පරලොව අපේ නිර්මාණයක්ද?

ඔබට, අපට දකින්නට සහ අසන්නට ලැබෙන සියළුම ආගම් වල ආගමික දේශනයන් හරහා ජීවත්ව සිටින මිනිසුන්ට වෙනත් ජීවිතයක් ලගා කරගත හැකි ස්ථාන පිළිබඳව විග්‍රහ කරති..මෙකී දේශනා වල පොදු හරය ගෙන බලන කළ පහත සඳහන් ලක්ෂණ දැක ගත හැක….

1. වත්මනේදී අප මේ ග්‍රහ ලෝකයේ ගෙවන ජීවිතය අසංතෘප්ත, අසම්පූර්ණ, බිඳෙන සුළු, එකක් බව පෙන්වා දීම….

2. එකී ජීවිතයට අදාළව අප විසින් “සැප, සුඛ විහරණ” ලෙස සම්මත කරගෙන සිටින ලැබීම්, නොලැබීම්, ක්‍රියාකාරකම්, පැවරීම්, පවරා ගැනීම් වනාහි ලුහුබැඳිය යුතු නොවන තරම් තාවකාළික බවත්, ඒවා කෙරෙහි ඇති ආශාව අප විසින්ම :

* චින්තන පරිණාමයක් ( යැයි සළකනු ලබන චිත්ත අභ්‍යාසයන් පෙළක් ) මගින් හෝ
* යම්කිසි “අධි ස්වභාවික” බලවේගයකට කීකරු වී, ඒ බලවේගය දෙසට නැඹුරු වීමෙන් හෝ
* ඇතැම් විට මේ දෙකේම එකතුවකින්

බිඳහෙළා ගත යුතු බවක් කියති….එමෙන්ම

3. එකී දේශනාවලට සහ හෝ ඒ දේශනා වල නිර්දේශ කරනු ලබන අධිගමයන්ට කොන්දේසි විරහිතව සහ නිරපේක්ෂව, අසීමිතව කීකරු වීම තුළින් එකී සැප හෝ සුඛ විහරණ ලෙස අප විසින් කරගෙන සිටින සම්මතයන් වල “පරමාදර්ශී, පරමෝත්තම” අන්තය කරා ළඟා විය හැකි බවත්

4. එකී නිර්දේශයන්ට අකීකරු වීම, අනවනත වීම තුළින් අප විසින් “දුඛ, දුක්ඛ, ශෝක” යනාදි වශයෙන් සෘණාත්මක සංවේදනා ලෙස කරගෙන සිටින සම්මතයන් වලද “පරම” අන්තයන් කරා අපට යාමට සිදුවන බවත්,

මෙසේ සියලු ආගම් වලට එකඟ විය හැකි හරයාත්මක කරුණු පෙළක් අපට ආගමික දේශණා ඇසුරෙන් උකහා ගත හැක….

මිනිසා “පරලොව” ගොඩ නගන්නේ ඇයි?

1. ජීවිතය උපතට පෙර පැවතියාද? තමා ආවේ කොහේ සිටද? තමා ආවේ ඇයි? යන ප්‍රශ්ණ වලට අනුභූතිකව 100% විශ්වාසවන්ත පිළිතුරු සපයා ගත නොහැකි බැවින් ඒවා බැර කිරීම සඳහා විවෘත ගිණුමක් ලෙස

2. මරණයෙන් පසුව යළි පැවැත්මක් තිබේද? යන්නේ කොහේටද? යන ප්‍රශ්ණ වලට අනුභූතිකව 100% විශ්වාසවන්ත පිළිතුරු සපයා ගත නොහැකි බැවින් ඒවා බැර කිරීම සඳහා විවෘත ගිණුමක් ලෙස

3. සිය පැවැත්ම මරණයෙන් පසුව අහෝසි වී යාම සහ ඒ ඔස්සේ “බලාපොරොත්තු” අතුරුදහන් වීම නිසා ඇතිවන පරම භීෂණයෙන් මිදී ශාන්තිය උදා කර ගැනීමට / වේදනා නාශකයක් ලෙස

4. සමාජ ව්‍යුහයන් හැසිරවීමට….

