ශාසනය වනසන කල්ලි වාදය හා තවත් කථා…..

ඕනෑම අක්ෂයක වඩාත්ම භයානක සතුරා වෙසෙන්නේ පරිබාහිරයේ නොව අභ්‍යන්තරයේය..මිනිසා ජීවියෙකු ලෙස ගත් කළ, වනයේ සිටින වග,වළස්, සිංහ,කොටි, නා, පොළොං,දළ ඇත් ආදී පරිබාහිරවූ සංකීර්ණ ජීවිහු සතුරන් වුවද, එකී සතුරන් කරන හානිය හා ඒ හානියට මිනිසා ගොදුරු විය හැකි සම්භාවිතාව, මිනිසාගේ අභ්‍යන්තරයෙහි සිට, දේහ සෛල හා රුධිරය මතම පෝෂණයවී, අභ්‍යන්තරයෙන් සිරුර දිරාපත් කරන, ගිලන් කරන, ඇසට නොපෙනෙන ඒක සෛලික බැක්ටීරියා, වෛරසයන් ගේ ගොදුරු බවට මිනිසා පත්වීමට ඇති සම්භාවිතාවයට වඩා අවමය..

බුදු පියාණන් වහන්සේ සමීපයෙහි වැඩ සිටි එක්තරා තෙරුන් වහන්සේ නමක්, භාවනා සහ කමටහන් විෂයෙහි උකටලී වුවද, බුදු රජුන්ගේ බුද්ධ තේජස සහ සුපසන් රූප කාය දෙස බලමින්, ඒ ගැන පැහැදුමෙන් උන් වහන්සේ වෙතම රැඳී සිටිමැයි අදිටන් කරගෙන සිටි මොහොතක, තිලෝගුරුන් වහන්සේ එකී භික්ෂුව බණවා, තමන් වහන්සේගේ රූපකාය කෙරෙහි ආකර්ෂණයෙන් නොසිට, ධර්මයෙහි හැසිරී සසරින් එතෙර වන ලෙස අවවාද කළ සිද්ධියක් ඔබ අසා ඇතැයි සිතමි..මේ, තුන්ලොවටම පහළ වූ නියම නායකයාණන් විද්‍යාමාන කළ විශිෂ්ඨ වූ පරාර්ථකාමී නායකත්වයේ ස්වභාවයයි..සසරින් සැබැවින්ම ගැලවීමට නම් තමාට, තමා විෂයෙහි වත් ඇලීමක් ඇති කර නොගත යුතු යථාර්තයක සිටින ලෝක සත්වයාට, තමන් වහන්සේ කෙරෙහි, නොහොත් සසර මඟින් ගැළවීම කියා දෙන මහා ගුරුවරයාණන් කෙරෙහි වත් “පෞද්ගලික මට්ටමේ, නො එසේ නම් පෞර්ෂය මට්ටමේ ආකර්ෂණයක්” ඇති වීම වැළැක්වීමට ධර්ම රාජයාණන් වැර දැරුවේ එපරිද්දෙනි..

දෙවියන්, බඹුන්, මරුන් සහිත මේ විශ්ව ධාතුවම උන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයන් මූලයෙහි වැටිලා තිබියදීත්, නියම විමුක්ති දායකයාණන් අපේක්ෂා කළේ ඒ සා පිරිස් බලයක් ගොඩ නඟා ගැනීම නොවේ..බොහෝ විට තථාගතයන් වහන්සේ, පිරිවරට දම් දෙසා ඉක්බිතිව ඔවුනොවුන්ට ගැළවීමේ මඟේ යන්නට ඉඩ දී තමන් වහන්සේ වැඩ සිටියේ හුදෙකළාවය..සැරිසැරුවේ තම පිරිස් බලයෙන් බොහෝ ඈත වූ ගම් නියම් ගම් වලය..ඒකචාරී කේසර සිංහ රාජයෙකු වන් ධර්ම රාජයාණන් කර්ම ශක්තීන් ඇත්තවුන් සොයා වැඩියේද තනිවමය…”භාරද්වාජ ගෝත්‍ර බමුණා” ආදී බමුණන් මුණ ගැසුණේ වන ලැහැබ් වල හුදෙකලාව වැඩ සිටියදීය..විශ්වයම පිරිවරට සිටියත්, පිරිස් බලය නොපතන, එහි නොඇලෙන මහා පරමාදර්ශී නායකත්වයේ ස්වභාවය එබඳුය…

බෞද්ධයා යනු බුදු මග යන්නෙකුටය..බුදුන් වැඩි මග, ඒ සිරිපතුළ් පියවර ලකුණු බලමින් යන ලොව පුරා වෙසෙන බිලියනයකට ආසන්න වූ බෞද්ධ සේනාවෙහි, සේනාධිනායකයා වන්නේද, කණ්ඩායම් නායකයා වන්නේද, ධර්ම රාජයාණන් වන්නේද, පීතෲ රත්නය වන්නේද, ජගතාණන් වන්නේද, වියතාණන් වන්නේද සම්මා සම්බුදු රජාණන් වහන්සේ මිස අන් කිසිවෙකු නොවේ..නමුත්, වර්තමානයේදී ලක්දිව බොහෝ පිරිස්, සේනාධිනායකයා පසෙක තබා, සේනාධිනායකයාගේ වචනය මැනවින් සමාජගත කරන “සෙසු මුළාදෑනීන්” රජ කරවන්නට වෙර දැරීමක් පැහැදිලිවම දක්නට ඇත..විචිත්‍ර බාණකත්වයෙන් යුත්, හා මනා ධර්මාවබෝධයෙන් යුත් භික්ෂූණ් වහන්සේලාගේ දේශක පෞර්ෂයට වශී කෘතවන, හා ඉන් ඉක්බිති උන් වහන්සේලා වටා “කණ්ඩායම්” ලෙස රොද බැඳ ගන්නා පිරිස් නිසා අප නොසිතන අන්ත්‍රායකට ශාසනය තල්ලු වී යමින් පවතී…

“කල්ලි” ගැසීමේ අන්ත්‍රාය කුමක්ද?…

ශ්‍රී ලංකාවෙහි බුදු සසුනෙහිද, වෙනත් බෞද්ධ රටවල ඇති පරිද්දෙන්ම, පළමු ධර්ම සංඝායනාවෙහි සිට පිළිවෙත නොසිඳ, බොහෝ පරම්පරාවන් සංඛ්‍යාවක් ස්වකීය අරමුණු, අභිප්‍රායන් පමණක් නොව ජීවිතයද පුද කොට රැක ගෙනවුත් දුන් “මහා සම්ප්‍රදායක්” ඇත..තායිලන්තය, බුරුමය බඳු රටවල දක්නට ලැබෙන තරම් තනි, දැවැන්ත බෞද්ධ අධිකාරියක් දක්නට නැතත්, දිගු ඉතිහාසයන් සහිත නිකායන් කිහිපයක් (ප්‍රධාන කොටම නිකායන් තුනක්) වශයෙන් හෝ මෙකී බෞද්ධ සම්ප්‍රදාය ජාතියට සිසිළස සලසමින් ඉදිරි ගමන් බලයි…

