කාලාමයෙනි ඔබ …! ( දෙවැනි පිදුම )

යළිත් වතාවක් ජාතික අරමුණ හඹා යෑම ඇරඹූ ආචාර්ය අබ්දුල් කාලාම්, එතැනින් වසර 10 ක් ඉක්ම යන තුරු දෙස් විදෙස් විදු සක්විතියන්ගේ දැනුම සහ උපදෙස් ද පරිශීලණය කොට ඉන්දීය අභ්‍යවකාශ ඉලක්කයන් හඹා යෑම ඇරඹුවේය.

SLV – 3 – Initial Test Flight 

1979 අගෝස්තු මස 10 වැනිදා  ආන්ද්‍රා ප්‍රදේශයෙන් නැගෙනහිරට පිහිටි ශ්‍රී හරිකොත දූවෙහි චන්ද්‍රිකා ගුවන් ගත කරන මධ්‍යස්ථානයේදී SLV – 3 නම් පියවර 4 කින් සමන්විත වන දිගින් මීටර් 22 ක් සහ බරින් ටොන් 17 ක් වන බුහුපිය (Multistage Rocket) රොකට්ටුවක් වූ රොකට්ටුව අත්හදා බලන ලදී…

මේ රොකට්ටුව සමග කිලෝග්‍රෑම් 35 ක් බර පර්යේෂණ මට්ටමේ චන්ද්‍රිකාවක් ගුවන්සැරි බර ලෙස ගුවනට විදිනු ලැබීය…

එහෙත් අවාසනාවකට ගුවන් ගත වී තප්පර 317 ක් ඇතුළත මෙම රොකට් ගුවන් සැරියේ දෙවැනි අදියර අසාර්ථක වූ බවට නිවේදනයක් නිකුත් විය….

පොළවේ සිට කිලෝමීටර් 160 ක් සහ 2,500 ක් අතර වූ Low Earth Orbit (LEO) කක්ෂය වෙත සිය බර යෙදුම ගෙන යාම එම රොකට්ටුවේ අරමුණ විය.

GEO v LEO orbits
GEO v LEO – එනමුත් මෙහි උන්නතාංශ පැහැදිලි කිරීම එතරම් නිරවද්‍ය නොවේ…අදාළ කක්ෂයන් සහ ඒවාට සුසර කෙරෙන චන්ද්‍රිකාවන් ගැන දළ අදහසක් ගැනීම සඳහා පමණි…

එනමුත් භාරතය සිය අභ්‍යවකාශ සැලසුම කෙරෙන් බලාපොරොත්තු වූ සියල්ල තප්පර 317 ක් ඇතුළත සුන් කරමින් එම පියාසැරිය බෙංගාල බොක්කෙන් කෙළවර විය…

අභ්‍යවකාශ පියාසැරි සහ අභ්‍යවකාශ පද්ධති ( Space Flights & Space Systems ) යනු අතිශය සංකීර්ණ මෙහෙයුම් රැසක එකතුවකි…එවැන්නක් කිරීමේදී නැනෝමීටරයට නිරවද්‍යතාවයත්, මිලි තප්පරයට කාර්යක්ෂමතාවයත් රැකීම වූ කළී ඉතාම උසස් ධ්‍යානයක් බලාපොරොත්තුවෙන් අතිශය දුෂ්කර භාවනා අභ්‍යාසයක නිරතවනවා බඳු ක්‍රියාවලියකි….එසේ හෙයින් මේ සා විශාල පිරිසක් දායකව, තත්කාළීන තාක්ෂණයෙහි උවද තරමක් පසුපසින් සිට සීමිත සම්පත් භාවිතයෙන් කරන ලද ගගණ පර්යේෂණයකදී “වැරදුණේ කුමක්දැයි” නිශ්චිතවම කිව හැකි නොවීය….කඩා වැටුණු SLV – 3 චන්ද්‍රිකා ලෝන්චර යානයෙහි සුන්බුන් ඉන්දියන් සාගරයෙන් සොයාගත් පසුවද මේ පිළිබඳව 100% සැකයෙන් තොර කරන ලද නිගමනයන් නොවීය…

නමුත් මේ පිළිබඳව මිලියන සංඛ්‍යාත ඉන්දීය ප්‍රජාව වෙත සාර්ථක විග්‍රහයක් ඉදිරිපත් කිරීම අප්‍රායෝගික වූයේ මහ ජනයා හට මෙවැනි මෙහෙයුම් ගැන පූර්ණ හෝ අවම වශයෙන් සාධනීය විද්‍යාත්මක, ගණිතමය සහ ද්වි-විද්‍යාමය ( භෞතික සහ රසායනික විද්‍යා ) අවබෝධයක් නොවීමයි….එනමුත් එසේය කියා මේ මෙහෙයුම ගැන අභ්‍යවකාශ විද්‍යාවන් පිළිබඳව සුහුණු බිජුවටයක් තරම් වත් නොදැන කෙස් පැළෙන විග්‍රහයන් ඉදිරිපත් කරන්නෝ ඉන්දීය සමාජයේ අඩු නොවූහ….

