යථාර්තය යනු කුමක්ද.. ? – 1 – The Grand Design ග්‍රන්ථය ඇසුරෙන් – ස්ටීවන් හොව්කින්ග් සහ ලියොනාර්ඩ් ම්ලොඩිනොව්

(..පරිවර්තක ගෙන් පෙර වදනක් : යථාර්තය යන පරිචින්නයෙහි කථා කරන විට, යථාර්තයට වාස්තවිකත්වයක් තිබේද?…ඒ වාස්තවිකත්වය බටහිර හෝ පෙරදිග ලෙස චින්තන ගුරු කුළ වලට ඌනනය කළ හැකිද?..නො එසේ නම්, මේ සියළු ගුරු කුළයන්ගේ හා පොදුවේ ගත් කළ මිනිසාගේ පංචෙන්ද්‍රිය සංවේදන පරාසයෙන් පවා ඔබ්බෙහි පිහිටා ඇති “මහා යථාර්තයක්” වේද?…මෙවැනි ප්‍රශ්න රැසක් පසුගිය කාළ වකවානුව තුළ ශ්‍රී ලංකාවේ සාකච්ඡාවට බඳුන් වූ අතර, ඇතැම් අය ඒ සංකල්පික වූ වාස්තවික යථාර්තය ප්‍රවර්ගයෙන්ම ප්‍රතික්ෂේප කරන්නටත්, අනෙක් අය කොන්දේසි විරහිතව පිළිගන්නටත් පෙළැඹිණි…මේ ආන්තික ස්ථාවරයන් දෙක අතර මැද සිට මේ සාකච්ඡා දෙස සංශයවාදීව බලන්නට ඉදිරිපත් වූ පිරිසක්ද විය…ඒ අය වාස්තවිකත්වය හඹා යා නොයුතු බවත්, ඒ වූ පමණින් කොන්දේසි විරහිතව පිළිගත යුතුද නැති බවත්, හුදෙක් ප්‍රයෝජ්‍ය වටිනාකමක් පමණක් එයට ආරෝපණය කළ යුතු බවත් මතයක් ලෙස දැරූහ…මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් මහතා ඉන්නේ අන්න ඒ මධ්‍යස්ථයෙහිය..)

මහාචාර්ය ස්ටීවන් විලියම් හොව්කින්ග් – “The Grand Design” ග්‍රන්ථයෙහි “What is Reality?” පරිච්ඡේදය…

මීට ටික කළකට ඉහතදී, ඉතාලියේ මොන්සා නාගරික සභාව විසින් සුරතල් සතුන් ඇති කරන අයට, “ගෝල්ඩ්ෆිෂ්” වර්ගයට අයත් මසුන් වක්‍රවූ පාත්‍රාකාර භාජන වල දමා ඇති කිරීම තහනම් කරනු ලැබුවා…ඒ පියවර ගන්න මූලික වෙච්ච කෙනා ඒකට හේතුව ලෙස විග්‍රහ කළේ, එවැනි වක්‍ර වූ ( ඉහත පින්තූරයෙහි දැක්වෙන ) පාත්‍රාකාර බඳුනක මාලුවෙකු දමා සිටින විට, එයින් ඌ පිටත බලන විට, එහි වක්‍රාකාර පැති තුළින් ඌට දකින්න ලැබෙන්නේ උගේ අවට ලෝකය පිළිබඳව “විකෘති කරන ලද යථාර්තය” නිසා, එහෙම ඇති කිරීම ඉතාම කුරිරු වැඩක් ලෙස..

නමුත්, අපි කොහොමද දන්නේ, මේ අපිට තිබෙන දෘෂ්ඨිය තුළින් දර්ශණය වෙන දේත්, විකෘති නොකරන ලද යථාරූපයක්ද කියන එක?…අපි කොහොමද කියන්නේ මේ අපි දකින දේ යථාර්තයක්මයි කියලා…?…අපිත් මේ රන්මාළු වගේම එක්තරා විදියක පාත්‍ර භාජනයක බහා ඉන්නා අතර, වක්‍ර සහිත ලෙන්සයක් තුළින් යථාර්තයේ විකෘති රූපනයක් දකිමින් සිටිනවා වෙන්න බැරිද?…කොහොමද අපි එහෙම නෑ කියන්නේ…?..රන්මාළුවාගේ යථාර්තය පිළිබඳව දැක්ම අපේ දැක්මට වඩා වෙනස් වෙන්න පුළුවන්…ඒත් අපි කොහොමද හුඟක් තහවුරු කර ගන්නේ ඒ රන් මාලුවාගේ දැක්ම, අපේ දැක්මට වඩා අසත්‍යය හෝ සත්‍යය බව…?

