සුජී ! ඔය කථාව කියපන් ළමයෙකුට !

මේ දිනවල සමාජ ජාලයන්ගේ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති මැදපෙරදිග සේවය කරන මැදිවියැති ශ්‍රී ලාංකික කාන්තාව ළිබඳවය….

එම වීඩියෝ දර්ශණය ඔබලා මේ වන විටත් බලා නැත්නම් මෙන්න මෙතැනින් බලන්න යැයි “ලින්ක්” එකක් මෙතන ගෙනත් එල්ලීමේ පහත් ආශාවක් මට නැත…මක් නිසාද එය තලු මර මරා බැලිය යුත්තක් නොවන හෙයිනි….

මෙම ලියුම්කරුවා එක්සත් රාජධානියේ වසර 4 කට අධික කාළයක් අධ්‍යාපනය ලැබූවෙකි….එංගලන්තයට පය තැබූ පළමුවැනි දිනයේ දැනුනු අසරණ කම මතකයට එයි… එංගලන්තයට යන අප සැවොම එරටට පා තබන්නේ ලංකාවෙ ඉන්නවාට වඩා “209 ගුණයක් දුප්පත් වෙලා” ය…ඒ අපේ රුපියල් 209 කටම ඔවුන්ගෙන් ලැබෙන්නේ 1 පවුමක් පමණක් බැවිනි…එතැන් සිට අපට එදිනෙදා දිවියේදි අත්‍යාවශ්‍ය බොහෝ දේ 209 ගුණයක් මිළ අධික වී පෙනිය හැක….තේ කෝප්පයක් පවුම් දෙකහමාරකි….ඒ කියන්නේ රුපියල් පන්සීයකට වැඩිය…

අධික ශීතලේ සේවක අයිතිවාසිකම් රහිත සේවකයෙකු ලෙස කඩ සාප්පු වල එළිවෙන කල් වැඩ කළ හැටි, රාක්ක පිරවූ හැටි, බර කර ගැසූ හැටි, එහෙමත් කර ඒ පයින්ම විශ්ව විද්‍යාලයට ගොස් පන්ති කාමර වල නිදා වැටුණු හැටි, කාමර කුළිය ප්‍රමාද වූ දිනෙක ඒ කාමර අයිතිකරුවන්ගේ ගෙම්බර් බැලූ හැටි, බස් ගාස්තු ඉතිරි කරගනිමින් සැතපුම් ගණන් පයින් ගිය හැටි, වේල් ගණන් කුසගින්නේ හිටිය හැටි, මැවී පෙනෙයි…ඒක එක කල්පයක සිදුවූ දේ ලෙස බැහැර කර නොසිටිමි…එය මා වෛරය අධික මනුෂ්‍යයෙකු ලෙස හැඩ ගැස්වූ කාළයකි….ඒ ද්වේෂය, ඒ වෛරය, ඒ ඉච්ඡා භංගත්වය යළි යළි සිහියට නගමි…..සැමට දඩයම වූ ආහාර පිරමිඩයේ පහළම ස්ථරයේ සිටින සතුන් විඳින වේදනාව වින්දෙමි….ඒ වේදනාව හොඳින් දනිමි….

මේ වීඩියෝවේ දුරකථනයෙන් අමතන කාන්තාව මට වඩා කිහිප ගුණයක් දරුණු ඉරණමකට ගොදුරු වූ තැනැත්තියකි….අධ්‍යාපනයෙන් ජය ලැබීමත් සමගම මගේ දුෂ්කර ක්‍රියාව අවසන් විය… මෙතැන් සිට මා ගොදුරු නොවනු ඇතැයි අනුමාන කළ හැකි ඉරණමකට ඇය ගොදුරුව සිටින්නීය….මා තව දුරටත් ආහාර පිරමිඩයේ පහළම ස්ථරයේ නැත්තෙමි….ඇයට එම ස්ථරයෙන් කවදා හෝ මිදීමක් ඇතිද යන්නත් සැක සහිතය….

