පරලොව අපේ නිර්මාණයක්ද?

ඔබට, අපට දකින්නට සහ අසන්නට ලැබෙන සියළුම ආගම් වල ආගමික දේශනයන් හරහා ජීවත්ව සිටින මිනිසුන්ට වෙනත් ජීවිතයක් ලගා කරගත හැකි ස්ථාන පිළිබඳව විග්‍රහ කරති..මෙකී දේශනා වල පොදු හරය ගෙන බලන කළ පහත සඳහන් ලක්ෂණ දැක ගත හැක….

1. වත්මනේදී අප මේ ග්‍රහ ලෝකයේ ගෙවන ජීවිතය අසංතෘප්ත, අසම්පූර්ණ, බිඳෙන සුළු, එකක් බව පෙන්වා දීම….

2. එකී ජීවිතයට අදාළව අප විසින් “සැප, සුඛ විහරණ” ලෙස සම්මත කරගෙන සිටින ලැබීම්, නොලැබීම්, ක්‍රියාකාරකම්, පැවරීම්, පවරා ගැනීම් වනාහි ලුහුබැඳිය යුතු නොවන තරම් තාවකාළික බවත්, ඒවා කෙරෙහි ඇති ආශාව අප විසින්ම :

* චින්තන පරිණාමයක් ( යැයි සළකනු ලබන චිත්ත අභ්‍යාසයන් පෙළක් ) මගින් හෝ
* යම්කිසි “අධි ස්වභාවික” බලවේගයකට කීකරු වී, ඒ බලවේගය දෙසට නැඹුරු වීමෙන් හෝ
* ඇතැම් විට මේ දෙකේම එකතුවකින්

බිඳහෙළා ගත යුතු බවක් කියති….එමෙන්ම

3. එකී දේශනාවලට සහ හෝ ඒ දේශනා වල නිර්දේශ කරනු ලබන අධිගමයන්ට කොන්දේසි විරහිතව සහ නිරපේක්ෂව, අසීමිතව කීකරු වීම තුළින් එකී සැප හෝ සුඛ විහරණ ලෙස අප විසින් කරගෙන සිටින සම්මතයන් වල “පරමාදර්ශී, පරමෝත්තම” අන්තය කරා ළඟා විය හැකි බවත්

4. එකී නිර්දේශයන්ට අකීකරු වීම, අනවනත වීම තුළින් අප විසින් “දුඛ, දුක්ඛ, ශෝක” යනාදි වශයෙන් සෘණාත්මක සංවේදනා ලෙස කරගෙන සිටින සම්මතයන් වලද “පරම” අන්තයන් කරා අපට යාමට සිදුවන බවත්,

මෙසේ සියලු ආගම් වලට එකඟ විය හැකි හරයාත්මක කරුණු පෙළක් අපට ආගමික දේශණා ඇසුරෙන් උකහා ගත හැක….

මිනිසා “පරලොව” ගොඩ නගන්නේ ඇයි?

1. ජීවිතය උපතට පෙර පැවතියාද? තමා ආවේ කොහේ සිටද? තමා ආවේ ඇයි? යන ප්‍රශ්ණ වලට අනුභූතිකව 100% විශ්වාසවන්ත පිළිතුරු සපයා ගත නොහැකි බැවින් ඒවා බැර කිරීම සඳහා විවෘත ගිණුමක් ලෙස

2. මරණයෙන් පසුව යළි පැවැත්මක් තිබේද? යන්නේ කොහේටද? යන ප්‍රශ්ණ වලට අනුභූතිකව 100% විශ්වාසවන්ත පිළිතුරු සපයා ගත නොහැකි බැවින් ඒවා බැර කිරීම සඳහා විවෘත ගිණුමක් ලෙස

3. සිය පැවැත්ම මරණයෙන් පසුව අහෝසි වී යාම සහ ඒ ඔස්සේ “බලාපොරොත්තු” අතුරුදහන් වීම නිසා ඇතිවන පරම භීෂණයෙන් මිදී ශාන්තිය උදා කර ගැනීමට / වේදනා නාශකයක් ලෙස

4. සමාජ ව්‍යුහයන් හැසිරවීමට….

“පැවැත්ම” සඳහා ඇති ආශාව

මෙලොව අනෙක් සියළු සතුන්ට සේම මිනිසාටද පැවැත්ම උදෙසා ඉතාම ප්‍රබල ස්ව-කේන්ද්‍රික ආශාවක් ඇත….මෙය මිනිස් ප්‍රකෘතියෙහි ඇති බලවත්ම ආශාව යැයි නොකියමි…එක්, එක් අවස්ථාවේ හැටියට වෙනත් ස්ව-කේන්ද්‍රික ආශාවන් පැවැත්මේ ආශාවද අබිබවා ප්‍රබල වෙයි…උදා: “තමාගේ රට, තමාගේ මව්බිම” යන තමා කේන්ද්‍ර කර ගත් පාර-භෞතිකය නිසා ඉමහත් තෘප්තියක් ලබන මිනිසුන් ඒ සංකල්පය රැඳී පවතින භූමිය උදෙසා සිය ජීවිතය පුද කරමින්, සිය පැවැත්ම අහෝසි කර දමති.. සතුන්ටද මේවා පොදුය..පනාමුරේ ඇත් රාජා සිය රැළෙන් අල්ලාගත් සතුන් වෙනුවෙන් සටන් වැදී දිවි දුන්නේය….”තමාගේ දරුවා” යන ස්ව-මූලික ආශාව නිසා, දරුවන් වෙනුවෙන් සිය දිවි දී මව්වරුන් සමහරෙක් පැවැත්ම අත්හැර දමති…සිය පැටවුන් ආරක්ෂා කර ගැනීමට මිනිස් මවුවරු මෙන්ම සත්ව මවුවරුන්ද අවදානම දෙසට පනිති…..මේ තැන්වලදී තමන්ගේ පෞද්ගලික පැවැත්ම අහෝසිකර දමන මිනිස්සු තමන්ගේ පෙළපත් පැවැත්ම සහ නාම කෝෂයන්ගේ පැවැත්ම එමගින් තහවුරු කර ගැනීමට වෙර දරති….නමුත් මෙවැනි විශේෂිත තත්වයන්හිදී හැර අනෙකුත් සාමාන්‍ය තත්වයන් හිදී තමාගේ ප්‍රකෘතිය දරන ශරීරය පවත්වා ගැනීම සඳහා මිනිසා ප්‍රමුඛ සත්ව ප්‍රජාව නොකර දෙයක් නැත…

“පැවැත්ම” යනු කුමක්ද? – Man`s Struggle to “Survive” Death

“පැවැත්ම” ට අර්ථකතන බොහොමයක් තිබුනත්, අප කථා කරන්නට යන මාතෘකාව විෂයෙහි ඇතීනියානු මහා දාර්ශණික ත්‍රිත්වයෙහි තෙවැන්නා වන ඇරිස්ටෝටල්ගේ අදහසකින් ඇරඹීම යෙහෙකැයි සිතමි….

ඇරිස්ටෝටල් සිය “Metaphysics” යන කෘතියෙහි ” සමන්විත බව, සමන්නාගතය, සන්නිවේදන, සංජානන, සංවේදනා, සහිත, සබඳතා සහ සංවිධානයන් සහිත, කෘත්‍ය සහ තථ්‍ය යථාර්තය” සහිත වීම පැවැත්ම ලෙස අරුත් දක්වා තිබේ….

මේ පැවැත්ම යනු වාස්තවික යථාර්තයක්ද? පැවැත්මට මුහුණ දෙන අය අවබෝධ කරගනු ලබන යථාර්තය සැබෑවද? එය මුසාවක් වන්නේ නම් ඒ කෙසේද? යනාදි බොහෝ කරුණු කිසිදු සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි හෙයින් ඒවා සදාතනික විවාදයන්ට බඳුන්ව පවතී…එසේ වුවත් “අප විසින් දෙවියන් විෂයෙහි, යථාර්තය විෂයෙහි අත් දකින දේ කෙතරම් සැක සහිත වුවද ඒවා ගැන මා සිතමි…එසේ හෙයින් මා පවතිමි…” ( “Cogito Ergo Sum“) යන මතය පුනරුද දාර්ශණික රීන් ඩෙකාට් පළ කර ඇත….මේ අනුව පැවැත්මේ යථාව කෙසේ වෙතත් පැවැත්මක් ඇති බව නම් තහවුරු කර ගත හැක….

මෙලොව අනෙක් සියළු සතුන්ට සේම මිනිසාටද පැවැත්ම උදෙසා ඉතාම ප්‍රබල ස්ව-කේන්ද්‍රික ආශාවක් ඇත….මෙය මිනිස් ප්‍රකෘතියෙහි ඇති බලවත්ම ආශාව යැයි නොකියමි…එක්, එක් අවස්ථාවේ හැටියට වෙනත් ස්ව-කේන්ද්‍රික ආශාවන් පැවැත්මේ ආශාවද අබිබවා ප්‍රබල වෙයි…උදා: “තමාගේ රට, තමාගේ මව්බිම” යන තමා කේන්ද්‍ර කර ගත් පාර-භෞතිකය නිසා ඉමහත් තෘප්තියක් ලබන මිනිසුන් ඒ සංකල්පය රැඳී පවතින භූමිය උදෙසා සිය ජීවිතය පුද කරමින්, සිය පැවැත්ම අහෝසි කර දමති.. සතුන්ටද මේවා පොදුය..පනාමුරේ ඇත් රාජා සිය රැළෙන් අල්ලාගත් සතුන් වෙනුවෙන් සටන් වැදී දිවි දුන්නේය….”තමාගේ දරුවා” යන ස්ව-මූලික ආශාව නිසා, දරුවන් වෙනුවෙන් සිය දිවි දී මව්වරුන් සමහරෙක් පැවැත්ම අත්හැර දමති…සිය පැටවුන් ආරක්ෂා කර ගැනීමට මිනිස් මවුවරු මෙන්ම සත්ව මවුවරුන්ද අවදානම දෙසට පනිති…..මේ තැන්වලදී තමන්ගේ පෞද්ගලික පැවැත්ම අහෝසිකර දමන මිනිස්සු තමන්ගේ පෙළපත් පැවැත්ම සහ නාම කෝෂයන්ගේ පැවැත්ම එමගින් තහවුරු කර ගැනීමට වෙර දරති….නමුත් මෙවැනි විශේෂිත තත්වයන්හිදී හැර අනෙකුත් සාමාන්‍ය තත්වයන් හිදී තමාගේ ප්‍රකෘතිය දරන ශරීරය පවත්වා ගැනීම සඳහා මිනිසා ප්‍රමුඛ සත්ව ප්‍රජාව නොකර දෙයක් නැත…

“පැවැත්ම” යන්න එහි සියළු ස්වරූප වලින් අහෝසි වෙනවා යන්න මිනිසාට දැරිය නොහැකි භ්‍රාන්තියකි…භීෂණයකි…

මේ පැවැත්ම තහවුරු කර ගැනීම විෂයෙහි මෙලොව පරිකල්පන හැකියාව සහ සබුද්ධික විශ්ලේෂණ හැකියාව ඉතාම තීව්‍රව පවතින මිනිසා විසින් නීති, රීති, සම්මුතීන්, අයිතිවාසිකම්, ආරක්ෂණ වැඩපිළිවෙලවල්, දණ්ඩන නිවර්තන ක්‍රමයන් ආදී සංකීර්ණ සම්මුති සහ ක්‍රියාදාම ජාලයක් පවතී….

නමුත් මිනිසාට විශාල ප්‍රශ්ණයක් ඇත…තමුන් මෙතරම් ආශා කරන, ආදරය කරන “පැවැත්ම” සහ පැවැත්ම සමග විෂයබද්ධ “සංවේදනා, සංජානන” මරණයෙන් ඔබ්බටත් එසේම ලැබෙන සහ තිබෙන බවට වග බලා ගන්නේ කෙසේද? මිනිසා විසින් මෙලොව පැවැත්ම තහවුරු කරගැනීම සඳහා ජාලගත කර ඇති කිසිවක් මරණයෙන් “ඔබ්බ” නම් වූ යුගය සඳහා වලංගු නොවෙති…

බලාපොරොත්තුව මිනිසා ජීවත් කරවයි…බලාපොරොත්තුව පැවැත්ම මත 100% පදනම්ව ඇතැයි කීම මුසාවක් නොවේ….පැවැත්ම අහෝසි වන්නේද, ඒ මොහොතේ පටන් බලාපොරොත්තුව නැතිව යයි…සහමුලින්ම අතුරුදහන් වෙයි…

බලාපොරොත්තුව අහෝසි වීම මිනිසා පිස්සු වට්ටන සුළුය…මිනිසාගේ ප්‍රකෘතිය පවතින්නේ බලාපොරොත්තුව පවතින තුරු පමණි….බලාපොරොත්තුවෙන් තොර තත්වයකදී ප්‍රකෘතිය, සවිඥානය හානියට පැමිණෙයි….යම් මොහොතකින් එහාට පවතින බලාපොරොත්තු කිසිවක් නැත යැයි කීම තරම් මිනිසා භීතියට පත් කරවන වෙනත් දෙයක් නැත…ඉදින් යම් හෙයකින්, ඒ “බලාපොරොත්තු සියල්ල, සහ ඒවායේ ඉටුවීම” අතුරුදහන් වන මොහොත හෙවත් “පැවැත්ම” නවතින මොහොත යථාර්තයක් වෙතොත්, ඒ යථාර්තය මිනිසාට මුහුණ දීමට අසීරුම යථාර්තයයි….මිනිසා අමතක කිරීමට කැමතිම යථාර්තයයි….

“මරණය” හෙවත් පැවැත්ම දරන කයට තව දුරටත් එකී අත්‍යාවශ්‍ය ජෛව-රසායනික ක්‍රියාකාරකම් නොපිරිහෙළා කළ නොහැකි වන අවස්ථාවෙන් ඔබ්බට “පැවැත්මක්” ඇතැයි සිත හදා ගැනීම මිනිසා මේ පිස්සු වට්ටන, බියකරු යථාර්තයට පිටුපෑමට කරන පළමුවැනි උත්සාහයයි…මෙමගින් මිනිසා “මැරුණාට කමක් නැත…මරණින් ඔබ්බටත් පැවැත්ම පවතී…එසේ හෙයින් බලාපොරොත්තුද පවතී…” යැයි තමාවම සනසා ගනිති….මරණයත් සමග කිසිවක් නොමැති Nothingness එකට පා තබනවා කියන විට මිනිසාගේ ඇඟේ මයිල් කෙළින් වෙයි…ඊට වඩා අපායේත් බලාපොරොත්තුවක් තිබිය හැක….

බලාපොරොත්තුව වැඩි වශයෙන්ම පවතින්නේ සංවේදනා තුළය….අපායේත් සංස්ථානික සංවේදනයන් ඇති බැවින් මුකුත් නොපවතින Nothingness එකට වඩා ඒකත් හිතට සහනයකි….

මෙය “පරලොව” සාදන පළමු ගඩොල ලෙස ගනිමු….

පරලොව Architect මිනිසාමය….එහි අනෙකුත් නිර්ණායකයන් මොනවාද?

ඉහත කියන ලද පළමු ගඩොල මත මිනිසා පරලොව ඉදිකිරීම ආරම්භ කරයි….මේ ඉදි කරන ලෝකයේ ස්වභාවය තීරණය වන තවත් කරුණු පහත දැක්වෙයි…..”පරලොව” හෙවත් මරණින් මතු පැවැත්ම හෝ ප්‍රති-පැවැත්ම පිළිගන්නා සියළුම ආගම් වල මේ ලෝකය තැනෙන කරුණු වල පොදු ලක්ෂණ දැකිය හැක…

එක් ජීවියෙකු පමණක් සිටින අවකාශයක් තුළ ඒ ජීවියාට උපරිම නිදහසක් ලැබෙයි…එහෙත් එම අවකාශයට තවත් ජීවියෙකු පැමිණි වහාම, ඒ අවකාශය “බෙදාගැනීමට” සිදුවන බැවින් ජීවීන් දෙදෙනාටම රීතීන් සම්මත කරගෙන ඒවාට යටත් වීමට සිදුවෙයි….එසේ වන්නේ ඒ ජීවීන් දෙදෙනා එකිනෙකාගේ උවමනාවන්ට අදාළ තම පැවැත්ම “හසුරුවා” ගත යුතු හෙයිනි….නීතිය නම් වූ ස්වාමියා අප විසින්ම නිමවා ගන්නේ මේ අයුරින් සමස්ථ සමාජයම හසුරුවා ගත යුතු හෙයිනි….

මෙසේ “හැසිරවීමෙහි” අරමුණු නම්:

ප්‍රාථමික අරමුණු:

1. මිනිස් ජීවීහු අතර බෙදාගන්නා පරිසරයෙහි සංහිඳියාව, සාමය පවත්වා ගැනීම
2. අසාධාරණය ප්‍රහීණ කිරීම
3. මනසින් උසස් ජීවියා බැවින් කැලෑ නීතියට අනුව රූප කායේ ශක්ති ප්‍රමාණය මත පරිභෝජනය කිරීම වැලැක්වීම

ද්විතීයික අරමුණු:

1. පන්ති භේදයන්, ජාති, ජන වාර්ගික හෝ ලිංගික විභේදනයන් පවත්වා ගැනීම, ඒවා අහෝසි කරන්නට හෝ සාහසික ලෙස අතික්‍රමණය කරන්නට, අන්තර්ගමනය කරන්නට දරන උත්සාහයන් වැළැක්වීම – දුර්වලයන් පෙළීම

2. ඉහත කී භේදයන් නිසාම වන පරිහාරයන් ( Discrimination ) අහෝසි කිරීම ( ශිෂ්ඨ සම්පන්න සමාජයන් වල නම් ) – දුර්වලයන් ආරක්ෂා කිරීම
3. සාමාජීය හැසිරීම සුළුතරයකගේ නොව බහුතරයකගේ අපේක්ෂා වල සම්මිශ්‍රණයක් ලෙස පවතින බවට වග බලා ගැනීම – කල් පවතින සංහිඳියාව
4. අනර්ථ කාරී හෝ සමාජ විරෝධී දේ ලෙස සම්මුතිගත දේ සිදුවීම වැළැක්වීම…

නීතිය මෙන්ම පරලොව තනන ආගමික දර්ශණයන්ද ඒ සඳහා බොහෝ විට යොදාගන්නේ:

1. සමාජයට අවශ්‍ය වන “යහපත්” යැයි සම්මත හැසිරීම උත්තේජනය කරන ත්‍යාග, දීමනා හෝ ඒ පිළිබඳ “පොරොන්දු”
2 සමාජයට අනවශ්‍ය “අයහපත්” යැයි සම්මත හැසිරීම නිෂේධනය කරන දණ්ඩනය, භීෂණය හෝ ඒ පිළිබඳ “හෙළිදරව්”

මේ අපිම සාදන පරලොවෙහි ගොඩනැගිලි ද්‍රව්‍ය වේ ….

“පරලොව” විවෘත ගිණුමක් ලෙස

දර්ශණයෙහි මූලික කාර්ය භාරය වන්නේ නොවිසඳුණු ගැටලු වලට විසඳුම් සෙවීමය…මෙහිලා මිනිසාට මූලිකවම ඉස්මතුවන ගැටලු වන්නේ?

“මම කවුද?”

“මම ආවේ කොහි සිටද?”

“මම පවතින්නේ ඇයි? මෙලොව පවතින්නේ ඇයි? විශ්වය පවතින්නේ ඇයි?”

“මේ සියල්ල අවසාන වන්නේ කෙසේද? ඇයි අවසාන වන්නේ?”

“අවසානයෙන් පසුව කුමක් වේද?”

” මේවා ඉබේම වෙනවද? කවුරු හරි කරවනවද?”

මේ ප්‍රශ්ණ මාලාවට පිළිතුරු සෙවීමම “ආගම්” බිහිවීමේ මූලික හේතුද වන්නේය……

ආගම් සියල්ල හා බැඳී තිබෙන පරලොවද මේ සියළු ප්‍රශ්ණ වලට නොදිය හැකි පිළිතුරු අහුලා ගනු ලබන සහ බැර කරනු ලබන විවෘත ගිණුමකි….

මෙහෙන් එහෙටද ?  එහෙන් මෙහෙටද ?

පරලොව හැමවිටම පාර-භෞතිකය…මරණයෙන් ඔබ්බේ අපට ඉන්ද්‍රිය පූර්වව සංවේදනය කළ හැකි භෞතිකයක් නැති හෙයින් මරණයෙන් ඔබ්බේ පවතින සියළු දේ අපට ගෝචර නොවේ….

ඇතැම් දාර්ශණිකයන් මේ පාර-භෞතික “පර ලෝකය” අප මේ මොහොතේ යථාවේ අත් දකින ලෝකයට වඩා බෙහෙවින්ම ශ්‍රීමත් වූවක් බව පැවසූහ….අපගේ ලෝකය ඒ ශ්‍රේෂ්ඨ වූ ලෝකවල සෙවණැල්ලක් පමණකැයි කීහ….

සොක්‍රටීස් විශ්ව සාධාරණය සහ විශ්වීය නිරවද්‍යතාවය ගැන දේශනා කළේය…ඔහුගේ සිසුවා වූ ප්ලේටෝ අප දකින අසම්පූර්ණ භෞතිකය පිළිබඳව සංකල්ප අපට සාදා දෙන “සංකල්ප ලෝකය” ( Ideal World – Platonic Idealism ) ගැන දේශනා කළේය…මොවුන් දෙදෙනාම බොහෝ දුරට කලේ භෞතිකය යනු පාර-භෞතිකව පවතින්නක අවර ගණයේ කොපියක් පමණක් යැයි අපට ඒත්තු ගන්වන්නට උත්සාහ කිරීමය….

යම් යම් දෑ විෂයෙහි අපට තිබෙන පරම පරිපූර්ණ සංකල්පනා අපට ලැබී ඇත්තේ අප මෙලොව උපදින්නට පෙර සිටම සංකල්ප ලෝකයෙහි ඒවායේ පරමාදර්ශ දැකීමෙන් හිතේ තැන්පත් වූ අනුභූතීන් ඇසුරින් බව ප්ලේටෝ කීවේය…ඒ අනුව සංකල්ප ලෝකයෙහි සිටින පරම පරිපූර්ණ ගැහැණියගේ “අච්චුව” දැක තිබෙන අපට ඒ ගැහැනියගේ පරිපූර්ණත්වයෙන් යම් යම් කොටස් විවිධ ස්වරූපයෙන් පිහිටා තිබෙන භෞතික ලෝකයේ ජීවීන් දැක ඔවුන් “ගැහැණු ” ලෙස හඳුනා ගැනීම කරගත හැක…ගැහැණියක් යනු “වීනස්” දෙවඟනගේ බඳු පරම නිරවද්‍ය ප්‍රමාණයෙන් සහ ස්වරූපයෙන් යුතු, දෙ-ඇස්, කේශකළාපය, ග්‍රීවය, දෙතන, උදරාශ්‍රිතය, යෝණිය, දෙපා, නිතඹ, පිට ප්‍රදේශය ඇතිව සංකල්ප ලෝකයේදී අප දකින ලද ජීවියෙකි…මෙලොවදී මේ ලක්ෂණ වලට කිට්ටුවෙන් යන ස්වරූප ඇති අය දකින විට අපට සංකල්ප ලෝකයේ දුටු, ඒ දුටු නිසා අපි “දැනගෙන” අනුභූති ගත කරගෙන සිටි “සංකල්ප ගැහැණිය – වීනස් දෙවඟන” ( Ideal Woman – Venus) සිහිවීමෙන් මේ දකින ජීවියා “ගැහැණියක්” (Categorization) ලෙස හඳුනාගෙන ඒ කුලකයට එකතු කර ගනී….

