කාලාමයෙනි ඔබ….! ( පළමුවන පිදුම )

ආචාර්ය අවොල් පකීර් ජයිනුලබ්දීන් කලාම් පිළිබඳව අටුවා ටීකා ටිප්පණී උවමනා නැත… දකුණු ආසියාවට කිරුළක් වූ ඒ මහා ප්‍රාඥයා පිලිබඳව සරල තොරතුරු බොහොමයක් ඔබ සැමට සයිබර් අවකාශයේත් ඉන් පිටතත් සුලභව හමුවනු ඇත… බොහෝ ශ්‍රේෂ්ඨයන්, බොහෝ ප්‍රවීණයන්, බොහෝ ප්‍රාඥයන් ගැන අප කථා කරන්නට පටන් ගන්නේ ඔවුන් මිය පරළොව ගිය පසු නිසාත්, එසේ කථා කිරීම උක්ථ මරණයෙන් සති කිහිපයක් යනතුරු පවතින සමාජ විලාසිතාවක් වන නිසාත් අබ්දුල් කලාමයන් පිළිබඳව තව බොහෝ තොරතුරු ඉදිරි දින කිහිපය තුළ අධිකව සුලභ වනු ඇත…එසේ හෙයින් ඔහුගේ සාරවත් දිවිපෙවෙත ගැන සිල්ලර විස්තර යළි යළිත් හුවා දැක්වීමට දායක වීම නුවුමනාය…

…
…1931 ඔක්තෝම්බර් 15 වැනි දින තමිල්නාඩුවේ රාමේශ්වරම් හි උපන් අබ්දුල් කලාම් මෙලොව පහළ වූ විද්‍යාර්ථී යුග පුරුෂයන් අතුරින් අඩු වයසින් තැන් තැන් වල පත්තර බෙදා එයින් තමන්ගේත් අනුන්ගේත් කුසගිනි නිවූ දෙවැන්නා විය හැක… පළමුවැන්නා විය හැක්කේ ඇමරිකාවේ මහා විදු මැවිසුරු තෝමස් අල්වා එඩිසන්ය…
…
මිචිගන්වල පෝට් හුරෝන් දුම්-රියපළේ ලාම්පු වලට මෙන්ම තිරුචිරප්පලියේ වීදි පහන් කණු වලටත් ප්‍රඥා පරිමිතයන්ට ජීවය දීමේ හැකියාව ඇති බව ලොවට පෙන්වූ මේ භාරත රත්නය සතු විශ්මිත මොළයට රුධිරය සැපයූ හදවත ඊයේ (2015 ජූලි 27) සදහටම නතර වනවිට එතුමා සතුව පැවති සුදුසුකම් වලින් හුවා දැක්විය හැකි බිඳක් මෙසේය:
…

  • “භාරත රත්න” – ඉන්දියාව ප්‍රධානය කරන උත්තරීතරම ගෞරව සම්මානය
  • “පද්ම භූෂණ්” සහ “පද්ම විභූෂන්”  ඉන්දීය ජන රජය ප්‍රධානය කරන අනුපිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ඉහළම රාජ්‍ය සම්මානයන්
  • විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනයේ ගෞරව සාමාජිකත්වය
  • ලොව පුරා පිළිගත් සරසවි 42 කින් ගෞරව ආචාර්ය උපාධි ලබා ඇත.
  • තවත් ගෞරව සුදුසුකම් ප්‍රධානයන් සිය ගණනක් සහ ගෞරව සම්මාන 400 කට අධික ප්‍රමාණයක්

ආගමික විශ්වාසයන් ඉතාම දෘඨ සමාජ චර්යා සාදන දීපයක, එවන් දේශයක, එවන් කුළයක, එවන් මවුන්ට දාව උපන්නේ වුවද, අබ්දුල් කාලාමයෝ අංගුත්තර නිකායෙහි තික නිපාතය අප වෙත තබන “කාලාම සූත්‍රයෙහි” එන කාලාම ක්ෂත්‍රියයන් බුදුන් අභිමුඛයෙන් පසුව හැසිරුණු පරිද්දෙන් “අනුශ්‍රව කථායෙනුදු නොගෙන, පරම්පරා කථායෙනුදු නොගෙන”  විමංසාවම සිය ජීවිතය කර ගත්තේය…

පත්තර විකුණන කාළයේ පත්තර පිටු අතරින් ඇරඹි මෙබඳු වූ සීමා විරහිත විමසීම ස්වකීය මාතෘ භූමියේ රක්ෂණය, උන්නතිය යන සියල්ල තහවුරු කොට, එමතු නොව සමස්ථ මානව ප්‍රජාවටම අපරිමිත මතකයන් ගොන්නක් ඉතිරි කළ

මදුරාසි විශ්ව විද්‍යාලය හා අනුබද්ධිත ශාන්ත ජෝශප් යුනිවර්සිටි කොලීජියෙන් ඇරඹි ඒ දැනුම් පිපාසය හුදු ජීවිකාවක් අරමුණු කොටගත් එකක් නොවීය…

ශාන්ත ජෝෂප් කොලිජීයේ සමයන් මැද කාලාමයන්
ශාන්ත ජෝෂප් කොලිජීයේ සමයන් මැද කාලාමයන්

භෞතිකය සියල්ලගේම පදනමය…පාරභෞතික දෑ වනාහි භෞතික විශ්ලේෂණයන්ට යා හැකි සීමාවෙන් ඔබ්බේ සිටිමින් භෞතිකයට උසුළු විසුළු කරන ගොඩනැගීම් වෙති…එය එසේ යැයි වටහා ගන්නා කල මෙලොව සියළු විද්‍යාවන්ගේ පදනම් විද්‍යාව භෞතික විද්‍යාව බවට කරන හැඳින්වීම නිරවද්‍ය බව පෙනෙනු ඇත….කාලාමයෝද භෞතික විද්‍යා උපාධියකින් සිය දීර්ඝ සුවිසැරිය ඇරඹුවේ එබැවින් විය හැක.

කාලාමයෝ භාරත ආරක්ෂාව වෙනුවෙන් පෙරට පැමිණීම 

1947 – 1971 කාළ සීමාව වූ කළී භාරතයේ එක් පසෙක මූඪත්වය උච්ඡයටම පැමිණි, අනෙක් පස බුද්ධියේ සහ ප්‍රඥාවේ නිර්මල ජලධාරා කඩා හැලුණු, එක් පසෙක ව්‍යාකූලත්වය රජකළ, අනෙක් පස ස්ථිසාර දේශපාලනික රාමුවක අනාගත සුපිරි බලවතෙකු වන්නට දුටු සිහින රජුන් උණුසුම් කළ යුගයකි. මේ වූ කළී පරිචයෙන්ම A Tale of Two Cities ග්‍රන්ථයට දෙන

“It was the best of times, it was the worst of times, it was the age of wisdom, it was the age of foolishness, it was the epoch of belief, it was the epoch of incredulity, it was the season of Light, it was the season of Darkness, it was the spring of hope, it was the winter of despair, we had everything before us, we had nothing before us, we were all going direct to Heaven, we were all going direct the other way……..”

නම් ඇරඹුමට උචිත යථාදර්ශයක් සැපයූ කාළයකි.

මෙම කාළය තුල ඉන්දියාව චීනය සහ පාකිස්ථානය සමග ප්‍රධාන යුද්ධ තුනකටද, ගෝව ප්‍රතිකාලය ඉන්දියාවට ඈඳා ගැනීම, තමිල්නාඩුවේ ජාතික අරගලයන්හි අලු යට ගිණි දැකීම, ජම්මු කාශ්මීර කළාපය අනාගතයේ වන්නට යන අන්ත්‍රායක මුල් කළු කොඩිය වැනීම වැනි අභ්‍යන්තර අර්බුද රැසකටද මුහුණ පෑ යුගයක් විය.

ඉන්දීය විද්‍යා කුළලයෙහි කාලාමයෝ පාද ස්පර්ශය තැබූ තැන් අතුරින් මෙම ලියුම්කරුවාගේ සිත් ගත් අවස්ථාවන් අතළොස්සක් සංක්ෂිප්තව දක්වමි…

Nandi Project – “නන්දි” ව්‍යාපෘතිය 

“නන්දි” වෘෂභ යනු ශිව දෙවිඳුන්ගේ වාහනයයි…ශිවට නන්දි මෙන් භාරත නාවුක හමුදාවට බර උසුලාගෙන පාවීමෙහි සමත් ගවයෙකු දීම එවකට ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ධුරයේ සිටි වී.කේ ක්‍රිෂ්ණ මෙනන් මහතාගේ අදහසක් විය. එමෙන්ම ඉන්දීය හමුදාවන් ශක්ති ප්‍රභවයන් අතින් ස්වයං පෝෂිත කිරීමද ඔහුගේ පැතුමක් විය.

එවකට ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයේ Aeronautical Development Establishment ආයතනයේ සේවයේ නියුතු අබ්දුල් කාලාමයන් සිවු දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක නායකත්වය දරමින් මෙකී ආරක්ෂක ඇමතිවරයාගේ සිහිනය සැබෑ කිරීම සඳහා වෙහෙසීමේ ප්‍රතිඵලයක් ලෙස 1962 වසරේදී ඔවුන් අතින් මිලිමීටර් 40 ක තිල්ලක් මත දුවන කිලෝග්‍රෑම් 550 ක් බර, ඉන්දියාවේ නිෂ්පාදිත පළමු “වායු පා යානය” (Hovercraft)  බිහිවිය…

…

ADE Hovercraft Project "Nandi"
ADE Hovercraft Project “Nandi”

ආරක්ෂක ඇමති ක්‍රිෂ්ණ මෙනන් මෙම රථය පරීක්ෂාවට පැමිණි මොහොතේ විනාඩි 15ක කාළයක් පැයට කිලෝමීටර් 20 ක පමණ වේගයෙන් තමාව රැගෙන මේ රථය පැදවූයේ අනාගත ඉන්දීය ජන රජය පදවන දෑතක හිමිකරුවා බව ආරක්ෂක ඇමතිවරයා නොදැන සිටියේය…

අවාසනාවන්ත දේශපාලන අර්බුදයක් හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අතරමග අතහැර දැමූවත් කාලාමයන් ප්‍රදර්ශණය කළ ප්‍රඥාව සහ දැනුම සැළකිල්ලට ගත් ඉන්දීය මධ්‍යම රජය ඔහුව ඉන්දීය ගගණාරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන Indian Committee for Space Research (INCOSPAR) – ( Later Indian Space Research Organization (ISRO) ආයතනයට සම්බන්ධ කළේය….

කාළාමයන්ට ජාත්‍යන්තර ප්‍රජාව පටබැඳ ඇති අනවර්ථ නාමය “මිසයිල් මිනිසා” ( Missile Man) යන්නය. එහෙත් ඔහු ගගණ පථය පිරික්සීම සහ අභ්‍යවකාශ ක්‍රියාන්විතය මුල් වරට අරඹන්නේ යුදමය චේතනාවන් සිතෙහි තබාගෙන නොවේ…

අහස් ගඟ දඹදිවට 
…

පෘතුවි කක්ෂ ගත කරන අනෙකුත් අයිතමයන් මෙන්ම විවිධ කාර්යයන් සඳහා කක්ෂගත කෙරෙනු ලබන චන්ද්‍රිකාවන්ද පෘතුවි කක්ෂයට ප්‍රවිෂ්ඨ කරනුයේ ප්‍රවාහක යානයක් මගිනි…

ඇමරිකාවේ නාසා ආයතනයට අනුබද්ධිත Langley Research Center හි සහ Goddard Space Flight Center හි කෙටි කාළයක් සේවය කළ අබ්දුල් කලාමයන් යළි 1963 වසරේ සිය රට පැමිණෙන්නේ අත්දැකීම් සම්භාරයක් පොදි බැඳගෙනය…

1963 වසරේ නොවැම්බර් 21 වැනිදා ඉන්දීය ජනරජයේ පළමු රොකට්ටුව ගුවන් ගත කෙරිණි…“Nike – Apache” නම් වූ මෙම ව්‍යාපෘතිය ඉන්දීය න්‍යෂ්ඨික වැඩසටහනෙහි නිර්මාතෘවරයා ලෙස සැළකෙන හෝමි ජෙහාන්ගිරි බාබා සහ ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනෙහි නිර්මාතෘවරයා ලෙස සැළකෙන ආචාර්ය වික්‍රම් සරභායි යන විදුසක්විතියන් දෙපළගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක විය…

මෙම “නයික්-ඇපාචි” රොකට් වැඩසටහනට සම්බන්ධ වූ කාලාමයන්ට මුළින්ම හිමිවූයේ එහි රොකට් පද්ධති ඒකීකරණය සහ ආරක්ෂාව ( Rocket Systems Integration & Security) සම්බන්ධ වගකීම් සමුදායකි…නොවැම්බර් 21 වැනිදා කරන ලද ගුවන් ගත කිරීම සාර්ථක විය…

(දැන ගැනීමට : “නයික්-ඇපාචි” යනු ඇමරිකාවේ නාසා ආයතනයේ අනුග්‍රහයෙන් සිදු කෙරුණු ප්‍රාථමික සහ පරීක්ෂණ මට්ටමේ Sounding Rocket රොකට් විශේෂයකි…මෙම රොකට්ටු බොහෝ විට “අර්ධ-කක්ෂ” ගතවීම විනා වෙන කිසිවක් සිදු නොකළේය…මෙවැනි රොකට්ටු ගුවන් ගත කිරීමේ  මූලික අරමුණ වූයේ සාපේක්ෂව තරමක් පිටුපසින් සිටින අභ්‍යවකාශ වැඩපිළිවෙලවල් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම සහ නාසා ආයතනය මගින් නිර්මාණය කරනු ලබන නව සන්නිවේදන උපකරණ අත්හදා බැලීම පමණි….නාසා ආයතනය මෙම රොකට් ව්‍යාපෘතිය ඉන්දියාව, බ්‍රසීලය, නොර්වේ රාජ්‍යය, පාකිස්ථානය වැනි රටවල් රැසක් සමග අත්හදා බලා ඇත….)

