“I am all-powerful Time which destroys all things, and I have come here to slay these men. Even if thou doest not fight, all the warriors facing thee shall die” – Lord Krishna to Arjun ( Bhagavad Gita – Chapter 11, Verse 32 – Note: Same misquoted by Oppenheimar )
මම වෙම් සර්ව බලශක්ථ කාළ පුරුෂ කැටිව එන මරණය, මා මොවුහු නැසුමට ආමි…නුඹ සටන් නොවැදුණත්, නුඹට වතපාන සියළු රණ ශූරයෝ මියෙති” – ක්‍රිෂ්ණ දෙවිඳු අර්ජුන් සෙනෙවියාට රථාචාර්යව සිටිමින් දෙසූවකි.. ( භගවත් ගීතාව, පරිච්ඡේදය 11, පැදි 32 – 1945 මෙලොව පළමු න්‍යෂ්ඨික සහ-අවිකාරකය ජනිත කළ “ට්‍රිනිටි” න්‍යෂ්ඨික පරීක්ෂණය අවසානයේ මහා විදුදර රොබට් ඕපන්හයිමර් මෙයම සාවද්‍ය ඇසුරකින් කියන ලදී )
න්‍යෂ්ඨික යුද ශීර්ෂ යම්තම් හෝ කරළියට සපැමිණියහොත් එතැන සිදුවිය හැකි දේශපාලනික සහ සාමාජීය තැති ගැන්ම කෙතරම්ද යන්න ඉන්දීය රාජ්‍ය පාලකයන්ට අවබෝධ කරවන සිදුවීම් දාමයක් එසේ නිමවිය…
ඉන්දියානුවන්ගේ රැකවරණය තකා බෙංගාල බොක්කට පැමිණි සෝවියට් සබ්මැරීන ගෙන ආවේ යම්තම් TNT කිලෝටොන් 200 ක ශක්තිය ජනනය කරවන න්‍යෂ්ඨික යුද ශීර්ෂ කිහිපයකි…ඒ කුඩා නෞකා නාශක න්‍යෂ්ඨික යුද ශීර්ෂ ඉන්දීය දොරකඩට පැමිණි සුපිරි බලවතුන් කෙතරම් භීෂණයට පත් කළේදැයි ඉන්දිරා ගාන්ධි සියැසින් දුටුවාය…
ඇය වහාම ස්වකීය ආරක්ෂක මණ්ඩලය කැඳවා ඉන්දීය ජන රජයේ අනාගත අභිලාෂයන් සම්පූර්ණ කරගැනීමට එරටට තිබිය යුතු න්‍යෂ්ඨික නිවර්තන ශක්‍යතාවය ලබාගන්නේ කෙසේදැයි තමාට උපදෙස් දෙන ලෙස ඉල්ලා සිටියාය…දෙහෙරාදුන්හි සිට පැමිණි මහාචාර්ය රාජා රාමන්න ඇතුළු පිරිස ඉන්දියාවට “අවි ශ්‍රේණියේ ප්ලූටෝනියම්” (Weapons – grade Plutonium) සපයා ගත හැකි බව පවසා, එවැනි පරීක්ෂණ මට්ටමේ න්‍යෂ්ඨික පිපිරවීමක් සිදුකළ හැකි බවට සහතික කළේය…
මේ අනුව නැවත වතාවක් සියළු ගුණ සහ අගුණ වල බර කිරා බලා 1972 වර්ෂයේ සැප්තැම්බර් Bhaba Atomic Research Center (BARC) මධ්‍යස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යනි ඉන්දිරා ගාන්ධි මැතිණිය, යුදමය කටයුතු සඳහා භාවිතා කළ හැකි න්‍යෂ්ඨික මෙවලමක් අත්හදා බැලීම සඳහා මහාචාර්ය රාජා රාමන්න ඇතුළු පිරිසට අවසරය දුන්නාය…
න්‍යෂ්ඨික යුද ශීර්ෂයක් සඳහා අවශ්‍ය පරීක්ෂණ කටයුතු ඇරඹීමේදී ඉන්දියාව මුහුණ දුන් ප්‍රධානතම දුෂ්කරතාවය වන්නේ ඒ සඳහා අවශ්‍ය පළපුරුද්ද සහ කළ පුරුද්ද සහිත විද්වතෙකු ඔවුන්ගේ ඉංජිනේරු කණ්ඩායමේ නොසිටීමයි…ආචාර්ය රාමන්න මේ සඳහා රුසියානු ජාතික න්‍යෂ්ඨික භෞතික විද්‍යාඥ සුප්‍රකට ඇන්ද්‍රෙ සැකරොෆ්ගෙන් සහාය පැතුවේය…සැකරොෆ් මේ සඳහා යූලි කරිටෝන් ඉන්දියාවට එවුවේය…කරිටෝන් මාස හයක කාළයක් තුල ප්ලූටොනියම් පදනම සහිත න්‍යෂ්ඨික යුද ශීර්ෂයක් නිපදවීම සඳහා ඇවැසි මූලික පුහුණුව ඉන්දීය විශේෂඥයන්ට ලබා දුන්නේය.
