භූමි කම්පාවක් යනු කුමක්ද? – ලයිෂන් ගැනීම !

මෙම ලිපියෙන් මේ බ්ලොග් අඩවිය බලාපොරොත්තු වෙන්නෙ

1. භූමිකම්පාවක් හටගන්නා ආකාරය
2. එයට අදාළ භූ විද්‍යා සහ භෞතික විද්‍යාත්මක කරුනු කාරණා
3. එයින් සුනාමි තත්වයක් හටගන්නේ කෙසේද

යනාදිය පිළිබඳව කරුණු කීපයක් සරලව විග්‍රහ කිරීමටයි….

මුළින්ම කියන්න ඕන, මේ බ්ලොග් කරුවා වරලත් භූ විද්‍යාඥයෙක් නෙමෙයි….මම වෘත්තියෙන් සන්නිවේදන ඉංජිනේරුවෙක්….

ඒ උනාට මේ බ්ලොග් එක “නොදන්න මගුල් නෙ”…අපි කථා කරන්නෙම නොදන්න, විෂය ක්ෂේත්‍රයට අදාළ නැති මගුල්මයි…භූ විද්‍යාව විෂයානුබද්ධව විධිමත් හැදෑරීමක් කරලා තියෙන අය මේවා කියවලා ගුද මාර්ගයෙන් ප්‍රහසනය පහළ කරනවා ඇති…ඒත් කමක් නෑ ඕයි ඔන්න ඔහේ…!..

මාගේ මේ ව්‍යායාමය හුදෙක් පොරක් වීම පිණිස ( පමණක් ) නොව “ජනප්‍රිය විද්‍යාත්මක සංස්කෘතියක්” (Popular Science – Pop Sci) ශ්‍රී ලංකාව තුළ බිහිකර, විද්‍යාත්මක චින්තනය ලංකාවේ චිරස්ථික කරවීම උදෙසාය…ඒක කළින් වතාවේ වෙනින් ආරකින් කරන්න ගිහිල්ලා ලෙසටම ඇණ ගත්තා…මේ ඇවිල්ලා ඒකෙ “Take Two” එක….මේ ජනප්‍රිය විද්‍යාත්මක සංස්කෘතිය අපේ රටේ බොහෝ තුවාල සුවපත් කරාවි කියලා මම හිතනවා….දියුණු රටවල මේක දැන් ඉතාම ජනප්‍රියවෙලාත් දශක තුන හතරක් ගතවෙලත් ඉවරයි…

“ජනප්‍රිය විද්‍යාව” යනු –

භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ඒවා මැදිකරගෙන බිහිවෙන තාක්ෂණ තන්ත්‍රයන් ( ඉංජිනේරු සහ තාක්ෂණ ශිල්පී ක්ෂේත්‍රයන් ) ඒවායේ ඇකඩමික ස්වරූපය සහ යෙදුම අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා… ඒ කොටස් දෙක තමයි

1. සෛද්ධාන්තික විද්‍යාව – Theoretical Science
2. ව්‍යවහාරික විද්‍යාව – Applied Science

සෛද්ධාන්තික විද්‍යාව කරන්නේ සරලවම එහි නම යෙදෙන හැටියටම පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන, ගවේෂණ තුළින් විද්‍යාව පෝෂණය කරන සිද්ධාන්ත ගොඩ නගන එක…දැනුමක් නිර්මාණය කර දීම….ව්‍යවහාරික විද්‍යාව කරන්නේ එසේ ගොඩ නගාදුන් දැනුම නිසා විද්‍යාවේ පවතින සිද්ධාන්තයන් ප්‍රායෝගිකත්වයට හඳුන්වා දෙමින්, එයින් පරීක්ෂණ, ගවේෂණ, කරමින් ප්‍රයෝජ්‍ය වටිනාකමක්, තාක්ෂණයක්, නිරීක්ෂණ මාලාවක් ගොඩ නැගීම…බොහෝ විට සෛද්ධාන්තික විද්‍යාවේ නිර්වචනයන් සත්‍ය බව යථාව තුළ ඔප්පු කර පෙන්වීම හෝ නැත්නම් ඒවා වැරදි බව ඔප්පු කර පෙන්වීම කරන්නෙ මේ ව්‍යවහාරික විද්‍යාඥයන් තමයි…මේ ක්ෂේත්‍ර දෙකටම අයිති දෙන්නෙක්ව උදාහරණ වශයෙන් ඕන නම්, ආන්ඩ්‍රේ ෂැකරොෆ්, රොබර්ට් ඕපන්හයිමාර් වගේ අය ව්‍යවහාරික පාර්ශවයටත්….නෑ එක්කෝ ඕන් නෑ…ඊට වඩා පොදු ජනතාවට සමීප උදාහරණයන් දෙකක් දෙන්නම්…  😀

බලල තියෙනවද “The Big Bang Theory” ? ඒකෙ කාගෙත් ආදරය දිනාගත් “ෂෙල්ඩන් කූපර්” සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්….එයාගේ නිවසේම සිටින ඔහුගේ හොඳම මිතුරා වන “ලෙනාඩ් හොෆ්ස්ටෙඩර්” ව්‍යවහාරික භෞතික විද්‍යාඥයෙක්….දැන් මේක හිතේ තියාගෙන “TBBT” වැඩසටහන් මාලාව තුළ ඔවුන් දෙදෙනා හැසිරෙන හැටි සහ කරන කියන් දේවල් නිරීක්ෂණය කිරීමෙන් ඔබට මේ ක්ෂේත්‍රයන් දෙකේ වෙනස නිවැරදිව අවබෝධ වෙයි…. 😀