ආචාර්ය සරාභායි මේ වැඩසටහනට අබ්දුල් කලාමයන් දැක්වූ දායකත්වය ගැන බෙහෙවින්ම පැහැදුණු හෙයින් කාලාමයන් කැඳවා ඔහුට සෝවියට් සමූහාණ්ඩුවේ රොකට් විදුදර සර්ජි යෙනොව් යටතේ Rocket Assisted Take – Off ( RATO) හැදෑරීමට අවස්ථාවක් සකස් කර දුන්නේය…

(Assisted Take-off වූ කලී ගුවන් යානාවක් හෝ වෙනත් අයුරක ගගන යාත්‍රාවක් එහිම බලයෙන් සහ ජවයෙන් ගුවන් ගත කරන සාමාන්‍ය ක්‍රමවේදය වෙනුවට යම් කිසි බාහිර ශක්ති ප්‍රභවයක ආධාරයෙන් ගුවන් ගත කිරීමයි .. Rocket Assisted Take-off හෙවත් RATO යනු මෙහි එක් ප්‍රභේදයක් පමණි…වෙනත් ඒවා ගැන කියනවා නම් Catapult Assisted Take-off – CATO සහJet Assisted Take-off – JATO යනුවෙන් ගත හැක… )

අබ්දුල් කාලාමයෝ ආචාර්ය වික්‍රම් සරාභායි හෙවත් ඔහුගේ ආදරණීය "සරාභායි ජී" සමග
අබ්දුල් කාලාමයෝ ආචාර්ය වික්‍රම් සරාභායි හෙවත්  ආදරණීය “සරාභායි ජී” සමග

එයත් නිමකර යළි කාලාමයන් සිය රට පැමිණෙන විට “සර්භායි ජී” ගේ මනැසේ “රෝහිණී පරීක්ෂණ රොකට්ටු “( Rohini Sounding Rockets – RSR) ගැබ්ගෙන තිබිණි…

අබ්දුල් කලාම් ශූරීන්ගේ තියුණු නුවන සහ විචාර බුද්ධියට බෙහෙවින්ම ඇළුම් කළ ආචාර්ය සරභායි ඔහුගේ නවතම ව්‍යාපෘතිය වන Thumba Equatorial Rocket Launching Station (TERLS) හි ඉදිකිරීම සහ සංවර්ධනය සඳහා එතුමන්ට ඇරයුම් කරන ලදී… කෙටි කළකින්ම එහි සහාය අධ්‍යක්ෂකවරයෙකු වීමේ භාග්‍ය කාලාමයෝ උදාකරගත්හ….

37 හැවිරිදි අබ්දුල් කලාම් හි සේවයෙහි නියුතු විද්වත් සගයන්ට දේශණයක් දෙමින් - අසහාය ගගන ඉංජිනේරු මහාචාර්ය සතිෂ් ධාවන් ( ඔහුගේ නමින් මේ මොහොතේ ක්‍රියාත්මක විශාලතම ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය නම්කොට ඇත ) සහ මහාචාර්ය බ්‍රහ්ම ප්‍රකාශ් ඉදිරියෙන් ..
37 හැවිරිදි අබ්දුල් කලාම් හි සේවයෙහි නියුතු විද්වත් සගයන්ට දේශණයක් දෙමින් – අසහාය ගගන ඉංජිනේරු මහාචාර්ය සතිෂ් ධාවන් ( ඔහුගේ නමින් මේ මොහොතේ ක්‍රියාත්මක විශාලතම ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය නම්කොට ඇත ) සහ මහාචාර්ය බ්‍රහ්ම ප්‍රකාශ් ඉදිරියෙන් ..

1967 නොවැම්බර් 20 වැනි දින ඔවුන්ගේ වෙහෙසකර ප්‍රයාමයේ ප්‍රතිඵලය වූ “රෝහිණී – 75” නම් රෝහිණී පවුලේ මුල්ම චන්ද්‍රිකා ගගනකර යාත්‍රාව තුම්බාහි අහස් සලුව ඉරාගෙන ඝණ ඉන්ධන දහන පුළිඟු නංවමින් ඉහළට ඇදිනි…සාර්ථක ලෙස බලාපොරොත්තු වූ කක්ෂයට ළඟාවීමට එම රොකට්ටුව සමත්වීමත් සමග ඉන්දු දේශයේ පඬුවෝ තුඩ තුඩ “අබ්දුල් කලාම්” නම් තරුණ ප්‍රාඥයාගේ නම රැව්දෙන්නට විය…

රෝහිණී – 75 රොකට්ටුවේ බර කිලෝග්‍රෑම් 7.88 ක් වූ අතර, මීටර් 1.63 ක උසකින්ද, මීටර් 0.08 විෂ්කම්භයකින්ද යුතුවිය…එහි භූ දූරස්ථය ( Apogee ) වූයේ කිලෝමීටර් 10 කි.. ( භූ දුරස්ථය වූ කළී පෘතුවිය වටා කක්ෂගත වස්තුවක නම් කක්ෂ පථය මත පෘතුවියට ඇති උපරිම දුරස්ථය වනු ඇත…එසේ නැතහොත් ගුවන් ගත කරන ලද වස්තුවක ප්‍රක්ෂිප්තයෙහි උපරිම උන්නතාංශය වනු ඇත…මෙහිදී දෙවැන්න )

ඉන් වසරකට පසුව අලුතින් නිමැවුණු “ශ්‍රී හරිකොත” අභ්‍යවකාශ අටල්ල මතින් 1970 වසරේ ජනවාරි 01 වැනිදා “රෝහිණී – 125” නම් එම රොකට් පවුලේ දෙවැන්නා ගුවන් ගත කිරීමට ඔවුහු සමත්වූහ…කිලෝග්‍රෑම් 40 ක බරින් යුත්, මීටර් 2.8 ක් උස, විෂ්කම්භය මීටර් 0.12 වූ, තෙරපුම කිලෝනිව්ටන් 7.88 ක් වූ කිලෝමීටර් 20 ක දුරස්ථයක් සහිත එම රොකට්ටුවද සාර්ථක වූයෙන් මීළඟට ගුවන් බරක් (Payload) සහිත උපයෝගීතා තලයේ රොකට්ටුවක් කක්ෂගත කිරීමේ ක්‍රියාන්විතය ඇරඹිණි…

අජඨාකාශයටත් ඔබ්බේ ප්‍රඥාව විහිදවූ ශාස්තෘහු විසූ දඹදිව් භූමියෙහි බුද්ධි ප්‍රජාවගේ අභ්‍යවකාශ සිහිනය අනුක්‍රමිකව සැබෑවක් කෙරෙන මොහොත කෙමෙන් කෙමෙන් එමින් සිටියේය….

ගුරු දෙව් සමුගැන්ම 

මෙසේ වූ සාර්ථකත්වයන් රැසක් අතර වේගයෙන් වෘත්තිමය ඉදිරි ගමනක් ගිය අබ්දුල් කලාමයන් හට 1971 දෙසැම්බර් 20 වැනිදා අසන්නට ලැබෙන්නේ සිය ගුරු දේව තනතුරෙහි ලා සැළකූ මිනිසෙකුගේ වෙන්ව යාම පිළිබඳව අබග්ගයකි.

තමා සමග ඊට පැ‍යකට මත්තෙන් රෝහිණී ව්‍යාපෘතියේ හෙට දවස ගැන සාකච්ඡා කළ සිය ගුරුදේව ආචාර්ය වික්‍රම් සරාභායි කේරළයේදී හදිසියේ හටගත් හෘදයාබාධයකින් මෙලොව හැරගිය පුවත සිය සවනට එනවිට කාලාමයෝ සිටියේ රෝහිණී ස්ථාවර අටල්ලක හිණිපෙළක් මතය…

සරභායි ජී ගේ වෙන්ව යෑමත් සමග ඉන්දීය අභ්‍යවකාශ ව්‍යාපෘතියේ හෙට දවස ගැන සම්පූර්ණ වගකීමම සිය උරහිස් මත වැටුණා සේ අබ්දුල් කලාමයන්ට දැනිණි…

සිය ගුරුවරයාගේ සහ මග පෙන්වන්නාගේ වියෝවෙන් කෙටි කළක් සලිතව සිටි අබ්දුල් කලාමයෝ තමන් හට අහස් රදව්වෙහි අත්පොත් තැබූ ගුරු හට කරන ලොකුම ගෞරවය වන්නේ ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනෙහි ඔහු දුටු සිහින සැබෑ කරන්නට උපරිම වැර දැරීම බව වටහා ගත්හ…

මේ අනුව හේ දිනකට වෙහෙසෙන පැය ගණන දෙගුණ කළේය…නිදි වර්ජිතව බොහෝ රාත්‍රීන් ඉන්දු දෙස මිනිස් වර්ගයාගේ යකඩ හීසැර පිරිමැවුම් කරන විද්‍යාගාර වල, නිර්මාණාගාර වල, පර්යේෂණාගාර වල කල් ගත කළේය…

ඔහු නව යොවුන් වියේදී යුග දිවියක් පැතූ අයෙකු වුවද, මෙකළ “කළ වයස නිකම්ම ගෙවෙන්නේයැයි” සිය මව් පියන් ඇතුළු නෑ සියෝ නගන මැසිවිල්ල බැහැර කළෙකි…තමාට විවාහ වී බිරියක් සහ දරුවන් සමග ගත කරන්නට කාළයක් නැති බවත්, තමා උපන් අරමුණ වන භාරත මාතාවගේ උන්නතිය උදෙසා කටයුතු කිරීම යන ප්‍රස්තුතයට මුළු දිවියම කැප කරන බවත් ඔහු ඔවුන්ට කීවේය..

වික්‍රම් අතහිත අහිමි වුවත් ස්වයං විවේචනය සහිත යථාර්තවාදී බුද්ධි විශ්ලේෂණයන් මගින් අබ්දුල් කලාමයෝ ව්‍යාපෘති නායකත්වයෙහි රැඳෙමින් මීළඟ අවුරුදු 9 තුළ කිලෝග්‍රෑම් 100 ක් බර, මීටර් 3.678 ක් උස, කිලෝනිව්ටන් 17 ක තෙරපුම් බරයක් සහිත, කිලෝමීටර් 80 ක දුරස්ථයක් සහිත Rohini – 200 නම් රොකට්ටුවක් 1979 ජනවාරි 01 වැනිදා අර්ධ කක්ෂය වෙත යවන ලදී…

සිහිනයක අද්දර  –  “වර්නර් වොන් බ්‍රොන්” හමුව – 

එය වූ කළී, සිය ගුරු වික්‍රම් හෝ ප්‍රවීණයන් වන සතිෂ් ධාවන්, බ්‍රහ්ම ප්‍රකාශ් වැනි කිසිවෙකුත් ළඟපාතක නැති සමයක විදේශයකින් හෝ ප්‍රවීණත්වය සහ උපදෙස් සොයමින් අබ්දුල් කලාම් විද්වතාණෝ සැරිසැරූ සමයකි…ඔහුගේත් ඔහුගේ සගයන්ගේත් සිත්වල ඉච්ඡා භංගත්වය රජ කරමින් පැවතියේය….ප්‍රතිගාමී විකාරරූපී අදහස් දරන බලවේග විසින් මෙන්ම විදේශ නියෝජිතයන් විසින්ද ඉන්දීය අභ්‍යවකාශ වැඩපිලිවෙල “අල කර” දැමීමට උත්සාහ දරමින් සිටි යුගයකි ඒ….

ගගණ මැවිසුරු මෙන්ම සුප්‍රකට වෘතාන්තදර “සැටර්න් 5” රොකට්ටුවේ පිතුවර ජර්මානු ජාතික වර්නර් වොන් බ්‍රොන් ඇමරිකා එක්සත් ජනපදයේදී අබ්දුල් කලාමයන් හමුවන්නේ මේ අතර තුරය…

මේ වනවිට අබ්දුල් කලාමයන් දීර්ඝ ප්‍රයාමයන් මාලාවකින් හෙම්බත්වී සිටි අතර, ඉන්දියාව සොයන ඒ අභ්‍යවකාශ ප්‍රවිෂ්ඨය තමන්ගෙන් බොහෝ දුර ඈත බව හැඟෙන්නේ යැයි හෙතෙම වොන් බ්‍රොන් හමුවේ දුර්මුඛ වූ ලීලාවක් පෑවේය…

මෙයට හේතු විමසා සිටි වොන් බ්‍රොන් ට අවබෝධ වූයේ වික්‍රම් සරභායිගේ මරණයත් සමග ඔහුගේ අඩුව පුරවන්නට ගෙන්වන ලද විදේශ විශේෂඥයන් ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහන “කෝකියන් රැළකගේ විකාර සූපයක්” කරගෙන ඇති බවයි…

“කලාම් මහත්මයා ! මම ඔබට එක අවවාදයක් දෙන්නම්.. ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩ පිළිවෙලට අත්‍යවශ්‍ය සාධක මොනවාද කියන එක දන්න හොඳම මිනිහා විය යුත්තේ ඉන්දියානුවෙකුම පමණයි… ඔබ විදෙස් උපදෙස් සහ තාක්ෂණය පැතුවාට මම ඒකෙ වරදක් දකිනව නෙමෙයි…නමුත් ඉන්දියානුවන් අතුරින්ම කෙනෙක් මේ වැඩපිළිවෙල ජයග්‍රහණය කරා ගෙනියන්න උවමනායි…ඔබගේ දැනුම විශාලයි…මේකට තිබෙන බලාපොරොත්තුවත් එපමණයි”…

කලාම් ඉදිරියටම 

මෙයින් අනතුරුව අබ්දුල් කලාම් නැණසුරුවානෝ IRO හි  Satellite Launch Vehicle Project (SLV) අධ්‍යක්ෂක වරයා වශයෙන් පත් කෙරිනි…

විදේශ විද්වතුන්ගේ මතයන් සහ ඥාණ පරිත්‍යාගයන්ද මනාව කළමණාකරණය කරගනිමින්, ස්වකීය ගමන් මගේ හිස්තැන් පුරවාගැනීම උදෙසා ඉන්දිය ඥාණයද බොහෝ කොට භාවිතා කර ගැනීමට ආචාර්ය අබ්දුල් කලාමයන් සංවිධිත පරිශ්‍රමයක් දැරුවේය…මේ වනවිට රෝගී තත්වයෙන් සුවය ලබා යළි මෙම ප්‍රයත්නය සමග එක්වූ බ්‍රහ්ම ප්‍රකාශ් ද , විදේශ ගත වීමෙන් යළි පැමිණි මහැදුරු සතිෂ් ධාවන්ද සටනට නව පණක් දෙමින් සිටියහ…

ඉතිරිය මීළඟ ලිපියෙන් ………….