මෙම පුහුණුව සමග 75 දෙනෙකුගෙන් සමන්විත න්‍යෂ්ඨික ව්‍යාපෘති සභභාගීත්වය පහත පරිදි කණ්ඩායම් වලට බෙදා වෙන් කරන ලදී:
Nuclear System Design Team
Detonator Development Team
Plutonium Core Fabrication Team
Electronic Detonation System Team
High Explosives Implosion System Team
Neutron Initiator Team
System Integration Team
මේ සියළු කණ්ඩායම් වල අධීක්ෂණ නියමුවා ලෙස ඉන්දිරා ගාන්ධි මැතිණියගේ රෙකමදාරුව පරිදි අබ්දුල් කලාම්යන් පත් කෙරිනි….
යුදමය සන්නද්ධ අරමුණක් සඳහා න්‍යෂ්ඨික දාම ප්‍රතික්‍රියා ජනනය කරන බල ශක්තිය යොදා ගැනීමේ වැඩසටහනකට අබ්දුල් කලාම් බඳු සාමකාමී මිනිසෙකු තම උගත්කම මෙහෙවරෙහි යෙදවූ හෙයින් ඔහු ශ්‍රේෂ්ඨ මිනිසෙකු ලෙස සැළකිය හැකිදැයි මෙය කියවන ඔබට ගැටළුවක් මතුවනු ඇත….
මෙම ගැටළුවට පිළිතුරක් වශයෙන් කිව යුත්තේ කාලාමයන් යනු ” රාජ්‍ය ඒකකය” නම් සමාජ ව්‍යුහය ගැන දෙන අප්‍රායෝගික ජාත්‍යන්තරවාදී දාර්ශණික “ටෝක්ස්” වලට සීමා වුනු “ටෝක්” කාරයෙකු නොවී, රාජ්‍ය, මාතෘ භූමිය, මව් බිමෙහි උරුමය යන පාර-භෞතික වුවද අත්‍යාවශ්‍ය ජීවන සාධක වලට මුල් තැන දුන් අයෙකු බවය…
සාමය, නිරවිකරණය, ජාත්‍යන්තරකරණය, දේශ සීමා අතික්‍රමණය කරන මානව දයාව යනාදි මේවාට ආදරය කරන බව පෙන්වමින් ඒවායේ දේශකයෙකු වන්නට ඕනෑම ප්‍රාමාණික උගතෙකුට හැකියාවක් තිබේ…නමුත් පියවි ලෝකය තුළ දේශ සීමා මායිම්, ඒවා මත ඇතිවන ගැටුම්, ජාතික පැවැත්ම සහ ජාතික නිපැත්ම නිසා ඇතිවන ගැටුම්, මහ පොළවේ යථාර්තය නිර්මාණය කිරීමට දායක වෙයි….සංවාසය, සහවාසය, සහයෝගය පමණක් නොව ඝට්ටනයද යථාර්තයේම කොටස් ලෙස ඉස්මතු වනවිට, ඒවාට මෙල්ල කිරීම සඳහා නිසි පියවර ගන්නා මිනිසුන් අතරද ශ්‍රේෂ්ඨයෝ වෙති….මෙනයින් ඊනියා දේශ සීමා විරහිත චින්තනයක් ඇත්තන්ට හෝ විදේශිකයන්ට කාලාමයන්ගේ මෙකී දායකත්වය උත්තරීතර ලෙස දකින්නට නොහැකි වුවත්, ඉන්දීයයන්ගේ ඇසින් එය එරට රැකවරණයට කරන ලද ගෞරවාර්හ සේවාවක් ලෙස හැඳින්විය හැකිය…..
