යථාර්තය යනු කුමක්ද.. ? – 2 – The Grand Design ග්‍රන්ථය ඇසුරෙන් – ස්ටීවන් හොව්කින්ග් සහ ලියොනාර්ඩ් ම්ලොඩිනොව්

( අද එතැන් සිට…)

ඉතාම ආන්තිකව යථාර්තවාදයෙහි ගැලී ඉන්නා පිරිස් ගෙනහැර පාන තර්කය වන්නේ විද්‍යාත්මක සිද්ධාන්තයන් එහි සාර්ථකත්වය තුළ යථාවාදී වන බවය…නමුත් මෙතනත් යම් ගැටළුවක් පවතී…එකම ප්‍රපංචය ( විද්‍යාමාන වන දෙය … ගෝචර වන දෙය ), විෂම සංකල්පික රාමු හරහා, සාර්ථකව විග්‍රහ කිරීමට විවිධ සිද්ධාන්තයන්ට සාර්ථකව හැකියාව ලැබී ඇත…එවැනි අවස්ථාවක අපි “යථාවාදී” විද්‍යාත්මක සිද්ධාන්තය ලෙස ගන්නේ කුමක්ද…?..ඇත්ත වශයෙන්ම සාර්ථක ලෙස ඔප්පු කරවන ලද බොහෝ විද්‍යාත්මක සිද්ධාන්තයන් පසු කළෙක, ඒවාටත් වඩා සාර්ථක විද්‍යාත්මක න්‍යායන් විසින් ඉවත් කර දමන ලදී…

සාම්ප්‍රදායිකව යථාර්තවාදය පිළිනොගත් පුද්ගලයන් “යථාර්ත – විරෝධීන්” ලෙස හැඳින් වූහ…යථාර්ත-විරෝධීන් අනුභූතික දැනුමේ සහ සෛද්ධාන්තික දැනුමේ විශාල වෙනසක් දකිති…ඔවුන් තර්ක කරන්නේ, නිරීක්ෂණය සහ පරීක්ෂණය ඉතාම තේරුම් සහිත වුවත්, සිද්ධාන්තද ඒ තරමටම නිරීක්ෂණයන්ට යටින් සැඟවී ඇති ගැඹුරු කරුණු කාරණා එළිදරව් කර ගැනීමට වැදගත් බවය…

ඇතැම් යථාර්ත- විරෝධීන් විද්‍යාව නිරීක්ෂණයන්ට පමණක් සීමා කරන ලෙස යෝජනා කරන තරමට ආන්තික වූහ…මේ කරුණ නිසා 19 වැනි සියවසේ විසූ බොහෝ දෙනෙකු “පරමාණුව” නම් සංකල්පය, අප කිසිදු දිනක එය නොදකිනු ඇත, යන්න මත පදනම්ව ප්‍රතික්ෂේප කරන ලදී… ( පසු කළෙක් පරමාණු නිරීක්ෂණයට තාක්ෂණික පහසුකම් ලැබිණි…) “ජෝර්ජ් බර්කෙලි” ( 1685 – 1753 ) නම් විද්වතා මනස සහ එහි අදහස් හැර අන් කිසිවක් නොපවතින බව කියන තරම් දුරකට ගියේය…බර්කලිගේ මෙම තර්කය ඛණ්ඩනය කළ නොහැක්කක් බව, යම් මිතුරෙකු විසින් ආචාර්ය සැමුවෙල් ජොන්සන් නම් ඉංග්‍රීසි ජාතික ලේඛකයාට ( 1709 – 1784 ) කියන ලද විටක, ආචාර්ය ජොන්සන් එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ විශාල ගලක් වෙත ගොස් ඊට පා පහරක් දී, “එනයින් මම එය ඛණ්ඩනය කරමි” යනුවෙන් කියමිනි…( පරිවර්තකගෙන් : ගලක පාදය ගැටීමේදී ආචාර්ය ජොන්සන්ට වේදනාවක් දැනේ..එනයින් මනස සහ එහි සිතුවිලි වලට පරිබාහිර වූ දෙයක් ඇත යන්න ඒත්තු ගැන්විය හැකි යැයි ඔහු සිතන්නට ඇත…)..සත්තකින්ම ජොන්සන්ට ඔහුගේ පාදයට දැනුණු වේදනාවද ඔහුගේ මනසේ මැවුණු අදහසක් නිසා ඔහු ඇත්ත වශයෙන්ම බර්කෙලිගේ අදහස ඛණ්ඩනය කරේ නැතැයි අපට කිව හැක…නමුත් ඔහුගේ ක්‍රියාව ඉන් පසු කළක පැමිණි මහා දාර්ශණික ඩේවිඩ් හියුම් ( 1711-1776) ගේ දැක්ම වඩා හොඳින් විග්‍රහ කරයි…ඩෙවිඩ් හියුම් මෙසේ සඳහන් කරන ලදී…” අපිට වාස්තවික යථාර්තයක් ගැන විශ්වාසය තියන්නට කිසිදු බුද්ධිමය ( තාර්කික ) පදනමක් නැතත්, අපට එවැන්නක් සත්‍යයව පවතිනවා සේ රඟ පෑම හැර වෙන විකල්පයක් නැත…” ( ඇත්තෙන්ම වාස්තවික යථාර්තය කියා එකක් තිබෙනවාදැයි “හරියටම” කියන්නට අපට නොහැකි වුවත් එහෙම එකක් තිබෙන බව සිතින් සිතාගෙන රඟ පාන්නට අපට සිදුවී තිබේ…නො එසේ නම් අපට කිසිම වැඩක් කරගන්නට ලැබෙන්නේ නැත…)

“ආකෘතියක් මත යැපෙන යථාර්තය” ( ආකෘතික පදනම් යථාර්තය නොහොත් ආකෘතික යථාර්තය ) මේ සියළු තර්ක සහ යථාවාදී, යථා-විරෝධී චින්තන ශාස්ත්‍රාල අතර ඇති සාකච්ඡා සියල්ල ලුහුවත් කරයි…ආකෘතියක් මත යැපෙන යතාර්ථවාදයට අනුව, කිසියම් ආකෘතියක් “සත්‍යයද, යථාවාදීද” ඇසීම ඵලක් නොවන දෙයක් වන අතර, ඒ ආකෘතිය “නිරීක්ෂණය” හා ගැළපේද? යන්න පමණක් ඇසිය යුතුවේ…ආකෘතීන් දෙකක් යම් නිරීක්ෂණයක් හා එකඟ වේ නම්, ( රන් මාළුවාගේ සහ අපගේ දැක්ම මෙන්) , කිසිවෙකුටත් එයින් එක ආකෘතියක්, අනිත් ආකෘතියට වඩා “යථාර්ත සත්‍යයක්” බව කිව නොහැකිය…යමෙකුට කළ හැක්කේ, එම අවධානයට ලක් වූ අවස්ථාවේදී, වඩා “පහසු” කවර ආකෘතිය යෙදීමදැයි සොයා, එය භාවිතයට ගැනීම පමණි…!!..

උදාහරණයක් ලෙස: යමෙකු රන්මාළුවා සිටින වීදුරු භාජනය ඇතුලේ සිටියේ නම් රන් මාලුවා ලෝකය දකින ආකෘතියද, ඉන් පිටත සිටියේ නම් මිනිසුන් වන අප ලෝකය දකින ආකෘතියද, ප්‍රයෝජනයට ගනු ඇත….

අපි විද්‍යාවේදී ආකෘතීන් සෑදුවත්, අප එදිනෙදා ජීවිතයේදීත් ඒවා සාදමින් සිටිමු…”ආකෘතික-පදනම් වූ යථාර්තවාදය” විද්‍යාත්මක් ආකෘතීන්ට පමණක් නොව, අප එදිනෙදා ලෝකය අර්ථ දක්වා ගැනීම සඳහා භාවිතා කරන විඥානිත සහ උප-විඥානිත මනෝ ආකෘතීන්ටද යෙදේ….නිරීක්ෂකයා හෙවත් “අප” අපගේ ලෝකය පිළිබඳව සංජානනයෙන් ඉවත් කළ නොහැක…මක්නිසාද, ලෝක විෂය කෙරෙහි අපගේ සංජානනය තැනී ඇත්තේ අපගේ ඉන්ද්‍රිය සැකසුම්කරණයෙන් සහ අප සිතන, හේතු දක්වන ආකාරයෙන් වීමය…අපගේ සංජානනය නොහොත් දෘෂ්ඨිය සහ ඒ මත කරන “නිරීක්ෂණයන්”  පදනම් කරගෙන  අප ගොතන සිද්ධාන්ත, සෘජු නොවන අතර, අපගේ මිනිස් මොළයේ අර්ථකතනයන් මඟින් හැඩ ගන්වනු ලැබ ඇත…”ආකෘතික – පදනම් වූ යථාර්තවාදී චින්තනය අප විසින් වස්තූන් සංශය කරගන්නා ආකරයට දායක වෙයි…ඇස් පෙනීමේදී, යම් කෙනෙකුගේ මොළයට දෘෂ්ඨික ස්නායුව හරහා සංඥා මාලාවක් ලැබෙයි…මේ සංඥා මඟින් ඔබේ රූපවාහිනියේ මැවෙනවා බඳු රූප මැවෙන්නේ නෑ…මෙහි තිබෙනවා “අන්ධ බින්දුවක්” ඔබේ දෘෂ්ඨික ස්නායුව, ඔබේ දෘෂ්ඨි විතානයට ( Retina) යා කරන, එමෙන්ම ඔබේ දෘෂ්‍ය පථයේ හොඳ විභේදන බලයක් ( Resolution) සහිත එකම ප්‍රදේශය වන්නේ අංශකයක පමණ ඉතාම කුඩා, ඔබේ මහපටැඟිල්ල අතේ දුරින් බැලූ කල පේන තරම්, කුඩා දෘෂ්ඨිවිතානය මැද පිහිටි ප්‍රදේශයකි….මේ නිසා මොළයට යවන අමු දත්ත හරියට නරක විදියට වර්ණ ගන්වන ලද, මැද්දේ සිදුරක් සහිත රූපයක් ලෙස තමයි පෙනෙන්නේ…වාසනාවට, මිනිස් මොළය එම දත්ත සකස් කර, ඇස් දෙකෙන්ම එන ආදානයන් උපයෝගී කොටගෙන, යාබද ස්ථාන වල “දෘෂ්ඨික ගුණ” සමානය, අන්තර් නිවේෂිතය (Inter-Polating), යන උපකල්පනය මත පදනම්ව, අර අඩුපාඩු පුරවා, පරිපූර්ණ චිත්‍රයක් සකස් කර දෙයි..( පරිවර්තකගෙන් : ඉතාම සරලව කියා දුන්නොත්, අපේ දෘෂ්ඨියෙන් ලැබෙන සංඥා අපට පෙරා සකසා මොළය මඟින් “අනුභූතීන්” කොට දීම මෙයින් කියැවේ…සරලව තේරුම් ගන්න )..

තවදුරටත් කියනවා නම්, එය දෘෂ්ඨි විතානයෙන් ද්වි-මාණික දත්ත වැලක් කියවන අතර, එමඟින් ත්‍රිමාණික උපස්ථිතියක් ( A three dimensional impression) සකසා දෙයි…ඉතාම සරලව කියතොත්, මොළය අපට “මනෝ චිත්‍රයක්” හෝ “මනෝ ආකෘතියක් සකසා දෙයි…මොළය මෙම මනෝ ආකෘතික නිර්මාණයේ කොතරම් නිපුනදැයි කියනවා නම්, මිනිසුන්ට ඇසට පේන දේවල් උඩු යටිකුරු වෙන කණ්ණාඩි සවි කළහොත්, මොළය යම් වේලාවකට පසුව ඒ දේවල් නැවත නිවැරදිව ලෙස පෙනෙන මනෝරූප සකසා දෙනු ඇත….එවිට කණ්ණාඩි ගැලවුවොත්, නැවතත් ටික වෙලාවක් යනතුරු පියවි ඇසට පෙනෙන දේ උඩු යටිකුරු වී තිබෙනු ඇති අතර, යළිත් මඳ වේලාවකින් නිවැරදිව සැකසෙනු ඇත…( මොළය වැඩකරුවෙකි…!) ..මෙයින් ගම්‍ය වන්නේ යමෙකු “මට පුටුවක් පේනවා” කියනවිට, ඒ තැනැත්තා පුටුවෙන් විසිරී යන ආලෝකය එකතු කොට පුටුවේ මනෝ රූපයක් හෝ මනෝ ආකෘතියක් ගොඩ නංවාගෙන ඇති බවය…මෙම ආකෘතිය බැරි වෙලාවත් උඩු යටිකුරු වී තිබුණොත්, ඒක පෙනෙන කෙනා ඒ මත ඉඳගන්නට පෙර, මොළය එය යළිත් නිවැරදි පැත්තට හරවා දෙනු ඇත…

“ආකෘතික-පදනම් වූ යථාර්තවාදය” විසින් විසඳනු ලබන තවත් ගැටළුවක් වන්නේ “පැවැත්මේ අර්ථය” යන්නය. කාමරයේ මාත් සමඟ මේසයක් තිබෙනු මට පෙනේ…නමුත් මම මේ කාමරයෙන් පිටව ගිය පසුත් මේ මේසය “පවතින” බව මම දැන ගන්නේ කොහොමද?..( එය අනුභූතික නැති අතර, බුද්ධිවාදය එය එහි මතකයක් ලෙස රඳවා තබයි..) ..අපට පෙන්නේ නැති ඉලෙක්ට්‍රෝන හෝ “ක්වාක්” නම් මූලික අංශු ( ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සාදන අංශු ) පවතින බව අපි කියන්නේ කොහොමද?…කෙනෙකුට, මා කාමරයේ ඉන්නා විට මේසය පවතින, ඉන් පිටව ගිය පසු මේසය අතුරුදහන් වෙන සහ යළි එනවිට මේසය නැවත මතු වන ආකෘතියක් සාදාගන්නට බැරිද?..ඒක මහා අමනෝඥ ආකෘතියක් වනු ඇත…ඔය අතරේ සිවිලිම කඩා වැටුණොත් මේසය උඩට…? “මා එළියට යනවිට මේසය අතුරුදහන් වෙනවාය” කියන ආකෘතිය මත කොහොමද මම පහදන්නේ, මම ඊළඟ වතාවේ එනකොට මේසය සිවිලිමේ කැබලි යට විනාශවී ගොස් තිබීම…? මෙන්න මේ මා සිටියත්, නැතත් මේසය එතන තිබෙනවා කියන ආකෘතිය විතරයි කෙනෙකුට පහදා ගන්න පුළුවන් ආකෘතිය වෙන්නේ, ඒ නිසා….

අපේ ඇසට නොපෙනෙන අංශු ගැන කථා කරනවා නම්, ඉලෙක්ට්‍රෝන ඉතාම හොඳ ආකෘතියක් “රූපවාහිනි නළයක ආලෝක ලප” වැනි දෑ පැහැදිලි කර ගන්න..1867 වසරේදී බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥ ජේ.ජේ තොම්සන් තමයි මේ ඉලෙක්ට්‍රෝන සොයා ගත්තේ, කේම්බ්‍රිජ් සරසවියේ කැවෙන්ඩිෂ් විද්‍යාගාරයේදී….ඔහු හිස් වීදුරු නළ තුල විදුලි දහරා පරික්ෂා කරමින් සිටියේ, “කැතෝඩ්” කිරණ නම් ප්‍රපංචය ගැන යමක් දැන ගන්න…ඔහුගේ පරීක්ෂණ ඔහුව පෙළඹුවා නිභය සමාලෝචනයක් කරන්න මේ කිරණ සෑදී ඇත්තේ පරමාණු පවා සාදන ඉතාම කුඩා අංශු වලින් බව…ඒ කාලේ මේවා ගැන සිතා ගෙන සිටියේ මේ තමයි පදාර්ථයේ තිබෙන තව දුරටත් බෙදිය නොහැකි කුඩාම අංශු කියලා…තොම්සන් ඇත්ත වශයෙන්ම ඉලෙක්ට්‍රෝනයක් දුටුවේ නෑ…ඒ වගේම ඔහුගේ පරීක්ෂණ වලින් වත් සෘජුව “ඉලෙක්ට්‍රෝන” ගැන යමක් පිළිඹිබු උනේ නෑ…නමුත් මෙම ආකෘතිය මූලධාර්මික විද්‍යාවෙන්, ඉංජිනේරු විද්‍යාව තෙක් පරාසයකට ප්‍රයෝජනවත් උනා…අද, සියළුම භෞතික විද්‍යාර්ථීන් පිළිගන්නවා ඉලෙක්ට්‍රෝන පවතින බවට, කවදාවත් කිසි අයුරකින්වත් දකින්නට නොලැබුණත්…

“ක්වාක්ස්” ( Quraks) හෙවත් මූලික අංශු, අපිට පියවි ඇසින් දකින්න බැරි තවත් දෙයක්…මේ ආකෘතියෙනුත් විග්‍රහ වෙනවා, පරමාණුවක න්‍යෂ්ඨියේ තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන…මේ දෙවර්ගයම සෑදී ඇත්තේ ක්වාක්ස් වලින් කියල කිව්වත්, අපිට කවමදාවකවත් ක්වාක් එකක් දකින්න ලැබෙන එකක් නෑ… ඇයි ඒ?…ක්වාක් අංශු විශේෂයේ “බන්ධන ශක්තිය” ඒවායේ වෙන්වීම සමඟ වැඩිවන නිසා, ඒවාට හුදෙකළා වූ පසුව, නිදහස් ක්වාක් වශයෙන් පවතින්න බෑ සොබා දහම තුළ.. ( මේ නිසා ක්වාක් අංශුවක් හුදෙකළාව නිරීක්ෂණයට ගන්න අපට බෑ…ඒ ගැන උපකල්පන තමයි ගෙනියන්න වෙන්නේ ඉදිරියට…)

මේවා ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ත්‍රිත්වයේ කණ්ඩායම් ලෙස තමයි සැමවිටම තැනෙන්නේ, ඒ වගේම සමහරක් විට ක්වාක් සහ “ප්‍රති-ක්වාක්” ලෙස යුගල ලෙස පවතිනවා..හරියට රබර් බෑන්ඩ් වලින් එකතු කරලා වගේ…

ක්වාක් ආකෘතිය මුල්වරට ඉදිරිපත් කළාට පසුව මහා උභතෝකෝටිකයක් ආවා, මේවා හුදෙකළාව නොපවතින නිසාත්, නිරීක්ෂණය කළ නොහැකි නිසාත්, මේවා ඇත්තටම පවතිනවද කියලා…සමහර අංශු තැනී ඇත්තේ වෙනස් උප-උපන්‍යෂ්ඨික අංශූන්ගෙන්ය කියන අදහස ඉතා සරල සහ පහසු ලෙස ඒවායේ ගුණ දැක්විය හැකි සංවිධායක මූලධර්මයක් උනා…

නමුත් වෙනත් අංශූන් විසිරීමේදී, මතුවන දත්තමය බ්ලිප් වශයෙන් අංශු දකින්න හුරු වෙලා හිටිය භෞතික විද්‍යාඥයන්ට නිරීක්ෂණය කළ නොහැකි අංශුවකට “යථාර්තවාදී බව” ලබා දීම කරන්න අසීරු දෙයක් උනා…නමුත් වසර ගත වෙද්දි, ක්වාක් ආකෘතිය වැඩි, වැඩියෙන් නිවැරදි අනාවැකි වලට මුල් වෙද්දි, එයට එරෙහිව පැවති ප්‍රතිරෝධය අඩුවෙලා ගියා…අපි මේ කරන පරීක්ෂණයම, අත් දා හතක් තියෙන අවලස්සන පිටසක්වළ ජීවියෙකුට කරලා, ක්වාක් වලින් තොරව ප්‍රතිඵලය ලබා දෙන්න පුළුවන් විග්‍රහයකුත් එක්ක… මොකද ඒ පිටසක්වළ ජීවියා “ක්වාක් ආකෘතිය මත පදනම්ව නොවන ගවේෂණ නිසා”…නමුත් “ආකෘති මත පදනම්වන යථාර්ත සිද්ධාන්තයේදී ක්වාක්ස් පවතින බව අපට කියන්න පුළුවන්, මොකද ඒ පැවැත්ම එකඟ වෙනවා අපේ උප-න්‍යෂ්ඨික අංශුවල හැසිරීමට….

