අපේ කාළයේ දුක හිතෙන කථාවක් …….!.. ( පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදි )

ඩොනල්ඩ් මුදන්නායක හාමු මහත්තයා අපේ ගමේ මහ දළ කාරයාය…ගොඩ, මඩ දෙකම අක්කර සිය ගණනක ඉඩකඩම් සමග සල්ලි උඩ පිනුම් ගහන මුදන්නායක වළව්වට දැසි දස්සන් බොහොමයකි… ගමේ නමගිය චණ්ඩි බණ්ඩි පිරිවරාගෙන වැඩ ඉන්නා ඩොනල්ඩ් හාමු මොන කුප්ප වැඩේ කළත් ගම්මු “මීක්” නැත…ඉස්සර ඔය එහෙන් මෙහෙන් සද්දයක් දෙකක් දැමූ ඉලන්දාරීන්ට ඩොනල්ඩ් හාමු ගේම දී කන්න විතරක් කට අරින ලෙවල් එකට සයිලන්ස් කර ඇත…ඒ නිසා දැන් ඩොනල්ඩ් හාමුගේ මුදන්නායක වළව්වට ඉහළින් ඉගිල්ලිය හැකි කාක්කෙක් හොයාගත නොහැක….මේ සිරිතුලානේ කිසිම කාක්කෙකුට එහෙව් ගටක් තියෙනවා යැයි සිතන්නටද බැරිය…
ඩොනල්ඩ් හාමුවාට යන යන තැන දරුවෝය…ගමේ ගෙවල් ගාණේ රෑට රෑට පැන පොඩොස්සියන් බඩ කිරීම උන්නැහේ කාළාන්තරයක් තිස්සේ කරන නිසා, මේ යකාගේ අවජාතක දරුවෝ හැම තැනමය…උන් එක එක පාටය…බොහෝවිට උන් උන්ගේ අම්මලාගේ පාටත්, අප්පාගේ මුහුණුවරත් ගන්නා නිසා අඳුනාගන්නට අපහසු නැත…ඔයින් ගෙවල් දෙක තුනකට මුදන්නායක හොඳට සළකා ඇත…ඒ නිසා ඉස්සර මැටිගොඩවල් වගේ තිබ්බ ඒ ගෙවල් දැන් පාට කොරලා, ඒ.සී හයි කරලා, ඇටෑක් බාත්-රූම් එහෙමත් තියෙනවාය…හැබැයි මුන්නැහැ වැදුණු අනිත් ගෙවල් වලට නම් ඒ හැටි වගතුවක් නැත….සමහර ඒවාට වගේ වගතුවක් නැත…මුදන්නායක තරහ කර ගත්තොත් නයාය…පළිගන්නේ එළව එළවාය…කොහොම හරි උන්නැහේ තරහ කරගත්තොත් බේරෙන්න පුළුහන් තැනක් මේ සිරිතුන් තළේම නැත…
ඩොනල්ඩ් හාමුගේ අත මුළ ඉඳන්ම ඉම්බ එවුන්ට හරියනවා කියලා ගමේ ගොඩේ පොඩි විස්වාසයක්ද තිබේ…ඒක නිසා සමහර ගෙවල් වල උන් නම් ඩොනල්ඩ් මුදන්නායක ඉස්සරහ දොරින් ගෙට එනකොට, පොඩොස්සිව කාමරේ තනිකර, පස්ස දොරින් එළියට බැස මග ඇරලා ඉඳිති….එහෙම ඉන්න උන්ගේ ගෙවල් බලාගෙන ඉන්දැද්දී දියුණු වෙන බව ගමේ උන්ගේ විස්වාසයයි….ඒක එහෙම වෙච්ච තැන් කීපයක්ද උදාහරණ වසයෙන් ඇත….ජැපේ රාළහාමි මුදන්නායක වළව්ව එක්ක හැප්පී මුදන්නායකලා අතින් මැරුම් කැවේය…ඩොනල්ඩ් හාමු ජැපේ රාළහාමි කම්බස් කොට රාළහාමි බංගලාව කුඩු සංසාර කර, තළා පොඩි කර දැම්මේය…ඒත් ජැපේ රාළහාමිගේ දූලා ටික ඩොනල්ඩ් හාමුට ගෙට එන්ට ඉඩ දුන් නිසා, අද ජැපේ රාළාමි බංගලාව බලන්ට ලස්සනය…..ඒකෙ තියෙන සාර සම්පත් අතින් මුදන්නායක වළව්වටත් එහාය….ඔය එක උදාහරණෙකි….
