රට රස්සාවලට ගිහින් දාඩිය හෙලුවෝ ! මැද පෙරදිග සල්ලි ගහෙන් ගෙඩි ගෙන ආවෝ ?

(අ ) සම්මත සටහන් / හෙට එච්චර කළුවර නොවන්නට බ්ලොග් අඩවියේ පහත සබැඳියෙහි ඇතුළත් ලිපියට මා විසින් දක්වන ලද ප්‍රතිචාරය එම අඩවියේ ඇඩ්මින් වරයෙකුගේ ඉල්ලීම මත මෙසේ බ්ලොග් ලිපියක් ලෙස ඵල කරමි… මෙම බරපතළ සමාජ ඛේදවාචකය තේරුම් ගැනීමටත්, එයින් ගැළවෙන මාවතක් සබුද්ධිකව නිර්මාණය කර ගැනීමටත් මෙම ලිපි ද්විත්වයේම අන්තර්ගතය ශුද්‍ර අවකාශයක ලබා දිය හැකි මට්ටමේ දායකත්වයක් හෝ වේවායි පතමි !

(අ ) සම්මත සටහන් / හෙට එච්චර කළුවර නොවන්නට බ්ලොග් අඩවියේ ලිපිය

මගේ ප්‍රතිචාරය:

මේක ගැන සමීප උදාහරණ දෙකකින් කථාව පටන් ගන්න මට පුලුවන්…

මගේ අම්මගෙ සහෝදරයෙකුගේ බිරිඳ ( ඔවුන් ඉතා දිළිඳු පවුලක් ) ගෘහ සේවිකා වෘත්තිය සඳහා බහරේන් රටට ගියා…මුලදි ස්වාමි දියණියගේ යම් යම් අඩන්තේට්ටම් වලට මුහුණ දීමට සිදුවූවත් ( ඇය ඒවා බරපතළ ඝණයේ ලා නොසැලකුවත් මානුෂිකව බැලුවොත් බරපතළ වැරදි – රටක් ජාතියක් හැටියට බැලුවොත් බරපතළ ජාත්‍යන්තර අපහාස ) පසුව ඇයට ලැබුණු නිවස අයත් වුනේ බහරේන් හි පදිංචි සුදු ජාතික යුවළකට…ඔවුන් දෙදෙනා වෛද්‍ය වෘත්තිකයන්…ඔවුන් ඇයට ඉතාම කරුණාවෙන් සැළකුවා පමණක් නොවේ, ඔවුන් යනකොට මෙහෙකාර වෘත්තියට අදාළ වීසා ලබා දී ඇයව ඩෙන්මාර්කයට ගෙන ගියා…එයින් ඇයට පින පෑදුණා…ඇය කියනවා මෙහෙම කථාවක් :

“බහරේන් එකේත් හොඳට පඩි ගන්න, හොඳට සැලකුම් ලබන මේඩ්ලා ඉන්නවා…ඩෙන්මාර්ක් එකේ නම් වැඩකරන ඒගොල්ලො එන්නෙ කාර් වල…ඒ ගොල්ලන්ගෙ රටවල් වලින් ඒ ගොල්ලන්ට මේ රස්සාවල් කරන හැටි පුරුදු කරලා සහතික එහෙමත් දීලා තියෙනවා…ඒ ගොල්ලන්ගෙ එම්බසි වලින් ඒ ගොල්ල ගැන හොඳට හොයලා බලනවා…බ්ලා බ්ලා බ්ලා…”

—-වෘත්තීයකරණය—–

ගෘහ සේවිකා වෘත්තිය කියන්නෙ අපහාසාත්මක, හෙළාදැකිය යුතු, පහත් වෘත්තියක් නෙමෙයි….ඒක සවුදි අරාබිය ප්‍රමුඛ පර්සියන් ගල්ෆ් කළාපයෙ නම් “වහල් සේවයේ” පරිණාමික අවස්ථාවක් ලෙස සැළකිය හැකි වුවත්, දියුණු සමාජයන් ඒක “වෘත්තියක්” ලෙස පිළිගනු ලබනවා…

