Category Archives: නොදන්න මගුල් ජාත්‍යන්තර දේශපාලනය

සවුදිය……….

සවුදිය කියන මූසල ගුබ්බෑයමේ දුප්පත් ගෑණු කෙනෙකුට ගල් ගහන්න නියම වෙලා….ඒ මනුස්සයගෙ නම ගම වාසගම, පදිංචි ලිපිනය (ලංකාවේ) දන්නව උනාට ඒවා කියන්න යන්නෙ නෑ, මොකද ඒක ඒ මනුස්සයට කරන අතිරේක පීඩාවක් විතරයි….

මැදපෙරදිග ඉතා පොහොසත් මටසිළුටු ශිෂ්ඨාචාරයන් තිබුණා….මිනිස් වර්ගයාගේ කලාව, සාහිත්‍ය, විද්‍යාව, ගණිතය, තාක්ෂණය යන සියළු ක්ෂේත්‍රයන්ට අනගිභවනීය මෙහෙවරක් කරපු ඇසිරියානු, බැබිලෝනියානු, සහ පර්සියානු ශිෂ්ඨාචාරයන් පැවතියෙත් ඔය අද අපි “මැද පෙරදිග” කියලා හඳුන්වනු ලබන කළාපයේම තමයි…ඒ ශිෂ්ඨාචාර පැවතියේ මැද පෙරදිග උනත් ජලය තිබෙන, සම්පත් තිබෙන සරුසාරවත් රටවල…ඒවා අමු සුදුවැලි කාන්තාර නෙමෙයි….කාන්තාර සහිත ප්‍රදේශ තිබුණත්, නිල් කැටේට වතුර බහින විශාල ගංගා ( යුප්‍රටීස්, ටයිග්‍රීස්, මේ ගංගා දෙක මුහුවෙලා හැදෙන අර්වාන්දු රුද් හෙවත් ෂාද් අල් අරාබ් නම් සුවිශාල ගංගාව ), ඇළ දොළ, නිල් කඳු සහිත මිටියාවත් වලින් මේ ශිෂ්ඨාචාරයන් පැවති භූමිය සමන්විතයි…කන්නෙයි, බොන්නෙයි, රෙන්නෙයි, හැමිනෙන්නෙයි කොහොමද කියලා දහ අතේ කල්පනා කරනවට වඩා දියුණු, සුමට දේවල් කරන්න අවශ්‍ය පාරිසරික සහනය සහ අවකාශය ඒ අයට තිබුණා…සැනසිල්ලෙ ඉන්න මිනිස්සුන්ගෙන් තමයි සංකීර්ණ ප්‍රබල නිර්මාණ බිහිවෙන්නෙ…

මේ රටවල තත්වය එහෙම උනාට මේ වර්ථමාන සවුදි අරාබිය කියන මූසල රටේ ඓතිහාසික ශිෂ්ඨාචාර බිහිවීමේ පසුබිම් කථාව මේ වගේ නෙමෙයි…

සවුදිය කියන කාළකණ්නි ගුහාවේ පීතෘ ශිෂ්ඨාචාරය හැදුණේ ඉර ගින්නේ තැම්බෙන කාන්තාර වල අන්තිම දුෂ්කර ශාපලත් ජීවිත ගෙවපු ගෝත්‍ර ගණනාවක් එකතුවෙලා….ඒ ගෝත්‍ර ආන්තික පාරිසරික තත්වයන් සහ සීමිත සම්පත් උදෙසා ඔවුනොවුන් අතර ඇති කරගත් යුද ගැටුම්, සිවිල් අරගල සහ වඩා බලවත් ශිෂ්ඨාචාර වලින් පැමිණි ආක්‍රමණ නිසා පරිපීඩිත වෙලා හිටියෙ….ඔවුන්ගෙන් අති බහුතරය අන්තිම නූගතුන්…යම්තම් හරි සාක්ෂරතාවයක් සහිත වූ අය එක්කෝ අක්ෂර වින්‍යාසය දියුණු කරන, සාහිත්‍යයක් යම් පමණකින් හෝ බිහිකරන, යම් තාක් දුරකට දර්ශණයකට රුකුළ් දෙන පඬිවරුන් වුනා…මේ පඬිවරු සමකාළීන භාරතය සහ චීනය බිහිකළ පඬිවරුන්ගේ චින්තනය සමග සසඳන විට හාල්මැස්සෝ උනාට, මේ කළාපයට මහා පුරුෂයන් ලෙස පෙණුනා….ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් නෙ..ලියන්න කියන්න නොදන්න තැන්වල පත්තරේ හ්ඩිම කියවගන්න පුළුවන් කෙනාත් දළ පොරක්….

මේ විදියට සාක්ෂරතාවයක් තිබුණු වෙනත් අය වෙළෙන්දො බවට පත් වුනා….ආන්තික ලෙස පීඩාකාරි සීමිත සම්පත් පරිසරයන් වල ජීවත් වෙනකොට රුකුම් අනුපාතිකය / උත්වන / ප්‍රවර්තන අනුපාතිකය (Survival Rate) ඉහළ මට්ටමක පවත්වා ගැනීමට නම් ඉතාම සූක්ෂම සහ ඉතාම කපටි කෛරාටික විය යුතුයි…ඉතින් මේක මේ ගෝත්‍ර වල අයට සහජයෙන් කාළානුරූපීව පරිණාමයෙන් ලැබුණු දෙයක්….මේ වෙළෙන්දෝ සාක්ෂරතාවය ලැබීමෙන් පසුව ගණිතය සහ වෙළඳාම ඉගෙන ගෙන, සහජයෙන් ලැබෙන කපටි කම සහ ප්‍රයෝග ශූරත්වයත් ඒ වෙළඳාමට මුසු කරලා, ක්‍රමයෙන් ධනවතුන් බවට පත්වුනා…ධනය ලැබුණාම ඊළඟට ඕන බලය….ඒ නිසා ධනවත් වෙළෙන්දෝ බලය ලබාගන්න විවිධ බළ ව්‍යාපෘතීන් වල නිරත වුනා…මේ කාන්තාරවල කූඩාරම් ගහගෙන තැන, තැන යන, ලෝකය දැක නැති, දැනීමක් නැති මොට්ට මෝලුන් මේ බළ ව්‍යාපෘතීන් වල ඉත්තො බවට පත් කරගෙන මේ අය මිනි මරා ගත්තා….අවසානයේදී අර ඉහත කී ඒවාට අමතරව මේ මිනිස්සුන්ට සාහසිකත්වය ජානගත වුනා…ඒවා ඇසුරෙන් මේ අයගේ සම්මුතීන්, ශිෂ්ඨාචාරය, සංස්කෘතිය නිර්මාණය වුනා….

සංකීර්ණ ඉතිහාසයක් ගොඩ නොනැඟුණු මේ කළාපයේ මොකක් හරි ඔටු බෙට්ටකට, නැත්තන් වතුර බාල්දියකට කාළකණ්නි රැහැවල් දෙක තුනක තක්කඩි මිනි මරා ගත්තාම ඒවා නිකන් මාර දේවල්, මහා දේවල් විදියට ඉතිහාස ගත වුනා….ඒ නැතුව දේශපාලන අර්ථ ශාස්ත්‍ර මත රාජ්‍ය පාලනය කරපු, අර්ථ විග්‍රහයන් හරහා බිහිවුණු ක්ෂේත්‍ර ගණනාවක පැතිරුණු බළ ව්‍යාපෘති නෙමෙයි මේවයේ තිබුණේ….

ඕක තමයි සවුදි අරාබිය කියන ගුබ්බෑයමේ උප්පත්ති කථාව…ඉවසීම, කරුණාව, ආදරය, මෛත්‍රිය වගේම ලස්සන සියළු දේත් මුන්ට වහකදුරු තමයි…”හිඩුවෙ බලෙයි, කඩුවෙ බලෙයි” තමයි ඉතින් දන්නෙ…ඕකට සල්ලි බලෙත් ආවාම ඉතින් නරකාදියක් තමයි….නරකාදියට පිටින් ගිහින් බලන අයට ඒකෙ විඳින දුක් දැකලා ඇඟ කිළිපොලා ගියාට, නරකාදියෙ උපදින නිරි සත්තුන්ට ඕකෙ ගාණක් නෑනේ….

ඔහොම ශතවර්ෂ ගණනක් යනකොට මිනිස් වර්ගයා බොර තෙල් ශිෂ්ඨාචාරය බිහිකළා…ඊට පස්සෙ දැන් ඔය පෙට්‍රෝලියම් හයිඩ්‍රොකාබන බොහෝ විට ජෛව හෙවත් ඉන්ද්‍රිය ද්‍රව්‍ය වලින් නෙ නිපදවෙන්නෙ….අවුරුදු මිලියන 300 කට පමණ ඉහතදී පැන්ජියාවෙන් වෙන් වුනු දක්ෂිණ පථයට කිව්වෙ “ගොඩ්වානාලන්තය” කියලා නොවැ….ඔය ගොඩ්වානාලන්තයේ උතුරුදිග සීමාවේ ඔය අද මැද පෙරදිග පර්සියන් ගල්ෆ් කළාපයේ කාන්තාර රටවල් පිහිටන කොටසෙ තිබුණා “ටෙතිස්” මුහුද කියලා මුහුදක්…කාළානුරූපීව මේ මුහුද සිඳී ගොස් ප්‍රධාන මහාද්වීප එකට ගැටෙද්දි බිහිවුණු කාන්තාර කළාපයන් මත තමයි අද ඔය සවුදි අරාබිය, එමිරේටය, ජෝර්දානය, කුවේටය ආදී අපි හඳුන්වන පර්සියන් ගල්ෆ් රාජ්‍යයන් පිහිටා තිබෙන්නෙ…ඉතින් මේ ටෙතිස් මුහුදේ ජෛව ද්‍රව්‍ය සහ රසායනිකයන් රාශියක් මේ වැළි කතරට යටින් භූ ස්ථර අතර ෆොසිලකරණය උනා…විශේෂයෙන්ම ගොඩ්වානාලන්තයේ මහාද්වීපික මායිම සවුදි අරාබිය ආශ්‍රිත නිසා එහි වඩාත් මේ ෆොසිල වර්ග අතින් පොහොසත් කළාපයක් තිබෙනවා….( මෙවැනි බොහෝ කළාප ලොව පුරා තිබුණත්, ඒවායින් බහුතරය තිබෙන්නේ පෙට්‍රෝලියම් කැණීම් කරනු තබා ගවේෂණය කිරීමට පවා අපහසු ගැඹුරු ජල ස්ථරයන් යට….එහෙමත් නැත්නම් ඝණ, උස්, ශිඛර කළාපයන්ට යටින්….නමුත් මේ සවුදි අරාබිය ප්‍රමුඛ මැද පෙරදිග මේ භූ ස්ථරයන්ට ළඟාවී ඛණිජ කැණීම් කරන්න සාපේක්ෂව ඉතාම පහසුයි…ඒ නිසා මිනිසා පෙට්‍රෝලියම් ශිෂ්ඨාචාරය බිහි කිරීමත් සමගම මේ කළාපයට ආශිර්වාදය සහ ශාපය යන දෙකම මුසුවුනු කාළයක් උදා වුනා…..

MiddleEastOilFig_4

ඔයින් පස්සෙ මේ කළාපය සතු භූ විද්‍යාත්මක සහ භෞම දේශපාලනික වැදගත්කම අවබෝධ කරගත්තු ලෝක බලවතුන් මේ කළාපය චෙස් ලෑල්ලක් කරගෙන දැවැන්ත දීර්ඝ කාළීන චෙස් ක්‍රීඩාවක නි‍යැළෙන්න පටන් ගත්තා….එදා මුලින්ම යුරෝපාකරයේ සාම්ප්‍රදායික අධිරාජ්‍යයන් අතර සහ ඉන් අනතුරුව බටහිර බලවේග සහ සෝවියට් සංගමය අතර පැවති මේ චෙස් ක්‍රීඩාවේ නියමු ක්‍රීඩකයන් මේ වනවිට තරමක් දුරට වෙනස් වී සිටිනවා….නමුත් ක්‍රීඩාව එක ලෙසම ඉදිරියට කෙරීගෙන යනවා….මේ ක්‍රීඩාවට ගොදුරු වුනු ප්‍රබල බුද්ධිමත් ශිෂ්ඨාචාරයන්ගෙන් පැවත එන ජනතාව හමුවේ මෙකී බලවතු කලේ වඩා සංකීර්ණ දේශපාලන ක්‍රීඩා ( උදා: බැබිලෝනියාව – ඉරාකය, පර්සියාව – ඉරානය, ඇසිරියන් අධිරාජ්‍යය ආරම්භ වූ කළාපය – සිරියාව / ඉරාකය / ලෙබනනය ) උනත්, මේ පර්සියන් ගල්ෆ් කළාපයේ රටවල ඉන්න වාහෙලාගේ බුද්ධි මට්ටම ඔවුන්ගේ ඉතිහාසයේ ගමන් මග සමඟම දන්න නිසා, චෙස් අදින මහ බලවත්තු මේ කළාපයට අනුගමනය කලේ බොහොම සරල, සිම්පල් ප්ලෑන් එකක්….

ඔටුවයි, කූඩාරමයි, වෙළඳාමයි, ගෑණුයි, කඩුවයි, ඇරෙන්න වෙන කිසි මළදානයක් නොදන්න රැළකට විශාල ධනස්කන්ධයක් ලැබුණාම නිකන් පීල්ලවත්තෙ ජම්බුවාට මහජන සම්පත ඇදුණා වගේ තමයි….පිස්සු කෙළිනවා, කනවා බොනවා, ඉන්ටනැෂනල් බඩු ගහනවා, වියදම් කරනවා, ලොකූවයින් පාටි දානවා…නෙහ්?… මෝඩයින්ට දරා ගන්න බැරි තරම් සල්ලි ලැබුණාම ඔහොම තමයි…සංකීර්ණ ආයෝජන ක්‍රම, ව්‍යාපාර විභවය පරීක්ෂා කිරීම වගේ ඔය ලොකු ලොකු සීන් උන් දන්නෙ නෑ….ලෝක බලවත්තු ටික කලේ මොකක්ද, මේ කළාප වල හිටපු ඔය එක එක ගෝත්‍ර වල ගෝත්‍රික චණ්ඩි පවුල් වලට බලය ගන්න උදව් කරලා, උන්ට හිටු කියලා සල්ලි එක්ක හිතූ පැතූ සම්පත් වැක්කෙරෙන්න සලස්වලා උන් දම්මලා ඒ කළාප වල ජනතාවගේ කටවල් බැඳලා පාලනය කරන ගමන්, තෙල් සම්පත කොල්ල කාගත්තු එක….හරිම සිම්පල් ප්ලෑන් එකක්….

දැන් ඔය සවුදි රජ පවුල, ෂෙයික් අරූ, ෂෙයික් මූ, සුල්තාන් අරූ, සුල්තාන් මූ කියලා ලොකු ලොකු නම්ගම් දාගෙන පොරවල් වගේ ප්‍රයිව්ට් ප්ලේන් වල අහසින් ගියාට, ගෝල්ඩ් ප්ලේට් දාපු රෝල්ස් රොයිස් වල ගියාට ඕකලාගේ සීයලා හිටියේ කාන්තාර ගෝත්‍රික රැහැවල් වල කූඩාරම් අස්සෙ….ඔටුවා තමා එකම සම්පත….මේ වගේ අද මැදපෙරදිග රජකරගෙන ඉන්න එවුන්ගෙ සීයලා, මහප්පලා තමා ඒ ප්‍රාථමික ගෝත්‍ර වලට හිටපු අතපය හයිය හත්ති චණ්ඩි….

ඉතින් මේ නූගත් මොට්ට චණ්ඩින්ට සල්ලි සහ බලය දීලා ලොකු රටවල් ඊළඟට කරේ මුන්ට පෙට්‍රෝලියම් නිෂ්පාදන, අමුතෙල් සහ බොරතෙල් වලින් ගලන සල්ලි ඒ රටවලටම ආපහු ඇදිලා එන ක්‍රමවේදයන් සකස් කරපු එක….

උදා: සවුදි හරකුන්ට තෙල් සල්ලි එනකොට උන් වියදම් කරන්නෙ ඉතාලියෙන්, ප්‍රංශයෙන්, ජර්මනියෙන් කාර් ගෙන්නන්න….බ්‍රිතාන්‍යයෙන් කාර් ගෙන්නන්න…ඇමරිකාවෙන් ගුවන් යානා ගෙන්නන්න….චීනයෙන්, ජපානයෙන්, කොරියාවෙන් තාක්ෂණය සහ විනෝදාස්වාදජනක උපකරණ ගෙන්වන්න…නිකන් කකා ඉන්න තෙල් වාහෙලාට වැඩබැරි නිසා ඉන්දියාවෙන්, චීනයෙන් පුහුණු ශ්‍රමය ගෙන්නන්න….ඉතින් ලෝකයේ බලවත් කාර්මික ශිෂ්ඨාචාරයන් මුන්ගෙ තෙල් වෙනුවෙන් මුන්ට දෙන සල්ලි කන්දරාව හැරෙන තැපෑලෙන් අනිත් පැත්තට උන්ටම ගෙන්න ගන්නවා….උන් දන්නවා මළාට මේ කළාපයේ මෝඩ වාහෙලා මෙලෝ නිෂ්පාදනයක් ලොවෙත් කරන්නෙ නෑ කියන එක… උන් දන්නවා මුන්ට මේ සංකීර්ණ තාක්ෂණික ශිෂ්ඨාචාරයක් ගොඩ නගාගෙන තමන්ගේ නිෂ්පාදනය සහ පුහුණු ශ්‍රමය දියුණු කරගන්නවා කියන එක ලොවෙත් කරන්න බෑ කියන එක….ඒ නිසා උන් මුන්ගෙ රටවල් වල පවුල් කිහිපයක් තෝරගෙන ඒ පවුල් වලට සුරසැප දෙන ගමන් උන් ලව්වා කළාපයේ මහජනතාව පාලනය කරගන්නවා….

දැන් මේ කළාපයේ මිනිස්සු උගත් කමින් සහ බුද්ධියෙන් ඉදිරියට ගියොත්, මානව හිමිකම් ගරු කරන දියුණු නීති රීති සහිත යුගයට ගැළපෙන නීති පද්ධති සකස් කර ගත්තොත්, කාන්තාවන්ට හිතන්න, හැසිරෙන්න නිදහස සහ අයිතිවාසිකම් ලැබුණොත් මොකද වෙන්නෙ?…උන් ඊළඟට තමන්ගෙ දෙපයින් නැගිටින තාක්ෂණික ශිෂ්ඨාචාරයක් හදනවා….හදලා තමන්ගේ නිෂ්පාදනය සහ එයට අවශ්‍ය පුහුණු ශ්‍රමය තම භූමියෙන්ම සපයා ගන්න බලනවා….ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි ඒ රටවල පිහිටෙව්වොත් මිනිස්සු හිතන්න පුරුදු වෙනවා….එහෙම උනොත් එහෙම ඒ කළාපයේ ඇස් බැඳලා කළාපය හොරා කන ලෝක බලවතුන්ට කේස් වෙනවා….ඒ නිසා මෙම කළාපය කිසිදාක පෙරට නොයන බවට වග බලාගැනීම සඳහා දැඩි ආගමික විකෘතියකින් සදහටම ඒ රජ පවුල් හරහා ජනතාවගේ ඇස් වසා තබනවා…මොට්ට මෝල් කාන්තාර ගෝත්‍රිකයන්ගේ ප්‍රාථමික සංස්කෘතික ලක්ෂණ මේ රජ පවුල්, ෂෙයික්වරු, සුල්තාන් වරු හරහා රාජ්‍ය නීති බවට පත් කරලා ඒවායින් මේ ජනතාවන් සදහටම 14 වැනි සියවසේ සිරකරුවන් කර තබනවා….ඒක කිසිදාක වෙනස් නොවෙන බවට ඔවුන් වගබලා ගන්නවා….වෙනස් වේගෙන ආවොත් විවිධ බහුභූත බලවේග නිර්මාණය කරලා ඒ වෙනස පීළි පන්නනවා…..

ඕක තමයි සවුදි අරාබිය කියන අමන ගුබ්බෑයම තවම 14 වැනි සියවසේ පවතින හේතුව…..

මේ රටවල රජ පවුල් ආරක්ෂා කරන ලෝක බලවතුන් තම මිලිටරි බලය ඒ ඒ රටවල උපාය මාර්ගිකව ස්ථාන ගත කරලා තියෙනවා….ඒ මිලිටරි බලය සහ ඒ රටවල් දෙන දියුණු ආයුධ සමග එකී රජදරුවන් ගොඩනගාගෙන සිටින ස්වදේශික ආගමික පොලීසි සහ ආගමික හමුදා ව්‍යුහයන් වල මිලිටරි බලය අබිබවා යෑමේ ශක්තිය, බුද්ධිය හෝ ශක්‍යතාවය මේ ජනතාවන් සතුව නැහැ….ඔවුන් ආගම මගින් අන්ධ කර, නිර්වින්දනය කරනු ලැබ කීකරුව සිටිනවා….අනෙක ඔවුන්ට තම රජදරුවන්ගේ පවුල් සතු බලය අබිබවා යන්නට ගරිල්ලා ආදි සටන් කරන්නට සුදුසු පරිසරයකුත් මේ රටවල නෑ….පැහැදිලිව කිලෝමීටර් ගණන් දුර පෙනෙන, පැතලි කාන්තාර වල මොන ගරිල්ලා සටන්ද?…..ජල මූලාශ්‍ර අන්තිම දරුණු ලෙස සීමිත මරු කතරවල මොන ගරිල්ලා කැරළිද?….

නිදහස් චර්යාවන් තහනම් කර තිබෙන නිසාත්, ඒ තහනම කඩ කරන්නන්ට ලැබෙන දරුණු දඬුවම් නිසාත් වැල්ලේ අඳින ලද ඉරි වලින් එහාට අඩිය තබන්න ඔවුන් බයයි….මේ භීෂණය නිසා බහුතරය නවලෝකය සොයා යන්නේ නෑ….අනික ඔවුන්ගේ දැස් මත පියවිලි පටවන ලද ආගමිකත්වය සහ සාම්ප්‍රදායිකත්වය පරපුරෙන් පරපුරට දුර්දායාදයන් වශයෙන් දෙනු ලබනවා….මේ නිසා මොවුන්ට බුද්ධිය පහළ වීමක් හෝ ශාස්ත්‍රීය පුනරුදයක් පේන තෙක් මානෙක නැහැ…..

ආගම සහ තෙල් සම්පත පවතින තුරු ලැබෙන ධනස්කන්ධය තමයි මේ අයගේ නිර්වින්දකයන් වෙලා තියෙන්නෙ….මේ සිහිනයෙන් ඔවුන් අවදිවන්නේ පෙට්‍රෝලියම් ශිෂ්ඨාචාරය අවසන් වෙලා, වෙනත් ශක්ති ප්‍රභවයකට ගෝලීය ප්‍රවාහනය සහ අනෙකුත් ශක්ති ප්‍රවාහකයන් හුවමාරු වෙන කාළයටයි…එයින් පසුව ඔවුන්ට විශාල සාමාජීය ඛේදවාචකයකට මුහුණ දෙන්න සිදුවෙනවා….මේ තත්වය නිවැරදිව තේරුම් ගත්තේ 1950 තරම් ඈත කාළයේදී දේශපාලනය අත්පොත් තැබූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකතුවේ දෙවැනි අග්‍රාමාත්‍ය වරයා බවට පත්වූ “රෂීඩ් බින් සයීඩ් අල් මක්තුම්” කියන දූර දර්ශී නායකයාණන්….එතුමා ඩුබායි, අබුඩාබි, රාස් අල් කයීමා ආදි ප්‍රධාන එමිරේටයන් අනාගතයේ තෙල් සම්පත අවසන් වූ පසුවත් සමෘද්ධිමත්ව රැකෙන සැළසුම් රැසක් ක්‍රියාවේ යෙදවූ ප්‍රාඥයෙක්….

දැන් ඔබ කියාවි අවම වශයෙන් මේවායේ ඉන්න සිටු පවුල් සහ රජ පවුල් ලොව පුරා ආයෝජන කර තිබෙනවා, ඔවුන් ව්‍යාපාර අත්පත් කරගෙන සිටිනවා, ඒ වගෙම මේ ලෝක බලවතුන්ගේ රජයන් සහ නායකයන් මේ අයට බයයි, ඔවුන් ආවාම දෙකට තුනට නැමිලා “Your Majesty, Your Royal Highness, Most Noble Sheikh” කියලා කථා කරනවා, ඒ නිසා මේ අයගේ බලය කවදාවත් ගිලිහෙන්නෙ නෑ නේද කියලා….ඒ සියල්ල ලොව බලවත් ශිෂ්ඨාචාර ඔවුන්ට නිර්මාණය කර දී තිබෙන ෆැන්ටසි….ලෝක බලවතුන් අධ්‍යක්ෂණය කර සවුදිය ප්‍රමුඛ කළාපීය රජුන්ට සහ සිටුන්ට පෙන්වනු ලබන ස්වප්න චිත්‍රපටි….සැබෑ බලය තිබෙන්නේ කොහේද?….මෙය හොඳින් සොයා බලන ලෙස මම ඔබ සැමට ඇරයුම් කරනවා….යම් දිනෙක මොවුන්ගේ කළාපයේ වටිනාකම ගිලිහී යන්නේද, එතැන් සිට එක රැයකින් ඔවුන් ලෝක බලතුලන විෂයෙහි අවලංගු කාසි බවට පත්කොට, ඔවුන්ගේ ශිෂ්ඨාචාරය පිටින්ම කුණු බක්කියට දමන හැටි බලවත් කාර්මික සමාජයන් දන්නවා….ඔවුන්ට එතකල් “තමන් බලවත් බවත්, තම ශිෂ්ඨාචාරය, සංස්කෘතිය සහ සම්මුතීන් බලවත්” බවත් දැනෙන්න ඉඩ හරිනවා….

මිනිස්සු අහනවනෙ සවුදි අරාබිය වගේ අමු ගෝත්‍රික විකාරයක් කොහොමද එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පවතින්නෙ කියලා…..ඒකත් ඒ චිත්‍රපටියේ කොටසක්….ප්‍රතිපක්ෂයට පහර දී ඔහු සතු දෙය උදුරා ගන්නවාට වඩා, ප්‍රතිපක්ෂය නිර්වින්දනය කොට ඔහු සතු දෙය උදුරා ගන්න එක පහසුයි…”තමන් ලොවට වටී….තමන් ලොවට වැදගත්ය” කියන හැඟීම කෙනෙකුගේ මනසට ඇතුලු කිරීම තරම් ඔහු හෝ ඇය නිර්වින්දනය කොට විනාශය කරා යවන වෙන පහසු මගක් නැහැ…..

ප්‍රශ්ණ විසඳන්න සාහසිකත්වය සහ ලේ ඉස්සර කරගන්නේ ප්‍රාථමික මිනිස්සු…..කොටින්ම කිව්වොත් වානර හැසිරීම් වලින් තවම නොමිදුණු මිනිස්සු… වඳුරු රංචුවක මොකෙක් හරි එකෙක් වරදක් කළොත් අනෙක් වඳුරො වටවෙලා ඌව මරා දාලා, දත් විලිස්ස විලිස්ස “චකා බුකු, බුකු” ගගා යනවා…වෛරය සහ පළිගැනීම හැර වෙන හැඟීම් තුළින් තමන්ගේ ජයග්‍රහණය ලබන්න නොදියුණු ජීවීන්ගෙ මොළය සහ ස්නායු පද්ධතීන් සැකසිලා නෑ….

පළිගැනීම කියන්නේ බොහෝ විට ක්ෂණික, ක්‍රියාවට සමාන සහ ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරයක්….වෛරය සහ පළිගැනීම කියන දෙක යම් කෙනෙකුගේ විනිශ්චය තිමිරයකින් වසනු ලබනවා….එයින් පසුව ඔහුගෙන් හෝ ඇයගෙන් සිදුවන කිසිදු ක්‍රියාවක යහපත් අන්ත ඵලයක් නැහැ…..යහපත් නැති අන්ත ඵලයන් රැසක් සහිත ගමන් මාර්ග එකතු වී යම් සංස්කෘතියක් සෑදෙන්නේද, එකී සංස්කෘතියට කවර කළකවත් “සංවර්ධනයක්” නැහැ…..