යුද සැළසුමකදී වඩාත් වැදගත් වනුයේ තමාට ඉදිරියෙන් තිබෙන දෙය නොව, පිටුපසින් තිබෙන දෙයයි…තම දේශයත්, ජනතාවත් තර්ජිතව සිටින මොහොතක, මේ පිටුපසින් තිබෙන දේ රැක ගැනීම සඳහා ඉදිරියෙන් එන දෙය කවර ආකාරයක හෝ දණ්ඩනයකින්, තර්ජනයකින් හික්මවීමට සිදුවේ…
එබඳු සේවාවකට කැප වූ මිනිසෙකුට සතුරා මෙල්ල කර ගැනීමට යෙදිය යුතු කවර පරිමාවක උපක්‍රමයක් වුවද යෙදීමට සිදුවේ…අවි තැනීම සහ රැස් කිරීම වනාහි නිතරම හිංසාව හෝ ප්‍රචණ්ඩත්වයට් දිය හැකි පසුබිම් තේමාවන් පමණක් නොවේ…හිංසකයන්ගෙන් අහිංසකයන් රැක ගැනීම සඳහාද අවි තැනීමට සිදුවේ…අවි පරීක්ෂණ පැවැත්වීමට සිදුවෙයි…ලෝකය මේ අවි තැනීමෙහිලා යම් පරාමිතීන් වෙත ගොස් ඇත්නම් ඒ සා විශාල තර්ජනයන්ගෙන් ගැළවීම පිණිස එකී පරාමිතීන් තම දේශයටත් ගෙන ඒමට අවි පිරියෙසුවන්ට සිදුවෙයි….
කාලාමයෝ මෙ සමයෙහි ඉන්දියාවට ඉටු කළ සේවය එයයි….
බුදුන් සිනාසුණු දා …..( The “Smiling Buddha Test” – Pokran – Rajasthan)
ඉන්දියාව මෙසේ සැරසුණු සිය පළමු න්‍යෂ්ඨික ඒකක පිපිරවීමේ පරීක්ෂණයට “සිනාසෙන බුදුන්” යන නම තබන ලදී…මෙයට පරස්පර විරෝධී හේතු දක්වන්නෝ වෙති…ඇතැම් අයට අනුව මේ නම තබන ලද්දේ “පරමාණුව” නම් සංකල්පය ග්‍රීසියේ ඩිමොක්‍රිටස්ටත් පෙර මුල් වරට ලොවට හඳුන්වා දෙන ලද්දේ භාරතීය දාර්ශණික ගෞතම බුදුන් වහන්සේ යැයි සැළකෙන හෙයින් උන් වහන්සේට කරන ගෞරවයක් ලෙස භාරත භූමියේ පළමු වරට සිදුකෙරෙන මෙම පිපිරුම් පරීක්ෂණය එනමින් හැඳින් වූ බවය…මෙහිලා තවත් ජනප්‍රිය මතයක් වන්නේ මෙම පරීක්ෂණ මාලාවේ ප්‍රධාන නියමුවා වන මහාචාර්ය රාජා රාමන්න තරමක බෞද්ධ නැඹුරුවක් සහිත අයෙකු හෙයින් මෙවැනි නමක් යොදා ගන්නට ඇති බවය…එමෙන්ම තවත් කතන්දරයක් වන්නේ 1974 මැයි මාසයේ වෙසක් පොහෝ දිනයට සමගාමීව මෙම පිරියෙසුම සිදුකළ හෙයින් එයට මේ නාමකරණය යෙදුනු බවයි….
