Category Archives: නොදන්න මඟුල් කවි..

ඉඳුරු සතුරු රජු ආවයි පින් ගන්ට…..

සොඳුරු තුරු මුදුන් අත නැගුණයි නුබට….
පඳුරු පඳුරු දළු ලා වැඩුණයි යසට….
අඳුරු මැදුරු මග පෙන්වයි එදවසට…..
ඉඳුරු සතුරු රජු ආවයි පින් ගන්ට…..

විහිදා සතර දිග නැගි රොස් පරොස් වැට…..
ලොවිදා දෙවැනි යුද වත වා විමන් පිට….
නොමඳා පිරුණු ගිගුරුම් නද සවන් වට….
දිනිඳා උපන් තැන පෙන්වනු රජුන් හට…..

පලවා නවා මොළවා ගිනි මළින් වනේ…..
“කොලුවා කුඩා” මා තුරුළට පැමිණි දිනේ….
වෙලවා යවා සියොළඟ උන් රජුන් සැනේ….
ලෙලවා කියන් නගතොත් වර ඔවුන් විනේ….

ද්විත්වයෙන් මානතක සිතුම් එක් කොට තියා..
ත්‍රිත්වයෙන් උපන් පුතු පැතුම් කෙළෙසූ නියා…
මත් බවින් ලොව අවට මිදෙම් වා යැයි කියා…..
අත් මුදුන් කොට ඔබට කියම් අපවත ගයා….

පැන් තොටින් දැන් විඩා නිවිය හැකිවෙයි මනා…..
සෙන් බුදුන් දන් පුදන් ඉන් බිඳක් ගනි මිනා…..
කෙන් මිනොන් මොරි පියස සියොත් නද කන් පිනා….
පින් අරන් යන් මෙන්න රජුනි සකුරා සිනා…..

( ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා, ඉතිහාසයේ පළමු වරට “ධුරයේ සිටින ඇමරිකානු ජනපති වරයෙකු” ලෙස හිරෝෂිමාවට මීට පැය කිහිපයකට පෙර පැමිණියේය….)

160527055720-19-obama-japan-0527-exlarge-169

Advertisements

අනේ තොපිලෑ සිංහ ලේ ….

පැයෙන් පැය එක බැගින් පරවෙන කිරි සුවඳ ඇති මල් කැ ලේ…..
එම දමෙන් ගත් මල් දමා යති කසල බඳුනෙහි කඩ පි ලේ….
ගුරුන්ටත් නිති අකුරු වරදිති රති නොවරදින පාසැ ලේ….
සමත් කම් මොනවාට කියමුද අනේ තොපිලෑ සිංහ ලේ…..

මවක දුවකට මගක යන්නට නොකැප ගිණියම් දහව ලේ….
රැයද උදයද ළපටි මහළුද වැදුව මවුනද නොම බැ ලේ……
යටව තැන තැන තරුණ කම ඇත එකට වැළලී මිනි ව ලේ….
සුවය සහනය කුමට කියමුද අනේ තොපිලෑ සිංහ ලේ…..

බුදුන් දම් තෙරුවණම විකිණෙති අකැප කැප වුණු පන්ස ලේ…..
දුකම දෙවියන් අහර කර ගති පල්ලි, දෙවොලේ, කෝවි ලේ….
ගතට පණ ඇති, හිතට පණ නැති නොමළ හොල්මන් තිප්ප ලේ…..
අහා ඇති තෙද කුමට කියමුද අනේ තොපිලෑ සිංහ ලේ….

ගෙදර බුදු පිඬු සිඟා යනවිට පෙන්නමින් බොර තෙල් බ ලේ….
මරණ, කෙළෙසන, යකඩ ඇණ යන, කඳින් වෙන් කළ ඉහ මො ළේ….
මැදක පෙරදිග පයක කඳුළක තවරමින මෙහෙකම් ක ළේ…
එවන මසු ලෝ දියෙහි දිය වෙන අනේ තොපිලෑ සිංහ ලේ…..

උපන් බිම දුක ගැහැට මග හැර විඳින්නට සැප ලෝ ත ලේ….
සපන් සැම දූ පුතුන් පිට වෙති පුදා සිප් සත පා මු ලේ….
එවන් තටු නැති එවුන් සැඟවෙති අතර මග සමුදුරු ජ ලේ….
ඔවුන් එය රූ තිරෙන් පෙන්වති, අනේ තොපිලෑ සිංහ ලේ….

ලෙඩට දුකකට වැඩට ගිය සඳ ඇඟට පැන පුපුරා හැ ළේ…..
මුවඟ අසළින් ගියද කුඩ මැසි වැඩ වරා පෙන්නයි බ ලේ…..
අයද මහ රට කරන සැම සඳ තවරගෙන ඇත හත් ප ලේ ….
අයද නොදකිං වැයද නොදකිං අනේ තොපිලෑ සිංහ ලේ…..