විශාල ධන නාස්තියක් කාලාමයන් ප්‍රමුඛ කණ්ඩායම විසින් සිදුකරන බවට එවකට මේ ක්‍රියාන්විතයට සහාය දුන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ දේශපාලන එදිරිවාදීහු චෝදනා කළහ….ඉන්දියාව තමන් සතුව ඇති අඩු පහසුකම් වලින් මෙවැනි සංකීර්ණ කාර්‍යයන් සඳහා පිවිසෙන්නට ‍යෑම කළාපීය ජන ජීවිතයට පවා විශාල තර්ජන ගෙනෙනු ඇතැයි, ඉන්දියාව නුරුස්සන රටවල විශේෂඥයෝ ප්‍රකාශ කළහ…..SLV – 3 වැරදී ගියේ තමන්ගේ සේවය ඉන්දීය රජය ලබා නොගත් නිසා යැයි ඉන්දියාව හැර දමා ගොස් පළමුවැනි ලෝකයේ රටවල සේවයේ නියුතු විශේෂඥයන් පැවසූහ…ඔවුන්ගෙන් ඇතැමෙක් අබ්දුල් කලාමයන්ගේ දැනුමට සෘජුවම අභියෝග කිරීමට පවා මැළි නොවූහ…

මේ සියල්ලටම වඩා හන්දියක් හන්දියක්, කඩ බංකුවක් ගානේම “මේ පර්යේෂණය සාර්ථක වන්නට නම් මෙසේ කළ යුතුව තිබුණා…මෙය අසාර්ථක වූයේ මේ මේ කරුණු කාරණා අබ්දුල් කලාම් ප්‍රමුඛ පරීක්ෂණ මණ්ඩලයට මගහැරී යාම නිසාය…නො-එසේ නම් ඔවුන්ට ඒ ගැන දැනුමක් නොමැති නිසාය” යනාදී වශයෙන් විග්‍රහ කරන “අභ්‍යවකාශ පද්ධති විශේෂඥයන්” ( Space Systems Expert) ලක්ෂ ගණනක් බිහිවූහ…ඔවුන්ගෙන් බහුතරය විරුද්ධ ලිංගිකයන් ඉදිරියේ සිය ව්‍යාජ දැනුම හුවා පෙන්වීම අරමුණු කරගෙන සිටියත්, ඉතා සුළු පිරිසක් ඔවුන්ගේ මේ ඌණ අවබෝධය ජාතික පුවත්පත් තෙක් ගෙන ඒමට සමත් වූහ…පසුකළෙක ඒ අදහස් කියවීමෙන් තමා බෙහෙවින්ම විනෝද වූ බව ආචාර්ය අබ්දුල් කලාම් 2001 වසරේදී පැවසුවේය…..

මේ මොහොතේදී නියම නායකයෙකු ලෙස හැසිරුණු ආචාර්ය සතිෂ් ධාවන් මෙකී අසාර්ථක පරීක්ෂණයේ සමස්ථ අවලාදයම මාධ්‍ය හමුවේදී සිය කරට ගත්තේය….අබ්දුල් කලාම් යනු ආරක්ෂා කළ යුතු වස්තුවක්ය යන නිගමනයේ සිටි එතුමා මාධ්‍ය සාකච්ඡා වලදී කලාම් පසෙකින් තබා, ඔහුට නිහඬව සිටින්නැයි කියා සියළු දෝෂාරෝපණ වලට හුදෙකලාව මුහුණ දෙමින් සිය කණ්ඩායම බේරා හැරියේය….

එමතුද නොව තවත් හරියටම වසරක් යන්නට මත්තෙන් අතිශය සාර්ථක ගගණකරනයක් තුල ඉන්දීය අභ්‍යවකාශ සිහිනය මල් ඵල ගන්වන බවට සතිෂ් ධාවන් ඇදුරු තුමෝ ශපථ කළහ….

