ඊශ්‍රායෙල් පලස්තීන් අර්බුදයේ යථාරූප කථනය – 1

මුලින්ම කිව යුත්තේ මෙම ලිපියේ අරමුණ වන්නේ නූතන ඊශ්‍රායෙල් – පලස්තීන ගැටුමේ සත්‍ය තත්වයන් නිර්පාක්ෂික ඇසකින් ඔබ වෙත ගෙන ඒම බවය. අපට සැතපුම් දහස් ගණනක් ඈතින් ඇවිළෙමින් පවතින ප්‍රශ්ණයක බිම් මට්ටමේ යථාර්තය පිළිබඳව භෞතික ගවේෂණයක් සිදුකර ප්‍රථමක තොරතුරු ලබාගැනීමට අපට හැකියාවක් නැත. එම නිසා ශ්‍රී ලංකාවේ වාසය කරන අප මේ අර්බුදය ගැන කවර ආකාරයේ විචාරයක් කළත්, කවර ඇසකින් බැලුවත්, ඒ පිටුපස ඇති දෘෂ්ඨි සංකලනය නිර්මාණය වන්නේ “අනෙක් අය කරන ලද ගවේෂණ සහ වාර්ථා කරන තොරතුරු” සහ ඒ ඇසුරෙන් අප සාදාගන්නා මතවාද වලට සාපේක්ෂව බව ඔබ දත යුතුය. ඒ නිසා ගැටුම් භූමියට බොහෝ ඈත රටක සිටිනවුන් හැටියට අපේ වගකීම වන්නේ, ඌණ තොරතුරු මැද සකසාගත් මුග්ධ පක්ෂපාතීත්වයන්ගෙන් තොරව සත්‍ය කුමක්ද යන්න ගැන අපට හැකි පමණින් තොරතුරු බෙදාහදා ගැනීමය.

දැනට මේ වනවිට ජීවිත දස දහස් ගණනක් බිළිගෙන ඇති ඊශ්‍රායෙල් – පලස්තීන ගැටුම ආරම්භ වූයේ 2023 වසරේ ඔක්තෝම්බර් 7 වැනිදා බව ඔබ සැවොම දනිති. හමාස් සංවිධානය විසින් එදින ගාසා තීරයත් – ඊශ්‍රායලයත් වෙන් කරන පවුරු, කම්බි වළලු ආදී බාධක මැඩගෙන, දියෙන් ගොඩින් සහ ග්ලයිඩර් යානා, පැරචූට් ආදිය යොදාගෙන ගුවනින්ද ඊශ්‍රායල තුළට ඇතුළු වී, බටහිර ඊශ්‍රායලය පුරා ඉලක්ක රාශියක යුද සහ සිවිල් ගොඩනැගිලි, පොලිස් ස්ථාන සහ පොදු ස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර, එයට සමගාමීව රොකට් 7,000 කින් පමණ සමන්විත රොකට් ප්‍රහාරයක්ද ඊශ්‍රායලට හමාස් පාර්ශවයෙන් එල්ල කෙරිණි.

ඔක්තෝම්බර් 7 හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ බහු ඉලක්ක ත්‍රස්ත ප්‍රහාරයේ මනුෂ්‍ය ඝාතන සිදුවූ ස්ථාන

( ඊශ්‍රායලයේ සහ ලන්ඩනයේ සිට ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධානයක් විසින් “ඔක්ටෝබර් 7 මැපින්” යනුවෙන් පිහිටුවාගෙන ඇති ක්‍රියාන්විතයකින් ඉහත දක්වා ඇති හමාස් ප්‍රහාරයේ සිතියම සකස් කර ඇති අතර, ඔබ එහි දකින සෑම රතු තිතක්ම එදින ප්‍රහාරයෙන් ජීවිතය අහිමිවූ පුද්ගලයෙකු නිරූපණය කරයි )

හමාස් සංවිධානයේ විවිධ තොරතුරු මූලාශ්‍ර ජාත්‍යන්තර මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්ණ වලට දුන් පිළිතුරු සම්පිණ්ඩනය කළහොත්, මෙම ප්‍රහාරය මාස 4 සිට වසර 2 කට පෙර දක්වා කාළයක සිට සැළසුම් කරන ලද ප්‍රහාරයකි.

හමාස් ප්‍රහාරයේ වැදගත් තොරතුරු සැකෙවින්

හමාස් සටන් කරුවන් පෙරමුණට ඇවිත් එල්ල කළ ප්‍රහාරය ඊශ්‍රායලය තුළට කිලෝමීටර් 26 ක පමණ දුරක් යන්නට ඇති බව සැළකේ. (Maximum Penetrating Distance ) ඉහත සිතියමේ හමාස් ප්‍රහාර වලින් දුරම ප්‍රහාරය සළකුණු වී ඇත්තේ “ඔෆාකිම්” නම් ඊශ්‍රායෙල් ජනාවාසයෙහි වන අතර, එම ජනාවාසය ඇත්තේ ගාසා-ඊශ්‍රායෙල් දේශ සීමාවේ සිට කිලෝමීටර් 25.8 ක් පමණ ඈතිනි. එනිසා, හමාස් සංවිධානයේ සටන් ප්‍රහාරකයන් ඊශ්‍රායලය අභ්‍යන්තරයේ වැඩිම දුරක් ගිය ගමන එය බව අපට සිතාගත හැක.

ප්‍රහාරයට සන්නද්ධ සටන්කරුවන් 1,500 ක් පමණ සහභාගී වන්නට ඇතැයි ඊශ්‍රායල් ප්‍රතිප්‍රහාර වලින් මියගිය හමාස් සාමාජිකයන්ගේ මෘත ශරීර 1,293 ක් ගණන් කර අවසානයේ, බොහෝ විශේෂඥයෝ අනුමාන කරති. ඔවුන් දකුණු දිග ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර කිලෝමීටර් 60 ක් පමණ දිග සීමා මායිම 30 පළකින් විනාශ කර ඊශ්‍රායලයට ඇතුළු වූහ.

ජනාවාස ටික දැනගමු Get to know the Settlements

මෙතැන් සිට මේ කථාව ඉදිරියට ගෙන යන්නට පෙර, ඊශ්‍රායෙල් යුදෙව් ජනතාවගේ සහ පලස්තීන ජනතාවගේ ජනාවාස මෙකී භූමිය පුරා වත්මනේදී විසිරී ඇති ආකාරය සහ,

මේ සමස්ථ භූමියේම ජනපද ව්‍යාප්තියේ ඉතිහාසය ගැන ඔබට ඉතාම කෙටියෙන් පැහැදිලි කර දිය යුතුය. මේ සියල්ල ගැන මෙම ලිපි පෙළෙහි ඉදිරියට පූර්ණ විශ්ලේෂණයක කෙරෙනු ඇත. නමුත් මේ ගැන කෙටි හෝ හැඳින්වීමකින් තොරව මෙම ලිපිය ඉදිරියට ගියොත්, මෙතැන් සිට කියන්නට යන කරුණු ගැන ඔබට එතරම් පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැත.