පිරිමියෙකු වන මට මුහුණ දෙන්නට සිදුව ඇති ව්‍යසනයන්ට වඩා බෙහෙවින්ම කර්කෂ ව්‍යසනයන්ට ගැහැණියක් වූ ඇයට මුහුණ දෙන්නට සිදුව ඇතිවාට සැක නැත….බාගදා අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් යන දෙකම ලිස්සා ගිලිහී ගොස්, ගහෙන් බිමට වැටී සිටින ඇයගේ හිස මතට උක්ථ අතු දෙකම කඩා වැටී තිබෙනවා විය යුතුය…

මෙලොව “ආදරයේ දේශකයන්” බහුලය….ආදරය කරන්නෝ විරලය…මට ඇය ගැන අමුතු ආදරයක් ඇති නොවේ… කොටින්ම කිව්වොත් ඇය මගේ පවුලේ අයෙකු නොවන නිසා මට ඇය ගැන ඇතිවන්නේ හිස් හැඟීමකි….මට මුළු ලොවටම ආදරය කරන්නට බැරිය….උවමනාවක්ද නැත…ඒ නිසා ආදරයේ දේශකයෙකු වන්නට මට උවමනාවක්ද නැත….

එහෙත් ඇය ගැන දුකක් ඇතිවේ…ඒ ඇය කුණු හරුප කියමින් මොර ගසන්නේ සකළ විධ සමාජ පීඩනයන් විඳ දරාගෙන, මිනිස් වනයේ ගොදුරු සොයන ප්‍රිඩේටරයන්ගේ දත් පහර, නිය පහර විඳිමින් යම් තැනක පය ගසාගෙන සිට උපයන සොච්චම, තමන් උපන් රට යැයි කියන තුන්වැනි ලෝකයේ හිඟන ගුබ්බෑයමක සිටින යම් කිසි නරුම අමනයෙකුගෙන් බේරාගෙන දරුවන්ගේ සුභ සිද්ධිය උදෙසා යොමු කරවීමට නිර්මාණය වී ඇති බාධකය නිසාය…

මේ නරුමයා ඇගේ සැමියාදැයි මා නොදනිමි… ඒ එවැන්නක් දුරකථන සංවාදයෙන් හෙළි නොවූ නිසාය….එහෙත් ඇයට දරුවන් සිටින බව පැහැදිලිව හැඟේ…. මේ මොහොතේ බාධකය වී ඇත්තේ ඇගේ ජීවිතයට සමීපතම පුද්ගලයෙකු විය හැක… ඔහු බේබද්දෙකු වන්නට ඇති බව කරන කථා බහෙන් හැඟේ….

ඇයට මව්බිම දුරස්ය…දරුවන් දුරස්ය…..අවකාශ-කාළයේ ඇගේ සටහන් එක් තැනකය….දරුවන් තවත් තැනකය…යා ගන්නට නොහැක….

ඇතුලතත් ගිනිය..පිටත් ගිනිය…දෙපා යටත් ගිනිය….ඉහට උඩිනුත් ගිනිය….මොර දෙනු හැර, කුණුහරුප කියනු හැර වෙන කුමක් කරන්නද?….

බොබ්කැට් ගෝල්ඩ්වෙත්ගේ “God Bless America” චිත්‍රපටිය සිහියට නැගේ…අපිත් ඒ වගේ අපූරු තැනකට එමින් සිටින්නෙමු….කාගේ හෝ වේදනාව අපට ප්‍රීතිය දනවයි…අපි මිනිසුන්ව සමූහ පෙළීමට ලක් කිරීමට කැමැත්තෙමු…එවන් අවස්ථාවක් ලැබෙන තුරු මග බලා සිටින්නෙමු…..මේ ඉල්ලුම කොතරම්දැයි ඊනියා “ගොසිප්” මාධ්‍ය දනිති….කාගේ හෝ වේදනාවක්, දුකක්, පීඩාවක් තවත් කාගේ හෝ දුරකථන කැමරාවක් හරහා සයිබරයට එන තෙක් ඉව අල්ලමින් සිටින ඔවුහු ඒවා වහා ඩැහැගෙන ගොස් ඵල කරති….