“පැවැත්ම” සඳහා ඇති ආශාව

මෙලොව අනෙක් සියළු සතුන්ට සේම මිනිසාටද පැවැත්ම උදෙසා ඉතාම ප්‍රබල ස්ව-කේන්ද්‍රික ආශාවක් ඇත….මෙය මිනිස් ප්‍රකෘතියෙහි ඇති බලවත්ම ආශාව යැයි නොකියමි…එක්, එක් අවස්ථාවේ හැටියට වෙනත් ස්ව-කේන්ද්‍රික ආශාවන් පැවැත්මේ ආශාවද අබිබවා ප්‍රබල වෙයි…උදා: “තමාගේ රට, තමාගේ මව්බිම” යන තමා කේන්ද්‍ර කර ගත් පාර-භෞතිකය නිසා ඉමහත් තෘප්තියක් ලබන මිනිසුන් ඒ සංකල්පය රැඳී පවතින භූමිය උදෙසා සිය ජීවිතය පුද කරමින්, සිය පැවැත්ම අහෝසි කර දමති.. සතුන්ටද මේවා පොදුය..පනාමුරේ ඇත් රාජා සිය රැළෙන් අල්ලාගත් සතුන් වෙනුවෙන් සටන් වැදී දිවි දුන්නේය….”තමාගේ දරුවා” යන ස්ව-මූලික ආශාව නිසා, දරුවන් වෙනුවෙන් සිය දිවි දී මව්වරුන් සමහරෙක් පැවැත්ම අත්හැර දමති…සිය පැටවුන් ආරක්ෂා කර ගැනීමට මිනිස් මවුවරු මෙන්ම සත්ව මවුවරුන්ද අවදානම දෙසට පනිති…..මේ තැන්වලදී තමන්ගේ පෞද්ගලික පැවැත්ම අහෝසිකර දමන මිනිස්සු තමන්ගේ පෙළපත් පැවැත්ම සහ නාම කෝෂයන්ගේ පැවැත්ම එමගින් තහවුරු කර ගැනීමට වෙර දරති….නමුත් මෙවැනි විශේෂිත තත්වයන්හිදී හැර අනෙකුත් සාමාන්‍ය තත්වයන් හිදී තමාගේ ප්‍රකෘතිය දරන ශරීරය පවත්වා ගැනීම සඳහා මිනිසා ප්‍රමුඛ සත්ව ප්‍රජාව නොකර දෙයක් නැත…

“පැවැත්ම” යනු කුමක්ද? – Man`s Struggle to “Survive” Death

“පැවැත්ම” ට අර්ථකතන බොහොමයක් තිබුනත්, අප කථා කරන්නට යන මාතෘකාව විෂයෙහි ඇතීනියානු මහා දාර්ශණික ත්‍රිත්වයෙහි තෙවැන්නා වන ඇරිස්ටෝටල්ගේ අදහසකින් ඇරඹීම යෙහෙකැයි සිතමි….

ඇරිස්ටෝටල් සිය “Metaphysics” යන කෘතියෙහි ” සමන්විත බව, සමන්නාගතය, සන්නිවේදන, සංජානන, සංවේදනා, සහිත, සබඳතා සහ සංවිධානයන් සහිත, කෘත්‍ය සහ තථ්‍ය යථාර්තය” සහිත වීම පැවැත්ම ලෙස අරුත් දක්වා තිබේ….

මේ පැවැත්ම යනු වාස්තවික යථාර්තයක්ද? පැවැත්මට මුහුණ දෙන අය අවබෝධ කරගනු ලබන යථාර්තය සැබෑවද? එය මුසාවක් වන්නේ නම් ඒ කෙසේද? යනාදි බොහෝ කරුණු කිසිදු සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි හෙයින් ඒවා සදාතනික විවාදයන්ට බඳුන්ව පවතී…එසේ වුවත් “අප විසින් දෙවියන් විෂයෙහි, යථාර්තය විෂයෙහි අත් දකින දේ කෙතරම් සැක සහිත වුවද ඒවා ගැන මා සිතමි…එසේ හෙයින් මා පවතිමි…” ( “Cogito Ergo Sum“) යන මතය පුනරුද දාර්ශණික රීන් ඩෙකාට් පළ කර ඇත….මේ අනුව පැවැත්මේ යථාව කෙසේ වෙතත් පැවැත්මක් ඇති බව නම් තහවුරු කර ගත හැක….

මෙලොව අනෙක් සියළු සතුන්ට සේම මිනිසාටද පැවැත්ම උදෙසා ඉතාම ප්‍රබල ස්ව-කේන්ද්‍රික ආශාවක් ඇත….මෙය මිනිස් ප්‍රකෘතියෙහි ඇති බලවත්ම ආශාව යැයි නොකියමි…එක්, එක් අවස්ථාවේ හැටියට වෙනත් ස්ව-කේන්ද්‍රික ආශාවන් පැවැත්මේ ආශාවද අබිබවා ප්‍රබල වෙයි…උදා: “තමාගේ රට, තමාගේ මව්බිම” යන තමා කේන්ද්‍ර කර ගත් පාර-භෞතිකය නිසා ඉමහත් තෘප්තියක් ලබන මිනිසුන් ඒ සංකල්පය රැඳී පවතින භූමිය උදෙසා සිය ජීවිතය පුද කරමින්, සිය පැවැත්ම අහෝසි කර දමති.. සතුන්ටද මේවා පොදුය..පනාමුරේ ඇත් රාජා සිය රැළෙන් අල්ලාගත් සතුන් වෙනුවෙන් සටන් වැදී දිවි දුන්නේය….”තමාගේ දරුවා” යන ස්ව-මූලික ආශාව නිසා, දරුවන් වෙනුවෙන් සිය දිවි දී මව්වරුන් සමහරෙක් පැවැත්ම අත්හැර දමති…සිය පැටවුන් ආරක්ෂා කර ගැනීමට මිනිස් මවුවරු මෙන්ම සත්ව මවුවරුන්ද අවදානම දෙසට පනිති…..මේ තැන්වලදී තමන්ගේ පෞද්ගලික පැවැත්ම අහෝසිකර දමන මිනිස්සු තමන්ගේ පෙළපත් පැවැත්ම සහ නාම කෝෂයන්ගේ පැවැත්ම එමගින් තහවුරු කර ගැනීමට වෙර දරති….නමුත් මෙවැනි විශේෂිත තත්වයන්හිදී හැර අනෙකුත් සාමාන්‍ය තත්වයන් හිදී තමාගේ ප්‍රකෘතිය දරන ශරීරය පවත්වා ගැනීම සඳහා මිනිසා ප්‍රමුඛ සත්ව ප්‍රජාව නොකර දෙයක් නැත…