( දෙවනි කොටස මෙසේ අවසන් කරමි…)

Advertisements

යථාර්තය යනු කුමක්ද.. ? – 1 – The Grand Design ග්‍රන්ථය ඇසුරෙන් – ස්ටීවන් හොව්කින්ග් සහ ලියොනාර්ඩ් ම්ලොඩිනොව්

(..පරිවර්තක ගෙන් පෙර වදනක් : යථාර්තය යන පරිචින්නයෙහි කථා කරන විට, යථාර්තයට වාස්තවිකත්වයක් තිබේද?…ඒ වාස්තවිකත්වය බටහිර හෝ පෙරදිග ලෙස චින්තන ගුරු කුළ වලට ඌනනය කළ හැකිද?..නො එසේ නම්, මේ සියළු ගුරු කුළයන්ගේ හා පොදුවේ ගත් කළ මිනිසාගේ පංචෙන්ද්‍රිය සංවේදන පරාසයෙන් පවා ඔබ්බෙහි පිහිටා ඇති “මහා යථාර්තයක්” වේද?…මෙවැනි ප්‍රශ්න රැසක් පසුගිය කාළ වකවානුව තුළ ශ්‍රී ලංකාවේ සාකච්ඡාවට බඳුන් වූ අතර, ඇතැම් අය ඒ සංකල්පික වූ වාස්තවික යථාර්තය ප්‍රවර්ගයෙන්ම ප්‍රතික්ෂේප කරන්නටත්, අනෙක් අය කොන්දේසි විරහිතව පිළිගන්නටත් පෙළැඹිණි…මේ ආන්තික ස්ථාවරයන් දෙක අතර මැද සිට මේ සාකච්ඡා දෙස සංශයවාදීව බලන්නට ඉදිරිපත් වූ පිරිසක්ද විය…ඒ අය වාස්තවිකත්වය හඹා යා නොයුතු බවත්, ඒ වූ පමණින් කොන්දේසි විරහිතව පිළිගත යුතුද නැති බවත්, හුදෙක් ප්‍රයෝජ්‍ය වටිනාකමක් පමණක් එයට ආරෝපණය කළ යුතු බවත් මතයක් ලෙස දැරූහ…මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් මහතා ඉන්නේ අන්න ඒ මධ්‍යස්ථයෙහිය..)

මහාචාර්ය ස්ටීවන් විලියම් හොව්කින්ග් – “The Grand Design” ග්‍රන්ථයෙහි “What is Reality?” පරිච්ඡේදය…

මීට ටික කළකට ඉහතදී, ඉතාලියේ මොන්සා නාගරික සභාව විසින් සුරතල් සතුන් ඇති කරන අයට, “ගෝල්ඩ්ෆිෂ්” වර්ගයට අයත් මසුන් වක්‍රවූ පාත්‍රාකාර භාජන වල දමා ඇති කිරීම තහනම් කරනු ලැබුවා…ඒ පියවර ගන්න මූලික වෙච්ච කෙනා ඒකට හේතුව ලෙස විග්‍රහ කළේ, එවැනි වක්‍ර වූ ( ඉහත පින්තූරයෙහි දැක්වෙන ) පාත්‍රාකාර බඳුනක මාලුවෙකු දමා සිටින විට, එයින් ඌ පිටත බලන විට, එහි වක්‍රාකාර පැති තුළින් ඌට දකින්න ලැබෙන්නේ උගේ අවට ලෝකය පිළිබඳව “විකෘති කරන ලද යථාර්තය” නිසා, එහෙම ඇති කිරීම ඉතාම කුරිරු වැඩක් ලෙස..

නමුත්, අපි කොහොමද දන්නේ, මේ අපිට තිබෙන දෘෂ්ඨිය තුළින් දර්ශණය වෙන දේත්, විකෘති නොකරන ලද යථාරූපයක්ද කියන එක?…අපි කොහොමද කියන්නේ මේ අපි දකින දේ යථාර්තයක්මයි කියලා…?…අපිත් මේ රන්මාළු වගේම එක්තරා විදියක පාත්‍ර භාජනයක බහා ඉන්නා අතර, වක්‍ර සහිත ලෙන්සයක් තුළින් යථාර්තයේ විකෘති රූපනයක් දකිමින් සිටිනවා වෙන්න බැරිද?…කොහොමද අපි එහෙම නෑ කියන්නේ…?..රන්මාළුවාගේ යථාර්තය පිළිබඳව දැක්ම අපේ දැක්මට වඩා වෙනස් වෙන්න පුළුවන්…ඒත් අපි කොහොමද හුඟක් තහවුරු කර ගන්නේ ඒ රන් මාලුවාගේ දැක්ම, අපේ දැක්මට වඩා අසත්‍යය හෝ සත්‍යය බව…?

රන් මාළුවාගේ දර්ශණය අපේ දර්ශණයම නොවේ…නමුත්, ඌට, ඒ පාත්‍ර භාජනයෙන් පිටත ඌ දකින වස්තූන්ගේ චලිතය ඇසුරෙන්, ඒ චලිතය හසුරුවන විද්‍යාත්මක නියමයන්, ප්‍රමේයයන් හා නීතීන් හදා ගන්න පුළුවන්…( අපිත් එහෙම කරනවනේ අපේ “නිරීක්ෂණයන්” අනුව…) .. උදාහරණයක් හැටියට කිව්වොත් : අප විසින් සරල රේඛාවක ගමන් කරනු ලබන බවට නිරීක්ෂණය කරන වස්තුවක්, එම භාජනයේ ඉන්නා මාලුවාට වක්‍රාකාර මාර්ගයක යනවා වගේ පේන්න පුළුවන්..කොයිහැටි වෙතත්, මාලුවාට තමන්ගේ විකෘති වූ සමුද්දේශ රාමුවක විද්‍යාත්මක ප්‍රමේයයන් සාදා ගන්නට පුළුවන් අතර, ඒ ප්‍රමේයයන් ආශ්‍රයෙන්, ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වූ බාහිර ලෝකයේ වස්තූන්ගේ අනාගත චලනය හෝ හැසිරීම ගැන අනාවැකි ලබා දෙන්නට වුවද හැකියාවක් ලැබෙනු ඇත. ඔවුන්ගේ විද්‍යාත්මක නීති, අපේ විද්‍යාත්මක නීති වලට වඩා තරමක් දුරට සංකීර්ණ වේවි, මොකද ඒ අයගේ නිරීක්ෂණයන් අපට වඩා තරමක් “වක්‍ර විකෘතියක” පවතින නිසා, නමුත් සරල බව කියන එකත් එක, එක්කෙනාගේ රුචිකත්වය අනුව තීරණය වන දෙයක්…

රන්මාලුවා එහෙම ඒ නිරීක්ෂණයන් මත පදනම්ව ප්‍රවාදයන් ගොඩ නැඟුවොත්, අපට සිදුවෙනවා ඒවා ඌට සාපේක්ෂව යථාර්තය බව පිළිගන්න…

මේ යථාර්තය පිළිබඳව ඇති විවිධ රූපනයන් ගැන සළකා බැලෙන කදිම උදාහරණය තමයි ක්‍රි.ව.150 තරම් ඈත කාළයේදී “ටොලමි” විසින් හඳුන්වා දෙන ලද, අකාශ වස්තු චලිතයන් ගැන මොඩලය…ටොලමි විසින් පොත් 13 ක නිබන්ධන එකතුවක් ලෙස තම පරීක්ෂණ හඳුන්වා දුන් අතර ඒවා එකතුවට “අල්මගෙස්ට්” ( Almagest) නම් අරාබි නම තබන ලදී…

අල්මගෙස්ට් ග්‍රන්ථය විග්‍රහ කරන ආකාරයට, පෘතුවිය ගෝලාකාර නමුත්, එය නිශ්චලව, විශ්වයෙහි හරි මැද පිහිටා තිබෙන අතර, දිව්‍ය ලෝකයන්ගේ දිග, පළල හා සසඳා බලන කල ඉතාම කුඩා ලෝකයකි… ( මෙහිදී ටොලමි දිව්‍ය ලෝකයන් හෙවත් “හෙවන්ස්” යන වචනය යොදාගෙන හැඳින්වූයේ ක්‍රිස්තියානියේ හෝ ඉස්ලාමයේ එන ස්වර්ග නියාමයන් නොව, නිරීක්ෂිත විශ්වයයි…)

(ඇරිස්ටාකස් “සූර්ය කේන්ද්‍රික ආකෘතිය” )

ඇරිස්ටාකස් නම් දාර්ශණිකයාගේ “සූර්ය කේන්ද්‍රික මොඩලය” ( Heliocentric model of Aristarchus) ඒ වනවිට එළි දක්වා තිබුණත්, බොහෝ ග්‍රීක උගතුන්, අද්භූත කරුණු කාරණා මත, පෘතුවිය විශ්වයෙහි කේන්ද්‍රිකව පිහිටන බව තදින් පිළිගැනීමට ලක් කොට තිබිණි….ටොලමිගේ ආකෘතිය ප්‍රකාරව, පෘතුවිය නිශ්චලව විශ්වයෙහි කේන්ද්‍රිකව පැවති අතර, සියළු ග්‍රහ තාරකාවෝ, පෘතුවිය වටා, ඉතාම සංකීර්ණ කක්ෂගතව, “අපිචක්‍රයන්” ( Epicycles of Maths ) පවා සෑදෙන අයුරින්, චක්‍ර මත චක්‍ර පිහිටන අයුරින්, චලනය වෙමින් පවතින බව ප්‍රකට කරවන ලදී…

මේ මොඩලය නම් ස්වභාවිකයි වගේ පෙනෙනවා… මොකද කිව්වොත් අපට දැනෙන්නේ නෑ, අපේ දෙපයට යටින් ඇති පෘතුවිය චලනය වෙන බවක්…( ටොලමිට අනුවත් පෘතුවිය නිශ්චලව පවතී…)..එහෙම දැනෙනවා නම් දැනෙන්නේ, භූමි කම්පාවකදී හෝ හිටගෙන කරන ලිංගික ක්‍රියාකාරකමක සුරතාන්තයේදී… 😀 පසුකාළීනව, යුරෝපීය චින්තනය බොහෝ දුරට ඔවුන් වෙත ලැබුණු ග්‍රීක මූලාශ්‍ර මත පදනම් වූ අතර, ඇරිස්ටෝටල් සහ ටොලමි දෙපළගේ අදහස්, බටහිර චින්තන දහරාවේ පදනම බවට පත්විය…ටොලමිගේ උක්ථ විශ්වවේද ආකෘතිය කතෝලික පල්ලිය විසින්, එහි නිල ආකෘතිය ලෙස යොදාගත් අතර, ඒ භාවිතය අවුරුදු 1400 ක පමණ කාළයක් පැවතිණි…ක්‍රි.ව. 1453 තරම් මෑතක් වන තුරු, ඒ ආකෘතියට කිසිදු අභියෝගයක් පැවතුනේ නැත…නමුත් ක්‍රි.ව. 1453 දී නිකොලස් කොපනිකස් විසින්, ඔහුගේ මරණින් මතුව ප්‍රසිද්ධ කරන ලද, “De revolutionibus orbium coelestium” ( “On the Revolutions of the Celestial Spheres” ) ග්‍රන්ථය හරහා එළි දක්වන ලද ආකෘතිය ටොලමිවාදී ආකෘතියට බරපතළ අභියෝගයක් එල්ල කරන ලදී…කොපනිකස්, ඔහුගේ පූර්වකථක ඇරිස්ටාකස් මෙන්ම, සූර්යයා කේන්ද්‍රිකව “නිශ්චලව” තිබෙන, සියළු ග්‍රහ ලෝක සූර්ය කේන්ද්‍රය වටා පරිභ්‍රමණය වන බව තම ආකෘතිය හරහා පවසන ලද අතර, මෙම ආකල්පයට බරපතළ විරෝධතා එල්ල වන්නට විය….

මෙකී ආකෘතිය අලුත් හැඳිවීමක් නොවූවත්, එය සියළු ග්‍රහ ලෝක පෘතුවිය වටා පරිභ්‍රමණය වන බව කියන කතෝලික බයිබලය ප්‍රතිවාචනය කරන්නක් බව පල්ලියෙන් එයට ප්‍රතිරෝධයක් දැක්වූ අයගේ අදහස විය. කොපර්නිකස් ගේ මෙම අදහස මතවාදී විවාදයෙන් ඔබ්බට ගිය අතර කතෝලික පල්ලිය පාර්ශ්වයෙන් ඉතාම සැහැසි ප්‍රතිචාර ලැබෙන්නට විය…එවන් එක් ප්‍රතිචාරයක් වූයේ ගැලීලියෝ ගැලීලි නම් විද්වතාට 1633 වසරේදී, කොපර්නිකන් න්‍යාය අල්ලාගෙන “නන් දෙඩවීම” සහ “බයිබලික ශුද්ධවූ ග්‍රන්ථයන් මඟින් මනාව පැහැදිලි කරන ලද දේට උවමනාවෙන්ම ප්‍රතිවිරුද්ධ මතයක් දැරීම ” යන චෝදනා මත නඩු විභාගයකට පෙනී සිටින්නට සිදුවීමය….අවසානයේදී තම ජීවිතාරක්ෂාව උදෙසා “පෘතුවිය නිශ්චලව පවතින බව” යටහත් පහත්ව පිළිගන්නට ඔහුට සිදුවූ අතර, “වරද” පිළිගැනීම නිසා ඔහුගේ පණ කෙන්ද රැකී, ඒ වෙනුවට ජීවිතාන්තය තෙක් නිවාස අඩස්සියට ඔහුව පත් කරන ලදී..මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන මොහොතේ ඔහු රහසින් “Eppur Si Mouve” ( But it still moves) යැයි කියූ බවද සඳහන්ය…1992 වසරේදී කතෝලික පල්ලිය විසින් ගැලීලියොට දඬුවම් කිරීම බරපතළ වරදක් වශයෙන් පිලිගන්නා ලදී….

නමුත් කොයි එකද නිවැරදි..? ටොලමිගේ ආකෘතියද? කොපනිකසන් ආකෘතියද?…හුඟක් දෙනෙක් කියන නමුත් මේ කොපනිකස් ටොලමිව බොරු කාරයෙක් කරා කියලා, ඒක වැරදියි…අපගේ දෘෂ්ඨිය තුළින් උකහා ගන්නා දර්ශණය, රන්මාළුවාගේ දර්ශණයට එදිරිව පවතින්නේ යම් සේද, ඒ අයුරින්ම මේ ආකෘතින් දෙකෙන් කවර එකෙන් හෝ මේ දිව්‍යභාවයන් ගැන විග්‍රහ කළ හැකිය…මක් නිසාද අප විශ්වය ගැන කරන කවර ප්‍රකාශයක් වුවද, එක්කෝ පෘතුවිය නැතිනම් සූර්යයා නිසලව පවතී යැයි උපකල්පනය කොට කරන ඒවා බැවිනි…විශ්වය හා එහි සැකැස්ම ගැන මොන තරම් දාර්ශණික මත ගැටුම් පැවතියත්, මේ කොපනිකසන් ආකෘතිය ඒ වෙනුවෙන් යොදා ගැනීමේ එක වාසියක් ලෙස ඇත්තේ, සූර්යයා කේන්ද්‍රිකව නිසලව පවතින සමුද්දේශ රාමුවක, එහි චලිතයන් සම්බන්ධයෙන් ගණන් සෑදීම ඉතා පහසු බැවිනි…මේ නිසා හුදෙක් සුව පහසුව පිණිස එක ආකෘතියක් තෝරා ගැනීමට සහ එය නිර්දේශයට පෙළඹෙමි…එය ප්‍රයෝජ්‍ය වටිනා කම ලෙස දකිමි…

මෙලෙස එකම දෙය විස්තර කරන්නට “යථාර්ත” ආකෘති කිහිපයක් ඇති විට, අප එය වෛකල්පික යතාර්ථ රාමු ලෙස දකිමු…( Alternative realities )

ඉතාම වෙනස් මාදිලියක වෛකල්පික යථාර්තයක් “මේට්‍රික්ස්” නම් සුප්‍රකට චිත්‍රපටියේ දකිමි…එහිදී මිනිස් වර්ගයා නොදැනුවත්වම “සවෙස් ලද අතථ්‍ය යථාර්තයක” ( Simulated Virtual Reality) ජීවත් වන අතර, බුද්ධිමත් පරිඝණක විසින් ඔවුන්ව ෆැන්ටසියක බහා තබා, ඔවුන්ගේ දේහවලින් තම ප්‍රයෝජනය සඳහා “ජීවවිද්යුත් ශක්තිය” උරා ගනිති..( ඒ මොකක් වුවත්…) ..අද කාළයේ හුඟක් මිනිසුන් “සෙකන්ඩ් ලයිෆ්” වැනි අතථ්‍ය යථාර්තයන් තුළ මවා ගන්නා ලද ජීවිත වලට වහල් වී බොහෝ වේලා එහි ගතකරන නිසා, මේ තත්වය සැබෑවෙන් එතරම් දුරස් උපකල්පනයක් යැයිද කිව නොහැක….

අප, හුදෙක් පරිඝණක මඟින් නිමවන ලද මාලා නාටකයක චරිත නොවන්නේදැයි අප දන්නේ කෙසේද?…අප සින්තටික් සිහින දකිමින්, සින්තටික් මනෝ ලෝකයක ජීවත් වෙනවා නම්, සිදුවීම් වල තාර්කික බවක් හෝ සංගතික බවක් හෝ කිසිදු රීතියක් පිළිපදින බවක් තිබීමට අත්‍යාවශ්‍ය නැත…එවැනි අතථ්‍ය ලොවක් පාලනය කරන පිටසක්වළ ජීවින්, අපි “සිදුවීම්” වලට දක්වනු ලබන ප්‍රතිචාර දැක ඉමහත් ප්‍රීතියක් ලබනවා විය යුතුය…උදාහරණ ලෙස පැවසුවහොත්, එකවර පුර සඳ මඩල දෙකට පැලී ගියහොත්, හෝ ලෝකයේ සියල්ලෝම කෙසෙල් මිශ්‍ර අයිස් ක්‍රීම් වලට ඇබ්බැහියක් ඇති කර ගතහොත්, එවැනි තත්වයකදී අප දක්වන ප්‍රතිචාර ඔවුන්ට විනෝදය සපයනු ඇත…නමුත්, මේ පිටසක්වළ ජීවීහු “සංගත නීති” රීති අපේ “ලොව” මත පටවයි නම්, ඒ දෘෂ්ඨි මායාවෙන් ඔබ්බෙහි වෙනත් යථාර්තයක් පවතින බව අප කියන්නේ කෙසේද?…මේ දෘෂ්‍ය යථාර්තයෙන් ඔබ්බට යමක් ඇති බව වටහා ගන්නේ කෙසේද?…

( පරිවර්තක ගෙන් : මෙහිදී මහාචාර්ය හොව්කින්ග් අදහස් කරන්නේ, අප පිටසක්වළ ජීවය විසින් මවා දෙනු ලබන මාලා නාටකයක නළුවන්, නිළියන් නම්, හදිසියේ වත් කිසිදු රීතියකට සංගත නොවන සිදුවීමක් සිදුවුවහොත්, උදා: එකවර සඳ මඩල දෙබෑ වුවහොත්, යථාර්තය මෙය නොවන බවත්, ඉන් ඔබ්බට යමක් සොයා ගත යුතු බවත් අපට කල්පනා වෙනු ඇත…නමුත්, ඉතාම සංගත රීති පද්ධතියකට අනුව ඔවුන් අපව පාලනය කරයි නම්, යථාර්තය මෙය නොවන බව අප සිතා ගන්නේ කොහොමද? )

එහිදී අපිට බොහෝ පහසු වෙයි, අප ඉන්නා මේ සින්තටික් ලෝකය “මායාව” ලෙසත්, ඒ පිටසක්වළ ජීවින් ඉන්නා ලෝකය “යථාර්තය” ලෙසත් අර්ථ නිරූපණය කරන්න…ඒත්, ඒ පිටසක්වළ ජීවීන්ටත්, ඔවුන් ඉන්නා පරාසයෙන් ඔබ්බට දකින්න බැරි නම් මොකද වෙන්නේ..? ඔවුන් කොහොමද කියන්නේ ඔවුන්ගේ ලෝකය යථාර්තයක් කියලා…ඇතැම් විට ඔවුනුත් මායාවක සිරකරුවන් විය හැකියි….එහෙම උනත් ඒ අයත් තමන්ගේ “යථාර්තය” සැකයට භාජනය කරන එකක් නෑ….