බුදු සස්නෙහි පමණක් නොව අනෙකුත් ආගම් වලද, එකී ආගමික ශාස්තෲන්ගේ යුගයන්ගේ සිට, සියවස් ගණනක් ඔස්සේ, එක්තරා මහා ප්‍රවාහයකට අනුගත වී පැමිණ, අදටත් ඒ, ඒ ආගමික මතවාදයන්ගේ මූලාශ්‍රිත දත්තයන් සමාජගත කරන මහා සම්ප්‍රදායික ආගමික දේහයන් ඇත..උදාහරණයක් ලෙස ක්‍රිස්තියානිය සඳහා වතිකානුවත්, ඉස්ලාමය සඳහා අල්හාජ් ඉමාම්වරුන් පාලනය කරන මක්කම “අල් -කබා” දේවස්ථානයත්, හින්දු පර්ෂත් විසින් මෙහෙයවනු ලබන දැවැන්ත හින්දු කෝවිල් පරිශ්‍රයනුත්, ගත හැක..මේ මහා සම්ප්‍රදායික ආගමික දේහයන් එතැනට පැමිණ ඇත්තේ, පෙර කී පරිදිම පරම්පරා ගණනාවක් ඔස්සේ සාමාජීයව නැගී ආ ගැටළු, ප්‍රතිරෝධ, අවුල්, වියවුල්, ආකල්ප, විකල්ප සියල්ලට සෘජුව මුහුණ දීමෙන් ලත් අත්දැකීම් රාශියක් හා ඒ අත්දැකීම් මඟින් වාත්තු කර හැඩ ගස්වා ගත් පසුබිමක් හා වේදිකාවක් සහිතවය..

ලක්දිව බුදු සසුනෙහි ඇති මහා ථේරවාදී සම්ප්‍රදාය මේ සියල්ලට වඩා අති ශ්‍රේෂ්ඨය..මක් නිසාද, ඒ සම්ප්‍රදාය පිහිටා ඇත්තේ, බුදු පියාණන් වහන්සේ ශ්‍රී දම් කඳ මුදා හළ දේශයට, ආසන්නයෙන්ම පිහිටා ඇති නිසා, එරටින් බුදු සසුන හා බුදු විෂය ලක්දිවට විකෘතියෙන් තොරව, ඉතා ආසන්න මුඛ පරම්පරා මතකයන් ලෙස අවුත්, ඉක්බිති, දැඩි කැපවීමෙන් හා බුද්ධියෙන් යුතු ආර්ය ජනතාව විසින් රකිනු ලදුව, ඉමහත් පවිත්‍ර හා නොවෙනස් ස්වරූපයෙන්ම දැනුත් විරාජමාන වන ධර්ම වේදිකාවක් මත බැවිනි..

සම්ප්‍රදායක් පැවති පමණින් අප ඒ සම්ප්‍රදායටම ඇලී, ඒ මත්තේම හැපිය යුතු නැති වුවත්, ඉතාමත් අසීරුවෙන්, පරම්පරා ගණනක් ඔස්සේ දැකි ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආ මහා විශ්ව සත්‍යය මෙහි ගර්භයේ ඇති බැවින්, අනෙත් මොන සම්ප්‍රදායෙන් බැහැර වුවත්, මේ සම්ප්‍රදායෙන් බැහැරව ගොස්, බුදු සසුනට “අතු ගංඟා” එක් කිරීමට පෙර, සැබැවින්ම ශාසනයට ආදරය කරන යථිවරුන් නම් කිහිප වතාවක් සිතා බැලිය යුතුමය..

එසේත් නැතිව, එක්, එක් භික්ෂූන් වහන්සේ ධර්මය හඳුනා ගත් අයුරින්, හෝ නිර්වාණ මාර්ගය මේ යැයි අවබෝධ කරගත් අයුරින්, තමාටම අනන්‍ය වූ වෙනම රටාවක් ඔස්සේ, තම දේශනානුවර්තී ජනතාව යොමු කිරීම කෙතරම් බිය ජනක අනාගතයක් ළඟා කර දෙනු ඇතිදැයි යම් කෙනෙකුට දැන ගත යුතු නම් ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිස්තියානියට වී ඇති දෙය බැලීම මැනවි…

ඇමරිකානු උදාහරණය….

ඇමරිකා එක්සත් ජනපදය නම් රාජ්‍යය ස්වාධීන රාජ්‍යයක් ලෙස වෙන්වීමට ප්‍රථම, එම රාජ්‍යයේ සුදු ජනාවාස බිහි කිරීමෙහි ලා මූලික වූවෝ, බ්‍රිතාන්‍යයේ රදළ පරම්පරාවන්ට අයත්, ඉඩම් හිමි ධනවතුන්ය..බ්‍රිතාන්‍යය තුළ පැවති රාජාණ්ඩු ක්‍රමය හා ඒ ඔස්සේ තමන්ට ලැබී තිබුණු කුල ගර්වය මුසු වරදානයන් තුළින් සෑහීමකට පත් නොවූ ඔවුහු, ඒ වෙනුවට, තමන්ටම කියා අති විශාල භූමි භාගයක පැතිරී ඇති ප්‍රාදේශික අධිකාරියක් පවත්වා ගත හැකි නම් මැනවැයි කල්පනා කළහ..සත්තකින්ම ඇමරිකා එක්සත් ජනපදය යනු ලොව සතර වැනි විශාලතම රාජ්‍යය වන අතර, වර්ග කිලෝමීටර මිලියන 9.7 ක් පමණ වූ යෝධ භූමි වපසරියකින් යුතු වීම එකී රදළ සිහිනයට ප්‍රණීත පිළියමක් සැපයූවාට සැක නැත..මේ ඉඩම් හිමි ධනවතුන් එනිසා තම උපන් බිම වන එංගලන්තය අතහැර අත්ලාන්තික් සයුරෙන් ඔබ්බට ගොස්, බොහෝ රතු ඉන්දියානු ගෝත්‍ර නසා ඔවුන්ගේ භූමිය පැහැරගෙන, එක්, එක් ප්‍රදේශවල සුදු ජනාවාස බිහි කිරීම ඇරඹූ අතර, “බිම් සරණිය, ගවේෂණය හා යටත් විජිතකරණයට” අයිතිය ඇත්තේ බ්‍රිතාන්‍ය කිරීටයට පමණක් නිසා, එකී ජනාවාස වෙනුවෙන් සැළකිය යුතු බද්දක් හා වස්තු සම්භාරයක් රාජකීය භාණ්ඩාගාරය වෙත එවීමටද, ඒ රදළයන්ට සිදුවිය…ගලා එන වස්තු සම්භාරයෙන් ඔද වැඩුණු බ්‍රිතාන්‍ය රජයද ඒ අයගේ දේශාටනයන් ඉවසූහ..