1. දියුණු සමාජයන් වල මෙහෙකාර වෘත්තියට ගෞරවණීය නාමකරණයන් ලබා දෙනවා – ගෘහ සහායිකාව වගේ නම් මිසක් “වැඩකාරි” කියන එක හෝ ඒ අරුත් දනවන වෙනත් නාමයන්ගෙන් අමතන්න දෙන්නෙ නැහැ….ඒ වගේම “සර්වන්ට්, හවුස් මේඩ්” වගේ තනතුරු තව දුරටත් නියෝග ලබා දී වැඩ කරවා ගන්න පුලුවන්, වැඩ කරන පැය ගාණක්, වැඩ නිමවන නිශ්චිත වෙලාවක්, නියමිත නිසි වැඩකොටසක් නැති සේවාවන් නෙමෙයි…

උදා: “සිසිලියා මට වතුර වීදුරුවක් ගෙනෙන් !… සොපිනා ආන් අර ගබඩා කාමරේ අස් කරල දාපන් ! නිමා උඹ තාමත් නිදිද බූරුවෝ ? ” වර්ගයේ මෙහෙකරුවන්, මෙහෙකාරියන් විෂයෙහි නපුරු ආත්තම්මලාගේ “වළව්” භාවිතය දැන් අහෝසියි….මේකට මගේ අනිත් සමීප උදාහරණය දෙන්නම්….එක් වරක් එක්සත් රාජධානියෙදි මගේ සරසවි ආචාර්ය වරියක් මුණ ගැහෙන්න ඇගේ නිවසට ගිය වෙලාවෙ ඇගේ කුඩා දියණිය අප වාඩිවී සිටි තැනට සමීප තැනක හිඳගෙන සිට ඔවුන්ගේ මෙහෙකාරියට යමක් ගෙනත් දෙන ලෙස පැවසුවා…වහාම මැදිහත් වූ ආචාර්ය වරිය

“You don`t call on Dorothy like that ! You call her “Miss” Dorothy ! and where`s the magic word? it should be “Please” Miss Dorothy, can I have my book?….”….manners Young lady!”

යනුවෙන් සිය දියණිය නිවැරදි කළා….මෙහෙකරුවා හෝ මෙහෙකාරිය යමක් ළඟට ගෙනවිත් දෙන්න හදනවිට “No No Don`t Bother…I`ll get it myself”  කියන තැනට දැන් දියුණු සමාජයන් ඇවිත් ඉන්නවා…මේ සමාජයන් වල මෙහෙකාර වෘත්තිය කියන්නෙ “නිශ්චිත දීමනාවක්, පැය ගණනක්, කළින් අර්ථ දක්වන ලද වගකීම සම්භාරයක් සහිත” වැදගත් රස්සාවක්

2. ක්‍රමවත් සමාජයන් වල මේ මෙහෙකාර වෘත්තිය සඳහාත් දැන් වෘත්තිය සුදුසුකම් බලනවා…ගමේ ගොඩේ මැටි වළං හෝද හෝද දරුවො නාව නාව ඉන්න සිරියාවතීලා එක පාරට නවීන තාක්ෂණික ආම්පන්න සහිත සුපිරි නිවාස වලට ඇදගෙන ගිහින් දාලා ඒ අය හම්බ කරන මුදලෙන් අයවැය පරතරය පියවනවට වඩා මනා සංවිධානයක් සමහර රටවල තියෙනවා..