“පැවැත්ම” යන්න එහි සියළු ස්වරූප වලින් අහෝසි වෙනවා යන්න මිනිසාට දැරිය නොහැකි භ්‍රාන්තියකි…භීෂණයකි…

මේ පැවැත්ම තහවුරු කර ගැනීම විෂයෙහි මෙලොව පරිකල්පන හැකියාව සහ සබුද්ධික විශ්ලේෂණ හැකියාව ඉතාම තීව්‍රව පවතින මිනිසා විසින් නීති, රීති, සම්මුතීන්, අයිතිවාසිකම්, ආරක්ෂණ වැඩපිළිවෙලවල්, දණ්ඩන නිවර්තන ක්‍රමයන් ආදී සංකීර්ණ සම්මුති සහ ක්‍රියාදාම ජාලයක් පවතී….

නමුත් මිනිසාට විශාල ප්‍රශ්ණයක් ඇත…තමුන් මෙතරම් ආශා කරන, ආදරය කරන “පැවැත්ම” සහ පැවැත්ම සමග විෂයබද්ධ “සංවේදනා, සංජානන” මරණයෙන් ඔබ්බටත් එසේම ලැබෙන සහ තිබෙන බවට වග බලා ගන්නේ කෙසේද? මිනිසා විසින් මෙලොව පැවැත්ම තහවුරු කරගැනීම සඳහා ජාලගත කර ඇති කිසිවක් මරණයෙන් “ඔබ්බ” නම් වූ යුගය සඳහා වලංගු නොවෙති…

බලාපොරොත්තුව මිනිසා ජීවත් කරවයි…බලාපොරොත්තුව පැවැත්ම මත 100% පදනම්ව ඇතැයි කීම මුසාවක් නොවේ….පැවැත්ම අහෝසි වන්නේද, ඒ මොහොතේ පටන් බලාපොරොත්තුව නැතිව යයි…සහමුලින්ම අතුරුදහන් වෙයි…

බලාපොරොත්තුව අහෝසි වීම මිනිසා පිස්සු වට්ටන සුළුය…මිනිසාගේ ප්‍රකෘතිය පවතින්නේ බලාපොරොත්තුව පවතින තුරු පමණි….බලාපොරොත්තුවෙන් තොර තත්වයකදී ප්‍රකෘතිය, සවිඥානය හානියට පැමිණෙයි….යම් මොහොතකින් එහාට පවතින බලාපොරොත්තු කිසිවක් නැත යැයි කීම තරම් මිනිසා භීතියට පත් කරවන වෙනත් දෙයක් නැත…ඉදින් යම් හෙයකින්, ඒ “බලාපොරොත්තු සියල්ල, සහ ඒවායේ ඉටුවීම” අතුරුදහන් වන මොහොත හෙවත් “පැවැත්ම” නවතින මොහොත යථාර්තයක් වෙතොත්, ඒ යථාර්තය මිනිසාට මුහුණ දීමට අසීරුම යථාර්තයයි….මිනිසා අමතක කිරීමට කැමතිම යථාර්තයයි….

“මරණය” හෙවත් පැවැත්ම දරන කයට තව දුරටත් එකී අත්‍යාවශ්‍ය ජෛව-රසායනික ක්‍රියාකාරකම් නොපිරිහෙළා කළ නොහැකි වන අවස්ථාවෙන් ඔබ්බට “පැවැත්මක්” ඇතැයි සිත හදා ගැනීම මිනිසා මේ පිස්සු වට්ටන, බියකරු යථාර්තයට පිටුපෑමට කරන පළමුවැනි උත්සාහයයි…මෙමගින් මිනිසා “මැරුණාට කමක් නැත…මරණින් ඔබ්බටත් පැවැත්ම පවතී…එසේ හෙයින් බලාපොරොත්තුද පවතී…” යැයි තමාවම සනසා ගනිති….මරණයත් සමග කිසිවක් නොමැති Nothingness එකට පා තබනවා කියන විට මිනිසාගේ ඇඟේ මයිල් කෙළින් වෙයි…ඊට වඩා අපායේත් බලාපොරොත්තුවක් තිබිය හැක….

