“අකඨාක්ෂි” – පළමු වැනි කොටස ( මා විසින් දරන පළමු නව කථා ප්‍රයත්නය )

වේලාව : පස්වරු 6.30 ( පැය 18:30)

දිනය : 03 – 03 – 2012

කොන්ස්ටන්ටින් මෙල්නිකොෆ් පෙදෙස,

ගෝර්කි උද්‍යානය,

මොස්කව් – රුසියානු ජන රජය

 

ස්කිප් ක්‍රීඩාව කරන කුඩා දැරියෝ දෙදෙනෙක් හිටි අඩියේම ස්කිප් ලණුවේ පැටලී එකිය මත එකිය ඇදගෙන වැටුණා….ඔවුන්ගේ ළපටි සිනා හඬින් හිටි අඩියේම වගේ නිදා සිටි උද්‍යානයේ මේ අඳුරු කොටස අවදි වුණා….සුදෝ සුදු හා පැටවුන් දෙදෙනෙකු වගේ සීත කාළයට අඳින ඇඳුම් ආයිත්තම් වලින් ඔතා සිටි මේ දැරියන් දෙදෙනා යළිත් ස්කිප් පටිය අතට ගෙන, ඔවුන්ගේ කබායන් වල ඇති හිම පියලි පිසදා ගන්නා අයුරු සුදුවන් බැම සහිත තලතුනා නෙත් සඟලක් බොහොම උවමනාවෙන් බලා සිටියා….

 

අතු පතර විහිදා නැගී සිටි පැරණි සෝවියට් සේනාංකයක සෘජු බව සහ ප්‍රතාපය සිහි ගන්වන යෝධ ඕක් ගස් පෙළ, මේ වසන්තයේ ආරම්භක උණුසුම් සුලං දහරා වලින් ඒ අත මේ අත වැනෙමින්, උයනේ මේ කළාපයෙ අඳුර වැඩි කළා….”හ්ම්ම්…තවත් එක සෘතු වෙනසක්”….අර තලතුනා ඇස් දෙක අයිති තැනැත්තාට සිතුණා….සැඩ පරුෂ රුසියානු ශීත සමයේ නිරුවත් වී සිටි මේ යෝධ ගස් වල යළිත් කොළ පැහැති රිකිලි, දළු ලාගෙන එනවා….

 

තවමත් හිරු වේලාසන බහින සමය….මාර්තු මාසය එළඹුනත් ඒකෙ ඒ හැටි වෙනසක් නැති ගාණයි…රාස්සිගේ අව්වේ රන්වන් කෙඳි, මොස්ක්වා නදියට වැටී, ඒ නදියේ ජල තරඟ පදින හැටි දෙස ඒ තලතුනා බැමි සඟලේ හිමිකරු, ජෙනරාල් වික්ටර් වසිලියෙව්, ඇස් අහකට නොගෙන බලා සිටියා…ඒත් සමඟම ඔහු හිඳගෙන සිටි බංකුවට යටින් පොළව, ඒ යටින් දුවන නාගරික උමං දුම්‍රියක ගැස්මෙන් සෙලවෙන්න පටන් ගත්තා…ජෙනරාල් වසිලියෙව්ට ඒක අමුත්තක් නෙමෙයි…හැමදාම ඔහුගේ සැඳෑව ගත වෙන්නේ මෙතන…”පොළව ගොරවනවා…තවත් කෝච්චියක් ගෙදර යන්න හදිස්සි බඩගිනි කාරයෝ පුරවපු…” ජෙනරාල් වසිලියෙව් තමන්ටම මුමුණා ගත්තා….යාබද “පාක් කුල්ටුරි” උමං දුම්‍රිය පොලට වැල නොකැඩී යන සිරුරු රාශියක් තුළ, බොහෝ කාළයකට පෙර ඔහුගේ ජීවිතයේ තිබුණු කඩිසර කම ඔහුට පේන්න පටන් ගත්තා….ඇත්තෙන්ම ජෙනරාල් වසිලියෙව් වැඩියෙන්ම අකමැති ඒ පෙනීමටයි….කාළය ඔහුගෙන් උදුරා ගත් දේවල් වලින් ප්‍රධානම එක තමයි, ඒ කඩිසරකම….කාළය හුඟක් දේ වෙනස් කලා….”වෙනද නම් මම මෙහෙම දේවල් හිතෙන කොට දිගු සුසුමක් හෙළලා මගේ කෝපි එකෙන් උගුරක් බොනවා….අද නම් තරමක හොඳ දවසක් වගේ…” ඔහුට සිතුණා….