 

කවුද මේ අයි.එස්.අයි.එස් (ISIS) ? – WHO ARE ISIS? – ISIS Profile – 1

ලෝක දේශපාලනයේ මේ වනවිට වැඩි වශයෙන්ම අවධානයට ලක්වූ සංවිධානය සහ මාතෘකාව තමයි අයි.එස්.අයි.එස් නම් වූ ත්‍රස්ත සංවිධානය…

මෙලොව සාම්ප්‍රදායික රාජ්‍ය ප්‍රජාවට සහ ඒවායේ බලවත්ම රාජ්‍ය පන්තියට මෑත ඉතිහාසයේදී එල්ල වූ ප්‍රබලම අභියෝගය තමයි මේ සිරියාවේ සහ ඉරාකයේ මේ වන විට ව්‍යාප්තව සිටින “අයි.එස්.අයි.එස් හෙවත් අයිසිස්” ලෙස හඳුන්වනු ලබන දැවැන්ත ත්‍රස්ත ජාලය… මෑතකදී මෙම සංවිධානය තරම් එක් ආරක ගමන් කරමින් සිටින ලෝක ප්‍රජාව තුල, වාණිජ, ජාතික සහ ජනප්‍රිය සංස්කෘතික ගත කතිකාවත් ඇරඹීමට තුඩු දුන් වෙනත් සංවිධානයක් නැති තරම් ….

මෙම සංවිධානයේ විස්තාරණය සහ ඔවුන් විසින් එම කළාපයේ නිර්මාණය කර ඇති දේශපාලන වික්ෂිප්තය හේතුවෙන් මොවුන් ගැන නිරවුල් පැහැදිලි කිරීමක් ලෝකයට ලැබී නැහැ…..මෙයට හේතුව තමයි නිශ්චිත තොරතුරු මූලාශ්‍රයක් නොමැති කම සහ පවතින තොරතුරු සහ ප්‍රවෘත්ති මූලාශ්‍රයන් සියල්ල ඔවුනොවුන්ගේ දේශපාලනික පක්ෂපාතීත්වයන් හේතුවෙන් හෝ හුදෙක් මෙම සංවිධානයට දක්වන බිය හේතුවෙන් ඔවුන් ගැන නිරවුල් මතයක් ප්‍රකාශ නොකර සිටීම….

මේ හේතුව නිසා ඔවුන්ගේ ව්‍යාප්තියට අදාළ කළාපයෙන් පිටත රටවලට ඔවුන් ගැන ඇත්තේ අපැහැදිලි අදහසක්…විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල සිටින ජාත්‍යන්තර දේශපාලනය හදාරන සිසුන්ට සහ ගවේෂකයන්ට ඒ ගැන නිසි අවබෝධයක් ලබාගන්න පුලුවන් තැන් විරලයි…

මේ නිසාම මම අදහස් කළා, මේ ලිපිය ඔස්සේ අයිසිස් සංවිධානයේ ආකෘතිය, එහි ක්‍රියාකාරීත්වය, සහ දේශපාලනික අරමුණු පිළිබඳව පිළිගත් මතවාදයන් ඇසුරෙන් නිරවුල්කරණයක් සකස් කරන්න….

කොහොමද මේ “අයිසිස්” (ISIS) සංවිධානය බිහිවුනේ…?…කවුද මේකෙ ආරම්භක නායකයන්…?… මෙවැනි සංවිධානයක් කළාපීය සහ ලෝක බලවතුන්ව අසරණ කලේ කොහොමද?….මේ ගැන ගවේෂණයක් කරමු….
“අයිසිස්” (ISIS) හඳුන්වා දීම

මෙහිදී ඔබ විසින් “අයිසිස්” නම් කෙටි නාමය ( පහසුව සඳහා භාවිතා කරන ), පුරාණ ඊජිප්තු ශිෂ්ඨාචාර වාසීන්ගේ මව් දෙවඟන වූ “අයිසිස්” දෙවඟන සමග පටලවා නොගත යුතුයි….

මේ නම හැදිලා තියෙන්නෙ මෙහෙමයි…..

ISIS = Islamic State of Iraq and Syria 

අබු මුෂාම් අල් සර්කාවි

අබු මුෂාබ් අල් සර්කාවි - අයිසිස් නිර්මාතෘ නායක
අබු මුෂාබ් අල් සර්කාවි – අයිසිස් නිර්මාතෘ නායක

මෙම ත්‍රස්ත ජාලයේ මුල් ආරම්භය 2002 වසර තෙක් ඈතට දිව යනවා….2002 වසරේ ඉරාකයේදී ජෝර්දාන ජාතික ත්‍රස්ත සටන් කරුවෙකු වන අබු මුෂාම් අල් සර්කාවි විසින් නිර්මාණය කරන ලද ව්‍යාපාරය තමයි “තව්හිඩ් – වා – ජිහාඩ්” යන සංවිධානය…සුන්නි මුස්ලිම්වරයෙකු වූ සර්කාවි උපන්නේ පලස්තීනයේ සිට ජෝර්දානයට පලා ආ සරණාගත පවුලකට….

ඉන් පසුව ඔහු ඇෆ්ගනිස්ථානය නතු කරගෙන සිටි සෝවියට් හමුදාවන්ට එරෙහිව සටන් වදින්නට ඇෆ්ගනිස්ථානයට ගියා…

පසුව ජෝර්දානයට පැමිණි හෙතෙම “ජූන්ද් අල්-ෂාම්” නම් කුඩා ආගමික සටන් කරුවන් කල්ලිය නිර්මාණය කර ගත්තා. වැඩි කළක් යෑමට පෙර රාජකීය ජෝර්දාන හමුදාවේ විශේෂ බළකාය ඔහුව පණපිටින් අත් අඩංගුවට ගත්තා…එහෙත් වසරක් ඉකුත්ව යෑමට පෙර ජෝර්දාන රජුගේ සමාවකින් ඔහු නිදහස ලැබුවා…මේ නිදහස ලැබීමෙන් පසුවත් ඔහු “ජුන්ද් අල්-ෂාම්” කල්ලිය යළි නිර්මාණය කිරීමෙහි නිරත වුනා…2001 වසරෙදි තමයි ඔහු ඉරාකයේ සිය ක්‍රියාන්විතය අරඹන්නෙ…

මූලික වශයෙන් සදාම් හුසේන්ගේ “බාත්” පක්ෂයෙන් සක්‍රීය දේශපාලනයට ආ සර්කාවි, පසුව යම් කාළයක් සදාම් යටතේ සිට, ඉන් පසුව සදාම්ගේ ඉස්ලාමික ජාතික යෙදුමෙහි ඇති ආගමික වශයෙන් නිශ්ක්‍රීය වන කරුණු කාරණා ගැන කළකිරී එයින් ඉවත්ව, මුලින්ම ගම් මට්ටමෙන් රැස්වීම් පවත්වමින් ඉස්ලාම් දහමේ මූල ධාර්මික ජීවන රටාව ලෙස ඔහු විශ්වාස කළ ජීවන රටාවක් හඳුන්වා දෙමින් කාළය ගත කළා…

2003 වසරේදී ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදා සදාම් රෙජීමය අවසන් කිරීම සඳහා ඉරාකය ආක්‍රමණය කරද්දී සර්කාවි “තව්හිඩ් – වා – ජිහාඩ්” සංවිධානය ගොඩ නගාගෙන අවසන්….ඇමරිකාව ජනපති සදාම් බලයෙන් පහකළ පසුව ඉරාකයෙහි එතෙක් යටපත්ව පැවති සුන්නි-ෂියා ආගමික වර්ග භේදවාදය යළි ඉස්මතු වීමෙන් පසුව ඇති වූ අතිශය අස්ථාවර තත්වය සර්කාවි සිය බලය තහවුරු කර ගැනීම සඳහා යොදා ගත්තා…

2003-2006 කාළය තුළ ඔහු ඇමරිකානු හමුදා ඉලක්ක වෙත සිය මනාව පුහුණු කරවන ලද සටන් කරුවන් යොදා දරුණු ප්‍රහාර එල්ල කරමින් එවකට ලොව පැවති විශාලතම සන්නද්ධ ත්‍රස්ත කල්ලිය වන “අල් කයිඩා” ( Al Qaeda) සංවිධානයේ හොඳ හිත දිනාගෙන වසර 2004 වන විට තමන්ගේ කල්ලිය අල්-කයිඩාවට අනුබද්ධ කර “අල් කයිඩා – ඉරාක්” ( AQI – Al Qaeda Iraq) යන නාමය භාවිතා කිරීම ආරම්භ කළා….

2004 වසරෙදි ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක සේවාවන් සියල්ල සර්කාවි සිය ලැයිස්තුවලට ඇතුළු කරනු ලැබුවා…2005 වන තෙක් සර්කාවි කිසිදු සටනකට සක්‍රීය සටන් කරුවෙකු ලෙස නොපැමිණ තමාව ලුහුබඳින ඇමරිකානු ආරක්ෂක අංශ වල අධි තාක්ෂණික උපක්‍රම වලින් ගැලවී ඉරාකයේ අල් කයිඩා සංවිධානයට විශාල පිරිස් බලයක් ලබා දුන් දක්ෂ බඳවා ගන්නෙකු බවට පත් වුනා….

2006 පමණ වන විට ජාත්‍යන්තර අල් කයිඩා ජාලයේ නායකයන් සහ සර්කාවි අතර අළු යට ගිණි පුපුරු සේ තිබුණු න්‍යායාත්මක සහ උපක්‍රමික මත භේදයක් ක්‍රමයෙන් ඇවිළෙන්න පටන් ගත්තා…මේ න්‍යායික නොගැළපීම මුලදී තදින් නොදැනුනත්, අල් කයිඩා සංවිධානයේ ක්‍රියාකාරීත්වයේ දිගු කාළීන අරමුණු ක්‍රමයෙන් ඉස්මතු වෙන විට එය මේ පාර්ශවයන් අතර ආරවුලක් බවට පත් වුනා…. ( ඇතැම් විශ්ලේෂකයන් මෙම ආරවුල ඇමරිකානු බුද්ධි අංශ විසින් නිර්මාණය කරන ලද්දක් බව කියනවා )

මේ න්‍යායික අවුල වූයේ:

අල් කයිඩා ජාත්‍යන්තර ජාලයේ අදහස උනේ තම සටන් කරුවන් ලවා දුර ඈත ඉලක්ක වෙත, එනම් බටහිර ලෝකයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරවිය යුතුය කියන එක… මේකට කියන්නෙ ඔවුන්ගේ Far Enemy Strategy

සර්කාවි ප්‍රමුඛ අල් කයිඩා ඉරාක ජාලයේ අදහස උනේ ළඟා වීම අතිශය දුෂ්කර සහ හොඳින් රැකවල් කරන ලද බටහිර ඉලක්ක වෙත ළඟා වීමට ගොස් සටන්කරුවන් සහ සම්පත් විනාශ කර නොගෙන, කළාපීය වශයෙන් සිටින ඇමරිකාව ප්‍රමුඛ බටහිරට හිතවාදී සාම්ප්‍රදායික නායකත්වයන් විනාශ කර දමා, කළාපීය රාජ්‍ය බලය අතට ගෙන Caliphate එකක් ( එනම් අරාබි බසින් “කිලාෆාත්” හෙවත් අධිරාජ්‍යයක් … මහා දේශයක් ) ගොඩ නැගිය යුතුයි කියන එක….මේකට කියන්නෙ ඔවුන්ගේ Near Enemy Strategy 

එමෙන්ම ජාත්‍යන්තර අල් කයිඩාවන් විසින් තරයේ ප්‍රතික්ෂේප කරපු තවත් අදහසක් ක්‍රියාවේ යොදවන්න සර්කාවි උත්සාහ කළා….ඒ තමයි මෙකී කැලිෆේටය එහි වෙසෙන සුන්නි නොවන මුස්ලිම් සහ කුර්දි, ක්‍රිස්තියානි, යුදෙව් ප්‍රජාවන්ගෙන් තොර කර භයානක වාර්ගික පවිත්‍රකරණයක් (Ethnic Cleansing), හෙවත් වර්ග සංහාරයක් කළ යුතුය කියන එක…ඒ සඳහා සුන්නි මුස්ලිම් සංකල්පයන්ට අනෙක් වාර්ගික සහ ආගමික ප්‍රජාවන් නතු කර ගැනීමත්, එසේ නතු නොවන අය මරා දැමීමත් උපක්‍රම ලෙස ඔහු ඉදිරිපත් කළා….

මේ මතවාදී දෙදරා ‍යෑමේ ප්‍රතිපලයක් ලෙස 2006 වසරේ පෙබරවාරි මාසයේදී පහත සඳහන් සංවිධාන 18 සමග අල් කයිඩා ජාත්‍යන්තර ජාලයෙන් ඉරාකයේ අල් කයිඩා ශාඛාව වෙන් කර ගත් සර්කාවි “ඉරාක ඉස්ලාමික රාජ්‍යය” (Islamic State of Iraq = ISI) හෙවත් නිර්මාණය කර ගත්තා….