අපි හැමෝම “තවෙකෙකුගේ සිහිනයක කල්පනා මාත්‍රයන් නොවේය” කියලා කාටද කියන්න පුළුවන්…???

මේ උදාහරණ, අපිව මේ ග්‍රන්ථයේ ඉතාම වැදගත් නිර්ණයකට ගෙන එනවා….ඒ නිර්ණය තමයි : “රූපයෙන් හෝ සිද්ධාන්තයෙන් ස්වාධීන වූ යථාර්තයක් නොමැත…”ඒ වෙනුවට අප උපයෝජනය කර ගන්නවා “ආකෘති – පරවශ යථාර්තය” : ( model dependent reality ) එහි අදහස වන්නේ භෞතික සිද්ධාන්තය සහ ලෝක චිත්‍රය ආකෘතියකි, නීති පද්ධතියක් මඟින් එම ආකෘතියේ මූලිකාංගයන්, නිරීක්ෂණයට අනුබද්ධ කර තබනු ලැබේ යන්නය….මෙමඟින් නූතන විද්‍යාව නිර්වචනය කර ගැනීමට රාමුවක් සකසා දෙනු ලැබේ…

( පරිවර්තකගෙන් – ඔය කියන්නේ “ආකෘතියකට” අනුව සැකසී නැති, හෝ ඒකෙන් ස්වාධීනව පවතින, චිත්‍රයකට අනුගත නොකළ, පූර්ණ වාස්තවික “පට්ටේ පට්ට” යථාර්තයක් නැත…ඒ වෙනුවට අපිට මොකක් හෝ මොඩල් එකක් උඩ දුවන යථාර්තයක් ගත හැක…ඒ මොඩල් එක අපිම හඳුනා ගත් නීති පද්ධතියක් ( එසේ තිබෙනවා යැයි අපිම උපකල්පනය කරගත් හෝ අර්ධ වශයෙන් තහවුරු කර ගත් ) මඟින් අපිට පේන්න, අපේ නිරීක්ෂණය හරහා තේරුම් ගැනීමට බද්ධ වී ඇති බව…කොටින්ම කිව්වොත් අපේ දෘෂ්ඨිය මත පදනම් වුණු මොඩල් එකක්…ආං ඒකට විද්‍යාව දමා, “ඇත්ත සහ යථාර්තය” එපමණකින් සිතා ගෙන සැනසෙන්න…නැතුව අම්බ යථාර්තයක් එයටත් ඔබ්බේ තිබෙනවාද සොයන්න යෑම රිම්බ මෝඩ කමකි…)

ප්ලේටෝ ගේ සිට මෙතෙක් සිටි දාර්ශණිකයන් බොහෝ දෙනා යථාර්තය ගැන බොහෝ වාද, විවාද පැවැත්වූහ…”බාහිර ලෝකයක් ඇත, එම බාහිර ලෝකයේ ගුණ සියල්ල නියතව, ඒවා ප්‍රත්‍යක්ෂ කර ගන්නා නිරීක්ෂකයාගෙන් ස්වායත්තව පවතී ” යන්න මත සම්භාවිත විද්‍යාව පදනම්ව පවතී…ඒ සම්භාවිත විද්‍යාවට අනුව “වේගය”, “ස්කන්ධය” වැනි නියත, හොඳින් නිර්වචනය කළ භෞතික ගුණාංග සහිත ඇතැම් වස්තූන් පවතී….

මේ නයින්, අපගේ සිද්ධාන්තයන් එවැනි වස්තූන් සහ ඒවායේ ලක්ෂණයන්, ගුණාංග විග්‍රහ කිරීමට යත්න දරන අතර, අපගේ මානයන් හා සංජානනයන් ඒවාට අනුරූපව පවතී…නිරීක්ෂකයා සහ නිරීක්ෂිතය යන ද්විත්වයම වාස්තවිකව පවතින ලෝකයක කොටස් වන අතර, ඒවා අතර විලක්ෂණයන්ට ( වෙනස් කම් ඕයි..!) එතරම් අර්ථානුගත වැදගත් කමක් නැත…

( පරිවර්තකගෙන් : මේ එක්ස්ටර්නල් වර්ල්ඩ් එකක් කියල එකක් තියෙනවා…ඒකෙ නියත වාස්තවික වස්තු තියෙනවා නිශ්චිත ගුණාංග සහිත…අපි මේ ගේමක් දීලා තියරි හදන්නේ ඒවා විස්තර කරන්න…අපි නම් නිරීක්ෂකයා, අපිත් ඒ වස්තූන් හෙවත් නිරීක්ෂිතයත් තියෙන්නේ මේ වාස්තවිකව පවතින පට්ට රියල් වර්ල්ඩ් එකක…කවුරුත් සැක කරන්නේ නෑ…මෙව්වයේ වෙනස් කම් ඒ තරම් ලොකු නෑ, ඒ යථාර්ත මොඩලයට අභියෝග කරන්න තරම්…)

වෙනත් වචන වලින් කිවහොත්, ඔබ රථගාලක සීබ්‍රාවන් පිරිසක් යම් තැනක වාහනයක් නවත්වා ගැනීම වෙනුවෙන් රණ්ඩුවක් කරනවා දුටුවොත්, ඒ ඇත්තටම එතන සීබ්‍රාවන් පිරිසක් වාහනයක් නවත්තන් ඉඩ වෙනුවෙන් රණ්ඩුවක් කරන නිසාවෙනි….ඔබ පමණක් නොව, වෙනත් නිරීක්ෂකයන් සියල්ලටම මෙය පෙනෙන අතර, ඔවුන් සියල්ලෝම ඒ දකින දෙයෙහි ( සීබ්‍රාවන් පිරිසගේ ) ගුණාංග මිනුම් කර ගන්නා අතර, එම නිසා නිරීක්ෂකයෙක් සිටියත්, නැත්ත්, සීබ්‍රා රංචුවට ඒ නිරීක්ෂණයෙන් මිනුම් කරගනු ලබන ගුණාංග පවතී….දර්ශණයේදී මෙයට කියන්නේ “යථාර්තවාදය” කියාය….( කොටින්ම කිව්වොත් අප බැලුවත්, නැතත් “යථාර්තය” වූ යමක් පවතී….)

එනමුත්, නූතන භෞතික විද්‍යාව විසින් මේ “යථාර්තවාදය” යන්න රැකගත නොහැකි තත්වයකට පත් කොට ඇත… ( පරිවර්තකගෙන් : ක්වන්ටම් අංශුව සහ කෝපන්හේගන් විවරණය යළි සැළකිල්ලට ගන්න…) .. උදාහරණයක් හැටියට, ක්වන්ටම් භෞතිකයේදී, නිරීක්ෂකයෙකු විසින් එකී පරිමාවන් මිනුම් කර ගන්නා තුරු, අංශුවකට නිශ්චිත, නියත, ස්ථානයක් වත්, ප්‍රවේගයක් වත් නොමැත…මේ ක්වන්ටම් විද්‍යාව පරිසරය පැහැදිලි කිරීමෙහි ඉතාම විශිෂ්ඨ න්‍යාය පද්ධතියකි….සත්තකින්ම සමහර අවස්ථාවලදී, තනි වස්තූන්ට හුදෙකළා පැවැත්මක් වත් නොමැති අතර බොහෝ දේ වෘන්දයක ( “එකතුවක” ඕයි…!) කොටසක් හැටියට පවතී….එනිසා, “ස්වලිඛිත සිද්ධාන්තය” ( Holographic Theory) නිවැරදි ලෙස ඔප්පු උවහොත්, අපගේ “චතුර්මාන ලෝකය” (4D)වඩා විශාල, පංච මාන අවකාශ-කාළයක ( 5D – Space-Time) මායිමේ ඇති සෙවනැල්ලක් බවට පත්වනු ඇත….( පස්වැනි මානය “යතාර්ථ” මානයයි…)

( මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් විසින් විරචිත The Grand Design ග්‍රන්ථයෙහි The Reality පරිච්ඡේද පරිවර්තනයේ පළමු කොටහ නිමි…)

ගණිකාවක් සමඟ කළ සංවාදයක්…..

(..මෙම බ්ලොග් අඩවිය ඔබ වෙත ගෙන එන මම, දැනට ජීවත් වන්නේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරය…යම් කාළයක් තිස්සේ මෙහි විශ්ව විද්‍යාල වල වාමාංශික අදහස් දරන සිසුන්ගේ අධ්‍යයන තෝතැන්නක්ව පවතින “සමාජවාදී ශිෂ්‍ය එකතුව” විසින් පළ කරනු ලබන පුවත්පත් සහ සඟරා වලට “අර්ධ-කාළීන” මාධ්‍ය වේදියෙකු ලෙස ලිපි පළ කිරීම කරමින් සිටිමි… පහත දැක්වෙන ලිපිය එවැනි එක් ලිපියකි…බ්ලොග්කරණයට පිවිසීමෙන් තොරව මා දරන යම් මතවාදයක් වෙතොත්, එය සමාජගත කිරීම මගේ ෆෙස්බුක් පිටුව හරහා කරමින් සිටි පසුගිය කාළයේ, මෙම ලිපිය එහි සටහනක් ලෙස පළ කොට තිබූ අතර, දැන් එය වඩාත් පුළුල් කියැවීමක් උදෙසා මෙසේ ගෙනහැර පාමි….)

සමාජවාදී ශිෂ්‍ය එකතුව විසින් සම්පාදනය කොට විසුරුවා හරිනු ලබන ශිෂ්‍ය සඟරාවක් සඳහා ලිපියක් සැකසීමේ කටයුත්තක් බාර ගෙන සිටි මා සමඟ, මගේ සහෝදර ශිෂ්‍යාවක වන ලිවියා ඈන් ලෝරන්ස් මෙනෙවිය ගොස්, බ්‍රිතාන්‍යයේ “නෝෆොක්” කවුන්ටියේ, “නෝරිච්” නගරයේදී මුණ ගැසුණු ගණිකා වෘත්තියේ නියැළෙන තරුණියක සමඟ කරන ලද සංවාදයක්, මෙහිලා හුවා දක්වමි…මෙම කර්තව්‍ය අප විසින් සිදු කරන ලද්දේ 2011 වසරේ ජූලි මාසයේදීය…මෙතෙක් මෙම ලිපිය පළ කිරීම සඳහා කතුමැති අවසරය ලැබෙන තුරු සිටි නිසා, එය කිසිදු ස්ථානයක, කවර බසකින් හෝ ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටියෙමි…නමුත්, දැන් ඒ සඳහා අවසරය ලැබී ඇති නිසා, මෙයින් අප උකහා ගත් යමක් වෙතොත්, එය මව් බිමෙහි සැමටද කියවන්නට සැලැස්විය යුතු යැයි සිතුණු හෙයින්, මෙහි ලා එය පළ කරමි…

මෙයින් මාත්, මගේ සහෝදර ශිෂ්‍යාවත් අදහස් කර සිටින්නේ ගණිකා වෘතියට පක්ෂපාතී මතයක් සමාජ ගත කිරීමටවත්, එහි ඇති රසවත් බවක් හුවා දැක්වීමටවත් නොවේ…මෙය හුදෙක් “Still Reporting” යන පුවත් පත් කලාවට අයත් ලිපියක් බව කීමට කැමැත්තෙමි..”Still Reporting” යනු යම් සිද්ධියක් හෝ සංවාදයක්, අපගේ අදහස් එකතු කිරීමකින් හෝ අපේ දෘෂ්ඨියට හෝ අනුභූතියට ගැළපෙන අයුරින් අවාස්තවීකරණය කිරීමකින් තොරව, එම සංවාදය සිදු කෙරුණු අයුරින්ම හෝ එකී සිද්ධිය සිදු වූ අයුරින්ම වාර්ථා කොට තැබීමයි..එහි හරයාත්මක විශ්ලේෂණය එවිට පාඨකයන්ට වගකීමක් ලෙස ඉතිරි වේ…

අප ඇයට “කුරීෂා” යැයි කියමු…ඒ ඇගේ සැබෑ නමට, ඒ ආරූඪ නාමය ඉතා ආසන්නයෙන් යන නිසාය…ඈ අපට හමුවන්නේ, නෝරිච් නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක පිහිටි ඇගේම නිවහන තුළදීය…ඈ උපතින් තුර්කි ජාතික කතකි…ආගම ඉස්ලාමයයි..එනමුත්, තුර්කියෙහි ඉස්ලාමයේ ලක්ෂණ, අරාබි ලෝකයේ දක්නට ලැබෙන ඉස්ලාමයෙහි සංස්කෘතික ලක්ෂණ වලට වඩා බෙහෙවින් වෙනස් නිසා, ඈ උපත ලබන පරිසරය, වත්මනෙහිදී ඈ නියැළෙන වෘතියට ඈව පොළඹවන ( නැතිනම් කුඩා කළ සිටම සකසන ) පරිසරයක් බව කිවහොත් එය නිවැරදිය…ඇගේ ජීවිතය සම්බන්ධයෙන් අප ඇගෙන් අසන්නට යන ප්‍රශ්ණ අතිශය සංවේදී ඒවා බවත්, ඒවාට පිළිතුරු දීමට අවශ්‍ය නැතැයි සිතුණහොත් නිහඬව සිටිය හැකි බවත්, අප ඇයට කරන්නේ වධයක් යැයි ඇයට සිතුණොත්, ඕනෑම මොහොතක අපට නිවසින් පිටව යන ලෙසට කියන්නට ඇයට අයිතියක් ඇති බවත්, මේ සංවාදයට පෙර, මගේ සොයුරිය වන ලෝරන්ස් මෙනෙවිය ඇයට පහදා දුන්නාය…කුරීෂා කිසිදු පැකිළීමකින් තොරවම ඒ ප්‍රශ්ණ බාර ගන්නා බව පැවසීම අපගේ මහත් අස්වැසිල්ලට හේතුවිය…

ඇගේ කථාව තුර්කියේ “ගූලෝෂ්” නම් ග්‍රාමයෙන් ඇරඹේ…ඈ, දරුවන් සිවු දෙනෙකුගෙන් යුතු පවුලක තුන් වැනියාය…වැඩිමහල් දෙදෙනාම ගැහැණු දරුවන් වන අතර ( ඔවුන් දෙදෙනාද මෙම වෘතියේම නියැළෙති..), බාල සොහොයුරා පිළිකා රෝගයට ගොදුරුව, මීට වසර 10 කට මත්තෙන් මිය ගොස් ඇත…ඈ උපත ලබන්නේ 1985 වසරේදීය…පියා ඇන්කාරා නුවර සිට පැමිණි දිසාභාර ලේකම් වරයෙකි..මව, ඔහු හා සැතපුණු “ෆුෂාවකි” ( අනපේක්ෂිත ගැබ් ගැනීමකි…) තුර්කියේ ගණිකා ව්‍යාපාරය කළක් තිස්සේ, එරට සංස්කෘතියේද අනුදැනුම හා ආශිර්වාදය ඇතුව කරගෙන එන්නක් වන අතර, ගම්බද ප්‍රදේශ වල සාම්ප්‍රදායික “ගණිකා පෙළපත්” තවමත් දක්නට ඇත…( මව “ඉඟටි නර්තන නාටිකාංගනාවක්” ( Belly Dancer) වන අතර ගණිකාවක්ද වෙයි…දියණියෝද එම වෘතියටම හුරු කෙරෙති…එක් දැරියක හෝ එයින් ගැළවී එන්නේ නම් ඉතාම කළාතුරකිනි…)..එවැනි සාම්ප්‍රදායික පෙළපත් ගණිකාවෝ “ෆූෂා”වන් ලෙස හඳුන්වනු ලබති…සාමාන්‍යයෙන් මැද පෙරදිග මව් පියන් අපේක්ෂා කරන්නේ පුතෙකුගේ උපත වුවත්, මෙවැනි “ෆුෂා” පෙළපත් නිරතුරුවම අපේක්ෂා කරන්නේ රූමත් දියණියකගේ උපතය…එය ඔවුන්ට සම්පතක් වන්නේ ඇයි දැයි සිතා ගන්නට අපහසු නැත…මේ, ඔබත්, මාත් පශ්චාත් නූතනත්වය තුළ, මානව සංහතියේ ඊළඟ පියවරයන් සාකච්ඡා කරන විසි එක් වෙනි සියවස තුළද, ලොවින් මුවා වී පවතින තත්වයක් බව සඳහන් කොට තැබිය යුතුය…

දැන් ඒ කෙටි හැඳින්වීම සිතෙහි දරා ගෙන, අප කුරීෂා සමඟ කළ සාකච්ඡාවට හැරෙමු…බටහිර රටක ගණිකාවක් කී විට, හොලිවුඩ් චිත්‍රපට වල ඔබ දැක ඇති, යාන්තමින් විලි වසා ගත්, විස්කි වීදුරුවකට අයිස් දමා පානය කරන, නිතර රතැඟිලි අග දුම් වැටියක් රඳවා ගෙන සිටින, සරාගී බැල්ම සහිත කාම ධේනුවක් ඔබට චිත්ත රූප තුළින් එතත්, කුරීෂා නම් ඒ ආකෘතියෙන් බැලු, බැල්මට බොහෝ බැහැරව සිටින්නියක බව සඳහන් කළ යුතුය…ඈ, අපව පිළිගන්නා විට හැඳ සිටියේ, ඉතාම සාමාන්‍ය බටහිර රටක තරුණියක් අඳින පළඳින අයුරින්මය….ඇතැම් විටක, ඈ මේ වෘතිය කරන ප්‍රදේශයේ, එම වෘතිය තහනම් නිසා, නීතියේ ඇසින් ගැලවීමට ඈ සාමාන්‍ය වස්ත්‍ර ආරක් අනුගමනය කරනවා විය යුතු බවට මමත්, මගේ සහෝදර සිසුවියත් අනුමාන කළෙමු…මූලික හැඳින්වීම් වලින් පසුව, ප්‍රශ්ණ ඇසීම අප ඇරඹීමු…

ලිවියා – ” අපට කියන්න පුළුවන්ද ඔබේ ළමා කාලය ගැන..කෙටි විස්තරයක් උනත් කමක් නෑ…එහි ඔබට මතක් කරන්න අකමැති දේ තිබෙනවා නම් නොකියා ඉන්න..”

