ගණිකාවක් සමඟ කළ සංවාදයක්…..

(..මෙම බ්ලොග් අඩවිය ඔබ වෙත ගෙන එන මම, දැනට ජීවත් වන්නේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරය…යම් කාළයක් තිස්සේ මෙහි විශ්ව විද්‍යාල වල වාමාංශික අදහස් දරන සිසුන්ගේ අධ්‍යයන තෝතැන්නක්ව පවතින “සමාජවාදී ශිෂ්‍ය එකතුව” විසින් පළ කරනු ලබන පුවත්පත් සහ සඟරා වලට “අර්ධ-කාළීන” මාධ්‍ය වේදියෙකු ලෙස ලිපි පළ කිරීම කරමින් සිටිමි… පහත දැක්වෙන ලිපිය එවැනි එක් ලිපියකි…බ්ලොග්කරණයට පිවිසීමෙන් තොරව මා දරන යම් මතවාදයක් වෙතොත්, එය සමාජගත කිරීම මගේ ෆෙස්බුක් පිටුව හරහා කරමින් සිටි පසුගිය කාළයේ, මෙම ලිපිය එහි සටහනක් ලෙස පළ කොට තිබූ අතර, දැන් එය වඩාත් පුළුල් කියැවීමක් උදෙසා මෙසේ ගෙනහැර පාමි….)

සමාජවාදී ශිෂ්‍ය එකතුව විසින් සම්පාදනය කොට විසුරුවා හරිනු ලබන ශිෂ්‍ය සඟරාවක් සඳහා ලිපියක් සැකසීමේ කටයුත්තක් බාර ගෙන සිටි මා සමඟ, මගේ සහෝදර ශිෂ්‍යාවක වන ලිවියා ඈන් ලෝරන්ස් මෙනෙවිය ගොස්, බ්‍රිතාන්‍යයේ “නෝෆොක්” කවුන්ටියේ, “නෝරිච්” නගරයේදී මුණ ගැසුණු ගණිකා වෘත්තියේ නියැළෙන තරුණියක සමඟ කරන ලද සංවාදයක්, මෙහිලා හුවා දක්වමි…මෙම කර්තව්‍ය අප විසින් සිදු කරන ලද්දේ 2011 වසරේ ජූලි මාසයේදීය…මෙතෙක් මෙම ලිපිය පළ කිරීම සඳහා කතුමැති අවසරය ලැබෙන තුරු සිටි නිසා, එය කිසිදු ස්ථානයක, කවර බසකින් හෝ ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටියෙමි…නමුත්, දැන් ඒ සඳහා අවසරය ලැබී ඇති නිසා, මෙයින් අප උකහා ගත් යමක් වෙතොත්, එය මව් බිමෙහි සැමටද කියවන්නට සැලැස්විය යුතු යැයි සිතුණු හෙයින්, මෙහි ලා එය පළ කරමි…

මෙයින් මාත්, මගේ සහෝදර ශිෂ්‍යාවත් අදහස් කර සිටින්නේ ගණිකා වෘතියට පක්ෂපාතී මතයක් සමාජ ගත කිරීමටවත්, එහි ඇති රසවත් බවක් හුවා දැක්වීමටවත් නොවේ…මෙය හුදෙක් “Still Reporting” යන පුවත් පත් කලාවට අයත් ලිපියක් බව කීමට කැමැත්තෙමි..”Still Reporting” යනු යම් සිද්ධියක් හෝ සංවාදයක්, අපගේ අදහස් එකතු කිරීමකින් හෝ අපේ දෘෂ්ඨියට හෝ අනුභූතියට ගැළපෙන අයුරින් අවාස්තවීකරණය කිරීමකින් තොරව, එම සංවාදය සිදු කෙරුණු අයුරින්ම හෝ එකී සිද්ධිය සිදු වූ අයුරින්ම වාර්ථා කොට තැබීමයි..එහි හරයාත්මක විශ්ලේෂණය එවිට පාඨකයන්ට වගකීමක් ලෙස ඉතිරි වේ…

අප ඇයට “කුරීෂා” යැයි කියමු…ඒ ඇගේ සැබෑ නමට, ඒ ආරූඪ නාමය ඉතා ආසන්නයෙන් යන නිසාය…ඈ අපට හමුවන්නේ, නෝරිච් නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක පිහිටි ඇගේම නිවහන තුළදීය…ඈ උපතින් තුර්කි ජාතික කතකි…ආගම ඉස්ලාමයයි..එනමුත්, තුර්කියෙහි ඉස්ලාමයේ ලක්ෂණ, අරාබි ලෝකයේ දක්නට ලැබෙන ඉස්ලාමයෙහි සංස්කෘතික ලක්ෂණ වලට වඩා බෙහෙවින් වෙනස් නිසා, ඈ උපත ලබන පරිසරය, වත්මනෙහිදී ඈ නියැළෙන වෘතියට ඈව පොළඹවන ( නැතිනම් කුඩා කළ සිටම සකසන ) පරිසරයක් බව කිවහොත් එය නිවැරදිය…ඇගේ ජීවිතය සම්බන්ධයෙන් අප ඇගෙන් අසන්නට යන ප්‍රශ්ණ අතිශය සංවේදී ඒවා බවත්, ඒවාට පිළිතුරු දීමට අවශ්‍ය නැතැයි සිතුණහොත් නිහඬව සිටිය හැකි බවත්, අප ඇයට කරන්නේ වධයක් යැයි ඇයට සිතුණොත්, ඕනෑම මොහොතක අපට නිවසින් පිටව යන ලෙසට කියන්නට ඇයට අයිතියක් ඇති බවත්, මේ සංවාදයට පෙර, මගේ සොයුරිය වන ලෝරන්ස් මෙනෙවිය ඇයට පහදා දුන්නාය…කුරීෂා කිසිදු පැකිළීමකින් තොරවම ඒ ප්‍රශ්ණ බාර ගන්නා බව පැවසීම අපගේ මහත් අස්වැසිල්ලට හේතුවිය…