බලාපොරොත්තුව වැඩි වශයෙන්ම පවතින්නේ සංවේදනා තුළය….අපායේත් සංස්ථානික සංවේදනයන් ඇති බැවින් මුකුත් නොපවතින Nothingness එකට වඩා ඒකත් හිතට සහනයකි….

මෙය “පරලොව” සාදන පළමු ගඩොල ලෙස ගනිමු….

පරලොව Architect මිනිසාමය….එහි අනෙකුත් නිර්ණායකයන් මොනවාද?

ඉහත කියන ලද පළමු ගඩොල මත මිනිසා පරලොව ඉදිකිරීම ආරම්භ කරයි….මේ ඉදි කරන ලෝකයේ ස්වභාවය තීරණය වන තවත් කරුණු පහත දැක්වෙයි…..”පරලොව” හෙවත් මරණින් මතු පැවැත්ම හෝ ප්‍රති-පැවැත්ම පිළිගන්නා සියළුම ආගම් වල මේ ලෝකය තැනෙන කරුණු වල පොදු ලක්ෂණ දැකිය හැක…

එක් ජීවියෙකු පමණක් සිටින අවකාශයක් තුළ ඒ ජීවියාට උපරිම නිදහසක් ලැබෙයි…එහෙත් එම අවකාශයට තවත් ජීවියෙකු පැමිණි වහාම, ඒ අවකාශය “බෙදාගැනීමට” සිදුවන බැවින් ජීවීන් දෙදෙනාටම රීතීන් සම්මත කරගෙන ඒවාට යටත් වීමට සිදුවෙයි….එසේ වන්නේ ඒ ජීවීන් දෙදෙනා එකිනෙකාගේ උවමනාවන්ට අදාළ තම පැවැත්ම “හසුරුවා” ගත යුතු හෙයිනි….නීතිය නම් වූ ස්වාමියා අප විසින්ම නිමවා ගන්නේ මේ අයුරින් සමස්ථ සමාජයම හසුරුවා ගත යුතු හෙයිනි….

මෙසේ “හැසිරවීමෙහි” අරමුණු නම්:

ප්‍රාථමික අරමුණු:

1. මිනිස් ජීවීහු අතර බෙදාගන්නා පරිසරයෙහි සංහිඳියාව, සාමය පවත්වා ගැනීම
2. අසාධාරණය ප්‍රහීණ කිරීම
3. මනසින් උසස් ජීවියා බැවින් කැලෑ නීතියට අනුව රූප කායේ ශක්ති ප්‍රමාණය මත පරිභෝජනය කිරීම වැලැක්වීම

ද්විතීයික අරමුණු:

1. පන්ති භේදයන්, ජාති, ජන වාර්ගික හෝ ලිංගික විභේදනයන් පවත්වා ගැනීම, ඒවා අහෝසි කරන්නට හෝ සාහසික ලෙස අතික්‍රමණය කරන්නට, අන්තර්ගමනය කරන්නට දරන උත්සාහයන් වැළැක්වීම – දුර්වලයන් පෙළීම

2. ඉහත කී භේදයන් නිසාම වන පරිහාරයන් ( Discrimination ) අහෝසි කිරීම ( ශිෂ්ඨ සම්පන්න සමාජයන් වල නම් ) – දුර්වලයන් ආරක්ෂා කිරීම
3. සාමාජීය හැසිරීම සුළුතරයකගේ නොව බහුතරයකගේ අපේක්ෂා වල සම්මිශ්‍රණයක් ලෙස පවතින බවට වග බලා ගැනීම – කල් පවතින සංහිඳියාව
4. අනර්ථ කාරී හෝ සමාජ විරෝධී දේ ලෙස සම්මුතිගත දේ සිදුවීම වැළැක්වීම…

නීතිය මෙන්ම පරලොව තනන ආගමික දර්ශණයන්ද ඒ සඳහා බොහෝ විට යොදාගන්නේ:

1. සමාජයට අවශ්‍ය වන “යහපත්” යැයි සම්මත හැසිරීම උත්තේජනය කරන ත්‍යාග, දීමනා හෝ ඒ පිළිබඳ “පොරොන්දු”
2 සමාජයට අනවශ්‍ය “අයහපත්” යැයි සම්මත හැසිරීම නිෂේධනය කරන දණ්ඩනය, භීෂණය හෝ ඒ පිළිබඳ “හෙළිදරව්”

මේ අපිම සාදන පරලොවෙහි ගොඩනැගිලි ද්‍රව්‍ය වේ ….

“පරලොව” විවෘත ගිණුමක් ලෙස

දර්ශණයෙහි මූලික කාර්ය භාරය වන්නේ නොවිසඳුණු ගැටලු වලට විසඳුම් සෙවීමය…මෙහිලා මිනිසාට මූලිකවම ඉස්මතුවන ගැටලු වන්නේ?

“මම කවුද?”

“මම ආවේ කොහි සිටද?”

“මම පවතින්නේ ඇයි? මෙලොව පවතින්නේ ඇයි? විශ්වය පවතින්නේ ඇයි?”