බයිබලය සහ කුරාණය යන ඒබ්‍රහමික ඒක දේවවාදී ආගම් දෙකම දෙවියන් වහන්සේ මිනිසාව සිය පරමෝත්තම ස්වරූපයෙන් නිමැවූ බවක් කියති….බුදුන්ගේ දර්ශණය මිනිසා ආභස්වර බ්‍රහ්ම ලෝක වලින් පැමිණි සුසමාදර්ශී ස්වරූප සහිත ජීවීන් රස පොළව උල කා වීම නිසා මිනිස් වර්ගයා බිහිවූ බව කියයි…හින්දු දර්ශණය පරම පීතෘ බ්‍රහ්මයාගෙන් මිනිසා බිහිවූ බවත්, එහිදී “ථාර්-ශක්ති” නොහොත් සරස්වතිය සහිත විශ්ව ස්ත්‍රීත්වය ගැහැණිය බිහි කරන්නට දායක වූ බවක් කියයි… මේ සියල්ල පොදුවේ කියන්නේ මිනිසා සහ මිනිසා අයත් මෙලොව භෞතිකය, එයට වඩා ශ්‍රීමත් පැවැත්මකින් ආ බාළ කොපි බවය…ඒ අනුව ආදම් පරම පූර්ණ පුරුෂයෙකි…ඒවා පරිපූර්ණ ගැහැණියකි…එහෙත් ඔවුන් දෙදෙනා රමණයෙන් බිහිවූ මිනිසුන් සහ ගැහැණුන් දෙවියන් සෘජුව නොමැවූ හෙයින් අසම්පූර්ණය….කෑමකට ඇබ්බැහි වූ පමණින් බ්‍රහ්මයන්ගේ පරිපූර්ණ රූපකායෝ අසම්පූර්ණ වෙති…බලයෙන් පිරිහෙති….ඇත්තටම මේ කියන්නේ අප දකින යථාවෙන් ඔබ්බේ පවතින විකල්ප යථාවක පැවැත්මක් ගැනද? නො-එසේ නම් මිනිසා තමන්ගේ සීමා මායිම් වලින් ඔබ්බට යා ගත නොහැකි ගොඩ නගා ගන්නා මනෝ භ්‍රාන්තීන් සමග තමන්වම සසඳාගෙන වැටී සිටින මුළාවක් ගැනද?…

මේ කවුරුත් කියන්නේ “විශිෂ්ඨ, පරිපූර්ණ “එහේ” සිට දූෂිත, අසම්පූර්ණ “මෙහේට”  ආ බවකි….

මෙම ලියුම්කරුවාට හැඟෙන පරිදි පාර භෞතික සහ භෞතික අතර සබැඳියාව නිවැරදිව දේශනා කරන ලද පළමු ග්‍රීක දාර්ශණිකයා වන්නේ ඉහත ප්ලේටෝගේ සිසුවෙකු වන ඇරිස්ටෝටල්ය…

ඇරිස්ටෝටලාචාර්යයා මෙසේ කීවේය:

“All human actions have one or more of these seven causes: chance, nature, compulsions, habit, reason, passion, desire.”

මිනිසා මෙකී උත්තේජක සහිත ක්‍රියාකාරකම් තුළින් පංචේන්ද්‍රිය භාවිතා කර “අත්දැකීම්” නිර්මාණය කර ගනිති…මෙකී අත්දැකීම් බොහෝවිට මිනිසාට පංචේද්‍රිය ගෝචර වන වස්තූන්ගේ හෝ ජීවීන්ගේ ස්වභාවය අනුව සැකසෙති….එහිදී මිනිසා තමන්ට වඩාත්ම බලපෑම් කරන ඉන්ද්‍රීය සංවේදන මතකයේ තබා ගනිති…

කල් යත්ම එකී සංවේදනයන් රාශියක් එකතු වීමෙන් සංකල්ප සෑදෙයි…ආදර්ශය සෑදෙයි….ඒ ඒ සංකල්පයන්ට උත්තම රූපක සෑදෙයි….

දැන් නැවත අප ගැහැණියගේ උදාහරණය ඇරිස්ටෝටල් ඇසුරින් කියවමු….

පිරිමි මනුෂ්‍ය ප්‍රාණියෙකුට “ගැහැණිය” නම් සංකල්පයට උත්තම රූපකය සැකසෙන්නේ ලිංගිකත්වය, ලිංගික තෘප්තිය සහ උත්තේජනය පදනම් කරගෙනය…ඒ අනුව ජීවිත කාළය පුරාවට අප,

පිරුණු පියයුරු සහිත ගැහැණු දැක ඒ අයගේ පියයුරු වලටද,

පිරුණු පුළුලුකුල සහිත ගැහැණු දැක ඒ අයගේ උකුළටද,

දැකුම් කළු උත්කුබ්ජන, නිකුබ්ජන දක්වන නිතඹ දැක ඒ නිතඹයන්ටද,

( අනිත් ඒවා කියන්න බෑ….ලැජ්ජයි… මට නම් ගෑණියෙක් කිව්ව ගමන් හිතේ මැවෙන්නෙ “බලම් පිචකාරී” සින්දුවේ දීපිකා පදුකෝන් ගස්සන ගැස්සිල්ල… 😀 😀 )

පවතින ආශාව හේතුවෙන් එකී අත් දැකීම් ගබඩා කර ගනිති…මනස එයින් ආදර්ශ  රූපකයන් සාදා දෙයි…ඒ අනුව ඒ සියළු ගැහැණුන්ගේ ඓක්‍ය සහිත උත්තම රූපකයක් (Metaphor) අපට ඉතිරි වේ….

( සරලවම කිව්වොත් අපට නිරපේක්ෂ ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ….ඒ නිසා ෆ්ලැට් පස්සක් තියෙන කෙල්ලෙක් දැක්කාම “අරකත් පස්සක්ද ඕයි?”  කියලා අහන්නේ මේ රූපකයේ ඉන්න පිරිපුන් නිතඹ සහිත ගැහැණියට සාපේක්ෂව )

අපි තව තව ගැහැණු දකින්න, දකින්න, මේ “ගැහැණිය” නම් සංකල්පය (Idea) නියෝජනය කරන රූපකය පෝෂණය වෙනවා….

ඒ අනුව ඇරිස්ටෝටල්ගෙන් ( ඇරිස්ටෝටලුත් දෙවියන් ඇදහුවා .. ඒ ගැන වෙනම ) පටන් ගෙන බොහෝ දුර ගමනක් ආ දාර්ශණික ශාඛාවක අනුභූතිවාදීන් සැමවිටම කිව්වේ “අත්දැකීම් රැසක් එකතු වීමෙන් මනසේ ආදර්ශ  රූපකයන්” හටගන්නා බවකි… ඒ අනුව

“භෞතිකය මත පාර-භෞතිකය නිර්මාණය වී ඇත” යන නිගමනයට ඔවුන් එළඹුනා….

මේ විෂයෙහි චින්තනයට විශාලතම සේවාවක් කරපු දාර්ශණිකයන් තිදෙනෙක් වන ජෝන් ලොක්, ඩේවිඩ් හියුම් සහ එඩ්මන්ඩ් හෂර්ල් ඇසුරින් නැවතත් කිව්වොත් :

” අපිට පංචේන්ද්‍රිය ගෝචර වන භෞතිකය ඇසුරෙන් අපිම පාර භෞතිකය හෙවත් ඉන්ද්‍රිය ගෝචර ලෝකයෙන්, පරිසරයෙන්, “ඔබ්බ” ගොඩ නගනවා”

මේකම තව ටිකක් පැහැදිලි කරන්න ඕන වෙනස් විදිහකින් මෙතනින් ඉස්සරහට යන්න කලින්….

අනුභූතිවාදය සහ බුද්ධිවාදය අතර විශාල දාර්ශණික ගැටුමක් නිර්මාණය වෙලා තිබුණු යුරෝපයේ පහත දෙ-ආකාරයට අදහස් දක්වපු අය හිටියා…

1. විඥානය, සිහිය, මනස මුලින්ම පහළ වී භෞතික යථාර්තය සහ පැවැත්ම ඒවායේ නිර්මාණයක් වූවාද? (Primacy of Consciousness)

2.භෞතික  යථාව මුලින්මත්, ඉන් පසුව පැවැත්මත්, එයටත් පසුව පැවැත්මක් අත්‍යාවශ්‍ය වන්නා වූ සවිඥාණික භාවයත් පහළ වූවාද? (Primacy of Existence)

මෙතනින් පිළිගත හැකි වඩාත්ම යථාවාදී දෙය කුමක්ද?

සවිඥාණය උදා වෙන්න නම්, සිහිය පහළ වෙන්න නම් පැවැත්ම තමයි මුලින් එන්න ඕන…පැවැත්ම පිළිබඳවයි සවිඥාණික වෙන්නෙ….පැවැත්මක් තිබෙන්න නම් භෞතික යථාර්තයක් තියෙන්න ඕන…එය මේ ආකාරයෙන් හෝ කවර ආකාරයකින් හෝ තියෙන්න ඕන….යථාර්තය මත තමයි සියල්ල යැපෙන්නේ….

ඒ අනුව නැවතත් කිව්වොත්

මිනිසා >>> පංචේන්ද්‍රිය හරහා භෞතික යථාර්තය සේවනය කර, එමගින් අත්දැකීම් ලබා ගනිති >>> ඒ අත්දැකීම් ඇසුරින් දැනුම >> දැනුම ඇසුරින් සංකල්ප >> සංකල්ප වලට පරිකල්පනය, මානුෂීය හැඟීම්, ආදිය මිශ්‍ර කිරීමෙන් ෆැන්ටසි, අධි-යථාර්ත ස්වරූපයන් සාදා ගනිති….නමුත් මේ සියල්ල කෙරෙන්නේ මිනිසාගේ භෞතික යථාවට අනුරූපීව එයට කීකරු වෙමින්ය….ඒ මිනිසා භෞතික යථාවට නිරාවරණය වී ඇති තරම සහ ආකාරය අනුවය ….. ( Man`s level and Nature of exposure to physical reality and his or her experience with it, will determine the outcome of his Hyper-Physical and Fantasy constructions )

මීළඟ කොටසින් බලමු

1. විවිධ භෞතික අත්දැකීම් සහ ඒ ඇසුරේ ගොඩනැගුණු සංස්කෘතික ඓතිහාසික කරුණු

2. මානව විද්‍යාත්මක කරුණු ඇසුරින්

අපි විවිධ ආකාරයේ “පරලොව” ගොඩ නගාගෙන ඇති ආකාරය….

 

භූමි කම්පාවක් යනු කුමක්ද? – ලයිෂන් ගැනීම !

මෙම ලිපියෙන් මේ බ්ලොග් අඩවිය බලාපොරොත්තු වෙන්නෙ

1. භූමිකම්පාවක් හටගන්නා ආකාරය
2. එයට අදාළ භූ විද්‍යා සහ භෞතික විද්‍යාත්මක කරුනු කාරණා
3. එයින් සුනාමි තත්වයක් හටගන්නේ කෙසේද

යනාදිය පිළිබඳව කරුණු කීපයක් සරලව විග්‍රහ කිරීමටයි….

මුළින්ම කියන්න ඕන, මේ බ්ලොග් කරුවා වරලත් භූ විද්‍යාඥයෙක් නෙමෙයි….මම වෘත්තියෙන් සන්නිවේදන ඉංජිනේරුවෙක්….

ඒ උනාට මේ බ්ලොග් එක “නොදන්න මගුල් නෙ”…අපි කථා කරන්නෙම නොදන්න, විෂය ක්ෂේත්‍රයට අදාළ නැති මගුල්මයි…භූ විද්‍යාව විෂයානුබද්ධව විධිමත් හැදෑරීමක් කරලා තියෙන අය මේවා කියවලා ගුද මාර්ගයෙන් ප්‍රහසනය පහළ කරනවා ඇති…ඒත් කමක් නෑ ඕයි ඔන්න ඔහේ…!..

මාගේ මේ ව්‍යායාමය හුදෙක් පොරක් වීම පිණිස ( පමණක් ) නොව “ජනප්‍රිය විද්‍යාත්මක සංස්කෘතියක්” (Popular Science – Pop Sci) ශ්‍රී ලංකාව තුළ බිහිකර, විද්‍යාත්මක චින්තනය ලංකාවේ චිරස්ථික කරවීම උදෙසාය…ඒක කළින් වතාවේ වෙනින් ආරකින් කරන්න ගිහිල්ලා ලෙසටම ඇණ ගත්තා…මේ ඇවිල්ලා ඒකෙ “Take Two” එක….මේ ජනප්‍රිය විද්‍යාත්මක සංස්කෘතිය අපේ රටේ බොහෝ තුවාල සුවපත් කරාවි කියලා මම හිතනවා….දියුණු රටවල මේක දැන් ඉතාම ජනප්‍රියවෙලාත් දශක තුන හතරක් ගතවෙලත් ඉවරයි…

“ජනප්‍රිය විද්‍යාව” යනු –

භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ඒවා මැදිකරගෙන බිහිවෙන තාක්ෂණ තන්ත්‍රයන් ( ඉංජිනේරු සහ තාක්ෂණ ශිල්පී ක්ෂේත්‍රයන් ) ඒවායේ ඇකඩමික ස්වරූපය සහ යෙදුම අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා… ඒ කොටස් දෙක තමයි

1. සෛද්ධාන්තික විද්‍යාව – Theoretical Science
2. ව්‍යවහාරික විද්‍යාව – Applied Science

සෛද්ධාන්තික විද්‍යාව කරන්නේ සරලවම එහි නම යෙදෙන හැටියටම පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන, ගවේෂණ තුළින් විද්‍යාව පෝෂණය කරන සිද්ධාන්ත ගොඩ නගන එක…දැනුමක් නිර්මාණය කර දීම….ව්‍යවහාරික විද්‍යාව කරන්නේ එසේ ගොඩ නගාදුන් දැනුම නිසා විද්‍යාවේ පවතින සිද්ධාන්තයන් ප්‍රායෝගිකත්වයට හඳුන්වා දෙමින්, එයින් පරීක්ෂණ, ගවේෂණ, කරමින් ප්‍රයෝජ්‍ය වටිනාකමක්, තාක්ෂණයක්, නිරීක්ෂණ මාලාවක් ගොඩ නැගීම…බොහෝ විට සෛද්ධාන්තික විද්‍යාවේ නිර්වචනයන් සත්‍ය බව යථාව තුළ ඔප්පු කර පෙන්වීම හෝ නැත්නම් ඒවා වැරදි බව ඔප්පු කර පෙන්වීම කරන්නෙ මේ ව්‍යවහාරික විද්‍යාඥයන් තමයි…මේ ක්ෂේත්‍ර දෙකටම අයිති දෙන්නෙක්ව උදාහරණ වශයෙන් ඕන නම්, ආන්ඩ්‍රේ ෂැකරොෆ්, රොබර්ට් ඕපන්හයිමාර් වගේ අය ව්‍යවහාරික පාර්ශවයටත්….නෑ එක්කෝ ඕන් නෑ…ඊට වඩා පොදු ජනතාවට සමීප උදාහරණයන් දෙකක් දෙන්නම්…  😀

බලල තියෙනවද “The Big Bang Theory” ? ඒකෙ කාගෙත් ආදරය දිනාගත් “ෂෙල්ඩන් කූපර්” සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්….එයාගේ නිවසේම සිටින ඔහුගේ හොඳම මිතුරා වන “ලෙනාඩ් හොෆ්ස්ටෙඩර්” ව්‍යවහාරික භෞතික විද්‍යාඥයෙක්….දැන් මේක හිතේ තියාගෙන “TBBT” වැඩසටහන් මාලාව තුළ ඔවුන් දෙදෙනා හැසිරෙන හැටි සහ කරන කියන් දේවල් නිරීක්ෂණය කිරීමෙන් ඔබට මේ ක්ෂේත්‍රයන් දෙකේ වෙනස නිවැරදිව අවබෝධ වෙයි…. 😀

මෙකී විද්‍යාත්මක අධ්‍යයන පරාසයන් දෙක තුළ භාවිතා වන “විශේෂඥයන්ගේ භාෂාවන්” තියෙනවා….වෙනත් වචන වලින් කිව්වොත් Technical Jargon / Experts Language කියල කියන්නෙත් ඒකටම තමයි…ඒක මේ සාමාන්‍ය මිනිස්සු නොහොත් Laymen ලට තේරෙන්නෙ නැහැ….ඉතින් බහුතරය ඉන්නෙ සමාන්‍ය මිනිස්සු නෙ ඒ විෂය ක්ෂේත්‍රයන්ගෙ විශේෂඥයන්ගේ දුර්ලභ බව හිතනකොට….ඒ අයව සම්බන්ධ කර නොගෙන කොහොමද විද්‍යාත්මක චින්තනය දියුණු කරන්නෙ…කොහොමද රටක විද්‍යාත්මක කථිකාවතක් ඇති කරන්නෙ?….කොහොමද විද්‍යාව ඉදිරියට ගෙන යෑම සඳහා මිනිස්සු හැම කෙනෙක්ගෙම අදහස් එකතු කරගන්නෙ…?…විද්‍යාව යනු අනෙකුත් ඥාණ මීමංසාවන් ( Epistemology) මෙන් නොව “දහසක් මල් පිපිය යුතු”යි සාර්ථක වන්න නම්…

එහෙම නම් මේ මහා සමාජය තුල ඉන්නවා වෙන්න පුලුවන් විශේෂඥයන්ගේ භාෂාව කථා කරන්න තරම් අධ්‍යාපනයක් නොලැබුණත්, එයටත් එහා ගිය දියුණු අදහස් ඇති, වත්මන් විද්‍යාව විසඳුම් සොයන ගැටලු වලට නිසි පිළිතුරු හිතේ තබාගෙන කියාගන්න ක්‍රමයක් නැතුව ඉන්න “ගොලු ප්‍රාඥයන්”…..ඒ අයව මේවා ගැන කථා කරන්න එළියට ගන්න පාලම තමයි “ජනප්‍රිය විද්‍යාව”….ඒ වගේම මෙතෙක් විද්‍යාව ගැන සැලකිල්ලක් නොදක්වපු අයට, විශේෂයෙන්ම දරුවන්ට එහෙම, ඒ ගැන හොයන්න, ගවේෂණය කරන්න පොළඹවන දේ තමයි ජනප්‍රිය විද්‍යාව කියන්නෙ….

විද්‍යාව “ජනප්‍රිය විද්‍යාව” ලෙස සාමාන්‍ය ජනයා අතරේ එකක් වෙන්න පටන් ගන්නේ 19 වැනි සියවසේ අග භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයෙදි ….. 1872 දි මෙනමින් ( Popular Science) ඇමරිකාවේ මාසික සඟරාවක් පටන් ගන්නවා…එවක් පටන් මේ “Pop Sci” Trade Mark එක ජනප්‍රිය දෙයක් බවට පත්වෙනවා….මෙය අද වන තුරු විවිධ මුහුණුවරින් යුතුව පවතිනවා…. මේ සඟරාවට සමගාමීව තරමක් මේ පැත්තෙන් ප්‍රතිගාමීව හිටපු යුරෝපයත් දැනුම බෙදා හැරීම ක්‍රමයෙන් ලිහිල් කරනවා…ඇකඩමික ඩැහි අඬුවෙන් බොහෝ නිර්මාණශීලීත්වය වසා තබාගැනීම ඉදිරිගමනට අහිතකර බව කියැවෙන චින්තන ප්‍රවාහයක් නිර්මාණය වෙනවා…..

කවුද මේ Layman නොහොත් සාමාන්‍ය මිනිසා කියන්නෙ….?

ලෝකයේ ඕනම විෂය, අවිෂය ක්ෂේත්‍රයක “සාමාන්‍ය මිනිසා” ඉන්නවා….අපි හැම කෙනෙක්ම මොකක් හෝ ක්ෂේත්‍රයක “සාමාන්‍ය මිනිස්සු”…. මේ සාමාන්‍ය මිනිස්සු කියන්නෙ එක් එක් විෂය ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයන්. විශේෂඥයන්, හෝ අවම වශයෙන් විද්වතුන්, දැනුමැත්තන්, ශිල්පීන් නොවන අයට….වෛද්‍යවරයෙකු ඉදිරියෙදි අපි සාමාන්‍ය මිනිස්සු, මූල්‍ය විශ්ලේෂකයෙක් ඉදිරියෙදි වෛද්‍යවරයා සාමාන්‍ය මිනිහෙක්, ඒ විශ්ලේෂකයා පොල් කඩන ගිරිගෝරිස් ඉදිරියේ සාමාන්‍ය මිනිහෙක්, ගිරිගෝරිස් හන්දි කඩේ නාමක්කා ඉදිරියේ සාමාන්‍ය මිනිහෙක්.. ඒ ඒ විෂයට අදාළව වෙනත් ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක්, විශේෂඥයෙක් උනත් “ලේමන්” කෙනෙක් වෙනවා….එතකොට ඒ විෂය පිළිබඳව කථා කරන භාෂාවත් ඒ ඇසුරෙන් Experts Language (Jargon) සහ Laymen`s Language යනුවෙන් දෙකට බෙදෙනවා….

Jargon කියන වචනයට වෙබ්ස්ටරයේ තිබෙන්නෙ පහත අර්ථයන් දෙක:

1. Confused and or unintelligible Language

2. The Technical Terminology or Characteristic idiom of a Special Activity or Group

මාක් ට්වේන් කියන්නෙ 19 වැනි සියවසේ ජීවත් වුණු ශ්‍රේෂ්ඨ ඇමරිකානු දාර්ශණිකයෙක් සහ ලේඛකයෙක්..හක්ල්බෙරි ෆින් ගැන අපි කවුරුත් වගේ අහල ඇති….මෙතුමා තමයි හක්ල්බෙරි ෆින් සහ ඔහුගේ මිත්‍ර සුප්‍රකට ටොම් සෝයර්ගේ පියා…

එතුමා එතුමාගේ “Which was the dream? And other Symbolic Writings of the Later Years” කියන පොතේ “Three Thousand Years Among the Microbes” යන ලේඛණයෙහි මෙසේ සඳහන් කරනවා Academic Jargon ගැන…..

“As concerns this question, our inspired Founder instructs us that the fealty due from the Ultimate in connection with and subjection to the intermediate and the inferential, these being of necessity subordinate to the Auto-Isothermal, and limited subliminally by this contact, which is in all cases sporadic and incandescent, those that ascend to the Abode of the Blest are assimilated in thought and action by the objective influence of the truth which sets us free, otherwise they could not.” ….. 😀 😀 😀  ( පුලුවන් කෙනෙක් තෝරන්න… මට නම් තේරෙන්නෙ නෑ මෙලෝ දෙයක් )

It was just a snow-flurry on a warm day: every flake was distinct and perfect, but they melted before you could grab enough to make a ball out of them. ”

එතුමා Jargon හාස්‍යයට ලක් කළ කෙනෙක්…මේ උපහාසය ගැන එතුමා කියනවා “නීතිය සහ නීතියක් පැවැත්මේ අවශ්‍යතාවය අප සියල්ලන්ටම පොදුවේ දැනේ…එය අපි එසේ කියනවාට නීතිඥයන් කැමැති නැත” කියලා….

ඔය සමහරක් වෙලාවට අපි අපිව විශේෂඥයන් වන මොකක් හරි ක්ෂේත්‍රයක Jargon කථා කරනකොට එතන ඒ ක්ෂේත්‍රයේ සුදුසුකම් හෝ දැනුම නැති කෙනෙක් හිටියොත් එයා කියන්නෙ “In English Please?” කියලා….අන්න ඒ වගේ වෙලාවට අපිට සිද්ද වෙනවා මේ විශේෂඥ භාෂාව නොහොත් සහ අර පුද්ගලයා කථා කරන Laymen`s භාෂාව අතරෙ පාලමක් තනන්න….නොතැනුවොත් වෙන්නෙ අනවබෝධය !.. අනවබෝධය ඇති කෙනෙක් යම් ව්‍යාපෘතියකට සම්බන්ධ වීම ඉතාම භයානක දෙයක්….

