කාළ තරණ යන්ත්‍රයක් සාදා ගන්නේ කෙසේද…? – මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග්

( මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් යනු ඇල්බට් අයින්ස්ටයින්ට පසුව මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙසද, මෑතකදී මිනිසා දුටු විශිෂ්ඨතම විශ්ව න්‍යාය විද්‍යාර්ථයාණන් ලෙසද සැළකේ….එතුමන් විසින්, එතුමන්ගේම පරිඝණක කට හඬ යොදාගෙන සහ බෙනෙඩික්ට් කම්බර්බැච්ගේ ගැඹුරු ස්වරය සහ මාටින් විලියම්ස්ගේ අධ්‍යක්ෂණය යොදාගෙන කරවූ ඩී.වී.ඩී තැටි පෙළක් ඇසුරෙන් ( Stephen Hawking`s Universe – Trio of DVDs) , එතුමන්ගේ මේ කාළ තරණ න්‍යායන් සම්බන්ධ ඉතාම සැකෙවි විග්‍රහය, සිංහල පාඨකයන්ගේ හිතසුව පිණිස මෙසේ පරිවර්තනය කරමි…ඩී.වී.ඩී පට පෙළ අන්තර්ජාලයට එක් කිරීමට නුදුරේදීම කටයුතු කරමි…)

 

මගේ නම ස්ටීවන් හොව්කින්ග්. භෞතික විද්‍යාඥයෙක්, අභ්‍යාවකාශ විද්‍යාඥයෙක්, ඒ වගේම එක්තරා විදිහකට හීන දකින්නෙක්….මට සෙලවීමට පවා නොහැකි උනත්, පරිඝණකයක් ආධාරයෙන් කථා කරන්නට සිදුවුණත්, මගේ මනස නිදහස්….එය බොහොම නිදහස් මේ විශ්වය ගවේෂණය කරන්නත්, ලොකු, ලොකු ප්‍රශ්ණ අසන්නත්…” කාල තරණය කළ හැක්කක්ද? අපට අතීතයට දොරටුවක් විවර කළ හැකිද?..එහෙමත් නැත්නම් අනාගතයට යන්නට කෙටි මාවතක් සොයා ගන්නට පුළුවන් වේවිද?..අපට සොබාදහමේ නීති යොදාගෙන, කාළයේ පවා ස්වාමීන් වන්නට හැකියාව තිබෙනවද?…” මෙවැනි ලොකු ප්‍රශ්ණ මට අහන්න නිදහස් මනසක් තිබෙනවා….

 

එක්තරා කාළයකදී, මේ කාළ තරණය කියන විද්‍යාත්මක ප්‍රවාදයක්, නැත්නම් හුදු ප්‍රබන්ධයක් පමණක් වෙලා තිබුණා…ඒ කාළයේ තිබුණු මතවාද සහ අල්ප දියුණුව නිසාම මම, පිස්සෙකු ලෙස හඳුන්වනු ලැබීමෙන් වැළකීමට ඒ ගැන වැඩි යමක් කථා කළේ නෑ…නමුත් මේ කාළයේදී නම් මම ඒ ගැන එතරම් පරිස්සම් වෙන්නේ නෑ…සත්තකින්ම, මම ටිකක් දුරට අර ශිලාස්ථම්භයන් ( Stonehenges of England) එංගලන්තයේ හදපු මිනිස්සු වගේ…මම “කාළය” නැමති සංකල්පයට ඇබ්බැහි වෙලා ඉන්නේ…මට කාළ තරණ යන්ත්‍රයක් එහෙම තිබුණා නම්, මම මැරිලීන් මොන්‍රෝ නළඟන, ඇගේ ජීවිතයේ හොඳම කාළයේදී ගිහින් මුණ ගැහෙනවා…එහෙමත් නැත්නම් ගැලීලියෝ තම දුරේක්ෂය අහස දෙසට හරවද්දී ඔහු හමුවට යනවා…ඇතැම් විට මම විශ්වයේ අවසානය තෙක්ම යන්න තිබුණා, අපේ අභ්‍යාවකාශ කතන්දරය අවසන් වන අයුරු බලාගෙන එන්න…

 

මේක කළ හැක්කක් වන්නේ කොහොමදැයි නිර්ණය කරන්නට අපිට සිදුවෙනවා “කාළය” දෙස භෞතික විද්‍යාඥයන් බලන විදිහට බලන්න…එනම් කාළය යනු “සතරවැනි මාණයයි” ( Fourth Dimension) යන න්‍යායෙන් බලන්න අපිට සිද්ද වෙනවා…ඒක ඔය ඇහෙන තරම් අමාරු දෙයක් නෙමෙයි…ඉස්කෝලෙ නිසි පරිදි යන සෑම ඉස්කෝලෙ ළමයෙකුම දන්නා දෙයක් තමයි, භෞතික වස්තුවක් මාණයක් තුනක, නොහොත් “ත්‍රිමාණව” පැවතීම…මම මේ මගේ පුටුවේත් මානයන් තුනක ඉඳගෙන ඉන්නවා…හැම දෙයක් සතුවම, දිගක්, පළලක් වගේම උසකුත් තියෙනවා…

 

 

නමුත්, තව වර්ගයක දිගක් තිබෙනවා…මේ “දිග” යනු “කාළයේ දිගයි”…මිනිසෙකුට ජීවත් වී ගත හැක්කේ අවුරුදු 80 ක් වුණාට, ශිලාස්ථම්භයන්ගේ ගල් කණු අවම වශයෙන් අවුරුදු දහස් ගණනක් පවතිනවා…සෞර ග්‍රහ මණ්ඩලය වසර බිලියන ගණනක් පවතිනවා..හැම දෙයක් සතුවම කාළයේ සහ අවකාශයේ දිගක් තිබෙනවා…කාළය හරහා ගමන් කරනවා කියන්නේ “මෙන්න මේ හතර වැනි මානය” හරහා ගමන් කරනවා කියන එකයි..

 

මෙහි අර්ථය කුමක්දැයි සළකා බැලීම සඳහා, අපි හිතින් මවා ගමු, අපි දිනපතා කාර් එකකින් ගමනා ගමනයේ යෙදෙනවා කියලා…එක සරල රේඛාවක රථය පැදෙව්වොත් ඔබ චලනය වන්නේ එක මාණයක ( Mono Dimensional Drive ) පමණයි…වමට හෝ දකුණට හැරෙව්වොත්, එය ද්වි-මාණ වෙනවා ( Two Dimensional)…වංගු සහිත කඳු පාරක ඉහළට රිය පැදෙව්වොත් එයට “උච්ඡය / උන්නතාංශ මානය ( උස ) ” එකතු වී, එය ත්‍රිමාණ ( Three Dimensional Drive ) රිය පැදවීමක් වෙනවා…

 

නමුත් කොහොමද අපි කාළ මාණය හරහා යන්නේ? අපි සිවුවැනි මානය හරහා මඟක් සොයා ගන්නේ කොහොමද?

 

 

අපි සුළු මොහොතකට විද්‍යා ප්‍රබන්ධයකට ඉඩ දෙමුකෝ…හුඟක් කාළ තරණ චිත්‍රපටි වල, විශාල ශක්තියක් වැය වන, ශක්ති කුසගින්න සහිත යන්ත්‍ර තමයි දක්වන්නේ….ඒ යන්ත්‍ර කාළය හරහා මඟක් හදනවා…ඒක කාළය හරහා “උමඟක්” කිව්වොත් වඩා නිවැරදියි…ඔන්න කාළ තරණය කරන්නෙකුත් ඉන්නවා…නිර්භීත, රැවටිය නොහැකි, ඕනෑම දේකට මුහුණ දෙන්න සූදානම් කෙනෙක්…ඔහු මේ “කාළ උමඟට” පය තබා, තමන් නොදන්නා කාළයකින් මතු වෙනවා…මෙම සංකල්පය හුඟක් ඈතකදි සිදුවන්නක් වෙන්න පුළුවන්, ඒ වගේම යථාර්තය මීට වඩා බොහොම වෙනස් වෙන්න පුළුවන්, නමුත් මේ අදහස නම් එතරම් විකාර රූපී අදහසක් නෙමෙයි…

 

භෞතික විද්‍යාඥයනුත් කාළය හරහා පවතින උමං ගැන කල්පනා කර බැලුවා, නමුත් අපි ඒකට එන්නේ වෙනත්ම කෝණයකින්. අපි කල්පනා කරන්නේ අනාගතයට හෝ අතීතයට යන දොරටු, සොබා දහමේ නීති වලට අනුව ඇත්තටම පවතින්න පුළුවන්ද කියන කාරණය..වෙන මොනවද ඉතින්, අපි එහෙම දොරටු වලට නමකුත් දී තිබෙනවා : “පණු ගුල්” කියලා… ( Worm Holes of Time ) ඇත්තම කිව්වොත් මේ පණුගුල් අපි වටා තිබෙනවා. නමුත් ඒවා දකින්න බැරි තරම් ක්ෂුද්‍රයි.. මේවා පවතින්නේ කාළයේ “සිදුරු” සහ “මුලු” වල..මේ සංකල්පය ඔබට තරමක් අසීරු වෙයි අවබෝධ කරගන්න…නමුත් මා එක්ක රැඳී ඉන්න…

