කාලාමයෙනි ඔබ….! ( පළමුවන පිදුම )

ආචාර්ය අවොල් පකීර් ජයිනුලබ්දීන් කලාම් පිළිබඳව අටුවා ටීකා ටිප්පණී උවමනා නැත… දකුණු ආසියාවට කිරුළක් වූ ඒ මහා ප්‍රාඥයා පිලිබඳව සරල තොරතුරු බොහොමයක් ඔබ සැමට සයිබර් අවකාශයේත් ඉන් පිටතත් සුලභව හමුවනු ඇත… බොහෝ ශ්‍රේෂ්ඨයන්, බොහෝ ප්‍රවීණයන්, බොහෝ ප්‍රාඥයන් ගැන අප කථා කරන්නට පටන් ගන්නේ ඔවුන් මිය පරළොව ගිය පසු නිසාත්, එසේ කථා කිරීම උක්ථ මරණයෙන් සති කිහිපයක් යනතුරු පවතින සමාජ විලාසිතාවක් වන නිසාත් අබ්දුල් කලාමයන් පිළිබඳව තව බොහෝ තොරතුරු ඉදිරි දින කිහිපය තුළ අධිකව සුලභ වනු ඇත…එසේ හෙයින් ඔහුගේ සාරවත් දිවිපෙවෙත ගැන සිල්ලර විස්තර යළි යළිත් හුවා දැක්වීමට දායක වීම නුවුමනාය…

…
…1931 ඔක්තෝම්බර් 15 වැනි දින තමිල්නාඩුවේ රාමේශ්වරම් හි උපන් අබ්දුල් කලාම් මෙලොව පහළ වූ විද්‍යාර්ථී යුග පුරුෂයන් අතුරින් අඩු වයසින් තැන් තැන් වල පත්තර බෙදා එයින් තමන්ගේත් අනුන්ගේත් කුසගිනි නිවූ දෙවැන්නා විය හැක… පළමුවැන්නා විය හැක්කේ ඇමරිකාවේ මහා විදු මැවිසුරු තෝමස් අල්වා එඩිසන්ය…
…
මිචිගන්වල පෝට් හුරෝන් දුම්-රියපළේ ලාම්පු වලට මෙන්ම තිරුචිරප්පලියේ වීදි පහන් කණු වලටත් ප්‍රඥා පරිමිතයන්ට ජීවය දීමේ හැකියාව ඇති බව ලොවට පෙන්වූ මේ භාරත රත්නය සතු විශ්මිත මොළයට රුධිරය සැපයූ හදවත ඊයේ (2015 ජූලි 27) සදහටම නතර වනවිට එතුමා සතුව පැවති සුදුසුකම් වලින් හුවා දැක්විය හැකි බිඳක් මෙසේය:
…

  • “භාරත රත්න” – ඉන්දියාව ප්‍රධානය කරන උත්තරීතරම ගෞරව සම්මානය
  • “පද්ම භූෂණ්” සහ “පද්ම විභූෂන්”  ඉන්දීය ජන රජය ප්‍රධානය කරන අනුපිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ඉහළම රාජ්‍ය සම්මානයන්
  • විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනයේ ගෞරව සාමාජිකත්වය
  • ලොව පුරා පිළිගත් සරසවි 42 කින් ගෞරව ආචාර්ය උපාධි ලබා ඇත.
  • තවත් ගෞරව සුදුසුකම් ප්‍රධානයන් සිය ගණනක් සහ ගෞරව සම්මාන 400 කට අධික ප්‍රමාණයක්

ආගමික විශ්වාසයන් ඉතාම දෘඨ සමාජ චර්යා සාදන දීපයක, එවන් දේශයක, එවන් කුළයක, එවන් මවුන්ට දාව උපන්නේ වුවද, අබ්දුල් කාලාමයෝ අංගුත්තර නිකායෙහි තික නිපාතය අප වෙත තබන “කාලාම සූත්‍රයෙහි” එන කාලාම ක්ෂත්‍රියයන් බුදුන් අභිමුඛයෙන් පසුව හැසිරුණු පරිද්දෙන් “අනුශ්‍රව කථායෙනුදු නොගෙන, පරම්පරා කථායෙනුදු නොගෙන”  විමංසාවම සිය ජීවිතය කර ගත්තේය…