එංගලන්තයේ නම් නම් “NVQ” ( National Vocational Qualification) සුදුසු කමෙහි විවිධ මට්ටම් මෙහෙකාර වෘත්තියේ සිට මහාචාර්ය වෘත්තිය තෙක් සියළුම වෘත්තීන් සඳහා අත්‍යාවශ්‍යයයි… මෙහෙකාර වෘත්තිය, ගෙවතු පාලක වෘත්තිය, මුරකරු වෘත්තිය, රියදුරු වෘත්තිය මේ යනාදි හැම වෘත්තියකටම NVQ 3 or 4 මට්ටම් වල නිර්දේශිත ඩිප්ලෝමා පාඨමාලා සහිත සුදුසුකම් තියෙනවා….ඒවා කරලා යන අයගෙ ඔලුවට අත හෝදන්න කාටවත් බෑ….

පුහුණු, නුපුහුණු ශ්‍රමිකයන් දෙපිරිසට හාම් පුත්තු සළකන විදිහෙ තියෙන්නෙ විශාල වෙනසක්…පුහුණු ශ්‍රමිකයාට බලවත් කේවල් කිරීමේ හැකියාවක් තියෙනවා…මෙතන නැත්නම් ඔහුට හෝ ඇයට වෙනත් රැකියාවක් හොයාගන්න ඉතාම කෙටි කාළයයි යන්නෙ….ඒ වගේම පුහුණුව හරහා ඔවුන්ගෙන් ඉටුවන රාජකාරියත් ක්‍රමවත්… ඒ වගේ අයට ඔවුන්ගේ සේවා ලාභීන් ගෞරවණීය ලෙස සළකනවා….

නුපුහුණු ශ්‍රමිකයන්ට කේවල් කිරීමේ බලයක් නෑ…ඔවුන්ට මේ ලැබෙන රැකියාව කියන්නෙ හාම්පුතා තමන්ට අනුකම්පා කරලා දෙන වරදානයක්…දෙපා මුළ වැටිලා, දෙන දෙයක් කාලා ඉන්න ඔවුන්ට සිදුවෙනවා….

3. සවුදි අරාබිය ප්‍රමුඛ පර්සියන් ගල්ෆ් කළාපය කියන්නෙ 21 වැනි සියවසේ මිනිස් ප්‍රජාවට නිගා දෙන 6 වැනි සියවසේ අශිෂ්ඨ කාන්තාර ගෝත්‍රිකයන්ගේ පරිසරයන් තුළ නිර්මාණය වුනු සම්ප්‍රදායන්, මතවාදයන්, සම්මුතීන් නීති යොදා දිවිහිමියෙන් රකින පිස්සන් කොටුවක් ….ලෝක ප්‍රජාවගේ කරුමෙට වත්මන් ශිෂ්ඨාචාරයේ ජීවනාලිය බඳු සම්පතක් ඔය කළාපයට කේන්ද්‍රගත වුනා….ඒකෙන් සල්ලි දෝරෙ ගැලුවට, සුපිරි කුවේර පවුල් කිහිපයක් බිහිවුණාට, මොට්ට තකතීරු වළත්ත වැඩවසම් පාලකයන් පිරිසක් විසින් තමන්ගේ සුඛ විහරණයන්ට හානියක් නොවෙන පරිදි “සලාෆි” මතවාදයන් ආරක්ෂා කර ලෝකයට බෙදා හරින කළාපයක් ඕක…