වත්මන් ඊශ්‍රායෙල් රාජ්‍ය දෙපස – බටහිරින් සිහින් පටු බිම්කඩක් වන ගාසා තීරය සහ නැගෙනහිරින් ජෙරුසලමට මායිම්ව තරමක් පුළුල්ව පැතිර ඇති “බටහිර ඉවුර” පිහිටා ඇති ආකාරය

ඊශ්‍රායෙල් – පලස්තීන් ජනාවාස ( වසර 2021 හි ඊශ්‍රායෙල් Israel Central Bureau of Statistics හි Israel Ministry of Interior යන ආයතන දෙක, Palestine Central Bureau of Statistics සහ වසර 2020 දී ඇමරිකානු මධ්‍යම බුද්ධි සේවය විසින් ඒකරාශී කරගන්නා ලද දත්ත සහ තොරතුරු පරිදි )

ඊශ්‍රායෙල් රාජ්‍යය ලෙස වත්මනේදි හඳුනාගත් රාජ්‍යයේ

යුදෙව් ජනතාව – මිලියන 5.8
ඊශ්‍රායලයේ පුරවැසි භාවය සහිත අරාබි සම්භවයක් ඇති පලස්තීන ජනතාව – මිලියන 1.6

ගාසා තීරය

අරාබි සම්භවයක් ඇති පලස්තීන ජනතාව – මිලියන 2.1

බටහිර ඉවුර

යුදෙව් ජනතාව – 468,000+
අරාබි සම්භවයක් ඇති පලස්තීන ජනතාව – මිලියන 2.7

බටහිර ඉවුරට ඒ නම වැටී ඇත්තේ, මෙන්න මේ සිතියමේ පෙන්වන පරිදි ජෝර්දාන් නදියේ සහ “මළ මුහුදේ” යන දෙකේම බටහිර ඉවුරේ එම ජනාවාස පිහිටි හෙයිනි.

ජෙරුසලම

ජෙරුසලම තරම් ආගමික සහ වාර්ගික පළහිලව් නිසා දැවැන්ත මනුෂ්‍ය ඝාතන දාමයකට මුල් පුරුකක් වන්නට සිදුවූ ලේ වැකුණු වෙනත් නගරයක් මෙලොව නැති තරම්ය. වසර 2,300 ක පමණ කාළයක් තිස්සේ මේ නගරය දේශපාලනික, ආගමික, සාමාජීය, වාර්ගික හේතු නිසා මිලියන ගණනක් මිනිසුන්ගේ මරණ වලට හේතුව බවට පත්විය. ජුදා, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් තුනේම අතිශයින්ම වැදගත් සිද්ධස්ථාන වලින් පිරීගත් මේ නගරය, “ඒබ්‍රහමික ආගම්” ලෙස හඳුන්වන එම ආගම් තුනේම ආඛ්‍යානයන්ට අනුව ඇදහිල්ලේ කේන්ද්‍රස්ථානයක් වීම, එම නගරයේ පාලනය උදෙසා උනුන් යුද වැදීමට බළවත්ම හේතුව විය. එයට පෙර ග්‍රීක, ඇසිරියානු, පර්සියානු, බැබිලෝනියානු සහ රෝම අධිරාජ්‍යයන් විසින්ද වරින් වර මෙම නගරය සහ එහි නගරයක් බිහිවීමට පෙර පැවති ජනාවාස අත්පත් කරගැනීමට යුද වැදුණු අතර, ඉතිහාස ග්‍රන්ථ වලද, යුදෙව්වන්ගේ ටැල්මුද්, ටෝරා ටීකාවලද, ක්‍රිස්තියානි බයිබලයේද, ඉස්ලාම් කුර්-ආණයේද, ඒ ඓතිහාසික තොරතුරු බොහොමයක් සඳහන්ය.

1949 දී ඊශ්‍රායලය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළ පසුව මේ දක්වා ජෙරුසලම “නැගෙනහිර ජෙරුසලම සහ බටහිර ජෙරුසලම” ලෙස පරිපාලන ඒකක දෙකකට කඩා පාලනය කෙරෙන නමුත්, මෙහි මෑත ඉතිහාසයද, එහි ගැඹුරු අතීතය සේම දාර අවුලකි.

( ජෙරුසලම ගැන පුළුල් විස්තරයක් ඉදිරි ලිපි වළදී )

නැගෙනහිර ජෙරුසලම –

යුදෙව් ජනතාව – 220,200

අරාබි සම්භවයක් සහිත පලස්තීන ජනතාව – 345,000

බටහිර ජෙරුසලම –

යුදෙව් ජනතාව – 351,800

අරාබි සම්භවයක් සහිත පලස්තීන ජනතාව – 4,500

සමස්ථය

මේ අනුව මෙකී භූමි සියල්ලගේම යුදෙව් ජනතාවගේ එකතුව ගත් විට එය – මිලියන 6.2

මෙකී භූමි සියල්ලගේම අරාබි සම්භවයක් සහිත පලස්තීන ජනතාවගේ එකතුව ගත්විට එය – මිලියන 6.8

මා මෙහිදී පලස්තීන ජනතාව හඳුන්වන්නට “අරාබි සම්භවයක් සහිත” යන විශේෂණ පද යෙදුවේ ඇයි? “පලස්තීන” කී විටම ඔබට මතකයට එන්නේ මුස්ලිම් පමණි. එම නිසාම බොහෝ විශ්ලේෂකයන් මේ ජනාවාස වල ජන සංයුතිය හඳුන්වද්දී “පලස්තීන මුස්ලිම් ජනතාව” කියා යොදති. එය වැරදි යෙදුමකි. පලස්තීනුවන්ගෙන් 6% – 10% අතර ප්‍රමාණයක් ක්‍රිස්තියානි / කතෝලික සහ භායී ආගමික ඇදහිලිකරුවන්ය. එම නිසා ඒ ජන සංයුතිය හඳුන්වද්දී “පලස්තීන මුස්ලිම්” කියා යොදනවාට වඩා නිවැරදි වන්නේ අරාබි සම්භවයක් සහිත පලස්තීන කියා හැඳින්වීමය. අරාබි සම්භවයක් නැති පලස්තීනුවන් මෙහි දැන් සොයාගන්නට නැත. මෙම භූමිය අරාබිකරණයට ලක්වූ පසුව එහි සිටි “ෆිලිස්තීන” අතීතයක් සහිත ස්වදේශිකයන්ද අරාබි ගෝත්‍ර සහ සංස්කෘතීන් තුළට කුළවැදී සිටින බැවිනුත්, ඔටෝමාන් අධිරාජ්‍යය ඔවුන් සියල්ලෝම “අරාබි” බ්‍රැකට් එක දමා පිළිගෙන ඇති බැවිනුත්, දැන් “අරාබි නොවන” මුල් සොයන්නට යෑමේ තේරුමක් නැත.

අතීත ගලීලය / යෙහුදාව / ජුදයාව – Map from Encyclopedia Britannica

වත්මනේදී මේ ඊශ්‍රායලය සහ පලස්තීනය පිහිටි සමස්ථ භූමිය, අතීතයේදී කානාව, යෙහුදාව, ජුදයාව, ගලීලය යනාදී වශයෙන් විවිධ නම් යොදා හැඳින්වූ අතර, ඒ කාළයේ මෙහි මුල් ජනාවාස කරුවන් අතර,

  • පර්සියානුවන් ( වත්මන් ඉරාන )
  • බැබිලොන්වරුන් ( වත්මන් ඉරාක )
  • ඇසිරියානුවන් ( වත්මන් සිරියාව, ටියුනීසියාව වැනි රටවල් )
  • මිසරයන් ( වත්මන් ඊජිප්තුව )
  • ජුදා ( යුදෙව් ) ජනතාව – යුදෙව්වෝ ඉහත කී සියළු රටවල සම්භවය සහිත ගෝත්‍ර 10 – 12 අතර ප්‍රමාණයකට ජානමය පදනමෙන්ම බෙදිය හැකි බව විශේෂඥයෝ කියති.