 

 

 

( ..”පණුගුල්” යනුවෙන් හැඳින්වෙන්නේ කාළයේ ස්ථාන දෙකක් යා කරන, ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයෙහි පෙර දකින ලද, සෛද්ධාන්තික උමං මාර්ගයකි…එසේ නැති නම් කාළය හරහා ඇති කෙටි මාර්ගයකි..මෙහි දැක්වෙන්නේ එබඳු පණු ගුලක ත්‍රිමාණ රූප සටහනකි…මෙහි සෘණ  ශක්ති අවස්ථාව අවකාශය සහ කාළය උමඟෙහි විවරයට අදිනු ලබන අතර, ඒවා වෙනත් විශ්වයකින් මතු වේ..මෙවැනි තත්වයන් කල්පිතයන්ට පමණක් සීමා වී ඇති අතර, කිසිවෙකුත් කෙදිනකවත් මේවා දැක නැත…නමුත් චිත්‍රපට ගණනාවක මෙවැනි දේ හුවා දක්වා තිබේ…)

 

කිසිවක් සමපෘෂ්ඨීය හෝ ඝනීභූත නැත…ඔබ හොඳින් බලයි නම්, ඒවා සියල්ලේම රැළි සහ හිල් දක්නට ලැබෙනු ඇත…මෙයම කාළය සම්බන්ධවද අදාළය..පූල් ක්‍රීඩාව සඳහා යොදා ගන්නා බෝලයක් වැනි සුමට දෙයකද, ඉතාම කුඩා රැළි, පළුදු සහ හිල් ඇත…පළමු ත්‍රිමාණ සම්බන්ධයෙන් නම් මෙය සත්‍යයක් බව පෙන්වා දෙන්න පුළුවන්..නමුත් මාව විශ්වාස කරන්න, මෙයම කාළ මාණය හෙවත් සිවුවැනි මාණය සම්බන්ධවද අදාළයි…ඉතාම කුඩා පළුදු, පරතර සහ හිල් කාළයේත් තියෙනවා…ඒවා අතිශයින්ම කුඩා ඒවා වන අතර, ක්ෂුද්‍ර අණු වලටත් වඩා කුඩායි..කුඩාම අණු වලටත්, පරමාණු වලටත් වඩා පහළට යන විට අපි එනවා “ක්වන්ටම් පෙණ” නම් තත්වයට…මේ කාළ පණුගුල් තියෙන්නේ එතනයි…කාළය සහ අවකාශය හරහා කුඩා උමං මාර්ග සහ කෙටි පාරවල් නිරතුරුවම ඇති වීම, නැති වීම සහ යළිත් ඇති වීම තමයි මේ ක්වන්ටම් ලෝකය තුළ දිගටම සිදු වෙනවා…

 

ඇත්ත වශයෙන්ම මේවා, වෙනස් ස්ථානයන් දෙකක් සහ වෙන් වෙන්ම කාළ දෙකක් එකට යා කරනවා…

 

අවාසනාවකට, මේ සැබෑ ලොවෙහි කාළ උමං, සෙන්ටිමීටරයකින් බිලියන- ට්‍රිලියන -ට්‍රිලියනයකින් එකක් තරම් ක්ෂුද්‍රයි…මිනිසෙකුට හෝ වෙනත් කිසිවකට ඒ හරහා ගමන් කළ නොහැකි තරමටම ක්ෂුද්‍රයි…සමහර විද්‍යාඥයන් සිතනවා, මෙයින් එක පණු ගුලක් අල්ලා ගෙන, එය ට්‍රිලියන ගුණයකින් විශාල කළොත් මිනිහෙකුට හෝ අභ්‍යාවකාශ යානයකට

මේ තුළට පිවිසිය හැකි අයුරකින් සකස් කරන්නට ලැබේවි කියලා..

 

 

අවශ්‍ය තරම් බලය සහ අධි තාක්ෂණය දුන්නොත්, ඇතැම් විටක යෝධ පණු ගුලක් අවකාශයේ තනා ගන්න පුළුවන් වේවි…මම කියන්නේ නෑ එහෙම කරන්න අනිවාර්යෙන්ම පුළුවන් වෙයි කියන එක…නමුත් කළ හැකි වෙන්නත් ඉඩ තියෙනවා..හැබැයි යම් දිනක එවැන්නක් හැදුණොත් එය ඉතාම ආශ්චර්යමත් දෙයක් වේවි..එහි එක කොණක් පෘතුවිය අසළත්, අනිත් කොණ ඉතාම දුර බැහැර ග්‍රහ ලොවක අසළත් තියෙන්න පුළුවන්..

 

සෛද්ධාන්තිකව, මේ කාළ උමං හෝ පණුගුල් වලට පුළුවන් අපිව වෙනත් ග්‍රහ ලෝක වලට ගෙන යනවාට වඩා හුඟක් දේ කරන්න…මේවායේ කොන් දෙකම තිබෙන්නේ එකම තැන නම්, “දුර” මත වෙන් නොවී, “කාළය” මත පමණක් වෙන්වෙලා නම් තියෙන්නේ, අභ්‍යාවකාශ යානයකට හැකි වෙයි මෙතුළට ගොස්, නැවත පෘතුවිය අසළින්ම මතු වෙන්න, නමුත්, බොහෝ ඈත අතීතයේ පෘතුවිය අසළින්…සමහරවිට ඩයිනෝසරයන්ට හැකියාව ලැබෙයි, එවැනි ගුවන් නැවක් බිමට බාන්න එන හැටි දැක ගන්න…

 

මිහිපිට මිනිසා විසින් තනපු වේගවත්ම යානය තමයි ඇපලෝ 10 රොකට්ටුව..එය පැයට සැතපුම් 25,000 ක වේගයක් ලබා ගත්තා..නමුත්, කාළය තරණය කළ යුතු නම්, අපි ඒ වගේ 2000 ගුණයක වේගයක් ලබා ගත යුතුයි, අවම වශයෙන්…

 

දැන් මට තේරුම් යනවා, මේ චතුර්-මාණ චින්තනය කියන එක එතරම් පහසු දෙයක් නොවේය කියලා..ඒ වගේම මේ “පණුගුල්” කියන එකත් ඔබේ ඔලුවට දා ගන්න ඉතාම අපහසු සංකල්පයක්, නමුත් රැඳී ඉන්න දිගටම. මම හිතා ගත්තා ඉතාම සරල පරීක්ෂණයක්, මේ මිනිස් කාළ තරණය කළ හැකි දෙයක්ද, අනාගතයේ වත් කියන එක නිර්ණය කරන්න…මම කැමතියි සරල පරීක්ෂණ වලට සහ ෂැම්පේන් වලට…

 

ඒ නිසා, මම ඒ කැමති දේවල් දෙක ( සරල පරීක්ෂණ සහ ෂැම්පේන් ) එකතු කළා, මිනිසාට අතීතයට හෝ අනාගතයට කාළ තරණයන් කරන්න පුළුවන්ද කියලා බලන්න…

 

දැන්, අපි හිතමුකෝ මම සාදයක් පවත්වනවා, අනාගතයේ සිට එන කාළ තීර්ථ යාත්‍රිකයන්ව පිළිගන්න…නමුත්, පොඩි දෙයක් තියෙනවා…මම මේ මොහොතේ ඉන්න කිසිම කෙනෙකුට මේ ගැන කියන්නේ නෑ, සාදය අවසන් වන තුරුම…!!( වර්ථමානයේ ඉන්න කිසි කෙනෙකුට ඇරයුම් කරන්නේ නෑ…සාධ වේලාව අවසන් වන තුරුම මේ ගැන කියන්නෙත් නෑ කාටවත්ම..) .. මම හැදුවා ආරාධනා පත්‍රයක්, කාළයේ සහ ස්ථානයේ ප්‍රශස්ථ ඛණ්ඩාංක භාවිතා කරලා…( අනාගතයෙන් එන්න ඉන්න කාළ යාත්‍රිකයෙකුට සාදය පැවැත්වෙන තැන සහ නියම අතීත වෙලාව සොයා ගන්න…)

 

මම ප්‍රාර්ථනා කරමින් ඉන්නේ, ඒ ආරාධනා පත්‍රයේ පිටපත්, මොන විදියකින් හෝ වසර දහස් ගණනක් සුරැකිව තිබේවි කියලා…අනාගතයේ යම් කිසි දවසක ජීවත් වෙන කෙනෙක් ඒ මගේ ආරාධනාව ගැන තොරතුරු සොයාගෙන, “පණුගුල් කාළ යන්ත්‍රයක්” ( Worm Hole Time Machine ) හරහා, මගේ සාදයට පැමිණිලා, ඔප්පු කරයි අනාගතයේ හෝ කාළ තරණය “කළ හැකි දෙයක්” බව….( මහාචාර්ය හෝකින්ග් තම සිසු, සිසුවියන්ට මෙය කීවා පමණක් නොව, ඒ සඳහා සාද මේසයක් ද සූදානම් කර තැබුවේය…)