පත්තර විකුණන කාළයේ පත්තර පිටු අතරින් ඇරඹි මෙබඳු වූ සීමා විරහිත විමසීම ස්වකීය මාතෘ භූමියේ රක්ෂණය, උන්නතිය යන සියල්ල තහවුරු කොට, එමතු නොව සමස්ථ මානව ප්‍රජාවටම අපරිමිත මතකයන් ගොන්නක් ඉතිරි කළ

මදුරාසි විශ්ව විද්‍යාලය හා අනුබද්ධිත ශාන්ත ජෝශප් යුනිවර්සිටි කොලීජියෙන් ඇරඹි ඒ දැනුම් පිපාසය හුදු ජීවිකාවක් අරමුණු කොටගත් එකක් නොවීය…

ශාන්ත ජෝෂප් කොලිජීයේ සමයන් මැද කාලාමයන්
ශාන්ත ජෝෂප් කොලිජීයේ සමයන් මැද කාලාමයන්

භෞතිකය සියල්ලගේම පදනමය…පාරභෞතික දෑ වනාහි භෞතික විශ්ලේෂණයන්ට යා හැකි සීමාවෙන් ඔබ්බේ සිටිමින් භෞතිකයට උසුළු විසුළු කරන ගොඩනැගීම් වෙති…එය එසේ යැයි වටහා ගන්නා කල මෙලොව සියළු විද්‍යාවන්ගේ පදනම් විද්‍යාව භෞතික විද්‍යාව බවට කරන හැඳින්වීම නිරවද්‍ය බව පෙනෙනු ඇත….කාලාමයෝද භෞතික විද්‍යා උපාධියකින් සිය දීර්ඝ සුවිසැරිය ඇරඹුවේ එබැවින් විය හැක.

කාලාමයෝ භාරත ආරක්ෂාව වෙනුවෙන් පෙරට පැමිණීම 

1947 – 1971 කාළ සීමාව වූ කළී භාරතයේ එක් පසෙක මූඪත්වය උච්ඡයටම පැමිණි, අනෙක් පස බුද්ධියේ සහ ප්‍රඥාවේ නිර්මල ජලධාරා කඩා හැලුණු, එක් පසෙක ව්‍යාකූලත්වය රජකළ, අනෙක් පස ස්ථිසාර දේශපාලනික රාමුවක අනාගත සුපිරි බලවතෙකු වන්නට දුටු සිහින රජුන් උණුසුම් කළ යුගයකි. මේ වූ කළී පරිචයෙන්ම A Tale of Two Cities ග්‍රන්ථයට දෙන

“It was the best of times, it was the worst of times, it was the age of wisdom, it was the age of foolishness, it was the epoch of belief, it was the epoch of incredulity, it was the season of Light, it was the season of Darkness, it was the spring of hope, it was the winter of despair, we had everything before us, we had nothing before us, we were all going direct to Heaven, we were all going direct the other way……..”

නම් ඇරඹුමට උචිත යථාදර්ශයක් සැපයූ කාළයකි.

මෙම කාළය තුල ඉන්දියාව චීනය සහ පාකිස්ථානය සමග ප්‍රධාන යුද්ධ තුනකටද, ගෝව ප්‍රතිකාලය ඉන්දියාවට ඈඳා ගැනීම, තමිල්නාඩුවේ ජාතික අරගලයන්හි අලු යට ගිණි දැකීම, ජම්මු කාශ්මීර කළාපය අනාගතයේ වන්නට යන අන්ත්‍රායක මුල් කළු කොඩිය වැනීම වැනි අභ්‍යන්තර අර්බුද රැසකටද මුහුණ පෑ යුගයක් විය.

ඉන්දීය විද්‍යා කුළලයෙහි කාලාමයෝ පාද ස්පර්ශය තැබූ තැන් අතුරින් මෙම ලියුම්කරුවාගේ සිත් ගත් අවස්ථාවන් අතළොස්සක් සංක්ෂිප්තව දක්වමි…

Nandi Project – “නන්දි” ව්‍යාපෘතිය 

“නන්දි” වෘෂභ යනු ශිව දෙවිඳුන්ගේ වාහනයයි…ශිවට නන්දි මෙන් භාරත නාවුක හමුදාවට බර උසුලාගෙන පාවීමෙහි සමත් ගවයෙකු දීම එවකට ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ධුරයේ සිටි වී.කේ ක්‍රිෂ්ණ මෙනන් මහතාගේ අදහසක් විය. එමෙන්ම ඉන්දීය හමුදාවන් ශක්ති ප්‍රභවයන් අතින් ස්වයං පෝෂිත කිරීමද ඔහුගේ පැතුමක් විය.