කුරීෂා – “ඇත්ත වශයෙන්ම මගේ මුළු ළමා කාලයම මම මතක් කරන්න අකමැතියි..( සිනා සෙයි..) නමුත්, එහෙම උනොත් මට කියන්න දෙයක් ඉතිරි වෙන්නේ නෑ…මගේ අම්මත් ෆූෂාවක්…ඒ කියන්නේ ගණිකාවක්…අක්කලා දෙන්නමත් එහෙමයි..අපිව පුංචි කාළයේ ඉඳළාම පුරුදු කළේ මේ වැඩේට…මේවා කියන කොට ඔබලා පුදුම වෙන්න පුළුවන්…නමුත් අපේ රටේ එහෙම තමයි…අපේ ගමේ එහෙම තමයි…”

මම – ” පුංචි කාළයේ ඉඳළාම මේ වෘතියට පුරුදු කළා කීවේ?…එය පොඩ්ඩක් පැහැදිලි කළ හැකිද?…

ලිවියා – ” ඔව්, මමත් අහන්න ගියේ ඒකමයි…”

කුරීෂා – ” සත්තකින්ම…( ලිවියා දෙසට හැරී..) ඔයාගේ අම්මා, ඔයාට සංවරකම, වැදගත් කම, ලැජ්ජාව හුරු කරන්න ඇති…මගේ අම්මා මට හුරු කළේ ඒකෙ අනිත් පැත්ත…ඇඟ පත නිරාවරණය වෙන්න තමයි, කුඩා කළ සිටම අපිට ඇඳුමක් පවා ඇන්දුවේ…යාන්තම් හිට ගන්න පුළුවන් වෙච්ච කාළේ ඉඳළම නටන්න පුරුදු කෙරුවා…ඒ නැටුම් ඉගෙන ගන්න හරිම අමාරුයි…එච්චර පුංචි කාළෙදි අපි හරිම දුකක් විඳළා, ඒ නැටුම් වලට හුරු වුණේ…එක පාරක් නටලා ඉවර වෙන කොට, මුළු ඇඟ පතම රිදෙනවා…හරියට අක්කලා අඬනවා මම බලාගෙන හිටියා…පස්සෙ, මාවත් නටවනකොට, මමත් ඇඬුවා…ඔබ “ඉඟටි නර්තනයන්” දැක ඇති නම් දන්නවා, ඒ නැටුම් මොන තරම් අමාරුද කියලා…”

මම – “ඔබ කිව්වා, කුඩා කළ සිටම ඇඟ පත නිරාවරණය වෙන්න ඔබට ඇන්දුවා කියලා…ඔබේ රට මුස්ලිම් රටක්…බහුතරයේ ආගම ඉස්ලාම්…මේ පසුබිමේ එවැනි දේට අවසර තියෙනවද?..”

කුරීෂා – “ඕක හුඟ දෙනෙක් මගෙන් අහනවා…ඒක මම මෙහෙම කියන්නම්…”ෆුෂා” පවුල් කියන්නේ ශාපලත් පවුල්, හෙවත් අල්ලාහ් දෙවි තුමන් “අහක බැලූ” පවුල් ලෙස අපේ ගම්වල ඉස්ලාම් ආගම උගන්වන වැඩිහිටියන් සළකනවා…ඒ නිසාම, අපේ පවුල් වල දරුවෙකුට ඉස්කෝලෙ යන්නවත් අවස්ථාවක් නෑ…ආණ්ඩුව නම් අපිවත් මේ තත්වයෙන් එළියට ඇදලා ගන්න හුඟක් උත්සාහ කළා…ඉස්කෝල හැදුවත්, ඒවා තියන්න දුන්නේ නෑ පූජක වරු…ඔවුන් ඒවා විනාශ කර, ගුරුවරුන්ට තර්ජනය කරලා එළවා දැම්මා…ශාපලත් දරුවන් වැද්ද ගත යුතු නෑ, කියලා අපිව කොන් වෙලා හිටියේ…ඒ විදියට අපිව ආගමට වැද්ද ගත්තේ නැති නිසාම, අපි කරන මොනම දේකටවත් ඒ අනිත් යුවතියන්ට ආගමෙන් දමා තිබෙන නීති රීති දරුණුවට බලපෑවේ නෑ…අපේ ඇඟපත නිරාවරණය කළත්, මිනිස්සු අපි දිහා කෑදර කමෙන් බැලුවා මිසක්, මුකුත් කිව්වේ නෑ…”

ලිවියා – ” ඒ කියන්නේ ඔබව හැමදාටම ගණිකාවන්ම කර තබන්න, මුළු සාම්ප්‍රදායික ගමම උත්සාහ කළා කියන එක…”

කුරීෂා – “හොඳ අයත් හිටියා…නමුත් ඒ අය කථා කරන්න බයයි…ඔබ කියන දේ ඒ නිසා හරි…”

මම – “ඔබේ මල්ලිගේ මරණය ගැන ඔබට මතකද? එය ගැන මම වැඩි විස්තර ඇසුවාට කමක් නැද්ද?…”

කුරීෂා – “කමක් නෑ..මම මයි ඔබට කිව්වේ ඒ ගැන…( සිනා..)…මල්ලිට තිබුණේ පෙනහළු පිළිකාවක්…ඒක ඒ තරම් පොඩි දරුවෙකුට කොහොම හැදුණාද කියලා, කාටවත් හිතා ගන්න බැරි වුණා…සුව කරන්න බැහැ…අම්මාට සල්ලි දෙන්න, අපේ ගණු දෙණු කාරයෝ ඉදිරිපත් වුණත් ප්‍රශ්ණය තිබුණේ සල්ලි නෙමෙයි…ලෙඩේ හොඳ කරන්න බැරි කම…ඉතින් එයා මැරුණා…එයා දැන් දෙවියන් ළඟ හොඳින් ඇති…”

මම – “ඔබත්, ඔබේ සොහොයුරියන් දෙදෙනාත්, මේ වෘතියට මුල් වරට හඳුන්වා දුන් හැටි ඔබට මතකද?”..

කුරීෂා – ” ඔව්…මගේ අක්කලා දෙන්නා ගැන නම් ඒ හැටි මතකයක් නෑ…ඔවුන්ව වයස 15-16 තරම් කාළයේ වෙන්න ඕන මුලින්ම “ෆුෂා” සැතපුමට යැව්වේ…( “ෆුෂා සැතපුම” යනු තුර්කියේ ගණිකාවන් විකිණෙන නිල මඩම් වලට කියන නමකි…)..මගේ ගැන මම කියන්නම්…මාව යවන කොට වයස 15 ක් වගේ ඇති…)

ලිවියා – ” ඒ කියන්නේ බාල වයස් කාරියක්..බාල අපචාරයක්…?”

කුරීෂා – ( සිනා ) ” ඒවාට එහෙම කියන්නේ ඔබේ රටේ…අපේ රටේ ගම්වල ඔය නීති අහලාවත් නෑ…” ( තදින් සිනා..).. මාව අම්මායි, අම්මාගේ නංගියි එක්කගෙන ගියේ..අක්කලා එදා මට අමුතුවට හිනා උනා…ඒත් මට මේවා හංගන්න දෙයක් නෑ…ඒ වෙනකොටම මම දැනගෙන සිටියා, මට වෙන්න යන දේ…මොකද මේවා අමුතු දේවල් නෙමෙයි මට…පොඩි කාළේ ඉඳළම දන්නවා මේවා මොනවද කියලා මම…ඒත් මට එදා දවස මතක් කරන්න දුකයි…එතනින් එහාට නම් එදා වෙච්ච දේවල් මගෙන් අහන්න එපා…ඔයාලා, මගෙන් මෑතකදී උනු දෙයක් ගැන අහන්න…ඒත් එදා ගැන එතනින් එහාට අහන්න එපා…”

අපි – “නෑ..අපි එතනින් එහාට අහන්නේ නෑ…සමා වෙන්න…” ( මේ මොහොතේ මගේ සහෝදර සිසුවිය ලිවියා, ඇගේ අතකින් අල්ලා ඇයව සනසන්නට මෙන් සිනා සුනාය…නමුත් ඈ “නෑ මම හොඳින්..” කියමින් සිනාසුණි…)

කුරීෂා – “හැබැයි ඔය දෙන්නට මේක නම් කියන්නම ඕන…මගේ මුල් වටිනා කම ලීරා 150 ක් විතර ඇති…ඒක, ඒ ගමේ “ෆුෂා සැතපුමේ” හැටියට ඉතාම වටිනා මුදලක්…කොහොමත් අඩු වයසෙන් එහාට ගෙනන අය සඳහා, ගැණුම් කරුවන් විශාල මුදළක් දෙනවා…( මඳ සිනා…)…පටන් ගනිද්දිම මට හොඳ වටිනා කමක් තිබුණා…”

( මේ වචනය අප දෙදෙනාට වැදුණේ කම්පන තරංගයක් ලෙසය…මමත්, ලිවියාත් මඳ වේලාවක් මුහුණට මුහුණ බලාගෙන නිහඬව සිටියෙමි…)

මම – “ඔබ කොපමණ කළක් එතන සිටියාද? ඔබට ගෙදර යන්න අවසර ලැබුණද?”

කුරීෂා – ” ඒ ප්‍රශ්ණය ඔබ අහන්නේ, “ෆුෂා සැතපුම” ගැන ඔබ නොදන්නා නිසා…ඒකට එන ගැහැණු එතන නවතින්නේ නෑ…ඒක නිකං කිව්වොත් හරියට වෙළඳ පොළක් වගේ..ඔබලාගේ රටවල තියෙන ගණිකා නිවාස මෙන්, ඒකෙ ගණිකාවන් නතර වෙලා ඉන්නේ නෑ…ඒ අය ඇවිත්, තමන්ගේ කාළ සීමාව දවසකට කරලා, යළිත් සවසට හෝ පසුවදා උදෑසන නිවසට යනවා….මමත් එහෙම කළා…මම අවුරුදු 3 ක්ම එතන සිටියා..( ඒ අනුව ඇය වයස 15 සිට වයස 18 තෙක් එතැන සේවය කරන ලද බවට අනුමාන කරමි…)..”

මම – ” ඒ කියන්නේ ඔබ වගේම අනිත් අයත්, එනවා, ඒ කාළය එතැන ගැණුම් කරුවන් සමඟ ඉන්නවා..අනතුරුව ගෙදර යනවා…?”

කුරීෂා – “ඔව්…( සිනා…) හිතා ගන්න අමාරුයි නේද?…ගමක ගොවි පළක් වගේ…( ඈ තදින් සිනා සෙයි…)

ලිවියා – “මේ ප්‍රශ්ණයටම මම යමක් එකතු කළොත්, ඔබට කොයි වගේ ගණු දෙණු කරුවන්ද මුණ ගැසුනේ? ඔබට මතකද දළ වශයෙන්?…වැඩියෙන්ම ආවේ කවුද?…”

කුරීෂා – ” අපේ මේ ඈත ගමේ තැනට නම් ඉතින් වැඩිපුරම ආවේ, අවට ගම්වල ඉන්න ධනවත් මිනිස්සු සහ සෙල්ලක්කාර තරුණයන්…පිට රටක මිනිහෙක් ආවේම නෑ…ඉඳ හිටලා හෝ ලොකු නගර වලින් එන ධනවත් මිනිස්සු දෙතුන්, දෙනෙක්, කණ්ඩායම් වශයෙන් ආවා…එහෙම ආවාම, ඒ අයට විකිණෙන අයට හොඳ වාසි…සමහරවිට, ඒ අයට හිතට ඇල්ලුවොත් නගරයට එහෙම ගෙනිහින් දානවා…එහෙම යන්න අපේ අය හරි කැමතියි…මොකද මේ ගමේ වගේ නෙමෙයි නගරයේ හම්බ වෙන ආදායම…ඉස්තාන්බුල් වගේ ගියොත් ඉතින්, ජීවිත කාළෙටම හම්බ කර ගන්න පුළුවන්…”

මම – ” එහෙම යන්න ඔබටත් අවස්ථාව ලැබුණද?”

කුරීෂා – ” ඔබ කිව්වාම විශ්වාස කළ යුතුයි..මට තමයි ඒ කාළය තුල එවැනි අවස්ථා වැඩියෙන්ම ලැබුණේ…රාත්‍රී සමාජ ශාලා හිමියන් හුඟ දෙනෙක්, මාව ඇන්කාරා නගරයට ගෙනියන්න උත්සාහ කළා…ඒ අයගේ ශාලාවල නාටිකාංගනාවෝ අවශ්‍යයි කියලා…ඔබ දන්නවා නේ අපි කරන නැටුම් වර්ග ගැන…ඒවාට මම හරිම දක්ෂයි…ඒ ඇරෙන්න හුඟක සල්ලි තියෙන අය, මාව ඒ අයගේ ගෙදර නවත්ත ගන්න එක්ක යන්නත් උත්සාහ කළා…එහෙම කළේ එයාලගේ බිරින්දෑ වරු ඉන්දෙද්දිමයි…ඒ අපේ රටේ සමහර අයගේ හැටි…ඒවාට තහනමක් නෑ…”

මම – “ඉතින් ඔබ ගියාද?”

කුරීෂා – ” නෑ…මගේ සොහොයුරියන් දෙදෙනාම ගියා…මට අම්මා ගැන දුක හිතුණා…මල්ලි මැරුණා…අම්මා මහළු උනා…අම්මාට තියෙන ඉල්ලුම අඩු වෙලා ගියා…අම්මා තනි උනා…ඉතින් මට එයාව දාලා යන්න දුක හිතුණා…”

ලිවියා – “පුදුමයි ඔබට අම්මා ගැන වෛරයක් ඇති වුණේ නැති එක…”

කුරීෂා – “අනේ, ඇයි එහෙම වෙන්නේ?…අම්මාට කරන්න වෙන දෙයක් තියෙනවාද?..”

ලිවියා – “නෑ…මම කියන්නේ ඔබට මේ සිදු වෙලා තියෙන දේ හැටියට?. ඔබේ අම්මාමයි නේ ඔබව මෙයට හඳුන්වා දුන්නේ..?.”

කුරීෂා – ” ඉතින් ඒකටත් අම්මා මොනවා කරන්නද?..මම අම්මාට වෛර කරන එකේ තේරුමක් නෑ…මේක වෙන්න තිබුණු දෙයක්…මේක දෙවියන්ගේ කැමැත්ත…”

මම – “හොඳයි…ඉන් පසුව ඔබ කොහේටද ගියේ? ඒ “ෆුයිෂා සැතපුමෙන්” පසුව වෙන තැනක ජීවිතයක් ඔබට ලැබුණාද?..”

කුරීෂා – “ඔව්..මට වයස 20 ක් වගේ වෙද්දි, අපේ අම්මා මට කිව්වා නගරබද තැනකට යන්න කියලා…අම්මා හිතේ ලොකු දුකක් තියාගෙන හිටියා කියලා මට තේරුණා…අම්මා එහෙම කියන්න ඇත්තේ මගේ හොඳට…ඉතින්, මම මගේ සහෝදරියන් දෙදෙනාට කථා කළා…ඔවුන් දෙදෙනාම ඒ වන විට හිටියේ ඉස්තාන්බුල් වල…ඒ අය කිව්වා “එනවා නම් අම්මත් එක්කගෙනම එන්න” කියලා…”මැදිවියේ ගැහැණු අයටත් ඉස්තාන්බුල් නගරයේ ඉල්ලුමක් තියෙනවා” කියලා ඒ අය කිව්වා…පසුව අම්මාත් යන්න කැමති උනා…මගේ සොයුරියක් මට නිවාඩු නිකේතනයක නාටිකාංගනාවක් වෙන්න හදලා දුන්නා…මම ඒක කරන්න ඉස්තාන්බුල් වලට ආවා…පස්සෙදි මට හිතුණා, එහෙ පදිංචි වෙන්න ඕන කියලා….ඉතින් මම පදිංචි උනා…”

මම – ” මට මේවා අහද්දි මතු වෙච්ච ප්‍රශ්ණයක් තමයි, කොහොමද ඔබ අකුරු ලියන්න, කියවන්න, ඉංග්‍රීසි කථා කරන්න ඉගෙන ගත්තෙ කියන එක?…මොකද, ඔබම කී පරිදි, ඔබ පාසැල් ගියේත් නෑ…ඔබට යන්න දුන්නෙත් නෑ…”

කුරීෂා – ( සිනා ) ..” ඒක නම් උනේ ඉබේමයි…මම අහළ පහළ අයගෙන් ඉගෙන ගත්තා…අම්මාට හොඳට අකුරු ලියන්න,කියවන්න, පුළුවන්…ඇය මට ඉගැන්නුවා…සැතපුමට ගියාට පසුව එතනදිත් යමක් ඉගෙන ගත්තා…ඉස්තාන්බුල් වලදි මාව සේවයට ගත්තෙත් ඒ අය හොඳ පුහුණුවක් ලබා දීලා…ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තෙත් එතනදිමයි..මොකද අපිට විදේශිකයන් සමඟ කථා කරන්න, ගණු දෙණු කරන්න බොහොම සිද්ද උනා…ඉතින් ඉංග්‍රීසි නැතුව බෑනේ…නේද?…මට එතරම් හොඳටම ඉංග්‍රීසි ලියන්න, කියවන්න බෑ…ඒත් කථා කරන්න පුළුවන්…”

ලිවියා – “ඉතින් ඔබ කොහොමද බ්‍රිතාන්‍යයට ආවේ?”

කුරීෂා – ” ඒක අහම්බෙන් උනු දෙයක්…තුර්කියේ ඉගෙන ගත්ත ඉංග්‍රීසි ජාතික කළු ජාතිකයෙක් මට මෙහෙට එන්න අවස්ථාව දුන්නේ…එයා මේ රටේ පුරවැසියෙක්…වතා කිහිපයක්ම ඔහු මගේ ගණු දෙණු කරුවෙක් හැටියට ආවා…ඔහු මට හුඟක් කැමති උනා…ඔහුට උවමනා උනා, එංගලන්තයේදිත් මාව හමුවන්න…මාව ඇසුරු කරන්න…ඔහු කීවා, “ඔහුව විවාහ කරගෙන, එංගලන්තයට යන්න වීසා ලබා ගන්න” කියලා…මගේ සොයුරියන් දෙදෙනාගෙන් එක්කෙනෙකුටත්, ඒ වන විට ජර්මනියට යන්න අවස්ථාව ලැබිලා තිබුණේ…ඇය මට කීවා, “ඔයා ඒ ගමන යන්න…තුර්කියේ වගේ නෙමෙයි, යුරෝපයේ හොඳට සල්ලි ලැබෙනවා” කියලා…මට මුලදි හිතුණා, මම ලොකු අමාරුවක වැටෙන්න යනවා කියලා…ඒත්, මම මොනවට බය වෙන්නද?…මම එහෙම හිතලා, ඒ යෝජනාවට කැමති උනා….ඉතින් මට මෙහෙ එන්න ලැබුණා….ඔහු තාමත් එනවා මාව මුණ ගැසෙන්න…”

මම – “ඔහු ඔබට ආදරය කරනවා වෙන්න පුලුවන්…”

කුරීෂා – ( තදින් සිනා…) “මට ආදරය කරන අය ඉඳියිද?…එහෙම ඉන්නවා කියලා ඔබ හිතනවද?…( සිනා…) …ඔබට පුළුවන්ද මට ආදරය කරන්න…?…( ලිවියා දෙසට හැරී ) ඔබට හැකිද මට ආදරය කරන්න..?”

මම – “මට පෙම්වතියක් ඉන්නවා මගේ රටේ…ඇය නොසිටියා නම්, ඔබට ආදරය කරන්න හිතුණොත්, එහෙම කරන්නත් බැරි කමක් නෑ…” ( සිනා..)

ලිවියා – “මමත් තරුණියක් නිසා, මට වෙනත් තරුණියක් ගැන එහෙම හිතෙන්නේ නෑ…එහෙම හිතෙන කෙනෙක් උනා නම්, ඔබට ආදරයක් ඇති උනොත්, අනිවාර්යෙන්ම එහෙම කරනවා…”

කුරීෂා – ” ඔය දෙන්නා හොඳ බොරු කාරයෝ….මම දන්නවා මගේ හිත හදන්න කියන කථා ඕවා කියලා…ඔයාලා මාව චාටු කරලා, මගෙන් තව දේ අහ ගන්න නේ හදන්නේ…මම ඒකට අහු වෙන්නේ නෑ…” ( අපට සිනා…)

මම – ” ඉතින් ඔබ මේ ජීවිතයේත්, ඒ රටේ ගෙවපු ජීවිතයේත් දකින වෙනස මොකක්ද? ඔබ මෙහෙට කැමතිද?…නැත්නම් ඔබේ මව්බිමට කැමතිද?..”