ඇගේ කථාව තුර්කියේ “ගූලෝෂ්” නම් ග්‍රාමයෙන් ඇරඹේ…ඈ, දරුවන් සිවු දෙනෙකුගෙන් යුතු පවුලක තුන් වැනියාය…වැඩිමහල් දෙදෙනාම ගැහැණු දරුවන් වන අතර ( ඔවුන් දෙදෙනාද මෙම වෘතියේම නියැළෙති..), බාල සොහොයුරා පිළිකා රෝගයට ගොදුරුව, මීට වසර 10 කට මත්තෙන් මිය ගොස් ඇත…ඈ උපත ලබන්නේ 1985 වසරේදීය…පියා ඇන්කාරා නුවර සිට පැමිණි දිසාභාර ලේකම් වරයෙකි..මව, ඔහු හා සැතපුණු “ෆුෂාවකි” ( අනපේක්ෂිත ගැබ් ගැනීමකි…) තුර්කියේ ගණිකා ව්‍යාපාරය කළක් තිස්සේ, එරට සංස්කෘතියේද අනුදැනුම හා ආශිර්වාදය ඇතුව කරගෙන එන්නක් වන අතර, ගම්බද ප්‍රදේශ වල සාම්ප්‍රදායික “ගණිකා පෙළපත්” තවමත් දක්නට ඇත…( මව “ඉඟටි නර්තන නාටිකාංගනාවක්” ( Belly Dancer) වන අතර ගණිකාවක්ද වෙයි…දියණියෝද එම වෘතියටම හුරු කෙරෙති…එක් දැරියක හෝ එයින් ගැළවී එන්නේ නම් ඉතාම කළාතුරකිනි…)..එවැනි සාම්ප්‍රදායික පෙළපත් ගණිකාවෝ “ෆූෂා”වන් ලෙස හඳුන්වනු ලබති…සාමාන්‍යයෙන් මැද පෙරදිග මව් පියන් අපේක්ෂා කරන්නේ පුතෙකුගේ උපත වුවත්, මෙවැනි “ෆුෂා” පෙළපත් නිරතුරුවම අපේක්ෂා කරන්නේ රූමත් දියණියකගේ උපතය…එය ඔවුන්ට සම්පතක් වන්නේ ඇයි දැයි සිතා ගන්නට අපහසු නැත…මේ, ඔබත්, මාත් පශ්චාත් නූතනත්වය තුළ, මානව සංහතියේ ඊළඟ පියවරයන් සාකච්ඡා කරන විසි එක් වෙනි සියවස තුළද, ලොවින් මුවා වී පවතින තත්වයක් බව සඳහන් කොට තැබිය යුතුය…

දැන් ඒ කෙටි හැඳින්වීම සිතෙහි දරා ගෙන, අප කුරීෂා සමඟ කළ සාකච්ඡාවට හැරෙමු…බටහිර රටක ගණිකාවක් කී විට, හොලිවුඩ් චිත්‍රපට වල ඔබ දැක ඇති, යාන්තමින් විලි වසා ගත්, විස්කි වීදුරුවකට අයිස් දමා පානය කරන, නිතර රතැඟිලි අග දුම් වැටියක් රඳවා ගෙන සිටින, සරාගී බැල්ම සහිත කාම ධේනුවක් ඔබට චිත්ත රූප තුළින් එතත්, කුරීෂා නම් ඒ ආකෘතියෙන් බැලු, බැල්මට බොහෝ බැහැරව සිටින්නියක බව සඳහන් කළ යුතුය…ඈ, අපව පිළිගන්නා විට හැඳ සිටියේ, ඉතාම සාමාන්‍ය බටහිර රටක තරුණියක් අඳින පළඳින අයුරින්මය….ඇතැම් විටක, ඈ මේ වෘතිය කරන ප්‍රදේශයේ, එම වෘතිය තහනම් නිසා, නීතියේ ඇසින් ගැලවීමට ඈ සාමාන්‍ය වස්ත්‍ර ආරක් අනුගමනය කරනවා විය යුතු බවට මමත්, මගේ සහෝදර සිසුවියත් අනුමාන කළෙමු…මූලික හැඳින්වීම් වලින් පසුව, ප්‍රශ්ණ ඇසීම අප ඇරඹීමු…

ලිවියා – ” අපට කියන්න පුළුවන්ද ඔබේ ළමා කාලය ගැන..කෙටි විස්තරයක් උනත් කමක් නෑ…එහි ඔබට මතක් කරන්න අකමැති දේ තිබෙනවා නම් නොකියා ඉන්න..”

කුරීෂා – “ඇත්ත වශයෙන්ම මගේ මුළු ළමා කාලයම මම මතක් කරන්න අකමැතියි..( සිනා සෙයි..) නමුත්, එහෙම උනොත් මට කියන්න දෙයක් ඉතිරි වෙන්නේ නෑ…මගේ අම්මත් ෆූෂාවක්…ඒ කියන්නේ ගණිකාවක්…අක්කලා දෙන්නමත් එහෙමයි..අපිව පුංචි කාළයේ ඉඳළාම පුරුදු කළේ මේ වැඩේට…මේවා කියන කොට ඔබලා පුදුම වෙන්න පුළුවන්…නමුත් අපේ රටේ එහෙම තමයි…අපේ ගමේ එහෙම තමයි…”

මම – ” පුංචි කාළයේ ඉඳළාම මේ වෘතියට පුරුදු කළා කීවේ?…එය පොඩ්ඩක් පැහැදිලි කළ හැකිද?…

ලිවියා – ” ඔව්, මමත් අහන්න ගියේ ඒකමයි…”

කුරීෂා – ” සත්තකින්ම…( ලිවියා දෙසට හැරී..) ඔයාගේ අම්මා, ඔයාට සංවරකම, වැදගත් කම, ලැජ්ජාව හුරු කරන්න ඇති…මගේ අම්මා මට හුරු කළේ ඒකෙ අනිත් පැත්ත…ඇඟ පත නිරාවරණය වෙන්න තමයි, කුඩා කළ සිටම අපිට ඇඳුමක් පවා ඇන්දුවේ…යාන්තම් හිට ගන්න පුළුවන් වෙච්ච කාළේ ඉඳළම නටන්න පුරුදු කෙරුවා…ඒ නැටුම් ඉගෙන ගන්න හරිම අමාරුයි…එච්චර පුංචි කාළෙදි අපි හරිම දුකක් විඳළා, ඒ නැටුම් වලට හුරු වුණේ…එක පාරක් නටලා ඉවර වෙන කොට, මුළු ඇඟ පතම රිදෙනවා…හරියට අක්කලා අඬනවා මම බලාගෙන හිටියා…පස්සෙ, මාවත් නටවනකොට, මමත් ඇඬුවා…ඔබ “ඉඟටි නර්තනයන්” දැක ඇති නම් දන්නවා, ඒ නැටුම් මොන තරම් අමාරුද කියලා…”

මම – “ඔබ කිව්වා, කුඩා කළ සිටම ඇඟ පත නිරාවරණය වෙන්න ඔබට ඇන්දුවා කියලා…ඔබේ රට මුස්ලිම් රටක්…බහුතරයේ ආගම ඉස්ලාම්…මේ පසුබිමේ එවැනි දේට අවසර තියෙනවද?..”

