපාංග සහ පරිඝණක ජාල ගැන යම් අවබෝධයක් තිබීම හේතුවෙන් මෙරට 88.1% වූ සෙසු ජනයාට වඩා උගත්කම් සහිත, සුදුසුකම් සහිත වූවන් ලෙස පිළිගැනෙති….මේ තාක්ෂණික සාක්ෂරතාවයක් සහිත අන්තර්ජාලය නම්වූ දැනුම් පද්ධතියේ සරන සමාජ හරස්කඩෙහි තත්වයත් මෙසේ නම් ඉන් ඔබ්බේ කවුරුන් සිටීද, කුමක් කරාවිද යන්න වඩාත් ලොමු ඩැහැ ගන්වයි….

සැළකිල්ලට ගත යුතු අනෙක් කරුණ වන්නේ සයිබර් අවකාශයට පිවිස සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන සෑම අයෙකුටම “අධිකරණ බලතල, අධිකරණ පරීක්ෂණ සඳහා අවශ්‍ය පහසුකම්, තාක්ෂණය, පුහුණුව හෝ උගත් කම” නැතුවම විනිසුරු වරියක් හෝ විනිසුරු වරයෙක් වීමට ඇති හැකියාවයි….සයිබරයට මුදා හැරුණු වීඩියෝවේ තිබුණේ ඉමල්කාට අදාළ සිද්ධියෙන් භාගයක් පමණි….එනම් ඇය සෙල්වා නැමැත්තාට බැන වදිමින් පහර දෙන දසුන් පමණි….නමුත් ඇයට ඔහු කෙරෙහි එතරම් ක්‍රෝධයක් ජනිත කරවූයේ කුමණ කරුණක්ද යන්න එහි තිබුණේ නැත…උදෑසනක තමන්ගේ පාඩුවේ ගමනක් යන්න පැමිණෙන කෙනෙකුට තමා අත වරදක් නැතුව යම් හිංසනයකට මුහුණ දෙන්නට සිදුවුවහොත් එයින් උපදින කේන්තිය තදබල විය හැක…ඒ කේන්තිය සීමා මායිම් එක් එක් පුද්ගලයාට අනුව වෙනස්ය….මේ කිසිවක් සැළකිල්ලට නොගත් සයිබර් විනිසුරු වරුන් සහ විනිසුරු වරියන් ඔහු වරද කරුවෙක් වුවත් එම වරදට සමාව දී, ඇය වැරදි කාරියක් කොට නිග්‍රහ දණ්ඩනය ලබා දෙන ලදී….( වාසනාවට එම තරුණියට ඒ ප්‍රහාරය දරා ගැනීමේ හැකියාව තිබිණි…නො-එසේ නම එම නිග්‍රහ දණ්ඩනය මරණීය දණ්ඩනයක් වීමටද ඉඩ තිබිණි ) ..

සයිබරය තුළ දකින, අහන දෑ ඔස්සේ තීරණ, තීන්දු ගන්නා “විනිසුරුවරුන්” වන්නට පෙර, අත් අකුරෙන්, කථාවෙන් හෝ වීඩියෝවෙන් තමන්ට පෙන්විය නොහැකි බොහෝ යථාර්තයන් තිබිය හැකි බව තේරුම් ගන්නා ලෙස සයිබර් ප්‍රහාරයක් නිසා සිත් තැවුලෙන් සිය දිවි නසා ගත් කැනඩාවේ “ඇමැන්ඩා ටොඩ්” යුවතිය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කළ බ්‍රිටිෂ්-කොළොම්බියා ප්‍රධාන ඇමතිණිය වන ක්‍රිස්ටි ක්ලාක් පැවසුවාය…

අද දඩයක්කරුවා හෙට දඩයම වන සහ අද දඩයම හෙට දඩයක්කරුවා වන යුගයක අප ජීවත් වන්නෙමු…මෙසේ සිටින ඕනෑම මොහොතක සයිබරය බඳු වූ අපහැදිලි වර්චුවල් රියැලිටියක තමන් දකින දෙයින් ක්ෂණික තීන්දු වලට එළැඹෙන අය බොහෝ විට පසුව එවැනිම අවිචාරවත් “සමාජ විනිශ්චයක” ගොදුරු බවට පත්වෙති…” තමන් විනිශ්චය නොවීම සඳහා අනුන් විනිශ්චය නොකරන්නැ‍යි”  යේසුස් නම් තරුණ විමුක්තිකාමියාණන් පැවසූයේ එහෙයිනි…විනිශ්චය යනු සියළු ගෝචර මානයන්ට ඉහළින් සර්ව-මානයන් සියළු කාළයන්හීම දකිමින් සිටින දෙවියෙකුට හැර අන් අයෙකුට නිවැරදිව සහ සාධාරණව කළ හැක්කක් නොවන බව ඔහු දැරූ මතය විය…”විනිශ්චය” යන මොන තරම් ගැඹුරු බලගතු දෙයක්දැයි එයින් වැටහේ…

