කොළඹ ක්‍රමය – The Colombo Plan

කොළඹ නගරය වනාහි “වීදි දරුවෙකි”….අම්මෙක් අප්පෙක් නිවසක පිළිවෙලකට දෙගුරු සැලසුමකින් යුතුව හැදූ වැඩූ දරුවෙකු මෙන් නොව, මේ වීදි දරුවා නියම වීදි දරුවෙකු මෙන් අතට අහුවෙන දෙයක්, කටට වැටෙන දෙයක් කා බී, එක් එක් දවස එන හැටියට බාරගෙන, එහි සියවස් කිහිපයක ඉතිහාසය තුල විවිධ විනාශයන්ට, ව්‍යසනයන්ට, හැළ හැප්පීම් වලට මුහුණ දෙමින් ඔහේ හැදී වැඩී තරුණයෙකු වූයේ යැයි සැළකිය හැකි නගරයකි…

ඒ නිසා එහි “වාණිජ කළාප, නිෂ්පාදන කළාප, ආදායම් බද්දෙන් නිදහස් වූ ආයෝජන කළාප ( නිදහස් වෙළඳ කළාප ), සැලසුම් සහගත සනීපාරක්ෂක පහසුකම්, ජලාපවාහන පද්ධති, අපද්‍රව්‍ය බැහැර කිරීමේ සංවිධිත ක්‍රම වේදයන්, විවේකස්ථාන, විනෝදය සඳහා වෙන් කෙරුණු කළාප, ආදී දෑ වෙන් වෙන්ව පවත්වාගත හැකි යැයි උපකල්පනය කිරීම නිෂ්ඵල ක්‍රියාවකි….එබන්දක් කිරීමට නම් සමස්ථ නගරයම විශාල භූමි ප්‍රදේශයකින් අතහැර, නගරයේ සීමා මායිම් වෙනත් දිශාවන්ට අලුතින් පුළුල් කළ යුතුය…නො-එසේ නම් “පෝට් සිටි” වැනි වෙනම වපසරියක සංවර්ධන ක්‍රියාවලියකට පිවිසිය යුතුය…ඒවා වෙනම මාතෘකා සහ සංවාද විය යුතුය….මෙලෙස සිදුවන නාගරික ව්‍යාප්තිය කෘත්‍රිම හෝ ස්වභාවික වෙති…කෘත්‍රිම නගර ව්‍යාප්තිය පිළිබඳව නිදර්ශන සිංග්ගප්පුරූව , හොංකොං වැනි නගර රාජ්‍ය සපයනු ඇති අතර, ස්වභාවිකව භූමිය අත්පත් කරගෙන ව්‍යාප්තවීමට නිදර්ශන චීනයේ බෙයිජිං, ප්‍රංශයේ පැරිස්, ජර්මනියේ බර්ලින් ( වඩාත්ම සුදුසු සැලසුම් සහගත නාගරික ව්‍යාප්තිය සඳහා මූලිකම නිදර්ශනයන් ගෙන් එකකි ) වැනි නගර සපයනු ඇත…මේ දෙකම සඳහා උභය කුළකයකට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය ඇතුලත් ඩුබායි එමිරේටයෙහි නාගරික ව්‍යාප්තිය නිදසුනකි…
විශාල නාගරිකයන් වැරදි ලෙස හසුරුවන රටකට මහත් ව්‍යසනයක්ද, නිවැරදිව හසුරුවා ගන්නා රටවලට මහත් ඵල මහානිසංසද ගෙන දෙයි….විශේෂයෙන්ම යම් රටක මහා ජනපද ඇත්තේ අන්තර්ජාතික වෙළඳපළෙහි විශාල වටිනාකමක් ජනිත කරවිය හැකි ස්ථානයක නම්, ඒ නගරය ඒ රටට සම්පතක් බව කිව යුතුය….සිංගප්පූරුව නූතනත්වය කරා ගෙන ආ එහි ප්‍රජේශ්වර ලී ක්වාන් යූ සිය “From Third World to First – The Singapore Story” ග්‍රන්ථයෙහි වියළි, නිසරු, මුඩුබිම් සහ මුඩුක්කු පිරුණු, සිංගප්පූරුව නම් මඩ වගුර සේවා ආර්ථිකය කුලු ගන්වන ලද අග්නිදිග ආසියාවේ විශාලතම විවෘත වෙළඳපොළ සහ ලෝක ආර්ථික මර්මස්ථානයක් බවට පත්කරන ලද්දේ “අන් කිසිවක් නොමැති සිංගප්පූරුවට තිබුණු එකම දායාදය වන එහි ස්ථානගත වීමෙහි උපක්‍රමික වටිනාකම” තුළින්ම බව විග්‍රහ කොට ඇත….මෙනයින් බලන කළ කොළඹ නගරය අනාථ වීදි දරුවෙකු ලෙස හැදී වැඩුණද “හැරී පොටර්” මෙන් නොදුටු දෙමාපියන් විසින් තබා ගිය වටිනා බූදලයකට හිමිකම් කියන්නෙකු බවට සැක නැත…
E16FFDF19C9A470C937B93DB3795C8D5
සූවස් ඇළ – රතු මුහුද හරහා යේමනයේ එඩ්න් වරායේ සිට සෘජුව එන ප්‍රධාන මුහුදු මාර්ගයකුත්, ඒඩ්න් සහ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් සිට ඉන්දියාවේ ජවහල්ලාල් නේරු වරාය වෙත එන මුහුදු මාර්ගයකුත්, පර්සියන් ගල්ෆ් කළාපයේ ( හෝම්ස් සමුද්‍ර සන්ධියාශ්‍රිතව ) එන මුහුදු මාර්ගයකුත් සුප්‍රකට කොළඹ වරායේදී පෙර-අපර දෙදිග යාවෙන ලක්ෂ්‍යයකට සපැමිණෙති….මෙම ස්ථානයේ ඇති උපක්‍රමික වටිනාකම අවබෝධ කරගෙන සමුද්‍ර ආර්ථික මර්මස්ථානයක් බවට එය පත් කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ මෙරටට පැමිණි යුරෝපා ජාතීන්ටය…විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයන්ටය…ඒවා ඔවුන් අපේ වාසිය උදෙසා නොකළාය යන තර්කය තාවකාළිකව පසෙකින් තැබුවහොත් මේ මොහොත වනවිට කොළඹටත්, සමස්ථයක් ලෙස මේ රටටත් විශාල ආර්ථික මෙහෙවරක් කරමින් රුපියල් මිලියන 4000 කට අධික වටිනාකමක් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට සපයා දී තිබේ…අද දකුණු ආසියාවේ විශාලතම වරාය සහ නාවික සේවා ආර්ථික කේන්ද්‍රස්ථානය කොළඹ පිහිටා ඇත…ලෝකයේ අනෙකුත් කළාපයන්ට සාපේක්ෂව දකුණු ආසියාවේ නාවුක මාර්ග ඝණත්වය එතරම් තීව්‍ර නොවුණත්, ඒ තිබෙන ප්‍රමාණයේ උපරිම ඝණත්වය කොළඹ වටකර පවතී….
Density_Map_Small
ලෝක නාවුක මාර්ග ඝණත්වය
