සුජී ප්‍රස්තුතය – රුදාවට කරන පසු කියැවීම

මෙයට පෙර මේ සම්බන්ධයෙන් ලියන ලද ලිපියට, මෙවන් උඩුගං බලා පිහිණීම් වල යෙදෙන අතළොස්සට එල්ලවන්නා වූ සරලතම චෝදනාව වන “සදාචාරවාදියා” යන චෝදනාව ( මා මෙය චෝදනාවක් ලෙස පිළිගන්නේ මා සදාචාරවාදියෙකු නොවන නිසාය…මම පව් කර ඇති නිසා ගල් ගැසීමෙන් වැළකී සිටිමි…සදාචාර වාදියෙකු වන්නට හැක්කේ කවර කළකවත්, සිහිනෙන්වත්, රහසින් වත් පවු නොකළ කෙනෙකුටය..) මෙම ලිපිය බුකියට ගිය පසුව අපටත් එල්ල වී ඇත…ඒ නිසා යමක් ලිවිය යුතුය…මට සදාචාර වාදියෙක් වෙන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ…මොකද මම පව් කරපු, පව් කරන සහ ඉදිරියටත් පව් කරනු ඇතැයි සිතන සාමාන්‍ය මනුෂ්‍යයෙක්…මම විමුක්තිකාමියෙක් නෙමෙයි….කාටවත් විමුක්තිය උදාකර දෙන්න, රට හදන්න, සමාජය හදන්න මට රුදාවක් නෑ….ඊට වඩා හොඳයි කීයක් හරි හම්බ කරගන්න එක….නමුත් මේක ගැන මෙච්චර ලියන්නෙ ඇයි කියලා කියෙව්වාම වැටහෙයි…

නිකොලායි නෝසොව් ගැන 80 දශකයේ ළමා කාලය ගත කළ සියල්ලෝම අසා ඇතුවාට සැක නැත….දැදිගම රුද්‍රිගු ශූරීන් විසින් ලක්දිව ළමා පරපුරට දායාද කරන ලද නෝසොව්ගේ “The Adventures of Neznaika and His Friends” හෙවත් “වැඩබැරි දාසගේ කථා” උක්ථ කුළකයට අයත් අය පරිශීලණය කර ඇතැයි සිතමි…මේ කථා මාලාවේ එන “වැඩබැරි දාස චිත්‍ර ශිල්පියෙකු වූ හැටි” පොත සිහියට නගා ගන්න…

වැඩබැරි දාසගේ සංගීත වාදනය අසා ඔහු එළවා ගත්තායින් පසුව හෙතෙම චිත්‍ර ඇඳීමට තීරණය කළා..මේ චිත්‍ර වලට ඔහු වස්තු බීජය කරගත්තේ ඔහුගේම යහළුවන් … උදා: කඩිනම් රාළ, ඈනුමා, බොත්තම් පැංචා, දක්ස පාල, එරඬු තෙල් දොස්තර, ඉස්කුරුප්පුවා සහ මුරිච්චියා ආදීන්…වැඩබැරි දාස මේ යාලුවන් විෂය කරගෙන අඳින චිත්‍ර වලදී ඒ යාලුවන් නියැළෙන වෘත්තීන්ට සම්බන්ධ යම්කිසි උපාංගයක් ඒ යාලුවන්ගේ ශරීරාංගයට එකතු කරලා ඇන්දා…උදා: එරඬු තෙල් දොස්තරව ඇන්දෙ නහයට උණකටුවක් සම්බන්ධ කරලා, තමන්ගේ චිත්‍ර ගුරු වෙච්ච වර්ණපාල ව ඇන්දේ නහයට පින්සලක් දාලා….දක්සපාලව ඇන්දේ පොතක් ඔලුවට අලවලා….රැයක් එළිවෙනකල් මෙයා ඒ ගෙදර ජීවත් වෙච්ච අනෙක් අයගේ චිත්‍ර ඇන්දා…ඇඳලා පහුවදා උදේ යාලුවො ටික අවදි වෙනකොට ඇවිත් බලන්න ප්‍රදර්ශණයක් හදල තිබ්බා…

උදෙන්ම අවදි වෙච්ච එක් එක් යාලුවා පහළට ඇවිත් චිත්‍ර බැලුවා…උදා: මුලින්ම අවදි උනේ එරඬු තෙල් දොස්තර…එයා පහළට ඇවිත් අනෙක් යාලුවන්ගේ චිත්‍ර බලලා, ඒවායේ විකෘතීන්ට බඩ අල්ලගෙන හිනා උනා…හිනා වෙන ගමන් මෙහෙම කිව්වා…

” වැඩබැරි දාස හැබෑ දක්ෂයෙක්….මගේ ජීවිතේට මම මෙච්චර හිනා වෙලා නෑ”

හැබැයි ඔහොම චිත්‍ර බලාගෙන, බලාගෙන ඇවිල්ලා අන්තිමේදි තමන්ගේ ( ඒ කියන්නෙ එරඬු තෙල් දොස්තරගේ) චිත්‍රෙ ළඟට ආවා විතරයි කෝපයෙන් වෙව්ලන්න ගත්තා….ඊට පස්සෙ ප්‍රතිචාරය උනේ මෙහෙමයි…

“වහාම ඉරනවා මේ චිත්‍රෙ….!…නැත්තන් මම තමුසෙට මීට පස්සෙ බෙහෙත් කරන්නෙ නෑ”…..