එක් පැත්තකින් ප්‍රාග්ධනය සුලභව ලැබුණත්, අනික් පැත්තෙන් එය සමග පැමිණිය යුතු නිදහස් ජීවිතය නොමැති වීම නිසා එක් හිසකින් පෙරටත්, අනික් හිසින් පසුපසටත් අදින ඔලු දෙකේ බූරුවෙක් වගේ රටක හිරවෙච්ච ජනතාවක් තමයි සවුදි ජනතාව…ඔවුන්ගේ කුටුම්භයන් වල නිරතුරුවම පවතින අසහනය තේරුම් ගන්න පුලුවන්.. “ප්‍රාග්ධනය මිනිසා හික්මවයි” කියලා මිල්ටන් ෆ්‍රයෙඩ්මන් කියපු කථාව බොරුවක් වෙනවා පර්සියන් ගල්ෆ් කළාපයෙදි….සාපේක්ෂව තරමක් හෝ ප්‍රගතිශීලී “භාත්වාදී” මත දරන යාබද රටවල් පවා අවුල් කරමින් අශිෂ්ඨ අන්තවාදයකට ලෝකය නතුකරන්න වෙර දරන මේ රටවල ජනතාව එක් පසෙකින් ක්‍රය ශක්තිය සහ ක්‍රය මූලයන්ට හොඳින් නිරාවරණය වෙනවා…. අනික් පසින් ප්‍රතිගාමී නූගත් මතවාදයන්ට නිරාවරණය වෙනවා…මේ කඹ ඇදිල්ල තුළ ඔවුන් සුවිශාල අසහනයක් ගොඩ නගා ගන්නවා… මේ අසහනය, ඔවුන්ගේ නොදැමුණු චර්යා රටාවන් සමග එකතු වෙලා තම දෙපා මුළට පැමිණ සිටින දිළිඳු, කේවල් කිරීමේ බලයෙන් තොර, රැකියාවෙන් ලැබෙන මුදල මත සියළු දේ තීරණය වෙන තුන්වැනි ලෝකයේ අසරණියන් පිටින් යනවා….සමාජ අවකාශය උඝ්‍ර ලෙස සීමාවීම නිසා, ශ්‍රව්‍ය, දෘෂ්‍ය, ජාල මාධ්‍ය හරහා පුළුල් වන නිම් වළලු සන්තර්පණය කරගන්න විදිහක් නැතුව විවිධ මනෝ විකෘතීන්ගෙන් පෙළෙන ගැහැණු, සහ ධනය සමග ආරෝපණය වෙන “Lord” Mode එකේ ඉන්න පිරිමි අතරට බලයක්, ප්‍රකාශ හැකියාවක්, වටිනාකමක්, හෝ “අයත්ය” යන හැඟීමක් නැතිව එන කෙනා කෙළින්ම “වෘකයන් අතර නග්නව” තමයි…

—–විසඳුම ——-

ලෝකයේ ගෘහ සේවක වෘත්තිය සඳහා ඉල්ලුමක් තියෙන එකම කළාපය මේ මැද පෙරදිග කියන ඔල්මාද ගුහාව නෙමෙයි…උතුරු ඇමරිකාව, යුරෝපය, සිංග්ගප්පූරුව, හොංකොං, ජපානය, ඕෂනියාව ( ඔසී, නවසීලන්තය ) වගේ රටවලත් විශාල ඉල්ලුමක් ගෘහ සේවක, සේවිකාවන්ට තියෙනවා…නමුත් වෙනස තියෙන්නෙ නුපුහුණු ශ්‍රමය ඔවුන් ගන්නෙ නෑ…

නිසි පුහුණුවක් සහ විධිමත් අධ්‍යාපනයක් මගින් අපේ ශ්‍රමිකාවියන්ට යම් “වටිනාකමක්, කේවල් කිරීමේ බලයක්” සහ වෘත්තික අනන්‍යතාවයක් දෙන්න පුලුවන් නම්, ඔය මැද පෙරදිග ඔල්මාද ගුහාවට නොයවා මේ රටවලට යවන්න පුලුවන්…