( An Interview with Dr. Raja Ramanna where he expresses his understandings & views on Buddhism : An Interview with Dr. Ramanna
VIDEO
)
1974 මැයි මාසයේ පළමුවැනිදා රාජස්ථාන් ප්‍රාන්තයේ මෙම න්‍යෂ්ඨික අවි පරීක්ෂණය සිදු කෙරෙන පොක්-රාන් කාන්තාරයට ජෝදාපුර් සිට පැමිණි ඉන්දීය හමුදාවේ 61 වැනි ඉංජිනේරු රෙජිමේන්තුව විසින් මීටර් 107 ක් ගැඹුරු භූගත කුටීරයක් ඉදිකරන ලදී….
අනතුරුව අබ්දුල් කලාමයන්ගේ, මහාචාර්ය රාජා රාමන්නයන්ගේ, ඉන්දීය හමුදා ඉංජිනේරු කර්නල් සුබ්‍රෙවාල්ගේ, සහ අයියනගර්, බාළක්‍රිෂ්ණන් යන රුසියාවේ විශේෂ පුහුණුවක් ලැබූ විද්‍යාඥයන්ගේ දැඩි අධීක්ෂණය යටතේ අධි පීඩක තත්වයේ ප්ලූටෝනියම් අඩංගු කිලෝග්‍රෑම් 1400 බර, මීටර් 1.25 ක විෂ්කම්භයකින් යුතු ෂඩාස්‍රාකාර පරීක්ෂක උපාංගය එම කුටීරයට බහාලන ලදී….මේ බහාලීම සිදුවූයේ 1974 මැයි මාසයේ 15 වැනිදාය…මෙහිදී බාලක්‍රිෂ්ණන් නම් විදුදරයා විකිරණශීලී කුටීරයක ඇතිවිය හැකි අවදානමද නොතකා එම කුටීරයට බැස අදාළ බහාලුම් ක්‍රියාවලිය නිරවද්‍ය ද යන්නත්, පරීක්ෂණය ආරක්ෂිතව සිදු කළ හැකිද යන්නත් විමසා බලන ලදී… අනතුරුව එම කුටීරය කොන්ක්‍රීට් යොදා සීල් තබන ලදී….
මේ මොහොතේදී අදාළ උපාංගය එකළස් කල කුටිය පාලක මැදිරියක් කරගෙන එහි සිටි මහාචාර්ය රාජා රාමන්නට දුරකථනයෙන් ඇමතූ අබ්දුල් කාලාමයෝ “යකා කූඩුවට දමන ලදී” යන වදන් වලින් පරීක්ෂණය සඳහා සියල්ල සූදානම් බව දැනුම් දුන්නේය….
මෙතැන් සිට මේ පිරියෙසුමේ උද්වේගකර කථාව රාජ් චෙන්ගප්පා ගේ Weapons of Peace (2000) ග්‍රන්ථය සහ චිදම්බරම් සහ රාජා රාමන්න ප්‍රධාන විදුදරයන්ගේ Some Studies on India`s Peaceful Nuclear Explosion (1975) යන වාර්ථා ග්‍රන්ථය පදනම් කරගෙන කියමි…
දිනය : 1974 මැයි 18
ස්ථානය: පොක්‍රාන් – ථාර් කාන්තාරය – රාජස්ථාන් ප්‍රාන්තය – ඉන්දීය ජන රජය
( ස්ථානීය ඛණ්ඩාංක : අක්ෂාංශ අංශක 27.09 දේශාංශ අංශක : 71.57 )
වේලාව උදෑසන 7.55 ය… මේ මොහොත වනවිට මහාචාර්ය රාජා රාමන්නයන්, ආචාර්ය ප්‍රනාබ් දස්තිදාර් යන මහත්වරු අදාළ පිරියෙසුම් අඩවියෙන් කිලෝමීටර් 5 ක් ඔබ්බෙන් වූ නිරීක්ෂක බංකරය වෙත යමින් සිටියහ….අබ්දුල් කලාමයන් පරීක්ෂණය සිදුවූ වහාම එහි තොරතුරු දිල්ලි අගනුවර “රතු බළකොටුවෙහි” රැඳී සිටි ඉන්දීය අග්‍රාමාත්‍යනී ඉන්දිරා ගාන්ධි මැතිණිය වෙත දැනුම් දීම සඳහා සූදානමින් සිටියේය…මේ මොහොත ආචාර්ය රාජ්ගෝපාල චිදම්බරම්ගේ මතකය ඇසුරෙන් ගතහොත්:
