Category Archives: ජීවිතයේ නොදන්න මඟුල්

තත් සවිතුර්

“ඇත්තටම මෙතන තියෙන ප්‍රශ්ණය, මේ ආගම් වලට තේරුම් ගන්න බෑ ජීවය නැමැති සංකීර්ණ පියවර මාලාව……ඔවුන් හැම විටම යන්නේ සමාලෝචනයට…..සමාලෝචනයෙදි අපිට හමුවෙන්නෙ ගව් ගාණක් ඉහළ සිට බලන විට පේන පොදු ස්වරූපය……සාවුල් දන්නවද “පික්සල්” එකක් කියන්නෙ මොකක්ද කියලා?…….” තත් සවිතුර් කීවාය……

“පි……පික්සල් එකක්……ම….මම අහලා තියෙනවා…..පික්සල් කියන්නේ ඡායාරූපකරණය හා සම්බන්ධ දෙයක්……පික්සල් එකක් කියන්නෙ සේයාරුවක තිබෙන ක්ෂුද්‍රම නියෝජනය…….පික්සල් එකක් කියන්නේ….”

“ඇති සාවුල්……ඔබ ඒ ගැන දන්නවා…….දුර සිට දකින නෙතක් කවදා වත් යම් කිසිවක සම්පූර්ණ ස්වරූපය ඩැහැ ගන්නේ නෑ……ඒ නෙතට හසුවන සේයාරුවක පික්සල් එකකින් නියෝජනය වන බිම් ප්‍රමාණය, එහෙමත් නැත්නම් වපසරිය එන්න එන්නම කුඩා ඒකක වලට යනකොට තමයි ඒ සේයාරුවට හසුවන දෘෂ්‍ය කේතුවේ තිබෙන ඉතාම චූටි සියුම්ම දේ පවා ග්‍රහණය කරගන්න ලැබෙන්නෙ…….මීටර් 100 x 100 වපසරියක් හසුවන පික්සල් එකක් තියෙන සේයාරුවකට වඩා, මීටර් 20 x 20 වපසරියක් එක පික්සල් එකකට හසුවන සේයා රුවේ අවකාශ විභේදනය බොහොම ඉහළයි…….ඊටත් වඩා හොඳට සියළුම දේ ගෝචර කර ගන්නවා මීටර් 5 x 5 ප්‍රමාණයක් හසුවන පික්සල් එකක් කුඩාම ඒකකය වන සේයාරුවක්…….අපි ගොඩනැගිලි කිහිපයක්, වීදියක්, නගර මධ්‍යයක් ගත්තොත්……..ඔව් හොඳයි සාවුල්……මම ඔයාට දෙනවා සේයාරූ තුනක්…..මේ සේයාරූ තුනෙන් එකක් ඇසුරෙන් ඔබ නඩු තීන්දුවක් ලබා දෙන්න ඕන………ඒ සේයා රූ තුනේ තියෙන්නෙ අපේ නගරයේ හරි මැද චතුරස්‍රය…….සාවුල්…….අහගෙන ඉන්නකො ඕක පැත්තකට දාලා…….”

සාවුල් සිය ස්මාට් ජංගම දුරකථනය මේසය මතට අත හැරියේය……

“හරි……මම අහගෙන ඉන්නෙ……අහගෙන තමයි හිටියේ…….”

“නෑ සාවුල් ඔයා අහගෙන නෙමෙයි හිටියෙ……පිරිමි අහගෙන ඉන්නෙ නෑ……පිරිමි බලන්නෙත් නෑ……පිරිමි දකින්නෙත් නෑ……පිරිමින්ට ඇහෙන්නෙත් නෑ……..පිරිමි කරනවා විතරයි……අනික් සියළු දේ ගැහැණු…….බලන්න එස්මෙරෙල්ඩා දිහා……එස්මෙරෙල්ඩා මොන තරම් දුර්වල වෙමින්ද ඉන්නෙ…..?…….සාවුල් ඔයාට ඒක තේරෙන්න නම් ඒ වෙනුවෙන් තැන්පත් වෙච්ච බුද්ධියක් තියෙන්න ඕන…….ඇය වෙනුවෙන් සන්සුන් වෙච්ච මනසක් තියෙන්න ඕන…… ඔයා පිරිමියෙක් සාවුල්…….ඔයාට එහෙම මනසක් නෑ……..”

“හරි, හරි……..” සාවුල් දකුණත සිය හිසකේ අතරින් යැව්වේය…….” මොනවද දැන් වෙන්න ඕන කියන්න?”

” මම කියමින් හිටියෙ අපේ නගර මැද චතුරස්‍රයක් ගැන……..සාවුල්……ඔයාට ෆාරුක් චතුරස්‍රය සම්පූර්ණයෙන්ම පේන සේයාරුවක් දෙනවා……ඊළඟට දෙනවා ෆාරුක් චතුරස්‍රය මැද තියෙන අශෝක කුළුණ, සහ ඒ කුළුණ පාමුල ඉඳගෙන ඉන්න ගෑණියෙක් හොඳ පැහැදිලිව තෝරල බේරල ගන්න පුලුවන් විදියේ සේයාරුවක්……ඊළඟට දෙනවා ඒ කුළුණ පාමුල ඉඳගෙන ඉන්න අර ගෑණි බල්ලෙක්ගෙ ඔලුව අතගාන එකත් පැහැදිලිව පේන සේයාරුවක්……..ඊට පස්සෙ ඔයාට කියනවා මේ තුනෙන් එකක් පමණක් තෝරගෙන, අන්න ඒ එක ඇසුරෙන් අර ගෑණිගෙ සත්ව කරුණාව ගැන විනිශ්චය කරන්න කියලා……..ඔයා තෝර ගන්නෙ මොන රූපයද?…..”

” …. මොන තරම් සරල ප්‍රශ්ණයක්ද ඒක…….? ….තත් සවිතුර්…..ඔබ තාම මාව දැකලවත් නැතුව මගේ බුද්ධියට මේ තරම් නිගරු කරන්නෙ ඇයි?……මාව මේ තරම් හෑල්ලුවට ලක් කරන්නෙ ඇයි…..?……..අනිවාර්යෙන්ම මම තෝර ගන්නෙ අර තුන්වෙනි රූපය………ඒ රූපයෙ තමයි……”

“ඔව් සාවුල්…….ඒ රූපය තමයි ගෑණිට ළඟම රූපය………ඒ රූපයෙන් තමයි ගෑණිව හරියට පේන රූපය…….ඒ රූපය තමයි බල්ලව පේන එකම රූපය………අනිත් රූප දෙකම අරන් තියෙන දුර වැඩියි……..ඒ රූප වල එක පික්සල් එකකට අහුවෙන වපසරිය වැඩියි…….ඒ රූපයෙ තමයි සම්පූර්ණ කථාවම තියෙන්නෙ…….”

“මට තේරුණා තත් සවිතුර්…….ඒත් මට නොතේරෙන දේ තමයි, ඔයා මොකක්ද මේකෙන් කියන්න හදන්නෙ කියන එක?”

” සාවුල්…….මම කියන්නෙ දෙවියො ගැන…….දෙවියො බලන්නේ ගොඩාක් උඩ ඉඳලා………ඒ නිසා දෙවියන්ගෙ ඇසට හසුවන රූපයේ පික්සල් එකකට අහුවෙන වර්ග ප්‍රමාණය වැඩියි………ඒ නිසා දෙවියන්ට හැම වෙලාවෙම පේන්නෙ සමස්ථය විතරයි……ඒකයි දෙවියො දෙන දේව භාෂිතය හැම වෙලාවෙම මනුස්සයින්ට, ක්ෂීරපායී සත්තු හැටියට ඉඳගෙන කරන්න බැරි දේවල් වලින්ම පිරිලා තියෙන්නෙ…….දෙවියන්ට ජීවිතයේ හැඩතල පේන්නෙ නෑ………එයා බලනවා ඈත වැඩියි……..”

සාවුල් අන්ද මන්ද වූයේය……..

” ඒත් ඔයා කියන්නේ දෙවියන්ට මේ කුඩාම දේත් දකින්න බෑ කියලද?”

” මම හිතන්නේ බෑ කියලා සාවුල්…….!…..දෙවියන් විසින් මිනිස්සුන්ට දී තිබෙනවාය කියන ඔය දේව භාෂිතය ඔය තරම් පරිසරයට නොගැළපෙන, අස්වාභාවික හැසිරීම් අපේක්ෂා කරන දෙයක් වෙලා තියෙන්නෙ ඒකයි…….ඒකෙන් ලියවිච්ච පොත් ඔය තරම්ම විනාශකාරී වෙලා තියෙන්නෙත් ඒ නිසාමයි……..දෙවියන්ට ගෝමති නදිය පේනවා…….ඒත් ඒ නදිය අසබඩ රාජේශ්වරි පැළයකින් ගිලිහෙන කොළයක්, හුළඟට පාවෙලා ගිහින් ගෝමතියේ කොණක ඇති දිය කොටුවකට වැටුණාම හැදෙන අපූරු තරංග පේන්නෙ නෑ…….ඉතින් දෙවියෝ ගෝමති නදිය ගැන ලියන හෝ ලියවන කිසිම ලියවිල්ලක, අර පුංචි කොළය සහ එයින් නැගුණු දිය රැළි ගැන සඳහන් වෙන්නෙ නෑ……….අපි කොහොමද එතකොට දෙවියන්ගේ ලියවිල්ල ගෝමතියට වැටෙන කොළවලට අදාළ කර ගන්නෙ?…….”

“අම්මෝ තත් සවිතුර්……ඔයා මාව පිස්සු වට්ටනවා…..!”

“මේ අහන්න සාවුල්…..මේකයි ඇත්ත……ඔයා පෑනක් අරගෙන, ඒ පෑන මහපටැඟිල්ලෙන් සහ දබරැඟිල්ලෙන් අල්ලගෙන ලතාවකට ඒක වේගයෙන් හෙලෙව්වොත් ඔයාට පෙනෙයි පෑන් කිහිපයක් ….. එහෙමත් නැත්නම් එකම පෑන ඔයා අල්ලපු තැනින් දියවෙලා ගිහින් වගේ…..එහෙමත් නැත්නම් ඔයාගේ ඇඟිලි තුඩු දෙක අසළින් පෑනේ ඝණ බව නැතිවෙලා ගිහින් වගේ…….පෑනේ ඇසට පේන හරිය රබර් වෙලා වගේ ඔයාට පෙනෙයි…..”

“ඔව්…..මම ඒක කරල තියෙනවා……”

” ඒක ඇසට පේන විදිය විතරයි සාවුල්…….ඇසට චාලක ශක්තිය සහ කාළය සම්බන්ධ කර ගත්ත දෘෂ්ඨි මායාවකට රැවටෙනවා…..ඒත් ඇත්තටම පෑනේ ඝණකම ඒකට අහිමිවෙලාද?…….ඇත්තටම පෑන රබර් වෙලාද?………”

“නෑ……එහෙම වෙලා නෑ……පෑන මම වැනුවා කියලා ඒකට එහි ඝණකම අහිමි වෙලා නෑ…….”

“ඔයා කොහොමද සාවුල් එහෙම කියන්නෙ?……..ඇත්තටම ඒ මොහොතෙ පෑනට ඝණකම අහිමිවෙලා නෑ කියලා ඔයාට හොඳටම විශ්වාසද?”

“ඒක…….ඒක……..හරි එහෙම නම් පෑනට ඝණකම අහිමිවෙලා……”

“ඔයා කොහොමද සාවුල් ඒකත් හරියටම කියන්නෙ?” …..

” අනේ මම දන්නෙ නෑ තත් සවිතුර්……!…….මේ පිස්සු ප්‍රශ්ණ අහන්නෙ නැතිව ඉන්න……!…..දැන් කීයද වෙලාව…..?…..පාන්දර තුනටත් කිට්ටුයි…..”

“සාවුල් ඔයාලා මිරිඟුවට හැම වෙලාවෙම දෘෂ්ඨි මායාවක් කියනවා……”

” ඒ පාර ආයිත් පටන් ගන්නද යන්නෙ?…….මිරිඟුවක් කියන්නෙ දෘෂ්ඨි මායාවක් තමයි……ඒක මේ……”

“සාවුල්……ඔයා කොහොමද දන්නෙ මහා මාර්ගයක ඈතින් ජලාශයක් පේනකොට ඇත්තටම එතන වතුර ජලාශයක් තිබිලා, ඔයාලා එතනට යන ටිකට ඒක වාෂ්ප වෙලා ගිහින් නෙමෙයිද කියලා……”

” මො…..මොනවා…….මොනවද මේ කියන්නෙ?…….කවුරුත් දන්නවා මිරිඟුවක් කියන්නෙ මොකක්ද කියලා…….මිරිඟුවක් කියන්නෙ….”

” සාවුල්…….ඔයාට හොඳටම ෂුවර්ද එතන ඇත්තටම වතුර තිබිලා ඔයාලා එතනට යන ඩිංගට ඒක වාෂ්ප වෙලා තියෙන්න බෑ කියලා”

“අනේ මාව පිස්සෙක් කරන්න එපා තත් සවිතුර් ! …… ප්ලීස්…….කියන තැනකට වඳින්නම්………”

“තමන්ගෙ ඇස්වලින් දකින දේත් ඒ තරමට අවිශ්වාස නම්, දෙවියන්ගේ ඇස්වලින් දැකපු දේය කියලා, කවුරු හරි මිනිහෙක් ලියලා, තවත් මිනිස්සු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් අතින් අතට ගිහිල්ලා, අන්තිමේදී ඔයා ජීවත් වෙන කාළයේම ජීවත් වෙච්ච කවුරු හරි මිනිහෙක්ගෙ අතට ඇවිල්ලා, ඒ මිනිහා ඒක එයාගෙ ඇස්වලින් දැකලා, ඔයාට ගෙනත් කියන දේ පරම සත්‍ය හැටියට විශ්වාස කරන්නෙ ඇයි?……..එහෙම විශ්වාස කරන ඔයා, ඒ විශ්වාසයෙන් තව කෙනෙකුට එයාගෙ ශරීරයට තියෙන අයිතියට තීන්දුවක් දෙන්නෙ ඇයි?…….කොහොමද ඔයා එහෙම කරන්නෙ…..?”

සාවුල් දින ගණනක් තිස්සේ රාත්‍රියේ තනි නොතනියට තරයේ ගෙන සිටි මධුවිත වීදුරුව පසෙක දැමුවේය…….අනතුරුව ඔහු නැගිට ඔහු හා කුස්සියේ ජල බේසම අතර ඇති සියළු මේස පුටු වල වදිමින් ගොස් මහ හඬින් වමනය කළේය………

“මට ඇත්තටම එස්මෙරෙල්ඩාගේ කුසට එන්න බෑ සාවුල් !….. ගොඩක් දේවල් විනාශ වෙයි……..අසරණ එස්මෙරෙල්ඩා මාව පැතුවෙ නෑ……කොටිම්ම ඇය මගේ අනාගත නිවස කරන්නට උත්සාහ කරන භ්‍රෑණය හටගත් ලිංගික ක්‍රියාවවත් පැතුවේ නෑ…….එස්මෙරෙල්ඩා ගේ හීනය වුනේ ඉහළට ඉගෙන ගන්න එක………ඒ තිරිසනා ඇයව රාජේශ්වරී කැළයට ඇදගෙන යනකොට ඇය හිටියෙ පාසැල් යමින්………එස්මෙරෙල්ඩාගේ කට තද කරල වහගෙන ඒ මිනිහා කරපු දේ ප්‍රතිඵලය මම……මට එළිය දකින්න දෙන්න එපා සාවුල්…..!……මාව දකින දකින මොහොතක් පාසාම එස්මෙරෙල්ඩට අර රාජේශ්වරී කැළයම පෙනෙයි…….!…….ඒ මිනිහගෙ යකඩ අත් දෙකේ හයිය දැනෙයි……..තමන්ගේ ඇඳුම් ඉරෙන සද්දෙ ඇහෙයි…….ඒ දැනිච්ච හැම දේම දැනෙයි……..ඒක මොන තරම් ශාපයක්ද සාවුල්……!……සාවුල්…..මට ඒ ගෙදර එපා……..මම සතුටින් මට දෙන ගෙයක් හොයා ගන්නම්……..!……මාව දකින හැම මොහොතකම ලස්සන අවන්හල් වල ඉඳන් පාර අයිනෙ තෝසෙ කඩ දක්වා සිහිවෙන, අමුතු සුවඳ තියෙන තෑගි බෝග සිහිවෙන, එස්.එම්.එස්, ෆේස්බුක් චැට් සිහිවෙන ලස්සන ගෙයක් මම හොයා ගන්නම්………මම ඒ ගෙදරින් එළියට ඇවිත් ඒ අයට හැම තප්පරයකම සතුට ගැන කියල දෙන්නම්………මං වෙනුවෙන් බලහත්කාරයෙන් එස්මෙරෙල්ඩගේ කුසේ හදපු ගෙදර විනාශ කරන්න ඉඩ දෙන්න සාවුල්……!…….ඒක ශාපයක්……!…….ඒකෙන් කාටවත් හොඳක් වෙන්නෙ නෑ……..ඔයා ප්‍රාණ ඝාතයක් කරන්නෙ නෑ……එතන ජීවයක් නෑ……!…කොටිම්ම ඔයා මේ කථාව ලියනකොට මම කියපු හැම දෙයක්ම “කෙරුවාය, කීවාය” කියලා අවසන් කරයි…….ඒත් ඒ කුසේ හැදෙන්නෙ ගෑණු සිරුරක්ද, පිරිමි සිරුරක්ද කියන නිමිත්ත වත් තාම පහළ වෙලා නෑ………”

” ඔහ්……!” සාවුල් තමන්ටම කියා ගත්තේය………” ජීවය ගැන මේ තරම් සියුම් දේවල් තේරුම් ගන්න ඒ කාලෙ බිහිවෙච්ච ආගම් දුප්පත් වැඩියි…..”……. ” තත් සවිතුර්……පොඩ්ඩක් ඔහොම ඉන්න…….මට තව දේවල් තියෙනව අහගන්න…..”

එහෙත් ඒ වනවිට දින ගණනක් තිස්සේ තම හිස තුළ කථා කරමින් තිබූ තත් සවිතුර්ගේ හඬ නොඇසී ගොස් තිබිණි……….

2017 ක් වූ අගෝස්තු මස විසි අට වැනිදා ගරු අධිකරණයේදී තමාට ලිංගික බලහත්කාර කමක් කළ තැනැත්තා නිසා හටගත් දරුගැබ ගබ්සා කිරීමට අවසර ඉල්ලා පැමිණිලිකාරිය වන එස්මෙරෙල්ඩා මොරායස් විසින් ගොණු කරන ලද පෙත්සමට අදාළව තීන්දුව ප්‍රකාශයට පත් කර මහාධිකරණ විනිසුරු සාවුල් ෆර්නැන්ඩස්, ඇයට ගබ්සාවක් කර ගැනීම සඳහා නීතිමය අවසරය ලබා දෙන ලදී………. ” දෙවියන්ට පේන්නෙ හුඟක් ඈතට විතරයි” … නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර අවසානයේ විනිසුරු සාවුල් තෙපලූ බව නඩු වාර්ථාවට ඇතුළත් විය……..

  • 27-08-2017

aa698a7cc17600a3779be66fc629e6be

ප.ලි –

” තත් සවිතුර්” යනු ගයාත්‍රි මන්ත්‍රයේ වාක්‍ය යුග්මයකි…… “තත්” යනු “එම” යන්නය….. “සවිතුර්” යනු “දෙවියන්ය”

Advertisements

ඉඳුරු සතුරු රජු ආවයි පින් ගන්ට…..

සොඳුරු තුරු මුදුන් අත නැගුණයි නුබට….
පඳුරු පඳුරු දළු ලා වැඩුණයි යසට….
අඳුරු මැදුරු මග පෙන්වයි එදවසට…..
ඉඳුරු සතුරු රජු ආවයි පින් ගන්ට…..

විහිදා සතර දිග නැගි රොස් පරොස් වැට…..
ලොවිදා දෙවැනි යුද වත වා විමන් පිට….
නොමඳා පිරුණු ගිගුරුම් නද සවන් වට….
දිනිඳා උපන් තැන පෙන්වනු රජුන් හට…..

පලවා නවා මොළවා ගිනි මළින් වනේ…..
“කොලුවා කුඩා” මා තුරුළට පැමිණි දිනේ….
වෙලවා යවා සියොළඟ උන් රජුන් සැනේ….
ලෙලවා කියන් නගතොත් වර ඔවුන් විනේ….

ද්විත්වයෙන් මානතක සිතුම් එක් කොට තියා..
ත්‍රිත්වයෙන් උපන් පුතු පැතුම් කෙළෙසූ නියා…
මත් බවින් ලොව අවට මිදෙම් වා යැයි කියා…..
අත් මුදුන් කොට ඔබට කියම් අපවත ගයා….

පැන් තොටින් දැන් විඩා නිවිය හැකිවෙයි මනා…..
සෙන් බුදුන් දන් පුදන් ඉන් බිඳක් ගනි මිනා…..
කෙන් මිනොන් මොරි පියස සියොත් නද කන් පිනා….
පින් අරන් යන් මෙන්න රජුනි සකුරා සිනා…..

( ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා, ඉතිහාසයේ පළමු වරට “ධුරයේ සිටින ඇමරිකානු ජනපති වරයෙකු” ලෙස හිරෝෂිමාවට මීට පැය කිහිපයකට පෙර පැමිණියේය….)

160527055720-19-obama-japan-0527-exlarge-169

Google Street View එකෙන් ඉදිරියට සිදුවීමට නියමිත දෑ….

Google Street View එකෙන් ඉදිරියට සිදුවීමට නියමිත දෑ….

1.

” මේ පින්තූර අරන් තියෙන්නෙ 2015 දෙසැම්බර් මාසෙ…මම රුවිනි දුව හම්බ වෙන්න හිටිය නිසා අම්මලගෙ ගෙදර ගිහින් හිටිය මාසෙ….මාව බලන්නවත් එන්න වෙලාවක් නෑ වැඩ, වැඩ කියලා කියපු මිනිහගෙ කාර් එක අර පට්ට පඳුරිගෙ ගෙදර ළඟ තියෙන හැටි බලන්න අක්කේ….ඉහි…ඉහි…ඉහි….මම කාළි මෑණියන්ට පොල් ගහනව ඔය බැ** මකබෑවිලා යන්න කියලා…මට ඉඳලා වැඩක් නෑ අක්කේ….ඉහි…ඉහි..ඉහි…ඉහි…”

” මොනවද මිනිහො තව අතටම අහුවෙලත් බොරු කියන්නෙ? තමුසෙ හිතුවද නොම්මරේ මකල තිබ්බත් අපේ කාර් එක අඳුර ගන්න බැරි මම තොත්ත බබෙක් කියලා….මම ඕකිටයි, තමුසෙටයි, මේ විදියට මගුල් නටන්න තියන්නෙ නෑ…මේ දරුවො දෙන්නත් එක්ක මම විඳින දුක දන්නෙ උඩ ඉන්න….මොකක්? .. දෙසැම්බර් මාසෙ..?..දෙසැම්බර් මාසෙ දෙන්නම් මම තමුසෙට…තමුසෙ තාමත් නිවාඩු දවස් වලටත් ඔෆිස් යනව කිය කිය කරන්නෙ මේ සෙල්ලමම තමයි එහෙනම්…”

2.