මේ ජනප්‍රිය විද්‍යාවෙන් කරන්නෙ අන්න ඒ විදියෙ භයානක කමක් විද්‍යාව නම් වූ විෂය පථයෙහි ඇතිවෙන්න නොදී, ඒ වගේම ඒක “අධ්‍යයන ප්‍රභූන්” කුළයකට සීමා වෙන්න නොදී, මහා සමාජය ඒ කෙරෙහි අවබෝධකට පමුණුවා එහි කථිකාවතක් ඇති කරන එක…

කථිකාව හරහා තමයි දැනුම වැඩි තැන සිට අඩු තැනට සම්ප්‍රේෂණය වෙන්නෙ….එතනින් තමයි දැනුවත් භාවය වගේම චින්තනයේ මිශ්‍රණය ඇතිවෙන්නෙ….

ඕනෑම විද්‍යාවක හෝ ශාස්ත්‍රයක පැවැත්මට Jargon අත්‍යාවශ්‍යයයි තමයි…ඒක තමයි විශේෂඥයන් කථා කරන බස….නමුත් දැන් මේ වනවිට ලෝකය ඔප්පු කර හමාරයි දැනුම බෙදන්න නම් Jargon අත්‍යාවශ්‍ය වෙන්නෙ නෑ කියලා…ඒ කියන්නෙ අනවශ්‍යයි කියන එක නෙමෙයි….සීමිතව යොදාගෙන පුලුවන් කියන එක….

විද්‍යා මාධ්‍යකරණය  – Science Journalism

මෙරට තුල විදුසර ආදී මාසික සඟරා කිහිපයකින් හැර පොදුවේ වැඩිය දකින්නට නොලැබෙන, එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ ඉතාම දීප්තිමත්ව දකින්නට ලැබෙන මාධ්‍යකරණයක් තමයි මේ….

විදුදර ප්‍රජාව සහ ජන ප්‍රජාව ඉවුරු දෑලක් නම්, එය යාකරන පාලම තැනීමේ ලා ඉමහත් මෙහෙවරක් කරන පිරිසක් තමයි විද්‍යාත්මක දැක්ම හදාරා ඔවුන්ගෙන් අසා දැනගෙන මහ ජනතාවට වාර්ථා කරන මේ පිරිස….

දැනුම් සුළි සුළං ලොව පුරා හමන්න උපකාරී වෙච්ච අවපීඩන කළාපයන් ඇති කරපු ශ්‍රේෂ්ඨ ජනප්‍රිය විද්‍යාඥයො ටිකකට උදාහරණ දෙන්නම් දැන්…..

මේ පාර්ශවයන් දෙකටම අයත් වූවත්, සමාජ සේවා අරමුණු, වාණිජ අරමුණු හෝ වෙනත් අරමුණු රාශියක් නිසා “ජනප්‍රිය විද්‍යාව” ගොඩ නගන්න දායක වෙච්ච ශ්‍රේෂ්ඨ මිනිස්සුත් ඉන්නවා…ඒ අයට “ජනප්‍රිය විද්‍යාඥයන්” කියලා හැඳින්වුවත් වරදක් නෑ…නම් වශයෙන් කිව්වොත් කිහිප දෙනෙක්:

1. දැනට මෙලොව ඉන්න ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා වගේම ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා තමයි මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් (Professor Stephen Hawking)… එතුමා සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ අයින්සටයින්ට පසුව පහළ වූ දැවැන්තයා….මෙතුමා ජනප්‍රිය විද්‍යාවට ලැබුණු දායාදයක්….එතුමා සහ එතුමාගේ දියණිය වන ලූසී හොව්කින්ග් දෙපළ එකතුවෙලා මෙලොව දරුවන්ට, තරුණයන්ට, ගවේෂකයන්ට සුවිශාල දැනුමක් සහිත ග්‍රන්ථ සමුච්ඡයක් දායාද කර තිබෙනවා…. මට මෙතුමා පුද්ගලිකව මුණගැසී තිබෙනවා….

2. මගේ ප්‍රියතම කෙනා තමයි නීල් ඩිග්‍රස් ටයිසන් (Neil Degrasse Tyson)… එතුමාගේ දේශන වලදී කාළය ගතවෙනවා තේරෙන්නෙ නෑ… මට එතුමාවත් පුද්ගලිකව මුණගැසී තිබෙනවා…

3. බ්‍රයන් කොක්ස් (Brian Cox … මෙතුමා සමාන්තර විශ්වයන් පිළිබඳව න්‍යායන් සහ කළු කුහර පිළිබඳව, ස්ට්‍රින්ග් තියරි ( මේකට කියන සිංහල නම මොකක්ද කියලා දන්නෙ නෑ ..) ගැන එහෙම දීර්ඝ ගවේෂණයන් කරලා ඒ විද්‍යාවන්ගේ ගම්භීර බවට හානි නොවෙන විදියට සරල කරලා, සාමාන්‍ය ජනතාව අතරට ගෙනාවා….

4. බ්‍රයන් ග්‍රීන් (Brian Greene) … ඉහත විස්තරයම එතුමාටත් ගැලපෙනවා….

5. රිචඩ් ඩෝකින්ස් (Richard Dawkins)…. මම හිතන්නෙ මෑත යුගයක පහළ වූ අය අතුරින් නිර්-ආගමිකත්වයට, නිදහස් චින්තනයට, ඓහිකවාදයට, නිර්-ප්‍රතිරූප යැපීමට විශාලතම සේවයක් ඉටු කරන බුද්ධිමතා තමයි එතුමා….මට එතුමාවත් පුද්ගලිකව මුණගැසී තිබෙනවා…එතුමාගේ පොත් සිංහලට පරිවර්තනය කරන්න අවසර ඉල්ලන්න ගිහින් ඇණ ගෙනත් තියෙනවා….

6. කාල් සගාන් (Carl Sagan)… එතුමා අපේ පරපුරට වඩා එක් පරපුරකට උඩින් ජගත් කීර්තියට පත්වුණු ජනප්‍රිය තාරකා භෞතික විද්‍යාඥයෙක්….ජනප්‍රිය විද්‍යාව එහි වත්මන් ස්වරූපයෙන් ප්‍රචලිත කරන සුවිශාල මෙහෙවරක් කළ කෙනෙක්….

7. ක්‍රිස්ටෝෆර් හිචන්ස් (Christopher Hitchens) … මේ ගැන කථා කරනකොට මේ නාමය කෙසේ අමතක කරන්නද?… ජනප්‍රිය විද්‍යාව, නිදහස් චින්තනය, නිරවුල් දේශපාලනය යන සියලු ක්ෂේත්‍රයන්ට විශාල මෙහෙවරක් කළ විද්වතෙක්…

8. ශ්‍රීමත් පැට්‍රික් මුවර්  (Sir Patrick Moore) – බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ සාමාජිකයෙකු ලෙසත්, ජනප්‍රිය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ ආරම්භක සභාපති ලෙසත් පාසැල් දරුවන්, සරසවි සිසුන් ඇතුලු සමස්ථ ප්‍රජාවේම තාරකා විද්‍යා දැනුම නගාලීමට විශාල කථිකාවක් නිර්මාණය කළ, ප්‍රබල හඬක් ඇති මාධ්‍ය වේදියෙකු සහ විද්‍යාඥයෙක්…

9. කිප් තෝර්න් (Kip Thorne)… ඔබ කවුරුත් මේ දිනවල දැඩි සාකච්ඡාවට භාජනය කරන, මෙතෙක් නිපදවූ සාර්ථකම විද්‍යා ප්‍රබන්ධ ෆැන්ටසි චිත්‍රපටියක් වන “Interstellar” නම් චිත්‍රපටයට අවශ්‍ය විද්‍යාත්මක දැනුම සහ උපදේශණය නෝලන් සහෝදරවරුන්ට ලබා දුන්නෙ මෙතුමා…එම චිත්‍රපටියෙන් පසුව එතුමා ලියන ලද “The Science of Interstellar” නම් පොත මා සතුව තිබෙනවා….ජනප්‍රිය විද්‍යාව පැත්තෙන් විශාල සේවයක් එතුමා කර තිබෙනවා…

10. මිෂියෝ කාකු හෙවත් මිෂෙල් කකූ (Michelle Kaku) … සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්….සමහර වෙලාවට මොන මගුලක් කියනවාදැයි නොතේරුණත්, ඉතාම විශිෂ්ඨ දේශකයෙක්…

අපේ ආතර්.සී.ක්ලාක් , එතකොට ලොව සුපතල අයිසැක් ඇසිමොව් වගේ අයත් මේ ගණයට දාලා තියෙනවා මම දැක්කා විකිපීඩියා එකේ…ඒක වැරදියි…මේ ගැන අදහසක් ඵල කරමු නිව්යෝක් සරසවියේ මහාචාර්ය ඩේවිඩ් හොග් වතාවක් කිව්වා “විද්‍යා ප්‍රබන්ධ” ලිවීම නෙමෙයි ජනප්‍රිය විද්‍යාව කියන්නෙ කියලා…විද්‍යා ප්‍රබන්ධ කියන්නෙ ෆැන්ටසියක් නිර්මාණය කිරීමක් එක්තරා විදියකට…එය “කලාව” කියනවා මිසක් “ජනප්‍රිය විද්‍යාව” කියන්න පුලුවන්ද කියන්න මම දන්නෙ නෑ…එම්මැනුවෙල් කාන්ට්ගෙන් අහල කියන්නම් හම්බ වෙච්ච වෙලාවට….

මේ සියළු බුද්ධිමතුන් අතර පොදු දෙයක් තමයි, ඔවුන් වර්ථමානයේදී කතිකාවත් ගොඩ නගන්නේ ඔවුන්ගේ ඇකඩමියාවට සම්බන්ධ විෂය ක්ෂේත්‍රයන්හි “පමණක්” නොවීම….උදාහරණයක් හැටියට රිචඩ් ඩෝකින්ස් මහතා විද්‍යාත්මක චින්තනය සහ මානවවාදී දැක්ම ගැන මෙලොව පුළුල්ම කථිකාවත නිර්මාණය කරපු කෙනා උනත් එතුමා ජීව විද්‍යාඥයෙක් පමණයි…නමුත් ඒ කථිකාවත් වලදී එතුමා තාක්ෂණය ගැන, විශ්වවේදය ගැන, දේශපාලනය, ආර්ථිකය, කලාව මේ හැම දෙයක් ගැනම කථා කරනවා…ඒ සාකච්ඡා වලදි එතුමා බොහෝ විට ඒ ඒ විෂය ක්ෂේත්‍රයන් වල විශේෂඥයන් මෙන්ම සාමාන්‍ය පොදු ජනතාව නියෝජනය කරන අපි වගේ අයත් සම්බන්ධ කර ගන්නවා….

බොහෝමයක් ජනප්‍රිය විද්‍යා රචකයන් අවම වශයෙන් ඒ අදාළ ක්ෂේත්‍රයේ වත් ප්‍රබල ඇකඩමික හැදෑරීමක් කර ඇති අය නෙමෙයි….නමුත් ඔවුන් සියල්ලෝම බුද්ධිමතුන්….යමක් කියවා හදාරා වටහා ගන්නත්, ඒ සීමිත පරාසය අන් අයට හොඳින් කියා දෙන්නත් හැකි අය….ඒ අය කරන්නෙත් සේවයක්….ඒ අය ඒ ඒ විද්‍යාවන් වල මහා ප්‍රවීණයන් බිහි නොකළත්, ක්‍රමයෙන් ඒ කෙරෙහි සාමාන්‍ය ජනයාගේ අවධානය යොමු කරවනවා….ඒ අය හැදෑරීමේ පෙරගමන් කරුවෝ කියලා හඳුන්වන්න පුළුවන්….

දර්ශණය / දර්ශණයන් සහ ඒ වටා ගොඩනැගෙන ආගම් / ආගමිකත්වයන් නිසා නිර්මිත ඩොග්මැටික චින්තනය ( “ඩොග්මාව” යනුවෙන් අඳුරු යුගයේ යුරෝපයේ එක් එක් ආගමික කල්ලි වලට අයත් පූජ්‍ය පක්ෂය විසින් පොරවන ලෝගු හඳුන්වනවා)….ඩොග්මැටික චින්තනය යනු චින්තනයේ නිදහසට වැට බැඳ යම් කිසි ආගමික හෝ දාර්ශණික සංස්ථාවක්, ව්‍යුහයක් විසින් අනම්‍ය දාර්ශණික රීති, නීති සහ රෙගුලාසි වලට අනුව හිතන්න පුරුදු කරවන ලද කල්ලියක, ප්‍රජාවක, කණ්ඩායමක චින්තනය.…වත්මනේදී ආගමිකයන් සහ මාක්ස්වාදීන් ( සමාජවාදීන් (?), ලෙනින්වාදීන් (?), ට්‍රොට්ස්කිවාදීන් (?), ග්‍රැම්ස්කිවාදීන් (?)) හරහා මේ හැසිරීම දක්නට ලැබෙනවා…..ඔවුන් ස්වකීය දර්ශණය වෙනස් වීමට ඉඩ නොදී එහි මුල් ආකෘතිය හෝ මුල් ආකෘතිය යැයි ඔවුන්ට කියා ඇති පිටපතේ ලියැවී ඇති අකුරු වලට අනුවම පවත්වා ගන්න උත්සාහ කරන අතර, එහි ප්‍රතිඵලයක් හැටියට ලොව පුරා බොහෝ මත ගැටුම් සහ භෞතික ගැටුම් නිර්මාණය වී තිබෙනවා….මේවා සමූළ ඝාතනයන්, ඉතිහාසයේ සිදුවූ දරුණුතම ලේ වැගිරීම් දක්වා ගිහින් තියෙනවා…..ඒ දර්ශණයන් ඒ නිසා අමූලික බොරු වෙනවා කියන සාහසික කියමන නෙමෙයි මේ කියන්නෙ….ඒවා ආධානග්‍රහයෙන් අනතුරුව සිදුවුණු දේ ගැන කීම පමණයි….ඒ දර්ශණයන්ගෙන් සමහරක් ඒවා කාළාණුරූපිව යල් පැන ගොස් ඇතත්, ලෝකය දකින්න සහ තේරුම් ගන්න අවශ්‍ය කරන දැනුම ඒවායින් උකහාගන්න පුලුවන්….

ජනප්‍රිය විද්‍යාව පෙරටු කරගෙන අද දියුණු රටවල වේගයෙන් පැතිරී යන විද්‍යාත්මක චින්තනය “සාමාන්‍ය ජනයාට” සමීප කරවීම, සහ ඒ හරහා නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, වෙනස් කම් ඉවසීම, මානවවාදය, හරහා චර්යා දියුණුව ගොඩනැගීම ලෝකයේ අනෙක් කළාපයන් ආදර්ශයට ගත යුතුයි කියලා මම හිතනවා… ජනප්‍රිය විද්‍යාව හඳුන්වා දීම හරහා පියවර කිහිපයකින් සමාජයක් ගොඩ දාන්න පුලුවන්…ඒ පියවරවල් පහත පරිදි විය හැක….

1. ජනප්‍රිය විද්‍යාත්මක මාතෘකා සමාජගත කිරීම – විද්‍යාත්මක පරීක්ෂණය, ගවේෂණය, නිරීක්ෂණය, නිගමනයන් හරහා ගොඩනැගෙන අනුභූතික සාක්ෂි (Empirical Evidence) පිළිබඳව මිස සම්පූර්ණයෙන් හෝ පාර්ශ්වික ඔප්පු නොකරන ලද ප්‍රවාද ගැන පවතින “දැඩි” විශ්වාසය ක්ෂීණ කිරීම….

2. ඒ හරහා විචාරාත්මක සහ විවේචනාත්මක චින්තනය (Critical Thinking) ගොඩනැගීමයන් තුළින් නිර්මාණශීලීත්වයට ඉඩහසර ලබා දීම…

3. මිනිසා මූලික කරගත් තාර්කික චින්තන රටාව හෙවත් “මානව වාදය” (Humanism) ගොඩ නැගීම …

4. එසේ මිනිසා මූලික කරගත් සමාජයන් හරහා පුද්ගලානුබද්ධ අයිතිවාසිකම් රැකෙන සමාජයක් නිර්මාණය කිරීම….තාර්කික අවස්ථාවන් වලදී හැර අතාර්කික අනුගාමයන් නිසා පුද්ගල නිදහස නො-ඇහිරෙන ලෙසට කටයුතු කිරීම….

කොටින්ම කිව්වොත්, මේක කරන්නේ මෙන්න මේ හේතුව නිසයි කියලා විචාරයේ ප්‍රාථමික, ද්විතීයක සහ තෘතීයික පරාසයන්ගෙන් එකකට හෝ කිහිපයකට හසුවන හේතුවක් නොදැක්විය හැකි දේවල් මත සිදුකෙරෙන ක්‍රියාකාරකම් අවම කිරීම….මොකද මේ ඉහත කියපු විචාරයට ගෝචර ක්‍රියාකාරකම් වලදී

1. ඒවා වෙනස් විය හැකි බවත්

2. කාළානුරූපී වෙනස් කම් සිදුවිය යුතු බවත්

3. සියල්ලටම වඩා වැදගත් දේ, ඒවා වැරදි විය හැකි බවත්

පිළිගන්න තරම් විවෘත මනස් ඇති අය නිර්මාණය වෙනවා….ඒ අය දර්ශණය හෝ දාර්ශණිකත්වය වෙනුවෙන් ලේ හලන්නෙ නෑ…ලේ බිංදුවක් වත් නොසලා අවශ්‍ය වෙනස් කම කරගෙන පෙන්නනවා….එහෙම අය ගොඩ නගපු දේ දීර්ඝ කාළයක් පවතිනවා….

ජනප්‍රිය විද්‍යාව දැනුම මත පදනම් වෙමින් අනාගත ලෝකයට යමින් සිටි නව ආරේ කුළවාදය විනාශ කර ඇත….

දැනුම කියන එක අද කාළයේදී එක කුළයකට, ගෝත්‍රයකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි….ලෝකයේ අසාර්ථක සමාජයන් සහිත රටවල තවමත් දැනුම ගෝත්‍ර ගත කරන්න උත්සාහ කරනවා….උදා: වෛද්‍යවරු විතරයි වෛද්‍ය විද්‍යාව ගැන කථා කරන්න අවසර ලත්තෝ වන්නෙ, ඉංජිනේරුවෝ තමන්ගේ ක්ෂේත්‍රය ගැන පමණයි… ( මම මේ ළඟදි පෙට්‍රෝලියම් ගැන කථා කරනන් ගිහින් Process Engineer කෙනෙක් මගෙන් ඇහුවා “උඹ ඕවා හදාරලද ඔය කථා කරන්නෙ කියලා”….අන්තිමට Hydraulic Fracturing නොහොත් Fracking ගැන ඇහුවාම මම දන්න ටිකවත් ඌ දන්නෙ නෑ ඒ ගැන….).. අද දැනුම තොරතුරු තාක්ෂණික විප්ලවය හරහා පුපුරා යන යුගයක්….පොඩි ළමයි Bedside Stories වෙනුවට අද කියවන්නෙ “A Brief History of  Time” .. 2040 වනවිට ඉන්න මිනිසුන්ගේ දැනුවත් භාවය ගැන අපිට හිතාගන්නවත් බැරි වෙයි….

ඒ නිසා ජනප්‍රිය විද්‍යාව ගැන කථා කරනකොට, ඒ ඇසුරින් පැහැදිලි කිරීම් කරනකොට අදාළ ක්ෂේත්‍රයේ ප්‍රබල දැනුමක් තිබෙනවා නම්, දීර්ඝ ගවේෂණයක් කර තිබෙනවා නම්, ඒ ක්ෂේත්‍රයට අදාළ සහතික හෝ වරලත් නිළයක් නැතත් ඒ අයට තමන්ගේ අදහස් පැහැදිලි කරන්න ඕනෑ තරම් අවකාශය තියෙනවා…..මම මේ ළඟකදී දැක්කා ඉරාන ජාතික නීතිඥවරියක් Statistically ජනගහණ පාලනය ගැන ප්‍රසිද්ධ දේශනයක් දෙනවා බටහිර රටක ( ඇය ඒ දේශනයෙදි කියපු දේවල් ටෙහෙරානයෙදි කිව්වා නම් ඇය මෙළහකට දොඹකරයක කොක්කේ….! ) , ධනවත් නලුවෙක් මාසයකින් බෝයිං 737 ගුවන් යානයක සමස්ථ නියමුකරණයම ඉගෙන ගන්නවා, අවුරුදු 14 කෙළි පැට්ටියෙක් ( වරලත් සුදුසුකම් නැතුව ) ජාන ඉංජිනේරු තාක්ෂණයේ සිද්ධාන්තයකට කරුණු එකතු කරනවා….

Discrimination 

මේ බ්ලොග් කාරයා දකින විදියට නම්, මිනිසා චිරාත් කාළයක ඉඳලා මේ හෙවත් පරිහාරය නොහොත් යම් කිසිවක් මත පදනම්ව අප ජීවත්වන සමාජයේම යම් කොට්ඨාශයකට කරනවා ආකාර කීපයකින්…

1. Caste Based Discrimination – උප්පත්තියෙන් උරුම වන “කුළය” නම්වූ පාර-භෞතිකයට අනුව කරන පරිහාරය

2. Capital Based Discrimination – ධනය, වත්කම, වස්තුව, සාමාජීය තත්වය නිසා කරන පරිහාරය

3. Race / Ethnicity Based Discrimination – ජාතිය, ජන වර්ගය ආදිය නිසා සිදු කරන පරිහාරය

4. Religion Based Discrimination – ආගම නිසා සිදු කරන පරිහාරය…

දෙයියනේ ඉතින් මේ තියෙන ඒවා මදිවට දැන් ටික කාළෙක ඉඳන් 21 වැනි සියවසට අලුත් Discrimination එකක් උරුම කරල දෙන්න යනවා මිනිස් වර්ගයා…ඒක තමයි Knowledge Based Discrimination 

“දැනුම මත පදනම්වන පරිහාරය” ….දැනුමේ අසමමිතිකතාවය (Knowledge asymetricity ) නිසා සිදුවන පරිහාරය, නොසැළකිල්ල, අඩු සැළකිල්ල, අවස්ථාව අහිමි කිරීම…

අධ්‍යාපනය සහ විෂය-බද්ධ දැනුම සුලභ වනවිට යම් හේතුවක් නිසා එය ලබාගත නොහැකි වූවන් කොන් කර, අවසැලකිලි දැක්වීම තමයි දැන් අලුත්ම පරිහාරය වෙලා තියෙන්නෙ….

ජනප්‍රිය විද්‍යාව නැමති ආයුධය යොදාගෙන මේ දැනුම මත පදනම් පරිහාරය සහමුලින්ම විනාශ කර දැමිය යුතුය…21 වැනි සියවස අවසාන වන විට මිනිසා හැකි තරම් සුන්දර තැනක සිටින දියුණු ජීවියෙකු විය යුතුයි….

ජනප්‍රිය විද්‍යාත්මක හඳුන්වා දීම ඒ වෙනුවෙන් කළ යුතුයි…..

බටහිර ඇත්තෝ ( සහ සාපේක්ෂව දියුණු අනිත් රටවල ඇත්තෝ ) මේ “නොතේරෙන නොදන්න මගුල්” සාමාන්‍ය ජනතාවට සමීප කරන්න පරිශ්‍රමය පටන් අරගෙන හුඟක් කල්….”යුස්ටයින් ගෝඩර්” ( Jostein Gaarder) කියන නෝවීජියානු ලේඛකයගේ “Sophie`s World” කියන පොත කියවල තියෙනවද කට්ටිය?….මේ පොත ඒ පරිශ්‍රමයේ අග්‍රඵලයක් කියලා හඳුන්වන්න පුලුවන්….සමස්ථ බටහිර දාර්ශණික ක්ෂේත්‍රයම එක නව යොවුන් නව කථාවක් තුළින් පාඨකයාට ඉතාම සරල කරලා සමීප කරනවා…සොෆී කියන නවයොවුන් දැරිය වටා ගෙතෙන මේ කථාවෙදි ග්‍රීක දාර්ශණිකයන්ගෙන් ඇරඹිලා, දර්ශණයේ රොමැන්තික යුගය තෙක් විහිදී යන විග්‍රහයන් මාලාවක් කරන අතරේම, හිල්ඩා නම් වූ සැබෑ ලොව ජීවත් වන දැරියකට ඇගේ පියා විසින් ගොඩ නගා දෙන පරිකල්පන ලෝකයක සොෆී ජීවමාන කරවන යථාර්තයේ “ඇඹරුම්” ( Twists in Reality) කිහිපයකුත් ඉදිරිපත් කරනවා…..