“..ඔබ දන්නවා ඉන්දියාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ උදේ 8 ට.. ඒ වගේ සිරකරුවෙක්ව පෝරකයට ගෙනියන මොහොතට සම්බන්ධ වෙන බන්ධනාගාර නිලධාරීන්ට ඇතිවන හැඟීම වගේ එකක් තමයි අපි කාටත් ඇතිවෙලා තිබුණෙ මගේ විශ්වාසයෙ හැටියට…. මොකද මේ පරීක්ෂණය සඳහා බොත්තම ඔබන්න නියමිත වෙලා තිබුණේ උදේ 8 ට….මොන තරම් සාමකාමී උපාංගයක් කිව්වත්, මේ කුමක් සඳහාද කියන එක රාමන්න මහතාත්, මමත් දැනගෙන හිටියා….නමුත් අපිට සුළු ප්‍රමාදයක් උනා…පරීක්ෂණ අඩවියට එල්ල කර තිබුණු අධි වේගි උපග්‍රහණයන් සහිත කැමරා පරීක්ෂා කරන්න ගිය සෙත් කියන ඉංජිනේරු මහත්මයා, ජීප් රථයේ කාර්මික දෝෂයක් නිසා එම ප්‍රදේශයෙන් ඉවත් වීම ප්‍රමාද උනා… කොහොම උනත් අන්තිමට අපි මේ බොත්තම එබීමේ ගෞරවය, ජීවිත අවදානම නොතකා මෙම උපාංගය සහ එයට අවශ්‍ය විකිරණශීලී මූලද්‍රව්‍ය මෙන්ම බැර ජලයත් කැනඩාවෙන් මේ ස්ථානයට ප්‍රවාහනය කෙරවූ ප්‍රනාබ් දස්තිදාර්ට හිමිවිය යුතු යැයි තීරණය කළා…”
උදෑසන 8.05 ට ප්‍රනාබ් දස්තිදාර්හු පිපිරුම සක්‍රීය කරවන බොත්තම ඔබන ලදී…ඉන් නිමේෂයකට පසුව මිහිකත කම්පාව ගැජුම් පෑවාය….
රීච්ස්ටර් මාපකයේ 5.5 ක භූමිකම්පාවක් සනිටුහන් කරමින් ලොවට අණුක ඥාණය හඳුන්වා දුන් රාෂ්ඨ්‍ර පෙළපතෙහි පළමු අණුක ඥාණ ගර්ජනය පොළවට මීටර් 107 ක් ගැඹුරෙහි මුදාහැරිණි….එක්වරම ඉහළ පොලා පැමිණි ශක්තිය විසින් ඔසවන ලද පොළව පළමුව මෙසේද,
දෙවැනුව හෑරී ගිය ආවාටය මෙසේද,
තෙවැනුව නිර්මිත ආවාට ගර්භය මෙසේද,
යනාදි වශයෙන් ශක්ති සංසරණයව විසිරී ගියේය…
මෙමගින් හෑරී ගිය ආවාටයේ දෘෂ්‍ය අරය මීටර් 50 ක් පමණද, දෘෂ්‍ය ගැඹුර මීටර් 20 ක් පමණද වන ලෙසට ගණන් බැලිනි….මූලික වශයෙන් මෙම පිපිරුම හේතුවෙන් භූ ගර්භයට හෑරී ගිය ආවාටයේ සත්‍ය අරය හෝ සත්‍ය ගැඹුර මිනිය නොහැකි වුවත්, 2012 වසරේ ගන්නා ලද අධි සුසර සහ අධි දීප්ත චන්ද්‍රිකා ඡායාරූප මගින් එහි සත්‍ය අරය මීටර් 105 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ….