නමුත්, ආගම යන්න සම්ප්‍රදායිකව ඕනෑම රටක “රාජ්‍යාධිකාරීත්වය” එහෙමත් නැතිනම් “දේශපාලන අධිකාරී බලය” යන්න සමඟ, ලිහා දැමිය නොහැකි ලෙස බැදී ඇති නිසා, දිගින් දිගටම එංගලන්තයේ රජුට බදු ගෙව, ගෙවා බ්‍රිතාන්‍ය කිරීටය යටතේ, “නිකම්ම නිකං” රදළ ප්‍රධානීන් ලෙස ගෙවන මේ ජීවිතයෙන් මිදී, තම, තමන්ගේ පවුල් පෙළපත් “රජ” කරවා ගන්නට නම් කළ යුතු එකම දෙය, තම, තමන්ගේ පවුල් දැනට පාලනය කරන ප්‍රදේශ වල, සාම්ප්‍රදායික “එංගලන්ත සභාවෙන්” මිදුණු ක්‍රිස්තියානි විශ්වාසයන් ඇති කොට, ඒ ඔස්සේ තම, තමන් නායකත්වය උසුළන පල්ලි සංස්ථාවන් ජනතාවට සමීප කිරීම බව රදළයන් තේරුම් ගැනීමට වැඩි කාළයක් ගියේ නැත…

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ආගමික දර්ශණය “ඇන්ග්ලිකන්” ක්‍රිස්තියානියයි..එහි පල්ලිය, අටවැනි හෙන්‍රි රජුගේ ක්‍රියාකාරකම් නිසා බිහිවූ “එංගලන්ත සභාවයි”..අටවැනි හෙන්‍රි රජු (Henry the Eighth), මේ එංගලන්ත සභාව, වතිකානුවෙන් කඩා ගෙන අළුත් අධිකාරියක් ලෙස පිහිටුවද්දී, එහි පරම නායකයා ලෙස ( නොහොත් රෝමානු කතෝලික පල්ලිය පැත්තෙන් බැලුවොත් පාප් වහන්සේට හිමි තැන ) බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජිණ සැලකෙන අයුරින් න්‍යාය පත්‍රය සකසන ලදී…ඒ නිසා සියළු ඇන්ග්ලිකන් කිතුණුවන්ගේ ජීවමාන ආගමික නායකයාද වන්නේ බ්‍රිතාන්‍ය කිරුළ දරන තැනැත්තා හෝ තැනැත්තියයි..මේ රජුට හෝ රැජිණට යටත් පල්ලියට, තමා යටතේ පාලනය වන ප්‍රදේශ වල ඉන්නා ජනතාව යෑමෙන් වළක්වා ගෙන, ඒ වෙනුවට තම, තමන් නායකයන් ලෙස පිළි ගන්නා අළුත් පල්ලි බිහි කර ගත හැකි නම් කදිම බව ඇමරිකාවේ රජ වෙන සිහින දුටු රදළයෝ දුටහ..

මේ ආගම දඩමීමා කරගත් දූෂිත න්‍යාය පත්‍රයන්ගේ ප්‍රතිඵලයන් ලෙස, අද ඇමරිකානු දරුවන් ඔවුන්ගේ ඉතිහාස පාඩමේ First Great Awakening, Second Great Awakening ලෙස ඉගෙන ගන්නා ඊනියා ධර්ම පුනරුදයන් තුළින්, සාම්ප්‍රදායික පල්ලි සංස්ථාව පුපුරුවා හැර, ඒ වෙනුවට ක්‍රිස්තියානි බයිබලයේ අකුරක්, අකුරක්, ඡේදයක්, ඡේදයක් නෑර වෙන, වෙනස් අර්ථ කථනයන් නිසා බිහි කරගත් “පල්ලි පැටව් රාශියක්” ඇමරිකානු භූමිය පුරා විසිරී ගියේය..ඒ, ඒ රදළ පවුල, ඒ, ඒ පල්ලියේ අනුග්‍රාහක නායකත්වයට ස්වයංක්‍රීයවම පත්විය..1730 – 1740 අතර කාළයේ දී රට පුරා විසිරී ගිය මේ පල්ලි, 1776 දී ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රාන්ත 13කින් යුතුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් කැඩී, ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ දා සිට, එංගලන්ත සභාව සමඟ එතෙක් පැවති ඉතාම සියුම් පෙකණි වැල, නොහොත් “සම්භව සම්බන්ධයද” (Genesis Connection) ( සම්භවය එංගලන්ත සභාව වෙතින් බැවින් ඒ සභාවට වග කියන ස්වභාවය ) කඩා ගෙන ස්වෛරී පල්ලි කඩ රාශියක් බවට පත්විය..කෙටියෙන් කියතොත් සිය ගණනක් බවට පත්විය..

ආගමික වශයෙන් ඇමරිකාවේ තත්වය වඩාත් නරක අතට හැරෙන්නට ගත්තේ මෙතැන් සිටය..

Puritan Movement, Baptist Movement, Anabaptist movement, Evangelical movement, Pentacost movement යනාදි ශාඛා රාශියක් ලෙස 1850 පමණ වනවිට ඇමරිකාව තුළ කදිමට මුල් බැස ගත් ඒ, ඒ කුඩා පල්ලි සංස්ථා සියල්ල අවසානයේ Congregationalist Polity නම් ක්‍රමය ආදේශ කර ගත්හ..මේ ක්‍රමය ඉතාම වියවුල් සහගත ආගමික පාලන න්‍යායකි..එයට අනුව එක අධිකාරියක්, එක ආගමික තේරාවලියක් (Hierarchy), එක සංස්ථාවක්, එක පාලන තන්ත්‍රයක් වෙනුවට, ඒ, ඒ පල්ලි එහිම ස්වාමීත්වය උසුලන, කාටවත් වග නොකියන, ඒවාට ඉහළින් කිසිවෙකුත් නැති, ස්වාධීන, ස්වෛරී ආයතන ලෙස ප්‍රකාශයට පත් කරන ලදී..ඒ අපූරු න්‍යාය නිසා, ඇමරිකාවේ ගමක්, ගමක්, ජනපදයක්, ජනපදයක්, කවුන්ටියක්, සෙට්ල්මන්ට් එකක් ගානේ ඇති ලෑලී වලින් සැදූ කුඩා, කුඩා පල්ලි සියල්ලම, තමන්ට “අනන්‍ය වූ, ස්වාධීන මත ධාරී වූ” පල්ලි සංස්ථා ලෙස වැඩ ඇරඹීමට වැඩි කළක් ගත නොවිණි..

අද ඇමරිකාවේ ක්‍රිස්තියානිය එහෙම පිටින්ම වියවුලකි..මේ ගමේ පල්ලිය දෙසන්නේ, අල්ලපු ගමේ පල්ලිය දෙසන ආගම නොවේ..සමහර පල්ලි සාන්තු වරුන් පිළි නොගන්නා නිසා ඔවුන් වෙනස් බව කියති..සමහරු ත්‍රිත්වය පිළි නොගනිති..සමහරු නිරයක් නැතැයි කියති..සමහරු ස්වර්ගයක් ද නැතැයි කියති..ඒ තබා, සමහර පල්ලි සංස්ථා ජේසුස් වහන්සේවත් පිළි නොගනිති..වැඳිය යුත්තේ දෙවියන් වහන්සේට පමණක් යැයි සමහරු කියති…දෙවියන් වහන්සේට වත් වැඳිය යුතු නැතැයි සමහරු කියති…ඇත්ත වශයෙන්ම බලතොත් මේ පල්ලි පැටව් එකිනෙකාගෙන්වෙනස් වන්නේ කෙස් ගසකිනි..වෙනත් අයුරකින් කියතොත්, එකම බයිබලයේ ඡේද සහ වගන්ති අර්ථ දක්වා ගන්නා ආකාරයේ වෙනස අනුවය..අද ඇමරිකාවේ වෙසෙන 27 කෝටියක් තරම් වූ ක්‍රිස්තියානින්, මේ අයුරින් පල්ලි දහස් ගණනකට කැඩී විසිරී සිටිති..ඒ, ඒ ජාතිකත්වයටද වෙන්වූ වෙනම පල්ලි ඇත..උදා: Black Community Churches, Latin Community Churches, Irish Community Churches…