11703088_844843835597524_7530809878996488087_n

පුරුෂාර්ථය පදනම කරගත් “ගොසිප්” මාධ්‍යයන් සහ ප්‍රධාන ප්‍රවාහයේ සිටින අතරම සයිබර් නියෝජනයක්ද ලබාගෙන සිටින ඇතැම් මාධ්‍යයන් මෙම ප්‍රහාරයේ නියමුවන් වූහ…. මෙරට පමණක් නොව මේ ලෝකයේත් බහුතර මාධ්‍යයන් සහ මාධ්‍යකරණයට වෙන් කළ නොහැකි ලෙස හිසින් බද්ධ වී සිටින අළෙවිකරණය පදනම්ව ඇත්තේ පුරුෂාර්ථයන් සහ පුරුෂාධිපත්‍යය මතය….වින්දනය සහ අර්ථය හැමවිටම පුරුෂයා ඉලක්ක කරගෙන සපයනු ලබන අතර, “කාන්තාවන් සඳහා වෙන් වූ” වැඩසටහන් බව කියන ඊනියා වැඩසටහන් වලද “ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්, ගෙවල් දොරවල් පිළිවෙල කරගන්නා හැටි, කොකා කෝලා බෝතලයේ හැඩයට සිරුර හදා ගන්නා හැටි, මුහුණේ වලවල් වසාගන්නා හැටි, කොණ්ඩෙ කෙළින් කරගන්නා හැටි” යනාදි පුරුෂයාම පිනවන, පුරුෂයාම සන්තර්පණය කරන, පුරුෂයාම පෝෂණය කරන උපදෙස් මිස අන් කිසිවක් නොවේ….ඊනියා පෞර්ෂ වර්ධනය ලෙස කාන්තාවන්ට සම්ප්‍රේෂණය කරනු ලබන්නේද වැඩි වැඩියෙන් පිරිමියා ඉදිරියේ “සෙක්සි” වෙන ආකාරය මිස ආත්ම ප්‍රගතියට අදාළ කිසිවක් නොවේ….

එසේ හෙයින් උක්ථ ප්‍රහාරයේදී මාධ්‍ය නියමුවන් ලෙස කටයුතු කිරීමෙහි අරුමයක් නැත….

කාන්තාවක් පෙළීම අරමුණු කරගත් මෙම ප්‍රහාරයට සුපුරුදු පරිදි කාන්තාවන්ද එක්වීම තවත් සාමාජීය හරස්කඩක් නිරූපණය කරන ලදී…”කොණ්ඩෙ කෙළින් කරගන්නා හැටි මිස කොන්ද කෙළින් කරගන්නා හැටි කිසිදු මාදිලියක උපදේශණ සේවාවකින් නොලද” මෙරට කාන්තා පරපුරෙන් අති බහුතරය තමා මත පටවා ඇති අවිචාරවත් මතවාද තමන්ගේ ජන්ම උරුමය ලෙස සළකා ඒවාට සාමූහික වගකීමක් ලෙස යටත් වී සිටිති…ඔවුන්ටද විවිධ හේතූන් මත, සමාජය වැල්ලේ ඇඳි ඉරට එපිටින් අඩියක් තැබූ යුවතිය වෛරස් ආක්‍රමණයක් ලෙස පෙනුනා විය හැක…..කාන්තාවන්ගෙන් ඇතැමුන් පිරිමින් ඉදිරියේ සිය යටත් බව පෙන්නා “චරිතවත්, සදාචාරවත්” කුළ යුවතියක් ලෙස ලකුණු දා ගැනීම සඳහාද, ඇතැමුන් තමන්ගේ පාරම්පරික විශ්වාස නිසාද, ඇතැමුන් ඊර්ෂ්‍යාව නිසාද සාමූහික “ඉමල්කා මර්ධනයට” එක්විය…