භූගත න්‍යෂ්ඨික පරීක්ෂණයක හරස්කඩක් මෙම දෘෂ්‍ය ගැඹුර සහ සත්‍ය ගැඹුරද, දෘෂ්‍ය අරය සහ සත්‍ය අරයද වටහා ගනු වස් මෙහි දමමි…දෛවෝපගත ලෙස මෙම “සිනාසෙන බුදුන්” පරීක්ෂණයෙහි මෙවැනි හරස් කඩක් සොයාගන්නට නොමැති වූ හෙයින් මෙම ලියුම් කරුවා මෙහි දමන්නේ, මේ ඉන්දීය අවි පරීක්ෂණයට පිළිතුරු ලෙස ඉන්දීය ප්‍රතිමල්ලව පාකිස්ථානය විසින් සිදු කළ “කගායි – 1” න්‍යෂ්ඨික අවි පරීක්ෂණයෙහි හරස් කඩය…එම න්‍යෂ්ඨික අවි පරීක්ෂණය Nuclear Yield ( Nuclear Yield – The Accumulation of Energy volume / volumes discharged with the explosion of the nuclear device ) සහ කුටීර ගැඹුර ආදිය අතින් ඉන්දීය පරීක්ෂණයට බෙහෙවින්ම සමානය….
( Watch the test from 1:25 – 1:31 here :
VIDEO
)
පිපුරුම සමග මුදාහළ ශක්ති ප්‍රමාණය (Nuclear Yield) ට්‍රයිනයිට්‍රොටොලුයින් (TNT) කිලෝ ටොන් 8 ක පිපුරුමකින් මුදාහරින ශක්ති ප්‍රමාණයට සමාන ලෙස ගණනය කෙරිණි…මූලික වශයෙන් ඉන්දියාව සැලසුම් කර තිබුණේ කිලෝ ටොන් 20 ක ශක්ති ඵලදාවක් ලබාගැනීමට හෙයින්, මෙම අවගණනය උපහාසයට ලක් කිරීමට බොහෝ පසමිතුරු රටවල් ඉදිරිපත් වූවත්, ඉන්දිරා මැතිණිය ප්‍රමුඛ රජය සහ ඉන්දීය විපක්ෂය එක හඬින් තම දේශය සිදුකළ පරීක්ෂණයේ ගරුත්වය වෙනුවෙන් පෙනී සිටියහ…
( හිරෝෂිමාව මතට හෙළන ලද “පුංචි කොලුවා” කිලෝටොන් 15 ක පමණ ශක්ති ඵලයක්ද, නාගසාකිය මතට වැටුණු “ස්ථුල මිනිසා” කිලෝටොන් 20 ක පමණ ශක්තිමය ඵලයක්ද ජනිත කළ නිසා එවකට ඉන්දීය පසමිතුරු පිළේ සිටි එක්සත් ජනපදය මේ මුල් පිරියෙසුම ප්‍රහසනයට බඳුන් කළද, ඉන්දියාව න්‍යෂ්ඨික පරීක්ෂණයක් කරන්නට පෙළඹීම දැඩි දෝෂ දර්ශණයකට ලක් කරන ලදී )
අත්හදා බැලීමෙන් පසුව පොක්‍රාන් හි එම පෙදෙසට සංචාරයක් සඳහා පැමිණි ඉන්දිරා ගාන්ධි මැතිණිය ( අබ්දුල් කලාමයන් පිටුපසින් )
1974 වෛශාඛ්‍ය මහෝත්සවය සහගාමීව “බුදුන් සිනාසුණු” පුවත පළමුව චිදම්බරම් අතින් රාජා රාමන්නයන් අතටත්, ඔහු අතින් අබ්දුල් කලාමයන් අතටත්, ඔහු වෙතින් රතු බළකොටුවටත්, එයින් ඉන්දිරා මැතිණිය සවනටත් ලැබිණි…
මේ සියල්ලට මූලොත්පාද සිද්ධිය ආවේ 1971 වසරෙන් බව මින් පෙර ලිපියෙන් සහ මේ ලිපියේ හැඳින්වීමෙන් මා කියා ඇත්තෙමි….බංග්ලාදේශ නිදහස් සටනට ඉන්දියාව දැක්වූ අනුග්‍රහයට එරෙහිව පාකිස්ථානය පසගෙන 1971 වසරේදී කළාපයට පිටින් පැමිණි සතුරන් අබිමුඛයෙහි ආරක්ෂාවේ නිරුවත පෙනී ලද අවමානය නිසා පෑරුණු ගර්වය සහිත ඉන්දියානුවන්ගෙන් බහුතරයට මේ පුවත මහාර්ඝයක් විය…රට පුරා ප්‍රීතිය පළකිරීම් මැද ඉන්දිරා මැතිණිය අතින් රාජා රාමන්නයන් හට “පද්ම ශ්‍රී” සම්මානයත්, කාලාමයන් ප්‍රමුඛ අනෙක් විදුදරයන්ට “පද්ම භූෂණ” සම්මානයත් පිදවුම් කරැවිණි….