 

 

(..මහාචාර්ය හෝව්කින්ග්, අනාගතයෙන් සිය සාදයට එන අමුත්තන්ට අනාගතයේදී හමුවන්නට සැකසූ ආරාධනා පත්‍රය…)

 

ඔය අතරේ, මගේ කාළ යාත්‍රික ආරාධිත අමුත්තන් දැන් ඕනෑම මොහොතක මෙතනට සැපත් වේවි…

 

( සාදය ඇරඹීමට නියමිත වේලාවට තව ඇත්තේ තප්පර පහකි…මහාචාර්ය හෝකින්ග් අවරෝහණ ගණනය කරයි…) පහයි…හතරයි…තුනයි…දෙකයි…එකයි….”ටිං” ( ඔරලෝසුවේ කටුව සාදය ඇරඹෙන මොහොත වැදී, එය පසු කර යයි…)

 

කවුරුත් ආවේ නෑනේ…හරිම සවුත්තුව…අපරාදේ මේ සූදානම් කරපු කෑම…මම නම් ප්‍රාර්ථනා කරේ අනාගතයේ ඉඳලා ලෝක රූ රැජිණක් අර දොරෙන් දැන්, දැන් මතු වේවි කියලා…කෝ..? කවුරුත් නෑනේ….

 

ඉතින් ඇයි මේ පරීක්ෂණය වැඩ කළේ නැත්තෙ..?..එක හේතුවක් වෙන්න ඇත්තේ, අතීතයට කාළ තරණය කිරීමේදී මතු වෙන, ඉතාම ප්‍රකට ප්‍රශ්ණයක්….අපි මේ ගැටළුවට කියනවා “ද්වෛධයන් ( Paradoxes) / විරෝධාභාස ගැටළුව” කියලා…( The Problem of “Paradoxes” )..

 

මේ පැරඩොක්සස් ගැන කථා කිරීම විනෝද ජනකයි…මේවායින් හුඟක්ම ජනප්‍රිය පැරඩොක්සයට කිව්වේ “ග්‍රෑන්ඩ් ෆාදර් පැරඩොක්සය” ( Grandfather Paradox) කියලා..මගේ ළඟ නම් දැන් තියෙනවා ඉතාම සරල පැරඩොක්ස කල්පිතයක්…මම ඒකට කියන්නේ ” උමතු විද්‍යාඥ ද්වෛධය” කියලා…( The Mad Scientist Paradox )

 

 

 

( ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්සය මෙබඳුය…කාළය හරහා යන්නෙකු තම සීයා මරා දමයි…එවිට කාළත්‍රයේ “නිමරු” ( Rifts in Time ) හෙවත් විභේදිත පැලුම් ඇතිවේ…එයින් වෙනම කාළ ගැලීමක් සිදුවේ…ඉහත රූපයේ එම ක්‍රියාව දෙස සැළකිල්ලෙන් බලන්න…)

 

චිත්‍රපටි හරහා විද්‍යාඥයන්ට පිස්සන් ලෙස ඇමතීමට නම් මම කොහෙත්ම කැමති නෑ, නමුත්, මේ කියන්නට යන කථාවෙදි නම් ඒක ඇත්තක්…මේ කියන කථාවේ ඉන්න හාදයා දැඩි අධිෂ්ඨානයකින් ඉන්නේ ද්වෛධයක් / පැරඩොක්සයක් නිර්මාණය කරන්න…ඔහුගේ ජීවිතයෙන් පවා එයට වන්දි ගෙවන්න සූදානම් ඔහු…අපි උපකල්පනය කරමු, ඒ මනුස්සයා කොහොම හරි “පණු ගුලක්” විදාරණය කොට, “එක මිනිත්තුවක්” අතීතයට යන්න පුළුවන් කාළ උමඟක් සැදුවා කියලා…( කාළ නාලයක්…) දැන් මේ පණු ගුල අස්සෙන් මෙයාට පේනවා, මෙයාම එක මිනිත්තුවකට පෙර සිටිය හැටි…ඒත් මෙයා පණුගුල අස්සෙන් මෙයාගේම මිනිත්තුවකට කළින් ස්වරූපයට වෙඩි තැබුවොත් මොකද වෙන්නේ..? ( මැරෙන්නම වෙඩි තැබුවොත් )… එහෙම නම් ( මිනිත්තුවකට පෙර ඔහු, හෙවත් t -1 හි සිටි මිනිසා මිය ගියා යැයි සිතමු…) ඔහු මේ මොහොතේ ( හෙවත් වත්මන් මොහොතේ t=0 ) මැරුණු මිනිසෙකි…එහෙම නම් වෙඩිල්ල තැබුවේ කවුද? .. ( සරලව පැහැදිලි කිරීම : මිනිත්තුවකට පෙර සිටි මිනිසා, මේ වත්මනේ සිටින මිනිසා පණුගුල හරහා තැබූ වෙඩිල්ල වැදී මිය ගියා නම්, වත්මනේ ඉන්නේ මීට මිනිත්තුවකට පෙර මැරුණු මිනිහෙකි…එතකොට වෙඩිල්ල තැබුවේ කවුද?..Simplification by D.K…)..හුඟක් භෞතික විද්‍යාඥයන්ට රාත්‍රියේ බියකරු සිහින ජනිත කරවන දෙයකි, මේ ගැටළුව…

 

 

( මිනිසාට, පණුකුහරය හරහා මිනිත්තුවකට පෙර පිස්තෝලය සකසමින් සිටි තමාවම දර්ශණය වන ආකාරය…)

 

නමුත්, විශ්වයේ මූලික නියමයන්ට අනුව මෙවැනි දේවල් සිදු නොවේ…”හේතු” නිසා “ඵල” හට ගන්නවා විනා, කිසිම අයුරකින් එහි අනික් පස, හෙවත් ඵලය නිසා හේතු වෙනස් වීමේ පැරඩොක්සය හට ගැන්ම සිදු නොවේ….

 

මම නම් හිතන්නේ කිසිම දේකට, ස්වයංක්‍රීයව “නොවිය හැක්කක්” බවට පත් වෙන්න බෑ කියලයි…එහෙම උනා නම් මේ විශ්වය මහා අවුලකට ඇද වැටෙන එක නවත්වන්න කාටවත් බැරි වෙයි…ඒ නිසා, මම හිතනවා හැම වෙලාවෙම පැරඩොක්සය නවත්වන්න, පැරඩොක්සයක් සිදුවීම වළක්වන්න යමක් සිද්ද වෙයි කියලා…ඒ අනුව අපේ පිස්සු විද්‍යාඥයට, තමන්ගේ මිනිත්තුවකට පෙර සිටි අතීත ස්වරූපයට වෙඩි තබන්න ඇති හැකියාව වළකන්න මොනවා හෝ දෙයක් සිද්ද වෙයි…ඔහුට කිසිදාක හැකි වෙන එකක් නෑ ඒ පණු කුහරය තුළින් තමාටම වෙඩි තියා ගන්න…මේ සිද්ධියේදි නම්, මට කණගාටුයි කියන්න, පණු කුහරයම තමා ගැටළුව වෙන්නේ….

 

 

අවසානයේදී මට හිතෙනවා, මේ වගේ පණු කුහරයක් සාදා ගන්න එක කරන්න පුලුවන් දෙයක් නෙමේ කියලා…ඒකට හේතුව තමයි “ප්‍රතිපෝෂණය” ( “Feedback”)…ඔබ ගිහින් තිබෙනවාද “රොක්” සංගීත සංදර්ශණයක් බලන්න… ( ” මම නම් ගිහින් තියෙනවා…ඒ වගේම ඉතාම කර්ණ කටුක ලෙස එතුමා මේ කියන දේ අත් දැකලා තියෙනවා…” – D.K )…

 

ඔබ රොක් සංදර්ශණයක් කවදා හෝ නරඹා තියෙනවා නම්, අර කන් හිරි වැටෙන ශබ්දය ඔබට හඳුනා ගන්න පුළුවන් ඇති….ඒක තමයි “ප්‍රතිපෝෂණය”…මේක ඇතිවෙන හේතු ඉතාම සරලයි…ගායකයන් සහ රොක් වාදකයන් කරන ශබ්දය මයික්‍රෆෝනය ඇතුළට යනවා…එය වයර දිගේ සම්ප්‍රේෂණය වී, ශබ්ද විකාශන යන්ත්‍රයෙහි ශබ්ද වර්ධක මඟින් වඩා වර්ධනය වී, ස්පීකර් ඔස්සේ එළියට එනවා…

 

 

( Feedback හට ගැන්ම…)

 

ඒ එළියට එන නාදය නැවත මයික්‍රෆෝනයටම යනවා…නමුත්, ඕනෑවට වඩා විශාල ශබ්දයක් ස්පීකර හරහා පැමිණ, එය මයික්‍රෆෝනයට නැවත ගියහොත්, එය නැවත, නැවතත් රවුමට, රවුමට යමින් “පුඩු ලෑමක්” සිදු කරමින්, ඒ සිදු කරන සෑම මොහොතකම තව, තවත් අධික ලෙස ශබ්දය වැඩි කරනවා..කවුරු හරි ඒක නතර නොකළොත්, “ප්‍රතිපෝෂණය” මඟින් ශබ්ද විකාශන පද්ධතිය විනාශ කරාවි….