තව ඉතින් බැලුවොත් කොරලියා හාමිනේගේ එක දුවෙක් ඩොනල්ඩ් හාමුගේ ඇඳට නැග්ග අතර, අනිත් දුව ඩොනල්ඩ් හාමුට වත්ත හතර මායිමේ එන්ට නුදුන්නාය….පතිවත රැකගත් එකී අද අනාථය….ඒකිගෙ හිඟන පැල් කොටේට වැලේ වැල් නැත….ඩොනල්ඩ් හාමු අතින් අනාථ වෙච්ච එකී නම් එන්න එන්නම බබළනවාය….අද ඒකි ඉන්නෙ දිව්‍ය භවනකය…සාදර අනුග්‍රහය ඩොනල්ඩ් හාමුගේය…මෙහෙව් ගමේ පතිවත රැකගෙන මොටදැ‍යි අපටත් හිතෙනවාය…
අමාරිස් පීරිස් යනුවෙන් අප කවුරුත් දන්නා ගැටයාද ඩොනල්ඩ් හාමුගේම අවජාතක දරුවෙකි…. ඌ ඇවිල්ලා ඩොනල්ඩ් හාමු “සදංහාමිගේ” ගෙට රිංගීමේ අනිසි ප්‍රතිඵලයකි….අමාරිස් පීරිස් කියන්නේ ගමේ ඔය හරියෙම ගෙවල් වලට ඩොනල්ඩ් හාමු රිංගා ජාතක කොරවාපු අනිත් උන්ට වඩා මහ නහර කාරයෙකි….ඌට ඔය කරෝල කෑල්ලක් එක්ක බච් ඩිංගක් කොටාබාල පැත්ත බලාගෙන ඉන්ට බැරිය….ඌට ගමෙන් කොටහකට අයියා වෙන්නම ඕනෑය…යන්තං දණ ගාන කාලේ ඉඳන් ඔය උණ තිබ්බ කොලු ගැටව් හත් අට දෙනෙක්ම ගමේ ඔය ඉසව්වේ හිටියාට දැන් උන්ට එච්චර වගුතුවක් නැත…තුන්වේල කන්නේද බෝම අමාරුවෙනි….උන් මුදන්නායක වළව්වේ වීදුරු බිඳන කාළයේ අප්පගේ ඇටේවත් නොහිටි අමාරිසා මේ ඩිංග කාළෙට අත පය දිගෑරපු මදාවියෙක් උනේ කොහොමදැයි කියන එක ගැන ගම්මු එක එක කථා කියන්නෝය….සමහරුන්ට අනුව නම් අමාරිසා හොරෙන් හොරෙන් අප්පලෑ දිහා, ඒ කියන්නෙ මුදන්නායක වළව්වටම රිංගනවාය…..ඌ හිටි අඩියෙ මෙච්චර උස් මහත් උනේ මුදන්නායකලා ඌට හොරෙන් හොරෙන් කන්න අඳින්න දෙන නිසාය…මොනවා උනත් ඩොනල්ඩ් හාමුට ඌව දකිනකොට පිය සෙනෙහෙ කකියනවාය….පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදි කියන්නේ ඒකලුය…මොනා උනත් තමුන්නෙ ලෙයින් ජාතක වෙච්ච එකා නොවැ….