මෙයට අමතරව කොළඹ නගරයට ඉතා ආසන්නයේ බොහෝ විට අපරදිග සිට පැමිණෙන සියලුම ගුවන් මාර්ග අපරදිගට පිවිසෙන ලක්ෂ්‍යයන් වන බහරේන්, දෝහා, ඩුබායි, මස්කට්, අබුඩාබි, ධමාම්, රියාද්, ජෙඩාහ් ආදී වූ සියළු පර්සියන් ගල්ෆ් කළාපයේ ගුවන් ගමන් මර්මස්ථාන සෘජුව සම්බන්ධ වන කටුනායක ගුවන්තොටුපළ පිහිටා ඇත….( මෙම ස්ථානය තෝරාගැනීම සහ සංවර්ධනය ඊනියා බණ්ඩාරනායක හපන්කමක් නොව, බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ එයාර් වයිස් මාෂල් ජෝන් බාකර්ගේ අදහසකි…1942 වනවිට අග්නිදිග ආසියාවේ බොහෝ උපක්‍රමික වටිනාකමින් යුත් මර්මස්ථාන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අහිමිව තිබූ නමුත්, ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ සිට සිදුකෙරුණු ගුවන් මෙහෙයුම් සාර්ථක වීම සහ පිට පිට කොළඹ නගරයාශ්‍රිත ඉලක්ක වෙත එල්ල වූ ජපන් ගුවන් ප්‍රහාර සාර්ථකව මැඩ පවත්වා ජපන් අධිරාජ්‍යයේ දකුණු ආසියාතිකර ව්‍යාප්තිය වළකා, පරාජයන් රැල්ල සිලෝන් දිවයිනේදී කෙළවර කරගත හැකි වීම යනාදි කරුණු රැසක් සැළකිල්ලට ගත් බ්‍රිතාන්‍යයන් මේ ගුවන් කේන්ද්‍රස්ථානය අලලා රාජකීය ගුවන් හමුදා කඳවුරක් පිහිටුවන ලදී… )  ..ජාත්‍යන්තර ගුවන් මාර්ග ජාලය ශ්‍රී ලංකාවට ඉහළින් වැටී තිබෙන ආකාරය අධ්‍යයනය කරතොත් වාර්ෂිකව මිලියන 5 කට නො-අඩු ගුවන් මගීන් සංඛ්‍යාවක් විවිධ ගුවන් මාර්ග ඔස්සේ මේ දූපත අවටින් පියාසර කරති…ඔවුන්ගේ පියාසැරි පථයන් සියල්ල ඡේදනය වන ස්ථානයකට නුදුරින් කොළඹ පිහිටා ඇත…..
gts1
සුදු පැහැයෙන් ලෝක ගුවන් මාර්ග
මේවා කොළඹ නම් වූ වීදි දරුවා ලද සුවිශාල ජන්ම දායාදයන්ය….මේ දායාදයන් සිංගප්පූරුව හිඟන්නෙකු කරවන තරම් සුවිශාලය….
………..එක් පසෙකින් ඩුබායි ය… අනෙක් පසින් සිංගප්පූරුවය….මෑණියනි, කොළඹ කෙසේ නම් අත් පා දිගහැර නිදන්නද?…
මෙතරම් ජන්මයෙන් ලද දායාද තිබිලාත්, ඊනියා නිදහසෙන් පසුව ගත වූ 67 වසර තුළ අප වාර්ගික ලපන් සහ වාමාංශික ලපන් ගැසීමේ හේතුවෙන් එක් පසෙකින් කාන්තාරයේ වැලි සහ පස් ගොඩක් මත ඩුබායි ආලකමන්දාවත්, අනෙක් පසින් මඩ වගුරු සහිත දූපතක් මත සිංගප්පූරුවත් නැගී ආහ…මේ නගර දෙකම නිසි ලෙස භාවිතා කරන ලද, එහෙත් අප භාවිතයට අපොහොසත් වූ උපක්‍රමික වටිනාකම වන්නේ ලෝකයේ සැබවින්ම “වියදම් කිරීමේ” හැකියාව ඇති, නවීන ශිෂ්ඨාචාරයෙහි “ඊඩ්න් උද්‍යාන, පාරාදීසයන්” සොයා යන සංචාරකයන්ට තමන් සතු ධනය යහමින් වියදම් කර “පොහොසත් ජීවිතය” ගත කරන්නට කදිම තැන් හැටියට සුවිශාල ප්‍රවාහන මාර්ග වල ස්ථානගත වීමය….
ඩුබායි, කොළඹ සහ සිංගප්පූරුව එකම රේඛාවක
….ඩුබායි නිසොල්ලාසය…..
සිංගප්පූරුවට ලී ක්වාන් යූ මෙන් ඩුබායි එමිරේටය ගොඩදැමූ සහ එමගින් සමස්ථ එක්සත් අරාබි එමීර් රාජ්‍යයම ගොඩ දැමූ මිනිසා වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකතුවෙහි දෙවැනි අග්‍රාමාත්‍ය වන ෂෙයික් “රෂීඩ් බින් සයීඩ් අල් මක්තුම්” ශ්‍රීමතාණන්ය…ලී ක්වාන් යූ නාමය තරම් රටක් ගොඩ දැමූ මිනිසෙකු ලෙස මෙතුමාගේ නාමය අප අතර ජනප්‍රිය නැත….නමුත් මහා ලොකු අධ්‍යාපනයක්, ලොව සුපිරි සරසවි ඇසුරක් නොමැතිවත්, තුන් කල් දක්නා නුවණින් කටයුතු කළ ආසියාවේ නැණවත්ම නායකයෙකු ලෙස මෙතුමා ඉතිහාස ගතවිය යුතුය…
ෂෙයික් "රෂීඩ් බින් සයීඩ් අල් මක්තුම්"
ෂෙයික් “රෂීඩ් බින් සයීඩ් අල් මක්තුම්”
මෙතුමා එරට දේශපාලනයට අත තබන යුගය හෙවත් 1950 දශකය වූ කලී බොරතෙල් ශිෂ්ඨාචාරයේ පර්සියන් ගල්ෆ් කළාපයට ධන ප්‍රවාහක පයිප්පයන් මුලින්ම ඇර දමන ලද යුගයයි….1950 දශකය පුරාවට අලුතින් සල්ලි කාරයන් වන පවුල්, ඔවුන්ගේ හැසිරීම, ආර්ථික සකසුරුවම පිරිහී යන ආකාරය, කළාපයට බටහිරින් ගලා එන ධනස්කන්ධය නැවතත් “ලෝස් නැතුව” බටහිරටම විවිධ මාර්ග වලින් ඇදී යන ආකාරය ඔහු නිහඬව නිරීක්ෂණය කරන ලද්දේය….දැන් ටිකෙන් ටික සිය කළාපයට ධනය ගලමින් පවතින්නේ මේ ධ්‍රැවික බොරතෙල් සම්පත නිසා බවත්, යම් දිනෙක මේ “කළු රන්” ආකරය සිඳී යනදාට නැවතත් සිය කළාපය ලෝකයේ සෙසු කළාප හමුවේ දරුණු ලෙස පරාජය වී කාන්තාර ගෝත්‍ර යුගය තෙක් පසු බසිනු ඇති බවත් එතුමා දුටුවේය…මේ සියල්ල සිතා බැලීමෙනි, එතුමා පහත සඳහන් ප්‍රකාශය කළේ…..
” My grandfather rode a camel, my father rode a camel, I drive a Mercedes, my son drives a Land Rover, his son will drive a Land Rover, but his son will ride a camel”
(…මගේ සීයා ඔටුවකු පිට නැගී ගමන් ගියේය….මගේ පියාද එසේමය…මා මර්සිඩීස් බෙන්ස් මෝටර් රියක යමි…මගේ පුතණුවන් ලෑන්ඩ් රෝවර් රියක් පදවයි…ඔහුගේ පුතුත් ලෑන්ඩ් රෝවර් රියක් පදවනු ඇත…එහෙත් ඔහුගේත් පුතු ඔටුවකු පිට යනු ඇත”….)
 