 

පණු කුහරයටත් වෙන්නේ මේකම තමයි, හැබැයි වෙනසකට තියෙන්නේ ශබ්දය වෙනුවට “විකිරණ” මඟින් එය සිදුවීම….පණු කුහරය විදාරණය වුනු ගමන්ම, ස්වභාවික විකිරණයන් එයට ඇතුළු වී, නවතින්නේ “ලූප සෑදීමෙන්” ( Formation of Radiation Loops )…එහි ප්‍රතිපෝෂණය මඟින් පණු කුහරය විනාශ වී යන්න පුළුවන්…ඒ නිසා, පණු කුහර කියන ඒවා ස්වභාවයේ පැවතුනත්, අපිට කවදාවත් එකක් විශාල කර ගන්න ලැබෙන එකක් නෑ, මොකද කිව්වොත්, ඒක පවතින එකක් නෑ කාළ තරණ යන්ත්‍රයක් ලෙස භාවිතාවට ගන්නා තුරු… සමහර විට, ඒක වෙන්නත් ඇති ඇත්ත හේතුව, කිසිම කෙනෙක් මගේ සාදයට නොපැමිණි… ( සාදය ගැන විස්තර දැන ගන්න, මෙහි පළමු ලිපිය කියවන්න… 🙂 )

 

මොන යම් ආකාරයක හෝ කාළ තරණයක්, අතීත කාළයට සිදු කරන එක, පණු කුහර හෝ වෙනත් යම්කිසි ආකාරයකින් හෝ කිසි සේත්ම සිදු කළ නොහැකියි, පැරඩොක්සයන් ඇති නොවී…ඒ නිසා, කණගාටුවෙන් වුවත් කිව යුත්තේ, “අතීතයට යෑම” කවදාවත් සිදු නොවනු ඇති බවයි…මේක ඇහීමෙන් “ඩයිනෝසරයන් සොයන්නෝ” ඉච්ඡා භංගත්වයටත්, ඉතිහාසඥයන් ඉමහත් සැනසීමටත් පත් වෙනවා ඇති…සත්‍යය නම් අපිට අතීතයට යන්නට කවදාවත් හැකි නොවන බවයි…

 

නමුත්, මේ කථාව මෙතනින් ඉවර නෑ…මේ සංසිද්ධිය මෙලෙස පැවතීම නිසා, “සියළුම” ආකාරයේ කාළ තරණයන් අශක්‍ය දේ වන්නේ නෑ…ඒ නිසා, දැන් කණගාටුවට පත් වෙලා ඔබා ගත්තු ඔළු ගෙඩි නැවත උස්සා බලන්න…මමත් කාළ තරණය ගැන විශ්වාස කරනවා…නමුත් “අනාගත” කාළ තරණය ගැන… ( අනාගතයට කාළය හරහා යෑම…).. කාළය නදියක් සේ ඉදිරියට ගලාගෙන යන අතරේ, අපි හැම කෙනෙක්ම, වෙහෙසකර නොවන ලෙස ඉදිරියට ඇදගෙන යනවා එහි කාළ දියවැල්…මේ නදිය, වෙනස් තැන් වලදි, වෙනස් වේගයන්ගෙන් ගලන එකම තමයි අනාගතයට කාළ තරණය කිරීමේ යතුර වන්නෙත්….( කාළය වුවද නියත වේගයක් රඳවා නොගනී…ගුරුත්වාකර්ෂණය, සාපේක්ෂතාවය සහ කාළය පිළිබඳව ඇල්බට් අයින්ස්ටයින් විසින් කරන ලද ගණනයන්ට මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් විසින් යොදන ලද අරුත් සහිත ග්‍රන්ථයක් මා සතුව ඇත…මින් ඉදිරියට එයින්ද කරුණු ගෙන දැක්වීමට බලාපොරොත්තු වෙමි….)..මේ අදහස මුලින්ම යෝජනා කළේ ඇල්බට් අයින්ස්ටයින් මීට වසර 100 කට පමණ පෙර. ඔහුට වැටහුණා, කාළය ගලා යන වේගය අඩුවන සමහර ස්ථාන තිබෙන බවත්, තවත් සමහර තැන්වලදි එහි වේගය වැඩි වන බවත්…ඔහු හරියටම හරි…ඒ සඳහා සාක්ෂි අපේ ඔළු ගෙඩි වලට උඩින් ඇති විශ්වයේම තියෙනවා….

 

 

මේ තියෙන්නේ “ග්ලොබල් පොසිෂනින් සිස්ටම්” ( Global Positioning System ) …කෙටියෙන් කියනවා “ජීපීඑස්” කියලා…( ඉහත රූපය බලන්න…).. පෘතුවිය වටා කක්ෂ ගතව ඇති චන්ද්‍රිකා 31 කින් සමන්විත චන්ද්‍රිකා ජාලයක්….ජාලයේ විශාලත්වයෙන් මෙය තෙවැනි වන්නේ, ඇමරිකානු “නොරාඩ්” අභ්‍යවකාශ ආඥාපති ජාලයට සහ රුසියානු හමුදා චන්ද්‍රිකා ජාලයට පමණයි….මේ චන්ද්‍රිකා මඟින්, “චන්ද්‍රිකා මඟ පෙන්වීම” කළ හැකිව තිබෙනවා…නමුත්, මේවායින් හෙළිකරනවා අභ්‍යාවකාශයේදී කාළය, පෘතුවියේදීට වඩා වේගයෙන් දුවන බව…සෑම චන්ද්‍රිකාවකම තිබෙනවා ඉතාම නිරවද්‍ය ඔරලෝසුවක්…එය ඉතාම යථාතථ්‍යයි…නමුත් මොන තරම් නිරවද්‍ය උනත්, සෑම දිනයකදීම මේ ඔරලෝසු තප්පරයකින් බිලියනයෙන් තුනක තරම් සුළු ප්‍රමාණයකින් කාළය වැඩියෙන් ලබා ගන්නවා…( ඒ තරම් ප්‍රමාණයකින් කාළයෙන්, පෘතුවි කාළයට වඩා ඉදිරියට යනවා….)..මේ කාළ ප්ලවනයට අදාළ පරිදි මෙකී ඔරලෝසු සිස්ටමයන් නිරතුරුවම නිවැරදි කිරීම් සිදු කර ගත යුතුයි, එසේ නොමැති නම් ඉතාම සුළු කාළ විපර්යාසයකින් වුවත් සමස්ථ පද්ධතියම වියවුලට පත්වී, මහ පොළවේ සෑම ජීපීඑස් පද්ධතියක්ම නිවැරදි ගමන් මාර්ගයෙන් අවම වශයෙන් කිලෝමීටර 6 ක වත් ව්‍යපගමනයක් සිදු වෙන නිසා…!…

 

සෑම ජීපීඑස් පද්ධතියක්ම නිවැරදි ගමන් මාර්ගයෙන් කිලෝමීටර් 6 ක් ව්‍යපගමනය වුවහොත් සිදුවන විනාශය ඔබට සිතා ගන්න පුළුවන් නේ…?

 

මෙතැන ප්‍රශ්ණය තියෙන්නේ මේ චන්ද්‍රිකා තුළ සවි කොට ඇති ඔරලෝසුවල නම් නෙමෙයි..සමහර අය කුස්සියේ හෝ මැද සාලයේ බිත්ති ඔරලෝසුව ගමන් කරන වේගය අඩු වෙන කොට නම් කියන්නේ “ඕකෙ වයින් බැහැලා…නැත්නම් බැටරිය බැහැලා” කියලා…මේ අභ්‍යවකාශ ඔරලෝසු සම්බන්ධයෙන් නම් කියන්න තියෙන්නේ ඒක නෙමෙයි…ඒවා වේගයෙන් දුවන්නේ, කාළය අභ්‍යාවකාශයේදී, මහ පොළව මතදීට වඩා වේගයෙන් දුවන නිසයි…මෙයට හේතුව තමයි පෘතුවියේ “ස්කන්ධයෙහි” ඇති පුදුම සහගත බලපෑම…අයින්ස්ටයින් වටහා ගත්තා පදාර්ථය, කාළය මත බලපෑම් කොට එහි වේගය අඩාල කරන බවට…මෙන්න මේ විශ්මය ජනක යථාර්තය තමයි, අනාගතය කරා කාළ තරණය කිරීමට දොරටුව විවර කරන්නෙත්….