ඒව්වෑ ඇත්ත නැත්ත කෙසේ වෙතත් අමාරිස් පීරිස් දැන් මුළු ගමම හකුළෝන මදාවියෙක් වී සිටියි….උගේ නම ඇහුණත් අහළ පහළ යායවල ගොයියෝ කෙල්ලෝ ගෙට ගනිති….කෙල්ලෝ ඉතරක් නොව කොල්ලන්වද ගෙට දමා රකිති….මූ ගෙවල් ගිනි තියයි…මුගෙන් බේරෙන්න ඌ ඉන්නා “මැද යායේ” ගොයියෝ දරු පැට්ටන් තුරුල් කොරාන පවුල් පිටින් අහළ පහළ යායවලට දුවති.. මේ ළඟදි වැව පැත්තෙන් පැනලා යන්න හදපු ගොයි පවුලක් ගිය ඔරුව පෙරළී එක දරු සිඟිත්තෙක් ඌරා වත්තට ගොඩ ගැහුවේය….ඒක දැක්ක මුළු ගං තුලානම අමාරිස්ට හෙණ ඉල්ලුවෝය….කොටින්ම කිව්වොත් මේ පාදඩයා ඊයේ පෙරේදා මේ ගංතුළානේ තිබ්බ පරණම දේවාල වලින් එකකට ගිනි ලෑවේ මුළු ගමම “අනේ අපොයි දෙයියොම බලාගන්ට මේ නස්පැත්තිය” කියද්දීය….අමාරිසාට ගමේ පරණ දේවල් වලින්, ඉතිහාසෙන් වැඩක් නැත….ඌ කියන පඩත්තල වැදිබණේ කවුරුත් අහන්ට ඕනෑය….වෙන අනම් මනම් වානාය….එක අතකට අප්පගෙම පුතා නොවැ….ඇරපු අතක් නෑ…අප්පගෙම ගතිගුණ තමා පුතාටත් පිහිටලා තියෙන්නේ….ඌ හඳ පෙන්නා ඉර කිව්වොත් අපි ඒක ඉර කියලා පිළිගන්ට ඕනෑය….ඩොනල්ඩ් හාමුවාත් ඔහොම්මයි…අප්ප කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටියෙ පුතාය…අවජාතකයා කියල වෙනසක් ඇතෑ….?….
ගම්මු අමාරිසාට හෙණ ඉල්ලති…පළි ගසති….ගම්මිරිස් අඹරති….අබ පුච්චති…රූප කටු ගසති…පොළවේ හැපෙති…වස්කවි කියති….අමාරිස් පීරිස් කියන්නේ ඩොනල්ඩ් හාමුගේ අවජාතක එකෙක්ය කියන එක ගමම දන්නා රහසක් බව ඩොනල්ඩ් හාමුද දනී….ඒ නිසා ගම්මු අමාරිසාට හෙණ ඉල්ලනකොට තමුන් කට වහන් හිටියොත්, මුදන්නායකලාට පාරේ රෙද්දක් ඇඳගෙන යන්න බැරි වෙන බව දන්නා නිසා ඩොනල්ඩ් හාමුද ගම්මු එක්කම අඬයි….අමාරිසාට හෙණ ගහන්ට ඕනෑ බව කියයි….ඒ මිරිස් ඇඹරිලි, පළි ගැහිලි වලට සහබාගී වේ….
“හාමු මහත්තයො…අපි මේ පළි ගහන්නෙ, වස් කවි කියන්නෙ අපේ තියෙන බැරි කමට….තමුන්නාන්සෙ එහෙම කොරන්නට ඕනැය?….තමුන්නාන්සෙට ඕන නම් මේ අමාරිසා එක සිවිඩ්ඩට අල්ලලා උඩු කුරුඤ්ඤං කොරන්ට ඇහැක් වරු බාගයක් යන්ට ඉස්සෙල්ලා…!…ඉතින් තමුන්නාසෙ මේ වෙන ආසක්කු බලාගෙන පළි ගහ ගහ ඉන්නෙ අහවල් ඒකටද?”  