අරුණ හිමිදිරියේ පටන් පර සුද්දාට බැණ බැණ බො ලේ…..
කරන සැම කාරියට සරණයි උන් තැනූ විදු නැණ බ ලේ…..
පරණ පරපුර ඉතිරි කළ දෙය සිහිව ඇඳිවත බිම හැ ලේ……
මැරුණ ඊයේ මිස අදක් නැති, අනේ තොපිලෑ සිංහ ලේ…..

අලස තිරිසන් සතෙකුගේ සටහන් තිබෙයි ජානය වි ලේ…
විලස උහු හැසිරෙනු විනා මිනිසත් කමින් කිම ඇති ප ලේ…..
මෙලෙස කියමුද සතෙකු අත ආදිතම මවු නිරුවත් ක ලේ…..
පලස විල්ලුද පිටට කුස ගිය, අනේ තොපිලෑ සිංහ ලේ…..

පැත්ත බැලුවොත් පැත්ත පමණයි ඇත්ත පොළවට යට ක ලේ…

කැත්ත පොල්ලම දිනනු මිස නැත දත්ත විමසන සිහි මො ළේ….

සත්තකයි රෙදි කරට අරගෙන රැකිය යුතුමය සැම කළේ…..

වත්ත බද්දට ඇස්ස ඇපවුණු අනේ තොපිලෑ සිංහ ලේ….

අපි කනත්තක ඇවිදිමු….