මෙකී විද්‍යාත්මක අධ්‍යයන පරාසයන් දෙක තුළ භාවිතා වන “විශේෂඥයන්ගේ භාෂාවන්” තියෙනවා….වෙනත් වචන වලින් කිව්වොත් Technical Jargon / Experts Language කියල කියන්නෙත් ඒකටම තමයි…ඒක මේ සාමාන්‍ය මිනිස්සු නොහොත් Laymen ලට තේරෙන්නෙ නැහැ….ඉතින් බහුතරය ඉන්නෙ සමාන්‍ය මිනිස්සු නෙ ඒ විෂය ක්ෂේත්‍රයන්ගෙ විශේෂඥයන්ගේ දුර්ලභ බව හිතනකොට….ඒ අයව සම්බන්ධ කර නොගෙන කොහොමද විද්‍යාත්මක චින්තනය දියුණු කරන්නෙ…කොහොමද රටක විද්‍යාත්මක කථිකාවතක් ඇති කරන්නෙ?….කොහොමද විද්‍යාව ඉදිරියට ගෙන යෑම සඳහා මිනිස්සු හැම කෙනෙක්ගෙම අදහස් එකතු කරගන්නෙ…?…විද්‍යාව යනු අනෙකුත් ඥාණ මීමංසාවන් ( Epistemology) මෙන් නොව “දහසක් මල් පිපිය යුතු”යි සාර්ථක වන්න නම්…

එහෙම නම් මේ මහා සමාජය තුල ඉන්නවා වෙන්න පුලුවන් විශේෂඥයන්ගේ භාෂාව කථා කරන්න තරම් අධ්‍යාපනයක් නොලැබුණත්, එයටත් එහා ගිය දියුණු අදහස් ඇති, වත්මන් විද්‍යාව විසඳුම් සොයන ගැටලු වලට නිසි පිළිතුරු හිතේ තබාගෙන කියාගන්න ක්‍රමයක් නැතුව ඉන්න “ගොලු ප්‍රාඥයන්”…..ඒ අයව මේවා ගැන කථා කරන්න එළියට ගන්න පාලම තමයි “ජනප්‍රිය විද්‍යාව”….ඒ වගේම මෙතෙක් විද්‍යාව ගැන සැලකිල්ලක් නොදක්වපු අයට, විශේෂයෙන්ම දරුවන්ට එහෙම, ඒ ගැන හොයන්න, ගවේෂණය කරන්න පොළඹවන දේ තමයි ජනප්‍රිය විද්‍යාව කියන්නෙ….

විද්‍යාව “ජනප්‍රිය විද්‍යාව” ලෙස සාමාන්‍ය ජනයා අතරේ එකක් වෙන්න පටන් ගන්නේ 19 වැනි සියවසේ අග භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයෙදි ….. 1872 දි මෙනමින් ( Popular Science) ඇමරිකාවේ මාසික සඟරාවක් පටන් ගන්නවා…එවක් පටන් මේ “Pop Sci” Trade Mark එක ජනප්‍රිය දෙයක් බවට පත්වෙනවා….මෙය අද වන තුරු විවිධ මුහුණුවරින් යුතුව පවතිනවා…. මේ සඟරාවට සමගාමීව තරමක් මේ පැත්තෙන් ප්‍රතිගාමීව හිටපු යුරෝපයත් දැනුම බෙදා හැරීම ක්‍රමයෙන් ලිහිල් කරනවා…ඇකඩමික ඩැහි අඬුවෙන් බොහෝ නිර්මාණශීලීත්වය වසා තබාගැනීම ඉදිරිගමනට අහිතකර බව කියැවෙන චින්තන ප්‍රවාහයක් නිර්මාණය වෙනවා…..

කවුද මේ Layman නොහොත් සාමාන්‍ය මිනිසා කියන්නෙ….?

ලෝකයේ ඕනම විෂය, අවිෂය ක්ෂේත්‍රයක “සාමාන්‍ය මිනිසා” ඉන්නවා….අපි හැම කෙනෙක්ම මොකක් හෝ ක්ෂේත්‍රයක “සාමාන්‍ය මිනිස්සු”…. මේ සාමාන්‍ය මිනිස්සු කියන්නෙ එක් එක් විෂය ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයන්. විශේෂඥයන්, හෝ අවම වශයෙන් විද්වතුන්, දැනුමැත්තන්, ශිල්පීන් නොවන අයට….වෛද්‍යවරයෙකු ඉදිරියෙදි අපි සාමාන්‍ය මිනිස්සු, මූල්‍ය විශ්ලේෂකයෙක් ඉදිරියෙදි වෛද්‍යවරයා සාමාන්‍ය මිනිහෙක්, ඒ විශ්ලේෂකයා පොල් කඩන ගිරිගෝරිස් ඉදිරියේ සාමාන්‍ය මිනිහෙක්, ගිරිගෝරිස් හන්දි කඩේ නාමක්කා ඉදිරියේ සාමාන්‍ය මිනිහෙක්.. ඒ ඒ විෂයට අදාළව වෙනත් ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක්, විශේෂඥයෙක් උනත් “ලේමන්” කෙනෙක් වෙනවා….එතකොට ඒ විෂය පිළිබඳව කථා කරන භාෂාවත් ඒ ඇසුරෙන් Experts Language (Jargon) සහ Laymen`s Language යනුවෙන් දෙකට බෙදෙනවා….

Jargon කියන වචනයට වෙබ්ස්ටරයේ තිබෙන්නෙ පහත අර්ථයන් දෙක:

1. Confused and or unintelligible Language

2. The Technical Terminology or Characteristic idiom of a Special Activity or Group

මාක් ට්වේන් කියන්නෙ 19 වැනි සියවසේ ජීවත් වුණු ශ්‍රේෂ්ඨ ඇමරිකානු දාර්ශණිකයෙක් සහ ලේඛකයෙක්..හක්ල්බෙරි ෆින් ගැන අපි කවුරුත් වගේ අහල ඇති….මෙතුමා තමයි හක්ල්බෙරි ෆින් සහ ඔහුගේ මිත්‍ර සුප්‍රකට ටොම් සෝයර්ගේ පියා…

එතුමා එතුමාගේ “Which was the dream? And other Symbolic Writings of the Later Years” කියන පොතේ “Three Thousand Years Among the Microbes” යන ලේඛණයෙහි මෙසේ සඳහන් කරනවා Academic Jargon ගැන…..

