අදට වඩා හෙට හොඳයි…

සමස්ථයක් වශයෙන් ගත් කළ, අප දන්නා බව නොදන්නා සහ නොදන්නා බව දන්නා ඉතිහාසය සොඳුරු කවියක් නොවේ…මිනිසා ( සහ ගැහැණිය ) ජාතීන් වශයෙන් හෝ ගෝත්‍රික ප්‍රභේද වශයෙන් පසු කරනු ලැබූයේ ඝෝර වූ ඉතිහාසයකි…එම ඉතිහාස ගමන් මඟ තුළ, බොහෝ නිර්භීත මිනිසුන් කරන ලද නොයෙකුත් ලොමු ඩැහැ ගන්වන කැප කිරීම් නිසා, අපි අද සියළු මිනිසුන්ට මනුෂ්‍යත්වයෙන් සැළකීම ගැන අවම වශයෙන් කථා කළ හැකි යුගයකට වත් පැමිණ සිටින්නෙමු…උපතෙහි සම්මුතිගත වරද නිසා සතුන්ට සේ මිනිසුන්ට කස පහර කන්නට සිදුවීම, රජෙකුගේ හෝ නරපතියෙකුගේ එක වදනකින් පුවක් ගස් වල බැඳ මිනිසුන් දෙකට ඉරා දැමීම, ප්‍රකටව හිස් ගසා දැමීම, උළෙහි හිඳුවීම, ඇතුන් ලවා පාගවා මැරීම, මනු කුළයෙන් හරි අඩක් වූ ගැහැණුන් පුරුෂයන්ගේ නොතිත් ආශාවන් සංතෘප්ත කිරීමට උපන් වෛෂයීකරණය වූ කෙළි බඩු, දේපළ ලෙස දැකීම, කුල හීනයන්ගේ දෙකන් වලට රත්වූ ලාකඩ දැමීම, සැමියාගේ සෑයේ බිරිය දැවීම, ආදී නැතක් සාමාජීය ගැහැට පිරි, රෝබිය, මර බිය, සාගත වසංගත පිරී ඉතිරී ගිය අඳුරු ඉතිහාසයන් සියළු දේශයන්, සියළු ශිෂ්ඨාචාරයන් පසු කර ඇත…එසේ පසු කොට, අවසානයේ මිනිසුන්, ගැහැණුන්, දරුවන් සමූහ වශයෙන් ගාල් කොට ගෑස් ගස්වා, ගිනි තබා අලු පොහොර වශයෙන් යෙදූ යුධයක් පරම්පරා ගණනකට හෙණ වදින සේ පරමාණු බෝම්බ හෙළා අවසන් කොට, ඒ ත්‍රාස ජනක ඉතිහාසය මුළුල්ලේ නිදහස, මානුෂිකත්වය සහ සමානාත්මතාවය පතා බිහිවූ සියළු දර්ශණ වාදයන් ඒ අසාධාරණයන්ට එරෙහිව පොර කෑමේ ප්‍රතිඵල ලෙස ප්‍රජාතන්ත්‍රවාදය සහ හිමිකම් පිළිබඳව සම්මුතීන්ගෙන් සමනය වූ ලෝකයක අද බොහෝ දෙනෙකුට ජීවත් වීමටත්, එසේ නොවන්නන් හට ඒ ආලෝකය ලබා දීම ගැන කථා කරන්නටත් පුළුවන් යුගයකට පැමිණ සිටින්නෙමු…