අපි කනත්තක ඇවිදිමු….
කේතුධර වනයක අසබඩ….
සීතළ ඇළක කණ ළඟ….
නෑසෙන කථා මුමුණන….
ඉවුරු යුගලක පැතිරුණ..
ඉවුරු දෑළක් යා කරවන….
කනත්තක අපි ඇවිදිමු….
සුදෝ සුදු තුසර බුමුතුරුණ…
බොහෝ තැන්වල එළා තිබුණත්….
ඇතැම් තැන්වල හිම ඇත – බෙහෙවින්ම අපිරිසිදු….
පසට වැටුණු රිකිලි පල්ව – ඒ හා මුහුව කළු පැහැ ගැන්ව….
හිම අපිරිසිදු බවට – මළවෝ නගති මැසිවිලි….
වනයෙන් කැපී එන….
දිනයේ පචිණ හිරු රැස්….
දෝනා දෙමින් හරි හතරැස් ….
මළපුර වැස්සන්ට පෙන්වති…
එළිය පෙට්ටි සංදර්ශණයක්….
සොහොන් ඝර`තර මහ වීදි වල…
ලෙහෙණ, සා, මුව පිරිස රැස්වෙති….
ශිශිරතරණය මඳක් නවතා….
නරඹති සිය පවුල් සමගින්…
කණ මැදිරි නත්තල් ගස්…..
එක් කොතක් මත ගාගොයිලයෙකි….
කටින් දිය දුණු වගුරුවන….
රුදුරු වත මුත් – සපයන….
වෙන කොතක් මත ඒන්ජලයෙකි….
සුරත්හි තෝමරාදි දරන….
සොඳුරු වත මුත් – රැගෙන යන….
(එතැන් යට වැදහෙන්නෝ – සිටි අයුරින්ම පෙන්වන….)
ලාම්පු දෙකක් කේඬෑරි අත් දෙකෙන් – එල්ල ගත් කලු පහන් කණුවක්….
වැම්පයර වෙස් ගෙන ඉඳ හිට – මිහිදුම් අතරින් එබී බළන රඟ….
සතුට දෙන්නට උපන් වුන් – බිය දෙන විටක ලෝකය?…
ඉපල් ගසෙක සුළැඟිල අග…
උළැගිව ජනිත දිය බිඳුවක්….
ගිලිහී ගොසින් බිම වෙත……
“චක්”  අණුකරයෙන් හිම වැද…
“චික් ! මා කුමට නොවැසිද – දිය වෙත නැඹුරු අත්තක?”….
මියෙන්නට තිබුණා නෙව – දිය වළලු මවාගෙන….?
ඝණ දෑ සමග හදි ගැහෙන – සුමඨ සැම දෑ මැකෙන….
ලෝ දහම නොතකන – දිය බිඳිත්තා වැළපිල්ලක….
ශීත සමයෙහි හිම කබායක්….
හොඳින් පොරවන වන පෙත…
අඟ පසඟ පෙන්වන – වසන්තය එළැඹෙන….
මොහොත එනතෙක් ඇඟිලි නමමින – සෘතුවට බැණ වදින….
පිණි මුවෙකි අසබඩ – “අවි” මානයෙන් පිම්බුන…..
අසළ දෙව්මැදුරත – සිටී දෙව් පුතු සසොබන….
යහපත් සොඳුරු එඬෙරණ…
කරන “මනු ගෝ” පාලන…..
විදා මුදහළ බාහු යුග්මෙන….
ලෝ සතට “එන ලෙසට” සන් දෙන….
කුළුණු බර යුග නෙත….සැමට මෙලෙසට පවසන….
“මෙහි සිටින්නෝ වනාහි – දෙවියන් විසින් දුන් දෙය…
දෙවියන් විසින් ගනු ලැබ – ඉතුරු පහදුව තබා ගිය අය….”
ශිශිරයෙහි බිම පළන්දන හිම…
කිරම තුහිණව පසුව දිය වී…..
වැලිදු අහසටම දෙන මෙනි….
අහස දෙන දෙය අහස ගත් මෙනි…
අහස ගත් දෙය අහස දෙන මෙනි….
නුදුරු වැසි සමයට…
යම් කළක නෙත රසඳුනක් වූ…
හිමවතියක් මෙහි නිදන්නී…
සිටු කුමර නෙත් සැනසූ…
පීන පියයුරු තිබූ තැන් වල…
දියව ගොස් මස් ලේ….
සැඟව ගොස් නහර වැල්….
අත දැමිය හැකි පර්ශු අතරට…
පදිංචියට ආ පස පණුවෙකු….
කියා දෙයි සිය පැටවුන්ට….
තිබූ බව එහි ලේ කිරි කළැකි….
වීතරාගී වූ දෙයක්…
මැකුණු ඇක්‍රොපොලිසයෙහි….
නටබුන් සිසුන් හට….
ශාස්ත්‍ර ආහ්ලාදයෙන්….
පහදන මහැදුරෙකු සේ…..
සාම සමයේ පිරිමියා – කම්මැළියෙකුව ඇති බව…
සිහින් තෘණ පත් මුලට කොඳුරන….
මහළු සෙබළෙකි – මෙතැන වැතිරුණ….
දෙවැනි ලෝ දා වතෙහි – මහ නළුවකුව උන් වග….
සොහොන් පුවරුව පවසන….
සොහොන් පරඬැල් නොතකන…..
නෝමැන්ඩි වෙරළෙහි – වෙඩි විහඟුනට තටු දෙන…
පසදීන පුතුන් නොනිදන….
සගයින් අතර බේරුණ…කරුමයට නොමැරුණ….
බෝ කල් ආයු විඳවුන……
ඉතිහාස පාඩමක්…. තරු පටි වළට සපයන….
තරු ඉරි වලට පණ දෙන….
ජීවන වෙඩිල්ලෙහි….පතොරමව සැතපුණ….
මෙතැන ඉන්නේ මැහැළියක් වෙද….දිවිය පශ්චිම හුදෙකළාවද….
පැටි ලෙහෙන දන….සාවු සමගින….
ගෙවා දැමු ගෙයි….අගුලු නොදරන….
ගෙවත්තේ පැන් තොටට පැමිණෙන…සියොත් දරුවන පිනවන….
රැළි සහිත මුහුණින….සිනා රැල්ලක් යොදවන…
මිනී පෙට්ටිය පතුළෙන…දමන ළද කේඬෑරි අතකින…
සොහොන් වළ අසළින….සා ගුලක සැතපෙන…
කුඩා සසනිඳු පිරිමදින….
මොකක් හරි වැරැද්දක් අඩුවක්….
ජීවිතේ තිබුණු බව කිය කියා….
ඇවිදින කල්ම හඬ නැගුවෙකු….
නිහඬ නිසලව අත්විඳියි මෙහි….
අපූර්ව පරිපූර්ණය …
යකඩ වැටකින් වෙන් කළ …
විශාල වටයක් මැද….කුඩා කළු තිතක….
විශ්වය යම් කළක – තිබූ අයුරින්ම එක තිතක….
ඒ තිතෙහි ඇති පරිපූර්ණය – අසම්පූර්ණ වන්ට නලියන….

දෙසැම්බර් සාදය….!!

ගේබ්‍රියෙල් බලනු….! කුරුසිය මත නැවත ලේ….
උණු, උණු නව ලේ සළකුණු….
ඔහුගේ නොවේ…ඔහුටය කියා මැරූවන්ගේ….
මිනිසුන්, සතුන්, සහසින්, සත සහසින්….
ඔහු වඩා පිළිකෙව් කළවුන්….
ඔහුගේ වත සදා දෙන`යුරු….උන්ගේ වතින්…
ඔහුව යළි, යළි මරා දැමෙන…දෙසැම්බර් සාදය….
ඔහුට පෙර හා පසුව ආ…ඔහු වන් සියල්ලෝ…
හොඳපිට නොපිට හරවා…නොපිට හොඳපිට කොට විකිණූ…
කළු කුහරයට ඔහුත් බිලිවිය…
පූජනීය සියල්ල කෙළෙසිණි…..

ගේබ්‍රියෙල් අසනු….! .. පිඹිනු හොරණෑව….
තවත් කල් නොහැර…..