“As concerns this question, our inspired Founder instructs us that the fealty due from the Ultimate in connection with and subjection to the intermediate and the inferential, these being of necessity subordinate to the Auto-Isothermal, and limited subliminally by this contact, which is in all cases sporadic and incandescent, those that ascend to the Abode of the Blest are assimilated in thought and action by the objective influence of the truth which sets us free, otherwise they could not.” ….. 😀 😀 😀  ( පුලුවන් කෙනෙක් තෝරන්න… මට නම් තේරෙන්නෙ නෑ මෙලෝ දෙයක් )

It was just a snow-flurry on a warm day: every flake was distinct and perfect, but they melted before you could grab enough to make a ball out of them. ”

එතුමා Jargon හාස්‍යයට ලක් කළ කෙනෙක්…මේ උපහාසය ගැන එතුමා කියනවා “නීතිය සහ නීතියක් පැවැත්මේ අවශ්‍යතාවය අප සියල්ලන්ටම පොදුවේ දැනේ…එය අපි එසේ කියනවාට නීතිඥයන් කැමැති නැත” කියලා….

ඔය සමහරක් වෙලාවට අපි අපිව විශේෂඥයන් වන මොකක් හරි ක්ෂේත්‍රයක Jargon කථා කරනකොට එතන ඒ ක්ෂේත්‍රයේ සුදුසුකම් හෝ දැනුම නැති කෙනෙක් හිටියොත් එයා කියන්නෙ “In English Please?” කියලා….අන්න ඒ වගේ වෙලාවට අපිට සිද්ද වෙනවා මේ විශේෂඥ භාෂාව නොහොත් සහ අර පුද්ගලයා කථා කරන Laymen`s භාෂාව අතරෙ පාලමක් තනන්න….නොතැනුවොත් වෙන්නෙ අනවබෝධය !.. අනවබෝධය ඇති කෙනෙක් යම් ව්‍යාපෘතියකට සම්බන්ධ වීම ඉතාම භයානක දෙයක්….

මේ ජනප්‍රිය විද්‍යාවෙන් කරන්නෙ අන්න ඒ විදියෙ භයානක කමක් විද්‍යාව නම් වූ විෂය පථයෙහි ඇතිවෙන්න නොදී, ඒ වගේම ඒක “අධ්‍යයන ප්‍රභූන්” කුළයකට සීමා වෙන්න නොදී, මහා සමාජය ඒ කෙරෙහි අවබෝධකට පමුණුවා එහි කථිකාවතක් ඇති කරන එක…

කථිකාව හරහා තමයි දැනුම වැඩි තැන සිට අඩු තැනට සම්ප්‍රේෂණය වෙන්නෙ….එතනින් තමයි දැනුවත් භාවය වගේම චින්තනයේ මිශ්‍රණය ඇතිවෙන්නෙ….

ඕනෑම විද්‍යාවක හෝ ශාස්ත්‍රයක පැවැත්මට Jargon අත්‍යාවශ්‍යයයි තමයි…ඒක තමයි විශේෂඥයන් කථා කරන බස….නමුත් දැන් මේ වනවිට ලෝකය ඔප්පු කර හමාරයි දැනුම බෙදන්න නම් Jargon අත්‍යාවශ්‍ය වෙන්නෙ නෑ කියලා…ඒ කියන්නෙ අනවශ්‍යයි කියන එක නෙමෙයි….සීමිතව යොදාගෙන පුලුවන් කියන එක….

විද්‍යා මාධ්‍යකරණය  – Science Journalism

මෙරට තුල විදුසර ආදී මාසික සඟරා කිහිපයකින් හැර පොදුවේ වැඩිය දකින්නට නොලැබෙන, එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ ඉතාම දීප්තිමත්ව දකින්නට ලැබෙන මාධ්‍යකරණයක් තමයි මේ….

විදුදර ප්‍රජාව සහ ජන ප්‍රජාව ඉවුරු දෑලක් නම්, එය යාකරන පාලම තැනීමේ ලා ඉමහත් මෙහෙවරක් කරන පිරිසක් තමයි විද්‍යාත්මක දැක්ම හදාරා ඔවුන්ගෙන් අසා දැනගෙන මහ ජනතාවට වාර්ථා කරන මේ පිරිස….

දැනුම් සුළි සුළං ලොව පුරා හමන්න උපකාරී වෙච්ච අවපීඩන කළාපයන් ඇති කරපු ශ්‍රේෂ්ඨ ජනප්‍රිය විද්‍යාඥයො ටිකකට උදාහරණ දෙන්නම් දැන්…..

මේ පාර්ශවයන් දෙකටම අයත් වූවත්, සමාජ සේවා අරමුණු, වාණිජ අරමුණු හෝ වෙනත් අරමුණු රාශියක් නිසා “ජනප්‍රිය විද්‍යාව” ගොඩ නගන්න දායක වෙච්ච ශ්‍රේෂ්ඨ මිනිස්සුත් ඉන්නවා…ඒ අයට “ජනප්‍රිය විද්‍යාඥයන්” කියලා හැඳින්වුවත් වරදක් නෑ…නම් වශයෙන් කිව්වොත් කිහිප දෙනෙක්:

1. දැනට මෙලොව ඉන්න ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා වගේම ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා තමයි මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් (Professor Stephen Hawking)… එතුමා සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ අයින්සටයින්ට පසුව පහළ වූ දැවැන්තයා….මෙතුමා ජනප්‍රිය විද්‍යාවට ලැබුණු දායාදයක්….එතුමා සහ එතුමාගේ දියණිය වන ලූසී හොව්කින්ග් දෙපළ එකතුවෙලා මෙලොව දරුවන්ට, තරුණයන්ට, ගවේෂකයන්ට සුවිශාල දැනුමක් සහිත ග්‍රන්ථ සමුච්ඡයක් දායාද කර තිබෙනවා…. මට මෙතුමා පුද්ගලිකව මුණගැසී තිබෙනවා….