එවකට ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයේ Aeronautical Development Establishment ආයතනයේ සේවයේ නියුතු අබ්දුල් කාලාමයන් සිවු දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක නායකත්වය දරමින් මෙකී ආරක්ෂක ඇමතිවරයාගේ සිහිනය සැබෑ කිරීම සඳහා වෙහෙසීමේ ප්‍රතිඵලයක් ලෙස 1962 වසරේදී ඔවුන් අතින් මිලිමීටර් 40 ක තිල්ලක් මත දුවන කිලෝග්‍රෑම් 550 ක් බර, ඉන්දියාවේ නිෂ්පාදිත පළමු “වායු පා යානය” (Hovercraft)  බිහිවිය…

…

ADE Hovercraft Project "Nandi"
ADE Hovercraft Project “Nandi”

ආරක්ෂක ඇමති ක්‍රිෂ්ණ මෙනන් මෙම රථය පරීක්ෂාවට පැමිණි මොහොතේ විනාඩි 15ක කාළයක් පැයට කිලෝමීටර් 20 ක පමණ වේගයෙන් තමාව රැගෙන මේ රථය පැදවූයේ අනාගත ඉන්දීය ජන රජය පදවන දෑතක හිමිකරුවා බව ආරක්ෂක ඇමතිවරයා නොදැන සිටියේය…

අවාසනාවන්ත දේශපාලන අර්බුදයක් හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අතරමග අතහැර දැමූවත් කාලාමයන් ප්‍රදර්ශණය කළ ප්‍රඥාව සහ දැනුම සැළකිල්ලට ගත් ඉන්දීය මධ්‍යම රජය ඔහුව ඉන්දීය ගගණාරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන Indian Committee for Space Research (INCOSPAR) – ( Later Indian Space Research Organization (ISRO) ආයතනයට සම්බන්ධ කළේය….

කාළාමයන්ට ජාත්‍යන්තර ප්‍රජාව පටබැඳ ඇති අනවර්ථ නාමය “මිසයිල් මිනිසා” ( Missile Man) යන්නය. එහෙත් ඔහු ගගණ පථය පිරික්සීම සහ අභ්‍යවකාශ ක්‍රියාන්විතය මුල් වරට අරඹන්නේ යුදමය චේතනාවන් සිතෙහි තබාගෙන නොවේ…

අහස් ගඟ දඹදිවට 
…

පෘතුවි කක්ෂ ගත කරන අනෙකුත් අයිතමයන් මෙන්ම විවිධ කාර්යයන් සඳහා කක්ෂගත කෙරෙනු ලබන චන්ද්‍රිකාවන්ද පෘතුවි කක්ෂයට ප්‍රවිෂ්ඨ කරනුයේ ප්‍රවාහක යානයක් මගිනි…

ඇමරිකාවේ නාසා ආයතනයට අනුබද්ධිත Langley Research Center හි සහ Goddard Space Flight Center හි කෙටි කාළයක් සේවය කළ අබ්දුල් කලාමයන් යළි 1963 වසරේ සිය රට පැමිණෙන්නේ අත්දැකීම් සම්භාරයක් පොදි බැඳගෙනය…

1963 වසරේ නොවැම්බර් 21 වැනිදා ඉන්දීය ජනරජයේ පළමු රොකට්ටුව ගුවන් ගත කෙරිණි…“Nike – Apache” නම් වූ මෙම ව්‍යාපෘතිය ඉන්දීය න්‍යෂ්ඨික වැඩසටහනෙහි නිර්මාතෘවරයා ලෙස සැළකෙන හෝමි ජෙහාන්ගිරි බාබා සහ ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනෙහි නිර්මාතෘවරයා ලෙස සැළකෙන ආචාර්ය වික්‍රම් සරභායි යන විදුසක්විතියන් දෙපළගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක විය…