ඉක්බිතිව ඇරඹෙන්නේ ඒ සිද්ධිය “හිට්” වෙන යුගයයි….ඒවා හරහා අපූරු සමාජ කථිකා නිර්මාණය වෙති….බොහෝ නිර්මාණ කරුවන් ඒවා ඒ මේ අතට හරව හරවා සමාජයට ත්‍රිල් එකම සපයති….ත්‍රිල් වී, ත්‍රිල් වී, උපරිමයට ත්‍රිල් වී, අවසානයේදී සුරතාන්තයට පැමිණෙන සමාජය සති දෙකක් ගිය තැන ඒ සිද්ධියේ වින්දිතයන්ගේ හප කරනු ලැබූ කුණපයන් ඉතිහාසයට එක් කරති….එතැන් සිට ඒ ගැන කථා කිරීමක් නැත….ඉක්බිති සමාජය ගොසිප් මාධ්‍යවේදීන් තව නැවුම් කුණක් තමා සිටින ඌරා ළිඳට විසි කරන තුරු ළිං කට දෙසට මුව අයාගෙන සිටිති….

ඉතින් මෙම කාන්තාවගේ පීඩනයෙන්, ඉච්ඡා භංගත්වයෙන් ඔද්දල් වූ මොර ගැසීමෙන් මෙරට සයිබර් සමාජය ගනු ලබන වින්දනය තව දෙසතියකින් අවසන් වනු ඇත….ඉන් පසුව තවත් කෙනෙකු මේ වළට ගෙනවුත් දමනු ඇත….

“God Bless America” චිත්‍රපටියේ මෙන් කාගේ හෝ සුවිශේෂීතාවයන් නිසා ත්‍රිල් ගන්නා සමාජය මෙන්ම, ඒ සමාජ පීඩනය, සමාජ ප්‍රහාරය නිසා අමුතු ආතල් එකක් ගන්නා වින්දිතයන්ද අතරින් පතර සිටිති…ඔවුහු ඒ නාටකයේම, ඒ තිරපිටපතේම කොටස් කරුවෝය….ලංකාවෙ මෑතකදී අප එවැන්නියකට දුටුවේ “එක්ස් ඒලියන්” නම් ගීතය ගායනා කළ යුවතියයි…නමුත් ඉහත ප්‍රස්තුතගත දුරකථන පණිවිඩය දෙන කාන්තාව නම් තමාට එල්ලවන එවැනි සමාජ පීඩනයකින් ත්‍රිල් ගන්නා BDSM, Deliberate Self Harming (DSH), Sadism, Self Mutilation ප්‍රිය කරන තැනැත්තියක් නොවන බව සිතමි….

එමෙන්ම ඇය කිසියම් තිරපිටපතක හවුල් කාරියක් යැයිද නොහඟිමි…..ඒ නිසා ඒ වින්දිතයා මේ පීඩනය මේ වනවිටත් කෙසේ ගෙන ඇතිදැයි නොදනිමි….සයිබරය පුන පුනා මේ මොර ගැසීම එක් එක් විදියෙන් වහරනුත්, හුදී ජනයාද ඒ “කලු නිර්මාණශීත්වයට” සම්පූර්ණ සහයෝගය දෙනුත් ඇගේ පවුලේ අය දැනටම දැක ඇත්නම් ඒ අය මේක කොහොම ගන්නවාදැයි ද නොදනිමි….

මෙය ශ්‍රී ලාංකික සමාජයට පමණක් සීමා සහිත වූවක් නොවේ…නිපුණත්වයට අවිෂය මාධ්‍යකරණයක් පවතින සහ එයටම ගැළපෙන විශ්ලේෂකයන් සහ විස්තර විචාරකයන්, සහ විශේෂඥයන් සිටින ලෝක සයිබරයට මේ තත්වය පොදුය…. කැනඩාවේ ඇමැන්ඩා ටොඩ්, ටයිලර් ක්ලෙමෙන්ටි වැනි අය සිය දිවි නසාගන්නා තැනට තල්ලු කරනු ලැබීමෙන් මෙය වටහා ගත හැක….