කුරීෂා – ” ඒකට වඩා මම මෙහෙට කැමතියි…මගේ මව්බිම වෙච්ච පමණින් ඒ රටට ආදරය කරන්න මට බෑ…මම එහෙ මිනිස්සුන්ට වඩා, මෙහෙ මිනිස්සුන්ට කැමතියි…එහෙ මිනිස්සු බලන්නේ තමන්ගේ වාසියමයි…හරි වංචා කාරයෝ…ඒ වගේම ඒ අය, අපේ පවුලේ අයට හොඳින් සැළකුවා කියන්න බෑ…මම ඒවා ගැන කියන්න කැමති නෑ, ඔයාලා ඉස්සරහා….නමුත් මේ රටේ, මට සැප පහසු ජීවිතයක් තියෙනවා…සල්ලි ලැබෙනවා හොඳින්…කාටවත් බයේ ඉන්න ඕනෑ නෑ…මටත් මනුස්සයෙකුට වගේ සලකනවා…නිදහස්…මම මෙහෙට කැමතියි වඩා…”

ලිවියා – “ඉතින්, ඔබ මෙතන ඔබේ ජීවිතය ගත කරන්නේ කොහොමද?…මම කියන්නේ ඔබේ වෘත්තිය…?”

කුරීෂා – “මම මෙහෙදි , එහෙ තරම් වෙහෙස වෙන්නේ නෑ…රැකියා තුන, හතර කරන්නෙත් නෑ…මට ලැබෙන මුදළ හොඳටම ඇති මට ජීවත් වෙන්න සැපෙන්…මම මෙහෙ රාත්‍රී සමාජ ශාලා දෙකක නාටිකාංගනාවක් වශයෙන් කටයුතු කරනවා….ඒවායේදී මගේ රැඟුම් බලා, මට කැමති වන ගණු දෙණු කරුවන්ගෙන්, තෝරා ගත් පිරිසකට පමණක් මම ගෙදරට එන්න පාර කියනවා…ඒ අය එක්ක ඉන්නවා…ඒ අය ඇසුරු කරනවා…ඒ ඇරෙන්න වැඩි දෙයක් පස්සේ යන්න මට ඕන නෑ…මා කළින් සඳහන් කළ ( නමක් පවසයි..) මට උදව් කළ කෙනාත් මට හුඟක් මුදල් දෙනවා…ඔහු කැමති නෑ, මම හුඟ දෙනෙක්ව ඇසුරු කරනවාට….සමහර විට ඒ ඔබ කියපු “ආදරය” නිසා වෙන්න පුලුවන්….( මා දෙස බලා සිනා සෙයි ) …ඉතින් ඔහොමයි…හුඟක් සැහැල්ලුයි….”

මම – “ඔබෙන් මේ ප්‍රශ්ණය ඇසුවාට කමක් නැද්ද මම දන්නේ නෑ…නමුත්, අකමැති නම් පිළිතුරු දෙන්න එපා…ඔබ එච්.අයි.වී ආසාදනය වැනි භයානක සමාජ රෝග වලට බිය නැද්ද?…මෙවැනි රෝග ඔබට වැළඳෙයි කියා හිතේ කිසිම බියක් නැද්ද?…මම කියන්නේ ඔබ කරන වෘතිය අනුව, ඔබට එවැනි රෝගයකට නිරාවරණය වීමේ හැකියාව හුඟක් ඉහළ නිසයි…”

කුරීෂා – ” ඒ බය මම දැන් ඉවත් කරගෙන බොහොම කල්…ඇත්තටම මට මෙහෙදිට වඩා, ඒකට බය වෙනවා නම්, බය වෙන්න තිබුණේ තුර්කියෙදි…මෙහෙ හැසිරෙන අය ආරක්ෂිතව හැසිරෙන්න දන්නවා…ඔවුන් ආරක්ෂිත ආවරණ පළඳින්න දන්නවා…නමුත් ඉස්තාන්බුල් වලදි, සහ විශේෂයෙන්ම අපේ ගමේදි මට මුන ගැසුණු අය වැඩි දෙනෙක් ඒ ගැන දන්නෙවත් නෑ…අහලා වත් නෑ සමහරු…අනෙක ඉස්ලාමයේ හැටියට, ඒවැනි ආරක්ෂක කොපු ආදිය පළඳින්නත් තහනම් කරලා තිබුණේ…නමුත්, මොනවා කරන්නද? බයෙන් හිටියාය කියලා ඵලක් නෑ…බය කරන අය මට කන්න ගෙනත් දෙන්නේ නෑනේ…උපදෙස් දෙන අය කොච්චරවත් හමුවෙලා තියෙනවද?…ඒත් ඒ අය මට රෑ කෑම එක ඇණවුම් කර දෙන්නේ නෑනේ…මට දැන් ඇත්තටම බයක් නෑ…”

ලිවියා – ( මා දෙසට හැරී ) ” අවසාන ප්‍රශ්ණය මම අහන්නම් සහෝදරයා…” ( මම එය අනුමත කළෙමි..) ..”ඔබ ජීවිතය ගැන සතුටින්ද ඉන්නේ?..ඔබට අනාගත බලාපොරොත්තු තියෙනවාද?…ඔබ ජීවිතය ගැන පසු තැවෙනවාද?…ඔබට මේ ජීවිතයෙන් මිදී, වෙන රැකියාවක් කරන්න උවමනාවක් තිබෙනවාද?…මම දන්නේ නෑ, මම ප්‍රශ්ණ ගොඩක් එක සැරේට අහපු එක හරිද කියලා…”

මම – “ලිවියා, ඔයා ඒ ප්‍රශ්ණ ටික කඩලා ඇහුවා නම් තමයි හොඳ, වාර්ථාව තියා ගන්නත් එක්ක..” ( සිනා…)

කුරීෂා – ” නෑ, නෑ කමක් නෑ..( තදින් සිනා…), ඇය ප්‍රශ්ණ තුවක්කුවක්….( අපටත් සිනා..)..ඉතින් අහපු දේට මම මොනවද කියන්නේ?…ජීවිතේ ගැන…අනේ මන්දා?…මෙහෙ ආපු එක ගැන සතුටුයි…මේ රටේ දිගටම ඉන්න ලැබීම ගැනත් සතුටුයි…මට වාහනයක් තියෙනවා…ගෙයක් තියෙනවා…ඒවා ගැන සතුටුයි…හොඳ ඇඳුම් අඳිනවා…වටිනා කෑම කනවා…ඒවා ගැන සතුටුයි…අම්මට මාස් පතා යම් මුදළක් යවනවා…ඒක ගැන සතුටුයි…මම මගේ සහෝදරියන් දෙදෙනාව දැන් ආශ්‍රය කරන්නේ නෑ…ඔවුන් මගේ සහෝදරියන් වීම ගැන මට දුකයි…ඒ අය අම්මාට සල්ලි යවන්නේ ණෑ.. එයාලා හරිම ආත්මාර්ථකාමීයි…මම සල්ලි නොයැව්වොත් අම්මා බඩ ගින්නේ මැරිලා යාවි…එයාට දැන් සල්ලි හම්බ කරන්න බෑ…ඔබට තේරෙනවා ඇති මම කියන දේ…මට ඉතින් දුකකුත් නෑ…අනේ මන්දා…මහ ලොකු සතුටකුත් නෑ…මට ඒ කිසිම දේකට අයිතියක් නෑ වගේ දැනෙනවා…මේ රස්සාවෙන් අයින් වෙන්න මට වෙන කිසිම දේකට සුදුසු කමක් නෑ…මම හිතන්නේ නෑ, දැන් මට අයින් වෙන්නත් පුළුවන් කියලා…මම මේකට හුරු වෙලා…ඒත් අයින් වෙන්න ලැබෙනවා නම්, මම කැමතියි…ඒත් මටත් ජීවත් වෙලා, අම්මාටත් සල්ලි යවන්න හොඳ රස්සාවක් වෙන්න ඕන…මට ඒකට එක එල්ලේ පිළිතුරක් දෙන්න බෑ…”

මම – “ඔබට අනාගත බලාපොරොත්තුවක් තියෙනවාද?” ( මඟ හැරී ගිය ප්‍රශ්ණය මතක් කර දුන්නෙමි…)

කුරීෂා – ” තියෙනවා…ඔබට, ඇයට, වගේම මටත් තියෙනවා…මේ විදියටම සැපෙන් ජීවත් වෙන්න ඕන, දිගටම…ආපහු දුක් විඳින්න බෑ…ගමේදි වින්දේ පුදුම දුකක්…පොඩි වයසෙදි උනු දේවල් මම මතක් කරන්න කැමති නෑ…ඉස්තාන්බුල් වලදිත්, හුඟක් කරදර වින්දා…මම, මගේ ගැන දුක් වෙන්නේ නෑ…මේ රටේ ඉන්න කල්, කවදා හරි මට ආණ්ඩුවෙන් වත් කන්න දේවි, “සෝෂල් බෙනිෆිට්” එකෙන් වත් යම් “ඩෝල්” එකක ( ඉතාම දිළිඳු කොටස් වෙත බ්‍රිතාන්‍ය රජය ලබා දෙන සුභ සාධන වේතනය…) වත් මට ලැබෙයි…මම දැකලා තියෙනවා, මගේ රටේදි, වයසට ගිය හුඟක් “ෆුෂාවන්”, ගණු දෙනු කරුවන් එන එක නැවතුණාට පස්සේ, අනන්ත දුක් විඳලා, දරුවන්ගෙනුත් ගුටි කාළා, කන්න නැතුව මැරිලා යන හැටි…අපේ අයට තියෙන ලොකුම බිය තමයි, වයස් ගත වීම….මට එහෙම බය වෙන්න දෙයක් නෑ, වයසට ගියත්…ඉතින් මම දුක් වෙන්නේ නෑ….මේ තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත…දෙවියන් මාව මෙතනට දැම්මේ, එයාට මොකක් හරි හිතිච්ච දෙයක් නිසානේ…කවදා හෝ මාව මෙතනින් ගන්නෙත් එයා…එයා මට “ඔහොම හිටපං” කියලා කියන කාළයක් මම ඉන්නම්…වෙනස් කෙනෙක් වෙන්න තිබුණා නම් හොඳයි…ඉගෙන ගන්න තිබුණා නම් හොඳයි…හ්ම්…මොනව කරන්නද?..එහෙම දෙන එකක් නෑ එයා මට…”

මම – ” ඔබට පූජ්‍ය පක්ෂයේ අය හෝ වෙනත් උපදේශණ සේවා වල අය ඇවිත් උපදෙස් දුන්නේ නැද්ද? අළුත් ආරම්භයක් ගැන…”

කුරීෂා – ( සිනා ) ” මොකද නැත්තේ?…සතිපතාම එනවා…එක, එක පල්ලි වලින් එනවා…ක්‍රිස්තියානි පල්ලි, මුස්ලිම් පල්ලි…එක, එක කණ්ඩායම්, එක, එක දොස්තරලා, තරුණ කණ්ඩායම්..( සිනා…)  මම එයාලට කියන්නේ “කරුණාකරලා මට දේශන තියන්න එන්න එපා…දේශණ තියන අයට මට උදව් කරන්න බෑ කියලා මම දන්නවා…පුළුවන් නම් මට සල්ලි දීලා යන්න…නැත්නම් මට මාස් පතා පඩියක් එවන්න…එතකොට මම මේකෙන් මිදෙන්නම්…එතකොට මම ඒ අය කියන පල්ලි වලට එන්නම්…එතකොට මම “භාග්‍යවන්තියක්” වෙන්නම්…( තදින් සිනා…)..එහෙම බැරි නම්, කරුණාකරලා මට දේශණ තියන්න, උපදෙස් දෙන්න එන්න එපා…එයාලා ඔක්කොම හොරු…ඔක්කොම බොරු කාරයෝ…එයාලාට උවමනාවක් නෑ, ඇත්තටම අපි වගේ අයට උදව් කරන්න….එහෙම පඩියක් එවන්න…සල්ලි නැතුව කොහොමද හොඳ කෙනෙක් වෙන්නේ?…මට “ටෙස්කෝ” එකෙන් පාන් ගෙඩියක් එවනවාද ඒ ගොල්ල…?…”

අපි ඇගෙන් සමුගෙන, ඇගේ නිවසින් පිටව, මහ මඟට අවතීර්ණ වීමු…මඳ දුරක් එන තෙක්ම, ලිවියා සහෝදරියවත්, මමවත් වචනයක් වත් නොදෙඩීමු…මුලින්ම හඬ අවදි කළ ලිවියා මගෙන් ඇසුවේ..”ඔබට මොකද හිතෙන්නේ?” යන්නය…

“ඔබට හිතෙන දේමයි…” මගේ පිළිතුර විය…

( 23-07-2011)

( පසු වදන )

මෙය කිසිදු ආගමකට හෝ ජාතියකට හෝ සංස්කෘතියකට ගැරහීමට කරන උත්සාහයක් නොවේ…අප අවට පවතින ලෝකයේ, ඇස් මානයෙන් පහළ මොන තරම් දේ පවතිනවාද යන්න පිළිබඳව, අප විසින් කරන ලද ගවේෂණයක් ඇසුරෙන් ඔබ වෙත කරන ඉදිරිපත් කිරීමකි…මෙවැනි ප්‍රශ්ණ අතෝරකින් තොරව දැවෙන ලෝකයට විසඳුම් තිබේද යන්න, තම, තම නැණ පමණින් විසඳා ගත යුතු ගැටළුවකි…නො එසේ නම්, මේවා කියවා බලා තමන්ගේ පාඩුවේ සිට්න්නටද ඔබට හැක…කුරීෂා එක් යුවතියකි…අඩු වයස් දැරියන් දළ වශයෙන් හත් ලක්ෂයක් මේ ලිපිය ඔබ කියවන මොහොතේත්, මැද පෙරදිග පුරා, “කුරීෂා ගේ මාවතට” දමනු ලබමින් සිටිති…මුළු ලොව පුරාම ඒ ගණන කෝටි ගණනක් වුවද විය හැක…..

කාළ තරණ යන්ත්‍රයක් සාදා ගන්නේ කෙසේද…? – මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග්

( මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් යනු ඇල්බට් අයින්ස්ටයින්ට පසුව මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙසද, මෑතකදී මිනිසා දුටු විශිෂ්ඨතම විශ්ව න්‍යාය විද්‍යාර්ථයාණන් ලෙසද සැළකේ….එතුමන් විසින්, එතුමන්ගේම පරිඝණක කට හඬ යොදාගෙන සහ බෙනෙඩික්ට් කම්බර්බැච්ගේ ගැඹුරු ස්වරය සහ මාටින් විලියම්ස්ගේ අධ්‍යක්ෂණය යොදාගෙන කරවූ ඩී.වී.ඩී තැටි පෙළක් ඇසුරෙන් ( Stephen Hawking`s Universe – Trio of DVDs) , එතුමන්ගේ මේ කාළ තරණ න්‍යායන් සම්බන්ධ ඉතාම සැකෙවි විග්‍රහය, සිංහල පාඨකයන්ගේ හිතසුව පිණිස මෙසේ පරිවර්තනය කරමි…ඩී.වී.ඩී පට පෙළ අන්තර්ජාලයට එක් කිරීමට නුදුරේදීම කටයුතු කරමි…)

 

මගේ නම ස්ටීවන් හොව්කින්ග්. භෞතික විද්‍යාඥයෙක්, අභ්‍යාවකාශ විද්‍යාඥයෙක්, ඒ වගේම එක්තරා විදිහකට හීන දකින්නෙක්….මට සෙලවීමට පවා නොහැකි උනත්, පරිඝණකයක් ආධාරයෙන් කථා කරන්නට සිදුවුණත්, මගේ මනස නිදහස්….එය බොහොම නිදහස් මේ විශ්වය ගවේෂණය කරන්නත්, ලොකු, ලොකු ප්‍රශ්ණ අසන්නත්…” කාල තරණය කළ හැක්කක්ද? අපට අතීතයට දොරටුවක් විවර කළ හැකිද?..එහෙමත් නැත්නම් අනාගතයට යන්නට කෙටි මාවතක් සොයා ගන්නට පුළුවන් වේවිද?..අපට සොබාදහමේ නීති යොදාගෙන, කාළයේ පවා ස්වාමීන් වන්නට හැකියාව තිබෙනවද?…” මෙවැනි ලොකු ප්‍රශ්ණ මට අහන්න නිදහස් මනසක් තිබෙනවා….

 

එක්තරා කාළයකදී, මේ කාළ තරණය කියන විද්‍යාත්මක ප්‍රවාදයක්, නැත්නම් හුදු ප්‍රබන්ධයක් පමණක් වෙලා තිබුණා…ඒ කාළයේ තිබුණු මතවාද සහ අල්ප දියුණුව නිසාම මම, පිස්සෙකු ලෙස හඳුන්වනු ලැබීමෙන් වැළකීමට ඒ ගැන වැඩි යමක් කථා කළේ නෑ…නමුත් මේ කාළයේදී නම් මම ඒ ගැන එතරම් පරිස්සම් වෙන්නේ නෑ…සත්තකින්ම, මම ටිකක් දුරට අර ශිලාස්ථම්භයන් ( Stonehenges of England) එංගලන්තයේ හදපු මිනිස්සු වගේ…මම “කාළය” නැමති සංකල්පයට ඇබ්බැහි වෙලා ඉන්නේ…මට කාළ තරණ යන්ත්‍රයක් එහෙම තිබුණා නම්, මම මැරිලීන් මොන්‍රෝ නළඟන, ඇගේ ජීවිතයේ හොඳම කාළයේදී ගිහින් මුණ ගැහෙනවා…එහෙමත් නැත්නම් ගැලීලියෝ තම දුරේක්ෂය අහස දෙසට හරවද්දී ඔහු හමුවට යනවා…ඇතැම් විට මම විශ්වයේ අවසානය තෙක්ම යන්න තිබුණා, අපේ අභ්‍යාවකාශ කතන්දරය අවසන් වන අයුරු බලාගෙන එන්න…

 

මේක කළ හැක්කක් වන්නේ කොහොමදැයි නිර්ණය කරන්නට අපිට සිදුවෙනවා “කාළය” දෙස භෞතික විද්‍යාඥයන් බලන විදිහට බලන්න…එනම් කාළය යනු “සතරවැනි මාණයයි” ( Fourth Dimension) යන න්‍යායෙන් බලන්න අපිට සිද්ද වෙනවා…ඒක ඔය ඇහෙන තරම් අමාරු දෙයක් නෙමෙයි…ඉස්කෝලෙ නිසි පරිදි යන සෑම ඉස්කෝලෙ ළමයෙකුම දන්නා දෙයක් තමයි, භෞතික වස්තුවක් මාණයක් තුනක, නොහොත් “ත්‍රිමාණව” පැවතීම…මම මේ මගේ පුටුවේත් මානයන් තුනක ඉඳගෙන ඉන්නවා…හැම දෙයක් සතුවම, දිගක්, පළලක් වගේම උසකුත් තියෙනවා…

 

 

නමුත්, තව වර්ගයක දිගක් තිබෙනවා…මේ “දිග” යනු “කාළයේ දිගයි”…මිනිසෙකුට ජීවත් වී ගත හැක්කේ අවුරුදු 80 ක් වුණාට, ශිලාස්ථම්භයන්ගේ ගල් කණු අවම වශයෙන් අවුරුදු දහස් ගණනක් පවතිනවා…සෞර ග්‍රහ මණ්ඩලය වසර බිලියන ගණනක් පවතිනවා..හැම දෙයක් සතුවම කාළයේ සහ අවකාශයේ දිගක් තිබෙනවා…කාළය හරහා ගමන් කරනවා කියන්නේ “මෙන්න මේ හතර වැනි මානය” හරහා ගමන් කරනවා කියන එකයි..