 

 

( ජීපීඑස් ජාලයෙහි චන්ද්‍රිකාවක් තුළ ඇති “තරක ඔරලෝසුවක්”…)

 

වස්තුවෙහි බර සහ ස්කන්ධය වැඩි වන තරමට, එයට අත්‍යාසන්නයෙහි කාළයෙහි වේගයත් බෙහෙවින්ම අඩාල වෙනවා…මම දන්නවා මේක ටිකක් තේරුම් ගන්න අමාරු මාතෘකාවක් කියලා…ඒක නිසා අපි ගමු ඉතාම සරල උදාහරණයක්…

 

මේ තමයි “ගීසා” ( ඊජිප්තුවේ ) හි යෝධ පිරමිඩය…මෙහි බර ටොන් මිලියන 40 ක්…සියළුම බර අධික දේවල වගේම මෙහිත් අත්‍යාසන්නයේදී කාළයේ වේගය අඩු වෙනවා….මෙමඟින් කාළයට කරන බලපෑම නම් පෘතුවිය කරන බලපෑමට වඩා බිලියන වාර ගණනකින් අවමයි…නමුත්, අපි ඒ සුළු බලපෑම හෝ ගුණාකාර කොට බැලුවොත් පෙනේවි, මේ අයින්ස්ටයින්ගේ මූල ධර්ම මොන තරම් හොඳින් මෙතන වැඩ කරනවාද කියන එක…ගඟක සෙමෙන් ගලන කොටසේ වගේ, මේ පිරමිඩය ආසන්නයේදී කාළය සහ බැඳුණු සියල්ලෙහිම වේගය අඩු වෙනවා….

 

 

මේ පිරමිඩය අසළම, එහි පාදම මත සිටින කෙනෙකු, අවට ලෝකය දෙස බැලුවොත්, ඒ අයට පෙනෙයි, අවට ලෝකයේ ( පිරමිඩයෙන් බැහැරව පිහිටි ) සිදුවීම් තරමක් කඩිනමින්, වේගයෙන් සිදුවන බව….එහෙම වෙන්නේ පිරමිඩයෙහි අධික ස්කන්ධය නිසා…පිරමිඩය අවට කාළය සෙසු ලෝකයේ කාළයටත් වඩා සෙමෙන් දුවන නිසා….මේ සරල උදාහරණය තමයි අපිට “අනාගතයට කාළ තරණය කිරීම” සඳහා දොරටු විවර කරන්නෙත්…

 

 

දැන් අපිට කාළය හරහා යන්න නම් පිරමිඩ වලට වඩා අතිශයින් දැවැන්ත යමක් අවශ්‍ය වනවා…ඔව්…මම නම් දන්නවා හරියටම මොකක්ද යොදා ගන්න පුළුවන් කියලා….

 

අපෙන් “ආලෝක වර්ෂ 26,000 ක් ඈත”, අපේ ක්ෂීරපථයේ හරි මැද තිබෙනවා මේ මන්දාකිණියේ “බරම” වස්තුව…! එය අති දැවැන්ත “කළු කුහරයක්” ( Super Massive Black Hole – SMBH )…එහි ස්කන්ධය, එහිම අධි ගුරුත්වාකර්ෂණයෙන් සංකේන්ද්‍රිකව තලා, එක තැනකට ගන්නා ලද සූර්යයන් 4,000,000 කගේ ස්කන්ධයට සමානයි…!! ( අපගේ තාරකාව වන සූර්යයාගේ ස්කන්ධය මෙන් 4,000,000 ගුණයක්…!! )

 

 

( Spiral Galaxy ඛාණ්ඩයට අයත් වන අපගේ ක්ෂීර පථ මන්දාකිණිය…)

 

මේ කළු කුහරයට ඔබ ආසන්න වන තරමටම, එහි ගුරුත්වාකර්ෂණයේ ශක්තිය වැඩි වෙනවා…හුඟක්ම ලං වුනොත්, ආලෝකයට වත් ගැලවෙන්න ලැබෙන්නේ නෑ….මෙවැනි යෝධ කළු කුහර වලින් කාළයට සුවිශේෂී බලපෑමක් එල්ල වෙනවා…මන්දාකිණියේ වෙනත් කිසිවක් කාළය මේ අයුරින් වේගය අඩාල කරන්නේ නෑ….එය ස්වභාවික කාළ තරණ යන්ත්‍රයක්….

 

 

( අපේ මන්දාකිණිය මධ්‍යයෙහි පිහිටි යෝධ කළු කුහරය හබල් දුරේක්ෂ නිරීක්ෂණයට අනුව විදු ඇසින් ප්‍රතිනිර්මාණයක්…)

 

මෙය අන්ධකාරයෙන් වැසී ගත්, විෂ්කම්භය සැතපුම් මිලියන 50ක් ( කිලෝමීටර මිලියන 80 ක් ) වූ යෝධ අහස් ගෝලයකි…මම හරිම ආසයි හිතින් මවා ගන්න කවදා හරි දවසක් අභ්‍යාවකාශ යානයක් මේ යෝධ කළු කුහරයේ කාළ තරක හැකියාවෙන් ප්‍රයෝජනය ගෙන, එය කාළ තරණ යන්ත්‍රයක් කර ගැනීම….

 

නමුත්, එවැනි යානාවක් මුලින්ම කරන්න ඕන දේ තමයි, කළු කුහරයක ඇති අධි – ගුරුත්වාකර්ෂණ ග්‍රහණයට හසුවී ඒ දෙසට ඇදී යාමෙන් වැළකෙන එක…ඒ සඳහා අතිශයින්ම නිවැරදි “පරාවක්‍රයේ” ( Trajectory ) සහ වේගයේ යා යුතුයි…සුළු හෝ වරදක් සිදුවෙන්න බෑ…නමුත්, හරියට කර ගත්තොත්, යානාව කළු කුහරයේ කක්ෂයට ඇතුළු කර ගන්න පුළුවන්…පෘතුවියේ හෝ මෙවැනි යානාවක් සාදන කාළය වෙනවිට ඇති කරගෙන සිටින අභ්‍යාවකාශ කොළණියක හෝ සිටගෙන මෙම යානාව පාලනය කරන අයට පෙනෙයි, එම යානාවේ සෑම කක්ෂ පූර්ණයක් සඳහාම මිනිත්තු 16 ක් ගත වෙන බව…නමුත්, මේ යෝධ ගෝලයේ ස්කන්ධය නිසාවෙන් කාළයේ වේගය අඩාල වෙන බව පාලන මැදිරි වලට නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ නෑ…ඒක නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ යානය තුළ සිටින පිරිසටයි…මෙතනදී නම් බලපෑම, පිරමිඩ අසළ සිදුවුණු බලපෑම වගේ සුළු පටු එකක් නම් නෙමෙයි….කක්ෂ ගතව සිටින යානයේ ගගනගාමීන්ගේ කාළය ගතවන වේගය “හරියටම අඩකින්” අඩුවෙනු ඇති….!!

 

 

මහ පොළවේ හෝ වෙනත් කොහේ හෝ ඉන්නා පාලක මැදිරියක පිරිස් වලට මේ අය කක්ෂ පූර්ණය සඳහා විනාඩි 16 ක් ගත කරනවා වගේ පෙනුනත්, මේ ගගනගාමීන්ට දැනන්නේ විනාඩි 8 ක් පමණයි…ඔවුන්ට ගත වෙනවා අත් දකින්න ලැබෙන්නෙ විනාඩි 8 ක් පමණයි…කළු කුහරයෙන් ඈත සිටින අය අත් දකින කාළයෙන් හරි අඩක් අත් දකිමින් ඔවුන් ඒ යෝධ කළු කුහරය වටා රවුමට, රවුමට යනවා නොකඩවා….මේ යානය සහ එහි කාර්ය මණ්ඩලය මේ කරන්නේ “කාළය හරහා” ගමන් කිරීමක්…!!..අපි හිතමු ඔවුන්, ඔවුන්ගේ ජීවිත කාළ වලින් අවුරුදු පහක් නොකඩවා මේ කළු කුහරය වටා ගියා කියලා…මහ පොළවේ මේ අතර තුර අවුරුදු දහයක් ගතවී තිබේවි…!!..පෘතුවියේ ඔවුන්ගේ සම කාළීනයන් ඔවුන්ට වඩා අවුරුදු පහකින් වයස් ගත වී තියේවි…

 

( මගේ පෙම්වතියගේත්, මගේත් අතර වයස් පරතරය අවුරුදු 5 ක් පමණවේ…මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග්ට පිං සිදුවන්නට, ඇය මගේ සම වයස් කාරියක් කර ගන්නා ක්‍රමයක් සොයා ගතිමි…කළ යුතුව ඇත්තේ ඇය පෘතුවියෙහි තබා, මම කළු කුහරයක් වටා පෘතුවියට සාපේක්ෂ කාළයෙන් වසර 10 ක් නොකඩවා ගමන් කිරීම පමණි.. 😀 :D….D.K. )

 

මේ ක්‍රමය නම් අර පණු කුහර ක්‍රමයේ වගේ පැරඩොක්සයන් සාදන්නේ වත්, ප්‍රතිපෝෂණය මඟින් තමාවම විනාශ කර ගන්නෙත් නෑ…නමුත්, මේ ක්‍රමයත් ප්‍රායෝගික නෑ…කළු කුහර තියෙන්නේ අපෙන් බොහොම, බොහොමත්ම ඈත…අනෙක, ඒ අවට පවතින තත්වයන් නිසාත්, එබඳු ගමනකට අවශ්‍ය තාක්ෂණය අපෙන් බොහෝ දුර ඈත නිසාත්, ඒක ඉතාම භයානක දෙයක් වේවි….