බොහෝ දෙනා සිට ඇත. වත්මනේදී යුදෙව්වන් හැර අනෙක් අයගේ ජානමය මුල් සොයන්නට දරන උත්සාහයන්ද බොහොම ඇත.

අවසාන වශයෙන් මේ භූමියේ වත්මන් දේශපාලනික තත්වය සහ බලාධිකාරයන් සම්පිණ්ඩනය කරන ලද මේ සිතියම හොඳින් කියවාගන්න. – සිතියම – වොෂින්ටන් පෝස්ට් මාධ්‍යවේදිනියකගේ වාර්ථාවකින්

තාප්ප – The Walls

දැන් ඔබ මේ භූමිය පුරා වත්මනේදී ජනාවාස විසිරී ඇති ආකාරය ගැන පැහැදිලි අදහසක් ඇතිකරගෙන ඇති.

නැවත මතක් කරගත්තොත්, පලස්තීන ජනයා සහ යුදෙව්වන් ගණනින් බොහෝ සෙයින් සමාන වන අතර, පලස්තීන ජනයා සාතිශය බහුතරයක් වන ජනාවාස ලෙස පවතින්නේ

  1. බටහිර ඉවුර
  2. ගාසා තීරය

මේ ජනාවාස දෙකේ, ඊශ්‍රායෙල් රාජ්‍යයෙන් වෙන් කර බඳින ලද පවුරු දාම දෙකකි.

බටහිර ඉවුර වෙන් කළ පවුර

පහතින් දැක්වෙන්නේ පලස්තීන ජනයා බහුලව වෙසෙන බටහිර ඉවුරේ කළාප, ඊශ්‍රායෙල් යුදෙව් ජනයා ජීවත් වෙන කළාප වලින් සහමුලින්ම වෙන් කර ඉදිකර ඇති කිලෝමීටර් 708 ක් පමණ දිග පවුරයි.

ඊශ්‍රායලය සහ බටහිර ඉවුර වෙන් කෙරෙන පවුර

මේ පවුර ගොඩනැගීමට හේතු වශයෙන් ඊශ්‍රායෙලය හඳුන්වන්නේ බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස වල දේශපාලනික ප්‍රචණ්ඩත්වය සහ වාර්ගික වෛරය යන දෙකෙන් යුදෙව් ජනතාව බේරාගැනීමට එසේ කළ බවය. පලස්තීනුවෝ එය අසාධාරණයේ සහ වාර්ගික බෙදුම්වාදයේ පවුරක් ලෙස හඳුන්වති.

The Iron Wall – ගාසාව වෙන් කළ අයෝමය පවුර

බටහිර ඉවුර සහ ඊශ්‍රායලය අතර සාමාන්‍ය සංහිඳියාවක් පවතින අතර, සන්නද්ධ පලස්තීන් සටන් කණ්ඩායම් බටහිර ඉවුරේද සිටින නමුත්, ඔවුන්ගේ බළය එහි පවතින්නේ සාපේක්ෂව ඉතා අඩුවෙනි. හමාස් ප්‍රමුඛ සන්නද්ධ සටන් කණ්ඩායම් වල බළකොටුව වන්නේ ගාසා තීරයයි. එම නිසා ගාසා තීරය සහ ඊශ්‍රායලය වෙන් කර ගසා ඇති බාධක පරය වනාහි මීට වඩා බෙහෙවින්ම සංකීර්ණ ආරක්ෂක පවුරු දාමයකි. කටු කම්බි, මීටර් 12 ක් පමණ ඝණකම, මීටර් 6 ක් පමණ උස කොන්ක්‍රීට්, මුර කපොළු, මුර කුටි, විවිධ ප්‍රමාණ වල හමුදා කඳවුරු, ඊශ්‍රායෙල් මිලිටරි මධ්‍යස්ථාන ආදියෙන් ගහණ වූ එම පවුර, පැය 24 පුරාම කැමරා, චන්ද්‍රිකා සේයාරූ සහ බිම් සහ ගුවන් ඩ්‍රෝන යොදාගෙන නිරීක්ෂණය කරනු ලබති.

1967 වසරේ ඊශ්‍රායලය ගාසා තීරය සම්පූර්ණයෙන්ම අත්පත් කරගත් අවස්ථාවේ පටන් මේ දක්වා විවිධ ස්වරූප ගෙන වැඩුණු මේ ගාසාව වෙන් කරන පවුර, වත්මනේදී තිබෙන ආකාරය පහතින් දැක්වේ. මෙකී රූපසටහන් උපුටාගත්තේ “මිඩ්ල් ඊස්ට් අයි” ලෙස හැඳින්වෙන එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක මාධ්‍ය ආයතනයක වෙබ් පිටුවෙනි. ඒ ගෞරවය ඔවුන්ට හිමිය. මේ වනාහි 2021 වසර වනවිට ගාසා තීරය වෙන් කළ පවුරේ තත්වයයි. යකඩ සහ වානේ ටොන් 140,000 ක් මෙය තැනීමට වැයවුණු බව ඔවුහු කියති. මෙය Iron Wall යන නමින් හැඳින්වේ

The Iron wall in 2021 – Image courtesy – Middle East Eye

සැකමුසු තැන සහ හෙළිදරව්ව – The Doubt & The Revelation

ඉහත සඳහන් පරිදි, කෝඳුරුවෙකුටවත් පණපිටින් රිංගන්නට නොහැකි තරම් දුර්ගී කරන ලද ගාසාව සහ ඊශ්‍රායලය වෙන් කෙරෙන පවුර මැඩගෙන හමාස් සටන්කරුවන් 2023 ඔක්තෝම්බර් මාසයේ 7 වැනිදා ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ.

එම ප්‍රහාරය එල්ල කිරීමට හමාස් භාවිතා කරන ලද ක්‍රමවේදයන් කිහිපයක් වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සහ ග්‍රැෆික්ස් නිර්මාණකරුවන් වන සමුවෙල් ග්‍රාන්දෝස්, රූබි මෙලන්, ලෝරෙන් ෂර්නි, ආතර් ගලූකා, කේට් බ්‍රවුන්, ආරොන් ෂෙකල්බර්ග් යන කණ්ඩායම විසින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය මෙහෙයුම් ආයතනය සහ ඊශ්‍රායෙල් රජය, ඇමරිකානු ගුවන් හමුදාව ආදිය ලබාදුන් තොරතුරු මත පදනම්ව පහත පරිදි ග්‍රැෆික්ස් මඟින් ඉදිරිපත් කරන ලද අතර, මම ඒවා ඔවුන්ට පූර්ණ ගෞරවය සහිතව උපුටා දක්වමි.

ගාසා තීරය සහ ඊශ්‍රායලය වෙන් කෙරුණු යකඩ පවුර සහ එහි දෙපස තත්වය පිළිබඳව තිරස් කඩ රූප සටහනක්

මේ තියෙන්නේ ප්‍රහාරයට පෙර පැවති යකඩ පවුරේ ශක්තිය නිරූපණය කෙරෙන දළ රූප සටහනකි. සෑම අඩි 500 කටම මුර කුළුණ බැගින් ඊශ්‍රායලය පිහිටුවා තිබිණි. මේ මුර කුළුණු වල ඊශ්‍රායෙල් හමුදා සහ ඊශ්‍රායෙල් විශේෂ බළකායන්ගේ සෙබළුන් රඳවා තිබිණි. මෙම කුළුණු වලට අමතරව

  • අංශක 270 ක පමණ ක්ෂේත්‍ර දෘෂ්ඨි සහිත කැමරා
  • ඩ්‍රෝන යන්ත්‍ර
  • අධෝරක්ත කිරණ තාක්ෂණිකව යොදාගත් සෙන්සර් ( සංවේදක පද්ධති )
  • ස්වයංක්‍රීය අවි සහ රොබොටික්, මිකැට්‍රොනික් තාක්ෂණය

මෙකී පවුරු වළල්ල නිරීක්ෂණයට යොදා තිබිණි. පැය 12 න් 12 ට ඇමරිකානු සහ ඊශ්‍රායෙල් නිරීක්ෂණ චන්ද්‍රිකා මඟින් සමස්ථ කළාපයේම නවතම සේයාරූ ලබාදීමේ ක්‍රමවේදයක්ද සකසා තිබිණි. මේ පිළිබඳව තොරතුරු ලබාගත්තේ විසින් අමීර් බොහ්බුත් විසින් රචිත The Weapon Wizards: How Israel Became a High-Tech Military Superpower නම් කෘතියෙනි.