වාරියපොළ අමල්කා පමණක් නොව, ජාත්‍යන්තරයෙන් උදාහරණයක් ගෙන පෑවොත්, පාකිස්ථානයේ මලාළා යුසුෆ්සයිද මෙවැනි තත්වයකට කදිම නිදර්ශකයකි…ගැහැණුන්ට පොත්පත් තහනම් සම්මුතියක් පටවන ලද කළාපයක පොතක් අතින් ගත් යුවතිය වෙඩි තබා නැසිය යුතු බලවත් භීතියකි…

එහෙත් නීතිය ඉදිරියේදී පොදු ජන මතය වැදගත් නැත…වැදගත් වන්නේ සාපේක්ෂ සාධාරණත්වය මත විද්වතුන් විසින් ගොඩනගන ලද නෛතික රාමුව පමණි… එයින් පිටත තවමත් දක්නට ලැබෙන ඉන්දියාවේ සහ පාකිස්ථානයේ ක්‍රියාත්මක කුළවන්ත ග්‍රාමීය මහල්ලන්ගේ මතය අනුව තීන්දුව දෙන “පංචායත් සභා” වැනි අවලක්ෂණ කැලෑ උසාවි වාසනාවට මෙරට නොමැත. මේ නිසා අවසානයේදී කාටත් පොදු ඉංග්‍රීසි නීතිය පෙරට පැමිණ නිවැරදි සහ සාධාරණ තීන්දුවක් දී තිබේ…ඒ තීන්දුවට අනුව පීඩකයා පීඩාවට පත්වනු ඇති අතර, පීඩිතයාට වන්දි මුදලක් හිමිවනු ඇත…සයිබර් අවකාශයේ කැළෑ උසාවි පීඩිතයා වැරදිකරුවා කර තිබුණත්, සැබෑ උසාවිය සැබෑ පීඩකයා සහ පීඩිතයා නිවැරදිව හඳුනාගෙන ඇත….

මෙම නඩු තීන්දුව මෙරට ජන ජීවිතයේ ඉදිරිගාමී හැරවුම් ලක්ෂ්‍යයක් කරගත හැකිය….සෙල්වා නැමැත්තාට සිදුවූ දෙය මෙතැන් සිට පොදු ස්ථාන වල කාන්තාවන්ට සිදුවන කායික සහ සංඥෙයිය හිංසනයන්ට කරන තරවටුවක් ලෙස ගත හැකි නම්, අනාගතයේ මෙරට මාවත්, පොදු ස්ථාන, පොදු ප්‍රවාහන සේවා භාවිතයට ගන්නා දියණියන්ට යහපත්, සහනශීලී සහ සුරක්ෂිත වටපිටාවක් ලැබෙනු ඇත….එනමුත් මේ සිද්ධිය යුක්තියේ දොරටුව කරා ගියේ, එය ලොවට වාර්ථා වූ නිසාය….මෙම තනි සිද්ධිය හොඳට හෝ නරකට වීඩියෝගත කර තිබුණු නිසා මෙතරම් දුරක් ඒමට හැකිවූවත්, වාර්ථා නොකරම බැහැර කරනු ලබන භෞතික – අභෞතික අඩන්තේට්ටම් වලට මෙවැනි සමාජවල  දිනෙකට කොපමණ සිදුවෙනවාදැයි නොදනිමු….මේ නඩු තීන්දුව ඒ සියළු අඳුරු මුළු වලට වැදගත් ආලෝකයක් සපයනු ඇත…

නීතිය සැකසෙන්නේ හුදෙක් පාර්ලිමේන්තු කෙටුම්පත් මගින් පමණක් නොව පෙර පැවති නඩු සඳහා ලබා දුන් නඩු තීන්දුත් ආශ්‍රය කරගෙනය….මෙම නඩු තීන්දුවේ අනාගත වටිනාකම මිළ කළ නොහැකි වන්නේ එහෙයිනි…..

සුජී ! ඔය කථාව කියපන් ළමයෙකුට !

මේ දිනවල සමාජ ජාලයන්ගේ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති මැදපෙරදිග සේවය කරන මැදිවියැති ශ්‍රී ලාංකික කාන්තාව ළිබඳවය….

එම වීඩියෝ දර්ශණය ඔබලා මේ වන විටත් බලා නැත්නම් මෙන්න මෙතැනින් බලන්න යැයි “ලින්ක්” එකක් මෙතන ගෙනත් එල්ලීමේ පහත් ආශාවක් මට නැත…මක් නිසාද එය තලු මර මරා බැලිය යුත්තක් නොවන හෙයිනි….