අන්තිමට දොස්තරගෙ ගෝරනාඩුව නිසා ඒ චිත්‍රෙ ඉරන්න වැඩබැරි දාසට සිද්ද උනා….

ඔය විදියට පහළට එන අනිත් යාලුවොත් අනුන්ගෙ චිත්‍ර වලට උඩ පැන පැන හිනා උනා…අන්තිමට තමන්ගෙ චිත්‍රෙ ආවාම කෝපයෙන් ගොරවලා “ඉරපිය!” කිව්වා….

දැන් ඔය කථාව ඇප්ලයි කරගන්න මේ දිනවල සිද්ද වෙන සමූහ සයිබර් හිංසනයන්ට එකතු වෙන අය….

ඔෂානි, බී.එම්.ඩබ්ලිව් එකෙන් ආපු කාන්තාව, මේ කථා ප්‍රස්තුතය වෙච්ච මැද පෙරදිග කාන්තාව, වාරියපොළ අමල්කා, ඔය හැම කෙනෙක්ටම තළු මර මර දහස් ගණනක් එකතු වෙලා පහර දෙනවා…ඒ අය කියපු දේවල් වලින් උප-සංස්කෘතික ටැග් ලයින් හදා ගන්නවා…නේද?…ඒ අය වෙනුවෙන් හෝ ඒ අය විසින් හදපු පේජ් වලට ගිහින් පතුරු යන්න ගහනවා…කමෙන්ට් කියවලා විනෝද වෙනවා…ඒ කමෙන්ට් වල තියෙන සුපිරි නිර්මාණශීලීත්වය ඇගයීමට ලක් කරනවා…අදාළ ප්‍රහාරයේ වින්දිතයො වෙච්ච අයට “ලණුවක් එවන්නද? සාරියක් එවන්නද?” කියලා අහනවා…මොකද සවිඥාණිකව ඒක විහිළුවට කිව්වට, අවිඥාණිකව අදාළ යෝජනාව කරන අය ඒ වින්දිතයන්ට නිර්දේශ කරන්නෙ සිය දිවි හානි කර ගැනීමෙන් මේ අපහාසයෙන් මිදෙන්න කියලා…

මේවා හරි රසවත්…මාර රස වින්දනයක් ගන්න පුළුවන්…ඒ කමෙන්ට් එහෙම වෙන වෙන තැන්වල ගෙනත් යාලුවන්ට කිව්වාම මාර රසවත්….තමන් Latest Trend එක Follow කරන, මොඩර්න් පොරක් හෝ පොරියක් කියලා යාලුවන්ට පෙන්න ගන්න පුළුවන්…එතකොට කෙල්ලො හිනස්සලා, ඒ කෙල්ලන්ට Popular creative අයියා කෙනෙක් වෙන්න පුලුවන් නේ…?…වාසි ගොඩයි….

උදා: ” ඔය ෆෝන් එක දීපන් ළමයෙකුට” කියන එක…එතකොට “ඔය ත්‍රෙඩ් කියවන්න යන අය චුවින්ගම් අරගෙන යන්න”…”කමෙන්ට් බලන්න යන අයට කඩල, රටකජු” වගේ ඒවා..

මිනිස් සමාජය මුලින්ම මේ භෞතික ලෝකයේ, ඒ කියන්නේ ග්‍රහ ලෝකයේ පොළව මත අනුක්‍රමිකව පරිණාමය උනා…අමු අමුවෙ ගොදුරු සොයන, අමු අමුවෙ ලිංගික එක්වීම ලබා ගන්නා තැනින් ක්‍රමයෙන් ආවා ඒවාට නීති, රීති පනව ගත්තු තැනකට…ඊට පස්සෙ ආවා ඒ නීති රීති ටික ටික සුමට වෙන තැනකට…කවුරු හරි වැරදි කාරයෙක් කියල කටකථාව ගිය ගමන් කට්ටිය සෙට් වෙලා ඒ කෙනාට ගල් ගහල මරණ තැන ඉඳලා, ගරු අධිකරණයක සංකීර්ණ නෛතික ක්‍රියාදාමයකින් සියළු සැකයෙන් තොරව යම් කෙනෙක් වරද කරුවෙක් කියලා ඔප්පු කරලා දඬුවම් දීම දක්වා ආවා…