එහිදී සැලසෙන වාසි

1.ඉංග්‍රීසි බස පුහුණුව, වෘත්තීය පුහුණුවෙන් තව දුරටත් අධ්‍යාපනය ලබා අවසානයේ පුහුණු කාරියක වීමේ හැකියාව, රැකියා වෙළඳපලේ මොන රටකට ගියත් ඉහල ඉල්ලුමක් ලබාගත හැකි වීම
2.වෘත්තිය අනන්‍යතාවය සමග නිසි වැටුප, සේවක අයිතිවාසිකම්, මානව හිමිකම් සියල්ල ලැබීම
3. ශිෂ්ඨ සම්පන්න, නිදහස්, නීති ගරුක වටපිටාව, විදේශික ස්වදේශික සැමට සමව සලකන පොදු නීති පද්ධතිය, අවශ්‍ය ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකුට නීතියේ රැකවරණය ලැබීම, සැමට පහසුකම් සපයන සෞඛ්‍යාරක්ෂණ සේවා

4. යම් කාළයක් සිටි පසුව ඒ රටවල නිත්‍ය පදිංචි වීසා හෝ පුරවැසි භාවය ලබාගත හැකිවීම…එමගින් තමන්ගේ දරුවන්ටත් යහපත් අනාගතයක් සාදාගත හැකිවීම… ( Persian Gulf ගුබ්බෑයම් වල පුරවැසි භාවය නිකන් දුන්නත් වැඩක් තියෙනවද? උන් දෙන්නෙත් නෑ…ඒක වෙනම කථාවක් )

—-ආකල්පමය වෙනස—–

1.මැද පෙරදිග ගෘහ සේවිකාවන් වශයෙන් ‍යෑමෙන් තමන්ගේ ජීවිතය සැපවත් කරගත හැක කියලා තදින් මුල් බැස ගත්තු ආකල්පය මෙරට සාපේක්ෂව අඩු ආදායම් ලබන ස්ථරවල ජනතාවගේ සිත්වලින් ඉවත් කළ යුතුයි…ඔය ගෘහ සේවිකාවකට දැන් වැටුප් කීයද අරාබියෙ ලැබෙන්නෙ? මාසෙකට රුපියල් 50,000 ක් අරන් දෙනවා කියලා පොරොන්දු උනාට බොහෝ තැන් වල ගෙවන්න 20,000 – 35,000 අතර මුදලක්…උත්සාහ කරනවා නම් ඕනම කෙනෙකුට ඔය මුදල මෙරට තුල හොයන්න ක්‍රම තියෙනවා… නමුත් නාස්තිය, දුරාචාරය, මිථ්‍යා මතවාදයන්, යල් පැණගිය චින්තන සැකැස්ම, වැනි බොහෝ දෑ නිසා මෙරට සාපේක්ෂව අඩු ආදායම් ලබන ස්ථර වලට ලැබෙන මුදල් වත් ඉතිරි වන්නේ නෑ…

2.නමුත්, පුහුණු ශ්‍රමිකයන් යන වෘත්තීන්ට හැර ( පෙදරේරුවන්ගේ, රියදුරන්ගේ, යන්ත්‍ර ක්‍රියාකරවන්නන්ගේ, තාක්ෂණ ශිල්පීන්ගේ ඉඳලා ඉංජිනේරුවන් දක්වා ) අනෙකුත් නුපුහුණු වෘත්තීන්ට, මැද පෙරදිග ගිය අය ( විශේෂයෙන්ම ගෘහ සේවිකාවන් ) මෙහේ සැපවත් ජීවිත ගොඩ නගාගෙන තියෙන හැටි ගැන උදාහරණ දාහක් පෙන්නන්න බෑ කියලා මම ඕන ඔට්ටුවක් දානවා…ඔච්චර ලක්ෂ ගාණක් යනවා…එයින් 80%+ අවසානයේ ළඟා කරගන්නේ හිටියාටත් වඩා කිහිප වාරයක් අන්ත දුක්ඛිත ජීවිතයක්…එක්කෝ ඒ යන අය එතෙරදී වැනසෙනවා…නැත්නම් ඔවුන්ගේ ධනය, සහ පවුල මෙතෙරදී වැනසෙනවා…අවසානයේ සැපවත් ජීවිතයක් සොයා යන අසරණයන් සියළු දෙනා පරාජිතයන් වන අතර, ලාභ ශ්‍රමය සූරා කෑ ඒජන්සි කරුවාගේ සිට ඉඩම් උගසට ගෙන ණය දුන් පොළීකාරයා හරහා අරාබියේ තෙල් සල්ලි කාරයා දක්වා සියල්ලෝම ජයග්‍රාහකයන් වෙනවා…. මේ යන්නේ ඉතාම අවිධිමත් ගමනක්..මේ ගමන නිසා ඒ වගේ නුපුහුණු ශ්‍රේණින් වල නූගත් ශ්‍රමික, ශ්‍රමිකාවන්ට ලැබෙන දේට වඩා අහිමිවිය හැකි දේ බොහෝයි….