( ස්කයිප් සංවාදයකි )

” අනේ නෑ සාගර….කකුල් දෙක අල්ලලා වැඳල කියන්නම්, බුදු හාමුදුරුවන් පල්ල ඔය ඉන්නෙ මම නෙමෙයි….”

“නැත්තෙ මොකද ගෑණියෙ….?….මේ උඹ අරූ එක්ක ඉන්නෙ…මේ උගේ බයික් එක….මම හොඳට දන්නවා උගේ බයික් එක…..මම කොරියා එනකල් ඉඳලා උඹ පරණ පෙම්වතා එක්ක ජවුසන් නටන්න…..උඹ මගේ හැටි තාම දන්නෙ නෑ ඉෂිතා…..!”

3.

“ළමයෝ .. මට බොරු කරන්න එපා….!…මම ඔය වයස පහු කරපු කෙනෙක්…!…මට මගේ පන්තියෙ දරුවො කොහේ හිටියත් අඳුරන්න පුලුවන්….මොකක්ද?….මූණ…මූණ බොඳ කරල තිබ්බට ඔය කොණ්ඩ කරල් දෙකෙන්, ඔයා ගෙනියන බෑග් එකෙන් මට කියන්න පුලුවන් ඔතන ඉන්නෙ ඔයාමයි කියලා….හෙට එනකොට අම්මව එක්කගෙන එන්න….මාස තුනක් පරණ සිද්ධියක් උනත් මේක ගැන දෙමව්පියන්ට කියන්න ඕන….”

4.

“ආයි…ආයි…ආයි…බුදු තාත්තේ ගහන්න එපා…අනේ තාත්තෙ ගහන්න එපා….ඒ සිකරට් බොන්නෙ මම නෙමෙයි….ආයි…ආයි….අනේ නෑ තාත්තෙ….ඒ මගේ සයිකලේ නෙමෙයි….ආයි…ආයි….අනේ…”

5.

” දණ ගහපිය හරකි !… තෝව මම මේ තරම් වියදම් කරල ක්ලාස් යවන්නෙ පුළුවන් කමකට නෙමේ…උඹගේ ඇස් පාදන්න….තෝ එක එක හන්දි ගානෙ කොල්ලො එක්ක ජවුසන් නටනවද මී වැස්සියෙ….මොකක් කිව්වා?…උඹ නෙමෙයි….?….මේ දුවේ උඹ එන්න එපා මට සුදුළුුණු පොඩි කරන්න….මම උඹේ තාත්තා…මේකෙ මූණ බොඳ කරල තිබුණට මට උඹව අඳුරන්න අමාරු නෑ….මේ ඉන්නෙ වෙන ළමයෙක් නම් ඒකිටත් තියෙනවද උඹට තියෙන රතු පාට ගවුමම….මේ උඹ ක්ලාස් ගෙනියන බෑග් එකත් තියෙනවද ඒකිට?…උඹගෙ උස?…උඹගෙ කොණ්ඩෙ…?…..තෝ මින් පස්සෙ ගෙයින් එළියට බැහැල තිබුණොත්…”

6.

“විජේරත්න… මම දෙසැම්බර් මාසෙ රොස්ටර් එක බලලයි මේ කථා කරන්නෙ ! තමුසෙ එළවන අපේ වෑන් එක මොකක්ද මේ මීගමුවෙ කරන්නෙ?….මුළු දෙසැම්බර් මාසෙම අපිට මීගමුවට තියා ගම්පහ දිස්ත්‍රික්කෙ කොහේටවත් ඩිලිවරියක් තිබිලා නෑ….මොකක්?….නොම්මරේ මොකටද මනුස්සයො මේ වෑන් එකේ ගහලම තියෙන්නෙ අපේ “සිරිසඳ ඩිලිවරිස්” මාක් එක….මාව තම්බන්න තමුසෙගෙ ලුණු ගොරක මදිවෙයි…මම මේකට ඉන්ක්වයිරියක් කෝල් කරලා, ඕඩිට් එකට දානවා…”

7.

“අඩෝ මේ අර දර්ශිකාගෙ ගෙදර මචන්…ඔය ගහ පැත්තට වෙන්න තියෙන්නෙ ඒකිගෙ රූම් එක….පොඩ්ඩක් සූම් කරල බලහන් ඒකිගෙ රූම් එක ඇතුළ පේනවද කියලා… ඇඳුම් මාරු කරන එකක් හරි වැදිල තිබ්බොත්….”

“මේකෙන් එහෙම පේන් නෑ හුත්තො…අනේ උඹයි මායි දන්න ස්ට්‍රීට් වීව්…”

8.

” ඒ අඩෝ මේක බලපන්කො….සිරා කෑල්ල මචන්…මූණ බොඳ කරල තිබ්බට කෝමද කඳ….?….කොටට ඇඳලා… ගල් දෙක බලපන්කො…මට නිකන් ටොයිං ටොයිං ගානවා යකෝ….පිස්සු හැදෙනව …..ඉමේජ් එක පරණ උනාට ඕකි තාම හවසට ඔතනට බහිනව ඇති….අද හවස ක්ලාස් ඇරිලා එතෙන්ට නිකමට ගීන් එමුද?”

9.

” මේ තියෙන්නෙ දෙසැම්බර් මාසෙ ඔතන ගහපු ස්ට්‍රීට් වීව් ඉමේජ් එක….ඔය කියන පල්ලිය මෙතන තිබිලා නෑ….මෙන්න සාක්ෂි….මේක මේ ඊයෙ පෙරේදා අලුතින් අටවපු පල්ලියක්….කොල්ලනේ වරෙල්ලා…අපේ ජාතිය වෙනුවෙන්…..අපි ශාසනය වෙනුවෙන් ජීවිතේ පුදන්න ලෑස්තියි…..මරාගෙන මැරෙනවා….”

10.

” අපේ දුව ඊයෙ මට මේක පෙන්නන කල් මම දන්නෙ නෑ නංගියෙ වැඩේ….මේ අර ආරියවතී ගෑණි අපේ වත්ත මායිම ඇතුලේ ඉන්නෙ….මට ඕකි අඳුරන්න බැරි කමක් නෑ මූණ වහල තිබුණට….ඔය පරට්ට බැල්ලි එකත් එකටම කොඩිවිනයක්, හූනියමක් වළලා යන්න ආපු ගමනක් වෙන්න ඇති….අපේ දරුවො ඉගෙන ගන්නවට තියෙන ඉරිසියාව….ඒකයි දෙසැම්බර් මාසෙ ඉඳන් අපි කරන කිසි වැඩක් යා දෙන්නෙ නැත්තෙ….හොඳට ඉගෙන ගෙන ආපු බාළයත් දැන් කිසි උනන්දුවක් නෑ…පොතක් අතින් අල්ලන්නෙ නෑ…..මම පොඩි අප්පුහාමි ගුරුන්නාන්සෙට කියලා ඕක කප්පවන්නන් ඕකිගෙ හත්මුතු පරම්පරාවම හැඳි ගෑවිලා යන්න…”

11.

“මේ තියෙන්නෙ ඩැඩාගෙ ජීප් එක…මමීගෙ බෝගන්විලා ගාල…මේක අයියගෙ කා එක…මේ මම ගාඩ්න් එකේ ඉඳන් චැට් කරන තැන…අපිට වයි-ෆයි තියෙනවනෙ….ඉතින් මම හවසට අයිපෑඩ් එකත් අරගෙන ඇවිත් වාඩිවෙන්නෙ මෙතන….මේ පැත්ත කඩල මෙන්න මේ රූම් එක අලුතින් A/C කලා…මේ මෙතන පේන්නෙ කාමරයක්…ඕකෙ බාත්-රූම් එකට අපේ කැනඩාවෙ ඉන්න නැන්දි තමයි ෆිටින්ග්ස් එව්වෙ….”

12.

“දෙයි හාමුදුරුවනේ මේ බලන්න අපේ වැට මායිම තිබිල තියෙන හැටි….ඉතින් මුන් කටින්ද කියන්නෙ මායිම ඇවිදෙව්වෙ නෑ කියලා…..මම අදම ලෝයර් මහත්තය හම්බ වෙන්න යනවා….”

13.

“හරි අපි මේකට යාතිකාවක් කරමු….කවුද.?….කෝ මේ සමන්…සමාන්….මෙහෙට එන්න…පුතේ අන්න අරකෙන් රුහුණු මහා කතරගම දේවාලෙ අරන් පේන්න දාපන්….හරි වැඳගන්න……අවසර පස්වාන් දහසකට බුදුවන්න, නුහුරු අත් හුරු කරවා වැන්දේං….”

එන්-රික් කෝලම….

පළමුව දා ගත්තා ලොගින් පිවිසී ජංජාලෙට අද…
දෙවනුව යුනිකෝඩ් අරන් සිහළ අකුරු මෙන්න බැන්ද….
තෙවනුව නිව් පෝස්ට් එකක් ලියමින් වෙන වැඩ නැති සඳ …..
කියනව අපි එන්-රික්  කෝලම කවියෙන් කර ප්‍රබන්ධ…..

සියල් සිරින් පිරි ලක් දිව – අසුවුණි දෙස්පලු නඩේට….
කැරට් වලිග බෙදා අපට – බලේ ගත්ත ඔවුන් අතට…
පිටින් ආපු කළා කාර – රොත්ත පිරුණ කොළොම් තොටට….
ඔවුන් අතර හිටිය එවුන් – අපෙන් කැපුවා ගාණ ජයට…..

මෙකළා හාදයෙක් හිටියා – ඉග්ලෙසියස් කියලා සැපට….
තෙකලා ගී ගයන එතුම – එන්-රික් යැයි පරසිද්දෙට….
ලැබිලා ලොකු ඇරයුමකුත්  – පසුව ආපි මුතු ඇටේට….
එකලා සිදුවුණු දේවල් – කියනව මම පෙළින් පෙළට…

කට්ටක් වී පොලීසියට – සේකර හන්දියේ ජයට….
ඉග්ලෙසියස් සින්දු කියයි – නොමිළේ බෑ දැකගන්නට….
රග්බි රැළත් සතුටු වෙලා – එයින් ලැබෙන රෙන්ට් එකට….
සී ආර් එෆ් සී පිදුවා – සංගීතේ පිට්ටනියට…

සොඳින් අසා ගන් මහතුනි – “සෙක්ස් ඇන්ඩ් ලව්” ෂෝ විස්තර…..
දකුණට තඩි බෆල් හැටයි – වමටත් ඒ තරම් විතර…..
තදින්ම පොෂ් උන් එතනයි – රජ සිටු දූ පුතුන් අතර….
පනින්ට බෑ අල්ලන්නට – ආණ්ඩුවත් කොරයි මිතුර…..

එක්ක ගොසින් ඉග්ලෙසියස් – ගුවන් තොටින් කොළොම් පුරට….
උඩරට කස්තිරම් නටා – මල් මාලා ගෙල දමන්න….
ආතල් දී කැමති ලෙසට – යන්න කිව්ව ගී ගයන්න….
ඊට පස්සෙ සිද්ද වෙච්ච දේ පුදුමයි අහන් ඉන්න….

ඇඳගෙන ටී ෂර්ට් එකක් – ඩෙනිම් ලෙල්ල ඇඳලා යසට….
දාගෙන කර මාල තොප්පි – සර්කස් කවටයෙක් ලෙසට….
අරගත්තලු වීදුරුවක් – විස්කි බ්‍රැන්ඩි දමා එයට…
නැග ගන්නට ස්ටේජ් එකට – ඉග්ලෙසියස් එයි විගහට….

දැකගන්නට ඉග්ලෙ අයියා – කොල්ලො කෙල්ලො පිරුණා අවට…
“එන්නෙ නැද්ද මේ යෝදයා – ගතවී ඇත පැයක් දැනට”….
“කවුද යකෝ ඕගනයිසර් – ලයිව් ඉවෙන්ට්ස් බෙල්ල මුළට….
ඔන්න ඉතින් අහුවී ඇත – ඉග්ලෙ අයියා එයි විගහට…..

බලන්න පුදුමයි මහතුනි – ලයිව් ඉවෙන්ට්ස් කරපු විදිය….
ඒකට චණ්ඩියෝ තමයි – සංගා අයියා, මයියා ගොයියා….
ඉග්ලෙසියස් ආපු ගමන් – කෙල්ලෙක් තන පටිය ලිහලා…
“අයියෙ මේක ගනින්” කිව්ව – ඩෙටොල් දාලා අව්වෙ තියලා…..

කුට්ටම තන බඳින පටිය – අරගෙන එන්-රික් එම විට….
දෙනුන් මැදට වන් හරකෙක් – උම්බැ නාද කරන ලෙසට….
දැනගල්ලා මේක අලුත් සින්දුව – යැයි කියන කලට….
ට්විටර් එකේ බැට දුන්නා – බලන එවුන් ප්‍රමාදයට….

පැන්න කලට කට උල්කර – කෙල්ලෙක් තොත්තුවක් දෙන්ට..
දැම්ම හතර වට බුකියේ – මැජික් උනා ගොබ්බයින්ට….
ඉන්න හිටින්නත් බැරි විය – නැට්ට කෙළින් වෙලා උන්ට…
ඔන්න එවිට ආවා සඟිස් – කුරුතිය සහ රට රකින්ට……

කාගෙන් බේරුණත් බැරිය – බුකි විරුවන්ගෙන් මිදෙන්ට….
වේගෙන් පැන්නා ළිං වල – පතුල් වලින් ගෙම්බො පිටට…..
“කොයි එකීද රෙදි ගැලෙව්වෙ” – “කවුද පැන්නෙ තොත්තු දෙන්ට”….
හොයමින් ලෙස සවුදි රටේ – සෙට් උනානෙ ගල් ගහන්ට….

ඉතින් අම්මෙ ඉඳල මොටද – රටේ බොසා පැන විගහට….
අතින් පයින් නෙමෙයි ඔන්න – මඩු වලිගෙන් දෙන්නෙ පුකට….
ප්‍රශ්ණ තිබෙන මුත් රට වට – පත්තු නොවන මැතිඳුන් හට….
බ්‍රෙසියර් එක පත්තු වුනා – ගැටළු වැලක් කරමින් යට….

ඉදිරියෙ තිස් පන්දාහයි – පිටු පස පෙළ පන්දාහට…
ගෙව්වත් මිළ බොහෝ දෙනෙක් – බැරි වුනි හරියට කරන්ට…
හැත්තෑවක් විනාඩි ගෙන – සැවොම ගත්ත ඉදිරි පෙළට….
ඇත්තයි අපි ගූ ගහන්න – ඕන මෙහෙම මෝඩයන්ට…..

එක්ක ඇවිත් දෙතුන් දහක් – රගර් ගහන පිට්ටනියට…..
නටපු අමන නාඩගමට – ලොකු තැන දමමින් සිය කට….
කියපු කථා යයි ලොව වට- වෙච්ච සිද්දියත් හරියට….
ෆ්‍රයිඩ් රයිස් ගෙනත් දුන්නා – වගේ හිඟන අම්බලමට….

මෙරටා විසඳිය යුතු දේ – එක කටකට බැහැ කියන්න…..
උතුරේ සහ දකුණු කරේ – ගැටළු තිබේ ගෙයින් ගෙයට….
නැමුවා නම් කොයි කවුරුත්  – යට ඇඳුමට අවුළන කට….
අපෙ රට සුර පුරක් වෙලා – හෙටට අදට නොව ඊයෙට……

 

ප්‍රංශ කොඩිය……

ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයිසිස් මිනීමරුවන් විසින් බාරගෙන තිබේ….ඒ ප්‍රහාරය මනුෂ්‍යත්වය අගය කරන සියල්ලෝම විසින් හෙළා දැකිය යුතු, තුච්ඡ, නිවට, බියගුළු ක්‍රියාවකි….යුද්දයෙන් පරිපීඩිතව එයින් පලා යන තමන්ගේ ආගමම අදහන ජනතාවකට සරණක්, සෙවනක් ලබා දීමට තරම් කාරුණික වූ ජන සමාජයකට ඒ සරණාගත සෙයියාවෙන්ම සටන් කරුවන් රිංගවා පහර දෙන්නේ නම් එවැනි බලු හැතිකරයකට දිය යුතු පිළිතුර ඔවුන්ට තේරෙන භාෂාවෙන්ම ලබා දිය යුතුය….අයිසිස් මිනීමරුවන් වනාහි යල් පැනගිය මිථ්‍යා විශ්වාස මත මේ 21 වැනි සියවසේ සාර්ථක අධි-පාලනයක් ගොඩනැඟිය හැකි ‍යැයි සිතන නූගත් තිරිසන්නු රැළකි…මොවුන්ගේ අක්මුළ් තියෙන්නේ මොන ලෝකයේ වුවත්, මොවුන් වනසා දමා මැද පෙරදිගට සහ උතුරු අප්‍රිකාවට සහනයක් ලබා දීමට ලෝක බලවතුන් මැදිහත් විය යුතුය….එමෙන්ම මේ සක්කිලි රැළ බිහිවීමට බලපෑ ප්‍රධානතම හේතූන් වූයේ තමාගේම ක්‍රියාකාරකම් බව පිළිගැනීමට නේටෝ නායකයන් නිහතමානි විය යුතුය….වරක් අල් කයිඩා සංවිධානය බිහිවූයේ තම දේශයේම ජාත්‍යන්තර ක්‍රියාකාරකම් නිසා බව පිළිගැනීමට හිලරි ක්ලින්ටන් මහත්මිය නිහතමානි වූවාය….මෙවරත් ඇය සිය ජනපතිවරණ සටන අතරතුර අයිසිස් පිළිබඳව ත්‍රෛකාල තක්සේරුවක් නිවැරදිව ලබා දී තිබීම සතුටට කරුණකි…

මේ ජාත්‍යන්තර කරුණු කාරණා ගැන අප මින් ඉදිරි ලිපි මගින් දීර්ඝ විස්තරයක් කිරීමට බලාපොරොත්තු වන්නෙමු….දැනට කියන්නට යන්නේ මේ දිනවල ලාංකික සයිබරය සහ විශේෂයෙන්ම ෆේස්බුක් අඩවිය සහ එවැනි සමාජ වෙබ් අඩවි ආශ්‍රිතව පැතිර යන “ප්‍රොෆයිල් පින්තූරයට ප්‍රංශයේ ත්‍රෛවර්ණ ධජය දමා, ප්‍රංශයට සහය ඵල කිරීමේ සහ ප්‍රංශය වෙනුවෙන් යාඥා කිරීමේ රැල්ල” පිළිබඳවය….

අප මෙම සංසිද්ධිය කියවා ගත යුත්තේ මීට පෙර සිදුවූ අවාසනාවන්ත සිදුවීම් සහ ඒ ආශ්‍රිතව ලෝක ප්‍රජාව, මාධ්‍ය සහ අන්තර්ජාල සමාජ වෙබ් අඩවි පරිපාලනයන් හැසිරුණු ආකාරය, දක්වන ලද ප්‍රතිචාර සංසන්දනාත්මක පදනමක් කරගෙනය….මේ සඳහා සමීපතම සහ පැහැදිලිම උදාහරණය මෙසේය:

බංග්ලාදේශයේ සතිපතා ගංගා වල බෝට්ටු පෙරළෙති….

පද්මා නදියෙහි පසුගිය මාස හතක පමණ කාළය තුළ පෙරළුණු මගී බෝට්ටු වල සිටි 1,150 ක් පමණ දෙනා මරු මුවට පත් වූහ….ගංගාවෝ සහ අතු ගංගාවෝ 800+ ඇති බංග්ලාදේශයේ නිතර සිදුවන මෙවැනි අනතුරු වලින් මිය යන පිරිස දහස් ගණනකි…ඒවායින් ජාත්‍යන්තර මාධ්‍ය වල වාර්ථා වන තැනට එන්නේද 30%-40% ක් පමණි…කොටින්ම කිව්වොත් මියගිය පිරිස 400 කට පමණ වැඩි නොවේ නම් CNN, BBC ආදි ඊනියා ජාත්‍යන්තර මාධ්‍ය ඒවා සම්පූර්ණයෙන්ම මග හරිති….එවැනි විශාල බෝට්ටු පෙරළීමකදී වුවද ඒ පුවත් එකී ඊනියා ජාත්‍යන්තර මාධ්‍ය වල ඵල වනුයේ වාටි කවර වලය….කවමදාකවත් බංග්ලාදේශයේ බෝට්ටු පෙරළීමක් ( අනතුර මොන තරම් විශාල වුවත් ) CNN වගේ එව්වෑ “බ්‍රේකින් නිව්ස්” එකක් වන්නේ නැත….නිතර දකින කුකුළගේ කරමල සුදුයි කියන්නා සේම, මේ අනතුරු මොන අන්දමින් වුවත් අපේ අයියලාටත් ඒවා එච්චර වගේ වගක් නැත….

ඔහොම ඉන්නකොට 2014 අප්‍රේල් 15 වැනි දින දකුණු කොරියාවේදී පාසැල් සිසු සිසුවියන් ප්‍රමුඛ මගීන් 476 ක් රැගත් “MV Sewol” නම් සුඛෝපභෝගී මගී නෞකාව අනතුරකට පත්විය…සිද්ධියෙන් සිසු සිසුවියන් ඇතුළු 295 ක පිරිස මරු මුවට පත්වූහ…

අම්මට හුඩුය…. CNN  එකේ විනාඩි පහෙන් පහට සිද්ධිය ගැන බ්‍රේකින් නිව්ස් ය…. CNN එක මේ සඳහා වෙනම ෆෝරම් පේජ් එකකුත් ඕපන් කළා කියහංකෝය. “ඔබ මේ සිද්ධිය වූ ස්ථානයේ සිටී නම් කරුණාකර අපට වීඩියෝ දර්ශණ එවන්න” කියා තවත් වීඩියෝ ෆෝරම් එකක් දැම්මෝය…මුහුදු ගමනාගමනය සම්බන්ධ විශේෂඥයන් CNN International – Asia Pacific එකේ හොංකොං මැදිරි සංකීර්ණයේ අම්බානක ඇනැලිසිස්ය….අනතුර සිදුවුනු හැටි ගැන සෙන්ටිමීටරයෙන්, සෙන්ටිමීටරය විග්‍රහ කරති….

ෆේස්බුක්, ට්විටර්, අරකෙ මේකෙ ඔක්කොම දකුණු කොරියාවට යන “RIP” වැහි වැහැලාය….අපේ වාහෙලාත් දකුණු කොරියාව වෙනුවෙන් හිටගෙන Pray කරති….ගිලී මිය යාමට ආසන්නව සිටි මගීන් අවසන් මොහොතේ ගන්නා ලද වීඩියෝ, ඡායාරූප, ෆේස්බුක් දමන ලද ස්ටේටස්, ටිව්ටර්, අම්මාට අප්පාට යවන ලද එස්.එම්.එස්, අවසාන මොහොතේ දෙන ලද කෝල්, අරවා මේවායින් සමාජ වෙබ් අඩවි ජාල රත් වෙලාය….