අද ඇමරිකාවේ ආගම එහෙම පිටින්ම ආරවුලකි..පල්ලි, පල්ලි අතරේද ගැටුම් ඇත..ඒ, ඒ පල්ලි තම, තමන් ආගම යැයි සිතා ගත් “මොකක් හෝ එකක්” ලෝකය පුරා පතුරුවා හරින්නට ඉවැන්ජලික කල්ලිත් බිහි කර ගන්නා නිසා, එහෙම බිහිවන කල්ලි ගණනද දහස් ගණනක් වි ඇත..ලෝක ආගමික සංගණනයන් සිදු කරන Association of Religion Data Archives (ARDA) ආයතනය පවසන අන්දමට ඇමරිකාවේ අද බිහි වී ඇති ක්‍රිස්තියානි ආගම් ප්‍රභේද ගණන 14,000 කට අධික අතර පල්ලි ගණන ලක්ෂය ඉක්මවා යයි…ආගමික නායකයන්ගේ පෞර්ෂය අනුව නොගොස්, ඒ ඔස්සේ කාලාන්තරයක් තුලදී හැඩ ගැසුණු ආගමික මහා සම්ප්‍රදායන්ට අනුව නොගොස්, එක, එක්කෙනාගේ දේශක පෞර්ෂය හෝ නැති නම් ඒ පිටුපස බොහෝ විට ඇති පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට අනුගතව “ධර්ම මාර්ගයේ” යන්නට රටක් පෙළඹුණහොත්, ධර්මයකට සිදුවිය හැකි විනාශයට මීටත් වඩා උදාහරණ නැත..

අද ඇමරිකාවේ මේ විකෘති ආගමික පරිසරය නිසා, විවිධ ආගමික අර්ථ කථනයන් ඔස්සේ මනස යොමන්නට ගොස් උමතුවන් සාදාගෙන මානසික රෝහල් වල විශාල පිරිසක් සිටිති..ඇතැමුන් තමන්ට දේව දූතයන් පේන බව පවසති..සමහරු ජේසුස් වහන්සේ තමන්ට වරයන් ලබා දී ඇති බව කියා කෑ ගසති..සමහරුන්ට දෙවියන් වහන්සේ සෘජුව කථා කරන බව කියති..මා කළින් පැවසූ පරිදිම, බොහෝ කාළයක් තිස්සේ සමාජ අනුගතව සැකසී ආ මහා ආගමික සම්ප්‍රදායකින් ඕනෑ, ඕනෑ හැටියට ඈත් වෙන්නට යාමෙන්” මෙවැනි බිහිසුණු ප්‍රතිඵල ඇතිවිය හැක..

ක්‍රිස්තියා ආගමික දර්ශණයට ඇත්තේ තෙස්තමේන්තු (Old and new testaments)දෙකකින් සමන්විත පොතක් සහ එයට අයත්ව පසුකාලීනව පබැඳූ ගීත මාලාවක් (Hymns) පමණි..මේ තරම් ප්‍රාමාණිකව සරල ආගමකුත්, හිතූ මනාපේට නිකාය, කල්ලි අටවා ගන්නට යෑමෙන් මේ සා දරුණු අතු බෙදීමකට පත් වේ නම්, මේ සා විශාල ලෙස අර්ථ විකෘතිකරණයකට ලක් වේ නම්, මෙලොව සෙසු දර්ශණයන් හා සසඳන කළ, දිය බිඳු අභිමුඛයෙහි සප්ත මහා සාගරයන්ගේ ඓක්‍ය යැයි කිව හැකි සම්මා සම්බුදු දහම “ඒ, ඒ භික්ෂූන් වහන්සේලාට ඕනෑ, ඕනෑ හැටියට, හිතෙන, හිතෙන හැටියට” අර්ථ නිරූපණය කරගෙන, ඒ ඔස්සේ පිරිස් බලය ඒක රාශි කරගෙන වෙනම මාවත් ඔස්සේ, වෙනම සංස්ථා අනන්‍යතාවයන් ඔස්සේ වඩින්නට ඉඩ සැළසුණොත්, අනාගතයේ ඇතිවන පතාක විභේදනය ඔබ කිසිවෙකුටත් සිතා ගත නොහැකි තරම් වියවුල් සහගත, බිහිසුණු එකක් වනු ඇත..ඒ බෙදීම හමුවේ ඇමරිකාවේ පල්ලි බෙදිල්ල “මොකක්දැයි” කෙනෙකුට සිතෙන්නට පුළුවන…

බුදු සමය ප්‍රභේද කෝටි ගණනකට වුවද බෙදී යා හැක..

….සිවුවණක් පිරිස සතු කාර්යය….

සම්බුද්ධ ශාසනියේ උන්නතිය හෝ වේවා, අවනතිය හෝ වේවා රැඳී ඇත්තේ සිවුවණක් පිරිස මතය..භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා ආදී වූ ඒ මහා පිරිවර ශාසනය සම්බන්ධව කටින් කෙළ පොදක් හලන්නටත් දහ වතාවක් සිතා බැලිය යුත්තේ එබැවිනි..

පන්සලෙන් බොහෝ කළක් තිස්සේ ඈත් වී සිටි තරුණ පරපුර, යළිත් මොනයම් හෝ වේවා අර්ථ කථනයක් ඔස්සේ පන්සලකට හෝ පන්සලක ආදේශකයකට ( උදා: අසපු, සේනාසන ආදී වශයෙන් හඳුන්වනු ලබන ) නැඹුරු කරවා ගත හැකි, උගත්, විචිත්‍ර බාණක, විනය ධර, ධර්ම කථිකයන් වහන්සේලා පරපුරක් ලක්දිව මේ වන විට බිහි වී සිටීම ඉතාම ප්‍රීතිමත් කරුණකි..ඒ පිළිබඳව මෙය ලියන මට හෝ බුදු සසුනට ලැදි කිසිවෙකුට කිසිදු ගැටළුවක් තිබිය නොහැක..

මේ ලිපිය මා ලියන්නේ එවැනි එක් හෝ බහුතරයක් වූ නව බෞද්ධ කණ්ඩායම් කෙරෙහි ඇති කරගෙන සිටින කෝපයක් හෝ ද්වේෂයක් නිසා නොවේ..එවැනි හොඳ දේට ද්වේෂ කරන්නට යෑම නිරයට කිසිදු වෙහෙසකින් තොරවම දොරටු විවර කරන්නක් බව දනිමි..

ගැටළුව ඇත්තේ ධර්මය දේශනා කරන ප්‍රධාන ස්වාමීන් වහන්සේලාගේ හෝ ඉහත කී විනය ගරුක ගෝල යථිවරයන්ගේ හෝ සැබෑ ආර්ය මාර්ගික බුද්ධිමත් උපාසක උපාසිකාවන්ගේ නොවේ…ගැටළුව ඇත්තේ තම දෙසන ධර්මය නොව, දෙසන ස්වාමීන් වහන්සේ කෙරෙහි ඇලෙන, ධර්ම හරයාර්ථයන් නොව ස්වාමීන් වහන්සේගේ දේශක පෞර්ෂය ග්‍රහණය කර ගන්නා මද නැණ පමණ ඇති ගිහි උපාසක, උපාසිකාවන්ගේය..

….පස්සේ යෑම….