රන් මාළුවාගේ දර්ශණය අපේ දර්ශණයම නොවේ…නමුත්, ඌට, ඒ පාත්‍ර භාජනයෙන් පිටත ඌ දකින වස්තූන්ගේ චලිතය ඇසුරෙන්, ඒ චලිතය හසුරුවන විද්‍යාත්මක නියමයන්, ප්‍රමේයයන් හා නීතීන් හදා ගන්න පුළුවන්…( අපිත් එහෙම කරනවනේ අපේ “නිරීක්ෂණයන්” අනුව…) .. උදාහරණයක් හැටියට කිව්වොත් : අප විසින් සරල රේඛාවක ගමන් කරනු ලබන බවට නිරීක්ෂණය කරන වස්තුවක්, එම භාජනයේ ඉන්නා මාලුවාට වක්‍රාකාර මාර්ගයක යනවා වගේ පේන්න පුළුවන්..කොයිහැටි වෙතත්, මාලුවාට තමන්ගේ විකෘති වූ සමුද්දේශ රාමුවක විද්‍යාත්මක ප්‍රමේයයන් සාදා ගන්නට පුළුවන් අතර, ඒ ප්‍රමේයයන් ආශ්‍රයෙන්, ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වූ බාහිර ලෝකයේ වස්තූන්ගේ අනාගත චලනය හෝ හැසිරීම ගැන අනාවැකි ලබා දෙන්නට වුවද හැකියාවක් ලැබෙනු ඇත. ඔවුන්ගේ විද්‍යාත්මක නීති, අපේ විද්‍යාත්මක නීති වලට වඩා තරමක් දුරට සංකීර්ණ වේවි, මොකද ඒ අයගේ නිරීක්ෂණයන් අපට වඩා තරමක් “වක්‍ර විකෘතියක” පවතින නිසා, නමුත් සරල බව කියන එකත් එක, එක්කෙනාගේ රුචිකත්වය අනුව තීරණය වන දෙයක්…

රන්මාලුවා එහෙම ඒ නිරීක්ෂණයන් මත පදනම්ව ප්‍රවාදයන් ගොඩ නැඟුවොත්, අපට සිදුවෙනවා ඒවා ඌට සාපේක්ෂව යථාර්තය බව පිළිගන්න…

මේ යථාර්තය පිළිබඳව ඇති විවිධ රූපනයන් ගැන සළකා බැලෙන කදිම උදාහරණය තමයි ක්‍රි.ව.150 තරම් ඈත කාළයේදී “ටොලමි” විසින් හඳුන්වා දෙන ලද, අකාශ වස්තු චලිතයන් ගැන මොඩලය…ටොලමි විසින් පොත් 13 ක නිබන්ධන එකතුවක් ලෙස තම පරීක්ෂණ හඳුන්වා දුන් අතර ඒවා එකතුවට “අල්මගෙස්ට්” ( Almagest) නම් අරාබි නම තබන ලදී…

අල්මගෙස්ට් ග්‍රන්ථය විග්‍රහ කරන ආකාරයට, පෘතුවිය ගෝලාකාර නමුත්, එය නිශ්චලව, විශ්වයෙහි හරි මැද පිහිටා තිබෙන අතර, දිව්‍ය ලෝකයන්ගේ දිග, පළල හා සසඳා බලන කල ඉතාම කුඩා ලෝකයකි… ( මෙහිදී ටොලමි දිව්‍ය ලෝකයන් හෙවත් “හෙවන්ස්” යන වචනය යොදාගෙන හැඳින්වූයේ ක්‍රිස්තියානියේ හෝ ඉස්ලාමයේ එන ස්වර්ග නියාමයන් නොව, නිරීක්ෂිත විශ්වයයි…)

(ඇරිස්ටාකස් “සූර්ය කේන්ද්‍රික ආකෘතිය” )