අපේ පොෂ් අයියලා, අක්කිලා, මාමිලා, ඇන්ටිලා, බන්ටිලාටත් ඇඬෙනවාය…”OMG This is so heart breaking” ය…”OMG I cried when I read this” ය…”RIP Kim”ය…”XOXOX” ය….කඳුළු බේරෙන Emoticonsය…. බෝමා කඳුළු ඉණුවා ඇස කකියාය…”වාව්” ය….

දැන් අපි මේක මේ විදියට වීම පිටුපස ඇති සාර්ව චින්තනය කියවගන්න ට්‍රයි එකක් දෙමු….

බංගලියෝ කැත, දුඹුරු හම් තියෙන දුප්පත් හිඟන්නෝය…බංග්ලාදේශය සියළු මානව සංවර්ධන ඒකක අතින් දරුණු ලෙස පසුබැස සිටින ලෝකයේ ජීවත් වන්නට නුසුදුසුම රටවලින් එකකි…උන් අඳින්නේ වැරහැළිය…උන්ට දකුණු කොරියාවේ බඳු අධි තාක්ෂණික “මෙට්‍රො සෙක්ෂුවල්”, “ටෙක්නො සෙක්ෂුවල්” කල්චර් සහිත තාරුණ්‍යයන් නැත….කොටිම්ම කිව්වොත් බංග්ලාදේශයේදී බෝට්ටු පෙරළී මැරෙන හිඟන පැටවුන්ගෙන් 80% ක් සෙල්ෆෝන් එකක් වත් ඇහින් දැක නැත….

ඒ මදිවාට පෙරළෙන්නේත් කසි කබල්, පළලා දරට ගන්න වයසෙ ට්‍රෝලර් බෝට්ටු පඩංගුය….අම්මපා මෙවවයෙත් මිනිස්සු යනවාද නේද?…

අන්න ඒකට දකුණු කොරියාව….බංග්ලාදේශයේ හමගිය සාරි ලෙල්ලවල් වලින් ඔලුවෙ ඉඳන් වහගෙන ඉන්න, නැත්තන් ලිපේ දැම්මට පිච්චෙන්නෙ නැති ෂල්වාර් අඳින, නූගත්, නමේ අකුරු ටිකවත් ලියාගන්න බැරි, ඇට ගැහිච්ච, දූවිලි කුණු වැදිලා දුර්වර්ණ වෙච්ච හම් තියෙන නංගියෙක්ගේ කඳුළු වගේද, දකුණු කොරියාවේ හයි බ්‍රෑන්ඩ් ඇඳපු, පොලිෂ් කරපු, වාත්තු කලා වගේ සුදෝ සුදු නංගියෙක්ගෙ කඳුළු….අනික පෙරළුනෙත්  හයිෆයි Ferry එකක්ලුනෙ….

බංග්ලාදේශ ගොරහැඬි, දූවිලි නාගත් නංගියා “කූල්” නැත….ඒ නංගියා වෙනුවෙන් ඇඬීමද “කූල්, ට්‍රෙන්ඩි හෝ පොෂ්” නැත….ඒකි කොහොමත් උපන්නාට ඔහේ වැනි වැනි ජීවත් වෙලා මැරිලා යන්නට උපන් කරුමක්කාරියකි….ඒකි ඔය බෝට්ටුව පෙරළිලා නොමැරුණත්, අඩු වයසෙන් සිදු කෙරෙන බලහත්කාර විවාහයකින් කවුරු හෝ හිඟන හාල් පාරුවෙකුට දාව ගැබ් ගෙන, බංග්ලාදේශයේ තිබෙන නරකාදි සෞඛ්‍ය සේවයේ සහාය ලබාගෙන දරුවා ජාතක කරන්නට යද්දී කොහොමත් නිව්මෝනියාව හැදිලා මැරෙනවාය….තුන්වෙනි ලෝකයේ කරුමක්කාරයන්ගේ මරණය “Sweet නැත, Romantic නැත”…ඒ නිසා බංග්ලාදේශ නංගියාට වතුර පෙවීගෙන එනකොට ගිලීගෙන යන බෝට්ටුවේ හිරවී සිට අම්මාට කෝල් එකක් දෙන්නට ෆෝන් එකක් නැති නිසාත්, ඒ කෝල් එක ගන්නට අම්මා සිටින ගෙදරට ෆෝන් එකක් නැති නිසාත්, ඔවුන් දෙදෙනාම ෆෝන් එකත් ඇහැට දැකලාවත් නැති නිසාත්, ඒ බංගලි නංගියා බෙංගාලි බසින් හදතුරේ සඟවා ගන්නා “අම්මේ මාව මැරෙන්නයි යන්නේ” කියන ශෝකාලාපය එච්චර “නෝට්” වෙන්නේද නැත….බංගලිදේශ නංගියා ඉන්නේ මැරෙන්නය…ඒකි මළාට ගාණක් නැත….

bangladeshi-people08

දකුණු කොරියාවේ සුකුමාර නංගියා “කූල්ය”…ඒ වගේ තුදු ලත්තන නංගියෙක් මැරුණා කිව්වාම අක්මාව කම්පා වෙනවාය…උණ්ඩුකපුච්ඡය උද්දීපනය වෙනවාය….ආයෙ ආයෙත් ඒ රෝස මලක් වගේ ලස්සන මූණ, පොලිෂ් කරපු තොල්, දිලිසෙන කම්මුල් සහිතව, දිමුතු දසන් දක්වා හිනාවෙලා ඉන්න අවසන් වරට ගත් ඡායාරූපය දිහා බල,බල “අහෝ! මෙවන් සොඳුරු නිමැවුමක් සැනකින් වැනසී ගිය කරුමය කිම? දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි” කියා කියනවාය….ඒ නිරෝගී ලස්සන නංගා මැරෙන්න හිටිය කෙනෙක් නොවේ….එයා කවදා හරි දවසක “අනන්තයෙන් ආ තරු කුමරෙකුට” පෙම්වතිය වෙන්න හිටපු කෙනෙක්ය….ඒ දෙන්නාගේ ආදරය හරීම ස්වීට් එකක් වෙන්නට තිබුණාය…දකුණු කොරියාවේ සෝල් අගනුවර දර්ශණීය වීදියක, මිළ අධික අවන්හලකදී ඒ කඩවසම් තරු කුමරා මේ නංගියාව විශ්මයට පත් කරමින් ඇයට විවාහ යෝජනාව ගෙන එන්නට තිබුණාය….ඒ නංගියා සතුටු කඳුළු පිරි දෙනෙතින් ඒකට කැමති උනාම, රත්තරන් මුදුවක් ඒ සියුමැලි ඇඟිල්ලකට තරු කුමරා අතින් පළඳවන්නට තිබුණාය….

Free-Shipping-2013-women-Japan-and-South-Korea-non-mainstream-wig-girls-long-hair-dark-brown

එහෙව් නංගියෙක් අඳුරු නැව් පතුළක සිරවී Samsung Smartphone එකකින් ගෙදරට කෝල් එකක් දමා “Mommy, I might not see you again…I love you…!” කිව්වාම ලෝක වාසීන්ගේ ආමාශය දෙදරනවාය….හද මඬල පන්තේරු නැටුම් නටනවාය….ෆේස්බුක් එකේ ඉබේටම “RIP” එබෙනවාය….

දඩාවතේ යන බල්ලෙකු බලු වෑන් එකේ අවසන් ගමන් ගියාට කාටවත් ගාණක් නැත….කුරුඳුවත්තෙ බංගලාවක “බව්වෙක්” මැරුණොත් මාර සීන්ය… හලිම ස්වීට්ය…RIP ය…

CNN, BBC ප්‍රමුඛ ඊනියා “ජාත්‍යන්තර මාධ්‍ය” වල හැසිරීමත් කියවමුකො…

17 කෝටියක් ජන ගහණය ඉන්න, කුකුළ් කූඩු වගේ හිඟන මුඩුක්කු, ගුබ්බෑයම් තියෙන, එක මඩුවේ දහ පහළොස් දෙනා එකට ලගින, අපිරිසිදු, ලෙඩ රෝග වසංගත ගහන, හිඟන බංග්ලාදේශයේ මොකක් හරි අඩව්වක් උස්සන් ඇවිත් දැම්මාය කියා ඒවාට ඇඩ් එන්නේ නැත…Hits එන්නේ නැත…Views එන්නේ නැත….අරක නැත…මේක නැත….ඒව්වෑ සංදර්ශණීය වටිනාකමක් නැත….එව්වාට හදමල දෙදරන්නේ නැති නිසා, ඒ මරණ අරඹයා සෝෂල් මීඩියා කානිවල් බිහිවෙන්නේ නැත….උන් කොහොමත් මැරෙන්න ඉන්න එවුන් නිසා උන් මළාට ඒ මරණයට නියම කළ හැකි මිළක් නැත….උන් ගැන කවුරුවත් Search කරන්නේ නැත….උන්ගේ ජීවිත ගැන කියවන්න මහන්සි වෙන්නේ නැත….උන් වෙනුවෙන් බංග්ලාදේශ තානාපති කාර්යාල වල ගේට්ටු ලඟ රෝස මල් පොකුරු, පොකුරු, සුවඳ හමන ඉටි පන්දම්, ඡායාරූප, බෝඩ්, කටවුට්, ශෝක ප්‍රකාශ කාඩ්පත් ගොඩ ගැහෙන්නේ නැත….ඒ නිසා ඒවා ගැන බ්‍රේකින් නිවුස් දුන්නාය කියා ලොකුවට ගතමනාව නැත…එහෙව් එකේ උන්ට වෙන් කරන ඉඩකඩ අපරාදේය….

සිරාවට මම අහන්නේ … දිනපතා බෝම්බ පුපුරන ඉරාකයේ, තිස් වසරක සිවිල් යුද්දය නිසා අමු සොහොනක් උන ශ්‍රී ලංකාවේ, පැහැදිලි ජාත්‍යන්තර කුමන්ත්‍රණ නිසා නරකාදියක් වුන සිරියාවේ, ඊශ්‍රායලය නම් ඝෝර චණ්ඩියා ඉදිරියේ බියෙන් ගැහෙමින් ජීවත් වන පලස්තීනයේ දහස් ගණන් කුඩු පට්ටම් උනත්, ලෝකයේ ප්‍රධාන නගර වල තිබෙන ඒ රටවල තානාපති කාර්යාල ඉදිරියේ රෝස මල් පොකුරු, ඉටි පන්දම්, ශෝක ප්‍රකාශ කාඩ් එහෙම ගොඩ ගැහිලා තියෙනවා උඹලා දැකලා තියෙනවද?….එහෙම එව්වා ආවරණය කරලා නිකන් අතින් කයිට් වෙන්නෙ අහවල් එහෙකටද නෙහ්?

“ජාත්‍යන්තර මාධ්‍ය” කියන්නේ “සැබෑවටම ජාති-අන්තර මාධ්‍ය” විය යුතුයි නේද? එහෙම නම් ප්‍රාංශුවා, ජර්මානුවා, ඇමරිකානුවා, ජපනා වගේම, බංගලියා, ඉන්දියානුවා, පලස්තීනුවා, සිරියානුවා, ශ්‍රී ලාංකිකයාත් ඔය කියන ජාත්‍යන්තර ප්‍රජාවට අයත් නිසා, මේ සියළු දෙනාගේම ජීවිත සහ මරණ වලට තිබිය යුත්තේ එක සමාන වටිනාකමක් නේද? එහෙම නම් තොපි ඔය හැසිරෙන විදිය හරිද? මේ හැම කෙනෙකුගේම විපතේදී යොමුවිය යුත්තේ එක හා සමාන අවධානයක් නේද? කියන එක අහලා චාටර් වෙන්න කවුද කැමති…?….පැපොල් වගේයැ ඇපල්…නෙහ්….?

ඊනියා ජාත්‍යන්තර මාධ්‍ය හැසිරෙන ආකාරය අනුව අපිට ඉතින් ගොඩ නගා ගන්න තියෙන්නෙ:

න්‍යෂ්ඨියේ රටවල ජීවිත 1 = පරිධියේ රටවල ජීවිත 50 ක්

කියන සමීකරණය තමයි….

ප්‍රංශ කොඩිය ප්‍රොෆයිල් පින්තූරයට දමා ගැනීම කියවා ගත යුත්තේත් මේ විදියට තමයි….

සිරියාවේ, ඉරාකයේ, ලෙබනනයේ, යේමනයේ, ඇෆ්ගනිස්ථානයේ, පාකිස්ථානයේ දිනපතා අහන්න, දකින්න ලැබෙන ත්‍රස්ත සහ “නො-ත්‍රස්ත” ප්‍රහාර වලින් පැය දොළහකට විතරම එකසිය පනහක් මැරෙනවා…ෆේස්බුක් එක අයිති සහ ඒක කළමණාකරණය කරන අයට කොඩිය දාන්න හිතුණද?….”Pray” කරන්න හිතුණද…?….ඩැමැස්කස් වල කාර් බෝම්බයක් ගිය දාට, බැග්ඩෑඩ් වල මාකට් එකක මරාගෙන මැරෙන බෝම්බයක් ගිය දාට “We Stand With Syria” කියලා “Social Media Movement” එකක් පටන් ගන්න හිතුණද….?…..ශ්‍රී ලංකාවේ ළමා සොල්දාදු ඛේදවාචකය…ගුවන් ප්‍රහාර වලින් බේරීගෙන අතපය පැසවපු සහලෝලා උණ ගැනිච්ච දරු පැටවු බදාගෙන විලාප කිය කිය දුවන දෙමළ අම්මලා, ක්‍රීඩා තරඟයකට ගියපු දරුවො පෙට්ටියෙන් ගෙදර ආවාම ඒ මිනී බදාගෙන විලාප කියන සිංහල අම්මලා වෙනුවෙන් Pray කලේ කවුද?….Breaking News දුන්නෙ කවුද?….Forum වෙන් කළේ කවුද?….Expert Panel Discussions තිබ්බෙ කවුද?….

එතකොට ලංකාවේ අපි…?

ලාංකික සයිබර් ප්‍රජාව වන අපි ප්‍රංශ කොඩිය දාගෙන ඉන්නෙ ඇයි?….Pray කරන්නෙ ඇයි…?...”ලොවේ කොතනක මියගියත් ඔබ මගේ සොයුරාමයි, මගේ දරුවාමයි” කියන සඳ වැගිරෙන මානව හිතවාදය නිසාද?….එහෙනන් කෝ සිරියන් කොඩි…?…කෝ පලස්තීන කොඩි…?…කෝ ඉරාක කොඩි…?…කෝ බංග්ලාදේශයේ මුස්ලිම් අන්තවාදින් විසින් මරා දමන අහිංසක බෞද්ධයන්ට කොඩි…?….කෝ මියන්මාරයේ බෞද්ධ අන්තවාදින් විසින් මරා දමන රොහින්යා වරුන්ට කොඩි…?…

නෑ ඉතින් ප්‍රංශෙ කියන්නෙ ප්‍රංශෙ නෙ නෙහ්…?….සුදෝ සුදු ප්‍රංශ නංගියෙක්ගෙ පිණි ජම්බු ගෙඩියක් බඳු කොපුල් තලා දිගේ රූරා ගොස් වැටෙන කඳුළකට, ඒ නංගි නිහඬව බිම බලාගෙන දණ ගහගෙන පත්තු කරන ඉටි පන්දමක් අඬ අඳුරේ කියාපාන මනුෂ්‍යත්වයේ ශෝකාලාපයට මයික්‍රොවේව් අවන් එකේ තැබූ වෙඬරු ග්‍රෑම් පන්සීයක් සේ උණු වී නොවැගිරෙන හදවත් කුමට…?… හොඳේ…?…

ප්‍රංශයේ මිනිස්සු මැරෙන්න ඉපදුණු අය නෙමෙයි නේ….ඒ අය කොහොමවත් මෙහෙම මිය යා යුතු නැති අයනෙ….අර සිරියාවෙ, ඉරාකයේ වගේ බුරුතු පිටින් මැරිලා යන්න ඉපදිච්ච කාළකණ්නි බැල්ලිගෙ පුතාල වගේද ප්‍රංශේ මිනිස්සු….?….නෙහ්…කොඩිය දාමු…!… ප්‍රංශෙ මොඩර්න්, ප්‍රංශෙ පොෂ්, ප්‍රංශේ සෙක්සි, ප්‍රංශෙ රොමැන්ටික්……!..නොදෝකින් ගොරහැඬි ඉරාකෙ….ඉකේයියා ඇෆ්ගනිස්ථානයේ….චික්, තුක් පලස්තීනෙ…ඕක් සිරියාව…!

“ප්‍රංශ යුවතියන්…හදේ කොණ අරන්” ඉන්න වෙලාවෙ ප්‍රංශ කොඩිය දැම්මාම ඔයාව පේන්නෙ මාර “ඉන්ටනැෂනල්, මල්ටි නැෂනල්, සෙන්ටිමෙන්ටල්, සෙන්සිටිව්, රොමැන්ටික්, මොඩර්න්” පොරක් වගේ…. එතකොට ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ ඉන්න ගොබිලලා කල්පනා කරනවා “බලාන්ඩ අනී….මේ අයියා / අක්කා / නංගි / මල්ලි මාර ඉන්ටනැෂ්නල් තින්කින් එකක් තියෙන, මානව හිතවාදි, මානුෂීය වාදී, ප්‍රජාතන්ත්‍රවාදී, භූමි කම්පාවාදී, ඩෑල් එකක්නෙ….බලන්න ෆ්‍රාන්ස් වලට “බල්ටි තුනයි, විසිල් දෙකයි” දුරින් වෙන්න ඕන මූ ඉන්නෙ…හවසට හවසට ෆ්‍රෑන්ස් ගිහින් ෆ්‍රාංශුවා ඕලාන්ඩ් එක්ක බෙලිමල් කෝප්පයක් ගහලා එනව ඇත්තෙ… මූ කැරම් ගහනවා ඇත්තෙ යැනික් නෝවා එක්ක, ජිල් බෝල ගහනව ඇත්තේ ශෝන් රෙනෝ එක්ක… එතකොට අඳින්නෙ පියරේ කාඩින්ගේ රෙදි….රෙනකොට අහන්නෙ අරූගෙ සිම්ෆනි, කනකොට අහන්නෙ මුගේ සිම්ෆනි, බුදියනකොට බලන්නේ අරූගෙ ඔපෙරා, වෙන්න ඇති….ඕකා ප්‍රංශ ඉතිහාසෙ කට පාඩමෙන් දන්නවා ඇති….ප්‍රංශ විප්ලවේ කෙරෙන වෙලාවෙ රොබෙස්පියර්ගෙ අම්මට බත් පැකට් එක අරන් ගිහින් තියෙන්නෙ මූ….නැපෝලියන් ඉපදිච්ච වෙලාවෙ මූ තමයි වින්නඹු කම් කොරන්න ඇත්තෙ”…වගේ දේවල් ඒ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් වල ඉන්න අයට හිතෙන්න පුලුහන්….ඒ සේරටමත් වඩා ඔයා මාර Westernized කියලා පෙන්න ගන්නත් පුලුහන්….ඔයාට කේබල් ටීවී තියෙනවා කියලා පෙන්න ගන්න පුලුහන්….ඒකෙන් සී.එන්.එන්, බී.බී.සී පලෝ කරනවා කියලා පෙන්න ගන්න පුලුහන්…ඔයාලා සොට්ටෙයා ඇප්ස් එහෙම යූස් කරන්න දන්නවා කියලා පෙන්න ගන්න පුලුහන්….

අනේ ඉතින් උඹලා ජාත්‍යන්තර දේශපාලනය ගැන දිනපතාම වගේ මාර අවධානයෙන් නෙ ඉන්නේ නෙහ්….?….

2004 ආසියානු සුනාමියෙන් පස්සෙ තායිලන්තයේ දරුණුම විනාශයට ලක් වුනු “පංග් ගා සහ ෆුකට්” ආදි පළාත් වල වැසියන්ට රෑට රෑට තෙත බේරෙන ඇඳුම් ඇඳගත්තු හොල්මන් පාරෙ යනවා පේන්න ගත්තා….මනෝ විද්‍යාඥයන් ගවේෂණය කරගෙන යනකොට පෙනුනලු, මේ අයට මේ පේන හැම හොල්මනකම පාහේ ඉන්නෙ සුද්දෙක් හෝ සුද්දියක් කියලා….පසුව මේ තත්වයට හේතු සාධක වශයෙන් ඒ මනෝ විද්‍යාඥයන් ඉදිරිපත් කරපු දේ තමයි තායිලන්ත වැසියන් මේ සුදු හම තිබෙන, කොකේසියානු සම්භවක්ථ මිනිස්සුන්ට දක්වන අසීමිත ගෞරවය නිසා, ඒ මිනිස්සු මෙහෙම මැරුණා කියන එක, ඒ අයගේ මළ කඳන් තිබීම විශ්වාස කරන්න, අදහගන්න බැරි දෙයක් උනා….අන්න ඒ කම්පනය තමයි මේ Mass Hysteria එකක් වශයෙන් නිර්මාණය වෙලා තියෙන්නෙ කියන එක….

අන්න ඒ වගේ තමයි අපිටත්….මැස්සො වගේ මැරිලා යන්න ඉපදිච්ච තුන්වෙනි ලෝකයේ හිඟන රටවල මිනිස්සු මැරුණා කිව්වාට ඕක ගාණක් නෑ…උන් ඉතින් මැරෙන්න නෙ ඉපදිලා ඉන්නෙ…..සුද්දො මැරුණා කිව්වාම, දියුණු රටක මිනිස්සු මැරුණා කිව්වාම, බලසම්පන්න රටක මිනිස්සු මැරුණා කිව්වාම දැනෙන කම්පනය සුවිශාලයි….“උන් කොහොමද දෙයියනේ මැරෙන්නෙ?” කියන ප්‍රශ්නෙ තමයි අවිඥානය අපිට මතු කරලා දෙන්නේ….අවිඥාණය අපිට යෝජනා කරන්නෙ ඒ තරම් සම්පත් මහෝඝයක් සහ මිලිටරි බලයක් සහිත, ඒ තරම් තාක්ෂණයක් තියෙන ධනවතුන් මැරෙන්නෙ කොහොමද කියන විමතිය….ඒක ලොකු ක්ෂතියක්, භ්‍රාන්තියක්….ඔය ලැයිසාගේ, කතිරිනාගේ, කරලැයින්ගේ, ගිරිගෝරිසාගේ, ජෙමාගේ, තෙපානිසාගේ, බූරු ජීලියාගේ, අගිදප්පුවාගේ ගෙවල් වල බක් මහෙන් බක් මහට වදාපු කොළු කෙළි පණුවො මැලේරියාව, අම්මාවරුන්නේ ලෙඩේ, සිංහලේ උණ, හීත උණ, අරක මේක හැදිලා එක ගොඩේ මැරිලා ගියත් ඕක ගාණක් යැ….?….වලව්වෙ සුදු අප්පො මළොත් අම්මට හුඩු “බාලේ පෙම්බර කොණ්ඩා බැන්දත්” හත් දවසක්, හත් වරුවක්….සිරියාවතී වැදුම් ගෙයි සන්නිය වැඩි වෙලා හුජෑ උනා වගේද බොල වලව්වේ නෙළුම් බණ්ඩාර මැණිකෙ දිවංගත වෙච්චි එක…?….