 

අනෙක, කළු කුහර තරණයෙන් අපිව එතරම් දුර ඈත අනාගතයකට ගෙනියන්නේ නෑ…එනිසා, එවැන්නක් සඳහා දරන පරිශ්‍රමය අපරාධයක්…නමුත්, වික්ෂෝපයට පත් වෙන්න හෝ මන්දෝත්සාහී වෙන්න එපා…තව විදිහක් තියෙනවා ඉතාම සෘජුව කාළ තරණය කරන්න පුළුවන්….

 

ඒ තමයි අපේ හොඳම සහ අවසාන අවස්ථාව වෙන්නේ කාළය හරහා ගමන් කිරීමට…

 

ඔබට කරන්න තියෙන්නෙ, ඉතාම වේගයෙන්, ඉතාම, ඉතාමත්ම වේගයෙන් ගමන් කිරීම විතරයි…කළු කුහරයකට ඇදී යාම වළක්වා ගැනීමට අවශ්‍ය වන වේගයටත් වඩා අධික වේගයකින් ඔබ යා යුතුයි…මේක මෙහෙම වෙන්නේ විශ්වයේ ඇති වෙනත් අපුරූ දෙයක් නිසයි…මේක තමයි අයින්ස්ටයින් එළි දැක්වූ අභ්‍යාවකාශ වේග සීමාව…තප්පරයකට සැතපුම් 186,000 ක් හෙවත්, “ආලෝකයේ වේගය…”

 

දැනට සොයාගෙන ඇති කිසිවකට එම වේගය අබිබවා යන්නට බැහැ…

 

( මෙම පරිවර්ථනය සකසන මොහොත වෙන විට, එම වේග සීමාව CERN හෙවත් European Organization for Nuclear Research ආයතනයේ විදුදරයන් විසින් බිඳ හෙලා ඇති බවට කතිකාවතක් ඇරඹී තිබේ…)…

 

ඒ තුන් වැනි කාළ තරණ ක්‍රමයත්, ස්විට්සර්ලන්තයේ CERN හි ඇති Particle Accelarator හා එහි ආශ්‍රිත නව සොයා ගැනීම් සම්බන්ධව ස්ටීවන් හොව්කින්ග් මහතා පළ කල අදහස්, මෙම පරිවර්තන මාලාවේ තුන්වැනි කොටසෙන් කියවමු….

 

 

 

 

 

 

හැකිතාක් වේගයෙන් ගමන් කිරීමෙන් තමයි ඔබට කාළය හරහා යා හැක්කේ…කෙටියෙන් කියතොත්, යෝධ කළු කුහරයක ආකර්ෂණයට හසු නොවී සිටින්නට යා යුතු වේගයටත් වඩා බෙහෙවින්ම වැඩි වේගයකින් යන්න සිදු වෙනවා…මේකට හේතුව වන්නෙත් විශ්වය සම්බන්ධ තවත් අමුතු කාරණයක්..විශ්වයේ වේගය සඳහා උපරිමයක් තිබෙනවා…විශ්වාස කළත් නොකළත්, මේ ආලෝකයේ වේගයට ආසන්නයෙන් ගියත්, ඔබව අනාගතය වෙත ප්‍රවාහනය කරනු ලබනවා…එය විද්‍යාවේ දැනට ඉතාම හොඳින් මුල් බැසගෙන ඇති සිද්ධාන්තයක්…

 

මේක පැහැදිලි කිරීම සඳහා අපි විද්‍යා ප්‍රබන්ධාත්මක ප්‍රවාහන ක්‍රමයක් ගැන සිහිනයක් මවමු…

 

 

පෘතුවිය වටා යන දුම්‍රිය මාර්ගයක් සිතේ මවා ගන්න…සුපිරි වේගවත් දුම්‍රියක් සඳහා මාර්ගයක් කියල හිතමු…

 

 

( පෘතුවිය වටා යන අධිවේගී “ආලෝක” දුම්‍රිය හා එම මාර්ගය – මනෝ රූපයක් )

 

අපිට පුලුවන් වේවි, මේ මනසේ මවා ගත් දුම්‍රිය යොදාගෙන ආලෝකයේ වේගයට ලං විය හැකි උපරිම වශයෙන් ලං වෙන්නත්, එය කාළ තරණ යන්ත්‍රයක් වන්නේ කෙසේද යන්න එමඟින් පැහැදිලි කරන්නත්…මෙම දුම්‍රියේ සිටින්නේ අනාගතයට “වන්වේ ටිකැට්ටුවක්” ( මක් නිසාද යත්, අතීතයට කාළ තරණය කළ නොහැකි නිසා, අනාගතයට යන මගීන්ට යළිත් පැමිණිය නොහැකි බැවින් ඔවුන් යන්නේ එක් පසෙකටම පමණකි…)

 

දුම්‍රිය ක්‍රම ක්‍රමයෙන් වේගය වැඩි කර ගනියි…මඳ වේලාවකින් එය අධික වේගයෙන් පෘතුවිය වටා රවුම් යන්නට පටන් ගනී…

 

 

(දුමිර්ය වේගය වැඩි කර ගනියි)

 

 

( ..ලෝකය වටා අධික වේගයකින්…)

 

ආලෝකයේ වේගයට පැමිණීම කියන්නේ පෘතුවිය වටා යාම ඉතාම ක්ෂණිකව…සරලව කිව්වොත්, තප්පරයකට පෘතුවිය වටා 7 වටයක් යා යුතුයි..!!..

 

 

 

 

( අනාගතයට යන මගීන්…)

 

නමුත්, මේ දුම්‍රියට මොන තරම් බලයක් තිබුණත්, එයට කිසිසේත්ම බෑ නියත වශයෙන්ම ආලෝකයේ ප්‍රවේගයට සමපාත වෙන්න…භෞතික විද්‍යාවේ නීති සහ මූල ධර්ම එසේ වන්නට ඉඩ හැර නැහැ…එහෙම නැතුව අපි හිතමු ඒක ආසන්නයටම ආවා කියලා…ඒ පරම ප්‍රවේගයට ටිකක් අඩු තැනකට ආවා කියල හිතමුකෝ…ඔන්න එතකොට මහා පුදුමාකාර දෙයක් සිද්ද වෙන්න පටන් ගන්නවා….

 

දුම්‍රිය ඇතුලේ “කාළය” සෙමෙන් ගත වෙන්න පටන් ගන්නවා…කාළය ගත වෙන වේගය අඩාල වෙනවා…බාහිර ලෝකයට සාපේක්ෂව එය ඉතාම අඩු කාළය ගත වීමේ වේගයක් බවට පත් වෙනවා… හරියටම කිව්වොත්, කළු කුහරයකට ආසන්නයේ වගේමයි…එයටත් වඩා වැඩිපුර මේ සංසිද්ධිය සිදුවීමයි වැදගත්ම දෙය වෙන්නේ…( මෙම ලිපි මාලාවේ දෙවනි කොටස කියවන්න…කළු කුහරයක් වටා සරණයෙන් කාළය හරහා යා හැකි මුත්, එසේ තරණය කළ හැක්කේ කොතරම් කුඩා කාළ පරාසයක්ද යන්න එමඟින් පැහැදිලි කොට ඇත…)

 

 

මෙහෙම වෙන්නේ අවකාශ කාළය තුල උපරිම ප්‍රවේගය ආරක්ෂා කර ගැනීමටයි… එහෙම වන්නේ ඇයි කියන එක උදාහරණ මඟින් වටහා ගන්න හරිම පහසුයි…ඔන්න අපි හිතාගමු, මේ ආලෝකයේ වේගයට ඉතාම ආසන්නයේ චලනය වන දුම්‍රිය ඇතුළේ කුඩා දැරියක් ඉදිරියට දුවගෙන එනවා කියලා….දැන් දැරිය ඉන්නේ ඒ කෝච්චිය ඇතුළේ නිසා, ඇයට බැරිද ආලෝකයේ වේගය අබිබවා යන්න…බෑ..ඇයට ඒක කරන්න ලැබෙන්නේ නෑ….