 

මෙහි අර්ථය කුමක්දැයි සළකා බැලීම සඳහා, අපි හිතින් මවා ගමු, අපි දිනපතා කාර් එකකින් ගමනා ගමනයේ යෙදෙනවා කියලා…එක සරල රේඛාවක රථය පැදෙව්වොත් ඔබ චලනය වන්නේ එක මාණයක ( Mono Dimensional Drive ) පමණයි…වමට හෝ දකුණට හැරෙව්වොත්, එය ද්වි-මාණ වෙනවා ( Two Dimensional)…වංගු සහිත කඳු පාරක ඉහළට රිය පැදෙව්වොත් එයට “උච්ඡය / උන්නතාංශ මානය ( උස ) ” එකතු වී, එය ත්‍රිමාණ ( Three Dimensional Drive ) රිය පැදවීමක් වෙනවා…

 

නමුත් කොහොමද අපි කාළ මාණය හරහා යන්නේ? අපි සිවුවැනි මානය හරහා මඟක් සොයා ගන්නේ කොහොමද?

 

 

අපි සුළු මොහොතකට විද්‍යා ප්‍රබන්ධයකට ඉඩ දෙමුකෝ…හුඟක් කාළ තරණ චිත්‍රපටි වල, විශාල ශක්තියක් වැය වන, ශක්ති කුසගින්න සහිත යන්ත්‍ර තමයි දක්වන්නේ….ඒ යන්ත්‍ර කාළය හරහා මඟක් හදනවා…ඒක කාළය හරහා “උමඟක්” කිව්වොත් වඩා නිවැරදියි…ඔන්න කාළ තරණය කරන්නෙකුත් ඉන්නවා…නිර්භීත, රැවටිය නොහැකි, ඕනෑම දේකට මුහුණ දෙන්න සූදානම් කෙනෙක්…ඔහු මේ “කාළ උමඟට” පය තබා, තමන් නොදන්නා කාළයකින් මතු වෙනවා…මෙම සංකල්පය හුඟක් ඈතකදි සිදුවන්නක් වෙන්න පුළුවන්, ඒ වගේම යථාර්තය මීට වඩා බොහොම වෙනස් වෙන්න පුළුවන්, නමුත් මේ අදහස නම් එතරම් විකාර රූපී අදහසක් නෙමෙයි…

 

භෞතික විද්‍යාඥයනුත් කාළය හරහා පවතින උමං ගැන කල්පනා කර බැලුවා, නමුත් අපි ඒකට එන්නේ වෙනත්ම කෝණයකින්. අපි කල්පනා කරන්නේ අනාගතයට හෝ අතීතයට යන දොරටු, සොබා දහමේ නීති වලට අනුව ඇත්තටම පවතින්න පුළුවන්ද කියන කාරණය..වෙන මොනවද ඉතින්, අපි එහෙම දොරටු වලට නමකුත් දී තිබෙනවා : “පණු ගුල්” කියලා… ( Worm Holes of Time ) ඇත්තම කිව්වොත් මේ පණුගුල් අපි වටා තිබෙනවා. නමුත් ඒවා දකින්න බැරි තරම් ක්ෂුද්‍රයි.. මේවා පවතින්නේ කාළයේ “සිදුරු” සහ “මුලු” වල..මේ සංකල්පය ඔබට තරමක් අසීරු වෙයි අවබෝධ කරගන්න…නමුත් මා එක්ක රැඳී ඉන්න…

 

 

 

( ..”පණුගුල්” යනුවෙන් හැඳින්වෙන්නේ කාළයේ ස්ථාන දෙකක් යා කරන, ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයෙහි පෙර දකින ලද, සෛද්ධාන්තික උමං මාර්ගයකි…එසේ නැති නම් කාළය හරහා ඇති කෙටි මාර්ගයකි..මෙහි දැක්වෙන්නේ එබඳු පණු ගුලක ත්‍රිමාණ රූප සටහනකි…මෙහි සෘණ  ශක්ති අවස්ථාව අවකාශය සහ කාළය උමඟෙහි විවරයට අදිනු ලබන අතර, ඒවා වෙනත් විශ්වයකින් මතු වේ..මෙවැනි තත්වයන් කල්පිතයන්ට පමණක් සීමා වී ඇති අතර, කිසිවෙකුත් කෙදිනකවත් මේවා දැක නැත…නමුත් චිත්‍රපට ගණනාවක මෙවැනි දේ හුවා දක්වා තිබේ…)

 

කිසිවක් සමපෘෂ්ඨීය හෝ ඝනීභූත නැත…ඔබ හොඳින් බලයි නම්, ඒවා සියල්ලේම රැළි සහ හිල් දක්නට ලැබෙනු ඇත…මෙයම කාළය සම්බන්ධවද අදාළය..පූල් ක්‍රීඩාව සඳහා යොදා ගන්නා බෝලයක් වැනි සුමට දෙයකද, ඉතාම කුඩා රැළි, පළුදු සහ හිල් ඇත…පළමු ත්‍රිමාණ සම්බන්ධයෙන් නම් මෙය සත්‍යයක් බව පෙන්වා දෙන්න පුළුවන්..නමුත් මාව විශ්වාස කරන්න, මෙයම කාළ මාණය හෙවත් සිවුවැනි මාණය සම්බන්ධවද අදාළයි…ඉතාම කුඩා පළුදු, පරතර සහ හිල් කාළයේත් තියෙනවා…ඒවා අතිශයින්ම කුඩා ඒවා වන අතර, ක්ෂුද්‍ර අණු වලටත් වඩා කුඩායි..කුඩාම අණු වලටත්, පරමාණු වලටත් වඩා පහළට යන විට අපි එනවා “ක්වන්ටම් පෙණ” නම් තත්වයට…මේ කාළ පණුගුල් තියෙන්නේ එතනයි…කාළය සහ අවකාශය හරහා කුඩා උමං මාර්ග සහ කෙටි පාරවල් නිරතුරුවම ඇති වීම, නැති වීම සහ යළිත් ඇති වීම තමයි මේ ක්වන්ටම් ලෝකය තුළ දිගටම සිදු වෙනවා…

 

ඇත්ත වශයෙන්ම මේවා, වෙනස් ස්ථානයන් දෙකක් සහ වෙන් වෙන්ම කාළ දෙකක් එකට යා කරනවා…

 

අවාසනාවකට, මේ සැබෑ ලොවෙහි කාළ උමං, සෙන්ටිමීටරයකින් බිලියන- ට්‍රිලියන -ට්‍රිලියනයකින් එකක් තරම් ක්ෂුද්‍රයි…මිනිසෙකුට හෝ වෙනත් කිසිවකට ඒ හරහා ගමන් කළ නොහැකි තරමටම ක්ෂුද්‍රයි…සමහර විද්‍යාඥයන් සිතනවා, මෙයින් එක පණු ගුලක් අල්ලා ගෙන, එය ට්‍රිලියන ගුණයකින් විශාල කළොත් මිනිහෙකුට හෝ අභ්‍යාවකාශ යානයකට

මේ තුළට පිවිසිය හැකි අයුරකින් සකස් කරන්නට ලැබේවි කියලා..

 

 

අවශ්‍ය තරම් බලය සහ අධි තාක්ෂණය දුන්නොත්, ඇතැම් විටක යෝධ පණු ගුලක් අවකාශයේ තනා ගන්න පුළුවන් වේවි…මම කියන්නේ නෑ එහෙම කරන්න අනිවාර්යෙන්ම පුළුවන් වෙයි කියන එක…නමුත් කළ හැකි වෙන්නත් ඉඩ තියෙනවා..හැබැයි යම් දිනක එවැන්නක් හැදුණොත් එය ඉතාම ආශ්චර්යමත් දෙයක් වේවි..එහි එක කොණක් පෘතුවිය අසළත්, අනිත් කොණ ඉතාම දුර බැහැර ග්‍රහ ලොවක අසළත් තියෙන්න පුළුවන්..

 

සෛද්ධාන්තිකව, මේ කාළ උමං හෝ පණුගුල් වලට පුළුවන් අපිව වෙනත් ග්‍රහ ලෝක වලට ගෙන යනවාට වඩා හුඟක් දේ කරන්න…මේවායේ කොන් දෙකම තිබෙන්නේ එකම තැන නම්, “දුර” මත වෙන් නොවී, “කාළය” මත පමණක් වෙන්වෙලා නම් තියෙන්නේ, අභ්‍යාවකාශ යානයකට හැකි වෙයි මෙතුළට ගොස්, නැවත පෘතුවිය අසළින්ම මතු වෙන්න, නමුත්, බොහෝ ඈත අතීතයේ පෘතුවිය අසළින්…සමහරවිට ඩයිනෝසරයන්ට හැකියාව ලැබෙයි, එවැනි ගුවන් නැවක් බිමට බාන්න එන හැටි දැක ගන්න…

 

මිහිපිට මිනිසා විසින් තනපු වේගවත්ම යානය තමයි ඇපලෝ 10 රොකට්ටුව..එය පැයට සැතපුම් 25,000 ක වේගයක් ලබා ගත්තා..නමුත්, කාළය තරණය කළ යුතු නම්, අපි ඒ වගේ 2000 ගුණයක වේගයක් ලබා ගත යුතුයි, අවම වශයෙන්…

 

දැන් මට තේරුම් යනවා, මේ චතුර්-මාණ චින්තනය කියන එක එතරම් පහසු දෙයක් නොවේය කියලා..ඒ වගේම මේ “පණුගුල්” කියන එකත් ඔබේ ඔලුවට දා ගන්න ඉතාම අපහසු සංකල්පයක්, නමුත් රැඳී ඉන්න දිගටම. මම හිතා ගත්තා ඉතාම සරල පරීක්ෂණයක්, මේ මිනිස් කාළ තරණය කළ හැකි දෙයක්ද, අනාගතයේ වත් කියන එක නිර්ණය කරන්න…මම කැමතියි සරල පරීක්ෂණ වලට සහ ෂැම්පේන් වලට…

 

ඒ නිසා, මම ඒ කැමති දේවල් දෙක ( සරල පරීක්ෂණ සහ ෂැම්පේන් ) එකතු කළා, මිනිසාට අතීතයට හෝ අනාගතයට කාළ තරණයන් කරන්න පුළුවන්ද කියලා බලන්න…

 

දැන්, අපි හිතමුකෝ මම සාදයක් පවත්වනවා, අනාගතයේ සිට එන කාළ තීර්ථ යාත්‍රිකයන්ව පිළිගන්න…නමුත්, පොඩි දෙයක් තියෙනවා…මම මේ මොහොතේ ඉන්න කිසිම කෙනෙකුට මේ ගැන කියන්නේ නෑ, සාදය අවසන් වන තුරුම…!!( වර්ථමානයේ ඉන්න කිසි කෙනෙකුට ඇරයුම් කරන්නේ නෑ…සාධ වේලාව අවසන් වන තුරුම මේ ගැන කියන්නෙත් නෑ කාටවත්ම..) .. මම හැදුවා ආරාධනා පත්‍රයක්, කාළයේ සහ ස්ථානයේ ප්‍රශස්ථ ඛණ්ඩාංක භාවිතා කරලා…( අනාගතයෙන් එන්න ඉන්න කාළ යාත්‍රිකයෙකුට සාදය පැවැත්වෙන තැන සහ නියම අතීත වෙලාව සොයා ගන්න…)

 

මම ප්‍රාර්ථනා කරමින් ඉන්නේ, ඒ ආරාධනා පත්‍රයේ පිටපත්, මොන විදියකින් හෝ වසර දහස් ගණනක් සුරැකිව තිබේවි කියලා…අනාගතයේ යම් කිසි දවසක ජීවත් වෙන කෙනෙක් ඒ මගේ ආරාධනාව ගැන තොරතුරු සොයාගෙන, “පණුගුල් කාළ යන්ත්‍රයක්” ( Worm Hole Time Machine ) හරහා, මගේ සාදයට පැමිණිලා, ඔප්පු කරයි අනාගතයේ හෝ කාළ තරණය “කළ හැකි දෙයක්” බව….( මහාචාර්ය හෝකින්ග් තම සිසු, සිසුවියන්ට මෙය කීවා පමණක් නොව, ඒ සඳහා සාද මේසයක් ද සූදානම් කර තැබුවේය…)

 

 

(..මහාචාර්ය හෝව්කින්ග්, අනාගතයෙන් සිය සාදයට එන අමුත්තන්ට අනාගතයේදී හමුවන්නට සැකසූ ආරාධනා පත්‍රය…)

 

ඔය අතරේ, මගේ කාළ යාත්‍රික ආරාධිත අමුත්තන් දැන් ඕනෑම මොහොතක මෙතනට සැපත් වේවි…

 

( සාදය ඇරඹීමට නියමිත වේලාවට තව ඇත්තේ තප්පර පහකි…මහාචාර්ය හෝකින්ග් අවරෝහණ ගණනය කරයි…) පහයි…හතරයි…තුනයි…දෙකයි…එකයි….”ටිං” ( ඔරලෝසුවේ කටුව සාදය ඇරඹෙන මොහොත වැදී, එය පසු කර යයි…)

 

කවුරුත් ආවේ නෑනේ…හරිම සවුත්තුව…අපරාදේ මේ සූදානම් කරපු කෑම…මම නම් ප්‍රාර්ථනා කරේ අනාගතයේ ඉඳලා ලෝක රූ රැජිණක් අර දොරෙන් දැන්, දැන් මතු වේවි කියලා…කෝ..? කවුරුත් නෑනේ….

 

ඉතින් ඇයි මේ පරීක්ෂණය වැඩ කළේ නැත්තෙ..?..එක හේතුවක් වෙන්න ඇත්තේ, අතීතයට කාළ තරණය කිරීමේදී මතු වෙන, ඉතාම ප්‍රකට ප්‍රශ්ණයක්….අපි මේ ගැටළුවට කියනවා “ද්වෛධයන් ( Paradoxes) / විරෝධාභාස ගැටළුව” කියලා…( The Problem of “Paradoxes” )..

 

මේ පැරඩොක්සස් ගැන කථා කිරීම විනෝද ජනකයි…මේවායින් හුඟක්ම ජනප්‍රිය පැරඩොක්සයට කිව්වේ “ග්‍රෑන්ඩ් ෆාදර් පැරඩොක්සය” ( Grandfather Paradox) කියලා..මගේ ළඟ නම් දැන් තියෙනවා ඉතාම සරල පැරඩොක්ස කල්පිතයක්…මම ඒකට කියන්නේ ” උමතු විද්‍යාඥ ද්වෛධය” කියලා…( The Mad Scientist Paradox )

 

 

 

( ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්සය මෙබඳුය…කාළය හරහා යන්නෙකු තම සීයා මරා දමයි…එවිට කාළත්‍රයේ “නිමරු” ( Rifts in Time ) හෙවත් විභේදිත පැලුම් ඇතිවේ…එයින් වෙනම කාළ ගැලීමක් සිදුවේ…ඉහත රූපයේ එම ක්‍රියාව දෙස සැළකිල්ලෙන් බලන්න…)

 

චිත්‍රපටි හරහා විද්‍යාඥයන්ට පිස්සන් ලෙස ඇමතීමට නම් මම කොහෙත්ම කැමති නෑ, නමුත්, මේ කියන්නට යන කථාවෙදි නම් ඒක ඇත්තක්…මේ කියන කථාවේ ඉන්න හාදයා දැඩි අධිෂ්ඨානයකින් ඉන්නේ ද්වෛධයක් / පැරඩොක්සයක් නිර්මාණය කරන්න…ඔහුගේ ජීවිතයෙන් පවා එයට වන්දි ගෙවන්න සූදානම් ඔහු…අපි උපකල්පනය කරමු, ඒ මනුස්සයා කොහොම හරි “පණු ගුලක්” විදාරණය කොට, “එක මිනිත්තුවක්” අතීතයට යන්න පුළුවන් කාළ උමඟක් සැදුවා කියලා…( කාළ නාලයක්…) දැන් මේ පණු ගුල අස්සෙන් මෙයාට පේනවා, මෙයාම එක මිනිත්තුවකට පෙර සිටිය හැටි…ඒත් මෙයා පණුගුල අස්සෙන් මෙයාගේම මිනිත්තුවකට කළින් ස්වරූපයට වෙඩි තැබුවොත් මොකද වෙන්නේ..? ( මැරෙන්නම වෙඩි තැබුවොත් )… එහෙම නම් ( මිනිත්තුවකට පෙර ඔහු, හෙවත් t -1 හි සිටි මිනිසා මිය ගියා යැයි සිතමු…) ඔහු මේ මොහොතේ ( හෙවත් වත්මන් මොහොතේ t=0 ) මැරුණු මිනිසෙකි…එහෙම නම් වෙඩිල්ල තැබුවේ කවුද? .. ( සරලව පැහැදිලි කිරීම : මිනිත්තුවකට පෙර සිටි මිනිසා, මේ වත්මනේ සිටින මිනිසා පණුගුල හරහා තැබූ වෙඩිල්ල වැදී මිය ගියා නම්, වත්මනේ ඉන්නේ මීට මිනිත්තුවකට පෙර මැරුණු මිනිහෙකි…එතකොට වෙඩිල්ල තැබුවේ කවුද?..Simplification by D.K…)..හුඟක් භෞතික විද්‍යාඥයන්ට රාත්‍රියේ බියකරු සිහින ජනිත කරවන දෙයකි, මේ ගැටළුව…

 

 

( මිනිසාට, පණුකුහරය හරහා මිනිත්තුවකට පෙර පිස්තෝලය සකසමින් සිටි තමාවම දර්ශණය වන ආකාරය…)

 

නමුත්, විශ්වයේ මූලික නියමයන්ට අනුව මෙවැනි දේවල් සිදු නොවේ…”හේතු” නිසා “ඵල” හට ගන්නවා විනා, කිසිම අයුරකින් එහි අනික් පස, හෙවත් ඵලය නිසා හේතු වෙනස් වීමේ පැරඩොක්සය හට ගැන්ම සිදු නොවේ….

 

මම නම් හිතන්නේ කිසිම දේකට, ස්වයංක්‍රීයව “නොවිය හැක්කක්” බවට පත් වෙන්න බෑ කියලයි…එහෙම උනා නම් මේ විශ්වය මහා අවුලකට ඇද වැටෙන එක නවත්වන්න කාටවත් බැරි වෙයි…ඒ නිසා, මම හිතනවා හැම වෙලාවෙම පැරඩොක්සය නවත්වන්න, පැරඩොක්සයක් සිදුවීම වළක්වන්න යමක් සිද්ද වෙයි කියලා…ඒ අනුව අපේ පිස්සු විද්‍යාඥයට, තමන්ගේ මිනිත්තුවකට පෙර සිටි අතීත ස්වරූපයට වෙඩි තබන්න ඇති හැකියාව වළකන්න මොනවා හෝ දෙයක් සිද්ද වෙයි…ඔහුට කිසිදාක හැකි වෙන එකක් නෑ ඒ පණු කුහරය තුළින් තමාටම වෙඩි තියා ගන්න…මේ සිද්ධියේදි නම්, මට කණගාටුයි කියන්න, පණු කුහරයම තමා ගැටළුව වෙන්නේ….