මෙම ලියුම්කරුවා එක්සත් රාජධානියේ වසර 4 කට අධික කාළයක් අධ්‍යාපනය ලැබූවෙකි….එංගලන්තයට පය තැබූ පළමුවැනි දිනයේ දැනුනු අසරණ කම මතකයට එයි… එංගලන්තයට යන අප සැවොම එරටට පා තබන්නේ ලංකාවෙ ඉන්නවාට වඩා “209 ගුණයක් දුප්පත් වෙලා” ය…ඒ අපේ රුපියල් 209 කටම ඔවුන්ගෙන් ලැබෙන්නේ 1 පවුමක් පමණක් බැවිනි…එතැන් සිට අපට එදිනෙදා දිවියේදි අත්‍යාවශ්‍ය බොහෝ දේ 209 ගුණයක් මිළ අධික වී පෙනිය හැක….තේ කෝප්පයක් පවුම් දෙකහමාරකි….ඒ කියන්නේ රුපියල් පන්සීයකට වැඩිය…

අධික ශීතලේ සේවක අයිතිවාසිකම් රහිත සේවකයෙකු ලෙස කඩ සාප්පු වල එළිවෙන කල් වැඩ කළ හැටි, රාක්ක පිරවූ හැටි, බර කර ගැසූ හැටි, එහෙමත් කර ඒ පයින්ම විශ්ව විද්‍යාලයට ගොස් පන්ති කාමර වල නිදා වැටුණු හැටි, කාමර කුළිය ප්‍රමාද වූ දිනෙක ඒ කාමර අයිතිකරුවන්ගේ ගෙම්බර් බැලූ හැටි, බස් ගාස්තු ඉතිරි කරගනිමින් සැතපුම් ගණන් පයින් ගිය හැටි, වේල් ගණන් කුසගින්නේ හිටිය හැටි, මැවී පෙනෙයි…ඒක එක කල්පයක සිදුවූ දේ ලෙස බැහැර කර නොසිටිමි…එය මා වෛරය අධික මනුෂ්‍යයෙකු ලෙස හැඩ ගැස්වූ කාළයකි….ඒ ද්වේෂය, ඒ වෛරය, ඒ ඉච්ඡා භංගත්වය යළි යළි සිහියට නගමි…..සැමට දඩයම වූ ආහාර පිරමිඩයේ පහළම ස්ථරයේ සිටින සතුන් විඳින වේදනාව වින්දෙමි….ඒ වේදනාව හොඳින් දනිමි….

මේ වීඩියෝවේ දුරකථනයෙන් අමතන කාන්තාව මට වඩා කිහිප ගුණයක් දරුණු ඉරණමකට ගොදුරු වූ තැනැත්තියකි….අධ්‍යාපනයෙන් ජය ලැබීමත් සමගම මගේ දුෂ්කර ක්‍රියාව අවසන් විය… මෙතැන් සිට මා ගොදුරු නොවනු ඇතැයි අනුමාන කළ හැකි ඉරණමකට ඇය ගොදුරුව සිටින්නීය….මා තව දුරටත් ආහාර පිරමිඩයේ පහළම ස්ථරයේ නැත්තෙමි….ඇයට එම ස්ථරයෙන් කවදා හෝ මිදීමක් ඇතිද යන්නත් සැක සහිතය….

පිරිමියෙකු වන මට මුහුණ දෙන්නට සිදුව ඇති ව්‍යසනයන්ට වඩා බෙහෙවින්ම කර්කෂ ව්‍යසනයන්ට ගැහැණියක් වූ ඇයට මුහුණ දෙන්නට සිදුව ඇතිවාට සැක නැත….බාගදා අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් යන දෙකම ලිස්සා ගිලිහී ගොස්, ගහෙන් බිමට වැටී සිටින ඇයගේ හිස මතට උක්ථ අතු දෙකම කඩා වැටී තිබෙනවා විය යුතුය…

මෙලොව “ආදරයේ දේශකයන්” බහුලය….ආදරය කරන්නෝ විරලය…මට ඇය ගැන අමුතු ආදරයක් ඇති නොවේ… කොටින්ම කිව්වොත් ඇය මගේ පවුලේ අයෙකු නොවන නිසා මට ඇය ගැන ඇතිවන්නේ හිස් හැඟීමකි….මට මුළු ලොවටම ආදරය කරන්නට බැරිය….උවමනාවක්ද නැත…ඒ නිසා ආදරයේ දේශකයෙකු වන්නට මට උවමනාවක්ද නැත….