තෙල් සම්පත යම් දිනෙක අවසන්ව ගියවිට සිය කළාපය මුහුණ පාන ඛේදවාචකය කෙතරම් බරපතළද යන්න එතුමන් දුර දක්නා නුවණින් අවබෝධ කරගෙන සිටි බවට මේ කදිම සාක්ෂියකි….
 
සියළු විය පැහැදම් කිරීම් පසෙක තැබූ එතුමන් ශීඝ්‍රයෙන් “ඩුබායි” නම් වූ වැලි සහ පස් ගොඩ ලෝක ආර්ථික ප්‍රවාහයන්හි කේන්ද්‍රස්ථානයක් කිරීමේ සටන ඇරඹුවේය….ඒ අනුව පහත සඳහන් දැවැන්ත ව්‍යාපෘති 5 ඇතුලුව ඩුබායි ආලකමන්දාවට “බොර තෙල්” වලින් තොරව ධනය ගලන සෙසු ව්‍යාපෘති ඇරඹුවේය…
1. අල් රෂීඩ් නැව්තොට – 1972
2.අල් රාස්-ඩෙයිරා- අල් ෂින්ඩගා යා කරන අල් ෂින්ඩගා උමං මාර්ගය – 1975
3. ජෙබෙල් අලී නැව්තොට – 1979
4.ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානය – 1978
5. ඩෙයිරා දෙසට ඩුබායි පුළුල් කිරීමේ ව්‍යාපෘතිය – 1980 දශකය
6. නිදහස් ආර්ථික කළාපයන් සහ ලිබරල් සංස්කෘතික කළාපයන් බිහි කිරීම – 1975-1990
ඔහුගේ උදෘත පාඨය වූයේ “Build it and They Will come” ( “ගොඩ නගන්න එය… ඔවුන් එනු ඇත” ) යන්නය…
ඉතිරිය ඔවුන් කියන්නා සේම “ඉතිහාසය” වූයේය….
ඩුබායි - එදා සහ අද
ඩුබායි – එදා සහ අද
……. සෝබාව දේ මෙපුර…….සිංගප්පූරු කථාව………
ලී ක්වාන් යූ නරපතියාණන් වූ කලී පසුගිය සියවසේ සකළ ලෝකයෙහිම පහළ වූ බුද්ධිමත්ම මිනිසුන්ගෙන් අයෙකු බවට කිසිදු සැකයක් නැත….තමන්ට ලැබුණු අමූලික මුඩුක්කුව පරිසරයත්, සුඛ විහරණයත්, ධනයත් යන මේ සියල්ල නියමිත මාත්‍රාවන්ගෙන් ආරක්ෂාවන සුපිරි ආර්ථිකයක් සහිත ලොව පස්වෙනි විශාලතම ඒක පුද්ගල ආදායම හිමි දේශය බවට පත් කිරීම ඔහුගේ විශ්මය ජනක ප්‍රඥාවේ කථාවයි…
epa04675221  (FILE) A file photo dated 27 April 20111 of former Singapore prime minister Lee Kuan Yew, when he submitted his nomination papers to contest in the elections in Singapore . The founder of Singapore's ruling party and a grandee of Asian politics, Lee Kuan Yew, has died at the age of 91, according to media reports  22 March 2015  EPA/STEPHEN MORRISON
ලී ක්වාන් යූ

 

මෙතුමාගේ උදෘථය වූයේ (“If you want to sell it – Sell it here”) “ඔබට එය විකිණීමට උවමනා නම් මෙහි පැමිණ විකුණන්න” යන්නයි….ඔහු සිංගප්පූරුව මහා වෙළඳපොළක් සහ නිෂ්පාදනාගාරයක් බවට පත් කලේය….සිංගප්පූරුවේ කථාව ඩුබායි කථාව මෙන් “Straight Forward” එකක් නොවේ….නමුත් එය දීර්ඝ අධ්‍යයනයක් කළ යුතු සංකීර්ණ පිළිවෙලක් සහිත කථාවකි….