මේ සයිබර් එක කියන්නෙ වර්චුවල් ග්‍රහලෝකයක්….මේ පෘතුවිය නම් වූ භෞතික ග්‍රහලෝකයේ සමාජ පරිණාමයෙන් අපි “මැග්නා කාර්ටා, ඉංග්‍රීසි විප්ලවය, ප්‍රංශ විප්ලවය, පුරවැසි අයිතිවාසිකම් කෙටුම්පත්, මානව හිමිකම් ප්‍රඥප්ති” පහුකරගෙන හුඟක් දුර ඇවිත් හිටියට, සයිබරයේ මිනිස් වර්ගයා ලබපු දෙවැනි උප්පත්තියෙන් පසුව තාම එතන සමාජ පරිණාමය තියෙන්නෙ ගල් යුගයෙ….ඒ කියන්නෙ අපි පෘතුවි ග්‍රහ ලෝකයේ කෙතරම් දුර ආවත්, සයිබර් ග්‍රහ ලෝකයේ මුළ ඉඳන් යන ගමනක තාම ඉන්නෙ මුල හරියෙ….ඒ කියන්නේ සමූහ වශයෙන් සතුන් පස්සෙ එලවලා, ඌව අමු අමුවෙ මරාගෙන ලේ පිටින් පුච්චගෙන කාලා, ගිණි මැළයක් වටේ නටලා, “ටෝටම්” එකකට පසඟ පිහිටුවලා වැඳලා, ගල් ගුහාවට වැදිලා ස්ත්‍රියක් බලහත්කාරයෙන් හෝ කැමැත්තෙන් හාන්සි කරගෙන රමණය කරන යුගයෙ….

නිකමට හිතන්න ඔබ මේ නූතන සමාජයේ ඉඳලා එක පාරට ක්ෂුද්‍ර කුහරයක් හරහා රජ කාළෙට විසි වෙනවා….ඔබ මොනතරම් පරිස්සම් වෙන්න ඕනද?….අද කාලේ ලෙඩවලට තියෙන බෙහෙත් ඒ කාලෙ නැහැ….අද තියෙන මානව හිමිකම්, පුද්ගල අයිතිවාසිකම්, දියුණු නීතිය ඒ කාලෙ නෑ….අද තියෙන විවෘත භාවය ඒ කාලෙ නෑ….වන සතුන් සහ වනය ඔබ මත ආධිපත්‍ය පතුරුවන, ප්‍රාථමික දේශපාලන ව්‍යුහයක් තියෙන ඒ කාලෙ ඔබ මොනතරම් පරිස්සම් වෙන්න ඕනද රැකිලා ඉන්න…?…සයිබරයත් ඒ වගේ තමයි කියලා වෙලාවකට හිතෙනවා….

කාව හෝ ඉලක්ක කරගෙන කරන දරුණු සමූහ හිංසනයක් අතරෙ තමන්ගේ නිර්මාණශීලීත්වය පෙන්නලා පොරක් වෙන්න කදිම අවස්ථාවක් පෑදෙනවා….අපිත් ඔය වින්දනය කාළයක් ගත්තා…..

අරාජික හිංසනය අනුමත කරන කිසිම කෙනෙක්, ඒකෙන් ලබන වින්දනය උපරිමෙන් අරගෙන එහෙම ගන්න එක සාධාරණීකරණය කරන කිසිම කෙනෙක්, තමන් හෝ තමන්ගේ ආදරණීයයන් ඒ ප්‍රහාරයට යම් දවසක ලක් වුනොත් “හිස ගිනි ගත්තෝ එගිනි නිවන ලෙස” සාධාරණය, යුක්තිය සොයාගෙන දුවනවා මිසක්, එදාටත් “අඩෙ අප්පා මාර ක්‍රියේටිව්” කියලා ඒ ප්‍රහාරය රස විඳින්නෙ නැහැ…..

තමන්ගෙ අම්මට, නංගිට, පෙම්වතියට, ළඟම මිතුරියට ඔය වගේ සමූහ සයිබර් ප්‍රහාරයකට මුහුණ දෙන්න උනොත්, එදාට මුහුණ අඳුරු කරගෙන, ද්වේෂයෙන් වෙව්ලමින්, නිහඬව, හිස පහතට නමාගෙන, අදාළ ප්‍රහාරකයන්ගෙන් පළි ගන්න හැටි කල්පනා කරනවා මිසක් “අඩෝ මොනව උනත් ඒකිට අරුන් කියල තියෙන ඒවට හිනා යනවා මචං…ඒවා ආතල් මචං…පට්ට ක්‍රියේටිව්!” කියාගෙන මිතුරන් අතරට යන කිසිවෙක් නැතැයි උපකල්පනය කරමි…