දැන් ලංකාවෙනේ අර්බුදය තියෙන්නෙ බලපුවාම….සමහර මුස්ලිම් මිනිස්සු “මේක මේ අවංක අහිංසක සුන්දර ඉස්ලාම් භක්තිකයන් කරපු වැඩක් නොවේය, මේක මේ ප්‍රංශ බුද්ධි අංශයන්ම කරාපු එකක්ය” කියන්න ගේන වඳුරු කුණුහරුප තර්කයි, ඒකට රෙද්ද කරට ගත්තු සමහර සිංහල මිනිස්සු “තම්බින්ට ගහනව නම් ඕන යකෙක්”  කියලා ප්‍රංශ කොඩිය දාගෙන කියන වඳුරු කුණුහරුප කථායි දැක්කාම අපිට එක තර්ක වර්ගෙට එක කොණෙන් ගානෙ කොන් දෙකෙන්ම හිනා යනවා….මෙතන එහෙම සීන් එකකුත් යටින් යනවා…අපි නොදන්න අපි … !

අනික ලංකාවෙ අපි ඉතින් උපන්ගෙයි මානව හිතවාදින් නෙහ්…?…මැද පෙරදිග රස්සාවට ගියපු දුප්පත් ගෑණියෙක්ගෙ වේදනාව තළු ගහලා හප කරපු, ඒ වචන අදටත් බයිට් එකක් කර ගෙන ඕනම දේකට “ඕක ළමයෙකුට දීපන්, හෙණ ගහලා අකුලෝලම පලයන්”  කියන අපි තමයි “ෆ්‍රෑන්ස් වල ෆ්ලෑග්” එක දාගෙන ඉන්නෙ මේ මානුෂිකත්වය වෙනුවෙන්….දහස් ගණන් එකතුවෙලා සයිබරයේ සමූහ දූෂණය කරන්න කවුරු හරි නර බිල්ලක් සතිපතා අහුවෙනතුරු කෙළ හල හල බලාගෙන ඉන්න, කාගෙ හරි ජීවිතයක වැරදිච්ච තැනක් අහුවුන ගමන් මෘගයො වගේ රංචු පිටින් වටවෙලා හපාකන, මරාගෙන කන අපිට තමයි මේ ප්‍රංශය වෙනුවෙන් “වැක්කෙරෙන්නෙ” …. අපි ඉතින් මනුස්සකම රැකීම අතින් කප් ගහපු රටක්නෙ….අවුරුදු 67 තිස්සේ උතුරෙයි දකුණෙයි අපි ලෙසටම මනුස්සකම රැකලා ඉවර වෙලා, මදි පාඩුවට තමයි අපේ මේ මහා කරුණාව අහස් ගඟ පිටාරා ගලන්නා සේ ප්‍රංශය දෙසට යොමු කරන්නෙ….අපි මනුස්ස කම රැක්ක හැටි, මනුෂ්‍ය ඝාතන හෙළා දකින හැටි, ප්‍රංශයෙ උන් තාම කථා වෙනවලු ඕයි ..!… ඔව්…!….බොරු නම් ” French INGO Action Against Hunger – Muttur” කියන වචන ටික ගහලා සර්ච් කරල බලපල්ලා….!….

අවසාන වශයෙන් ……

“HMS Lusitania, MV Wilhelm Gustleoff, SS Patria, Taiyo Maru, වගේ නම් අහලා තියෙනවද?

නැද්ද? එහෙනන් “HMS Titanic” කියන නම අහල තියෙනවද?…

මොකද නැත්තෙ…?…ඇයි අර ජැක් චිත්‍ර ඇන්දෙ.. රෝස් හෙලුවෙන් හිටියෙ….”My Heart will go on and on” උනේ….ඔව් ඒක තමයි…

ඔය මුලින් කියපු නැව් ගිළුනෙත් අත්ලාන්තික් සාගරය සහ ඒ ආශ්‍රිතව තමයි….ඒවා ගිළුණෙ පළමුවැනි සහ දෙවැනි ලෝක යුද්ධය අතරතුර යුරෝපයෙන් ඇමරිකා එක්සත් ජනපදයට, ලතින් ඇමරිකානු කළාපයට, කැනඩාවට එහෙම පළා යන සරණාගතයන් රැගෙන යද්දි එල්ලවුනු සබ්මැරීන ( German U-Boats, Soviet R-Boats) ප්‍රහාර නිසා…ඒ සිදුවීම් වලින් සරණාගතයන් දහස් ගාණක් නැව් සුන්බුන් අතරෙ හිරවෙලා ඒවා එක්කම මුහුදු පතුළටම ගියා… එළියට පැන ගත්ත අය සීතල මුහුදු වතුරෙ ගිලිලා, ලේ මිදිලා, සීතලට ලේ කැටි හිරවෙලා මැරුණා….ඒ මැරුණ අයගේ නම්, ගම් තියා නිශ්චිත ගාණක් මිම්මක් වත් අද තා වන තුරු නැහැ….ඒ අයගෙන් අති බහුතරය යුද්දය නිසා සේරම නැතිවෙලා ඇඳිවත සහ අඹු දරුවන් පමණක් ඇතිව ශාපලත් යුරෝපයෙන් පළා යමින් සිටි අසරණයන්..මේවයේ නැව් පතුල් වල තියෙන අඳුරු ගබඩා කාමර වල සත්තු වගේ ඉරිච්ච රෙදි පාන්කඩ ඇඳගත්තු දහස් ගාණක් සරණාගතයෝ හැරෙන්නවත් ඉඩක් නැතුව, හුස්ම ගන්න හුළං පොදක් නැතුව, ගාල් කරලා ගෙනිච්චෙ…ඒ නැව් ගැනවත්, ඒවායේ හිටපු මගීන්ගේ ජීවිත කථා ගැනවත් චිත්‍රපටි හැදුණේ නැහැ….

අන්න ඒකට ටයිටැනික්…!…සිද්ධියෙන් අවුරුදු 85 කට පසුව, එනම් 1997 දි ජේම්ස් කැමරන් කරපු ප්‍රතිනිර්මාණයට ලෝක වාසීන්ගේ හඳුන් පොත කොච්චර කී ගෑවාද කිව්වොත්, අර ජැක් රෝස් ජෝඩුව නැවේ ඇණිය උඩ ඉඳගෙන පිහාඹින්න හදන පින්තූරෙ පොත් පිටකවර, බුක්මාක්, බෑග්, ටී ෂර්ට්, ජංගි දක්වා ආවා….සෙලීන් ඩියොන් අක්කගේ සින්දුව එදා මෙදා තුර ඔක්කාරෙට එනකල් ඇහිලා ඇති….තාම ඇහෙනවා….”My “Fart” will go on and on”……

ගිනි ගත් යුරෝපයේ වෙඩි හඬ මග ඇරලා, කාළ තුවක්කු ගිගුම් දෙන හඬ, බෝම්බ හෙළීමට පහළ බසින ගුවන් යානා නගන කන් බිහිරි කරවන හඬ මග ඇරලා, මරබියේ වෙව්ල වෙව්ල, ඝණ අඳුරු නැව් ගබඩා කාමරයක කූඩු වෙලා, හීතලේ ගැහි ගැහි යන සරණාගතයෝ මැරුණා වගේද, බෑන් චූන් ගහගෙන, බාල් නටාගෙන, මිළ අධික වයින් වලින් ටෝස්ට් එක දාගෙන, ගියපු කුමාර ගමනක කෙළවරේ මැරෙන්න සිද්ද උනාම….නෙහ්…?…වාර්ෂිකව සප්ත මහා සාගර වල ගිලෙන සරණාගතයන් රැගත් බෝට්ටු, නැව් වල කථාව කොතනක ලියවුණත්, ඒවාට කාගෙවත් “Heart will go and on” උනේ නැත්තෙ ඇයි කියන එක සහ විනෝද සවාරියක් යන්න ගිහින් ආක්ටික් සාගරයෙදි අධි තක්සේරුව නිසා මරණය ළඟා කරගත් අය වෙනුවෙන් අවුරුදු 85 කට පස්සෙත් ලෝක වාසීන්ට “Heart will go on and on” වෙන්නෙ ඇයි කියන එක තුළ අපිට ප්‍රංශ කොඩියෙ ප්‍රොෆයිල් පින්තූරය කියව ගන්න පුළුවන්….

ඛේදජනක ත්‍රස්ත ප්‍රහාරයක් නිසා 150 ක් මියගිය ප්‍රංශයේ පැරිස් නුවර වෙනුවෙන්, ලොව පුරා සුපිරි නගරවල තියෙන ස්මාරක වල ප්‍රංශ කොඩියේ පාට වැටෙද්දි, සිරියාවේ, ඉරාකයේ දවසකට 150 ක් විතර මැරුණත් ඒ කොඩි වල පාට කොතැනකවත් නොවැටෙන්නෙ ඇයි කියන එක තේරුම් ගන්න අපිට පුළුවන් ටයිටැනික් නැවේ කථාව සහ චිත්‍රපටිය ගැන හිතුවාම….

තුන්වෙනි ලෝකයේ හිඟන හැත්ත ඉපදිලා ඉන්නෙ මැස්සො වගේ මැරිලා යන්න…උන් බුරුතු පිටින් මැරිලා ගියත් අපිට පුදුමයක් නෑ…අපි ඒ මරණ පිළි ගන්නවා…ඒවා ලෝකයට කම්පන තරංග මුදා හරින්නෙ නෑ……ඒවා ඉතින් “වෙන්න තියෙන දේවල්”….

ඒ වගේද ප්‍රංශෙ දෙයියනේ…?

ධනවත් අය මිය යෑම සතුටක් නෙමෙයි….දුප්පතුන් මිය යාම සාමාන්‍ය දෙයක් විය යුතුද නොවේ….පළවෙනි ලෝකයේ, තුන්වෙනි ලෝකයේ නෙමෙයි දහවෙනි ලෝකයෙ උනත්, උදේට සිය අඹු දරුවන් සිප සනසා නිවසින් එළියට බසින මිනිසාට සවස නැවත තම ආදරණීයයන් වෙත එන්න නොලැබෙනවා නම්, සංගීත ප්‍රසංගයක් බලන්න පිටත්ව යන තරුණ දියණියට මිනී පෙට්ටියෙන් නැවත නිවසට එන්න වෙනවා නම්, මධුවිතකින් සප්පායම් වන සාමකාමී රසවතෙකුට ඉන් සුළු මොහොතකට පසු වෙඩි උණ්ඩයක රස බලන්න ලැබෙනවා නම්, පෙම්වතියගේ දෙතොල් සිපගන්නා පෙම්වතෙකුට මද වේලාවකින් ඇයගේ මිනිය බදාගෙන අඬන්න වෙනවා නම්, ඒක ශිෂ්ඨත්වයේ දරුණු පරාජයක්….මනුෂ්‍යත්වයේ දරුණු පරාජයක්….ඒ පරාජය හමුවේ ඒ පරාජයට පාර කපා අනෙකුත් පාර්ශවයන් ලබන මොනම සමාජ, ආර්ථික හෝ දේශපාලන ජයග්‍රහණයක් වත් වලංගු නෑ…ඒ හමුවේ ලබන කවර ආකාරයේ වත් ආගමික ජයග්‍රහණයක්, ජාතික ජයග්‍රහණයක් වලංගු නෑ….

නමුත් ඒක ප්‍රංශයෙත් එසේය, බංග්ලාදේශයෙත් එසේය, ඉන්දියාවෙත් එසේය, ශ්‍රී ලංකාවෙත් එසේය, ඇමරිකා එක්සත් ජනපදයේත් එසේය, රුසියාවෙත් එසේය, චීනයෙත් එසේය, ඊශ්‍රායලයේත් එසේය, පලස්තීනයෙත් එසේය යනුවෙන් පොදු ධර්මතාවයක් ලෙස බලපැවැත්ම ප්‍රංශය ඇතුළු ලෝකයේ කිසිම රටක පිළිගන්නෙ නෑ……

ඒ නිසා සෑම ජීවිතයකටම එක සමාන වටිනා කමක් නෑ…..

මනුස්සකම කියන්නෙත් විලාසිතාවක් පමණයි…

2011 වසරේදී තිරගත කරන ලද “Melancholia” චිත්‍රපටයේ දෙබසකින් මෙය අවසන් කරමි….

//…..

Justine: The earth is evil. We don’t need to grieve for it.

Claire: What?

Justine: Nobody will miss it.

Claire: But where would Leo grow up?

Justine: All I know is, life on earth is evil.

Claire: There may be life somewhere else.

Justine: But there isn’t.

Claire: How do you know?

Justine: Because I know things.

Claire: Oh yes, you always imagined you did.

Justine: I know we’re alone.

Claire: I don’t think you know that at all.

Justine: Six hundred and seventy eight. The bean lottery. Nobody guessed the number of beans in the bottle.

Claire: No, that’s right.

Justine: But I know. Six hundred and seventy eight.

Claire: Well, perhaps. But what does that prove?

Justine: That I know things. And when I say we’re alone, we’re alone. Life is only on earth. And not for long.

….//

සවුදියෙ යන පාර කොයිබදෝ? මාමේ මට කියල දෙනවදෝ?

ලාංකික සයිබරයේ ජ්‍යේෂ්ඨ විචාරකයෙකු වන සුජීව කොකාවලයන්ගේ බ්ලොග් අඩවියේ පළවූ මෙම සටහන යළිත් ඉස්මතු කර තබන අටියෙන් මෙලෙස ප්‍රති-ප්‍රකාශනය කරන්නෙමු…..

උපුටනය ඇරඹුම 

රේප් වගේද කිස්

මාර සීන් එක.

කොළඹ ප්‍රධාන පාරක යන බස් එකක ගියපු කෙල්ලෙක් තමන්ගේ ෆෝන් එකෙන් කොල්ලෙකුට කතා කරලා. ඔව්. කොල්ලෙකුට. ෆෝන් එකෙන්. වරත්තු බැල්ලියෝ. හෙන ගහනවා මුන්ට.

එතන හිටපු මනුස්සය මේක අහගෙන ඉඳලා තියෙනවා. වටපිට ගැන සැලකිලිමත් වෙන හොඳ ශීලාචාර මනුස්සයෙක්. වෙලාවට එහෙම කෙනෙකුට ඇහුනේ. නැතිනම් මේ අවලමී ඕක හොරෙන්ම කරලා බැහැලා යනවා.

ඒ විතරක්ද? තව ටිකකින් මෙකි ඒ බස්සෙකේ ආපු කොල්ලෙකුට තමන් ලඟට එන්න කියලා ඉඳගන්න කතා කරාලු. අර ළඟ උන්නු ශීලාචාර මනුස්සයා කලින් කෝල් එකේ ෆුල් විස්තරේ අහගෙන උන්නු නිසා එයා ටක්කෙටම දන්නවලු මේ කොල්ලා අර කොල්ලා නෙවේ කියලා. ඒ මහත්මයාට අනුව කොල්ලෝ දෙන්නෙක්ම අඳුනගෙන ඉන්න වනචර කෙල්ලක්.

තවම ඉවර නැහැ. කෙල්ල බහිද්දී මෙන්න මූට දුන්නලු කිස් එකක්. මූට කිව්වේ අර කොල්ලට, ළඟ උන්නු ශීලාචාර මහත්මයාට නොවේ. එහෙනම් මේ කතාව මෙහෙම නොවේ යන්නේ.

මේ වනචරකම දැක්ක ඒ ශීලාචාර මහත්මයා හයියෙන් කෑගැහුවලු. ඒ මහත්මයට එකතු වුනාලු තව ශීලාචාර මගීන් කීප දෙනෙක්. ඒ වගේ අවදියෙන් ඉන්න හැදිච්ච මිනිස්සු හින්දා හොඳයි.

මොකද එතන පොඩි දරුවොත් ඉඳල තියෙනවා. අහම්බෙන් ඔය පොඩි දරුවෙක් රේප් වුනාට උන් කිස් දෙනවා දැක්කොත් බුදු අම්මෝ රේප් වගේද ඕයි කිස්.

කෙල්ල නම් බැහැලා ගියාලු. ඔන්න වැදගත් මාධ්‍ය ඒකිව තාම පටවාගෙන හතරවටේ ගෙනියනවා.

අනේ අපේ පින්බිම.

උපුටනය අවසානය 
අදාළ ලිපිය උපුටා ගත් තැන : http://slash-dev-slash-null.blogspot.com.au/2015/10/blog-post_20.html

තරුණ කාලේ හිරිමල් වැස්සට තෙමිච්ච නැති කවුරු හරි නාකි බල්ලෙක් කිස් එකක කෙළ ඩිංගිත්තක් දැකලා ජලභීතිකාව ඇවිස්සිලා බුරන්න ඇති….අපේ ජන මාධ්‍ය කාරයන්ට ඉතින් මේ දවස් වල බොඩිය වැලේ නෙ…. අපි මේ ගැන මීට කළින් දාපු ලිපිය කියවලා මේ සිද්ධියෙත් පූර්වාපර සන්ධි ගළපා ගන්න…වෙන ප්‍රශ්ණ මුකුත්ම නැති රටේ ජංගියත් ඉන්දියාවක් කිව්වලු….

“අල් සුලයිල්, අල් ලිදාම්, රනායාහ්, සලීම්, අෆීෆ්, රියාද් සවුදි, සවුදි, සවුදේ……නගින්න, නගින්න ෂීට් තියෙනවා…සවුදි සවුදි සවුදේ…..මහත්තයා කෑ ගගහ ඉන්නෙ නැතුව ගිහින් ඉඳගන්න අර පිටිපස්සෙ ෂීට් තියෙනව….සවුදි සවුදි සවුදේ……”

නිදහස් දවස නොදැන සිටි එකී හම ගැසීම….

ආයිස් අප්පඩා…!…ඕන්න මේ සුමානෙ සයිබරයේ ඉන්න වීරෝධාර විරුවන්ට මරාගෙන කන්න, රෙදි ගලවලා හම ගහන්න උණු උණු නර බිල්ලක් ලැබිලා තියෙනවා….දැන් ඉතින් සාරයි සාරම්මා…!…ආයෙ සති දෙකකට බස් එකේ ජැක් ගහන්න ඕනෑන්නෙ නෑ අසහනේ පිටකරගන්න…!….ගෙනෙන් ඕකිව පිට්ටනිය මැදට…!.. ගලවපියව් රෙදි…!…ගහපියව් ගල්…!….අර සුජී සීන් එකේ ගෑණු කෙනා වගේ මැදි වයසෙ කෙනෙකුත් නෙවෙයි…!…ඉටිකිරිස් ළමිස්සියෙක්…!…

මේ දවස් වල සයිබරේ හෙලුවෙන් වනන ( සිංහලයෙන් වර්ණනා කරන ) ජනතාවට කුණු කසළ කවන ගොසිප් මාධ්‍යවේදීන්ට ධන ලක්ෂ්මී යෝගය ලබලා….එකක් යනකොට එකක්….හම්මා මෙහෙමත් අවුරුදු ! … කොයි ගෙරියද යකෝ කිව්වෙ හැමදාම අවුරුදු නෑ කියන අමන කථාව….?…මේ තියෙන්නෙ මදි නොකියන්න….සෝඩා එපා…!…වෙන ප්‍රශ්ණ එහෙම අපට නෑනේ….!…ඔය මොකක් හරි කොරන්න එපැයි ටයිම් පාස් කරගන්න…!…

දැන් පොඩ්ඩක් සීරියස් වෙමුකො…..සතිපතා මේ වළට ගෑණි‍යෙක් ගෙනත් දාලා, ඒකිව සමූහ දූෂණය කරන එකට සමාජයක් වශයෙන් ඇබ්බැහි වීමේ භයානක කම අපි වගේ ගොන් බඳින කණු වලට වැටහුණාට මේ රටේ බුජ්ජිමත් ජනතාවට වැටෙහෙන්නෙ නැතුවා…..ඒක පැත්තක තියලා අපි දැන් මේ වෙච්ච දේ පොඩ්ඩක් බලමුකො….

කුණු මස් කෑමේ ආශාව ඇති කිරීම 

සනුද්‍රි නෙමෙයි, ඔය අද කාලෙ හතු පිපෙන්නා වගේ එන නිළියො, මොඩ්ල්ස්ලා, අරකිලා, මේකිලාගෙන් අති බහුතරය කේප්ප වැස්සියො, එළදෙන්නු තමයි…ආයෙ ඕකෙ අමුතුවෙන් සුද්ද කරන්න දෙයක් නෑනේ….ඒ වගේ එළ වැස්සියෝ ජනමාධ්‍යයට ගෙනල්ලා උන්ගෙන් සඳ මෝරන ටෝක්ස් බළාපොරොත්තු වෙන උන් ඊටත් වඩා දැවැන්ත ගවයන්….ඒ එන එකීලගෙන් සාස්ත්‍රීය ප්‍රශ්න අහලා උන්ව බයිට් එකට ගන්න මෝල් වහන්සෙලා ඒ සේරටම වඩා වටිනා ජාතික පුත්තු දූලා….මේ ගව සම්පත ඉල්ලුමේ සහ සැපයුමේ ප්‍රතිඵලයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ….ප්‍රේමකීර්තිලට, සීලානන්දලට, අරුන් ඩයස් බණ්ඩාරනායකලට, විජය කොරෙයලට, වැඩසටහන් මෙහෙයවන්න ඉල්ලුම තිබ්බෙ ඒ කාලෙනෙ…ඒ ඒ කාලෙ ඉල්ලුමට අනුවනෙ…දැන් රූපවාහිනිය කියන එක තව දුරටත් සුඛෝපභෝගී භාණ්ඩයක් නොවී සමාජයේ අපරි ව්‍යුහගත උනාම, ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් දෙනව මිසක් ආයෙ මක්ක කියලා කොරන්නද?….ඔන්න ක්‍රමානුකූලව ප්‍රබුද්ධ මාධ්‍යකරණය විසින් හසුරුවලා ඒ හඳුන්වා දීම කරා නම්, රටත් වෙනස් කරගෙන, අපිත් වෙනස් වෙලා දියුණු තැනකට යන්න තිබුණා….අපි පොඩි කාලේ “අධ්‍යාපනය සේවය” කියලා එකක් මගින් අපට උගන්නපු දේවල් තාම මතකයි….

“ආලෝක කිරණයක් සඳට ඇඳී විත් පරාවර්තනය වේ… හිරු සඳු අතරට පොළව හරස් වෙයි – චන්ද්‍ර ග්‍රහණෙ මෙයයි”

කියන ගීතය අධ්‍යාපන සේවය සිහිබුද්ධියෙන් බලපු ඕනම කෙනෙක්ව ක්ෂණිකව ජාතික රූපවාහිනියේ ඒ සාරවත් අතීතයට ගෙනියනවා….”තෙලිතුඩ” කියන වැඩසටහනේ තේමා වාදනය 80 – 90 දශක වල ළමා කාලය ගතකරපු කවුරුත් දන්නවා….නව යොවුන් තාරුණ්‍යයට ඒ කාලේ ආමන්ත්‍රණය කලේ සුපිරි වැඩ්ඩෝ ටිකක්….ඒ අය දායාද කරපු දේවල් නිසා හුඟ දෙනෙක් හිතන පතන විදිහ වෙනස් උනා….