කියා ගම්මු අහනකොට ඩොනල්ඩ් මුදන්නායක ඒවා නෑහුණා සේ ඉඳියි….අමාරිසාට කටින් දෙස් දෙවොල් තියයි…
අමාරිසා සිරිල්ලෑ ගෙදරට ගිනි තියා උන්නේ දෝණි ඇන්දෑටද හදි කොරන්ට ලෑස්ති වෙන අස්සේ මුළු ගමම බිරාන්ත වෙලා බලාගෙන ඉන්දැද්දී ඩොනල්ඩ් හාමු අහක බලාගෙන හිටියේය….අමාරිසා දැන් ඩොනල්ඩ් හාමුට කොන්ට්‍රෝල් නැති උනත්, ඔය සිරිල්ලෑ වත්තට අමාරිසාට රිංගන්ට පාර කැප්පෙව්වේ ඩොනල්ඩ් හාමුය….ඒව්වා අමතක වෙන්ට ගම්මු මැරිලා ඉපදිලා නැත….
ඔය අව් අස්සේ සිරිල්ලෑ පරාණ මිත්තරයා වෙච්චි ගමේ කොයි කවුරුත් දන්නා ගණන් කාරයෙකු වන “රුබේරු රතුවිතාන” ඔතෙන්ට පිඹගෙන ආවේය… රුබේරු කියන්නෙ හයේ හතරේ සද්දන්ත පුරුසයෙකි…ඒ වගෙම යමක් කමක් තියෙන වැඩකිඩ ඇහැක් හාදයෙකි…ඔය රුබේරුවා අද ඔහොම හිටියට ඉස්සර ඔවුනුත් වළව් කාරයෝය…ඒ කාලේ “රතුවිතාන වළව්ව” සද්දන්තය…. කොටිම්ම කිව්වොත් රතුවිතාන වළව්ව කියන නම ඇහෙනකොට ඩොනල්ඩ් හාමුගේ චක් ගෝලයන්ට සරං පොජ්ජ වල හුජ්ජ යනවාය….කොටිම්ම කිව්වොත් සද්දන්ත ඩොනල්ඩ් මුදන්නායක හාමු මහත්තයා පවා තිගැස්සිලා ඇහැරෙනවාය…රතුවිතානලාට බයේ ඩොනල්ඩ් හාමුයි, හාමුගේ චක් ගෝලයොයි එක්කාසු වෙලා සමිතියකුත් හදා ගත්තෝය… ගමේ එකාලා ඒකට කියන්නේ “නැතෝ” සමිතිය කියලාය….
අද රතුවිතානලාට ඒ තරම් හයිකාරකම් කොරන්ට බැරුවාය…කොටිම්ම කිව්වොත් ඒ මහා සද්දන්ත වළව්ව ගරා වැටී, අද ඔවුන්ට රතුවිතාන කියන වාසගමත් නැතිවෙලාය….ඒ උනත් රුබේරුවා උපන්නේ ඒ වළව්වේ මුදුන් සමයේය….රුබේරුවා උපන්ගෙයි මරුමුස් වෙලා තීන්නේ ඒ නිසාය….
පිඹගෙන ආපු රුබේරුවා ආ අතින්ම අමාරිසාගේ බෙල්ල මුලින් අල්ලාගෙන තල්ලු කරගෙන ගොස් ගහකට හේත්තු කලේය…දැන් රුබේරුවා අමාරිස්ට හිටු කියලා සබ්බුව දෙයි….”ඩිෂා…ඩිෂා” සද්දේ අපේ ගෙදෙට්ටත් ඇහෙයි….අමාරිසා පුල් අන්දොස් වෙලා මර ළතෝනි දෙයි…
“ආයි…ආයි…..රුබේරු අයියේ…අම්මෝ…!…ගහන්න එපෝ…!…බෙල්ල, බෙල්ල, ආයි, ආයි…!….අම්මෝ…!…බුදු තාත්තේ මාව බේර ගනියෝ….!…මෙන්න රුබේරුවා මාව මරන්න තනනෝ…!…අම්මෝ…!”  