සමාජ දෘෂ්ඨිය අනුව “වරදක්” ‍යැයි සම්මත ක්‍රියාවක නිරතවූ පුද්ගලයෙකුගේ ලේ දකින්න, එහෙම නැත්නම් මරා දමන්න බුරුතු පිටින් රොක්වෙන එක යම් සමාජයක නීති රීති වල පටන් පවතිනවා නම්, ඒක ඒ සමාජයේ නොදියුණු, ප්‍රාථමික කම හෙවත් වානර කම ප්‍රදර්ශණයක් කිරීමක්…. සවුදි ජනතාව කියන්නෙ මේ වගේ සියවසක අනුකම්පා කළ යුතු පරිද්දෙන් එවැනි වානර ගති පැවතුම් වල සිර කරනු ලැබූ අසරණ මෝඩ ජනතාවක්…..

මැද පෙරදිග වාලුකා කළාපයට කවදාවත් ඉතිහාස සාධාරණයක් කරලා නැහැ….ඒ වගේම ඒ කළාපයට කවදාවත් ශාන්තියක් උදාවෙන්නෙත් නැහැ….එය ශාපලත් කළාපයක්…..අක්‍රමවත්, පහසුවෙන් ලැබෙන ධනය, අධිරාජ්‍ය බලපෑම් සහ නූගත් වනචාරි ඇවතුම් පැවතුම් සදාකල් දුකේ හෙළා ඇති කළාපයක්….මේ සමස්ථ කළාපයට එහි එක කොණක සිට හෝ ශාන්තියක්, ආලෝකයක් ලබාදෙන්න උත්සාහ දැරුවේ එකම එක ශ්‍රේෂ්ඨයෙකු පමණයි….ඔහුටත් අවසානයේ වනචාරීන්ගේ කුමන්ත්‍රණ සහ පාවාදීම් හමුවේ රෝමන් අධිරාජ්‍යයෙන් මැරුම් කන්න සිද්ද උනා….

“කවර කළකවත් පාපයක් නොකළ තැනැත්තේ පළමු ගල අතට ගනිත්ව!” ” යමෙකු දකුණු කම්මුලට පහරක් ගැසුවොත්, ඔවුනට අනෙක් කම්මුලද හරව!” යනාදි අවවාදයන් ඒ උතුම් පුරුෂයා දුන්නෙ මේ කළාපයට ඒවායේ ඇති බරපතළ වැදගත්කම හොඳින්ම දැනගෙනයි…..

ඔහු ඉහත අවවාද දෙක එම කළාපයට දුන්නේ ආවාට ගියාට නෙමෙයි……ඔවුන්ට වගතුවක් වෙන්න නම් ඔවුන් හදා ගත යුතු ප්‍රධානම දෝෂය කුමක්දැයි ඒ මහා පුරුෂයා දැන සිටියා….

ප්‍රංශ කොඩිය……

ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයිසිස් මිනීමරුවන් විසින් බාරගෙන තිබේ….ඒ ප්‍රහාරය මනුෂ්‍යත්වය අගය කරන සියල්ලෝම විසින් හෙළා දැකිය යුතු, තුච්ඡ, නිවට, බියගුළු ක්‍රියාවකි….යුද්දයෙන් පරිපීඩිතව එයින් පලා යන තමන්ගේ ආගමම අදහන ජනතාවකට සරණක්, සෙවනක් ලබා දීමට තරම් කාරුණික වූ ජන සමාජයකට ඒ සරණාගත සෙයියාවෙන්ම සටන් කරුවන් රිංගවා පහර දෙන්නේ නම් එවැනි බලු හැතිකරයකට දිය යුතු පිළිතුර ඔවුන්ට තේරෙන භාෂාවෙන්ම ලබා දිය යුතුය….අයිසිස් මිනීමරුවන් වනාහි යල් පැනගිය මිථ්‍යා විශ්වාස මත මේ 21 වැනි සියවසේ සාර්ථක අධි-පාලනයක් ගොඩනැඟිය හැකි ‍යැයි සිතන නූගත් තිරිසන්නු රැළකි…මොවුන්ගේ අක්මුළ් තියෙන්නේ මොන ලෝකයේ වුවත්, මොවුන් වනසා දමා මැද පෙරදිගට සහ උතුරු අප්‍රිකාවට සහනයක් ලබා දීමට ලෝක බලවතුන් මැදිහත් විය යුතුය….එමෙන්ම මේ සක්කිලි රැළ බිහිවීමට බලපෑ ප්‍රධානතම හේතූන් වූයේ තමාගේම ක්‍රියාකාරකම් බව පිළිගැනීමට නේටෝ නායකයන් නිහතමානි විය යුතුය….වරක් අල් කයිඩා සංවිධානය බිහිවූයේ තම දේශයේම ජාත්‍යන්තර ක්‍රියාකාරකම් නිසා බව පිළිගැනීමට හිලරි ක්ලින්ටන් මහත්මිය නිහතමානි වූවාය….මෙවරත් ඇය සිය ජනපතිවරණ සටන අතරතුර අයිසිස් පිළිබඳව ත්‍රෛකාල තක්සේරුවක් නිවැරදිව ලබා දී තිබීම සතුටට කරුණකි…

මේ ජාත්‍යන්තර කරුණු කාරණා ගැන අප මින් ඉදිරි ලිපි මගින් දීර්ඝ විස්තරයක් කිරීමට බලාපොරොත්තු වන්නෙමු….දැනට කියන්නට යන්නේ මේ දිනවල ලාංකික සයිබරය සහ විශේෂයෙන්ම ෆේස්බුක් අඩවිය සහ එවැනි සමාජ වෙබ් අඩවි ආශ්‍රිතව පැතිර යන “ප්‍රොෆයිල් පින්තූරයට ප්‍රංශයේ ත්‍රෛවර්ණ ධජය දමා, ප්‍රංශයට සහය ඵල කිරීමේ සහ ප්‍රංශය වෙනුවෙන් යාඥා කිරීමේ රැල්ල” පිළිබඳවය….

අප මෙම සංසිද්ධිය කියවා ගත යුත්තේ මීට පෙර සිදුවූ අවාසනාවන්ත සිදුවීම් සහ ඒ ආශ්‍රිතව ලෝක ප්‍රජාව, මාධ්‍ය සහ අන්තර්ජාල සමාජ වෙබ් අඩවි පරිපාලනයන් හැසිරුණු ආකාරය, දක්වන ලද ප්‍රතිචාර සංසන්දනාත්මක පදනමක් කරගෙනය….මේ සඳහා සමීපතම සහ පැහැදිලිම උදාහරණය මෙසේය:

බංග්ලාදේශයේ සතිපතා ගංගා වල බෝට්ටු පෙරළෙති….

පද්මා නදියෙහි පසුගිය මාස හතක පමණ කාළය තුළ පෙරළුණු මගී බෝට්ටු වල සිටි 1,150 ක් පමණ දෙනා මරු මුවට පත් වූහ….ගංගාවෝ සහ අතු ගංගාවෝ 800+ ඇති බංග්ලාදේශයේ නිතර සිදුවන මෙවැනි අනතුරු වලින් මිය යන පිරිස දහස් ගණනකි…ඒවායින් ජාත්‍යන්තර මාධ්‍ය වල වාර්ථා වන තැනට එන්නේද 30%-40% ක් පමණි…කොටින්ම කිව්වොත් මියගිය පිරිස 400 කට පමණ වැඩි නොවේ නම් CNN, BBC ආදි ඊනියා ජාත්‍යන්තර මාධ්‍ය ඒවා සම්පූර්ණයෙන්ම මග හරිති….එවැනි විශාල බෝට්ටු පෙරළීමකදී වුවද ඒ පුවත් එකී ඊනියා ජාත්‍යන්තර මාධ්‍ය වල ඵල වනුයේ වාටි කවර වලය….කවමදාකවත් බංග්ලාදේශයේ බෝට්ටු පෙරළීමක් ( අනතුර මොන තරම් විශාල වුවත් ) CNN වගේ එව්වෑ “බ්‍රේකින් නිව්ස්” එකක් වන්නේ නැත….නිතර දකින කුකුළගේ කරමල සුදුයි කියන්නා සේම, මේ අනතුරු මොන අන්දමින් වුවත් අපේ අයියලාටත් ඒවා එච්චර වගේ වගක් නැත….

ඔහොම ඉන්නකොට 2014 අප්‍රේල් 15 වැනි දින දකුණු කොරියාවේදී පාසැල් සිසු සිසුවියන් ප්‍රමුඛ මගීන් 476 ක් රැගත් “MV Sewol” නම් සුඛෝපභෝගී මගී නෞකාව අනතුරකට පත්විය…සිද්ධියෙන් සිසු සිසුවියන් ඇතුළු 295 ක පිරිස මරු මුවට පත්වූහ…

අම්මට හුඩුය…. CNN  එකේ විනාඩි පහෙන් පහට සිද්ධිය ගැන බ්‍රේකින් නිව්ස් ය…. CNN එක මේ සඳහා වෙනම ෆෝරම් පේජ් එකකුත් ඕපන් කළා කියහංකෝය. “ඔබ මේ සිද්ධිය වූ ස්ථානයේ සිටී නම් කරුණාකර අපට වීඩියෝ දර්ශණ එවන්න” කියා තවත් වීඩියෝ ෆෝරම් එකක් දැම්මෝය…මුහුදු ගමනාගමනය සම්බන්ධ විශේෂඥයන් CNN International – Asia Pacific එකේ හොංකොං මැදිරි සංකීර්ණයේ අම්බානක ඇනැලිසිස්ය….අනතුර සිදුවුනු හැටි ගැන සෙන්ටිමීටරයෙන්, සෙන්ටිමීටරය විග්‍රහ කරති….

ෆේස්බුක්, ට්විටර්, අරකෙ මේකෙ ඔක්කොම දකුණු කොරියාවට යන “RIP” වැහි වැහැලාය….අපේ වාහෙලාත් දකුණු කොරියාව වෙනුවෙන් හිටගෙන Pray කරති….ගිලී මිය යාමට ආසන්නව සිටි මගීන් අවසන් මොහොතේ ගන්නා ලද වීඩියෝ, ඡායාරූප, ෆේස්බුක් දමන ලද ස්ටේටස්, ටිව්ටර්, අම්මාට අප්පාට යවන ලද එස්.එම්.එස්, අවසාන මොහොතේ දෙන ලද කෝල්, අරවා මේවායින් සමාජ වෙබ් අඩවි ජාල රත් වෙලාය….

අපේ පොෂ් අයියලා, අක්කිලා, මාමිලා, ඇන්ටිලා, බන්ටිලාටත් ඇඬෙනවාය…”OMG This is so heart breaking” ය…”OMG I cried when I read this” ය…”RIP Kim”ය…”XOXOX” ය….කඳුළු බේරෙන Emoticonsය…. බෝමා කඳුළු ඉණුවා ඇස කකියාය…”වාව්” ය….

දැන් අපි මේක මේ විදියට වීම පිටුපස ඇති සාර්ව චින්තනය කියවගන්න ට්‍රයි එකක් දෙමු….

බංගලියෝ කැත, දුඹුරු හම් තියෙන දුප්පත් හිඟන්නෝය…බංග්ලාදේශය සියළු මානව සංවර්ධන ඒකක අතින් දරුණු ලෙස පසුබැස සිටින ලෝකයේ ජීවත් වන්නට නුසුදුසුම රටවලින් එකකි…උන් අඳින්නේ වැරහැළිය…උන්ට දකුණු කොරියාවේ බඳු අධි තාක්ෂණික “මෙට්‍රො සෙක්ෂුවල්”, “ටෙක්නො සෙක්ෂුවල්” කල්චර් සහිත තාරුණ්‍යයන් නැත….කොටිම්ම කිව්වොත් බංග්ලාදේශයේදී බෝට්ටු පෙරළී මැරෙන හිඟන පැටවුන්ගෙන් 80% ක් සෙල්ෆෝන් එකක් වත් ඇහින් දැක නැත….

ඒ මදිවාට පෙරළෙන්නේත් කසි කබල්, පළලා දරට ගන්න වයසෙ ට්‍රෝලර් බෝට්ටු පඩංගුය….අම්මපා මෙවවයෙත් මිනිස්සු යනවාද නේද?…

අන්න ඒකට දකුණු කොරියාව….බංග්ලාදේශයේ හමගිය සාරි ලෙල්ලවල් වලින් ඔලුවෙ ඉඳන් වහගෙන ඉන්න, නැත්තන් ලිපේ දැම්මට පිච්චෙන්නෙ නැති ෂල්වාර් අඳින, නූගත්, නමේ අකුරු ටිකවත් ලියාගන්න බැරි, ඇට ගැහිච්ච, දූවිලි කුණු වැදිලා දුර්වර්ණ වෙච්ච හම් තියෙන නංගියෙක්ගේ කඳුළු වගේද, දකුණු කොරියාවේ හයි බ්‍රෑන්ඩ් ඇඳපු, පොලිෂ් කරපු, වාත්තු කලා වගේ සුදෝ සුදු නංගියෙක්ගෙ කඳුළු….අනික පෙරළුනෙත්  හයිෆයි Ferry එකක්ලුනෙ….

බංග්ලාදේශ ගොරහැඬි, දූවිලි නාගත් නංගියා “කූල්” නැත….ඒ නංගියා වෙනුවෙන් ඇඬීමද “කූල්, ට්‍රෙන්ඩි හෝ පොෂ්” නැත….ඒකි කොහොමත් උපන්නාට ඔහේ වැනි වැනි ජීවත් වෙලා මැරිලා යන්නට උපන් කරුමක්කාරියකි….ඒකි ඔය බෝට්ටුව පෙරළිලා නොමැරුණත්, අඩු වයසෙන් සිදු කෙරෙන බලහත්කාර විවාහයකින් කවුරු හෝ හිඟන හාල් පාරුවෙකුට දාව ගැබ් ගෙන, බංග්ලාදේශයේ තිබෙන නරකාදි සෞඛ්‍ය සේවයේ සහාය ලබාගෙන දරුවා ජාතක කරන්නට යද්දී කොහොමත් නිව්මෝනියාව හැදිලා මැරෙනවාය….තුන්වෙනි ලෝකයේ කරුමක්කාරයන්ගේ මරණය “Sweet නැත, Romantic නැත”…ඒ නිසා බංග්ලාදේශ නංගියාට වතුර පෙවීගෙන එනකොට ගිලීගෙන යන බෝට්ටුවේ හිරවී සිට අම්මාට කෝල් එකක් දෙන්නට ෆෝන් එකක් නැති නිසාත්, ඒ කෝල් එක ගන්නට අම්මා සිටින ගෙදරට ෆෝන් එකක් නැති නිසාත්, ඔවුන් දෙදෙනාම ෆෝන් එකත් ඇහැට දැකලාවත් නැති නිසාත්, ඒ බංගලි නංගියා බෙංගාලි බසින් හදතුරේ සඟවා ගන්නා “අම්මේ මාව මැරෙන්නයි යන්නේ” කියන ශෝකාලාපය එච්චර “නෝට්” වෙන්නේද නැත….බංගලිදේශ නංගියා ඉන්නේ මැරෙන්නය…ඒකි මළාට ගාණක් නැත….

bangladeshi-people08

දකුණු කොරියාවේ සුකුමාර නංගියා “කූල්ය”…ඒ වගේ තුදු ලත්තන නංගියෙක් මැරුණා කිව්වාම අක්මාව කම්පා වෙනවාය…උණ්ඩුකපුච්ඡය උද්දීපනය වෙනවාය….ආයෙ ආයෙත් ඒ රෝස මලක් වගේ ලස්සන මූණ, පොලිෂ් කරපු තොල්, දිලිසෙන කම්මුල් සහිතව, දිමුතු දසන් දක්වා හිනාවෙලා ඉන්න අවසන් වරට ගත් ඡායාරූපය දිහා බල,බල “අහෝ! මෙවන් සොඳුරු නිමැවුමක් සැනකින් වැනසී ගිය කරුමය කිම? දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි” කියා කියනවාය….ඒ නිරෝගී ලස්සන නංගා මැරෙන්න හිටිය කෙනෙක් නොවේ….එයා කවදා හරි දවසක “අනන්තයෙන් ආ තරු කුමරෙකුට” පෙම්වතිය වෙන්න හිටපු කෙනෙක්ය….ඒ දෙන්නාගේ ආදරය හරීම ස්වීට් එකක් වෙන්නට තිබුණාය…දකුණු කොරියාවේ සෝල් අගනුවර දර්ශණීය වීදියක, මිළ අධික අවන්හලකදී ඒ කඩවසම් තරු කුමරා මේ නංගියාව විශ්මයට පත් කරමින් ඇයට විවාහ යෝජනාව ගෙන එන්නට තිබුණාය….ඒ නංගියා සතුටු කඳුළු පිරි දෙනෙතින් ඒකට කැමති උනාම, රත්තරන් මුදුවක් ඒ සියුමැලි ඇඟිල්ලකට තරු කුමරා අතින් පළඳවන්නට තිබුණාය….

Free-Shipping-2013-women-Japan-and-South-Korea-non-mainstream-wig-girls-long-hair-dark-brown

එහෙව් නංගියෙක් අඳුරු නැව් පතුළක සිරවී Samsung Smartphone එකකින් ගෙදරට කෝල් එකක් දමා “Mommy, I might not see you again…I love you…!” කිව්වාම ලෝක වාසීන්ගේ ආමාශය දෙදරනවාය….හද මඬල පන්තේරු නැටුම් නටනවාය….ෆේස්බුක් එකේ ඉබේටම “RIP” එබෙනවාය….

දඩාවතේ යන බල්ලෙකු බලු වෑන් එකේ අවසන් ගමන් ගියාට කාටවත් ගාණක් නැත….කුරුඳුවත්තෙ බංගලාවක “බව්වෙක්” මැරුණොත් මාර සීන්ය… හලිම ස්වීට්ය…RIP ය…

CNN, BBC ප්‍රමුඛ ඊනියා “ජාත්‍යන්තර මාධ්‍ය” වල හැසිරීමත් කියවමුකො…

17 කෝටියක් ජන ගහණය ඉන්න, කුකුළ් කූඩු වගේ හිඟන මුඩුක්කු, ගුබ්බෑයම් තියෙන, එක මඩුවේ දහ පහළොස් දෙනා එකට ලගින, අපිරිසිදු, ලෙඩ රෝග වසංගත ගහන, හිඟන බංග්ලාදේශයේ මොකක් හරි අඩව්වක් උස්සන් ඇවිත් දැම්මාය කියා ඒවාට ඇඩ් එන්නේ නැත…Hits එන්නේ නැත…Views එන්නේ නැත….අරක නැත…මේක නැත….ඒව්වෑ සංදර්ශණීය වටිනාකමක් නැත….එව්වාට හදමල දෙදරන්නේ නැති නිසා, ඒ මරණ අරඹයා සෝෂල් මීඩියා කානිවල් බිහිවෙන්නේ නැත….උන් කොහොමත් මැරෙන්න ඉන්න එවුන් නිසා උන් මළාට ඒ මරණයට නියම කළ හැකි මිළක් නැත….උන් ගැන කවුරුවත් Search කරන්නේ නැත….උන්ගේ ජීවිත ගැන කියවන්න මහන්සි වෙන්නේ නැත….උන් වෙනුවෙන් බංග්ලාදේශ තානාපති කාර්යාල වල ගේට්ටු ලඟ රෝස මල් පොකුරු, පොකුරු, සුවඳ හමන ඉටි පන්දම්, ඡායාරූප, බෝඩ්, කටවුට්, ශෝක ප්‍රකාශ කාඩ්පත් ගොඩ ගැහෙන්නේ නැත….ඒ නිසා ඒවා ගැන බ්‍රේකින් නිවුස් දුන්නාය කියා ලොකුවට ගතමනාව නැත…එහෙව් එකේ උන්ට වෙන් කරන ඉඩකඩ අපරාදේය….

සිරාවට මම අහන්නේ … දිනපතා බෝම්බ පුපුරන ඉරාකයේ, තිස් වසරක සිවිල් යුද්දය නිසා අමු සොහොනක් උන ශ්‍රී ලංකාවේ, පැහැදිලි ජාත්‍යන්තර කුමන්ත්‍රණ නිසා නරකාදියක් වුන සිරියාවේ, ඊශ්‍රායලය නම් ඝෝර චණ්ඩියා ඉදිරියේ බියෙන් ගැහෙමින් ජීවත් වන පලස්තීනයේ දහස් ගණන් කුඩු පට්ටම් උනත්, ලෝකයේ ප්‍රධාන නගර වල තිබෙන ඒ රටවල තානාපති කාර්යාල ඉදිරියේ රෝස මල් පොකුරු, ඉටි පන්දම්, ශෝක ප්‍රකාශ කාඩ් එහෙම ගොඩ ගැහිලා තියෙනවා උඹලා දැකලා තියෙනවද?….එහෙම එව්වා ආවරණය කරලා නිකන් අතින් කයිට් වෙන්නෙ අහවල් එහෙකටද නෙහ්?

“ජාත්‍යන්තර මාධ්‍ය” කියන්නේ “සැබෑවටම ජාති-අන්තර මාධ්‍ය” විය යුතුයි නේද? එහෙම නම් ප්‍රාංශුවා, ජර්මානුවා, ඇමරිකානුවා, ජපනා වගේම, බංගලියා, ඉන්දියානුවා, පලස්තීනුවා, සිරියානුවා, ශ්‍රී ලාංකිකයාත් ඔය කියන ජාත්‍යන්තර ප්‍රජාවට අයත් නිසා, මේ සියළු දෙනාගේම ජීවිත සහ මරණ වලට තිබිය යුත්තේ එක සමාන වටිනාකමක් නේද? එහෙම නම් තොපි ඔය හැසිරෙන විදිය හරිද? මේ හැම කෙනෙකුගේම විපතේදී යොමුවිය යුත්තේ එක හා සමාන අවධානයක් නේද? කියන එක අහලා චාටර් වෙන්න කවුද කැමති…?….පැපොල් වගේයැ ඇපල්…නෙහ්….?

ඊනියා ජාත්‍යන්තර මාධ්‍ය හැසිරෙන ආකාරය අනුව අපිට ඉතින් ගොඩ නගා ගන්න තියෙන්නෙ:

න්‍යෂ්ඨියේ රටවල ජීවිත 1 = පරිධියේ රටවල ජීවිත 50 ක්

කියන සමීකරණය තමයි….

ප්‍රංශ කොඩිය ප්‍රොෆයිල් පින්තූරයට දමා ගැනීම කියවා ගත යුත්තේත් මේ විදියට තමයි….

සිරියාවේ, ඉරාකයේ, ලෙබනනයේ, යේමනයේ, ඇෆ්ගනිස්ථානයේ, පාකිස්ථානයේ දිනපතා අහන්න, දකින්න ලැබෙන ත්‍රස්ත සහ “නො-ත්‍රස්ත” ප්‍රහාර වලින් පැය දොළහකට විතරම එකසිය පනහක් මැරෙනවා…ෆේස්බුක් එක අයිති සහ ඒක කළමණාකරණය කරන අයට කොඩිය දාන්න හිතුණද?….”Pray” කරන්න හිතුණද…?….ඩැමැස්කස් වල කාර් බෝම්බයක් ගිය දාට, බැග්ඩෑඩ් වල මාකට් එකක මරාගෙන මැරෙන බෝම්බයක් ගිය දාට “We Stand With Syria” කියලා “Social Media Movement” එකක් පටන් ගන්න හිතුණද….?…..ශ්‍රී ලංකාවේ ළමා සොල්දාදු ඛේදවාචකය…ගුවන් ප්‍රහාර වලින් බේරීගෙන අතපය පැසවපු සහලෝලා උණ ගැනිච්ච දරු පැටවු බදාගෙන විලාප කිය කිය දුවන දෙමළ අම්මලා, ක්‍රීඩා තරඟයකට ගියපු දරුවො පෙට්ටියෙන් ගෙදර ආවාම ඒ මිනී බදාගෙන විලාප කියන සිංහල අම්මලා වෙනුවෙන් Pray කලේ කවුද?….Breaking News දුන්නෙ කවුද?….Forum වෙන් කළේ කවුද?….Expert Panel Discussions තිබ්බෙ කවුද?….

එතකොට ලංකාවේ අපි…?

ලාංකික සයිබර් ප්‍රජාව වන අපි ප්‍රංශ කොඩිය දාගෙන ඉන්නෙ ඇයි?….Pray කරන්නෙ ඇයි…?...”ලොවේ කොතනක මියගියත් ඔබ මගේ සොයුරාමයි, මගේ දරුවාමයි” කියන සඳ වැගිරෙන මානව හිතවාදය නිසාද?….එහෙනන් කෝ සිරියන් කොඩි…?…කෝ පලස්තීන කොඩි…?…කෝ ඉරාක කොඩි…?…කෝ බංග්ලාදේශයේ මුස්ලිම් අන්තවාදින් විසින් මරා දමන අහිංසක බෞද්ධයන්ට කොඩි…?….කෝ මියන්මාරයේ බෞද්ධ අන්තවාදින් විසින් මරා දමන රොහින්යා වරුන්ට කොඩි…?…

නෑ ඉතින් ප්‍රංශෙ කියන්නෙ ප්‍රංශෙ නෙ නෙහ්…?….සුදෝ සුදු ප්‍රංශ නංගියෙක්ගෙ පිණි ජම්බු ගෙඩියක් බඳු කොපුල් තලා දිගේ රූරා ගොස් වැටෙන කඳුළකට, ඒ නංගි නිහඬව බිම බලාගෙන දණ ගහගෙන පත්තු කරන ඉටි පන්දමක් අඬ අඳුරේ කියාපාන මනුෂ්‍යත්වයේ ශෝකාලාපයට මයික්‍රොවේව් අවන් එකේ තැබූ වෙඬරු ග්‍රෑම් පන්සීයක් සේ උණු වී නොවැගිරෙන හදවත් කුමට…?… හොඳේ…?…

ප්‍රංශයේ මිනිස්සු මැරෙන්න ඉපදුණු අය නෙමෙයි නේ….ඒ අය කොහොමවත් මෙහෙම මිය යා යුතු නැති අයනෙ….අර සිරියාවෙ, ඉරාකයේ වගේ බුරුතු පිටින් මැරිලා යන්න ඉපදිච්ච කාළකණ්නි බැල්ලිගෙ පුතාල වගේද ප්‍රංශේ මිනිස්සු….?….නෙහ්…කොඩිය දාමු…!… ප්‍රංශෙ මොඩර්න්, ප්‍රංශෙ පොෂ්, ප්‍රංශේ සෙක්සි, ප්‍රංශෙ රොමැන්ටික්……!..නොදෝකින් ගොරහැඬි ඉරාකෙ….ඉකේයියා ඇෆ්ගනිස්ථානයේ….චික්, තුක් පලස්තීනෙ…ඕක් සිරියාව…!

“ප්‍රංශ යුවතියන්…හදේ කොණ අරන්” ඉන්න වෙලාවෙ ප්‍රංශ කොඩිය දැම්මාම ඔයාව පේන්නෙ මාර “ඉන්ටනැෂනල්, මල්ටි නැෂනල්, සෙන්ටිමෙන්ටල්, සෙන්සිටිව්, රොමැන්ටික්, මොඩර්න්” පොරක් වගේ…. එතකොට ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ ඉන්න ගොබිලලා කල්පනා කරනවා “බලාන්ඩ අනී….මේ අයියා / අක්කා / නංගි / මල්ලි මාර ඉන්ටනැෂ්නල් තින්කින් එකක් තියෙන, මානව හිතවාදි, මානුෂීය වාදී, ප්‍රජාතන්ත්‍රවාදී, භූමි කම්පාවාදී, ඩෑල් එකක්නෙ….බලන්න ෆ්‍රාන්ස් වලට “බල්ටි තුනයි, විසිල් දෙකයි” දුරින් වෙන්න ඕන මූ ඉන්නෙ…හවසට හවසට ෆ්‍රෑන්ස් ගිහින් ෆ්‍රාංශුවා ඕලාන්ඩ් එක්ක බෙලිමල් කෝප්පයක් ගහලා එනව ඇත්තෙ… මූ කැරම් ගහනවා ඇත්තෙ යැනික් නෝවා එක්ක, ජිල් බෝල ගහනව ඇත්තේ ශෝන් රෙනෝ එක්ක… එතකොට අඳින්නෙ පියරේ කාඩින්ගේ රෙදි….රෙනකොට අහන්නෙ අරූගෙ සිම්ෆනි, කනකොට අහන්නෙ මුගේ සිම්ෆනි, බුදියනකොට බලන්නේ අරූගෙ ඔපෙරා, වෙන්න ඇති….ඕකා ප්‍රංශ ඉතිහාසෙ කට පාඩමෙන් දන්නවා ඇති….ප්‍රංශ විප්ලවේ කෙරෙන වෙලාවෙ රොබෙස්පියර්ගෙ අම්මට බත් පැකට් එක අරන් ගිහින් තියෙන්නෙ මූ….නැපෝලියන් ඉපදිච්ච වෙලාවෙ මූ තමයි වින්නඹු කම් කොරන්න ඇත්තෙ”…වගේ දේවල් ඒ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් වල ඉන්න අයට හිතෙන්න පුලුහන්….ඒ සේරටමත් වඩා ඔයා මාර Westernized කියලා පෙන්න ගන්නත් පුලුහන්….ඔයාට කේබල් ටීවී තියෙනවා කියලා පෙන්න ගන්න පුලුහන්….ඒකෙන් සී.එන්.එන්, බී.බී.සී පලෝ කරනවා කියලා පෙන්න ගන්න පුලුහන්…ඔයාලා සොට්ටෙයා ඇප්ස් එහෙම යූස් කරන්න දන්නවා කියලා පෙන්න ගන්න පුලුහන්….