2006 ජූනි මාසයේ 6 වැනිදා ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් එෆ්-16 ජෙට් ප්‍රහාරක යානා දෙකක් යොදා එල්ල කරන ලද සුසමාධිත නිරවද්‍ය තාක්ෂණික ප්‍රහාරයකින් ( Precision Strike )සර්කාවි මිය ගියා….මිය යනවිට ඔහුට වයස අවුරුදු 40 ක් වූ අතර, දැඩි මතධාරී ක්‍රියා පටිපාටිය නිසා ප්‍රබල දෙවැනි පෙළ නායකයෙක් හෝ නායකයන් සාදා තිබුනේත් නෑ…

මේ හේතුව ISI නිසාම ක්‍රමයෙන් දුර්වල වෙන්න පටන් ගත්තා….අලුතින් පත් වුනු නායකයන් කිහිප දෙනෙක්ම එකිනෙකාට ඉතාම ආසන්නයෙන් ඇමරිකානු හමුදා සහ ඉරාකයේ ඇමරිකානු ආධාර ලබන රජයේ හමුදා ප්‍රහාර වලින් මිය ගියා….

එසේ මියගිය අනෙක් නායකයන් වන්නේ :

1. අබු අයුබ් අල් මස්සෙරි ( Abu – Ayub – Al – Massri) 
2. අබු ඕමාර් අල් බග්දාදි ( Abu – Omar – Al – Baghdadi )

මේ අයගේ ඇවෑමෙන් තමයි මේ සංවිධානයේ වත්මන් නායක අබු බකර් අල් බග්දාදි ( Abu – Bakr – Al – Baghdadi) නායකත්වයට පත් වෙන්නේ 2010 වසරෙදි…..

මේ වත්මන් නායකයාත් පසුගිය වසරේ එල්ල වූ ප්‍රබල ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබුවා…ඔහුට දැන් සක්‍රීයව නායකත්වයෙහි කටයුතු කිරීම දුෂ්කර බවත්, ඒ වෙනුවට මෙහි වත්මන් වගකීම හොබවන්නේ එම සංවිධානයේ නියෝජ්‍ය නායක “අබු අලා අල් අෆ්‍රි”  ( Abu – Ala – Al – Afri) බවත් ඇමරිකානු බුද්ධි අංශ වාර්ථා උපුටා දක්වන විදෙස් මාධ්‍ය පවසනවා….

ISI බවට ISIS පත්වීම….ISIS ප්‍රකාශයට පත් කිරීම

මුළු ලොවම මෙතෙක් හොඳින් දැන හඳුනාගෙන සිටි ප්‍රබලතම අන්තවාදී ත්‍රස්ත ජාලය තමයි ” අල් කයිඩා” සංවිධානය…මේ කුප්‍රකට අල් කයිඩා සංවිධානයේත් විනාශය ඇරඹෙන්නේ මේ වකවානුව තුල….ඔවුන් විනාශ වෙන්නේ මේ “මව් මරා උපන් කුමරා” හෙවත් අයිසිස් නිසා….අල් කයිඩා සංවිධානයේ වත්මන් නායක “අයමන් අල් සවාහ් – රි” පිළිගත්තා මේ අයිසිස් නම් මහා ත්‍රස්ත ජාලය නිර්මාණය වීමට පෙර ඔවුන් සතුව පැවති ශක්තියෙන් 70% පමණ මේ බිහිවීමෙන් පිරිහී ගියා කියන එක….

ඒක උනේ කොහොමද?

නැවතත් කළාපීය කථාවට ආවොත්, අලු යට ගිණි පුපුරු සේ ඇවිලෙන්න මොහොතක් එනතුරු නලියමින් සිටි දේශපාලනික අර්බුද කිහිපයක් මේ කළාපයේ තවමත් මුණිවත රකිමින් සිටියා…එයින් එකක් ලිබියාව, එකක් සිරියාව, එකක් ලෙබනනය….ඉරාකය 2010 පමණ වනවිට කඩා වැටුණු කොන්ක්‍රීට් ගොඩක්, ඇඹරුණු කම්බි කූඩු ගොඩක්, සහ කැඩී විසිරුණු අතපය ගොඩක් බවට පත්වෙමින් තිබුනෙ…ඉරාකය රාජ්‍යයක් ලෙස අවසන් බව බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දුන්නා….

මේ රාජ්‍යයන් වල පාලනයන් පැවතියේ / පවතින්නේ පහත පරිදි ( 2011 )

ලිබියාව – කර්නල් මුවම්මද් ගඩාෆි සහ ඔහුගේ ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන් සතු ඒකාධිපති පාලනය

සිරියාව – ජනාධිපති බෂාර් අල් අසාද් සහ භාත් පක්ෂ ලේකම් නඩෙර් අල් හල්කි ප්‍රමුඛ භාත් පක්ෂය පවත්වා ගත් තනි පක්ෂ පාලනය

ලෙබනනය – ජනාධිපති මිෂෙල් සුලෙයිමාන් ප්‍රමුඛ ජනතා නියෝජිත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය

යේමනය – ජනාධිපති අලි අබ්දුල්ලා සාලෙයි ප්‍රමුඛ ෂුරා කවුන්සිල ප්‍රජාතන්ත්‍රවාදය

මේ රටවල් හැම එකකම බලයේ සිටි නායකයන් තරමක් දුරට ඓහික ප්‍රතිපත්ති අනුගමනය කළ, මිශ්‍ර වාර්ගිකත්වය සහ මිශ්‍ර ආගමිකත්වය යම් පරිමාවකට ආරක්ෂා කළ, වාමාංශික සහ “අරාබි ලෝකය” ( Pan – Arabism )සිහිනය දුටු නායකයන්… මේ නිසාම ඔවුන්ගේ දීර්ඝ පාලන සමයන් තුල මෙම රටවල පැවති ආගමික අන්තවාදය සහ දරුණු ගෝත්‍රවාදය සාර්ථකව සුවිශාල මිලිටරි බලයක් යොදා පාගාගෙන ගෙන දෛනික කටයුතු කරගෙන යාමට ඔවුන් සමත් වුනා….

ලිබියාවේ උඝ්‍ර ගෝත්‍ර ප්‍රශ්ණයක් ( ගෝත්‍ර 100 + සංඛ්‍යාවක් අතර ) ගඩාෆි බලෙන් පාගගෙන හිටියා….

සිරියාවේ ආගමික අන්තවාදය අසාද් යාන්තමින් පාලනය කර ගනිමින් හිටියා…

යේමනයේ බෙදුම් වාදී ගෝත්‍ර ගැටුමක් පාලනය කර තිබුණා….

ලෙබනනයේ තරුණ පරපුර ඔවුන්ගේ රජය අසල්වැසි ඊශ්‍රායලය හමාස් ඉලක්ක සොයා සිය රටට දරුණු ගුවන් ප්‍රහාර එල්ල කරද්දී අනුගමනය කළ නිවට ක්‍රියා කළාපය ගැන කළ කිරීමෙන් හිටියා….

තරුණ පරපුර අතර අසහනය සහ ඉච්ඡා භංගත්වය, විශේෂයෙන්ම පරාජිත මානසිකත්වය තරම් ත්‍රස්තවාදයට අත වනන වෙනත් හේතුවක් නෑ…. ශ්‍රී ලංකාවේත් එය තුන් වතාවක්ම උතුරේ සහ දකුණේ දකින්න ලැබුණා….මේ රටවලත් මෙකී අසහනකාරී පරිසරයන් අතරට කොටුවී බලාපොරොත්තුවක් නැතිව සිටි “ඇතැම්” තාරුණ්‍යයට “අල් කයිඩා” වැනි විනාශකාරී සංවිධාන වල දිෂ්ඨිය වැටුණා…..

මේ අය තමා අල් කයිඩා සංවිධානයේ Recruitment Base එක උනේ.. .ඒ වගේම ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලය පවත්වා ගැනීමේ ලා පණිවිඩ කරුවන්, ප්‍රවාහකයන්, මොළ කරුවන්, සටන් කරුවන් ලැබුණෙත් මේ අයගෙන් තමයි…..

අල් කයිඩා සංවිධානය සහ එහිම පරිපාලක සහෝදර සංවිධානය වන තලෙයිබාන් සංවිධානය 70-80 දශක වල පැවති ඇෆග්නිස්ථානයේ සෝවියට් ආධිපත්‍යය පෙරළා දැමීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශ විසින්ම ඇෆ්ගන් වැසියන් අතුරින් තෝරාගත් රණකාමී ගෝත්‍රිකයන්ට අවි ආයුධ සැපයීමෙන් බිහිකර දුන් සංවිධාන….

මේ සංවිධාන බිහිවීම ආනුබුද්ධික විශ්ලේෂකයන්ට අනුව ඇමරිකාව විසින් කළ විශාලතම මෝඩ කමක්… නමුත් කුමන්ත්‍රණ සිද්ධාන්තයන් විශ්ලේෂණය කරන විකල්ප විශ්ලේෂකයො නම් කියන්නෙ තවමත් මේ සංවිධාන හරහා මැද පෙරදිග පාලනය කරනු ලබන්නේ ඇමරිකාව බවයි….

අරාබි වසන්තය 

2010 වසරේ දෙසැම්බර් 18 වැනිදා ටියුනීසියාවෙන් ඇරඹී, ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව, යේමනය ආදී රටවල් රැසක පාලනයන් පෙරළා දමා, සිරියාවේ මේ සියවසේ දැනට අපි දකින දරුණුම සිවිල් යුද්ධය ඉතිරි කළ මේ “අරාබි වසන්තය” ක්‍රියාවලිය ගැන මෙහිදී දීර්ඝ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ….මේ ගැන ලාංකික සයිබරයේ ඕනෑ තරම් සාකච්ඡා වෙලා ඇති…

මේකෙන් හොඳ වගේම නරක දෙකම සිද්ද උනා…වැඩිපුරම උනේ නරක උනත්, තව බොහෝ කළක් පාලනයේ ඉන්න සිතා සිටි ඒකාධිපතියන්ගේ විනාශයත් සමග යම්, යම් රටවල ( ලිබියාවේ එහෙම ) ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවස්ථාවක් නිර්මාණය උනා….

අරාබි වසන්තය ආරම්භයේදී ඒක ඒ ඒ රටවල ජනතා පිබිදීමක් උනත්, ඇතැම් තැන්වල මේ සිවිල් යුද තත්වයන් ඉතිරි වෙන්න ප්‍රධාන වශයෙන් ඇමරිකාව ප්‍රමුඛ නේටෝ බලවතුන් සෘජුව වගකිව යුතුයි…මොකද ඒ රටවල ජනතා නැගිටීම් වලට සහාය දෙනවා කියා ඔවුන්:

1. අදාළ කැරලි කණ්ඩායම් වලට පුහුණුව

2. ආදායම් මාර්ග

3. සටන් කරුවන්

4. අවි සහ මුදල්

විශාල වශයෙන් ලබා දුන්නා…මේ තත්වය දරුණුවටම දකින්න ලැබුනේ සිරියාවෙදි….ඒ වගේම ලිබියාවේදි සෘජුව ගුවන් ප්‍රහාර හරහා මැදිහත් වීමත් සිදු කළා…..

අයිසිස් එකට හොඳම වාසිය සිද්ද උනේ සිරියාවෙදි… සිරියාවට මේ විදියට විශාල වශයෙන් මුදල් ආධාර තුර්කිය, සවුදිය ප්‍රමුඛ ගල්ෆ් රාජ්‍යයන් හරහා බටහිරින් ගලා එනකොට, සහ එවකට සිරියාවෙ තිබුණු බලවත්ම සන්නද්ධ කැරලි කණ්ඩායම වන “නිදහස් සිරියානු හමුදාව” ( Free Syria Army) ට යත් සටන් කරුවන් තුර්කියේ සහ ගෝලාන් කඳුකරයට ඔබ්බෙන් බටහිර විශේෂ සේනාංක මගින් පුහුණුව ලබා දෙනකොට, මේ අතරේ හිටියා පසුව “අයිසිස්” වෙත එකතුවෙන සංවිධාන රැසක සටන් කරුවන්…ඔවුන් මේ පුහුණුව, මුදල් සහ අවි ලබාගත්තා යහමින්…..

2013 අප්‍රේල් මාසයේ 8 වැනිදා එවකට ඉරාකයට පමණක් සීමා වී සිටි අයි.එස්.අයි සංවිධානය සිරියාවේ ක්‍රියාත්මක වූ “ජබාත් අල් නුස්-රා” සංවිධානය සමග දීර්ඝ සාකච්ඡා අවසන් කර ඒකාබද්ධ වුනා…. එදින විනාඩි 33 ක් ගුවන් විදුලි සහ අන්තර්ජාල සජීව විකාශයන් හරහා කළාපීය ජනතාව ඇමතූ අයි.එස්.අයි නායක අබු බකර් අල් බග්දාදි, මේ සමගම අයි.එස්.අයි ඉරාකයෙන් පිටතට පා තබන බවත්, ඒ අනුව ඒකාබද්ධ සංවිධානයක් ලෙස “ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමික රාජ්‍යය” හෙවත් Islamic State of Iraq & Syria ( ISIS) බිහිවූ බවත් ප්‍රකාශ කළා…මෙයට ඔහු ඒ මොහොතේ දුන් නම තමයි “ඉරාකයේ සහ නැගෙනහිර මධ්‍යධරණියේ ඉස්ලාමික රාජ්‍යය”  යන නම (Islamic State of Iraq & the Levant – ISIL) …මේ ප්‍රකාශයත් සමගම සිරියාවේ අල් කයිඩාවට, සහ නිදහස් සිරියා හමුදාවට අනුබද්ධිතව සිටි පුද්ගල සටන් කරුවන් සහ කුඩා ප්‍රාදේශික සංවිධාන බුරුතු පිටින් ඔවුන් හැරගොස් මේ නව සංවිධානයට එක් වෙන්න පටන් ගත්තා…..