එහෙත් ඇය ගැන දුකක් ඇතිවේ…ඒ ඇය කුණු හරුප කියමින් මොර ගසන්නේ සකළ විධ සමාජ පීඩනයන් විඳ දරාගෙන, මිනිස් වනයේ ගොදුරු සොයන ප්‍රිඩේටරයන්ගේ දත් පහර, නිය පහර විඳිමින් යම් තැනක පය ගසාගෙන සිට උපයන සොච්චම, තමන් උපන් රට යැයි කියන තුන්වැනි ලෝකයේ හිඟන ගුබ්බෑයමක සිටින යම් කිසි නරුම අමනයෙකුගෙන් බේරාගෙන දරුවන්ගේ සුභ සිද්ධිය උදෙසා යොමු කරවීමට නිර්මාණය වී ඇති බාධකය නිසාය…

මේ නරුමයා ඇගේ සැමියාදැයි මා නොදනිමි… ඒ එවැන්නක් දුරකථන සංවාදයෙන් හෙළි නොවූ නිසාය….එහෙත් ඇයට දරුවන් සිටින බව පැහැදිලිව හැඟේ…. මේ මොහොතේ බාධකය වී ඇත්තේ ඇගේ ජීවිතයට සමීපතම පුද්ගලයෙකු විය හැක… ඔහු බේබද්දෙකු වන්නට ඇති බව කරන කථා බහෙන් හැඟේ….

ඇයට මව්බිම දුරස්ය…දරුවන් දුරස්ය…..අවකාශ-කාළයේ ඇගේ සටහන් එක් තැනකය….දරුවන් තවත් තැනකය…යා ගන්නට නොහැක….

ඇතුලතත් ගිනිය..පිටත් ගිනිය…දෙපා යටත් ගිනිය….ඉහට උඩිනුත් ගිනිය….මොර දෙනු හැර, කුණුහරුප කියනු හැර වෙන කුමක් කරන්නද?….

බොබ්කැට් ගෝල්ඩ්වෙත්ගේ “God Bless America” චිත්‍රපටිය සිහියට නැගේ…අපිත් ඒ වගේ අපූරු තැනකට එමින් සිටින්නෙමු….කාගේ හෝ වේදනාව අපට ප්‍රීතිය දනවයි…අපි මිනිසුන්ව සමූහ පෙළීමට ලක් කිරීමට කැමැත්තෙමු…එවන් අවස්ථාවක් ලැබෙන තුරු මග බලා සිටින්නෙමු…..මේ ඉල්ලුම කොතරම්දැයි ඊනියා “ගොසිප්” මාධ්‍ය දනිති….කාගේ හෝ වේදනාවක්, දුකක්, පීඩාවක් තවත් කාගේ හෝ දුරකථන කැමරාවක් හරහා සයිබරයට එන තෙක් ඉව අල්ලමින් සිටින ඔවුහු ඒවා වහා ඩැහැගෙන ගොස් ඵල කරති….

ඉක්බිතිව ඇරඹෙන්නේ ඒ සිද්ධිය “හිට්” වෙන යුගයයි….ඒවා හරහා අපූරු සමාජ කථිකා නිර්මාණය වෙති….බොහෝ නිර්මාණ කරුවන් ඒවා ඒ මේ අතට හරව හරවා සමාජයට ත්‍රිල් එකම සපයති….ත්‍රිල් වී, ත්‍රිල් වී, උපරිමයට ත්‍රිල් වී, අවසානයේදී සුරතාන්තයට පැමිණෙන සමාජය සති දෙකක් ගිය තැන ඒ සිද්ධියේ වින්දිතයන්ගේ හප කරනු ලැබූ කුණපයන් ඉතිහාසයට එක් කරති….එතැන් සිට ඒ ගැන කථා කිරීමක් නැත….ඉක්බිති සමාජය ගොසිප් මාධ්‍යවේදීන් තව නැවුම් කුණක් තමා සිටින ඌරා ළිඳට විසි කරන තුරු ළිං කට දෙසට මුව අයාගෙන සිටිති….

ඉතින් මෙම කාන්තාවගේ පීඩනයෙන්, ඉච්ඡා භංගත්වයෙන් ඔද්දල් වූ මොර ගැසීමෙන් මෙරට සයිබර් සමාජය ගනු ලබන වින්දනය තව දෙසතියකින් අවසන් වනු ඇත….ඉන් පසුව තවත් කෙනෙකු මේ වළට ගෙනවුත් දමනු ඇත….