අනේ ඉතින් උඹලා ජාත්‍යන්තර දේශපාලනය ගැන දිනපතාම වගේ මාර අවධානයෙන් නෙ ඉන්නේ නෙහ්….?….

2004 ආසියානු සුනාමියෙන් පස්සෙ තායිලන්තයේ දරුණුම විනාශයට ලක් වුනු “පංග් ගා සහ ෆුකට්” ආදි පළාත් වල වැසියන්ට රෑට රෑට තෙත බේරෙන ඇඳුම් ඇඳගත්තු හොල්මන් පාරෙ යනවා පේන්න ගත්තා….මනෝ විද්‍යාඥයන් ගවේෂණය කරගෙන යනකොට පෙනුනලු, මේ අයට මේ පේන හැම හොල්මනකම පාහේ ඉන්නෙ සුද්දෙක් හෝ සුද්දියක් කියලා….පසුව මේ තත්වයට හේතු සාධක වශයෙන් ඒ මනෝ විද්‍යාඥයන් ඉදිරිපත් කරපු දේ තමයි තායිලන්ත වැසියන් මේ සුදු හම තිබෙන, කොකේසියානු සම්භවක්ථ මිනිස්සුන්ට දක්වන අසීමිත ගෞරවය නිසා, ඒ මිනිස්සු මෙහෙම මැරුණා කියන එක, ඒ අයගේ මළ කඳන් තිබීම විශ්වාස කරන්න, අදහගන්න බැරි දෙයක් උනා….අන්න ඒ කම්පනය තමයි මේ Mass Hysteria එකක් වශයෙන් නිර්මාණය වෙලා තියෙන්නෙ කියන එක….

අන්න ඒ වගේ තමයි අපිටත්….මැස්සො වගේ මැරිලා යන්න ඉපදිච්ච තුන්වෙනි ලෝකයේ හිඟන රටවල මිනිස්සු මැරුණා කිව්වාට ඕක ගාණක් නෑ…උන් ඉතින් මැරෙන්න නෙ ඉපදිලා ඉන්නෙ…..සුද්දො මැරුණා කිව්වාම, දියුණු රටක මිනිස්සු මැරුණා කිව්වාම, බලසම්පන්න රටක මිනිස්සු මැරුණා කිව්වාම දැනෙන කම්පනය සුවිශාලයි….“උන් කොහොමද දෙයියනේ මැරෙන්නෙ?” කියන ප්‍රශ්නෙ තමයි අවිඥානය අපිට මතු කරලා දෙන්නේ….අවිඥාණය අපිට යෝජනා කරන්නෙ ඒ තරම් සම්පත් මහෝඝයක් සහ මිලිටරි බලයක් සහිත, ඒ තරම් තාක්ෂණයක් තියෙන ධනවතුන් මැරෙන්නෙ කොහොමද කියන විමතිය….ඒක ලොකු ක්ෂතියක්, භ්‍රාන්තියක්….ඔය ලැයිසාගේ, කතිරිනාගේ, කරලැයින්ගේ, ගිරිගෝරිසාගේ, ජෙමාගේ, තෙපානිසාගේ, බූරු ජීලියාගේ, අගිදප්පුවාගේ ගෙවල් වල බක් මහෙන් බක් මහට වදාපු කොළු කෙළි පණුවො මැලේරියාව, අම්මාවරුන්නේ ලෙඩේ, සිංහලේ උණ, හීත උණ, අරක මේක හැදිලා එක ගොඩේ මැරිලා ගියත් ඕක ගාණක් යැ….?….වලව්වෙ සුදු අප්පො මළොත් අම්මට හුඩු “බාලේ පෙම්බර කොණ්ඩා බැන්දත්” හත් දවසක්, හත් වරුවක්….සිරියාවතී වැදුම් ගෙයි සන්නිය වැඩි වෙලා හුජෑ උනා වගේද බොල වලව්වේ නෙළුම් බණ්ඩාර මැණිකෙ දිවංගත වෙච්චි එක…?….

දැන් ලංකාවෙනේ අර්බුදය තියෙන්නෙ බලපුවාම….සමහර මුස්ලිම් මිනිස්සු “මේක මේ අවංක අහිංසක සුන්දර ඉස්ලාම් භක්තිකයන් කරපු වැඩක් නොවේය, මේක මේ ප්‍රංශ බුද්ධි අංශයන්ම කරාපු එකක්ය” කියන්න ගේන වඳුරු කුණුහරුප තර්කයි, ඒකට රෙද්ද කරට ගත්තු සමහර සිංහල මිනිස්සු “තම්බින්ට ගහනව නම් ඕන යකෙක්”  කියලා ප්‍රංශ කොඩිය දාගෙන කියන වඳුරු කුණුහරුප කථායි දැක්කාම අපිට එක තර්ක වර්ගෙට එක කොණෙන් ගානෙ කොන් දෙකෙන්ම හිනා යනවා….මෙතන එහෙම සීන් එකකුත් යටින් යනවා…අපි නොදන්න අපි … !

අනික ලංකාවෙ අපි ඉතින් උපන්ගෙයි මානව හිතවාදින් නෙහ්…?…මැද පෙරදිග රස්සාවට ගියපු දුප්පත් ගෑණියෙක්ගෙ වේදනාව තළු ගහලා හප කරපු, ඒ වචන අදටත් බයිට් එකක් කර ගෙන ඕනම දේකට “ඕක ළමයෙකුට දීපන්, හෙණ ගහලා අකුලෝලම පලයන්”  කියන අපි තමයි “ෆ්‍රෑන්ස් වල ෆ්ලෑග්” එක දාගෙන ඉන්නෙ මේ මානුෂිකත්වය වෙනුවෙන්….දහස් ගණන් එකතුවෙලා සයිබරයේ සමූහ දූෂණය කරන්න කවුරු හරි නර බිල්ලක් සතිපතා අහුවෙනතුරු කෙළ හල හල බලාගෙන ඉන්න, කාගෙ හරි ජීවිතයක වැරදිච්ච තැනක් අහුවුන ගමන් මෘගයො වගේ රංචු පිටින් වටවෙලා හපාකන, මරාගෙන කන අපිට තමයි මේ ප්‍රංශය වෙනුවෙන් “වැක්කෙරෙන්නෙ” …. අපි ඉතින් මනුස්සකම රැකීම අතින් කප් ගහපු රටක්නෙ….අවුරුදු 67 තිස්සේ උතුරෙයි දකුණෙයි අපි ලෙසටම මනුස්සකම රැකලා ඉවර වෙලා, මදි පාඩුවට තමයි අපේ මේ මහා කරුණාව අහස් ගඟ පිටාරා ගලන්නා සේ ප්‍රංශය දෙසට යොමු කරන්නෙ….අපි මනුස්ස කම රැක්ක හැටි, මනුෂ්‍ය ඝාතන හෙළා දකින හැටි, ප්‍රංශයෙ උන් තාම කථා වෙනවලු ඕයි ..!… ඔව්…!….බොරු නම් ” French INGO Action Against Hunger – Muttur” කියන වචන ටික ගහලා සර්ච් කරල බලපල්ලා….!….

අවසාන වශයෙන් ……

“HMS Lusitania, MV Wilhelm Gustleoff, SS Patria, Taiyo Maru, වගේ නම් අහලා තියෙනවද?

නැද්ද? එහෙනන් “HMS Titanic” කියන නම අහල තියෙනවද?…

මොකද නැත්තෙ…?…ඇයි අර ජැක් චිත්‍ර ඇන්දෙ.. රෝස් හෙලුවෙන් හිටියෙ….”My Heart will go on and on” උනේ….ඔව් ඒක තමයි…

ඔය මුලින් කියපු නැව් ගිළුනෙත් අත්ලාන්තික් සාගරය සහ ඒ ආශ්‍රිතව තමයි….ඒවා ගිළුණෙ පළමුවැනි සහ දෙවැනි ලෝක යුද්ධය අතරතුර යුරෝපයෙන් ඇමරිකා එක්සත් ජනපදයට, ලතින් ඇමරිකානු කළාපයට, කැනඩාවට එහෙම පළා යන සරණාගතයන් රැගෙන යද්දි එල්ලවුනු සබ්මැරීන ( German U-Boats, Soviet R-Boats) ප්‍රහාර නිසා…ඒ සිදුවීම් වලින් සරණාගතයන් දහස් ගාණක් නැව් සුන්බුන් අතරෙ හිරවෙලා ඒවා එක්කම මුහුදු පතුළටම ගියා… එළියට පැන ගත්ත අය සීතල මුහුදු වතුරෙ ගිලිලා, ලේ මිදිලා, සීතලට ලේ කැටි හිරවෙලා මැරුණා….ඒ මැරුණ අයගේ නම්, ගම් තියා නිශ්චිත ගාණක් මිම්මක් වත් අද තා වන තුරු නැහැ….ඒ අයගෙන් අති බහුතරය යුද්දය නිසා සේරම නැතිවෙලා ඇඳිවත සහ අඹු දරුවන් පමණක් ඇතිව ශාපලත් යුරෝපයෙන් පළා යමින් සිටි අසරණයන්..මේවයේ නැව් පතුල් වල තියෙන අඳුරු ගබඩා කාමර වල සත්තු වගේ ඉරිච්ච රෙදි පාන්කඩ ඇඳගත්තු දහස් ගාණක් සරණාගතයෝ හැරෙන්නවත් ඉඩක් නැතුව, හුස්ම ගන්න හුළං පොදක් නැතුව, ගාල් කරලා ගෙනිච්චෙ…ඒ නැව් ගැනවත්, ඒවායේ හිටපු මගීන්ගේ ජීවිත කථා ගැනවත් චිත්‍රපටි හැදුණේ නැහැ….

අන්න ඒකට ටයිටැනික්…!…සිද්ධියෙන් අවුරුදු 85 කට පසුව, එනම් 1997 දි ජේම්ස් කැමරන් කරපු ප්‍රතිනිර්මාණයට ලෝක වාසීන්ගේ හඳුන් පොත කොච්චර කී ගෑවාද කිව්වොත්, අර ජැක් රෝස් ජෝඩුව නැවේ ඇණිය උඩ ඉඳගෙන පිහාඹින්න හදන පින්තූරෙ පොත් පිටකවර, බුක්මාක්, බෑග්, ටී ෂර්ට්, ජංගි දක්වා ආවා….සෙලීන් ඩියොන් අක්කගේ සින්දුව එදා මෙදා තුර ඔක්කාරෙට එනකල් ඇහිලා ඇති….තාම ඇහෙනවා….”My “Fart” will go on and on”……

ගිනි ගත් යුරෝපයේ වෙඩි හඬ මග ඇරලා, කාළ තුවක්කු ගිගුම් දෙන හඬ, බෝම්බ හෙළීමට පහළ බසින ගුවන් යානා නගන කන් බිහිරි කරවන හඬ මග ඇරලා, මරබියේ වෙව්ල වෙව්ල, ඝණ අඳුරු නැව් ගබඩා කාමරයක කූඩු වෙලා, හීතලේ ගැහි ගැහි යන සරණාගතයෝ මැරුණා වගේද, බෑන් චූන් ගහගෙන, බාල් නටාගෙන, මිළ අධික වයින් වලින් ටෝස්ට් එක දාගෙන, ගියපු කුමාර ගමනක කෙළවරේ මැරෙන්න සිද්ද උනාම….නෙහ්…?…වාර්ෂිකව සප්ත මහා සාගර වල ගිලෙන සරණාගතයන් රැගත් බෝට්ටු, නැව් වල කථාව කොතනක ලියවුණත්, ඒවාට කාගෙවත් “Heart will go and on” උනේ නැත්තෙ ඇයි කියන එක සහ විනෝද සවාරියක් යන්න ගිහින් ආක්ටික් සාගරයෙදි අධි තක්සේරුව නිසා මරණය ළඟා කරගත් අය වෙනුවෙන් අවුරුදු 85 කට පස්සෙත් ලෝක වාසීන්ට “Heart will go on and on” වෙන්නෙ ඇයි කියන එක තුළ අපිට ප්‍රංශ කොඩියෙ ප්‍රොෆයිල් පින්තූරය කියව ගන්න පුළුවන්….

ඛේදජනක ත්‍රස්ත ප්‍රහාරයක් නිසා 150 ක් මියගිය ප්‍රංශයේ පැරිස් නුවර වෙනුවෙන්, ලොව පුරා සුපිරි නගරවල තියෙන ස්මාරක වල ප්‍රංශ කොඩියේ පාට වැටෙද්දි, සිරියාවේ, ඉරාකයේ දවසකට 150 ක් විතර මැරුණත් ඒ කොඩි වල පාට කොතැනකවත් නොවැටෙන්නෙ ඇයි කියන එක තේරුම් ගන්න අපිට පුළුවන් ටයිටැනික් නැවේ කථාව සහ චිත්‍රපටිය ගැන හිතුවාම….

තුන්වෙනි ලෝකයේ හිඟන හැත්ත ඉපදිලා ඉන්නෙ මැස්සො වගේ මැරිලා යන්න…උන් බුරුතු පිටින් මැරිලා ගියත් අපිට පුදුමයක් නෑ…අපි ඒ මරණ පිළි ගන්නවා…ඒවා ලෝකයට කම්පන තරංග මුදා හරින්නෙ නෑ……ඒවා ඉතින් “වෙන්න තියෙන දේවල්”….

ඒ වගේද ප්‍රංශෙ දෙයියනේ…?

ධනවත් අය මිය යෑම සතුටක් නෙමෙයි….දුප්පතුන් මිය යාම සාමාන්‍ය දෙයක් විය යුතුද නොවේ….පළවෙනි ලෝකයේ, තුන්වෙනි ලෝකයේ නෙමෙයි දහවෙනි ලෝකයෙ උනත්, උදේට සිය අඹු දරුවන් සිප සනසා නිවසින් එළියට බසින මිනිසාට සවස නැවත තම ආදරණීයයන් වෙත එන්න නොලැබෙනවා නම්, සංගීත ප්‍රසංගයක් බලන්න පිටත්ව යන තරුණ දියණියට මිනී පෙට්ටියෙන් නැවත නිවසට එන්න වෙනවා නම්, මධුවිතකින් සප්පායම් වන සාමකාමී රසවතෙකුට ඉන් සුළු මොහොතකට පසු වෙඩි උණ්ඩයක රස බලන්න ලැබෙනවා නම්, පෙම්වතියගේ දෙතොල් සිපගන්නා පෙම්වතෙකුට මද වේලාවකින් ඇයගේ මිනිය බදාගෙන අඬන්න වෙනවා නම්, ඒක ශිෂ්ඨත්වයේ දරුණු පරාජයක්….මනුෂ්‍යත්වයේ දරුණු පරාජයක්….ඒ පරාජය හමුවේ ඒ පරාජයට පාර කපා අනෙකුත් පාර්ශවයන් ලබන මොනම සමාජ, ආර්ථික හෝ දේශපාලන ජයග්‍රහණයක් වත් වලංගු නෑ…ඒ හමුවේ ලබන කවර ආකාරයේ වත් ආගමික ජයග්‍රහණයක්, ජාතික ජයග්‍රහණයක් වලංගු නෑ….

නමුත් ඒක ප්‍රංශයෙත් එසේය, බංග්ලාදේශයෙත් එසේය, ඉන්දියාවෙත් එසේය, ශ්‍රී ලංකාවෙත් එසේය, ඇමරිකා එක්සත් ජනපදයේත් එසේය, රුසියාවෙත් එසේය, චීනයෙත් එසේය, ඊශ්‍රායලයේත් එසේය, පලස්තීනයෙත් එසේය යනුවෙන් පොදු ධර්මතාවයක් ලෙස බලපැවැත්ම ප්‍රංශය ඇතුළු ලෝකයේ කිසිම රටක පිළිගන්නෙ නෑ……

ඒ නිසා සෑම ජීවිතයකටම එක සමාන වටිනා කමක් නෑ…..

මනුස්සකම කියන්නෙත් විලාසිතාවක් පමණයි…

2011 වසරේදී තිරගත කරන ලද “Melancholia” චිත්‍රපටයේ දෙබසකින් මෙය අවසන් කරමි….

//…..

Justine: The earth is evil. We don’t need to grieve for it.

Claire: What?

Justine: Nobody will miss it.

Claire: But where would Leo grow up?

Justine: All I know is, life on earth is evil.

Claire: There may be life somewhere else.

Justine: But there isn’t.

Claire: How do you know?

Justine: Because I know things.

Claire: Oh yes, you always imagined you did.

Justine: I know we’re alone.

Claire: I don’t think you know that at all.

Justine: Six hundred and seventy eight. The bean lottery. Nobody guessed the number of beans in the bottle.

Claire: No, that’s right.

Justine: But I know. Six hundred and seventy eight.

Claire: Well, perhaps. But what does that prove?

Justine: That I know things. And when I say we’re alone, we’re alone. Life is only on earth. And not for long.

….//

අපේ කාළයේ දුක හිතෙන කථාවක් …….!.. ( පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදි )

ඩොනල්ඩ් මුදන්නායක හාමු මහත්තයා අපේ ගමේ මහ දළ කාරයාය…ගොඩ, මඩ දෙකම අක්කර සිය ගණනක ඉඩකඩම් සමග සල්ලි උඩ පිනුම් ගහන මුදන්නායක වළව්වට දැසි දස්සන් බොහොමයකි… ගමේ නමගිය චණ්ඩි බණ්ඩි පිරිවරාගෙන වැඩ ඉන්නා ඩොනල්ඩ් හාමු මොන කුප්ප වැඩේ කළත් ගම්මු “මීක්” නැත…ඉස්සර ඔය එහෙන් මෙහෙන් සද්දයක් දෙකක් දැමූ ඉලන්දාරීන්ට ඩොනල්ඩ් හාමු ගේම දී කන්න විතරක් කට අරින ලෙවල් එකට සයිලන්ස් කර ඇත…ඒ නිසා දැන් ඩොනල්ඩ් හාමුගේ මුදන්නායක වළව්වට ඉහළින් ඉගිල්ලිය හැකි කාක්කෙක් හොයාගත නොහැක….මේ සිරිතුලානේ කිසිම කාක්කෙකුට එහෙව් ගටක් තියෙනවා යැයි සිතන්නටද බැරිය…
ඩොනල්ඩ් හාමුවාට යන යන තැන දරුවෝය…ගමේ ගෙවල් ගාණේ රෑට රෑට පැන පොඩොස්සියන් බඩ කිරීම උන්නැහේ කාළාන්තරයක් තිස්සේ කරන නිසා, මේ යකාගේ අවජාතක දරුවෝ හැම තැනමය…උන් එක එක පාටය…බොහෝවිට උන් උන්ගේ අම්මලාගේ පාටත්, අප්පාගේ මුහුණුවරත් ගන්නා නිසා අඳුනාගන්නට අපහසු නැත…ඔයින් ගෙවල් දෙක තුනකට මුදන්නායක හොඳට සළකා ඇත…ඒ නිසා ඉස්සර මැටිගොඩවල් වගේ තිබ්බ ඒ ගෙවල් දැන් පාට කොරලා, ඒ.සී හයි කරලා, ඇටෑක් බාත්-රූම් එහෙමත් තියෙනවාය…හැබැයි මුන්නැහැ වැදුණු අනිත් ගෙවල් වලට නම් ඒ හැටි වගතුවක් නැත….සමහර ඒවාට වගේ වගතුවක් නැත…මුදන්නායක තරහ කර ගත්තොත් නයාය…පළිගන්නේ එළව එළවාය…කොහොම හරි උන්නැහේ තරහ කරගත්තොත් බේරෙන්න පුළුහන් තැනක් මේ සිරිතුන් තළේම නැත…
ඩොනල්ඩ් හාමුගේ අත මුළ ඉඳන්ම ඉම්බ එවුන්ට හරියනවා කියලා ගමේ ගොඩේ පොඩි විස්වාසයක්ද තිබේ…ඒක නිසා සමහර ගෙවල් වල උන් නම් ඩොනල්ඩ් මුදන්නායක ඉස්සරහ දොරින් ගෙට එනකොට, පොඩොස්සිව කාමරේ තනිකර, පස්ස දොරින් එළියට බැස මග ඇරලා ඉඳිති….එහෙම ඉන්න උන්ගේ ගෙවල් බලාගෙන ඉන්දැද්දී දියුණු වෙන බව ගමේ උන්ගේ විස්වාසයයි….ඒක එහෙම වෙච්ච තැන් කීපයක්ද උදාහරණ වසයෙන් ඇත….ජැපේ රාළහාමි මුදන්නායක වළව්ව එක්ක හැප්පී මුදන්නායකලා අතින් මැරුම් කැවේය…ඩොනල්ඩ් හාමු ජැපේ රාළහාමි කම්බස් කොට රාළහාමි බංගලාව කුඩු සංසාර කර, තළා පොඩි කර දැම්මේය…ඒත් ජැපේ රාළහාමිගේ දූලා ටික ඩොනල්ඩ් හාමුට ගෙට එන්ට ඉඩ දුන් නිසා, අද ජැපේ රාළාමි බංගලාව බලන්ට ලස්සනය…..ඒකෙ තියෙන සාර සම්පත් අතින් මුදන්නායක වළව්වටත් එහාය….ඔය එක උදාහරණෙකි….
තව ඉතින් බැලුවොත් කොරලියා හාමිනේගේ එක දුවෙක් ඩොනල්ඩ් හාමුගේ ඇඳට නැග්ග අතර, අනිත් දුව ඩොනල්ඩ් හාමුට වත්ත හතර මායිමේ එන්ට නුදුන්නාය….පතිවත රැකගත් එකී අද අනාථය….ඒකිගෙ හිඟන පැල් කොටේට වැලේ වැල් නැත….ඩොනල්ඩ් හාමු අතින් අනාථ වෙච්ච එකී නම් එන්න එන්නම බබළනවාය….අද ඒකි ඉන්නෙ දිව්‍ය භවනකය…සාදර අනුග්‍රහය ඩොනල්ඩ් හාමුගේය…මෙහෙව් ගමේ පතිවත රැකගෙන මොටදැ‍යි අපටත් හිතෙනවාය…
අමාරිස් පීරිස් යනුවෙන් අප කවුරුත් දන්නා ගැටයාද ඩොනල්ඩ් හාමුගේම අවජාතක දරුවෙකි…. ඌ ඇවිල්ලා ඩොනල්ඩ් හාමු “සදංහාමිගේ” ගෙට රිංගීමේ අනිසි ප්‍රතිඵලයකි….අමාරිස් පීරිස් කියන්නේ ගමේ ඔය හරියෙම ගෙවල් වලට ඩොනල්ඩ් හාමු රිංගා ජාතක කොරවාපු අනිත් උන්ට වඩා මහ නහර කාරයෙකි….ඌට ඔය කරෝල කෑල්ලක් එක්ක බච් ඩිංගක් කොටාබාල පැත්ත බලාගෙන ඉන්ට බැරිය….ඌට ගමෙන් කොටහකට අයියා වෙන්නම ඕනෑය…යන්තං දණ ගාන කාලේ ඉඳන් ඔය උණ තිබ්බ කොලු ගැටව් හත් අට දෙනෙක්ම ගමේ ඔය ඉසව්වේ හිටියාට දැන් උන්ට එච්චර වගුතුවක් නැත…තුන්වේල කන්නේද බෝම අමාරුවෙනි….උන් මුදන්නායක වළව්වේ වීදුරු බිඳන කාළයේ අප්පගේ ඇටේවත් නොහිටි අමාරිසා මේ ඩිංග කාළෙට අත පය දිගෑරපු මදාවියෙක් උනේ කොහොමදැයි කියන එක ගැන ගම්මු එක එක කථා කියන්නෝය….සමහරුන්ට අනුව නම් අමාරිසා හොරෙන් හොරෙන් අප්පලෑ දිහා, ඒ කියන්නෙ මුදන්නායක වළව්වටම රිංගනවාය…..ඌ හිටි අඩියෙ මෙච්චර උස් මහත් උනේ මුදන්නායකලා ඌට හොරෙන් හොරෙන් කන්න අඳින්න දෙන නිසාය…මොනවා උනත් ඩොනල්ඩ් හාමුට ඌව දකිනකොට පිය සෙනෙහෙ කකියනවාය….පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදි කියන්නේ ඒකලුය…මොනා උනත් තමුන්නෙ ලෙයින් ජාතක වෙච්ච එකා නොවැ….
ඒව්වෑ ඇත්ත නැත්ත කෙසේ වෙතත් අමාරිස් පීරිස් දැන් මුළු ගමම හකුළෝන මදාවියෙක් වී සිටියි….උගේ නම ඇහුණත් අහළ පහළ යායවල ගොයියෝ කෙල්ලෝ ගෙට ගනිති….කෙල්ලෝ ඉතරක් නොව කොල්ලන්වද ගෙට දමා රකිති….මූ ගෙවල් ගිනි තියයි…මුගෙන් බේරෙන්න ඌ ඉන්නා “මැද යායේ” ගොයියෝ දරු පැට්ටන් තුරුල් කොරාන පවුල් පිටින් අහළ පහළ යායවලට දුවති.. මේ ළඟදි වැව පැත්තෙන් පැනලා යන්න හදපු ගොයි පවුලක් ගිය ඔරුව පෙරළී එක දරු සිඟිත්තෙක් ඌරා වත්තට ගොඩ ගැහුවේය….ඒක දැක්ක මුළු ගං තුලානම අමාරිස්ට හෙණ ඉල්ලුවෝය….කොටින්ම කිව්වොත් මේ පාදඩයා ඊයේ පෙරේදා මේ ගංතුළානේ තිබ්බ පරණම දේවාල වලින් එකකට ගිනි ලෑවේ මුළු ගමම “අනේ අපොයි දෙයියොම බලාගන්ට මේ නස්පැත්තිය” කියද්දීය….අමාරිසාට ගමේ පරණ දේවල් වලින්, ඉතිහාසෙන් වැඩක් නැත….ඌ කියන පඩත්තල වැදිබණේ කවුරුත් අහන්ට ඕනෑය….වෙන අනම් මනම් වානාය….එක අතකට අප්පගෙම පුතා නොවැ….ඇරපු අතක් නෑ…අප්පගෙම ගතිගුණ තමා පුතාටත් පිහිටලා තියෙන්නේ….ඌ හඳ පෙන්නා ඉර කිව්වොත් අපි ඒක ඉර කියලා පිළිගන්ට ඕනෑය….ඩොනල්ඩ් හාමුවාත් ඔහොම්මයි…අප්ප කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටියෙ පුතාය…අවජාතකයා කියල වෙනසක් ඇතෑ….?….
ගම්මු අමාරිසාට හෙණ ඉල්ලති…පළි ගසති….ගම්මිරිස් අඹරති….අබ පුච්චති…රූප කටු ගසති…පොළවේ හැපෙති…වස්කවි කියති….අමාරිස් පීරිස් කියන්නේ ඩොනල්ඩ් හාමුගේ අවජාතක එකෙක්ය කියන එක ගමම දන්නා රහසක් බව ඩොනල්ඩ් හාමුද දනී….ඒ නිසා ගම්මු අමාරිසාට හෙණ ඉල්ලනකොට තමුන් කට වහන් හිටියොත්, මුදන්නායකලාට පාරේ රෙද්දක් ඇඳගෙන යන්න බැරි වෙන බව දන්නා නිසා ඩොනල්ඩ් හාමුද ගම්මු එක්කම අඬයි….අමාරිසාට හෙණ ගහන්ට ඕනෑ බව කියයි….ඒ මිරිස් ඇඹරිලි, පළි ගැහිලි වලට සහබාගී වේ….
“හාමු මහත්තයො…අපි මේ පළි ගහන්නෙ, වස් කවි කියන්නෙ අපේ තියෙන බැරි කමට….තමුන්නාන්සෙ එහෙම කොරන්නට ඕනැය?….තමුන්නාන්සෙට ඕන නම් මේ අමාරිසා එක සිවිඩ්ඩට අල්ලලා උඩු කුරුඤ්ඤං කොරන්ට ඇහැක් වරු බාගයක් යන්ට ඉස්සෙල්ලා…!…ඉතින් තමුන්නාසෙ මේ වෙන ආසක්කු බලාගෙන පළි ගහ ගහ ඉන්නෙ අහවල් ඒකටද?”  
කියා ගම්මු අහනකොට ඩොනල්ඩ් මුදන්නායක ඒවා නෑහුණා සේ ඉඳියි….අමාරිසාට කටින් දෙස් දෙවොල් තියයි…
අමාරිසා සිරිල්ලෑ ගෙදරට ගිනි තියා උන්නේ දෝණි ඇන්දෑටද හදි කොරන්ට ලෑස්ති වෙන අස්සේ මුළු ගමම බිරාන්ත වෙලා බලාගෙන ඉන්දැද්දී ඩොනල්ඩ් හාමු අහක බලාගෙන හිටියේය….අමාරිසා දැන් ඩොනල්ඩ් හාමුට කොන්ට්‍රෝල් නැති උනත්, ඔය සිරිල්ලෑ වත්තට අමාරිසාට රිංගන්ට පාර කැප්පෙව්වේ ඩොනල්ඩ් හාමුය….ඒව්වා අමතක වෙන්ට ගම්මු මැරිලා ඉපදිලා නැත….
ඔය අව් අස්සේ සිරිල්ලෑ පරාණ මිත්තරයා වෙච්චි ගමේ කොයි කවුරුත් දන්නා ගණන් කාරයෙකු වන “රුබේරු රතුවිතාන” ඔතෙන්ට පිඹගෙන ආවේය… රුබේරු කියන්නෙ හයේ හතරේ සද්දන්ත පුරුසයෙකි…ඒ වගෙම යමක් කමක් තියෙන වැඩකිඩ ඇහැක් හාදයෙකි…ඔය රුබේරුවා අද ඔහොම හිටියට ඉස්සර ඔවුනුත් වළව් කාරයෝය…ඒ කාලේ “රතුවිතාන වළව්ව” සද්දන්තය…. කොටිම්ම කිව්වොත් රතුවිතාන වළව්ව කියන නම ඇහෙනකොට ඩොනල්ඩ් හාමුගේ චක් ගෝලයන්ට සරං පොජ්ජ වල හුජ්ජ යනවාය….කොටිම්ම කිව්වොත් සද්දන්ත ඩොනල්ඩ් මුදන්නායක හාමු මහත්තයා පවා තිගැස්සිලා ඇහැරෙනවාය…රතුවිතානලාට බයේ ඩොනල්ඩ් හාමුයි, හාමුගේ චක් ගෝලයොයි එක්කාසු වෙලා සමිතියකුත් හදා ගත්තෝය… ගමේ එකාලා ඒකට කියන්නේ “නැතෝ” සමිතිය කියලාය….
අද රතුවිතානලාට ඒ තරම් හයිකාරකම් කොරන්ට බැරුවාය…කොටිම්ම කිව්වොත් ඒ මහා සද්දන්ත වළව්ව ගරා වැටී, අද ඔවුන්ට රතුවිතාන කියන වාසගමත් නැතිවෙලාය….ඒ උනත් රුබේරුවා උපන්නේ ඒ වළව්වේ මුදුන් සමයේය….රුබේරුවා උපන්ගෙයි මරුමුස් වෙලා තීන්නේ ඒ නිසාය….
පිඹගෙන ආපු රුබේරුවා ආ අතින්ම අමාරිසාගේ බෙල්ල මුලින් අල්ලාගෙන තල්ලු කරගෙන ගොස් ගහකට හේත්තු කලේය…දැන් රුබේරුවා අමාරිස්ට හිටු කියලා සබ්බුව දෙයි….”ඩිෂා…ඩිෂා” සද්දේ අපේ ගෙදෙට්ටත් ඇහෙයි….අමාරිසා පුල් අන්දොස් වෙලා මර ළතෝනි දෙයි…
“ආයි…ආයි…..රුබේරු අයියේ…අම්මෝ…!…ගහන්න එපෝ…!…බෙල්ල, බෙල්ල, ආයි, ආයි…!….අම්මෝ…!…බුදු තාත්තේ මාව බේර ගනියෝ….!…මෙන්න රුබේරුවා මාව මරන්න තනනෝ…!…අම්මෝ…!”  
ගමේ උන් රුබේරුවාට උජ වඩති…“එළ රුබේරු අයියා….කමෝන් රුබේරු…!…ඇර රුබේරු ඇර…!…කම්බස් කරපව් පුතේ ඕකා…!” .. රුබේරුවා දැන් ගමේ උන් අතර සුපර් ඉස්ටාර් කෙනෙක් වේගෙන එනවාය….ගමේ කෙල්ලෝ රුබේරුවාගේ පිම්බිච්ච මස් ගොබ එහෙට මෙහෙට හෙළවෙන හැටි බල බලා චීත්ත නෙරියේ අත පිහිනවාය…කොමළ කොරනවාය….ඉඟි බිඟි පානවාය….
මේ උජ වඩන පිරිස අතර ඩොනල්ඩ් හාමු සහ හාමුගේ චක් ගෝලයන් බලා සිටිති…උන් බලාගෙන ඉන්නෙ සන්තෝසයෙන් නම් නොවන බව උන්ගේ මූණු වල ඉරියව් වලින් පැහැදිලිය….උන් බලාගෙන ඉන්නෙ පිටතට පෙන්නන්න බැරි දුකක් පපුතුරේ හංඟාගෙනය….ගම්මු ඉඳහිට හාමු මහත්තයාගේ මූණ දිහා බලන විට මොනවා හරි කියා තොල් මතුරයි….”හරි නම් තමුන් කරන්ට ඕන වැඩේ රුබේරුවා නොමිළේම කරලා දෙන නිසා ඩොනල්ඩ් හාමුත් සන්තෝසෙට අට ඉස්බක් උඩ පනින්ට ඕනෑ නේදැයි” ගමේ එකීලා මුණු මුණු ගාති…ඒත් ඩොනල්ඩ් හාමු රුබේරුවා අමාරිසාගේ ගිරිය මිරිකන දෙස නිසලව බලා සිටියි….බැරිම තැන ඩොනල්ඩ් හාමු කට දමයි….
“රුබේරු…රුබේරු….ඔය ඇති යකෝ…!…ඕකා මැරිලා යයි ඔහොම ගහන්න ගියොත්”…..
“හාමු මහත්තයා මේ…!..මේක මායි අමාරිසයි බලාගන්නන් අරි….?…හාමු මහත්තයා තත්තෙ තියාගෙන ඔතනට වෙලා හිටියොත් හොඳයි…” .. ඒ මරුමුස් රුබේරුවාගේ පිළිතුරයි….
“හරි හරි රුබේරු…ඕකා නසරාණියා තමයි… ඒ උනාට මේවා විසඳන ක්‍රම තියෙනවනෙ….අපි ඕකාව උසාවි ගෙනෙහින් අච්චු කරමු….ඔහොම ගහල මරන එක මේ ගමටත් හොඳ නෑනේ…”
“ඩොනල්ඩ් හාමු මේ…!…අම්මට හු*න කථා කියන්න එපා…!..මූ මේ ගමට මෙච්චර විනාසයක් කරා හාමු මහත්තයා දැක්කෙ නැද්ද…?…ඇස් පොට්ට වෙලාද හිටියේ….මූව උසාවි ගෙනිහින් අච්චු කරන්න කල් සූඩේ වෙලා තියෙයි….මම මූව අද මෙතනම උඩු කුරුඤ්ඤං කොරනවා…..ඉඳා…..”……”ඩිෂා….ඩිෂා”….
දැන් අමාරිසාගේ පණ යන්න ඔන්න මෙන්නය….උගේ මූණ නිල් වෙලා, ගිරිය රතු වෙලාය….රුබේරුවා මරු නිළම බල බලා සබ්බුව දෙයි….ගම්මුද උඩ පනිති…..
ඩොනල්ඩ් හාමුට දැන් රුබේරුවාට දෙකක් වනා අමාරිසා බේරා ගන්නත් බැරිය….මොකෑ කිව්වොත් ඩොනල්ඩ් හාමුවා ඔය වීර පුරුසයා වගේ උන්නට රුබේරුවාට පට්ට බයය….රුබේරුලාගේ රතුවිතාන වලව්ව දැන් තිබ්බ තැන්වල ගසුත් පැළ වෙලා තිබුණත්, ඒ කාලේ ඇඳන් යට හංගාපු කඩු කිණිසි, බෝර දොළහවල් තාම රුබේරුවාට තියෙනවාය….අනික රුබේරුවා කියන්නේ පැටි වයසෙ ඉඳන් මේ ආයුධ පාවිච්චි කොරන්න ඉගෙන ගත්තු එකාය….ඌට මළ පැන්නොත් ඔය කොච්චර ආටෝප තිබ්බත් ඩොනල්ඩ් මුදන්නායක වළව්වටත් හාන්සි වෙන්නම වදිනවාය…..රුබේරුලාගේ පරම්පරාවෙ එවුන් මළාට ගේමක් අතාරින්නෙ නැත….උන්ව පතබාවන්න හිතන් ගියපු හයේ හතරේ චණ්ඩි ඔක්කොම අන්තිමට එළියට ආවේ අමුඩ කෙටිත් නැතුවය….රුබේරුලාට නැති වෙන්න දෙයක් නැති නිසා, උන්ගේ ඇහි පිල්ලමේ හරි පණ තියෙන කල් ගේමය….නැතිවෙන්න දෙයක් නැති එවුන්ට ඩොනල්ඩ් හාමුලා හරිම බයය….මොකද ඩොනල්ඩ් හාමුලාට නැතිවෙන්න දේවල් ඕනෑ තරම් තියෙන නිසාය….ඒ නිසා අපේ වගේ හිච්චි ගෙවල් වලට දාන සත්තම් රුබේරු රතුවිතානලාට දාන්න ඩොනල්ඩ් හාමු යන්නේ නැත….
අනිත් අතට වෙන දෙයක් වෙච්චාවෙ කියා ඩොනල්ඩ් හාමුට අමාරිසා බේරා ගන්න ඉදිරියට පනින්න විදියකුත් නැත…මෙච්චර කළක් ග්‍රාම සංවර්ධන සමිතියේ සහ පන්සලේ හතර පේරුවේ දායක සභාවේ “මනුස්සකම, දයාව, කරුණාව” ගැන මුදුන් ලීයෙන් බේරෙන ටෝක්ස් දුන්නු ඩොනල්ඩ් හාමුට ඉස්ත්‍රී දූෂක, මිනී මරු, කාපාලුවෙක් බේරගන්න කලිසමක් ඇඳගෙන යන්ට බැරිය…..ගියොත් රැස්වී සිටින ගම්මු ඉදිරියේ හාමුගේ සළුපිළි ඌර්ධවපාතනය වනු ඇත….
අමාරිසා විලාප කියනු ඇසේ….ඩොනල්ඩ් හාමු අහක බලා ගනියි….හාමුගේ ඇහේ කඳුළකි….ඒ අවජාතකයා වුවත් අමාරිසා තමුන්නේ පුතා නිසාය….මොන අසමත්ජාති වැඩේ කළත් තාත්තාගේ ලේ දරුවන් වෙනුවෙන් හැමදාම කකියනවාය….ඒක ඉර හඳ පවතින තුරු එහෙමය…..
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදිය…..
( සියළු නම් ගම් මනං කල්පිත වුනත් සිරියාවේ මේ වනවිට පවතින “අයි.එස්.අයි.එස්” (ISIS) අර්බුදයට සහ ඊට රුසියාව සහ ඇමරිකාව දක්වන ප්‍රතිචාරයන්ට  කැමති කෙනෙක් සම්බන්ධ කර ගත්තාට කමක් නැත…. ) 

 

කාලාමයෙනි ඔබ….! ( තෙවැනි පිදුම )

“I am all-powerful Time which destroys all things, and I have come here to slay these men. Even if thou doest not fight, all the warriors facing thee shall die” –  Lord Krishna to Arjun  ( Bhagavad Gita – Chapter 11, Verse 32  – Note: Same misquoted by Oppenheimar )

මම වෙම් සර්ව බලශක්ථ කාළ පුරුෂ කැටිව එන මරණය, මා මොවුහු නැසුමට ආමි…නුඹ සටන් නොවැදුණත්, නුඹට වතපාන සියළු රණ ශූරයෝ මියෙති”  – ක්‍රිෂ්ණ දෙවිඳු අර්ජුන් සෙනෙවියාට රථාචාර්යව සිටිමින් දෙසූවකි.. ( භගවත් ගීතාව, පරිච්ඡේදය 11, පැදි 32  – 1945 මෙලොව පළමු න්‍යෂ්ඨික සහ-අවිකාරකය ජනිත කළ “ට්‍රිනිටි” න්‍යෂ්ඨික පරීක්ෂණය අවසානයේ මහා විදුදර රොබට් ඕපන්හයිමර් මෙයම සාවද්‍ය ඇසුරකින් කියන ලදී )

න්‍යෂ්ඨික යුද ශීර්ෂ යම්තම් හෝ කරළියට සපැමිණියහොත් එතැන සිදුවිය හැකි දේශපාලනික සහ සාමාජීය තැති ගැන්ම කෙතරම්ද යන්න ඉන්දීය රාජ්‍ය පාලකයන්ට අවබෝධ කරවන සිදුවීම් දාමයක් එසේ නිමවිය…

ඉන්දියානුවන්ගේ රැකවරණය තකා බෙංගාල බොක්කට පැමිණි සෝවියට් සබ්මැරීන ගෙන ආවේ යම්තම් TNT කිලෝටොන් 200 ක ශක්තිය ජනනය කරවන න්‍යෂ්ඨික යුද ශීර්ෂ කිහිපයකි…ඒ කුඩා නෞකා නාශක න්‍යෂ්ඨික යුද ශීර්ෂ ඉන්දීය දොරකඩට පැමිණි සුපිරි බලවතුන් කෙතරම් භීෂණයට පත් කළේදැයි ඉන්දිරා ගාන්ධි සියැසින් දුටුවාය…

ඇය වහාම ස්වකීය ආරක්ෂක මණ්ඩලය කැඳවා ඉන්දීය ජන රජයේ අනාගත අභිලාෂයන් සම්පූර්ණ කරගැනීමට එරටට තිබිය යුතු න්‍යෂ්ඨික නිවර්තන ශක්‍යතාවය ලබාගන්නේ කෙසේදැයි තමාට උපදෙස් දෙන ලෙස ඉල්ලා සිටියාය…දෙහෙරාදුන්හි සිට පැමිණි මහාචාර්ය රාජා රාමන්න ඇතුළු පිරිස ඉන්දියාවට “අවි ශ්‍රේණියේ ප්ලූටෝනියම්” (Weapons – grade Plutonium) සපයා ගත හැකි බව පවසා, එවැනි පරීක්ෂණ මට්ටමේ න්‍යෂ්ඨික පිපිරවීමක් සිදුකළ හැකි බවට සහතික කළේය…

මේ අනුව නැවත වතාවක් සියළු ගුණ සහ අගුණ වල බර කිරා බලා 1972 වර්ෂයේ සැප්තැම්බර් Bhaba Atomic Research Center (BARC) මධ්‍යස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යනි ඉන්දිරා ගාන්ධි මැතිණිය, යුදමය කටයුතු සඳහා භාවිතා කළ හැකි න්‍යෂ්ඨික මෙවලමක් අත්හදා බැලීම සඳහා මහාචාර්ය රාජා රාමන්න ඇතුළු පිරිසට අවසරය දුන්නාය…

න්‍යෂ්ඨික යුද ශීර්ෂයක් සඳහා අවශ්‍ය පරීක්ෂණ කටයුතු ඇරඹීමේදී ඉන්දියාව මුහුණ දුන් ප්‍රධානතම දුෂ්කරතාවය වන්නේ ඒ සඳහා අවශ්‍ය පළපුරුද්ද සහ කළ පුරුද්ද සහිත විද්වතෙකු ඔවුන්ගේ ඉංජිනේරු කණ්ඩායමේ නොසිටීමයි…ආචාර්ය රාමන්න මේ සඳහා රුසියානු ජාතික න්‍යෂ්ඨික භෞතික විද්‍යාඥ සුප්‍රකට ඇන්ද්‍රෙ සැකරොෆ්ගෙන් සහාය පැතුවේය…සැකරොෆ් මේ සඳහා යූලි කරිටෝන් ඉන්දියාවට එවුවේය…කරිටෝන් මාස හයක කාළයක් තුල ප්ලූටොනියම් පදනම සහිත න්‍යෂ්ඨික යුද ශීර්ෂයක් නිපදවීම සඳහා ඇවැසි මූලික පුහුණුව ඉන්දීය විශේෂඥයන්ට ලබා දුන්නේය.

මෙම පුහුණුව සමග 75 දෙනෙකුගෙන් සමන්විත න්‍යෂ්ඨික ව්‍යාපෘති සභභාගීත්වය පහත පරිදි කණ්ඩායම් වලට බෙදා වෙන් කරන ලදී:

  • Nuclear System Design Team
  • Detonator Development Team
  • Plutonium Core Fabrication Team
  • Electronic Detonation System Team
  • High Explosives Implosion System Team
  • Neutron Initiator Team
  • System Integration Team

මේ සියළු කණ්ඩායම් වල අධීක්ෂණ නියමුවා ලෙස ඉන්දිරා ගාන්ධි මැතිණියගේ රෙකමදාරුව පරිදි අබ්දුල් කලාම්යන් පත් කෙරිනි….

යුදමය සන්නද්ධ අරමුණක් සඳහා න්‍යෂ්ඨික දාම ප්‍රතික්‍රියා ජනනය කරන බල ශක්තිය යොදා ගැනීමේ වැඩසටහනකට අබ්දුල් කලාම් බඳු සාමකාමී මිනිසෙකු තම උගත්කම මෙහෙවරෙහි යෙදවූ හෙයින් ඔහු ශ්‍රේෂ්ඨ මිනිසෙකු ලෙස සැළකිය හැකිදැයි මෙය කියවන ඔබට ගැටළුවක් මතුවනු ඇත….

මෙම ගැටළුවට පිළිතුරක් වශයෙන් කිව යුත්තේ කාලාමයන් යනු ” රාජ්‍ය ඒකකය” නම් සමාජ ව්‍යුහය ගැන දෙන අප්‍රායෝගික ජාත්‍යන්තරවාදී දාර්ශණික “ටෝක්ස්” වලට සීමා වුනු “ටෝක්” කාරයෙකු නොවී, රාජ්‍ය, මාතෘ භූමිය, මව් බිමෙහි උරුමය යන පාර-භෞතික වුවද අත්‍යාවශ්‍ය ජීවන සාධක වලට මුල් තැන දුන් අයෙකු බවය…

සාමය, නිරවිකරණය, ජාත්‍යන්තරකරණය, දේශ සීමා අතික්‍රමණය කරන මානව දයාව යනාදි මේවාට ආදරය කරන බව පෙන්වමින් ඒවායේ දේශකයෙකු වන්නට ඕනෑම ප්‍රාමාණික උගතෙකුට හැකියාවක් තිබේ…නමුත් පියවි ලෝකය තුළ දේශ සීමා මායිම්, ඒවා මත ඇතිවන ගැටුම්, ජාතික පැවැත්ම සහ ජාතික නිපැත්ම නිසා ඇතිවන ගැටුම්, මහ පොළවේ යථාර්තය නිර්මාණය කිරීමට දායක වෙයි….සංවාසය, සහවාසය, සහයෝගය පමණක් නොව ඝට්ටනයද යථාර්තයේම කොටස් ලෙස ඉස්මතු වනවිට, ඒවාට මෙල්ල කිරීම සඳහා නිසි පියවර ගන්නා මිනිසුන් අතරද ශ්‍රේෂ්ඨයෝ වෙති….මෙනයින් ඊනියා දේශ සීමා විරහිත චින්තනයක් ඇත්තන්ට හෝ විදේශිකයන්ට කාලාමයන්ගේ මෙකී දායකත්වය උත්තරීතර ලෙස දකින්නට නොහැකි වුවත්, ඉන්දීයයන්ගේ ඇසින් එය එරට රැකවරණයට කරන ලද ගෞරවාර්හ සේවාවක් ලෙස හැඳින්විය හැකිය…..

යුද සැළසුමකදී වඩාත් වැදගත් වනුයේ තමාට ඉදිරියෙන් තිබෙන දෙය නොව, පිටුපසින් තිබෙන දෙයයි…තම දේශයත්, ජනතාවත් තර්ජිතව සිටින මොහොතක, මේ පිටුපසින් තිබෙන දේ රැක ගැනීම සඳහා ඉදිරියෙන් එන දෙය කවර ආකාරයක හෝ දණ්ඩනයකින්, තර්ජනයකින් හික්මවීමට සිදුවේ…

එබඳු සේවාවකට කැප වූ මිනිසෙකුට සතුරා මෙල්ල කර ගැනීමට යෙදිය යුතු කවර පරිමාවක උපක්‍රමයක් වුවද යෙදීමට සිදුවේ…අවි තැනීම සහ රැස් කිරීම වනාහි නිතරම හිංසාව හෝ ප්‍රචණ්ඩත්වයට් දිය හැකි පසුබිම් තේමාවන් පමණක් නොවේ…හිංසකයන්ගෙන් අහිංසකයන් රැක ගැනීම සඳහාද අවි තැනීමට සිදුවේ…අවි පරීක්ෂණ පැවැත්වීමට සිදුවෙයි…ලෝකය මේ අවි තැනීමෙහිලා යම් පරාමිතීන් වෙත ගොස් ඇත්නම් ඒ සා විශාල තර්ජනයන්ගෙන් ගැළවීම පිණිස එකී පරාමිතීන් තම දේශයටත් ගෙන ඒමට අවි පිරියෙසුවන්ට සිදුවෙයි….

කාලාමයෝ මෙ සමයෙහි ඉන්දියාවට ඉටු කළ සේවය එයයි….

බුදුන් සිනාසුණු දා …..( The “Smiling Buddha Test” – Pokran – Rajasthan) 

ඉන්දියාව මෙසේ සැරසුණු සිය පළමු න්‍යෂ්ඨික ඒකක පිපිරවීමේ පරීක්ෂණයට “සිනාසෙන බුදුන්” යන නම තබන ලදී…මෙයට පරස්පර විරෝධී හේතු දක්වන්නෝ වෙති…ඇතැම් අයට අනුව මේ නම තබන ලද්දේ “පරමාණුව” නම් සංකල්පය ග්‍රීසියේ ඩිමොක්‍රිටස්ටත් පෙර මුල් වරට ලොවට හඳුන්වා දෙන ලද්දේ භාරතීය දාර්ශණික ගෞතම බුදුන් වහන්සේ යැයි සැළකෙන හෙයින් උන් වහන්සේට කරන ගෞරවයක් ලෙස භාරත භූමියේ පළමු වරට සිදුකෙරෙන මෙම පිපිරුම් පරීක්ෂණය එනමින් හැඳින් වූ බවය…මෙහිලා තවත් ජනප්‍රිය මතයක් වන්නේ මෙම පරීක්ෂණ මාලාවේ ප්‍රධාන නියමුවා වන මහාචාර්ය රාජා රාමන්න තරමක බෞද්ධ නැඹුරුවක් සහිත අයෙකු හෙයින් මෙවැනි නමක් යොදා ගන්නට ඇති බවය…එමෙන්ම තවත් කතන්දරයක් වන්නේ 1974 මැයි මාසයේ වෙසක් පොහෝ දිනයට සමගාමීව මෙම පිරියෙසුම සිදුකළ හෙයින් එයට මේ නාමකරණය යෙදුනු බවයි….

( An Interview with Dr. Raja Ramanna where he expresses his understandings & views on Buddhism : An Interview with Dr. Ramanna

)

1974 මැයි මාසයේ පළමුවැනිදා රාජස්ථාන් ප්‍රාන්තයේ මෙම න්‍යෂ්ඨික අවි පරීක්ෂණය සිදු කෙරෙන පොක්-රාන් කාන්තාරයට ජෝදාපුර් සිට පැමිණි ඉන්දීය හමුදාවේ 61 වැනි ඉංජිනේරු රෙජිමේන්තුව විසින් මීටර් 107 ක් ගැඹුරු භූගත කුටීරයක් ඉදිකරන ලදී….

අනතුරුව අබ්දුල් කලාමයන්ගේ, මහාචාර්ය රාජා රාමන්නයන්ගේ, ඉන්දීය හමුදා ඉංජිනේරු කර්නල් සුබ්‍රෙවාල්ගේ, සහ අයියනගර්, බාළක්‍රිෂ්ණන් යන රුසියාවේ විශේෂ පුහුණුවක් ලැබූ විද්‍යාඥයන්ගේ දැඩි අධීක්ෂණය යටතේ අධි පීඩක තත්වයේ ප්ලූටෝනියම් අඩංගු කිලෝග්‍රෑම් 1400 බර, මීටර් 1.25 ක විෂ්කම්භයකින් යුතු ෂඩාස්‍රාකාර පරීක්ෂක උපාංගය එම කුටීරයට බහාලන ලදී….මේ බහාලීම සිදුවූයේ 1974 මැයි මාසයේ 15 වැනිදාය…මෙහිදී බාලක්‍රිෂ්ණන් නම් විදුදරයා විකිරණශීලී කුටීරයක ඇතිවිය හැකි අවදානමද නොතකා එම කුටීරයට බැස අදාළ බහාලුම් ක්‍රියාවලිය නිරවද්‍ය ද යන්නත්, පරීක්ෂණය ආරක්ෂිතව සිදු කළ හැකිද යන්නත් විමසා බලන ලදී… අනතුරුව එම කුටීරය කොන්ක්‍රීට් යොදා සීල් තබන ලදී….

මේ මොහොතේදී අදාළ උපාංගය එකළස් කල කුටිය පාලක මැදිරියක් කරගෙන එහි සිටි මහාචාර්ය රාජා රාමන්නට දුරකථනයෙන් ඇමතූ අබ්දුල් කාලාමයෝ “යකා කූඩුවට දමන ලදී” යන වදන් වලින් පරීක්ෂණය සඳහා සියල්ල සූදානම් බව දැනුම් දුන්නේය….