ගමේ උන් රුබේරුවාට උජ වඩති…“එළ රුබේරු අයියා….කමෝන් රුබේරු…!…ඇර රුබේරු ඇර…!…කම්බස් කරපව් පුතේ ඕකා…!” .. රුබේරුවා දැන් ගමේ උන් අතර සුපර් ඉස්ටාර් කෙනෙක් වේගෙන එනවාය….ගමේ කෙල්ලෝ රුබේරුවාගේ පිම්බිච්ච මස් ගොබ එහෙට මෙහෙට හෙළවෙන හැටි බල බලා චීත්ත නෙරියේ අත පිහිනවාය…කොමළ කොරනවාය….ඉඟි බිඟි පානවාය….
මේ උජ වඩන පිරිස අතර ඩොනල්ඩ් හාමු සහ හාමුගේ චක් ගෝලයන් බලා සිටිති…උන් බලාගෙන ඉන්නෙ සන්තෝසයෙන් නම් නොවන බව උන්ගේ මූණු වල ඉරියව් වලින් පැහැදිලිය….උන් බලාගෙන ඉන්නෙ පිටතට පෙන්නන්න බැරි දුකක් පපුතුරේ හංඟාගෙනය….ගම්මු ඉඳහිට හාමු මහත්තයාගේ මූණ දිහා බලන විට මොනවා හරි කියා තොල් මතුරයි….”හරි නම් තමුන් කරන්ට ඕන වැඩේ රුබේරුවා නොමිළේම කරලා දෙන නිසා ඩොනල්ඩ් හාමුත් සන්තෝසෙට අට ඉස්බක් උඩ පනින්ට ඕනෑ නේදැයි” ගමේ එකීලා මුණු මුණු ගාති…ඒත් ඩොනල්ඩ් හාමු රුබේරුවා අමාරිසාගේ ගිරිය මිරිකන දෙස නිසලව බලා සිටියි….බැරිම තැන ඩොනල්ඩ් හාමු කට දමයි….
“රුබේරු…රුබේරු….ඔය ඇති යකෝ…!…ඕකා මැරිලා යයි ඔහොම ගහන්න ගියොත්”…..
“හාමු මහත්තයා මේ…!..මේක මායි අමාරිසයි බලාගන්නන් අරි….?…හාමු මහත්තයා තත්තෙ තියාගෙන ඔතනට වෙලා හිටියොත් හොඳයි…” .. ඒ මරුමුස් රුබේරුවාගේ පිළිතුරයි….
“හරි හරි රුබේරු…ඕකා නසරාණියා තමයි… ඒ උනාට මේවා විසඳන ක්‍රම තියෙනවනෙ….අපි ඕකාව උසාවි ගෙනෙහින් අච්චු කරමු….ඔහොම ගහල මරන එක මේ ගමටත් හොඳ නෑනේ…”
“ඩොනල්ඩ් හාමු මේ…!…අම්මට හු*න කථා කියන්න එපා…!..මූ මේ ගමට මෙච්චර විනාසයක් කරා හාමු මහත්තයා දැක්කෙ නැද්ද…?…ඇස් පොට්ට වෙලාද හිටියේ….මූව උසාවි ගෙනිහින් අච්චු කරන්න කල් සූඩේ වෙලා තියෙයි….මම මූව අද මෙතනම උඩු කුරුඤ්ඤං කොරනවා…..ඉඳා…..”……”ඩිෂා….ඩිෂා”….
දැන් අමාරිසාගේ පණ යන්න ඔන්න මෙන්නය….උගේ මූණ නිල් වෙලා, ගිරිය රතු වෙලාය….රුබේරුවා මරු නිළම බල බලා සබ්බුව දෙයි….ගම්මුද උඩ පනිති…..