ප්‍රජාතන්ත්‍රවාදය හා මානුෂීය හිමිකම් සම්මුති කර ගනු ලැබුවේත්, ප්‍රඥප්තීන් තුළ සිරගත කරනු ලැබූවේත්, අද ඒවා හිතුමතයේ වාසිය පිණිය යොදා ගනු ලබන්නේත් අධිරාජ්‍යවාදී රටවල් වුවද, ඒවා තුළ ලෙයින්,කඳුළින් සහ දහදියෙන් පාදා ගත් උතුම් අරමුණු සහ ශ්‍රේෂ්ඨ සත්‍යයන් ගැබ්ව පවතී…යමෙකු ඒවා වංචනික අරමුණින් යුතුව ප්‍රරෝහණය කරයි නම්, මිනිසා බුද්ධිමත්ව විවේචනය කළ යුත්තේ ඒ ප්‍රරෝහණය කරන වංචනිකයන්ගේ ක්‍රියා කළාපයන් විනා , මෙලොව අපට ජාති,කුල, ගොත්, සමය නිසා කුරිරු වධ බන්ධනයන්ට ලක්ව මරු වැළඳ ගන්නට සිදුවූ යුගයන් නිමා කළ ඒ දියුණු මනෝ භාවයන් නොවේ…ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානුෂිය අයිතිවාසිකම් කාගේවත් බූදළය නොවේ…ඒවා මෙලොව පැවතිය යුතු, සැමට ලැබිය යුතු උතුම් තත්වයන්ය…ඒවා ලබාදිය හැක්කේ ගුවන් ප්‍රහාර මඟින් හෝ තවත් මර බිය වපුරන ක්‍රම වේදයන් මඟින් ද නොවේ…අධ්‍යාපනයෙන්, ප්‍රත්‍යක්ෂයෙන් සහ අවබෝධයෙන් එක් මිනිසෙකු අනිත් මිනිසුන් කෙරෙහි හැසිරෙන ආකාරය වෙනස් කිරීම තුළිනි…., ඒවා කාගේත් බූදල නොවන නිසාත්, කාටත් සමව ලැබිය යුතු නිසාත්, සියල්ලෝම ඊට ගරු කළ යුතු වන්නාහ…අප ගමන් කල යුත්තේ යළිත් අඳුරට නොව, අඳුරෙන් එළියටය…

වනචාරියාගෙන් පටන් ගෙන, වනචාරියා මරා දමමින් ක්‍රමයෙන් ශිෂ්ඨයා කරා ගමනක අප යමු…තවමත් ඒ ගමන ඇත්තේ ලත් තැනින් මඳක් ඔබ්බෙහිය…ලෝකය සැපවත් තැනක් වන්නේ ඒ ගමන යන්නට අවංකව දිරි දෙන්නන් අතීතයේ සිටි නිසාය…අනාගතයටත් සිටිනු ඇති නිසාය….යම් දේශයක ශිෂ්ඨාචාරයේ හා එහි වෙසෙන වැසියාගේ දියුණුව මැනිය යුත්තේ එම දේශයේ ඉතිහාසයේ දිග පළලෙන් වත්, ඒ ඉතිහාසය තුළ ගොඩ නඟන ලද ගොඩනැඟිලි වල උස, මහතෙන් වත් නොවේ…එම දේශයේ වැසියෝ වත්මනෙහිදී එකිනෙකා කෙරෙහි හැසිරෙන ආකාරයෙනි…අතීතයේ අප ඇසූ කතන්දර බොහෝ විට එක් මිනිසෙකුගේ හෝ එක් පරපුරක හෝ වීර කම්, උත්තුංග කම් වටා ගෙතී පවතින ඒවාය…නමුත්, ඒ මිනිසුන්ට එවැනි ප්‍රතාපයන් ආරෝපණය කරන්නට වෙහෙසුණු, දිවිදුන්, සදහටම මතකයෙන් සළකුණු නොමැතිව මැකී ගියාවූ සෑම අවශේෂ වූ මිනිසෙකුටම, සෑම ගැහැණියකටම වෙන්, වෙන් වූ කතන්දර ඇත…ඒ කතන්දර එසේ පැවති බව අපට අමතකය…සෑම මිනිසෙක්ම අප සේම කුඩා කාළයක්, තරුණ කාළයක් ගත කළ බවද, අනන්‍ය වූ කතන්දරයක් තුරුළු කරගෙන, බලාපොරොත්තු, අභිලාෂයන් කැටි කරගෙන වළ පල්ලට ගිය වගද, අප නොදන්නා ඉතිහාසයයි…දන්නේ එක නරපතියෙකුගේ, සෙන්පතියෙකුගේ, ගවේෂකයෙකුගේ වීර ක්‍රියා ( හෝ වීර ක්‍රියා යැයි සිතා සිටින ඒවා ) පමණි….මෙලොව මිනිසුන් මේ කතන්දර කාරයන්ට නොනැමී, ජීවත් වන, හුස්ම ගන්නා, හද ගැහෙන සෑම මිනිසෙකුගේම, සෑම ගැහැණියකගේම යහපත්, සාධාරණ, යුක්ති සහගත කතන්දරයන්ට ගරු කරන දාක ලෝකය සොඳුරු වූ තැනක් වූ බවට අතීතයේ මී මුත්තන්ට ඇසෙන සේ හඬ ගා කිව හැකිවනු ඇත….