මේ පාඩම ඔබට එක්කෝ පහසු විදියෙන් ඉගෙන ගත හැක….නැතිනම් අමාරු විදියෙන් ඉගෙන ගත හැක….මින් පෙර මේ ගැන ලියන ලද ලිපියේ අවසානයට මෙම ලියුම්කරුවා පෙන්වා දුන් අවදානම මෙතැනත් යළි ගෙනහැර දක්වමි…ශ්‍රව්‍ය, දෘෂ්‍ය, සචල-අචල පටිගත කිරීමෙ පහසු කම් සුලභ, ඒවා ප්‍රචාරය කිරීම සඳහා නාමික සහ නිර්ණාමික මාධ්‍යයන් සුලභ මෙවැනි වකවානුවක, අප සහ අපගේ ළබැඳියන්ගේ ජීවිත ඇත්තේ විශාල අන්ත්‍රායකය…අපගේ එක් සුළු නොසැලකිලිමත් මොහොතක් අපව ඒ ප්‍රහාරයට ගොදුරු කරවන වස්තු බීජය විය හැක…

දැන් සතිපතා ලාංකික සයිබරයෙ සිද්ද වෙන්නෙ මොකක්ද?…හිතන්න මෙහෙම….කවුරු හරි සතියක් පුරා ගමක පිට්ටනියකට කාන්තාවක් ඇදගෙන ඇවිත් ඇයව ප්‍රසිද්දියෙ නිරුවත් කරලා රෑ එළිවෙනකල් දූෂණය කරනවා….ගමේ මිනිස්සු ඔය දූෂණය යන අතරෙ පිට්ටනිය වටේට කතුරු ඔන්චිල්ලා හදලා ටිකට් විකුණනවා…මාරක ළිඳක් ගෙනත් හයි කරලා මෝටර් සයිකල් ධාවනය පෙන්නනවා…මෙරි-ගෝ රවුන්ඩ් යනවා….ෂෝට් ඊට්ස්, කඩල, රට කජු විකුණනවා…සතිය පුරාම ඇයව සෑම දිනකම රෑ එළිවෙනකල් පිට්ටනිය මැද්දෙ දූෂණය කරනවා…සතිය පුරාම ඒ සිද්ධිය වටේට විශාල සැණකෙළියක් පවත්වනවා….මේක තමයි දැන් ඔබ සතිපතා දකින දේ…කවුරු හරි කාට හරි ප්‍රහාරයක් ආරම්භ කළාම අනෙක් අය දහස් ගණනින් එකතු වෙලා සිය නිර්මාණශීලීත්වය පාවිච්චි කරලා ඒ ප්‍රහාරය විවිධ අයුරින් හැඩවැඩ කරනවා…

සුළං රැල්ලකට ඔබේ නංගි ඇඳන් ඉන්න ගවුම ඇයට නොදැනුවත්ව පොඩ්ඩක් උඩ යෑම, ඔබේ බිරිඳට වෙළඳ පොළේ වෙළෙන්දෙකු සමග බහින්බස් වීමට සිදුවීම, ඔබේ පෙම්වතිය මගදි ඇයට සිදුවන හිංසාවකට ප්‍රතිචාර දැක්වීම, ඔබේ මිතුරියට මාරු සල්ලි නොදුන් කොන්දොස්තරගෙන් මාරු සල්ලි ඉල්ලා සිටීම වැනි සිදුවීමක් ඇය දහස් ගණනක් සහභාගී වන සයිබර් විනෝද සැණකෙළියක ඉලක්කය කරන්න හොඳටම ප්‍රමාණවත්....අද අනුන් වටා ඉදිවන සයිබර් සැණකෙළි වල ඔබ ලබන වින්දනය එදාටත් ඔබට ලබන්න හැකිනම්, “මගේ නංගි, පෙම්වතිය, අම්මා, යෙහෙළිය සමාජයේ නිර්මාණශීලීත්වය ඔප් නැංවීමට දායක වූවා” නේදැයි ඔබට චිත්ත ප්‍රීතියට පැමිණිය හැක….

එහෙම බැරි නම් ඉතින් කවුරු හරි කාන්තාවක් පිට්ටනියක් මැදට ගෙනත් නිරුවත් කරලා දූෂණය කරනකොට, එතන වටේට බකට් එල්ලලා, ලයිට් වැල් දාලා ලස්සන කරන්න යන්නෙ නැතුව ඉන්න එක නුවණට හුරුයි කියලා නිකන් හිතාගත්තට වරදක් නෑ….නිකමට කියන්නෙ මේ…ගුරුහරුකම් උපදෙස් දෙනව එහෙම නෙමෙයි…වැඩිය ගණන් ගන්න එපා…

සයිබර් කැළණි ගඟට දැවිතෙල් දමන්න එපා…මක් නිසාද ඔබේ පයිප්පයට එන්නේත් ඒ ජලයමයි….