එහි ප්‍රමුඛ පියවරයන් වන්නේ:
1. බහු සංස්කෘතික මිශ්‍ර වාර්ගික අනන්‍යතාවයක් සහිත සිංගප්පූරු ජාතිකත්වය බිහි කිරීම
2. රාජ්‍ය භාෂාව සහ ව්‍යාපාරික භාෂාව ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම ඇරඹීම
3.ඇමරිකානු, ජපාන සහ යුරෝපා ආයෝජනයන් ගෙන්වාගෙන යටිතල පහසුකම් ප්‍රවර්ධනය ( මේ යුගය වනවිට චීනය යන්තම් හිඟන කමෙන් මිදෙමින් පැවතිනි )
4.විදේශ ආයෝජනයන්ට අතිශය මිත්‍රශීලී පරිපාලන ක්‍රමයක් සහ සංස්කෘතියක් ඇති කිරීම
5. දැඩි නීති රීති මගින් රට තුළ අපරාධ පාලනය කොට නීතියේ ආධිපත්‍ය පිහිටුවා ලීම
6. පරිපාලනයෙහි සහ රාජ්‍ය පාලනයෙහි වංචා දූෂණ තුරන් කිරීම
මේ අවස්ථාවන්ගෙන් පසුව ආර්ථික සංවර්ධනය සඳහා ලී ක්වාන් යූ යොදා ගත්තේ පහත සඳහන් “ත්‍රිශූලාකාර” සිද්ධාන්තයන්ය…
1. නිදහස් වෙළඳාම – Free Trade
2. නිදහස් වෙළඳපොළ – Free Market
3. නිදහස් වාණිජ්‍යය – Free Commerce
මේ ටික කියවන විට මෙය ඩුබායි සැලැස්මටත් වඩා ගව් ගණනක් ඉදිරියෙන් බව පෙනෙනු ඇත….
singapore-old-new
සිංග්ගප්පූරුව එදා සහ අද
….කොළඹ සන්නිය…..
මධ්‍යධරණී මුහුදෙන් පටන් ගෙන මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ පැසිෆික් සාගරය තෙක් මාස්පතා ඩොලර් බිලියන 500 කට වඩා වටිනාකමින් යුත් භාණ්ඩ, සේවා, මූල්‍ය සේවාවන් සහ ආයෝජන අවස්ථා සංසරණය වෙති… අපි අම්මගෙ රෙද්දවල් කර කර හිටපු සමයේ මැද පෙරදිග එක නායකයෙකුත්, අග්නිදිග ආසියාවේ තව නායකයෙකුත් ඒ අවස්ථා ඩැහැ ගෙන අප රට පිහිටා ඇති සංසරණ රේඛාවේ දෙපැත්තෙන් සුපිරි ආර්ථිකයන් දෙකක් ගොඩ නැගූහ….ඒවා ආදර්ශයට ගනිමින් තවත් නායකයෝ පැමිණ කළාපයේ සෙසු රටවල් දැවැන්තයන් කළහ…අපිට මෙතරම් දායාද ජන්මයෙන් ලැබිලාත් අපේ කොළඹ අද මෙතනය….බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අප අත්හැර දමා යනවිට ආසියාවේ දෙවැනි විශාලතම ආර්ථිකයත්, හොඳම රාජ්‍ය සේවයත් තිබුණු අපට මේ මුදල් මාර්ග ඩැහැ ගන්නට ශක්‍යතාවය තිබුණු සමයේ සිංගප්පූරුව සහ ඩුබායි යනු මඩු කූඩාරම් ගොඩකි….අහෝ දුකකි…ඉරකි…තිතකි…එස් අකුරක් මැදින් කැපූ ඉරකි….සුද්දන්ගෙන් 1948 නිදහස ගැනීම කෙසේ වෙතත් 1972 දි බ්‍රිතාන්‍ය ඩොමීනියන් තත්වයෙන් මිදී ජනරජයක් වීම නම් අමුම මරි මෝඩ කමක් යැයි වෙලාවකට හිතේ…ඩොමීනියන් එකක් ලෙස දිගටම තිබුනා නම් අඩුම ගානේ වාර්ගික අර්බුදවත් නැතුව පහුගිය අවුරුදු තිහටම ඉදිරි ගමනක් ගොස් අද යම් තැනකය…අපේ අයට “රැජිණ මමයි අපේ රාජ්ජේ ” වෙන්න තිබුණු රුදාව නිසා වෙච්ච දේවල් මෙච්චරය….
….කඩේ හැදීම ?……
2009 වසරේදී මෙරට ධනේශ්වර සංවර්ධනයට තිස් වසරක් තිස්සේ පැවති විශාලතම බාධකය අවසන් කරන ලදී….එයින් පසුව මෙරට සමස්ථ භූමියත්, වෙරළ තීරුවත් මුදල් ජනනය සඳහා විවර විය….බඩු විකිණීමට අවශ්‍ය කඩේ සෑදීම ඇරඹිණි….කඩේ සෑදීම සඳහා ප්‍රබල ප්‍රවිශ්ඨයක් ලබා ගැනීමේ ගෞරවය පසුගිය පාලනයට හිමිවිය යුතුය…..නමුත් කඩේ හැදුවේ කඩේ තියෙන්න ඕන තැන නොවීම ඔවුන් කරගත් බරපතළම වරදයි…දිගින් දිගටම ගොඩනැගිය යුතුව තිබුනේ කොළඹ මිස අන් ප්‍රදේශයක් නොවේ….
1.මෙරට තාක්ෂණික සාක්ෂරතාවයෙන් 70% ක් පමණ කේන්ද්‍රගතව ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් වලය…
2. ඉංග්‍රීසි සාක්ෂරතාවය ඉහළම දිස්ත්‍රික්කය කොළඹයි…
3. කොළඹ ප්‍රවාහන, නිෂ්පාදන සහ සේවා අංශවල යටිතල පහසුකම් සංවර්ධනය දිවයිනේ අනෙක් නගරයන්ට සහ අර්ධ-නාගරිකයන්ට සාපේක්ෂව අවම වශයෙන් සියවසක් ඉදිරියෙන් ඇරඹී තිබේ….
4. කොළඹ ලොව පුරා දනිති…අමුතුවෙන් විකාගෙන කියා දෙන්න දෙයක් නැත…අමුතුවෙන් ඔප්පු කර පෙන්වන්නට දෙයක් නැත…
5. කොළඹ වරාය සහ කටුනායක ගුවන් තොටුපළ කාළාන්තරයක් තිස්සේ බොහෝ අත්දැකීම් ගොණු කරගත් තත්ව සහතික දිනාගත් සන්නාමයන්ය….අමුතුවෙන් මාකට් කරන්නට දෙයක් නැත….
6. ආයෝජකයන්ට මිත්‍රශීලී වටපිටාව සහ ලිබරල් සංස්කෘතිය වැඩි වශයෙන්ම ඇත්තේ කොළඹය….
7. කොළඹ කේන්ද්‍රගත තොරතුරු තාක්ෂණික සංවර්ධනය සහ අධ්‍යාපනික සංවර්ධනය අනෙකුත් පළාත් වලට වඩා දශක ගණනාවකට පෙර ඇරඹී ඇත…
computers (1)
සිදුකළ යුතුව තිබුනේ “කොළඹ සිට රට තුළට පැතිරෙන සංවර්ධනයකි”….
…….කඩේ පාඩු වුනේ ඇයි?…..
මෙයට දීමට ඇත්තේ කෙටිම පිළිතුරකි….පණ දාගෙන කඩේ හැදුවාට ගමේ සල්ලිකාර පවුල් එක්ක වලි දාගෙන නම් බඩු විකිණෙන්නේ නැත….
බටහිර සහාය, ආයෝජනය හෝ ඇල්ම බැල්ම නැතිව රටක් සංවර්ධනය කළ නොහැකිය….!…මෙය අප මුහුණ දිය යුතු පරම යථාර්තයයි….බටහිර ලෝකය සමග හතුරුකම් ඇතිකරගෙන, ඔවුන්ට නිර්ධය ලෙස බැණ වදිමින්, දේශපාලනිකව සහ ආර්ථිකව ඔවුන්ගෙන් ඈත් වන විට රටක මොන තරම් පහසුකම්, සාමය, ආයෝජන අවස්ථා තිබුණත් වගුතුවක් වන්නේ නැත….මුදලාලි මඩකළපු සරමක් ඇදගෙන, හාමිනේ ලස්සනට රෙද්ද හැට්ටෙ ඇදගෙන, දුවට මල් ගවුමක් අන්දා පුයර උලා, කඩේ කුණු පොදක් නොහිටින්න අතුගාලා, බඩු ටික නීට් එකට තියලා, කට්ටිය වාඩිවෙලා බලා සිටිති….බඩු ගන්න කවුරුත් එන්නේ නැත….එන එකා දෙන්නා එන්නෙත් “පොතට බඩු අරගෙන” යන්නය…ගමේ ක්‍රය ශක්තිය සතු පවුල් සමග හිත් අමනාප කම් හදාගෙන නිසා උන් කඩේ පළාතේ එන්නේ නැත…අපිට බඩු විකුණන්න තියෙන්නෙ උන්ට විතරක් උනාට, උන්ට බඩු ගන්න තියෙන්නෙ මේ කඩේ පමණක් නොවේ…උන් සුපුරුදු කඩවලට යති…ඒ කඩවලදී උන්ට මිත්‍රශීලීව සළකයි….කොටින්ම උනේ ඔච්චරය…
…..චීනය තොග වෙළෙන්දෙක් පමණි…..
චීනය වනාහි සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා කදිම ආයෝජකයෙකු බව සැබෑය….එහෙත් චීනය නම් වූ තොග වෙළෙන්දා අපේ කඩේට පොඩි අතක් දී ( අධික පොළියට ) අපට විකුණන්න බඩු සපයනවා විනා, අපේ සිල්ලර කඩෙන් බඩු ගන්න එන්නේ නැත….බඩු ගන්න සහ විකුණන්න යන දෙකටම මෙහි පැමිණ අපටත් ලාභයක් සලසා යනා ජනතාවෝ වෙසෙන්නේ බටහිර අර්ධ ගෝලයේය…අපිට ඇත්තේ සිල්ලර කඩයක් මිස තොග වෙළඳ සැලක් නොවන බව අප වටහා ගත යුතුය….දැවැන්ත නිෂ්පාදන මෙහිදී තොග කඩයක් යනු දැවැන්ත නිෂ්පාදන ශක්‍යතාවයක් සහිත දේශයකි….චීනය වනාහි වර්ග කිලෝමීටර් මිලියන 9.7 ක් පුරා පැතිර ඇති 132 කෝටියක් ජනතාව වෙසෙන යෝධයෙකි….එරටට තොග වෙළෙන්දෙකු වී මුළු ලොවටම සමූහ නිෂ්පාදනය කරන ආර්ථිකයක් ගොඩනැගීමට ශක්‍යතාවය උවමනාවටත් වඩා ඇත….1972 දී ඇමරිකාවේ රිචඩ් නික්සන් ජනපති චීනයේ සංචාරයකට ගිය විට චීනයට පහළ වූ මේ අවස්ථාවෙන් ඔවුන් මැනවින් ප්‍රයෝජන ගත්හ….