2. මගේ ප්‍රියතම කෙනා තමයි නීල් ඩිග්‍රස් ටයිසන් (Neil Degrasse Tyson)… එතුමාගේ දේශන වලදී කාළය ගතවෙනවා තේරෙන්නෙ නෑ… මට එතුමාවත් පුද්ගලිකව මුණගැසී තිබෙනවා…

3. බ්‍රයන් කොක්ස් (Brian Cox … මෙතුමා සමාන්තර විශ්වයන් පිළිබඳව න්‍යායන් සහ කළු කුහර පිළිබඳව, ස්ට්‍රින්ග් තියරි ( මේකට කියන සිංහල නම මොකක්ද කියලා දන්නෙ නෑ ..) ගැන එහෙම දීර්ඝ ගවේෂණයන් කරලා ඒ විද්‍යාවන්ගේ ගම්භීර බවට හානි නොවෙන විදියට සරල කරලා, සාමාන්‍ය ජනතාව අතරට ගෙනාවා….

4. බ්‍රයන් ග්‍රීන් (Brian Greene) … ඉහත විස්තරයම එතුමාටත් ගැලපෙනවා….

5. රිචඩ් ඩෝකින්ස් (Richard Dawkins)…. මම හිතන්නෙ මෑත යුගයක පහළ වූ අය අතුරින් නිර්-ආගමිකත්වයට, නිදහස් චින්තනයට, ඓහිකවාදයට, නිර්-ප්‍රතිරූප යැපීමට විශාලතම සේවයක් ඉටු කරන බුද්ධිමතා තමයි එතුමා….මට එතුමාවත් පුද්ගලිකව මුණගැසී තිබෙනවා…එතුමාගේ පොත් සිංහලට පරිවර්තනය කරන්න අවසර ඉල්ලන්න ගිහින් ඇණ ගෙනත් තියෙනවා….

6. කාල් සගාන් (Carl Sagan)… එතුමා අපේ පරපුරට වඩා එක් පරපුරකට උඩින් ජගත් කීර්තියට පත්වුණු ජනප්‍රිය තාරකා භෞතික විද්‍යාඥයෙක්….ජනප්‍රිය විද්‍යාව එහි වත්මන් ස්වරූපයෙන් ප්‍රචලිත කරන සුවිශාල මෙහෙවරක් කළ කෙනෙක්….

7. ක්‍රිස්ටෝෆර් හිචන්ස් (Christopher Hitchens) … මේ ගැන කථා කරනකොට මේ නාමය කෙසේ අමතක කරන්නද?… ජනප්‍රිය විද්‍යාව, නිදහස් චින්තනය, නිරවුල් දේශපාලනය යන සියලු ක්ෂේත්‍රයන්ට විශාල මෙහෙවරක් කළ විද්වතෙක්…

8. ශ්‍රීමත් පැට්‍රික් මුවර්  (Sir Patrick Moore) – බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ සාමාජිකයෙකු ලෙසත්, ජනප්‍රිය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ ආරම්භක සභාපති ලෙසත් පාසැල් දරුවන්, සරසවි සිසුන් ඇතුලු සමස්ථ ප්‍රජාවේම තාරකා විද්‍යා දැනුම නගාලීමට විශාල කථිකාවක් නිර්මාණය කළ, ප්‍රබල හඬක් ඇති මාධ්‍ය වේදියෙකු සහ විද්‍යාඥයෙක්…

9. කිප් තෝර්න් (Kip Thorne)… ඔබ කවුරුත් මේ දිනවල දැඩි සාකච්ඡාවට භාජනය කරන, මෙතෙක් නිපදවූ සාර්ථකම විද්‍යා ප්‍රබන්ධ ෆැන්ටසි චිත්‍රපටියක් වන “Interstellar” නම් චිත්‍රපටයට අවශ්‍ය විද්‍යාත්මක දැනුම සහ උපදේශණය නෝලන් සහෝදරවරුන්ට ලබා දුන්නෙ මෙතුමා…එම චිත්‍රපටියෙන් පසුව එතුමා ලියන ලද “The Science of Interstellar” නම් පොත මා සතුව තිබෙනවා….ජනප්‍රිය විද්‍යාව පැත්තෙන් විශාල සේවයක් එතුමා කර තිබෙනවා…

10. මිෂියෝ කාකු හෙවත් මිෂෙල් කකූ (Michelle Kaku) … සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්….සමහර වෙලාවට මොන මගුලක් කියනවාදැයි නොතේරුණත්, ඉතාම විශිෂ්ඨ දේශකයෙක්…

අපේ ආතර්.සී.ක්ලාක් , එතකොට ලොව සුපතල අයිසැක් ඇසිමොව් වගේ අයත් මේ ගණයට දාලා තියෙනවා මම දැක්කා විකිපීඩියා එකේ…ඒක වැරදියි…මේ ගැන අදහසක් ඵල කරමු නිව්යෝක් සරසවියේ මහාචාර්ය ඩේවිඩ් හොග් වතාවක් කිව්වා “විද්‍යා ප්‍රබන්ධ” ලිවීම නෙමෙයි ජනප්‍රිය විද්‍යාව කියන්නෙ කියලා…විද්‍යා ප්‍රබන්ධ කියන්නෙ ෆැන්ටසියක් නිර්මාණය කිරීමක් එක්තරා විදියකට…එය “කලාව” කියනවා මිසක් “ජනප්‍රිය විද්‍යාව” කියන්න පුලුවන්ද කියන්න මම දන්නෙ නෑ…එම්මැනුවෙල් කාන්ට්ගෙන් අහල කියන්නම් හම්බ වෙච්ච වෙලාවට….