3. මැද පෙරදිග යන අය පිළිබඳව අපේ රට තුළ ගොඩනැගී ඇති ආකල්ප වෙනස් විය යුතුයි…ඒ යන කාන්තාවන් තමන්ට උරුම රැකවරණය අහිමි කරගෙන යන්නෙ නිවාඩු ගන්න නෙමෙයි… ඔවුන් උපයන විදේශ විනිමය මේ රටට කරන්නෙ සුවිශාල සේවයක්…ඒත් ඔවුන් එහෙදීත් තිරිසන් විදියට සූරාකෑමට ලක් වෙලා මෙහෙට ආවාම ගුවන් තොටුපළේ ටැක්සි රියදුරාගේ සිට තමන්ගේම සැමියා, පුතා, සොයුරා දක්වාම විවිධ අඩන්තේට්ටම් වලට මුහුණ දෙනවා….

Advertisements

7 thoughts on “රට රස්සාවලට ගිහින් දාඩිය හෙලුවෝ ! මැද පෙරදිග සල්ලි ගහෙන් ගෙඩි ගෙන ආවෝ ?”

  1. දමිත්ගෙ අදහස මෙතෙන්ටත් දාපු එක හොඳයි.
    http://raj1st.blogspot.com/2013/11/blog-post_8.html
    මේ තියෙන්නෙ මම ඔය කාරනාව ගැන ලියු සටහනක්. කියන්න තියන දේවල් හුඟක් එතනදි කිව්ව නිසා මෙහෙම ප්‍රශ්නයක් අහන්නං.

    දැනට මැදපෙරදිග ඉන්න ගෘහ සේවිකාවන් ප්‍රමානය සන්සන්දනය කිරීමේදී පුහුණු ශ්‍රමිකයන් වෙනත් රටවලට යැවීම ප්‍රායෝගිකද? ඒක කරන්න පුළුවන් දෙයක්ද?

    1. රාජ් ඔබ මෙම අඩවිය ප්‍රචාරය කිරීමට ලබාදෙන අනගි සහායට බෙහෙවින්ම ස්තූතියි ! දිගටම ඔබේ සහාය අපේක්ෂා කරනවා…

    1. කුරුටු ගෑ ගී පවුර ඔබට බෙහෙවින්ම ස්තූතියි අපට ලබා දෙන ප්‍රචාරයට….රාජ්ටත් මම ස්තූති කළා මේ පිළිබඳව…ඔබේ සහාය මට දිගටම අවශ්‍යයයි….

  2. මම කුඩා කාලයේ මාව බලාගත් ආයා තවමත් අපේ මවගේ නිවසේ ඉන්නවා. ඇයට අපි සලකන්නේ පවුලේ කෙනෙකු වගේ. ඇය මගේ නිවසට පැමිණි විට අපි කන්නේ ඇය සමග එකම මේසයේ. මම වරින් වර ඇයට මුදල් යවනවා. දුක සැප බලනවා. අසනීපයක් වුවහොත් මගේ මිත්‍ර වෛද්‍යවරුන්ට දුරකථන ඇමතුම් දී ප්‍රතිකාර පහසුකම් ලබා දෙනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s