සමහරවිට මෙහෙමත් වෙන්න පුලුවන් – Weighing All Possibilities…

(1. ඔන්න මුලින්ම – )

“බලන්න මෙහෙම ජීවිත් වෙන්න පුලුවන්ද කියලා?”….”ඒකනේ ගෑස් සිලින්ඩරෙත් ඊයේ රෑ…” …” ඔව් අනේ දරුවට කිරි පිටි….” …” සතියෙන් පඩිය ඉවරයි…එතකොට ලයිට් බිල්….”..”දුවට ඒ කෝස් එක කරන්න තව සල්ලි මදි වගේ..!.. ” එළවලු වල ඊයෙ තිබ්බ මිළ…!.”…. “මුන් තව හිටියොත් නම් අපි….”….”ඔව්, ඔව් අපේම රීරි හූරන් කනවා…!

“සවන් දෙන්න…ජාතික ගීයට දමිළ වදන් පෙළක් එක් කිරීමට අප සැරසෙමු….!!!!!”

“ඇඩ්ඩෝව්…!….වරෙව්, නැගෙව්, නිදා සිටියා ඇතිව්, අහවල් එක කිරීම නවතව්, පිබිදෙව්, මගට බසිව්, වටලව්…!!…මේක අපේ මෙව්ව එක ඩෝ….!…තොපි එකෙක්ට වත් මේකෙ රඟන්න බෑ ඩෝ…!…චිරාත් කාලයක් තිස්සෙ මේකෙ රැඟුවෙ අපි විතරයි ඩෝව්…!…පඬු අබා ඉටිය මව් බිම ඩෝව්..!…මොන දෙමළ කෑලිද ඩෝව්…!..ඇර, ඇර වාන්සේ ඇර….!….පිබිදී මගට බෂිව්….!…සරම කරට ගනිව්…!…නැත්තන් හෙට හවස හතර විතර වෙන කොට වඳ වෙන්න සැරසෙව්…!”

(2. ඔය අතරේ – )

“මේක ගැන පුළුල් කතිකාවතක් ඇති කළ යුතුයි….ජාතික ප්‍රාගුණ්‍ය තුළ දමිළ සන්ධ්වනිකෘතය පිහිටීම නිසා, මෙහි නිෂේධනාකල්ප කතිප්‍රාධිකාරියට පත්ව, මෙවැනි උත්සාහයන් තුළින් ද්වි ද්වනිත ද්වෛදයන් බිහිවීම මගින් අප ඉදිරියට තල්ලු වෙනො….!”

” මොන කතිකාවතක් වත් බෑ…මේක කළොත් අපි මාළිගාව ඉස්සරාට ඇවිල්ලා වා බොනවා…!”

“ඔව් බුජ්ජිමත් ප්‍රේක්ෂකයිනි…!…අද අපි සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ, ජාතික ගීය….”

“අපට දුරකථන ඇමතුමක් ලැබෙනවා … කථා කරන්න…. ” ” ආ…මම මේ නන්දාවතී මහරගමින්…අනේ අපේ ජාතික ගීයට කෙළින්න එපා කියලා මම වැඳලා ඉල්…..” ” ටීප්…ටීප්..ටීප්…”…” ආ…මම මේ සමරතුංග කලුතරින්…මේක ඇත්ත වසයෙන්ම හොඳ දෙයක්…අපේ දොරේලට මතක් වෙන්නෙම මේ වගේ හොඳ දේවල් මයි…”

“…චන්ද්‍රයා හත් වැන්නේ ප්‍රමුඛව, අට වැන්නට කුජ පැමිණ තිබෙන නිසාත්, මාර්තු වෙන විට, මේ රටේ කේන්ද්‍රයේ නම වැන්නේ හිටින ග්‍රහයාව සෙනසුරුට ජනේලයෙන් පෙනීම නිසාත්, ජාතික ගීය වෙනස් වෙන්න ඉඩකඩ තියෙනො…”

(3. එතුමා සහ පිරිස පෙරට පැමිණ – )

“ජාතික ගීයට කිසිදු වෙනස් කමක් සිදු කරන්න පියාගේ හෝ පියාගේ රජයේ හෝ කිසිම අදාසක් නෑ…ජාතික ගීය පණ මෙන් සුරකින බවට එතුමා සාතික වෙනෝ….මේ ගීය අපේ හද ගැස්ම අනුව ලියැවිලා තියෙන්නෙ….මේ අසත්ය ප්‍රචාරයන්ට අවු වෙන්න එපා මෙයාලා…මේවා මේ දුර්දාන්ත විපස්සය කරන දූසිත කට කථා ප්‍රචාරයන්..”

