ඇමතිවරුන්ගේ වාහන අවශ්‍යතාවයට ලාභදායී විසඳුමක් යෝජනා කිරීමයි …

“ගරු රාජිත සේනාරත්න,

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය,

මහත්මයාණනි,

<<ඇමතිවරුන්ගේ වාහන අවශ්‍යතාවයට ලාභදායී විසඳුමක් යෝජනා කිරීමයි >>

2016 වසරේ ජූනි මස 9 වැනි දින “අද” පුවත්පතේ සිරස්තලය හා බැඳේ….

ඉහත සිරස්තලයේ ඇතුළත් ඔබ විසින් කරන ලද ප්‍රකාශයට අනුවම දැඩි කැපවීමෙන් යුතුව දිවා රෑ ජනතාව වෙනුවෙන් වෙහෙසෙන ඇමතිවරුන් සහ ඇමතිවරියන්ගේ ජනතා සේවය කඩිනම් කිරීම සඳහා හොඳ තත්වයේ වාහන ලබා දිය යුතු බව මා විසින් පිළිගන්නෙමි….එමෙන්ම මේ වනවිට මෙරට ජනතාව සිටින ස්ථානයන් කරා ළඟා වීමට කඳු ශිඛර, දෙගොඩතලා යන ගං වතුර, සැඩ පහර තරණය කර යන ඇමතිවරුන්ට ඒ දුෂ්කර ප්‍රදේශ ජයගත හැකි වාහන තිබිය යුතු බවද තර්කයකින් තොරව පිළිගනිමි….එමෙන්ම එකී වාහන, ජාතික දේහයේ ගැහෙන හදවත වන් ඇමතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු විය යුතු සැකැස්මකින් යුතු විය යුතු බවද අවිවාදයෙන්ම පිළිගන්නෙමි…..

මේ සියළු අවශ්‍යතා සමග සසඳන කළ මේ වාහන සඳහා යන අධික වියදම සාධාරණීකරණය කළ හැකි වෙතත්, මෙරට ජීවත් වන දැන උගත් වගකිව යුතු පුරවැසියෙකු ලෙස මේ සියළු අවශ්‍යතාවයන් ආවරණය වන, මෙයට වඩා ලාභදායී විසඳුමක් ඔබතුමාට යෝජනා කිරීමට අපේක්ෂා කළෙමි….

රුසියාව විසින් 1973 වසරේ නිෂ්පාදිත T-72 යුද්ධ ටැංකිය මේ වනවිට නැගෙනහිර යුරෝපයේ රටවල් පහක අවි සැපයුම් කරුවන් හරහා මිළට ගත හැක. 1973-1975 කාළය තුළ නිෂ්පාදිත T-72 යුද්ධ ටැංකියක මිළ ගණන් පහත පරිදිය:

– චෙක් ජනරජයේ හෝ ජෝජියාවේ අවි වෙළඳපළවල විශේෂඥයන් මගින් “නිර්සන්නද්ධ” කරන ලද 1973 “Collector Version” T-72 ටැංකියක් ඇමරිකානු ඩොලර් 50,000 ක් පමණ වේ.. එය ශ්‍රී ලංකා රුපියල් හැත්තෑ දෙලක්ෂයක් පමණි ( රුපියල් මිලියන 7.2 )

– ප්‍රධාන අවිය සහිත සන්නද්ධ තත්වයේ 1973 ටැංකියක මිළ ඇමරිකානු ඩොලර් 500,000 ක් පමණ වනු ඇත.. එය රුපියල් කෝටි 7 කට මදක් වැඩි මුදළකි.

අශ්ව බළ 840 ක සිලින්ඩර් 12 ක V -46 එන්ජිමකින් සමන්විත මෙම සන්නද්ධ රථයේ මෙහෙයුම් දුර ප්‍රමාණය කිලෝමීටර් 480 කි. ප්‍රධාන මාර්ග වල පැයට කිලෝමීටර් 110 ක පමණ උපරිම වේගයක් සහ දුෂ්කර මාර්ග වල පැ.කි.මී 60-80 අතර උපරිම වේගයක් පවත්වා ගත හැකි නිසා මේ වාහනය මගින් මෙරට ඇමතිවරුන්ගේ “කඩිනම්” ජනතා සේවාවන් ඒ කඩිනමින්ම ඉටු කරගත හැකිවේ යැයි මා හට විශ්වාසය. ලීටර් 1000 ක ධාරිතාවයෙන් යුතු ඉන්ධන ටැංකිය නිසා කිසිදු බියකින් තොරව ඉන්ධන හල් නොමැති ප්‍රදේශ වලටද ගමන්කොට ඒ ජනතාවගේ සුව දුක් විමසිය හැක.

මිලිමීටර් 4700 ඝණකම සහිත ආරක්ෂක තහඩු නිසා මෙම රථයෙන් ඇමතිවරයාට සැපයෙන ආරක්ෂාව පිළිබඳව ඔබතුමා වැනි හසල දැනුමැත්තෙකුට අමුතුවෙන් පැහැදිලි කළ යුතු යැයි නොසිතමි. එමෙන්ම පූර්ණ වශයෙන් බාහිරයෙන් ආවරණය වන මෙම රථය තුළ ජනතාව සොයා දීර්ඝ, වෙහෙසකර ගමනක නොකඩවා නිරතවන ඇමතිවරයාට අවශ්‍ය විවේක පහසුකම්, වෙනත් කායික සහ ලිංගික අවශ්‍යතා සඳහා පෞද්ගලිකත්වය ආරක්ෂා වීම, සහ සනීපාරක්ෂාව වැනි දේ සැපයෙනු ඇත…