මේ සම්බන්ධයෙන් අල් කයිඩා වැනි සාම්ප්‍රදායික ත්‍රස්ත ජාලයන් කෙතරම් කලබල උනාද කිව්වොත් අල් කයිඩා නායක එමිර් අයමන් අල් සවාහිරි “වහාම මෙම නව සංවිධානය විසුරුවා හැර ඉරාකයට සිය ක්‍රියාකාරකම් සීමා කරගන්නා ලෙස නියෝගයක්” අබු බකර් අල් බග්දාදිට නියෝග කළා… ඒත් ඒ වනවිට අයි.එස් නායකයන් අල් කයිඩාව තඹේකට නොතකා හැරිය හැකි තරම් බලවත් වී අවසන්….

අල් කයිඩාව සහ නිදහස් සිරියානු හමුදාව භ්‍රාන්තව බලා සිටියදී දහස් ගණනක් ඔවුන්ගේ සාමාජිකයන් සහ උප-සංවිධාන තමන්ට බටහිරින් ලැබුණු පුහුණුව සහ නව අවි තොග රැගෙන අයිසිස් වෙත යන්න පටන් ගත්තා….

ඇයි එහෙම ගියේ ?

මෙහෙම යන්න ප්‍රධානතම හේතුවක් උනේ අබු බකර් ප්‍රමුඛ අයි.එස්.අයි නායකත්වය විසින් “නිදහස් සිරියානු හමුදාව” සහ “අල් කයිඩා” සංවිධානය කියන්නේ තමන්ව රවටමින් බටහිර අතකොළු බවට පත් කරවන බටහිර ගැති බළල් අත් බව සිරියාවේ සිටි 35,000 ක් පමණ තරුණ සටන් කරුවන්ට ඒත්තු ගන්වා තිබීම…තමන් රැවටී සිටින බවත්, තමන් සේවය කරමින් සිටින්නේ බටහිරට මිස ඉස්ලාමයට නොවන බවත් මේ අයට පවසා තිබුණා….මේ තුළින් හටගත් ඉච්ඡා භංගත්වය සහිතව සිටි සටන් කරුවන්ට 2014 ජූනි මස 29 වැනිදා අයිසිස් අලුත් බලාපොරොත්තුවක් දුන්නා… ඒ බලාපොරොත්තුව තමයි සමස්ථ කළාපයම නිදහස් කරගෙන එය තුල “කැලිෆේටයක්” නොහොත් “කිලාෆා” එකක් බිහි කිරීම… විමුක්තියට ඇති එකම විසඳුම එය බව අබු බකර් අල් බග්දාදි මේ අයට පැවසුවා… ඒ වාගේම අයිසිස් කැලිෆේට ප්‍රකාශය කරන දිනයේ ඔහු තමාවම එහි “කාලිෆ්” වරයා හෙවත් “කාලිෆා රසුල්” ( දේව පණිවිඩ කරුවාගේ අනුප්‍රාප්තිකයා ) ලෙස නම් කරගෙන “කාලිෆා ඉබ්‍රාහිම්” ලෙස රාජ්‍යත්වයට සම්මත කර ගත්තා….

කාලිෆාවක් හෙවත් කැලිෆේටයක් යනු කුමක්ද?

අරාබි බසින් “කිලාෆා හෝ කාලිෆා”  කියන්නෙ දෙවියන්ගෙන් ලැබුණු දෙවියන්ට අනුගත රාජ්‍යයක්….එහි නායකයා තමයි “කාලිෆ් හෝ කාලිෆා” වරයා හෙවත් දේව අනුප්‍රාප්තිකයා…

මේ මහා දේව රාජ්‍යය නම් සංකල්පයේ ඉතිහාසය ක්‍රි.ව 632 තරම් ඈතට දිව යනවා… ඉතිහාසය පුරාවට වතා කීපයකදීම මැද පෙරදිගින් පහළ වූ විවිධ බලසම්පන්න නරපතියන් විසින් මේ රාජ්‍යය බිහි කිරීමෙහිලා උත්සාහ දරනු ලැබුවා….ඒ උත්සාහයන් කිහිප වරක්ම සාර්ථක වුවත්, එසේ බිහිවූ මහා රාජධානි පැවතුනේ ඉතාම කෙටි කාළයයි….

අවසන් වරට එසේ මෙලොව පැවති පිළිගත් “කැලිෆේටය” තමයි හිජාහි ෂාරිෆියාන් කැලිෆේටය….ඔටෝමන් තුර්කිවරුන් 1923 ජූලි 24 වැනිදා ස්විට්සර්ලන්තයේ ලෝසාඥ්ඥේහි අත්සන් තබන ලද ගිවිසුමක් මගින් ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය විසුරුවා හැරි මොහොතේ එතෙක් පැවති සුවිශාල ඔටෝමන් තුර්කි කැලිෆේටය අහෝසි උනා….දෙවැනි අබ්දුල්-මෙෂිඩ් තමයි තුර්කියේ අවසන් කාලිෆා වරයා….එයින් පසුව කෙටි කාළයක් ගල්ෆ් කළාපයේ නායකයන් කිහිප දෙනෙක් එක්වී ෂාරිෆියාන් කැලිෆේටය පවත්වා ගන්න උත්සාහ කළත් 1925 දි එයත් විසුරුවා හැරියා…..

එයින් පසුව පළමු වරට ප්‍රසිද්ධියේ කැලිෆේටයක් පිහිටුවන උත්සාහය ප්‍රකාශ කරන්නේ “අයිසිස්” සංවිධානය විසින්…..

එම ප්‍රකාශයේ ඉංග්‍රීසි පිටපත:

Click to access EN.pdf

අයිසිස් (ISIS) නායකත්වය 

දැන් අපි මෙම සංවිධානයේ වත්මන් නායකත්වය ගැන සංක්ෂිප්ත අදහසක් ගනිමු…

ප්‍රධාන නායකත්වය:

සමස්ථ සංවිධානයේම නායක සහ කාලිෆාවේ අනුප්‍රාප්තිකයා – අබු බකර් අල් බග්දාදි ( ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා සදාකාළික ආබාධයන්ට ගොදුරුව සිටින හෙයින් මේ මොහොතේ ඔහු ක්‍රියාකාරීව නායකත්වය නොදරයි )

අබු බකර් අල් බග්දාදි
අබු බකර් අල් බග්දාදි

වත්මන් වැඩබලන නායක සහ නිළ නියෝජ්‍ය නායක – අබු අලා අල් අෆ්‍රි

සිරියාවේ අයිසිස් නියෝජ්‍ය නායක – අබු අලි අල් අන්බාරි

ඉරාකයේ අයිසිස් නියෝජ්‍ය නායක – අබු අල් තුර්කිමනි

සමස්ථ සන්නද්ධ අංශ නායක – අබු සුලෙයිමාන් අල් නසිර්

යුප්‍රටීස් කළාපයේ අයිසිස් ආණ්ඩුකාර – අබු ෆාතිමා අල් ජයේෂි

මාධ්‍ය ප්‍රකාශක – අබු මුහම්මද් අල් අද්නානි

සිරියානු අංශයේ විශේෂ මෙහෙයුම් නායක – අබු ඕමාර් අල් සිෂාණි

මේ හැර අයිසිස් සංවිධානය විසින් මේ මොහොත වනවිට ඉරාකයෙන් සැළකිය යුතු ප්‍රමාණයක පාලනය නතු කරගෙන සිටින බැවින් ඔවුන් එම ප්‍රදේශ පාලනය සඳහා විශේෂ “කැබිනට් මණ්ඩලයක්” පත් කර ඇත… පහතින් දැක්වෙන්නේ එම කැබිනට් මණ්ඩලයේ 08-07-2015 වනවිට සිටින සාමාජිකයන්ය:

  1. අබු අබ්දුල්ලා කාදර්
  2. අබු මුහම්මද්
  3. අබු ලුවේ
  4. අබු සලාහ්
  5. අබු හජාර් අල් අසාෆි
  6. අබු කාසිම්
  7. අබු අබ්දුල් රහ්මාන් අල් බිලාවි

මේ සියළු දෙනා හැර මේ මොහොත වනවිට අයිසිස් සංවිධානයේ වඩාත්ම කැපී පෙනෙන පුද්ගලයා ලෙස එම සංවිධානයට පක්ෂපාත ජන කොට්ඨාශ වල ජනප්‍රියත්වය දිනාගෙන සිටින්නෙ, එම සංවිධානයේ නිළ ඝාතකයා ලෙස බටහිර බුද්ධි අංශ හඳුනාගනු ලබන 30 හැවිරිදි ෂකිර් වහිබ් අල් ෆාදාවි අල් දුලයිමි හෙවත් අබු වහිබ් නම් ත්‍රස්තයාය…පසුගිය කාළයේ අයිසිස් සංවිධානය මගින් අන්තර්ජාල ගත කරන ලද ඝාතන සියල්ලටම පාහේ අනුමැතිය දීම සහ ඒවායින් ඇතැම් ඝාතන වලට සක්‍රීයව සම්බන්ධ වීම ( ට්‍රක් රථ රියදුරන් ඝාතනය ) මොහු අතින් සිදුවිය… “කාන්තාරයේ සිංහයා” හෝ “අයිසිස් චේ” යන විරුදාවලි වලින් මොහුව මොහුගේ මිතුරන් හඳුන්වනු ලබයි….

අයිසිස් සංවිධාන ශක්තිය (සන්නද්ධ පිරිස් බලය සහ වැටුප්) – Strength Profile of ISIS

අයිසිස් සංවිධානයේ පිරිස් බලය පිළිබඳව විවිධ මූලාශ්‍ර වල විවිධ තොරතුරු ඇත…එහෙත් වඩාත් විශ්වාසනීය මූලාශ්‍රය වන ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ආයතනය (National Security Agency – NSA) පවසන අන්දමට මෙම සංවිධානය මේ මොහොතේ මෙලොව පවතින විශාලතම ත්‍රස්ත ජාලයයි…

එහි සමස්ථ ත්‍රස්ත සංඛ්‍යාව එය ක්‍රියාත්මක සියලු රටවල මේ මොහොතේ – 85,000 සිට 170,000 ක් පමණ වේ… ( සටන් පවතින රටවල ස්වදේශික ශක්තිය )

සටන් පවතින රටවල විදේශික සටන් කරුවන් 25,000 – 31,000 ක් පමණ සිටිති ( මූලාශ්‍ර : International Center for the Study of Radicalization and Political Violence – King`s College London )

2015-07-08 12_23_33-New ISIS Offensive in Syria Counters Losses - The New York Times - Maelstrom
අයිසිස් සංවිධානයට එම සංවිධානය සටන් වදින රටවල ස්වදේශික සටන් කරුවන් හැර විදේශයන්ගෙන් පැමිණි සටන්කරුවන්ගේ දේශපාලනික මූලාශ්‍රයන්

මධ්‍යම ශ්‍රේණීන්ට අයත් අණදෙන නිලධාරීන් – 1,000 – 3,500 අතර ප්‍රමාණයක් සිටිති ( කුර්දි සටන් කරුවන්ගේ බුද්ධි අංශ වලට අනුව )

මොවුන්ට වැටුප්ද ගෙවනු ලැබේ – එක් එක් ත්‍රස්ත නිළධාරියාගේ හෝ ත්‍රස්ත සටන් කරුවාගේ වගකීමේ තරාතිරම අනුව මාසකයට ඇමරිකානු ඩොලර් 300 සිට ඇමරිකානු ඩොලර් 4000 ක් තෙක් වැටුප් ලැබේ. ( එක්සත් රාජධානියේ “ටෙලිග්‍රාෆ්” පුවත්පතට අනුව බ්‍රිතාන්‍ය බුද්ධි අංශ වාර්ථාවක් උපුටා දක්වමින් )

අයිසිස් ඉරාක සන්නද්ධ ශක්තිය –

ස්වදේශික සටන් කරුවන් 30,000 – 70,000 ක් පමණ තෙක් ( කුර්දි / මොසාඩ් වාර්ථා  )

විදේශික සටන් කරුවන් – 3,500 – 11,000 ( ඉරාක රජය )

අයිසිස් විදේශ ත්‍රස්ත සටන් කරුවන් ඉරාකයට පැමිණ ඇත්තේ :

ටියුනීසියාව, සවුදි අරාබිය, රුසියාව, ජෝර්දානය, මොරොක්කෝව, ලෙබනනය, ජර්මනිය, එක්සත් රාජධානිය, ලිබියාව, උස්බෙකිස්ථානය, පාකිස්ථානය, තුර්කිය යන රටවලිනි …

අයිසිස් සිරියාව සන්නද්ධ ශක්තිය –

ස්වදේශික සටන් කරුවන් 35,000 – 50,000 ක් පමණ ( කුර්දි / ඇමරිකානු වාර්ථා )

විදේශ සටන් කරුවන් 15,000 ක් පමණ ( සිරියානු රජය / නිදහස් සිරියානු හමුදාව / බටහිර බුද්ධි අංශ වාර්ථා )

විදේශ සටන් කරුවන් සිරියාවට පැමිණියේ:

ටියුනීසියාව, සවුදි අරාබිය, ජෝර්දානය, ලෙබනනය, ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ලිබියාව, තුර්කිය, ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවලිනි.