Advertisements

11 thoughts on “සුජී ප්‍රස්තුතය – රුදාවට කරන පසු කියැවීම”

  1. මේ පිළිබඳව කියවූ හොඳම සහ එකම බ්ලොග් සටහන. ඔබට ස්තුතියි

    රොටියා

  2. ඔබ කියන කතාව සම්පූර්ණ ඇත්ත,ඒත් ඔයා මෙතන කියලා තියෙනවා,මේ විදියට වැඩ කරන කොටින්ම සින්හලෙන් කියනවා නම් සක්කිළි වැඩ කරන අයියලා නන්ගිලා අතර ජනප්‍රිය වෙනවා කියලා,මමත් බුකියේ ඉන්නවා,මේ දේ කොල්ලො කොල්ලො අතර ජනප්‍රිය වීර ක්‍රියාවක් උනාට,මම අදුනන බහුතරයක් ගෑණු ළමයි මේ බුකි වීරයින්ව තමන්ගේ හිතේ වීරයා කරගන්නේ නෑ,ජීවිතේට උදව්වක් ඉල්ලන්නෙත් නෑ,මොකද මේ සයිබර් වීරයන් කියන්නේ සක්කිළි ජාතියක් බව ඔවුන් දන්නවා,මෙහෙම දේකුත් තියෙනවා,මෙහෙම තවත් ඉදිරියට ගියොත් අපේ සින්හල ජනතාව තමන්ගේ අම්මගේ නිරුවත් පොටෝ බුකියේ දාගෙන පොරක් වෙන්න තනන දවස වැඩි ඈතක නැති බවයි මටනම් පේන්නේ,ඒ තරම්ම මානුෂිකත්වයක් නැති කුහකයෝ රැලක් ඉන්නේ ඔය බුකි වීරයෝ අතර

  3. //////මෙය ප්‍රශ්තුතයට කිසිසේතම අදාළ නොවේ.//////
    දමිත් දැන් “සීපා” ගැන කසු කුසුවක් කරළියට ඇවිත්
    මොකද්ද හැඹෑටම මේ “සීපා” ?
    උගුලක්ද මර උගුලක්ද
    එහෙම නැත්නම් ඉණිමගක් ද?
    මොනවද මේ සීපා ගැන අපේ රටේ සාමාන්‍ය ජහමනයා
    දැන ගන්නඩ ඕනේ
    ඔබේ අදහස ???????????????????????????????
    මේ සීපා ගැන ඉදිරි ලිපියකින්
    මෙහි පල කරන්න පුලුවන්ද ? ? ?

  4. යථාර්තවාදී ලෝකය කීබෝර්ඩ් හරහා හවසට සයිබරය නැමති වර්චුවල් රියැලටියකට ගෙනත් අත අරින්න ලැබිලා තියෙන අලුත් අත්දැකීම රසකර කර විඳින මිනිස්සුන්ගේ ඒ ෆැටසික ආශා උන්ගේම යථාර්තයට කෙළවන්න පටන් අරන්. උන්ගේම යථාර්තයට බලපෑම් කරන්න පටන් අරන්.

    ඒ ආශා ෆැන්ටසික ලෝකයක මුදුන්පත් කරගන්න යන එකෙන් පහුවදා උදේ උන් නැගිටලා අඩිය තියෙන සැබෑ ලෝකෙට වෙන බලපෑම ගැන තව සැරයක් හිතන්න උවමනාවක් ඇතිවෙන මට්ටමට ඒ බලපෑමේ තිත්ත දැනිලා නෑ තවම.

    දවල් කොහෙන් හරි කැමරා ෆෝන් එකකින් වීඩියෝ කරගත්ත උන්ගේම යථාර්තයක් රෑ සයිබර් අවකාශයකට මුදා හැරලා ඒක දිහා බලාගෙන ස්වයංවින්දනය කරනවා. හරියට තමා තමාවම වීඩියෝ කරන් ඒක බලාගෙන අතේ ගහනව වගේ වැඩක්.

    උන් ඔක්කෝම ඉන්නේ එකම බෝට්ටුවේ කියන සරල ඇස්පනාපිට තියෙන ඇත්ත සයිබර අවකාශයේදී හොයා යන තෘප්තියට වැහිලා යටවෙලා ගිහින්.

    පුතා විසින් ඝාතනය කලා යැයි කියන අම්මාට අනුකම්පාවෙන් සයිබර් නිර්මාණකරුවෙක් අතින් ලියවෙන කවියකට උඩින් පොල්අතු වලින් වසන ලද ඇයගේම නිරුවත් මළසිරුරේ ඡායාරූපය පළවෙන්නේ මේ අනුවයි.

    මේවා කාලයත් එක්ක විසඳෙයි කියල හිතෙනවා. මිනිස්සු මේවට කාලයත් එක්ක හැඩගැහෙයි කියල හිතනවා.

    ඒත් එහෙම වෙන්න කලින් සෑහෙන මිනිස් හැඟීම් සහ ජීවිත ප්‍රමාණයක් සයිබර් දංගෙඩියට බිලි වෙලා තියේවි.