කුරීෂා – “ඕක හුඟ දෙනෙක් මගෙන් අහනවා…ඒක මම මෙහෙම කියන්නම්…”ෆුෂා” පවුල් කියන්නේ ශාපලත් පවුල්, හෙවත් අල්ලාහ් දෙවි තුමන් “අහක බැලූ” පවුල් ලෙස අපේ ගම්වල ඉස්ලාම් ආගම උගන්වන වැඩිහිටියන් සළකනවා…ඒ නිසාම, අපේ පවුල් වල දරුවෙකුට ඉස්කෝලෙ යන්නවත් අවස්ථාවක් නෑ…ආණ්ඩුව නම් අපිවත් මේ තත්වයෙන් එළියට ඇදලා ගන්න හුඟක් උත්සාහ කළා…ඉස්කෝල හැදුවත්, ඒවා තියන්න දුන්නේ නෑ පූජක වරු…ඔවුන් ඒවා විනාශ කර, ගුරුවරුන්ට තර්ජනය කරලා එළවා දැම්මා…ශාපලත් දරුවන් වැද්ද ගත යුතු නෑ, කියලා අපිව කොන් වෙලා හිටියේ…ඒ විදියට අපිව ආගමට වැද්ද ගත්තේ නැති නිසාම, අපි කරන මොනම දේකටවත් ඒ අනිත් යුවතියන්ට ආගමෙන් දමා තිබෙන නීති රීති දරුණුවට බලපෑවේ නෑ…අපේ ඇඟපත නිරාවරණය කළත්, මිනිස්සු අපි දිහා කෑදර කමෙන් බැලුවා මිසක්, මුකුත් කිව්වේ නෑ…”

ලිවියා – ” ඒ කියන්නේ ඔබව හැමදාටම ගණිකාවන්ම කර තබන්න, මුළු සාම්ප්‍රදායික ගමම උත්සාහ කළා කියන එක…”

කුරීෂා – “හොඳ අයත් හිටියා…නමුත් ඒ අය කථා කරන්න බයයි…ඔබ කියන දේ ඒ නිසා හරි…”

මම – “ඔබේ මල්ලිගේ මරණය ගැන ඔබට මතකද? එය ගැන මම වැඩි විස්තර ඇසුවාට කමක් නැද්ද?…”

කුරීෂා – “කමක් නෑ..මම මයි ඔබට කිව්වේ ඒ ගැන…( සිනා..)…මල්ලිට තිබුණේ පෙනහළු පිළිකාවක්…ඒක ඒ තරම් පොඩි දරුවෙකුට කොහොම හැදුණාද කියලා, කාටවත් හිතා ගන්න බැරි වුණා…සුව කරන්න බැහැ…අම්මාට සල්ලි දෙන්න, අපේ ගණු දෙණු කාරයෝ ඉදිරිපත් වුණත් ප්‍රශ්ණය තිබුණේ සල්ලි නෙමෙයි…ලෙඩේ හොඳ කරන්න බැරි කම…ඉතින් එයා මැරුණා…එයා දැන් දෙවියන් ළඟ හොඳින් ඇති…”

මම – “ඔබත්, ඔබේ සොහොයුරියන් දෙදෙනාත්, මේ වෘතියට මුල් වරට හඳුන්වා දුන් හැටි ඔබට මතකද?”..

කුරීෂා – ” ඔව්…මගේ අක්කලා දෙන්නා ගැන නම් ඒ හැටි මතකයක් නෑ…ඔවුන්ව වයස 15-16 තරම් කාළයේ වෙන්න ඕන මුලින්ම “ෆුෂා” සැතපුමට යැව්වේ…( “ෆුෂා සැතපුම” යනු තුර්කියේ ගණිකාවන් විකිණෙන නිල මඩම් වලට කියන නමකි…)..මගේ ගැන මම කියන්නම්…මාව යවන කොට වයස 15 ක් වගේ ඇති…)

ලිවියා – ” ඒ කියන්නේ බාල වයස් කාරියක්..බාල අපචාරයක්…?”

කුරීෂා – ( සිනා ) ” ඒවාට එහෙම කියන්නේ ඔබේ රටේ…අපේ රටේ ගම්වල ඔය නීති අහලාවත් නෑ…” ( තදින් සිනා..).. මාව අම්මායි, අම්මාගේ නංගියි එක්කගෙන ගියේ..අක්කලා එදා මට අමුතුවට හිනා උනා…ඒත් මට මේවා හංගන්න දෙයක් නෑ…ඒ වෙනකොටම මම දැනගෙන සිටියා, මට වෙන්න යන දේ…මොකද මේවා අමුතු දේවල් නෙමෙයි මට…පොඩි කාළේ ඉඳළම දන්නවා මේවා මොනවද කියලා මම…ඒත් මට එදා දවස මතක් කරන්න දුකයි…එතනින් එහාට නම් එදා වෙච්ච දේවල් මගෙන් අහන්න එපා…ඔයාලා, මගෙන් මෑතකදී උනු දෙයක් ගැන අහන්න…ඒත් එදා ගැන එතනින් එහාට අහන්න එපා…”

අපි – “නෑ..අපි එතනින් එහාට අහන්නේ නෑ…සමා වෙන්න…” ( මේ මොහොතේ මගේ සහෝදර සිසුවිය ලිවියා, ඇගේ අතකින් අල්ලා ඇයව සනසන්නට මෙන් සිනා සුනාය…නමුත් ඈ “නෑ මම හොඳින්..” කියමින් සිනාසුණි…)

කුරීෂා – “හැබැයි ඔය දෙන්නට මේක නම් කියන්නම ඕන…මගේ මුල් වටිනා කම ලීරා 150 ක් විතර ඇති…ඒක, ඒ ගමේ “ෆුෂා සැතපුමේ” හැටියට ඉතාම වටිනා මුදලක්…කොහොමත් අඩු වයසෙන් එහාට ගෙනන අය සඳහා, ගැණුම් කරුවන් විශාල මුදළක් දෙනවා…( මඳ සිනා…)…පටන් ගනිද්දිම මට හොඳ වටිනා කමක් තිබුණා…”

( මේ වචනය අප දෙදෙනාට වැදුණේ කම්පන තරංගයක් ලෙසය…මමත්, ලිවියාත් මඳ වේලාවක් මුහුණට මුහුණ බලාගෙන නිහඬව සිටියෙමි…)

මම – “ඔබ කොපමණ කළක් එතන සිටියාද? ඔබට ගෙදර යන්න අවසර ලැබුණද?”