මේ සියළු බුද්ධිමතුන් අතර පොදු දෙයක් තමයි, ඔවුන් වර්ථමානයේදී කතිකාවත් ගොඩ නගන්නේ ඔවුන්ගේ ඇකඩමියාවට සම්බන්ධ විෂය ක්ෂේත්‍රයන්හි “පමණක්” නොවීම….උදාහරණයක් හැටියට රිචඩ් ඩෝකින්ස් මහතා විද්‍යාත්මක චින්තනය සහ මානවවාදී දැක්ම ගැන මෙලොව පුළුල්ම කථිකාවත නිර්මාණය කරපු කෙනා උනත් එතුමා ජීව විද්‍යාඥයෙක් පමණයි…නමුත් ඒ කථිකාවත් වලදී එතුමා තාක්ෂණය ගැන, විශ්වවේදය ගැන, දේශපාලනය, ආර්ථිකය, කලාව මේ හැම දෙයක් ගැනම කථා කරනවා…ඒ සාකච්ඡා වලදි එතුමා බොහෝ විට ඒ ඒ විෂය ක්ෂේත්‍රයන් වල විශේෂඥයන් මෙන්ම සාමාන්‍ය පොදු ජනතාව නියෝජනය කරන අපි වගේ අයත් සම්බන්ධ කර ගන්නවා….

බොහෝමයක් ජනප්‍රිය විද්‍යා රචකයන් අවම වශයෙන් ඒ අදාළ ක්ෂේත්‍රයේ වත් ප්‍රබල ඇකඩමික හැදෑරීමක් කර ඇති අය නෙමෙයි….නමුත් ඔවුන් සියල්ලෝම බුද්ධිමතුන්….යමක් කියවා හදාරා වටහා ගන්නත්, ඒ සීමිත පරාසය අන් අයට හොඳින් කියා දෙන්නත් හැකි අය….ඒ අය කරන්නෙත් සේවයක්….ඒ අය ඒ ඒ විද්‍යාවන් වල මහා ප්‍රවීණයන් බිහි නොකළත්, ක්‍රමයෙන් ඒ කෙරෙහි සාමාන්‍ය ජනයාගේ අවධානය යොමු කරවනවා….ඒ අය හැදෑරීමේ පෙරගමන් කරුවෝ කියලා හඳුන්වන්න පුළුවන්….

දර්ශණය / දර්ශණයන් සහ ඒ වටා ගොඩනැගෙන ආගම් / ආගමිකත්වයන් නිසා නිර්මිත ඩොග්මැටික චින්තනය ( “ඩොග්මාව” යනුවෙන් අඳුරු යුගයේ යුරෝපයේ එක් එක් ආගමික කල්ලි වලට අයත් පූජ්‍ය පක්ෂය විසින් පොරවන ලෝගු හඳුන්වනවා)….ඩොග්මැටික චින්තනය යනු චින්තනයේ නිදහසට වැට බැඳ යම් කිසි ආගමික හෝ දාර්ශණික සංස්ථාවක්, ව්‍යුහයක් විසින් අනම්‍ය දාර්ශණික රීති, නීති සහ රෙගුලාසි වලට අනුව හිතන්න පුරුදු කරවන ලද කල්ලියක, ප්‍රජාවක, කණ්ඩායමක චින්තනය.…වත්මනේදී ආගමිකයන් සහ මාක්ස්වාදීන් ( සමාජවාදීන් (?), ලෙනින්වාදීන් (?), ට්‍රොට්ස්කිවාදීන් (?), ග්‍රැම්ස්කිවාදීන් (?)) හරහා මේ හැසිරීම දක්නට ලැබෙනවා…..ඔවුන් ස්වකීය දර්ශණය වෙනස් වීමට ඉඩ නොදී එහි මුල් ආකෘතිය හෝ මුල් ආකෘතිය යැයි ඔවුන්ට කියා ඇති පිටපතේ ලියැවී ඇති අකුරු වලට අනුවම පවත්වා ගන්න උත්සාහ කරන අතර, එහි ප්‍රතිඵලයක් හැටියට ලොව පුරා බොහෝ මත ගැටුම් සහ භෞතික ගැටුම් නිර්මාණය වී තිබෙනවා….මේවා සමූළ ඝාතනයන්, ඉතිහාසයේ සිදුවූ දරුණුතම ලේ වැගිරීම් දක්වා ගිහින් තියෙනවා…..ඒ දර්ශණයන් ඒ නිසා අමූලික බොරු වෙනවා කියන සාහසික කියමන නෙමෙයි මේ කියන්නෙ….ඒවා ආධානග්‍රහයෙන් අනතුරුව සිදුවුණු දේ ගැන කීම පමණයි….ඒ දර්ශණයන්ගෙන් සමහරක් ඒවා කාළාණුරූපිව යල් පැන ගොස් ඇතත්, ලෝකය දකින්න සහ තේරුම් ගන්න අවශ්‍ය කරන දැනුම ඒවායින් උකහාගන්න පුලුවන්….