එසේ වූ චීනයත් අද ද්‍රවශීල මුදල් ලබා ගන්නේ බටහිර ලෝකයට නිෂ්පාදන කර්තව්‍යයෙහි නිරත වීම නිසාය….එසේ වූ කල අපේ සිල්ලර කඩේ ගැන කියනුම කුමටද?
Note U.S. Imports from China
Note U.S. Imports from China
…..දූවිලි මාවතේ – දේවතා එළි පෙනෙයිද ආදරෙන්?…….
මඩු කූඩාරම් වලින් පිරුණු අපිරිසිදු ගුබ්බෑයම් වලට “නියම” ආයෝජනයන් සඳහා ආයෝජක දේවතාවුන් වඩින්නේ නැත….ඒවාට එන්නේ හොර ජාවාරම් වලට ආයෝජනය කරන මළ යකුන් සහ පෙරේතයන් පමණි….මදකට සිංගප්පූරු කථාවට හැරෙමු….සිංග්ගප්පූරුව ගොඩ දැම්මේ මූලික වශයෙන් පහත සඳහන් සමාගම් වල පැමිණීමෙන් යැයි නාගරික ජනප්‍රවාදයන් පවතී…
1. ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගම
2. කැල්ටෙක්ස් සමාගම
3. බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගම
4. ෂෙල් සමාගම
5. ෆිලිප්ස් සමාගම
6. ටොයෝටා සමාගම
7. ග්ලැක්සො ස්මිත් ක්ලින් සමාගම
මෙකී සමාගම් සිංගප්පූරුව සිය බෙදාහැරීම් කේන්ද්‍රස්ථානය ලෙස යොදා ගත්තේ ඇයිදැයි 2003 වසරේදී ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව ලී ක්වාන් යූ නායකයාණන්ගෙන් ඇසූ පැනයට ඔහු දුන් පිළිතුර වූයේ ” ඒ අයට පහසුවෙන් හැසිරෙන්න පුලුවන් විදියට අපි සිංගප්පූරුව පිළිවෙල කරලා ඉඩකඩ දුන්නා”  යන්නය…මේ වනවිට සිංගප්පූරුවේ වාර්ෂික එක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 55,182.46 කි….! ( වාර්ෂිකව ශ්‍රී ලංකා රුපියල් 7,173,722.40 – හැත්තෑ එක් ලක්ෂ හැත්තෑ තුන් දහස් හත්සිය විසි දෙකයි ශත හතළිහක් පමණ – මාසයකට රුපියල් 597,810 – පන් ලක්ෂ අනූ හත් දහස් අටසිය දහයක් පමණ )
image-20150323-17709-1kn4fz
මෙය ඉතාම සරල එහෙත් තීව්‍ර සාධකයකි….පදික වේදිකාවන් නැති, හැම තැනම බක්කි කඩ ගැසූ, අපිරිසිදු, ඉඩ ඇහිරුණු, නීතියක් රීතියක් නැති, දැවැන්ත මුඩුක්කුවක් සේ ඈතට දිස්වෙන තැන් වල ඇවිත් දූවිලි වද්දගෙන, කුණු තවරා ගන්නට කිසිදු ආයෝජකයෙකු කැමති නැත…
දූවිලි මාවත් වල දේවතා එළි පෙනෙන්නේ නැත….අපි කොළඹ නගරය ලොවට විකුණා ගන්නට නම් එය පිරිසිදුවට සහ පිළිවෙලට තැබීම අනිවාර්ය සාධකයකි….විනය සහ ශික්ෂණයද, පිරිසිදු කම සහ ඉඩ පහසුවද සැබෑ ආයෝජකයන් කැඳවයි…. ඡන්දය ගැන පමණක් සිතා හැම එකාටම ඕනෑ ඕනෑ හැටියට වැඩ කරන්නට ගියහොත් මේ කිසිවක් කිසිම දිනෙක පිළිවෙලක් වන්නේ නැත…
…..”කම්පාලා උදාහරණය”……
කම්පාලා යනු අප්‍රිකාවේ අන්ත දිළිඳුම රාජ්‍යයන්ගෙන් එකක් වන උගන්ඩාවේ අගනුවරයි….කළක් ඉඩි අමින් හෙවත් එඩුවාඩෝ අමීන් ඩාඩා නිසා රුහිරු වින්දිතයන්ගේ රාජ්‍යය ලෙස කුප්‍රකටව සිටි උගන්ඩාවේ බොහෝ අභ්‍යන්තර සිවිල් සහ දේශපාලනික අර්බුද ක්‍රමයෙන් වසර 2003 වන විට නිමාවට පත්විය….එහෙත් උගන්ඩාවට සාපේක්ෂ සාමයක් උදා වූවාට, උගන්ඩාවේ අගනුවරට සිතූ තරම් ආයෝජනයන් ගලා ආවේ නැත….කෘමි නාශක බීමට එකතු කරන්නට හෝ අවුරුදු පහකටම ආවේ කොකා කෝලා සමාගම පමණි….කම්පාලා වනාහි අප්‍රිකාවේ ප්‍රකටම පරිවහන මාර්ග ආශ්‍රිත උපක්‍රමික වශයෙන් අතිශය වැදගත් ස්ථානයක පිහිටි නගරයකි….
2011 වසරේදී  කම්පාලාවට මේ කළ දසාව යන්නේ ඇයිදැයි කම්පා වූ උගන්ඩා රජය මේ ගැන සොයා බලන්නට පත් කළ කමිටුවක සිටි මහාචාර්ය ෂොයිබ් ල්වාසා සහ මහාචාර්ය ඇලෙක්ස් ඉජ්ජෝ සමස්ථය ගවේෂණය කොට ඉතාම සැකෙවින් මෙසේ කීහ:
“කොලෝලෝ ( Kololo) කන්දේ සිට බලන කල කම්පාලාව පෙනෙන්නේ යෝධ මුඩුක්කුවක් මෙනි”….
මේ ප්‍රකාශයත් සමග බොහෝ දේ වටහාගත් උගන්ඩා රජය මේ වනවිට කම්පාලාව පිළිවෙලක් කර ආයෝජකයන්ට විකිණීම සඳහා “Kampala Development Plan – 2014” යනුවෙන් ක්‍රියාන්විතයක් දියත් කර ඇත…දියත් කර දෙවැනි කාර්තුවේදීම ආයෝජනයන් 58% ඉහළ දමාගෙන ඵල නෙලා ගැනීමට ඔවුහු සමත්ව සිටිති….
stock-photo-elevated-view-of-shanty-towns-or-squatter-camps-also-known-as-bidonvilles-in-cape-town-south-105607070stock-photo-kampala-uganda-september-people-and-taxis-move-about-their-busy-day-in-the-downtown-153512771
…..ක්ලීන් සූට් – එම්ප්ටි පොකට්?…..
නමුත් නගරයක් පිරිසිදු කළාට හෝ යටිතල පහසුකම් තිබුණාට මදිය….නීතිය, කාර්යක්ෂමතාවය සහ මනා කළමණාකරණය තිබීම අත්‍යාවශ්‍යය…මේ සියල්ලටම කළින් ලෝක මට්ටමේ ආර්ථික රටාවන් පිළිබඳව මනා අවබෝධයක් සහ ව්‍යාපාර ලෝකයේ “නිසි දේ සඳහා” කෛරාටික කමක් තිබිය යුතුය….උපක්‍රමශීලීත්වය සහ ප්‍රබල උපයෝගීතාවය නගරයක සංවර්ධනයට අතිශයින් වැදගත්ය….
මේ සඳහා පහත උදාහරණයකි…
සිංග්ගප්පූරුව සිය සංවර්ධන කථාව ඇරඹූ යුගයේම ඇමරිකානු ආධාර ඇතිව යටිතල පහසුකම් සංවර්ධනයක් ඇරඹූ අයෙකි, පිලිපීනයේ ෆර්ඩිනන්ඩ් මාකෝස්….නමුත් පිලිපීනයේ කථාව කෙළවර වූයේ ඛේදවාචකයෙකිනි….අද “මැනිලා” අගනුවර මොන තරම් පාර්ශ්වික යටිතල පහසුකම් තිබුණත් වෘත්තිමය වශයෙන් විකුණාගත නොහැකි, ලොවටම ගණිකාවන් සහ මත් කඩු සපයන වහල් වෙලෙන්දන් සහ කුඩු වෙළෙන්දන් පිරුණු, දූෂණයේ අගනුවරකි….
අරෝවට හැදුණු වැට හෙවත් පිලිපීනයේ මැනිලා....
අරෝවට හැදුණු වැට හෙවත් පිලිපීනයේ මැනිලා….