” මගේ රටේ ජාතික ගීය මම පණ මෙන් සුරකිනවා….හාන්දුරුවනේ…!….එඩුවාන්ගල් උලෙයිවරුක්කුම් එන්ඩු පෝම්…!…”

(4. මේ සියල්ලටම පසුව – )

“බලන්න එතුමා කෝම හරි මේ තිරිසන්නුන්ගෙන් / දේශ ද්‍රෝහියන්ගෙන් / මාක්ස්වාදී වසලයන්ගෙන් / පර දෙමළුන්ගෙන් / හම්බයන්ගෙන් / කුමන්ත්‍රණ කාරයන්ගෙන් ජාතික ගීය බේර ගත්තු හැටි….!!….”…” දැක්කද ඊයේ ටී.වී. එකේ දුන්නු ටෝක්ස් එක…”…. ” ඒක නේන්නං…”…”පුරුසයා කෝමද ඉදිරියට ආපු හැටි..”… ” මට පණ්ඩුකාභය මතක් උනා ඕයි….තාම ඇඬෙනො…”….” හසන්ත, අපි පින් කරළා, හසන්ත…”…” මෙන්න මිනිස්සු…!..අරූ හිටිය නම් බේරයිද ඔහොම…?”….”ඒකනෙ කියන්නෙ…මොනා උනත් ලේ කකියන මිනිහෙක් නේ…”….

Middle Income – කැතී සමඟ

“අපේ රට මේ මෑතකදී මධ්‍යම පරිමාණයේ ආදායම් ලබන රටවල් ඝණයට ඇතුලු වුනා…දැන් අපි දුප්පත් සංවර්ධනය වෙමින් පවතින රටක් නෙමෙයි…” .. කවුදෝ පොරක් ගුවන් ඉඳුලි සංස්ථාවෙ කියනෝ ඇහුනා….මාර සීන් එක නේද…?…අපරාදෙ හොඳට සංවර්ධනය වෙමින් පැවතුණු රට..!.. කියලා මම පොඩ්ඩක් ඒ ගැන කල්පනා කොරන්න ගත්තා….

“දඩාස්….සර…බර…බරාස්….චරාස්”…මහා විදුලි බෝල දෙක තුනක් එහෙ, මෙහෙ පැනලා මගේ වටේ කැරකෙද්දි, පුටුවෙන් පැන ගන්න විතරයි මට ඉඩ ලැබුනේ….හතර අතට ඉස්පාර්ක් වෙවී එක පාරට මම ඉඳගෙන හිටපු පුටුවත් කඩාගෙන මහා බෝට්ටුවක් වගේ මෙව්වා එකක් මතු උනා නෙව…?…ඒකෙන් බැස්සා නාරං ගැටේ වගේ ගැටිස්සියෙක්….”පරණ සීන් එකක් නම් වෙන්න බෑ, ඒත් ඩයල් එක දැකලා පුරුදු වගේ ඕයි” කියලා මම පොඩ්ඩක් කිට්ටුවෙලා බැලින්නම්, “දෙයි හාන්දුරුවනේ…!…මේ අපේ ඉස්පෙල් බයින්ඩර්ස් 2 එකේ කැතී නෙව…!”

“ඔයා ඉන්නෙ අර ඇහිච්ච දේ ගැන ෆුල් සෝට් සර්කිට් වෙලා නේද…?…එන්න ඔයාට පෙන්නන්න පොඩි බඩ්ඩක් තීනවා…! …යං මාත් එක්ක…!” .. කැතී දකුණත මට දික් කලා….හෙට අනිද්දා කසාද බඳින්නත් ඉඳගෙන මේකිගේ අත ඇල්ලුවා කියලා අපේ වෙන්ට-ගෙදර එක්කෙනා දැන ගත්තොත් එහෙම සමාන්තර විශ්වයක තමයි නවතින්න වෙන්නෙ කියන එක කල්පනා වෙලත්, මෙච්චර කට්ට කාපු ජීවිතේ කළාමතුරකින් හම්බු වෙන මේ වගේ කිරිබත් කෑල්ලක් කන චෑන්ස් එකට පයින් ගහන්නෙ මක්කටෙයි කියලා ඕන් ඔහේ ඒකිගේ අත අල්ලගෙන නැග්ගා බෝට්ටුවට….!