 

 

අවසානයේදී මට හිතෙනවා, මේ වගේ පණු කුහරයක් සාදා ගන්න එක කරන්න පුලුවන් දෙයක් නෙමේ කියලා…ඒකට හේතුව තමයි “ප්‍රතිපෝෂණය” ( “Feedback”)…ඔබ ගිහින් තිබෙනවාද “රොක්” සංගීත සංදර්ශණයක් බලන්න… ( ” මම නම් ගිහින් තියෙනවා…ඒ වගේම ඉතාම කර්ණ කටුක ලෙස එතුමා මේ කියන දේ අත් දැකලා තියෙනවා…” – D.K )…

 

ඔබ රොක් සංදර්ශණයක් කවදා හෝ නරඹා තියෙනවා නම්, අර කන් හිරි වැටෙන ශබ්දය ඔබට හඳුනා ගන්න පුළුවන් ඇති….ඒක තමයි “ප්‍රතිපෝෂණය”…මේක ඇතිවෙන හේතු ඉතාම සරලයි…ගායකයන් සහ රොක් වාදකයන් කරන ශබ්දය මයික්‍රෆෝනය ඇතුළට යනවා…එය වයර දිගේ සම්ප්‍රේෂණය වී, ශබ්ද විකාශන යන්ත්‍රයෙහි ශබ්ද වර්ධක මඟින් වඩා වර්ධනය වී, ස්පීකර් ඔස්සේ එළියට එනවා…

 

 

( Feedback හට ගැන්ම…)

 

ඒ එළියට එන නාදය නැවත මයික්‍රෆෝනයටම යනවා…නමුත්, ඕනෑවට වඩා විශාල ශබ්දයක් ස්පීකර හරහා පැමිණ, එය මයික්‍රෆෝනයට නැවත ගියහොත්, එය නැවත, නැවතත් රවුමට, රවුමට යමින් “පුඩු ලෑමක්” සිදු කරමින්, ඒ සිදු කරන සෑම මොහොතකම තව, තවත් අධික ලෙස ශබ්දය වැඩි කරනවා..කවුරු හරි ඒක නතර නොකළොත්, “ප්‍රතිපෝෂණය” මඟින් ශබ්ද විකාශන පද්ධතිය විනාශ කරාවි….

 

පණු කුහරයටත් වෙන්නේ මේකම තමයි, හැබැයි වෙනසකට තියෙන්නේ ශබ්දය වෙනුවට “විකිරණ” මඟින් එය සිදුවීම….පණු කුහරය විදාරණය වුනු ගමන්ම, ස්වභාවික විකිරණයන් එයට ඇතුළු වී, නවතින්නේ “ලූප සෑදීමෙන්” ( Formation of Radiation Loops )…එහි ප්‍රතිපෝෂණය මඟින් පණු කුහරය විනාශ වී යන්න පුළුවන්…ඒ නිසා, පණු කුහර කියන ඒවා ස්වභාවයේ පැවතුනත්, අපිට කවදාවත් එකක් විශාල කර ගන්න ලැබෙන එකක් නෑ, මොකද කිව්වොත්, ඒක පවතින එකක් නෑ කාළ තරණ යන්ත්‍රයක් ලෙස භාවිතාවට ගන්නා තුරු… සමහර විට, ඒක වෙන්නත් ඇති ඇත්ත හේතුව, කිසිම කෙනෙක් මගේ සාදයට නොපැමිණි… ( සාදය ගැන විස්තර දැන ගන්න, මෙහි පළමු ලිපිය කියවන්න… 🙂 )

 

මොන යම් ආකාරයක හෝ කාළ තරණයක්, අතීත කාළයට සිදු කරන එක, පණු කුහර හෝ වෙනත් යම්කිසි ආකාරයකින් හෝ කිසි සේත්ම සිදු කළ නොහැකියි, පැරඩොක්සයන් ඇති නොවී…ඒ නිසා, කණගාටුවෙන් වුවත් කිව යුත්තේ, “අතීතයට යෑම” කවදාවත් සිදු නොවනු ඇති බවයි…මේක ඇහීමෙන් “ඩයිනෝසරයන් සොයන්නෝ” ඉච්ඡා භංගත්වයටත්, ඉතිහාසඥයන් ඉමහත් සැනසීමටත් පත් වෙනවා ඇති…සත්‍යය නම් අපිට අතීතයට යන්නට කවදාවත් හැකි නොවන බවයි…

 

නමුත්, මේ කථාව මෙතනින් ඉවර නෑ…මේ සංසිද්ධිය මෙලෙස පැවතීම නිසා, “සියළුම” ආකාරයේ කාළ තරණයන් අශක්‍ය දේ වන්නේ නෑ…ඒ නිසා, දැන් කණගාටුවට පත් වෙලා ඔබා ගත්තු ඔළු ගෙඩි නැවත උස්සා බලන්න…මමත් කාළ තරණය ගැන විශ්වාස කරනවා…නමුත් “අනාගත” කාළ තරණය ගැන… ( අනාගතයට කාළය හරහා යෑම…).. කාළය නදියක් සේ ඉදිරියට ගලාගෙන යන අතරේ, අපි හැම කෙනෙක්ම, වෙහෙසකර නොවන ලෙස ඉදිරියට ඇදගෙන යනවා එහි කාළ දියවැල්…මේ නදිය, වෙනස් තැන් වලදි, වෙනස් වේගයන්ගෙන් ගලන එකම තමයි අනාගතයට කාළ තරණය කිරීමේ යතුර වන්නෙත්….( කාළය වුවද නියත වේගයක් රඳවා නොගනී…ගුරුත්වාකර්ෂණය, සාපේක්ෂතාවය සහ කාළය පිළිබඳව ඇල්බට් අයින්ස්ටයින් විසින් කරන ලද ගණනයන්ට මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් විසින් යොදන ලද අරුත් සහිත ග්‍රන්ථයක් මා සතුව ඇත…මින් ඉදිරියට එයින්ද කරුණු ගෙන දැක්වීමට බලාපොරොත්තු වෙමි….)..මේ අදහස මුලින්ම යෝජනා කළේ ඇල්බට් අයින්ස්ටයින් මීට වසර 100 කට පමණ පෙර. ඔහුට වැටහුණා, කාළය ගලා යන වේගය අඩුවන සමහර ස්ථාන තිබෙන බවත්, තවත් සමහර තැන්වලදි එහි වේගය වැඩි වන බවත්…ඔහු හරියටම හරි…ඒ සඳහා සාක්ෂි අපේ ඔළු ගෙඩි වලට උඩින් ඇති විශ්වයේම තියෙනවා….

 

 

මේ තියෙන්නේ “ග්ලොබල් පොසිෂනින් සිස්ටම්” ( Global Positioning System ) …කෙටියෙන් කියනවා “ජීපීඑස්” කියලා…( ඉහත රූපය බලන්න…).. පෘතුවිය වටා කක්ෂ ගතව ඇති චන්ද්‍රිකා 31 කින් සමන්විත චන්ද්‍රිකා ජාලයක්….ජාලයේ විශාලත්වයෙන් මෙය තෙවැනි වන්නේ, ඇමරිකානු “නොරාඩ්” අභ්‍යවකාශ ආඥාපති ජාලයට සහ රුසියානු හමුදා චන්ද්‍රිකා ජාලයට පමණයි….මේ චන්ද්‍රිකා මඟින්, “චන්ද්‍රිකා මඟ පෙන්වීම” කළ හැකිව තිබෙනවා…නමුත්, මේවායින් හෙළිකරනවා අභ්‍යාවකාශයේදී කාළය, පෘතුවියේදීට වඩා වේගයෙන් දුවන බව…සෑම චන්ද්‍රිකාවකම තිබෙනවා ඉතාම නිරවද්‍ය ඔරලෝසුවක්…එය ඉතාම යථාතථ්‍යයි…නමුත් මොන තරම් නිරවද්‍ය උනත්, සෑම දිනයකදීම මේ ඔරලෝසු තප්පරයකින් බිලියනයෙන් තුනක තරම් සුළු ප්‍රමාණයකින් කාළය වැඩියෙන් ලබා ගන්නවා…( ඒ තරම් ප්‍රමාණයකින් කාළයෙන්, පෘතුවි කාළයට වඩා ඉදිරියට යනවා….)..මේ කාළ ප්ලවනයට අදාළ පරිදි මෙකී ඔරලෝසු සිස්ටමයන් නිරතුරුවම නිවැරදි කිරීම් සිදු කර ගත යුතුයි, එසේ නොමැති නම් ඉතාම සුළු කාළ විපර්යාසයකින් වුවත් සමස්ථ පද්ධතියම වියවුලට පත්වී, මහ පොළවේ සෑම ජීපීඑස් පද්ධතියක්ම නිවැරදි ගමන් මාර්ගයෙන් අවම වශයෙන් කිලෝමීටර 6 ක වත් ව්‍යපගමනයක් සිදු වෙන නිසා…!…

 

සෑම ජීපීඑස් පද්ධතියක්ම නිවැරදි ගමන් මාර්ගයෙන් කිලෝමීටර් 6 ක් ව්‍යපගමනය වුවහොත් සිදුවන විනාශය ඔබට සිතා ගන්න පුළුවන් නේ…?

 

මෙතැන ප්‍රශ්ණය තියෙන්නේ මේ චන්ද්‍රිකා තුළ සවි කොට ඇති ඔරලෝසුවල නම් නෙමෙයි..සමහර අය කුස්සියේ හෝ මැද සාලයේ බිත්ති ඔරලෝසුව ගමන් කරන වේගය අඩු වෙන කොට නම් කියන්නේ “ඕකෙ වයින් බැහැලා…නැත්නම් බැටරිය බැහැලා” කියලා…මේ අභ්‍යවකාශ ඔරලෝසු සම්බන්ධයෙන් නම් කියන්න තියෙන්නේ ඒක නෙමෙයි…ඒවා වේගයෙන් දුවන්නේ, කාළය අභ්‍යාවකාශයේදී, මහ පොළව මතදීට වඩා වේගයෙන් දුවන නිසයි…මෙයට හේතුව තමයි පෘතුවියේ “ස්කන්ධයෙහි” ඇති පුදුම සහගත බලපෑම…අයින්ස්ටයින් වටහා ගත්තා පදාර්ථය, කාළය මත බලපෑම් කොට එහි වේගය අඩාල කරන බවට…මෙන්න මේ විශ්මය ජනක යථාර්තය තමයි, අනාගතය කරා කාළ තරණය කිරීමට දොරටුව විවර කරන්නෙත්….

 

 

( ජීපීඑස් ජාලයෙහි චන්ද්‍රිකාවක් තුළ ඇති “තරක ඔරලෝසුවක්”…)

 

වස්තුවෙහි බර සහ ස්කන්ධය වැඩි වන තරමට, එයට අත්‍යාසන්නයෙහි කාළයෙහි වේගයත් බෙහෙවින්ම අඩාල වෙනවා…මම දන්නවා මේක ටිකක් තේරුම් ගන්න අමාරු මාතෘකාවක් කියලා…ඒක නිසා අපි ගමු ඉතාම සරල උදාහරණයක්…

 

මේ තමයි “ගීසා” ( ඊජිප්තුවේ ) හි යෝධ පිරමිඩය…මෙහි බර ටොන් මිලියන 40 ක්…සියළුම බර අධික දේවල වගේම මෙහිත් අත්‍යාසන්නයේදී කාළයේ වේගය අඩු වෙනවා….මෙමඟින් කාළයට කරන බලපෑම නම් පෘතුවිය කරන බලපෑමට වඩා බිලියන වාර ගණනකින් අවමයි…නමුත්, අපි ඒ සුළු බලපෑම හෝ ගුණාකාර කොට බැලුවොත් පෙනේවි, මේ අයින්ස්ටයින්ගේ මූල ධර්ම මොන තරම් හොඳින් මෙතන වැඩ කරනවාද කියන එක…ගඟක සෙමෙන් ගලන කොටසේ වගේ, මේ පිරමිඩය ආසන්නයේදී කාළය සහ බැඳුණු සියල්ලෙහිම වේගය අඩු වෙනවා….

 

 

මේ පිරමිඩය අසළම, එහි පාදම මත සිටින කෙනෙකු, අවට ලෝකය දෙස බැලුවොත්, ඒ අයට පෙනෙයි, අවට ලෝකයේ ( පිරමිඩයෙන් බැහැරව පිහිටි ) සිදුවීම් තරමක් කඩිනමින්, වේගයෙන් සිදුවන බව….එහෙම වෙන්නේ පිරමිඩයෙහි අධික ස්කන්ධය නිසා…පිරමිඩය අවට කාළය සෙසු ලෝකයේ කාළයටත් වඩා සෙමෙන් දුවන නිසා….මේ සරල උදාහරණය තමයි අපිට “අනාගතයට කාළ තරණය කිරීම” සඳහා දොරටු විවර කරන්නෙත්…

 

 

දැන් අපිට කාළය හරහා යන්න නම් පිරමිඩ වලට වඩා අතිශයින් දැවැන්ත යමක් අවශ්‍ය වනවා…ඔව්…මම නම් දන්නවා හරියටම මොකක්ද යොදා ගන්න පුළුවන් කියලා….

 

අපෙන් “ආලෝක වර්ෂ 26,000 ක් ඈත”, අපේ ක්ෂීරපථයේ හරි මැද තිබෙනවා මේ මන්දාකිණියේ “බරම” වස්තුව…! එය අති දැවැන්ත “කළු කුහරයක්” ( Super Massive Black Hole – SMBH )…එහි ස්කන්ධය, එහිම අධි ගුරුත්වාකර්ෂණයෙන් සංකේන්ද්‍රිකව තලා, එක තැනකට ගන්නා ලද සූර්යයන් 4,000,000 කගේ ස්කන්ධයට සමානයි…!! ( අපගේ තාරකාව වන සූර්යයාගේ ස්කන්ධය මෙන් 4,000,000 ගුණයක්…!! )

 

 

( Spiral Galaxy ඛාණ්ඩයට අයත් වන අපගේ ක්ෂීර පථ මන්දාකිණිය…)

 

මේ කළු කුහරයට ඔබ ආසන්න වන තරමටම, එහි ගුරුත්වාකර්ෂණයේ ශක්තිය වැඩි වෙනවා…හුඟක්ම ලං වුනොත්, ආලෝකයට වත් ගැලවෙන්න ලැබෙන්නේ නෑ….මෙවැනි යෝධ කළු කුහර වලින් කාළයට සුවිශේෂී බලපෑමක් එල්ල වෙනවා…මන්දාකිණියේ වෙනත් කිසිවක් කාළය මේ අයුරින් වේගය අඩාල කරන්නේ නෑ….එය ස්වභාවික කාළ තරණ යන්ත්‍රයක්….

 

 

( අපේ මන්දාකිණිය මධ්‍යයෙහි පිහිටි යෝධ කළු කුහරය හබල් දුරේක්ෂ නිරීක්ෂණයට අනුව විදු ඇසින් ප්‍රතිනිර්මාණයක්…)

 

මෙය අන්ධකාරයෙන් වැසී ගත්, විෂ්කම්භය සැතපුම් මිලියන 50ක් ( කිලෝමීටර මිලියන 80 ක් ) වූ යෝධ අහස් ගෝලයකි…මම හරිම ආසයි හිතින් මවා ගන්න කවදා හරි දවසක් අභ්‍යාවකාශ යානයක් මේ යෝධ කළු කුහරයේ කාළ තරක හැකියාවෙන් ප්‍රයෝජනය ගෙන, එය කාළ තරණ යන්ත්‍රයක් කර ගැනීම….

 

නමුත්, එවැනි යානාවක් මුලින්ම කරන්න ඕන දේ තමයි, කළු කුහරයක ඇති අධි – ගුරුත්වාකර්ෂණ ග්‍රහණයට හසුවී ඒ දෙසට ඇදී යාමෙන් වැළකෙන එක…ඒ සඳහා අතිශයින්ම නිවැරදි “පරාවක්‍රයේ” ( Trajectory ) සහ වේගයේ යා යුතුයි…සුළු හෝ වරදක් සිදුවෙන්න බෑ…නමුත්, හරියට කර ගත්තොත්, යානාව කළු කුහරයේ කක්ෂයට ඇතුළු කර ගන්න පුළුවන්…පෘතුවියේ හෝ මෙවැනි යානාවක් සාදන කාළය වෙනවිට ඇති කරගෙන සිටින අභ්‍යාවකාශ කොළණියක හෝ සිටගෙන මෙම යානාව පාලනය කරන අයට පෙනෙයි, එම යානාවේ සෑම කක්ෂ පූර්ණයක් සඳහාම මිනිත්තු 16 ක් ගත වෙන බව…නමුත්, මේ යෝධ ගෝලයේ ස්කන්ධය නිසාවෙන් කාළයේ වේගය අඩාල වෙන බව පාලන මැදිරි වලට නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ නෑ…ඒක නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ යානය තුළ සිටින පිරිසටයි…මෙතනදී නම් බලපෑම, පිරමිඩ අසළ සිදුවුණු බලපෑම වගේ සුළු පටු එකක් නම් නෙමෙයි….කක්ෂ ගතව සිටින යානයේ ගගනගාමීන්ගේ කාළය ගතවන වේගය “හරියටම අඩකින්” අඩුවෙනු ඇති….!!

 

 

මහ පොළවේ හෝ වෙනත් කොහේ හෝ ඉන්නා පාලක මැදිරියක පිරිස් වලට මේ අය කක්ෂ පූර්ණය සඳහා විනාඩි 16 ක් ගත කරනවා වගේ පෙනුනත්, මේ ගගනගාමීන්ට දැනන්නේ විනාඩි 8 ක් පමණයි…ඔවුන්ට ගත වෙනවා අත් දකින්න ලැබෙන්නෙ විනාඩි 8 ක් පමණයි…කළු කුහරයෙන් ඈත සිටින අය අත් දකින කාළයෙන් හරි අඩක් අත් දකිමින් ඔවුන් ඒ යෝධ කළු කුහරය වටා රවුමට, රවුමට යනවා නොකඩවා….මේ යානය සහ එහි කාර්ය මණ්ඩලය මේ කරන්නේ “කාළය හරහා” ගමන් කිරීමක්…!!..අපි හිතමු ඔවුන්, ඔවුන්ගේ ජීවිත කාළ වලින් අවුරුදු පහක් නොකඩවා මේ කළු කුහරය වටා ගියා කියලා…මහ පොළවේ මේ අතර තුර අවුරුදු දහයක් ගතවී තිබේවි…!!..පෘතුවියේ ඔවුන්ගේ සම කාළීනයන් ඔවුන්ට වඩා අවුරුදු පහකින් වයස් ගත වී තියේවි…

 

( මගේ පෙම්වතියගේත්, මගේත් අතර වයස් පරතරය අවුරුදු 5 ක් පමණවේ…මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග්ට පිං සිදුවන්නට, ඇය මගේ සම වයස් කාරියක් කර ගන්නා ක්‍රමයක් සොයා ගතිමි…කළ යුතුව ඇත්තේ ඇය පෘතුවියෙහි තබා, මම කළු කුහරයක් වටා පෘතුවියට සාපේක්ෂ කාළයෙන් වසර 10 ක් නොකඩවා ගමන් කිරීම පමණි.. 😀 :D….D.K. )

 

මේ ක්‍රමය නම් අර පණු කුහර ක්‍රමයේ වගේ පැරඩොක්සයන් සාදන්නේ වත්, ප්‍රතිපෝෂණය මඟින් තමාවම විනාශ කර ගන්නෙත් නෑ…නමුත්, මේ ක්‍රමයත් ප්‍රායෝගික නෑ…කළු කුහර තියෙන්නේ අපෙන් බොහොම, බොහොමත්ම ඈත…අනෙක, ඒ අවට පවතින තත්වයන් නිසාත්, එබඳු ගමනකට අවශ්‍ය තාක්ෂණය අපෙන් බොහෝ දුර ඈත නිසාත්, ඒක ඉතාම භයානක දෙයක් වේවි….

 

අනෙක, කළු කුහර තරණයෙන් අපිව එතරම් දුර ඈත අනාගතයකට ගෙනියන්නේ නෑ…එනිසා, එවැන්නක් සඳහා දරන පරිශ්‍රමය අපරාධයක්…නමුත්, වික්ෂෝපයට පත් වෙන්න හෝ මන්දෝත්සාහී වෙන්න එපා…තව විදිහක් තියෙනවා ඉතාම සෘජුව කාළ තරණය කරන්න පුළුවන්….