ටිකෙන් ටික, දැඩි සංයමයකින් යුතුව සමාජය වෙනස් කරන්න හදපු විද්‍යුත් මාධ්‍යකරණයේ රෙද්ද කඩලා දැම්මෙ සිරස මාධ්‍ය ජාලය….විලි ලැජ්ජාව කියන සාධකය ටිකෙන් ටික අමතක කරලා, ප්‍රමිතිය, අන්තර්ගතයේ ගුණාත්මක භාවය බල්ලට දාලා, ප්‍රබල කියවීමක් සහිත ඇත්තන් අතින් සිදුවුනු සංස්කරණය අමතක කරලා, ඕන වඳුරු කුණු ගොඩක් ගුවන් ගත කරන්න පුළුවන් වෙන ගාණට ලාංකික පොදු ජනතාවගේ චින්තන අවකාශයට කඩා වදින්නන් විපරිණාමය කලේ සිරස…සිරස අල්ලලා දුන්නු බැටන් එක අරගෙන දුවපු එතැන් සිට බිහිවෙච්ච අනිත් පඩත්තල මාධ්‍ය සිරසටත් එහා ගිය කාබාසිනියා කිරීමක් කළා…..

ඒ විදියට තමයි අද මේ තියෙන පිරිහිච්ච, අතිශය සරල, තුට්ටු දෙකේ බහුජන මාධ්‍යකරණය බිහිවුණේ….

“වේලාව මධ්‍යහ්න දොළහ පසුවී විනාඩි හතළිස් පහයි…මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි….මෙන්න ප්‍රවෘත්ති…ප්‍රකාශය තිස්ස ජයවර්ධන / රම්‍යා වනිගසේකර”

කියනකොට මුළු රටම හෙල්ලිලා ඉන්නවා…ඒකෙ ගාම්භීර බව ඇඟට දැනෙනවා…ඒ කාළයේ ඉඳලා,

“සොහොනි දන්නවද ලේටස්ට් නිව්ස් එක? ඊයේ ඉඳලා පෙට්‍රල් වැඩි කරලා…”

“අහා…කියන්න බලන්න කීයකින්ද කියලා?”

“අපිට ආපු නිව්ස් එකේ හැටියට රුපියල් පනහකින් තමයි වැඩි කරලා තියෙන්නෙ”

කියන කාළය දක්වා ලාංකික විද්‍යුත් මාධ්‍ය විපරිණාමය වුනේ මේ විදියට තමයි….පොත පත කියවපු, වේදිකාව, සිනමාව දිග්විජය කරපු, ප්‍රඥාවන්ත මිනිස්සු අතේ තිබුණු සමාජ ආමන්ත්‍රණය අන්තිමට ඕජස් ගළන මළ මිනියක් උනත් ගජරාමෙට විකුණගන්න පුළුවන් අය අතට ගියා…ඉහත කී බුද්ධිමතුන්ට, උගතුන්ට, මේ හැළි වඳුරන් නිර්මාණශීලීත්වයට මුවා කරගෙන ජන විඥාණයට ඉදිරිපත් කරපු කුණු කරවළ රසය සමග තරඟ කරන්න බැරි උනා….ඒ අය විසි වුණා…විසිවෙලා, හිතල හිතල ලෙඩ වෙලා, හිඟන්නො වෙලා මැරුණා….

මේ ප්‍රපංචය ලාංකික ජන සමාජයට විතරක් ආවේණික වුණු දෙයක්ද?…මම හිතන්නෙ මේක මුළු ලෝකෙටම මේ වෙනකොට අදාළ ශිෂ්ඨාචාරයේ ගරා වැටීමක්, වල් බිහිවීමක් කියලයි….

මස් පිණිස සතුන් ඇති කිරීම 

සමාජ රසඥතාවය ඒ විදියට අමු අමුවේ කුණු මස් කෑමේ ආශාවක් දක්වා පහළ දැමූ පසුව මේ මාධ්‍යයන් විසින් ඊළඟට කරන්නෙ කුමක්ද?….

ඔන්න දැන් කුණු මස් කන්න ඉල්ලුම තියෙනවා….මේ ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න අවශ්‍ය මස් පිණිස ඇතිකරන සත්තු….දැන් මාධ්‍ය ආයතන කරන්නෙ ඒක…විවිධ ක්‍රමවේදයන් මගින් ඔවුන් සතුන් ඇති කරනවා….මේ නවක නළු නිළියන්, නිරූපිකාවන්, නිවේදකයන් සහ නිවේදිකාවන්, මිස්, මිස්ටර් එක එකා, මේ අය තමයි උදාහරණ….ඔය නිදහස් දිනේ නොදන්න එකීත් එක උදාහරණයක්….මේ අය හඳුනාගන්න ලේසියි….

1. ඔවුන්ගේ මුළු පැවැත්මම රඳා පවතින්නේ ඔවුන්ගේ ශරීරයේ අවයව කිහිපයක් මත….මේ අවයව ටික පවත්වා ගන්නා විදිහට අදාළ දේවල් හැර වෙන කිසිවක් ඔවුන්ට උගන්වන්නෙ නෑ…හරියට අර “Never Let me Go” චිත්‍රපටියේ අවයව ප්‍රධානය සඳහා ඇතිදැඩි කරන Donor දරුවන්ගේ ඉරණම වගේ….අවයව ටික පවත්වාගෙන ඒවා ආකර්ශණීය ලෙස ඉදිරිපත් කිරීමේ ශාස්ත්‍ර හැර අන් කිසිවක් ඔවුන් දන්නෙ නෑ….

2. ඔවුන්ව අපට මතක හිටින්නෙත් ඒ අවයව නිසා….

3. ඔවුන් රංගන කලාවට, සාහිත්‍යයට, අනෙකුත් කලා කර්මයන්ට දක්වන දායකත්වයක් නෑ…කොටින්ම කිව්වොත් උන් මෙළෝ මගුලක් ඒ ගැන දන්නෙත් නෑ…ඒත් ඔවුන් “කලා කරුවන්, නළුවන්, නිළියන් ලෙස අතිශයින්ම ජනප්‍රියයි”…

4. ඔවුන් හැම තැනම ඔබට පේනවා….හරියට අන්තර්ජාලයේ ස්පෑම් ලින්ක් එකක් වගේ….එකම තැනට විවිධ විදිහෙන් ඔබව යොමු කරනවා….උදා: මෙගා නාට්‍යය හැම එකේම ඔවුන් ඉන්නවා…හැම වෙළඳ දැන්වීමේමත් ඔවුන් ඉන්නවා….අවුරුදු උත්සවයක් තිබ්බොත් එතනත් ඔවුන් ඉන්නවා…”මාධ්‍ය දිනයක්, සයිබර් බ්ලොග් කරුවන්ගේ දිනයක්, මිතුරු හවුලක්, ක්‍රීඩා උත්සවයක්, රාත්‍රී සාදයක්” තිබ්බොත් එතනත් අනිවාර්යෙන්ම ඔවුන් ඉන්නවා….

කාඩේශියන් උදාහරණය ….

70-80 දශක වලින් පසුව අද මේ වනවිට ලෝක සමාජයේත් අවධානය කේන්ද්‍රගත කරගෙන ඉන්නෙ කවුද?…මහා සමාජ අර්බුද සිය සෙවණැල්ලෙන් වසාගෙන ඉන්නෙ කවුද?…කවුද මේ “කාඩේශියන්ස්ලා” කියන්නෙ…?….මොකක්ද අපිට මේ කාඩේශියන් සොයුරියන්ගේ තියෙන ප්‍රයෝජ්‍ය වටිනාකම..? ( උදේ හවහා කාඩේශියන් අක්කා නගෝ බල බල පොල් කළටි කඩන එකට අමතරව?) .. කිම් කාඩේශියන් වටා පරිභ්‍රමණය වන කාඩේශියන් සොයුරියන් මෙතරම් ධනවතුන් කලේ කුමන බලවේගයක් විසින්ද?….

මුලින්ම කිම් කාඩේශියන්ගෙ පුක ලෝකයේ බළසම්පන්නම පුක බවට පත්වුනා….අන්තර්ජාලය හරහා සහ වෙනත් සීමා විරහිත මාධ්‍ය හරහා කිම්ගේ ගුද මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය ගාසා තීරය ආශ්‍රිත ප්‍රදේශයට, මධ්‍යධරණී මුහුද, රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශයට, ලතින් ඇමරිකානු කළාපය ආශ්‍රිත ප්‍රදේශයට, සහරාව ආශ්‍රිත ප්‍රදේශයට වඩා න්‍යෂ්ටිගත වුණා….අවධානයට ලක් වුනා….ලක්ෂ ගණනක යුද හමුදා, දහස් ගණනක් සන්නද්ධ රථවලට නොමැති බළ පරාක්‍රමයක් ලැබුණු මේ පුකට කැමරා මිලියන ගණනක ෆ්ලෑෂ් ගන්, ලයිට් වල එළිය වැටුණා…එහෙම එළිය වැටිලා ඒක දිළිසෙනකොට, ඒ කාඩේශියන් පවුලේ ඉන්න අනිත් ගෑණු ටිකත්, කිම් කාඩේශියන්ගේ පුකෙන් පරාවර්තනය වෙන ආලෝකය දෙසට තමන්ගේ පුකවල් සහ තන් ගෙඩි ඇල්ලුවා….ඒ ආලෝකය කර්ට්නි කාඩේශියන්, ක්ලෝ කාඩේශියන්, කෙන්ඩල් ජෙනර්, කයිලි ජෙනර් වගේ කිම්ගේ අළගිය මුළගිය හැම ඥාති බවලතියකගෙම තන්ගෙඩි සහ පුකවල් වලට වැටිලා, ඒවායින් පරාවර්තනය වෙලා, අවසානයේදි කාඩේශියන් පවුල “පුක් ග්‍රහ මණ්ඩලයක්” ලෙස ඈතට පෙනෙන තැනට ආවා…මරු නේද?….ඒ ආවේ නිකන් නෙමෙයි….ඒ තන් සහ පුක් හිමිකාරියන්ට දහසින් බැඳි පියළි, සිටු මාළිගා සහ විජයොත් රථයන් අරගෙන….

දැන් මේ  “කාඩේශියන් පෞක ග්‍රහ මණ්ඩලයෙ” ආලෝක ප්‍රභවය කිම් කාඩේශියන්ගේ පුකද?….නෑ….ආලෝක ප්‍රභවයන් වන්නේ කිම් කාඩේශියන් ඇයගේ පුක පානකොට, ඒක “Light up” කරපු මාධ්‍ය කාරයන්ගේ කැමරා ආලෝක පද්ධති….එතනින් එහාට ඒ කැමරා වල බොත්තම් ඔබන ඇඟිලි මෙහෙයවෙන දිග කථාවක් තියෙනවා….ඒ කථාව කියවා නොගෙන, ඒ ක්‍රියාදාමය ඔස්සේ කාඩේශියන්ලට ලැබුණු සැප සම්පත් මහෝඝයට අපි ඔවුන්ට පළු යන්න බැන්නාට ඵලක් නෑ….

මාධ්‍ය ද්වි-ගුණය 

බොහෝ විට අද දකින්න ලැබෙන්නේ මේ මොළය හිස්, කඳ බඩ විකුණාගෙන ජීවත් වන ගැහැණුන්ගේ සහ පිරිමින්ගේ ජීවිත සෞභාග්‍යමත් වීමත්, ඒ තත්වය කෙරෙහි සමාජයේ ඇතැම් කොටස් දක්වන ක්‍රෝධයත්, එකම කාසියේ දෙපැත්ත වීම...එකම දිශානතියකට ගමන් ගැනීම….සිද්ධිය සහ සිද්ධියට එරෙහිවීම යන දෙකම උත්තේජනය කරන්නෙත්, කරලා අවසානයේ විකුණාගෙන ලාභ ලබන්නෙත් එකම මූලාශ්‍රයක්...කිම් කාඩේශියන්ගෙ පුකට මේ සා බළයක් සහ වස්තුවක් ලබා දුන් මාධ්‍යම තමයි, පුකේ බළෙන් සිටු කුමරියක් වුනු කිම් කාඩේශියන් එසේ වීම ගැන ජනතාවගේ ඇතැම් කොටසකින් නැගෙන ක්‍රෝධය සහ විරෝධය විකුණන්නෙත්….හොලිවුඩ් ගොසිප් වෙබ් අඩවි සහ ඊනියා ටැබ්ලොයිඩ් සඟරා බැලුවාම ඔබට පෙනේවි මේ තත්වය….

සිද්ධිය සහ ප්‍රතිචාර 

එක් පසෙකින් කාඩේශියන්ලා යන යන තැන සිය අධි තාක්ෂණික තෙවැනි ඇස යවන මාධ්‍ය කරුවන් ඔවුන්ගේ සහවත සහ නිරුවත යන දෙකමත් සමග ඔවුන්ගේ එදිනෙදා චර්යාවන් සියල්ලගේම අතිශය ක්ෂුද්‍ර ක්ෂතිය දක්වාම ඡායාරූප හෝ වීඩියෝ ගත කරලා සමාජගත කරනවා….ඒවා සමාජයට ද්වි-දිශා සන්නිවේදනය කරන්න පුළුවන් අන්තර්ජාලය තුළ වෛරසාභිනයෙන් ප්‍රචාරය වෙනවා…

මේක දකින කාඩේශියන්ලා මාධ්‍යයන්ට උවමනා දේ සැපයෙන්නට ඉඩ හරිනවා…උදා: 2012 දි කර්ට්නි කාඩේශියන් කහපාට කොට සායක් ඇඳගෙන මයෑමි (Miami) වල ඔවුන්ගේ නවාතැනක බැල්කනියකට ඇවිත් නටනවා…කැරකෙනවා…සායට හුළං බදන බව දැන දැන ඒක උඩ යන්න ඇරලා බොරු ලැජ්ජාවක්  පෙන්නලා අල්ල ගන්නවා…පසුවදා ටැබ්ලොයිඩ් මැගසින් කටු වල පිටු පුරවලා කර්ට්නිගේ යට ඇඳුමෙ ෆොටෝ…මෙතනදි කාඩේශියන්ලා කරන්නේ මාධ්‍යයට උවමනා දේ වික්ටෝරියානු සභ්‍යත්වයේ සීමා තුළ ඉඳගෙනම සැපයෙන්න ඉඩ හරින එක…කෙළින්ම බැල්කනියට ඇවිත් සාය උස්සලා “ගනිල්ලා ෆෝටෝ!” කියලා පෙන්නනවට වඩා ශිෂ්ඨ විදියට ඒක කරලා, ඊට පස්සෙ ඒ මාධ්‍ය වලටම Interview එකක් දීලා කියනවා “මට මාර ලැජ්ජාවක් උනේ අනේ !” කියලා….එතනදි කරන්නෙ අර මුලින් රඟ දක්වපු නාටකයට හඬ කවන (Dubbing) එක….

දැන් මේවයේ අතුරු ප්‍රතිඵල නිසා මේ අයට විශාල මුදළක් ගලා එනවනෙ…ඒ එන මුදල් වලින් මේ ගොල්ල ෆෙරාරි කාර්, අධිවේගී සුපිරි බෝට්ටු, මන්දිර, හෝටල් හෝ මුහුදු වෙරළවල බංගලා ගන්නකොට, අර්ධ- විදග්ධ සමාජයට සහ මධ්‍යම පාන්තික වෘත්තික සමාජයට යකා නගිනවා…ඇයි ඔවුන් වෘත්තිමය සුදුසුකම් පසුපස ලුහුබැඳ ගිහින්, සිය ජීවිතයෙන් වසර ගණනාවක් පොත් එක්ක ඔට්ටු වෙලා, දුක් විඳලා, විභාග කරලා තම නමට යටින් ඉංග්‍රීසි අකුරු රෑනක්ම එකතු කරගෙන හදාගන්න ජීවන මාර්ගයට මේ දේවල් අමු හීන විතරයි…මේ කපේදි ලබාගන්න පුළුවන් දේවල් නෙමෙයි….එක සුළු මොහොතකට කර්ට්නිගේ සාය උඩ ගිය එකේ ආර්ථික වටිනාකම, වරලත් ගණකාධිකාරිවරයෙක් සිය වෘත්තිය තුළ තමා වෙනුවෙන් මාසයකට ජනනය කරන වටිනාකම වගේ කිහිප ගුණයක්….ඉතින් යකා වැහෙන්නෙ නැද්ද බ්ං…?…

ඊට පස්සෙ ඒ සමාජය මොවුන්ගේ යස ඉසුරු කෙරෙහි සිය ක්‍රෝධය ඵල කරනවා…ඒ ඵල කරන්නේ වස්තු බීජයන්ගේ ස්ත්‍රීත්වයට සහ බොහෝ විට ඔවුන්ට පවතින නූගත්කමට නිග්‍රහ කිරීමෙන්….මෙසේ සමාජයෙන් විශාල කොටසක් කරන නිග්‍රහයට ගලා එන්න අවකාශය සළසා දෙන්නෙත් අර ඉහත කී සිදුවීම කරපු මාධ්‍ය කරුවන් තමා….ඔවුන් ඔවුන්ගේම මාධ්‍ය ජාලයන් හරහා හෝ ඒ හා බැඳුණු ගොසිප් උප සංස්කෘතියක් සහිත වෙනත් ජාලයන් හරහා අර ක්‍රෝධය ගජරාමෙට අළෙවි කරනවා…..

ලංකාවෙ කාඩේශියන් සොයුරියන් කිහිප දෙනෙක්ම ඉන්නවා….කාඩේශියන්ලා කේන්ද්‍රගත කරගෙන පවතින අන්තර් ක්‍රියා ව්‍යුහයම ඊට වඩා කුඩා ප්‍රමාණයක ක්‍රියාදාම ගෝලයක් ලෙස මේ අයවත් වටකරගෙන පවතිනවා…කාඩේශියන්ලාගේ අංගෝපාංග වලට වැටෙන ආලෝකය ජනනය වන ආලෝක ප්‍රභවයේම සම ආරක ප්‍රභවයකින් තමයි මේ අක්ක නගාලත් Light up වෙන්නෙ….

ඉතින් දැන් මේ අයගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නෙ දැනුමද?…සාමාන්‍ය දැනුමද…?…මොකක්ද?….මතක තියාගන්න, ඉස්සර එකේ හිටපු තරුණ කාන්තාවන්ගෙන් සමාජය බලාපොරොත්තු වුනේ පෘථුල යමක්…ඒ අයගෙන් ස්ත්‍රීත්වයේ ශෘංගාරය වගේම, රංගන කෞෂල්‍යය, භාවය, බුද්ධිය, වැනි බොහෝ දේවල් වල පොදු එකතුවක් ලෝකය බලාපොරොත්තු උනා….ඒ බලාපොරොත්තු ඉෂ්ඨ කරලා සාර්ථක වෙන්න නිළියකට, චරිතාංග නිරූපණ ශිල්පිනියකට විශාල පරාසයක දේවල් අවශ්‍ය උනා….අද සමාජය ඊට වඩා Specific …ඔවුන් කෙළින්ම තමන්ගේ කායික අවශ්‍යතාවය ප්‍රකාශයට පත් කිරීම සඳහා අවශ්‍ය විෂය වස්තුවට තමයි අවධානය යොමු කරන්නෙ….ඒ කියන්නෙ පුරුෂාර්ථයේ අවශ්‍යතා සඳහා කාන්තා ශරීරයෙන් ලබා ගත යුතු අවයව වලට තමයි කෙළින්ම අවධානය දෙන්නෙ…ඔවුන්ගේ අධිවේගී ජීවන රටා තුළ ශෘංගාරය කලාව හෝ සාහිත්‍යය සමග එකට අරගෙන විඳින්න ඔවුන්ට වෙලාවක් නෑ…ඒකනේ “චන්දන මල් අතුරා ඇති යහනට – කන්ද කපා පායන් රන් පුන් සඳ”  කියලා ආදරණීයව ඇරයුම් කරනවාට වඩා “නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්ට සොඳා” කියන්නෙ…තව ඉස්සරහට සින්දු හැදෙයි “රෙද්ද උස්සපන්, රෙද්ද උස්සපන්…අහ..අහ…රෙද්ද උස්සපන්”  කියලා රැප් එකකුත් එක්ක…නැද්ද මං අහන්නෙ…?….

මේ වගේ සමාජයක නිළියකට ඒ ඉල්ලුමට සැපයුම දෙන්න වැඩි දෙයක් උවමනා නෑ….අර මූලික අවයව ටික විශාලව, වටකුරුව තිබීම පමණයි වාසනාව උදාකරගන්න අවශ්‍ය….මේ නිසා තමයි ඉතින් “නිකී මිනාජ්” අද ලෝකයේ වැඩිම රසිකයන් සහිත ෆේස්බුක් රසික පිටු වලට සහ වැඩිම දර්ශණයන් සහිත යූ ටියුබ් මියුසික් වීඩියෝ වලට උරුමකම් කියන්නෙ….නිකී මිනාජ්, කාඩේශියන් ඉඳලා ලංකාවේ නවක නිළි පරපුර දක්වාම කථාව මේකයි….ඒ ගොල්ලන්ට ජීවත් වෙන්න IQ, Intelligence වගේ දේවල් උවමනා වෙන්නෙ නෑ කියන එක ඔබ අවබෝධ කරගන්න ඕන….ගුද මාර්ගය අවට ප්‍රදේශය, උර කුහරයේ ක්ෂීර ග්‍රන්ථි තරඟකාරී විශාලත්වයකින් පිහිටා තිබීම හොඳටම ප්‍රමාණවත්…ඔවුන් කරන සහ දායක වන නිර්මාණයනගේ ගුණාත්මක භාවය කියන්නේ පසුබිමින් දිස්වන දිය සළකුණක් පමණයි….ඒක අදාළම නෑ….දැන් ඔය බටහිර ලෝකයේ “නිකි මිනාජ්, ජෙනිෆර් ලෝපෙස්” එහෙම “Ass, Ass, Booty, Booty, Bum, Bum” යන තේමාවන් සහිතව සින්දු හදාගෙන ඒවට මියුසික් වීඩියෝ කරන්නේ ඒකයි….කළාවෙන් හෝ සාහිත්‍යයෙන් තොරව අමු අමුවෙ අවයවය ඉල්ලනකොට, අවයවය දෙන්න තමයි ඒ අය සැදී පැහැදිලා ඉන්නෙ…

“සිද්ධිය” නිර්මාණය කිරීම 

ඉතින් මෙහෙම අය ගෙන්නගෙන ඔවුන්ගේ දැනුම මනින්නෙ මොන ලබ්බටද?….අනික මේ සිද්ධියට මූලික වෙච්ච මාධ්‍ය ජාලය නොදන්නවයැ තමන්ම හදපු මේ විපරීත සමාජයේ නියෝජිතයන්ගේ දිග ඵලල…?…උන් නෙ මේ අයට එන්න පාර කිව්වෙ….අම්මා දන්නවනේ දරුවගේ අඩුපාඩු ගැන, වෙන කවුරු නැතත්….ඉතින් එහෙමත් තියාගෙන මේ අය ගෙන්නගෙන ප්‍රශ්ණ අහන්නෙ ඇයි…?….ආන්න ඒක තමයි සිද්ධිය නිර්මාණය කිරීම කියලා කියන්නෙ….උන් සක් සුදක් සේ දන්නවා මේ වගේ එළ වැස්සියෙක් ගෙනල්ලා ඒකිගෙන් සාමාන්‍ය දැනුම ප්‍රශ්ණයක් ඇහුවත් අනිවා ඩෙෆා නාගන්නවා කියන එක….මොකද මේ කෙල්ලන් තමන්ගේ පැවැත්ම සම්පූර්ණයෙන්ම තම අඟපසඟ වලට ඌනනය කරගෙන නෙ ඉන්නෙ….එයින් බාහිර කිසිම දැනුමකට ඔවුන් අවධානය යොමු කරන්නෙ නෑ….මාධ්‍යයට උවමනා අන්න ඒකමයි…මොකද ඒකෙන් තමයි “සිද්ධිය” නිර්මාණය වෙන්නෙ…

දැන් ඔබට තේරෙනවද ඔබ විශාල ධනෝපායන මාර්ග ජාලයකට කිහිප ආකාරයකින් දායකයෙක් වෙලා කියලා?….