ඇරිස්ටාකස් නම් දාර්ශණිකයාගේ “සූර්ය කේන්ද්‍රික මොඩලය” ( Heliocentric model of Aristarchus) ඒ වනවිට එළි දක්වා තිබුණත්, බොහෝ ග්‍රීක උගතුන්, අද්භූත කරුණු කාරණා මත, පෘතුවිය විශ්වයෙහි කේන්ද්‍රිකව පිහිටන බව තදින් පිළිගැනීමට ලක් කොට තිබිණි….ටොලමිගේ ආකෘතිය ප්‍රකාරව, පෘතුවිය නිශ්චලව විශ්වයෙහි කේන්ද්‍රිකව පැවති අතර, සියළු ග්‍රහ තාරකාවෝ, පෘතුවිය වටා, ඉතාම සංකීර්ණ කක්ෂගතව, “අපිචක්‍රයන්” ( Epicycles of Maths ) පවා සෑදෙන අයුරින්, චක්‍ර මත චක්‍ර පිහිටන අයුරින්, චලනය වෙමින් පවතින බව ප්‍රකට කරවන ලදී…

මේ මොඩලය නම් ස්වභාවිකයි වගේ පෙනෙනවා… මොකද කිව්වොත් අපට දැනෙන්නේ නෑ, අපේ දෙපයට යටින් ඇති පෘතුවිය චලනය වෙන බවක්…( ටොලමිට අනුවත් පෘතුවිය නිශ්චලව පවතී…)..එහෙම දැනෙනවා නම් දැනෙන්නේ, භූමි කම්පාවකදී හෝ හිටගෙන කරන ලිංගික ක්‍රියාකාරකමක සුරතාන්තයේදී… 😀 පසුකාළීනව, යුරෝපීය චින්තනය බොහෝ දුරට ඔවුන් වෙත ලැබුණු ග්‍රීක මූලාශ්‍ර මත පදනම් වූ අතර, ඇරිස්ටෝටල් සහ ටොලමි දෙපළගේ අදහස්, බටහිර චින්තන දහරාවේ පදනම බවට පත්විය…ටොලමිගේ උක්ථ විශ්වවේද ආකෘතිය කතෝලික පල්ලිය විසින්, එහි නිල ආකෘතිය ලෙස යොදාගත් අතර, ඒ භාවිතය අවුරුදු 1400 ක පමණ කාළයක් පැවතිණි…ක්‍රි.ව. 1453 තරම් මෑතක් වන තුරු, ඒ ආකෘතියට කිසිදු අභියෝගයක් පැවතුනේ නැත…නමුත් ක්‍රි.ව. 1453 දී නිකොලස් කොපනිකස් විසින්, ඔහුගේ මරණින් මතුව ප්‍රසිද්ධ කරන ලද, “De revolutionibus orbium coelestium” ( “On the Revolutions of the Celestial Spheres” ) ග්‍රන්ථය හරහා එළි දක්වන ලද ආකෘතිය ටොලමිවාදී ආකෘතියට බරපතළ අභියෝගයක් එල්ල කරන ලදී…කොපනිකස්, ඔහුගේ පූර්වකථක ඇරිස්ටාකස් මෙන්ම, සූර්යයා කේන්ද්‍රිකව “නිශ්චලව” තිබෙන, සියළු ග්‍රහ ලෝක සූර්ය කේන්ද්‍රය වටා පරිභ්‍රමණය වන බව තම ආකෘතිය හරහා පවසන ලද අතර, මෙම ආකල්පයට බරපතළ විරෝධතා එල්ල වන්නට විය….