පූජ්‍ය දොඩම්පහළ රාහුල ස්වාමීන් වහන්සේ වරක් සිය ධර්ම දේශනාවක මෙසේ වදාළේය..තමන් වහන්සේගේ ධර්ම දේශනාවක අවසානයේ එක්තරා ගමක, ඉදිරිපෙළෙහි හුන් උපාසිකා මාතාවන් කිහිප දෙනෙකු හා උපාසක මහතුන් දෙදෙනෙකු පැමිණ “ඔබ වහන්සේගේ ඊළඟ ධර්ම දෙසුම ඇත්තේ කිනම් ගමේදැයි?” ඇසූ බවත්, තමන් වහන්සේ ඊට “එසේ අසන්නේ ඇයිදැයි?” පෙරළා පැනයක් යොමු කළ විට “ඒ ගමටත් පැමිණ ඒ ධර්ම දේශනාවත් අසන්නට ආසා” කරන බව ඔවුන් පැවසූ බවත් උන් වහන්සේ පැවසූ සේක..බණ ටිකක් අහන්නට අවශ්‍ය නම් මේ රටේ බණ කියන යථිවරුන් අප්‍රමාණව ඇති වගත්, එසේ සිටියදී අනවශ්‍ය ලෙස “මේ ගමේ බණටත්, ඊළඟ ගමේ බණටත්, මාතර බණටත්, අනුරාධපුරේ බණටත්” ආදී වශයෙන් එක භික්ෂුවක් පසු පස්සේ නොයා “හාමුදුරුවරුන්ට පාඩුවේ ඉන්නට දෙන ලෙස” කියා උන් වහන්සේ ඒ අයට අවවාද කොට ඇත…

එය නම් අද යුගයට ගැලපෙන ඉතාම කදිම අවවාදයකි…තමන් වහන්සේ වෙත, තම ධර්ම ශෛළීන් වෙත ඇලෙමින්, පිරිවරක් ලෙස පසු පස්සේ ඒම තමන් වහන්සේට දෙන ඉමහත් හිසරදයක් වග, හෙළයේ අද්‍යතන යුගයේ සසුන් කෙසරුන් වන ගංගොඩවිල සෝම හිමිපාණන් වරක් වදාළ සේක..ඒ ඉතාම දියුණු මානසිකත්වයක පිළිඹිබුවකි..

බුදු දහම ප්‍රකාර නිර්වාණාවබෝධය පිණිස නම් තමා, තමා විෂයෙහි වත් නො ඇලෙන පිණිස, “මමය මාගේය” යන අර්ථ ශූන්‍ය වූ විශ්වාසයද පුපුරුවා හැර, අනිත්‍ය, දුක්ඛ, අනාත්මාදී කෙරෙහි නිරවුල් අවබෝධයක් ලබා ගත යුතුය..එසේ වූ කළ යථිවරයෙකු විෂයෙහි වත්, උපරිම තරමේ බුද්ධ විෂයෙහි වත් නොඇලී දහම් මඟ යා යුතු බව, මේ ලිපියේ මුලට මා ගෙන හැර දැක්වූ බුදු පියාණන් වහන්සේ එක්තරා තෙරුන් වහන්සේ නමකට දුන් අවවාදයෙන් උකහා ගත හැක…

එනමුත් අද දහමෙහි නොව කථික විෂයෙහි ඇලෙන උපාසිකා මාතාවන් ( විශේෂයෙන්ම මේ වරද බහුලව කරන්නේ කාන්තා පාර්ශ්වයයි ) ගම් පිටින්, වාහන කුළියට ගෙන, රොද බැඳගෙන ඒ, ඒ ස්වාමීන් වහන්සේලා පස්සේ යන, යන තැන යන්නට යෑම, තරුණ, තරුණියන් ඒ, ඒ ස්වාමීන් වහන්සේලා “තම කල්ලි නායකයා” නැතිනම් පරමාදර්ශය ලෙස, සුදුසු, නුසුදුසු හැම තැනකම හුවා දක්වන්නට යෑමෙන් වන්නේ අවසානයේ එකී නායක ස්වාමීන් වහන්සේලාද පිරිස් විෂයෙහි හා පිරිස් සමඟ නිතැනින්ම එන “කීර්ති” විෂයෙහි ඇලී, තමන් වහන්සේලා මෙතෙක් හුදෙකළාව ගමන් ගත් මඟින් බැහැරව ක්‍රමයෙන් “ධනේෂ්වර” ගැති, කිත් යසස් ගැති තැනකට පල්ලම් බැසීමය..එතෙක් කල් කෙසරුන් සේ දෙසා වදාළ යම් මධ්‍යස්ථ, නිරවුල් ධර්ම දේශන ශෛලියක් වෙතොත්, එයද, තම පිරිවර සමඟ, හුදු සමාජ ප්‍රසිද්ධිය පතා එන මහ ධනපතියන්ගේ “සිත් නොරිදීම” පිණිස පාවා දීමයි..

.ජඩ වැඩ, දේශ ද්‍රෝහී වැඩ කර රට්ටුන් අතර සායම යවා ගත් ලක්දිව ප්‍රකට ධනපතියන්ද, යම් කිසි භික්ෂූන් වහන්සේ නමක් වටා මෙලෙස උපාසක පිරිවර එක් රොක් වී ගෙන එන විටම එතනට දුවති..ඒ දුවගොස් උන් වහන්සේලාට අත දිග ඇර වියදම් කරති..මෙතෙක් කල් ඉතා සරල, සෙනසුන් දිවි පෙවෙත් ගත කළ උන් වහන්සේලා ඒ බුද්ධ ගාමී ජීවිතයෙන් පහළට ඇද දමා, උන් වහන්සේලාට ප්‍රාඩෝ, බෙන්ස් සහ ඒ.සී කළ ආරාම කුටි සපයා දෙති..අනතුරුව ඒ යථිවරයන්ද, තවම නොරහතුන් හෙයින්, අර ලාභාදියෙහි ඇලෙමින් උක්ත ධනපතියන්ට යටවෙති..වහල් වෙති..මේවාට දෙන්නට උදාහරණ උවමනා තරම් ඇත…මේ සියල්ලම පටන් ගන්නේ..කෙටියෙන් කියතොත් අළුතින් ප්‍රකටව, විචිත්‍රව බණ කියන තෙර නමක් “නරක්” වන්නට පටන් ගන්නේ, පසු පස්සේ වැටෙන පිරිස් බලය එක් රොක් වීමෙනි..ඇලිය යුතුම නම් ඇලිය යුත්තේ නිර්වාණ මාර්ගයට මිස, එක්, එක් සංඝයා වහන්සේ නමටවත්, උන් වහන්සේ වැඩ වෙසෙන, දහම් දෙසන සෙනසුනට, පන්සලට, අසපුවටවත් නොවන බව වටහා ගැනීමට තරම් බුද්ධි ඌණ වූවන් බොහෝ ව්‍යසනයන්ට මඟ පාදති..