1980 ජූලි 18 වැනිදාට හිරු පායා ආවේ මේ සක්වළ මතුයෙහි, යාමය, තුසිතය, නිර්මාණ රතිය, තාවතින්සය, ඔබ්බට ආකනිෂ්ඨ බඹ ලොවාදිය කෙරෙහි ඥාණ විභාගය මෙහෙයැවූ බව කියන ජනතාවක පළමු භෞතිකමය අජටාකාශ සිහිනය සැබෑවක් වනු දකින්නටය….

කිලෝග්‍රෑම් 35 ක් බර Rohini – 1 චන්ද්‍රිකාව දරන SLV -3 රොකට්ටුව අහසට නැගී නිව්ටන්ගේ දෙවැනි සහ තුන්වැනි නියමයන්ට ආචාර කරමින් රෝහිණී චන්ද්‍රිකාවට අනුයුක්ත “භූ සමීපකය” ( Perigee ) ( කක්ෂයේ පෘතුවියට ආසන්නතම ලක්ෂ්‍යය ) කිලෝමීටර් 300 ක් පමණ වන, භූ දුරස්ථය ( කක්ෂයට පෘතුවියට දුරස්ථම ලක්ෂ්‍යය ) ( Apogee) කිලෝමීටර් 900 ක පමණ වන කක්ෂයට සිය ගුවන් අයබර සාර්ථකව ප්‍රක්ෂේපණය කරන ලදී….

රෝහිණී - 1 හෙවත් ඉන්දියානුවන්ගේ පළමුවැනි චන්ද්‍රිකාව
රෝහිණී – 1 හෙවත් ඉන්දියානුවන්ගේ පළමුවැනි චන්ද්‍රිකාව

භාරත දේශය සිය පළමුවැනි සම්ප්‍රේෂණ චන්ද්‍රිකාව එසේ කක්ෂගත කිරීමේ ප්‍රීතියෙන් ඔල්වරසන් නගද්දී, එදා ගල් මුල් දමා ගැසූ ජනමාධ්‍යයන් මල් පොකුරුද රැගෙන, ඔවුනොවුන් පරයමින් ශ්‍රී හරිකොත වෙත දිව ආහ….

එදා අසාර්ථකත්වය හමුවේ ලොවෙන් ආ ගල්මුගුරු වල වේදනාව තනිව විඳදරා ගනිමින්, ඊට හුදෙකලාව මුහුණ පා තමා යටතේ සේවය කළ තරුණ තරුණියන් රැකගත් මහැදුරු සතිෂ් ධාවන්, මෙදා මල් පොකුරු හමුවේ ඊට මුහුණ පෑමට ව්‍යාපෘති අධ්‍යක්ෂක දූරය ලබා සිටි අබ්දුල් කලාමයන්ට ඉඩ සලසා දෙමින් පසෙකට විය…එතුමන් ඒ මොහොතේදී ප්‍රමුඛ විද්‍යාඥයෙකුටත් වඩා සෙනෙහෙබර පියෙකු ලෙස කටයුතු කළ බව පසු කළෙක එතුමන් සිහි කරමින් කාලාමයෝ පැවසූහ….

එදා ඒ ජයෙන් ඇරඹි ක්‍රියාන්විතය ඔස්සේ 1983 අප්‍රේල් 17 වැනිදා දෙවැනි “රෝහිණී” පණිවිඩ චන්ද්‍රිකාවත් කක්ෂගත කෙරිනි….

මෙසේ භාරත දේශයට සිය ස්වදේශික ගගණකරයන් නිර්මාණය කිරීමෙහි ලා මූලික වශයෙන් මග පෙන්වූවන් අතර අබ්දුල් කලාම් නාමය ජනප්‍රිය විය…එවක් පටන් එතුමා අන් අය යටතේ සහ අන් අයගේ නිරීක්ෂණය, ඇගයීම යටතේ සේවය කළ සමයද නිමාවිය…

අණුක පිම්ම…..