 

 

 

( මේ දැරියට ආලෝකයේ වේගය අබිබැවිය හැකිද?…)

 

ඇයගේ පෙරට යන ප්‍රවේගය, දුම්‍රියේ ප්‍රවේගයට එකතු වෙනවා තමයි…නමුත් ඇයව යමක් මඟින් මන්දගාමී කරනු ලබනවා…ඒ කුමක්ද?….කාළය යාන්තම් ඒ උපරිම ප්‍රවේගය හෙවත් ආලෝකයේ ප්‍රවේගය ආරක්ෂා කර ගැනීම සඳහා මන්දගාමී වෙනවා….අන්න ඒකෙන් තමයි, අනාගතය බලා කාළ තරණය කළ හැකි අවස්ථාවක් ලැබෙන්නේ….පුංචි දුවට ආලෝකයේ වේගය අබිබවා යන්න බැරි වුණත්, අනාගතයට යන්න ලැබෙනවා….

 

අපි හිතමුකෝ දුම්‍රිය පිටත් වුණේ 2050 වසරේ ජනවාරි 1 වැනිදාය කියලා…මේ දුම්‍රිය පෘතුවිය වටේ වසර 100 කරකැවී වර්ෂ 2150 ජනවාරි මස 1 වැනිදා යළි දුම්‍රිය පොලට එනවා…නමුත්, මේක ඇතුලේ හිටපු මගීන් නම් ජීවත් වෙලා තියෙන්නේ ඔවුන්ගේ ජීව කාළයෙන් එක සතියක් පමණයි…( පරිවර්තක: මෙයට අදාළ ගණිතමය සමීකරණ විසඳීමක් ඇතත්, පරිඝණකයේ සංඥා හිඟ නිසා, එය මෙහි හුවා දක්වන අයුරු මට නොවැටහේ…)

 

නමුත් අපට තියෙනවා එක බලාපොරොත්තුවක් ස්විට්සර්ලන්තයේ ජීනිවා ආශ්‍රිත “සර්න්” නම් ස්ථානයෙහි ඇති, ලෝකයේ විශාලතම අංශු ත්වරකය ලෙස…. ( Particle Acclerator At CERN of Switzerland )

 

පොළවට ඉතා ගැඹුරු ලෙස පහළින්, සැතපුම් 16 ක් දිගු වෘත්තාකාර නළයක, ඉතාම කුඩා අංශු ට්‍රිලියන ගණනකින් යුතු දහරාවක් තිබෙනවා….බලය ලැබුණාම මේ අංශු බිංදුවේ සිට පැයට සැතපුම් 60,000 ක වේගයක් ගන්නේ තප්පරයකිනුත් ඉතාම සුළු කොටසකදී…බලය තව, තව දෙන කොට, අංශු තවත් වේගයෙන් චලනය වෙනවා…එහෙම වැඩි වෙලා, තප්පරයකට 11,000 වාරයක් ඒ අංශු නළ වෘත්තාකාර මාවත තුළ සම්පූර්ණ චලිතයන් සිදු කරනවා…ඒකත් ආලෝකයේ වේගයට ආසන්න වීමක්…නමුත්, ඒ අංශුත් කවදාවත් ආලෝකයේ වේගයට සමපාත වන්නේ නෑ…..

 

( පරිවර්තක : මහාචාර්ය හොව්කින් මේ මතය පළ කරන වකවානුවේදී, අද ඉතාම ආන්දෝලනාත්මක දෙයක් බවට පත්ව තිබෙන, සර්න්හි “ආලෝකයේ වේගය” අබිබවන අංශු චලිතය සිදුවී තිබුනේ නැත…හේඩ්‍රන් කලයිඩරය සහ ඒ අංශු චලිතය ගැන පරිවර්තක විසින් සකසන වෙනම ලිපියක් බලාපොරොත්තු වන්න…)

 

මේ අංශු වලට ලං විය හැක්කේ ආලෝකයේ වේගයෙන් 99.99 % කට පමණි…එතනට ආ විට, ඒවාත් අර ඉහත කී පරිදිම කාළයේ වේගය අඩාල වීම නිසා, කාළය හරහා ගමන් කිරීම අරඹයි….අපි මේ බව දන්නේ, ඒ අංශු අතර ඉතාම කෙටි කාළයක් පවතින “පයි-මෙසන්ස්” ( Pi-Mesons ) නම් අංශු විශේෂය නිසාය…මූලිකව නම් මේවා තප්පරයෙන් බිලියන 25 න් එකක් තරම් කුඩා වේලාවකදී කොටස් වලට වෙන්වී යති…නමුත් ඒ ආලෝකයේ වේගය ආසන්නයේදී නම් මේ අංශු බිඳී විසිරී යෑමට එමෙන් තිස් ගුණයක කාළයක් ගත වේ….මේ අනුව අපට අවබෝධයෙන්ම කාළය, ආලෝකයේ වේග සීමාව ආසන්නයේදී අඩාල වන බව පැවසිය හැක…

 

මේක ඉතින් හරිම සරළයි…අනාගතයට යෑමට නම් අපි ඉතාම වේගයෙන් යා යුතුය….හුගක්ම වේගයෙන් යා යුතුය…මහ පොළවේ නම් මෙවැනි වික්‍රමයක් පාන්න සුදුසු පරිසයක් සැකසෙන එකක් නෑ…ඒකට අධික වියදම් වගේම, උතුරු කොරියාව සහ තලෙයිබාන් සංවිධානය එක්කත් සාකච්ඡා කරලා දුම්‍රිය පාර දමන්න අවසර ගන්න වෙයි…ඒක නිසා, කරන්න තියෙන පහසුම දෙය තමයි, විශ්වයට යෑම…විශ්වය හා අවකාශය හරහා ආලෝකයේ වේගයට ආසන්න ප්‍රවේගයකින් චලනය වීම….

 

මිනිස් ඉතිහාසයේ වේගයෙන්ම චලනය කරවූ වාහනය තමයි ඇපලෝ 10 කියන්නේ…එහි ප්‍රවේගය පැයට සැතපුම් 25,000 ක් පමණ වුනා….නමුත් කාළය හරහා යන්න නම්, අපට දළ වශයෙන් එමෙන් 2000 ගුණයක වේගයෙන් චලනය වෙන්න සිදුවේවි….ඒ සඳහා ඇත්ත වශයෙන්ම ඉතාම යෝධ යානයක් ඕන වෙනවා….ඒ යානයේ ආලෝකයේ වේගය ලබාගැනීමට අවශ්‍ය මහා ඉන්ධන සංචිතයක් රැගෙන යාමටත් අපට සිදුවේවි….යාන්තම් විශ්ව ප්‍රවේග සීමාවට අඩු තැනකට එන්නත් මහා ජවයක් සහිතව වසර හයක් වත් චලනයෙහි යෙදෙන්නට සිදුවේවි….

 

මූලික වශයෙන්ම යානයේ වේගය ඉතාම අඩු එකක් වෙයි…මොකද යානයේ ත්වරණය සිදුවන්නේ එහි ස්කන්ධයට අනුලෝමව සමානුපාතිකව නිසා…මේ යානය අති විශාල එකක්…ඒක නිසා එහි චලනය වේගයක් ලබා ගැනීමට ටික කළක් යාවි….එක සතියක් පමණ ගිය තැන එම යානය සෞර ග්‍රහ මණ්ඩලයේ සීමාවේ ඇති දුරස්ථම ග්‍රහ ලෝක වෙත ළඟා වී තිබෙනු ඇති….වසර දෙකක් ගියාම එහි වේගය ආලෝකයේ වේගයෙන් භාගයක් වෙනු ඇති අතර, එය අපේ සෞර ග්‍රහ මණ්ඩලය පසු කර බොහෝ දුරක් ගොස් තිබේවි….තවත් දෙවසරක් ඇවෑමෙන් එහි වේගය, ආලෝකයේ වේගයෙන් 90% ක් පමණ වේවි…මේ වනවිට එය විශ්වය ඉරාගෙන ඉදිරියට චලනය වේවි…යානය පොළවෙන් පිටත්වී වසර  4 ක් ගිය තැන, පෘතුවියෙන් දළ වශයෙන් සැතපුම් ට්‍රිලියන 30 ක් ඈතින්, එය කාළය හරහා යාම ආරම්භ කරනු ඇති….

 

 

 

මේ යානය තුල ගතවන සෑම පැයකටම පැය දෙකක් පෘතුවියේ ගතවනු ඇත…

 

තව වසර දෙකක් ගිය තැන මෙම යානයේ ප්‍රවේගයේ, ආලෝකයේ මෙන් 99% වනු ඇත…එවිට යානය තුළ එක දිනයක්, පෘතුවියේ සම්පූර්ණ වසරක් තරම් වනු ඇත…

 

කාළයේ වේගය, අවකාශයේ උපරිම වේග සීමාව රැක ගැනීම සඳහා මෙසේ අඩාල වීම අපට න්‍යායාත්මකව වාසි සහගතය…එමඟින් අපට යාන්තමින් හෝ කාළය හරහා යෑමට පැතුමක් ඉතිරි කර ගත හැක…මේ වගේ ගමනකින් වුනත් අපේ චක්‍රාවාටයේ කෙළවරට යාමට අවම වශයෙන් අවුරුදු 80 ක් වත් යාවි…අපේ චක්‍රාවාටය ඒ තරම්ම විශාලයි…මේක අපේ විශ්වයේ ඇති පුදුම සහගත ස්වභාවයයි…එහි එක, එක තැන්වල කාළය දුවන වේගය එක, එක විදිහය….ඒත් මේ අප අවට තිබෙන කාළයේ පණු කුහර ( මුල් ලිපිය බලන්න ) ප්‍රයෝජනයට ගෙන අපට යම් දිනෙක අවම වශයෙන් අනාගතයට හෝ මේ “සතර වැනි මානය” හරහා යන්නට හැකියාවක් ලැබෙතියි මම උද්යෝගයෙන් පසුවෙමි….මම ස්ටීවන් හොව්කින්, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලීය නිල නිවාසයක සිට….