අනෙත් කොයි වැඩේදිත් මෙන්ම මෙහිදීත් විචාර බුද්ධිය හිඟ වූවන් නිසා ඊළඟට ඇති වන්නේ ආරවුල්ය..තම, තමන් යන ධර්මායතනය, ලොවට පරකාස කරන මෝස්තරයක් කර ගන්නා තරුණ, තරුණියන් හා උපාසක, උපාසිකාවන් ඊළඟට තම දහම් ගුරුවරයා ඉතාලියේ “ගෝඩ් ෆාදර්”, මෙක්සිකෝවේ “රොබෙර්ටෝ”, ඇමරිකාවේ ” අල් කැපෝන්” බඳු කඩවසම් පාතාල නායකයෙකු කොට ගෙන තම, තම ධර්ම විචාරයන් ගැන අන්‍යයන් ( විශේෂයෙන්ම අන්‍ය “කල්ලි” සාමාජිකයන් හා ගැටුම් ඇති කර ගනිති )..සමහරක් දෙනා සසරින් එතෙර වීමට පූරණය කළ යුතු පාරමිතා හෝ කැටි කොට ගත යුතු කර්ම ශක්තීන් කිසිවක් නැතිව උග්‍ර භාවනා මඟින් මේ භවයේම නිවන් දකින්නට ගොස් පවුල් කඩා ඉහිරුවාගෙන, මනෝ විෂාධීන්ට ගොදුරු වෙති..මේවායින් කෝක සිදු වුණත්, එයින් වන්නේ අන්‍යාගමිකයන් බොද්ධයින්ට හිනැහීමත්, බෞද්ධ පවුල් පවා “මේ සියල්ලට මුල බුදු දහම” යැයි වරදවා වටහා ගෙන ධර්මය කෙරෙහි කළ කිරීම් ඇති කර ගැනීමත්ය..

අහිංසක ධර්ම කථිකයන් වහන්සේලා බොහෝ විට මේ තත්වය දන්නේ නැත..එයට උන් වහන්සේලා වගකිව යුතුද නැත…නමුත්, උන් වහන්සේලාද මතක තබා ගත යුතු කරුණ වන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේද, යමෙකු නිර්වාණ මාර්ගයේ යවන්නට පරිශ්‍රමයක් දරන්නට ප්‍රථම ඔහුට හෝ ඇයට ඒ නිර්වාණය අවබෝධ කර ගන්නට කර්ම ශක්තීන් ඇතිදැයි පරීක්ෂා කර බැලූ බවයි..

භාවනා කරන්නට, සසරින් එතෙර වන්නට පිරිස කැඳවූ පමණින් එන හැමෝටම නිවන් දකින්නට බැරිය…බොහෝ විට බුද්ධෝත්පත්තියෙන් බොහො කළක් ගතවී ඇති, අධ්‍යාත්මික මේරු බව, ප්‍රවීණත්වය ක්ෂීණ වෙමින් යන මෙවැනි වකවානුවක එවැනි උසස් මානසික තලයකට අහළකටවත් ලං වන්නට පින ඇතියන් ඉතාම විරලය..දඹදිව වන්දනාවේ යනවා වගේ මහිලා සමිති, කුළඟන සමිති පිටින් බැස නිවන් මාර්ගයේ යන්නට බැරිය..එසේ කරන්නට යෑමත්, මීමින්නෙකු තමා දළ ඇතෙකු බව සිතා ගැනීමත් අතර වැඩි වෙනසක් නැත…

මේ තරම් භාවනා පන්ති, කල්ලි, සෙට් තිබිලාත් ධර්මානුකූලව සිව් පිළි සිඹියා පත් රහතන් වහන්සේ නමක් වීම හෝ අඩුම ගාණේ මාර්ග ඵලයක් වත් ලබා ගැනීම කාටවත් කරන්නට පුළුවන් වෙලා තිබෙනවාද?..බුද්ධ කාළයේ පහල වූ, බුදු පියාණන් දුටුවෝ බණ පදය, දෙක ගැන සිතන විටම මාර්ග ඵල ලාභී වූහ..අර්හත් වූහ..මේ තරම් නිරායාසයෙන් ඒ ඇත්තන් නිවන් දුටුවේ, බුදු වරයෙකුගේ සම කාලීනයන් වී උපත ලබන්නේ, බුදුන් දකින්නේ, ඒ කාලයට උපදින්නේ, බුදු පිරිවරට එකතු වන්නේ, කල්ප ගණනාවක් තිස්සේ “බුදු සෙවණක” නිවන් දකින්නට පාරමී වඩා, මහ පින් කඳක් රැස් කරගෙන ආවෝ බැවිනි..ඒ නිසා බුදු වරයෙකු ජීව මාන කාළයේ බණ අසන්නට ලැබෙන අය බෙහෙවින් බල සම්පන්න කර්ම ශක්තීන් ඇත්තෝය…ඉන් ඉක්බිති බුදු පියාණන්ගේ පරිනිර්වාණයෙන් ද වසර තුන් සීයක් තරම් ගතවූ පසුවත් දඹදිව රහතන් වහන්සේලා බහුලව වැඩ විසූහ..ධර්ම ප්‍රචාරය කළහ.. දුටුගැමුණු ආදී මහ රජ වරුන්ගේ යුගයන් හිදී ලක්දිවද විසි, තිස් දහස් ගණන්, ලක්ෂ ගණන් රහතන් වහන්සේලා වැඩ විසූ බවට ඓතිහාසික සාක්ෂි ඇත..ඒ අයුරින් ආධ්‍යාත්මික පරිණත භාවයන් සහිත යුගයන්හි උපත ලබන අයගේ කර්ම ශක්තීන් එබඳුය..ඒ පරිසරය, ඒ සැකැස්ම එබඳුය..නිවන් දකින්නට මේ තරම් දත් මිටි කාගෙන දඟලන්නට ඒ ඇත්තන්ට උවමනාවක් නොවීය..එනිසා වත්මන උපත ලබා සිටින, මේ කාමභෝගී, කාම සුඛල්ලික කලි යුගයේ උපන් ඔබ අපත්, අනාගතයට තවත් අධිපරිභෝජන වාදයෙහිම ඇලී, ගැලී කාමභෝගී නිම් වළළු සහිතව ජනිත වන්නනුත් නිවන් දකින්නට විදර්ශනා වැඩීම තබා සමථ භාවනාවෙන් ලෞකික ධ්‍යානයන් උපදවා ගැනීමටවත් සුදුසු පසුබිම් නැත්තවුන් නම් පුදුම වන්නට දෙයක් නැත…අප කළ යුත්තේ තාලයට ඇවිද ගන්නවත් බැරිව මැරතන් දුවන්නට යෑම නොව, ක්‍රමානුකූලව, නිර්වාණය පමණක් අරමුණු කරගෙන අපේ කුසලයන් වඩවා ගැනීමයි..හිඟන්නෙකුට බත් මුලක් නොදෙන, තැලිසීමියා ලෙඩෙකුට ලේ පයින්ට් එකක් නොදෙන, ඉස්කෝලෙ යන දරුවෙකුට පැන්සල් කොටයක් අරන් නොදෙන උන්ට මොන විදර්ශණා දැයි සිතෙන්නේ එවිටය…