දැනුමෙන් නොදැනුවත් අය පෙළීම අරමුණු කර ගත්තු බහුතරයක් ජීවත් වෙන සමාජයන්ට එවැනි දේ ගොඩ නගන්න බෑ….

සමාජයක් දියුණු නොවීම ගැන ඒ සමාජයට පලු යන්න බැණ වදිමින් සිටීම පමණක් නම් යම් රටක විද්වත් සමාජය විසින් කළ යුත්තේ, එය හුදු ආත්මාර්ථකාමී ප්‍රයත්නයක් පමණයි…එතුළින් තමන්ගේ අසමසම බව පවත්වා ගැනීමක් පමණයි අපේක්ෂා කෙරෙන්නෙ…..සමාජය දියුණු වෙන්න නම් ඒ සමාජයට දැනුම සරලව, හැකිතාක් නිවැරදිව සහ පහසුවෙන් සපයන්න ඕන….

ශ්‍රී ලංකාවට ජනප්‍රිය විද්‍යාත්මක රචනය හඳුන්වා දෙන්න උත්සාහ කරපු අය අතළොස්සක් ඉන්නවා….එයින් ප්‍රමුඛයා තමයි අපි පොඩි කාළෙදි ඉතාම ආසාවෙන් කියවපු පොත්පත් ලිපි ලියූ “අනුර සී පෙරේරා” මැතිතුමා…එතුමාට පින් සිද්ද වෙන්න අද තාරකා භෞතිකය, භෞතිකය ගැන එහෙම උනන්දු වෙන ළමා පරපුරක අඩිතාලම වැටී තිබෙනවා…. එතුමාට මේ ලිපිය උත්තමාචාරයක් ලෙස පුද කරනවා….

නෝනාවරුනි, මහත්වරුනි වරදවා වටහා ගන්න එපා….! 

ජනප්‍රිය විද්‍යාව හඳුන්වා දීම යනු හැම එකාටම හැම දේ ගැනම කියවන්න Absolute Authority දෙන එක නෙමෙයි….!…හරිද?….

සෑම ක්ෂේත්‍රයකම:

1.විධිමත් අධ්‍යාපනයක් ලද

2.විධිමත් හැදෑරීමක් සහිත

3.විෂය මූලික දැනුමෙන් අනූන

වෘත්තික සහ ඇකඩමික, පාර්ශ්වික සහ පූර්ණ විශේෂඥයන් ඉන්නවා….ඒ අයට අපි සැම කෙනෙක්ම සිරස නමා ආචාර කළ යුතුයි…. ඒ විෂය පරාසය තුල ඒ අයගේ දැනුමට යටත් විය යුතුයි…අප විසින් ඵල කරන අදහසක් ඒ අය Override කරනවා නම් වැඩිපුර සටන් නොවැදී ඒ අයගේ මතයට ඉඩ දී අපේ මතය තහවුරු කරගන්න වෙන විශේෂඥයන් සොයා යා යුතුයි….

නමුත්, මෙවැනි දැනුම සුලභ යුගයක, අපි හැම කෙනෙක්ම හැම දෙයක් ගැනම හදාරන්න ඕන…හදාරනවා වගේම අපට ඒ ගැන හිතෙන දේ කියන්නත් ඕන….එසේ කීමේදී සමහර විට ඒ විශේෂඥයන්ට පවා නොපෙනෙන Million Dollar Solution එකක් අපේ මොළයේ තියෙන්න පුලුවන්…..

Teenage Mutant Ninja Turtles එකේ ඉන්න “ඩොනටෙලෝ” ( Donatello )තමයි රූපවාහිනී වැඩසටහන් වල ( සහ සිනමාවේ ) මගේ ප්‍රියතම චරිතය….ඩොනටෙලෝ කියන්නෙ විධිමත් හැදෑරීමක් සහිත මිනිහෙක්… සොරි…කැස්බෑවෙක් නෙමෙයි….ඒත් ඌ හැම දේම දන්නවා….පරිඝණකයක් ජාලයක් හැක් කරන තැන ඉඳලා, ගුවන් යානයක් පදවන ආකාරය දක්වා සියල්ල….අනුර ශ්‍රීනාත් ශූරීන්ගේ කාටූන් දරුවෙකු වන “පිස්සු නැත්තන් ෂෝක් පුතා” එකේ ප්‍රධාන චරිතය තමයි මගේ සිංහල පොත්වල ප්‍රියතම චරිතය…ඒත් ඩොනටෙලෝ වගේ එකෙක්…..

adrenaline__donatello__tmnt_2014_by_bellescooldrawings-d7v6tkw

හරි මදැයි ඉතින් ඔය ලයිෂන් ගත්තා…..

ඊළඟ ලිපියෙන් මම භූමිකම්පාවක් ඇතිවෙන ආකාරය සහ එමගින් සුනාමි තත්වයක් ඇතිවිය හැකි ආකාරය පැහැදිලි කරල දෙන්නම්….මට ඒ ගැන තියෙන්නෙ ඉතාම අවිධිමත් විෂය දැනුමක්….ඒත් ඒ දන්න ටික කියන්නම්….කවුරු හරි භූ විද්‍යාඥයෙක් ඇවිත් කිව්වොත් “අඩෝ මේ බොරු කියන්නෙ නැතුව ඕක අයින් කරපන්!” කියලා මම අයින් කරන්නෙ නෑ….හැබැයි කවුරු හරි භූ විද්‍යාඥයෙක් ඇවිත් කිව්වොත්

“ඕකෙ වැරදි ගොඩයිනේ පුතා ! මෙන්න මේ මේ තැන් වැරදියි ! ඒවා නිවැරදි වෙන්නෙ මෙහෙමයි!” කියලා, එතුමාට වඳින ගාථාවකුත් හදලා ඒ ලිපිය නිවැරදි කරල දානවා…. 😀

is @කන් දෙකේ ඇඟිලි ගහ ගනිමින්  😀

Game of Thrones – Theme Collection

Please find below, a string of Youtube videos handpicked by me, which, in my opinion, are the best covers for Universally popular Game of thrones Theme:

 

Original Soundtracks Seasons 1-4:

Original Theme Soundtrack:

Orchestra Cover :

Queen`s Guard Cover:

Well blended:

Royal Marines:

Heavy Metal:

The Rains of Castamere ( Best Cover So Far):

Violin Cover (Please play this at my Burial !) :

Death Metal:

Orchestral Cover:

 

අපි පැමිණිලි කරමු – Let us Complain

සමාජයක් ශිෂ්ඨ සම්පන්න කරන්න විශාල ප්‍රායෝගික වැඩ කොටසක් මෙන්න මේ වගේ දේවල් වලට කරන්න පුලුවන්…

මේක මේ මට වෙච්ච දෙයක් :

මීට අවුරුදු දෙකකට වගේ උඩදි එක්සත් රාජධානියේ එක්තරා දවසක මම පොඩි බඩගින්නට රත් කරලා කන ලාබ පේස්ට්‍රි වගයක් ගන්න Sainsbury`s කියන සුපර් මාකට් එකට ගියා…අදාළ පේස්ට්‍රි තබා තිබෙන රාක්කයේ නියමිත ස්ථානය එදා හිස්….

ඒක ටිකක් වෙහෙසකර මොහොතක් නිසා මා සොයන දෙය රාක්කයේ නැති බව මගේ මොළේට රෙජිස්ටර් වෙන්න ටිකක් වෙලා ගියා..ඒ විනාඩි කිහිපය මම රාක්කයේ වෙනදා පේස්ට්‍රි තිබෙන අවකාශය දෙස බලාගෙන හිටියා… හරියට “මෙතන යමක් අඩුයි නේද?” කියන්න වගේ…

මැදිවියේ කාන්තාවක් මගේ ළඟට ආවා ( Le typical Middle Aged English Lady)…ඇයත් එම සුපිරිමාකට්ටුවේ පාරිභෝගිකයෙක්….

L: “Is there Something Missing Young Man?”

M: ” Huh…?…Oh…yes…The 50p Pastry…the onion one…don`t see it here…

L: “Is this where it is supposed to be?”

M: “Yeah…Normally I find it here”

L: “Then Why don`t you complain to customer service? Do you want me to call the Supervisor here? or you want to use that Number? ( She points at the Customer Complaints Hotline hanging right above us )

M: “Nah…I`ll go for something else…too much trou *She cuts me off*….( Me being Le Typical Sri Lankan )

L: “Ah Nonsense….here let me do the talking…Execuse me?…Are you the supervisor for this line…See here….This shelf has not being refilled properly…Where is this item? ”

Le Supervisor: ” Oh So it hasn`t being… (Keying a code in to a handheld machine) …I`m Sorry Ma`am we are out on that item”

L: “Are you? well in that case you ought to have put that little “out of stock” sign on the shelf right?”

මෙන්න මේකයි රටක වෙන්න ඕන…රටවල් හැදෙන්නෙ, විනය ගරුක සමාජයන් වෙන්නෙ මේ වගේ දේවල් වලින්….

ඔබ ගෙවන මුදලට හෝ ඔබේ පුරවැසි අයිතිවාසිකම නිසා නොමිළයේ ඔබට රජයෙන් හෝ පෞද්ගලික පාර්ශවයකින් විය යුතු යම් සේවාවක් තිබෙනවා නම්, ඒ සේවය ලැබෙන ආකාරය පිළිබඳව ඔබ අතෘප්තිමත් නම් සේවයේ ස්වභාවය, ලොකු කුඩා බව යනාදි මේ කිසිවක් නොතකා වහාම පෙරට ඇවිත් පැමිණිලි කරන්න පුරුදු වෙන්න…

ඔබේ පැමිණිල්ල ඔවුන් නොසළකා හරින බවක් පේන්න තියෙනවා නම් පැමිණිල්ල ඊළඟ ලෙවල් එකට ගෙනියන්න මොහොතක් වත් පසුබට වෙන්න එපා…

පැමිණිල්ල ගෙන යා හැකි උපරිම දුර ගෙනියන්න…

ඔබ සහ ඔබ සමූහයා එසේ පැමිණිලි කරනකොට, තමන් අතින් ඉටුවිය යුතු රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවය ගැන රැකියාවල් වල නියුතු අය සැලකිලිමත් වෙයි…

එහෙම නැත්නම් ඒ අයගේ ආයතන ප්‍රධානීන් සැලකිලිමත් වෙයි…මොකද නිතරම පැමිණිලි ලැබීම කීර්ති නාමයට අහිතකර නිසා….

සේවය කෙරෙහි අතෘප්තිමත් නම් ඒක දරාගෙන, තමන්ට ලැබිය යුතු සේවාවට වඩා අඩු සේවයකට හිත හදාගෙන එකඟ වෙන්න එපා…..

අපි කනත්තක ඇවිදිමු….

අපි කනත්තක ඇවිදිමු….
කේතුධර වනයක අසබඩ….
සීතළ ඇළක කණ ළඟ….
නෑසෙන කථා මුමුණන….
ඉවුරු යුගලක පැතිරුණ..
ඉවුරු දෑළක් යා කරවන….
කනත්තක අපි ඇවිදිමු….
සුදෝ සුදු තුසර බුමුතුරුණ…
බොහෝ තැන්වල එළා තිබුණත්….
ඇතැම් තැන්වල හිම ඇත – බෙහෙවින්ම අපිරිසිදු….
පසට වැටුණු රිකිලි පල්ව – ඒ හා මුහුව කළු පැහැ ගැන්ව….
හිම අපිරිසිදු බවට – මළවෝ නගති මැසිවිලි….
වනයෙන් කැපී එන….
දිනයේ පචිණ හිරු රැස්….
දෝනා දෙමින් හරි හතරැස් ….
මළපුර වැස්සන්ට පෙන්වති…
එළිය පෙට්ටි සංදර්ශණයක්….
සොහොන් ඝර`තර මහ වීදි වල…
ලෙහෙණ, සා, මුව පිරිස රැස්වෙති….
ශිශිරතරණය මඳක් නවතා….
නරඹති සිය පවුල් සමගින්…
කණ මැදිරි නත්තල් ගස්…..
එක් කොතක් මත ගාගොයිලයෙකි….
කටින් දිය දුණු වගුරුවන….
රුදුරු වත මුත් – සපයන….
වෙන කොතක් මත ඒන්ජලයෙකි….
සුරත්හි තෝමරාදි දරන….
සොඳුරු වත මුත් – රැගෙන යන….
(එතැන් යට වැදහෙන්නෝ – සිටි අයුරින්ම පෙන්වන….)
ලාම්පු දෙකක් කේඬෑරි අත් දෙකෙන් – එල්ල ගත් කලු පහන් කණුවක්….
වැම්පයර වෙස් ගෙන ඉඳ හිට – මිහිදුම් අතරින් එබී බළන රඟ….
සතුට දෙන්නට උපන් වුන් – බිය දෙන විටක ලෝකය?…
ඉපල් ගසෙක සුළැඟිල අග…
උළැගිව ජනිත දිය බිඳුවක්….
ගිලිහී ගොසින් බිම වෙත……
“චක්”  අණුකරයෙන් හිම වැද…
“චික් ! මා කුමට නොවැසිද – දිය වෙත නැඹුරු අත්තක?”….
මියෙන්නට තිබුණා නෙව – දිය වළලු මවාගෙන….?
ඝණ දෑ සමග හදි ගැහෙන – සුමඨ සැම දෑ මැකෙන….
ලෝ දහම නොතකන – දිය බිඳිත්තා වැළපිල්ලක….
ශීත සමයෙහි හිම කබායක්….
හොඳින් පොරවන වන පෙත…
අඟ පසඟ පෙන්වන – වසන්තය එළැඹෙන….
මොහොත එනතෙක් ඇඟිලි නමමින – සෘතුවට බැණ වදින….
පිණි මුවෙකි අසබඩ – “අවි” මානයෙන් පිම්බුන…..
අසළ දෙව්මැදුරත – සිටී දෙව් පුතු සසොබන….
යහපත් සොඳුරු එඬෙරණ…
කරන “මනු ගෝ” පාලන…..
විදා මුදහළ බාහු යුග්මෙන….
ලෝ සතට “එන ලෙසට” සන් දෙන….
කුළුණු බර යුග නෙත….සැමට මෙලෙසට පවසන….
“මෙහි සිටින්නෝ වනාහි – දෙවියන් විසින් දුන් දෙය…
දෙවියන් විසින් ගනු ලැබ – ඉතුරු පහදුව තබා ගිය අය….”
ශිශිරයෙහි බිම පළන්දන හිම…
කිරම තුහිණව පසුව දිය වී…..
වැලිදු අහසටම දෙන මෙනි….
අහස දෙන දෙය අහස ගත් මෙනි…
අහස ගත් දෙය අහස දෙන මෙනි….
නුදුරු වැසි සමයට…
යම් කළක නෙත රසඳුනක් වූ…
හිමවතියක් මෙහි නිදන්නී…
සිටු කුමර නෙත් සැනසූ…
පීන පියයුරු තිබූ තැන් වල…
දියව ගොස් මස් ලේ….
සැඟව ගොස් නහර වැල්….
අත දැමිය හැකි පර්ශු අතරට…
පදිංචියට ආ පස පණුවෙකු….
කියා දෙයි සිය පැටවුන්ට….
තිබූ බව එහි ලේ කිරි කළැකි….
වීතරාගී වූ දෙයක්…
මැකුණු ඇක්‍රොපොලිසයෙහි….
නටබුන් සිසුන් හට….
ශාස්ත්‍ර ආහ්ලාදයෙන්….
පහදන මහැදුරෙකු සේ…..
සාම සමයේ පිරිමියා – කම්මැළියෙකුව ඇති බව…
සිහින් තෘණ පත් මුලට කොඳුරන….
මහළු සෙබළෙකි – මෙතැන වැතිරුණ….
දෙවැනි ලෝ දා වතෙහි – මහ නළුවකුව උන් වග….
සොහොන් පුවරුව පවසන….
සොහොන් පරඬැල් නොතකන…..
නෝමැන්ඩි වෙරළෙහි – වෙඩි විහඟුනට තටු දෙන…
පසදීන පුතුන් නොනිදන….
සගයින් අතර බේරුණ…කරුමයට නොමැරුණ….
බෝ කල් ආයු විඳවුන……
ඉතිහාස පාඩමක්…. තරු පටි වළට සපයන….
තරු ඉරි වලට පණ දෙන….
ජීවන වෙඩිල්ලෙහි….පතොරමව සැතපුණ….
මෙතැන ඉන්නේ මැහැළියක් වෙද….දිවිය පශ්චිම හුදෙකළාවද….
පැටි ලෙහෙන දන….සාවු සමගින….
ගෙවා දැමු ගෙයි….අගුලු නොදරන….
ගෙවත්තේ පැන් තොටට පැමිණෙන…සියොත් දරුවන පිනවන….
රැළි සහිත මුහුණින….සිනා රැල්ලක් යොදවන…
මිනී පෙට්ටිය පතුළෙන…දමන ළද කේඬෑරි අතකින…
සොහොන් වළ අසළින….සා ගුලක සැතපෙන…
කුඩා සසනිඳු පිරිමදින….
මොකක් හරි වැරැද්දක් අඩුවක්….
ජීවිතේ තිබුණු බව කිය කියා….
ඇවිදින කල්ම හඬ නැගුවෙකු….
නිහඬ නිසලව අත්විඳියි මෙහි….
අපූර්ව පරිපූර්ණය …
යකඩ වැටකින් වෙන් කළ …
විශාල වටයක් මැද….කුඩා කළු තිතක….
විශ්වය යම් කළක – තිබූ අයුරින්ම එක තිතක….
ඒ තිතෙහි ඇති පරිපූර්ණය – අසම්පූර්ණ වන්ට නලියන….

කොළඹ ක්‍රමය – The Colombo Plan

කොළඹ නගරය වනාහි “වීදි දරුවෙකි”….අම්මෙක් අප්පෙක් නිවසක පිළිවෙලකට දෙගුරු සැලසුමකින් යුතුව හැදූ වැඩූ දරුවෙකු මෙන් නොව, මේ වීදි දරුවා නියම වීදි දරුවෙකු මෙන් අතට අහුවෙන දෙයක්, කටට වැටෙන දෙයක් කා බී, එක් එක් දවස එන හැටියට බාරගෙන, එහි සියවස් කිහිපයක ඉතිහාසය තුල විවිධ විනාශයන්ට, ව්‍යසනයන්ට, හැළ හැප්පීම් වලට මුහුණ දෙමින් ඔහේ හැදී වැඩී තරුණයෙකු වූයේ යැයි සැළකිය හැකි නගරයකි…