ඩොනල්ඩ් හාමුට දැන් රුබේරුවාට දෙකක් වනා අමාරිසා බේරා ගන්නත් බැරිය….මොකෑ කිව්වොත් ඩොනල්ඩ් හාමුවා ඔය වීර පුරුසයා වගේ උන්නට රුබේරුවාට පට්ට බයය….රුබේරුලාගේ රතුවිතාන වලව්ව දැන් තිබ්බ තැන්වල ගසුත් පැළ වෙලා තිබුණත්, ඒ කාලේ ඇඳන් යට හංගාපු කඩු කිණිසි, බෝර දොළහවල් තාම රුබේරුවාට තියෙනවාය….අනික රුබේරුවා කියන්නේ පැටි වයසෙ ඉඳන් මේ ආයුධ පාවිච්චි කොරන්න ඉගෙන ගත්තු එකාය….ඌට මළ පැන්නොත් ඔය කොච්චර ආටෝප තිබ්බත් ඩොනල්ඩ් මුදන්නායක වළව්වටත් හාන්සි වෙන්නම වදිනවාය…..රුබේරුලාගේ පරම්පරාවෙ එවුන් මළාට ගේමක් අතාරින්නෙ නැත….උන්ව පතබාවන්න හිතන් ගියපු හයේ හතරේ චණ්ඩි ඔක්කොම අන්තිමට එළියට ආවේ අමුඩ කෙටිත් නැතුවය….රුබේරුලාට නැති වෙන්න දෙයක් නැති නිසා, උන්ගේ ඇහි පිල්ලමේ හරි පණ තියෙන කල් ගේමය….නැතිවෙන්න දෙයක් නැති එවුන්ට ඩොනල්ඩ් හාමුලා හරිම බයය….මොකද ඩොනල්ඩ් හාමුලාට නැතිවෙන්න දේවල් ඕනෑ තරම් තියෙන නිසාය….ඒ නිසා අපේ වගේ හිච්චි ගෙවල් වලට දාන සත්තම් රුබේරු රතුවිතානලාට දාන්න ඩොනල්ඩ් හාමු යන්නේ නැත….
අනිත් අතට වෙන දෙයක් වෙච්චාවෙ කියා ඩොනල්ඩ් හාමුට අමාරිසා බේරා ගන්න ඉදිරියට පනින්න විදියකුත් නැත…මෙච්චර කළක් ග්‍රාම සංවර්ධන සමිතියේ සහ පන්සලේ හතර පේරුවේ දායක සභාවේ “මනුස්සකම, දයාව, කරුණාව” ගැන මුදුන් ලීයෙන් බේරෙන ටෝක්ස් දුන්නු ඩොනල්ඩ් හාමුට ඉස්ත්‍රී දූෂක, මිනී මරු, කාපාලුවෙක් බේරගන්න කලිසමක් ඇඳගෙන යන්ට බැරිය…..ගියොත් රැස්වී සිටින ගම්මු ඉදිරියේ හාමුගේ සළුපිළි ඌර්ධවපාතනය වනු ඇත….
අමාරිසා විලාප කියනු ඇසේ….ඩොනල්ඩ් හාමු අහක බලා ගනියි….හාමුගේ ඇහේ කඳුළකි….ඒ අවජාතකයා වුවත් අමාරිසා තමුන්නේ පුතා නිසාය….මොන අසමත්ජාති වැඩේ කළත් තාත්තාගේ ලේ දරුවන් වෙනුවෙන් හැමදාම කකියනවාය….ඒක ඉර හඳ පවතින තුරු එහෙමය…..
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදිය…..
( සියළු නම් ගම් මනං කල්පිත වුනත් සිරියාවේ මේ වනවිට පවතින “අයි.එස්.අයි.එස්” (ISIS) අර්බුදයට සහ ඊට රුසියාව සහ ඇමරිකාව දක්වන ප්‍රතිචාරයන්ට  කැමති කෙනෙක් සම්බන්ධ කර ගත්තාට කමක් නැත…. )