යෝධ සයිබරය සතු අපරිමිත ශක්තිය හමුවේ අප සැමගේ ජීවිත අවදානමක පවතින බවක් නිකමට හැඟේ….හෙට මෙවැනි විඩියෝවක අපත් ඇතුළත් විය හැක…අවශ්‍ය වන්නේ අවිඥාණිකව යම් ක්‍රියාවක නිරත වීම, හෝ සප්‍රකෘතියෙන් කරතත් වටපිට ගැන හැඟීමකින් තොරව සිදුකිරීම පමණි….කෙටියෙන් කියතොත්, දැන් පෙර සේ දුර ගමනක් යන විට දැනෙන මූත්‍රා බර ගහකට, ගලකට අල්ලා හෑල්ලු කර ගැනීමට පෙර කිහිප වරක් සිතිය යුතුය….කෙහෙල් ලෙල්ලක් පෑගී ලිස්සා වැටීමට පෙර කිහිප වරක් සිතිය යුතුය….ඒ පසුවදා ඒ අවස්ථාව “ලංකාවෙ කොල්ලෙක් / කෙල්ලෙක් කෙහෙල් ලෙල්ලක් පෑගිලා වැටෙන අයුරු බලන්න එන්න” යන ශීර්ෂය සහිතව ගොසිප් අඩවියකට යෑමේ ඉඩකඩක් ඇති නිසාය….

යම් හෙයකින් එවැනි වීඩියෝවක පෙන්වන කෙල්ලෙකුට හෝ කොල්ලෙකුට කෙහෙල් ලෙල්ලක් පෑගී බිම වැටී “අම්මේ … රිදුණා” කිව්වොත් පසුවදා සිට “අම්මේ .. රිදුණා” යන වදන් පෙළ සයිබර් ප්‍රහසනයන් දහස් ගණනක දැකිය හැකිවනු ඇත….ඊනියා සයිබර් පෝස්ටර තේමා රාශියක “අම්මේ…රිදුණා” කියන වදන් පෙළ සමග අදාළ තරුණයාගේ හෝ තරුණියගේ මුහුණද දකින්නට ලැබෙනු ඇත….

මේ අවකාශයේ ඕනෑම දඩයමක් දඩයක්කාරයෙකි…ඕනෑම දඩයක්කාරයෙක් දඩයමකි….අද ඇයගේ දිනයයි…

Advertisements

5 thoughts on “සුජී ! ඔය කථාව කියපන් ළමයෙකුට !”

  1. මන් මේක විහිලුවක් කරගන්නවා දැක්කේ හුගාක් කාලෙකට කලින් සහෝදරයා,ඒක අපේ සමාජයේ සදාචාරයේ පිරිහීමම තමා,අද රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විහිලුවක් කරගන්න ස්වයන් වින්දිතයෝ ඕන තරම්,ඒත් ඒ ප්‍රශ්න වලට පුන්චි විසදුමක් උදව්වක් දෙන්න එකෙක් නෑ.හොදම ලොකුම විහිලුව ප්‍රසිද්ධ බ්ලොග් කරුවන් පවා මේ සිද්ධිය හෑල්ලුවට ලක් කරන එකයි,අන්න ඒ ගැනනම් කළකිරුණා අද.ඔබට මම ගරු කරනවා මේ වගේ කෝණෙකින් මේ සිද්ධිය දිහා බලපු එක ගැනම්,මොකද අපි වගේ හිතන මිනිස්සු සමාජේ හරි විරලයි,සමාජේ මහා කුණු ගොඩක් සහෝදරයා

  2. අම්මපා ඇත්ත මචං. මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් දාලා සක්කිලි විදිහට bite කරන්නනේ. අර ” අවසාන ප්‍රේමේ” කිව්වා කෙල්ලට බනින්නේ අනුන්ගේ සින්දු කිව්වා කියලා. අපි නිකන් clz එක්ක සින්දු කියද්දීත් කියන්නේ අනුන්ගේ සින්දු කියලා එකෙක්වත් හිතන්නේ නෑ.