මෙම “නයික්-ඇපාචි” රොකට් වැඩසටහනට සම්බන්ධ වූ කාලාමයන්ට මුළින්ම හිමිවූයේ එහි රොකට් පද්ධති ඒකීකරණය සහ ආරක්ෂාව ( Rocket Systems Integration & Security) සම්බන්ධ වගකීම් සමුදායකි…නොවැම්බර් 21 වැනිදා කරන ලද ගුවන් ගත කිරීම සාර්ථක විය…

(දැන ගැනීමට : “නයික්-ඇපාචි” යනු ඇමරිකාවේ නාසා ආයතනයේ අනුග්‍රහයෙන් සිදු කෙරුණු ප්‍රාථමික සහ පරීක්ෂණ මට්ටමේ Sounding Rocket රොකට් විශේෂයකි…මෙම රොකට්ටු බොහෝ විට “අර්ධ-කක්ෂ” ගතවීම විනා වෙන කිසිවක් සිදු නොකළේය…මෙවැනි රොකට්ටු ගුවන් ගත කිරීමේ  මූලික අරමුණ වූයේ සාපේක්ෂව තරමක් පිටුපසින් සිටින අභ්‍යවකාශ වැඩපිළිවෙලවල් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම සහ නාසා ආයතනය මගින් නිර්මාණය කරනු ලබන නව සන්නිවේදන උපකරණ අත්හදා බැලීම පමණි….නාසා ආයතනය මෙම රොකට් ව්‍යාපෘතිය ඉන්දියාව, බ්‍රසීලය, නොර්වේ රාජ්‍යය, පාකිස්ථානය වැනි රටවල් රැසක් සමග අත්හදා බලා ඇත….)

ආචාර්ය සරාභායි මේ වැඩසටහනට අබ්දුල් කලාමයන් දැක්වූ දායකත්වය ගැන බෙහෙවින්ම පැහැදුණු හෙයින් කාලාමයන් කැඳවා ඔහුට සෝවියට් සමූහාණ්ඩුවේ රොකට් විදුදර සර්ජි යෙනොව් යටතේ Rocket Assisted Take – Off ( RATO) හැදෑරීමට අවස්ථාවක් සකස් කර දුන්නේය…

(Assisted Take-off වූ කලී ගුවන් යානාවක් හෝ වෙනත් අයුරක ගගන යාත්‍රාවක් එහිම බලයෙන් සහ ජවයෙන් ගුවන් ගත කරන සාමාන්‍ය ක්‍රමවේදය වෙනුවට යම් කිසි බාහිර ශක්ති ප්‍රභවයක ආධාරයෙන් ගුවන් ගත කිරීමයි .. Rocket Assisted Take-off හෙවත් RATO යනු මෙහි එක් ප්‍රභේදයක් පමණි…වෙනත් ඒවා ගැන කියනවා නම් Catapult Assisted Take-off – CATO සහJet Assisted Take-off – JATO යනුවෙන් ගත හැක… )

අබ්දුල් කාලාමයෝ ආචාර්ය වික්‍රම් සරාභායි හෙවත් ඔහුගේ ආදරණීය "සරාභායි ජී" සමග
අබ්දුල් කාලාමයෝ ආචාර්ය වික්‍රම් සරාභායි හෙවත්  ආදරණීය “සරාභායි ජී” සමග

එයත් නිමකර යළි කාලාමයන් සිය රට පැමිණෙන විට “සර්භායි ජී” ගේ මනැසේ “රෝහිණී පරීක්ෂණ රොකට්ටු “( Rohini Sounding Rockets – RSR) ගැබ්ගෙන තිබිණි…

අබ්දුල් කලාම් ශූරීන්ගේ තියුණු නුවන සහ විචාර බුද්ධියට බෙහෙවින්ම ඇළුම් කළ ආචාර්ය සරභායි ඔහුගේ නවතම ව්‍යාපෘතිය වන Thumba Equatorial Rocket Launching Station (TERLS) හි ඉදිකිරීම සහ සංවර්ධනය සඳහා එතුමන්ට ඇරයුම් කරන ලදී… කෙටි කළකින්ම එහි සහාය අධ්‍යක්ෂකවරයෙකු වීමේ භාග්‍ය කාලාමයෝ උදාකරගත්හ….