කුරීෂා – ” ඒ ප්‍රශ්ණය ඔබ අහන්නේ, “ෆුෂා සැතපුම” ගැන ඔබ නොදන්නා නිසා…ඒකට එන ගැහැණු එතන නවතින්නේ නෑ…ඒක නිකං කිව්වොත් හරියට වෙළඳ පොළක් වගේ..ඔබලාගේ රටවල තියෙන ගණිකා නිවාස මෙන්, ඒකෙ ගණිකාවන් නතර වෙලා ඉන්නේ නෑ…ඒ අය ඇවිත්, තමන්ගේ කාළ සීමාව දවසකට කරලා, යළිත් සවසට හෝ පසුවදා උදෑසන නිවසට යනවා….මමත් එහෙම කළා…මම අවුරුදු 3 ක්ම එතන සිටියා..( ඒ අනුව ඇය වයස 15 සිට වයස 18 තෙක් එතැන සේවය කරන ලද බවට අනුමාන කරමි…)..”

මම – ” ඒ කියන්නේ ඔබ වගේම අනිත් අයත්, එනවා, ඒ කාළය එතැන ගැණුම් කරුවන් සමඟ ඉන්නවා..අනතුරුව ගෙදර යනවා…?”

කුරීෂා – “ඔව්…( සිනා…) හිතා ගන්න අමාරුයි නේද?…ගමක ගොවි පළක් වගේ…( ඈ තදින් සිනා සෙයි…)

ලිවියා – “මේ ප්‍රශ්ණයටම මම යමක් එකතු කළොත්, ඔබට කොයි වගේ ගණු දෙණු කරුවන්ද මුණ ගැසුනේ? ඔබට මතකද දළ වශයෙන්?…වැඩියෙන්ම ආවේ කවුද?…”

කුරීෂා – ” අපේ මේ ඈත ගමේ තැනට නම් ඉතින් වැඩිපුරම ආවේ, අවට ගම්වල ඉන්න ධනවත් මිනිස්සු සහ සෙල්ලක්කාර තරුණයන්…පිට රටක මිනිහෙක් ආවේම නෑ…ඉඳ හිටලා හෝ ලොකු නගර වලින් එන ධනවත් මිනිස්සු දෙතුන්, දෙනෙක්, කණ්ඩායම් වශයෙන් ආවා…එහෙම ආවාම, ඒ අයට විකිණෙන අයට හොඳ වාසි…සමහරවිට, ඒ අයට හිතට ඇල්ලුවොත් නගරයට එහෙම ගෙනිහින් දානවා…එහෙම යන්න අපේ අය හරි කැමතියි…මොකද මේ ගමේ වගේ නෙමෙයි නගරයේ හම්බ වෙන ආදායම…ඉස්තාන්බුල් වගේ ගියොත් ඉතින්, ජීවිත කාළෙටම හම්බ කර ගන්න පුළුවන්…”

මම – ” එහෙම යන්න ඔබටත් අවස්ථාව ලැබුණද?”

කුරීෂා – ” ඔබ කිව්වාම විශ්වාස කළ යුතුයි..මට තමයි ඒ කාළය තුල එවැනි අවස්ථා වැඩියෙන්ම ලැබුණේ…රාත්‍රී සමාජ ශාලා හිමියන් හුඟ දෙනෙක්, මාව ඇන්කාරා නගරයට ගෙනියන්න උත්සාහ කළා…ඒ අයගේ ශාලාවල නාටිකාංගනාවෝ අවශ්‍යයි කියලා…ඔබ දන්නවා නේ අපි කරන නැටුම් වර්ග ගැන…ඒවාට මම හරිම දක්ෂයි…ඒ ඇරෙන්න හුඟක සල්ලි තියෙන අය, මාව ඒ අයගේ ගෙදර නවත්ත ගන්න එක්ක යන්නත් උත්සාහ කළා…එහෙම කළේ එයාලගේ බිරින්දෑ වරු ඉන්දෙද්දිමයි…ඒ අපේ රටේ සමහර අයගේ හැටි…ඒවාට තහනමක් නෑ…”

මම – “ඉතින් ඔබ ගියාද?”

කුරීෂා – ” නෑ…මගේ සොහොයුරියන් දෙදෙනාම ගියා…මට අම්මා ගැන දුක හිතුණා…මල්ලි මැරුණා…අම්මා මහළු උනා…අම්මාට තියෙන ඉල්ලුම අඩු වෙලා ගියා…අම්මා තනි උනා…ඉතින් මට එයාව දාලා යන්න දුක හිතුණා…”

ලිවියා – “පුදුමයි ඔබට අම්මා ගැන වෛරයක් ඇති වුණේ නැති එක…”

කුරීෂා – “අනේ, ඇයි එහෙම වෙන්නේ?…අම්මාට කරන්න වෙන දෙයක් තියෙනවාද?..”

ලිවියා – “නෑ…මම කියන්නේ ඔබට මේ සිදු වෙලා තියෙන දේ හැටියට?. ඔබේ අම්මාමයි නේ ඔබව මෙයට හඳුන්වා දුන්නේ..?.”

කුරීෂා – ” ඉතින් ඒකටත් අම්මා මොනවා කරන්නද?..මම අම්මාට වෛර කරන එකේ තේරුමක් නෑ…මේක වෙන්න තිබුණු දෙයක්…මේක දෙවියන්ගේ කැමැත්ත…”

මම – “හොඳයි…ඉන් පසුව ඔබ කොහේටද ගියේ? ඒ “ෆුයිෂා සැතපුමෙන්” පසුව වෙන තැනක ජීවිතයක් ඔබට ලැබුණාද?..”

කුරීෂා – “ඔව්..මට වයස 20 ක් වගේ වෙද්දි, අපේ අම්මා මට කිව්වා නගරබද තැනකට යන්න කියලා…අම්මා හිතේ ලොකු දුකක් තියාගෙන හිටියා කියලා මට තේරුණා…අම්මා එහෙම කියන්න ඇත්තේ මගේ හොඳට…ඉතින්, මම මගේ සහෝදරියන් දෙදෙනාට කථා කළා…ඔවුන් දෙදෙනාම ඒ වන විට හිටියේ ඉස්තාන්බුල් වල…ඒ අය කිව්වා “එනවා නම් අම්මත් එක්කගෙනම එන්න” කියලා…”මැදිවියේ ගැහැණු අයටත් ඉස්තාන්බුල් නගරයේ ඉල්ලුමක් තියෙනවා” කියලා ඒ අය කිව්වා…පසුව අම්මාත් යන්න කැමති උනා…මගේ සොයුරියක් මට නිවාඩු නිකේතනයක නාටිකාංගනාවක් වෙන්න හදලා දුන්නා…මම ඒක කරන්න ඉස්තාන්බුල් වලට ආවා…පස්සෙදි මට හිතුණා, එහෙ පදිංචි වෙන්න ඕන කියලා….ඉතින් මම පදිංචි උනා…”