දැන් මෙතරම් අධි තාක්ෂණික ආරක්ෂාවක් යොදා තිබුණු පවුර හමාස් විසින් බිඳ හෙළන ලද බව කියන්නේ පහත දැක්වෙන ක්‍රමවේදයන් යොදාගෙනය.

  1. ඩ්‍රෝන් වලින් පුපුරන ද්‍රව්‍ය / බෝම්බ දමා ඊශ්‍රායෙල් මුරකුටි විනාශ කිරීම මුලින්ම සිදුවූ බව කියති. මේ ප්‍රහාරය සඳහා හමාස් සංවිධානය භාවිතා කරන ලද්දේ එම සංවිධානය විසින්ම ගාසා තීරයේදී නිපදවනු ලබන “සුවාරි” නම් ඩ්‍රෝන් බව ඇතැම් මූලාශ්‍ර සඳහන් කරති ( මෙම ඩ්‍රෝන වලට ඒ නම ලබා දී තිබෙන්නේ හමාස් ඩ්‍රෝන ව්‍යාපෘතියේ පියා ලෙස හැඳින්වෙන ටියුනීසියානු ජාතික මුහම්මද් සුවාරි නම් ඉන්ජිනේරුවාට ගෞරව පිණිසය. 2016 වසරේ දෙසැම්බර් 15 වෙනිදා ටියුනීසියාවේ ඔහුගේ උපන් ගම වන ශුවාක්ස් හිදී, නාඳුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරින් සුවාරි මියගිය අතර, එම ප්‍රහාරය එල්ල කළේ මෝසාඩ් ඒජන්තයන් විසින් බව හමාස් චෝදනා කරති )

මේ ප්‍රහාරයට හමාස් යොදාගන්නට ඇත්තේ ඉරානයේ නිෂ්පාදිත “අබාබිල් 1 ” නම් ඩ්‍රෝන විශේෂය බවට ඇතැම් මූලාශ්‍ර සඳහන් කරති.

කෙසේ වෙතත් රුසියාව විසින් යුක්‍රේනයේදී මෙම ඩ්‍රෝන වර්ග දෙකම යුක්‍රේන ඉලක්ක වෙත පහරදීමට යොදාගත් බවට තොරතුරු ඇත. සුවාරි ඩ්‍රෝන සටන් පෙරමුණේදී යොදාගෙන තිබෙන්නේ ව්ලැද්මිර් පූටින්ට පක්ෂපාතී චෙච්නියාවේ “වෝ ලෝඩ්” ලෙස හැඳින්වෙන රම්සාන් කදීරොෆ්ගේ සටන් කරුවන් විසින්ය. අබාබිල් ඩ්‍රෝන යොදාගන්නා ලද්දේ රුසියානු හමුදාවන් විසින්ය. මේ ඩ්‍රෝන දෙවර්ගයම ඊශ්‍රායලය විසින් තනා ඇති මුර කුළුණු අක්‍රීය කර, එහි රැකවළට යොදා තිබෙන සෙබළුන් මැරීමට ප්‍රමාණවත් තරම් විශාල පුපුරණ ද්‍රව්‍ය බරක් ඉසිලීමේ හැකියාවක් තිබෙන ඩ්‍රෝනද යන්න සැක සහිත වන අතර, පොළව යටට මීටර් 14 ක් සිට අහස දක්වා ස්කෑන් කිරීමේ හැකියාවක් ඇති ඊශ්‍රායෙල් ලේසර් ස්කෑනර් පද්ධති සහ සෙන්සර්, කැමරා සහ අටෝරාසියක් නිරීක්ෂණ උපකරණ වල ඇස් වසා මේ කිලෝමීටර් 5 ක පමණ දුරක් නිරුපද්‍රිතව පැමිණෙන්නට තරම් “ස්ටෙල්ත් ” තාක්ෂණයක් ඒවාට නැති බව පැහැදිලිය.

හමාස් ඩ්‍රෝන් යොදාගෙන ඊශ්‍රායෙල් මුරකුටි විනාශ කිරීම
ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ ඊශ්‍රායෙල් මුරකුටියක බව කියන සේයාරුවක් – සේයාරුව ගත්තේ ඒ.එෆ්.පී කැමරාකරුවෙකු

ප්‍රහාරයේ මීළඟ අදියර ලෙස ඊශ්‍රායලයට රොකට් 7,000 කින් පමණ සමන්විත දැවැන්ත ප්‍රහාරයක් එල්ලවූඅ අතර, ඒ සමඟම යාත්‍රක ග්ලයිඩර් ( Hang Glider ) සහ පැරචුට් ග්ලයිඩර් ( Para Glider ) උපයෝගී කරගෙන පවුරට උඩින් ඊශ්‍රායලයට පැන ගන්නට හමාස් කාරයන් පහත පරිදි කටයුතු කර ඇත.

රොකට් වෙඩි ආවරණය මැද හමාස් ග්ලයිඩර් භාවිතා කර පවුරට උඩින් ඊශ්‍රායලයට පැනීම

මේ සඳහා ඔවුන් භාවිතා කර තිබෙන බව කියනුයේ 30 පොළකදී පමණ විනාශ කරන ලද මුරකුටි වලට ඉහළින් තිබෙන අවකාශයයි. හෙවත් ඒ වනවිට ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදා පැත්තෙන් බැලුවොත් “Blind Corridors”

ඉන් පසුව මහ දවාලේ මැෂින් තුවක්කු සහිත මුරකුටි යායක් පෙනි පෙනීම යතුරු පැදි වලින් පැමිණි හමාස් සංවිධානයේ ධාවකයින් වහා කටු කම්බි සහ කොන්ක්‍රීට් වලින් ගහන පවුරට පැන, ඒවායේ කොටස් පුපුරවා හැර ඊශ්‍රායලයට පිවිසෙන්නට විවර සාදාගත් බව සඳහන්ය.

හමාස් යතුරු පැදි විහිදුම් බළකායන් විසින් කටු කම්බි සහිත ප්‍රාකාර පුපුරුවා හැරීම

මීළඟට පැමිණි බව කියන්නේ මේ බුල්ඩෝසර් බළකායයි. බුල්ඩෝසර් යොදාගෙන කම්බි සහ බිඳුණු කොන්ක්‍රීට් පවුරු තල්ලු කර ඉවතට දමා, ඉක්බිතිව ජීප් සහ පිකප් ට්‍රක් භාවිතා කරමින් විශාල හමාස් සාමාජිකයන් පිරිසක් ඊශ්‍රායලය තුළට පිවිසියහ. පවුර බිඳුණු පසු පලස්තීන ජනතාවද බුල්ඩෝසර් යොදාගනිමින් ඊශ්‍රායෙල් වීදි වලට පිවිසිණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කියති.