මෙලොව ධනවත්ම කොටස වන්නේ ව්‍යාපාරිකයන්ය….විශාල ප්‍රවාහන මාර්ග යනු ව්‍යාපාරිකයන්ගේ අවධානය ප්‍රමුඛව ලබාගත හැකි දේය….බොහෝ විට පෙර-අපර දෙදිග ධනස්කන්ධයන් යා කරවන ප්‍රවාහන මාර්ග යම් තැනකින් වැටී ඇත්නම්, ලෝකයේ තදින්ම විය පැහැදම් කරන සුපිරි ව්‍යාපාරිකයන්ගේ සිට, සමස්ථයක් ලෙස “පළවෙනි ලෝකයට” අයත් කාර්මික ශිෂ්ඨාචාරයන්ගේ ජීවත් වන පොහොසත්, වියදම් කිරීමේ හැකියාව තිබෙන, ක්‍රය ශක්තියෙන් අනූන, පුරවැසියන්ගේ ඇල්ම බැල්ම එවැනි මාර්ග වල සන්ධිස්ථානයන් කරා නිතැනින්ම යොමුවේ….සංචාරක ව්‍යාපාරය නංවනවාය කියා අපටත් වඩා මර හිඟන්නන් ගෙන්නා ගෙන උන්ට ගල් කණු සහ මුහුදු වෙරළවල් පෙන්නුවාට ධනය නූපදී….මෙරටට ධනය ගලා ආ යුතු නම් ඒ ධනය ඇත්තේ කොහේදැයි මැනවින් විපරම් කර බැලිය යුතුය…ඒ ධනය ඇත්තන්ට “එන්න අපෙනුත් මල් ගන්න” කියා ආයාචනා කරමින් කුමක් හෝ වටිනාකමක් ඉදිරිපත් කළ යුතුය….
ශ්‍රී ලංකාවෙ කෘෂි ආර්ථික දායකත්වය වර්ෂ 2014 වන විට මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 10.1% තෙක් පහත වැටී ඇත…මෙරට ආර්ථිකයෙන් 90% ආසන්න පිරිවැයක් සහ ජනනයක් දරන්නේ:
සේවා ආර්ථිකය ( ගුවන් තොටුපළ, වරාය සේවාවන් ඇතුළත් කුලකය ) – 58%
නිෂ්පාදන ආර්ථිකය – 32%
මෙකී සංරචකයන් දෙකටම කොළඹ නගරය දක්වන ප්‍රාචීණ වටිනාකම සුවිශාලය…සේවා ආර්ථිකය ඇසුරෙන් 60%+ තනි කොළඹ වටා කේන්ද්‍රගතව ඇත…..
අප රට ගොඩ යා යුත්තේ කොළඹ සිට ගමට පැතිරෙන සංවර්ධනයකින් බව මෙම ලියුම්කරුට කල්පනා සිතේ….එහි අනිත් පැත්ත කරන්නට ලොවෙත් බැරි බව මේ වනවිට දරා ඇති සියළු පරිශ්‍රමයන් ඔප්පු කර හමාරය….
කොළඹ අනාථ වීදි දරුවෙකු වුවත්, ඉස්කෝලෙ යවා උගන්නා ගත්තොත් සාපේක්ෂතාවාදය පවා ලොවට උගන්වන මහැදුරෙකු වන්නට හැකියාව ඇති දරුවෙකි….
අනාගත කොළඹ හෝ අනා-ගත්ත කොළඹ….
මේ වනවිට ශ්‍රී ලංකාව යළිත් බටහිර දිනා ගැනීමේ ප්‍රශංසනාත්මක පියවර රැසක් අනුගමනය කරමින් සිටිති….බටහිර සල්ලි අපට ගොඩ යන්න නම් අත්‍යාවශ්‍යමය….එහෙත් ඔවුන් සල්ලි දෙන්නේ ආවාට ගියාට නොවන බැවින් ඔවුන්ගේ කොන්දේසි කිහිපයකටද අවනත වන්නට අපට සිදුවේ….එහෙත් අපට තිබෙන්නේ සිල්ලර කඩයක් බව මතක තබාගෙන බටහිරට තරමක් දුරට දේශපාලනිකව කීකරු වන්නේ නම් අනාගතයේදී අපට ඔවුන් සමග සෘජුව කේවල් කළ හැකි බලයක් ගොඩ නගා ගත හැක…අද ඇමරිකා එක්සත් ජනපදයේ ගිණිකොන දිග ආසියාතිකර විදේශ ප්‍රතිපත්තිය සැකසෙන්නේ වර්ග කිලෝමීටර් 713 ක් තරම් කුඩා පනස් ලක්ෂයක ජනගහණයක් වෙසෙන පුංචි සිංග්ගප්පූරුවේ උපදෙස් පරිදි බව ඔබ දන්නවාද?…. ලී ක්වාන් යූ නම් ප්‍රාඥයා යෝධ ඇමරිකාව පුංචි සිංගප්පූරුවට ආර්ථික රැහැන් යොදා ගැට ගසා ඇති ආකාරය ගැන මීට වඩා නිදසුන් මොනවාටද?….
“අකුරට දැන් වන්න දාස – අකුර පසුව වේය දාස”  යැයි මුණිදාස කුමාරතුංගයෝ පවසා ඇත….බටහිර ගැනත් ඒ ටිකම කීමට ඇත…බටහිරයෝ ආර්ථික රැහැන් පටි වලට ක්‍රමයෙන් කීකරු වෙති….ඔවුහු සිංග්ගපූරුවට නැමෙන්නේද, ඔවුන්ගේ සංස්කෘතියට අතිශයින්ම පටහැණි සංස්කෘතීන් සහිත මැද පෙරදිග ෂෙයික් වරුන් හමුවේ නැමෙන්නේද මේ ආර්ථික කීකරු කම නිසාය….අපිත් බටහිරයන්ට ශාප කරමින් නොසිට බටහිර ඇතුන්ට ආර්ථික “මන්ද” විසි කළ යුතුය….ඇතුන් බැඳගත් පසු උන්ගෙන් වැඩගත හැක…..ඒකට බුද්ධිය අත්‍යාවශ්‍යයය….කොන්ක්‍රීට් සහ බුද්ධිය මනාව සංකලනය වන්නේ නම් ගොඩේ ගොඩය….
කොළඹ අප කෙසේ හෝ බටහිර ආයෝජකයන්ට ( සහ අග්නිදිග ආසියාවේ ජපන්, චීන සහ කොරියන් ආයෝජකයන්ට ) විකුණාගත යුතුය….එය පිලිපීනය මැනිලාව විකුණාගත් අයුරින් හෝ පැනමාව “පැනමා සිටි” විකුණාගත් අයුරින් අමන ලෙස නොව, එමිරේටයෝ ඩුබායි විකුණාගත් අයුරින් සහ සිංග්ගප්පූරුව විකුණාගත් අයුරින් දක්ෂ ලෙස විය යුතුය….
ලෝක ආර්ථික රටාවන් පැත්තෙන් ගෙන බලන කල අප ලපන් ගසමින් සිටිද්දී පෙරහැරවල් රාශියක් ගොස් අවසන්ය….කොළඹට දැන් ඉතිරිව ඇත්තේ ගංගාරාම පෙරහැර පමණි….අනාගතයේදී කොළඹට ඩුබායි ආධිපත්‍යයට සිංග්ගප්පූරු ආධිපත්‍යයට පමණක් නොව නැගී එන ඉන්දියාවේ නගර ආධිපත්‍යයට එරෙහිවද රැකෙන්නට නම් සටන් කල යුතුය….ඒ සඳහා මට හැඟෙන දේ අනුව කොළඹ Knowledge Hub / ICT Hub එකක් Entertainment Hub එකක් සහ Logistics Hub එකක් බවට පත් කර ගත යුතුය…..
කොළඹ දැන් තරමක් දුරට පිළිවෙලය..එය මෑතකදී ජාත්‍යන්තර ඇගයීමට ලක්විය….එහි ගෞරවය මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ පූර්ව පාලනයට යා යුතුය…..ඉදිරියේදී බලයට පත්වන්නේ කවුරුන් වුවද ඔවුහු දියුණු රටවල උපකාරයෙන් එය ඊටත් වඩා පිළිවෙල සහ සුන්දර නගරයක් කළ යුතුය….කොළඹ නම් මනාලිය අපේ මුළු පවුලටම සෙත සලසන දීගයක යැවිය යුතුය….එය එසේ නොවුවහොත් කොළඹට තබා මේ රටටවත් අනාගතයක් නැත…
වත්මන් රජයෙහි මෙම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යා හැකි පුද්ගල චරිත තුනක් තිබෙන බව ලියුම් කරුගේ මතයයි….ඒ නම් රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ ඇමති මංගල සමරවීර මහතා සහ විදේශ නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතාය….පසුගිය පාලන සමයේ යම් පරිමාවකට සාදන ලද, එහෙත් වැඩ නිම නොකළ “කොළඹ කඩය” වඩාත් සුපිරියට සාදා, බටහිර ගැණුම් කරුවන්ට මාකට් කරගැනීම මේ මහත්වරු තිදෙනා භාර ගත යුතුය…….මෙහිදී විදේශ ඇමති මංගල සමරවීර මහතා වඩාත් ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළ යුතුය…. අන් සියල්ලටම වඩා ඒ මහතා ලොවට කිව යුත්තේ “YOU CAN TRUST IN US” වචන පහ පමණි….සෙසු අය ඒ වචන පහට අදාළ පරිදි කොළඹ මනාලිය සරසා බලා සිටිය යුතුය…මේ විෂයෙහි රනිල්-මංගල මහත්වරුන්ට “සංගා – මහේල” වීමේ වගකීමක් ඇත…..එය නිසි අයුරින් ඉටු කළහොත් ඔවුන්ට ඉතිහාසය සාධාරණය ඉටු කරනු ඇත….
ජාතියක් ලෙස අප “ව්‍යාපාරික සාහසිකයන්” විය යුතුය….එක්කෝ සල්ලි හම්බ කළ යුතුය…නැත්නම් සල්ලි හම්බ නොකළ යුතුය….මේ දෙක අතර ශෘඩිංගර්ගේ “මැරුණු – නොමැරුණු පූසා” බඳු තැනක් නැත….නො-එසේ නම් සදාකාළිකව අපට පිටුපසින් සිට අධිවේගයෙන් පැන දියුණු වූ රටවල අගුපිල්වලට ගොස් උන්ගේ ඉඳුල් කමින් වැටී සිටිය හැක….
අපේ පාස්පෝට් එක ලොව කිසිම රටක තඹේකට ගණන් ගන්නේ නැත….නිවැරදිව කළමණාකරණය කර ගතහොත් කොළඹ ඒ සියල්ල වෙනස් කරනු ඇත….
“Build it and They will come”
Advertisements