  1. ඔබ ඇය කොට ගවුමකින් සැරසී මුහුදු වෙරළේ ඉඳගෙන පෙන්වන දෙපා සහ වටොර බලලා ආශ්වාදයක් ගැනීමෙන් සහ ඇගේ බෝක්කුව පෙනේදැයි ඇසිපිය නොහෙළා බලා සිටීමෙන් එක් ආකාරයකින් මේ ධනෝපායන ජාලයට උදව් කරනවා…
  2. ඊට පස්සෙ ඇය දෙන මෝඩ උත්තර නිසා කෝපාවිෂ්ඨව ඒ ගැන වැඩි වැඩියෙන් තමන්ගේ මතය ප්‍රකාශ කිරීම මගින් මේ ධනෝපායන ජාලයටම උදව් කරනවා….
  3. ඊළඟට අන්තර්ජාලය සහ සමාජ වෙබ් අඩවි හරහා ඇයට වාචිකව පීඩා කිරීම මගින් මිශ්‍ර අසහනය මුදා හැර ආශ්වාදයක් ලැබීමට ගොස් මේ ධනෝපායන ජාලයටම තව විදියකින් උදව් කරනවා….
  4. දැන් තව ටික දවසකින් මේ කෙල්ල සමාජ වෙබ් අඩවියකදි ” අනේ මට සමාවෙන්න” කිව්වාම ඔබ “අන්නා…ස්වීට් නංගා බබා…වැරදීම් වෙනව තමයි පැට්ටෝ…ඔයා ඕවට නොසැලී ඉදිරියට යන්න” කියලා ඇයගේ හිස අත ගා ඈ හුරතල් කිරීමට යෑම මගින් මේ ධනෝපායන ජාලයටම තවත් විදියකින් උදව් කරනවා….

මේ එක් එක් අවස්ථාවේදි ඔබ දක්වන දායකත්වය වෙනුවෙන් ඔබට පිරිවැයක් දරන්න සිද්ද වෙනවා…ඒ තමයි විදුලි බිල්, අන්තර්ජාල පිවිසුම් ගාස්තු, දුරකථන ගාස්තු, කෙටි පණිවිඩ ගාස්තු සහ ඒ වගේ වැඩසටහන් ප්‍රචාරය වන අතරතුර වක්‍ර අළෙවිකරණය මගින් විකුණන දේවල් මිළට ගැනීමට යන වියදම….ඒ වගේම ඔබ අදාළ විෂය වස්තුවට ලබා දෙන ජනප්‍රියත්වය හරහා ඒ මාධ්‍ය ජාලයට එම වැඩසටහන සහ එම තරුණිය වෙනත් දිනෙක මීට වඩා වැඩි මුදළකට ව්‍යාපාරික ගැණුම් කරුවන්ට අළෙවි කිරීමට අවශ්‍ය කරන අස්පර්ශනීය වටිනාකම (Intangible Value) ඔබ විසින් සකසා දෙනවා…

මෙතනදි එකම විෂය වස්තුව, ඒ කියන්නෙ අර කෙල්ල, වටා දීර්ඝ Value Addition එකක් සහ Re-marketing Process එකක් ක්‍රියාත්මක වෙනවා….Re-marketing කිව්වාම ඔබට මතක් වෙන්නෙ විකුණගන්න අර එකම ලින්ක් එක නැවත නැවත ඔබට හමුවන්න අන්තර්ජාලයේ විවිධ තැන්වල ඇලවීම…ඔබ එකම අඩවියට විවිධ ලින්ක් හරහා යළි යළි පිවිසෙනවා….මේකත් ඒ වගෙයි…ඔබ එකම ලාභ ලැබීමේ ක්‍රියාදාමයට විවිධ තැන්වලින් යළි යළි දායකත්වය දක්වනවා….

දැන් අපි මෙතෙක් කියපු දේ සමාලෝචනය කරමු… මෙන්න මේකයි වෙන්නෙ…

1. වාණිජ මාධ්‍ය මගින් ඔබේ රසඥතාවය පහත හෙළා ඔබට කුණු මස් කෑමේ ආසාව ඇති කරනවා…ඒක කරන්නෙත් ඔබේ වියදමෙන්….

2. ඉන් පසුව ඔවුන් මස් පිණිස සතුන් ඇති කරනවා… ( අර ස්ටාර්, මේ ස්ටාර්, අරකි, මේකි, මූ ) .. ඒ සතුන්ව පෝෂණය කරන්න වියදම් කරන්නෙත් ඔබ…

3. එයිනුත් පසුව ඔවුන් ප්‍රසිද්ධියේ ඒ සතුන් මරා ඔබට මස් අළෙවි කරනවා…මස් වල අළෙවි මිළට අමතරව, සතා ඝාතනය කිරීමටත්, උගේ මස් කොක්කේ එල්ලීමටත් ඔවුන් ඔබෙන් මුදල් ගන්නවා…

4. අනතුරුව ඒ කුණු මස් කෑමෙන් ඔබට උදරාබාධයක් වැළඳී ඔබ කෑ මොර දෙනවිට, ඒ කෑ මොර දීමටත් ඔවුන් ඔබෙන් මුදලක් අය කරගන්නවා…

දැන් ඉතින් ඔබට තේරෙනවා ඇති නිදහස් දිනය නොදැන සිටීම ගැන ෂනුද්‍රිව උල තබන්නට උත්සාහ කිරීම සහ ෂනුද්‍රි නිදහස් දිනය නොදැන සිටීම යන මේ දෙකම එකම ක්‍රියාවලියේ කොටස් බව….

Josephine the Singer, or the Mouse Folk”

ෆ්‍රාන්ස් කෆ්කාගේ අවසන් කෙටි කථාව වන ” Josephine the Singer, or the Mouse Folk” යන නිර්මාණයේ එන යොසෆින්ට අවසන් වශයෙන් අවධානය යොමු කරමු….

අපි ඒක වඩා ඔබට සමීප විදියට කියමුකො “යොසෙෆින් සහ මීපුර වැසියෝ” කියලා…( කෆ්කා මේ අයට Mouse Folk කියන්නෙ ඇයි කියලා කවුරුත් දන්නෙ නෑ..)

මේ මී පුර වැසියන්ට ඉන්නවා යොසෙෆින් කියලා අපූරු ගායිකාවක්….ඇයට මහා ලොකු ගායන හැකියාවක් නෑ…ඒත් අතිශය දුෂ්කර, රළු පරළු ජීවිත ගෙවන මී පුර වැසියන්ට ඇය විරාමයක් සපයනවා…ඔවුන්ගෙන් සමහරු ඇයගේ ගායනය පිළිකුල් කරනවා….සමහරු ඇය අගය කරනවා….නමුත් ඔවුන් දෙපිරිසම ඇය ගායනය කරනවිට දැඩි අවධානයෙන් අහගෙන ඉන්නවා….ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරන්නේ මේ ගායනය අහගෙන….ඒ නිසා ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කෙරෙන්නේ අවිඥාණිකව….සවිඥාණිකව කෙරෙන එකම වැඩේ ඇගේ ගායනය පමණයි….ඇය ගී ගයනකොට ඔවුනුත් එයට සමගාමීව ඒ ගීයම ගයනවා….එතනදි ඔවුන්ට වැටහීමක් නෑ ඔවුන්ගේ ගායනයත් ඇගේ ගායනයට නොදෙවනි බව….

නමුත් වඩාත්ම වැදගත් වෙන්නේ ඇය ගී ගයනකොට ඇය සිටින ජනපදය පුරා පැතිර යන අපූරු නිහඬතාවය….මේ නිහඬතාවය තුළ ඒ ජනපද වැසියන්ගේ ඔවුනොවුන් මොන තරම් වෙනස් කම් තිබුණත්, මොන තරම් ප්‍රශ්ණ තිබුණත් ඔවුන් සුළු මොහොතකට එකඟතාවයකට පත්වෙනවා…ඔවුන්ගේ දුෂ්කර ජීවිත ඇය නිර්වින්දනය කරනු ලබනවා….ඇය ජීවත් වන ජනපදය ඇයව ගායනයේ පරමෝත්තම චරිතය ලෙස දකිනවා…ඇගේ ගායනයක් නොඇසුවෝ නම් ඒ කන් වලින් වැඩක් නෑ කියලා කියනවා….ඇය ඒ ජනපදයේ ගායනයේ සළකුණ ලෙස අභිෂේක ගන්වනවා….ඒ කාලෙදි ඒ ජනපද වාසියෙකු ලෙස පෙනී ඉන්න කථා ආඛ්‍යායිකයා කියන්නෙ මෙහෙම….

“Josephine is the sole exception, she loves music and also knows how to give a voice to it… she is the only one, and with her demise music will disappear for who knows how long from our lives.”

කොටින්ම කිව්වොත් ඇය නැත්නම් ගායනයක්, සංගීතයක් නෑ කියන තැන තමයි මී පුර වැසියන් ඉන්නෙ….

මේ යොසෙෆින්ගේ ගායනය ක්‍රමානුකූලව ආඛ්‍යායිකයා විසින් නිරර්ථක, දුර්වල දෙයක් බව අපට ඒත්තු ගන්වනවා…කල් පවතින කිසිවක් එහේ නැහැ….එහෙත් යොසෙෆින් තමන් ගැන ඉන්නෙ අධි තක්සේරුවක….තමන් ශ්‍රේෂ්ඨ ගායිකාවක් බවත්, තමන් කලාවට දක්වන අනුග්‍රහය උත්කෘෂ්ඨ බවත් යොසෙෆින් කල්පනා කරනවා….

එක් දිනෙක යොසෙෆින් අතුරුදහන් වෙනවා….ඇය තම ගායනයට ජනතාවගෙන් ලැබෙන හරසර සහ ප්‍රතිචාර මදි යැයි කල්පනා කරලා එම සමාජයෙන් ඉවත්ව ගියා කියල තමයි හැඟවෙන්නෙ…..හරියට අපේ රටේ කලාකරුවන්, නළු නිළියන් ඔය හිටපු ගමන් නො-එන්නම රට යන්නෙ…අන්න ඒ වගේ….ජනතාව ඈ නොමැති වීම නිසා සුළු මොහොතකට දුක් වෙනවා….දුක්වෙලා ආයෙමත් සුපුරුදු පරිදි තමන්ගේ එදිනෙදා වැඩටික කරගෙන යනවා…ඇයව ලෙහෙසියෙන්ම අමතක කර දැමීමට ඔවුහු සමත්වෙනවා….

මගේ සටහන ඒ කෙටි කථාවේ  අවසානයට කෆ්කා විසින් තබන ලද සටහනකින්ම අවසන් කරන්නම්….

“…So perhaps we shall not miss so very much after all, while Josephine, for her part, delivered from earthly afflictions, which however to her mind are the privilege of chosen spirits, will happily lose herself in the countless throng of the heroes of our people, and soon, since we pursue no history, be accorded the heightened relief of being forgotten along with all her brethren…..”

ඇණ දෙවි හෑල්ල

ගණ පති දෙති නුවණ…
නැති උන් සිටිති අපමණ…..
ගුද මගද නැති වෙන….
අසන් මිනිසුනි මුගේ නුහුගුණ….

ගණඳුරම ඉඹපන්….
අලි හොඬවැලට වැඳපන්….
පෙං ෂුයි හාස් කං….
අනේ ආසිරි තියල ඉඳගන්….

පුදං ආ ගොං කං…
මතු මත්තටත් දොක් කං…
යන්න මැටි බක්කං….
හදන එක නොවැ අපේ යුතු කං….

ගණ දෙවියෝ උඩ දාන්ට….
සරස්වතී ගොඩ දාන්ට…
වනිගෙ උඹත් පොරක් වෙන්ට…
තව විදපන් බොරු ළමුන්ට….

සූරිය ලෙස විදු පැතුමා….
පායන සියවසට සැමා….
කාරිය වෙන හැටි පුදුමා….
දෙයියගෙ බෙටි නමෝ නමා….

සාස්තරේ ලිපට දමා…
“පාස්” කරා ලෙසින් තමා….
“කෑෂ්” කරන අමන කමා….
බාස් කොත්තු උඹම තමා…..

තිත්ත බොරුව රට වටමා…
සිද්ද කරන දවස හැමා…
ඇත්ත වහන ලොවට ළමා…
සද්ද බිඳිමු වෙමු නොපමා….

ඇන්ද මහෝධර ගණයා…
වන්ද වමින පොඩි ළමයා….
කොන්ද බිඳුණු ජහ මනයා…
ඉන්ද සැදෙනු මෙලෙසක යා….

ගණිතය විදු නැණ කන්දා….
හැර අන් දෙවි කොයිබින්දා…
සමත් නොවෙමු “දෙවි හින්දා”….
රැකගමු දරුවනි කොන්දා…..

ඉසුරු පතා මුසා බසින්….
සිටිති මුලා කරන එවුන්….
නුවණ ලැබෙයි නම් හොඬයෙන්…
ගොසින ලබනු පින්නවලින්…..

පෝරකය ඕනද?

ඔන්න දැන් අපි යනවා ගල් යුගයට….

සතෙක්ගෙ හමක් පොරව ගත්තු, ගල් ගෙඩියක් උල් කරලා ඒකෙන් ප්‍රාථමික අවියක් හදා ගත්තු ආදි මානවයෙක් ( ඇඟ පුරා ලොම් පිරිච්ච, දිගැටි මුහුණ, ඉදිරියට නෙරා ගිය දත් සහිත ) බිම පහුරු ගාගෙන ගාගෙන යනවා…පොළවේ වසන යම් ජීවියෙක් අල්ල ගන්න දරන උත්සාහයක් කියමුකො….එතනට තවත් ඒ වගේම මුල් කාළයේ මානවයෙක් එනවා….අර බිම හාරමින් සිටි ආදි මානවයා හිස ඔසවලා, නළල රැලි ගන්වලා අලුතින් ආපු එකා දිහා බලනවා….මේ ඔවුන් අතර දෙබස:

1 : “ඌ…බජ බජ හුජාබු” ( “මේ ඒරියා එක මගේ යකෝ!” )

2 : “හවුවා….ගැජ ගැජ ගජුන්ගා” (  ” එව්වා හඳේ ඩෝ !” )

1: “උග් උග් උග් …. ගව්වා … හබ්බුජා…බජා” ( “බැහැපිය පරයා එළියට ! නැත්තන් තොගෙ *)

2: ” ආගා….ආගා…ගිජා ගිජා ගිජා ගිජ්ජුචා” ( ” කරපිය බලන්න පුළුවන් නම් තොට !” )

ඔන්න ආවේගය…පළවෙනි එකාගෙ අම්මා මතක් කරලාද කොහෙද?  ගත්තා අහුවෙච්ච ගල් පතුර කෙළලා ඇරියා …

“උජා…!”  (” ඉඳා!” ) ….

“ගවුකුචා!” ( “අම්මෝ!” )

දැන් එකෙක් ඩවුන්….ඌ ඉවරයි එතනම….

ඔන්න ගල් ගුහාවේම සෙට් එක සද්දෙට දුවගෙන එනවා…අර ගහපු අනිත් එකා එතන බලාගෙන ඉන්නවා….අනිත් එවුන් ටික රවුමට හැදිලා කහ කහ ඉන්නවා….උන් අතරින් එනවා උස මහත, ලොම් තද “ඇල්ෆා” ඉස්සරහට….ඌ බලනවා මිනී මරුවා දිහා…..

දැන් අර මැරිච්ච එකාගෙ ගෑණි එනවා…. ඇවිත් බිම වැටිලා ඉන්න මිනිහව අල්ලලා හොල්ලනවා….

“හාගා….හාගා….හාගේ හාගා….හගෝ හාගා…!”  ( “අනේ කථා කරන්න වස්තුවේ…නැගිටින්න රත්තරං”)

අරූ මැරිලා…ඉතින් ගෑණු කෙනා ඔලුව උස්සලා බලලා කෑ ගහනවා….

“අරා….කා…කා…කා…ගවුකුචා….අරා…අරා….” ( “මූව මරපියව් ! මගේ අහිංසකයා මරා ගත්තා…!…හෙණ ගානවා තොට…!”)

අර “ඇල්ෆා” එකා මිනී මරුවා දිහාට ඇඟිල්ලක් දික් කරලා අනිත් එවුන්ගෙන් ප්‍රශ්ණ කරනවා….

“අග්ගා…චකා…චකා…බකා?” ( “කියපියව් කොල්ලනේ ! මූට මොකද කරන්නෙ?” )

අනිත් උන් එක හඬින්….

“හච්චා…හච්චා…ගච්චා…ගච්ච….බච්චා…බච්චා….කච කච කච…කජෝ” ( “ඕකට ගල් ගහලා මරපියව්!”)

“ඇල්ෆා” තමන්ගේ අතේ තිබ්බ දණ්ඩක් අහසට උස්සලා බෙරිහන් දෙනවා….

කස්ටිය වට වෙලා අරූට අහුවෙන දේකින් නෙළනවා…ටික වෙලාවකින් ඌත් ලේ විලක් මැද්දෙ ඩවුන්…..

උගේ මිනියටත් පයින් ගහලා අරුන් ටික “බජ බජ බජ” ( “දුන්නා වැඩේ තිතට!” ) කියාගෙන යනවා….

මේ කාලෙදි මොළයේ සංකීර්ණ සැකසුමක් විකසනය වෙලා නෑ….ගහෙන් බැහැලා තාම කී දොහද?…ඉතින් :

“ආවේගය ආවා >> කෙළලා ඇරියා >> අපරාධ කරුවෙක් සහ වින්දිතයෙක් බිහිවුණා >>>  වින්දිතයාගේ පාර්ශවය සහ නිරීක්ෂකයන් ආවා >> වෙච්ච දේ දැකලා උන්ටත් ආවේගයක් ආවා >> උනුත් අපරාධ කරුවාට කෙළලා ඇරියා >> ඌත් වින්දිතයෙක් උනා….ගේම් ක්ලෝස් !”

ආවේගය >> ක්‍රියාව ( අපරාධය ) >> ප්‍රති-ආවේගය ( ප්‍රතිචාරය ) >> දඬුවම 

සූට්ටක් ශිෂ්ඨාචාරය 

Reciprocal Justice කියන එකේ මූලික දෙසුම් බොහෝ ප්‍රාථමික සමාජවල සම්මත නීති පද්ධතිවල තිබුණත්, ඒ පිළිබඳව මූලිකම ලේඛණගත කියවීම ලැබෙන්නේ ක්‍රිස්තු පූර්ව 1850 දි පමණ බැබිලෝනියාවේ ( වත්මන් ඉරාකය ආශ්‍රිත ප්‍රදේශය ) රජකළ හමුරාබි රජුන් කරවන ලද “හමුරාබි ඛේත සටහන්” සහිත ශිලා ලේඛන වලින්….

එහි එන රෙගුලාසි අංක 196 කියනවා “මිනිසෙකු තවත් මිනිසෙකුගේ දතක් කඩා දැමුවහොත්, ඒ මිනිසාගේ දතක් අහිමි කරනු ලැබිය යුතුය….මිනිසෙකු තවත් මිනිසෙකුගේ ඇසක් උපුටා දැමුවහොත්, ඔවුහු ඒ මිනිසාගේ ඇසක් උපුටනු ලැබීම යුක්තිය වේ” යනාදි වශයෙන්…

ඕකම තව ටික කාළයක් ගියාට පස්සෙ, මේ බැබිලෝනියාවේ හමුරාබින්ට උපදේශණ සේවාවන් වල නිරත වුනු “රාබින්” හෙවත් ජුදා දහමේ ( යුදෙව්වන්ගේ ) මුල් නිර්මාතෘවරුන් මේ නීතිමය පැහැදිලි කිරීම් වලින් කෙටුම්පත් සකස් කරනවා….

එයිනුත් අවුරුදු දෙසිය පණහකට පමණ පස්සෙ ඊජිප්තුවේ සිට හය ලක්ෂයක් යුදෙව්වන් නිවහල් භාවය කරා ගෙන ගිය මෝසෙස් නම් නායකයා සීනායි කඳුබඩ ප්‍රදේශයේදි මේ ව්‍යතිශංගික නීති වඩා දරදඬු විදියට යුදෙව් සමාජයට හඳුන්වා දෙනවා….මේක බයිබලයේ පැරණි තෙස්තමේන්තුව / ගිවිසුම කියවන කෙනෙකුට “නික්මයාම” ( Exodus – Chapter 21 ) නම් පරිච්ඡේදයේ 12 ඡේදයේ සිට ඉදිරියට හමුවනවා…

“යමෙක් මිනිසෙකුට පහර දී ඔහු මරන්නේ නම්, ඒ තැනැත්තා මරනු ලැබිය යුතුමය” ( 21 : 12 )

ඕක ඉතින් ඉස්ලාමයටත් යනවා….සුරාහ් අල් මයිදා 5:45…

ඊළඟට ඉතින් රෝමයට යනවා – Lex Talionis කියලා ලතින් බසින් හඳුන්වනු ලබනවා…එතනින් බටහිරට, අතනින් පෙරදිගට…ඔහොම තමයි….කාළය ක්‍රමයෙන් ගතවෙනවා….හමුරාබි සටහන් සහිත ගල් කණු දූවිල්ලෙන් වැහෙනවා….මුලින් දුප්පතුන්ගේ කල්ලි අතරේ හැදුණු වැඩුණු ක්‍රිස්තියානියෙන් මහා පල්ලි සංස්ථා බිහිවෙනවා…ඉස්ලාමය අධිරාජ්‍ය හදනවා….රෝමය මහා සම්ප්‍රදායක් වෙනවා…එතැන් සිට ක්‍රමය පමණක් වෙනස් වෙමින්, හරය එක ලෙසම පවතිමින් සම්ප්‍රදාය ඉදිරියට එනවා….උල සහ බෙළි කපන මන්නය තොණ්ඩුවක් වෙනවා…තොණ්ඩුව ඉලෙක්ට්‍රෝඩ සහිත පුටුවක් වෙනවා….පුටුව ඇඳක් වෙලා එන්නත් පද්ධතියක් ඒකට සවි වෙනවා…

මේ ලෝකයට වර්ථමානයේ වැරදිලා තියෙන එක තැනක් තමයි, ප්‍රාථමික නොදියුණු ශිෂ්ඨාචාර පාලනය කරන්න, හසුරුවන්න, මිනිසා මනෝවිද්‍යාව ගැන නිසි විද්‍යාත්මක අවබෝධයක් නොතිබුණු යුගයේ, මිනිසාව හැසිරවිය හැකි ආකාරය ගැන විද්‍යාත්මක ගවේෂණයක් නොතිබුණු කාළයේ, සාපේක්ෂ උගතුන් ( වත්මනට අනුව පට්ට නූගතුන් ) විසින් පනවන ලද නීති සහ සම්මුතීන් ඒ විදියටම ඉදිරියට කරගහගෙන යාම….