1960 සහ 70 දශකයන් වනාහි ඉන්දියාව ජාත්‍යන්තර වශයෙන් ඉතාම ව්‍යාකූල තත්වයන් රැසකට මුහුණ දුන් දශකයන් දෙකක් බව අමුතුවෙන් කිවමනා නොවේ….එය අප මෙයට පෙර කාලාමයෝ උදෙසා ලියන ලද ලිපියෙහි සැකෙවින් දැක්වීමු…

මිනිසා අයත් වන ප්‍රජා ගෝලයෙහි නීති රීති වලට අනුව යම් පෘතුවි පරිසර පද්ධතියක පවතින ආහාර ජාලයෙහි ( සහ එක් එක් ආහාර දාමයන්හි ) ඉහළින්ම සිටින ජීවිහු වෙත්…එබඳු ජීවිහු සතු සූදානම නම් වූ සංවේදනය ආහාර ජාලයෙහි තමන්ට පහළින් සිටින්නා වූ ජීවීන් ගොදුරු කරගැනීමට පමණක් සීමා නොවී, තමන්ට සමයන් සහ තමන්ට වඩා බලවතුන් ගෙන් තමන්ගේ ප්‍රාදේශිකය ආරක්ෂා කර ගැනීම තෙක් විසිර පවතී….

1962 වසරෙහි දේශ සීමා ගැටුමක් දුරදිග යාමෙන් ඉන්දියාව සහ චීනය අතර යුද්දයක් හට ගත්තේය….එම යුද්දය ඉන්දියාව පරාජය වූවා පමණක් නොව අස්කායි ෂින් ප්‍රදේශයද ඔවුන්ට සහමුලින්ම අහිමිවිය..

1971 වසර වනතෙක් පාකිස්ථානය නම් වූ දේශය පැවතියේ ඉන්දීය ජනරජය දෙපසිනි….එයින් එක් පසෙක පාකිස්ථානය ( වත්මන් පාකිස්ථානය ) බටහිර පාකිස්ථානය ලෙසත්, අනෙක් පස පාකිස්ථානය ( වත්මන් බංග්ලාදේශය ) නැගෙනහිර පාකිස්ථානය ලෙසත් හඳුන්වනු ලැබීය…නැගෙනහිර පාකිස්ථානය බටහිර පාකිස්ථානයේ කරච්චි අගනුවර සිට කැරුණු පාලනයෙන් මිදී නිදහස ලබාගැනීම උදෙසා කරන ලද අරගලයේදී මැදිහත් වූ ඉන්දියාවට පාකිස්ථානය සමග යුද්දයකට පැටලෙන්නට සිදුවිය…..

පාකිස්ථානය සමග පැවති යුද්දයේදී එවකට සෝවියට් සමූහාණ්ඩුව සමග තාක්ෂණික සහයෝගීතාවයක සිටි ඉන්දියාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර පාකිස්ථානයේ පස ගත් නිසා, එම රටවල තර්ජන සහ ගර්ජන වලට ඉන්දියාවට මුහුණ පෑමට සිදුවිය…එමෙන්ම 1961 වසරේදී ගෝව ප්‍රාන්තයේ ප්‍රතිරාජයන් යටත් කොටගෙන එය ඉන්දියාවට ඈඳා ගැනීමට කරන ලද ආක්‍රමණයේදීද බටහිර ගෙරවුම් බස් ඇසීමට ඉන්දියාවට සිදුවිය….ආහාර දාමයේ ඉහළින් සිටිය යුතු තමන් වැනි දේශයකට එවැනි ස්ථානයකදී හමුවන සතුරන් සංඛ්‍යාත්මකවද, හරයාත්මකවද බෙහෙවින්ම බලවත් බව අවබෝධ කරගත් ඉන්දියාව එතෙක්, මෙතෙක් මිනිසා විසින් සොයාගෙන තිබුණු බලවත්ම සහ තෙදවත්ම අවිය තමා සතු කරගැනීමේ ජාතික ව්‍යාපාරය තවත් තීව්‍ර කරන ලදී…

ඇත්ත වශයෙන්ම ඉන්දීයයන් යනු ස්වකීය ඒකාබද්ධ රාජ්‍ය ව්‍යුහය කළලයක් ලෙසවත් නොපැවති අවදියේ සිටම ලෝක බළ තුලනයට මේ මහළු දැවැන්ත ශිෂ්ඨාචාර එකතුව ලබාදෙන දායකත්වය ගැන සිහින දුටුවෝ වෙති… ඉන්දීය න්‍යෂ්ඨික අවි වැඩසටහනේ මුල් පැළ වන්නේ 1944 වර්ෂයේදීය…ඉන්දීය න්‍යෂ්ඨික වැඩසටහනේ පියා ලෙස විරුදාවලි ලබන ආචාර්ය හෝමි ජෙහාන්ගිරි බාබා 1944 වසරේ මාර්තු මාසයේදී සිය මාමණ්ඩිය වන ශ්‍රීමත් ඩොරාබ් ටාටාගේ පදනමට මේ පිළිබඳව මූලික අදහසක් ඉදිරිපත් කර තිබුණි….මේ අදහසේ ප්‍රතිඵලයක් ලෙස හෝමි බාබාගේ සභාපතීත්වයෙන් යුතු Tata Institute of Fundamental Research (TIFR)  බිහිවීම සිදුවිය…