අයුක්තිය, අසාධාරණය සහ අවනීතිය යන ත්‍රිත්වය ඕනෑම දේශයක ජීවයෙහි පිළිකාවක් සේ වැඩෙන සුළුය…ඒවාට තව, තව ඉඩ ලැබෙන්නට, ලැබෙන්නට ඒවා තව, තවත් වපසරිය බිලිගෙන, අවසානයේදී ඒවාට සෘජුව හෝ වක්‍රව සහාය දෙන, ඒවා ඉවසා වදාරනුවුන්ගේද නිවෙස් වලට එති…අනුන් ඒවායින් විඳින වේදනා ගැහැට “අපේ නොවෙයි, අපිට මොකද?” කියා ඉවසන්නවුන්ට තරු පෙන්නෙන්නේ ඒ පිළිකා වලින් තමන් අවට සමාජය මරණාසන්න වූ විටය….අත් අඩංගුවේ පසුවන පාතාල කාරයාට වුවද පොලීසියෙන් “වෙඩි පහර” ලැබීම හොඳ දෙයක් නොවන්නේ, සම්මත අධිකරණ ක්‍රියා මාර්ගයන්ගෙන් තොරව පාතාල නායකයාට වුවද ලැබෙන එසේ වූ අසම්මත පොලිස් මරණය, දේශපාලන මරණය තටු ලබා හෙට දිනයේදී ඔබවද සොයා එන බැවිනි…ඔබේ පුතු සොයා ද ආ හැකි බැවිනි….අසම්මතයට, අයුක්තියට, අසාධාරණයට, හිංසනයට කවරෙකුටවත් බිලි වන්නට ඉඩ නොතැබිය යුතුවේ…ඒවා තටු ලැබ ඉගිල්ලෙන සුළුය…රටක ජාතියක පෙර මඟ එළි වන්නේ ඒවාට තටු නොලැබෙන තරමටය…

ලෝකය අඳුරේ ගිළෙමින් පවතින බවට ඇතැමුන් කියති…මට සිතෙන්නේ ලෝකයට එළිය වැටෙමින් පවතින බවය…සැම විටම ආලෝකය සහ යහපත උදා වූයේ අර්බුද, පෙරැළි සහ කම්පා මතිනි…සිදුහත් තවුසාණන් බුද්ධත්වයට පත්වූයේ දුෂ්කර ක්‍රියා පරිච්ඡේදයකින් පසුවය… හිරු සැමවිටම උදාවන්නේ ක්ෂිතිජය මැඩ ගෙනය…ක්ෂිතිජයේ ඉම හිරු විසින් මැඩලන තෙක් අන්ධකාරයට ආවේණික අවිනිශ්චිත භාවය සහ අසහනය පවතී….සංස්කෘතිය යනු “අත්තාගේ, මුත්තාගේ කාළයේ සිට පණ මෙන් සුරකින “හැඹිලියක්” කර නොගන්නා දේශයන් සහ ජාතීන්” නැගෙති…සෙසු දේශයන් සහ ජාතීන් යටපත්ව අහෝසි වී යති…අනුවර්තී විකිරණය මේ මිහි මත සියල්ලටම අදාළ වන්නේ, සියල්ල යනු සුලු මොහොතකින් වෙනස් විය හැකි දේ නිසාය…..

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s