ජනප්‍රිය විද්‍යාව පෙරටු කරගෙන අද දියුණු රටවල වේගයෙන් පැතිරී යන විද්‍යාත්මක චින්තනය “සාමාන්‍ය ජනයාට” සමීප කරවීම, සහ ඒ හරහා නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, වෙනස් කම් ඉවසීම, මානවවාදය, හරහා චර්යා දියුණුව ගොඩනැගීම ලෝකයේ අනෙක් කළාපයන් ආදර්ශයට ගත යුතුයි කියලා මම හිතනවා… ජනප්‍රිය විද්‍යාව හඳුන්වා දීම හරහා පියවර කිහිපයකින් සමාජයක් ගොඩ දාන්න පුලුවන්…ඒ පියවරවල් පහත පරිදි විය හැක….

1. ජනප්‍රිය විද්‍යාත්මක මාතෘකා සමාජගත කිරීම – විද්‍යාත්මක පරීක්ෂණය, ගවේෂණය, නිරීක්ෂණය, නිගමනයන් හරහා ගොඩනැගෙන අනුභූතික සාක්ෂි (Empirical Evidence) පිළිබඳව මිස සම්පූර්ණයෙන් හෝ පාර්ශ්වික ඔප්පු නොකරන ලද ප්‍රවාද ගැන පවතින “දැඩි” විශ්වාසය ක්ෂීණ කිරීම….

2. ඒ හරහා විචාරාත්මක සහ විවේචනාත්මක චින්තනය (Critical Thinking) ගොඩනැගීමයන් තුළින් නිර්මාණශීලීත්වයට ඉඩහසර ලබා දීම…

3. මිනිසා මූලික කරගත් තාර්කික චින්තන රටාව හෙවත් “මානව වාදය” (Humanism) ගොඩ නැගීම …

4. එසේ මිනිසා මූලික කරගත් සමාජයන් හරහා පුද්ගලානුබද්ධ අයිතිවාසිකම් රැකෙන සමාජයක් නිර්මාණය කිරීම….තාර්කික අවස්ථාවන් වලදී හැර අතාර්කික අනුගාමයන් නිසා පුද්ගල නිදහස නො-ඇහිරෙන ලෙසට කටයුතු කිරීම….

කොටින්ම කිව්වොත්, මේක කරන්නේ මෙන්න මේ හේතුව නිසයි කියලා විචාරයේ ප්‍රාථමික, ද්විතීයක සහ තෘතීයික පරාසයන්ගෙන් එකකට හෝ කිහිපයකට හසුවන හේතුවක් නොදැක්විය හැකි දේවල් මත සිදුකෙරෙන ක්‍රියාකාරකම් අවම කිරීම….මොකද මේ ඉහත කියපු විචාරයට ගෝචර ක්‍රියාකාරකම් වලදී

1. ඒවා වෙනස් විය හැකි බවත්

2. කාළානුරූපී වෙනස් කම් සිදුවිය යුතු බවත්

3. සියල්ලටම වඩා වැදගත් දේ, ඒවා වැරදි විය හැකි බවත්

පිළිගන්න තරම් විවෘත මනස් ඇති අය නිර්මාණය වෙනවා….ඒ අය දර්ශණය හෝ දාර්ශණිකත්වය වෙනුවෙන් ලේ හලන්නෙ නෑ…ලේ බිංදුවක් වත් නොසලා අවශ්‍ය වෙනස් කම කරගෙන පෙන්නනවා….එහෙම අය ගොඩ නගපු දේ දීර්ඝ කාළයක් පවතිනවා….

ජනප්‍රිය විද්‍යාව දැනුම මත පදනම් වෙමින් අනාගත ලෝකයට යමින් සිටි නව ආරේ කුළවාදය විනාශ කර ඇත….

දැනුම කියන එක අද කාළයේදී එක කුළයකට, ගෝත්‍රයකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි….ලෝකයේ අසාර්ථක සමාජයන් සහිත රටවල තවමත් දැනුම ගෝත්‍ර ගත කරන්න උත්සාහ කරනවා….උදා: වෛද්‍යවරු විතරයි වෛද්‍ය විද්‍යාව ගැන කථා කරන්න අවසර ලත්තෝ වන්නෙ, ඉංජිනේරුවෝ තමන්ගේ ක්ෂේත්‍රය ගැන පමණයි… ( මම මේ ළඟදි පෙට්‍රෝලියම් ගැන කථා කරනන් ගිහින් Process Engineer කෙනෙක් මගෙන් ඇහුවා “උඹ ඕවා හදාරලද ඔය කථා කරන්නෙ කියලා”….අන්තිමට Hydraulic Fracturing නොහොත් Fracking ගැන ඇහුවාම මම දන්න ටිකවත් ඌ දන්නෙ නෑ ඒ ගැන….).. අද දැනුම තොරතුරු තාක්ෂණික විප්ලවය හරහා පුපුරා යන යුගයක්….පොඩි ළමයි Bedside Stories වෙනුවට අද කියවන්නෙ “A Brief History of  Time” .. 2040 වනවිට ඉන්න මිනිසුන්ගේ දැනුවත් භාවය ගැන අපිට හිතාගන්නවත් බැරි වෙයි….

ඒ නිසා ජනප්‍රිය විද්‍යාව ගැන කථා කරනකොට, ඒ ඇසුරින් පැහැදිලි කිරීම් කරනකොට අදාළ ක්ෂේත්‍රයේ ප්‍රබල දැනුමක් තිබෙනවා නම්, දීර්ඝ ගවේෂණයක් කර තිබෙනවා නම්, ඒ ක්ෂේත්‍රයට අදාළ සහතික හෝ වරලත් නිළයක් නැතත් ඒ අයට තමන්ගේ අදහස් පැහැදිලි කරන්න ඕනෑ තරම් අවකාශය තියෙනවා…..මම මේ ළඟකදී දැක්කා ඉරාන ජාතික නීතිඥවරියක් Statistically ජනගහණ පාලනය ගැන ප්‍රසිද්ධ දේශනයක් දෙනවා බටහිර රටක ( ඇය ඒ දේශනයෙදි කියපු දේවල් ටෙහෙරානයෙදි කිව්වා නම් ඇය මෙළහකට දොඹකරයක කොක්කේ….! ) , ධනවත් නලුවෙක් මාසයකින් බෝයිං 737 ගුවන් යානයක සමස්ථ නියමුකරණයම ඉගෙන ගන්නවා, අවුරුදු 14 කෙළි පැට්ටියෙක් ( වරලත් සුදුසුකම් නැතුව ) ජාන ඉංජිනේරු තාක්ෂණයේ සිද්ධාන්තයකට කරුණු එකතු කරනවා….