මම – ” මට මේවා අහද්දි මතු වෙච්ච ප්‍රශ්ණයක් තමයි, කොහොමද ඔබ අකුරු ලියන්න, කියවන්න, ඉංග්‍රීසි කථා කරන්න ඉගෙන ගත්තෙ කියන එක?…මොකද, ඔබම කී පරිදි, ඔබ පාසැල් ගියේත් නෑ…ඔබට යන්න දුන්නෙත් නෑ…”

කුරීෂා – ( සිනා ) ..” ඒක නම් උනේ ඉබේමයි…මම අහළ පහළ අයගෙන් ඉගෙන ගත්තා…අම්මාට හොඳට අකුරු ලියන්න,කියවන්න, පුළුවන්…ඇය මට ඉගැන්නුවා…සැතපුමට ගියාට පසුව එතනදිත් යමක් ඉගෙන ගත්තා…ඉස්තාන්බුල් වලදි මාව සේවයට ගත්තෙත් ඒ අය හොඳ පුහුණුවක් ලබා දීලා…ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තෙත් එතනදිමයි..මොකද අපිට විදේශිකයන් සමඟ කථා කරන්න, ගණු දෙණු කරන්න බොහොම සිද්ද උනා…ඉතින් ඉංග්‍රීසි නැතුව බෑනේ…නේද?…මට එතරම් හොඳටම ඉංග්‍රීසි ලියන්න, කියවන්න බෑ…ඒත් කථා කරන්න පුළුවන්…”

ලිවියා – “ඉතින් ඔබ කොහොමද බ්‍රිතාන්‍යයට ආවේ?”

කුරීෂා – ” ඒක අහම්බෙන් උනු දෙයක්…තුර්කියේ ඉගෙන ගත්ත ඉංග්‍රීසි ජාතික කළු ජාතිකයෙක් මට මෙහෙට එන්න අවස්ථාව දුන්නේ…එයා මේ රටේ පුරවැසියෙක්…වතා කිහිපයක්ම ඔහු මගේ ගණු දෙණු කරුවෙක් හැටියට ආවා…ඔහු මට හුඟක් කැමති උනා…ඔහුට උවමනා උනා, එංගලන්තයේදිත් මාව හමුවන්න…මාව ඇසුරු කරන්න…ඔහු කීවා, “ඔහුව විවාහ කරගෙන, එංගලන්තයට යන්න වීසා ලබා ගන්න” කියලා…මගේ සොයුරියන් දෙදෙනාගෙන් එක්කෙනෙකුටත්, ඒ වන විට ජර්මනියට යන්න අවස්ථාව ලැබිලා තිබුණේ…ඇය මට කීවා, “ඔයා ඒ ගමන යන්න…තුර්කියේ වගේ නෙමෙයි, යුරෝපයේ හොඳට සල්ලි ලැබෙනවා” කියලා…මට මුලදි හිතුණා, මම ලොකු අමාරුවක වැටෙන්න යනවා කියලා…ඒත්, මම මොනවට බය වෙන්නද?…මම එහෙම හිතලා, ඒ යෝජනාවට කැමති උනා….ඉතින් මට මෙහෙ එන්න ලැබුණා….ඔහු තාමත් එනවා මාව මුණ ගැසෙන්න…”

මම – “ඔහු ඔබට ආදරය කරනවා වෙන්න පුලුවන්…”

කුරීෂා – ( තදින් සිනා…) “මට ආදරය කරන අය ඉඳියිද?…එහෙම ඉන්නවා කියලා ඔබ හිතනවද?…( සිනා…) …ඔබට පුළුවන්ද මට ආදරය කරන්න…?…( ලිවියා දෙසට හැරී ) ඔබට හැකිද මට ආදරය කරන්න..?”

මම – “මට පෙම්වතියක් ඉන්නවා මගේ රටේ…ඇය නොසිටියා නම්, ඔබට ආදරය කරන්න හිතුණොත්, එහෙම කරන්නත් බැරි කමක් නෑ…” ( සිනා..)

ලිවියා – “මමත් තරුණියක් නිසා, මට වෙනත් තරුණියක් ගැන එහෙම හිතෙන්නේ නෑ…එහෙම හිතෙන කෙනෙක් උනා නම්, ඔබට ආදරයක් ඇති උනොත්, අනිවාර්යෙන්ම එහෙම කරනවා…”

කුරීෂා – ” ඔය දෙන්නා හොඳ බොරු කාරයෝ….මම දන්නවා මගේ හිත හදන්න කියන කථා ඕවා කියලා…ඔයාලා මාව චාටු කරලා, මගෙන් තව දේ අහ ගන්න නේ හදන්නේ…මම ඒකට අහු වෙන්නේ නෑ…” ( අපට සිනා…)

මම – ” ඉතින් ඔබ මේ ජීවිතයේත්, ඒ රටේ ගෙවපු ජීවිතයේත් දකින වෙනස මොකක්ද? ඔබ මෙහෙට කැමතිද?…නැත්නම් ඔබේ මව්බිමට කැමතිද?..”

කුරීෂා – ” ඒකට වඩා මම මෙහෙට කැමතියි…මගේ මව්බිම වෙච්ච පමණින් ඒ රටට ආදරය කරන්න මට බෑ…මම එහෙ මිනිස්සුන්ට වඩා, මෙහෙ මිනිස්සුන්ට කැමතියි…එහෙ මිනිස්සු බලන්නේ තමන්ගේ වාසියමයි…හරි වංචා කාරයෝ…ඒ වගේම ඒ අය, අපේ පවුලේ අයට හොඳින් සැළකුවා කියන්න බෑ…මම ඒවා ගැන කියන්න කැමති නෑ, ඔයාලා ඉස්සරහා….නමුත් මේ රටේ, මට සැප පහසු ජීවිතයක් තියෙනවා…සල්ලි ලැබෙනවා හොඳින්…කාටවත් බයේ ඉන්න ඕනෑ නෑ…මටත් මනුස්සයෙකුට වගේ සලකනවා…නිදහස්…මම මෙහෙට කැමතියි වඩා…”

ලිවියා – “ඉතින්, ඔබ මෙතන ඔබේ ජීවිතය ගත කරන්නේ කොහොමද?…මම කියන්නේ ඔබේ වෘත්තිය…?”