මෙතැන් සිට මේ පිරියෙසුමේ උද්වේගකර කථාව රාජ් චෙන්ගප්පා  ගේ Weapons of Peace (2000) ග්‍රන්ථය සහ චිදම්බරම් සහ රාජා රාමන්න ප්‍රධාන විදුදරයන්ගේ Some Studies on India`s Peaceful Nuclear Explosion (1975) යන වාර්ථා ග්‍රන්ථය පදනම් කරගෙන කියමි…

දිනය : 1974 මැයි 18
ස්ථානය: පොක්‍රාන් – ථාර් කාන්තාරය – රාජස්ථාන් ප්‍රාන්තය – ඉන්දීය ජන රජය
( ස්ථානීය ඛණ්ඩාංක : අක්ෂාංශ අංශක 27.09 දේශාංශ අංශක : 71.57 )

වේලාව උදෑසන 7.55 ය… මේ මොහොත වනවිට මහාචාර්ය රාජා රාමන්නයන්, ආචාර්ය ප්‍රනාබ් දස්තිදාර් යන මහත්වරු අදාළ පිරියෙසුම් අඩවියෙන් කිලෝමීටර් 5 ක් ඔබ්බෙන් වූ නිරීක්ෂක බංකරය වෙත යමින් සිටියහ….අබ්දුල් කලාමයන් පරීක්ෂණය සිදුවූ වහාම එහි තොරතුරු දිල්ලි අගනුවර “රතු බළකොටුවෙහි” රැඳී සිටි ඉන්දීය අග්‍රාමාත්‍යනී ඉන්දිරා ගාන්ධි මැතිණිය වෙත දැනුම් දීම සඳහා සූදානමින් සිටියේය…මේ මොහොත ආචාර්ය රාජ්ගෝපාල චිදම්බරම්ගේ මතකය ඇසුරෙන් ගතහොත්:

“..ඔබ දන්නවා ඉන්දියාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ උදේ 8 ට.. ඒ වගේ සිරකරුවෙක්ව පෝරකයට ගෙනියන මොහොතට සම්බන්ධ වෙන බන්ධනාගාර නිලධාරීන්ට ඇතිවන හැඟීම වගේ එකක් තමයි අපි කාටත් ඇතිවෙලා තිබුණෙ මගේ විශ්වාසයෙ හැටියට…. මොකද මේ පරීක්ෂණය සඳහා බොත්තම ඔබන්න නියමිත වෙලා තිබුණේ උදේ 8 ට….මොන තරම් සාමකාමී උපාංගයක් කිව්වත්, මේ කුමක් සඳහාද කියන එක රාමන්න මහතාත්, මමත් දැනගෙන හිටියා….නමුත් අපිට සුළු ප්‍රමාදයක් උනා…පරීක්ෂණ අඩවියට එල්ල කර තිබුණු අධි වේගි උපග්‍රහණයන් සහිත කැමරා පරීක්ෂා කරන්න ගිය සෙත් කියන ඉංජිනේරු මහත්මයා, ජීප් රථයේ කාර්මික දෝෂයක් නිසා එම ප්‍රදේශයෙන් ඉවත් වීම ප්‍රමාද උනා… කොහොම උනත් අන්තිමට අපි මේ බොත්තම එබීමේ ගෞරවය, ජීවිත අවදානම නොතකා මෙම උපාංගය සහ එයට අවශ්‍ය විකිරණශීලී මූලද්‍රව්‍ය මෙන්ම බැර ජලයත් කැනඩාවෙන් මේ ස්ථානයට ප්‍රවාහනය කෙරවූ ප්‍රනාබ් දස්තිදාර්ට හිමිවිය යුතු යැයි තීරණය කළා…”

උදෑසන 8.05 ට ප්‍රනාබ් දස්තිදාර්හු පිපිරුම සක්‍රීය කරවන බොත්තම ඔබන ලදී…ඉන් නිමේෂයකට පසුව මිහිකත කම්පාව ගැජුම් පෑවාය….

රීච්ස්ටර් මාපකයේ 5.5 ක භූමිකම්පාවක් සනිටුහන් කරමින් ලොවට අණුක ඥාණය හඳුන්වා දුන් රාෂ්ඨ්‍ර පෙළපතෙහි පළමු අණුක ඥාණ ගර්ජනය පොළවට මීටර් 107 ක් ගැඹුරෙහි මුදාහැරිණි….එක්වරම ඉහළ පොලා පැමිණි ශක්තිය විසින් ඔසවන ලද පොළව පළමුව මෙසේද,

SBuddhaHill640c20

දෙවැනුව හෑරී ගිය ආවාටය මෙසේද,

තෙවැනුව නිර්මිත ආවාට ගර්භය මෙසේද,

යනාදි වශයෙන් ශක්ති සංසරණයව විසිරී ගියේය…

මෙමගින් හෑරී ගිය ආවාටයේ දෘෂ්‍ය අරය මීටර් 50 ක් පමණද, දෘෂ්‍ය ගැඹුර මීටර් 20 ක් පමණද වන ලෙසට ගණන් බැලිනි….මූලික වශයෙන් මෙම පිපිරුම හේතුවෙන් භූ ගර්භයට හෑරී ගිය ආවාටයේ සත්‍ය අරය හෝ සත්‍ය ගැඹුර මිනිය නොහැකි වුවත්, 2012 වසරේ ගන්නා ලද අධි සුසර සහ අධි දීප්ත චන්ද්‍රිකා ඡායාරූප මගින් එහි සත්‍ය අරය මීටර් 105 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ….

භූගත න්‍යෂ්ඨික පරීක්ෂණයක හරස්කඩක් මෙම දෘෂ්‍ය ගැඹුර සහ සත්‍ය ගැඹුරද, දෘෂ්‍ය අරය සහ සත්‍ය අරයද වටහා ගනු වස් මෙහි දමමි…දෛවෝපගත ලෙස මෙම “සිනාසෙන බුදුන්” පරීක්ෂණයෙහි මෙවැනි හරස් කඩක් සොයාගන්නට නොමැති වූ හෙයින් මෙම ලියුම් කරුවා මෙහි දමන්නේ, මේ ඉන්දීය අවි පරීක්ෂණයට පිළිතුරු ලෙස ඉන්දීය ප්‍රතිමල්ලව පාකිස්ථානය විසින් සිදු කළ “කගායි – 1” න්‍යෂ්ඨික අවි පරීක්ෂණයෙහි හරස් කඩය…එම න්‍යෂ්ඨික අවි පරීක්ෂණය Nuclear Yield ( Nuclear Yield – The Accumulation of Energy volume / volumes discharged with the explosion of the nuclear device ) සහ කුටීර ගැඹුර ආදිය අතින් ඉන්දීය පරීක්ෂණයට බෙහෙවින්ම සමානය….

Effects_of_Nuclear_Weapons_Cross_Section_of_Crater

( Watch the test from 1:25 – 1:31 here :

)

පිපුරුම සමග මුදාහළ ශක්ති ප්‍රමාණය (Nuclear Yield) ට්‍රයිනයිට්‍රොටොලුයින් (TNT) කිලෝ ටොන් 8 ක පිපුරුමකින් මුදාහරින ශක්ති ප්‍රමාණයට සමාන ලෙස ගණනය කෙරිණි…මූලික වශයෙන් ඉන්දියාව සැලසුම් කර තිබුණේ කිලෝ ටොන් 20 ක ශක්ති ඵලදාවක් ලබාගැනීමට හෙයින්, මෙම අවගණනය උපහාසයට ලක් කිරීමට බොහෝ පසමිතුරු රටවල් ඉදිරිපත් වූවත්, ඉන්දිරා මැතිණිය ප්‍රමුඛ රජය සහ ඉන්දීය විපක්ෂය එක හඬින් තම දේශය සිදුකළ පරීක්ෂණයේ ගරුත්වය වෙනුවෙන් පෙනී සිටියහ…

( හිරෝෂිමාව මතට හෙළන ලද “පුංචි කොලුවා” කිලෝටොන් 15 ක පමණ ශක්ති ඵලයක්ද, නාගසාකිය මතට වැටුණු “ස්ථුල මිනිසා” කිලෝටොන් 20 ක පමණ ශක්තිමය ඵලයක්ද ජනිත කළ නිසා එවකට ඉන්දීය පසමිතුරු පිළේ සිටි එක්සත් ජනපදය මේ මුල් පිරියෙසුම ප්‍රහසනයට බඳුන් කළද, ඉන්දියාව න්‍යෂ්ඨික පරීක්ෂණයක් කරන්නට පෙළඹීම දැඩි දෝෂ දර්ශණයකට ලක් කරන ලදී )

අත්හදා බැලීමෙන් පසුව පොක්‍රාන් හි එම පෙදෙසට සංචාරයක් සඳහා පැමිණි ඉන්දිරා ගාන්ධි මැතිණිය ( අබ්දුල් කලාමයන් පිටුපසින් )
අත්හදා බැලීමෙන් පසුව පොක්‍රාන් හි එම පෙදෙසට සංචාරයක් සඳහා පැමිණි ඉන්දිරා ගාන්ධි මැතිණිය ( අබ්දුල් කලාමයන් පිටුපසින් )

1974 වෛශාඛ්‍ය මහෝත්සවය සහගාමීව “බුදුන් සිනාසුණු” පුවත පළමුව චිදම්බරම් අතින් රාජා රාමන්නයන් අතටත්, ඔහු අතින් අබ්දුල් කලාමයන් අතටත්, ඔහු වෙතින් රතු බළකොටුවටත්, එයින් ඉන්දිරා මැතිණිය සවනටත් ලැබිණි…

මේ සියල්ලට මූලොත්පාද සිද්ධිය ආවේ 1971 වසරෙන් බව මින් පෙර ලිපියෙන් සහ මේ ලිපියේ හැඳින්වීමෙන් මා කියා ඇත්තෙමි….බංග්ලාදේශ නිදහස් සටනට ඉන්දියාව දැක්වූ අනුග්‍රහයට එරෙහිව පාකිස්ථානය පසගෙන 1971 වසරේදී කළාපයට පිටින් පැමිණි සතුරන් අබිමුඛයෙහි ආරක්ෂාවේ නිරුවත පෙනී ලද අවමානය නිසා පෑරුණු ගර්වය සහිත ඉන්දියානුවන්ගෙන් බහුතරයට මේ පුවත මහාර්ඝයක් විය…රට පුරා ප්‍රීතිය පළකිරීම් මැද ඉන්දිරා මැතිණිය අතින් රාජා රාමන්නයන් හට “පද්ම ශ්‍රී” සම්මානයත්, කාලාමයන් ප්‍රමුඛ අනෙක් විදුදරයන්ට “පද්ම භූෂණ” සම්මානයත් පිදවුම් කරැවිණි….

ඇත්තෙන්ම ඉන්දියානුවෝ වූ කළී ස්වකීය දේශ රාමුව තුළ කවර ඌණතාවයන්ගෙන් පෙළෙන්නෝ වුවද, හෙළෙනික මහා කිවිසුරු හෝමර්ගේ “ඉලියඩ්” වීර කාව්‍යයෙහි එන අකිලීසයන්ගේ “මර්මද” ජනතාවෝ මෙන් කළාපීය බලවතාය යන ගර්වය දිවි හිමියෙන් සුරකින්නෝ වෙති….ඉන්දීය බලය තුලනය කළ හෝ අතික්‍රමණය කළ හැකි අනෙකුත් බලවතෙකුගෙන් කළාපයට යම් බලපෑමක් ලැබෙන විට ඔවුහු අපරිමිත කෝපයටත්, ශෝකයටත් පත්වෙති…

පසුකළක රාෂ්ට්‍රපති භවාන් හි චක්‍ර උද්‍යානයේ සිට නැවත 1974 දෙස හැරී බැලූ කාලාමයෝ එදවස විදුසුරු විරුවන් වූ රාජා රාමන්නයන් ප්‍රමුඛ ඔහුටත් ජ්‍යේෂ්ඨයන් වූ න්‍යෂ්ටික විද්වතුන් පිරිවර “මහා භාරත්, මංගලම්” වැනි වීර කාව්‍යයක බහා අනාගතයට කියවන්නට ඉතිරි කළ යුතු බව සටහන් කර තැබුවේය….

තමා යම් දිනෙක නැවත මෙයටත් වඩා බලවත් බිළින්දෙකුගේ ප්‍රසූතිය සඳහා ථාර් කතරට පැමිණෙන බව 1974 දි කාලාමයන්ට හැඟුණේ මෙම පරීක්ෂණයට එරෙහිව පාකිස්ථානය සහ චීනය දෙසින් ආ ඝෝරනාඩුවත්, යුරෝපය සහ ඇමරිකාව දෙසින් ආ අවඥා – පරවශ තර්ජනයත් කියවා ගැනීමෙන් පසුවය….

මෙවැනි දැවැන්ත විද්වතුන් අතින් මෙළොව එළිය දුටු ඉන්දීය සහ-අවි පරමාර්ථ න්‍යෂ්ඨික බිළින්දා රකුසෙකු කොට භාරත මාතාවගේ සතුරන්ගේ හිස්ගෙඩි වෙත යවන ආකාරය අබ්දුල් කලාමයෝ එවක් පටන් කල්පනා කළේය…..

මේ චින්තන අරගලයේ ප්‍රතිඵලය ලෙස කාලාමයන්ගේ මනැසේ “ගින්නෙන් උපන් කුමරු” ජනිත විය……

ගිනි දියෙන් දොවා “අග්නි” කුමරු දොරට වැඩූ හැටි මීළඟ ලිපියෙන් ……..

දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත…..

මේ වන විට 38 වැනි සමාන්තරකය තදින්ම උණුසුම් වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය ජාලයන් සහ ශ්‍රී ලාංකික මාධ්‍ය ජාලයන් සඳහන් කරති…ලංකාවේ මේ ඡන්ද උණුසුම සහ දේශපාලන විපරීතය නොතිබ්බා නම් මෙළහකටත් අපේ සයිබර් ප්‍රජාව මේ යුද්දයේදී තමන් සහාය දෙන පිළත් තෝරාගෙන අවසන්ය….උතුරු දකුණු කොරියාවල් අතර මේ කුකුළන් කෙටවීම දැන් දශක එකහමාරක පමණ කාළයක් තිස්සේ දකින නිසා මේ වතාවෙත් ලෝක විනාශයකට පාර කැපේ යැයි නොසිතමි…

මේ වාගේ සුළු දේශ සීමාන්තර සටන් ( Skirmishes ) කොරියානු අර්ධ ද්වීපයේ යන්නේ අද ඊයේ ඉඳලා නොවේ… මගේ මතකයේ හැටියට මේ රටවල් දෙක අතර සාපේක්ෂව උණුසුම්ම තත්වය හටගන්නේ 1999 වසරේදීය…එම වසරේ ජූනි මාසයේදී උතුරු දකුණු කොරියානු නාවික හමුදා යාත්‍රා ගැටී කහ මුහුදේ උතුරු මායිමේදී උතුරු කොරියානු නාවික හමුදාව දරුණු පරාජයකට ලක් වූ අතර උතුරු කොරියානු යුද සේලරුවන් 40 කගේ පමණ ජීවිත අහිමි විය…එමෙන්ම සංඛ්‍යාත්මක පිම්බීම කෙබඳු වෙතත්, තාක්ෂණිකව උතුරු කොරියානු ආරක්ෂණ යාන්ත්‍රණය කෙතරම් නග්න දැයි ලෝකයා හමුවේ පෙන්වා ගත්හ….

ඒ කාළේ අපි පාසැල් සිසුහුය…ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප් ලොවෙත් නැත…”ඉන්ටර්නෙට්” කියා දෙයක් කොළඹ ලොකු මහත්තුරු පාවිච්චි කරන බව අසා තිබුණත් දැකලා තිබුණේවත් නැත…ඒ නිසා මේ වෙඩි හුවමාරුව ගැන අපිට තොරතුරු ආවේ රූපවාහිනි මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය හරහාය….වර්ථමානයේදී යම් සිදුවීමක් සිදුවීමෙන් විනාඩි 30 ක පමණ Incident Plus කාළයකදී මුළු ලොවෙහිම Subscribers ලාට එම පුවත එහි “අනුමත සහ නිළ” ස්වරූපයෙන් Breaking News එකක් ලෙස යවන්නට අන්තර් ජාතික මාධ්‍ය ජාලයන් සමත්ය…ඒ කාළේ ඒ වගේ හැකියාවන් නොතිබුණු නිසා ගාල්ලේ අපිට වෙඩි තියාගත්තු එකේ තොරතුර ලැබෙන විට කහ මුහුද යළි සමාදාන වෙලාත් ඉවරය…

ඒ උනත් ඒ බව නොදත් අප පාසැලේ ජාත්‍යන්තර පුවත් ඔස්තාර්ලා “මේ වනවිට පවතින” තත්වය යැයි ඔවුන් නිර්මාණය කරගත් හිතලුවක් ලෙලවා කියන්නට සමත් වූහ…ප්‍රතිඵලය වූයේ කළුවැල්ල, මහමෝදර සහ කලේගාන, කරාපිටිය ප්‍රදේශ වලින් දකුණු කොරියාවේ රැකියාවන් සඳහා ගොස් සිටි පියවරුන්, සොයුරු සොයුරියන්, මිතුරන් අයත් සිසු කොටස් බෙහෙවින්ම කලබලයට පත් වී ඒ කාළයේ ගාල්ල වැනි දුරබැහැර ප්‍රදේශයක ඉතාම විරල පහසුකම් ලෙස සැළකුණ IDD දුරකථන පහසුකම සපයා දෙන තැන් වලට පවුල් පිටින් කඩා වැදීමයි…අන්තිමට ඔවුන්ගෙන් 90% කටම කොරියාවේ සිටින සිය ඥාති, මිතුරන්ගෙන් අසන්නට ලැබී ඇත්තේ ” ඒක පොඩි සීන් එකක්…ඇයි මේ කලබල වෙලා” යන වදන් පෙළය….

ජාත්‍යන්තර දේශපාලනය ගැන හසල දැනුමක් තිබුණු අප විදුහලේ උසස් පෙළට සහ සාමාන්‍ය පෙළට ඉගැන්වූ කොකාවල ගුරුතුමන්, විජයවර්ධන ගුරුතුමන් ඇතුළු ගුරු මඩුල්ලේ වියතුන් මුවින් නොබැණ සිටියදී, ළමිස්සියන්ට වැඩ පෙන්නීම සඳහා ටියුෂන් කඩපිල් වල ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂණයන් දියත් කළ “විශේෂඥයන්”  කී ආකාරයට උතුරු සහ දකුණු කොරියාව යුද වැදී, ඇමරිකාව උතුරු කොරියාවට පහර දී, එයට පිළිතුරු ලෙස චීනය ඇමරිකාවට පහර දී, ඇමරිකාවේ සහායට නේටෝ සංවිධානය පැමිණී, චීනයේ සහායට ඉන්දියාව සහ රුසියාව පැමිණී, අවසානයේදී නේටෝව චීනයට න්‍යෂ්ඨික අවි ප්‍රහාර එල්ල කොට, චීනය සහ රුසියාවද පෙරළා ඇමරිකාව ප්‍රමුඛ නේටෝ රාජ්‍යයන්ට න්‍යෂ්ඨික අවි ප්‍රහාර එල්ල කොට, අවසානයේ අප සියල්ලෝම න්‍යෂ්ඨික හිමකර ( Nuclear Winter ) යුගයක ගිලී, විකිරණ කේන්ද්‍රික පිළිකා සෑදී, නිරාහාරව මිය යෑමට ඉතාම ආසන්නව තිබිණි… කොටින්ම කිව්වොත් මේ න්‍යෂ්ඨික ලෝක විනාශය සිදුවීමට පෙර යුවතියක් සමග ලිංගිකව එක්වී සංතෘප්ත මිනිසෙකු ලෙස මිය යෑමට අපේක්ෂා කළවුන්ද එම අපේක්ෂාව ප්‍රසිද්ධ කරන ලද්දාහුය….ලෝක යුද්දය අපේක්ෂා කළ පරිදි සිදු නොවූ අතර, ඒ හේතුවෙන් යළි ජීවිත බලාපොරොත්තු ඇති කරගත් ගාල්ලේ 99-2001 උසස් පෙළ සිසු දැරියන් සිය කන්‍යාභාවය ගැන සැළකිලිමත් වූ හෙයින් අදාළ සිසු මිතුරන්ට ඒ වරම නොලැබුණු බව පසුව වාර්ථා විය…. 😀

කෙසේ වෙතත් මෙවර සිදුව තිබෙන්නේ කුමක්ද?

කෙටියෙන්ම කියතොත් දකුණු කොරියාව උතුරු කොරියානු රෙජීමය ඉලක්ක කරගෙන කරගෙන යනු ලබන ශබ්ද විකාශණ යන්ත්‍ර ප්‍රචාරයන්ට එරෙහිව යැයි කියමින්, පසුගිය බ්‍රහස්පතින්දා, එනම් 2015 අගොස්තු 13 වැනිදා, උතුරු කොරියානු දේශ සීමා ආරක්ෂක බළකායක් විසින් දකුණු කොරියාවේ සීමා මායිමට කාළ තුවක්කු වෙඩි ප්‍රහාරයක් එල්ල කොට තිබේ…එයට ප්‍රතිචාර දැක්වූ දකුණු කොරියානු කාළතුවක්කු සේනාංක උතුරු කොරියාවේ සීමා මායිමට ප්‍රතිප්‍රහාර කිහිපයක් එල්ල කොට තිබේ…කිසිවෙකුටත් මෙයින් හානියක් වී නැතත්, දකුණු කොරියාව දේශ සීමා මායිමේ ජනාවාසයන් කිහිපයක වැසියන් ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගොස් ඇත…

එතැන් සිට සිදුවෙමින් පවතින්නේ උතුරු කොරියාවේ නායකත්වයේ සිටින ළපටි හරකා තප්පුලෑමත්, දකුණු කොරියාව එවැනිම ස්වරයකින් ප්‍රතිචාර දැක්වීමත්, ජපානයට සයනයේ සුළු දිය පහවීමත්, ඇමරිකාව සහ චීනය එක්ව සුපුරුදු පරිදි ” ළමයි සන්සුන් වෙන්න… එන්න හොඳ දරුවො ටික වගේ ඇවිත් ඉඳගන්න” කියමින් ගුරු මණ්ඩලයේ කාර්ය භාරය රඟ දැක්වීමත් පමණි….

උතුරු කොරියාවේ වත්මන් නායක කිම් ජොන්ග් ඌන් වනාහි ඒ පරම්පරාවෙන් රට පාලනය කරන තුන් වැනියාය…පළමු වැනියා හෙවත් මේ ගොන් වස්සාගේ සීයා වනුයේ “කිම්-ඉල්-සුං” නම් නායකයාය…ඔහුගේ අභාවයෙන් පසුව එරට අතට ගත්තේ ඔහුගේ පුතා වන “කිම් ජොංග් ඉල්” ය…2011 වසරේදී සිදුවූ ඔහුගේත් ඇවෑමෙන් පසුව 32 හැවිරිදි, අත්දැකීම් රහිත ගවයා එරට පාලකයාව සිටියි….

උතුරු කොරියාව ලෝක සාමයට, කළාපීය මනුෂ්‍ය ජීවිත මිලියන ගණනකට, නොගිණිය හැකි තරම් වටිනාකමකින් යුත් දේපළ රැසකට සහ සමස්ථයක් ලෙස ජාත්‍යන්තර ආර්ථිකයට බරපතළ තර්ජනයක් බව අවිවාදයෙන්ම පිළිගත යුතු කරුණකි….මෙම තත්වය වඩාත් තීව්‍ර වූයේ එහි වත්මන් නායකයා බලයට පැමිණීමත් සමගය…

38 වැනි සමාන්තරය සහ නිරවි කළාපයන්
38 වැනි සමාන්තරය සහ නිරවි කළාපයන්

උතුරු කොරියානු සමාජය තරම් අනුකම්පා කළ යුතු, අවිචාරවත් සමාජයක් මේ මොහොතේ තොරතුරු තාක්ෂණ විප්ලවයේ පසු කම්පන ලබන නූතන මිනිස් සමාජයට අයත් වෙනත් කිසිදු රටක තිබේදැයි සිතීම සැක සහිතය….උතුරු කොරියාව යනු මිලියන 25 ක් පමණ සිරකරුවන් ගාල් කර ඇති ලෝකයේ විශාලතම එළිමහන් සිර කඳවුර යැයි කීම අතිශයෝක්තියක් නොවේ…

එරට:

1. රාජ්‍ය නායකයාට සහ නායකයාගේ පවුලට, ඔවුන්ගේ ඇසුර ලබන සමාජ ස්ථරයට දේවත්වයෙන් සළකන, දෙවියන්ට සේ වඳින පුදන රාජ්‍යයකි… කොරියානු කම්කරු පක්ෂය හෙවත් කොරියානු කොමියුනිස්ට් පක්ෂයෙන් කැඩී බිහිවුණු ග්‍රාම්‍ය සමාජවාදී ප්‍රවාහය විසින් 1945 වසරේ සිට මේ දක්වා තම පාක්ෂිකයන් සහ තමන්ගේ බලය පවතින ප්‍රදේශය ජනතාවන්ගේ මොළ සේදීමේ සහ ඔවුන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ප්‍රමුඛ මානුෂීය අයිතිවාසිකම්, පුරවැසි අයිතිවාසිකම්, සිවිල් සහ දේශපාලනික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අවට ලෝකය සමග කිසිදු සබඳතාවයකින් තොර, දේශපාලනික වශයෙන් නිෂ්ක්‍රීය වහල් ප්‍රජාවක් බිහිව සිටිති….ඔවුහු ස්වකීය රාජ්‍ය නායකයාට ෆ්‍රොයිඩියානු විශ්ලේෂණයන්ට අනුව කියතොත් ළදරු වියෙහි ජීවිතයට කවන ටෝටමයන්ට සේ සළකති…සමූහ හිස්ටෙරික තත්වයක ලක්ෂණ ප්‍රකට කරමින් නායකයා අදහති…

උදා: වත්මන් කොරියානු නායකයාගේ පියා වන කිම් – ජොං – ඉල් 2011 වසරේදි මියගිය මොහොතේ බොහෝ පැසුණු මනස් සහිත වැඩිහිටියන් ” දෙවියෙකු මිය යා හැකිද?” යන පැණය අසමින් ළදරුවන් සේ මං මාවත් වල හඬ වැටීම… ( මෙය බොහෝ දෙනා කොරියානු රාජ්‍ය පරිපාලනය කෙරෙහි බියෙන් හෝ හුදෙක් “එක දා ගැනීමට” කරන ලද්දක් බව කීවත්, මෙහි සන්දර්භයෙහි ඇත්තේ දරුණු මනෝ විද්‍යාත්මක ඛේදවාචකයකි )

මෑතකදී කරන ලද සමීක්ෂණයක් හෙළි දරව් කරන අන්දමට උතුරු කොරියානු ජනතාවගෙන් 23% ක් සිය නායකයා ” මළ මූත්‍රා නොකරන්නෙකු” බවට විශ්වාස කරති…එයින්ම ඔහු දේවාත්මයක් බව කියති…( ද්‍රව්‍යවාදී කොමියුනිස්ට්වාදී අධ්‍යාපනය උතුරු කොරියාවේ ස්ථාපිත කිරීමේ “හොඳකම” මෙයින්ම ගම්‍ය වේ )

2. මේ තත්වය තවත් පෝෂණය කරමින් එරට රජය චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගන්නා විදේස් මාධ්‍ය ජාලයන්, අන්තර්ජාලය, යනාදි නව යුගයේ තොරතුරු සම්ප්‍රේෂණ ප්‍රවාහ සියල්ලක්ම පාහේ සහමුලින්ම අහුරා ඇත…එරට ජනතාවට ලැබෙන්නේ පියොං යෑං අගනුවර රාජ්‍ය මාධ්‍ය විසින් සකසනු ලබන සත්‍යයෙන් සහ යථාර්තයෙන් බෙහෙවින්ම දුරස්ථ තොරතූ පමණි…

3. මේ සියලු මනෝභාවයන් නිසා එරට ජනතාව සිය නායකයා සහ ඔහුගේ දේශපාලන පක්ෂයේ ඊනියා උත්තරීතර මණ්ඩලය වෙනුවෙන් ඉතා පහසුවෙන් ජීවිත බිලි දීමට තරම් මුළාවක සිටිති….එසේ ඔවුන් වෙනුවෙන් දිවි දීම තුළ තම යුතුකම් ඉටුවන බව ඔවුහු විශ්වාස කරති…තනි තනි පුද්ගලයන් වශයෙන් තමන්ගෙන් කිසිදු වටිනාකමක් නැති බවත්, තමන්ගේ වටිනාකම පවතින්නේ රාජ්‍යයට සහ නායකත්වයේ බළ ව්‍යාපෘතීන්ට කරනු ලබන සේවාවන් මත බවට විශ්වාස තබති….