Discrimination 

මේ බ්ලොග් කාරයා දකින විදියට නම්, මිනිසා චිරාත් කාළයක ඉඳලා මේ හෙවත් පරිහාරය නොහොත් යම් කිසිවක් මත පදනම්ව අප ජීවත්වන සමාජයේම යම් කොට්ඨාශයකට කරනවා ආකාර කීපයකින්…

1. Caste Based Discrimination – උප්පත්තියෙන් උරුම වන “කුළය” නම්වූ පාර-භෞතිකයට අනුව කරන පරිහාරය

2. Capital Based Discrimination – ධනය, වත්කම, වස්තුව, සාමාජීය තත්වය නිසා කරන පරිහාරය

3. Race / Ethnicity Based Discrimination – ජාතිය, ජන වර්ගය ආදිය නිසා සිදු කරන පරිහාරය

4. Religion Based Discrimination – ආගම නිසා සිදු කරන පරිහාරය…

දෙයියනේ ඉතින් මේ තියෙන ඒවා මදිවට දැන් ටික කාළෙක ඉඳන් 21 වැනි සියවසට අලුත් Discrimination එකක් උරුම කරල දෙන්න යනවා මිනිස් වර්ගයා…ඒක තමයි Knowledge Based Discrimination 

“දැනුම මත පදනම්වන පරිහාරය” ….දැනුමේ අසමමිතිකතාවය (Knowledge asymetricity ) නිසා සිදුවන පරිහාරය, නොසැළකිල්ල, අඩු සැළකිල්ල, අවස්ථාව අහිමි කිරීම…

අධ්‍යාපනය සහ විෂය-බද්ධ දැනුම සුලභ වනවිට යම් හේතුවක් නිසා එය ලබාගත නොහැකි වූවන් කොන් කර, අවසැලකිලි දැක්වීම තමයි දැන් අලුත්ම පරිහාරය වෙලා තියෙන්නෙ….

ජනප්‍රිය විද්‍යාව නැමති ආයුධය යොදාගෙන මේ දැනුම මත පදනම් පරිහාරය සහමුලින්ම විනාශ කර දැමිය යුතුය…21 වැනි සියවස අවසාන වන විට මිනිසා හැකි තරම් සුන්දර තැනක සිටින දියුණු ජීවියෙකු විය යුතුයි….

ජනප්‍රිය විද්‍යාත්මක හඳුන්වා දීම ඒ වෙනුවෙන් කළ යුතුයි…..

බටහිර ඇත්තෝ ( සහ සාපේක්ෂව දියුණු අනිත් රටවල ඇත්තෝ ) මේ “නොතේරෙන නොදන්න මගුල්” සාමාන්‍ය ජනතාවට සමීප කරන්න පරිශ්‍රමය පටන් අරගෙන හුඟක් කල්….”යුස්ටයින් ගෝඩර්” ( Jostein Gaarder) කියන නෝවීජියානු ලේඛකයගේ “Sophie`s World” කියන පොත කියවල තියෙනවද කට්ටිය?….මේ පොත ඒ පරිශ්‍රමයේ අග්‍රඵලයක් කියලා හඳුන්වන්න පුලුවන්….සමස්ථ බටහිර දාර්ශණික ක්ෂේත්‍රයම එක නව යොවුන් නව කථාවක් තුළින් පාඨකයාට ඉතාම සරල කරලා සමීප කරනවා…සොෆී කියන නවයොවුන් දැරිය වටා ගෙතෙන මේ කථාවෙදි ග්‍රීක දාර්ශණිකයන්ගෙන් ඇරඹිලා, දර්ශණයේ රොමැන්තික යුගය තෙක් විහිදී යන විග්‍රහයන් මාලාවක් කරන අතරේම, හිල්ඩා නම් වූ සැබෑ ලොව ජීවත් වන දැරියකට ඇගේ පියා විසින් ගොඩ නගා දෙන පරිකල්පන ලෝකයක සොෆී ජීවමාන කරවන යථාර්තයේ “ඇඹරුම්” ( Twists in Reality) කිහිපයකුත් ඉදිරිපත් කරනවා…..

දැනුමෙන් නොදැනුවත් අය පෙළීම අරමුණු කර ගත්තු බහුතරයක් ජීවත් වෙන සමාජයන්ට එවැනි දේ ගොඩ නගන්න බෑ….

සමාජයක් දියුණු නොවීම ගැන ඒ සමාජයට පලු යන්න බැණ වදිමින් සිටීම පමණක් නම් යම් රටක විද්වත් සමාජය විසින් කළ යුත්තේ, එය හුදු ආත්මාර්ථකාමී ප්‍රයත්නයක් පමණයි…එතුළින් තමන්ගේ අසමසම බව පවත්වා ගැනීමක් පමණයි අපේක්ෂා කෙරෙන්නෙ…..සමාජය දියුණු වෙන්න නම් ඒ සමාජයට දැනුම සරලව, හැකිතාක් නිවැරදිව සහ පහසුවෙන් සපයන්න ඕන….