කුරීෂා – “මම මෙහෙදි , එහෙ තරම් වෙහෙස වෙන්නේ නෑ…රැකියා තුන, හතර කරන්නෙත් නෑ…මට ලැබෙන මුදළ හොඳටම ඇති මට ජීවත් වෙන්න සැපෙන්…මම මෙහෙ රාත්‍රී සමාජ ශාලා දෙකක නාටිකාංගනාවක් වශයෙන් කටයුතු කරනවා….ඒවායේදී මගේ රැඟුම් බලා, මට කැමති වන ගණු දෙණු කරුවන්ගෙන්, තෝරා ගත් පිරිසකට පමණක් මම ගෙදරට එන්න පාර කියනවා…ඒ අය එක්ක ඉන්නවා…ඒ අය ඇසුරු කරනවා…ඒ ඇරෙන්න වැඩි දෙයක් පස්සේ යන්න මට ඕන නෑ…මා කළින් සඳහන් කළ ( නමක් පවසයි..) මට උදව් කළ කෙනාත් මට හුඟක් මුදල් දෙනවා…ඔහු කැමති නෑ, මම හුඟ දෙනෙක්ව ඇසුරු කරනවාට….සමහර විට ඒ ඔබ කියපු “ආදරය” නිසා වෙන්න පුලුවන්….( මා දෙස බලා සිනා සෙයි ) …ඉතින් ඔහොමයි…හුඟක් සැහැල්ලුයි….”

මම – “ඔබෙන් මේ ප්‍රශ්ණය ඇසුවාට කමක් නැද්ද මම දන්නේ නෑ…නමුත්, අකමැති නම් පිළිතුරු දෙන්න එපා…ඔබ එච්.අයි.වී ආසාදනය වැනි භයානක සමාජ රෝග වලට බිය නැද්ද?…මෙවැනි රෝග ඔබට වැළඳෙයි කියා හිතේ කිසිම බියක් නැද්ද?…මම කියන්නේ ඔබ කරන වෘතිය අනුව, ඔබට එවැනි රෝගයකට නිරාවරණය වීමේ හැකියාව හුඟක් ඉහළ නිසයි…”

කුරීෂා – ” ඒ බය මම දැන් ඉවත් කරගෙන බොහොම කල්…ඇත්තටම මට මෙහෙදිට වඩා, ඒකට බය වෙනවා නම්, බය වෙන්න තිබුණේ තුර්කියෙදි…මෙහෙ හැසිරෙන අය ආරක්ෂිතව හැසිරෙන්න දන්නවා…ඔවුන් ආරක්ෂිත ආවරණ පළඳින්න දන්නවා…නමුත් ඉස්තාන්බුල් වලදි, සහ විශේෂයෙන්ම අපේ ගමේදි මට මුන ගැසුණු අය වැඩි දෙනෙක් ඒ ගැන දන්නෙවත් නෑ…අහලා වත් නෑ සමහරු…අනෙක ඉස්ලාමයේ හැටියට, ඒවැනි ආරක්ෂක කොපු ආදිය පළඳින්නත් තහනම් කරලා තිබුණේ…නමුත්, මොනවා කරන්නද? බයෙන් හිටියාය කියලා ඵලක් නෑ…බය කරන අය මට කන්න ගෙනත් දෙන්නේ නෑනේ…උපදෙස් දෙන අය කොච්චරවත් හමුවෙලා තියෙනවද?…ඒත් ඒ අය මට රෑ කෑම එක ඇණවුම් කර දෙන්නේ නෑනේ…මට දැන් ඇත්තටම බයක් නෑ…”

ලිවියා – ( මා දෙසට හැරී ) ” අවසාන ප්‍රශ්ණය මම අහන්නම් සහෝදරයා…” ( මම එය අනුමත කළෙමි..) ..”ඔබ ජීවිතය ගැන සතුටින්ද ඉන්නේ?..ඔබට අනාගත බලාපොරොත්තු තියෙනවාද?…ඔබ ජීවිතය ගැන පසු තැවෙනවාද?…ඔබට මේ ජීවිතයෙන් මිදී, වෙන රැකියාවක් කරන්න උවමනාවක් තිබෙනවාද?…මම දන්නේ නෑ, මම ප්‍රශ්ණ ගොඩක් එක සැරේට අහපු එක හරිද කියලා…”

මම – “ලිවියා, ඔයා ඒ ප්‍රශ්ණ ටික කඩලා ඇහුවා නම් තමයි හොඳ, වාර්ථාව තියා ගන්නත් එක්ක..” ( සිනා…)

කුරීෂා – ” නෑ, නෑ කමක් නෑ..( තදින් සිනා…), ඇය ප්‍රශ්ණ තුවක්කුවක්….( අපටත් සිනා..)..ඉතින් අහපු දේට මම මොනවද කියන්නේ?…ජීවිතේ ගැන…අනේ මන්දා?…මෙහෙ ආපු එක ගැන සතුටුයි…මේ රටේ දිගටම ඉන්න ලැබීම ගැනත් සතුටුයි…මට වාහනයක් තියෙනවා…ගෙයක් තියෙනවා…ඒවා ගැන සතුටුයි…හොඳ ඇඳුම් අඳිනවා…වටිනා කෑම කනවා…ඒවා ගැන සතුටුයි…අම්මට මාස් පතා යම් මුදළක් යවනවා…ඒක ගැන සතුටුයි…මම මගේ සහෝදරියන් දෙදෙනාව දැන් ආශ්‍රය කරන්නේ නෑ…ඔවුන් මගේ සහෝදරියන් වීම ගැන මට දුකයි…ඒ අය අම්මාට සල්ලි යවන්නේ ණෑ.. එයාලා හරිම ආත්මාර්ථකාමීයි…මම සල්ලි නොයැව්වොත් අම්මා බඩ ගින්නේ මැරිලා යාවි…එයාට දැන් සල්ලි හම්බ කරන්න බෑ…ඔබට තේරෙනවා ඇති මම කියන දේ…මට ඉතින් දුකකුත් නෑ…අනේ මන්දා…මහ ලොකු සතුටකුත් නෑ…මට ඒ කිසිම දේකට අයිතියක් නෑ වගේ දැනෙනවා…මේ රස්සාවෙන් අයින් වෙන්න මට වෙන කිසිම දේකට සුදුසු කමක් නෑ…මම හිතන්නේ නෑ, දැන් මට අයින් වෙන්නත් පුළුවන් කියලා…මම මේකට හුරු වෙලා…ඒත් අයින් වෙන්න ලැබෙනවා නම්, මම කැමතියි…ඒත් මටත් ජීවත් වෙලා, අම්මාටත් සල්ලි යවන්න හොඳ රස්සාවක් වෙන්න ඕන…මට ඒකට එක එල්ලේ පිළිතුරක් දෙන්න බෑ…”

මම – “ඔබට අනාගත බලාපොරොත්තුවක් තියෙනවාද?” ( මඟ හැරී ගිය ප්‍රශ්ණය මතක් කර දුන්නෙමි…)