අයිසිස් සංවිධානය – මූල්‍ය ශක්තිය – Economic & Financial Profile 

අයිසිස් යනු මේ මොහොත වනවිට ලොව ධනවත්ම ත්‍රස්ත ජාලයයි…

සංවිධානයේ වාර්ෂික ආදායම – දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ( නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත )

සංවිධානය සතුව 2015 මැයි මාසය වනවිට වත්කම් – ඩොලර් බිලියන 1.25 ( බොහොමයක් සිරියානු සහ ඉරාක හමුදාවන් පළා යන විට අත්හැර දමා ගිය ඇමරිකානු සහ රුසියානු අවි ගබඩා, සන්නද්ධ රථ ආදිය මෙයට අයත් කරගෙන ඇත )

අයිසිස් සංවිධානය මුදල් උපයාගන්නේ කෙසේද?

ප්‍රධාන ආදායම් මාර්ග (2014) :

තමන් යටතේ පවතින ප්‍රදේශ වලින් බදු අය කර ගැනීම සහ කප්පම් ගැනීම – වාර්ෂිකව ඩොලර් මිලියන 600 පමණ

ඉරාකයේ රජයේ බැංකු පද්ධතියෙන් සොරාගත් මුදල් – වාර්ෂිකව ඩොලර් මිලියන 500 පමණ

බොරතෙල් වෙළඳාම – ඩොලර් මිලියන 100

අපහරණ කප්පම් මුදල් – ඩොලර් මිලියන 20 පමණ

අවිග්‍රාහක විදේශ ප්‍රදානයන් – ඩොලර් මිලියන 50 ක් පමණ

2015-07-08 12_46_21-ISIS Finances Are Strong - The New York Times - Maelstrom
අයිසිස් ආදායම්

අයිසිස් ව්‍යාප්තිය සිදුවූයේ කෙසේද?

අයිසිස් සංවිධානය 2015 ජූනි මාසය වනවිට ඔවුන්ගේ සටන් පෙරමුණු, සක්‍රීයත්වය සහ සමස්ථයක්  ලෙස Cells, Sleeper Cells පවත්වා ගත් දේශයන් පහත පරිදිය….

Where ISIS operates (Source: New York Times )
Where ISIS operates (Source: New York Times )

ඉරාකය
සිරියාව
ලිබියාව
ටියුනීසියාව
ඇල්ජීරියාව
ඇෆ්ගනිස්ථානය
යේමනය
ඊජිප්තුව

( Image Source: King`s College London )
( Image Source: King`s College London )

ලන්ඩන් ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය පවසන අන්දමට අයිසිස් සංවිධානයේ ප්‍රධාන ව්‍යාප්ති උපක්‍රම පහත පරිදිය:

1. ඔවුන් විසින් යටත් කරගනු ලබන ප්‍රදේශ වල සක්‍රීය පාලනයක් ක්‍රියාත්මක කිරීම – අනෙකුත් ත්‍රස්ත සංවිධාන මෙන් අදාළ ප්‍රදේශ වල සන්නද්ධ පරිපාලනය සහ එයට අදාළ පුද්ගල පාලනය පමණක් සිදු නොකොට, නිළ වශයෙන් රාජ්‍ය පරිපාලන කටයුතු සහ සේවා සැපයීම් වලට ඔවුහු මැදිහත් වෙති…එමගින් තමන් යටතේ පවතින ප්‍රදේශ වලින් පිරිස් බලය සහ මූල්‍ය ශක්තිය එක් කර ගැනීමට ඔවුහු සමත් වෙති….

2. එකී ප්‍රදේශ වල විවිධ ජන කොට්ඨාශ අතර අභ්‍යන්තර භේද බින්නතාවයන්ට අත පෙවීම තුළින් එක් එක් කළාපයෙහි මිත්‍ර සංවිධාන හෝ සහායක සංවිධාන ඇති කර ගැනීම

3. එසේ ඇති කරගත් මිතුරු කණ්ඩායම් හෝ කුඩා කණ්ඩායම් අවසානයේදී අයිසිස් සංවිධානයට අවශෝෂණය කර ගැනීම

4 ඔවුන් අයිසිස් අරමුණු වලට සහ කැලිෆේටයට එකඟ කරවාගෙන සටන් පෙරමුණු වලට අනුයුක්ත කිරීම

අයිසිස් සංවිධානය සමග සටන් වදින රාජ්‍යයන් සහ කණ්ඩායම්

ගුවන් ප්‍රහාර

2015 ජූනි මාසයේ 30 වනවිට අයිසිස් සංවිධානයේ ප්‍රධාන සටන් පෙරමුණු දෙක වන සිරියාවේ සහ ඉරාකයේ අයිසිස් ඉලක්ක වෙත නේටෝ බලවේග විසින් ගුවන් ප්‍රහාර 4,550 ක් එල්ල කර තිබෙනවා… එම ප්‍රහාර වලින් 65% පමණ සාර්ථක වූ බව ඇමරිකානු හමුදා මධ්‍යම ආඥාපතීත්වය (US Central Command ) පවසනවා….

ඒ අනුව 30-06-2015 වනවිට :

ඉරාකයේ අයිසිස් ඉලක්ක වෙත නේටෝ ගුවන් ප්‍රහාර – 2,833
සිරියාවේ අයිසිස් ඉලක්ක වෙත නේටෝ ගුවන් ප්‍රහාර – 1,717

එල්ල වී තිබෙනවා…මෙයින් අයිසිස් ත්‍රස්තයන් 11,500 + මිය යන්නට ඇති බවට ගණනය කෙරෙනවා.

මේ ගුවන් ප්‍රහාර එල්ල කරන ලද රටවල් පිළිබඳව ආයතනය දරන්නේ පහත සඳහන් දත්තයන්:

ඇමරිකා එක්සත් ජනපදය – ගුවන් ප්‍රහාර 2,000 + ( 100% ඉරාකය තුළ )

එක්සත් රාජධානිය – 447+

ප්‍රංශය – 178+

කැනඩාව, ඔස්ට්‍රේලියාව, ඊශ්‍රායලය සහ ඩෙන්මාර්කය – 150+

අනෙක් ( සිරියානු ගුවන් හමුදාව සහ ඉරාක ගුවන් හමුදාව ඇතුළුව ) – 75+

නමුත් මෙම ගුවන් ප්‍රහාර වලින් කෙතරම් දුරකට අවශ්‍ය අරමුණු ඉටු වූවාද යන්න සැක සහිතය…. කාන්තාර සටන් සහ නාගරික සටන් පිළිබඳව මනා පුහුණුවක් ලැබූ ගරිල්ලා සටන් කරුවන් ලක්ෂය ඉක්මවා සිටින සංවිධානයක ව්‍යාප්තිය වැළැක්වීමේදී ගුවන් ප්‍රහාරම පමණක් ප්‍රමාණවත් නොවේ….මෙලෙස නම් සඳහන් නේටෝ සාමාජිකයන්ට අයත් කිසිදු හමුදාවක් තවමත් අයිසිස් සංවිධානය සමග ගොඩබිම් සටනකට එළඹී නැත.

එනමුත් ඇමරිකානු හමුදාවන් 2014 පෙබරවාරි මාසයේ සිට මේ දක්වා අයිසිස් සංවිධානයට එරෙහිව සටන් වදින සංවිධාන වල සටන්කරුවන් 25,000 ක් පමණද, ඉරාක හමුදා සෙබළුන් 40,000 ක් පමණද නිළ මැදිහත් වීම් හරහා පුහුණු කොට ඇත.

අයිසිස්ට එරෙහිව ගොඩබිමින් සටන් වදින්නෝ

සිරියාවේදී 

සිරියානු ආරක්ෂක හමුදාව ( Syrian Government Defense Forces) –

සිවු අවුරුදු සිරියානු සිවිල් යුද්ධයෙන් සහ ආර්ථික සහ තාක්ෂණික සම්බාධක වලින් බෙහෙවින්ම දුර්වලව සහ හෙම්බත්ව ඇති අතර, යුද අවි යාවත්කාළීනකරණය, අවශ්‍ය අමතර කොටස් සපයා ගැනීම ආදිය කළ නොහැකි වීමෙන් යල් පැනගිය අබලන් වූ අවි රැසක හිමිකම් ඇත්තෝය….එහෙත් අතිරේක භට සේනාංක සමග 600,000 ( හය ලක්ෂය ) අබිබවා යන පිරිස් බලයකින්ද, 1960 දශකයේ නිෂ්පාදිත සෝවියට් යුද ටැංකිද ඇතුලුව යුද ටැංකි 3000+ සංඛ්‍යාවක් ප්‍රමුඛ සන්නද්ධ රථද හිමිය….තවමත් ජනාධිපති බෂාර් අල් අසාද් යටතේ මධ්‍යම ආඥාපතීත්වයක නිළ හමුදාවක් ලෙස පවතී….සෙබළුන්, 40,000+ ක් පමණ මාස 8 ක් ඇතුළත සේවය අතහැර යෑම් නිසා බෙහෙවින්ම පීඩනයට පත්ව ඇත…

තවමත් සිරියාවෙන් විශාල කොටසක සිවිල් පාලනය රැකගැනීමට සමත්ව සිටිති…. නවීන ගුවන් ආරක්ෂණ පද්ධති සතු වුවත්, අයිසිස් වැනි තර්ජනයක් හමුවේ ඒවායින් ඵලක් නැත….

නිදහස් සිරියානු හමුදාව ප්‍රමුඛ ගරිල්ලා කල්ලි 17 ක් පමණ ( Free Syria Army and other Guerrilla outfits ) –

සටන් කරුවන් 29,000 ක් පමණ සිටියත්, ඔවුන් අතර පැවති විශාලතම බලවේගයන් ඒවායේ සංවිධාන සහ යුද රහස් සමගම අයිසිස් සංවිධානයට එක්වීමත් සමග බලවත් අර්බුදයකට සහ වික්ෂිප්ත භාවයකට පත්ව සිටිති….මේ වනවිට යුද පෙරමුණේ සැකය නිසාම තම තමන්ගේ සාමාජිකයන් බොහෝ සංඛ්‍යාවක් මරා දමා ඇත….අවි හිඟයකට මුහුණ දී සිටින අතර, එක් පසෙකින් අයිසිස් සහ අනික් පසින් සිරියානු රජය පමණක් නොව ඔවුනොවුන් අතරත් දරුණු ගැටුම් තිබීම නිසා දුර්වලව සිටිති… මෑතකදී අයිසිස් සංවිධානය තුර්කියට පහර දීම සඳහා ස්ථානගත වීමට දැරූ උත්සාහයට එරෙහිව ආරක්ෂණ පියවරක් ලෙස ඇමරිකාව සහ තුර්කිය එක්ව සටන් කරුවන් 6,000 කට පමණ නැවත පුහුණුව ලබා දුන්නද, ඒ පුහුණුව ලැබූවන්ගෙන් සමහරෙක් පලාගොස් අයිසිස් සමග එක්වීම නිසාත්, අයිසිස් වැටලීම් වලදී බටහිර රටවල් සහ තුර්කිය ඔවුන්ට ලබා දුන් අවි තොග අයිසිස් අතට පත්වීම නිසාත් අපේක්ෂාවන් ඉටු නොවිණි…..සෞඛ්‍ය පහසුකම් මද වීම හේතුවෙන් සහ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් සාමාජිකත්වය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී…ඔවුන් සතුව පැවති ප්‍රදේශ එකින් එක අයිසිස් අතට පත්වෙමින් පවතී….

මහජන ආරක්ෂක ඒකක – කුර්දි සටන් කරුවෝ ( People`s Protection Units  – Yekeneyina Parastina Gel)

කුර්දි වරු වනාහි සිරියාවේ මිලියන 4 ක් පමණද ඉරාකයේ මිලියන 7 ක් පමණද ලොව පුරා මිලියන 40 ක් පමණද සිටින සෙමෙටික දේවවාදී ජාතිකත්වයකි….මෙම ජනතාව උතුරු දිග ඉරාකයේද නැගෙනහිර සහ ඊසාන දිග සිරියාවේද බෙහෙවින් සිටිති….කළක් සිරියානු හමුදාවන්ගෙන් එක් පසෙකින්ද, අනික් පසින් සදාම් හුසේන්ගේ ඉරාක හමුදාවන්ගෙන්ද දරුණු පීඩා ලැබූවන් වෙති…2003 වසරේ සිට ඉරාකයේද, 2011 වසරේ සිට සිරියාවේද ක්‍රියාත්මක අභ්‍යන්තර ගැටුම්, ගරිල්ලා ත්‍රස්ත කල්ලි සහ අස්ථාවරයත්වය හමුවේ කුඩා කණ්ඩායම් වශයෙන් තැන තැන ආත්මාරක්ෂක සහ සිය ජාතිය උදෙසා ප්‍රජා ආරක්ෂක ගරිල්ලා සටන් කරමින් සිටි කල්ලි 20 ක් පමණ එක්ව මෙම “මහජන ආරක්ෂක ඒකකය” පිහිටුවාගත්හ….

පුද්ගල ශක්තිය 70,000 ක් පමණ වෙති… ඇමරිකාව ප්‍රමුඛ නේටෝව ප්‍රධාන අවි සැපයුම් කරුවන් වන අතර, රුසියාවෙන්ද පුහුණුව සහ අවි ලැබී ඇත….සමස්ථයක් ලෙස අයිසිස් “කැලිෆේටය” පිහිටුවීමෙහිලා මොවුන් විශාල බාධකයක් වී ඇත්තේ ඉරාකය සහ සිරියාව යා කරන භූමිය පුරා මොවුන්ගේ නිජබිම් පිහිටීම හේතුවෙනි….

පුහුණුව අතින් සහ ආත්ම විශ්වාසය අතින්ද, සංවිධාන ශක්තිය අතින්ද මොවුන් මේ වනවිට අයිසිස් ත්‍රස්තවාදීන්ට භූමියේදී මුහුණ දෙන ප්‍රබලතම ප්‍රතිවාදියා බවට පත්ව සිටිති….ඔවුන්ට පිටුපසින් තුර්කිය, යුරෝපා පිවිසුම සහ ගෝලාන් කඳුකරය ඇති හෙයින් සැපයුම් සඳහා මාර්ග බාධාවක් නොමැත….තමන්ගේ ජාතිය වෙසෙන ප්‍රදේශ සහ ඒවාට අයත් බොහෝ නගර සාර්ථකව ආරක්ෂා කරගෙන සිටිති….