    1. බණ්ඩෝ!

      මගේ බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිළිගන්නවා !

      පළවෙනි කරුණ

      මේ දෙලොව අතර සිදුවන සම්ප්‍රේෂණයට අමතරව, සරලවම කිව්වොත් අපරාධ රස වින්දනය කිරීමක් අපේ සමාජයේ තියෙනවා…ඒකට මම “අපේ සමාජයේ” කියන විශේෂණය යෙදුවෙ, අපට අපරාධ දැකීමේ හෝ ඇසීමේ අවුලක් තියෙන බවක් පේන්න නැති නිසා… උදා: බටහිර රටක බෝම්බ පිපිරීම, මනුෂ්‍ය ඝාතනයක් එහෙම සිදුවුනොත් රූපවාහිනිය ප්‍රමුඛ අනෙක් මාධ්‍ය වල අදාළ වින්දිතයන්ගේ මෘත දේහ කිසිසේත්ම පෙන්නන්නෙ, ඡායාරූප ඵල කරන්නෙ නෑ….ඒ සමාජයේ බහුතරයක් ජනතාවට ඒක මානසික පීඩනයක්, හෝ සංකූලත්වයක් ඇතිකරන නිසා..අපේ සමාජයේ නිරුවත්, කුණුවී ගිය මළ සිරුරු ඇති පදම් පෙන්නනවා…. නමුත් බහුතරයගෙන් එයට ප්‍රතිරෝධයක් නෑ…මම පුද්ගලිකව දන්න සමහර අය ඉන්නවා දූෂණය කරලා සිදුකළ ඝාතනයක් කිව්ව ගමන් මිනිය පේන්න තියෙනවද කියලා මාධ්‍ය පීරලා හොයන….

      දෙවනි කාරණය

      මිනිසාට අපරාධ- ප්‍රචණ්ඩත්වය සහ බලහත්කාරය සමග බැඳුණු ශෘංගාරයක්, කාමයක් තියෙනවා….බොහෝ මැමාලියා වරුන්ට පොදු ලක්ෂණයක් තමයි, පිරිමි සතා ගැහැණු සතා වෙනුවෙන් තරඟ වැදී, ඇගේ සීමාව ආක්‍රමණය කොට, ඈ ලිංගික එක්වීම සඳහා යටත් කර ගැනීම… එහිදී තමා සතු අධි ශක්තිය යොදාගෙන, ලිංගිකව එක්වී ගර්භනී භාවයට පත්වීමෙන් වැළකීම සඳහා ගැහැණු ජීවියා දරන සියළු උපක්‍රම නිෂ්ප්‍රභා කර, ඇයව පරාජයට පත් කිරීමට අවශ්‍ය සාහසිකත්වය සාර්ථක මැමාලියා පිරිමි ජීවියෙකුට සොබාදහම තිළිණ කරනවා….

      ශිෂ්ඨාචාරගත වුනත් මනුෂ්‍ය පිරිමියාගෙත් මේ Animal Instincts ( Mating Aggression) තියෙනවා….ඒකට පිටුපාන්න ඔහුට බෑ…එතනදි සතුන්ගේ ලිංගිකත්වය සීමා වෙන්නේ අදාළ පිරිමි ගැහැණු සතුන්ගේ ලිංගාවයවයන් එකිනෙක හා මුහුවීමෙන් පමණක් උනාට, දියුණු මොළයක් සහ ප්‍රකෘතියක් සහිත මිනිසාගේ ලිංගික ෆැන්ටසිය එයට වඩා වෙනස් සංකීර්ණ ආශාවන් වලට දුවනවා….ඒවායින් සමහරක් පිරිමියාට ලිංගික උත්තේජනය ලබා දුන්නත්, ක්‍රියාකාරකම් හැටියට සෘජු ප්‍රජනනයට අදාළම නෑ….

      මේ තත්වය ගැන පැහැදිලි කිරීමක් කරන්න මම බුකියේ හිටපු කාළයේ දාපු ස්ටේටස් එකක් මතක තියෙන හැටියට මෙතන දැම්මොත්:

      අපේ මුද්‍රිත මාධ්‍ය කරුවන්ගෙන් බහුතරය ප්‍රේමවතී මනම්පේරි ගැන වාර්ථාවක් ලියන්න ගියොත් එය සකස් කරන්නෙ මෙහෙමයි..