කුරීෂා – ” තියෙනවා…ඔබට, ඇයට, වගේම මටත් තියෙනවා…මේ විදියටම සැපෙන් ජීවත් වෙන්න ඕන, දිගටම…ආපහු දුක් විඳින්න බෑ…ගමේදි වින්දේ පුදුම දුකක්…පොඩි වයසෙදි උනු දේවල් මම මතක් කරන්න කැමති නෑ…ඉස්තාන්බුල් වලදිත්, හුඟක් කරදර වින්දා…මම, මගේ ගැන දුක් වෙන්නේ නෑ…මේ රටේ ඉන්න කල්, කවදා හරි මට ආණ්ඩුවෙන් වත් කන්න දේවි, “සෝෂල් බෙනිෆිට්” එකෙන් වත් යම් “ඩෝල්” එකක ( ඉතාම දිළිඳු කොටස් වෙත බ්‍රිතාන්‍ය රජය ලබා දෙන සුභ සාධන වේතනය…) වත් මට ලැබෙයි…මම දැකලා තියෙනවා, මගේ රටේදි, වයසට ගිය හුඟක් “ෆුෂාවන්”, ගණු දෙනු කරුවන් එන එක නැවතුණාට පස්සේ, අනන්ත දුක් විඳලා, දරුවන්ගෙනුත් ගුටි කාළා, කන්න නැතුව මැරිලා යන හැටි…අපේ අයට තියෙන ලොකුම බිය තමයි, වයස් ගත වීම….මට එහෙම බය වෙන්න දෙයක් නෑ, වයසට ගියත්…ඉතින් මම දුක් වෙන්නේ නෑ….මේ තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත…දෙවියන් මාව මෙතනට දැම්මේ, එයාට මොකක් හරි හිතිච්ච දෙයක් නිසානේ…කවදා හෝ මාව මෙතනින් ගන්නෙත් එයා…එයා මට “ඔහොම හිටපං” කියලා කියන කාළයක් මම ඉන්නම්…වෙනස් කෙනෙක් වෙන්න තිබුණා නම් හොඳයි…ඉගෙන ගන්න තිබුණා නම් හොඳයි…හ්ම්…මොනව කරන්නද?..එහෙම දෙන එකක් නෑ එයා මට…”

මම – ” ඔබට පූජ්‍ය පක්ෂයේ අය හෝ වෙනත් උපදේශණ සේවා වල අය ඇවිත් උපදෙස් දුන්නේ නැද්ද? අළුත් ආරම්භයක් ගැන…”

කුරීෂා – ( සිනා ) ” මොකද නැත්තේ?…සතිපතාම එනවා…එක, එක පල්ලි වලින් එනවා…ක්‍රිස්තියානි පල්ලි, මුස්ලිම් පල්ලි…එක, එක කණ්ඩායම්, එක, එක දොස්තරලා, තරුණ කණ්ඩායම්..( සිනා…)  මම එයාලට කියන්නේ “කරුණාකරලා මට දේශන තියන්න එන්න එපා…දේශණ තියන අයට මට උදව් කරන්න බෑ කියලා මම දන්නවා…පුළුවන් නම් මට සල්ලි දීලා යන්න…නැත්නම් මට මාස් පතා පඩියක් එවන්න…එතකොට මම මේකෙන් මිදෙන්නම්…එතකොට මම ඒ අය කියන පල්ලි වලට එන්නම්…එතකොට මම “භාග්‍යවන්තියක්” වෙන්නම්…( තදින් සිනා…)..එහෙම බැරි නම්, කරුණාකරලා මට දේශණ තියන්න, උපදෙස් දෙන්න එන්න එපා…එයාලා ඔක්කොම හොරු…ඔක්කොම බොරු කාරයෝ…එයාලාට උවමනාවක් නෑ, ඇත්තටම අපි වගේ අයට උදව් කරන්න….එහෙම පඩියක් එවන්න…සල්ලි නැතුව කොහොමද හොඳ කෙනෙක් වෙන්නේ?…මට “ටෙස්කෝ” එකෙන් පාන් ගෙඩියක් එවනවාද ඒ ගොල්ල…?…”

අපි ඇගෙන් සමුගෙන, ඇගේ නිවසින් පිටව, මහ මඟට අවතීර්ණ වීමු…මඳ දුරක් එන තෙක්ම, ලිවියා සහෝදරියවත්, මමවත් වචනයක් වත් නොදෙඩීමු…මුලින්ම හඬ අවදි කළ ලිවියා මගෙන් ඇසුවේ..”ඔබට මොකද හිතෙන්නේ?” යන්නය…

“ඔබට හිතෙන දේමයි…” මගේ පිළිතුර විය…

( 23-07-2011)

( පසු වදන )

මෙය කිසිදු ආගමකට හෝ ජාතියකට හෝ සංස්කෘතියකට ගැරහීමට කරන උත්සාහයක් නොවේ…අප අවට පවතින ලෝකයේ, ඇස් මානයෙන් පහළ මොන තරම් දේ පවතිනවාද යන්න පිළිබඳව, අප විසින් කරන ලද ගවේෂණයක් ඇසුරෙන් ඔබ වෙත කරන ඉදිරිපත් කිරීමකි…මෙවැනි ප්‍රශ්ණ අතෝරකින් තොරව දැවෙන ලෝකයට විසඳුම් තිබේද යන්න, තම, තම නැණ පමණින් විසඳා ගත යුතු ගැටළුවකි…නො එසේ නම්, මේවා කියවා බලා තමන්ගේ පාඩුවේ සිට්න්නටද ඔබට හැක…කුරීෂා එක් යුවතියකි…අඩු වයස් දැරියන් දළ වශයෙන් හත් ලක්ෂයක් මේ ලිපිය ඔබ කියවන මොහොතේත්, මැද පෙරදිග පුරා, “කුරීෂා ගේ මාවතට” දමනු ලබමින් සිටිති…මුළු ලොව පුරාම ඒ ගණන කෝටි ගණනක් වුවද විය හැක…..

Advertisements

15 thoughts on “ගණිකාවක් සමඟ කළ සංවාදයක්…..”