“God Bless America” චිත්‍රපටියේ මෙන් කාගේ හෝ සුවිශේෂීතාවයන් නිසා ත්‍රිල් ගන්නා සමාජය මෙන්ම, ඒ සමාජ පීඩනය, සමාජ ප්‍රහාරය නිසා අමුතු ආතල් එකක් ගන්නා වින්දිතයන්ද අතරින් පතර සිටිති…ඔවුහු ඒ නාටකයේම, ඒ තිරපිටපතේම කොටස් කරුවෝය….ලංකාවෙ මෑතකදී අප එවැන්නියකට දුටුවේ “එක්ස් ඒලියන්” නම් ගීතය ගායනා කළ යුවතියයි…නමුත් ඉහත ප්‍රස්තුතගත දුරකථන පණිවිඩය දෙන කාන්තාව නම් තමාට එල්ලවන එවැනි සමාජ පීඩනයකින් ත්‍රිල් ගන්නා BDSM, Deliberate Self Harming (DSH), Sadism, Self Mutilation ප්‍රිය කරන තැනැත්තියක් නොවන බව සිතමි….

එමෙන්ම ඇය කිසියම් තිරපිටපතක හවුල් කාරියක් යැයිද නොහඟිමි…..ඒ නිසා ඒ වින්දිතයා මේ පීඩනය මේ වනවිටත් කෙසේ ගෙන ඇතිදැයි නොදනිමි….සයිබරය පුන පුනා මේ මොර ගැසීම එක් එක් විදියෙන් වහරනුත්, හුදී ජනයාද ඒ “කලු නිර්මාණශීත්වයට” සම්පූර්ණ සහයෝගය දෙනුත් ඇගේ පවුලේ අය දැනටම දැක ඇත්නම් ඒ අය මේක කොහොම ගන්නවාදැයි ද නොදනිමි….

මෙය ශ්‍රී ලාංකික සමාජයට පමණක් සීමා සහිත වූවක් නොවේ…නිපුණත්වයට අවිෂය මාධ්‍යකරණයක් පවතින සහ එයටම ගැළපෙන විශ්ලේෂකයන් සහ විස්තර විචාරකයන්, සහ විශේෂඥයන් සිටින ලෝක සයිබරයට මේ තත්වය පොදුය…. කැනඩාවේ ඇමැන්ඩා ටොඩ්, ටයිලර් ක්ලෙමෙන්ටි වැනි අය සිය දිවි නසාගන්නා තැනට තල්ලු කරනු ලැබීමෙන් මෙය වටහා ගත හැක….

යෝධ සයිබරය සතු අපරිමිත ශක්තිය හමුවේ අප සැමගේ ජීවිත අවදානමක පවතින බවක් නිකමට හැඟේ….හෙට මෙවැනි විඩියෝවක අපත් ඇතුළත් විය හැක…අවශ්‍ය වන්නේ අවිඥාණිකව යම් ක්‍රියාවක නිරත වීම, හෝ සප්‍රකෘතියෙන් කරතත් වටපිට ගැන හැඟීමකින් තොරව සිදුකිරීම පමණි….කෙටියෙන් කියතොත්, දැන් පෙර සේ දුර ගමනක් යන විට දැනෙන මූත්‍රා බර ගහකට, ගලකට අල්ලා හෑල්ලු කර ගැනීමට පෙර කිහිප වරක් සිතිය යුතුය….කෙහෙල් ලෙල්ලක් පෑගී ලිස්සා වැටීමට පෙර කිහිප වරක් සිතිය යුතුය….ඒ පසුවදා ඒ අවස්ථාව “ලංකාවෙ කොල්ලෙක් / කෙල්ලෙක් කෙහෙල් ලෙල්ලක් පෑගිලා වැටෙන අයුරු බලන්න එන්න” යන ශීර්ෂය සහිතව ගොසිප් අඩවියකට යෑමේ ඉඩකඩක් ඇති නිසාය….

යම් හෙයකින් එවැනි වීඩියෝවක පෙන්වන කෙල්ලෙකුට හෝ කොල්ලෙකුට කෙහෙල් ලෙල්ලක් පෑගී බිම වැටී “අම්මේ … රිදුණා” කිව්වොත් පසුවදා සිට “අම්මේ .. රිදුණා” යන වදන් පෙළ සයිබර් ප්‍රහසනයන් දහස් ගණනක දැකිය හැකිවනු ඇත….ඊනියා සයිබර් පෝස්ටර තේමා රාශියක “අම්මේ…රිදුණා” කියන වදන් පෙළ සමග අදාළ තරුණයාගේ හෝ තරුණියගේ මුහුණද දකින්නට ලැබෙනු ඇත….