මයිකල් ජැක්සන් නම් නර්තන වේදී ගායකයාණන් මෙතෙක් ලොව කිසිදු කලා කරුවෙකු මතුයෙහි නොදුටු විරූ තරමේ “උමතුවකින්” කෝටි ගණනක් රසික, රසිකාවියන් තමා වෙත නැඹුරු කරවා ගන්නට සමත් වූවෙකි..ජැක්සන් උමතුව ඉහ වහා ගිය 1980 හා 1990 දශකයන්ගේ තුරුණු වූ රසික පිරිස්, ඔහු ප්‍රසංග පවත්වන නගරයෙන්, නගරයට ඔහු පස්සේ ගොස් ඒ සෑම ප්‍රසංගයකටම සහාභාගී වූහ..( ගුවන් සමාගම් හා හෝටල් සමාගම් මයිකල් ජැක්සන් තම රටට ගෙන්වා ගැනීමට යුහුසුළු වූයේ, ඔහු පස්සේ එන ලක්ෂ ගණනක් වූ “Jackson Wazzps” ලෙස හඳුන්වන රසික පිරිස් නිසාය )..මෙසේ නගරයෙන්, නගරයට, රටින්, රටට මයිකල් පස්සේ ගොස් ඔහුගේ ප්‍රසංගයන් බැලූ ඇතැම් අය, සහාභාගී වී ඇති ප්‍රසංග ගණන 1000 ඉක්මවයි..ඒ අය දැන් ඉතාම ආඩම්බරයෙන් තමා සහාභාගී වූ ප්‍රසංග ගණන මුද්‍රණය කොට මයිකල් ජැකසන්ගෙන් ලද අත්සන් සහිත ටී ෂර්ට් හෙම පෙන්වති..ඇතැම් භික්ෂූන් වහන්සේලා පිටුපස ” අතන පූජාවටත් ගියා, මෙතන එකටත්ගියා, අරහෙත් ගියා” කියා ආඩම්බරයෙන් කියන බිහි වී ඇති යම් විලාසිතාවක් දකින විට මට සිහි වන්නේද උක්ත රසිකයන්ය..මයිකල් ජැක්සන් වේදිකාවට එන විට පළාතම සොලවමින්, බිම පෙරලෙමින්, දෑත් විසුරුවමින් කෑ මොර දෙන රසික, රසිකාවියන් ඔබ ඔහුගේ ප්‍රසංග සහිත DVD තැටි වල දැක ඇතුවාට සැක නැත..තව කල් යන විට බණට හාමුදුරුවෝ වඩින විටත් මෙවැනිම දර්ශණයන් දැක ගන්නට ලැබේවිදැයි සැක සහිතය…ඇතැම් ස්වාමීන් වහන්සේලා දැන්, දැන් නිර්වාණ මාර්ගය පැත්තක තබා පිරිස් බලයානුරූපීව, නො එසේ නම් තමා වෙත වැඩි වැඩියෙන් පිරිස් එන සැටියට, පිරිස් තමාගෙන් බලාපොරොත්තු වන දේ අනුව තම පැවැත්මත් හැඩ ගස්සවා ගන්නා නිසා, යම් දිනක ජැක්සන් වේදිකාවට ආවර්තණය වෙන්නා සේ, දුමාරය මැදින්, Spring Board එකක් මඟින් ධර්මාසනයට පනීදැයි නොසිතෙන්නේම නොවේ…

…ස්වාමීන් වහන්සේලා කුමක් කළ යුතුද?..

ලොවුතුරා බුදු රජාණන් වහන්සේ තමන් වෙත පැවිදි වූ උතුමන් තමන් වහන්සේ සමඟ ගම් නියම් ගම් ඔස්සේ ලෝ සත වෙත මෙත පා කැටුව ගිය බව සැබෑය..ඒත් බුදු රජාණන් වහන්සේ, “ගිහියන්” ව දම් සභා මණ්ඩපයක, සිවු පසයෙන් සත්කාරය ලබන මොහොතක, හුදෙකළාව වැඩ වෙසෙන තැනක, හෝ පිහිටක් ඇවැසි වූ මොහොතක හමු වුණා මිසක, ගිහියන් අඹු, දරුවන් හැරපියා කැටුව “සෙට්” පිටින් අතනට, මෙතනට දහස් ගණනින් රැගෙන ගොස් කළ කිසිම වැඩ සටහනක් ගැන ඔබ අසා තිබෙනවාද?..ස්වාමීන් වහන්සේලා කළ යුත්තේද, හැකිතාක් පිරිස, තම ධර්මය බිණීමේ හැකියාව නිසා “තමා වටා ගොනු වීම” වළක්වා, “ධර්මය වටා ගොණු වීම” ට යොමු කිරීමයි..තමා පරමාදර්ශය කර ගැනීම වළක්වා, අප සැමගේ නායකයාණන් වන බුදු රජාණන් වහන්සේ පරමාදර්ශය කර ගැනීමට කියා දීමයි.. “ධර්මය තමාගේ කර ගැනීම” වළක්වා, එහි බුද්ධ අර්ථය ආරක්ෂා කිරීමයි..

එමෙන්ම තමා වෙත එන උපාසක, උපාසිකාවන්ටද ඇත්තේ විවිධ මට්ටම් වල බුද්ධීන් බව හොඳින් දැන, හැඳින ඒ, ඒ අයට සරිලන මාර්ගයන් හි, දිරවා ගත හැකි මාර්ගයන් හි ඒ අයව යොමු කිරීමයි..එසේත් නැතුව සියළුම බුද්ධි පරාසයන්හි, සියළුම ප්‍රඥා පරාසයන්හි අය වෙත එකම වැඩසටහනක් ඉදිරිපත් කරන්නට යෑමෙන් වෙන්නේ, ප්‍රංශ නව කථාවක එන, විදුහලේ සියළුම දැරියන්ට එකම මැස්මේ නිල ඇඳුමක් අන්දවන්නට ගිය ගුරුවරිය නිසා වූ දෙයය…එසේ කල්පනාවෙන් තෝරා බේරා ගන්නේ නම්, ධර්මය කියා දෙන පිළිවෙත හෝ උග්‍ර කමටහන් සහිත භාවනාවන් දිරවා ගැනීමට ප්‍රඥාව හෝ කර්ම ශක්තීන්, කුසල ශක්තීන් නැති, එහෙත් එසේ ඇතැයි සිතා සිටින අය පණ පිටින් “එම්බාම්” කළවුන් සේ බිම බලාගෙන, මුහුණේ සිනා පොදක් නැතුව, අම්මා තාත්තා, අඹු දරුවන්ගෙන් වෙන්වී සිහිනෙන් බයවී ඇඳෙන් වැටුණු වුන් සේ කාළය ගෙවීම හා ඒ අයගේ පවුල් වල් ඇත්තන් නිකරුණේ ශාසනයට දොස් තබා අපා ගත වීම වළක්වා ගත හැක..

ඒ සියල්ලටම පෙර කිසිදු දෙයක නොඇලී තමන් වහන්සේ නිවන් අවබෝධ කරගෙන සිටිය යුතුය..බුදු පියාණන් වහන්සේ නම් සැබෑ නායකයාණන් කළේ එයයි…

….සංඝායනා…

කෙසේ වෙතත් ලක්දිව වහාම රාජ්‍ය අනුග්‍රාහකත්වයෙන් යුතු ධර්ම සංඝායනාවක් කළ යුතුමය..මේ සඳහා බුරුමය, තායිලන්තය බඳු ථේරවාදය නිවැරදිව ග්‍රහණය කර ගත් රටවල් වලද දූත පිරිස් සහාභාගී කරවා ගන්නේ නම් යහපති..සාම්ප්‍රදායික ථේරවාදී අර්ථ කතනයන් එවිට අපට, බුද්ධාර්ථී ව ඉතාම නිරවුල්ව, ලොවට බෙදා හැරිය හැකි වනු ඇත..

ධර්මය ඕනෑ, ඕනෑ හැටියට අර්ථ දක්වා ගැනීමටද වහාම වැට බැඳිය යුතුය..”අරක මෙහෙමයි..නෑ, නෑ මේක මෙහෙමයි..අරක පිළි ගන්නවා..මේක පිළි ගන්නේ නෑ..මේ කෑල්ල දිග වැඩියි” යනාදි ලෙස “රෙදි සාප්පු” ක්‍රමයට ධර්මය පරිශීලණය වහා නතර කළ යුතුයි..