4. රජය විසින් ගෙන යන ප්‍රචාරයන්ට මුළා වූ ජනයා, සිය දේශය වන උතුරු කොරියාව ඇමරිකා එක්සත් ජනපදය පවා පහසුවෙන් විනාශ කළ හැකි තාක්ෂණයක් සහ පිරිස් බළයක් ඇති සුපිරි බලවත් දේශයක් බවට විශ්වාස කරති…ලෝකයේ අනෙක් රටවල හමුදාවෝ ස්වකීය හමුදා ශක්තිය හමුවේ වෙව්ළන බවත්, ස්වකීය පාලකයන්ගේ ශිෂ්ඨ සම්පන්න පාලනය කෙරෙහි ඇමරිකාව ප්‍රමුඛ බොහෝ රටවල නායකයන් ඊර්ෂ්‍යාවෙන් පෙළෙන බවත් කිසිදු සැකයකින් තොරව අදහති…

බහු පක්ෂ ක්‍රමයේ මොන තරම් දුර්වලතා තිබුණත්, සංවර්ධනය වෙමින් පවතින රටවලට ඒවා හරහා ඉස්මතු වන දේශපාලනික බෙදීම් බාධක විය හැකි බව කීවත්, බහු පක්ෂ ක්‍රමය පවතින රටවල මෙවැනි මාරාන්තික ප්‍රහසනයන් නිර්මාණය වන්නේ නැත…ඒක පක්ෂ ක්‍රමයක් යම් රටක පවතින්නේ නම් හෝ ඒකාධිපති පාලන ක්‍රමයක් පවතින්නේ නම්, ඕනෑම නිමේෂයක එවැනි ජන සමාජයන් මෙවැනි අමන මරි මෝඩ දිශානතීන් කරා යන ගමනක් ඇරඹීමේ අවදානමක සිටී….උතුරු කොරියානු ජනතාව වනාහි මුළු ලොවෙන්ම අනුකම්පාව ලැබිය යුතු පිරිසකි….බහු පාර්ශ්වික ප්‍රජාතන්ත්‍රවාදයෙහි වටිනාකම තේරුම් ගැනීමට උතුරු කොරියානු ජනතාව කදිම නිදර්ශණයකි…

තත්වය එසේ තිබියදී උතුරු – දකුණු දෙකොරියාවන්ගේ හමුදා ශක්තිය සැකෙවින් සැසඳුවහොත්, පිරිස් බලය අතින් ඒ දෙපිරිසෙහි එතරම් විශාල වෙනසක් නොමැති වුවත්, සන්නාහ තාක්ෂණය, අවි තාක්ෂණය, සහ නිරීක්ෂණ තාක්ෂණය යනාදි කරුණු සැළකිල්ලට ගෙන බලන විට දකුණු කොරියාව සිටින්නේ උතුරු කොරියාවට වඩා ගව් ගණනක් ඉදිරියෙනි…උතුරු කොරියාවේ හමුදා ශක්තියෙන් 80% දශක ගණනකින් යල් පැනගිය ආම්පන්න සහ සන්නාහ වලින් සමන්විත වන අතර, හුදු අංක ගණිතයෙන් පමණක් ඔවුහු ඉදිරියෙන් සිටිනා බවක් පෙන්වති….සාමාන්‍ය සරල රාමුවක සිදු කරනු ලබන සටනකදී අධි තාක්ෂණයෙන් අනූන දකුණු කොරියානු හමුදාවන්ට පහර දෙනවා තබා, තමන්ගේ ආධි කල්පික අවි රැගත් රථවල එන්ජින් කීයක් පණ ගන්නවන්න ලැබේද යන්නත් උතුරු කොරියාව විෂයෙහි සැක සහිතය….එසේ හෙයින් එවැනි සටනකදී දකුණු කොරියාවට ඇමරිකානු ආධාර වලින් තොරව වුවත් පහසු ජයක් ලැබිය හැකි අතර, එවැනි සටනකදී උතුරු කොරියානු යුද යාන්ත්‍රණය සමූල ඝාතනය වීමක් අපේක්ෂා කළ හැක….

නමුත් එරට යුද යාන්ත්‍රණය ලොව ශ්‍රේණිගත කිරීම් වලදී ඉහළට ඔසවා තබන ප්‍රධානතම සාධකය වන්නේත්, ඔවුන්ට යාබද අනෙකුත් අසල් වැසි රටවල භීෂණය වන්නේත් එරට විසින් මේ වනවිට කරන ලද න්‍යෂ්ඨික අවි පරීක්ෂණ මගින් තනා ගෙන ඇතැයි කියන TNT Equivalent කිලෝටොන් 30 ක් පමණ වන යුද ශීර්ෂ 10 ක පමණ ගබඩාවයි…

න්‍යෂ්ඨික යුද ශීර්ෂ තිබුණාට ඒවා සඳහා ප්‍රහාර ප්‍රවාහක මාධ්‍යයක් නොමැති නම් එම යුද ශීර්ෂයන්ගෙන් හදිසි යුදමය තත්වයකදී ප්‍රායෝගික ප්‍රයෝජනයක් නොමැත…උතුරු කොරියාව සතු නවතම මධ්‍යම දුර ප්‍රමාණයේ මිසයිල පද්ධතිය වන ඔවුන්ගේ “ටේපෝ ඩොන්ග් ( ගිනි මකරා ) (Taepo Dong 2 ) ” මිසයිල පද්ධතියේ යන නවතම ඛාණ්ඩයට මෙම ප්‍රමාණයේ යුද ශීර්ෂයක් කිලෝමීටර් 4700 ක් පමණ දුරක් ගෙන යා හැකිය.

North Korean Payload projection Range
North Korean Payload projection Range

මේ අනුව උතුරු කොරියාවට තවමත් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන භූමියට සෘජු ප්‍රහාරයක් එල්ල කිරීමේ ශක්‍යතාවය නැතත්, උතුරු කොරියාව අවට තිබෙන තාක්ෂණ – සංවේදී සමාජයන් සහ ලෝක ආර්ථිකය විෂයෙහි මර්මස්ථානයන්ට දැඩි හානියක් කිරීමේ හැකියාව තිබේ….

එනමුත් මේ සියල්ලට වඩා වැදගත් සාධකයක් නිසා මෙවරද එවැනි විනාශයක් සිදු නොවනු ඇතැයි සිතිය හැකිය….

ඔබ 80 – 90 දශක වල සිය ළමා කාලය ගත කළ කෙනෙක් නම් සෝවියට් සංගමයේ රාදුගා පොත් ප්‍රකාශකයන් ඵල කළ නිකොලායි නෝසව් නම් ලේඛකයා විසින් විරචිත සහ දැදිගම රුද්‍රිගු ශූරීන් විසින් ප්‍රති නිර්මිත “වැඩ බැරි දාසගේ කථා” කියවා ඇතුවාට සැක නැත….එම කෘති පෙළෙහි එක් කෘතියක වැඩ බැරි දාසගේ බුද්ධිය සහ මොළය ගැන මෙසේ කියා තිබිණි…

“වැඩ බැරි දාසගේ ඔලුව පුස්සක් කියලා සමහරු කියනවා….ඒත් එයා සපත්තු දෙක ඔලුවේ දමාගන්නේ නැතුව දෙපයේ දමාගෙන ඉන්නවා… එහෙම නම් කොහොමද කියන්නේ එයාගේ ඔලුව පුස්සක් කියලා? ”

උතුරු කොරියාවේ නායකත්වයේ සිටින කිම් ජොන් ඌන් නම් අමන ගෝතයාගෙන් වුවද මෙවන් සාමාන්‍ය අවබෝධයක් බලාපොරොත්තු විය හැකි අතර, ඔහුට යුද නායකයන් වශයෙන් ක්‍රියා කරන කාළකණ්නියන් අතර මනුෂ්‍යත්වයට හිමි සාමාන්‍ය ප්‍රඥාව මෙහෙයවා තීරණ තීන්දු ගන්නා එක් මිනිසෙකු හෝ සිටිය හැකි බවට අනුමාන කළ හැක…

එසේ නම් එවැනි න්‍යෂ්ඨික ප්‍රහාරයක් ඔවුහු එල්ල කළහොත් ඔවුන්ට එරටට යාබද රටවල් කිහිපයක් ප්‍රධාන නගර කිහිපයක් ( උදා: දකුණු කොරියාවේ, තායිවානයේ සහ ජපානයේ තාක්ෂණ තන්ත්‍රයන් මෙහෙයවන අගනුවර වල් සහ ආර්ථික කළාපයන්) විෂයෙහි දැඩි හානියක් කළ හැකි වුවත් එයින් පසුව එක්සත් ජනපදය සහ නේටෝ බලවේග එක්ව ඔවුන්ට එල්ල කරනු ලබන සමස්ථාපිත ප්‍රතිප්‍රහාරයකදී සිදුවිය හැකි විනාශය උතුරු කොරියාවේ නායකත්වය නොදන්නවා යැයි නොසිතමි….

එබැවින් මෙවරත් ඔවුන් දමන්නේ ඔවුන්ගේ චිරාගත සම්ප්‍රාදායන්ට අනුව දමනු ලබන “හිස් සත්තමකි”… ඒ බව පැහැදිලිය….

මොවුහු මෙලෙස කාළීනව සත්තම් දැමීමේ අරමුණු කිහිපයකි:

1. ආර්ථික වශයෙන් සිඟමනට වැටී තිබෙන උතුරු කොරියාවේ විශාල සාගතයක් සහ දුර්භික්ෂයක් පවතී…චීනයෙන් ලැබෙන අල්ප වූ මූල්‍යමය ආධාරයන්ද කිම් ජොන් ඌන් නම් මෝඩයාගේ ළාමක ෆැන්ටසි සැබෑකර ගැනීමට දරන උත්සාහයටම යෙදේ….මෙවැනි විටෙක කොරියානු නායකත්වයට සිය ජනතාවගේ කුස ගිනි නිවීම යම්තමකටවත් කළ හැක්කේ දකුණු කොරියාව සහ ජපානය විසින් එරටට ලබා දෙන සහල් සහ අනෙකුත් ආහාරමය ආධාර නිසාය…..ඉඳ හිට තමන් මේ යවන ආධාර වෙනුවෙන් ජපානය, දකුණු කොරියාව යම් යම් කොන්දේසි ( පාරදෘෂ්‍ය භාවයේ අත්‍යාවශ්‍ය වීම, ප්‍රජාතන්ත්‍රවාදය අගයන මානව හිමිකම් ගරු කරන සමාජයක් බවට උතුරු කොරියාව පත් කිරීමෙහි ලා නිර්දේශ ) ආදිය පනවා සිය ආධාර ප්‍රමාණයන් අඩු කරති…ඇතැම් විටෙක එවැනි අඩු කිරීම් ආශ්‍රිත සමයන් වලදී උතුරු කොරියාව යුද තර්ජනයක් මවා පෙන්වා, සිය යුද ශීර්ෂ ගබඩා පෙන්වා අසල්වැසි රටවල් බිය වද්දවා සත්තමයක් දමති….එයට බියවන අසල් වැසි රටවල් උතුරු කොරියාවේ “නැති වන්නට කිසිවක් නැති” රෙජීමය සහ ජනතාව තම තමන්ගේ සංකීර්ණ දියුණු සමාජයන්ට එරෙහිව විනාශය දියත් කරනු ඇතැයි බියෙන් බියට පත්ව උතුරු කොරියාව යළි සනසා තබන්නට “කප්පම්” වශයෙන් උක්ථ ආධාර නැවතත් වැඩි වැඩියෙන් ලබා දෙති…මේ සඳහා මෙවැනි න්‍යෂ්ඨික හෝ සහ- සමූල ඝාතක අවි මගින් සිදු කෙරෙන යුද්දයක් සිය එළිපත්තේ සිදුවෙනවා දකින්නට අකමැතිව සිටින චීනයද ඒවාට එක් කොට උතුරු කොරියාවට කප්පම් පිණිස සාගත මලු යවති..කිම් ජොන් ඌන් උන් හිටියේම යුද සරඹ පාමින් කරන විගඩම මෙයින් වටහා ගත හැක.

2. ආර්ථික වශයෙන් අභ්‍යන්තරව දැන් දැන් උතුරු කොරියානු ජන සමාජය තුළ ඉතාම ඉතාම සුළුතරයකට හෝ තමන් විඳිනු ලබන දුක් ගැහැට පිළිබඳව විරෝධාකල්ප මතුවෙමින් පවති….එමෙන්ම කිම් ජොන් ඌන් විසින් ඝාතනය කරන ලද ඉහළ පැලැන්තියට අයත් ජනතා ආදරය දිනූ චරිත කිහිපයක මතකයන්ද මේ වනවිට ඔහුගෙන් ජනතාව ඈත් කරමින් ඇත… ( ඌන් ගේ ) .මෙවැනි ව්‍යාකූලත්වයන් හරහා සමාජයන් අර්බුදයන් ඉස්මතු වීමෙන් තොරව පවත්වා ගැනීමට ඔවුන්ට දිය යුතු කදිම අනුපානය වන්නේ ජාතික ආරක්ෂාව සහ දේශය සතු යුද ශක්තිය ඉස්මතු කිරීමයි….නො-එසේ නම් දේශ ප්‍රේමය සමග බැඳුණු දේශ ප්‍රේමියෙකු ඉස්මතු කිරීමයි..”සතුරන් අප ආක්‍රමණය කිරීමට ඉතාම ආසන්නය” කියමින් සතුරු ක්‍රියාකාරකම් කරන බලවත් සතුරන් ලෙස යම් පිරිසකට හංවඩු ගසයි ….වාර්ෂිකව නටන උතුරු කොරියානු සළු පාලියේ තවත් එක හේතු කාරකයක් වන්නේ මෙම සාධකයයි..

එම නිසා මෙම තත්වය අවි යුද තත්වයක්, කළාපීය යුද්දයක්, සංකීර්ණ ලෝක බලවතුන්ගේ කල්ප විනාශ ගැටුමක් ලෙස පරිණාමය නොවනු ඇති බවට වගකීමෙන් ප්‍රකාශ කළ හැක….මේ මොහොත වනවිට සිදුවෙමින් පවතින සම්මුතිවාදී උත්සාහයන්ට උතුරු කොරියාවේ ළාමක ගොනා ප්‍රමුඛ පාලකයන් දක්වන ප්‍රතිචාර කෙබඳු වෙතත්, උතුරු කොරියාව අරමුණු කරගෙන “මහ රටවල්” එනම් රුසියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝව උනුන් හා යුද වදින තත්වයකට එන්නේ නැති බවට සහතික විය හැක….උතුරු කොරියාව රුසියාව සහ චීනය යන රටවල් ද්විත්වයටම මායිම්ව තිබුණත්, උතුරු කොරියානු නායකයන් මේ රටවල් දෙකම සමග සුභ සබඳතා පැවැත්වුවත්, උතුරු කොරියානු රෙජීමය සිය “කඳවුරු මිතුරෙකු” ලෙස සළකාගෙන ඔවුන් වෙනුවෙන් ඇමරිකාවට එරෙහිව යුද වදින තරම් මුග්ධ තැනකට ඒ රටවල් දෙකම පිරීහෙන්නේ නැත….එනිසා මෙය ගෝලීය අර්බුදයක් වීමේ අවදානම අවමය….එනමුත් මෙම කළාපීයව ඇතිවන යම් යුද්දයකදී භාවිතා වෙන අවි ආයුධ වල අතුරු ප්‍රතිපල නිසා ලෝකයේ අනික් කළාප වල මිනිසුන් යම් යම් ආපදා වලට මුහුණ පෑමේ අවදානමක් ඇත….උදා: Radioactive Fallout

Korea North ( Democratic People`s Republic of Korea )
Korea North ( Democratic People`s Republic of Korea )

එසේ හෙයින් ඒ ගැන විශ්වසනීයත්වයෙන් තොර මූලාශ්‍ර වෙතින් ලැබෙන වාර්ථා දැක තැතිගෙන තමන්ද ඇතුළු බොහෝ දෙනෙකු අපහසුතාවයට පත් කළ යුතු නැත….

නමුත් දකුණු කොරියාවේ සේවය කරන අපේ මිනිසුන් වන ඔබ සැමට පැවසිය යුතු වැදගත් කරුණක් ඇත…

මා මෙම ලියැවිල්ල ලිව්වේ අතීතයේ ලද අත්දැකීම් පදනම් කරගෙන සහ ජාත්‍යන්තර සබඳතා විෂයෙහි මගේ ඇති දැනුම සහ කියවීම පමණක් පදනම් කරගෙන කරන විශ්ලේෂණයක් ලෙසය….එහෙත් ” මිනිසා තමයි අඳුනාගත නොහැකි සතා” යන ධර්මතාවයද තිබෙන බැවින් මෙවර කුමක් හෝ නපුරු අමුත්තක් සිදු නොවෙතියි සහතික කරම කියන්නට නොහැක…( එවැන්නක් සිදු නොවෙනු ඇතැයි අත්දැකීම් මත පදනම්ව සිටගෙන උපකල්පනය කරනු පමණි ).. මේ සියල්ල තීරණය වන්නේ උතුරු කොරියාව නම් අගතිගාමී රෙජිමයෙහි නායකයන්ගේ මානසික මට්ටම අනුවය…විශාල විනාශයක් සිදු කළ යුතුය කියන උමතු තීරණයේ ඔවුන් එල්බ ගෙන සිටින්නේ නම් හෝ එවැනි විනාශයක් කළ පසු එළඹෙන සටන් මාලාව ඔවුන්ට ජය ගත හැකිය යන අමන තක්සේරුවේ සිටින්නේ නම් ඕනෑම මොහොතක මෙතෙක් අප නුදුටු විරූ විනාශයක් සිදුවීමටද ඉඩක් නැත්තේ නොවේ….

මේ නිසා ඔබ මෙසේ කිරීම නුවණට හුරුය…

1. සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තිබෙන තැන, එය සම්බන්ධ කරගත හැකි අංක, එම කාර්යාලය විසුරුවා හරිනු ලබන ශ්‍රී ලංකා රජයේ හදිසි පණිවිඩ නිසි වෙලාවට ලබාගත හැකි ස්ථානයන් හෝ ක්‍රම වේදයන් අද අදම දැනගෙන සූදානම් කර තබාගන්න…

2. ඔබ තුමන් කොරියානු භාෂාව ප්‍රමාණවත්ව දන්නවා ඇතැයි උපකල්පනය කරමි…එසේ නම් එම භාෂාවෙන් හෝ නො-එසේ නම් ඉංග්‍රීසියෙන් හදිසි පණිවිඩ විසුරුවා හරින මාධ්‍ය ( ෆේස්බුක් මාධ්‍ය නොවේ…ප්‍රධාන දහරාවේ මාධ්‍ය ) මේ දිනවල වැඩියෙන් ඇසුරු කරන්න….

3. හදිසි අවස්ථාවකදී අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටීන් ගැන කොරියානු රජය දැනුවත් කරයි නම් ඒ ක්‍රියාමාලාවන් හොඳින් මතකයේ තබාගන්න….

4. හදිසි අවස්ථාවකදි ඔබ වසන නිවස හෝ බෝඩිම අතහැර යම් තැනකට යාමට සිදුවුවහොත් රැගෙන යාමට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් හෝ ඇතුලත් “හදිසි ගමන් මල්ලක්” සූදානමින් තබා ගැනීම වටී…මෙයට බැන්ඩේජ් කිහිපයක්, ගෝස් කැබලි, ප්ලාස්ටර්, පුළුන්, කතුරක් ආදී ප්‍රථමාධාර ද්‍රව්‍ය කිහිපයක්, දීර්ඝ කල් ඉකුත් වීමේ කාළයක් සහිත ජල බෝතලයක් හෝ කිහිපයක්, විදුලි පන්දමක්, බැටරි කැබලි කිහිපයක්, ජංගම ගුවන් විදුලියක් හෝ ජංගම දුරකථන සඳහා ජංගම බැටරි චාජරයන්, External Battery Packs වැනි දෑ එක්වීම ඔබට විශාල සේවයක් වනු ඇත….

5. ඔබ දිගින් දිගටම බෙහෙත් ගත යුතු යම් රෝගී තත්වයකින් පෙළෙයි නම් ( එසේ නොවේ යැයි පතමි ) ඒ අදාළ රෝගයට අවශ්‍ය ඖෂධ ටිකක් වැඩිපුර මිළට ගෙන ඔබේ වෛද්‍ය උපදෙස් අනුව අත් බෑගයක හෝ සිසිලන බෑගයක බහා ඔබ ලගින්ම තබාගන්න….Ex: Diabetes, Asthma, Blood Pressure etc.

6. ඔබ ජීවත් වන ප්‍රදේශයේ ඇති පොලිස් ස්ථාන, ගිනි නිවන හමුදා ඒකක, ගිලන් රථ සේවා, ප්‍රධාන රෝහල්, ජංගම වෛද්‍ය සේවා, යුද හමුදා ඒකක, එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ ආදී ආයතන වල ශාඛාව ආදී ආයතන වල

– ලිපිනය සහ එම ස්ථානයට යන හැටි ( මග සටහන් )
-දුරකථන අංක
-සම්බන්ධ කරගත යුතු අයගේ නම් සහ අංක, සහ විද්‍යුත් තැපැල් ලිපින පවා

ඔබේ ජංගම දුරකථනයේ මෙන්ම කඩදාසි සටහන් වල ළඟින් තබා ගන්න….හදිසි යුදමය තත්වයකදී භාවිතා විය හැකි ඇතැම් යුද අවි නිසා

– ජංගම දුරකථන ජාල බිඳ වැටී සන්නිවේදනය අවහිර විය හැක…
– රැහැන් දුරකථන සහ සන්නිවේදනය අවහිර බිඳ වැටිය හැක….
– විදුලිය විසන්ධි වීම් සිදුවිය හැක…
– ඉලෙක්ට්‍රොනික උපාංග පිළිස්සී ක්‍රියා විරහිත විය හැක…

මෙබඳු අවස්ථා වලදී ඉහත සඳහන් වාර්ථා ඔබේ ජංගම දුරකථනයේ හෝ ටැබ් එක වැනි වෙනත් ඉලෙක්ට්‍රොනික් උපාංග වල පමණක් තබා ගතහොත් ඔබ අසරණ වීමේ අවදානමක් ඇත…එනිසා කඩදාසි සටහන් වල මේවා අතින් ලියා තබා ගැනීම වටී….

7. ඔබට හිතවත් කොරියාවේ වෙසෙන යහලුවන්, ඥාතීන්ගේ අංක, ලිපිනයන් මෙන්ම ඔබේ ලංකාවේ වෙසෙන ඥාති මිතුරන්ගේ අංක සහ ලිපිනයන්ද එවැනි කුඩා කඩදාසි සටහන් ගොණුවක ලියා ඔබ ළඟින් තබා ගන්න….

8. ඔබේ හැඳුනුම් පත්, ගමන් බළපත්‍රය ආදිය පහසුවෙන් ඔබේ අතට ගත හැකි තැනක තබාගන්න.. යන එනවිටත් ඔබ සතුවම බෑගයක තබා ගත හැකි නම් වටී….

යම් අවදානමක් හමුවේ මහා කලබගෑනියක් කරනවාට වඩා ඉවසීමෙන් අවදානමකට පෙර සූදානම් වීමෙන් ඔබේත්, ඔබ සමග සිටින අයගේත් ජීවිත බේරා ගත හැකි බව අවබෝධ කරගෙන දැනුවත්ව සිටින්න….

අනතුරක සේයාවක් වැටෙන පළමුවන හෝරා කිහිපය තුල ශ්‍රී ලංකාව සමග සම්බන්ධ වීමට වෙර දරනවාට වඩා ඔබ සහ ඔබේ එරට සේවය කරන මිතුරු මිතුරියන් ආරක්ෂිත ස්ථානයක යෑම බෙහෙවින්ම වැදගත් බව සලකන්න….ශ්‍රී ලංකාවේ ඥාතීන් සමග සම්බන්ධ වී තමන් සුවෙන් සිටින බව දැන්වීම දෙවනුව කළ යුත්තකි….පළමු ප්‍රමුඛතාවය වන්නේ ඔබේ ආරක්ෂාවයි…දෙවැනි ප්‍රමුඛතාවය වන්නේ ඔබ අවට සිටින කාගේ හෝ ආරක්ෂාවට උපකාරී වීමයි….තුන්වැනි ප්‍රමුඛතාවය කොරියාවේම වෙසෙන ඔබේ ඥාති හිතවතුන්ගේ ආරක්ෂාවයි….මේ සියළු ප්‍රමුඛතාවයන් අවසන් වූ විට ඔබ කළ යුත්තේ ශ්‍රී ලංකාවේ වෙසෙන අයට ඔබ සුවසේ වෙසෙන බවත්, නවාතැන් ගෙන සිටින ස්ථානයත් කියා පණිවිඩ ‍යැවීමයි…..අනතුරක පළමු නිමේෂයේදී ඔබ සතු කාළයත්, පහසුකම් සහ මුදල් ලංකාවේ ගෙදරට පණිවිඩ දෙන්න මිඩංගු නොකරන්න….ඒවා ඔබට පසුව ඔබේ ජීවිතාරක්ෂාව සඳහා උවමනා විය හැක…

කවුද මේ අයි.එස්.අයි.එස් (ISIS) ? – WHO ARE ISIS? – ISIS Profile – 1

ලෝක දේශපාලනයේ මේ වනවිට වැඩි වශයෙන්ම අවධානයට ලක්වූ සංවිධානය සහ මාතෘකාව තමයි අයි.එස්.අයි.එස් නම් වූ ත්‍රස්ත සංවිධානය…

මෙලොව සාම්ප්‍රදායික රාජ්‍ය ප්‍රජාවට සහ ඒවායේ බලවත්ම රාජ්‍ය පන්තියට මෑත ඉතිහාසයේදී එල්ල වූ ප්‍රබලම අභියෝගය තමයි මේ සිරියාවේ සහ ඉරාකයේ මේ වන විට ව්‍යාප්තව සිටින “අයි.එස්.අයි.එස් හෙවත් අයිසිස්” ලෙස හඳුන්වනු ලබන දැවැන්ත ත්‍රස්ත ජාලය… මෑතකදී මෙම සංවිධානය තරම් එක් ආරක ගමන් කරමින් සිටින ලෝක ප්‍රජාව තුල, වාණිජ, ජාතික සහ ජනප්‍රිය සංස්කෘතික ගත කතිකාවත් ඇරඹීමට තුඩු දුන් වෙනත් සංවිධානයක් නැති තරම් ….

මෙම සංවිධානයේ විස්තාරණය සහ ඔවුන් විසින් එම කළාපයේ නිර්මාණය කර ඇති දේශපාලන වික්ෂිප්තය හේතුවෙන් මොවුන් ගැන නිරවුල් පැහැදිලි කිරීමක් ලෝකයට ලැබී නැහැ…..මෙයට හේතුව තමයි නිශ්චිත තොරතුරු මූලාශ්‍රයක් නොමැති කම සහ පවතින තොරතුරු සහ ප්‍රවෘත්ති මූලාශ්‍රයන් සියල්ල ඔවුනොවුන්ගේ දේශපාලනික පක්ෂපාතීත්වයන් හේතුවෙන් හෝ හුදෙක් මෙම සංවිධානයට දක්වන බිය හේතුවෙන් ඔවුන් ගැන නිරවුල් මතයක් ප්‍රකාශ නොකර සිටීම….

මේ හේතුව නිසා ඔවුන්ගේ ව්‍යාප්තියට අදාළ කළාපයෙන් පිටත රටවලට ඔවුන් ගැන ඇත්තේ අපැහැදිලි අදහසක්…විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල සිටින ජාත්‍යන්තර දේශපාලනය හදාරන සිසුන්ට සහ ගවේෂකයන්ට ඒ ගැන නිසි අවබෝධයක් ලබාගන්න පුලුවන් තැන් විරලයි…

මේ නිසාම මම අදහස් කළා, මේ ලිපිය ඔස්සේ අයිසිස් සංවිධානයේ ආකෘතිය, එහි ක්‍රියාකාරීත්වය, සහ දේශපාලනික අරමුණු පිළිබඳව පිළිගත් මතවාදයන් ඇසුරෙන් නිරවුල්කරණයක් සකස් කරන්න….

කොහොමද මේ “අයිසිස්” (ISIS) සංවිධානය බිහිවුනේ…?…කවුද මේකෙ ආරම්භක නායකයන්…?… මෙවැනි සංවිධානයක් කළාපීය සහ ලෝක බලවතුන්ව අසරණ කලේ කොහොමද?….මේ ගැන ගවේෂණයක් කරමු….
“අයිසිස්” (ISIS) හඳුන්වා දීම

මෙහිදී ඔබ විසින් “අයිසිස්” නම් කෙටි නාමය ( පහසුව සඳහා භාවිතා කරන ), පුරාණ ඊජිප්තු ශිෂ්ඨාචාර වාසීන්ගේ මව් දෙවඟන වූ “අයිසිස්” දෙවඟන සමග පටලවා නොගත යුතුයි….

මේ නම හැදිලා තියෙන්නෙ මෙහෙමයි…..