මේ අවකාශයේ ඕනෑම දඩයමක් දඩයක්කාරයෙකි…ඕනෑම දඩයක්කාරයෙක් දඩයමකි….අද ඇයගේ දිනයයි…

කවි බණ 1 – සූර්ය රාජ ජාතකය

කිතු වස් එක් දහස් – නමසිය විසි නවයේ….
එඩ්වින් හබ්ල් විදුදුරු – මන කළ පොඹයේ….
චක්‍රාවාට දුර දිළෙමින් –  රත් පැහැයේ…
පොළවට දිස් වුනා – බලයෙන් දුර දැකියේ….

ළං වෙන යමක් කෙනෙකුට –  වෙයි නිලට හුරු….
ඉන් රතු පැහැය එයි – යන විට කෙරෙන් දුරු….
ඩොප්ලර් ආචරණෙ මෙය – හිතවතුනි ගරු….
මින් පැහැදිලිය –  මහ පිපුරුම නොමැත බොරු….

දහස් නමසිය විසි හතේදී  – බෙල්ජියම් දෙස සසොබනා….
ජෝජ් ලෙමයර් විදු ඇදුරු සඳ – මෙබඳු පිපිරුම හඟවනා…
එයින් බෝ කළ ගෙවුණු පසුවයි – විදු නැණින එය ඔපවනා….
සෝල් පෙර්මුට්, බ්‍රයන්, රේයිස් – තිදෙන හවුලක එසවුනා….

බිලියන පහළොවක් අවුරුදු එපිට අනේ….
උණු ඝණ ගුරුත්වය තුන එක තැනක වුනේ….
අන්තර් ශක්ති පුපුරා විසිරුවන දිනේ….
එහෙමයි හිතවතුනි විශ්වය පහළ වුනේ….

උපන් පැටි විශ්වය මහළු වී – වසක් බිලියන ගත වුණා….
ලවන් කම් ඇති සක්ව තළයන් – දහස් ගණනක් මුළු දෙනා….
බලන් “වර්ජෝ සුපර් ක්ලස්ටර්” – නමින් කොටසක් නම් වුනා….
එයින් එක් සර්පිලෙක හිතවත – හපන් තරුවක් ඉප දුණා…..

විසිරී අවකාශ මහ පිපුරුම ගාවා…..
බිලියන එකොළහක් අවුරුදු ගත වූවා…
කොස්මික් නෙබියුලාවක දුහුවිලි නාවා…
හිරු වත ඇරඹුමෙහි සළකුණු බිහි වූවා….

වලා පටලයක් සේ දුහුවිල්ලයි – මුල් අවදියෙ ඈතට පෙනුනේ…
හයිඩ්‍රජන් සහ හිලියම් විතරයි – වායව සංඝටකව තිබුනේ…
කුඩා න්‍යෂ්ඨියක් කළ ඇරයුම් ගෙන – අංශු භ්‍රමණයකි දිග හැරුණේ…
මේකයි හිතවත සැකසුම ඇරඹුම – සෞර ග්‍රහ මණ්ඩල වරුණේ….

එළි වස් හැට පහක අරයෙන් යුතුව එදා….
වායව වළාකුළ මැද හරියෙනුදු මුදා…
ඇතුළත ගුරුත්වය ගත්තෙන් අංශු බදා….
මහ තරුවකට සැලසුම නිම කෙරුණි සදා…..

වායු පීඩනයෙ චාලක ශක්තිය – ගුරුත්වයට ඇති සමව තුරා…
ආයු තිබෙනු ඇත මෙවැනි වළාවක – ප්‍රසාරණය වන වෙහෙස දරා….
“ජීන්ස්” ස්කන්ධය අරය ලැබුණු විට – ගුරුත්ව විභවය දිනුම අරා…
අභ්‍යන්තරයට කඩා වැටෙනු ඇත – ලිහිල් බවින් යයි බැඳුම කරා….