    මේකට ගැලපෙන්න කතාවක් තියනවා. දෙන්නෙක් හොටෙල් එකක room එකක ඉද්දි දොරේ හිලෙන් එකෙක් බලනවා. එකා ඒ සිද්දිය තව එකෙක්ට කියනවා. මෙතන තියන ලොකුම වැරදි වැඩේ හොරෙනනුන්ගේ ඒවා බලපු එක.එත් මිනිස්සු බනින්නේ room එක ඇතුලේ හිටපු උන්ට.

    හරිනම් මේ වගේ සිද්දි වලදී බනින්න ඕනේ මේවා share කරන උන්ට

  3. ඔය සිද්ධිය ගැන ෆේස්බුක් එකේ කෙටුව සටහනම මෙතනත් දාන්නම්. ඔය’සුජී පෝන් එක දීපන් ළමයෙකුට’ වාක්‍යයට මමත් හිනා වුනා. හැබැයි මේ troll කිරීම දැන් ගාණට වැඩියි. ඒ නිසා ඒකට මුලින් හිනා වුන එක ගැන මම ලැජ්ජා වෙනවා දැන්.

    //”සුජී ඔය පෝන් එක දීපන් ළමයෙකුට”

    අදාළ වීඩියෝව නැවත නැරඹුවෙමි. කිසිවක් කියාගත නොහැකිව, සිතා ගත නොහැකිව ගල් ගැසී සිටිමි.

    තම සතුට, සැනසුම පසෙක දමා තුන් තිස් පැයේම දරුවන්ට හා සැමියාට කඹුරන, දැලි ගැසුණු වැරහැලි අඳින, කුස්සිය මුල්ලට වී බත් තම්බන, දරුවන් හා සැමියා ඒ බත් ගිල දැමූ පසු ඉතුරු බිතුරු අනුභව කරන, ඒ සියල්ල කිරීමෙන් පසුවද සිය පවුලට වගතුවක් නොවන බව දැන මැද පෙරදිග වහල් මෙහෙයට යන, එහිදී ශාරීරික, මානසික හා ලිංගික වශයෙන් දස වධ වලට ලක්වෙන, ඒ සියල්ලමත් විඳ දරාගෙන දරුවන්ට පාසල් යන්නට, සැමියාට කසිප්පු බොන්නට හා වෙනත් ගැහැණුන් පසු පස යන්නට මුදල් එවන සුවහසක් ශ්‍රී ලාංකේය අම්මාවරුන්ගේ හෙවත් ‘ගෙදර බුදුවරුන්ගේ’ කතාව මෙය විය යුතුය.

    මට මතක් වෙන්නේ හෙන්රි ජයසේනයන්ගේ ‘කුවේණි’ වේදිකා නාට්‍යයේ එන ගීතයකි.

    “සදා ඇය අප හා සිටින්නී දොරින් දොර සැම තැන වෙසෙන්නී
    එදා හෙලු කඳුලුත් රුහිරු බිඳු සදා අප වෙනුවෙන් හෙලන්නී
    සදාකාලෙම ලොව පහල වූ සදාකාලෙම ලොව පහල වන
    කුවේණියමයි එකම ගැහැණිය එදා උපනත් අද උපන්නත්

    ඇයයි දුක් පීඩා විඳින්නේ
    ඇයයි වද හිංසා දරන්නේ
    ඇයයි අවමානය ලබන්නේ
    ඇයයි යකිනිය නම් ලබන්නේ”

    මීට වඩා කිසිත් නොකියමි. ඒ වෙනුවට රටක් වශයෙන් අප පත් වී ඇති විලි ලැජ්ජා නැති තත්වය දෙස බැලීමෙන් ඇති වන ඉමහත් ශෝකය ද එම අවාසනාවන්ත තත්වය වෙනස් කිරීමට අබැටක් තරම් වූත් දෙයක් කිරීමට නොහැකිවීම නිසා හටගත් වරදකාරී හැඟීම ද අමතක කර දමනු පිණිස ‘සුජී ඔය පෝන් එක දීපන් ළමයෙකුට’ කියා කියමින් මහ හඬින් හිනැහෙමි.//

  4. හිනැහුනා කියලා ඵලක් තියේද සහෝදරී.අඩුම ගාණේ ආත්ම තෘප්තියක්වත් නෑ,ඒකත් බල්ලට ගිහින් වගේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s