37 හැවිරිදි අබ්දුල් කලාම් හි සේවයෙහි නියුතු විද්වත් සගයන්ට දේශණයක් දෙමින් - අසහාය ගගන ඉංජිනේරු මහාචාර්ය සතිෂ් ධාවන් ( ඔහුගේ නමින් මේ මොහොතේ ක්‍රියාත්මක විශාලතම ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය නම්කොට ඇත ) සහ මහාචාර්ය බ්‍රහ්ම ප්‍රකාශ් ඉදිරියෙන් ..
37 හැවිරිදි අබ්දුල් කලාම් හි සේවයෙහි නියුතු විද්වත් සගයන්ට දේශණයක් දෙමින් – අසහාය ගගන ඉංජිනේරු මහාචාර්ය සතිෂ් ධාවන් ( ඔහුගේ නමින් මේ මොහොතේ ක්‍රියාත්මක විශාලතම ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය නම්කොට ඇත ) සහ මහාචාර්ය බ්‍රහ්ම ප්‍රකාශ් ඉදිරියෙන් ..

1967 නොවැම්බර් 20 වැනි දින ඔවුන්ගේ වෙහෙසකර ප්‍රයාමයේ ප්‍රතිඵලය වූ “රෝහිණී – 75” නම් රෝහිණී පවුලේ මුල්ම චන්ද්‍රිකා ගගනකර යාත්‍රාව තුම්බාහි අහස් සලුව ඉරාගෙන ඝණ ඉන්ධන දහන පුළිඟු නංවමින් ඉහළට ඇදිනි…සාර්ථක ලෙස බලාපොරොත්තු වූ කක්ෂයට ළඟාවීමට එම රොකට්ටුව සමත්වීමත් සමග ඉන්දු දේශයේ පඬුවෝ තුඩ තුඩ “අබ්දුල් කලාම්” නම් තරුණ ප්‍රාඥයාගේ නම රැව්දෙන්නට විය…

රෝහිණී – 75 රොකට්ටුවේ බර කිලෝග්‍රෑම් 7.88 ක් වූ අතර, මීටර් 1.63 ක උසකින්ද, මීටර් 0.08 විෂ්කම්භයකින්ද යුතුවිය…එහි භූ දූරස්ථය ( Apogee ) වූයේ කිලෝමීටර් 10 කි.. ( භූ දුරස්ථය වූ කළී පෘතුවිය වටා කක්ෂගත වස්තුවක නම් කක්ෂ පථය මත පෘතුවියට ඇති උපරිම දුරස්ථය වනු ඇත…එසේ නැතහොත් ගුවන් ගත කරන ලද වස්තුවක ප්‍රක්ෂිප්තයෙහි උපරිම උන්නතාංශය වනු ඇත…මෙහිදී දෙවැන්න )

ඉන් වසරකට පසුව අලුතින් නිමැවුණු “ශ්‍රී හරිකොත” අභ්‍යවකාශ අටල්ල මතින් 1970 වසරේ ජනවාරි 01 වැනිදා “රෝහිණී – 125” නම් එම රොකට් පවුලේ දෙවැන්නා ගුවන් ගත කිරීමට ඔවුහු සමත්වූහ…කිලෝග්‍රෑම් 40 ක බරින් යුත්, මීටර් 2.8 ක් උස, විෂ්කම්භය මීටර් 0.12 වූ, තෙරපුම කිලෝනිව්ටන් 7.88 ක් වූ කිලෝමීටර් 20 ක දුරස්ථයක් සහිත එම රොකට්ටුවද සාර්ථක වූයෙන් මීළඟට ගුවන් බරක් (Payload) සහිත උපයෝගීතා තලයේ රොකට්ටුවක් කක්ෂගත කිරීමේ ක්‍රියාන්විතය ඇරඹිණි…

අජඨාකාශයටත් ඔබ්බේ ප්‍රඥාව විහිදවූ ශාස්තෘහු විසූ දඹදිව් භූමියෙහි බුද්ධි ප්‍රජාවගේ අභ්‍යවකාශ සිහිනය අනුක්‍රමිකව සැබෑවක් කෙරෙන මොහොත කෙමෙන් කෙමෙන් එමින් සිටියේය….

ගුරු දෙව් සමුගැන්ම 

මෙසේ වූ සාර්ථකත්වයන් රැසක් අතර වේගයෙන් වෘත්තිමය ඉදිරි ගමනක් ගිය අබ්දුල් කලාමයන් හට 1971 දෙසැම්බර් 20 වැනිදා අසන්නට ලැබෙන්නේ සිය ගුරු දේව තනතුරෙහි ලා සැළකූ මිනිසෙකුගේ වෙන්ව යාම පිළිබඳව අබග්ගයකි.