ඕනම දෙයක හොඳ තැන එහි හරි මැදය….
මේකය දහම හිරු දෙවිටත් මෙය පොදුය….
මැද මැද අංශු සහ තහවුරු බන්ධනය ….
කැරකෙයි සෙසු අංශු මෙතැනින් ගෙන බලය…

“හයිඩ්‍රො ස්තථිකයෙ” තුලනය බිඳිනට – අරය බලය ප්‍රතිලෝම සකී….
තෙරපුම අරයෙන් සිදුවෙයි බෙදුමට – ගුරුත්ව නියතිය සමව සකී…
පිටතින් සවි බල රැගෙන ඇදෙන විට – පරම අරය පසු කරත හැකී…
මෙනයින් දනු මැන අංශු ප්‍රවාහය – “පෙර තරුවක්” ලෙස ගුවන දකී…

බලෙන් උපන් කුමරුගෙ නම කුමක් වැනී…
“ප්‍රෝටෝස්ටාර්” තරු පැටියා උපන් වැනී…
එකළට ළදරු තරුවේ හැඩ කුමක් වැනී…
මුණින් අතට නැමු තේ පීරිසිය වැනී…

එදා යට ගිය දවස වායව  – ප්‍රවාහයෙ බිඳු අරගෙනා…..
සදා ගෙන ගෝලීය රූපය – ගුරුත්වජ මැද යෙදෙමිනා …..
විදා ගෙන සිටි දූලි බාහුද – හකුළමින් ඝන කරමිනා…
උදා විය හිරු දෙවිගෙ උපතය – ඔබට කවියෙන් පවසනා….ආ…ආ..ආ..ආ….ඔබට කවියෙන් පවසනා….

පෙරයම තරුව වෙන විට තව තවද කුඩා….
මැද ඇති කොටස උණු විය නිරයකට වඩා….
මිලියන දහය අංශක අබිබවන සැඩා….
තරුවක විලයනයෙ ක්‍රම ඇත එකට වඩා….

“ප්‍රෝටෝන ප්‍රෝටෝන” දාමය – එකකි තරුවක ගිනි තැබූ…..
කාබනය ඔක්සිජන් සමගින් – දෙවැනි ක්‍රමයය එළි එබූ….
හිරු සදිසි මැද පෙළේ තරුවක – පළමු ක්‍රමයය මුළ තිබූ…
සමය විලයන ඇරඹුමය මෙය – දකිනු කවි වරමින් ලැබූ….

හයිඩ්‍රජන් ගැටුමට ඇති යොදන වැර …
විකර්ෂක බලය මැද ඇත අහිත කර…
අබිබැවුමට ඇවැසි වේගය සමග වර….
ලැබ දුන්නේය තාපය වැට කඩුළු හැර….

හයිඩ්‍රජන් ගැටුමෙන් පසු – පොසිට්‍රෝන පිට වෙලා…
ඩියුටිරියම් අණුවක් ඇත – නියුට්‍රිනෝ සල සලා….
ගැටුම ශක්ති විමෝචකය – ගැමා කිරණ යනු බලා….
මෙවැනි දෙකක් සිදුවුනු තැන – හිලියම් ඇත බිහි වෙලා…

මැදින් උණුසුම වැඩිව අවුදින් – විලයනය ලෙස අරඹනා….
දාම පෙරැයුම හයිඩ්‍රජන් අණු – හීලියම් වෙස පෙරැළුණා….
එයින් පිටවූ සවියෙ බලයෙන් – මුදුන ගිනි ගෙන දිදුළනා….
බලන් පින්වත රැය නිමා වෙනු – හිරුගෙ මෙහෙවර ඇරඹුනා…..

තප්පරයට මිලියන හත්සීයක් – හයිඩ්‍රජන් ටොන් වැයවෙනා….
හයසිය පණහක් මිලියනයෙන් ටොන් – හීලියම් නම් ඉපයෙනා….
මැද්ද සෙල්සියස් මිලියන විස්සයි – මතුපිට හය දහසක් වෙනා….
අරය කිලෝමීටර හත් ලක්ෂය – හිරු පිරියෙසුමකි මනි මිනා…..

මැද්ද බැලුව විටක පෙනෙයි – ශක්ති ජනන න්‍යෂ්ඨි රාජ…
එයට ඉහළ තලවල ඇත – “කිරණ” “සංවහන” දෙ රාජ…
අපට පෙනෙන එළිය දිලෙන – මුදුන ප්‍රභා ගෝල රාජ…
මෙ සිවු තලෙන් නිති සැදුනයි – අඳුර විදින සූර්ය රාජ….

ඉතිරිය වළාවේ තැන තැන ඝණ වෙච්චී….
පිටතට පවුල, මැද ලොකු තැන කැරකෙච්චී…
පෙරයම ලෙසට දිලි එළියෙන් නැහැවෙච්චී…
මේ ලෙස පහළ වුණි අපෙ හිරු අප්පොච්චී…..

Sun-worship-Shutterstock-800x430