 

ඒ තමයි අපේ හොඳම සහ අවසාන අවස්ථාව වෙන්නේ කාළය හරහා ගමන් කිරීමට…

 

ඔබට කරන්න තියෙන්නෙ, ඉතාම වේගයෙන්, ඉතාම, ඉතාමත්ම වේගයෙන් ගමන් කිරීම විතරයි…කළු කුහරයකට ඇදී යාම වළක්වා ගැනීමට අවශ්‍ය වන වේගයටත් වඩා අධික වේගයකින් ඔබ යා යුතුයි…මේක මෙහෙම වෙන්නේ විශ්වයේ ඇති වෙනත් අපුරූ දෙයක් නිසයි…මේක තමයි අයින්ස්ටයින් එළි දැක්වූ අභ්‍යාවකාශ වේග සීමාව…තප්පරයකට සැතපුම් 186,000 ක් හෙවත්, “ආලෝකයේ වේගය…”

 

දැනට සොයාගෙන ඇති කිසිවකට එම වේගය අබිබවා යන්නට බැහැ…

 

( මෙම පරිවර්ථනය සකසන මොහොත වෙන විට, එම වේග සීමාව CERN හෙවත් European Organization for Nuclear Research ආයතනයේ විදුදරයන් විසින් බිඳ හෙලා ඇති බවට කතිකාවතක් ඇරඹී තිබේ…)…

 

ඒ තුන් වැනි කාළ තරණ ක්‍රමයත්, ස්විට්සර්ලන්තයේ CERN හි ඇති Particle Accelarator හා එහි ආශ්‍රිත නව සොයා ගැනීම් සම්බන්ධව ස්ටීවන් හොව්කින්ග් මහතා පළ කල අදහස්, මෙම පරිවර්තන මාලාවේ තුන්වැනි කොටසෙන් කියවමු….

 

 

 

 

 

 

හැකිතාක් වේගයෙන් ගමන් කිරීමෙන් තමයි ඔබට කාළය හරහා යා හැක්කේ…කෙටියෙන් කියතොත්, යෝධ කළු කුහරයක ආකර්ෂණයට හසු නොවී සිටින්නට යා යුතු වේගයටත් වඩා බෙහෙවින්ම වැඩි වේගයකින් යන්න සිදු වෙනවා…මේකට හේතුව වන්නෙත් විශ්වය සම්බන්ධ තවත් අමුතු කාරණයක්..විශ්වයේ වේගය සඳහා උපරිමයක් තිබෙනවා…විශ්වාස කළත් නොකළත්, මේ ආලෝකයේ වේගයට ආසන්නයෙන් ගියත්, ඔබව අනාගතය වෙත ප්‍රවාහනය කරනු ලබනවා…එය විද්‍යාවේ දැනට ඉතාම හොඳින් මුල් බැසගෙන ඇති සිද්ධාන්තයක්…

 

මේක පැහැදිලි කිරීම සඳහා අපි විද්‍යා ප්‍රබන්ධාත්මක ප්‍රවාහන ක්‍රමයක් ගැන සිහිනයක් මවමු…

 

 

පෘතුවිය වටා යන දුම්‍රිය මාර්ගයක් සිතේ මවා ගන්න…සුපිරි වේගවත් දුම්‍රියක් සඳහා මාර්ගයක් කියල හිතමු…

 

 

( පෘතුවිය වටා යන අධිවේගී “ආලෝක” දුම්‍රිය හා එම මාර්ගය – මනෝ රූපයක් )

 

අපිට පුලුවන් වේවි, මේ මනසේ මවා ගත් දුම්‍රිය යොදාගෙන ආලෝකයේ වේගයට ලං විය හැකි උපරිම වශයෙන් ලං වෙන්නත්, එය කාළ තරණ යන්ත්‍රයක් වන්නේ කෙසේද යන්න එමඟින් පැහැදිලි කරන්නත්…මෙම දුම්‍රියේ සිටින්නේ අනාගතයට “වන්වේ ටිකැට්ටුවක්” ( මක් නිසාද යත්, අතීතයට කාළ තරණය කළ නොහැකි නිසා, අනාගතයට යන මගීන්ට යළිත් පැමිණිය නොහැකි බැවින් ඔවුන් යන්නේ එක් පසෙකටම පමණකි…)

 

දුම්‍රිය ක්‍රම ක්‍රමයෙන් වේගය වැඩි කර ගනියි…මඳ වේලාවකින් එය අධික වේගයෙන් පෘතුවිය වටා රවුම් යන්නට පටන් ගනී…

 

 

(දුමිර්ය වේගය වැඩි කර ගනියි)

 

 

( ..ලෝකය වටා අධික වේගයකින්…)

 

ආලෝකයේ වේගයට පැමිණීම කියන්නේ පෘතුවිය වටා යාම ඉතාම ක්ෂණිකව…සරලව කිව්වොත්, තප්පරයකට පෘතුවිය වටා 7 වටයක් යා යුතුයි..!!..

 

 

 

 

( අනාගතයට යන මගීන්…)

 

නමුත්, මේ දුම්‍රියට මොන තරම් බලයක් තිබුණත්, එයට කිසිසේත්ම බෑ නියත වශයෙන්ම ආලෝකයේ ප්‍රවේගයට සමපාත වෙන්න…භෞතික විද්‍යාවේ නීති සහ මූල ධර්ම එසේ වන්නට ඉඩ හැර නැහැ…එහෙම නැතුව අපි හිතමු ඒක ආසන්නයටම ආවා කියලා…ඒ පරම ප්‍රවේගයට ටිකක් අඩු තැනකට ආවා කියල හිතමුකෝ…ඔන්න එතකොට මහා පුදුමාකාර දෙයක් සිද්ද වෙන්න පටන් ගන්නවා….

 

දුම්‍රිය ඇතුලේ “කාළය” සෙමෙන් ගත වෙන්න පටන් ගන්නවා…කාළය ගත වෙන වේගය අඩාල වෙනවා…බාහිර ලෝකයට සාපේක්ෂව එය ඉතාම අඩු කාළය ගත වීමේ වේගයක් බවට පත් වෙනවා… හරියටම කිව්වොත්, කළු කුහරයකට ආසන්නයේ වගේමයි…එයටත් වඩා වැඩිපුර මේ සංසිද්ධිය සිදුවීමයි වැදගත්ම දෙය වෙන්නේ…( මෙම ලිපි මාලාවේ දෙවනි කොටස කියවන්න…කළු කුහරයක් වටා සරණයෙන් කාළය හරහා යා හැකි මුත්, එසේ තරණය කළ හැක්කේ කොතරම් කුඩා කාළ පරාසයක්ද යන්න එමඟින් පැහැදිලි කොට ඇත…)

 

 

මෙහෙම වෙන්නේ අවකාශ කාළය තුල උපරිම ප්‍රවේගය ආරක්ෂා කර ගැනීමටයි… එහෙම වන්නේ ඇයි කියන එක උදාහරණ මඟින් වටහා ගන්න හරිම පහසුයි…ඔන්න අපි හිතාගමු, මේ ආලෝකයේ වේගයට ඉතාම ආසන්නයේ චලනය වන දුම්‍රිය ඇතුළේ කුඩා දැරියක් ඉදිරියට දුවගෙන එනවා කියලා….දැන් දැරිය ඉන්නේ ඒ කෝච්චිය ඇතුළේ නිසා, ඇයට බැරිද ආලෝකයේ වේගය අබිබවා යන්න…බෑ..ඇයට ඒක කරන්න ලැබෙන්නේ නෑ….

 

 

 

( මේ දැරියට ආලෝකයේ වේගය අබිබැවිය හැකිද?…)

 

ඇයගේ පෙරට යන ප්‍රවේගය, දුම්‍රියේ ප්‍රවේගයට එකතු වෙනවා තමයි…නමුත් ඇයව යමක් මඟින් මන්දගාමී කරනු ලබනවා…ඒ කුමක්ද?….කාළය යාන්තම් ඒ උපරිම ප්‍රවේගය හෙවත් ආලෝකයේ ප්‍රවේගය ආරක්ෂා කර ගැනීම සඳහා මන්දගාමී වෙනවා….අන්න ඒකෙන් තමයි, අනාගතය බලා කාළ තරණය කළ හැකි අවස්ථාවක් ලැබෙන්නේ….පුංචි දුවට ආලෝකයේ වේගය අබිබවා යන්න බැරි වුණත්, අනාගතයට යන්න ලැබෙනවා….

 

අපි හිතමුකෝ දුම්‍රිය පිටත් වුණේ 2050 වසරේ ජනවාරි 1 වැනිදාය කියලා…මේ දුම්‍රිය පෘතුවිය වටේ වසර 100 කරකැවී වර්ෂ 2150 ජනවාරි මස 1 වැනිදා යළි දුම්‍රිය පොලට එනවා…නමුත්, මේක ඇතුලේ හිටපු මගීන් නම් ජීවත් වෙලා තියෙන්නේ ඔවුන්ගේ ජීව කාළයෙන් එක සතියක් පමණයි…( පරිවර්තක: මෙයට අදාළ ගණිතමය සමීකරණ විසඳීමක් ඇතත්, පරිඝණකයේ සංඥා හිඟ නිසා, එය මෙහි හුවා දක්වන අයුරු මට නොවැටහේ…)

 

නමුත් අපට තියෙනවා එක බලාපොරොත්තුවක් ස්විට්සර්ලන්තයේ ජීනිවා ආශ්‍රිත “සර්න්” නම් ස්ථානයෙහි ඇති, ලෝකයේ විශාලතම අංශු ත්වරකය ලෙස…. ( Particle Acclerator At CERN of Switzerland )

 

පොළවට ඉතා ගැඹුරු ලෙස පහළින්, සැතපුම් 16 ක් දිගු වෘත්තාකාර නළයක, ඉතාම කුඩා අංශු ට්‍රිලියන ගණනකින් යුතු දහරාවක් තිබෙනවා….බලය ලැබුණාම මේ අංශු බිංදුවේ සිට පැයට සැතපුම් 60,000 ක වේගයක් ගන්නේ තප්පරයකිනුත් ඉතාම සුළු කොටසකදී…බලය තව, තව දෙන කොට, අංශු තවත් වේගයෙන් චලනය වෙනවා…එහෙම වැඩි වෙලා, තප්පරයකට 11,000 වාරයක් ඒ අංශු නළ වෘත්තාකාර මාවත තුළ සම්පූර්ණ චලිතයන් සිදු කරනවා…ඒකත් ආලෝකයේ වේගයට ආසන්න වීමක්…නමුත්, ඒ අංශුත් කවදාවත් ආලෝකයේ වේගයට සමපාත වන්නේ නෑ…..

 

( පරිවර්තක : මහාචාර්ය හොව්කින් මේ මතය පළ කරන වකවානුවේදී, අද ඉතාම ආන්දෝලනාත්මක දෙයක් බවට පත්ව තිබෙන, සර්න්හි “ආලෝකයේ වේගය” අබිබවන අංශු චලිතය සිදුවී තිබුනේ නැත…හේඩ්‍රන් කලයිඩරය සහ ඒ අංශු චලිතය ගැන පරිවර්තක විසින් සකසන වෙනම ලිපියක් බලාපොරොත්තු වන්න…)

 

මේ අංශු වලට ලං විය හැක්කේ ආලෝකයේ වේගයෙන් 99.99 % කට පමණි…එතනට ආ විට, ඒවාත් අර ඉහත කී පරිදිම කාළයේ වේගය අඩාල වීම නිසා, කාළය හරහා ගමන් කිරීම අරඹයි….අපි මේ බව දන්නේ, ඒ අංශු අතර ඉතාම කෙටි කාළයක් පවතින “පයි-මෙසන්ස්” ( Pi-Mesons ) නම් අංශු විශේෂය නිසාය…මූලිකව නම් මේවා තප්පරයෙන් බිලියන 25 න් එකක් තරම් කුඩා වේලාවකදී කොටස් වලට වෙන්වී යති…නමුත් ඒ ආලෝකයේ වේගය ආසන්නයේදී නම් මේ අංශු බිඳී විසිරී යෑමට එමෙන් තිස් ගුණයක කාළයක් ගත වේ….මේ අනුව අපට අවබෝධයෙන්ම කාළය, ආලෝකයේ වේග සීමාව ආසන්නයේදී අඩාල වන බව පැවසිය හැක…

 

මේක ඉතින් හරිම සරළයි…අනාගතයට යෑමට නම් අපි ඉතාම වේගයෙන් යා යුතුය….හුගක්ම වේගයෙන් යා යුතුය…මහ පොළවේ නම් මෙවැනි වික්‍රමයක් පාන්න සුදුසු පරිසයක් සැකසෙන එකක් නෑ…ඒකට අධික වියදම් වගේම, උතුරු කොරියාව සහ තලෙයිබාන් සංවිධානය එක්කත් සාකච්ඡා කරලා දුම්‍රිය පාර දමන්න අවසර ගන්න වෙයි…ඒක නිසා, කරන්න තියෙන පහසුම දෙය තමයි, විශ්වයට යෑම…විශ්වය හා අවකාශය හරහා ආලෝකයේ වේගයට ආසන්න ප්‍රවේගයකින් චලනය වීම….

 

මිනිස් ඉතිහාසයේ වේගයෙන්ම චලනය කරවූ වාහනය තමයි ඇපලෝ 10 කියන්නේ…එහි ප්‍රවේගය පැයට සැතපුම් 25,000 ක් පමණ වුනා….නමුත් කාළය හරහා යන්න නම්, අපට දළ වශයෙන් එමෙන් 2000 ගුණයක වේගයෙන් චලනය වෙන්න සිදුවේවි….ඒ සඳහා ඇත්ත වශයෙන්ම ඉතාම යෝධ යානයක් ඕන වෙනවා….ඒ යානයේ ආලෝකයේ වේගය ලබාගැනීමට අවශ්‍ය මහා ඉන්ධන සංචිතයක් රැගෙන යාමටත් අපට සිදුවේවි….යාන්තම් විශ්ව ප්‍රවේග සීමාවට අඩු තැනකට එන්නත් මහා ජවයක් සහිතව වසර හයක් වත් චලනයෙහි යෙදෙන්නට සිදුවේවි….

 

මූලික වශයෙන්ම යානයේ වේගය ඉතාම අඩු එකක් වෙයි…මොකද යානයේ ත්වරණය සිදුවන්නේ එහි ස්කන්ධයට අනුලෝමව සමානුපාතිකව නිසා…මේ යානය අති විශාල එකක්…ඒක නිසා එහි චලනය වේගයක් ලබා ගැනීමට ටික කළක් යාවි….එක සතියක් පමණ ගිය තැන එම යානය සෞර ග්‍රහ මණ්ඩලයේ සීමාවේ ඇති දුරස්ථම ග්‍රහ ලෝක වෙත ළඟා වී තිබෙනු ඇති….වසර දෙකක් ගියාම එහි වේගය ආලෝකයේ වේගයෙන් භාගයක් වෙනු ඇති අතර, එය අපේ සෞර ග්‍රහ මණ්ඩලය පසු කර බොහෝ දුරක් ගොස් තිබේවි….තවත් දෙවසරක් ඇවෑමෙන් එහි වේගය, ආලෝකයේ වේගයෙන් 90% ක් පමණ වේවි…මේ වනවිට එය විශ්වය ඉරාගෙන ඉදිරියට චලනය වේවි…යානය පොළවෙන් පිටත්වී වසර  4 ක් ගිය තැන, පෘතුවියෙන් දළ වශයෙන් සැතපුම් ට්‍රිලියන 30 ක් ඈතින්, එය කාළය හරහා යාම ආරම්භ කරනු ඇති….

 

 

 

මේ යානය තුල ගතවන සෑම පැයකටම පැය දෙකක් පෘතුවියේ ගතවනු ඇත…

 

තව වසර දෙකක් ගිය තැන මෙම යානයේ ප්‍රවේගයේ, ආලෝකයේ මෙන් 99% වනු ඇත…එවිට යානය තුළ එක දිනයක්, පෘතුවියේ සම්පූර්ණ වසරක් තරම් වනු ඇත…

 

කාළයේ වේගය, අවකාශයේ උපරිම වේග සීමාව රැක ගැනීම සඳහා මෙසේ අඩාල වීම අපට න්‍යායාත්මකව වාසි සහගතය…එමඟින් අපට යාන්තමින් හෝ කාළය හරහා යෑමට පැතුමක් ඉතිරි කර ගත හැක…මේ වගේ ගමනකින් වුනත් අපේ චක්‍රාවාටයේ කෙළවරට යාමට අවම වශයෙන් අවුරුදු 80 ක් වත් යාවි…අපේ චක්‍රාවාටය ඒ තරම්ම විශාලයි…මේක අපේ විශ්වයේ ඇති පුදුම සහගත ස්වභාවයයි…එහි එක, එක තැන්වල කාළය දුවන වේගය එක, එක විදිහය….ඒත් මේ අප අවට තිබෙන කාළයේ පණු කුහර ( මුල් ලිපිය බලන්න ) ප්‍රයෝජනයට ගෙන අපට යම් දිනෙක අවම වශයෙන් අනාගතයට හෝ මේ “සතර වැනි මානය” හරහා යන්නට හැකියාවක් ලැබෙතියි මම උද්යෝගයෙන් පසුවෙමි….මම ස්ටීවන් හොව්කින්, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලීය නිල නිවාසයක සිට….

 

මහාචාර්ය ස්ටීවන් හොව්කින් – කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සිට….

 

Professor Stephen William Hawking – CH, CBE, FRS, FRSA

 

පරිවර්තකගෙන් පසුවදන : මහාචාර්ය ස්ටීවන් හොව්කින්ගේ අනර්ඝ ලිපි මාලාවක පළමුවැන්න, අපේ රටේ බටහිර විද්‍යාව තම චින්තනය සකසා ගන්නට උපකාරයක් කර ගන්නා සැමගේ පහන් සංවේගය පිණිස මෙසේ සකසා නිමවමි… ස්ටීවන් හොව්කින්ග් මහැදුරු තුමන් විසින් රචිත “The Grand Design” ග්‍රන්ථයේ එන “යථාර්තය යනු කුමක්ද?” ( What is Reality) කොටසේ පරිවර්තනය සමඟින් නැවත හමුවෙමු….

 

 

ආයුබෝවන්…! වනක්කම්…! වෙල්කම්..! අස්සලාම් අලෙයිකුම්…! විප්ලවයට ජය වේවා…!

නොදන්න මඟුල් කථා කිරීම අපේ පුරුද්දකි… විදුලිබලය, කොම්පියුටරය, ඉන්ටනෙට් එක, ෆේස්බුක් එක සොයා ගත් උන්ට පිං සිද්ද වෙන්න, දැන් නොදන්න මඟුල් වැඩි වැඩියෙන් කථා කිරීමේ අවස්ථාව, නොදන්න මඟුලන්ට සහ මඟුලියන්ට ලැබී තිබේ… දැන් ඉස්සරට වඩා නොදන්න මඟුල් කථා කිරීම ජනප්‍රිය අතර සමහරුන්ට ඒක හොඳ ලාභ ලැබෙන ව්‍යාපාරයකි… නිකං ඉඳලා බෑ, පොරක් වෙන්න ඕන කියල හිතුණු නිසා මමත් “නොදන්න මඟුල් කථා කිරීම” මෙලෙස අරඹමි.. පොරක් වෙන්නට දන්නා ශිල්ප සේරම දැම්මත් මෙතෙක් මැක්කෙක් වත් ගණන් ගත්තේ නැති නිසාත්, පොරත්වය කරා යන ගමනේ කෙටිම මාවත, දැනටත් කනත්තක සොහොන් කොත් මෙන්, පෙළින් පෙළට තියෙන බ්ලොග් අස්සට තව සොහොනක් එකතු කිරීම බව වැටහී ගිය නිසාත්, මෙලෙස අපේ බොග .. සමාවන්න…! .. බ්ලොග ඔබ සතු කරමු….
…
…සුවස්ථි සිද්ධම්…!

Hello world!

Welcome to WordPress.com. After you read this, you should delete and write your own post, with a new title above. Or hit Add New on the left (of the admin dashboard) to start a fresh post.

Here are some suggestions for your first post.

  1. You can find new ideas for what to blog about by reading the Daily Post.
  2. Add PressThis to your browser. It creates a new blog post for you about any interesting  page you read on the web.
  3. Make some changes to this page, and then hit preview on the right. You can always preview any post or edit it before you share it to the world.