12 thoughts on “කොළඹ ක්‍රමය – The Colombo Plan”

  1. but i think it could be a mistake to could follow the development models of these “city states”.
    Colombo is only a small part of Sri Lanka. and these countries are smaller than Colombo (UAE is 85,000 km2 but as far as i know its mostly desert and they have a very small population concentrated to the cities). but overall a good and enlightening post.

    1. Thanks Dulan…!

      What you say is true ! But then, again considering those factors which were inevitably putting some constraints on the city states aforementioned, how well placed and spaced are we for prosperity !

      I do not advocate to follow those models to “strictly photographic” terms and lines…What I would suggest, is to first learn those legacies, base our thoughts on them, and then draft our own game plan to prosperity.

  2. සංස්කෘතියේ නාමයෙන් වන්ශේ කබල් ගෑ රටවල් අතර ඉන්දියාවට පමණක් ලංකාව දෙවැනි වුව ද, අපි ලංකාවේ සමාජීය හා ආර්ථික පරිසරය නමැති ගෙදර ගෑනිව හනිමූන් එකටත් පෙර සුද්දාට පාවාදීමට ගොස් පෙට්ටිය විතරක් නොව ගෑනිත් නැතිවෙන තත්ත්වයක් උද්ගතවේ යයි කෙනෙක් කියුවොත් ඊට ඇති පිළිතුර කුමක්ද? ශ්රුජු කේවල් කිරීමේ බලයක් ලබාගැනීමට ගොස් රටේ අනන්‍යතාව නැතිවීම දියුණු ශිෂ්ටාචාරයක් තිබුනා යයි කියන ලංකාවේ අපිට විඳ දරාගතහැකි පාඩුවක් යයි ‘ලිවුම් කරු’ සිතන්නේද? එසේ නම් ඒ ඇයි? මිනිස්සුන්ට කන්න බොන්න අතේ සල්ලි තිබු පමණින් ත්රුක්තිමත්භාවයක් ලංකාව වැනි ක්වොන්ටිටියට වඩා කොලිටිය අගේකරනවා යයි කියන නමුත් ක්වොන්ටිටිය දකින විට කොලිටිය බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තබා පසුව ක්වොන්ටිටි අඩුවෙන විට කොලිටි බැහැලා යයි අවලාද නගන ජනතාවකට ඇතිවෙයි යයි ලිවුම්කරු සිතනවාද?

    1. //…සංස්කෘතියේ නාමයෙන් වන්ශේ කබල් ගෑ රටවල් අතර ඉන්දියාවට පමණක් ලංකාව දෙවැනි වුව ද, අපි ලංකාවේ සමාජීය හා ආර්ථික පරිසරය නමැති ගෙදර ගෑනිව හනිමූන් එකටත් පෙර සුද්දාට පාවාදීමට ගොස් පෙට්ටිය විතරක් නොව ගෑනිත් නැතිවෙන තත්ත්වයක් උද්ගතවේ යයි කෙනෙක් කියුවොත් ඊට ඇති පිළිතුර කුමක්ද?…//

      ජානි… සුද්දා සමග අපේ එක්ස්පීරියන්ස් එකට අවුරුදු පන්සීයක් වෙනවා….මේ කාළය තුල අප ඔවුන්ගෙන් සමස්ථයක් ලෙස සංස්කෘතික පැවැත්ම, වික්ටෝරියානු හෝ වේවා සභ්‍යත්වය සහ චින්තන රටාව මෙන්ම ආගම් සහ දැනුම ලබාගෙන තිබෙනවා… ( අර්ධ හෝ පූර්ණ වේවා ) .. හනිමූන් ගිහිල්ලා දැන් බබාලත් ලැබිලා ඉවරයි ජානි…!..ආයෙ අමුතුවෙන් ලත වෙන්න දෙයක් නෑ…අපේ වරද ඒ ලැබුණු බබාව හොඳට පෝෂණය නොකර, ඒ බබා තරුණයෙක් වෙනකොට ඒ තරුණයාගේ සිතුම් පැතුම් වලට ගැළපෙන පරිසරය සකස් නොකර අවසානයේදී ඒ ඵලයට ගර්හා කිරීම….

      //…ශ්රුජු කේවල් කිරීමේ බලයක් ලබාගැනීමට ගොස් රටේ අනන්‍යතාව නැතිවීම දියුණු ශිෂ්ටාචාරයක් තිබුනා යයි කියන ලංකාවේ අපිට විඳ දරාගතහැකි පාඩුවක් යයි ‘ලිවුම් කරු’ සිතන්නේද? එසේ නම් ඒ ඇයි? …//

      ජාතික අනන්‍යතාවය, ජාතික ලක්ෂණ, උරුමය යනාදි මේවා මොනවාද ජානි ?… මේවා නිකම්ම නිකන් පාරභෞතික සංකල්ප කියලා හිතෙන්නෙ නැද්ද…?…මේවා වෙනස් උනොත් හෝ අහිමි උනොත් හෝ ඒ වෙනුවට භෞතික සාර්ථකත්වය ලැබුනොත් එවැනි ප්‍රයාමයකට මේවා බිලි දෙන්න බැරි තරම් වටිනා ඒවාද?

      ඕනෑම ශිෂ්ඨාචාරයක් “දියුණු” වෙන්නෙ එය කාළනුරූපීව “වෙනස් වීමට” අවසර ඇත්නම් පමණයි ජානි…ඒ සුනම්‍ය ලක්ෂණ මෙන්ම “ප්‍රශ්ණ පැවතීම, ඒවාට හේතු සහ විසඳුම්” සොයන්න තම හර පද්ධතීන් පවා වෙනස් කරන්න පසුබට නොවෙන ශිෂ්ඨාචාර දියුණු වෙලා ජයගන්නවා…අපිත් අතීතයේ විභූතිමත් ශිෂ්ඨාචාරයක් නම්, එහෙම වෙන්න ඇත්තෙ ඉහත කී ප්‍රතිපදාවන් නිසා…ඒ අනුව බැලුවාම නූතනයේදී ධන කේන්ද්‍රස්ථාන සමග කේවල් කිරීමේ බලය ලබාගන්න ඒ ඔස්සේ ධනෝපායන සංවර්ධනයක් අත් කරගන්න ගිහින් “අනන්‍යතාවය” නම් වූ මානසික තත්වය අහිමි උනාට කමක් නෑ…එක් අනන්‍යතාවයක් අහිමි වෙනකොට වෙන තැනක අපිව ගිහින් ස්ථාන ගත වෙනවා….