මෙකී ආකෘතිය අලුත් හැඳිවීමක් නොවූවත්, එය සියළු ග්‍රහ ලෝක පෘතුවිය වටා පරිභ්‍රමණය වන බව කියන කතෝලික බයිබලය ප්‍රතිවාචනය කරන්නක් බව පල්ලියෙන් එයට ප්‍රතිරෝධයක් දැක්වූ අයගේ අදහස විය. කොපර්නිකස් ගේ මෙම අදහස මතවාදී විවාදයෙන් ඔබ්බට ගිය අතර කතෝලික පල්ලිය පාර්ශ්වයෙන් ඉතාම සැහැසි ප්‍රතිචාර ලැබෙන්නට විය…එවන් එක් ප්‍රතිචාරයක් වූයේ ගැලීලියෝ ගැලීලි නම් විද්වතාට 1633 වසරේදී, කොපර්නිකන් න්‍යාය අල්ලාගෙන “නන් දෙඩවීම” සහ “බයිබලික ශුද්ධවූ ග්‍රන්ථයන් මඟින් මනාව පැහැදිලි කරන ලද දේට උවමනාවෙන්ම ප්‍රතිවිරුද්ධ මතයක් දැරීම ” යන චෝදනා මත නඩු විභාගයකට පෙනී සිටින්නට සිදුවීමය….අවසානයේදී තම ජීවිතාරක්ෂාව උදෙසා “පෘතුවිය නිශ්චලව පවතින බව” යටහත් පහත්ව පිළිගන්නට ඔහුට සිදුවූ අතර, “වරද” පිළිගැනීම නිසා ඔහුගේ පණ කෙන්ද රැකී, ඒ වෙනුවට ජීවිතාන්තය තෙක් නිවාස අඩස්සියට ඔහුව පත් කරන ලදී..මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන මොහොතේ ඔහු රහසින් “Eppur Si Mouve” ( But it still moves) යැයි කියූ බවද සඳහන්ය…1992 වසරේදී කතෝලික පල්ලිය විසින් ගැලීලියොට දඬුවම් කිරීම බරපතළ වරදක් වශයෙන් පිලිගන්නා ලදී….

නමුත් කොයි එකද නිවැරදි..? ටොලමිගේ ආකෘතියද? කොපනිකසන් ආකෘතියද?…හුඟක් දෙනෙක් කියන නමුත් මේ කොපනිකස් ටොලමිව බොරු කාරයෙක් කරා කියලා, ඒක වැරදියි…අපගේ දෘෂ්ඨිය තුළින් උකහා ගන්නා දර්ශණය, රන්මාළුවාගේ දර්ශණයට එදිරිව පවතින්නේ යම් සේද, ඒ අයුරින්ම මේ ආකෘතින් දෙකෙන් කවර එකෙන් හෝ මේ දිව්‍යභාවයන් ගැන විග්‍රහ කළ හැකිය…මක් නිසාද අප විශ්වය ගැන කරන කවර ප්‍රකාශයක් වුවද, එක්කෝ පෘතුවිය නැතිනම් සූර්යයා නිසලව පවතී යැයි උපකල්පනය කොට කරන ඒවා බැවිනි…විශ්වය හා එහි සැකැස්ම ගැන මොන තරම් දාර්ශණික මත ගැටුම් පැවතියත්, මේ කොපනිකසන් ආකෘතිය ඒ වෙනුවෙන් යොදා ගැනීමේ එක වාසියක් ලෙස ඇත්තේ, සූර්යයා කේන්ද්‍රිකව නිසලව පවතින සමුද්දේශ රාමුවක, එහි චලිතයන් සම්බන්ධයෙන් ගණන් සෑදීම ඉතා පහසු බැවිනි…මේ නිසා හුදෙක් සුව පහසුව පිණිස එක ආකෘතියක් තෝරා ගැනීමට සහ එය නිර්දේශයට පෙළඹෙමි…එය ප්‍රයෝජ්‍ය වටිනා කම ලෙස දකිමි…

මෙලෙස එකම දෙය විස්තර කරන්නට “යථාර්ත” ආකෘති කිහිපයක් ඇති විට, අප එය වෛකල්පික යතාර්ථ රාමු ලෙස දකිමු…( Alternative realities )

ඉතාම වෙනස් මාදිලියක වෛකල්පික යථාර්තයක් “මේට්‍රික්ස්” නම් සුප්‍රකට චිත්‍රපටියේ දකිමි…එහිදී මිනිස් වර්ගයා නොදැනුවත්වම “සවෙස් ලද අතථ්‍ය යථාර්තයක” ( Simulated Virtual Reality) ජීවත් වන අතර, බුද්ධිමත් පරිඝණක විසින් ඔවුන්ව ෆැන්ටසියක බහා තබා, ඔවුන්ගේ දේහවලින් තම ප්‍රයෝජනය සඳහා “ජීවවිද්යුත් ශක්තිය” උරා ගනිති..( ඒ මොකක් වුවත්…) ..අද කාළයේ හුඟක් මිනිසුන් “සෙකන්ඩ් ලයිෆ්” වැනි අතථ්‍ය යථාර්තයන් තුළ මවා ගන්නා ලද ජීවිත වලට වහල් වී බොහෝ වේලා එහි ගතකරන නිසා, මේ තත්වය සැබෑවෙන් එතරම් දුරස් උපකල්පනයක් යැයිද කිව නොහැක….