ඉරාකයේදී 

ඉරාක ජාතික ආරක්ෂක හමුදාව (Iraqi Army / Defense Forces)

අතිරේක හමුදාවන් සමග මිලියනයකට (1000,000) ආසන්න පිරිස් බලයකින් යුක්ත වන අතර, ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ බලවේග විසින් සපයන ලද නවීනතම තාක්ෂණය සතුය…එහෙත් මේ වනවිට මෙලොව සිටින දුර්වලතම හමුදාවක් බව ඔප්පු කර හමාරය…

දහස් ගණනක් සේවය හැර ගොස් සැඟවී සිටීම නිසා පිරිස් බලය අතින් පිරිහී ගොස් ඇත….අතිශය දුර්වල සංවිධාන ශක්තිය නිසා ඇතැම් හමුදා අනුඛණ්ඩ වලට සිය මතය ප්‍රචාරය කර ඔවුන් නම්මවා ගැනීමට අයිසිස් සමත්ව සිටිති…2003 වසරේ සිට ඉරාකය පුරා හටගත් ගරිල්ලා සටන් වලට මුහුණ දී හෙම්බත්ව සිටින අතර, 2005 වසරේ සිට විශේෂ ඇමරිකානු පුහුණුවක් ලැබූවද, පරාජිත මානසිකත්වය, ඉච්ඡා භංගත්වය හේතුවෙන් සටන් පෙරමුණු වලදී තම අවි ආයුධ අතහැර පලා යාම සිදුකරමින් සිටිති….නව සෙබළුන් පුහුණුවකින් තොර බැවින් ඔවුන් සතු නවීන ඇමරිකානු අවි වලින් නිසි ඵල නෙලා ගැනීමට නොදත්තෝ වෙති…මේ හෙයින් ඔවුන් අයිසිස් හමුවේ සියළු දේ අතහැර පළා යති….එසේ අයිසිස් සංවිධානයට සටනකින් තොරවම අත්පත් වූ ඇමරිකාව විසින් ඉරාක හමුදාවන්ට ලබා දී තිබුණු අවි තොග වල වටිනා කම 2015 අප්‍රේල් 27 වනවිට ඩොලර් මිලියන 615 කි… ( මූලාශ්‍ර: International Institute of Strategic Studies දත්ත ගබඩාව )

රාමාදි නගරය අත්කරගැනීමේ සටනේදී ඉරාක හමුදාවන් දමා පලා ගිය ඇමරිකානු
රාමාදි නගරය අත්කරගැනීමේ සටනේදී ඉරාක හමුදාවන් දමා පලා ගිය ඇමරිකානු “හම් වී” සන්නද්ධ රථයක නැගී වීදි සරන අයිසිස් සටන් කරුවන්…මෙවැනි රථ සිය ගණනක් “මොසූල්” නගරය අල්ලන සටනේදී අයිසිස් සටන් කරුවන් අතට පත්විය…

මෙවැනි අවි සහ ඒවායේ උපාංග ලොව අනෙකුත් ත්‍රස්ත සංවිධාන සහ ඇමරිකානු විරෝධී රජයන් වෙත වෙන්දේසියේ දමා අයිසිස් ත්‍රස්තයන් විශාල මුදලක් උපයා ඇති බවට වාර්ථා ඇත…

//…

Iraqi security forces lost 2,300 Humvee armored vehicles when ISIS overran the northern city of Mosul, Prime Minister Haider al-Abadi said on Sunday.

“In the collapse of Mosul, we lost a lot of weapons,” Abadi said in an interview with Iraqiya state TV. “We lost 2,300 Humvees in Mosul alone.”

While the exact price of the vehicles varies depending on how they are armored and equipped, it is clearly a hugely expensive loss that has boosted ISIS’s capabilities.

Last year, the State Department approved a possible sale to Iraq of 1,000 Humvees with increased armor, machineguns, grenade launchers, other gear and support that was estimated to cost $579 million.

Clashes began in Mosul, Iraq’s second city, late on June 9, 2014, and Iraqi forces lost it the following day to ISIS, which spearheaded an offensive that overran much of the country’s Sunni Arab heartland.

The militants gained ample arms, ammunition and other equipment when multiple Iraqi divisions fell apart in the country’s north, abandoning gear and shedding uniforms in their haste to flee…// –

( The “Lebanon Star” News Paper quoting Iraqiya State Television )

භූමි සටන් සඳහා කොතරම් පුහුණු කළත් ඉරාක හමුදාවන්ගේ ආත්ම විශ්වාසය කළමණාකරණය කර ගැනීමට ඉරාක රජය අපොහොසත්ව සිටිති…

ඉරාක ගරිල්ලා කණ්ඩායම් –

කුඩා කුඩා ගරිල්ලා කණ්ඩායම් 25 ක් පමණද, මහදි හමුදාව, හිස්බුල්ලා, ආදී අනෙක් කළාපයන් වල ප්‍රබල එහෙත් ඉරාකයේ මේ වනවිට දුර්වලව සිටින ත්‍රස්ත කණ්ඩායම් කිහිපයක් අයිසිස්ට එරෙහිව සටන් වදිමින් සිටිති…. මේවායින් මහදි හමුදාව සහ හිස්බුල්ලා වනාහි මුස්ලිම් ලෝකයේ ප්‍රභල ප්‍රභේදයෙන් දෙකෙන් එකක් වන “ෂියා” මුස්ලිම් වරුන්ගෙන් සැදුම් ලත් සටන් කණ්ඩායම්ය….

අයිසිස් සංවිධානයේ උපත හේතුවෙන් සාමාජිකත්වය විශාල පිරිසක් අහිමි වී ඉතාම දුර්වලව සිටින අල් කයිඩා සංවිධානයද මෑතක සිට අයිසිස් වරුන්ට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමින් සිටිති…එහෙත් භූමියේදී ඔවුන්ගෙන් සටන් ප්‍රයාමයන්ට එතරම් සක්‍රීය දායකත්වයක් නොමැත….

මෙකී සංවිධාන 11 අවුරුදු ඉරාක සිවිල් යුද්දයෙන් සහ ඉරාකයේ සිටි ඇමරිකානු හමුදා සමග ඇතිකරගත් ගැටුම් වලින් මේ වනවිට වෙහෙසට පත්ව සිටින අතර, ඔවුන්ට අවි, පුහුණුව හෝ නිසි වෛද්‍ය ප්‍රතිකාර දුර්ලභය….සංවිධාන ශක්තිය බෙහෙවින්ම දුර්වලය…පිරිස් බලය 18,000 ක් පමණ වෙතැයි සී.අයි.ඒ සංවිධානය ගණන් බලා ඇත.. කැඩී බිඳී විසිරී ගොස් තැන් තැන් වල කුඩා කණ්ඩායම් ලෙස සිටිති….
මීළඟ කොටසින්…….

  • 2015 මාර්තුවේ සිට මේ දක්වා සටන් – කාළ රේඛාවක් ලෙස – ( A Timeline of Struggle Against the ISIS from March 2015)
  • ඉරාකයේ අයිසිස් ක්‍රියාකාරීත්වය ලෝකයටම තර්ජනයක් වන්නේ ඇයි?
  • ලෝක තෙල් සැපයුම සහ ඉරාකයේ අයිසිස් මෙහෙයුම්
  • වත්මන් තත්වය

රට රස්සාවලට ගිහින් දාඩිය හෙලුවෝ ! මැද පෙරදිග සල්ලි ගහෙන් ගෙඩි ගෙන ආවෝ ?

(අ ) සම්මත සටහන් / හෙට එච්චර කළුවර නොවන්නට බ්ලොග් අඩවියේ පහත සබැඳියෙහි ඇතුළත් ලිපියට මා විසින් දක්වන ලද ප්‍රතිචාරය එම අඩවියේ ඇඩ්මින් වරයෙකුගේ ඉල්ලීම මත මෙසේ බ්ලොග් ලිපියක් ලෙස ඵල කරමි… මෙම බරපතළ සමාජ ඛේදවාචකය තේරුම් ගැනීමටත්, එයින් ගැළවෙන මාවතක් සබුද්ධිකව නිර්මාණය කර ගැනීමටත් මෙම ලිපි ද්විත්වයේම අන්තර්ගතය ශුද්‍ර අවකාශයක ලබා දිය හැකි මට්ටමේ දායකත්වයක් හෝ වේවායි පතමි !

(අ ) සම්මත සටහන් / හෙට එච්චර කළුවර නොවන්නට බ්ලොග් අඩවියේ ලිපිය

මගේ ප්‍රතිචාරය:

මේක ගැන සමීප උදාහරණ දෙකකින් කථාව පටන් ගන්න මට පුලුවන්…

මගේ අම්මගෙ සහෝදරයෙකුගේ බිරිඳ ( ඔවුන් ඉතා දිළිඳු පවුලක් ) ගෘහ සේවිකා වෘත්තිය සඳහා බහරේන් රටට ගියා…මුලදි ස්වාමි දියණියගේ යම් යම් අඩන්තේට්ටම් වලට මුහුණ දීමට සිදුවූවත් ( ඇය ඒවා බරපතළ ඝණයේ ලා නොසැලකුවත් මානුෂිකව බැලුවොත් බරපතළ වැරදි – රටක් ජාතියක් හැටියට බැලුවොත් බරපතළ ජාත්‍යන්තර අපහාස ) පසුව ඇයට ලැබුණු නිවස අයත් වුනේ බහරේන් හි පදිංචි සුදු ජාතික යුවළකට…ඔවුන් දෙදෙනා වෛද්‍ය වෘත්තිකයන්…ඔවුන් ඇයට ඉතාම කරුණාවෙන් සැළකුවා පමණක් නොවේ, ඔවුන් යනකොට මෙහෙකාර වෘත්තියට අදාළ වීසා ලබා දී ඇයව ඩෙන්මාර්කයට ගෙන ගියා…එයින් ඇයට පින පෑදුණා…ඇය කියනවා මෙහෙම කථාවක් :

“බහරේන් එකේත් හොඳට පඩි ගන්න, හොඳට සැලකුම් ලබන මේඩ්ලා ඉන්නවා…ඩෙන්මාර්ක් එකේ නම් වැඩකරන ඒගොල්ලො එන්නෙ කාර් වල…ඒ ගොල්ලන්ගෙ රටවල් වලින් ඒ ගොල්ලන්ට මේ රස්සාවල් කරන හැටි පුරුදු කරලා සහතික එහෙමත් දීලා තියෙනවා…ඒ ගොල්ලන්ගෙ එම්බසි වලින් ඒ ගොල්ල ගැන හොඳට හොයලා බලනවා…බ්ලා බ්ලා බ්ලා…”

—-වෘත්තීයකරණය—–

ගෘහ සේවිකා වෘත්තිය කියන්නෙ අපහාසාත්මක, හෙළාදැකිය යුතු, පහත් වෘත්තියක් නෙමෙයි….ඒක සවුදි අරාබිය ප්‍රමුඛ පර්සියන් ගල්ෆ් කළාපයෙ නම් “වහල් සේවයේ” පරිණාමික අවස්ථාවක් ලෙස සැළකිය හැකි වුවත්, දියුණු සමාජයන් ඒක “වෘත්තියක්” ලෙස පිළිගනු ලබනවා…

1. දියුණු සමාජයන් වල මෙහෙකාර වෘත්තියට ගෞරවණීය නාමකරණයන් ලබා දෙනවා – ගෘහ සහායිකාව වගේ නම් මිසක් “වැඩකාරි” කියන එක හෝ ඒ අරුත් දනවන වෙනත් නාමයන්ගෙන් අමතන්න දෙන්නෙ නැහැ….ඒ වගේම “සර්වන්ට්, හවුස් මේඩ්” වගේ තනතුරු තව දුරටත් නියෝග ලබා දී වැඩ කරවා ගන්න පුලුවන්, වැඩ කරන පැය ගාණක්, වැඩ නිමවන නිශ්චිත වෙලාවක්, නියමිත නිසි වැඩකොටසක් නැති සේවාවන් නෙමෙයි…

උදා: “සිසිලියා මට වතුර වීදුරුවක් ගෙනෙන් !… සොපිනා ආන් අර ගබඩා කාමරේ අස් කරල දාපන් ! නිමා උඹ තාමත් නිදිද බූරුවෝ ? ” වර්ගයේ මෙහෙකරුවන්, මෙහෙකාරියන් විෂයෙහි නපුරු ආත්තම්මලාගේ “වළව්” භාවිතය දැන් අහෝසියි….මේකට මගේ අනිත් සමීප උදාහරණය දෙන්නම්….එක් වරක් එක්සත් රාජධානියෙදි මගේ සරසවි ආචාර්ය වරියක් මුණ ගැහෙන්න ඇගේ නිවසට ගිය වෙලාවෙ ඇගේ කුඩා දියණිය අප වාඩිවී සිටි තැනට සමීප තැනක හිඳගෙන සිට ඔවුන්ගේ මෙහෙකාරියට යමක් ගෙනත් දෙන ලෙස පැවසුවා…වහාම මැදිහත් වූ ආචාර්ය වරිය

“You don`t call on Dorothy like that ! You call her “Miss” Dorothy ! and where`s the magic word? it should be “Please” Miss Dorothy, can I have my book?….”….manners Young lady!”