ඔක්තෝම්බර් 7 – 8 දෙදින තුළ මේ සමස්ථය දිග හැරෙද්දී මෙම ලියුම්කරුට මතුවුන පළමු ගැටළුව, සැකය සහ කුකුස ගැන මෙතැන් සිට විස්තර කරමි.

සැලසුම් අවකාශයේ විශාලත්වය – Planning Space / Plan Occupation

ජාත්‍යන්තර අධ්‍යයනයන් ( International Studies / Studies related to International Relations) විධිමත්ව කරන ලද අය මේ ලිපිය කියවන ඔබ අතර ඇති. එසේ නම් ඒ අයට නමින් Defense & Strategic Studies විෂයක් සහ International Strategic Studies යනුවෙන් විෂය පථයක් හමුවී තිබෙනවාට සැක නැත. විධිමත්ව ජාත්‍යන්තර අධ්‍යයනයන් කරන ලද මෙම ලියුම්කරුටද ඒවා හමුවී තිබේ.

ජාත්‍යන්තර ත්‍රස්තවාදය ගැන එහෙම උගන්වන විට, එම විෂය පථයේ පුළුල්ව විග්‍රහ කෙරෙන කරුණක් වන්නේ “සැලසුම් අවකාශය හෙවත්” ( Planning Space ) යම් කිසි ප්‍රහාරයක් හෝ අර්බුදයක් නිර්මාණය කරන ක්‍රියා පටිපාටියක් සැලසුම් කිරීමේදී එයට භාවිතයට ගැනීමට අවශ්‍ය වෙන අවකාශය පිළිබඳවය. එම අවකාශය විශාල වන්නට, විශාල වන්නට, එකී දුෂ් ප්‍රයත්නය ප්‍රතිවාදී පාර්ශවයේ බුද්ධි ප්‍රජාවට / බුද්ධි අංශ වලට ( Intelligence Communities ) සහ ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන, බුද්ධි තොරතුරු හුවමාරු කරගනු ලබන වෙනත් පාර්ශව වලට “චෙක් වීම” / ” නෝට්වීම” හෙවත් හසුවීමේ ප්‍රවණතාවයද ඊට අනුලෝමව එන්න එන්නම වැඩිවේ. මෙය ජාත්‍යන්තරව පිළිගත් සත්‍යයකි. එම විෂය පථය හදාරන ඔබ දන්නවා විය යුතුය.

එමෙන්ම ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳව සහ ත්‍රස්තවාදය පිළිබඳව කෙරෙන අධ්‍යයනයන් වල තවත් විෂය මූලික සත්‍යයක් වන්නේ “එකී සැලසුම් අවකාශය” පිහිටුවිය හැකි වපසරිය කුඩාවනවිට, සැලසුම් අවකාශය විශාල වන්නේ නම්, එම සැලසුම “මාට්ටු” වීමේ හැකියාව තවත් ඉහළ යන බවයි. වපසරිය සහ මාට්ටුවීමේ හැකියාව ඒ අනුව ප්‍රතිලෝමව සමානුපාතිකය. ඇමරිකාව යනු වර්ග කිලෝමීටර් මිලියන 9.7 ක් පමණ භූමිය ඇති යෝධ දේශයකි. එවැනි රටක විශාල කඳුකර, කාන්තාර සහ වනාන්තර ප්‍රදේශ ඇති නිසා, හුඟක් දේ රහසිගතව සැලසුම් කරන්නට පිළිවන. ගාසා යනු එවැනි විශාල විෂමතා සහිත වපසරියකින් යුත් භූමියක් නොවේ.

ගාසා තීරය යනු ලෝකයේ ජනගහණ ඝණත්වය අධිකම බිම්කඩ වලින් එකකි. කිලෝමීටර් 41 ක් දිග, කිලෝමීටර් 12 ක උපරිම පළලක් සහිත සහ වර්ග කිලෝමීටර් 367 ක පමණ කුඩා බිම්කඩක් වන මෙහි මිලියන 2.1 ක් ( ලක්ෂ විසි එකක් ) ජීවත් වෙති. එයිනුත් වර්ග කිලෝමීටර් 46. 7 ක් පමණ වන අතිශය ක්ෂුද්‍ර ප්‍රදේශයක් වන “ගාසා නුවර” ( ගාසා සිටි ) 650,000 කට අධික ජනගහණයක් ජීවත් වෙති.

ගාසා පාලන කළාප සහ ඒවායේ ජන ගහණය

විවිධ තොරතුරු මූලාශ්‍ර වලට අනුව මේ ප්‍රහාරයට සහභාගී වූ අය ගණන 1,500 – 1,900 දක්වා බව කියති. එමෙන්ම අතිරේකව 170 ක් පමණ ගාසා භූමියේ සිට ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ රොකට් වෙඩිකරුවන්ද ඊට සහභාගී වී තිබේ.

අප සතු ඉතාම සීමිත දැනුම, හෙවත් “බැලු බැල්මේ දැනුම” භාවිතා කර අපි කුඩා අනුමාන කිරීම් කිහිපයක් කරමු.

  1. හමාස් සටන්කරුවන්ගේ සේයාරූ ඔබ දැක ඇති. ඔවුන් එකෙකු බොහෝවිට ගිනි අවි දෙකක් සටන් බිමට ගෙනයති. පිස්තෝල ආදියද රැගෙන යති. විශේෂයෙන්ම මෙම ප්‍රහාරයට සම්බන්ධ බව කියන හමාස් සාමාජිකයන් ඔවුන්ගේ සංවිධානයේ සන්නද්ධ අංශය වන “ඉෂ් හද්දින් අල් කසාම්” සේනාංක අතුරින් “බ්ලැක් හෑන්ඩ්” ලෙස හැඳින්වෙන විශේෂ බළකායන්ට අයත් බව කියති. ඔවුන් සටනට යන්නේ ගිනි අවි, බෝම්බ රාශියක් රැගෙනය. එම නිසා මොවුන් අවම වශයෙන් විවිධ ප්‍රමාණ වල ගිනි අවි 3,600 ක් පමණ ප්‍රහාරයට ගෙන ආ බවට අනුමාන කළ හැක.
  2. මොවුන් “හැන්ග් ග්ලයිඩර් ” සහ “පැරා ග්ලයිඩර්” 120 ක් පමණ යොදාගත් බව කියති.
  3. පුපුරණ ද්‍රව්‍ය කිලෝ ටොන් 20 ක් පමණද, බුල්ඩෝසර්, පිකප් ට්‍රක්, ජීප් රථ 400 ක් පමණද යොදාගත් බවට අනුමාන තිබේ.

එක මොහොතක ආරම්භ වූ මේ ඉතාම මනාව සංවිධානය කරන ලද ප්‍රහාර මාලාව ( මෑත යුගයේදී දුටු ප්‍රශස්ථම සමායෝජනය ( Coordination ) සහිත ප්‍රහාරය ලෙස ජාත්‍යන්තර විශ්ලේෂකයන් හඳුන්වන ) මේ තරම් සුහුරු ලෙස සතුරන්ගේ ඉලක්ක “නියුට්‍රලයිස්” කර, තමන්ගේ මාවත හදාගන්නට නම් මේ සටන්කරුවන් ඊට පෙර දිනවලදී එකටම වාසය කළ යුතුය.