1947 වසරේ ඉන්දියාව නිදහස ලැබීමත් සමග එහි පළමු අග්‍රාමාත්‍ය ධූරන්දර ජවහල් ලාල් නේරුගේ භාරතාරක්ෂක දර්ශණයේ ඵලයක් ලෙස 1948 අප්‍රේල් 15 වැනිදා “න්‍යෂ්ඨික බලශක්ති පනත” ( Atomic Energy Act ) ලෝක් සභා සම්මත කැරිණි….එමගින් ඉන්දීය පරමාණු බලශක්ති කොමිසම ( Indian Atomic Energy Commission ) බිහිවිය…

මුලදී සාමකාමී අරමුණු සහිත බවක් මෙම වැඩසටහන විද්‍යාමාන කළත්, එම වැඩසටහනේ අනාගත අරමුණු වල ඇත්තේ හුදෙක් සිවිල් වැසියන් සඳහා බල ශක්ති ජනනයම නොවන බව ශ්‍රී නේරු 1948 ජූනි 22 වැනිදා කළ මේ කථාවෙන් පිළිබිඹු වෙයි….

//….We must develop this atomic energy quite apart from war – indeed I think we must develop it for the purpose of using it for peaceful purposes. … Of course, if we are compelled as a nation to use it for other purposes, possibly no pious sentiments of any of us will stop the nation from using it that way.”…//

( “ඇත්ත වශයෙන්ම ජාතියක් ලෙස අප මේ න්‍යෂ්ඨික ශක්තිය වෙනත් අරමුණු සඳහා භාවිත කරන තැනට තල්ලු වුවහොත්, අප විසින් ( නේරු ප්‍රමුඛ ආරම්භක ඉන්දීයයන් ) මොන තරම් ධාර්මිෂ්ඨ හැඟීම් ඵල කළත්, මේ ජාතිය එය ( න්‍යෂ්ඨික බලය ) එලෙස භාවිතා කරනු ලැබීම වැළැක්විය නොහැකි වන්නේය…” )

ඉන්දියාව න්‍යෂ්ඨික අවි පිටුපස හඹා යෑම නිළ වශයෙන් ඇරඹි සන්ධිස්ථානය ලෙස ශ්‍රී නේරු කළ මෙම කථාව ඉතිහාස ගතවන බව බොහෝ විචාරකයන්ගේ මතයයි…

1961 දී ඉන්දියාවේ තාරාපූර් හිදී ඉන්දියාවේ ප්‍රථම න්‍යෂ්ඨික බලාගාර ඉදිකිරීම සඳහා ඇමරිකානු තාක්ෂණික සහාය ලබාගැනීම පිළිබඳව පැවති මූලික සාකච්ඡා වලදී ශ්‍රී නේරු හෝමි බාබා දෙසට හැරී මෙවගක් කී බවට ඇමරිකානු න්‍යෂ්ඨික ඉංජිනේරු කෙනත් නිකොලස් සාක්ෂි දරයි…

( නේරු : ” ඔබට පුළුවන්ද පරමාණු බෝම්බයක් නිපදවන්න?

ජෙහාන්ගිර් බාබා : ” වසරක පමණ කාළයක් ලැබුණොත් හැකිවෙයි….

නේරු : ” මම කියන කල් ඒක කරන්න උත්සාහ කරන්න එපා !” )

බාබා තාරාපූර් හිදී ශ්‍රී නේරු සමග ...
බාබා තාරාපූර් හිදී ශ්‍රී නේරු සමග …

එහෙත් මේ සිවිල් න්‍යෂ්ඨික වැඩසටහන එහි යුදමය ස්වරූපයට පැමිණෙන විට හෝමි බාබා ජීවතුන් අතර සිටියේ නැත….1966 ජනවාරි 24 වැනිදා සිදුවූ අබිරහස් ගුවන් අනතුරකින් බාබා මිය ගියේය…