ඒ නිසා එහි “වාණිජ කළාප, නිෂ්පාදන කළාප, ආදායම් බද්දෙන් නිදහස් වූ ආයෝජන කළාප ( නිදහස් වෙළඳ කළාප ), සැලසුම් සහගත සනීපාරක්ෂක පහසුකම්, ජලාපවාහන පද්ධති, අපද්‍රව්‍ය බැහැර කිරීමේ සංවිධිත ක්‍රම වේදයන්, විවේකස්ථාන, විනෝදය සඳහා වෙන් කෙරුණු කළාප, ආදී දෑ වෙන් වෙන්ව පවත්වාගත හැකි යැයි උපකල්පනය කිරීම නිෂ්ඵල ක්‍රියාවකි….එබන්දක් කිරීමට නම් සමස්ථ නගරයම විශාල භූමි ප්‍රදේශයකින් අතහැර, නගරයේ සීමා මායිම් වෙනත් දිශාවන්ට අලුතින් පුළුල් කළ යුතුය…නො-එසේ නම් “පෝට් සිටි” වැනි වෙනම වපසරියක සංවර්ධන ක්‍රියාවලියකට පිවිසිය යුතුය…ඒවා වෙනම මාතෘකා සහ සංවාද විය යුතුය….මෙලෙස සිදුවන නාගරික ව්‍යාප්තිය කෘත්‍රිම හෝ ස්වභාවික වෙති…කෘත්‍රිම නගර ව්‍යාප්තිය පිළිබඳව නිදර්ශන සිංග්ගප්පුරූව , හොංකොං වැනි නගර රාජ්‍ය සපයනු ඇති අතර, ස්වභාවිකව භූමිය අත්පත් කරගෙන ව්‍යාප්තවීමට නිදර්ශන චීනයේ බෙයිජිං, ප්‍රංශයේ පැරිස්, ජර්මනියේ බර්ලින් ( වඩාත්ම සුදුසු සැලසුම් සහගත නාගරික ව්‍යාප්තිය සඳහා මූලිකම නිදර්ශනයන් ගෙන් එකකි ) වැනි නගර සපයනු ඇත…මේ දෙකම සඳහා උභය කුළකයකට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය ඇතුලත් ඩුබායි එමිරේටයෙහි නාගරික ව්‍යාප්තිය නිදසුනකි…
විශාල නාගරිකයන් වැරදි ලෙස හසුරුවන රටකට මහත් ව්‍යසනයක්ද, නිවැරදිව හසුරුවා ගන්නා රටවලට මහත් ඵල මහානිසංසද ගෙන දෙයි….විශේෂයෙන්ම යම් රටක මහා ජනපද ඇත්තේ අන්තර්ජාතික වෙළඳපළෙහි විශාල වටිනාකමක් ජනිත කරවිය හැකි ස්ථානයක නම්, ඒ නගරය ඒ රටට සම්පතක් බව කිව යුතුය….සිංගප්පූරුව නූතනත්වය කරා ගෙන ආ එහි ප්‍රජේශ්වර ලී ක්වාන් යූ සිය “From Third World to First – The Singapore Story” ග්‍රන්ථයෙහි වියළි, නිසරු, මුඩුබිම් සහ මුඩුක්කු පිරුණු, සිංගප්පූරුව නම් මඩ වගුර සේවා ආර්ථිකය කුලු ගන්වන ලද අග්නිදිග ආසියාවේ විශාලතම විවෘත වෙළඳපොළ සහ ලෝක ආර්ථික මර්මස්ථානයක් බවට පත්කරන ලද්දේ “අන් කිසිවක් නොමැති සිංගප්පූරුවට තිබුණු එකම දායාදය වන එහි ස්ථානගත වීමෙහි උපක්‍රමික වටිනාකම” තුළින්ම බව විග්‍රහ කොට ඇත….මෙනයින් බලන කළ කොළඹ නගරය අනාථ වීදි දරුවෙකු ලෙස හැදී වැඩුණද “හැරී පොටර්” මෙන් නොදුටු දෙමාපියන් විසින් තබා ගිය වටිනා බූදලයකට හිමිකම් කියන්නෙකු බවට සැක නැත…
E16FFDF19C9A470C937B93DB3795C8D5
සූවස් ඇළ – රතු මුහුද හරහා යේමනයේ එඩ්න් වරායේ සිට සෘජුව එන ප්‍රධාන මුහුදු මාර්ගයකුත්, ඒඩ්න් සහ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් සිට ඉන්දියාවේ ජවහල්ලාල් නේරු වරාය වෙත එන මුහුදු මාර්ගයකුත්, පර්සියන් ගල්ෆ් කළාපයේ ( හෝම්ස් සමුද්‍ර සන්ධියාශ්‍රිතව ) එන මුහුදු මාර්ගයකුත් සුප්‍රකට කොළඹ වරායේදී පෙර-අපර දෙදිග යාවෙන ලක්ෂ්‍යයකට සපැමිණෙති….මෙම ස්ථානයේ ඇති උපක්‍රමික වටිනාකම අවබෝධ කරගෙන සමුද්‍ර ආර්ථික මර්මස්ථානයක් බවට එය පත් කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ මෙරටට පැමිණි යුරෝපා ජාතීන්ටය…විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයන්ටය…ඒවා ඔවුන් අපේ වාසිය උදෙසා නොකළාය යන තර්කය තාවකාළිකව පසෙකින් තැබුවහොත් මේ මොහොත වනවිට කොළඹටත්, සමස්ථයක් ලෙස මේ රටටත් විශාල ආර්ථික මෙහෙවරක් කරමින් රුපියල් මිලියන 4000 කට අධික වටිනාකමක් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට සපයා දී තිබේ…අද දකුණු ආසියාවේ විශාලතම වරාය සහ නාවික සේවා ආර්ථික කේන්ද්‍රස්ථානය කොළඹ පිහිටා ඇත…ලෝකයේ අනෙකුත් කළාපයන්ට සාපේක්ෂව දකුණු ආසියාවේ නාවුක මාර්ග ඝණත්වය එතරම් තීව්‍ර නොවුණත්, ඒ තිබෙන ප්‍රමාණයේ උපරිම ඝණත්වය කොළඹ වටකර පවතී….
Density_Map_Small
ලෝක නාවුක මාර්ග ඝණත්වය
මෙයට අමතරව කොළඹ නගරයට ඉතා ආසන්නයේ බොහෝ විට අපරදිග සිට පැමිණෙන සියලුම ගුවන් මාර්ග අපරදිගට පිවිසෙන ලක්ෂ්‍යයන් වන බහරේන්, දෝහා, ඩුබායි, මස්කට්, අබුඩාබි, ධමාම්, රියාද්, ජෙඩාහ් ආදී වූ සියළු පර්සියන් ගල්ෆ් කළාපයේ ගුවන් ගමන් මර්මස්ථාන සෘජුව සම්බන්ධ වන කටුනායක ගුවන්තොටුපළ පිහිටා ඇත….( මෙම ස්ථානය තෝරාගැනීම සහ සංවර්ධනය ඊනියා බණ්ඩාරනායක හපන්කමක් නොව, බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ එයාර් වයිස් මාෂල් ජෝන් බාකර්ගේ අදහසකි…1942 වනවිට අග්නිදිග ආසියාවේ බොහෝ උපක්‍රමික වටිනාකමින් යුත් මර්මස්ථාන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අහිමිව තිබූ නමුත්, ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ සිට සිදුකෙරුණු ගුවන් මෙහෙයුම් සාර්ථක වීම සහ පිට පිට කොළඹ නගරයාශ්‍රිත ඉලක්ක වෙත එල්ල වූ ජපන් ගුවන් ප්‍රහාර සාර්ථකව මැඩ පවත්වා ජපන් අධිරාජ්‍යයේ දකුණු ආසියාතිකර ව්‍යාප්තිය වළකා, පරාජයන් රැල්ල සිලෝන් දිවයිනේදී කෙළවර කරගත හැකි වීම යනාදි කරුණු රැසක් සැළකිල්ලට ගත් බ්‍රිතාන්‍යයන් මේ ගුවන් කේන්ද්‍රස්ථානය අලලා රාජකීය ගුවන් හමුදා කඳවුරක් පිහිටුවන ලදී… )  ..ජාත්‍යන්තර ගුවන් මාර්ග ජාලය ශ්‍රී ලංකාවට ඉහළින් වැටී තිබෙන ආකාරය අධ්‍යයනය කරතොත් වාර්ෂිකව මිලියන 5 කට නො-අඩු ගුවන් මගීන් සංඛ්‍යාවක් විවිධ ගුවන් මාර්ග ඔස්සේ මේ දූපත අවටින් පියාසර කරති…ඔවුන්ගේ පියාසැරි පථයන් සියල්ල ඡේදනය වන ස්ථානයකට නුදුරින් කොළඹ පිහිටා ඇත…..
gts1
සුදු පැහැයෙන් ලෝක ගුවන් මාර්ග
මේවා කොළඹ නම් වූ වීදි දරුවා ලද සුවිශාල ජන්ම දායාදයන්ය….මේ දායාදයන් සිංගප්පූරුව හිඟන්නෙකු කරවන තරම් සුවිශාලය….
………..එක් පසෙකින් ඩුබායි ය… අනෙක් පසින් සිංගප්පූරුවය….මෑණියනි, කොළඹ කෙසේ නම් අත් පා දිගහැර නිදන්නද?…
මෙතරම් ජන්මයෙන් ලද දායාද තිබිලාත්, ඊනියා නිදහසෙන් පසුව ගත වූ 67 වසර තුළ අප වාර්ගික ලපන් සහ වාමාංශික ලපන් ගැසීමේ හේතුවෙන් එක් පසෙකින් කාන්තාරයේ වැලි සහ පස් ගොඩක් මත ඩුබායි ආලකමන්දාවත්, අනෙක් පසින් මඩ වගුරු සහිත දූපතක් මත සිංගප්පූරුවත් නැගී ආහ…මේ නගර දෙකම නිසි ලෙස භාවිතා කරන ලද, එහෙත් අප භාවිතයට අපොහොසත් වූ උපක්‍රමික වටිනාකම වන්නේ ලෝකයේ සැබවින්ම “වියදම් කිරීමේ” හැකියාව ඇති, නවීන ශිෂ්ඨාචාරයෙහි “ඊඩ්න් උද්‍යාන, පාරාදීසයන්” සොයා යන සංචාරකයන්ට තමන් සතු ධනය යහමින් වියදම් කර “පොහොසත් ජීවිතය” ගත කරන්නට කදිම තැන් හැටියට සුවිශාල ප්‍රවාහන මාර්ග වල ස්ථානගත වීමය….
ඩුබායි, කොළඹ සහ සිංගප්පූරුව එකම රේඛාවක
….ඩුබායි නිසොල්ලාසය…..
සිංගප්පූරුවට ලී ක්වාන් යූ මෙන් ඩුබායි එමිරේටය ගොඩදැමූ සහ එමගින් සමස්ථ එක්සත් අරාබි එමීර් රාජ්‍යයම ගොඩ දැමූ මිනිසා වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකතුවෙහි දෙවැනි අග්‍රාමාත්‍ය වන ෂෙයික් “රෂීඩ් බින් සයීඩ් අල් මක්තුම්” ශ්‍රීමතාණන්ය…ලී ක්වාන් යූ නාමය තරම් රටක් ගොඩ දැමූ මිනිසෙකු ලෙස මෙතුමාගේ නාමය අප අතර ජනප්‍රිය නැත….නමුත් මහා ලොකු අධ්‍යාපනයක්, ලොව සුපිරි සරසවි ඇසුරක් නොමැතිවත්, තුන් කල් දක්නා නුවණින් කටයුතු කළ ආසියාවේ නැණවත්ම නායකයෙකු ලෙස මෙතුමා ඉතිහාස ගතවිය යුතුය…
ෂෙයික් "රෂීඩ් බින් සයීඩ් අල් මක්තුම්"
ෂෙයික් “රෂීඩ් බින් සයීඩ් අල් මක්තුම්”
මෙතුමා එරට දේශපාලනයට අත තබන යුගය හෙවත් 1950 දශකය වූ කලී බොරතෙල් ශිෂ්ඨාචාරයේ පර්සියන් ගල්ෆ් කළාපයට ධන ප්‍රවාහක පයිප්පයන් මුලින්ම ඇර දමන ලද යුගයයි….1950 දශකය පුරාවට අලුතින් සල්ලි කාරයන් වන පවුල්, ඔවුන්ගේ හැසිරීම, ආර්ථික සකසුරුවම පිරිහී යන ආකාරය, කළාපයට බටහිරින් ගලා එන ධනස්කන්ධය නැවතත් “ලෝස් නැතුව” බටහිරටම විවිධ මාර්ග වලින් ඇදී යන ආකාරය ඔහු නිහඬව නිරීක්ෂණය කරන ලද්දේය….දැන් ටිකෙන් ටික සිය කළාපයට ධනය ගලමින් පවතින්නේ මේ ධ්‍රැවික බොරතෙල් සම්පත නිසා බවත්, යම් දිනෙක මේ “කළු රන්” ආකරය සිඳී යනදාට නැවතත් සිය කළාපය ලෝකයේ සෙසු කළාප හමුවේ දරුණු ලෙස පරාජය වී කාන්තාර ගෝත්‍ර යුගය තෙක් පසු බසිනු ඇති බවත් එතුමා දුටුවේය…මේ සියල්ල සිතා බැලීමෙනි, එතුමා පහත සඳහන් ප්‍රකාශය කළේ…..
” My grandfather rode a camel, my father rode a camel, I drive a Mercedes, my son drives a Land Rover, his son will drive a Land Rover, but his son will ride a camel”
(…මගේ සීයා ඔටුවකු පිට නැගී ගමන් ගියේය….මගේ පියාද එසේමය…මා මර්සිඩීස් බෙන්ස් මෝටර් රියක යමි…මගේ පුතණුවන් ලෑන්ඩ් රෝවර් රියක් පදවයි…ඔහුගේ පුතුත් ලෑන්ඩ් රෝවර් රියක් පදවනු ඇත…එහෙත් ඔහුගේත් පුතු ඔටුවකු පිට යනු ඇත”….)
 
තෙල් සම්පත යම් දිනෙක අවසන්ව ගියවිට සිය කළාපය මුහුණ පාන ඛේදවාචකය කෙතරම් බරපතළද යන්න එතුමන් දුර දක්නා නුවණින් අවබෝධ කරගෙන සිටි බවට මේ කදිම සාක්ෂියකි….
 
සියළු විය පැහැදම් කිරීම් පසෙක තැබූ එතුමන් ශීඝ්‍රයෙන් “ඩුබායි” නම් වූ වැලි සහ පස් ගොඩ ලෝක ආර්ථික ප්‍රවාහයන්හි කේන්ද්‍රස්ථානයක් කිරීමේ සටන ඇරඹුවේය….ඒ අනුව පහත සඳහන් දැවැන්ත ව්‍යාපෘති 5 ඇතුලුව ඩුබායි ආලකමන්දාවට “බොර තෙල්” වලින් තොරව ධනය ගලන සෙසු ව්‍යාපෘති ඇරඹුවේය…
1. අල් රෂීඩ් නැව්තොට – 1972
2.අල් රාස්-ඩෙයිරා- අල් ෂින්ඩගා යා කරන අල් ෂින්ඩගා උමං මාර්ගය – 1975
3. ජෙබෙල් අලී නැව්තොට – 1979
4.ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානය – 1978
5. ඩෙයිරා දෙසට ඩුබායි පුළුල් කිරීමේ ව්‍යාපෘතිය – 1980 දශකය
6. නිදහස් ආර්ථික කළාපයන් සහ ලිබරල් සංස්කෘතික කළාපයන් බිහි කිරීම – 1975-1990
ඔහුගේ උදෘත පාඨය වූයේ “Build it and They Will come” ( “ගොඩ නගන්න එය… ඔවුන් එනු ඇත” ) යන්නය…
ඉතිරිය ඔවුන් කියන්නා සේම “ඉතිහාසය” වූයේය….
ඩුබායි - එදා සහ අද
ඩුබායි – එදා සහ අද
……. සෝබාව දේ මෙපුර…….සිංගප්පූරු කථාව………
ලී ක්වාන් යූ නරපතියාණන් වූ කලී පසුගිය සියවසේ සකළ ලෝකයෙහිම පහළ වූ බුද්ධිමත්ම මිනිසුන්ගෙන් අයෙකු බවට කිසිදු සැකයක් නැත….තමන්ට ලැබුණු අමූලික මුඩුක්කුව පරිසරයත්, සුඛ විහරණයත්, ධනයත් යන මේ සියල්ල නියමිත මාත්‍රාවන්ගෙන් ආරක්ෂාවන සුපිරි ආර්ථිකයක් සහිත ලොව පස්වෙනි විශාලතම ඒක පුද්ගල ආදායම හිමි දේශය බවට පත් කිරීම ඔහුගේ විශ්මය ජනක ප්‍රඥාවේ කථාවයි…
epa04675221  (FILE) A file photo dated 27 April 20111 of former Singapore prime minister Lee Kuan Yew, when he submitted his nomination papers to contest in the elections in Singapore . The founder of Singapore's ruling party and a grandee of Asian politics, Lee Kuan Yew, has died at the age of 91, according to media reports  22 March 2015  EPA/STEPHEN MORRISON
ලී ක්වාන් යූ

 

මෙතුමාගේ උදෘථය වූයේ (“If you want to sell it – Sell it here”) “ඔබට එය විකිණීමට උවමනා නම් මෙහි පැමිණ විකුණන්න” යන්නයි….ඔහු සිංගප්පූරුව මහා වෙළඳපොළක් සහ නිෂ්පාදනාගාරයක් බවට පත් කලේය….සිංගප්පූරුවේ කථාව ඩුබායි කථාව මෙන් “Straight Forward” එකක් නොවේ….නමුත් එය දීර්ඝ අධ්‍යයනයක් කළ යුතු සංකීර්ණ පිළිවෙලක් සහිත කථාවකි….