 

සෑහෙන දිගු ඉතිහාසයක චිත්‍රපටිය ඔහුගේ මනස් තිරයේ තිරගත වීම, සුපුරුදු පරිදිම ඇරඹුනා….සුපුරුදු පරිදි, ඒ චිත්‍රපටියේ ප්‍රධාන ජවනිකාව උනේ ඔහුගේ ජීවිතයේ අඳුරුම දිනයේ රාත්‍රියේ දකින්නට සිදුවුනු ඒ කටුක දර්ශණය….ඔහු නොදැනුවත්වම, 1991 වසරේ දෙසැම්බර් 26 වෙනිදා රාත්‍රියේ ඔහුත්, ඔහුගේ එවකට සිටි අණ දෙන නිලධාරියාත් අයත් කේ.ජී.බී ආරක්ෂක අනුඛණ්ඩය වෙත පාවෙලා ගියා…එදත් මේ සීතල, මූසල, අඳුරු මොස්ක්වා නදිය මේ අයුරින්ම ගලන ඉසව්වක සිට, ඔවුන් දෙදෙනා “ක්‍රෙම්ලින්” මන්දිරයේ ඉදිරි වාහල් කඩ දෙස බලා සිටින මොහොතට ඔහු සම වැදුණා…

 

වසර ගණනක් තිස්සේ ජෙනරල් වසිලියෙව්ට වෘත්තිය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය අතරේ වෙනසක් තිබුණේ නෑ…කැපවුණු කේ..ජී.බී නිලධාරියෙකුට මේ දෙක එකක්…එවකට ලුතිනන් කර්නල් වසිලියෙව් හැටියට ඔහු අනුයුක්ත වී සිටියේ මොස්ක්වා නදියේ නැගෙනහිර ඉවුරු ආරක්ෂක අංශයට…ක්‍රෙම්ලින් මන්දිරයට යන මාවත් පරීක්ෂාව ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වුනේ….ඔවුන්ට ජීවය උණුසුම දුන්න, දිවි හිමියෙන්, ප්‍රාණ පරිත්‍යාගයෙන් ඔවුන් රකින්න කැප වෙලා සිටි, ඔවුන්ට බලාපොරොත්තුව කැන්දූ සෝවියට් ධජය, එදා රාත්‍රියේ හෙමි, හෙමින් කොඩි ගස දිගේ පහළට රූටලා ඇවිත්, ඒ වෙනුවට කවදාවත් ඇසුරු නොකළ ත්‍රිවර්ණ ධජයක් කුඹ ගසේ උඩට මෝදු වෙන හැටි, ලුතිනන් කර්නල් වසිලියෙව් බලා සිටියේ ඇස් වල කඳුළු පුරවගෙන…ඒත් සොල්දාදුවෙකුට අඬන්න අයිතියක් නෑ…විශේෂයෙන්ම වානේ පන්නරය පොවපු බුද්ධි අංශ නිලධාරියෙකුට….එහෙම තමයි පුහුණු පාසැල් වල කියා දී තිබුණේ…ඒ නිසාම වසිලියෙව්ට උවමනා වුණේ ඒ කඳුළු තම ජේෂඨ නිලධාරියාගෙන් වහං කරන්න…

 

 

 

“ජෙනරාල් තුමණි..!”….තරුණයෙකුගේ කට හඬින් ජෙනරාල් වසිලියෙව් යළිත් 2012 වසරට විසි වෙලා වැටුණා….”ෂික්…මේක මහ අසාධාරණයක්…” ඔහු තමාට කියා ගත්තා….

 

ජෙනරාල් වසිලියෙව් හිස ඔසවා බැලුවා තමා ඉදිරියේ සිටින තරුණයා දෙස….කර්නල් ඇලෙස්කි වැගින්….මොස්කව් මිලිටරි දිස්ත්‍රික්කයේ 16 වැනි ස්පෙට්ස්නැස් කොමාන්ඩෝ බල ඇණියේ බුද්ධි අංශ අණ දෙන නිලධාරියා…..