අප කථානායක අබ්දුල් කලාමයන් මේ වනවිට සිටියේ ඉන්දියාවේ මූලිකම Sounding Rocket ව්‍යාපෘතියට දායකත්වය දෙමිනි….ජෙහාන්ගිර් බාබාගේ මාර්ගෝපදේශකත්වය යටතේ ත්‍රොම්බේ නගරයේ Atomic Energy Establishment ආයතනය මගින් එක්සත් රාජධානියේ සහාය ඇතිව පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙසින් සාදන ලද ඉන්දියාවේ පළමු න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය වන “අප්සරා” පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කරමිනි….මේ අධ්‍යයනය සඳහා අවශ්‍ය ශිෂ්‍යත්වය සකසා දීමාට ජෙහාන්ගිර් බාබා පුද්ගලික ධනයෙන් දායක වූ අතර, ඒ දීර්ඝ අධ්‍යයන මාලාව සඳහා න්‍යෂ්ඨික සහ අණුක විද්‍යාවන් මූලික වශයෙන් ඉගෙනුම ලැබීමට අබ්දුල් කලාමයන් ඇමරිකාවේ සහ කැනඩාවේ අධ්‍යයන ආයතන කිහිපයක් වෙත පිටත් කර යවනු ලැබීය…

ගගණ ඉංජිනේරු තාක්ෂණය හදාරා ගගණ සහ අජටාකාශ යානා විශේෂඥයෙකුව සිටි අබ්දුල් කලාමයන් න්‍යෂ්ඨික භෞතික විද්‍යාඥයෙකු බවට පත්වන පළමු පියවර කිහිපය මෙහිදී දිග හැරිණි….අද අප හඳුනන කලාම් නම් ගුවන් ඉංජිනේරුවා මෙන්ම පරිපූර්ණ න්‍යෂ්ඨික විද්‍යාඥයා වෙත ජගත් කීර්තියේ හස්තය මෙසේ දිගුවිය……

“අප්සරා” – ආසියාවේ ප්‍රථම න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය සහ සමරුව …

හෝමි ජෙහාන්ගිර් බාබාට මරු කැඳවූ අබිරහස් ගුවන් අනතුරින් පසුව ඉන්දීය මධ්‍යම රජය විසින් සිය සහ-අවි සහ නිරවි න්‍යෂ්ඨික වැඩ පිළිවෙලවල් සඳහා අධීක්ෂණ කටයුතු පැවරීමට විශේෂඥයෙකු සොයමින් සිටියහ…බාබාගෙන් පසුව ඉන්දියාවට සිටි විශිෂ්ඨතම න්‍යෂ්ඨික විද්‍යාර්ථීන් වන පී.කේ.අයියනගර් සහ රාජා රාමඥ්ඥ යන දෙපළ සෘජුව ඉන්දීය න්‍යෂ්ඨික ව්‍යාපෘතියේ මෙහෙයුම සියතට ගත් නිසා, සමස්ථ අධීක්ෂණයකට අවශ්‍ය විද්‍යාර්ථියෙකු සොයා ගැනීම ගැටළුවක් විය….

කාලාමයන් ඉන්දීය න්‍යෂ්ඨික කරළියට පිවිසෙන්නේ මේ මොහොතේය…

බලය සහ බෝම්බය

එතෙක් කල් පෘථුලව සාමකාමී සිවිල් බලශක්ති ජනන අපේක්ෂාවන් සහ අතිශය සුළුතර සන්නද්ධමය අපේක්ෂාවන් සහිතව පැමිණි ඉන්දීය න්‍යෂ්ඨික වැඩසටහන හදිසියේම හිස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස පරමාණු බෝම්බය සොයා ලුහු බඳින තැනට පත් කැරුණු සුවිශේෂී සිද්ධිය 1971 වසරේ දෙසැම්බරයේදී සිදුවිය…

උක්ථව සැකෙවින් කියන ලද බංග්ලාදේශ නිදහස් අරගලය අරඹයා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවූ යුද්දයේදී මේ පිළිමළුන් දෙදෙනාට විවිධ අයුරින් දායක වූ එවකට ලෝක බළ කඳවුරු හෙබැවූ සුපිරි බලවත්හු, ඉන්දියාව සහ පාකිස්ථානය අසබඩ මුහුදේ කළ ක්‍රියාකාරකම් මෙබඳුය….