අප, හුදෙක් පරිඝණක මඟින් නිමවන ලද මාලා නාටකයක චරිත නොවන්නේදැයි අප දන්නේ කෙසේද?…අප සින්තටික් සිහින දකිමින්, සින්තටික් මනෝ ලෝකයක ජීවත් වෙනවා නම්, සිදුවීම් වල තාර්කික බවක් හෝ සංගතික බවක් හෝ කිසිදු රීතියක් පිළිපදින බවක් තිබීමට අත්‍යාවශ්‍ය නැත…එවැනි අතථ්‍ය ලොවක් පාලනය කරන පිටසක්වළ ජීවින්, අපි “සිදුවීම්” වලට දක්වනු ලබන ප්‍රතිචාර දැක ඉමහත් ප්‍රීතියක් ලබනවා විය යුතුය…උදාහරණ ලෙස පැවසුවහොත්, එකවර පුර සඳ මඩල දෙකට පැලී ගියහොත්, හෝ ලෝකයේ සියල්ලෝම කෙසෙල් මිශ්‍ර අයිස් ක්‍රීම් වලට ඇබ්බැහියක් ඇති කර ගතහොත්, එවැනි තත්වයකදී අප දක්වන ප්‍රතිචාර ඔවුන්ට විනෝදය සපයනු ඇත…නමුත්, මේ පිටසක්වළ ජීවීහු “සංගත නීති” රීති අපේ “ලොව” මත පටවයි නම්, ඒ දෘෂ්ඨි මායාවෙන් ඔබ්බෙහි වෙනත් යථාර්තයක් පවතින බව අප කියන්නේ කෙසේද?…මේ දෘෂ්‍ය යථාර්තයෙන් ඔබ්බට යමක් ඇති බව වටහා ගන්නේ කෙසේද?…

( පරිවර්තක ගෙන් : මෙහිදී මහාචාර්ය හොව්කින්ග් අදහස් කරන්නේ, අප පිටසක්වළ ජීවය විසින් මවා දෙනු ලබන මාලා නාටකයක නළුවන්, නිළියන් නම්, හදිසියේ වත් කිසිදු රීතියකට සංගත නොවන සිදුවීමක් සිදුවුවහොත්, උදා: එකවර සඳ මඩල දෙබෑ වුවහොත්, යථාර්තය මෙය නොවන බවත්, ඉන් ඔබ්බට යමක් සොයා ගත යුතු බවත් අපට කල්පනා වෙනු ඇත…නමුත්, ඉතාම සංගත රීති පද්ධතියකට අනුව ඔවුන් අපව පාලනය කරයි නම්, යථාර්තය මෙය නොවන බව අප සිතා ගන්නේ කොහොමද? )

එහිදී අපිට බොහෝ පහසු වෙයි, අප ඉන්නා මේ සින්තටික් ලෝකය “මායාව” ලෙසත්, ඒ පිටසක්වළ ජීවින් ඉන්නා ලෝකය “යථාර්තය” ලෙසත් අර්ථ නිරූපණය කරන්න…ඒත්, ඒ පිටසක්වළ ජීවීන්ටත්, ඔවුන් ඉන්නා පරාසයෙන් ඔබ්බට දකින්න බැරි නම් මොකද වෙන්නේ..? ඔවුන් කොහොමද කියන්නේ ඔවුන්ගේ ලෝකය යථාර්තයක් කියලා…ඇතැම් විට ඔවුනුත් මායාවක සිරකරුවන් විය හැකියි….එහෙම උනත් ඒ අයත් තමන්ගේ “යථාර්තය” සැකයට භාජනය කරන එකක් නෑ….

අපි හැමෝම “තවෙකෙකුගේ සිහිනයක කල්පනා මාත්‍රයන් නොවේය” කියලා කාටද කියන්න පුළුවන්…???