 

“වෑෂ්… උඹ ප්‍රමාදයි දරුවෝ….” ජෙනරාල් වසිලියෙව් තම ගැඹුරු ප්‍රතාපවත් කට හඬ අවදි කළා….

 

“සර්, මට එන්න අවස්ථාවක් ලැබුණේ දැන්…කළින් ආවා නම් සැකයක් ඇති වෙන්න ඉඩ තිබුනා….”ෆ්ලැමින්ගෝ කුරුල්ලාගේ තටු” සෑහෙන පැටළුනා….”

“ෆ්ලැමින්ගෝ කුරුල්ලා තවමත් කූඩුවේද?” ජෙනරාල් වැසිලියෙව් ඇසුවා…..

 

 

“නෑ සර්…ෆ්ලැමින්ගෝ කුරුල්ලා අද සවස උගුල බලා පියාසර කළා…තටු පමණයි මෙහේ තිබුණේ….ඒ නිසයි මට ඉක්මනින් එන්න බැරි උනේ…”

 

 

“කමක් නෑ…කමක් නෑ…මොනවද විස්තර…?”

 

“සර්…”ඇල්බාට්‍රොස්” ( තවත් රුසියානු පක්ෂියෙක් ) ඔබට දැනුම් දෙන්න කිව්වා “රත්වූ තලය” කියලා…”

 

 

ජෙනරාල් වසිලියෙව් යළිත් බිමට හරවා ගෙන සිටි නෙතු සඟල සහිත හිස ඔසවා තමා ඉදිරියේ සිටි තරුණ සොල්දාදුවා දෙස බැලුවේය…මෙවර ඔහුගේ දෙනෙත්, දෙබැම සහ කම්මුල් රුධිරයෙන් පිරී පැහැපත්ව තිබිණි….මෙතෙක් වේලා අසළකවත් නොතිබුණු උතුරා යන ජීවයක් ඒ තලතුනා මුහුණේ විය….ඔහු මඳ සිනාවක් පා හිස සෙළවුවාය…

 

“වෑෂ්…උඹ වහාම ආපසු ගිහින් “ඇල්බාට්‍රෝස්” ට කියපන්, “ප්‍රබල පහර” කියලා මම කිව්වා කියලා…..” ..උතුරා යන ප්‍රීතියක් අසීරුවෙන් රඳවා ගනිමින් ජෙනරාල් වසිලියෙව් ප්‍රතිචාර දැක්විය…..

 

කර්නල් වැගින් “ඔව් සර්..! මේ දැන්ම…!” කියා ඔහු ඉදිරියේ සීරුවෙන් සිටගෙන ආචාර කළේය….ජෙනරාල් වරයාද සරල ප්‍රති ආචාරයක් කළේය….සැණෙකින් හැරුණු කර්නල් වැගින්, ඔහුට හුරු විදුලි වේගයෙන් යෝධ ගස් පෙළ අතර මාවතෙ, අඳුරේ නොපෙනී ගියේය…

 

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

 

රැස්වීම් ශාලා අංක – 2 බී,

දෙවනි මහළ,

ඒකාබද්ධ මිත්‍ර පාක්ෂික මෙහෙයුම් ආඥාපති කාර්යාලය,

උතුරු අත්ලාන්තික් සහයෝගිතා ගිවිසුම් සංවිධාන මූලස්ථානය ( නේටෝ ),

බ්‍රසල්ස් – බෙල්ජියම.

( එම මොහොතේදී )

 

 

“දැන් සැපත් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති කෙනත් ජැක්සන්”….නේටෝ මූලස්ථානයේ තාක්ෂණික හඬ කැවි මැදිරිය භාෂා විසි හතරකින් සියළු රැස්වීම් ශාලා වෙත සම්ප්‍රේෂණය කරන ලදී…..

 

ඇමරිකානු ජනාධිපති කෙනත් ජැක්සන්, සිය රාජ්‍ය තාන්ත්‍රික පිරිවර සහ ඉහළ පෙලේ හමුදා නිලධාරීන් විසින් පිරිවරනු ලදුව, රැස්වීම් ශාලා අංක දෙක වෙත දිවෙන යෝධ කොරිඩෝවේ එදෙසට එමින් සිටියේය….