තමා සමග ඊට පැ‍යකට මත්තෙන් රෝහිණී ව්‍යාපෘතියේ හෙට දවස ගැන සාකච්ඡා කළ සිය ගුරුදේව ආචාර්ය වික්‍රම් සරාභායි කේරළයේදී හදිසියේ හටගත් හෘදයාබාධයකින් මෙලොව හැරගිය පුවත සිය සවනට එනවිට කාලාමයෝ සිටියේ රෝහිණී ස්ථාවර අටල්ලක හිණිපෙළක් මතය…

සරභායි ජී ගේ වෙන්ව යෑමත් සමග ඉන්දීය අභ්‍යවකාශ ව්‍යාපෘතියේ හෙට දවස ගැන සම්පූර්ණ වගකීමම සිය උරහිස් මත වැටුණා සේ අබ්දුල් කලාමයන්ට දැනිණි…

සිය ගුරුවරයාගේ සහ මග පෙන්වන්නාගේ වියෝවෙන් කෙටි කළක් සලිතව සිටි අබ්දුල් කලාමයෝ තමන් හට අහස් රදව්වෙහි අත්පොත් තැබූ ගුරු හට කරන ලොකුම ගෞරවය වන්නේ ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනෙහි ඔහු දුටු සිහින සැබෑ කරන්නට උපරිම වැර දැරීම බව වටහා ගත්හ…

මේ අනුව හේ දිනකට වෙහෙසෙන පැය ගණන දෙගුණ කළේය…නිදි වර්ජිතව බොහෝ රාත්‍රීන් ඉන්දු දෙස මිනිස් වර්ගයාගේ යකඩ හීසැර පිරිමැවුම් කරන විද්‍යාගාර වල, නිර්මාණාගාර වල, පර්යේෂණාගාර වල කල් ගත කළේය…

ඔහු නව යොවුන් වියේදී යුග දිවියක් පැතූ අයෙකු වුවද, මෙකළ “කළ වයස නිකම්ම ගෙවෙන්නේයැයි” සිය මව් පියන් ඇතුළු නෑ සියෝ නගන මැසිවිල්ල බැහැර කළෙකි…තමාට විවාහ වී බිරියක් සහ දරුවන් සමග ගත කරන්නට කාළයක් නැති බවත්, තමා උපන් අරමුණ වන භාරත මාතාවගේ උන්නතිය උදෙසා කටයුතු කිරීම යන ප්‍රස්තුතයට මුළු දිවියම කැප කරන බවත් ඔහු ඔවුන්ට කීවේය..

වික්‍රම් අතහිත අහිමි වුවත් ස්වයං විවේචනය සහිත යථාර්තවාදී බුද්ධි විශ්ලේෂණයන් මගින් අබ්දුල් කලාමයෝ ව්‍යාපෘති නායකත්වයෙහි රැඳෙමින් මීළඟ අවුරුදු 9 තුළ කිලෝග්‍රෑම් 100 ක් බර, මීටර් 3.678 ක් උස, කිලෝනිව්ටන් 17 ක තෙරපුම් බරයක් සහිත, කිලෝමීටර් 80 ක දුරස්ථයක් සහිත Rohini – 200 නම් රොකට්ටුවක් 1979 ජනවාරි 01 වැනිදා අර්ධ කක්ෂය වෙත යවන ලදී…

සිහිනයක අද්දර  –  “වර්නර් වොන් බ්‍රොන්” හමුව – 

එය වූ කළී, සිය ගුරු වික්‍රම් හෝ ප්‍රවීණයන් වන සතිෂ් ධාවන්, බ්‍රහ්ම ප්‍රකාශ් වැනි කිසිවෙකුත් ළඟපාතක නැති සමයක විදේශයකින් හෝ ප්‍රවීණත්වය සහ උපදෙස් සොයමින් අබ්දුල් කලාම් විද්වතාණෝ සැරිසැරූ සමයකි…ඔහුගේත් ඔහුගේ සගයන්ගේත් සිත්වල ඉච්ඡා භංගත්වය රජ කරමින් පැවතියේය….ප්‍රතිගාමී විකාරරූපී අදහස් දරන බලවේග විසින් මෙන්ම විදේශ නියෝජිතයන් විසින්ද ඉන්දීය අභ්‍යවකාශ වැඩපිලිවෙල “අල කර” දැමීමට උත්සාහ දරමින් සිටි යුගයකි ඒ….