“මේ සියල්ල අවසාන වන්නේ කෙසේද? ඇයි අවසාන වන්නේ?”

“අවසානයෙන් පසුව කුමක් වේද?”

” මේවා ඉබේම වෙනවද? කවුරු හරි කරවනවද?”

මේ ප්‍රශ්ණ මාලාවට පිළිතුරු සෙවීමම “ආගම්” බිහිවීමේ මූලික හේතුද වන්නේය……

ආගම් සියල්ල හා බැඳී තිබෙන පරලොවද මේ සියළු ප්‍රශ්ණ වලට නොදිය හැකි පිළිතුරු අහුලා ගනු ලබන සහ බැර කරනු ලබන විවෘත ගිණුමකි….

මෙහෙන් එහෙටද ?  එහෙන් මෙහෙටද ?

පරලොව හැමවිටම පාර-භෞතිකය…මරණයෙන් ඔබ්බේ අපට ඉන්ද්‍රිය පූර්වව සංවේදනය කළ හැකි භෞතිකයක් නැති හෙයින් මරණයෙන් ඔබ්බේ පවතින සියළු දේ අපට ගෝචර නොවේ….

ඇතැම් දාර්ශණිකයන් මේ පාර-භෞතික “පර ලෝකය” අප මේ මොහොතේ යථාවේ අත් දකින ලෝකයට වඩා බෙහෙවින්ම ශ්‍රීමත් වූවක් බව පැවසූහ….අපගේ ලෝකය ඒ ශ්‍රේෂ්ඨ වූ ලෝකවල සෙවණැල්ලක් පමණකැයි කීහ….

සොක්‍රටීස් විශ්ව සාධාරණය සහ විශ්වීය නිරවද්‍යතාවය ගැන දේශනා කළේය…ඔහුගේ සිසුවා වූ ප්ලේටෝ අප දකින අසම්පූර්ණ භෞතිකය පිළිබඳව සංකල්ප අපට සාදා දෙන “සංකල්ප ලෝකය” ( Ideal World – Platonic Idealism ) ගැන දේශනා කළේය…මොවුන් දෙදෙනාම බොහෝ දුරට කලේ භෞතිකය යනු පාර-භෞතිකව පවතින්නක අවර ගණයේ කොපියක් පමණක් යැයි අපට ඒත්තු ගන්වන්නට උත්සාහ කිරීමය….

යම් යම් දෑ විෂයෙහි අපට තිබෙන පරම පරිපූර්ණ සංකල්පනා අපට ලැබී ඇත්තේ අප මෙලොව උපදින්නට පෙර සිටම සංකල්ප ලෝකයෙහි ඒවායේ පරමාදර්ශ දැකීමෙන් හිතේ තැන්පත් වූ අනුභූතීන් ඇසුරින් බව ප්ලේටෝ කීවේය…ඒ අනුව සංකල්ප ලෝකයෙහි සිටින පරම පරිපූර්ණ ගැහැණියගේ “අච්චුව” දැක තිබෙන අපට ඒ ගැහැනියගේ පරිපූර්ණත්වයෙන් යම් යම් කොටස් විවිධ ස්වරූපයෙන් පිහිටා තිබෙන භෞතික ලෝකයේ ජීවීන් දැක ඔවුන් “ගැහැණු ” ලෙස හඳුනා ගැනීම කරගත හැක…ගැහැණියක් යනු “වීනස්” දෙවඟනගේ බඳු පරම නිරවද්‍ය ප්‍රමාණයෙන් සහ ස්වරූපයෙන් යුතු, දෙ-ඇස්, කේශකළාපය, ග්‍රීවය, දෙතන, උදරාශ්‍රිතය, යෝණිය, දෙපා, නිතඹ, පිට ප්‍රදේශය ඇතිව සංකල්ප ලෝකයේදී අප දකින ලද ජීවියෙකි…මෙලොවදී මේ ලක්ෂණ වලට කිට්ටුවෙන් යන ස්වරූප ඇති අය දකින විට අපට සංකල්ප ලෝකයේ දුටු, ඒ දුටු නිසා අපි “දැනගෙන” අනුභූති ගත කරගෙන සිටි “සංකල්ප ගැහැණිය – වීනස් දෙවඟන” ( Ideal Woman – Venus) සිහිවීමෙන් මේ දකින ජීවියා “ගැහැණියක්” (Categorization) ලෙස හඳුනාගෙන ඒ කුලකයට එකතු කර ගනී….