මෙම T-72 රථයට මීටර් 5 ක් (අඩි 16) ගැඹුර, කිලෝමීටර් 1 පළල ජල පෘෂ්ඨයන් හරහා පහසුවෙන් ගමන් කළ හැක….එනිසා හදිසි ආපදා අවස්ථාවකදී ජලයෙන් කොටුවී සිටින ජනතාව වෙත ඇමතිවරයාට ඉතා පහසුවෙන් ළඟා විය හැකි අතර, හදිසි ගං වතුර තත්වයකට ඇමතිවරයා කොටුවී ඔහුගේ අභාවය සිදුවීමට ඇති අවදානමද එමගින් වැළකී යනු ඇත…

මෙම රථයට අංශක 30 ක ආනතියකින් යුතු කඳුකර ප්‍රදේශයක් ඉතා පහසුවෙන් නැගිය හැක. එනිසා ඇමතිවරුන්ට කඳු ශිඛර බද ප්‍රදේශ වල වෙසෙන ජනතාව වෙත පහසුවෙන් ළඟාවිය හැක. හදිසි නාය යාමකදි සෙන්ටිමීටරය කිලෝග්‍රෑම් 4 ක පමණ පීඩනයකට මෙම ටැංකිය ඔරොත්තු දෙන නිසා ඇමතිවරයා පස් තට්ටු වලට යටවූවත් පැය දෙකක් පමණ ඇතුළත ( කැබින් ඔක්සිජන් අවසන් වීමට පෙර ) බේරා ගත හැකි නම්, ජීවිතය ආරක්ෂා වනු ඇත…

මෙම ටැංකිය තප්පර 15- 20 ක් තුළ අංශක 180 කින් හැරවිය හැකි නිසා දුර සිට ජනතාව වේගයෙන් ඉදිරියට එන අනාරක්ෂිත තත්වයක් පවතී නම් ඇමතිවරයාව වහාම හරවා ආරක්ෂිත ස්ථානයක් කරා ගෙන යා හැකිය. .

මෙම රථයේ මිලිමීටර් 125 ප්‍රධාන තුවක්කුව ඇමතිවරයාට අවශ්‍ය නොවනු ඇතැයි උපකල්පනය කරමි. මක් නිසාද, ඔබතුමා ප්‍රමුඛ මෙරට ඇමතිවරු ජනතා ගැටළු විසඳන ආකාරයට එය කොහෙත්ම සම්බන්ධ නොවන බව මා දන්නා බැවිනි. ( ඇමතිවරයාගේ ආරක්ෂාවට මේ රථය සමග එන මිලිමීටර් 7.62 කො-ඇක්සියල් මැෂින් තුවක්කුව පමණක් භාවිතා කළ මැනවි….) එබැවින් “නිර්සන්නද්ධ” කරන ලද ඇමරිකානු ඩොලර් 50,000 ක ලාභදායී T-72 Collector Version ටැංකියක් මිළට ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

මෙමගින් ඔබතුමා විසින් සඳහන් කරන ලද ඇමතිවරුන්ගේ අවශ්‍යතා 100% සිතුවාටත් වඩා හොඳින් ආවරණය කරගත හැකි අතර, ඒ සඳහා ඔබතුමන්ලා පාර්ලිමේන්තු අනුමැතියට යොදවන ලද වාහන වලට ගෙවන මිළෙන් 10% ක් තරම් අඩු ප්‍රමාණයකට මේ මාදිලියෙන් 1973 සෝවියට් සමූහාණ්ඩුවේ සාදන ලද T-72 රථයක් මිළට ගත හැක. මේ රථවල “ඒ.එම් ඇලෙක්සි” අකුණු සන්නායක සවි කළ හැකි බැවින් එවැනි රථයක් සොයා මිළට ගැනීමෙන් මෙරට ඔබතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලයට අතිරේක ආරක්ෂාවක් සහතික වනු ඇත….එවිට මෙරට ඇමතිවරුන්ට තව තවත් එළිමහන් ප්‍රදේශ වල නිදහසේ ගැවසී ජනතාව වෙත කඩිනම් සේවා ලබා දිය හැක..

මේ ලාභදායී විසඳුම ඔබතුමා විසින් තෝරාගනු ඇතැයි උදක් අපේක්ෂා කරමි….

මීට දේශ භක්තික,

ස.ව.උ

ඔබේ අංකය : ( 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ කලුතර දිස්ත්‍රික්කයේ අංකය )

මගේ අංකය: නොදන්න තරමට හොඳයි

පිටපත්: ඇමතිවරුන්ගේ දෙමව්පියන්ට

ප.ලි – අනේ හැ****”

T-72_differences

4 thoughts on “ඇමතිවරුන්ගේ වාහන අවශ්‍යතාවයට ලාභදායී විසඳුමක් යෝජනා කිරීමයි …”

  1. කාලෝචිත යෝජනාවක්. හැබැයි නෝනලා ළමයි කැමති වෙයිද දන්නෑ නේ? කොල්ලො නං අකමැති වෙන එකක් නෑ මේවායෙ නැගල ඉස්කෝලෙ යන්න, නමුත් නෝනලාගේ ශොපින් යෑම් වලට හරියන එකක් නෑ මං හිතන්නෙ…..

  2. ;;;;;;ත්තේ වැඩ කරන්න එපා යකෝ. ආපහු යුද්ධයක්වත් ආවොත් මේ හු….ගේ පුතාල පාරවල්වලට කෙලවෙලා ගියත් මෙව්වා ගනියි.

Leave a comment