පසුගාමී සමාජ මේවා තුළ විෂම චක්‍රයක් නිර්මාණය කරගෙන ඉන්නවා….

උදා:

හේතුව

යල්පැනගිය ගල් යුගයේ කාන්තාර ගෝත්‍රවලට, එහෙම නැත්නම් වෛදික සමාජ වලට ගැළපෙන සම්මුතීන් මගින් වර්ථමානයේත් තම රට තුල “සංස්කෘතිය” සහ “සභ්‍යත්වය හසුරුවනවා”

ප්‍රතිඵලය

නූතනත්වය සමග එන නිදහසට එක් ඔළුවකිනුත්, මෙකී ආදි කල්පික යල් පැනගිය සභ්‍යත්වයට සහ සදාචාරයට තවත් ඔලුවකිනුත් දෙපසට අදින “ඔලු දෙකේ බූරුවෙක්” වැනි සමාජයක් නිර්මාණය වෙනවා… ඒ තුළින් විශාල අසහනයක් නිර්මාණය වෙනවා….(මෙහෙම සතෙක් දැකලා නැත්නම් අර “දොස්තර හොඳ හිත” කාටුන් එකේ දොස්තරගේ නැවේ කුඹ ගහ මුදුනේ ඉන්න සතාව බලන්න)….

විසඳුම

ඔන්න එතකොට අර ආදි කල්පික දර්ශණයන් පමණක් හදාරලා තවමත් අපේ සමාජයේ නොනැසී සිය පැවැත්ම තහවුරු කරගෙන ඉන්න ව්‍යාජ විද්වතුන් පෙරට ඇවිත් ඒ ගල් යුගයෙන්ම විසඳුම් නිර්දේශ කරනවා….ඒ විසඳුම තමයි දඬුවම තවත් තද කිරීම සහ දඬුවමේ භයානක බව වැඩි කිරීම…

ඒ මතය හිසට ගන්නා ජනතාව ඒකම කිය කියා යනවා….අර ආදි කල්පික නොදියුණු ශිෂ්ඨාචාර වල කිව්වා වගේ “මරන්න ඕන….ඉරන්න ඕන…පලන්න ඕන….උල තියන්න ඕන…රජ කාලේ දඬුවම් ඕන”…..

දැන් මේ “මොවුන්ට දෙන්න ඕන රජ කාළේ දඬුවම්” කියන එක කියන්නෙ උපරිම ආවේගයක් ආවාම නේද?….දැක්කද ඒක අද කාළෙත් අර ඉස්සර “ආවේගය” අනුව දඬුවම් නියම කරන සමාජයේ සිතුම් පැතුම් වලටම සමපාත වෙන හැටි….කිසිම විශ්ලේෂණයක් නෑ…අවශ්‍යත් නෑ…ආවේගයට සරිලන විදියට දඬුවම තීරණය කිරීමනෙ ඒ කාලෙ කළේ….ඒ යුගය යළි ඉල්ලන්නෙත් ආවේගය මිස වෙන කිසිවක් ඔලුවේ නැති නිසා නේද…?..ඒකනෙ මේ ආවේගය සියල්ල තීරණය කරන “රජ කාලේ දඬුවම්” ඉල්ලන්නෙ…? …

ලෝකය කොච්චර දුරක් ඇවිත් තිබුණත්, මැද පෙරදිග ගොබ්බ ගුබ්බෑයම් වල තාම නීති කියලා තියෙන්නෙ ඒ තුට්ටු දෙකේ ක්‍රමනෙ….නගර වල ප්‍රසිද්ධියෙ බෙලි කපනවා…අත පය කපනවා….අර නූගත්, නොදියුණු, ප්‍රචණ්ඩ, ප්‍රාථමික කාන්තාර ගෝත්‍රිකයන් හසුරුවන්න හඳුන්වා දීපු නීතිමයි තාම තියෙන්නෙ….ආවේගය විතරයි…වෙන කිසිවක් නෑ…ආවේගයට හරියන දඬුවම දෙනවා….එතකොට මේ රටෙත් ආවේගයක් ආපු ගමන් “අම්මපා මේවට තියෙන්න ඕන අර සවුදි අරාබියෙ නීති” කියන එකෙන් තේරෙන්නෙ ආවේගය නිසා එන ප්‍රාථමික, නොදියුණු අශිෂ්ඨ කමට තමන් නොදැනුවත්වම සමපාත වීම නෙවෙයිද?

ආවේගය >> ක්‍රියාව ( අපරාධය ) >> ප්‍රති-ආවේගය ( ප්‍රතිචාරය ) >> දඬුවම 

ඉතින් මේ ප්‍රශ්ණය සහ අර්බුදය ගල් යුගය නිසා පටන් අරන්, ගල් යුගය හරහා, ගල් යුගයටම යනවා….

දැන් එතකොට මොකක්ද මේ වෙලා තියෙන්නෙ?….

වෙලා තියෙන දේ පැහැදිලි කරන්න මම යොදා ගන්නවා, අපේ හිතවත් බ්ලොග් අඩවියක් වන “අසම්මත සටහන්” බ්ලොග් අඩවියේ “ජේමිස් බණ්ඩා” නම දරන විචාරකයා ලියන ලද ලිපියක් වන

https://asammathasatahan.wordpress.com/2015/07/30/uniforms-for-mothers/

එකට මම යොදපු පිළිතුරු කමෙන්ටුවක් එඩිට් කරලා…ආයෙ මුල ඉඳන් ලියනවට වඩා ලේසියි ඒක දාන එක…මේ රෑ බෝ වෙච්ච වෙලාවෙ…

ලිංගික කුහකත්වය

මේක මම ඕපන් කරන්නම් අර “මොනවද මුත්තේ මොකද කරන්නේ?” සින්දුවෙ පදයකින්ම … ( සොරි වෙන්න ඕන ප්‍රතිචාරය පමා වීම ගැන ..)

“තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට කරන්න හැකි දේ නොම තේරෙයි මට”

මේක තමා අපේ රටේ 50 – 60 දශක වලට පසුව සහ 80 දශකයට පෙර කාළය තුල සිය තාරුණ්‍ය ගෙවලා දැන් මේ වන විට වැඩිහිටියන් බවට පත්වෙලා ඉන්න අයගේ සියළුම සදාචාර විවරණයන් සහ සංස්කෘතික බ්‍රහ්ම ටෝක්ස් තනි පද පේළියකට සම්පිණ්ඩනය කළොත් ලැබෙන පද පේළිය….

දැන් ඔය දොරමඩලාව කියන මානසික ගුබ්බෑයමට එන පොර ටෝක් කාරයන්ගේ ඉඳලා සියළුම දෙනා තමන්ගේ යෞවනය තුළ තමන් නුදුටු, තමන් පැතූ එහෙත් බොහෝ විට නොලැබුණු දේ අනාගත පරම්පරා වලට ලැබෙනවාට එරෙහිව අවි එසවීමක් තමයි ඔය රාජ්‍ය පරිපාලන පද්ධතිය තුළ සහ ඒවා මගින් මෙහෙයෙවෙන ආයතන ව්‍යුහයන් තුල දකින්න ලැබෙන යල් පැනගිය මතවාදයන් සහ හැසිරීම්….තමන් විසින් “විඳවන ” ලද ජීවිතය ඉදිරි පරම්පරා වලුත් ඒ විදියටම විඳවිය යුතුයි කියන දෘඨ ස්ථාවරය තමයි අද සදාචාරය, අපේ කම, සංස්කෘතිය, සභ්‍යත්වය විදියට සම්ප්‍රේෂණය කරනු ලබන්නෙ….

මේක විෂම චක්‍රයක්….වැඩිහිටියන් තමන්ට නොලැබුණු දේ තමන්ගෙන් ජනිත වූවන්ට ලැබෙනවාට තිබෙන අකමැත්ත / තමන් විඳවූ ජීවිතය තමන්ගේ පසු ජනිතයන් “විඳිනවා” දකින්න තියෙන අවිඥාණික අකමැත්ත නිසා මේවා දරුවන්ට පටවනවා…. ඒ දරුවො ලොකු වෙලා ඒවා ඊළඟ දුහිතෘ පරපුරට පටවනවා….ඔවුන් ඊළඟ පරපුරට….

දේශපාලනය මේකට සෘජුව බලපානවා….ඉහත කී පරම්පරාවල් වර්ථමානයේදී සදාචාරය, සභ්‍යත්වය, සංස්කෘතිය නිර්වචනය කරන අය…..ශ්‍රී ලාංකික පවුල් ඒකක පාලනය කරන්නේ මේ අය…මොකද අපි ඇතැම් සංවර්ධිත රටවල මෙන් නිසි වයසට ආවාම ලෝකයේ අපට හිමි තැන හොයාගෙන පිටවෙලා යන අය නෙමෙයිනේ…ඉන්න දෙනව නම් අවුරුදු 40 ක් වෙනකල් උනත් අපි අම්ම අප්පගෙ ඔක්කෙ දපලා ඉන්න අයනෙ… ඒ නිසා අපේ සමාජයේ තරුණ, තරුණියන්ට දේශපාලනයේ මුදුනට දැනෙන තීන්දු ගන්න ලැබෙන ඉඩකඩ අඩුයි සාපේක්ෂව….ඒ නිසා දේශපාලනයේ කේන්ද්‍රය මේ ඊනියා වැඩිහිට් පරපුර… වඩාත් නිවැරදිව කියනවා නම් මැදි වයස් කාරයන් සහ පූර්ව සැඳෑ විය ගත කරන අය….. ඒ අයගේ තීරණ තීන්දු මත දේශපාලන බලය පැවතීම හෝ නොපැවතීම තීරණය වෙන්නෙ…ඉතින් බලයේ රැඳී සිටීම සඳහා දේශපාලනය මේ ස්ථරයන් පිනවන්න යල්පැන ගිය මතවාදයන් පෝෂණය කරනවා…..

“ස්ත්‍රිත්වය” – අධිපතිවාදය, සභ්‍යත්වය, ෆැන්ටසිය සහ රියැලිටිය

රටක් නිදහස් රටක්ද, නැද්ද කියන එක මනින කදිම මිනුම් දඬුව තමයි ඒ රටේ “ස්ත්‍රිත්වය” පිළිබඳව ඇති පොදු සමාජ විග්‍රහයන් කියවීම….

සුද්දො එද්දි අපේ හිටපු එවුන්ගෙන් සම්පූර්ණ ඇඳුමක් ( යැයි සම්මත ඇඳුමක් ) අඳින්න අවසර තිබුණෙත් එහෙමත් පිරිසකට විතරයි….සුද්දො ඔවුන්ගෙ මධ්‍ය කාළීන ක්‍රිස්තියානි, බැරොක් සහ වික්ටෝරියානු සභ්‍යත්වයන් වල සංකලනයක් තුළින් අපිට පොදුවේ රෙදි ඇන්දුවා….( ඒක කරන්න ගියාම ඔය ලෙනාඩ් වුල්ෆ් එහෙම ලියනවා හම්බන්තොට පැත්තෙ ඊනියා වංශක්කාරයො දිසාපති කාර්යාලයට ඇවිත් විරෝධය පාපු හැටි ගැන… ) .. ඒකත් ඒ කාලෙ අපේ හැටියට ප්‍රගතිශීලියි … මොකද රෙද්ද අඳින එකටත් කුළ තහංචි තියෙන සිස්ටම් එකකට වඩා “අඩු ගානේ තොපි ඔක්කොම ඕක හොඳට වහගෙන හිටපියව්” කියන සිස්ටම් එක සාපේක්ෂව ප්‍රගතිශීලියි…

මෙතෙන්දි අර ඉන්දීය අධිපතිවාදයේ ස්වාමි දියණියන්ගේ වස්ත්‍රය අපේ මානසික වහලුන් ඔවුන්ගේ සභ්‍යත්වය තුළ “උත්තම” කර ගත්තා සේම, බ්‍රිතාන්‍ය ස්වාමියන්ගේ වස්ත්‍රයත් උත්තම කරගෙන, ඔවුන්ගේ සදාචාර රේඛා, පරිමිතයන් උත්තම කරගෙන ස්වදේශික වහළුන් ෆැන්ටසියක් හදාගන්නවා….ඉන් පසුව ඒ ෆැන්ටසිය තුළ සිය ආත්මයට පරම ප්‍රමෝදජනක ස්ත්‍රීත්වය දකිනවා….

ෆැන්ටසිය : “ගවුම අඳින, අධිරාජ්‍ය හිමියන් කියා දුන් ක්‍රිස්තියානි – වික්ටෝරියානු සංවරය සුරකින, ශ්‍රේෂ්ඨ, නිකැළැල්, දේවභාෂිතෝපගත ස්ත්‍රිය”

ඊට පස්සේ ඒ ගොල්ල මේ ෆැන්ටසිය යථාර්තයක් බවට පත් කරගන්න ක්‍රමානුකූලව ට්‍රයි කරනවා….ඒ සඳහා සමාජ චින්තනය සකසනවා…කාළයක් ගියාට පස්සෙ අර ෆැන්ටසිය අනුක්‍රමික රියැලිටියක් වෙනවා….ඔන්න දැන් අපට වික්ටෝරියානු යුගයේ අපේ සීයලා, බාප්පලාගේ ෆැන්ටසියේ හිටපු ස්ත්‍රිය රියැලිටියෙත් ඉන්නවා…

නමුත් පශ්චාත් ලෝක යුද සමයෙදි සුද්දො කියන සභ්‍යත්වය, සදාචාරය, හැසිරීම, හැදිච්ච කම, හොඳ නරක, යනාදියට තිබුණු සමාජ පිළිගැනීම මත කරන “ඒකාකෘතික” කරණය නවත්තලා “Personal Choice / Choice of the Individual” කියන නව මානය සොයාගෙන ගියා…නමුත් ඒ වෙනකොට අපිවත් වෙනස් කරන්න සුද්දා අපි ළඟ නොහිටපු නිසා අපි ඒ වෙනස් කමට ගියේ නෑ….අනෙක අධිරාජ්‍යය අමතක කරත්, සදේශපාලනිකව මේ වෙනස කරන්න තිබුණු අවස්ථාව එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ඇතුළු දේශපාලක නඩයක් විසින් වාසි තකා වික්ටෝරියානු පදනම මත විකෘති ජාතිකත්වයක් ගොඩ නැගීම තුළ දියවී ගියා….මීට කළින් සුචරිතවාදී “වීරයන්” ඇතුළු ඊනියා නිදහස් සටන්කරුවන් මේක කරන්න ගිහින් ඇනගෙන නෝණ්ඩි වුනේ ඔවුන්ට මේ වෙනස් කම් ඝණීභූත කරන්න අවශ්‍ය කේන්ද්‍රයේ දේශපාලනික බලය නොමැතිකම නිසා…..නමුත් බණ්ඩාරනායක ප්‍රමුඛ පිරිසට ඒ අඩුව පිරිමැහුණු නිසා ඔවුන් මේක කොහොම හරි කර ගත්තා…අන්න ඒ විකෘතිය මුල් වරට ග්‍රහණය කරගෙන එදා ඉඳන් අද වෙනතුරු ඒක කරපින්නාගෙන ඇවිදින එවුන්ට අපි කියනවා ඊනියා ’56 දරුවෝ කියලා…සුද්දා පුද්ගල නිදහස කියන මානය තුළ වඩා දීප්තිමත් සභ්‍යත්වයක් සොයා ගත්තා….අපි තාම සුද්දා ඉතිරි කරලා ගිය පිළිණු වෙච්ච කෑම පීරිසිය දිවි හිමියෙන් රකිනවා…

මෙතනදි වෙච්ච ලොකුම කරුමෙ තමයි මේ ජනප්‍රියවාදී 56 විකාරය ඊනියා “වාමාංශික දේශපාලනයක්” ලෙසට මේ සමාජයේම කොටස් විසින් හඳුනා ගනු ලැබීම….ඔවුන් මෙය “අධිරාජ්‍ය විරෝධී වමේ ව්‍යාපාරයක්” ලෙස හඳුන්වා ගැනීම තුළ වමටත් පිරිස් බලය රැකගැනීම සඳහා මේ අදහස් තමන්ගේ අදහස් අස්සට දාලා චට්නියක් හදාගන්න සිද්ද උනා….මේ “අපේ ක්‍රමයේ සමාජවාදය…අපට ගැළපෙන සමාජවාදය…මාක්ස්වාදයේ අපිට ගැළපෙන අර්ථකතනය” කියන්නෙ ඒකට….

අද මේ මොහොත වනවිටත් ඉන්න ඊනියා වාමාංශිකය, විප්ලවවාදීන්ය කියාගන්න කොටස මේ අතින් වික්ටෝරියානු සිංහල බෞද්ධ සදාචාරවාදීන්ට දෙවැනි නෑ…..විශ්ව විද්‍යාලයේ පළමු වසර කෙල්ලන්ට කලිසම්, ත්‍රී ක්වාර්ටර්ස් ඇඳීම තහනම්…ගවුම් සායවල් විතරයි අඳින්න පුලුවන්….නියෝගය ඊනියා රැඩිකල් ශිෂ්‍ය සංගම් වලින්…මෙරට සාම්ප්‍රදායික වමේ ව්‍යාපාරයත්, එයින් ඉච්ඡා භංගත්වයට පත්වූවන් කැඩී වෙන්වී හදාගත් රැඩිකල් වාමාංශික ව්‍යාපාරත් මේ ගුඩු වෙච්ච මානසික තත්වයන්ගෙන් රට මුදවා ගනු වෙනුවට කලේ ඒක තවත් තීව්‍ර කරන්න උදව් කිරීම….ඔවුන්ට ශාස්ත්‍රීයත්වය සප්ලයි කරන්නෙත් අර 56 දරුවන් හෝ ඔවුන්ගේ පරිණාමික අවස්ථා….

මේ තමයි අපි යථාර්තය ලෙස දකින, අපි යථාර්තය තුළ සම්මත කරන, අනුමත කරන ගැහැණිය….

ඉතින් තවමත් Stereotyping ප්‍රබල විදියට ක්‍රියාත්මකයි…

“ගැහැණු ළමයෙකු වනාහි… මෙන්න මේවා, මේවා, මේවා, මේවා….තිබෙන….මේ, මේ ග්‍රන්ථවල, ශුද්ධ ලියවිලි වල, කයි කතන්දර වල, පඬි ටෝක්ස් වල, ජන ප්‍රවාද වල තියෙන පරිදි වන….මෙන්න මේ මේ ලේඛකයන් අප කෙරෙහි පතළ මහා කරුණාවෙන් ලියූ සිරිත් මල්දම, අරක, මේක අනුව හිතන පතන … කෙනෙකු වන්නේය”

ඉතින් පරිපූර්ණ යුවතියක, කාන්තාවක ලෙස සමාජයේ පිළිගැනීමට ලක්වෙන්න, සමාජයෙන් ප්‍රතික්ෂේප වීමෙන් වැළකෙන්න කාන්තාවන් මේ ස්ත්‍රිත්වයේ අර්ථ නිරූපණයට කීකරු වෙනවා…ඇයට වෙන කරන්න දෙයක් නෑ කීකරු වෙනවා ඇරෙන්න….”හොඳ කෙල්ලෙක් වෙන්න මේ වගේ වෙයන්!” කිව්වාම ඒ වගේ වෙනවා…

ෆැන්ටසි – රියැලිටි ගැටුම

මේක වඩාත්ම භයානක අතට හැරෙන්න ගත්තෙ අපි දියුණු ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ ප්‍රවාහයන්ට නිරාවරණය වෙන්න පටන් ගත්තාමයි…

තොරතුරු තාක්ෂණය හරහා අපට ලිබරල් ධනවාදී සමාජයේ වාණිජමය උත්සාහයන් + ලිබරල් සභ්‍යත්ව පරාමිතීන් එකතුවක් එනවා…”Baywatch” එකේ චූටි ස්විම් සූට් ඇඳගෙන පිරිපුන් ඇඟවල් තියෙන කෙල්ලො නිරුවත් තට්ටම් නටව, නටව ඇවිදිනවා….කෙල්ලො “සිනා නොමසෙන් දසන් දක්වා” කුඩු කරලා හයියෙන් කෑ ගහනවා…හැන්ඩි කොල්ලෙක් දැක්කොත් ඌ එක්ක ත්‍රිල් ගන්නවා…..කෙල්ලො කොල්ලො කිසි භේදයක් නැතුව නිදහසේ, සතුට බෙදාගෙන ජීවිතේ උපරිම වින්දනයක් ලබන්න උත්සාහ කරනවා අපේ අයට මාධ්‍ය හරහා පේනවා…

සුද්දො හොඳට සෙක්ස් කරලා ෆන් ගන්නවා…නව යොවුන් කොල්ලො කෙල්ලො හොඳට සෙක්ස් කරනවා…නිදහසේ පාටි දානවා…බොනවා…ලිංගිකත්වය උද්දීපණය කළ හැකි විලාසිතා අත්හදා බලනවා…ජීවිතයේ තෘප්තකර හැඟීම් පෝෂණය කිරීම උපරිමයෙන් කරනවා….මේ මාධ්‍ය හරහා එන්නේ ඔවුන්ගේ සමාජයේ රියැලිටි වල එකතුවක් උනත්, ඒවා කරන්න නිදහසක් නැති අපේ අයට ඒක ෆැන්ටසි වෙනවා…අන්න ඒ මාධ්‍ය හරහා දකින බටහිර අයගේ රියැලිටියෙන් අපේ පසුගාමී සමාජ වල අලුත්ම පරම්පරාවේ අයට ෆැන්ටසියක් හැදෙනවා….

අර සීයලා, මුත්තලාට හැදුණු 18 වැනි සියවසේ වික්ටෝරියානු ස්ත්‍රිත්ව විවරණය සහිත ෆැන්ටසිය වගේම එකක් මෙයාලටත් හැදෙනවා….පරම ප්‍රමෝද ජනක ස්ත්‍රියක් මේ අයත් විවරණය කරගන්නවා….

21 වැනි සියවසේ ෆැන්ටසිය….

ඉතින් ඊට පස්සේ මේ 21 වැනි සියවසේ ෆැන්ටසිය හිසින් දරාගෙන, ඒ මනෝභාවය පිනවනන්න ඔවුන් රි‍යැලිටිය වෙත එනකොට රියැලිටිය තාම 18 වැනි සියවසේ…!…ඇයි ඉතින් සුද්දො අපිට 18 වැනි සියවසේ ෆැන්ටසිය හදල දුන්න නිසා අපි තාම ඒකෙ ඉන්නවා…සුද්දා එතනින් එහාට ගියා කියලා අපි දන්නෙ නෑනේ…අපි තාම උන් 18 වැනි සියවසේ හිටපු තැන….