බයිබලය සහ කුරාණය යන ඒබ්‍රහමික ඒක දේවවාදී ආගම් දෙකම දෙවියන් වහන්සේ මිනිසාව සිය පරමෝත්තම ස්වරූපයෙන් නිමැවූ බවක් කියති….බුදුන්ගේ දර්ශණය මිනිසා ආභස්වර බ්‍රහ්ම ලෝක වලින් පැමිණි සුසමාදර්ශී ස්වරූප සහිත ජීවීන් රස පොළව උල කා වීම නිසා මිනිස් වර්ගයා බිහිවූ බව කියයි…හින්දු දර්ශණය පරම පීතෘ බ්‍රහ්මයාගෙන් මිනිසා බිහිවූ බවත්, එහිදී “ථාර්-ශක්ති” නොහොත් සරස්වතිය සහිත විශ්ව ස්ත්‍රීත්වය ගැහැණිය බිහි කරන්නට දායක වූ බවක් කියයි… මේ සියල්ල පොදුවේ කියන්නේ මිනිසා සහ මිනිසා අයත් මෙලොව භෞතිකය, එයට වඩා ශ්‍රීමත් පැවැත්මකින් ආ බාළ කොපි බවය…ඒ අනුව ආදම් පරම පූර්ණ පුරුෂයෙකි…ඒවා පරිපූර්ණ ගැහැණියකි…එහෙත් ඔවුන් දෙදෙනා රමණයෙන් බිහිවූ මිනිසුන් සහ ගැහැණුන් දෙවියන් සෘජුව නොමැවූ හෙයින් අසම්පූර්ණය….කෑමකට ඇබ්බැහි වූ පමණින් බ්‍රහ්මයන්ගේ පරිපූර්ණ රූපකායෝ අසම්පූර්ණ වෙති…බලයෙන් පිරිහෙති….ඇත්තටම මේ කියන්නේ අප දකින යථාවෙන් ඔබ්බේ පවතින විකල්ප යථාවක පැවැත්මක් ගැනද? නො-එසේ නම් මිනිසා තමන්ගේ සීමා මායිම් වලින් ඔබ්බට යා ගත නොහැකි ගොඩ නගා ගන්නා මනෝ භ්‍රාන්තීන් සමග තමන්වම සසඳාගෙන වැටී සිටින මුළාවක් ගැනද?…

මේ කවුරුත් කියන්නේ “විශිෂ්ඨ, පරිපූර්ණ “එහේ” සිට දූෂිත, අසම්පූර්ණ “මෙහේට”  ආ බවකි….

මෙම ලියුම්කරුවාට හැඟෙන පරිදි පාර භෞතික සහ භෞතික අතර සබැඳියාව නිවැරදිව දේශනා කරන ලද පළමු ග්‍රීක දාර්ශණිකයා වන්නේ ඉහත ප්ලේටෝගේ සිසුවෙකු වන ඇරිස්ටෝටල්ය…

ඇරිස්ටෝටලාචාර්යයා මෙසේ කීවේය:

“All human actions have one or more of these seven causes: chance, nature, compulsions, habit, reason, passion, desire.”

මිනිසා මෙකී උත්තේජක සහිත ක්‍රියාකාරකම් තුළින් පංචේන්ද්‍රිය භාවිතා කර “අත්දැකීම්” නිර්මාණය කර ගනිති…මෙකී අත්දැකීම් බොහෝවිට මිනිසාට පංචේද්‍රිය ගෝචර වන වස්තූන්ගේ හෝ ජීවීන්ගේ ස්වභාවය අනුව සැකසෙති….එහිදී මිනිසා තමන්ට වඩාත්ම බලපෑම් කරන ඉන්ද්‍රීය සංවේදන මතකයේ තබා ගනිති…

කල් යත්ම එකී සංවේදනයන් රාශියක් එකතු වීමෙන් සංකල්ප සෑදෙයි…ආදර්ශය සෑදෙයි….ඒ ඒ සංකල්පයන්ට උත්තම රූපක සෑදෙයි….

දැන් නැවත අප ගැහැණියගේ උදාහරණය ඇරිස්ටෝටල් ඇසුරින් කියවමු….

පිරිමි මනුෂ්‍ය ප්‍රාණියෙකුට “ගැහැණිය” නම් සංකල්පයට උත්තම රූපකය සැකසෙන්නේ ලිංගිකත්වය, ලිංගික තෘප්තිය සහ උත්තේජනය පදනම් කරගෙනය…ඒ අනුව ජීවිත කාළය පුරාවට අප,

පිරුණු පියයුරු සහිත ගැහැණු දැක ඒ අයගේ පියයුරු වලටද,

පිරුණු පුළුලුකුල සහිත ගැහැණු දැක ඒ අයගේ උකුළටද,

දැකුම් කළු උත්කුබ්ජන, නිකුබ්ජන දක්වන නිතඹ දැක ඒ නිතඹයන්ටද,

( අනිත් ඒවා කියන්න බෑ….ලැජ්ජයි… මට නම් ගෑණියෙක් කිව්ව ගමන් හිතේ මැවෙන්නෙ “බලම් පිචකාරී” සින්දුවේ දීපිකා පදුකෝන් ගස්සන ගැස්සිල්ල… 😀 😀 )

පවතින ආශාව හේතුවෙන් එකී අත් දැකීම් ගබඩා කර ගනිති…මනස එයින් ආදර්ශ  රූපකයන් සාදා දෙයි…ඒ අනුව ඒ සියළු ගැහැණුන්ගේ ඓක්‍ය සහිත උත්තම රූපකයක් (Metaphor) අපට ඉතිරි වේ….