ඇත්තෙන්ම ඉන්දියානුවෝ වූ කළී ස්වකීය දේශ රාමුව තුළ කවර ඌණතාවයන්ගෙන් පෙළෙන්නෝ වුවද, හෙළෙනික මහා කිවිසුරු හෝමර්ගේ “ඉලියඩ්” වීර කාව්‍යයෙහි එන අකිලීසයන්ගේ “මර්මද” ජනතාවෝ මෙන් කළාපීය බලවතාය යන ගර්වය දිවි හිමියෙන් සුරකින්නෝ වෙති….ඉන්දීය බලය තුලනය කළ හෝ අතික්‍රමණය කළ හැකි අනෙකුත් බලවතෙකුගෙන් කළාපයට යම් බලපෑමක් ලැබෙන විට ඔවුහු අපරිමිත කෝපයටත්, ශෝකයටත් පත්වෙති…
පසුකළක රාෂ්ට්‍රපති භවාන් හි චක්‍ර උද්‍යානයේ සිට නැවත 1974 දෙස හැරී බැලූ කාලාමයෝ එදවස විදුසුරු විරුවන් වූ රාජා රාමන්නයන් ප්‍රමුඛ ඔහුටත් ජ්‍යේෂ්ඨයන් වූ න්‍යෂ්ටික විද්වතුන් පිරිවර “මහා භාරත්, මංගලම්” වැනි වීර කාව්‍යයක බහා අනාගතයට කියවන්නට ඉතිරි කළ යුතු බව සටහන් කර තැබුවේය….
තමා යම් දිනෙක නැවත මෙයටත් වඩා බලවත් බිළින්දෙකුගේ ප්‍රසූතිය සඳහා ථාර් කතරට පැමිණෙන බව 1974 දි කාලාමයන්ට හැඟුණේ මෙම පරීක්ෂණයට එරෙහිව පාකිස්ථානය සහ චීනය දෙසින් ආ ඝෝරනාඩුවත්, යුරෝපය සහ ඇමරිකාව දෙසින් ආ අවඥා – පරවශ තර්ජනයත් කියවා ගැනීමෙන් පසුවය….
මෙවැනි දැවැන්ත විද්වතුන් අතින් මෙළොව එළිය දුටු ඉන්දීය සහ-අවි පරමාර්ථ න්‍යෂ්ඨික බිළින්දා රකුසෙකු කොට භාරත මාතාවගේ සතුරන්ගේ හිස්ගෙඩි වෙත යවන ආකාරය අබ්දුල් කලාමයෝ එවක් පටන් කල්පනා කළේය…..
මේ චින්තන අරගලයේ ප්‍රතිඵලය ලෙස කාලාමයන්ගේ මනැසේ “ගින්නෙන් උපන් කුමරු” ජනිත විය……
ගිනි දියෙන් දොවා “අග්නි” කුමරු දොරට වැඩූ හැටි මීළඟ ලිපියෙන් ……..