යනුවෙන් සිය දියණිය නිවැරදි කළා….මෙහෙකරුවා හෝ මෙහෙකාරිය යමක් ළඟට ගෙනවිත් දෙන්න හදනවිට “No No Don`t Bother…I`ll get it myself”  කියන තැනට දැන් දියුණු සමාජයන් ඇවිත් ඉන්නවා…මේ සමාජයන් වල මෙහෙකාර වෘත්තිය කියන්නෙ “නිශ්චිත දීමනාවක්, පැය ගණනක්, කළින් අර්ථ දක්වන ලද වගකීම සම්භාරයක් සහිත” වැදගත් රස්සාවක්

2. ක්‍රමවත් සමාජයන් වල මේ මෙහෙකාර වෘත්තිය සඳහාත් දැන් වෘත්තිය සුදුසුකම් බලනවා…ගමේ ගොඩේ මැටි වළං හෝද හෝද දරුවො නාව නාව ඉන්න සිරියාවතීලා එක පාරට නවීන තාක්ෂණික ආම්පන්න සහිත සුපිරි නිවාස වලට ඇදගෙන ගිහින් දාලා ඒ අය හම්බ කරන මුදලෙන් අයවැය පරතරය පියවනවට වඩා මනා සංවිධානයක් සමහර රටවල තියෙනවා..

එංගලන්තයේ නම් නම් “NVQ” ( National Vocational Qualification) සුදුසු කමෙහි විවිධ මට්ටම් මෙහෙකාර වෘත්තියේ සිට මහාචාර්ය වෘත්තිය තෙක් සියළුම වෘත්තීන් සඳහා අත්‍යාවශ්‍යයයි… මෙහෙකාර වෘත්තිය, ගෙවතු පාලක වෘත්තිය, මුරකරු වෘත්තිය, රියදුරු වෘත්තිය මේ යනාදි හැම වෘත්තියකටම NVQ 3 or 4 මට්ටම් වල නිර්දේශිත ඩිප්ලෝමා පාඨමාලා සහිත සුදුසුකම් තියෙනවා….ඒවා කරලා යන අයගෙ ඔලුවට අත හෝදන්න කාටවත් බෑ….

පුහුණු, නුපුහුණු ශ්‍රමිකයන් දෙපිරිසට හාම් පුත්තු සළකන විදිහෙ තියෙන්නෙ විශාල වෙනසක්…පුහුණු ශ්‍රමිකයාට බලවත් කේවල් කිරීමේ හැකියාවක් තියෙනවා…මෙතන නැත්නම් ඔහුට හෝ ඇයට වෙනත් රැකියාවක් හොයාගන්න ඉතාම කෙටි කාළයයි යන්නෙ….ඒ වගේම පුහුණුව හරහා ඔවුන්ගෙන් ඉටුවන රාජකාරියත් ක්‍රමවත්… ඒ වගේ අයට ඔවුන්ගේ සේවා ලාභීන් ගෞරවණීය ලෙස සළකනවා….

නුපුහුණු ශ්‍රමිකයන්ට කේවල් කිරීමේ බලයක් නෑ…ඔවුන්ට මේ ලැබෙන රැකියාව කියන්නෙ හාම්පුතා තමන්ට අනුකම්පා කරලා දෙන වරදානයක්…දෙපා මුළ වැටිලා, දෙන දෙයක් කාලා ඉන්න ඔවුන්ට සිදුවෙනවා….

3. සවුදි අරාබිය ප්‍රමුඛ පර්සියන් ගල්ෆ් කළාපය කියන්නෙ 21 වැනි සියවසේ මිනිස් ප්‍රජාවට නිගා දෙන 6 වැනි සියවසේ අශිෂ්ඨ කාන්තාර ගෝත්‍රිකයන්ගේ පරිසරයන් තුළ නිර්මාණය වුනු සම්ප්‍රදායන්, මතවාදයන්, සම්මුතීන් නීති යොදා දිවිහිමියෙන් රකින පිස්සන් කොටුවක් ….ලෝක ප්‍රජාවගේ කරුමෙට වත්මන් ශිෂ්ඨාචාරයේ ජීවනාලිය බඳු සම්පතක් ඔය කළාපයට කේන්ද්‍රගත වුනා….ඒකෙන් සල්ලි දෝරෙ ගැලුවට, සුපිරි කුවේර පවුල් කිහිපයක් බිහිවුණාට, මොට්ට තකතීරු වළත්ත වැඩවසම් පාලකයන් පිරිසක් විසින් තමන්ගේ සුඛ විහරණයන්ට හානියක් නොවෙන පරිදි “සලාෆි” මතවාදයන් ආරක්ෂා කර ලෝකයට බෙදා හරින කළාපයක් ඕක…

එක් පැත්තකින් ප්‍රාග්ධනය සුලභව ලැබුණත්, අනික් පැත්තෙන් එය සමග පැමිණිය යුතු නිදහස් ජීවිතය නොමැති වීම නිසා එක් හිසකින් පෙරටත්, අනික් හිසින් පසුපසටත් අදින ඔලු දෙකේ බූරුවෙක් වගේ රටක හිරවෙච්ච ජනතාවක් තමයි සවුදි ජනතාව…ඔවුන්ගේ කුටුම්භයන් වල නිරතුරුවම පවතින අසහනය තේරුම් ගන්න පුලුවන්.. “ප්‍රාග්ධනය මිනිසා හික්මවයි” කියලා මිල්ටන් ෆ්‍රයෙඩ්මන් කියපු කථාව බොරුවක් වෙනවා පර්සියන් ගල්ෆ් කළාපයෙදි….සාපේක්ෂව තරමක් හෝ ප්‍රගතිශීලී “භාත්වාදී” මත දරන යාබද රටවල් පවා අවුල් කරමින් අශිෂ්ඨ අන්තවාදයකට ලෝකය නතුකරන්න වෙර දරන මේ රටවල ජනතාව එක් පසෙකින් ක්‍රය ශක්තිය සහ ක්‍රය මූලයන්ට හොඳින් නිරාවරණය වෙනවා…. අනික් පසින් ප්‍රතිගාමී නූගත් මතවාදයන්ට නිරාවරණය වෙනවා…මේ කඹ ඇදිල්ල තුළ ඔවුන් සුවිශාල අසහනයක් ගොඩ නගා ගන්නවා… මේ අසහනය, ඔවුන්ගේ නොදැමුණු චර්යා රටාවන් සමග එකතු වෙලා තම දෙපා මුළට පැමිණ සිටින දිළිඳු, කේවල් කිරීමේ බලයෙන් තොර, රැකියාවෙන් ලැබෙන මුදල මත සියළු දේ තීරණය වෙන තුන්වැනි ලෝකයේ අසරණියන් පිටින් යනවා….සමාජ අවකාශය උඝ්‍ර ලෙස සීමාවීම නිසා, ශ්‍රව්‍ය, දෘෂ්‍ය, ජාල මාධ්‍ය හරහා පුළුල් වන නිම් වළලු සන්තර්පණය කරගන්න විදිහක් නැතුව විවිධ මනෝ විකෘතීන්ගෙන් පෙළෙන ගැහැණු, සහ ධනය සමග ආරෝපණය වෙන “Lord” Mode එකේ ඉන්න පිරිමි අතරට බලයක්, ප්‍රකාශ හැකියාවක්, වටිනාකමක්, හෝ “අයත්ය” යන හැඟීමක් නැතිව එන කෙනා කෙළින්ම “වෘකයන් අතර නග්නව” තමයි…

—–විසඳුම ——-

ලෝකයේ ගෘහ සේවක වෘත්තිය සඳහා ඉල්ලුමක් තියෙන එකම කළාපය මේ මැද පෙරදිග කියන ඔල්මාද ගුහාව නෙමෙයි…උතුරු ඇමරිකාව, යුරෝපය, සිංග්ගප්පූරුව, හොංකොං, ජපානය, ඕෂනියාව ( ඔසී, නවසීලන්තය ) වගේ රටවලත් විශාල ඉල්ලුමක් ගෘහ සේවක, සේවිකාවන්ට තියෙනවා…නමුත් වෙනස තියෙන්නෙ නුපුහුණු ශ්‍රමය ඔවුන් ගන්නෙ නෑ…

නිසි පුහුණුවක් සහ විධිමත් අධ්‍යාපනයක් මගින් අපේ ශ්‍රමිකාවියන්ට යම් “වටිනාකමක්, කේවල් කිරීමේ බලයක්” සහ වෘත්තික අනන්‍යතාවයක් දෙන්න පුලුවන් නම්, ඔය මැද පෙරදිග ඔල්මාද ගුහාවට නොයවා මේ රටවලට යවන්න පුලුවන්…

එහිදී සැලසෙන වාසි

1.ඉංග්‍රීසි බස පුහුණුව, වෘත්තීය පුහුණුවෙන් තව දුරටත් අධ්‍යාපනය ලබා අවසානයේ පුහුණු කාරියක වීමේ හැකියාව, රැකියා වෙළඳපලේ මොන රටකට ගියත් ඉහල ඉල්ලුමක් ලබාගත හැකි වීම
2.වෘත්තිය අනන්‍යතාවය සමග නිසි වැටුප, සේවක අයිතිවාසිකම්, මානව හිමිකම් සියල්ල ලැබීම
3. ශිෂ්ඨ සම්පන්න, නිදහස්, නීති ගරුක වටපිටාව, විදේශික ස්වදේශික සැමට සමව සලකන පොදු නීති පද්ධතිය, අවශ්‍ය ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකුට නීතියේ රැකවරණය ලැබීම, සැමට පහසුකම් සපයන සෞඛ්‍යාරක්ෂණ සේවා

4. යම් කාළයක් සිටි පසුව ඒ රටවල නිත්‍ය පදිංචි වීසා හෝ පුරවැසි භාවය ලබාගත හැකිවීම…එමගින් තමන්ගේ දරුවන්ටත් යහපත් අනාගතයක් සාදාගත හැකිවීම… ( Persian Gulf ගුබ්බෑයම් වල පුරවැසි භාවය නිකන් දුන්නත් වැඩක් තියෙනවද? උන් දෙන්නෙත් නෑ…ඒක වෙනම කථාවක් )

—-ආකල්පමය වෙනස—–

1.මැද පෙරදිග ගෘහ සේවිකාවන් වශයෙන් ‍යෑමෙන් තමන්ගේ ජීවිතය සැපවත් කරගත හැක කියලා තදින් මුල් බැස ගත්තු ආකල්පය මෙරට සාපේක්ෂව අඩු ආදායම් ලබන ස්ථරවල ජනතාවගේ සිත්වලින් ඉවත් කළ යුතුයි…ඔය ගෘහ සේවිකාවකට දැන් වැටුප් කීයද අරාබියෙ ලැබෙන්නෙ? මාසෙකට රුපියල් 50,000 ක් අරන් දෙනවා කියලා පොරොන්දු උනාට බොහෝ තැන් වල ගෙවන්න 20,000 – 35,000 අතර මුදලක්…උත්සාහ කරනවා නම් ඕනම කෙනෙකුට ඔය මුදල මෙරට තුල හොයන්න ක්‍රම තියෙනවා… නමුත් නාස්තිය, දුරාචාරය, මිථ්‍යා මතවාදයන්, යල් පැණගිය චින්තන සැකැස්ම, වැනි බොහෝ දෑ නිසා මෙරට සාපේක්ෂව අඩු ආදායම් ලබන ස්ථර වලට ලැබෙන මුදල් වත් ඉතිරි වන්නේ නෑ…

2.නමුත්, පුහුණු ශ්‍රමිකයන් යන වෘත්තීන්ට හැර ( පෙදරේරුවන්ගේ, රියදුරන්ගේ, යන්ත්‍ර ක්‍රියාකරවන්නන්ගේ, තාක්ෂණ ශිල්පීන්ගේ ඉඳලා ඉංජිනේරුවන් දක්වා ) අනෙකුත් නුපුහුණු වෘත්තීන්ට, මැද පෙරදිග ගිය අය ( විශේෂයෙන්ම ගෘහ සේවිකාවන් ) මෙහේ සැපවත් ජීවිත ගොඩ නගාගෙන තියෙන හැටි ගැන උදාහරණ දාහක් පෙන්නන්න බෑ කියලා මම ඕන ඔට්ටුවක් දානවා…ඔච්චර ලක්ෂ ගාණක් යනවා…එයින් 80%+ අවසානයේ ළඟා කරගන්නේ හිටියාටත් වඩා කිහිප වාරයක් අන්ත දුක්ඛිත ජීවිතයක්…එක්කෝ ඒ යන අය එතෙරදී වැනසෙනවා…නැත්නම් ඔවුන්ගේ ධනය, සහ පවුල මෙතෙරදී වැනසෙනවා…අවසානයේ සැපවත් ජීවිතයක් සොයා යන අසරණයන් සියළු දෙනා පරාජිතයන් වන අතර, ලාභ ශ්‍රමය සූරා කෑ ඒජන්සි කරුවාගේ සිට ඉඩම් උගසට ගෙන ණය දුන් පොළීකාරයා හරහා අරාබියේ තෙල් සල්ලි කාරයා දක්වා සියල්ලෝම ජයග්‍රාහකයන් වෙනවා…. මේ යන්නේ ඉතාම අවිධිමත් ගමනක්..මේ ගමන නිසා ඒ වගේ නුපුහුණු ශ්‍රේණින් වල නූගත් ශ්‍රමික, ශ්‍රමිකාවන්ට ලැබෙන දේට වඩා අහිමිවිය හැකි දේ බොහෝයි….

3. මැද පෙරදිග යන අය පිළිබඳව අපේ රට තුළ ගොඩනැගී ඇති ආකල්ප වෙනස් විය යුතුයි…ඒ යන කාන්තාවන් තමන්ට උරුම රැකවරණය අහිමි කරගෙන යන්නෙ නිවාඩු ගන්න නෙමෙයි… ඔවුන් උපයන විදේශ විනිමය මේ රටට කරන්නෙ සුවිශාල සේවයක්…ඒත් ඔවුන් එහෙදීත් තිරිසන් විදියට සූරාකෑමට ලක් වෙලා මෙහෙට ආවාම ගුවන් තොටුපළේ ටැක්සි රියදුරාගේ සිට තමන්ගේම සැමියා, පුතා, සොයුරා දක්වාම විවිධ අඩන්තේට්ටම් වලට මුහුණ දෙනවා….