ශ්‍රී ලංකාවට ජනප්‍රිය විද්‍යාත්මක රචනය හඳුන්වා දෙන්න උත්සාහ කරපු අය අතළොස්සක් ඉන්නවා….එයින් ප්‍රමුඛයා තමයි අපි පොඩි කාළෙදි ඉතාම ආසාවෙන් කියවපු පොත්පත් ලිපි ලියූ “අනුර සී පෙරේරා” මැතිතුමා…එතුමාට පින් සිද්ද වෙන්න අද තාරකා භෞතිකය, භෞතිකය ගැන එහෙම උනන්දු වෙන ළමා පරපුරක අඩිතාලම වැටී තිබෙනවා…. එතුමාට මේ ලිපිය උත්තමාචාරයක් ලෙස පුද කරනවා….

නෝනාවරුනි, මහත්වරුනි වරදවා වටහා ගන්න එපා….! 

ජනප්‍රිය විද්‍යාව හඳුන්වා දීම යනු හැම එකාටම හැම දේ ගැනම කියවන්න Absolute Authority දෙන එක නෙමෙයි….!…හරිද?….

සෑම ක්ෂේත්‍රයකම:

1.විධිමත් අධ්‍යාපනයක් ලද

2.විධිමත් හැදෑරීමක් සහිත

3.විෂය මූලික දැනුමෙන් අනූන

වෘත්තික සහ ඇකඩමික, පාර්ශ්වික සහ පූර්ණ විශේෂඥයන් ඉන්නවා….ඒ අයට අපි සැම කෙනෙක්ම සිරස නමා ආචාර කළ යුතුයි…. ඒ විෂය පරාසය තුල ඒ අයගේ දැනුමට යටත් විය යුතුයි…අප විසින් ඵල කරන අදහසක් ඒ අය Override කරනවා නම් වැඩිපුර සටන් නොවැදී ඒ අයගේ මතයට ඉඩ දී අපේ මතය තහවුරු කරගන්න වෙන විශේෂඥයන් සොයා යා යුතුයි….

නමුත්, මෙවැනි දැනුම සුලභ යුගයක, අපි හැම කෙනෙක්ම හැම දෙයක් ගැනම හදාරන්න ඕන…හදාරනවා වගේම අපට ඒ ගැන හිතෙන දේ කියන්නත් ඕන….එසේ කීමේදී සමහර විට ඒ විශේෂඥයන්ට පවා නොපෙනෙන Million Dollar Solution එකක් අපේ මොළයේ තියෙන්න පුලුවන්…..

Teenage Mutant Ninja Turtles එකේ ඉන්න “ඩොනටෙලෝ” ( Donatello )තමයි රූපවාහිනී වැඩසටහන් වල ( සහ සිනමාවේ ) මගේ ප්‍රියතම චරිතය….ඩොනටෙලෝ කියන්නෙ විධිමත් හැදෑරීමක් සහිත මිනිහෙක්… සොරි…කැස්බෑවෙක් නෙමෙයි….ඒත් ඌ හැම දේම දන්නවා….පරිඝණකයක් ජාලයක් හැක් කරන තැන ඉඳලා, ගුවන් යානයක් පදවන ආකාරය දක්වා සියල්ල….අනුර ශ්‍රීනාත් ශූරීන්ගේ කාටූන් දරුවෙකු වන “පිස්සු නැත්තන් ෂෝක් පුතා” එකේ ප්‍රධාන චරිතය තමයි මගේ සිංහල පොත්වල ප්‍රියතම චරිතය…ඒත් ඩොනටෙලෝ වගේ එකෙක්…..

adrenaline__donatello__tmnt_2014_by_bellescooldrawings-d7v6tkw

හරි මදැයි ඉතින් ඔය ලයිෂන් ගත්තා…..

ඊළඟ ලිපියෙන් මම භූමිකම්පාවක් ඇතිවෙන ආකාරය සහ එමගින් සුනාමි තත්වයක් ඇතිවිය හැකි ආකාරය පැහැදිලි කරල දෙන්නම්….මට ඒ ගැන තියෙන්නෙ ඉතාම අවිධිමත් විෂය දැනුමක්….ඒත් ඒ දන්න ටික කියන්නම්….කවුරු හරි භූ විද්‍යාඥයෙක් ඇවිත් කිව්වොත් “අඩෝ මේ බොරු කියන්නෙ නැතුව ඕක අයින් කරපන්!” කියලා මම අයින් කරන්නෙ නෑ….හැබැයි කවුරු හරි භූ විද්‍යාඥයෙක් ඇවිත් කිව්වොත්

“ඕකෙ වැරදි ගොඩයිනේ පුතා ! මෙන්න මේ මේ තැන් වැරදියි ! ඒවා නිවැරදි වෙන්නෙ මෙහෙමයි!” කියලා, එතුමාට වඳින ගාථාවකුත් හදලා ඒ ලිපිය නිවැරදි කරල දානවා…. 😀

is @කන් දෙකේ ඇඟිලි ගහ ගනිමින්  😀

Advertisements

One thought on “භූමි කම්පාවක් යනු කුමක්ද? – ලයිෂන් ගැනීම !”

  1. Michelle Kaku විශ්ව විද්‍යාල ලමයින්ට කරන මිනිස් මොලය සහ විශ්වය ගැන දේශන හැම ඉරිදම මම ටීවී එකේ බලනව​. ඉතාම රසවත් වගේම කල්පනා කරන්න ගොඩක් දේවල් ඉතිරිකරනවා. එක සැරයක් මානව ශිෂ්ටාචාරයේ අනාගතය ගැන දේශනයක් කලා. දැනට අප සිටින්නේ තුන්වන මට්ටමේ (Level 3) බවත්, දෙවන අදියරට (Level 2) පත්වූ පසු ඉන්දන මත පදනම් නොවූ ශිෂ්ටාචාරයකට පැමිනෙන බවත්, පලවන මට්ටම (Level 1) Star Wars පන්නයේ එකක් බවත් ලස්සනට විග්‍රහ කලා දල කාල සීමාවන් ද ඇතුලුව​..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s