භික්ෂූන් වහන්සේලාට සාම්ප්‍රදායික විහාරස්ථාන වල අධිපති කම හැරෙන්නට, විහාරස්ථානයක් වන්නට අවශ්‍ය අංගයන් කිසිවකින් තොර වූ, කාමර, ෆ්ලැට්, කුටි, සාප්පු, ගිහි ගෙවල් වල එක, එක මධ්‍යස්ථාන පිහිටුවා ගැනීමට අවසර නොදිය යුතු අතර, දැනට පවතින ඒවා ලියාපදිංචි කොට, විහාරස්ථාන හා සම්බන්ධ කළ යුතුය..ධර්ම කතිකාවත් පවත්වන අයගේ, විශේෂයෙන්ම ගිහි පාර්ශ්වයේ අයගේ අනන්‍යතාවය පරීක්ෂා කර ඒ අයවත් ලියාපදිංචි කළ හැකි නම් මැනවි..

වැනි සමාජ වෙබ් අඩවි තුළ සිටින “බණ කියන, නම් නැති, ඡායා රූප නැති, අපූරු ප්‍රොෆයිල්” වහා වසා දැම්මවීමට කටයුතු කිරීම ගිහි සමාජය විසින් කළ යුතුය..”ධර්මයේ පැනඩෝල්, ත්‍රිපිටක යාළුවෝ, ධාර්මිෂ්ඨ බුවාලා” වැනි විහිළු නම් වලින් පෙනී සිටිමින්, වෙනස් ධර්ම අර්ථ කථනයන් දෙන අයගේ අද්භුත ප්‍රොෆයිල වලට එරෙහිව ගත හැකි ක්‍රියා මාර්ග ගත යුතුය..යමෙක් බුදු සමය ගැන පවසනවා නම් ඒ අය, තමන්ගේ මුහුණු වරින් හා අනන්‍යතාවයෙන් පෙනී සිටීම අනිවාර්ය වන පසුබිමක් බිහි කළ යුතුය…

රට තුළ එක, දැවැන්ත සාම්ප්‍රදායික ථේරවාදී බලවේගයක් හා ඒ ඔස්සේ ගොඩ නැඟුණු අධිකාරියක් බිහිවිය යුතුය…

…අන්තරාය…

එලෙස නිරවුල් සාම්ප්‍රදායික ථේරවාදය ශක්තිමත් නොවී මේ වැනි ඉඩම් කෑලි, කඩ කාමර, සිල්ලර කඩ, ගිහි නිවාස අස්සේ එක, එක ධර්ම කල්ලි බිහි වීමේ පසු බිම තුළ වැඩි වශයෙන්ම වාසි අත්වන්නේ බුදු සමයේ සතුරන්ට බව නොපෙනේද?..

එවිට ඔවුන්ටත් ඉතාම පහසුවෙන්, බෞද්ධායතනයක මුවාවෙන්, සිය ගණනක් වී ඇති විකෘති ධර්ම අනුසාරයන්ට, අර්ථ සිය ගණනක් වී ඇති විකෘති ධර්ම අනුසාරයන්ට, අර්ථ කථනයන්ට, ඔවුන්ගේ ආගමට වාසි දායක විකෘති අර්ථ දැක්වීමක් එකතු කරගෙන බෞද්ධයන් මුලා කළ හැකි නොවේද? ශක්තිමත් සාම්ප්‍රදායික ථේරවාදී අධිකාරියක් නැති තැන, “හිල් මල්ලෙන් හැළුණු කැවුම් ගෙඩි සේ” තැන, තැන ඇහිඳින්නට තිබෙන ධර්මායතන ගොන්නට ඔවුන්ට ඉතාම පහසුවෙන් එක්විය නොහැකිද?..

උන් හිටි ගමන් “බුදු” වෙන සිල්ලර කඩ මුදලාලිලා, “God Bless you” කියන “රහතන්” වහන්සේලා, කොට සායවල් ඇඳගෙන පින්තූර වලට පෙනී සිටින “රහත් මෙහෙණින්” වහන්සේලා, “මෙත් සිතින් ගුඩ් හෙල්ත්” වැනි විකාර කියවා තම කථා අවසාන කරන බහු බූතයන්, නිකං කථා කරන්න ගියත් කවි බාසාවෙන් කථා කරන, අහන, අහන හැම එකටම ( “දෙව්දතුන් බුදු රදුන්ගේ සිරසට ගළක් පෙරළුවා” කිව්වත් එයටත් ) කටපාඩමෙන් සාදු, සාදු කියන, “සෝමාරිලා” බිහි වන්නේ, බුදු දහම “ඕනෑ එකෙකුට ඕනෑ දෙයක් කර ගනිල්ලා” කියා පිල්කඩ උඩ තබා ඇති නිසා නොවේද?… නිවැරදි බෞද්ධයා යනු ප්‍රතාපවත්, උජු කායික චරිතයකි..අද, ඒ ප්‍රතාපය ඒ අයුරින්ම තිබෙනු ඔබ දකිනවාද?..

( මේ ලිපිය කිසිදු පිරිසක් හෑල්ලුවට ලක් කිරීමට ලියන ලද්දක් නොවන බව බුද්ධිමත් ඔබ වටහා ගනු ඇතැයි සිතමි..මේ ලිපිය ලියන මම, බෙහෙවින් වැරදි හා අතපසුවීම් ඇති, සාමාන්‍ය මිනිසෙක්මි..නමුත් යමක් පෙනි, පෙනී නිහඬව නොසිටිමි…හෑල්ලුවට ලක් කළ යුතු දේ නම් හෑල්ලුවට කල් කළෙමි..වත්මනදී ප්‍රකට කිසිදු තෙරුන් වහන්සේ නමක් සමඟ මගේ කිසිදු කෝන්තරයක්, තරහක් නැත…නමුත් විවේචනය කළ යුතු දේ විවේචනය නොකර ඉවසන්නට යෑමෙන් ලක්දිව බුදු සසුනට සිදුවන්නේ අර ඉහතදී පෙන්වූ ඇමරිකාවේ ක්‍රිස්තියානියට සිදුවූ දෙයට වඩා බිහිසුණු දෙයකි…..මහා සාගරයක් වූ බුදු සමය, ඒ නිසාම කල්ලි කෝටි ගණනකට බෙදී “එක, එක කල්ලියේ, එක, එක ධර්මය” වීමෙහි බලවත් අන්තරාය පවතින බව ඔබ සැමට අවබෝධ වනු ඇතැයි සිතමි..සිත් රිදීමක් වෙතොත් සමා වන්න )….

දෙසැම්බර් සාදය….!!

ගේබ්‍රියෙල් බලනු….! කුරුසිය මත නැවත ලේ….
උණු, උණු නව ලේ සළකුණු….
ඔහුගේ නොවේ…ඔහුටය කියා මැරූවන්ගේ….
මිනිසුන්, සතුන්, සහසින්, සත සහසින්….
ඔහු වඩා පිළිකෙව් කළවුන්….
ඔහුගේ වත සදා දෙන`යුරු….උන්ගේ වතින්…
ඔහුව යළි, යළි මරා දැමෙන…දෙසැම්බර් සාදය….
ඔහුට පෙර හා පසුව ආ…ඔහු වන් සියල්ලෝ…
හොඳපිට නොපිට හරවා…නොපිට හොඳපිට කොට විකිණූ…
කළු කුහරයට ඔහුත් බිලිවිය…
පූජනීය සියල්ල කෙළෙසිණි…..

ගේබ්‍රියෙල් අසනු….! .. පිඹිනු හොරණෑව….
තවත් කල් නොහැර…..