එවකට ඇමරිකන් හිතවාදී කඳවුරේ සිටි පාකිස්ථානයට දක්වන සහායක් ලෙස, රිචඩ් නික්සන් ජනාධිපතිවරයාගේ අණින් ඇමරිකා එක්සත් ජනපදය නම් ටොන් 75,000 ක් බර USS Enterprise ගුවන් යානා හාරක යුද නෞකාව සහ පරිවාරක සේනාංකය ප්‍රමුඛ “ටොන්කින්” බොක්කේ නැංගුරම් ලා සිටි 7 වැනි ඇමරිකානු නාවික හමුදා නැව් පන්තියම බෙංගාල බොක්ක බලා එවීය…

ඉදිරිපෙළ ජෙට් ප්‍රහාරක යානා 70 කට අධික දැවැන්ත ගුවන් ප්‍රහාරක ශක්තියකින් සමන්විත වන්නාවූද, USS King, USS Decatur, USS Parsons යනාදි පරිවාර නියමු අස්ත්‍ර කෘසර් නෞකා ( Guided Missile Cruiser) සතු අසමසම ගිනි බලය සමන්විත වන්නාවූද ඒ 7 වැනි නැව් පන්තිය හමුවේ ඉන්දියාවට සිය දේශය රැකගැනීමට පෙරමුණට එවීමට තිබුණේ ටොන් 20,000 ක් පමණ බර සැහැල්ලු ගුවන් යානා 20 ක් පමණක් ගෙන යන ගුවන් යානා හාරක නෞකාවක් වන INS Vikrant පමණකි….එම නෞකාව මෙන්ම එම නෞකාව ධජයදාරීත්වය දරන සමස්ථ ඉන්දීය නාවික හමුදා නැගෙනහිර නාවුක බළ පන්තියම උක්ථ ඇමරිකානු නාවික සහ ගුවන් බලය හමුවේ හිරු ඉදිරියේ කදෝ පැණියන් සේ දිස්විය….

දකුණු ආසියාව නම් වූ හිඟන අම්බලමේ අනෙකුත් හිඟන්නන්ට “බජාර් එකේ චණ්ඩියා” රඟ පාමින් සිටි ඉන්දීය ජන රජයේ ඇඳි වත කඩා වැටුණු යථාර්තයේ මොහොත එයයි….සැබෑ ලෝක බලවතුන් සතු අධි තාක්ෂණික ශක්තිය හමුවේ මේ කළාපීය චණ්ඩියාගේ නොණ්ඩිය මුළු ලොවම දැක බලාගත්හ….

මේ අතර එම ඇමරිකානු නාවික හමුදා පන්තියට සහාය පිණිස නම් HMS Eagle නෞකාව නායකත්වය හොබවන බ්‍රිතාන්‍ය රාජකීය නැව් හමුදා පන්තියක්ද ඉන්දියන් සාගරය වෙත සපැමිණෙමින් සිටින බව සැළවිය….

බෙහෙවින්ම කලබලයට පත් වූ ඉන්දීය මධ්‍යම රජය සිය ත්‍රිවිධ හමුදාවන්ම සීරුවෙන් තබා එවකට ඔවුන් විසින් සෝවියට් සමූහාණ්ඩුව සමග අත්සන් කරගෙන සිටි රහසිගත ආරක්ෂණ ගිවිසුමක් ප්‍රකාරව ( Indo – Soviet Security Treaty 1962) වහාම සිය සහායට පැමිණෙන්නැයි සෝවියට් සංගමයට නිහඬ රහසිගත පණිවිඩයක් යවන ලදී….

එයට ප්‍රතිචාර ලෙස ලෝකයේ අනෙක් බල ධ්‍රැවය හෙබැවූ, ඉන්දියාවේ තාක්ෂණික සහකරු සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව න්‍යෂ්ඨික යුද ශීර්ෂ වලින් සන්නද්ධ සබ්මැරීන දෙකක් ඇමරිකානු යුද නැව් පන්තියේ බලය තුලනය කරනු වස් එවීය…දක්ෂ නාවුක සෙනෙවියෙකු වන අද්මිරාල් ව්ලැඩිමිර් කෘග්ලය්කොෆ් යටතේ ව්ලැඩිවොස්ටොක් සිට පැමිණි මේ සබ්මැරීන් යුවළ ඉතාම රහසිගතව සිය නෞකා නාශක මිසයිල පද්ධතියට සවුවන ලද න්‍යෂ්ඨික යුද ශීර්ෂ ඇමරිකානු නැව් පන්තිය දෙසට මානාගත්හ….