      1971 කැරැල්ල සහ ආශ්‍රිත සමාජය ගැන හැඳින්වීම – ලිපියෙන් 5%

      ප්‍රේමවතී මනම්පේරි හඳුන්වා දීම – ලිපියෙන් 5%

      ප්‍රේමවතී අත් අඩංගුවට ගැනීම සහ ප්‍රශ්ණ කිරීම – ලිපියෙන් 10%

      ප්‍රේමවතී නිරුවත් කිරීම සහ පාරේ ඇවිද්දවීම – ලිපියෙන් 60%

      ප්‍රේමවතීට වෙඩි තැබීම, පණපිටින් වළ දැමීමට සැරසීම, කරාබු අම්මාට යැවීම, දෙවනි වෙඩි තැබීම, මරණ‍ය – ලිපියෙන් 10%

      පසු විපරම, නඩු විභාගය, මරණ පරීක්ෂණය සහ නඩු තීන්දුව – ලිපියෙන් 10%

      අපි භයානක අපරාධ කියවලා එහි ශෘංගාරයට සහ කාමයට ඇති සබැඳියාව ඔස්සේ හැඟීම් සහ ලිංගික තෘප්තිය කිති කවාගන්න කැමතියි…මේ Impulse Aggression කියන මනෝභාවය වෙනත් රටවල අයටත් තියෙනවා…

      නමුත් වඩා දියුණු නිදහස් රටවල මේ මානසික තත්වය තුල මතුවන අවශ්‍යතා සංතෘප්ත කරගන්නේ අධ්‍යක්ෂණයෙන් නිර්මිත “රංගනයන්” බලලා…උදා: අත් පා බැඳ, මුව වසා කාන්තාවන්ට පීඩා කරන දර්ශණයක් ශෘංගාරෝත්මදය කරගත් අයට ඒවා සඳහා කැමැත්තෙන් මුදළක් සඳහා ඉදිරිපත් වන නිළියන් යොදා කරවන ලද වීඩියෝ පට තියෙනවා මිළදී ගන්න” ඒක එකක් වෙලා තියෙනවා…ඒ රටවල අය දන්නවා මේක මේ විදියට අතථ්‍ය රංගන මාධ්‍යයක් හරහා පිට කරගන්න අවසර නොදුන්නොත්, ඒ හැඟීම් ප්‍රකාශ කරගත නොහැකිව ලතවෙන, තමන් ගැන පාලනය සහ දමනය නැති අය ඊළඟට මේවා සැබෑ දිවියේ අත්දකින්න උත්සාහ කිරීම සිදුවිය හැකියි කියලා….

      මේ ළඟදි National Institutes of Health – USA ආයතනයට පැමිණි එක්තරා 53 හැවිරිදි පුද්ගලයෙක් ප්‍රකාශ කරලා තිබෙනවා ඔහුට කාන්තාවකගේ දෑත් දෙපා බැඳ, කටට ටේප් අලවා ඇය වද විඳිනවා බලලා ලිංගික තෘප්තියක් ලැබීමට තිබුණු ආශාව සන්තර්පණය කරගැනීම සඳහා ඔහු අසල්වැසි කාන්තාවක් ඉලක්ක කරගෙන, දින කිහිපයක් ඇයට නොදැනෙන්න ඇගේ පසුපස යමින්, අවස්ථාවක් එනතුරු බලා සිටි බව…ඒ අතරේදී මෙයට ඔහුට ලැබිය හැකි නීතිමය දඬුවම් ගැන ඔහුටම බියක් ඇතිවෙලා තිබෙනවා… දැන් එක් පසෙකින් ඒ බියත්, අනෙක් පසින් ඉවසාගත නොහැකි ආශාවත් යන දෙකෙන්ම පීඩා විඳීම නිසා ඔහු එම ප්‍රදේශයේ මනෝ වෛද්‍ය උපදේශක වරයෙකු විසින් පවත්වාගෙන යනු ලබන සායනයක පිහිට පතනවා…මෙහිදී එම වෛද්‍යවරයා තාවකාළික ප්‍රතිකර්මයක් ලෙස නීත්‍යානුකූල ලෙස එරට පවත්වාගෙන යන වැඩිහිටියන් සඳහා වෙන් වූ වීඩියෝ කර්මාන්තයට ඔහුව යොමුකර තිබෙනවා…මෙවැනි වීඩියෝ අදාළ ලිංගික තේමා සහිත චිත්‍රපටි වල පමණක් රඟපාන නිළියන් යොදා පටිගත කර අන්තර්ජාලයෙන් විකුණන සමාගමක් සමග ඔහු සම්බන්ධ වී තිබෙනවා…අනතුරුව අදාළ සමාගම මෙම පුද්ගලයාගේ ඒ “අඳුරු ෆැන්ටසිය” තුළ කාන්තාවක් බැඳ සිටීම ඔහු දකින්නට ප්‍රිය කරන ආකාරය ගැන මෙම පුද්ගලයාගෙන් තොරතුරු ලබාගත්තා….ඒ ලබාගත් තොරතුරු වලට අනුව ඔවුන්ගේ නිරූපිකාවක් එසේ තබා වීඩියෝ ගතකර මෙම පුද්ගලයාට එවා තිබෙනවා…ඔහු එයින් ඉතාම ප්‍රීතියට පත්වූ අතර, ඔහුගේ අධික ආශාව එයින් සාධනීය ලෙස සන්තර්පණය වී තිබෙනවා….අවසානයේදී වසර 20 ක් පමණ ක්ෂමා රහිතව ෆෙඩරල් සිරගෙදරක ගත කරනවා වෙනුවට ඔහු ඩොලර් කිහිපයක් ගෙවා එම උවමනාව සපුරා ගත්තා…එයින් පසුව මනෝ උපදේශකයා විසින් ඔහුට ක්‍රම ක්‍රමයෙන් ඒ අඳුරු පරපීඩක ෆැන්ටසියෙන් ගැළවෙන ආකාරය උපදෙස් දුන්නා…අද ඔහු වයස 37 ක් වන පෙම්වතියක් සමග සතුටින් ජීවත්වන බව කියනවා…