ISIS = Islamic State of Iraq and Syria 

අබු මුෂාම් අල් සර්කාවි

අබු මුෂාබ් අල් සර්කාවි - අයිසිස් නිර්මාතෘ නායක
අබු මුෂාබ් අල් සර්කාවි – අයිසිස් නිර්මාතෘ නායක

මෙම ත්‍රස්ත ජාලයේ මුල් ආරම්භය 2002 වසර තෙක් ඈතට දිව යනවා….2002 වසරේ ඉරාකයේදී ජෝර්දාන ජාතික ත්‍රස්ත සටන් කරුවෙකු වන අබු මුෂාම් අල් සර්කාවි විසින් නිර්මාණය කරන ලද ව්‍යාපාරය තමයි “තව්හිඩ් – වා – ජිහාඩ්” යන සංවිධානය…සුන්නි මුස්ලිම්වරයෙකු වූ සර්කාවි උපන්නේ පලස්තීනයේ සිට ජෝර්දානයට පලා ආ සරණාගත පවුලකට….

ඉන් පසුව ඔහු ඇෆ්ගනිස්ථානය නතු කරගෙන සිටි සෝවියට් හමුදාවන්ට එරෙහිව සටන් වදින්නට ඇෆ්ගනිස්ථානයට ගියා…

පසුව ජෝර්දානයට පැමිණි හෙතෙම “ජූන්ද් අල්-ෂාම්” නම් කුඩා ආගමික සටන් කරුවන් කල්ලිය නිර්මාණය කර ගත්තා. වැඩි කළක් යෑමට පෙර රාජකීය ජෝර්දාන හමුදාවේ විශේෂ බළකාය ඔහුව පණපිටින් අත් අඩංගුවට ගත්තා…එහෙත් වසරක් ඉකුත්ව යෑමට පෙර ජෝර්දාන රජුගේ සමාවකින් ඔහු නිදහස ලැබුවා…මේ නිදහස ලැබීමෙන් පසුවත් ඔහු “ජුන්ද් අල්-ෂාම්” කල්ලිය යළි නිර්මාණය කිරීමෙහි නිරත වුනා…2001 වසරෙදි තමයි ඔහු ඉරාකයේ සිය ක්‍රියාන්විතය අරඹන්නෙ…

මූලික වශයෙන් සදාම් හුසේන්ගේ “බාත්” පක්ෂයෙන් සක්‍රීය දේශපාලනයට ආ සර්කාවි, පසුව යම් කාළයක් සදාම් යටතේ සිට, ඉන් පසුව සදාම්ගේ ඉස්ලාමික ජාතික යෙදුමෙහි ඇති ආගමික වශයෙන් නිශ්ක්‍රීය වන කරුණු කාරණා ගැන කළකිරී එයින් ඉවත්ව, මුලින්ම ගම් මට්ටමෙන් රැස්වීම් පවත්වමින් ඉස්ලාම් දහමේ මූල ධාර්මික ජීවන රටාව ලෙස ඔහු විශ්වාස කළ ජීවන රටාවක් හඳුන්වා දෙමින් කාළය ගත කළා…

2003 වසරේදී ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදා සදාම් රෙජීමය අවසන් කිරීම සඳහා ඉරාකය ආක්‍රමණය කරද්දී සර්කාවි “තව්හිඩ් – වා – ජිහාඩ්” සංවිධානය ගොඩ නගාගෙන අවසන්….ඇමරිකාව ජනපති සදාම් බලයෙන් පහකළ පසුව ඉරාකයෙහි එතෙක් යටපත්ව පැවති සුන්නි-ෂියා ආගමික වර්ග භේදවාදය යළි ඉස්මතු වීමෙන් පසුව ඇති වූ අතිශය අස්ථාවර තත්වය සර්කාවි සිය බලය තහවුරු කර ගැනීම සඳහා යොදා ගත්තා…

2003-2006 කාළය තුළ ඔහු ඇමරිකානු හමුදා ඉලක්ක වෙත සිය මනාව පුහුණු කරවන ලද සටන් කරුවන් යොදා දරුණු ප්‍රහාර එල්ල කරමින් එවකට ලොව පැවති විශාලතම සන්නද්ධ ත්‍රස්ත කල්ලිය වන “අල් කයිඩා” ( Al Qaeda) සංවිධානයේ හොඳ හිත දිනාගෙන වසර 2004 වන විට තමන්ගේ කල්ලිය අල්-කයිඩාවට අනුබද්ධ කර “අල් කයිඩා – ඉරාක්” ( AQI – Al Qaeda Iraq) යන නාමය භාවිතා කිරීම ආරම්භ කළා….

2004 වසරෙදි ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක සේවාවන් සියල්ල සර්කාවි සිය ලැයිස්තුවලට ඇතුළු කරනු ලැබුවා…2005 වන තෙක් සර්කාවි කිසිදු සටනකට සක්‍රීය සටන් කරුවෙකු ලෙස නොපැමිණ තමාව ලුහුබඳින ඇමරිකානු ආරක්ෂක අංශ වල අධි තාක්ෂණික උපක්‍රම වලින් ගැලවී ඉරාකයේ අල් කයිඩා සංවිධානයට විශාල පිරිස් බලයක් ලබා දුන් දක්ෂ බඳවා ගන්නෙකු බවට පත් වුනා….

2006 පමණ වන විට ජාත්‍යන්තර අල් කයිඩා ජාලයේ නායකයන් සහ සර්කාවි අතර අළු යට ගිණි පුපුරු සේ තිබුණු න්‍යායාත්මක සහ උපක්‍රමික මත භේදයක් ක්‍රමයෙන් ඇවිළෙන්න පටන් ගත්තා…මේ න්‍යායික නොගැළපීම මුලදී තදින් නොදැනුනත්, අල් කයිඩා සංවිධානයේ ක්‍රියාකාරීත්වයේ දිගු කාළීන අරමුණු ක්‍රමයෙන් ඉස්මතු වෙන විට එය මේ පාර්ශවයන් අතර ආරවුලක් බවට පත් වුනා…. ( ඇතැම් විශ්ලේෂකයන් මෙම ආරවුල ඇමරිකානු බුද්ධි අංශ විසින් නිර්මාණය කරන ලද්දක් බව කියනවා )

මේ න්‍යායික අවුල වූයේ:

අල් කයිඩා ජාත්‍යන්තර ජාලයේ අදහස උනේ තම සටන් කරුවන් ලවා දුර ඈත ඉලක්ක වෙත, එනම් බටහිර ලෝකයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරවිය යුතුය කියන එක… මේකට කියන්නෙ ඔවුන්ගේ Far Enemy Strategy

සර්කාවි ප්‍රමුඛ අල් කයිඩා ඉරාක ජාලයේ අදහස උනේ ළඟා වීම අතිශය දුෂ්කර සහ හොඳින් රැකවල් කරන ලද බටහිර ඉලක්ක වෙත ළඟා වීමට ගොස් සටන්කරුවන් සහ සම්පත් විනාශ කර නොගෙන, කළාපීය වශයෙන් සිටින ඇමරිකාව ප්‍රමුඛ බටහිරට හිතවාදී සාම්ප්‍රදායික නායකත්වයන් විනාශ කර දමා, කළාපීය රාජ්‍ය බලය අතට ගෙන Caliphate එකක් ( එනම් අරාබි බසින් “කිලාෆාත්” හෙවත් අධිරාජ්‍යයක් … මහා දේශයක් ) ගොඩ නැගිය යුතුයි කියන එක….මේකට කියන්නෙ ඔවුන්ගේ Near Enemy Strategy 

එමෙන්ම ජාත්‍යන්තර අල් කයිඩාවන් විසින් තරයේ ප්‍රතික්ෂේප කරපු තවත් අදහසක් ක්‍රියාවේ යොදවන්න සර්කාවි උත්සාහ කළා….ඒ තමයි මෙකී කැලිෆේටය එහි වෙසෙන සුන්නි නොවන මුස්ලිම් සහ කුර්දි, ක්‍රිස්තියානි, යුදෙව් ප්‍රජාවන්ගෙන් තොර කර භයානක වාර්ගික පවිත්‍රකරණයක් (Ethnic Cleansing), හෙවත් වර්ග සංහාරයක් කළ යුතුය කියන එක…ඒ සඳහා සුන්නි මුස්ලිම් සංකල්පයන්ට අනෙක් වාර්ගික සහ ආගමික ප්‍රජාවන් නතු කර ගැනීමත්, එසේ නතු නොවන අය මරා දැමීමත් උපක්‍රම ලෙස ඔහු ඉදිරිපත් කළා….

මේ මතවාදී දෙදරා ‍යෑමේ ප්‍රතිපලයක් ලෙස 2006 වසරේ පෙබරවාරි මාසයේදී පහත සඳහන් සංවිධාන 18 සමග අල් කයිඩා ජාත්‍යන්තර ජාලයෙන් ඉරාකයේ අල් කයිඩා ශාඛාව වෙන් කර ගත් සර්කාවි “ඉරාක ඉස්ලාමික රාජ්‍යය” (Islamic State of Iraq = ISI) හෙවත් නිර්මාණය කර ගත්තා….

2006 ජූනි මාසයේ 6 වැනිදා ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් එෆ්-16 ජෙට් ප්‍රහාරක යානා දෙකක් යොදා එල්ල කරන ලද සුසමාධිත නිරවද්‍ය තාක්ෂණික ප්‍රහාරයකින් ( Precision Strike )සර්කාවි මිය ගියා….මිය යනවිට ඔහුට වයස අවුරුදු 40 ක් වූ අතර, දැඩි මතධාරී ක්‍රියා පටිපාටිය නිසා ප්‍රබල දෙවැනි පෙළ නායකයෙක් හෝ නායකයන් සාදා තිබුනේත් නෑ…

මේ හේතුව ISI නිසාම ක්‍රමයෙන් දුර්වල වෙන්න පටන් ගත්තා….අලුතින් පත් වුනු නායකයන් කිහිප දෙනෙක්ම එකිනෙකාට ඉතාම ආසන්නයෙන් ඇමරිකානු හමුදා සහ ඉරාකයේ ඇමරිකානු ආධාර ලබන රජයේ හමුදා ප්‍රහාර වලින් මිය ගියා….

එසේ මියගිය අනෙක් නායකයන් වන්නේ :

1. අබු අයුබ් අල් මස්සෙරි ( Abu – Ayub – Al – Massri) 
2. අබු ඕමාර් අල් බග්දාදි ( Abu – Omar – Al – Baghdadi )

මේ අයගේ ඇවෑමෙන් තමයි මේ සංවිධානයේ වත්මන් නායක අබු බකර් අල් බග්දාදි ( Abu – Bakr – Al – Baghdadi) නායකත්වයට පත් වෙන්නේ 2010 වසරෙදි…..

මේ වත්මන් නායකයාත් පසුගිය වසරේ එල්ල වූ ප්‍රබල ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබුවා…ඔහුට දැන් සක්‍රීයව නායකත්වයෙහි කටයුතු කිරීම දුෂ්කර බවත්, ඒ වෙනුවට මෙහි වත්මන් වගකීම හොබවන්නේ එම සංවිධානයේ නියෝජ්‍ය නායක “අබු අලා අල් අෆ්‍රි”  ( Abu – Ala – Al – Afri) බවත් ඇමරිකානු බුද්ධි අංශ වාර්ථා උපුටා දක්වන විදෙස් මාධ්‍ය පවසනවා….

ISI බවට ISIS පත්වීම….ISIS ප්‍රකාශයට පත් කිරීම

මුළු ලොවම මෙතෙක් හොඳින් දැන හඳුනාගෙන සිටි ප්‍රබලතම අන්තවාදී ත්‍රස්ත ජාලය තමයි ” අල් කයිඩා” සංවිධානය…මේ කුප්‍රකට අල් කයිඩා සංවිධානයේත් විනාශය ඇරඹෙන්නේ මේ වකවානුව තුල….ඔවුන් විනාශ වෙන්නේ මේ “මව් මරා උපන් කුමරා” හෙවත් අයිසිස් නිසා….අල් කයිඩා සංවිධානයේ වත්මන් නායක “අයමන් අල් සවාහ් – රි” පිළිගත්තා මේ අයිසිස් නම් මහා ත්‍රස්ත ජාලය නිර්මාණය වීමට පෙර ඔවුන් සතුව පැවති ශක්තියෙන් 70% පමණ මේ බිහිවීමෙන් පිරිහී ගියා කියන එක….

ඒක උනේ කොහොමද?

නැවතත් කළාපීය කථාවට ආවොත්, අලු යට ගිණි පුපුරු සේ ඇවිලෙන්න මොහොතක් එනතුරු නලියමින් සිටි දේශපාලනික අර්බුද කිහිපයක් මේ කළාපයේ තවමත් මුණිවත රකිමින් සිටියා…එයින් එකක් ලිබියාව, එකක් සිරියාව, එකක් ලෙබනනය….ඉරාකය 2010 පමණ වනවිට කඩා වැටුණු කොන්ක්‍රීට් ගොඩක්, ඇඹරුණු කම්බි කූඩු ගොඩක්, සහ කැඩී විසිරුණු අතපය ගොඩක් බවට පත්වෙමින් තිබුනෙ…ඉරාකය රාජ්‍යයක් ලෙස අවසන් බව බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දුන්නා….

මේ රාජ්‍යයන් වල පාලනයන් පැවතියේ / පවතින්නේ පහත පරිදි ( 2011 )

ලිබියාව – කර්නල් මුවම්මද් ගඩාෆි සහ ඔහුගේ ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන් සතු ඒකාධිපති පාලනය

සිරියාව – ජනාධිපති බෂාර් අල් අසාද් සහ භාත් පක්ෂ ලේකම් නඩෙර් අල් හල්කි ප්‍රමුඛ භාත් පක්ෂය පවත්වා ගත් තනි පක්ෂ පාලනය

ලෙබනනය – ජනාධිපති මිෂෙල් සුලෙයිමාන් ප්‍රමුඛ ජනතා නියෝජිත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය

යේමනය – ජනාධිපති අලි අබ්දුල්ලා සාලෙයි ප්‍රමුඛ ෂුරා කවුන්සිල ප්‍රජාතන්ත්‍රවාදය

මේ රටවල් හැම එකකම බලයේ සිටි නායකයන් තරමක් දුරට ඓහික ප්‍රතිපත්ති අනුගමනය කළ, මිශ්‍ර වාර්ගිකත්වය සහ මිශ්‍ර ආගමිකත්වය යම් පරිමාවකට ආරක්ෂා කළ, වාමාංශික සහ “අරාබි ලෝකය” ( Pan – Arabism )සිහිනය දුටු නායකයන්… මේ නිසාම ඔවුන්ගේ දීර්ඝ පාලන සමයන් තුල මෙම රටවල පැවති ආගමික අන්තවාදය සහ දරුණු ගෝත්‍රවාදය සාර්ථකව සුවිශාල මිලිටරි බලයක් යොදා පාගාගෙන ගෙන දෛනික කටයුතු කරගෙන යාමට ඔවුන් සමත් වුනා….

ලිබියාවේ උඝ්‍ර ගෝත්‍ර ප්‍රශ්ණයක් ( ගෝත්‍ර 100 + සංඛ්‍යාවක් අතර ) ගඩාෆි බලෙන් පාගගෙන හිටියා….

සිරියාවේ ආගමික අන්තවාදය අසාද් යාන්තමින් පාලනය කර ගනිමින් හිටියා…

යේමනයේ බෙදුම් වාදී ගෝත්‍ර ගැටුමක් පාලනය කර තිබුණා….

ලෙබනනයේ තරුණ පරපුර ඔවුන්ගේ රජය අසල්වැසි ඊශ්‍රායලය හමාස් ඉලක්ක සොයා සිය රටට දරුණු ගුවන් ප්‍රහාර එල්ල කරද්දී අනුගමනය කළ නිවට ක්‍රියා කළාපය ගැන කළ කිරීමෙන් හිටියා….

තරුණ පරපුර අතර අසහනය සහ ඉච්ඡා භංගත්වය, විශේෂයෙන්ම පරාජිත මානසිකත්වය තරම් ත්‍රස්තවාදයට අත වනන වෙනත් හේතුවක් නෑ…. ශ්‍රී ලංකාවේත් එය තුන් වතාවක්ම උතුරේ සහ දකුණේ දකින්න ලැබුණා….මේ රටවලත් මෙකී අසහනකාරී පරිසරයන් අතරට කොටුවී බලාපොරොත්තුවක් නැතිව සිටි “ඇතැම්” තාරුණ්‍යයට “අල් කයිඩා” වැනි විනාශකාරී සංවිධාන වල දිෂ්ඨිය වැටුණා…..

මේ අය තමා අල් කයිඩා සංවිධානයේ Recruitment Base එක උනේ.. .ඒ වගේම ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලය පවත්වා ගැනීමේ ලා පණිවිඩ කරුවන්, ප්‍රවාහකයන්, මොළ කරුවන්, සටන් කරුවන් ලැබුණෙත් මේ අයගෙන් තමයි…..

අල් කයිඩා සංවිධානය සහ එහිම පරිපාලක සහෝදර සංවිධානය වන තලෙයිබාන් සංවිධානය 70-80 දශක වල පැවති ඇෆග්නිස්ථානයේ සෝවියට් ආධිපත්‍යය පෙරළා දැමීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශ විසින්ම ඇෆ්ගන් වැසියන් අතුරින් තෝරාගත් රණකාමී ගෝත්‍රිකයන්ට අවි ආයුධ සැපයීමෙන් බිහිකර දුන් සංවිධාන….

මේ සංවිධාන බිහිවීම ආනුබුද්ධික විශ්ලේෂකයන්ට අනුව ඇමරිකාව විසින් කළ විශාලතම මෝඩ කමක්… නමුත් කුමන්ත්‍රණ සිද්ධාන්තයන් විශ්ලේෂණය කරන විකල්ප විශ්ලේෂකයො නම් කියන්නෙ තවමත් මේ සංවිධාන හරහා මැද පෙරදිග පාලනය කරනු ලබන්නේ ඇමරිකාව බවයි….

අරාබි වසන්තය 

2010 වසරේ දෙසැම්බර් 18 වැනිදා ටියුනීසියාවෙන් ඇරඹී, ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව, යේමනය ආදී රටවල් රැසක පාලනයන් පෙරළා දමා, සිරියාවේ මේ සියවසේ දැනට අපි දකින දරුණුම සිවිල් යුද්ධය ඉතිරි කළ මේ “අරාබි වසන්තය” ක්‍රියාවලිය ගැන මෙහිදී දීර්ඝ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ….මේ ගැන ලාංකික සයිබරයේ ඕනෑ තරම් සාකච්ඡා වෙලා ඇති…

මේකෙන් හොඳ වගේම නරක දෙකම සිද්ද උනා…වැඩිපුරම උනේ නරක උනත්, තව බොහෝ කළක් පාලනයේ ඉන්න සිතා සිටි ඒකාධිපතියන්ගේ විනාශයත් සමග යම්, යම් රටවල ( ලිබියාවේ එහෙම ) ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවස්ථාවක් නිර්මාණය උනා….

අරාබි වසන්තය ආරම්භයේදී ඒක ඒ ඒ රටවල ජනතා පිබිදීමක් උනත්, ඇතැම් තැන්වල මේ සිවිල් යුද තත්වයන් ඉතිරි වෙන්න ප්‍රධාන වශයෙන් ඇමරිකාව ප්‍රමුඛ නේටෝ බලවතුන් සෘජුව වගකිව යුතුයි…මොකද ඒ රටවල ජනතා නැගිටීම් වලට සහාය දෙනවා කියා ඔවුන්:

1. අදාළ කැරලි කණ්ඩායම් වලට පුහුණුව

2. ආදායම් මාර්ග

3. සටන් කරුවන්

4. අවි සහ මුදල්

විශාල වශයෙන් ලබා දුන්නා…මේ තත්වය දරුණුවටම දකින්න ලැබුනේ සිරියාවෙදි….ඒ වගේම ලිබියාවේදි සෘජුව ගුවන් ප්‍රහාර හරහා මැදිහත් වීමත් සිදු කළා…..

අයිසිස් එකට හොඳම වාසිය සිද්ද උනේ සිරියාවෙදි… සිරියාවට මේ විදියට විශාල වශයෙන් මුදල් ආධාර තුර්කිය, සවුදිය ප්‍රමුඛ ගල්ෆ් රාජ්‍යයන් හරහා බටහිරින් ගලා එනකොට, සහ එවකට සිරියාවෙ තිබුණු බලවත්ම සන්නද්ධ කැරලි කණ්ඩායම වන “නිදහස් සිරියානු හමුදාව” ( Free Syria Army) ට යත් සටන් කරුවන් තුර්කියේ සහ ගෝලාන් කඳුකරයට ඔබ්බෙන් බටහිර විශේෂ සේනාංක මගින් පුහුණුව ලබා දෙනකොට, මේ අතරේ හිටියා පසුව “අයිසිස්” වෙත එකතුවෙන සංවිධාන රැසක සටන් කරුවන්…ඔවුන් මේ පුහුණුව, මුදල් සහ අවි ලබාගත්තා යහමින්…..

2013 අප්‍රේල් මාසයේ 8 වැනිදා එවකට ඉරාකයට පමණක් සීමා වී සිටි අයි.එස්.අයි සංවිධානය සිරියාවේ ක්‍රියාත්මක වූ “ජබාත් අල් නුස්-රා” සංවිධානය සමග දීර්ඝ සාකච්ඡා අවසන් කර ඒකාබද්ධ වුනා…. එදින විනාඩි 33 ක් ගුවන් විදුලි සහ අන්තර්ජාල සජීව විකාශයන් හරහා කළාපීය ජනතාව ඇමතූ අයි.එස්.අයි නායක අබු බකර් අල් බග්දාදි, මේ සමගම අයි.එස්.අයි ඉරාකයෙන් පිටතට පා තබන බවත්, ඒ අනුව ඒකාබද්ධ සංවිධානයක් ලෙස “ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමික රාජ්‍යය” හෙවත් Islamic State of Iraq & Syria ( ISIS) බිහිවූ බවත් ප්‍රකාශ කළා…මෙයට ඔහු ඒ මොහොතේ දුන් නම තමයි “ඉරාකයේ සහ නැගෙනහිර මධ්‍යධරණියේ ඉස්ලාමික රාජ්‍යය”  යන නම (Islamic State of Iraq & the Levant – ISIL) …මේ ප්‍රකාශයත් සමගම සිරියාවේ අල් කයිඩාවට, සහ නිදහස් සිරියා හමුදාවට අනුබද්ධිතව සිටි පුද්ගල සටන් කරුවන් සහ කුඩා ප්‍රාදේශික සංවිධාන බුරුතු පිටින් ඔවුන් හැරගොස් මේ නව සංවිධානයට එක් වෙන්න පටන් ගත්තා…..

මේ සම්බන්ධයෙන් අල් කයිඩා වැනි සාම්ප්‍රදායික ත්‍රස්ත ජාලයන් කෙතරම් කලබල උනාද කිව්වොත් අල් කයිඩා නායක එමිර් අයමන් අල් සවාහිරි “වහාම මෙම නව සංවිධානය විසුරුවා හැර ඉරාකයට සිය ක්‍රියාකාරකම් සීමා කරගන්නා ලෙස නියෝගයක්” අබු බකර් අල් බග්දාදිට නියෝග කළා… ඒත් ඒ වනවිට අයි.එස් නායකයන් අල් කයිඩාව තඹේකට නොතකා හැරිය හැකි තරම් බලවත් වී අවසන්….

අල් කයිඩාව සහ නිදහස් සිරියානු හමුදාව භ්‍රාන්තව බලා සිටියදී දහස් ගණනක් ඔවුන්ගේ සාමාජිකයන් සහ උප-සංවිධාන තමන්ට බටහිරින් ලැබුණු පුහුණුව සහ නව අවි තොග රැගෙන අයිසිස් වෙත යන්න පටන් ගත්තා….

ඇයි එහෙම ගියේ ?

මෙහෙම යන්න ප්‍රධානතම හේතුවක් උනේ අබු බකර් ප්‍රමුඛ අයි.එස්.අයි නායකත්වය විසින් “නිදහස් සිරියානු හමුදාව” සහ “අල් කයිඩා” සංවිධානය කියන්නේ තමන්ව රවටමින් බටහිර අතකොළු බවට පත් කරවන බටහිර ගැති බළල් අත් බව සිරියාවේ සිටි 35,000 ක් පමණ තරුණ සටන් කරුවන්ට ඒත්තු ගන්වා තිබීම…තමන් රැවටී සිටින බවත්, තමන් සේවය කරමින් සිටින්නේ බටහිරට මිස ඉස්ලාමයට නොවන බවත් මේ අයට පවසා තිබුණා….මේ තුළින් හටගත් ඉච්ඡා භංගත්වය සහිතව සිටි සටන් කරුවන්ට 2014 ජූනි මස 29 වැනිදා අයිසිස් අලුත් බලාපොරොත්තුවක් දුන්නා… ඒ බලාපොරොත්තුව තමයි සමස්ථ කළාපයම නිදහස් කරගෙන එය තුල “කැලිෆේටයක්” නොහොත් “කිලාෆා” එකක් බිහි කිරීම… විමුක්තියට ඇති එකම විසඳුම එය බව අබු බකර් අල් බග්දාදි මේ අයට පැවසුවා… ඒ වාගේම අයිසිස් කැලිෆේට ප්‍රකාශය කරන දිනයේ ඔහු තමාවම එහි “කාලිෆ්” වරයා හෙවත් “කාලිෆා රසුල්” ( දේව පණිවිඩ කරුවාගේ අනුප්‍රාප්තිකයා ) ලෙස නම් කරගෙන “කාලිෆා ඉබ්‍රාහිම්” ලෙස රාජ්‍යත්වයට සම්මත කර ගත්තා….

කාලිෆාවක් හෙවත් කැලිෆේටයක් යනු කුමක්ද?

අරාබි බසින් “කිලාෆා හෝ කාලිෆා”  කියන්නෙ දෙවියන්ගෙන් ලැබුණු දෙවියන්ට අනුගත රාජ්‍යයක්….එහි නායකයා තමයි “කාලිෆ් හෝ කාලිෆා” වරයා හෙවත් දේව අනුප්‍රාප්තිකයා…

මේ මහා දේව රාජ්‍යය නම් සංකල්පයේ ඉතිහාසය ක්‍රි.ව 632 තරම් ඈතට දිව යනවා… ඉතිහාසය පුරාවට වතා කීපයකදීම මැද පෙරදිගින් පහළ වූ විවිධ බලසම්පන්න නරපතියන් විසින් මේ රාජ්‍යය බිහි කිරීමෙහිලා උත්සාහ දරනු ලැබුවා….ඒ උත්සාහයන් කිහිප වරක්ම සාර්ථක වුවත්, එසේ බිහිවූ මහා රාජධානි පැවතුනේ ඉතාම කෙටි කාළයයි….

අවසන් වරට එසේ මෙලොව පැවති පිළිගත් “කැලිෆේටය” තමයි හිජාහි ෂාරිෆියාන් කැලිෆේටය….ඔටෝමන් තුර්කිවරුන් 1923 ජූලි 24 වැනිදා ස්විට්සර්ලන්තයේ ලෝසාඥ්ඥේහි අත්සන් තබන ලද ගිවිසුමක් මගින් ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය විසුරුවා හැරි මොහොතේ එතෙක් පැවති සුවිශාල ඔටෝමන් තුර්කි කැලිෆේටය අහෝසි උනා….දෙවැනි අබ්දුල්-මෙෂිඩ් තමයි තුර්කියේ අවසන් කාලිෆා වරයා….එයින් පසුව කෙටි කාළයක් ගල්ෆ් කළාපයේ නායකයන් කිහිප දෙනෙක් එක්වී ෂාරිෆියාන් කැලිෆේටය පවත්වා ගන්න උත්සාහ කළත් 1925 දි එයත් විසුරුවා හැරියා…..

එයින් පසුව පළමු වරට ප්‍රසිද්ධියේ කැලිෆේටයක් පිහිටුවන උත්සාහය ප්‍රකාශ කරන්නේ “අයිසිස්” සංවිධානය විසින්…..