( සරලවම කිව්වොත් අපට නිරපේක්ෂ ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ….ඒ නිසා ෆ්ලැට් පස්සක් තියෙන කෙල්ලෙක් දැක්කාම “අරකත් පස්සක්ද ඕයි?”  කියලා අහන්නේ මේ රූපකයේ ඉන්න පිරිපුන් නිතඹ සහිත ගැහැණියට සාපේක්ෂව )

අපි තව තව ගැහැණු දකින්න, දකින්න, මේ “ගැහැණිය” නම් සංකල්පය (Idea) නියෝජනය කරන රූපකය පෝෂණය වෙනවා….

ඒ අනුව ඇරිස්ටෝටල්ගෙන් ( ඇරිස්ටෝටලුත් දෙවියන් ඇදහුවා .. ඒ ගැන වෙනම ) පටන් ගෙන බොහෝ දුර ගමනක් ආ දාර්ශණික ශාඛාවක අනුභූතිවාදීන් සැමවිටම කිව්වේ “අත්දැකීම් රැසක් එකතු වීමෙන් මනසේ ආදර්ශ  රූපකයන්” හටගන්නා බවකි… ඒ අනුව

“භෞතිකය මත පාර-භෞතිකය නිර්මාණය වී ඇත” යන නිගමනයට ඔවුන් එළඹුනා….

මේ විෂයෙහි චින්තනයට විශාලතම සේවාවක් කරපු දාර්ශණිකයන් තිදෙනෙක් වන ජෝන් ලොක්, ඩේවිඩ් හියුම් සහ එඩ්මන්ඩ් හෂර්ල් ඇසුරින් නැවතත් කිව්වොත් :

” අපිට පංචේන්ද්‍රිය ගෝචර වන භෞතිකය ඇසුරෙන් අපිම පාර භෞතිකය හෙවත් ඉන්ද්‍රිය ගෝචර ලෝකයෙන්, පරිසරයෙන්, “ඔබ්බ” ගොඩ නගනවා”

මේකම තව ටිකක් පැහැදිලි කරන්න ඕන වෙනස් විදිහකින් මෙතනින් ඉස්සරහට යන්න කලින්….

අනුභූතිවාදය සහ බුද්ධිවාදය අතර විශාල දාර්ශණික ගැටුමක් නිර්මාණය වෙලා තිබුණු යුරෝපයේ පහත දෙ-ආකාරයට අදහස් දක්වපු අය හිටියා…

1. විඥානය, සිහිය, මනස මුලින්ම පහළ වී භෞතික යථාර්තය සහ පැවැත්ම ඒවායේ නිර්මාණයක් වූවාද? (Primacy of Consciousness)

2.භෞතික  යථාව මුලින්මත්, ඉන් පසුව පැවැත්මත්, එයටත් පසුව පැවැත්මක් අත්‍යාවශ්‍ය වන්නා වූ සවිඥාණික භාවයත් පහළ වූවාද? (Primacy of Existence)

මෙතනින් පිළිගත හැකි වඩාත්ම යථාවාදී දෙය කුමක්ද?

සවිඥාණය උදා වෙන්න නම්, සිහිය පහළ වෙන්න නම් පැවැත්ම තමයි මුලින් එන්න ඕන…පැවැත්ම පිළිබඳවයි සවිඥාණික වෙන්නෙ….පැවැත්මක් තිබෙන්න නම් භෞතික යථාර්තයක් තියෙන්න ඕන…එය මේ ආකාරයෙන් හෝ කවර ආකාරයකින් හෝ තියෙන්න ඕන….යථාර්තය මත තමයි සියල්ල යැපෙන්නේ….

ඒ අනුව නැවතත් කිව්වොත්

මිනිසා >>> පංචේන්ද්‍රිය හරහා භෞතික යථාර්තය සේවනය කර, එමගින් අත්දැකීම් ලබා ගනිති >>> ඒ අත්දැකීම් ඇසුරින් දැනුම >> දැනුම ඇසුරින් සංකල්ප >> සංකල්ප වලට පරිකල්පනය, මානුෂීය හැඟීම්, ආදිය මිශ්‍ර කිරීමෙන් ෆැන්ටසි, අධි-යථාර්ත ස්වරූපයන් සාදා ගනිති….නමුත් මේ සියල්ල කෙරෙන්නේ මිනිසාගේ භෞතික යථාවට අනුරූපීව එයට කීකරු වෙමින්ය….ඒ මිනිසා භෞතික යථාවට නිරාවරණය වී ඇති තරම සහ ආකාරය අනුවය ….. ( Man`s level and Nature of exposure to physical reality and his or her experience with it, will determine the outcome of his Hyper-Physical and Fantasy constructions )

මීළඟ කොටසින් බලමු

1. විවිධ භෞතික අත්දැකීම් සහ ඒ ඇසුරේ ගොඩනැගුණු සංස්කෘතික ඓතිහාසික කරුණු

2. මානව විද්‍යාත්මක කරුණු ඇසුරින්

අපි විවිධ ආකාරයේ “පරලොව” ගොඩ නගාගෙන ඇති ආකාරය….