“බරාස්,,,,,,බර, බර…..බරාස්….” අපිව බෝට්ටුව පිටින් විසික් උනා…අර යන අතරේ රූප විරූප වෙලා, ඇද වෙලා, බෝට්ටුවෙ බිමට වැටිලා, ඇප කැන්සල් වෙලා, රෙදි ගැලවිලා, ආයෙ ඇන්දිලා, ඔන්න එක පාරට “දඩාස්” ගාලා එන්ටර් උනා පොට් එකකට….!….

“ඈ….මේ කොහෙද බං මේ..?….( අර සීදේවී සුද්දිගෙ මූණ “බං” වගේ කැම්පස් වචනයක් පාවිච්චි කොරන්නත් ලෝබයි ඕයි…!..ඒත් ) ….කොහේටද මේ ආවේ…?…මේ ටෝකියෝ නේද…?”

“මොන පිස්සු හු**ක් කියනවද ඕයි..?….මේ ටෝකියෝ නෙමෙයි…පොඩ්ඩක් බලනවා වටපිට…!” … පිටිපස්සෙන් තව වොයිස් කට් එකක් ඇහුණා….අම්මට උඩු…ආෂ්කා ඇවිත්…මේ යෝදි කොහෙන් පාත් උනාද..?…කිව්වත් වගේ පොඩ්ඩක් වටපිට බැලුණා…!

“බවුන්ඩ්‍රි වරම් දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ…!…මේ කොළඹ නේද…?…”..

සුවර් එකටම මේ සමාන්තර විස්වෙක අපේ කොළඹමයි…!…කැතීත් මාරයිනේ…!…

කිව්වට විස්වාස කරහරල්ලා….අර වර්ල්ඩ් ට්‍රේඩ් සැන්ටර් ඩබල පැන්සන් ගිය කොස්සො දෙන්නෙක් වගේ වෙලා ඕයි….!….වටේටම අහස ඉඹින යෝධ ගොඩනැගිලි….මුදුන් හරිය පේන්නෑ වළාකුල් නිසා….බර්ජ් කලීෆා එකටත් ඇප කැන්සල්….!…පාරවල් නයි වගේ….උඩින් මෙහෙම, යටින් එහෙම….!….පේමන්ට් එක උඩ සිංහල කොල්ලෙකුයි, මුස්ලිම් කොල්ලෙකුයි, දෙමළ කෙල්ලෙකුයි ඊළඟ මෙට්‍රෝ රේල් එක එන කල්, අයි පෑඩ් එකකින් ස්ටොක් මාකට් අප්ඩේට්ස් බලනවා…..!….ඇඩ්‍රස් නැති වෙච්ච සුද්දො දෙන්නෙක් රස්සාවල් හොය හොය යනවා…!…හාලා බැලුවාම උන් දෙන්නගෙන් එකෙක් ප්‍රංශෙ…අනික් එකා ජර්මනියේ…!…මාර ගේමක් දීලා එකෙක් ලංකාවට එන්න වීසා වද්දගෙන තියෙන්නෙ….අනිත් එකා නම් ක්‍රීඩා තරඟෙකට ඉන්දියාවට ආපු ගමන් “මිසින්” වෙලා, ඉස්පෝක් සමුද්‍ර සන්ධිය හරහා බෝට්ටුවකින් හොරට ඇවිත්…!…උන් මෙහේ රස්සාවල් හොයනවා දරු පවුල් වලට ගෙවල් කුලියවත් යවා ගන්න…!….පව් ඕයි…!….

ඔය අස්සේ පේමන්ට් එක උඩ ජෝඩුවක් ජොගින් පාරක් දාගෙන එනවා මේ පැත්තට….අව් කණ්නාඩි දාගෙන හිටියත් ඩයල් දෙක නම් ඈතටම මීටර්….මේ අපේ ලොකු මාත්තියයි, අග්ග විනිස්චකාර තුමියයි නේ….!…..ආයෙ ඇස් වාක්, කට වාක් නෑ, සල්මන් ඛානුයි, කරිස්මා කපූරුයි වගේ…!….එන්න, එන්න තිරිහන් වෙන ලුක් එක…!…දෙන්න කථා වෙන්නෙ මොනවද කියලත් පොඩ්ඩක් කිස්ටු වෙලා බැලුවා…!…

“I`m sorry, but I will have to turn down this draft as it is inconsistent with the constitution, Sir…!”…මැඩම් පොඩි හිනාවක් එක්ක කිව්වා….