ඉතින් මේක දකින ඔවුන් ෆුල් හොල්මන් වෙනවා…ෆැන්ටසියේ ඉන්න සෙක්ස් වලින් ත්‍රිල් ගන්න ආස, කන බොන, විනෝද කාමී ගැහැණිය සිය නිදි යහනට ඇත්තටම ගෙනියන්න හිතාගෙන ඔවුන් පාරට බැස්සාම ඔවුන්ට හමුවන්නේ අර ඔවුන්ගේ අප්පලා, මහප්පලා, බාප්පලා, සීයලා ඔවුන්ගේ ෆැන්ටසිය අනුව රියැලිටියට ගේන්න කටයුතු කරපු ස්ත්‍රිය….ඇය සිපගන්න බයයි…පෙම්වතා සමග තනිවෙන්න බයයි…අතකින් අල්ලන්න බයයි…පොකුරෙන් ගැලවෙන්න බයයි…ලැජ්ජයි…නිදහසේ අදහස් ප්‍රකාශනයට බයයි….කයින් සහ මනසින් දෙමාපියන්ට සිරකාරියක්…

ඇයි තාම ස්ත්‍රිත්වයේ සමාජ සම්මත අර්ථ නිරූපණය තියෙන්නෙ අර 18 වැනි සියවසේ මොඩල් එකේ නෙ…?….සම්මතය තීරණය කිරීමේ වැඩි බලය තියෙන්නෙ වැඩිහිටියන්ට නෙ….එයාලා තාම අල්ලගෙන ඉන්නෙ සම්මතයේ එයාලගෙ නිර්වචන නෙ….ඉතින් තාම කාන්තාව අර යටගිය දවස ස්ත්‍රිත්වයට කීකරුයි….මොකද සමාජ ගැරහීමෙන් මිදෙන්න ඕන නිසා….”හොඳ කෙනෙක්” වෙන්න ඕන නිසා…

ඔන්න 21 වැනි සියවසේ ෆැන්ටසිය 18 වැනි සියවසේ රියැලිටිය එක්ක ගැටෙනවා….

ඔන්න ඉතින් නව පරපුරෙන් සමහරක් අය අර පෙර පරම්පරා කලා වගේම ඔවුන් ගොඩ නගන ෆැන්ටසියත් රියැලිටියට ගේන්න උත්සාහ කරන්න පටන් ගන්නවා…

එතකොට වැඩිහිටියෝ ඔවුන්ගේ රියැලිටිය රැක ගන්න මෙහෙන් අදිනවා….තරුණ පරපුර එහෙන් අදිනවා…මේ කඹ ඇදීමේ ප්‍රතිඵලයක් ලෙස “ඔලු දෙකේ බූරුවෙක්” නිර්මාණය වෙනවා…

මේ ඔලු දෙකේ සමාජ බූරුවාගේ එක ඔලුවක් ලිබරල් චර්යා දේශනා කරනවා….ඒ අතට අදිනවා…අනිත් ඔලුව අධි සංරක්ෂණ වාදී ආදි කල්පිත අදහස් දේශනා කරනවා… ඒ අතට අදිනවා…

මේ බූරුවා හමුවට පමුණුවනු ලබන සමාජ ජීවියා Full Confuse වෙනවා….ඒ Confuse වීමේ ප්‍රතිඵලය වෙන්නෙ අසහනය සහ පීඩනය….

ඊට පස්සෙ කකුලක් දැක්කොත් මළ පනිනවා….දුක් විඳිනවා….ඒ දුකේ Focal Object එක ස්ත්‍රිය කියලා හිතාගෙන ඒ පීඩනය ඇය මතින් යවනවා….ගෑණුන්ට කුණු හරුප කියලා, ජැක් ගහලා, අවයව මිරිකලා, ගොසිප් හදලා, ඒ ද්වේෂය පිට කර ගන්නවා…

ෆැන්ටසිය රියැලිටිය කරගන්න දඟලන දැඟලිල්ලෙ භයානකම අවස්ථාව තමයි ස්ත්‍රී දූෂණය…..

ඉල්ලුම තිබෙනවා දරුණුවට….ඉල්ලුමට සරිලන සැපයුම ලොවෙත් හොයාගන්න නෑ…ඊළඟට බිහිවෙන්නෙ උද්ධමනය…සමාජය පැත්තෙන් බැලුවොත් අසහනය…උග්‍ර අසහනය…අවසානයෙදි පීඩනය පුපුරා යන්නෙ අනෙක් හැම පීඩනයකම වගේම ප්‍රචණ්ඩත්වය හරහා….පීඩනය වාන් දමන්නෙ ප්‍රචණ්ඩත්වයේ ඇළට…..

ඉතින් කාව හරි එල්ලුවොත් මේක හරි යාවි කියලා හිතෙනවද?

සුජී ප්‍රස්තුතය – රුදාවට කරන පසු කියැවීම

මෙයට පෙර මේ සම්බන්ධයෙන් ලියන ලද ලිපියට, මෙවන් උඩුගං බලා පිහිණීම් වල යෙදෙන අතළොස්සට එල්ලවන්නා වූ සරලතම චෝදනාව වන “සදාචාරවාදියා” යන චෝදනාව ( මා මෙය චෝදනාවක් ලෙස පිළිගන්නේ මා සදාචාරවාදියෙකු නොවන නිසාය…මම පව් කර ඇති නිසා ගල් ගැසීමෙන් වැළකී සිටිමි…සදාචාර වාදියෙකු වන්නට හැක්කේ කවර කළකවත්, සිහිනෙන්වත්, රහසින් වත් පවු නොකළ කෙනෙකුටය..) මෙම ලිපිය බුකියට ගිය පසුව අපටත් එල්ල වී ඇත…ඒ නිසා යමක් ලිවිය යුතුය…මට සදාචාර වාදියෙක් වෙන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ…මොකද මම පව් කරපු, පව් කරන සහ ඉදිරියටත් පව් කරනු ඇතැයි සිතන සාමාන්‍ය මනුෂ්‍යයෙක්…මම විමුක්තිකාමියෙක් නෙමෙයි….කාටවත් විමුක්තිය උදාකර දෙන්න, රට හදන්න, සමාජය හදන්න මට රුදාවක් නෑ….ඊට වඩා හොඳයි කීයක් හරි හම්බ කරගන්න එක….නමුත් මේක ගැන මෙච්චර ලියන්නෙ ඇයි කියලා කියෙව්වාම වැටහෙයි…

නිකොලායි නෝසොව් ගැන 80 දශකයේ ළමා කාලය ගත කළ සියල්ලෝම අසා ඇතුවාට සැක නැත….දැදිගම රුද්‍රිගු ශූරීන් විසින් ලක්දිව ළමා පරපුරට දායාද කරන ලද නෝසොව්ගේ “The Adventures of Neznaika and His Friends” හෙවත් “වැඩබැරි දාසගේ කථා” උක්ථ කුළකයට අයත් අය පරිශීලණය කර ඇතැයි සිතමි…මේ කථා මාලාවේ එන “වැඩබැරි දාස චිත්‍ර ශිල්පියෙකු වූ හැටි” පොත සිහියට නගා ගන්න…

වැඩබැරි දාසගේ සංගීත වාදනය අසා ඔහු එළවා ගත්තායින් පසුව හෙතෙම චිත්‍ර ඇඳීමට තීරණය කළා..මේ චිත්‍ර වලට ඔහු වස්තු බීජය කරගත්තේ ඔහුගේම යහළුවන් … උදා: කඩිනම් රාළ, ඈනුමා, බොත්තම් පැංචා, දක්ස පාල, එරඬු තෙල් දොස්තර, ඉස්කුරුප්පුවා සහ මුරිච්චියා ආදීන්…වැඩබැරි දාස මේ යාලුවන් විෂය කරගෙන අඳින චිත්‍ර වලදී ඒ යාලුවන් නියැළෙන වෘත්තීන්ට සම්බන්ධ යම්කිසි උපාංගයක් ඒ යාලුවන්ගේ ශරීරාංගයට එකතු කරලා ඇන්දා…උදා: එරඬු තෙල් දොස්තරව ඇන්දෙ නහයට උණකටුවක් සම්බන්ධ කරලා, තමන්ගේ චිත්‍ර ගුරු වෙච්ච වර්ණපාල ව ඇන්දේ නහයට පින්සලක් දාලා….දක්සපාලව ඇන්දේ පොතක් ඔලුවට අලවලා….රැයක් එළිවෙනකල් මෙයා ඒ ගෙදර ජීවත් වෙච්ච අනෙක් අයගේ චිත්‍ර ඇන්දා…ඇඳලා පහුවදා උදේ යාලුවො ටික අවදි වෙනකොට ඇවිත් බලන්න ප්‍රදර්ශණයක් හදල තිබ්බා…

උදෙන්ම අවදි වෙච්ච එක් එක් යාලුවා පහළට ඇවිත් චිත්‍ර බැලුවා…උදා: මුලින්ම අවදි උනේ එරඬු තෙල් දොස්තර…එයා පහළට ඇවිත් අනෙක් යාලුවන්ගේ චිත්‍ර බලලා, ඒවායේ විකෘතීන්ට බඩ අල්ලගෙන හිනා උනා…හිනා වෙන ගමන් මෙහෙම කිව්වා…

” වැඩබැරි දාස හැබෑ දක්ෂයෙක්….මගේ ජීවිතේට මම මෙච්චර හිනා වෙලා නෑ”

හැබැයි ඔහොම චිත්‍ර බලාගෙන, බලාගෙන ඇවිල්ලා අන්තිමේදි තමන්ගේ ( ඒ කියන්නෙ එරඬු තෙල් දොස්තරගේ) චිත්‍රෙ ළඟට ආවා විතරයි කෝපයෙන් වෙව්ලන්න ගත්තා….ඊට පස්සෙ ප්‍රතිචාරය උනේ මෙහෙමයි…

“වහාම ඉරනවා මේ චිත්‍රෙ….!…නැත්තන් මම තමුසෙට මීට පස්සෙ බෙහෙත් කරන්නෙ නෑ”…..

අන්තිමට දොස්තරගෙ ගෝරනාඩුව නිසා ඒ චිත්‍රෙ ඉරන්න වැඩබැරි දාසට සිද්ද උනා….

ඔය විදියට පහළට එන අනිත් යාලුවොත් අනුන්ගෙ චිත්‍ර වලට උඩ පැන පැන හිනා උනා…අන්තිමට තමන්ගෙ චිත්‍රෙ ආවාම කෝපයෙන් ගොරවලා “ඉරපිය!” කිව්වා….

දැන් ඔය කථාව ඇප්ලයි කරගන්න මේ දිනවල සිද්ද වෙන සමූහ සයිබර් හිංසනයන්ට එකතු වෙන අය….

ඔෂානි, බී.එම්.ඩබ්ලිව් එකෙන් ආපු කාන්තාව, මේ කථා ප්‍රස්තුතය වෙච්ච මැද පෙරදිග කාන්තාව, වාරියපොළ අමල්කා, ඔය හැම කෙනෙක්ටම තළු මර මර දහස් ගණනක් එකතු වෙලා පහර දෙනවා…ඒ අය කියපු දේවල් වලින් උප-සංස්කෘතික ටැග් ලයින් හදා ගන්නවා…නේද?…ඒ අය වෙනුවෙන් හෝ ඒ අය විසින් හදපු පේජ් වලට ගිහින් පතුරු යන්න ගහනවා…කමෙන්ට් කියවලා විනෝද වෙනවා…ඒ කමෙන්ට් වල තියෙන සුපිරි නිර්මාණශීලීත්වය ඇගයීමට ලක් කරනවා…අදාළ ප්‍රහාරයේ වින්දිතයො වෙච්ච අයට “ලණුවක් එවන්නද? සාරියක් එවන්නද?” කියලා අහනවා…මොකද සවිඥාණිකව ඒක විහිළුවට කිව්වට, අවිඥාණිකව අදාළ යෝජනාව කරන අය ඒ වින්දිතයන්ට නිර්දේශ කරන්නෙ සිය දිවි හානි කර ගැනීමෙන් මේ අපහාසයෙන් මිදෙන්න කියලා…

මේවා හරි රසවත්…මාර රස වින්දනයක් ගන්න පුළුවන්…ඒ කමෙන්ට් එහෙම වෙන වෙන තැන්වල ගෙනත් යාලුවන්ට කිව්වාම මාර රසවත්….තමන් Latest Trend එක Follow කරන, මොඩර්න් පොරක් හෝ පොරියක් කියලා යාලුවන්ට පෙන්න ගන්න පුළුවන්…එතකොට කෙල්ලො හිනස්සලා, ඒ කෙල්ලන්ට Popular creative අයියා කෙනෙක් වෙන්න පුලුවන් නේ…?…වාසි ගොඩයි….

උදා: ” ඔය ෆෝන් එක දීපන් ළමයෙකුට” කියන එක…එතකොට “ඔය ත්‍රෙඩ් කියවන්න යන අය චුවින්ගම් අරගෙන යන්න”…”කමෙන්ට් බලන්න යන අයට කඩල, රටකජු” වගේ ඒවා..

මිනිස් සමාජය මුලින්ම මේ භෞතික ලෝකයේ, ඒ කියන්නේ ග්‍රහ ලෝකයේ පොළව මත අනුක්‍රමිකව පරිණාමය උනා…අමු අමුවෙ ගොදුරු සොයන, අමු අමුවෙ ලිංගික එක්වීම ලබා ගන්නා තැනින් ක්‍රමයෙන් ආවා ඒවාට නීති, රීති පනව ගත්තු තැනකට…ඊට පස්සෙ ආවා ඒ නීති රීති ටික ටික සුමට වෙන තැනකට…කවුරු හරි වැරදි කාරයෙක් කියල කටකථාව ගිය ගමන් කට්ටිය සෙට් වෙලා ඒ කෙනාට ගල් ගහල මරණ තැන ඉඳලා, ගරු අධිකරණයක සංකීර්ණ නෛතික ක්‍රියාදාමයකින් සියළු සැකයෙන් තොරව යම් කෙනෙක් වරද කරුවෙක් කියලා ඔප්පු කරලා දඬුවම් දීම දක්වා ආවා…

මේ සයිබර් එක කියන්නෙ වර්චුවල් ග්‍රහලෝකයක්….මේ පෘතුවිය නම් වූ භෞතික ග්‍රහලෝකයේ සමාජ පරිණාමයෙන් අපි “මැග්නා කාර්ටා, ඉංග්‍රීසි විප්ලවය, ප්‍රංශ විප්ලවය, පුරවැසි අයිතිවාසිකම් කෙටුම්පත්, මානව හිමිකම් ප්‍රඥප්ති” පහුකරගෙන හුඟක් දුර ඇවිත් හිටියට, සයිබරයේ මිනිස් වර්ගයා ලබපු දෙවැනි උප්පත්තියෙන් පසුව තාම එතන සමාජ පරිණාමය තියෙන්නෙ ගල් යුගයෙ….ඒ කියන්නෙ අපි පෘතුවි ග්‍රහ ලෝකයේ කෙතරම් දුර ආවත්, සයිබර් ග්‍රහ ලෝකයේ මුළ ඉඳන් යන ගමනක තාම ඉන්නෙ මුල හරියෙ….ඒ කියන්නේ සමූහ වශයෙන් සතුන් පස්සෙ එලවලා, ඌව අමු අමුවෙ මරාගෙන ලේ පිටින් පුච්චගෙන කාලා, ගිණි මැළයක් වටේ නටලා, “ටෝටම්” එකකට පසඟ පිහිටුවලා වැඳලා, ගල් ගුහාවට වැදිලා ස්ත්‍රියක් බලහත්කාරයෙන් හෝ කැමැත්තෙන් හාන්සි කරගෙන රමණය කරන යුගයෙ….

නිකමට හිතන්න ඔබ මේ නූතන සමාජයේ ඉඳලා එක පාරට ක්ෂුද්‍ර කුහරයක් හරහා රජ කාළෙට විසි වෙනවා….ඔබ මොනතරම් පරිස්සම් වෙන්න ඕනද?….අද කාලේ ලෙඩවලට තියෙන බෙහෙත් ඒ කාලෙ නැහැ….අද තියෙන මානව හිමිකම්, පුද්ගල අයිතිවාසිකම්, දියුණු නීතිය ඒ කාලෙ නෑ….අද තියෙන විවෘත භාවය ඒ කාලෙ නෑ….වන සතුන් සහ වනය ඔබ මත ආධිපත්‍ය පතුරුවන, ප්‍රාථමික දේශපාලන ව්‍යුහයක් තියෙන ඒ කාලෙ ඔබ මොනතරම් පරිස්සම් වෙන්න ඕනද රැකිලා ඉන්න…?…සයිබරයත් ඒ වගේ තමයි කියලා වෙලාවකට හිතෙනවා….

කාව හෝ ඉලක්ක කරගෙන කරන දරුණු සමූහ හිංසනයක් අතරෙ තමන්ගේ නිර්මාණශීලීත්වය පෙන්නලා පොරක් වෙන්න කදිම අවස්ථාවක් පෑදෙනවා….අපිත් ඔය වින්දනය කාළයක් ගත්තා…..

අරාජික හිංසනය අනුමත කරන කිසිම කෙනෙක්, ඒකෙන් ලබන වින්දනය උපරිමෙන් අරගෙන එහෙම ගන්න එක සාධාරණීකරණය කරන කිසිම කෙනෙක්, තමන් හෝ තමන්ගේ ආදරණීයයන් ඒ ප්‍රහාරයට යම් දවසක ලක් වුනොත් “හිස ගිනි ගත්තෝ එගිනි නිවන ලෙස” සාධාරණය, යුක්තිය සොයාගෙන දුවනවා මිසක්, එදාටත් “අඩෙ අප්පා මාර ක්‍රියේටිව්” කියලා ඒ ප්‍රහාරය රස විඳින්නෙ නැහැ…..

තමන්ගෙ අම්මට, නංගිට, පෙම්වතියට, ළඟම මිතුරියට ඔය වගේ සමූහ සයිබර් ප්‍රහාරයකට මුහුණ දෙන්න උනොත්, එදාට මුහුණ අඳුරු කරගෙන, ද්වේෂයෙන් වෙව්ලමින්, නිහඬව, හිස පහතට නමාගෙන, අදාළ ප්‍රහාරකයන්ගෙන් පළි ගන්න හැටි කල්පනා කරනවා මිසක් “අඩෝ මොනව උනත් ඒකිට අරුන් කියල තියෙන ඒවට හිනා යනවා මචං…ඒවා ආතල් මචං…පට්ට ක්‍රියේටිව්!” කියාගෙන මිතුරන් අතරට යන කිසිවෙක් නැතැයි උපකල්පනය කරමි…

මේ පාඩම ඔබට එක්කෝ පහසු විදියෙන් ඉගෙන ගත හැක….නැතිනම් අමාරු විදියෙන් ඉගෙන ගත හැක….මින් පෙර මේ ගැන ලියන ලද ලිපියේ අවසානයට මෙම ලියුම්කරුවා පෙන්වා දුන් අවදානම මෙතැනත් යළි ගෙනහැර දක්වමි…ශ්‍රව්‍ය, දෘෂ්‍ය, සචල-අචල පටිගත කිරීමෙ පහසු කම් සුලභ, ඒවා ප්‍රචාරය කිරීම සඳහා නාමික සහ නිර්ණාමික මාධ්‍යයන් සුලභ මෙවැනි වකවානුවක, අප සහ අපගේ ළබැඳියන්ගේ ජීවිත ඇත්තේ විශාල අන්ත්‍රායකය…අපගේ එක් සුළු නොසැලකිලිමත් මොහොතක් අපව ඒ ප්‍රහාරයට ගොදුරු කරවන වස්තු බීජය විය හැක…

දැන් සතිපතා ලාංකික සයිබරයෙ සිද්ද වෙන්නෙ මොකක්ද?…හිතන්න මෙහෙම….කවුරු හරි සතියක් පුරා ගමක පිට්ටනියකට කාන්තාවක් ඇදගෙන ඇවිත් ඇයව ප්‍රසිද්දියෙ නිරුවත් කරලා රෑ එළිවෙනකල් දූෂණය කරනවා….ගමේ මිනිස්සු ඔය දූෂණය යන අතරෙ පිට්ටනිය වටේට කතුරු ඔන්චිල්ලා හදලා ටිකට් විකුණනවා…මාරක ළිඳක් ගෙනත් හයි කරලා මෝටර් සයිකල් ධාවනය පෙන්නනවා…මෙරි-ගෝ රවුන්ඩ් යනවා….ෂෝට් ඊට්ස්, කඩල, රට කජු විකුණනවා…සතිය පුරාම ඇයව සෑම දිනකම රෑ එළිවෙනකල් පිට්ටනිය මැද්දෙ දූෂණය කරනවා…සතිය පුරාම ඒ සිද්ධිය වටේට විශාල සැණකෙළියක් පවත්වනවා….මේක තමයි දැන් ඔබ සතිපතා දකින දේ…කවුරු හරි කාට හරි ප්‍රහාරයක් ආරම්භ කළාම අනෙක් අය දහස් ගණනින් එකතු වෙලා සිය නිර්මාණශීලීත්වය පාවිච්චි කරලා ඒ ප්‍රහාරය විවිධ අයුරින් හැඩවැඩ කරනවා…

සුළං රැල්ලකට ඔබේ නංගි ඇඳන් ඉන්න ගවුම ඇයට නොදැනුවත්ව පොඩ්ඩක් උඩ යෑම, ඔබේ බිරිඳට වෙළඳ පොළේ වෙළෙන්දෙකු සමග බහින්බස් වීමට සිදුවීම, ඔබේ පෙම්වතිය මගදි ඇයට සිදුවන හිංසාවකට ප්‍රතිචාර දැක්වීම, ඔබේ මිතුරියට මාරු සල්ලි නොදුන් කොන්දොස්තරගෙන් මාරු සල්ලි ඉල්ලා සිටීම වැනි සිදුවීමක් ඇය දහස් ගණනක් සහභාගී වන සයිබර් විනෝද සැණකෙළියක ඉලක්කය කරන්න හොඳටම ප්‍රමාණවත්....අද අනුන් වටා ඉදිවන සයිබර් සැණකෙළි වල ඔබ ලබන වින්දනය එදාටත් ඔබට ලබන්න හැකිනම්, “මගේ නංගි, පෙම්වතිය, අම්මා, යෙහෙළිය සමාජයේ නිර්මාණශීලීත්වය ඔප් නැංවීමට දායක වූවා” නේදැයි ඔබට චිත්ත ප්‍රීතියට පැමිණිය හැක….

එහෙම බැරි නම් ඉතින් කවුරු හරි කාන්තාවක් පිට්ටනියක් මැදට ගෙනත් නිරුවත් කරලා දූෂණය කරනකොට, එතන වටේට බකට් එල්ලලා, ලයිට් වැල් දාලා ලස්සන කරන්න යන්නෙ නැතුව ඉන්න එක නුවණට හුරුයි කියලා නිකන් හිතාගත්තට වරදක් නෑ….නිකමට කියන්නෙ මේ…ගුරුහරුකම් උපදෙස් දෙනව එහෙම නෙමෙයි…වැඩිය ගණන් ගන්න එපා…

සයිබර් කැළණි ගඟට දැවිතෙල් දමන්න එපා…මක් නිසාද ඔබේ පයිප්පයට එන්නේත් ඒ ජලයමයි….