ගගණ මැවිසුරු මෙන්ම සුප්‍රකට වෘතාන්තදර “සැටර්න් 5” රොකට්ටුවේ පිතුවර ජර්මානු ජාතික වර්නර් වොන් බ්‍රොන් ඇමරිකා එක්සත් ජනපදයේදී අබ්දුල් කලාමයන් හමුවන්නේ මේ අතර තුරය…

මේ වනවිට අබ්දුල් කලාමයන් දීර්ඝ ප්‍රයාමයන් මාලාවකින් හෙම්බත්වී සිටි අතර, ඉන්දියාව සොයන ඒ අභ්‍යවකාශ ප්‍රවිෂ්ඨය තමන්ගෙන් බොහෝ දුර ඈත බව හැඟෙන්නේ යැයි හෙතෙම වොන් බ්‍රොන් හමුවේ දුර්මුඛ වූ ලීලාවක් පෑවේය…

මෙයට හේතු විමසා සිටි වොන් බ්‍රොන් ට අවබෝධ වූයේ වික්‍රම් සරභායිගේ මරණයත් සමග ඔහුගේ අඩුව පුරවන්නට ගෙන්වන ලද විදේශ විශේෂඥයන් ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහන “කෝකියන් රැළකගේ විකාර සූපයක්” කරගෙන ඇති බවයි…

“කලාම් මහත්මයා ! මම ඔබට එක අවවාදයක් දෙන්නම්.. ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩ පිළිවෙලට අත්‍යවශ්‍ය සාධක මොනවාද කියන එක දන්න හොඳම මිනිහා විය යුත්තේ ඉන්දියානුවෙකුම පමණයි… ඔබ විදෙස් උපදෙස් සහ තාක්ෂණය පැතුවාට මම ඒකෙ වරදක් දකිනව නෙමෙයි…නමුත් ඉන්දියානුවන් අතුරින්ම කෙනෙක් මේ වැඩපිළිවෙල ජයග්‍රහණය කරා ගෙනියන්න උවමනායි…ඔබගේ දැනුම විශාලයි…මේකට තිබෙන බලාපොරොත්තුවත් එපමණයි”…

කලාම් ඉදිරියටම 

මෙයින් අනතුරුව අබ්දුල් කලාම් නැණසුරුවානෝ IRO හි  Satellite Launch Vehicle Project (SLV) අධ්‍යක්ෂක වරයා වශයෙන් පත් කෙරිනි…

විදේශ විද්වතුන්ගේ මතයන් සහ ඥාණ පරිත්‍යාගයන්ද මනාව කළමණාකරණය කරගනිමින්, ස්වකීය ගමන් මගේ හිස්තැන් පුරවාගැනීම උදෙසා ඉන්දිය ඥාණයද බොහෝ කොට භාවිතා කර ගැනීමට ආචාර්ය අබ්දුල් කලාමයන් සංවිධිත පරිශ්‍රමයක් දැරුවේය…මේ වනවිට රෝගී තත්වයෙන් සුවය ලබා යළි මෙම ප්‍රයත්නය සමග එක්වූ බ්‍රහ්ම ප්‍රකාශ් ද , විදේශ ගත වීමෙන් යළි පැමිණි මහැදුරු සතිෂ් ධාවන්ද සටනට නව පණක් දෙමින් සිටියහ…

ඉතිරිය මීළඟ ලිපියෙන් ………….

 

Advertisements

2 thoughts on “කාලාමයෙනි ඔබ….! ( පළමුවන පිදුම )”

  1. අපූරු විග්‍රහයක්… හැබැයි එඩිසන් නම් මම දකින්නේ අමුම අමු කුහකයෙක් විදියට.. දක්ෂයා සහ නිපැයුම් කරුවා.. ඒක හැබෑව. තෙස්ලාට කරපු කෙනෙහිලිකම් අහල මට නම් පොර අරහං…

  2. හරිම වටිනා ලිපියක් …………… ඔබේ රචනාවන් හරි වටිනවා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s