“Please don`t worry about it..!…I do not wish to intervene in the affairs of the Judiciary..!…You may carry on unhindered..!” ….ලොකු සර් සුපුරුදු ලස්සන හිනාව දාලා කියන ගමන්, රෙඩ්බුල් එකක් මැඩම්ට දික් කලා…එතකොටම කැතී මගේ උරේට අත තිබ්බා…!

“දැන් මෙතන පැල වෙන්න එපා මෙයා….අපි යමු..!…ඔයාට තව දෙයක් පෙන්නන්න ඕන…”…

“ඊළඟ කෑල්ල තවත් රසවත් ඇති” කියලා හිතාගෙන මාත් මීමා වගේ බෝට්ටුවට ගාල් උනා…

“දඩ, බඩාස්….දඩාස්….චරාස්” … ඒපාර මේ කොහාටද පාත් උනේ….බෝට්ටුවෙන් එළියට බහිනකොටම “වාව්, වාව්…වාව්, වාව්” ගාගෙන බෙරිහන් දීගෙන කබල් ඇම්බුලනස් එකක් කණ ගාවින් ගියා…දඩ, දඩ ගාලා වෙඩි සද්දෙ ඈතට ඇහෙනවා…යූ.එන්. එකෙන් ඇවිල්ලා සහනාධාර ලොරියක් රිවර්ස් කරනවා….වැරහැලි ඇඳගත්තු මිනිස්සු දාස් ගාණක්, දර ඉපල් වගේ වෙච්චි අත් දික් කරගෙන ඒ ලොරිය වටේ පොර කනවා….

ඈතින් ගිනි කඳන් දෙකක් එක්ක කලු දුමාරයක් පේනවා…දුම් ගුලි, ගුලි අහසට නගිනවා….බුද්ධාහු අක්බර්, අල්ලාහු අක්බර්, ජේසුහු අක්බර්, ඔක්කොම එව්වා කිය, කියා කෑ ගහමින් අහසට වෙඩි තියන සටන් කාමීන්….මෝටාර්, ෂෙල් රොකට් අහසේ යනවා සුදු ඉරි ඇඳගෙන….කළු ගැහිච්ච, අලු වැටිච්ච කසි කබල් වාහන වල වහලේ බඩු පොදි බැඳගෙන “ගර, ගර” ගගා සමහරු ඒ මේ අත යනවා….ඔය අස්සේ කලු පාට ඇන්ටෙනා පොල්ල උස්සපු ඇන්.ජී.ඕ වාහන ලයිට් දාගෙන විදිනවා…

“මේ කොහෙද මේ…?…ඒ පාර ඇප්ගනිස්ථානෙද…?…නැත්තන් ඉරාකෙද…?”

“නෑ…මේ ඔයාලගේ කොළඹ…වෙන සමාන්තර විස්වෙක මෙයා…”…

අන්තිමට කැතී මාව අපේ විස්වෙට ගෙනත් බස්සලා, නොපෙනී ගියා…ඒකිගෙ ටැලිපෝන් නම්බරේ වත් ඉල්ලගන්න කල්පනාවක් තිබ්බෙ නැතිවෙන තරමට දැක්ක දේවල් නිසා මං අන්නකොරොස් වෙලා හිටියේ…පොඩ්ඩක් සුවර් කර ගන්නත් එක්ක වටපිට බැලුවා මේ අපේම විස්වෙ කොළඹද කියලා….

“ඔට්ටුව, පිටඔට්ටුව”…”මාලබේ, මාලබේ..”….”ඔට්ටාව, ඔට්ටාව, මාරගම, මාරගම”….”අද සනිදා වාසනාව අදයි…!”….”සුදු අරලියා වැල….පිපුණේ ඇයි තනිව…!”

අපි සිරාවට මධ්‍ය ආදායම් ලබන රටක් ඕයි….!