මේ උදාහරණ, අපිව මේ ග්‍රන්ථයේ ඉතාම වැදගත් නිර්ණයකට ගෙන එනවා….ඒ නිර්ණය තමයි : “රූපයෙන් හෝ සිද්ධාන්තයෙන් ස්වාධීන වූ යථාර්තයක් නොමැත…”ඒ වෙනුවට අප උපයෝජනය කර ගන්නවා “ආකෘති – පරවශ යථාර්තය” : ( model dependent reality ) එහි අදහස වන්නේ භෞතික සිද්ධාන්තය සහ ලෝක චිත්‍රය ආකෘතියකි, නීති පද්ධතියක් මඟින් එම ආකෘතියේ මූලිකාංගයන්, නිරීක්ෂණයට අනුබද්ධ කර තබනු ලැබේ යන්නය….මෙමඟින් නූතන විද්‍යාව නිර්වචනය කර ගැනීමට රාමුවක් සකසා දෙනු ලැබේ…

( පරිවර්තකගෙන් – ඔය කියන්නේ “ආකෘතියකට” අනුව සැකසී නැති, හෝ ඒකෙන් ස්වාධීනව පවතින, චිත්‍රයකට අනුගත නොකළ, පූර්ණ වාස්තවික “පට්ටේ පට්ට” යථාර්තයක් නැත…ඒ වෙනුවට අපිට මොකක් හෝ මොඩල් එකක් උඩ දුවන යථාර්තයක් ගත හැක…ඒ මොඩල් එක අපිම හඳුනා ගත් නීති පද්ධතියක් ( එසේ තිබෙනවා යැයි අපිම උපකල්පනය කරගත් හෝ අර්ධ වශයෙන් තහවුරු කර ගත් ) මඟින් අපිට පේන්න, අපේ නිරීක්ෂණය හරහා තේරුම් ගැනීමට බද්ධ වී ඇති බව…කොටින්ම කිව්වොත් අපේ දෘෂ්ඨිය මත පදනම් වුණු මොඩල් එකක්…ආං ඒකට විද්‍යාව දමා, “ඇත්ත සහ යථාර්තය” එපමණකින් සිතා ගෙන සැනසෙන්න…නැතුව අම්බ යථාර්තයක් එයටත් ඔබ්බේ තිබෙනවාද සොයන්න යෑම රිම්බ මෝඩ කමකි…)

ප්ලේටෝ ගේ සිට මෙතෙක් සිටි දාර්ශණිකයන් බොහෝ දෙනා යථාර්තය ගැන බොහෝ වාද, විවාද පැවැත්වූහ…”බාහිර ලෝකයක් ඇත, එම බාහිර ලෝකයේ ගුණ සියල්ල නියතව, ඒවා ප්‍රත්‍යක්ෂ කර ගන්නා නිරීක්ෂකයාගෙන් ස්වායත්තව පවතී ” යන්න මත සම්භාවිත විද්‍යාව පදනම්ව පවතී…ඒ සම්භාවිත විද්‍යාවට අනුව “වේගය”, “ස්කන්ධය” වැනි නියත, හොඳින් නිර්වචනය කළ භෞතික ගුණාංග සහිත ඇතැම් වස්තූන් පවතී….

මේ නයින්, අපගේ සිද්ධාන්තයන් එවැනි වස්තූන් සහ ඒවායේ ලක්ෂණයන්, ගුණාංග විග්‍රහ කිරීමට යත්න දරන අතර, අපගේ මානයන් හා සංජානනයන් ඒවාට අනුරූපව පවතී…නිරීක්ෂකයා සහ නිරීක්ෂිතය යන ද්විත්වයම වාස්තවිකව පවතින ලෝකයක කොටස් වන අතර, ඒවා අතර විලක්ෂණයන්ට ( වෙනස් කම් ඕයි..!) එතරම් අර්ථානුගත වැදගත් කමක් නැත…

( පරිවර්තකගෙන් : මේ එක්ස්ටර්නල් වර්ල්ඩ් එකක් කියල එකක් තියෙනවා…ඒකෙ නියත වාස්තවික වස්තු තියෙනවා නිශ්චිත ගුණාංග සහිත…අපි මේ ගේමක් දීලා තියරි හදන්නේ ඒවා විස්තර කරන්න…අපි නම් නිරීක්ෂකයා, අපිත් ඒ වස්තූන් හෙවත් නිරීක්ෂිතයත් තියෙන්නේ මේ වාස්තවිකව පවතින පට්ට රියල් වර්ල්ඩ් එකක…කවුරුත් සැක කරන්නේ නෑ…මෙව්වයේ වෙනස් කම් ඒ තරම් ලොකු නෑ, ඒ යථාර්ත මොඩලයට අභියෝග කරන්න තරම්…)

