අපි කනත්තක ඇවිදිමු….

අපි කනත්තක ඇවිදිමු….
කේතුධර වනයක අසබඩ….
සීතළ ඇළක කණ ළඟ….
නෑසෙන කථා මුමුණන….
ඉවුරු යුගලක පැතිරුණ..
ඉවුරු දෑළක් යා කරවන….
කනත්තක අපි ඇවිදිමු….
සුදෝ සුදු තුසර බුමුතුරුණ…
බොහෝ තැන්වල එළා තිබුණත්….
ඇතැම් තැන්වල හිම ඇත – බෙහෙවින්ම අපිරිසිදු….
පසට වැටුණු රිකිලි පල්ව – ඒ හා මුහුව කළු පැහැ ගැන්ව….
හිම අපිරිසිදු බවට – මළවෝ නගති මැසිවිලි….
වනයෙන් කැපී එන….
දිනයේ පචිණ හිරු රැස්….
දෝනා දෙමින් හරි හතරැස් ….
මළපුර වැස්සන්ට පෙන්වති…
එළිය පෙට්ටි සංදර්ශණයක්….
සොහොන් ඝර`තර මහ වීදි වල…
ලෙහෙණ, සා, මුව පිරිස රැස්වෙති….
ශිශිරතරණය මඳක් නවතා….
නරඹති සිය පවුල් සමගින්…
කණ මැදිරි නත්තල් ගස්…..
එක් කොතක් මත ගාගොයිලයෙකි….
කටින් දිය දුණු වගුරුවන….
රුදුරු වත මුත් – සපයන….
වෙන කොතක් මත ඒන්ජලයෙකි….
සුරත්හි තෝමරාදි දරන….
සොඳුරු වත මුත් – රැගෙන යන….
(එතැන් යට වැදහෙන්නෝ – සිටි අයුරින්ම පෙන්වන….)
ලාම්පු දෙකක් කේඬෑරි අත් දෙකෙන් – එල්ල ගත් කලු පහන් කණුවක්….
වැම්පයර වෙස් ගෙන ඉඳ හිට – මිහිදුම් අතරින් එබී බළන රඟ….
සතුට දෙන්නට උපන් වුන් – බිය දෙන විටක ලෝකය?…
ඉපල් ගසෙක සුළැඟිල අග…
උළැගිව ජනිත දිය බිඳුවක්….
ගිලිහී ගොසින් බිම වෙත……
“චක්”  අණුකරයෙන් හිම වැද…
“චික් ! මා කුමට නොවැසිද – දිය වෙත නැඹුරු අත්තක?”….
මියෙන්නට තිබුණා නෙව – දිය වළලු මවාගෙන….?
ඝණ දෑ සමග හදි ගැහෙන – සුමඨ සැම දෑ මැකෙන….
ලෝ දහම නොතකන – දිය බිඳිත්තා වැළපිල්ලක….
ශීත සමයෙහි හිම කබායක්….
හොඳින් පොරවන වන පෙත…
අඟ පසඟ පෙන්වන – වසන්තය එළැඹෙන….
මොහොත එනතෙක් ඇඟිලි නමමින – සෘතුවට බැණ වදින….
පිණි මුවෙකි අසබඩ – “අවි” මානයෙන් පිම්බුන…..
අසළ දෙව්මැදුරත – සිටී දෙව් පුතු සසොබන….
යහපත් සොඳුරු එඬෙරණ…
කරන “මනු ගෝ” පාලන…..
විදා මුදහළ බාහු යුග්මෙන….
ලෝ සතට “එන ලෙසට” සන් දෙන….
කුළුණු බර යුග නෙත….සැමට මෙලෙසට පවසන….
“මෙහි සිටින්නෝ වනාහි – දෙවියන් විසින් දුන් දෙය…
දෙවියන් විසින් ගනු ලැබ – ඉතුරු පහදුව තබා ගිය අය….”
ශිශිරයෙහි බිම පළන්දන හිම…
කිරම තුහිණව පසුව දිය වී…..
වැලිදු අහසටම දෙන මෙනි….
අහස දෙන දෙය අහස ගත් මෙනි…
අහස ගත් දෙය අහස දෙන මෙනි….
නුදුරු වැසි සමයට…
යම් කළක නෙත රසඳුනක් වූ…
හිමවතියක් මෙහි නිදන්නී…
සිටු කුමර නෙත් සැනසූ…
පීන පියයුරු තිබූ තැන් වල…
දියව ගොස් මස් ලේ….
සැඟව ගොස් නහර වැල්….
අත දැමිය හැකි පර්ශු අතරට…
පදිංචියට ආ පස පණුවෙකු….
කියා දෙයි සිය පැටවුන්ට….
තිබූ බව එහි ලේ කිරි කළැකි….
වීතරාගී වූ දෙයක්…
මැකුණු ඇක්‍රොපොලිසයෙහි….
නටබුන් සිසුන් හට….
ශාස්ත්‍ර ආහ්ලාදයෙන්….
පහදන මහැදුරෙකු සේ…..
සාම සමයේ පිරිමියා – කම්මැළියෙකුව ඇති බව…
සිහින් තෘණ පත් මුලට කොඳුරන….
මහළු සෙබළෙකි – මෙතැන වැතිරුණ….
දෙවැනි ලෝ දා වතෙහි – මහ නළුවකුව උන් වග….
සොහොන් පුවරුව පවසන….
සොහොන් පරඬැල් නොතකන…..
නෝමැන්ඩි වෙරළෙහි – වෙඩි විහඟුනට තටු දෙන…
පසදීන පුතුන් නොනිදන….
සගයින් අතර බේරුණ…කරුමයට නොමැරුණ….
බෝ කල් ආයු විඳවුන……
ඉතිහාස පාඩමක්…. තරු පටි වළට සපයන….
තරු ඉරි වලට පණ දෙන….
ජීවන වෙඩිල්ලෙහි….පතොරමව සැතපුණ….
මෙතැන ඉන්නේ මැහැළියක් වෙද….දිවිය පශ්චිම හුදෙකළාවද….
පැටි ලෙහෙන දන….සාවු සමගින….
ගෙවා දැමු ගෙයි….අගුලු නොදරන….
ගෙවත්තේ පැන් තොටට පැමිණෙන…සියොත් දරුවන පිනවන….
රැළි සහිත මුහුණින….සිනා රැල්ලක් යොදවන…
මිනී පෙට්ටිය පතුළෙන…දමන ළද කේඬෑරි අතකින…
සොහොන් වළ අසළින….සා ගුලක සැතපෙන…
කුඩා සසනිඳු පිරිමදින….
මොකක් හරි වැරැද්දක් අඩුවක්….
ජීවිතේ තිබුණු බව කිය කියා….
ඇවිදින කල්ම හඬ නැගුවෙකු….
නිහඬ නිසලව අත්විඳියි මෙහි….
අපූර්ව පරිපූර්ණය …
යකඩ වැටකින් වෙන් කළ …
විශාල වටයක් මැද….කුඩා කළු තිතක….
විශ්වය යම් කළක – තිබූ අයුරින්ම එක තිතක….
ඒ තිතෙහි ඇති පරිපූර්ණය – අසම්පූර්ණ වන්ට නලියන….
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s