මේ සා විශාල සේනාවක් ප්‍රහාරයකට සැරසෙන විට ඔවුන්ව ප්‍රතිවාදී බුද්ධි අංශ වලට “චෙක්” වෙන්න තිබෙන අවස්ථා වන

  1. ආයුද සඳහා “වෙයා හවුසස් ” ( ගබඩා ), සහ පුද්ගලයන් සඳහා “සේෆ් හවුසස් ” ( ආරක්ෂණ නිවාස ) රාශියක් පැවතිය යුතු අතර, ගාසා වැනි ඉතාම කුඩා බිම්කඩක එවැනි ඉඩපහසුකම් ලබාගන්නට යෑමේදී හෝ දැනටම පවතින හමාස් උමං මාර්ග ආදිය වැඩි දියුණු කිරීමේදී
  2. එකවර එල්ල කරන සමායෝජිත ප්‍රහාරයක් සඳහා මෙතරම් ආයුද, වාහන, පුද්ගලයන් “ගෙන යෑම” ( Mass Moving ) හෙවත් වලදී

ඔවුන්ව හසුවන්නට තියෙන ඉඩකඩ ඉතාම විශාලය.

ඊශ්‍රායලය යනු කිසි සේත්ම “බුද්ධි ඌණිත” රටක් නොවේ….ඊශ්‍රායෙල් ඉන්ටෙලිජන්සි කමියුනිටිය හෙවත් බුද්ධි ප්‍රජාව, ලෝකයේ අග්‍ර ගණ්‍ය ගේම් කාරයන් ලෙස හඳුනාගනු ලබන, සිය සම්පත් ප්‍රමාණය මෙන් 20 – 30 ගුණයකට වැඩි ඵලදායීතාවයකින් යුතුව ප්‍රතිඵල ගෙනෙන බව කියන “මොසාඩ්” නම් ජාත්‍යන්තර බුද්ධි ඒකක එකතුවෙන්ද, “අමාන් ” නම් හමුදා බුද්ධි සේවාවෙන්ද, ඊට අනුයුක්ත “යුනිට් 8200 ” නම් අතිශය ප්‍රබල සයිබර් සහ ඉලෙක්ට්‍රොනික් යුද සේනාවෙන්ද, “ෂබාක්” නම් අභ්‍යන්තර බුද්ධි මණ්ඩලයෙන්ද සමන්විතය. එමෙන්ම CIA, MI-6, RAW වැනි ලෝකයේ විශාලතම බුද්ධි ජාල මොසාඩ් සමඟ තොරතුරු, සම්පත් සහ තාක්ෂණය කිසිදු ලෝබකමකින් තොරව හුවමාරු කරගනිති. ( Operational Intelligence Sharing ) ඇමරිකාව ප්‍රමුඛ නේටෝ බලවතුන් ඊශ්‍රායෙල් බුද්ධි ප්‍රජාවගේ තාක්ෂණය සහ සම්පත් නිතර නිතර යාවත්කාළීන කරන අතර, ලෝකයේ “අයි.ටී සහ සයිබර් ආරක්ෂණ අගනුවර” ලෙස හැඳින්වෙන “ටෙල් අවීව්” ( Tel Aviv of Israel ) නගරයේ තිබෙන සමාගම් රැසක්ද, ඉල්ලන පරක්කුවට ඔවුන්ට සහාය දීමට සූදානමින් සිටිති. ( මේවායින් සමාගම් බොහොමයක බහුතරයක් කොටස් හිමිකාරීත්වය ඇත්තේ මොසාඩ් විසින්ම ලියාපදිංචි කරන ලද රහස්‍ය මූල්‍ය සමාගම් සතුවය.)

මොසාඩ් සඳහා ගාසා තීරයේද, බටහිර ඉවුරේද තොරතුරු සපයන්නන්ගෙන් කිසිදු හිඟයක් නැත. කොටින්ම හමාස් සංවිධානයේ නායකයන්ගේ කුඩා දියණියන්ගේ සහ පුතුන්ගේ උපන්දින සාද වලට පැමිණි ආරාධිතයන්ගේ නම් සහ ලිපිනයන් සමඟ ලැයිස්තු සකසා “ඔවුන් සමඟ අපත් ඔබට සුබ පතනවා” කියා පණිවිඩ යවන්නට තරම් මොසාඩ් එකට තොරතුරු ලැබෙයි. විටින් විට ඩ්‍රෝන හෝ ගුවන් ප්‍රහාර යොදාගෙන හමාස් නායකත්වය මරා දමන ඔවුහු, එවිට එම හමාස් නායකයන් ඉන්නා තැන් අවට සැරිසරන අයට අනතුරු ඇඟවීම් යවන්නට තරම් තොරතුරු දනිති. “ගාසා පිදුරු ගොඩේ සැඟවුණු ඕනම ඉඳිකටුවක් මොසාඩ් එකට සොයාගත හැක” යනුවෙන් කියමනක්ද පවතී.

මෙතරම් ප්‍රශස්ථ ඊශ්‍රායෙල් බුද්ධියට, මහ දවාලේ කරන්නට යන මේ සා දැවැන්ත ප්‍රහාරයක තොරතුරු කිසිවක් කළින් ලැබුණේ නැතිද?….මෙය බුද්ධි අසමර්ථකමක ( Intelligence Failure ) ප්‍රතිඵලයක් බවට ඒ දිනවල කියන ලද කථා මේ ලියුම්කරු විමතියක් දැනවූයේ එබැවිනි.

එමෙන්ම හමාස් එකම පවසන අන්දමට ඔවුන් මාස 4 සිට වසර 2 දක්වා අතීතයට දිවෙන කාළයක් පුරා මේ ප්‍රහාරය සැලසුම් කර ඇත. සවුදි අරාබිය මාධ්‍යවේදී යමාල් කෂූගි ඝාතනය කිරීම සඳහා, ඔහු ආගිය තැන් සහ කථා බහ කළ දේ ගැන තොරතුරු දැනගත්තේ ඊශ්‍රායලයේ NSO Group Technologies නම් සමාගම නිෂ්පාදිත “පෙගසස්” නම් චරපුරුෂ මෘදුකාංගය ( Spyware )යොදාගෙනය. එවැනි හෝ ඊටත් වඩා බලවත් දැනට හෙළි නොකරන ලද මෘදුකාංග වල සහාය ලබන ඊශ්‍රායල් බුද්ධි ප්‍රජාවන්ට මේ කාළය තුළ ප්‍රහාරය ගැන හාංකවිසියක් දැනගන්නට ලැබුණේ නැතිද?

මගේ මතය – Mein Idee

විදෙස් තොරතුරු විචාරකයෙකු ලෙස මෙම ලියුම් කරු ප්‍රහාරයේ මුල් දින කිහිපයේදීම නැඹුරු වුනේ ඊශ්‍රායලය තමන්ට එල්ලවන ප්‍රහාරය කළින් දැන සිටින්නට බෙහෙවින්ම ඉඩ ඇති බවත්, යම්කිසි දිගු කාළීන අරමුණක් නිසා එම ප්‍රහාරය එල්ලවන්නට ඉඩ හැරිය බවත් පිළිගන්නා මතයටය.

පාලකයන්ගේ ආර්ථික සහ දේශපාලනික දිගු කාළීන අරමුණු සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය පාර කපාගන්නට, තමන්ගේම රටේ ජනතාව බිල්ලට දීම වනාහි අද ඊයේ දකින්නට ලැබෙන දේශපාලන කුප්‍රපංචයක් නොවේ….මෑත යුගයේ සිදුවූ එවැනි සිදුවීම් වලට උදාහරණ අවශ්‍ය නම් පිටරටවල් දෙස බලන්නට උවමනා නැත.

මෑත යුගයේ සිදුවූ එවැනි සිදුවීම් වලට උදාහරණ අවශ්‍ය නම් පිටරටවල් දෙස බලන්නට උවමනා නැත.