එම ප්‍රකාශයේ ඉංග්‍රීසි පිටපත:

https://ia902505.us.archive.org/28/items/poa_25984/EN.pdf

අයිසිස් (ISIS) නායකත්වය 

දැන් අපි මෙම සංවිධානයේ වත්මන් නායකත්වය ගැන සංක්ෂිප්ත අදහසක් ගනිමු…

ප්‍රධාන නායකත්වය:

සමස්ථ සංවිධානයේම නායක සහ කාලිෆාවේ අනුප්‍රාප්තිකයා – අබු බකර් අල් බග්දාදි ( ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා සදාකාළික ආබාධයන්ට ගොදුරුව සිටින හෙයින් මේ මොහොතේ ඔහු ක්‍රියාකාරීව නායකත්වය නොදරයි )

අබු බකර් අල් බග්දාදි
අබු බකර් අල් බග්දාදි

වත්මන් වැඩබලන නායක සහ නිළ නියෝජ්‍ය නායක – අබු අලා අල් අෆ්‍රි

සිරියාවේ අයිසිස් නියෝජ්‍ය නායක – අබු අලි අල් අන්බාරි

ඉරාකයේ අයිසිස් නියෝජ්‍ය නායක – අබු අල් තුර්කිමනි

සමස්ථ සන්නද්ධ අංශ නායක – අබු සුලෙයිමාන් අල් නසිර්

යුප්‍රටීස් කළාපයේ අයිසිස් ආණ්ඩුකාර – අබු ෆාතිමා අල් ජයේෂි

මාධ්‍ය ප්‍රකාශක – අබු මුහම්මද් අල් අද්නානි

සිරියානු අංශයේ විශේෂ මෙහෙයුම් නායක – අබු ඕමාර් අල් සිෂාණි

මේ හැර අයිසිස් සංවිධානය විසින් මේ මොහොත වනවිට ඉරාකයෙන් සැළකිය යුතු ප්‍රමාණයක පාලනය නතු කරගෙන සිටින බැවින් ඔවුන් එම ප්‍රදේශ පාලනය සඳහා විශේෂ “කැබිනට් මණ්ඩලයක්” පත් කර ඇත… පහතින් දැක්වෙන්නේ එම කැබිනට් මණ්ඩලයේ 08-07-2015 වනවිට සිටින සාමාජිකයන්ය:

  1. අබු අබ්දුල්ලා කාදර්
  2. අබු මුහම්මද්
  3. අබු ලුවේ
  4. අබු සලාහ්
  5. අබු හජාර් අල් අසාෆි
  6. අබු කාසිම්
  7. අබු අබ්දුල් රහ්මාන් අල් බිලාවි

මේ සියළු දෙනා හැර මේ මොහොත වනවිට අයිසිස් සංවිධානයේ වඩාත්ම කැපී පෙනෙන පුද්ගලයා ලෙස එම සංවිධානයට පක්ෂපාත ජන කොට්ඨාශ වල ජනප්‍රියත්වය දිනාගෙන සිටින්නෙ, එම සංවිධානයේ නිළ ඝාතකයා ලෙස බටහිර බුද්ධි අංශ හඳුනාගනු ලබන 30 හැවිරිදි ෂකිර් වහිබ් අල් ෆාදාවි අල් දුලයිමි හෙවත් අබු වහිබ් නම් ත්‍රස්තයාය…පසුගිය කාළයේ අයිසිස් සංවිධානය මගින් අන්තර්ජාල ගත කරන ලද ඝාතන සියල්ලටම පාහේ අනුමැතිය දීම සහ ඒවායින් ඇතැම් ඝාතන වලට සක්‍රීයව සම්බන්ධ වීම ( ට්‍රක් රථ රියදුරන් ඝාතනය ) මොහු අතින් සිදුවිය… “කාන්තාරයේ සිංහයා” හෝ “අයිසිස් චේ” යන විරුදාවලි වලින් මොහුව මොහුගේ මිතුරන් හඳුන්වනු ලබයි….

අයිසිස් සංවිධාන ශක්තිය (සන්නද්ධ පිරිස් බලය සහ වැටුප්) – Strength Profile of ISIS

අයිසිස් සංවිධානයේ පිරිස් බලය පිළිබඳව විවිධ මූලාශ්‍ර වල විවිධ තොරතුරු ඇත…එහෙත් වඩාත් විශ්වාසනීය මූලාශ්‍රය වන ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ආයතනය (National Security Agency – NSA) පවසන අන්දමට මෙම සංවිධානය මේ මොහොතේ මෙලොව පවතින විශාලතම ත්‍රස්ත ජාලයයි…

එහි සමස්ථ ත්‍රස්ත සංඛ්‍යාව එය ක්‍රියාත්මක සියලු රටවල මේ මොහොතේ – 85,000 සිට 170,000 ක් පමණ වේ… ( සටන් පවතින රටවල ස්වදේශික ශක්තිය )

සටන් පවතින රටවල විදේශික සටන් කරුවන් 25,000 – 31,000 ක් පමණ සිටිති ( මූලාශ්‍ර : International Center for the Study of Radicalization and Political Violence – King`s College London )

2015-07-08 12_23_33-New ISIS Offensive in Syria Counters Losses - The New York Times - Maelstrom
අයිසිස් සංවිධානයට එම සංවිධානය සටන් වදින රටවල ස්වදේශික සටන් කරුවන් හැර විදේශයන්ගෙන් පැමිණි සටන්කරුවන්ගේ දේශපාලනික මූලාශ්‍රයන්

මධ්‍යම ශ්‍රේණීන්ට අයත් අණදෙන නිලධාරීන් – 1,000 – 3,500 අතර ප්‍රමාණයක් සිටිති ( කුර්දි සටන් කරුවන්ගේ බුද්ධි අංශ වලට අනුව )

මොවුන්ට වැටුප්ද ගෙවනු ලැබේ – එක් එක් ත්‍රස්ත නිළධාරියාගේ හෝ ත්‍රස්ත සටන් කරුවාගේ වගකීමේ තරාතිරම අනුව මාසකයට ඇමරිකානු ඩොලර් 300 සිට ඇමරිකානු ඩොලර් 4000 ක් තෙක් වැටුප් ලැබේ. ( එක්සත් රාජධානියේ “ටෙලිග්‍රාෆ්” පුවත්පතට අනුව බ්‍රිතාන්‍ය බුද්ධි අංශ වාර්ථාවක් උපුටා දක්වමින් )

අයිසිස් ඉරාක සන්නද්ධ ශක්තිය –

ස්වදේශික සටන් කරුවන් 30,000 – 70,000 ක් පමණ තෙක් ( කුර්දි / මොසාඩ් වාර්ථා  )

විදේශික සටන් කරුවන් – 3,500 – 11,000 ( ඉරාක රජය )

අයිසිස් විදේශ ත්‍රස්ත සටන් කරුවන් ඉරාකයට පැමිණ ඇත්තේ :

ටියුනීසියාව, සවුදි අරාබිය, රුසියාව, ජෝර්දානය, මොරොක්කෝව, ලෙබනනය, ජර්මනිය, එක්සත් රාජධානිය, ලිබියාව, උස්බෙකිස්ථානය, පාකිස්ථානය, තුර්කිය යන රටවලිනි …

අයිසිස් සිරියාව සන්නද්ධ ශක්තිය –

ස්වදේශික සටන් කරුවන් 35,000 – 50,000 ක් පමණ ( කුර්දි / ඇමරිකානු වාර්ථා )

විදේශ සටන් කරුවන් 15,000 ක් පමණ ( සිරියානු රජය / නිදහස් සිරියානු හමුදාව / බටහිර බුද්ධි අංශ වාර්ථා )

විදේශ සටන් කරුවන් සිරියාවට පැමිණියේ:

ටියුනීසියාව, සවුදි අරාබිය, ජෝර්දානය, ලෙබනනය, ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ලිබියාව, තුර්කිය, ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවලිනි.

අයිසිස් සංවිධානය – මූල්‍ය ශක්තිය – Economic & Financial Profile 

අයිසිස් යනු මේ මොහොත වනවිට ලොව ධනවත්ම ත්‍රස්ත ජාලයයි…

සංවිධානයේ වාර්ෂික ආදායම – දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ( නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත )

සංවිධානය සතුව 2015 මැයි මාසය වනවිට වත්කම් – ඩොලර් බිලියන 1.25 ( බොහොමයක් සිරියානු සහ ඉරාක හමුදාවන් පළා යන විට අත්හැර දමා ගිය ඇමරිකානු සහ රුසියානු අවි ගබඩා, සන්නද්ධ රථ ආදිය මෙයට අයත් කරගෙන ඇත )

අයිසිස් සංවිධානය මුදල් උපයාගන්නේ කෙසේද?

ප්‍රධාන ආදායම් මාර්ග (2014) :

තමන් යටතේ පවතින ප්‍රදේශ වලින් බදු අය කර ගැනීම සහ කප්පම් ගැනීම – වාර්ෂිකව ඩොලර් මිලියන 600 පමණ

ඉරාකයේ රජයේ බැංකු පද්ධතියෙන් සොරාගත් මුදල් – වාර්ෂිකව ඩොලර් මිලියන 500 පමණ

බොරතෙල් වෙළඳාම – ඩොලර් මිලියන 100

අපහරණ කප්පම් මුදල් – ඩොලර් මිලියන 20 පමණ

අවිග්‍රාහක විදේශ ප්‍රදානයන් – ඩොලර් මිලියන 50 ක් පමණ

2015-07-08 12_46_21-ISIS Finances Are Strong - The New York Times - Maelstrom
අයිසිස් ආදායම්

අයිසිස් ව්‍යාප්තිය සිදුවූයේ කෙසේද?

අයිසිස් සංවිධානය 2015 ජූනි මාසය වනවිට ඔවුන්ගේ සටන් පෙරමුණු, සක්‍රීයත්වය සහ සමස්ථයක්  ලෙස Cells, Sleeper Cells පවත්වා ගත් දේශයන් පහත පරිදිය….

Where ISIS operates (Source: New York Times )
Where ISIS operates (Source: New York Times )

ඉරාකය
සිරියාව
ලිබියාව
ටියුනීසියාව
ඇල්ජීරියාව
ඇෆ්ගනිස්ථානය
යේමනය
ඊජිප්තුව

( Image Source: King`s College London )
( Image Source: King`s College London )

ලන්ඩන් ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය පවසන අන්දමට අයිසිස් සංවිධානයේ ප්‍රධාන ව්‍යාප්ති උපක්‍රම පහත පරිදිය:

1. ඔවුන් විසින් යටත් කරගනු ලබන ප්‍රදේශ වල සක්‍රීය පාලනයක් ක්‍රියාත්මක කිරීම – අනෙකුත් ත්‍රස්ත සංවිධාන මෙන් අදාළ ප්‍රදේශ වල සන්නද්ධ පරිපාලනය සහ එයට අදාළ පුද්ගල පාලනය පමණක් සිදු නොකොට, නිළ වශයෙන් රාජ්‍ය පරිපාලන කටයුතු සහ සේවා සැපයීම් වලට ඔවුහු මැදිහත් වෙති…එමගින් තමන් යටතේ පවතින ප්‍රදේශ වලින් පිරිස් බලය සහ මූල්‍ය ශක්තිය එක් කර ගැනීමට ඔවුහු සමත් වෙති….

2. එකී ප්‍රදේශ වල විවිධ ජන කොට්ඨාශ අතර අභ්‍යන්තර භේද බින්නතාවයන්ට අත පෙවීම තුළින් එක් එක් කළාපයෙහි මිත්‍ර සංවිධාන හෝ සහායක සංවිධාන ඇති කර ගැනීම

3. එසේ ඇති කරගත් මිතුරු කණ්ඩායම් හෝ කුඩා කණ්ඩායම් අවසානයේදී අයිසිස් සංවිධානයට අවශෝෂණය කර ගැනීම

4 ඔවුන් අයිසිස් අරමුණු වලට සහ කැලිෆේටයට එකඟ කරවාගෙන සටන් පෙරමුණු වලට අනුයුක්ත කිරීම

අයිසිස් සංවිධානය සමග සටන් වදින රාජ්‍යයන් සහ කණ්ඩායම්

ගුවන් ප්‍රහාර

2015 ජූනි මාසයේ 30 වනවිට අයිසිස් සංවිධානයේ ප්‍රධාන සටන් පෙරමුණු දෙක වන සිරියාවේ සහ ඉරාකයේ අයිසිස් ඉලක්ක වෙත නේටෝ බලවේග විසින් ගුවන් ප්‍රහාර 4,550 ක් එල්ල කර තිබෙනවා… එම ප්‍රහාර වලින් 65% පමණ සාර්ථක වූ බව ඇමරිකානු හමුදා මධ්‍යම ආඥාපතීත්වය (US Central Command ) පවසනවා….

ඒ අනුව 30-06-2015 වනවිට :

ඉරාකයේ අයිසිස් ඉලක්ක වෙත නේටෝ ගුවන් ප්‍රහාර – 2,833
සිරියාවේ අයිසිස් ඉලක්ක වෙත නේටෝ ගුවන් ප්‍රහාර – 1,717

එල්ල වී තිබෙනවා…මෙයින් අයිසිස් ත්‍රස්තයන් 11,500 + මිය යන්නට ඇති බවට ගණනය කෙරෙනවා.

මේ ගුවන් ප්‍රහාර එල්ල කරන ලද රටවල් පිළිබඳව ආයතනය දරන්නේ පහත සඳහන් දත්තයන්:

ඇමරිකා එක්සත් ජනපදය – ගුවන් ප්‍රහාර 2,000 + ( 100% ඉරාකය තුළ )

එක්සත් රාජධානිය – 447+

ප්‍රංශය – 178+

කැනඩාව, ඔස්ට්‍රේලියාව, ඊශ්‍රායලය සහ ඩෙන්මාර්කය – 150+

අනෙක් ( සිරියානු ගුවන් හමුදාව සහ ඉරාක ගුවන් හමුදාව ඇතුළුව ) – 75+

නමුත් මෙම ගුවන් ප්‍රහාර වලින් කෙතරම් දුරකට අවශ්‍ය අරමුණු ඉටු වූවාද යන්න සැක සහිතය…. කාන්තාර සටන් සහ නාගරික සටන් පිළිබඳව මනා පුහුණුවක් ලැබූ ගරිල්ලා සටන් කරුවන් ලක්ෂය ඉක්මවා සිටින සංවිධානයක ව්‍යාප්තිය වැළැක්වීමේදී ගුවන් ප්‍රහාරම පමණක් ප්‍රමාණවත් නොවේ….මෙලෙස නම් සඳහන් නේටෝ සාමාජිකයන්ට අයත් කිසිදු හමුදාවක් තවමත් අයිසිස් සංවිධානය සමග ගොඩබිම් සටනකට එළඹී නැත.

එනමුත් ඇමරිකානු හමුදාවන් 2014 පෙබරවාරි මාසයේ සිට මේ දක්වා අයිසිස් සංවිධානයට එරෙහිව සටන් වදින සංවිධාන වල සටන්කරුවන් 25,000 ක් පමණද, ඉරාක හමුදා සෙබළුන් 40,000 ක් පමණද නිළ මැදිහත් වීම් හරහා පුහුණු කොට ඇත.

අයිසිස්ට එරෙහිව ගොඩබිමින් සටන් වදින්නෝ

සිරියාවේදී 

සිරියානු ආරක්ෂක හමුදාව ( Syrian Government Defense Forces) –

සිවු අවුරුදු සිරියානු සිවිල් යුද්ධයෙන් සහ ආර්ථික සහ තාක්ෂණික සම්බාධක වලින් බෙහෙවින්ම දුර්වලව සහ හෙම්බත්ව ඇති අතර, යුද අවි යාවත්කාළීනකරණය, අවශ්‍ය අමතර කොටස් සපයා ගැනීම ආදිය කළ නොහැකි වීමෙන් යල් පැනගිය අබලන් වූ අවි රැසක හිමිකම් ඇත්තෝය….එහෙත් අතිරේක භට සේනාංක සමග 600,000 ( හය ලක්ෂය ) අබිබවා යන පිරිස් බලයකින්ද, 1960 දශකයේ නිෂ්පාදිත සෝවියට් යුද ටැංකිද ඇතුලුව යුද ටැංකි 3000+ සංඛ්‍යාවක් ප්‍රමුඛ සන්නද්ධ රථද හිමිය….තවමත් ජනාධිපති බෂාර් අල් අසාද් යටතේ මධ්‍යම ආඥාපතීත්වයක නිළ හමුදාවක් ලෙස පවතී….සෙබළුන්, 40,000+ ක් පමණ මාස 8 ක් ඇතුළත සේවය අතහැර යෑම් නිසා බෙහෙවින්ම පීඩනයට පත්ව ඇත…

තවමත් සිරියාවෙන් විශාල කොටසක සිවිල් පාලනය රැකගැනීමට සමත්ව සිටිති…. නවීන ගුවන් ආරක්ෂණ පද්ධති සතු වුවත්, අයිසිස් වැනි තර්ජනයක් හමුවේ ඒවායින් ඵලක් නැත….

නිදහස් සිරියානු හමුදාව ප්‍රමුඛ ගරිල්ලා කල්ලි 17 ක් පමණ ( Free Syria Army and other Guerrilla outfits ) –

සටන් කරුවන් 29,000 ක් පමණ සිටියත්, ඔවුන් අතර පැවති විශාලතම බලවේගයන් ඒවායේ සංවිධාන සහ යුද රහස් සමගම අයිසිස් සංවිධානයට එක්වීමත් සමග බලවත් අර්බුදයකට සහ වික්ෂිප්ත භාවයකට පත්ව සිටිති….මේ වනවිට යුද පෙරමුණේ සැකය නිසාම තම තමන්ගේ සාමාජිකයන් බොහෝ සංඛ්‍යාවක් මරා දමා ඇත….අවි හිඟයකට මුහුණ දී සිටින අතර, එක් පසෙකින් අයිසිස් සහ අනික් පසින් සිරියානු රජය පමණක් නොව ඔවුනොවුන් අතරත් දරුණු ගැටුම් තිබීම නිසා දුර්වලව සිටිති… මෑතකදී අයිසිස් සංවිධානය තුර්කියට පහර දීම සඳහා ස්ථානගත වීමට දැරූ උත්සාහයට එරෙහිව ආරක්ෂණ පියවරක් ලෙස ඇමරිකාව සහ තුර්කිය එක්ව සටන් කරුවන් 6,000 කට පමණ නැවත පුහුණුව ලබා දුන්නද, ඒ පුහුණුව ලැබූවන්ගෙන් සමහරෙක් පලාගොස් අයිසිස් සමග එක්වීම නිසාත්, අයිසිස් වැටලීම් වලදී බටහිර රටවල් සහ තුර්කිය ඔවුන්ට ලබා දුන් අවි තොග අයිසිස් අතට පත්වීම නිසාත් අපේක්ෂාවන් ඉටු නොවිණි…..සෞඛ්‍ය පහසුකම් මද වීම හේතුවෙන් සහ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් සාමාජිකත්වය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී…ඔවුන් සතුව පැවති ප්‍රදේශ එකින් එක අයිසිස් අතට පත්වෙමින් පවතී….

මහජන ආරක්ෂක ඒකක – කුර්දි සටන් කරුවෝ ( People`s Protection Units  – Yekeneyina Parastina Gel)

කුර්දි වරු වනාහි සිරියාවේ මිලියන 4 ක් පමණද ඉරාකයේ මිලියන 7 ක් පමණද ලොව පුරා මිලියන 40 ක් පමණද සිටින සෙමෙටික දේවවාදී ජාතිකත්වයකි….මෙම ජනතාව උතුරු දිග ඉරාකයේද නැගෙනහිර සහ ඊසාන දිග සිරියාවේද බෙහෙවින් සිටිති….කළක් සිරියානු හමුදාවන්ගෙන් එක් පසෙකින්ද, අනික් පසින් සදාම් හුසේන්ගේ ඉරාක හමුදාවන්ගෙන්ද දරුණු පීඩා ලැබූවන් වෙති…2003 වසරේ සිට ඉරාකයේද, 2011 වසරේ සිට සිරියාවේද ක්‍රියාත්මක අභ්‍යන්තර ගැටුම්, ගරිල්ලා ත්‍රස්ත කල්ලි සහ අස්ථාවරයත්වය හමුවේ කුඩා කණ්ඩායම් වශයෙන් තැන තැන ආත්මාරක්ෂක සහ සිය ජාතිය උදෙසා ප්‍රජා ආරක්ෂක ගරිල්ලා සටන් කරමින් සිටි කල්ලි 20 ක් පමණ එක්ව මෙම “මහජන ආරක්ෂක ඒකකය” පිහිටුවාගත්හ….

පුද්ගල ශක්තිය 70,000 ක් පමණ වෙති… ඇමරිකාව ප්‍රමුඛ නේටෝව ප්‍රධාන අවි සැපයුම් කරුවන් වන අතර, රුසියාවෙන්ද පුහුණුව සහ අවි ලැබී ඇත….සමස්ථයක් ලෙස අයිසිස් “කැලිෆේටය” පිහිටුවීමෙහිලා මොවුන් විශාල බාධකයක් වී ඇත්තේ ඉරාකය සහ සිරියාව යා කරන භූමිය පුරා මොවුන්ගේ නිජබිම් පිහිටීම හේතුවෙනි….

පුහුණුව අතින් සහ ආත්ම විශ්වාසය අතින්ද, සංවිධාන ශක්තිය අතින්ද මොවුන් මේ වනවිට අයිසිස් ත්‍රස්තවාදීන්ට භූමියේදී මුහුණ දෙන ප්‍රබලතම ප්‍රතිවාදියා බවට පත්ව සිටිති….ඔවුන්ට පිටුපසින් තුර්කිය, යුරෝපා පිවිසුම සහ ගෝලාන් කඳුකරය ඇති හෙයින් සැපයුම් සඳහා මාර්ග බාධාවක් නොමැත….තමන්ගේ ජාතිය වෙසෙන ප්‍රදේශ සහ ඒවාට අයත් බොහෝ නගර සාර්ථකව ආරක්ෂා කරගෙන සිටිති….

ඉරාකයේදී 

ඉරාක ජාතික ආරක්ෂක හමුදාව (Iraqi Army / Defense Forces)

අතිරේක හමුදාවන් සමග මිලියනයකට (1000,000) ආසන්න පිරිස් බලයකින් යුක්ත වන අතර, ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ බලවේග විසින් සපයන ලද නවීනතම තාක්ෂණය සතුය…එහෙත් මේ වනවිට මෙලොව සිටින දුර්වලතම හමුදාවක් බව ඔප්පු කර හමාරය…

දහස් ගණනක් සේවය හැර ගොස් සැඟවී සිටීම නිසා පිරිස් බලය අතින් පිරිහී ගොස් ඇත….අතිශය දුර්වල සංවිධාන ශක්තිය නිසා ඇතැම් හමුදා අනුඛණ්ඩ වලට සිය මතය ප්‍රචාරය කර ඔවුන් නම්මවා ගැනීමට අයිසිස් සමත්ව සිටිති…2003 වසරේ සිට ඉරාකය පුරා හටගත් ගරිල්ලා සටන් වලට මුහුණ දී හෙම්බත්ව සිටින අතර, 2005 වසරේ සිට විශේෂ ඇමරිකානු පුහුණුවක් ලැබූවද, පරාජිත මානසිකත්වය, ඉච්ඡා භංගත්වය හේතුවෙන් සටන් පෙරමුණු වලදී තම අවි ආයුධ අතහැර පලා යාම සිදුකරමින් සිටිති….නව සෙබළුන් පුහුණුවකින් තොර බැවින් ඔවුන් සතු නවීන ඇමරිකානු අවි වලින් නිසි ඵල නෙලා ගැනීමට නොදත්තෝ වෙති…මේ හෙයින් ඔවුන් අයිසිස් හමුවේ සියළු දේ අතහැර පළා යති….එසේ අයිසිස් සංවිධානයට සටනකින් තොරවම අත්පත් වූ ඇමරිකාව විසින් ඉරාක හමුදාවන්ට ලබා දී තිබුණු අවි තොග වල වටිනා කම 2015 අප්‍රේල් 27 වනවිට ඩොලර් මිලියන 615 කි… ( මූලාශ්‍ර: International Institute of Strategic Studies දත්ත ගබඩාව )

රාමාදි නගරය අත්කරගැනීමේ සටනේදී ඉරාක හමුදාවන් දමා පලා ගිය ඇමරිකානු
රාමාදි නගරය අත්කරගැනීමේ සටනේදී ඉරාක හමුදාවන් දමා පලා ගිය ඇමරිකානු “හම් වී” සන්නද්ධ රථයක නැගී වීදි සරන අයිසිස් සටන් කරුවන්…මෙවැනි රථ සිය ගණනක් “මොසූල්” නගරය අල්ලන සටනේදී අයිසිස් සටන් කරුවන් අතට පත්විය…

මෙවැනි අවි සහ ඒවායේ උපාංග ලොව අනෙකුත් ත්‍රස්ත සංවිධාන සහ ඇමරිකානු විරෝධී රජයන් වෙත වෙන්දේසියේ දමා අයිසිස් ත්‍රස්තයන් විශාල මුදලක් උපයා ඇති බවට වාර්ථා ඇත…

//…

Iraqi security forces lost 2,300 Humvee armored vehicles when ISIS overran the northern city of Mosul, Prime Minister Haider al-Abadi said on Sunday.

“In the collapse of Mosul, we lost a lot of weapons,” Abadi said in an interview with Iraqiya state TV. “We lost 2,300 Humvees in Mosul alone.”

While the exact price of the vehicles varies depending on how they are armored and equipped, it is clearly a hugely expensive loss that has boosted ISIS’s capabilities.

Last year, the State Department approved a possible sale to Iraq of 1,000 Humvees with increased armor, machineguns, grenade launchers, other gear and support that was estimated to cost $579 million.

Clashes began in Mosul, Iraq’s second city, late on June 9, 2014, and Iraqi forces lost it the following day to ISIS, which spearheaded an offensive that overran much of the country’s Sunni Arab heartland.

The militants gained ample arms, ammunition and other equipment when multiple Iraqi divisions fell apart in the country’s north, abandoning gear and shedding uniforms in their haste to flee…// –

( The “Lebanon Star” News Paper quoting Iraqiya State Television )

භූමි සටන් සඳහා කොතරම් පුහුණු කළත් ඉරාක හමුදාවන්ගේ ආත්ම විශ්වාසය කළමණාකරණය කර ගැනීමට ඉරාක රජය අපොහොසත්ව සිටිති…

ඉරාක ගරිල්ලා කණ්ඩායම් –

කුඩා කුඩා ගරිල්ලා කණ්ඩායම් 25 ක් පමණද, මහදි හමුදාව, හිස්බුල්ලා, ආදී අනෙක් කළාපයන් වල ප්‍රබල එහෙත් ඉරාකයේ මේ වනවිට දුර්වලව සිටින ත්‍රස්ත කණ්ඩායම් කිහිපයක් අයිසිස්ට එරෙහිව සටන් වදිමින් සිටිති…. මේවායින් මහදි හමුදාව සහ හිස්බුල්ලා වනාහි මුස්ලිම් ලෝකයේ ප්‍රභල ප්‍රභේදයෙන් දෙකෙන් එකක් වන “ෂියා” මුස්ලිම් වරුන්ගෙන් සැදුම් ලත් සටන් කණ්ඩායම්ය….

අයිසිස් සංවිධානයේ උපත හේතුවෙන් සාමාජිකත්වය විශාල පිරිසක් අහිමි වී ඉතාම දුර්වලව සිටින අල් කයිඩා සංවිධානයද මෑතක සිට අයිසිස් වරුන්ට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමින් සිටිති…එහෙත් භූමියේදී ඔවුන්ගෙන් සටන් ප්‍රයාමයන්ට එතරම් සක්‍රීය දායකත්වයක් නොමැත….

මෙකී සංවිධාන 11 අවුරුදු ඉරාක සිවිල් යුද්දයෙන් සහ ඉරාකයේ සිටි ඇමරිකානු හමුදා සමග ඇතිකරගත් ගැටුම් වලින් මේ වනවිට වෙහෙසට පත්ව සිටින අතර, ඔවුන්ට අවි, පුහුණුව හෝ නිසි වෛද්‍ය ප්‍රතිකාර දුර්ලභය….සංවිධාන ශක්තිය බෙහෙවින්ම දුර්වලය…පිරිස් බලය 18,000 ක් පමණ වෙතැයි සී.අයි.ඒ සංවිධානය ගණන් බලා ඇත.. කැඩී බිඳී විසිරී ගොස් තැන් තැන් වල කුඩා කණ්ඩායම් ලෙස සිටිති….
මීළඟ කොටසින්…….

  • 2015 මාර්තුවේ සිට මේ දක්වා සටන් – කාළ රේඛාවක් ලෙස – ( A Timeline of Struggle Against the ISIS from March 2015)
  • ඉරාකයේ අයිසිස් ක්‍රියාකාරීත්වය ලෝකයටම තර්ජනයක් වන්නේ ඇයි?
  • ලෝක තෙල් සැපයුම සහ ඉරාකයේ අයිසිස් මෙහෙයුම්
  • වත්මන් තත්වය