 

සිනාමුසු මුහුණින් සැමට ආචාර කළ ඔහු අසළින් ගමන් ගත් ඔහුගේ පෞද්ගලික ලේකම් වරිය ඇවිදින අතර තුරේත් දිගු ලියවිල්ලක පිටු පෙරළමින් සිටියාය…ඔවුන් සැමගේ මුහුණු වල දුටුවේ අහස පොළව ගැටලන සෙයියාවකි…

 

 

“ම්හ්….පිටු 78…නෑ…ඉන්න….ව්‍යතිරේකයන් සමඟ පිටු 116…” ලේකම් වරිය මිමුණුවාය…

 

“දෙයියන්ගේ නාමෙට සැහැල්ලුවෙන් ඉන්න එමිල්ඩා….ඕකෙ ආයෙ මුකුත් වැරදිලා නෑ…බලාගෙන, ඔහොම ඇවිදලා කොහේ හරි වදියි ගිහිං….” ජනපති ඇයට විහිලුවක් කලේය…එහෙත් ඇය එය නෑසුණු සෙයියාවෙන් යළි, යළිත් තමා අත වූ ලේඛණය පිරික්සුවාය….

 

“ජනාධිපති තුමනි…ඔබේ කථාව තව හරියටම මිනිත්තු පනස් පහකින්…” ඇමරිකානු රාජ්‍ය ලේකම් රොනල්ඩ් බ්‍රැඩ්ෆර්ඩ් ජනපතිගේ දකුණු පස සිට සිහි කැඳවුවේය….

 

“රොනී….තාම දිමිත්‍රි ඇවිල්ලා නෑ නේද…?” ජනපති  ජැක්සන් ඇසුවේය…

 

“නෑ සර්…තාම රුසියානු ජනාධිපති තුමන් පැමිණ නෑ…අපට නේටෝ ඇසැක්යුර් – 1 ගෙන් ( “ඇසැක්යුර් – 1″ යන කෙටි නාමයෙන් හඳුන්වන්නේ නේටෝ ගුවන් හමුදා මූලස්ථානයයි…) ලැබෙන තොරතුරු අනුව තවම රුසියානු නායකයා රැගත් ගුවන් යානය එස්තෝනියාවට ඉහළින් පියාසර කරමින් තිබෙන්නේ….”

 

“හ්ම්….එහෙම නම් අපිට තව හුඟ වෙලාවක් බලා ඉන්න වෙයි රොනී…මොකද ඔහු නැතුව මගේ කථාව කරන එක හරි මදි…විශේෂයෙන්ම අද වගේ දවසක…ඓතිහාසික දවසක….”

 

“සර්…ඒත් මම කියන්නේ ඔබේ කථාව නිසි වෙලාවට කරන්න….ලෝකය පුරා ජන මාධ්‍ය ඔබේ කථාව දෙන තුරු බලාගෙන ඉන්නවා…ඒ අය විශාල අමාරුවක වැටී අන්තිමට අපිට දොස් කියයි, විකාශන කාළය පිළිබඳව…”

 

“හ්ම්…හ්ම්…ඔව්…මාධ්‍යවේදියෝ…ඇතුවත් බැරි, නැතුවත් බැරි…”

 

“සර්…ඔබට දුරකථන ඇමතුමක් තිබෙනවා…නේටෝ ගුවන් ආඥාපති ජෙනරල් ස්ටුවර්ට් රැම්සන් ගෙන්…” .. ජනාධිපතිවරයා සමඟ සිටි සී.අයි.ඒ ආරක්ෂක නිලධාරියෙකු දිව විත්, සැටලයිට් දුරකථනයක් ඔහු වෙත දිගු කලේය….

 

ජනාධිපති ජැක්සන් තම අඩිය ඉක්මන් කරමින්ම දුරකථනය අතට ගත්තේය….

 

“ජෙනරල් රැම්සන්…?”

 

“සර්…රුසියානු ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය මේ දැන් පෝලන්ත ගුවන් සීමාවට ඇතුලු වුනා…ඔහු හිතුවට වඩා ටික වෙලාවක් ප්‍රමාද වෙන බව ඔබට දැනුම් දෙන්න කිව්වා…”

 

“රුසියානුවෝ හැබැ‍යි වෙලාවට වැඩ කරන අය”…මුහුණේ රැළි සියල්ල තද කරමින් සිනාසුනු ඇමරිකානු නායකයා දුරකථනය යළි ආරක්ෂකයා අතට දුන්නේය….