      මේක ඔහුගේ වරදක් නෙමෙයි…අපි කාගේත් අඳුරු ෆැන්ටසි තියෙනවා…ඒවායින් දැඩිම ග්‍රහණය පවතින්නේ ලිංගිකත්වය සම්බන්ධයෙන්…ඒවගෙ වෙලාවට මේවා හංගනවාට වඩා මේවා විවෘත කර, විවෘතව ඒ ගැන කථා කිරීම සහ ඒ සම්බන්ධයෙන් අත්ථ්‍ය ආකෘතිමය විසඳුම් දීම තුළින් ඒ තත්වයන් පාලනය කළ නොහැකි තැනට ගිහින් සමාජ පරිහාණය ඇතිකරවීමෙන් වළක්වා ගත හැකියි…අපි සමාජයක් හැටියට මේ මානසික තත්වයන් ගැන විවෘතව කථා කරන්න බයයි….අදාළ පුද්ගලයා ඇමරිකාවෙ ජීවත් නොවී ලංකාවෙ හිටියා නම් මෙළහකට ඔහු සිරබත් කනවා….අර ඔහු ඉලක්ක කරගත් කාන්තාව මළවුන් අතර….

      මේ කාන්තාවන් විෂයෙහි එල්ලවන සමූහ පරපීඩක ප්‍රහාරයන් ඇසුරේ මම දකිනවා එහෙම දේකුත්….සාමාන්‍ය ලිංගික එක්වීමක් වුවත් නිසි වයසට ලබාගැනීම අතිශය දුෂ්කර සමාජයක ප්‍රචණ්ඩ කාමය සන්තර්පණය කර ගැනීම සඳහා “හිරේ නොයන” විදියක් හොයාගන්න හුඟක් අය උත්සාහ කරමින් ඉන්නවා….මේ වගේ කාන්තාවක් මැදිකරගෙන කරන සයිබර් ප්‍රහාරයන් තමයි ඒකට හොඳම විදිය….එහෙම එකක් දැක්කාම ඔවුන් එන්නෙ ඒ තමන් නීතියේ රැහැණින් ආරක්ෂා වෙමින් ඒ කාන්තාව හිංසනයට ලක් කරලා, ඇය දුක් විඳිනවා බලලා තෘප්තියක් ලබාගන්න..(Sadism)..ඇයට නිග්‍රහ කිරීම, හා ඇයට නිරුවත් වන්නට, ලිංගික චර්යා වලට එක්වන්නට නියෝග කිරීම තුළ ඔවුන් තම “ඉඩ්” කොටසේ ලිබිඩෝවට අවනත වෙනවා…ඔවුන්ගේ තමයි එතනදි සංකීර්ණ බුද්ධිය ඉක්මවා ඉස්මතු වෙන්නෙ Animal Instincts….

      අපේ සමාජය වගේ සංවෘත සමාජයක් මේ ස්වභාවික කාම චණ්ඩිකම් ගැන විවෘතව කථා කරලා, ශිෂ්ඨාචාරය තුල ඒවාට ගැළපෙන විසඳුම් සොයා දෙන්න විවෘත නෑ…ඉතින් මේ හැඟීම් වල තෙරපී එන ප්‍රචණ්ඩත්වය මිනිස්සු මුදාහරින්නේ සයිබරය වැනි තමන් භෞතික ශරීරය පැත්තෙන් ආරක්ෂිත ස්ථානවල….මේක ඔබට ඔය සමූල ප්‍රහාරක ත්‍රෙඩ් කියවනකොට පෙනේවි…

  5. ඔබ්වියස්ලි පෙනෙන නමුත් නැවත හයිලයිට් කරන කාරණය නම්, මේ ඔක්කොම සීන්ස් ගැහැණුන්ගේ දේවල්. මේ සමහරුන්ට ගැහැණු කියන්නේ මැජික් එකක්ද?

    ලිපිය හා එකඟයි. ප්‍රකාශනයේ නිදහස කියන්නේ වල්බූරු අවලම් කමක් නොවේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s