ලියුම් කරුගේ සැකයේ පදනම සනාථ කරන ලිපියක් 2023 වසරේ නොවැම්බර් මස 30 වෙනිදා නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ ඵල විය. එහි සිරස්තලය මෙසේ උපුටා දක්වමි.

New York Times Headline

ලිපියට ලින්ක් එක – මේ ලිපිය අනිවාර්යයෙන්ම ගොස් කියවා එන්න : https://www.nytimes.com/2023/11/30/world/middleeast/israel-hamas-attack-intelligence.html#:~:text=A%20blueprint%20reviewed%20by%20The,aspirational%20and%20ignored%20specific%20warnings.&text=Israeli%20officials%20obtained%20Hamas’s%20battle%20plan%20for%20the%20Oct.

එම ලිපියට අනුව පුරා වසරක් තිස්සේ ඊශ්‍රායෙල් බුද්ධි මණ්ඩලයේ සහ මිලිටරියේ ඉහළ නිළධාරීන් අතර මේ හමාස් ප්‍රහාරය වැනි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරු, එම ප්‍රහාරයන්ගේ සැලසුම් ආදිය සංසරණය වෙමින් පැවතුණත්, හමාස් සංවිධානයට එවැනි ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට “කවුරුත් නොසිතූ” නිසා එය එතරම් ගණන් ගෙන නැත.

( ගහනවා කියලා දැනන් හිටියට මෙහෙම ගහයි කියලා හිතුවෙ නෑ? ?? )

එම නිව්යෝක් ටයිම්ස් ලිපිය අනුව ප්‍රහාරයට මාස තුනකට පෙර, හෙවත් ජූලි මාසයේදී, අර මා ඉහතින් ලියන ලද, ඊශ්‍රායෙල් සයිබර් බුද්ධිය හසුරුවන “යුනිට් 8200 ” ඒකකයේ නිළධාරිනියක් විසින්, හමාස් සංවිධානය ඒ වසරක තිස්සේ සංසරණය වෙන ඔත්තුවේ අඩංගු ප්‍රහාර සැලසුමට අනුව පුහුණු වීම් කටයුතු ආරම්භ කර ඇති බවට අනතුරු ඇඟෙව්වද, ඇයගේ ඉහළ නිළධාරියෙකු එය ගණන් ගෙන නැත.

Quotes from the New York Times Article

අවසානයේදී එසේ සංසරණය වූ බුද්ධි තොරතුරේ තිබූ “ප්‍රහාර සැලැසුමම” ඉතාම ප්‍රශස්ථ ලෙස පිළිපදිමින් හමාස් සංවිධානය මෙම අද්භූත ප්‍රහාරය ඉතාම සාර්ථකව එල්ල කළහ.

New York Times Excerpt

නිව්යෝක් ටයිම්ස් යනු ආවාට ගියාට මත ඵල කරන, නිෂ්ඵල හිතළු හෝ බහුභූත දොඩවන පුවත්පතක් නොවන අතර, ඇමරිකානු ජනාධිපතිවරුන්ට, සෙනෙට් සභිකයන්ට පවා සෘජුව චෝදනා එල්ලවිය යුතු තැනේදි එසේ එල්ල කළ ඉතාම නිර්භීත ගවේෂණාත්මක මාධ්‍යවේදීන් පිරිසක් පරපුරෙන් පරපුරට දායාද කළ මාධ්‍ය දැවැන්තයෙකි.

මෙම වාර්ථාව අනුව නිව්යෝක් ටයිම්ස් මේ තොරතුර හෙළි කරන්නේද රහස්‍ය විද්‍යුත් තැපැල් පණිවිඩ ඔස්සේ ඔවුන්ට පැමිණි බොහෝ තොරතුරු දීර්ඝව විශ්ලේෂණය කිරීමෙන් පසුවය.

Israel Defense Force (IDF) ප්‍රමාද වූ ප්‍රතිචාරය හෙවත් කඩවුනු පොරොන්දුව

ඔබ ඩිස්කවරි වැඩසටහන් සහ යූටියුබ් වැඩසටහන් ආදිය ඔස්සේ ඊශ්‍රායෙල් ආරක්ෂක බළමුළුවේ වැඩකිඩ පිළිබඳව බොහෝ පාරම් බෑම් දැක ඇති. ඔවුන්ගේ සුප්‍රකට “අයන් ඩෝම්” එකේ සිට, තමන්ගේ රටට එල්ලවන ප්‍රහාරයකදී විනාඩි 7 – 21 දක්වා කාළයක් තුළ ක්ෂණික ප්‍රතිචාර දෙන්නට අයි.ඩී.එෆ් කොයි මොහොතේත් උපරිම සූදානමෙන් සිටින ආකාරය ගැන ඒ වැඩසටහන් වල ඕනෑ තරම් දැක ඇති.

අයි.ඩී.එෆ් හෙවත් ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදාවෝ වසරකට යුද අභ්‍යාස සහ යුද ක්‍රීඩා දුසිම් ගණනක් කරති. එය සාමාන්‍යයෙන් වසරකට වාර 30 ක් පමණ දක්වා වේ. සිදුවිය හැකි ඕනෑම සිදුවීමකට අනුකූලව ප්‍රතිචාර දෙන හැටි අඩංගු යුද ක්‍රීඩා මොවුහු දිනපතා සිදු කරති.

නමුත් ඇත්තටම සතුරා පැමිණි දිනයේ අයි.ඩී.එෆ් ප්‍රතිචාර දැක්වූයේ විනාඩි ගණනකින් නොව වරු ගණන් ප්‍රමාද වීමෙනි. ඇතැම් ඊශ්‍රායෙල් සිවිල් වැසියන්ට සම්පූර්ණයෙන් දිනක් හෝ එකහමාරක් මරණ බියෙන් වෙව්ලමින් කොහේ හෝ සැඟවී ගළවාගැනීමට සිය හමුදා එනතුරු බලා සිටින්නට සිදුවූ අතර, ඇතැම් අයට සිය ආදරණීයයන් ප්‍රාණ ඇපයට ගෙන යද්දී, හමාස් පිරිස් සිය වීදි වල සෙමර කෙළිද්දී, සිය ආදරණීයයන්ගේ මළ කඳන් පෙනි පෙනී පැය විස්සකට අධික කාළයක් බලා සිටින්නට සිදුවිය.

1998 ඊශ්‍රායෙල් සිවිල් ආරක්ෂණ ප්‍රඥප්තිය මඟින් බෙන්ජමින් නෙතන්‍යාහු ගාසා තීරයට සහ බටහිර ඉවුරට මුහුණ ලා ඇති, සහ බටහිර ඉවුරේ ඇති ඊශ්‍රායෙල් යුදෙව් ජනාවාස වල වැසියන්ට ප්‍රතිඥා දුන්නේ, අර්බුදය කවර වෙසකින් පැමිණියද ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදාවෝ ඉතා ඉක්මණින් ඔවුන් වෙත පැමිණෙන බවය.