      //..මිනිස්සුන්ට කන්න බොන්න අතේ සල්ලි තිබු පමණින් ත්රුක්තිමත්භාවයක් ලංකාව වැනි ක්වොන්ටිටියට වඩා කොලිටිය අගේකරනවා යයි කියන නමුත් ක්වොන්ටිටිය දකින විට කොලිටිය බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තබා පසුව ක්වොන්ටිටි අඩුවෙන විට කොලිටි බැහැලා යයි අවලාද නගන ජනතාවකට ඇතිවෙයි යයි ලිවුම්කරු සිතනවාද?….//

      මේක නම් ඇත්ත අර්බුදයක් තමයි … නමුත් ඒක ජනතාව විසින් තේරුම් ගත යුතු සහ අප මැදිහත් වී ඔවුන්ට තේරුම් කළ යුතු දෙයක්…

      ආර්ථික සහ භෞතික දියුණුව නොමැති තැන අනෙක් මොන දේක සැනසීම සොයන්න හැදුවත් සැනසීමක් ලැබෙන්නෙ නෑ…එහෙම උනාම බොහෝ දෙනා බලන්නෙ ඒ අවකාශයෙන් පලා යන්න … දැන් අපේ රටේ ජාතික අනන්‍යතාවය, අපේ උරුමය, අපේ කම මේ තරම් නැති වීමට ඉඩ දිය නොහැකි මහෝඝයන් නම්, අපේ මිනිස්සු ඒ අනන්‍යතාවයන් සහ උරුමයන් සියල්ල පසෙක දමා ඉඩක් ලැබෙන පළවෙනි අවස්ථාවෙම පළවෙනි ලෝකයේ රටක පදිංචියට පැන දුවන්නෙ ඇයි?…මොන තරම් ඒ රටවල ළඟා කරගෙන තියෙන භෞතික සංවර්ධනයට බැන වදිමින් අපේ තිබුණා හෝ තිබෙනවා යැයි කියන ඊනියා ආධ්‍යාත්මිකත්වයක් වර නැගුවත්, ලද පළමු අවස්ථාවෙන්ම ඒ පැත්තට පැන ගන්න ගන්න තියෙන සෑම පියවරක්ම ගන්නෙ ඇයි?…

      ඔබ දකිනවා විදෙස් ගතවෙලා ඉන්න අපේ ඩයස්පෝරාව ඒ රටවල නිත්‍ය පදිංචි වීසා ගන්න කරන දේවල්…තරුණ කෙල්ලො 70 පැන්න නාකි කසාද බඳිනවා…තරුණ කොල්ලො 60 පැන්න නාකිච්චියෝ කසාද බඳිනවා…වීසා නැතුව අනීතිකව හොරෙන් ඉන්නවා…හොර පාස්පෝට් හදා ගන්නවා…හොර සහතික ඉදිරිපත් කරනවා…

      මේවා කරද්දි ජාතික අනන්‍යතාවය පමණක් නෙමෙයි…සාමාන්‍ය පුද්ගල ගරුත්වය, ආත්ම අභිමානය පවා බල්ලට යන්නෙ නැද්ද?… ඒත් කරනවා…අන්න එතනින් තේරුම් ගන්න ඕන වඩා වැදගත් දේ පාරභෞතික සංකල්පද, භෞතික දියුණුවද කියන එක…

  3. කතාවේ එකඟ වන නොවන තැන් රාශියක් තියෙනවා. ඒත් දමිත් කිසියම් මතවාදයක් අරගෙන යන්න හදන ගමනට කොමෙන්ට් වලින් බාධා කරන්නේ නැහැ. මෙහි මූලික හරයට එකඟයි.

    1. සුජීව ඔබේ පැමිණීම විශාල සතුටක්….මා බෙහෙවින්ම ගරු කරන සාධාරණ චරිතයක් ඔබ…ඔබව මේ අවකාශයට සාදරයෙන් පිළිගන්නවා….බෙහෙවින් වැඩ අධික වූ නිසා මෙහි කමෙන්ට් කරන ලද අයට ප්‍රතිචාර දක්වන්නත්, මේ අඩවිය හරියට මාකට් කර ගැනීමේ වැඩේට බහින්නත් ඉස්පාසුවක් ලැබුනේ මේ ටිකේ තමයි…. ඒ පමාව ගැන සමාව ඉල්ලන ගමන්, මගේ අනික් ලිපිත් කියවා ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලා සිටිනවා…

      කිසිම ගැටලුවක් නෑ සුජීව…ඔබ මේ ලිපියේ දකින අඩුපාඩු සහ මගේ මතයන් සමග ඔබේ මතය ගැටෙන තැන් කිසිම ගැටලුවක් නෑ කියලා දාන්න…එතකොට අපට මෙහි සංවාද ගොඩ නැගිය හැකියි…මගේ මුහුණු පොත් ප්‍රොෆයිලය මුහුණු පොතේ සංවාද කේන්ද්‍රස්ථානයක් වූයේ යම් සේද, මේ බ්ලොග් අඩවියත් එසේ වනු දැකීම මගේ අරමුණ….ඒ වෙනුවෙන් ඔබේ අදහස් නිදහස්ව දක්වා සහාය දෙන මෙන් ඉල්ලා සිටිනවා…

  4. දියුනුව ගැන වාදයක් තිබිය නොහැක !! තිබ්බොත් ඒ ගල්වැද්දන් සමග පමණි . වැදගත් වනුයේ දියුනුවට මග කුමක්දැයි ගැන සංවාදයකි. !! ඔබේ ලිපියට සුබ පතමි..!!

  5. “වාණිජ කළාප, නිෂ්පාදන කළාප, ආදායම් බද්දෙන් නිදහස් වූ ආයෝජන කළාප ( නිදහස් වෙළඳ කළාප ), සැලසුම් සහගත සනීපාරක්ෂක පහසුකම්, ජලාපවාහන පද්ධති, අපද්‍රව්‍ය බැහැර කිරීමේ සංවිධිත ක්‍රම වේදයන්, විවේකස්ථාන, විනෝදය සඳහා වෙන් කෙරුණු කළාප, ආදී දෑ වෙන් වෙන්ව පවත්වාගත හැකි යැයි උපකල්පනය කිරීම නිෂ්ඵල ක්‍රියාවකි….එබන්දක් කිරීමට නම් සමස්ථ නගරයම විශාල භූමි ප්‍රදේශයකින් අතහැර, නගරයේ සීමා මායිම් වෙනත් දිශාවන්ට අලුතින් පුළුල් කළ යුතුය…//

    මේ අදහසට ඇර සමස්ථ අදහසට එකඟයි. කොළඹ ප්‍රධාන ලෙස දෙකොටසකට බෙදෙනවා. 1. වෙළඳ ප්‍රදේශ. 2. ජනාවාස

    ජනාවාස ඉවත්කිරීම* (*ගෝඨාභය කළා මෙන් ජනපදිකයන්ට බල්ලන්ට මෙන් සැලකීම) නිෂ්පලයි. නොකළ යුතුයි.

    වෙළඳ ප්‍රදේශ ආශ්‍රීත ඊට බලපෑමක් ඇති මුඩුක්කු පමණක් ඉවත් කළයුතුයි.

    කොළඹ කොළඹින් ඔබ්බට පැතිරීම සඳහා විශාල වියදමක් දැරිය යුතුයි. එය කළයුතු නමුදු ඊට පෙර කොළඹ ඇති සම්පුර්ණ ශක්‍යතාවය ප්‍රයෝජනයට ගතයුතුයි.

    ජනපදිකයන්ට බල්ලන්ට මෙන් සැලකුවද නිවැරදි වියයුතු තැන් තිබුනද පසුගිය මරා රජය සාර්ථක වැඩපිළිවෙලක් ගෙන ගියා. සැලසුම් සහගත සනීපාරක්ෂක පහසුකම්, ජලාපවාහන පද්ධති, අපද්‍රව්‍ය බැහැර කිරීමේ සංවිධිත ක්‍රම වේදයන්, විවේකස්ථාන, විනෝදය සඳහා වෙන් කෙරුණු කළාප, ආදී දෑ ඔවුන් සාර්ථකව ගොඩනගමින් පැවති බව අමතක කිරීම රචකයා අතින් වූ අඩුපාඩුවයි

    1. කසුන් ඔබේ ප්‍රතිචාරය බෙහෙවින්ම ස්තූතියි !

      මා ඒවා මග හැර නැහැ…බලන්න ලිපිය….මා ඒ රජයට සහ ඒ පාලකයන්ට මේ විෂයෙහි දිය යුතු ගෞරවය ලබා දී තිබෙනවා….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s