 

Advertisements

4 thoughts on “පරලොව අපේ නිර්මාණයක්ද?”

  1. මගේත් ප්‍රියතම විනෝදාංශයක් වන නොදන්නා මගුල් කතා කිරීම ඔබේත් විනෝදාංශය වීම යන පොදු සාධකයට අමතරව තවත් බොහෝ මතවාදී සමානකම් පේන්නට ඇති මේ සමයේ (මේ ලිපියත් ඇතුලුව) මීට වඩා අදහස් දැක්වීමට නොහැකිවීම ගැන කනගාටුයි දමිත්.

    මා අතින් සිදුවූ සුලු අතපසු වීමක් කරන කොට බ.කු.ස රහස් කීපයක් හෙලිදරව් වීම නිසා, කැතරීන් අන්ඩවුඩ් මහත්මියගේ තීරනයක් අනුව සමාජ ජාලයන් තුල අදහස් දැක්වීම නවතා රිටිගල වන මා මාස හතරක කාලයක් අනිවාර්ය නිවාඩු යැවීමට බ.කු.ස, මධ්‍යම කාරක සභාව තීර්නය කර තිබෙනවා. මේ කාලය ඉකුත් වූ පසු සෙට් වෙමු. එතෙක් ඔබේ බුද්ධියමය ව්‍යායාමයට ජය!

    1. කැතරීන් අන්ඩර්වුඩ් නමින් සර්ච් කරලා බැලුවාම ඒ නමින් ප්‍රවෘත්ති නිවේදිකාවක් නම් ඉන්නවා…ඒත් ඔබ කියන බටහිර කුමන්ත්‍රණ සභාවට සුදුසුම චරිතය ( අන්ඩර්වුඩ් නම තියෙන්නම ඕන නම් ) තමයි “House of Cards” ටෙලි මාලාවේ සුපිරි කුමන්ත්‍රණකරු ( සහ වත්මන් ඇමරිකානු ජනාධිපති ) ෆ්‍රෑන්ක් අන්ඩර්වුඩ් මහතාගේ බිරිය වන ක්ලෙයා අන්ඩර්වුඩ්… ඔබ ඇයවද මන්දා පටලවගෙන ඉන්නෙ….ඇය නම් සෑම දිනයක් අවසානයේම සිගරැට්ටුවක් බීම සඳහා ජනේලයක් අසළට එනවා…ඒ ආවාම ඔබේ වැඩ තහනම ඉවත් කිරීම ගැන කියල බලන්නම්….සුළු අතපසු වීමක් නම් ඔබ වැනි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුට යළි රැකියාව ලබාගන්න අපහසු වෙන එකක් නෑ….බැරිම උනොත් අපි ගිහින් ෆ්‍රෑන්ක් අන්ඩර්වුඩ් හමුවෙමු… 😀

      ස්තූතියි රිටිගල ! බොහොම කළකට පසුව අපි සෘජු සංවාදයකට පැමිණියා…මේ අඩවිය ජනප්‍රිය කරගන්න වෑයමේදී “Product Differentiation” එක සඳහා මම බුද්ධිමය ටෝක්ස් ටිකක් දානවා…අපේ මුහුණු පොතේ පැරණි මිතුරන් ඒවා මුහුණු පොතේ ජනප්‍රිය කළොත් මාගේ හුදෙක් රජ සැප පිණිස නොව සයිබරයේ කේන්ද්‍රස්ථානයක් වීම උදෙසා කරන මේ වියායාමය සාර්ථක වෙයි…( මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක එවකට ෆේස්බුක් එකේ සංවාද කේන්ද්‍රස්ථානයක්ව තිබූ හැටි ඔබ සැමට මතක ඇති )…ඔබට හැකි දවසක මේවා සංවාද බවට පත් කිරීම සඳහා සහාය දෙන්න…!…

  2. මේ ලිපියෙන් ”අපිට නොදැනෙන නමුත් ආගම් වලින් කියා දෙන යථාර්ථයක් ඇතැයි ”කියන මථය පුස්සක් බව පෙන්වා දෙන්න හදනවා කියලා හිතෙනවා…

    ඒ වගේම ආගමික අර්ථයෙන් යමෙක් තම තමන්ගේ ආගමෙන් ඉදිරිපත් කරන දෑ ලෝක යථාර්ථය ලෙස විශවාස කිරීමට හා අන්‍යන්ට එය ඒත්තු ගනවන්නව උත්සහ කරනවා….

    මේ මථයන් දෙකේම විවිධ අඩුපාඩු සහිතව උනත් විවිධාකරයෙන් සමාජයට උදව් කරනවා කියා මා හිතනවා…

    කෙසේ නමුත් ලෝක යථාර්ථය සෙවීම වෙනුවට ජීවීතය සතුටින් සිටීම නැමැති කාරණය මුල් කර ගෙන සත්‍යයක් වේ නම් එය සෙවීම වඩා ප්‍රායෝගික බව මා හිතනවා…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s