මෙම ඇමරිකානු නෞකා ශක්තිය මේ කළාපයට එවන ලද්දේ නැගෙනහිර පාකිස්ථානයේ හෙවත් වත්මන් බංග්ලාදේශයේ සිරවී, කොටුවී සිටි ලක්ෂයක (100,000) ක තරම් වූ පාකිස්ථාන හමුදාවන්ට සහාය දීම පිණිසය…ඒ වනවිට එම පාකිස්ථාන හමුදාව ගොඩබිම එක් පසෙකින් 300,000 ක පමණ ඉන්දීය හමුදාවකටත්, අනෙක් පසින් බංග්ලාදේශ නිදහස් සටන් කරුවන්ටත් මැදිවී පරාජයේ මුව විටයට තල්ලු වී සිටියෝ වෙති…

සෝවියට් සබ්මැරීන පන්තිය සතුව නෞකා නාශක න්‍යෂ්ඨික මිසයිල තිබෙන බව බුද්ධි අංශ වාර්ථා මගින් දැනගත් ඇමරිකානු නෞකාවෝ, එබඳු සෝවියට් සබ්මැරීන සමග ඇතිකරගන්නා ගැටුමකින් හටගත හැකි බිහිසුණු න්‍යෂ්ඨික ප්‍රහාර හුවමාරුවක ප්‍රති විපාක විශ්ලේෂණය කොට, පාකිස්ථානයට තමන්ගේ ඇති පක්ෂපාතීත්වය අමතක කොට, උද්ගතව ඇති තත්වය ඉන්දියාවට රිසි පරිදි නිමවන්නට ඉඩ දී නිහඬ වූහ…

“න්‍යෂ්ඨික නිවර්තනය” (Nuclear Deterrence)  නම් වූ ( දෙපසටම න්‍යෂ්ඨික අවි තිබෙනවිට එයින් සිදුවිය හැකි සාර්වසර විනාශය සළකා බලා දෙපසම ඔවුනොවුන්ට රැහැණිව රණාවර්තී නොවී සිටීම ) සුප්‍රකට උපාය යොදාගනිමින් සෝවියට් නායකයන් ඉතා සූක්ෂම ලෙස දකුණු ආසියාතිකර කළාපයේ බලය තුලනය කළ ආකාරය දිල්ලි රතු බළකොටුවේ සිට එවකට ඉන්දීය නායිකා ඉන්දිරා ගාන්ධි ඉමහත් තූෂ්ණිම්භූතව බලා සිටියාය….මේ අන්ත්‍රායකර මොහොතේ තම දේශ ආරක්ෂාව ගෝලීය බල තුලනය අතින් කෙතරම් නිරුවත්දැයි ඇය ප්‍රමුඛ ඉන්දීය මධ්‍යම රජයට මේ තෙදින නාටකයෙන් කදිම අවබෝධයක් ලැබිණි…..එමෙන්ම තම රට අවට මුහුදේ ඇමරිකන් නාවුක බලයට එරෙහිව රුසියානුවන් දක්ෂ ලෙස අදින ලද නාවුක චෙස් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර අර්බුදයකදී “න්‍යෂ්ඨික බෝම්බයක්” සතු කේවල් කිරීමේ බලය කෙතරම් දැයි ඔවුහු අවබෝධ කරගත්හ….

අර්බුදය අවසන් වූ වහාම ඉන්දිරා ගාන්ධි මැතිණිය කළ පළමු ක්‍රියාව වූයේ ඉන්දීය පරමාණු බලශක්ති අධ්‍යයන අංශ වලට සහ ඉන්දීය හමුදාවේ විද්‍යා හා තාක්ෂණ අංශ වලට න්‍යෂ්ඨික යුද ශීර්ෂ තැනීමේ පරීක්ෂණයන් අරඹන ලෙස අණ දීමයි….

1972 වසර වනවිට අණුක න්‍යෂ්ඨික විද්‍යාව පිළිබඳව සිය අධ්‍යයනයන් නිමවා ඒ පිළිබඳව විශේෂඥයෙකුව සිටි ආචාර්ය අබ්දුල් කලාම් හට ඉන්දීය න්‍යෂ්ඨික අවිකරණ ව්‍යාපෘතියේ අධීක්ෂණ අධ්‍යක්ෂ තනතුර හිමි වන්නේ මෙලෙසය…

බුදුන් සිනාසුණු දා මීළඟ ලිපියෙන් …..

Advertisements

3 thoughts on “කාලාමයෙනි ඔබ …! ( දෙවැනි පිදුම )”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s