එහි ප්‍රමුඛ පියවරයන් වන්නේ:
1. බහු සංස්කෘතික මිශ්‍ර වාර්ගික අනන්‍යතාවයක් සහිත සිංගප්පූරු ජාතිකත්වය බිහි කිරීම
2. රාජ්‍ය භාෂාව සහ ව්‍යාපාරික භාෂාව ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම ඇරඹීම
3.ඇමරිකානු, ජපාන සහ යුරෝපා ආයෝජනයන් ගෙන්වාගෙන යටිතල පහසුකම් ප්‍රවර්ධනය ( මේ යුගය වනවිට චීනය යන්තම් හිඟන කමෙන් මිදෙමින් පැවතිනි )
4.විදේශ ආයෝජනයන්ට අතිශය මිත්‍රශීලී පරිපාලන ක්‍රමයක් සහ සංස්කෘතියක් ඇති කිරීම
5. දැඩි නීති රීති මගින් රට තුළ අපරාධ පාලනය කොට නීතියේ ආධිපත්‍ය පිහිටුවා ලීම
6. පරිපාලනයෙහි සහ රාජ්‍ය පාලනයෙහි වංචා දූෂණ තුරන් කිරීම
මේ අවස්ථාවන්ගෙන් පසුව ආර්ථික සංවර්ධනය සඳහා ලී ක්වාන් යූ යොදා ගත්තේ පහත සඳහන් “ත්‍රිශූලාකාර” සිද්ධාන්තයන්ය…
1. නිදහස් වෙළඳාම – Free Trade
2. නිදහස් වෙළඳපොළ – Free Market
3. නිදහස් වාණිජ්‍යය – Free Commerce
මේ ටික කියවන විට මෙය ඩුබායි සැලැස්මටත් වඩා ගව් ගණනක් ඉදිරියෙන් බව පෙනෙනු ඇත….
singapore-old-new
සිංග්ගප්පූරුව එදා සහ අද
….කොළඹ සන්නිය…..
මධ්‍යධරණී මුහුදෙන් පටන් ගෙන මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ පැසිෆික් සාගරය තෙක් මාස්පතා ඩොලර් බිලියන 500 කට වඩා වටිනාකමින් යුත් භාණ්ඩ, සේවා, මූල්‍ය සේවාවන් සහ ආයෝජන අවස්ථා සංසරණය වෙති… අපි අම්මගෙ රෙද්දවල් කර කර හිටපු සමයේ මැද පෙරදිග එක නායකයෙකුත්, අග්නිදිග ආසියාවේ තව නායකයෙකුත් ඒ අවස්ථා ඩැහැ ගෙන අප රට පිහිටා ඇති සංසරණ රේඛාවේ දෙපැත්තෙන් සුපිරි ආර්ථිකයන් දෙකක් ගොඩ නැගූහ….ඒවා ආදර්ශයට ගනිමින් තවත් නායකයෝ පැමිණ කළාපයේ සෙසු රටවල් දැවැන්තයන් කළහ…අපිට මෙතරම් දායාද ජන්මයෙන් ලැබිලාත් අපේ කොළඹ අද මෙතනය….බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අප අත්හැර දමා යනවිට ආසියාවේ දෙවැනි විශාලතම ආර්ථිකයත්, හොඳම රාජ්‍ය සේවයත් තිබුණු අපට මේ මුදල් මාර්ග ඩැහැ ගන්නට ශක්‍යතාවය තිබුණු සමයේ සිංගප්පූරුව සහ ඩුබායි යනු මඩු කූඩාරම් ගොඩකි….අහෝ දුකකි…ඉරකි…තිතකි…එස් අකුරක් මැදින් කැපූ ඉරකි….සුද්දන්ගෙන් 1948 නිදහස ගැනීම කෙසේ වෙතත් 1972 දි බ්‍රිතාන්‍ය ඩොමීනියන් තත්වයෙන් මිදී ජනරජයක් වීම නම් අමුම මරි මෝඩ කමක් යැයි වෙලාවකට හිතේ…ඩොමීනියන් එකක් ලෙස දිගටම තිබුනා නම් අඩුම ගානේ වාර්ගික අර්බුදවත් නැතුව පහුගිය අවුරුදු තිහටම ඉදිරි ගමනක් ගොස් අද යම් තැනකය…අපේ අයට “රැජිණ මමයි අපේ රාජ්ජේ ” වෙන්න තිබුණු රුදාව නිසා වෙච්ච දේවල් මෙච්චරය….
….කඩේ හැදීම ?……
2009 වසරේදී මෙරට ධනේශ්වර සංවර්ධනයට තිස් වසරක් තිස්සේ පැවති විශාලතම බාධකය අවසන් කරන ලදී….එයින් පසුව මෙරට සමස්ථ භූමියත්, වෙරළ තීරුවත් මුදල් ජනනය සඳහා විවර විය….බඩු විකිණීමට අවශ්‍ය කඩේ සෑදීම ඇරඹිණි….කඩේ සෑදීම සඳහා ප්‍රබල ප්‍රවිශ්ඨයක් ලබා ගැනීමේ ගෞරවය පසුගිය පාලනයට හිමිවිය යුතුය…..නමුත් කඩේ හැදුවේ කඩේ තියෙන්න ඕන තැන නොවීම ඔවුන් කරගත් බරපතළම වරදයි…දිගින් දිගටම ගොඩනැගිය යුතුව තිබුනේ කොළඹ මිස අන් ප්‍රදේශයක් නොවේ….
1.මෙරට තාක්ෂණික සාක්ෂරතාවයෙන් 70% ක් පමණ කේන්ද්‍රගතව ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් වලය…
2. ඉංග්‍රීසි සාක්ෂරතාවය ඉහළම දිස්ත්‍රික්කය කොළඹයි…
3. කොළඹ ප්‍රවාහන, නිෂ්පාදන සහ සේවා අංශවල යටිතල පහසුකම් සංවර්ධනය දිවයිනේ අනෙක් නගරයන්ට සහ අර්ධ-නාගරිකයන්ට සාපේක්ෂව අවම වශයෙන් සියවසක් ඉදිරියෙන් ඇරඹී තිබේ….
4. කොළඹ ලොව පුරා දනිති…අමුතුවෙන් විකාගෙන කියා දෙන්න දෙයක් නැත…අමුතුවෙන් ඔප්පු කර පෙන්වන්නට දෙයක් නැත…
5. කොළඹ වරාය සහ කටුනායක ගුවන් තොටුපළ කාළාන්තරයක් තිස්සේ බොහෝ අත්දැකීම් ගොණු කරගත් තත්ව සහතික දිනාගත් සන්නාමයන්ය….අමුතුවෙන් මාකට් කරන්නට දෙයක් නැත….
6. ආයෝජකයන්ට මිත්‍රශීලී වටපිටාව සහ ලිබරල් සංස්කෘතිය වැඩි වශයෙන්ම ඇත්තේ කොළඹය….
7. කොළඹ කේන්ද්‍රගත තොරතුරු තාක්ෂණික සංවර්ධනය සහ අධ්‍යාපනික සංවර්ධනය අනෙකුත් පළාත් වලට වඩා දශක ගණනාවකට පෙර ඇරඹී ඇත…
computers (1)
සිදුකළ යුතුව තිබුනේ “කොළඹ සිට රට තුළට පැතිරෙන සංවර්ධනයකි”….
…….කඩේ පාඩු වුනේ ඇයි?…..
මෙයට දීමට ඇත්තේ කෙටිම පිළිතුරකි….පණ දාගෙන කඩේ හැදුවාට ගමේ සල්ලිකාර පවුල් එක්ක වලි දාගෙන නම් බඩු විකිණෙන්නේ නැත….
බටහිර සහාය, ආයෝජනය හෝ ඇල්ම බැල්ම නැතිව රටක් සංවර්ධනය කළ නොහැකිය….!…මෙය අප මුහුණ දිය යුතු පරම යථාර්තයයි….බටහිර ලෝකය සමග හතුරුකම් ඇතිකරගෙන, ඔවුන්ට නිර්ධය ලෙස බැණ වදිමින්, දේශපාලනිකව සහ ආර්ථිකව ඔවුන්ගෙන් ඈත් වන විට රටක මොන තරම් පහසුකම්, සාමය, ආයෝජන අවස්ථා තිබුණත් වගුතුවක් වන්නේ නැත….මුදලාලි මඩකළපු සරමක් ඇදගෙන, හාමිනේ ලස්සනට රෙද්ද හැට්ටෙ ඇදගෙන, දුවට මල් ගවුමක් අන්දා පුයර උලා, කඩේ කුණු පොදක් නොහිටින්න අතුගාලා, බඩු ටික නීට් එකට තියලා, කට්ටිය වාඩිවෙලා බලා සිටිති….බඩු ගන්න කවුරුත් එන්නේ නැත….එන එකා දෙන්නා එන්නෙත් “පොතට බඩු අරගෙන” යන්නය…ගමේ ක්‍රය ශක්තිය සතු පවුල් සමග හිත් අමනාප කම් හදාගෙන නිසා උන් කඩේ පළාතේ එන්නේ නැත…අපිට බඩු විකුණන්න තියෙන්නෙ උන්ට විතරක් උනාට, උන්ට බඩු ගන්න තියෙන්නෙ මේ කඩේ පමණක් නොවේ…උන් සුපුරුදු කඩවලට යති…ඒ කඩවලදී උන්ට මිත්‍රශීලීව සළකයි….කොටින්ම උනේ ඔච්චරය…
…..චීනය තොග වෙළෙන්දෙක් පමණි…..
චීනය වනාහි සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා කදිම ආයෝජකයෙකු බව සැබෑය….එහෙත් චීනය නම් වූ තොග වෙළෙන්දා අපේ කඩේට පොඩි අතක් දී ( අධික පොළියට ) අපට විකුණන්න බඩු සපයනවා විනා, අපේ සිල්ලර කඩෙන් බඩු ගන්න එන්නේ නැත….බඩු ගන්න සහ විකුණන්න යන දෙකටම මෙහි පැමිණ අපටත් ලාභයක් සලසා යනා ජනතාවෝ වෙසෙන්නේ බටහිර අර්ධ ගෝලයේය…අපිට ඇත්තේ සිල්ලර කඩයක් මිස තොග වෙළඳ සැලක් නොවන බව අප වටහා ගත යුතුය….දැවැන්ත නිෂ්පාදන මෙහිදී තොග කඩයක් යනු දැවැන්ත නිෂ්පාදන ශක්‍යතාවයක් සහිත දේශයකි….චීනය වනාහි වර්ග කිලෝමීටර් මිලියන 9.7 ක් පුරා පැතිර ඇති 132 කෝටියක් ජනතාව වෙසෙන යෝධයෙකි….එරටට තොග වෙළෙන්දෙකු වී මුළු ලොවටම සමූහ නිෂ්පාදනය කරන ආර්ථිකයක් ගොඩනැගීමට ශක්‍යතාවය උවමනාවටත් වඩා ඇත….1972 දී ඇමරිකාවේ රිචඩ් නික්සන් ජනපති චීනයේ සංචාරයකට ගිය විට චීනයට පහළ වූ මේ අවස්ථාවෙන් ඔවුන් මැනවින් ප්‍රයෝජන ගත්හ….
එසේ වූ චීනයත් අද ද්‍රවශීල මුදල් ලබා ගන්නේ බටහිර ලෝකයට නිෂ්පාදන කර්තව්‍යයෙහි නිරත වීම නිසාය….එසේ වූ කල අපේ සිල්ලර කඩේ ගැන කියනුම කුමටද?
Note U.S. Imports from China
Note U.S. Imports from China
…..දූවිලි මාවතේ – දේවතා එළි පෙනෙයිද ආදරෙන්?…….
මඩු කූඩාරම් වලින් පිරුණු අපිරිසිදු ගුබ්බෑයම් වලට “නියම” ආයෝජනයන් සඳහා ආයෝජක දේවතාවුන් වඩින්නේ නැත….ඒවාට එන්නේ හොර ජාවාරම් වලට ආයෝජනය කරන මළ යකුන් සහ පෙරේතයන් පමණි….මදකට සිංගප්පූරු කථාවට හැරෙමු….සිංග්ගප්පූරුව ගොඩ දැම්මේ මූලික වශයෙන් පහත සඳහන් සමාගම් වල පැමිණීමෙන් යැයි නාගරික ජනප්‍රවාදයන් පවතී…
1. ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගම
2. කැල්ටෙක්ස් සමාගම
3. බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගම
4. ෂෙල් සමාගම
5. ෆිලිප්ස් සමාගම
6. ටොයෝටා සමාගම
7. ග්ලැක්සො ස්මිත් ක්ලින් සමාගම
මෙකී සමාගම් සිංගප්පූරුව සිය බෙදාහැරීම් කේන්ද්‍රස්ථානය ලෙස යොදා ගත්තේ ඇයිදැයි 2003 වසරේදී ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව ලී ක්වාන් යූ නායකයාණන්ගෙන් ඇසූ පැනයට ඔහු දුන් පිළිතුර වූයේ ” ඒ අයට පහසුවෙන් හැසිරෙන්න පුලුවන් විදියට අපි සිංගප්පූරුව පිළිවෙල කරලා ඉඩකඩ දුන්නා”  යන්නය…මේ වනවිට සිංගප්පූරුවේ වාර්ෂික එක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 55,182.46 කි….! ( වාර්ෂිකව ශ්‍රී ලංකා රුපියල් 7,173,722.40 – හැත්තෑ එක් ලක්ෂ හැත්තෑ තුන් දහස් හත්සිය විසි දෙකයි ශත හතළිහක් පමණ – මාසයකට රුපියල් 597,810 – පන් ලක්ෂ අනූ හත් දහස් අටසිය දහයක් පමණ )
image-20150323-17709-1kn4fz
මෙය ඉතාම සරල එහෙත් තීව්‍ර සාධකයකි….පදික වේදිකාවන් නැති, හැම තැනම බක්කි කඩ ගැසූ, අපිරිසිදු, ඉඩ ඇහිරුණු, නීතියක් රීතියක් නැති, දැවැන්ත මුඩුක්කුවක් සේ ඈතට දිස්වෙන තැන් වල ඇවිත් දූවිලි වද්දගෙන, කුණු තවරා ගන්නට කිසිදු ආයෝජකයෙකු කැමති නැත…
දූවිලි මාවත් වල දේවතා එළි පෙනෙන්නේ නැත….අපි කොළඹ නගරය ලොවට විකුණා ගන්නට නම් එය පිරිසිදුවට සහ පිළිවෙලට තැබීම අනිවාර්ය සාධකයකි….විනය සහ ශික්ෂණයද, පිරිසිදු කම සහ ඉඩ පහසුවද සැබෑ ආයෝජකයන් කැඳවයි…. ඡන්දය ගැන පමණක් සිතා හැම එකාටම ඕනෑ ඕනෑ හැටියට වැඩ කරන්නට ගියහොත් මේ කිසිවක් කිසිම දිනෙක පිළිවෙලක් වන්නේ නැත…
…..”කම්පාලා උදාහරණය”……
කම්පාලා යනු අප්‍රිකාවේ අන්ත දිළිඳුම රාජ්‍යයන්ගෙන් එකක් වන උගන්ඩාවේ අගනුවරයි….කළක් ඉඩි අමින් හෙවත් එඩුවාඩෝ අමීන් ඩාඩා නිසා රුහිරු වින්දිතයන්ගේ රාජ්‍යය ලෙස කුප්‍රකටව සිටි උගන්ඩාවේ බොහෝ අභ්‍යන්තර සිවිල් සහ දේශපාලනික අර්බුද ක්‍රමයෙන් වසර 2003 වන විට නිමාවට පත්විය….එහෙත් උගන්ඩාවට සාපේක්ෂ සාමයක් උදා වූවාට, උගන්ඩාවේ අගනුවරට සිතූ තරම් ආයෝජනයන් ගලා ආවේ නැත….කෘමි නාශක බීමට එකතු කරන්නට හෝ අවුරුදු පහකටම ආවේ කොකා කෝලා සමාගම පමණි….කම්පාලා වනාහි අප්‍රිකාවේ ප්‍රකටම පරිවහන මාර්ග ආශ්‍රිත උපක්‍රමික වශයෙන් අතිශය වැදගත් ස්ථානයක පිහිටි නගරයකි….
2011 වසරේදී  කම්පාලාවට මේ කළ දසාව යන්නේ ඇයිදැයි කම්පා වූ උගන්ඩා රජය මේ ගැන සොයා බලන්නට පත් කළ කමිටුවක සිටි මහාචාර්ය ෂොයිබ් ල්වාසා සහ මහාචාර්ය ඇලෙක්ස් ඉජ්ජෝ සමස්ථය ගවේෂණය කොට ඉතාම සැකෙවින් මෙසේ කීහ:
“කොලෝලෝ ( Kololo) කන්දේ සිට බලන කල කම්පාලාව පෙනෙන්නේ යෝධ මුඩුක්කුවක් මෙනි”….
මේ ප්‍රකාශයත් සමග බොහෝ දේ වටහාගත් උගන්ඩා රජය මේ වනවිට කම්පාලාව පිළිවෙලක් කර ආයෝජකයන්ට විකිණීම සඳහා “Kampala Development Plan – 2014” යනුවෙන් ක්‍රියාන්විතයක් දියත් කර ඇත…දියත් කර දෙවැනි කාර්තුවේදීම ආයෝජනයන් 58% ඉහළ දමාගෙන ඵල නෙලා ගැනීමට ඔවුහු සමත්ව සිටිති….
stock-photo-elevated-view-of-shanty-towns-or-squatter-camps-also-known-as-bidonvilles-in-cape-town-south-105607070stock-photo-kampala-uganda-september-people-and-taxis-move-about-their-busy-day-in-the-downtown-153512771
…..ක්ලීන් සූට් – එම්ප්ටි පොකට්?…..
නමුත් නගරයක් පිරිසිදු කළාට හෝ යටිතල පහසුකම් තිබුණාට මදිය….නීතිය, කාර්යක්ෂමතාවය සහ මනා කළමණාකරණය තිබීම අත්‍යාවශ්‍යය…මේ සියල්ලටම කළින් ලෝක මට්ටමේ ආර්ථික රටාවන් පිළිබඳව මනා අවබෝධයක් සහ ව්‍යාපාර ලෝකයේ “නිසි දේ සඳහා” කෛරාටික කමක් තිබිය යුතුය….උපක්‍රමශීලීත්වය සහ ප්‍රබල උපයෝගීතාවය නගරයක සංවර්ධනයට අතිශයින් වැදගත්ය….
මේ සඳහා පහත උදාහරණයකි…
සිංග්ගප්පූරුව සිය සංවර්ධන කථාව ඇරඹූ යුගයේම ඇමරිකානු ආධාර ඇතිව යටිතල පහසුකම් සංවර්ධනයක් ඇරඹූ අයෙකි, පිලිපීනයේ ෆර්ඩිනන්ඩ් මාකෝස්….නමුත් පිලිපීනයේ කථාව කෙළවර වූයේ ඛේදවාචකයෙකිනි….අද “මැනිලා” අගනුවර මොන තරම් පාර්ශ්වික යටිතල පහසුකම් තිබුණත් වෘත්තිමය වශයෙන් විකුණාගත නොහැකි, ලොවටම ගණිකාවන් සහ මත් කඩු සපයන වහල් වෙලෙන්දන් සහ කුඩු වෙළෙන්දන් පිරුණු, දූෂණයේ අගනුවරකි….
අරෝවට හැදුණු වැට හෙවත් පිලිපීනයේ මැනිලා....
අරෝවට හැදුණු වැට හෙවත් පිලිපීනයේ මැනිලා….
මෙලොව ධනවත්ම කොටස වන්නේ ව්‍යාපාරිකයන්ය….විශාල ප්‍රවාහන මාර්ග යනු ව්‍යාපාරිකයන්ගේ අවධානය ප්‍රමුඛව ලබාගත හැකි දේය….බොහෝ විට පෙර-අපර දෙදිග ධනස්කන්ධයන් යා කරවන ප්‍රවාහන මාර්ග යම් තැනකින් වැටී ඇත්නම්, ලෝකයේ තදින්ම විය පැහැදම් කරන සුපිරි ව්‍යාපාරිකයන්ගේ සිට, සමස්ථයක් ලෙස “පළවෙනි ලෝකයට” අයත් කාර්මික ශිෂ්ඨාචාරයන්ගේ ජීවත් වන පොහොසත්, වියදම් කිරීමේ හැකියාව තිබෙන, ක්‍රය ශක්තියෙන් අනූන, පුරවැසියන්ගේ ඇල්ම බැල්ම එවැනි මාර්ග වල සන්ධිස්ථානයන් කරා නිතැනින්ම යොමුවේ….සංචාරක ව්‍යාපාරය නංවනවාය කියා අපටත් වඩා මර හිඟන්නන් ගෙන්නා ගෙන උන්ට ගල් කණු සහ මුහුදු වෙරළවල් පෙන්නුවාට ධනය නූපදී….මෙරටට ධනය ගලා ආ යුතු නම් ඒ ධනය ඇත්තේ කොහේදැයි මැනවින් විපරම් කර බැලිය යුතුය…ඒ ධනය ඇත්තන්ට “එන්න අපෙනුත් මල් ගන්න” කියා ආයාචනා කරමින් කුමක් හෝ වටිනාකමක් ඉදිරිපත් කළ යුතුය….
ශ්‍රී ලංකාවෙ කෘෂි ආර්ථික දායකත්වය වර්ෂ 2014 වන විට මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 10.1% තෙක් පහත වැටී ඇත…මෙරට ආර්ථිකයෙන් 90% ආසන්න පිරිවැයක් සහ ජනනයක් දරන්නේ:
සේවා ආර්ථිකය ( ගුවන් තොටුපළ, වරාය සේවාවන් ඇතුළත් කුලකය ) – 58%
නිෂ්පාදන ආර්ථිකය – 32%
මෙකී සංරචකයන් දෙකටම කොළඹ නගරය දක්වන ප්‍රාචීණ වටිනාකම සුවිශාලය…සේවා ආර්ථිකය ඇසුරෙන් 60%+ තනි කොළඹ වටා කේන්ද්‍රගතව ඇත…..
අප රට ගොඩ යා යුත්තේ කොළඹ සිට ගමට පැතිරෙන සංවර්ධනයකින් බව මෙම ලියුම්කරුට කල්පනා සිතේ….එහි අනිත් පැත්ත කරන්නට ලොවෙත් බැරි බව මේ වනවිට දරා ඇති සියළු පරිශ්‍රමයන් ඔප්පු කර හමාරය….
කොළඹ අනාථ වීදි දරුවෙකු වුවත්, ඉස්කෝලෙ යවා උගන්නා ගත්තොත් සාපේක්ෂතාවාදය පවා ලොවට උගන්වන මහැදුරෙකු වන්නට හැකියාව ඇති දරුවෙකි….
අනාගත කොළඹ හෝ අනා-ගත්ත කොළඹ….
මේ වනවිට ශ්‍රී ලංකාව යළිත් බටහිර දිනා ගැනීමේ ප්‍රශංසනාත්මක පියවර රැසක් අනුගමනය කරමින් සිටිති….බටහිර සල්ලි අපට ගොඩ යන්න නම් අත්‍යාවශ්‍යමය….එහෙත් ඔවුන් සල්ලි දෙන්නේ ආවාට ගියාට නොවන බැවින් ඔවුන්ගේ කොන්දේසි කිහිපයකටද අවනත වන්නට අපට සිදුවේ….එහෙත් අපට තිබෙන්නේ සිල්ලර කඩයක් බව මතක තබාගෙන බටහිරට තරමක් දුරට දේශපාලනිකව කීකරු වන්නේ නම් අනාගතයේදී අපට ඔවුන් සමග සෘජුව කේවල් කළ හැකි බලයක් ගොඩ නගා ගත හැක…අද ඇමරිකා එක්සත් ජනපදයේ ගිණිකොන දිග ආසියාතිකර විදේශ ප්‍රතිපත්තිය සැකසෙන්නේ වර්ග කිලෝමීටර් 713 ක් තරම් කුඩා පනස් ලක්ෂයක ජනගහණයක් වෙසෙන පුංචි සිංග්ගප්පූරුවේ උපදෙස් පරිදි බව ඔබ දන්නවාද?…. ලී ක්වාන් යූ නම් ප්‍රාඥයා යෝධ ඇමරිකාව පුංචි සිංගප්පූරුවට ආර්ථික රැහැන් යොදා ගැට ගසා ඇති ආකාරය ගැන මීට වඩා නිදසුන් මොනවාටද?….
“අකුරට දැන් වන්න දාස – අකුර පසුව වේය දාස”  යැයි මුණිදාස කුමාරතුංගයෝ පවසා ඇත….බටහිර ගැනත් ඒ ටිකම කීමට ඇත…බටහිරයෝ ආර්ථික රැහැන් පටි වලට ක්‍රමයෙන් කීකරු වෙති….ඔවුහු සිංග්ගපූරුවට නැමෙන්නේද, ඔවුන්ගේ සංස්කෘතියට අතිශයින්ම පටහැණි සංස්කෘතීන් සහිත මැද පෙරදිග ෂෙයික් වරුන් හමුවේ නැමෙන්නේද මේ ආර්ථික කීකරු කම නිසාය….අපිත් බටහිරයන්ට ශාප කරමින් නොසිට බටහිර ඇතුන්ට ආර්ථික “මන්ද” විසි කළ යුතුය….ඇතුන් බැඳගත් පසු උන්ගෙන් වැඩගත හැක…..ඒකට බුද්ධිය අත්‍යාවශ්‍යයය….කොන්ක්‍රීට් සහ බුද්ධිය මනාව සංකලනය වන්නේ නම් ගොඩේ ගොඩය….
කොළඹ අප කෙසේ හෝ බටහිර ආයෝජකයන්ට ( සහ අග්නිදිග ආසියාවේ ජපන්, චීන සහ කොරියන් ආයෝජකයන්ට ) විකුණාගත යුතුය….එය පිලිපීනය මැනිලාව විකුණාගත් අයුරින් හෝ පැනමාව “පැනමා සිටි” විකුණාගත් අයුරින් අමන ලෙස නොව, එමිරේටයෝ ඩුබායි විකුණාගත් අයුරින් සහ සිංග්ගප්පූරුව විකුණාගත් අයුරින් දක්ෂ ලෙස විය යුතුය….
ලෝක ආර්ථික රටාවන් පැත්තෙන් ගෙන බලන කල අප ලපන් ගසමින් සිටිද්දී පෙරහැරවල් රාශියක් ගොස් අවසන්ය….කොළඹට දැන් ඉතිරිව ඇත්තේ ගංගාරාම පෙරහැර පමණි….අනාගතයේදී කොළඹට ඩුබායි ආධිපත්‍යයට සිංග්ගප්පූරු ආධිපත්‍යයට පමණක් නොව නැගී එන ඉන්දියාවේ නගර ආධිපත්‍යයට එරෙහිවද රැකෙන්නට නම් සටන් කල යුතුය….ඒ සඳහා මට හැඟෙන දේ අනුව කොළඹ Knowledge Hub / ICT Hub එකක් Entertainment Hub එකක් සහ Logistics Hub එකක් බවට පත් කර ගත යුතුය…..
කොළඹ දැන් තරමක් දුරට පිළිවෙලය..එය මෑතකදී ජාත්‍යන්තර ඇගයීමට ලක්විය….එහි ගෞරවය මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ පූර්ව පාලනයට යා යුතුය…..ඉදිරියේදී බලයට පත්වන්නේ කවුරුන් වුවද ඔවුහු දියුණු රටවල උපකාරයෙන් එය ඊටත් වඩා පිළිවෙල සහ සුන්දර නගරයක් කළ යුතුය….කොළඹ නම් මනාලිය අපේ මුළු පවුලටම සෙත සලසන දීගයක යැවිය යුතුය….එය එසේ නොවුවහොත් කොළඹට තබා මේ රටටවත් අනාගතයක් නැත…
වත්මන් රජයෙහි මෙම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යා හැකි පුද්ගල චරිත තුනක් තිබෙන බව ලියුම් කරුගේ මතයයි….ඒ නම් රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ ඇමති මංගල සමරවීර මහතා සහ විදේශ නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතාය….පසුගිය පාලන සමයේ යම් පරිමාවකට සාදන ලද, එහෙත් වැඩ නිම නොකළ “කොළඹ කඩය” වඩාත් සුපිරියට සාදා, බටහිර ගැණුම් කරුවන්ට මාකට් කරගැනීම මේ මහත්වරු තිදෙනා භාර ගත යුතුය…….මෙහිදී විදේශ ඇමති මංගල සමරවීර මහතා වඩාත් ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළ යුතුය…. අන් සියල්ලටම වඩා ඒ මහතා ලොවට කිව යුත්තේ “YOU CAN TRUST IN US” වචන පහ පමණි….සෙසු අය ඒ වචන පහට අදාළ පරිදි කොළඹ මනාලිය සරසා බලා සිටිය යුතුය…මේ විෂයෙහි රනිල්-මංගල මහත්වරුන්ට “සංගා – මහේල” වීමේ වගකීමක් ඇත…..එය නිසි අයුරින් ඉටු කළහොත් ඔවුන්ට ඉතිහාසය සාධාරණය ඉටු කරනු ඇත….
ජාතියක් ලෙස අප “ව්‍යාපාරික සාහසිකයන්” විය යුතුය….එක්කෝ සල්ලි හම්බ කළ යුතුය…නැත්නම් සල්ලි හම්බ නොකළ යුතුය….මේ දෙක අතර ශෘඩිංගර්ගේ “මැරුණු – නොමැරුණු පූසා” බඳු තැනක් නැත….නො-එසේ නම් සදාකාළිකව අපට පිටුපසින් සිට අධිවේගයෙන් පැන දියුණු වූ රටවල අගුපිල්වලට ගොස් උන්ගේ ඉඳුල් කමින් වැටී සිටිය හැක….
අපේ පාස්පෝට් එක ලොව කිසිම රටක තඹේකට ගණන් ගන්නේ නැත….නිවැරදිව කළමණාකරණය කර ගතහොත් කොළඹ ඒ සියල්ල වෙනස් කරනු ඇත….
“Build it and They will come”

Hey ! Which Way ?

දර්ශණය සහ දාර්ශණිකත්වය පැවතිය යුත්තේ මිනිසා ජීවත් කරවන්නය…එහෙත් බිලියන ගණනක් ජනතාවගේ අවාසනාවට මෙලොව බොහෝ රටවල කෙරෙන්නේ දර්ශණය හෝ දාර්ශණිකත්වය වෙනුවෙන් මිනිසා ජීවත් කරවීමය….කොටින්ම කිව්වොත් කවුරු හරි එකෙක් දෙසාපු මොකක් හරි රෙද්දක සුදෝ සුද රැකගැනීම සඳහා සියරට වැසියන්ගේ චර්යා රටා “අස්වාභාවික” ලෙස සීමා කිරීමය…එසේ කිරීම නිසා 20 වැනි සියවස තුළින් 21 වැනි සියවසට පහත දෙමාදිලියේ රටවල් සෙට් එකක් බිහිව ඇත….
1. සමාජවාදය නැමති වර්ණාවලියේ වර්ණක වන මාක්ස්වාදය, ලෙනින්වාදය, අරූගේ අරක, මුගේ මේක නිසා අතීත සහ වත්මන් නායකයන්ට දෙවි දේවතාවුන්ට සේ සළකන, හීනෙන් ඇවිදින සොම්බියන්ගේ රටවල් –
සමාජවාදී වර්ණාවලියේ වර්ණක දෘෂ්ඨීන් සිතාගෙන ඉන්නේ ඉතිහාසයට සහ ශිෂ්ඨාචාරයට ” ඉක්බිති සියල්ලෝම සතුටින් විසිර ගියහ” මාදිලියේ අවසානයක් තියෙනවා කියලාය…නොමිළේ කන්න ටිකක් දීලා ( ඒකත් දළ කෑම ), බාල රෙදි වලින් විලි වහලා, නොමිළේ දෙන කුකුල් කූඩුවක ගාල් කරාම සේරම හරි කියලාය…මිනිස්සු කියන්නේ එහෙම කරලා පවත්වා ගන්න පුලුවන් සත්ව පාලනයක් කියලාය…ඔය දර්ශණ සියල්ලටම වැරදුණු තැන එතැනය….

Communism_47f9cd_490483
2. ආගමික දර්ශණයන් ඔස්සේ පාලනය වෙමින්, පට්ට සිරා ආධ්‍යාත්මික රාජ්ය වෙන්නට ගොස් කන, බොන එක තියා රෙද්දක් පෙරෙද්දක්වත් තමන්ට උවමනා විදියට ඇඳගන්න නිදහසක් නැති, අමු අස්වාභාවික ලෙස ගල් යුගයේ දර්ශණවාදයන්ගෙන් සහ සංස්කෘතික ලක්ෂණ වලින් ජනයා පාලනය කරනු ලබන Theological ගුබ්බෑයම්
– මිනිසාට අත්‍යාවශ්‍යම දේ වන්නේ භෞතික සංවර්ධනයයි…ඒ කියන්නේ පුලුවන් තරම් අතට සල්ලි ලැබීමම නොවේ…ජීවන මට්ටම දියුණුවීමයි…ජීවිතය නිදහසේ සතුටින් පවත්වා ගැනීමට අවශ්‍ය සාධක, බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය සාධක දියුණු වීමයි….පාර-භෞතිකය ගොඩනැගී ඇත්තේ භෞතිකය මත, භෞතිකය පදනම් කරගෙනය….භෞතිකයෙන් තොරව පාර-භෞතික ආධ්‍යාත්මික සඳ වැගිරෙන සමාජයන් ගැන කථා කරන්නට යන උන් අවසානයේ භෞතික සංවර්ධනයත් නැති, ආධ්‍යාත්මික සංවර්ධනයත් නැති ම්ලේච්ඡ ගල් යුගයේ කෝළම් මඩු තනා ගනිති…

6a00d83517313553ef0115714fe7cc970b
කොටින්ම කිව්වොත් “යහපත් අහවල් වාදියෙකු වන්නට නම් අහවල් ලෙස හැසිරිය යුතුය, අහවල් ගරු ධර්ම පිළිපැදිය යුතුය, අහවල් විදියට ඇන්ද යුතුය, අහවල් විදියට කෑ යුතුය, අහවල් විදියට බී යුතුය, අහවල් විදියට රී යුතුය, අහවල් ශික්ෂා පද ආරක්ෂා කළ යුතුයි කියන Doctrines” මොනම එකකටවත් යටත් නොවුනු ජනතාවෝ අද මේ ලෝකයේ සැපවත් ජීවිත ගත කරන අතර, එසේ යටත් වූ ජනතාව එක්කෝ සැපවත් ජීවිත ගත කරනවා යැයි සිතා සිටිති…නැත්තන් වෙන කරන්න දෙයක් නැති කමට ඔලුව ඔබාගෙන සිටිති….

මාක්ස්වාදයට සහ එනයින් බිහිවූ සහ පසුව එයටම එකතු වූ අනෙක් දර්ශණයන්ට වරදින්නේ කොතනද?