  1. බ්ලොග්කරණයට ආධුනිකයෙකු බැවින්, මෙම ලිපි පළ කිරීමේදී යොදා ගන්නා හැඩ ගැන්වීම් ආදියෙහි අඩු පාඩු නිසා මෙය නීරස කියවීමක් වෙතොත්, අපගේ ආධුනික බව සළකා සමාව භජනය කරන මෙන් සයිබර් අවකාශ වැසි “අගත අනගත” සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිමි…

    1. මෙතනදි ගණිකා වෘත්තිය මේ ගෑණු ළමයා කරන්නේ අසරණකමට මිසක් ආසාවට නෙවේ,ඒ වගේම හරිම පුදුමයි තමන් ගැන විතරක් හිතන ඉස්ලාමීය රටවල් වල මේ ගෑණු ළමයා තමන්ගේ අම්මා ගැන හිතනවා,ඇයට අනුකම්පා කරනවා,ඒකම ඇති කුරීෂට හිස නමා ගරු කරන්න,මොකද ඇයට මනුස්සකම තිබෙන නිසා

  2. ——– හ්ම් හ්ම් හ්ම් මොනවා කොරන්නද ඉතින් ? පෙර කළ කරුමෙ තමයි! අපායක්වත් නෑනෙ උන්ට හැදෙන්න ඉතින් ———-

    (හැබෑටම ඔය වගෙ තැනක් මටත් කියන්න පුළුවන්ද මටත් පොඩි visit එකක් දාලා එන්න 😀 😀 :D)

  3. ගොඩක් ගණිකා වෘත්තියේ යෙදෙන අයගේ තත්වය ඔය වගේ එකක්. බහුතරය ආසාවට කරනවා නෙවි. ඒ ඒ ප්‍රදේශ වලට ආවෙනික හේතු තියනව.

  4. ගණිකා වෘත්තිය ආසාවට කරන දෙයක් නොවේය කියන කතාවට මා එකඟ නැත..
    මේ බ්ලොග් එකේම කලින් ඇති රන්මාලුවාගේ උදාහරණය සහිත හෝකින්ස්ගේ පරිවර්ථිත ලිපිය කියවීමවැදගත් වෙයි..
    ඒ ගණිකාව ගණිකාවගේ ලෝකයේ ජීවත්වෙයි අපිට එය තුලට එබීමට පමණි පුලුවන් වන්නේ..
    ඒ තුල ඇති සම්පූර්ණ චිත්‍රපටිය..සමහර විට නිවසට කොටු වී සිටින යුවතියකට හෝ ළමුන් බලාගන්නා වැඩය පමණක් කරන අම්මලාට වඩා ආතල් සහිත එකක් විය හැක..
    අපි ගනිකාව දෙස හෙලන පලවෙනි බැල්මම ඇය සමාජයේ නරක කෙනෙක් ලෙස ත් අවාසනාවන්තියක ලෙසත් හංවඩු ගසා හමාරය..
    එහෙත් යථා රූපය ගැඹුරුය..
    මං හරි වල් කෙල්ලෙක්..මට ඉස්සර කොල්ලො දකින්නෙ නැතිව ඉන්න එක හරි අමාරුයි..සකෝලෙදි ති සිගරට් බිව්ව.ඩ්‍රින්ස් ගත්ත..කොල්ලො එක්ක රූම් යන එක මහ දෙයක් උනේ නෑ..
    ඔය වගේ කතාවක් අපි අහන්න කැමති නෑ..අහන්න ආස සමාජය විසින් අපි දූෂණය කලාකියන දේ විතරයි..

  5. ඇත්තටම ඉස්ලාමය තුල මා දන්න තරමින් එලෙස දෙවියන් විසින් ප්‍රතික්ශේප කල පිරිසක් යැයි පිරිසක් නෑ! ඕක එක් එක් ප්‍රදේශවල මිනිසුන් තම තමන්ගේ වාසි ප්‍රයෝජන සඳහා සකසා ගත් බෙදීම් ලෙස සලකන්න පුලුවන්!

  6. කොහොමත් හැම ආගමක්ම එක් එක් ප්‍රදේශවල මිනිසුන් තම තමන්ගේ වාසි ප්‍රයෝජන සඳහා සකසාගන්නා බව ඇත්තක්.

  7. me “warada” pudgalayageda? agameda? dewiyangeda?
    na mama hithanne api jeewath wena samaja kramaye
    ithi me samaja kramaya wenas kala yuthu noweda?

  8. මොනවා කියන්නද කියල තේරෙන්නේ නෑ මටනම් තවමත්. ඇත්තටම අපි හරි ලස්සනයි කියල හිතන ලෝකේ අපි කවදාවත් නොදකින නීරස අහිංසක කතා තියනවද. අරාබිය, බටහිර, පෙරදිග විතරක් නෙවෙයි. ලංකාවෙත් මේවගේ කතා නැතුවම නෙවෙයි. ඒත් මේ වගේ කතා එලියට එන්නෙ නෑ. ගොඩක් අය ඒවා එලියට එන්න දෙන්නෙත් නෑ. කොහොම උනත් මේ ලිපිය කරලා මේ දේවල් සමාජයට කියන්න දරපු උත්සාහය මන හිස් මුදුනින්ම අගය කරනවා. හැමදාම වගේම මේ වගේ අර්ථවත් ලිපියක් අපේ සමාජය අතරට යයි කියල හිතන්න අමාරු උනත් වැඩක් වෙන්න හෝ නොවෙන්න හෝ මේ සමාජ කතිකාවත ගොඩනගන්න දරපු උත්සාහය මම අගය කරනවා. එකම ඒක ප්‍රශ්නයක් තියනවා. අපි හැමදාමත් මේ වගේ කතා අහනවා දකිනවා. ඒත් ගස් බල්ලන්ට ගිය සමාජයක ජීවත්වෙන අපි ඒ දේවල් වලට මොනවා කියල කරන්නද? සමහරවිට අපේ පන වගේ ඉන්න යාළුවා, අපේම සහෝදරියක් වගේ ඉන්න කෙනා සමාජයේ හෝ මාධ්‍යයේ වැරදි හෝ නොමග යැවීම් නිසා හෝටල් ගානේ වෙන ගස් බලු පිරිමින්ට යටවෙනකොට අපි තනියෙන් එයාලව ආපහු හොඳ මගට ගන්න උත්සාහ කරනවා. ඒත් අපිට නොමගට ගිය මහා ලෝකයක් එක්ක සටන් කරගන්න බෑ. ඉතින් එතකොට වැරදිකාරයා වෙන්නේ ඒ වැරදි ඔක්කොම කරන අයද? නැත්තන් වැරදි කරන අයව හරි මගට ගන්න නිෂ්පල උත්සාහයක් ගන්න අපිද?

  9. කියෙව්වෙමි අප රට හා වෙනත් රට වල වෙනස මෙයයි ඉතින් අප සහොදරියො මේ රටේ ඉපදෙනන්ට කොච්චර පිං කර ඇතිද යන බව මහේගෙට නැගුණි……..

  10. “මේ තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත…” nidakin.me kalakanni agama minissunge manasa winasa karala tiyenne…me agama nati wenakan me wage aparada nawatinne na..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s