 

“සර්..ගිවිසුමේ අඩු ලුහුඩු කිසිවක් මේ මුද්‍රණයේ නෑ…” පෞද්ගලික ලේකම්වරිය යළි හඬ අවදි කළාය…

 

“හැම වෙලාවෙම වගේ…” ජනාධිපති ජැක්සන් සිය මිතුරු ආරක්ෂක ලේකම්වරයා දෙස බලා සිනාසුනේය….

 

ඔවුහු රැස්වීම් ශාලාවේ දොරටුව වෙත පැමිණියහ….පිටත සිටි නේටෝ ආරක්ෂක සෙබළු දෙදෙනා ඔවුන්ට ආචාර කළහ…ජනාධිපති ජැක්සන් තම ටයි පටිය මදක් සකසාගෙන, කබාය හොඳින් ලා ගත්තේය….යළිත් ආරක්ෂක ලේකම් වරයා දෙසට හැරුණු ඔහු ” හොඳයි…දැන් තමයි ඉතිං ඒ මොහොත….අපි ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරලා, ලෝකය න්‍යෂ්ඨික අවි වලින් තොර තැනක් කරමු…” කියා සිනා සුනේය….ආරක්ෂක ලේකම් වරයාද ඔහුට අතට අත දී “එහෙනම් “ඉතිහාස ගත වීම වෙනුවෙන්” සුබ පැතුම් ජනාධිපති තුමනි…!” කීවේය….

 

රැස්වීම් ශාලාවේ දොරටුව විවර විය…අත්පොළසන් නැඟිණි…

 

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

 

මොස්කව් – රුසියානු ජනරජය

( මොස්කව් කාල රේඛාවෙන් පස්වරු 7:25 )

 

“රුසියානු හඬ” ගුවන් විදුලියෙන් ඒ මොහොතේ “ෂාකොව්ස්කි” සිම්ෆනි ඔකෙස්ට්‍රාවේ සොඳුරු නාදය, දවසේ ජීවිත සටනින් විඩාබර රුසියානු නිවෙස් කරා ගෙන යමින් තිබිණි…නිවෙස් විසිත්ත කාමරයන්හි, මුළු තැන් ගෙවල් වල, සීත රුසියානු අහසට දුම් වළලු නංවමින් උණුසුම් කාරක වැඩෙහි යෙදුණාහ….තරු කැට, එකින්, එක මාර්තුවේ පැහැදිලි මොස්කව් ගුවන් ගැබෙහි දිස් වන්නට විය…ඒ නිල් තරු පලසට යට දිගැහැරුණු යෝධ මොස්කව් නගරය, සුපුරුදු රාත්‍රී සංහිදියාවට සහ නාගරික නිද්‍රාවට පත්වෙමින් පැවතියාය….

 

හිටි අඩියේම ඔකෙස්ට්‍රාවේ සොඳුරු මියැසි නාදය නතර විණි…

 

“සමාවෙන්න රසික, රසිකාවියනි…අපි මේ වැඩසටහන තාවකාළිකව අත්හිටුවනවා විශේෂ නිවේදනයක් සඳහා…ක්‍රෙම්ලිනය නිකුත් කරන විශේෂ නිවේදනයක් බලාපොරොත්තු වන්න…නැවතත්…දැනට ගුවන් ගත කරමින් සිටි වැඩසටහන් සියල්ල තාවකාළිකව අත්හිටුවනු ලැබේ…ක්‍රෙම්ලිනයෙන් නිකුත් කරනු ලබන විශේෂ නිවේදනයක් බලාපොරොත්තු වෙන්න…”.”…………..

Advertisements

One thought on ““අකඨාක්ෂි” – පළමු වැනි කොටස ( මා විසින් දරන පළමු නව කථා ප්‍රයත්නය )”

  1. “අකඨාක්ෂි” යන්නේ තේරුම මොකක්ද?

    රසවත් කතාවක් වගෙයි. හොඳ පටන් ගැනීමක්.

    ජය!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s