ඊශ්‍රායලය යනු එහෙම ක්ෂණික ප්‍රතිචාර දක්වන්න බැරි රටක් නොවේ. ඔවුන් සතු හමුදා තාක්ෂණය ලෝකයේ ඉහළම හමුදා තාක්ෂණයකි. ඉලෙක්ට්‍රොනික යුද තාක්ෂණය ලෝකයේ ඉහළම යැයි කිව හැකි තාක්ෂණයකි. එමෙන්ම මේ හමාස් වැනි ලිලිපුට්ටන්ගේ ප්‍රහාර නොව, සමස්ථ අරාබිකරයම එක්වී ලක්ෂ දොළහක පමණ දැවැන්ත හමුදාවක් සාදාගෙන, යුද ටැංකි දහස් ගණනක්, ගුවන් යානා දහසක් පමණ එක් කරගෙන ඊශ්‍රායලය ආක්‍රමණයට ආ “යොම් කිෆූර් ” යුද්දයේදී ( 1973 ඔක්තෝම්බර් 6 ) සතුරු සේනාවන්ට එක පෙරමුණක් සාදන්නට නොදී, ඔවුන් මැදින් කපාගෙන ගොස්, සතුරු පෙරමුණ පිටුපස ක්ෂණික විහිදුම් පා, අරාබි සෙනඟ කාන්තාරයේ නිරුවත් කර දැම්මේ, ගණනින් යාන්තම් ලක්ෂ හතරක් පමණ වන ඊශ්‍රායෙල් ත්‍රිවිධ හමුදාවකි. එදවස, ඒ සටනට එක්වූ සිරියාව, ඉරාකය, ඊජිප්තුව, ජෝර්දානය, සවුදි අරාබිය, ඇල්ජීරියාව, කුවේට්, ලිබියාව වැනි අරාබි මහ බළවතුන්වද, ඔවුන්ට සහායට ගිය කියුබාව වැනි රටවල යුද සේනාංකද හක්කේ තියා සෙම ඇරියේ ගෝල්ඩා මේයර් යකඩ ගැහැණියගේ නායකත්වයෙන් යුතු, මෝෂේ දයාන්, ඊශ්‍රායෙල් ටාල් සහ ඩේවිඩ් එලසාර් වැනි මහ සෙනෙවියන් විසින්ය.

එදා සිට අද වන තුරු ඊශ්‍රායෙල් වැසියන්ගේ ඉහළම සාඩම්බරය වූයේ මේ අයි.ඩී.එෆ් එක වන අතර, අනිවාර්යය යුද සේවයකට මුහුණ දෙන එරට තරුණයන් ( සහ එම පුහුණුව තෝරාගන්නා තරුණියන් ) ඇතුළුව ලක්ෂ පහළොවක් පමණ ඕනෑම මොහොතක, ඕනෑම යුද්දයකට මුහුණ දීම සඳහා උපරිම යුද සූදානමකින් සිටින බවට විශ්වාසය එරට වැසියන් ප්‍රතිවාදී කළාපයන්ට මුහුණ පා සිටින විට නිතර මෙණෙහි කළහ. ඔවුන් ජීවත් කරවූයේ එම විශ්වාසයයි.

එමෙන්ම “සැලසුම්කරණය ” අතින් ඊශ්‍රායලය සිටියේ ඉතාම ඉහළින් බව ලෝකයේ හැමතැනම පිළිගත් මතය වූ අතර, එය ඊශ්‍රායලයේ ප්‍රතිවාදී රාජ්‍යයක් වන ඉරානය පවා පිළිගත් ජාත්‍යන්තර මතයකි. ඊශ්‍රායෙල් කරුවන් සෑම දෙයකටම මුහුණ දෙන්නේ මනා සැලසුමකට අනුව බව මුළු ලොවම පොදුවේ ඇදහූහ.

එවැනි ඉතිහාසයක් තිබුණු ඊශ්‍රායෙල් ත්‍රිවිධ හමුදාව මේ සටනේදී දක්වන ලද ඕලාරික ප්‍රතිචාරයේ තරම බලන්න. මේ ග්‍රැෆික්ස් සටහනද සකස් කර ඇත්තේ නිව්යෝක් ටයිම්ස් පුවත් සඟරාවය.

හමාස් ප්‍රහාරය එල්ල වූ මොහොතේ සිට ප්‍රහාරයට දරුණුවටම මුහුණ පෑ එක් එක් ප්‍රදේශ වල වැසියන් ගළවාගන්නට වැයවූ කාළය – New York Times

“හමුදාව කොහේද? කෝ අයි.ඩී.එෆ් එක?” යන ප්‍රශ්ණය ඔක්තෝම්බර් 7 වැනිදා සිට 10 වැනිදා පමණ වෙනතෙක් ඊශ්‍රායෙල් සිවිල් වැසියන් දෙලක්ෂයකට අධික සංඛ්‍යාවකගේ මුවින් නික්මුණේ 1998 නෙතන්‍යාහුගේ පොරොන්දු නෙතන්‍යාහු යටතේම කඩවුණු පොරොන්දු බවට පත් කරමිනි.

New York Times

අවුරුද්දක පමණ කාළයක් තිස්සේ පටන් මුළු සැලැස්මම දැන දැනම 1,500 ක් පමණ තමන්ගේම රටවැසියන් පිරිසක් මරුමුවට යවා, තව විසි දහසකට ආසන්න පිරිසකට තුවාල සිදු කර, තුන්සීයකට අධික පිරිසක් ප්‍රාණ ඇපයට යන්නට ඉඩ දුන්නේ කාගේ උවමනාවටද?…

අවසානයේ විශාල ජන සංහාරයක් ආරම්භ කර මේ වනවිට, පලස්තීනයේ අහිංසක නිරායුද සිවිල් වැසියන් 25,000 කට ආසන්න පිරිසක් ( 12,000 ක් පමණ කුඩා දරුවන් )

  • ගුවන් ප්‍රහාර මඟින් සහ බෝම්බ හෙළීම මඟින්
  • මිසයිල ප්‍රහාර මඟින්
  • තුවාල ලබා හෝ රෝගී තත්වයේ සිටියදී අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය මඟින්

මරු මුවට යන මේ සියවසේ දරුණුම මානව ඛේදවාචකය ආරම්භ වන්නට ඉඩ හැරියේ කාගේ උවමනාවටද?

අපි ඊළඟ කොටසෙන් බලමු

( මා විසින් මේ සිදු කරනුයේ වෙනත් පාර්ශව විසින් කරන ලද ගවේෂණ ඔස්සේ ලැබෙන තොරතුරු පෙළ ගස්වා අනුමානයන් ඉදිරිපත් කිරීමත්, කල්පිත ඉදිරිපත් කිරීමත් පමණකි. මෙකී අර්බුදයේ අපිකේන්ද්‍රයෙන් සැතපුම් දහස් ගණනක් ඈතින් ඇති රටක වෙසෙන අපට කළ හැකි උපරිම දෙය වන්නේ මෙය පමණි. ඒ නිසා අප වැනි අය මේ සිදුවීම් පිළිබඳව මනස විවෘතව තබාගැනීම වටී. දේශපාලනයේ බොහෝවිට සත්‍ය වශයෙන්ම සිදුවන්නේ ඔබට බැලු බැල්මට පෙනෙන දෙය නොවන බවට ඕනෑ තරම් සාක්ෂි අපේ රටේම තිබේ. ඒ නිසා, තමන් යම්කිසි කරුණක් නිසා ඔලුවට දාගෙන සිටින පක්ෂපාතී කම් අනුව මෙහි පැමිණ නිකරුණේ කුණුහරුප කීමෙන් වළකින්න…ඔබට වෙනස් යමක් පෙනෙන්නේ නම් කරුණු ඇතිව කියන්න )

මීළඟට…..NEXT…..

  • බෙන්ජමින් නෙත්න්‍යාහු සහ හමාස්
  • ඇමරිකානු මැදිහත් වීමේ අමුතු ස්වරූප
  • සැබෑ ඉලක්ක මොනවා විය හැකිද?

One thought on “ඊශ්‍රායෙල් පලස්තීන් අර්බුදයේ යථාරූප කථනය – 1”

Leave a comment