මාක්ස්වාදයට සහ එනයින් බිහිවූ සහ පසුව එයටම එකතු වූ අනෙක් දර්ශණයන්ට වරදින්නේ කොතනද? ආගම් සහ ආගමික දර්ශණයන් ඇසුරෙන් බිහිවූ අනම්‍ය ආගමික සංස්ථාවන්ට සිය නිදහස පාවා දීපු ඊනියා ආධ්‍යාත්මික රාජ්‍ය වලට වරදින්නෙ කොතනද?
ඒක ගැන කියන්න ඉස්සර වෙලා අපි කල්පනා කරල බලමු “දර්ශණවාදයක්” අනම්‍ය දර්ශණවාදයක් බවට පත්වෙන්නෙ කොහොමද, පසුව ආගමක් බවට පත් වෙන්නෙ කොහොමද කියලා…

Birth of a Dogma – ඩොග්මාවක උපත –

දර්ශණයන් ක්‍රමානුකූලව දැවැන්ත සාමාජීය සංවිධානයන් බවට පත් වෙන්නෙ බොහෝ දෙනා පූර්ව දේශනා අහලා හරි අධ්‍යයනය කරලා හරි එයට එකතු කරන පරිකල්පනය මගින්. එහෙත් එක්තරා තැනක් වෙන කල් ඇවිත් ඒ දර්ශණයේ පොහොසත් කිරීමේ ක්‍රියාන්විතය නවතිනවා. මේ සුවිශේෂී තැන, එහෙම නැත්නම් සැතපුම් කණුව මොකක්ද?…මේ සුවිශේෂී සැතපුම් කණුව තමයි දර්ශණයන් මල්වර වෙන තැන…තර්ක කරුවන්, කථිකයන්, විදග්ධයන්, පඬිවරුන්, සාහිත්‍යධරයන්, දාර්ශණිකයන් වැනි ප්‍රබුද්ධ සමාජය ඇසුරේ මෙතෙක් කල් හැදී වැඩුණු දර්ශණය “සංස්ථාපිත අනන්‍යතාවයකින්” අවිදග්ධ, සාමාන්‍ය ජනයා අතට බාර කිරීම තමයි මේ සන්ධිස්ථානය…කොටින්ම කිව්වොත් විදග්ධ සමාජය විසින් මේස රෙද්දට යෙදූ දෙයක්, අවිදග්ධ සමාජය විසින් ලෝගුවක් ලෙස සීතලට පොරවන්නත්, විලි වසා ගන්නත් යොදා ගැනීම ආරම්භ කරන මොහොත තමයි මේ….

අපි මේ “ආගම මල්වර වෙන” තැන පහදන්න යොදා ගනිමු ලාංකික දියණියකගේ වැඩිවිය පැමිණීම ඉතාම තාත්වික උදාහරණයක් විදියට….

මල්වර වෙච්ච දැරියකට ඇයට කුඩා කළදී අත් විඳින්න ලැබෙන නිදහස අහිමි කරගෙන දැඩි සාමාජීය සහ පාරිසරික සීමා බන්ධනයන්ට යටත් වෙන්න සිද්ද වෙනවා …” දැන් ඉස්සර වගේ දුවන්න පනින්න එපා…ගමේ ළමයි එක්ක සෙල්ලමට යන්න එපා….පිරිමි ළමයි එක්ක ඕනවට වඩා භජනෙට යන්න එපා…හවස් උනාට පස්සෙ ගෙදරින් එළියට බහින්න එපා….ගෙදරින් පිටට සද්දෙ ඇහෙන්න කථා කරන්න එපා…ඕනවට වඩා හිනා වෙන්න එපා….පිට මිනිස්සු ඉන්න තැන් වල වැඩිය ගැවසෙන්න එපා…පිරිමි කෙනෙක්ට දුරින් ඉඳගන්න ඕන….” වගේ නීති රීති අටෝරාසියක් පැනවෙනවනෙ…

එහෙම පැනවෙන්නෙ ඇගෙන් යම් ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තු වෙන, ඇය පවතින තත්වයෙන්ම දිගටම පවත්වා ගැනීමෙන් යම් වාසියක්, ප්‍රයෝජනයක් අත් කරගන්න බලාපොරොත්තු වෙන සමාජය එකී වාසිය සැබෑවක් වීමට අවශ්‍ය පූර්ව කොන්දේසි සංරක්ෂණය කිරීම උදෙසා පනවනු ලබන නීති….උදා: Second Hand ගන්නවට වඩා Brand New ගන්න ආසා කරන එක සාර්ව මානසික තත්වයක් නිසා ඇයගේ කන්‍යා භාවය රැකගන්න ඇයට බළ කෙරෙන සංරක්ෂණවාදී නියමයන් රැසකට ඈ යටත් කෙරෙනවා…ඒක සාමාජීය වාසියක්, පුරුෂ සහ පුරුෂාර්ථ ප්‍රමුඛ සංස්කෘතියට පෝෂණයක්…ඒ ක්‍රමය තුළම ඈ පහසුවෙන් “හොඳ තැනකට, හොඳ කෙනෙකුට” විවාහ කර දීමට බලාපොරොත්තු වීම ඇගේ දෙමාපියන් බලාපොරොත්තු වෙන වාසිය…තමන්ගේ සහෝදරියගේ සුප්‍රතිරූපය නිසා තමන්ගේ ප්‍රතිරූපයට යම් එළියක් වැටේවි කියන එක සහෝදර සහෝදරියන් බලාපොරොත්තු වෙන වාසිය…සිය පුරුෂාධිපත්‍යට අභියෝගයක් කළ නොහැකි ප්‍රතිග්‍රහණ සහ ප්‍රතිචාර පැත්තෙන් දුර්වල ප්‍රාණියෙක් නිර්මාණය කර පවත්වා ගැනීම ඇගේ පෙම්වතා හෝ සැමියා බලාපොරොත්තු වන වාසිය…නීරස ජීවිත ගෙවන්න සිද්ද වෙච්ච “අතීත ගැහැණු ළමයි” මේ නව ගැහැණු ළමයාගෙන් බලාපොරොත්තු වෙනවා තමා විඳවපු විඳවිල්ලට සරිලන විඳවිල්ලක්…ඒක ඔවුන්ගේ වාසිය….

යුවතියක් මල්වර වෙනවා වගේ එක දවසෙන්, දෙකෙන් සිදුවන දෙයක් නොවුණත් ආගමක කොටහළු මංගල්‍යය කියන්නෙ මෙහෙම දෙයක්… සියවස් කිහිපයක් තුළ සිදුවන ක්‍රියාන්විතයක් උනත්, ඒකත් ඒ ආගම සහ එයට අනුබද්ධ කරුණු කාරණා, සංස්කෘතික ලක්ෂණ, ආගමික නියාමනය, සංස්ථාව, ස්වරූපය, ඒ ආගම ඇසුරෙහි ගොඩනැගෙන දේශපාලනය, ආර්ථික ප්‍රස්තාවන්, ඒ අයුරින්ම පවතිනවා දකින්න කැමති, එයින් යම් යම් වාසි ලබාගන්නා සමාජ කොට්ඨාශ, බලවේග විසින් එම ආගම මෙතෙක් විවිධ අයුරින් පෝෂණය වෙමින්, වැඩෙමින් පැමිණි ගමන් මගට සංරක්ෂණවාදී තහංචි යොදා, එය ඉබි යතුරු දැමූ වෙඩි නොවදින කුටීරයකට දමා පැය 24ම මුරකාවල් යෙදීම එම ආගමේ කොටහළු මංගල්‍යය…මේ සුවිශේෂී මොහොතෙදි සිදුවෙන්නේ මේ ආගම එතැන් සිට ඩොග්මාවක් ලෙස පැළඳ ගන්නා ඉතාම සාමාන්‍ය පිරිස් එයට අලුත් නිර්ණායකයන්, නිර්වචනයන් සහ මානව හැඟීම් මිශ්‍ර කිරීම තහනම් කොට, එය කිසිදු අඩුවකින් හෝ එකතුවකින් තොරව පවත්වා ගත යුතු “සෑම වචනයක්ම ශාස්තෘගෙ පරමෝත්තම සත්‍යයක් වන” බවට පත් කර ගැනීම….මල්වර වීමෙන් පසුව එතෙක් නිදහසේ දුවපැන ඇවිදිමින් තමන්ට උරුම වුණු ග්‍රහ ලෝකයේ සුන්දරත්වය ගවේෂණය කළ, අත් වින්ද දැරිය එයින් පසුව ඒ විචිත්‍රවත්, වර්ණවත් වර්ධනය නවතා දමා දැඩි රැකවල් මැද පවත්වා ගත යුතු මෙලෝ රහක් නැති තමන්ට තමන්වත් අයිති නැති “බ්ලැක් ඇන්ඩ් වයිට්” ජීවිතයකට පිවිසෙනවා…ආගමට වෙන්නෙත් ඒ ටිකම තමයි….

එතැන් පටන් පැරණි රතු ඉන්දියානු ගෝත්‍ර අතර පැවති “ගෝත්‍ර ලාංඡනය” (Totem) ලෙස හඳුනාගත් සතා දිවි හිමියෙන් සුරැකීම වැනි දෙයක් ඔවුහු විසින් එම ආගමේ මූලාශ්‍රයන්ට සහ චරිත වලට ප්‍රදානය කරනු ලබනවා. එතැන් පටන් ඒ ආගමේ පරිණාමික ක්‍රියාවලිය, එය බොහෝ පඬිවරුන් ඇසුරෙහි, ප්‍රබල පරිකල්පනයන් ඇත්තන් ඇසුරෙහි වඩාත් ඔපවත් වීම, රසවත් වීම ක්‍රමයෙන් නතර වෙනවා. ඇතැම් ආගම් / ආගමික සංස්ථාවන් එයිනුදු නොනැවතී එම ආගමෙහි බලපෑම පවතින ප්‍රදේශ වල වැසියන්ගේ පෞද්ගලිකත්වයට අදාළ සියළු කාරණා ඔවුන්ගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පරිපාලනයකට ලක් කරන තරම් ශක්තිමත් ආධිපත්‍යයක් ගොඩ නගා ගන්නවා… එයින් ක්‍රමයෙන් දේශපාලනයක් විකසනය වෙනවා… සංස්කෘතියක් හැඩ ගැන්වෙනවා…මේ සියල්ලගෙන්ම එම දර්ශණයට ලැබෙන ජනප්‍රියත්වයේ ප්‍රතිඵලයක් හැටියට එයට සමරූපීව විනිමය වටිනාකම් ජනනය කරවන ව්‍යාපාරික ස්වරූපයක්, එහෙම නැත්නම් Commercial Clone / Political Clone එකක් උපදිනවා… ඒ Clone එකේ හැසිරීම තුළ ශීඝ්‍රයෙන් Original එක අයත් කරගෙන සිටින අවකාශය Clone එකට දීලා යටත් වෙන්න Original එකට සිද්ද වෙනවා….ඔහොම ඔහොම ගිහිල්ලා අවසානයේදී ආගමික තේරාවලියේ ඉහළ සිට පහළටම අතාර්කිකත්වය රජ කරන, විචාරයට දොරටු වැසූ හොල්මන් මන්දිරයක තත්වය උදා කර ගන්නවා….

ඊට පස්සෙ ඒක උප්පත්තියෙන් උරුම කරගෙන, දායාද කරගෙන උපදින අය ඉන්නෙ ට්‍රැන්සිල්වේනියාවේ බ්‍රෑන් ගමේ වැසියන් වගේ….ඈතින් පේන අඳුරු බළකොටුව ළඟට යන්නත් බයයි… ඒකට එරෙහිව පියවරක් ගන්නත් බයයි…හවස හයෙන් පස්සෙ දොරවල්, උළුවහු වල සුදු ලූණු මල් එල්ලනවා…ආසිරි ගන්වන ලද කුරුස දරුවන්ගේ ඇඳට ඉහළින් බිත්තියේ සවි කරනවා…ඉන් පස්සෙ ඒ ආගම උගන්වපු ප්‍රඥාවන්තයන්, ශාස්තෘවරුන්, අඳුරු කාළඡේද තුළ වුවත් ඉතාම සිත් ගන්නා සුළු ලයාන්විත ස්වරූප වලින් ඒ ඒ දර්ශණයේ ප්‍රචාරකයන් ලෙස පෙනී සිටි දේශකයන්, මිනිස්සුන්ට බලාපොරොත්තුව කැන්දූ සොඳුරු මිනිසුන් ක්‍රමානුකූලව ඔවුන්ගේ අනුගාමික සමාජය විසින් ලං වෙන්න බැරි, බියජනක, ඉන්ද්‍රජාලික බලය විජෘම්භණය කරන අමනුෂ්‍යයන්, අතථ්‍ය රාක්ෂසයන්, පිශාචයන්, පිට සක්වළ ජීවීන්, ගුප්ත බලයන් සහිත රාජ්‍යාධිකාරීන් බවට පත් කරනවා..

බාරුෂ් ස්පිනෝසා කියන ඕලන්ද ජාතික දාර්ශණිකයා වරක් බරපතළ ප්‍රකාශයක් කළා…අඳුරු යුගයේ කළා නම් ඔහුට මරු කැඳවිය හැකිව තිබුණු මෙම ප්‍රකාශය පුනරුද සමයේ පවා ඔහුට ඔහුගේ පවුලේ අයත්, හිමිවන්නට තිබුණු දේපළත් අහිමි කරවන තැනට ඔහුගේ ජීවන ගමන තල්ලු කලා…ඔහු කිව්වෙ “බයිබලයේ තිබෙන අකුරක් නෑරම දෙවියන් වහන්සේගේ අර්ථ ගැන්වීම් නොවේය, එම නිසා බයිබලය කියවද්දී එය එය ලියැවුණු කාළ පරිච්ඡේදය හිතේ තබාගෙන ඒ කාළය ගැන අවබෝධයෙන් කියවිය යුතුය” කියන එක. ඔහු ඒ නිසා බයිබලය විෂයෙහි හඳුන්වා දෙනවා “Historico-Critical Interpretation” කියන අරුත් නැගීමේ සංකල්පය…එමෙන්ම ඔහු කිව්වා ක්‍රිස්තියානි සහ යුදෙව් ලබ්ධීන් මැකී යා නොදී ජීවතුන් අතර තබා ගන්නේ දරදඬු, අනම්‍ය, අතථ්‍ය අධාන ග්‍රහයන් මගින් සහ ඒ ආධාන ග්‍රහයන් මිනිසුන් මත පටවන භීෂණය මගින් කියලා…

ආගම්, ආධ්‍යාත්මික දර්ශණයන් වගේම මාක්ස්වාදය සහ සමාජවාදී දර්ශණයන්ට සිද්ද වුනෙත් මේකම තමයි….අවසානයේදී මේ සියල්ල පරිභෝජනයට ගෙන එයින් වාසි සලසා ගන්නා පිරිස් විසින් ස්වකීය වාසිදායක තත්වයන් පහව නොයනු වස්, වෙනස් නොවනු වස් එසේ වෙනස් කිරීමට අවශ්‍ය ශක්‍යතාවය තිබෙන්නාවූ සමාජයට, විශේෂයෙන්ම තාරුණ්‍යයට බරපතළ තහංචි සහ ඒ තහංචි කඩ කළහොත් භයානක දඬුවම් මේ ජීවිතයේදීම ( මාක්ස්වාදය බඳු අධිපතිවාදී දේශපාලනික දර්ශණයන් සහ බොහෝ ආගමික- දේශපාලනික සංස්ථා ) හෝ පරලොව ජීවිතයේදී ( ආගම් ) බිය ගන්වා පවතින තත්වයන් එසේම නොවෙනස්ව තබා ගැනීමට උත්සාහ දැරීම තුළ තමා “ඩොග්මාවක්” බිහිවෙන්නෙ….

නමුත් මේ දෙගොල්ලම සහ මේ දෙගොල්ලන්ගෙම දාර්ශණිකයන් අමතක කරනවා මිනිසා කියන්නේ “වෙනස් වෙන ජීවියෙක්” බව…පරිසරය කියන්නේ වෙනස් වෙන සාධකයක් බව…මිනිසා තම ශරීරයට වඩා සුඛ විහරණය සලසා ගනු වස් දිගින් දිගටම “හිතන” සතෙක් බව…ඒ නයින් දක්ෂතාවයන්ට අනුරූපීව මිනිසුන් එකිනෙකාගෙන් වෙනස් වෙන බව…වඩා දක්ෂයන් ජයගන්නා, අඩු දක්ෂයන් මැකී යන, පරිසරයට අනුරූපීව සැකසෙන්නට සමත් දේ රැකෙන, අනුරූපීව වෙනස් නොවන දේ අතුරුදහන් වී යන ක්‍රමවේදයකට විශ්වය සකස් වී ඇති බව ඔවුන් අමතක කරනවා….

එයින් පසුව මොවුන් මේ දර්ශණයන් ( ආගම් ) සහ ඒවායේ ආධිපත්‍යයන් සංරක්ෂණය කරන්නේ විරුද්ධවාදී මතවාද ව්‍යාප්ත වන්නට ඉඩ නොදීම තුළින්…ඒ සඳහා එකී දර්ශණයන් පදනම් කරගෙන තැනෙන සමාජයන් සහ රාජ්‍යයන් බහුවිධ හැසිරීම් නොදක්වන යාන්ත්‍රණයකට යටත් කෙරෙනවා…උදා: මාක්ස් සහ ලෙනින් වාදයන් වල අනුදැන වදාරන “ඒක පාක්ෂික පාලනය”, “නිර්ධන පන්තියේ ආධිපත්‍යය”… ආගමික රාජ්‍ය වල “උත්තරීතර ආගමික සංස්ථා, ආධ්‍යාත්මික නායකයන්, අරුන්, මුන්….”

ඊට පස්සෙ සරලව මෙච්චරයි…

“කාළීන සුභවාදී සහ විද්‍යාත්මක වෙනස්කම් සඳහා නිදහසක් නොමැති තැන්වල, වඩා දක්ෂයන්ට නිර්මාණශීලිව ඉහළට යන්නට ඉඩක් නොමැති තැන්වල මිහිපිට අපායන් මැවේ”

අර උතුරු කොරියාවේ බූරුවාගේ ඉඳලා ඉරානයේ ඉන්න මොකාද එකා දක්වා අමුතු Supreme Leadersලා බිහිවෙන්නෙ මෙන්න මේ තත්වය යටතේ…

ටාර් ගාලා සමාජවාදය ගැන පොඩ්ඩක් කථා කරමු….

සමාජවාදයට සහ එහි දාර්ශණික වර්ණාවලියේ වර්ණක වන මාක්ස්වාදය, ලෙනින්වාදය, ආදිය අසාර්ථක බව දැන් මැනවින් ඔප්පු වී ඇත. 20 වැනි සියවසේ මෙකී දර්ශණයන් ක්‍රියාවේ යොදවන්නට කළ භයානක සහ අන්තිම අසාර්ථක පරීක්ෂණ නිසා අවසානයේදී මතකයේ තැන්පත් වන්නට බිහිවූයේ:

සෝවියට් වියරුව –
20 වැනි සියවස පුරාම කෝටි 4 කට පමණ මරු කැඳවූ, මෙලොව ස්වභාවික සම්පත් දැඩි නාස්තියකට ලක් කළ, මිනිස් ඉතිහාසය දුටු පතාකම හමුදා බලවේගය ගොඩනගා එය පිටුපස මුවාවී සිටින්නට ගොස් අවසානයේ විශාල දුර්භීක්ෂයක් ඇති කරමින් ඉතිහාසයට එක් වූ දේශය සහ ඒ ආභාෂයේ ගමන් යන්නට ගොස් ලෝක සිතියමෙන් පවා අතු ගෑවී ගිය රාජ්‍යයයන්…

කියුබානු විපරීතය –
කියුබාවේ ඔය කියන තරම් බක්කක් නැත…හොඳ සෞඛ්‍ය සේවයක් පැවතුනත් මිනිස්සුන්ට ජීවත් වීමට අවශ්‍ය එකම සාධකය සෞඛ්‍ය පමණක් නොවේ….ජීවන මට්ටම ඉහළ නංවා ගැනීම සෑම මනුෂ්‍ය‍යෙකුගේම බලාපොරොත්තුවයි… තමා ජීවත් වන රටේ එවැන්නක් නැති නම් එවැන්නක් තිබෙන තැනකට පලා යාම හෝ මිනිසා සිදු කරන්නේ එබැවිනි…එවැනි ගමනක් මාරක විය හැකි, ත්‍රාසජනක ගමනක් වුවද, අසාර්ථක රාජ්‍යයන් වල මැරි මැරී ඉපදෙමින් ජීවත් වෙනවාට වඩා එවැනි ගමනකදී එකවර ලැබෙන මරණය සැපක් යැයි සිතමින් ලොවපුරා දහස් ගණනක් අසරණයන් තමන්ට උරුම අසාර්ථක දේශයන් අත්හැර සැපවත් ජීවිත සොයා පළමු ලෝකයට පලා යති…කියුබාවේ සිට මේ වනවිට ඉකුත් වසර 55 තුළ ලක්ෂ ගණනක් ඇමරිකා එක්සත් ජනපදය දෙසට පලා ගොස් තිබේ….මෙය දැවැන්ත Exodus එකක් බවට පත් නොවී තිබෙන්නේ කියුබානු රජය විසින් ක්‍රියාත්මක කර ඇති දැඩි දණ්ඩන ප්‍රතිඵත්ති නිසාය…දැනටම කියුබාව ඇමරිකාව හමුවේ පරාජය පිළිගෙන අවසන්ය…ෆිදෙල් කැස්ත්‍රෝගේ මරණයත් සමග කියුබාව දක්ෂිණාංශාවර්ථී වනු ඇත…නො-එසේ නම් එරට විශාල අභ්‍යන්තර කැරැල්ලක් ඇරඹෙනු ඇත…හවානා අගනුවර තවම දුවන්නේ 70 දශකයට අයත් ආදි කල්පිත මෝටර් රථය…සමස්ථයක් ලෙස රට තුළ මානව දර්ශකයන් සාදන නිර්ණායකයන් වන කිසිවකට ප්‍රශස්ථ ලෙස අයත් විය හැකි සංවර්ධනයක් සිදුව නැත…ෆිදෙල් කැස්ත්‍රෝ, චේ ගුවේරා වැනි අය දෙවි දේවතාවුන් සේ අදහන, බාහිර ලෝකයෙන් වෙන් කරනු ලදුව සරල ජීවිතයක් යැයි සිතාගෙන හිඟන ජීවිතයක් ගත කරන රාමුව කඩා බිඳ දැමීමට කියුබාවේ යෞවනය ක්‍රම ක්‍රමයෙන් හරිබරි ගැසෙනු කල් තබා දුටු එරට වත්මන් ජනපති රාවුල් කැස්ත්‍රෝ “වැඩේ දෙල් වෙන්නට” පෙර ඇමරිකාවට මිත්‍රත්වයේ හස්තය දිගු කලේය….55 අවුරුද්දක් තිස්සේ සෙක්කුවක බැඳි ගොනුන්ගේ ගමන් මගේ සිය රට සහ ජනතාව ගෙනගිය කැස්ත්‍රෝ සහෝදරයන්ගේ පාලනය ඉදිරි වසර කිහිපය තුළ අවසන් වනු ඇත….එය ලේ වැගිරීම් වලින් තොර සාමකාමී බල හුවමාරුවක් වේවායි ඉත සිතින් පතමි….