වෙනත් වචන වලින් කිවහොත්, ඔබ රථගාලක සීබ්‍රාවන් පිරිසක් යම් තැනක වාහනයක් නවත්වා ගැනීම වෙනුවෙන් රණ්ඩුවක් කරනවා දුටුවොත්, ඒ ඇත්තටම එතන සීබ්‍රාවන් පිරිසක් වාහනයක් නවත්තන් ඉඩ වෙනුවෙන් රණ්ඩුවක් කරන නිසාවෙනි….ඔබ පමණක් නොව, වෙනත් නිරීක්ෂකයන් සියල්ලටම මෙය පෙනෙන අතර, ඔවුන් සියල්ලෝම ඒ දකින දෙයෙහි ( සීබ්‍රාවන් පිරිසගේ ) ගුණාංග මිනුම් කර ගන්නා අතර, එම නිසා නිරීක්ෂකයෙක් සිටියත්, නැත්ත්, සීබ්‍රා රංචුවට ඒ නිරීක්ෂණයෙන් මිනුම් කරගනු ලබන ගුණාංග පවතී….දර්ශණයේදී මෙයට කියන්නේ “යථාර්තවාදය” කියාය….( කොටින්ම කිව්වොත් අප බැලුවත්, නැතත් “යථාර්තය” වූ යමක් පවතී….)

එනමුත්, නූතන භෞතික විද්‍යාව විසින් මේ “යථාර්තවාදය” යන්න රැකගත නොහැකි තත්වයකට පත් කොට ඇත… ( පරිවර්තකගෙන් : ක්වන්ටම් අංශුව සහ කෝපන්හේගන් විවරණය යළි සැළකිල්ලට ගන්න…) .. උදාහරණයක් හැටියට, ක්වන්ටම් භෞතිකයේදී, නිරීක්ෂකයෙකු විසින් එකී පරිමාවන් මිනුම් කර ගන්නා තුරු, අංශුවකට නිශ්චිත, නියත, ස්ථානයක් වත්, ප්‍රවේගයක් වත් නොමැත…මේ ක්වන්ටම් විද්‍යාව පරිසරය පැහැදිලි කිරීමෙහි ඉතාම විශිෂ්ඨ න්‍යාය පද්ධතියකි….සත්තකින්ම සමහර අවස්ථාවලදී, තනි වස්තූන්ට හුදෙකළා පැවැත්මක් වත් නොමැති අතර බොහෝ දේ වෘන්දයක ( “එකතුවක” ඕයි…!) කොටසක් හැටියට පවතී….එනිසා, “ස්වලිඛිත සිද්ධාන්තය” ( Holographic Theory) නිවැරදි ලෙස ඔප්පු උවහොත්, අපගේ “චතුර්මාන ලෝකය” (4D)වඩා විශාල, පංච මාන අවකාශ-කාළයක ( 5D – Space-Time) මායිමේ ඇති සෙවනැල්ලක් බවට පත්වනු ඇත….( පස්වැනි මානය “යතාර්ථ” මානයයි…)

( මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් විසින් විරචිත The Grand Design ග්‍රන්ථයෙහි The Reality පරිච්ඡේද පරිවර්තනයේ පළමු කොටහ නිමි…)

4 thoughts on “යථාර්තය යනු කුමක්ද.. ? – 1 – The Grand Design ග්‍රන්ථය ඇසුරෙන් – ස්ටීවන් හොව්කින්ග් සහ ලියොනාර්ඩ් ම්ලොඩිනොව්”

  1. මේ කිරි ටොයියා බ්ලොග් අඩවියේ පළවෙනි ඇඩ් එක දැමීමට දෙන්න මටත් අවසර… 🙂

    අතීතයේ මිනිසුන් කස්ටියක් විකෘති වූ සමුද්දේශ රාමුවක විද්‍යාත්මක ප්‍රමේයයන් සාදා ගෙන ලෝකය මෙව්වා කරගන්න ගිහින් වුණ අලකලංචියක් ගැන රස විඳින්න මෙතැනින්

Leave a comment