කොරියානු විහිලුව –
කිම් ඉල් සුංග් ගෙන් ඇරඹී, පුතා කිම් ජොන් ඉල්, මුණුබුරා කිම් ජොන්ග් ඌන් තෙක් අතින් අතට ආ උතුරු කොරියාවේ අමන පාලනය මේ වනවිට මුළු ලෝකයටම බලවත් තර්ජනයක් විය හැකි බියජනක විහිලුවක් බවට පත්ව තිබේ…මේ ගැන කථා කර වැඩක් නැත….උතුරු කොරියාවේ බල ඝට්ටනයක් අභ්‍යන්තරයෙන් පුපුරා ගොස් උතුරු කොරියානු හමුදාව පාලනය අතට ගෙන, ක්‍රමයෙන් ශිෂ්ඨ සම්පන්න, ලිබරල් සිවිල් පාලනයක් සඳහා පිඹුරු පත් සකස් නොකරන්නේ නම්, මේ විහිලුව කෙළවර වන්නේ අග්නිදිග ආසියාවේ මිලියන ගණනකට මරු කැඳවා, තවත් මිලියන ගණනක් සරණාගතයන් කර, වසර තිහ හතළිහකට පැළෑටියක් වත් වැවිය නොහැකි විෂ සහිත පොළවක් ඉතිරි කරමිනි….උතුරු කොරියාව නම් දැවැන්ත එළිමහන් සිර කඳවුර මෙලොව මේ මොහොතේ පවතින අශිෂ්ඨතම, ම්ලේච්ඡතම රාජ්‍යයන්ගෙන් එකකි….එරට යම් දිනෙක තමනුත් වැනසී, අසල්වැසි රාජ්‍යයන් ලබාගෙන ඇති දියුණුවද වනසා, ශීඝ්‍රයෙන් සිදුවන ආසියාවේ ආර්ථික නැගීම වසර තිහකින් පමණ ආපස්සට තල්ලු කරනු ඇතැයි බියකින් පෙළෙමි…..

සමාජවාදය නම් වර්ණාවලියේ ප්‍රායෝගිකව පරීක්ෂාවේ යෙදවූ දෘෂ්ඨි වර්ණක ගැන අද අපට 21 වැනි සියවසේ ඉතිරිව තිබෙන්නේ ඔය වැනි භයානක මතකයන්ය…ඔය හැර ලොවෙත් ප්‍රායෝගික නොවන ජාත්‍යන්තරකරණයක් ගැන සුන්දර සිහින මවන නාකි ට්‍රොට්ස්කිවාදීන් ටිකක් ජාත්‍යන්තරයක් අටවාගෙන වාර්ෂිකව ආතල් ගන්නා අතර ඔවුන් කම් වූ පරිද්දෙන් මිය පරළොව ගිය පසු එම දර්ශණය කුරා කුහුඹුවෙකුටවත් හිංසාවක් නොකර කෞතුකාගාර ගත වනු ඇත…..සමාජාවදී පරීක්ෂණ මාලාව ගැන සිනහ උපදවන ප්‍රහසනාත්මක මතකයක් ඉතිරි කර යන්නේ ඔවුන් පමණකි…..

චීනා හපනා –
මේ අව් අස්සේ දාර්ශණික මර උගුල් තුළ සිරවී හුස්ම හිරවී මිය යාමෙන් ගැලවී දැනට දකින්නට ඇති අම්බ සිරාම ගේමක් ගැසුවේ චීන්නු පමණි….මෙහිදී මාඕට සහ මාඕ වාදයට දිය යුතු ගෞරවය දිය යුතුය…චීනය යනු 1949 චීන විප්ලවයට පෙර වත්මන් ඉන්දියාවටත් එහා ගිය කායිකව සහ මානසිකව රෝගී වූ ගුබ්බෑයමකි….උපතේදී ආයු අපේක්ෂාව පිරිමි අවුරුදු 45 කි…ගෑණු 47 කි….මැරෙනකොට මැරෙන්නේ බුරුතු පිටිනි….යන්තම් ගඟක් ගැලුවොත් සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ කැරිබියානු රටක සමස්ථ ජනගහණයම විතර මැරෙන්නේය….ලොවෙත් නැති මිථ්‍යා දෘෂ්ඨීන් කෙළ කෝටියක් ඇදහූ අතර, ගමින් ගමට එකම මිථ්‍යාවේ විවිධ ස්වරූප දක්නට ලැබිණි…බෙයිජිං පාලනය සීමා වූයේ අගනුවරට සහ යාබද ප්‍රාන්ත කිහිපයකට පමණි….චීනය නම් යෝධ දේශය පුරා ඇති සෙසු කළාපයන් පාලනය වූයේ Warlords ලා යටතේය…මෙසේ බෙදී විසිරී පැවතී රෝගී, අමන දේශයක් දෙපයින් සිටුවා, ඒ ජනතාවගේ මිථ්‍යා දෘෂ්ඨීන්ට පොලු පහර දී විනාශ කොට, ඒ ජනතාව ඒකාබද්ධ ජාතියක් ලෙස නිෂ්පාදන බලවේගයන්ට ගැට ගැසීමෙහිලා සභාපති මාඕ සේතුං සහ ඔහුගේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානීන් සිදුකළ මෙහෙවර අති විශාලය…. ( මේ මෙහෙවර කරන්නට ගොස් කෝටි 4 ක් පමණ මරා දැමීම වෙනම කථා කළ යුත්තකි…) .. නමුත් වත්මන් චීනය යන ගමනේ ගෞරවයෙන් වැඩි කොටස යා යුත්තේ ජනපති ඩෙන් ෂියා ඕ පින්ග් ටය… මෙලොව ක්‍රය ශක්තිය, මුදල්, සහ මිළට ගැනීමේ බලය තිබෙන්නේ කොහේදැයි හරිහැටි අවබෝධ කරගත් හෙතෙම ටියුන් කරගත් නිෂ්පාදන බලවේග වලින් ලාබ ශ්‍රමය උත්පාදනය කොට බටහිරට ධනවාදය නම් එළදෙනගේ මුහුණ පැත්තත්, චීනයට කිරි බුරුල්ල පැත්තත් හරවාගෙන, කීයක් හරි ලෙසටම හොයාගත හැකි පොටක් චීන්නුන්ට නිර්මාණය කර දුන්නේය….එහෙම කලේ හොඳ වෙලාවටය…නැත්නම් චීනයට ඇඩ්‍රස් නැති වෙන්නේ සෝවියට් රුසියාවටත් පට්ට කළින්ය….එහෙම උනා නම් මේ වනවිට ඒඩ්ස්, මත් කුඩු වපුරන, මුළු ලෝකයටම ගණිකාවන් සපයන දැවැන්ත බඩු පොට් එකක් හෝ බෙදී විසිරී ගිය දුර්වල රාජ්‍ය හැට හැත්තෑවක එකතුවක් චීනය තිබූ තැනින් බලා ගන්නට තිබුණි….
ටාර් ගාලා ආගමික සහ ආධ්‍යාත්මික රාජ්‍ය ගැන කථා කරමු

ආධ්‍යාත්මික මඩු –

How is a religion born ? – ආගමක් උපදින්නේ කෙසේද?

දැනට මෙලොව පවතින ප්‍රධාන ආගම් සියල්ල අවම වශයෙන් අවුරුදු 1500 කට වඩා පරණයි…

“මම කවුද? මම ආවේ කොහේ සිටද? මේ ලෝකය යනු කුමක්ද? එහි ආරම්භය කෙබඳුද? සියල්ල ආරම්භ වූයේ කවදාද? කොහොමද? එයට පෙර පැවතියේ කුමක්ද? මගේ අවසානය කෙබඳුද? මරණයෙන් පසු මට කුමක් වෙයිද? උපතට පෙර කුමක් වෙමින් තිබුණාද?” යනාදි ප්‍රශ්ණ වලට උත්තර සපයන්න බුද්ධිවාදී උගතුන්, විඥාණවාදී ප්‍රාඥයන්, සහ දාර්ශණිකයන් ඒ සඳහා උවමනා වන භෞතික ගවේෂණයන් කරන්න අවම පහසුකම් තිබුනු යුගයන් වල, දැනුම, හැසිරීම සහ ශික්ෂණය යන දේවල් ප්‍රාථමිකව පැවති අවදි වල ස්වකීය මනස සහ බුද්ධිය පමණක් මෙහෙයවීමෙන් තනා ගන්නා ලද සිද්ධාන්ත තමයි ක්‍රමානුකූලව ආගම් බවට පත්වෙන්නේ….

ආගම් බිහිවුණාට පස්සේ මිනිස් වර්ගයා ඒ ආගම් බිහිවුණු යුගය, ඒ පරිසරය, ඒ හැසිරීම සහ ඒ විශ්වාස පද්ධතිය හැර දමා බොහෝ දුරක් එනවා…ඒ එනකොට අදාළ ආගම් වලින් නිර්මිත සදාචාරකරණය සහ ශික්ෂා පද්ධතිය වඩාත් ගැළපෙන පරිසරය ක්‍රමයෙන් දුරස්ථ මතකයක් බවට පත්වෙනවා…දැන් ඒ පිළිගැනීම් වෙනස් වෙලා…ලෝකය ගැන, කාන්තාව ගැන, සදාචාර සම්පන්න දිවිය යනු කුමක්ද ? කියන එක ගැන, තිබුණු මතවාද සහමුලින්ම උඩු යටිකුරු වෙලා….ඒත් ආගම තවමත් තියෙනවා….ආගමේ පොත්වල තියෙන්නෙ එදාට ගැළපෙන ශික්ෂාවන්…එදා බිහිවුණු එදාට ගැළපෙන වාරණ නීති….ඒවා එහෙම තියෙන එක කමක් නෑ ඒවා එක් එක් පුද්ගලයන්ගේ පෞද්ගලික ප්‍රතිපදාවන් වෙන තාක් කල්….ප්‍රශ්ණය වෙන්න පටන් ගන්නේ ඕවා ඒ පෞද්ගලික රාමුවලින් පිටතට පැනලා රාජ්‍ය පාලනය කරන්න ගත්තාම….ඒ ඒ ජනතාවන් හසුරුවන වර්ග මූලයන් සහ මධ්‍යයනයන් වෙන්න ගත්තාම….ඊට පස්සෙ බිහිවෙන්නෙ දැඩි මතධාරී මූලධර්මවාදී ආගමික රාජ්ය සංස්ථාවන්…ඒ රටවල් පවතින කාළයට අනුරූපීව වෙනස් නොවී ජනතාවට වාරණයන් දමනවා…ඒ දමන වාරණයන් කඩාගෙන ජනතාව පවතින කාළයේ අත් කරගත් ජයග්‍රහණ දෙසට යන්න හදනකොට ඒක වළක්වන්න රාජ්‍යය දරුණු වෙනවා…

ඊට පස්සෙ මිනිසා අමාරුවෙන් ලබපු ආකල්පමය ජයග්‍රහණයන්, සමාජ සම්මුතිගත ජයග්‍රහණයන් සියල්ල ඉදිරියේ වනචාරි හැසිරීම් රටා පෙන්වන විධායක, අධිකරණ සහ ව්‍යවස්ථාදායක ක්‍රියාකාරකම් දියත් වෙනවා….අවසානයේදී සල්ලි කියන සාධකය ලැබුණත් සතුට අහිමි, මානසික පීඩනයෙන් සහ ශාරිරික පීඩනයෙන් කල් ගෙවන අසහනකාරී ප්‍රජාවන් බිහිවෙනවා…ඔවුන් පොඩ්ඩ බැරිවෙනකොට ඒ අසහනය ඉතාම ප්‍රචණ්ඩ ලෙස පිට දානවා…
උදා: සවුදි අරාබිය කියන වනචාරි ගුහාව සහ ඒ බලපෑම සහ ආභාෂය ලබන පර්සියන් ගල්ෆ් කළාපයේ රටවල ජනතාව…ගෝත්‍රික ආභාෂයන් අමාරුවෙන් පාලනය කරගෙන ඉන්න මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල සුළු දෙදරීමක් පවා මහා ලේ වැගිරීමක් දක්වා වර්ධනය වීම…

ඒ කාළයේ ලොව අනෙක් කළාපයන් වල පැවති අනෙකුත් ප්‍රධාන ආගම් ( වත්මනේදිත් මිය නොගොස් පවතින ) රාජ්ය පාලනයට වක්‍ර බලපෑම් කරද්දි, සෘජුවම රාජ්‍යය කෙරෙහි මැදිහත් වුනේ ඒබ්‍රහමික ආගම් තුන තමයි)…එයිනුත් මුලින්ම දරදඬු, කෲර ප්‍රතිපදාවන් අනුගමනය කරන්න ගිහින් කෙළවගෙන පාඩම් ඉගෙන ගත්තෙ ක්‍රිස්තියානි, කතෝළික ආගමික සංස්ථා…මේක ඉතින් කියතෑකි පොත් දහයක් පිරෙන්න…ඒත් කෙටියෙන් කියන තරමට හොඳයි…යුරෝපය ප්‍රමුඛ බටහිර රටවල ක්‍රිස්තියානි / කතෝළික පල්ලි රාජ්ය පාලනයට මැදිහත් වෙලා මේ වගේ ආධ්‍යාත්මික දේව රාජ්‍යයන් සොයන්න උත්සාහ කලේ ක්‍රි.ව. 400 – 1400 කාළ වකවානුවෙ ( අඳුරු යුගය ), සහ ඉන් පසුව බිහිවුණු “බැරොක්” ( Baroque) යුගයෙදි (1600-1750)…යුරෝපා මහාද්වීපික ආත්මවාදීන් සහ බුද්ධිවාදීන් එසේ ක්‍රිස්තියානිය ඇසුරෙන් ආධ්‍යාත්මික රාජ්‍ය ගැන සිහින මවද්දි, අනුභූතිවාදීන්ගේ ඇල්ම බැල්ම වැඩිපුර ලැබුණු බ්‍රිතාන්‍ය ජනතාව තමයි භෞතික දියුණුව සහ ජීවිතය පවත්වා ගන්නට අවශ්‍ය නිදහස ගැන මුල් වරට සිහින ක්‍රියාවට නැගුවෙ….ඒ ගැටුම් වලින් ක්‍රිස්තියානි පල්ලිය අමතක නොවෙන පාඩමක් ඉගෙන ගත්තා…ඒ නිසා ඔවුන් අද අතීතයේදී කළ අපරාධ වලට සමාව අරගෙන, ඒ කළාපයන් වල තිබෙන සශ්‍රීක ජීවන රටාවන් “අල නොකර” ඔය ඉරිදට පොඩි දුමක් අල්ලලා, අල පෙත්තක් කාලා පාඩුවෙ ඉන්නවා…( ආපහු රාජ්‍ය පාලනයට ඔලුව දාන්න ගහන ගේම් නැත්තෙ නෙමෙයි…ඒත් අද ඒ වගේ දෙයක් සාර්ථකව කරන්න පුලුවන් පාරිසරික සහ සාමාජීය තත්වයන් පහුකරගෙන ඒ කළාපයන් බොහෝ දුර ගිහින් ඉවරයි…ආයෙ හරවන්න උත්සාහ කරන එක තමන්ටම කෙළවා ගැනීමක් බව පල්ලි දන්නවා.. )..මුල් වරට ආගමික පරිපාලනය පරාජය කරලා ඒ වෙනුවට සාමාන්‍ය දැනීම මත ගොඩනැගුණු පරිපාලනයක් දියත් කරන්න අඩිතාලම දැම්මේ ඉංග්‍රීසි කාරයෝ…ඊට පස්සෙ ප්‍රංශයේ ඉඳන් එංගලන්තයේ අධ්‍යාපනය ලබන්න ගියපු ප්‍රංශ කාරයන් ඒ අදහස් ප්‍රංශයට ගෙනැත් ඒවාට තව අයිතිවාසිකම් පිළිබඳව සංගත සංකල්ප එකතු කරලා වඩාත් දියුණු ක්‍රමවේදයන් සකස් කරන්න උත්සාහ කරා…භෞතික නිදහස සහ නිර්මාණශීලීත්වයෙන් භෞතික ජීවිත සැපවත් කරගැනීමට මුල් වරට අවකාශය සලසා ගත්තු පිරිස තමයි “බටහිර” ලෙස හඳුන්වනු ලබන ජනතාව…එයම තමා ඔවුන් මෙතෙක් ලෝකය මත පවත්වාගෙන එන බලයේ සහ ශක්තියේ රහසත්…ඔවුන් අනෙක් කළාපයන්ට පෙරගමන් ගොස් තමන්ගේ ශිෂ්ඨාචාරයට දියුණු තාක්ෂණ තන්ත්‍රයක් සකසා ගත්තෙ එහෙම කරලා…( ඒකෙන් අනිත් මහාද්වීප වලට කොරපු හරිය ඉතින් වෙනම කථාවක්…නමුත් පාඩම් රැසක් තියෙනවා ඔවුන්ගෙන් අපි ඉගෙන ගන්න ඕන….)

මගේ වර්ථමාන විශ්වාසයේ හැටියට නම් යම් රටක් ගොඩ යන්න නම් එම රට තුළ ධනවාදය අදියර තුනකින් ක්‍රියාත්මක විය යුතුයි…

1. නිෂ්පාදන සහ සේවා ආර්ථික ධනවාදය – නිෂ්පාදන බලවේග සහ සේවා ආර්ථිකය මුවහත් තබා ගන්නා යුගය…රටක් හැටියට තමන්ට ජාත්‍යන්තර වෙළඳපළට දෙන්න පුලුවන් දේවල් මාකට් කිරීම ඇරඹිය යුතු යුගය…රටේ සංස්කෘතිය සහ සම්මුතීන් ක්‍රම ක්‍රමයෙන් ලිබරල් කිරීම ඇරඹිය යුතු යුගය…රජය යම් පාලනයක් ඇතුව පෞද්ගලීකරණය ඇරඹිය යුතු යුගය .. ( අර මොකක්ද දූපතක කරන්න ගියා වගේ රෙද්ද කඩාගෙන පෞද්ගලීකරණය හෙවත් තුට්ටුවට දෙකට විකුණා දැමීම නෙමෙයි, හරිද ? රජය යම් පාලනයක් රඳවාගෙන ක්‍රමානුකූලව පෞද්ගලික අංශයට මෙතෙක් රජය විසින් සිදුකරමින් සිටි දේ කරන්නට ඉඩ හැරීම සහ පෞද්ගලික අංශයේ දක්ෂතාවයන්ට ඉඩ දී රජයේ තටු මදක් හකුලා ගැනීම )…
2. නව ලිබරල් ධනවාදය – වැපිරූ දේ අස්වනු නෙළන කාළය…ඉහළ ජීවන මට්ටම…යාවත්කාළීන කරන ලද නවීන අධ්‍යාපනය…සුඛ විහරණය….අධි තාක්ෂණය සිස්ටම් එකට Adopt කර ගන්නා අවස්ථාව…ජනතාව තාක්ෂණික ජීවීන් වන අවස්ථාව
3. හරිත ධනවාදය – ලබාගත් තාක්ෂණය පාරිසරීකරණය කරන අවස්ථාව…පරිසරයත් සුරක්ෂිත කරගනිමින්, එයට අවම හානියක් සිදුකොට, දැනට සිදුවී ඇති හානි ප්‍රතිසංස්කරණය කරමින්, තාක්ෂණය උපයෝගී කරගෙන පාරිසරික අභියෝග ජයගනිමින් පෙරට යන අවස්ථාව…

untitled

bradford-2013-population-and-development-short-17-638

ලිය ලිය ඉන්න ඉස්සර වගේ වෙලාව නැත…ලංකාවට ඉතාම කෙටියෙන් කියනවා නම් පහත සඳහන් රටවල් වලින් ආදර්ශ ගෙන ගොඩ යා හැක…

Defense Mechanism වලට, සහ සතුරු බලවේග මැද හිඳිමින් ඒවා සමග Deal කරන ආකාරය – ඊශ්‍රායලයෙන්
ඉන්දියාව එක්ක Deal කරන ආකාරය – තායිවානයෙන්
දියුණුව කරා යන ගමන් මග – සිංගප්පූරුවෙන්
( සිංගප්පුරූව කළ දේ ආදර්ශයට ගත්තාට සිංගප්පූරු දේශපාලන ක්‍රමය ආදර්ශයට ගන්ට එපා ! මොකද එතන තිබ්බේ ඒකාධිපතිවාදයකි…!…උන්ගේ වාසනාවට ඒ ඒකාධිපතියා පට්ට මීටර් ඩෑල් එකකි…!…ඒක නිසා සිංගාලා ගොඩ ගියහ…!…එහෙමෙයි කියා ධනවාදී හෝ ලිබරල් වාදි වෙසින් ආවත් ඒකාධිපති ක්‍රම වලට සෙට් විය යුතු නැත….අවුරුදු ගාණකට සැරයක් පාලකයන් වෙනස් කරන්න පුලුවන් ක්‍රමයක් තියෙන එක කෝකටත් සරීරෙට සුවදායකය…!…ඒකාධිපති ක්‍රම වලින් ගොඩ ගිය රටවල් ලෝකයේ තිබුණත්, ඒකාධිපති ක්‍රමය යනු ඕනෑම මොහොතක වැරදී ගොස් අමු අශිෂ්ඨ වනාන්තර රාජධානි නිර්මාණය විය හැකි ක්‍රමවේදයන්ය….!…අවශ්‍ය වන්නේ කරුමෙට වැරදි එකෙක් එතෙන්ට සෙට් වීම පමණි….කිසි විටෙකත් ජනතාවක් තනි මිනිහෙකුට හෝ තනි පක්ෂයකට බාර දීම නොකළ යුතුය…!…කෙළවර වෙන්නේ අපූරු තැන්වලය..!..කොච්චර කචල් උනත් බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා නම් වැටුණත් ලෙල්ලටම වැටෙන්නේ නැත…! )
පශ්චාත් “සිවිල් යුද” සමයක හැසිරිය යුතු ආකාරය – ඇමරිකා එක්සත් ජනපදයෙන්
සංස්කෘතික අනන්‍යතාවයන් ආරක්ෂා කරගෙන දියුණු නිදහස් භෞතිකයක් නිර්මාණ‍ය කරන ආකාරය – ජපානයෙන්
නොපසුබස්නා උත්සාහය සහ මව්බිමට ආදරය කිරීම – රුසියාවෙන්

ඇමරිකාව ප්‍රමුඛ බටහිර ගැන – කලු ගලේ ඔලුව ගහගෙන වැනසෙන්නේ නැතුව උන් එක්ක ඩීල් කර, ආර්ථික රැහැන් යොදා උන්ව අපට බැඳගෙන, අපට උවමනා දේ උන් ලවා කරගන්න උපක්‍රම ශීලී විය යුතුය…ඇමරිකාවේ ගිණිකොන දිග ආසියාතිකර කළාපයේ විදේශ ප්‍රතිපත්තිය සැකසෙන්නේ සිංගප්පූරුවට සහ තායිලන්තයට උවමනා හැටියටය….අග්නිදිග ආසියාතිකර කළාපය සඳහා විදේශ ප්‍රතිපත්තිය සැකසෙන්නේ දකුණු කොරියාවට සහ ජපානයට උවමනා හැටියට….ඈතා ඉත්තෑව නටවා ඇති සේම, ඉත්තෑවාද පෙරළා ඇතාව නටවා ඇත…උනන්දු උනොත් බැරි කමක් නැත…උන්ට වෛර කරනවාට වඩා උන්ගෙන් කීයක් හරි කොටාගැනීම ආතල්ය…!…උන් කන බොන මිනිස්සුය..!..අපිත් විස්කි බොනවා හිටං…!…

ඒක කරන හැටි පස්සෙ වෙලාවක විස්තර කරන්නං හිටං…! දැනට මෙන්න මේ පොත් දෙකේ නම් මතක තියාගන්න…

“Why Nations Fail- The Origins of Power, Prosperity & Poverty – Daron Acemoglu & James A. Robinson “
“Winning Global Markets” – Philip & Milton Kotler”

මේ එකක් වත් “පරම පූජනීය පරමාදර්ශ” නෙමෙයි හිටං…හොඳද?….පරම පිවිතුරු දේ ලොවෙත් නැත….මේවායේ අම්බ වැරදි ඇත…පරම පූජනීය පරමාදර්ශ පස්සෙන් එලෝපු කාලෙ ගියා අහක වෙලා….මම දැන් කරන්නේ යකුන් අතුරින් අවලස්සන අඩු යකා තෝරාගෙන ඌට උම්මා දීමයි….