 

මහාචාර්ය ස්ටීවන් හොව්කින් – කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සිට….

 

Professor Stephen William Hawking – CH, CBE, FRS, FRSA

 

පරිවර්තකගෙන් පසුවදන : මහාචාර්ය ස්ටීවන් හොව්කින්ගේ අනර්ඝ ලිපි මාලාවක පළමුවැන්න, අපේ රටේ බටහිර විද්‍යාව තම චින්තනය සකසා ගන්නට උපකාරයක් කර ගන්නා සැමගේ පහන් සංවේගය පිණිස මෙසේ සකසා නිමවමි… ස්ටීවන් හොව්කින්ග් මහැදුරු තුමන් විසින් රචිත “The Grand Design” ග්‍රන්ථයේ එන “යථාර්තය යනු කුමක්ද?” ( What is Reality) කොටසේ පරිවර්තනය සමඟින් නැවත හමුවෙමු….

 

 

Advertisements

25 thoughts on “කාළ තරණ යන්ත්‍රයක් සාදා ගන්නේ කෙසේද…? – මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග්”

  1. මං මේ කතාවේ ඉන්ග්ලිෂ් වර්ෂන් එක ඩිස්කවරි චැනල් එකේ බැළුවා. සමහර තැන් නම් තේරුනේ නෑ. මං හිතනවා ඔබේ ලිපිය කියෙව්වට පස්සේ මට නොතේරිච්ච තැන් තේරෙයි කියලා. දිග වැඩි නිසා නිවිහැනහිල්ලේ තේ එකක් බි බී කියවන්න ඕන.

    අළුත්, වෙනස්, වටින මාතෘකාවක් සාකච්ඡාවට ගත්තට ස්තූතියි!

  2. බොහොම කුතුහලය ගෙන දෙන ලිපියක්!නොදන්න මගුලක් උනත් බොහොම සරලව කියලා දෙන්න උත්සහ කරල තියනවා..බොහොම ස්තුතියි!

  3. මේක කියවලා පොඩ්ඩක් විතර මඤ්ඤං වගේ.. දිගටම මෙවා ගැන ලියන්න.

    ඉතුරු ටිකත් දාන්න. (අර ආලෝකයේ වේගයට වඩා අංශුවක් ගියාට පස්සේ …)

  4. අපි ඔහොම විශ්වය පුරා කරක් ගහන්න පුලුවන් යන්තරයක් හැදුවය කියමුකෝ. ඔන්න ඒකට යන්න ඉන්ධන ඕනෙ, සුළු පටු ඉන්ධන ප්‍රමාණයක් ඇති වෙයිද? ආලෝකයේ ප්‍රවේගයෙන් 90%ක ප්‍රවේගයක් අවු 4 කින් ගන්න නම්, අති විශාල ඉන්ධන ප්‍රමාණයක් ඒ ටික කාලයට (පෘථිවියට සාපේක්ෂව) ඕනෙ, ඒ කියන්නෙ යන්තරේ ඇතුලේ ඉන්න කට්ටිය හරියටම වැඩේට සෙට් වෙන්න අවු 4ක් බලන් ඉන්න ඕනෙ, හරි, එහෙමත් හිටියයි කියමුකෝ, අවු 4ක් කොහොමද ඕක ඇතුලේ ජීවත් වෙන්නෙ? කන්නෙ බොන්නෙ? toilet එහෙම? එහෙනං එව්වත් පටෝගෙන යන්න ඕනෙ, ඒත් කියන්නෙ යන්තරේ ඇතුලෙ ගත වෙලා තියෙන්නෙ සතියයි කියලා. එතකොට යන්තරේට මොකටද අවු 4කටම ඉන්දන දැම්මෙ? අවු 4කට කෑම බීම අරන් ගියෙ මොකටද? හපොයි හපොයි! ප්‍රශ්ණ වැලකි! මාගේ මොලය පශ්චාත් ප්‍රදේශයට ගමන් ගන්න බව හැඟේ! ඕන්නැත ඕන්නැත….. මෙහෙම්ම ඉමු ය. බුදු අම්මෝ ‍෴

  5. මරුම මරු ලිපියකි. සරල භාෂාවෙන් මේ ගැන ලියලා තියෙනවා කාටත් තේරුම් ගන්න පුලුවන් වෙන්න. හොද උත්සහයකි එලස්. . . .

  6. මේ වාගේ වටිනා ලිපි ස්ංහලයට පරිවර්ථනය කිරීම ගැන ස්තූති තවත් මෙවන් දැනගැනීමට කැමති නමුත් කියවා නොමැති ලිපි ඉදිරිපත් කරන්න,,
    අයිසෙක් නිවුටන්ගේ මරනය වැනි කථා ඉතා අපූරු බැව් අසා ඇත ඉදිරියට වඩා සාර්ථක ලිපි ඉදිරිපත් කිරීමට හැකි වේවා,ඔබට ජය

  7. මචං “විදුලිය පිලිබද කථා” කියලා පොතක් තිබුණා ඉස්සර මං ලග. ඒකේ තිබුනෙ අර ගෙම්බන්ගේ කකුල් වලින් කරපු පරීක්ෂණ, ඔය එඩිසන්ගේ වැඩ කෑලි සහ, ඇත්දල පිරිමැදලා නූල්දිගේ ආරෝපන ගෙනියන හැටි ගැන එහෙම තමා. එත් ඒවා නැති කාලේ ඒ ගැන කොච්චර කුතුහලයක් තිබ්බද කියලා හොදට තේරුණා. දැන් එහෙම දේවල් ලියවෙන්නේ නැති එක ගැන මට කණගාටු හිතුනා.
    ඒත් වෙලාවට උඹ ඇවිත් තියෙන්නේ. මේක මගේ මතකේ අලුත් කලා විතරක් නෙවෙයි, අමුතු රහකුත් සෙට් කරපු ‍එකක්.
    හොදට කරගෙන යන්න ධෛර්ය්‍ය ලැබේවා..

  8. අගනා උත්සාහයක් බව නොකියාම බැහැ.ස්ටීවන් හොව්කින්ගෙ ක්වොන්ටම් පිසික්ස් හා අයින්ස්ටයින්ගෙ සාපේක්ෂතාවාදය පාසල් සමයෙ මම බොහොම ආසවෙන් කියවපු දෙයක්…මේ ලිපියෙන් ආයෙත් ඒ මතකය එළියට ආවා. දිගටම ලියන්න. ඒත් අර උදාහරණ පරිවර්තනය කරන එක නම් ටිකක් ප්‍රවේසමෙන් කරන්න වෙයි වගේ. ඇත්තටම ඒ උදාහරණ හරහා අදාල සිද්ධාන්තය ගැන වැටහීමක් නියම වශයෙන් ලැබෙනවදෝ කියල නම් මට සැකයි. විශේෂයෙන්ම අර දුමිරිය සම්භන්ධ උදාහරණය මීට ටිකක් වෙනස් ආකාරයකට ඉතාමත් සරලව පහසුවෙන්ම ඔළුවට වැටෙන විදියට සාපෙක්ෂතාවදය පොතක තිබුනා මට මතකයි. ඇත්තටම මේ ගැන දන්න, මේ ගැන කලින් කියවල තියන අය මේකෙ රසය දන්නවා, ඒත් අලුත් කෙනෙකුට මේ ගැන ආසාවක් ඇතිවෙන්න නම්, පාවිච්චි කරන උදාහරණ තව ටිකක් විස්තර සහිතව දෙන්න.
    ඔබ පාවිච්චි කරන භාෂාව සහ ඉදිරිපත් කිරිමේ රටාව නම් සුපිරියි. නොදන්න මගුල් ගැන දිගටම ලියන්න.හදවතින්ම සුභ පතනවා.

  9. කාල තරණය සැබවින්ම බුද්ධ කාලයේදී සිදු වුණා.

    http://www.facebook.com/note.php?note_id=10150385438463248

    “පණු සිදුරෙන් සංකස්සයට ගිය සැවැත් පුර වැසියෝ ……..

    වර්තමාන විද්‍යාඥයින් පිළිතුරු නොමැති පඹ ගාලක පැටලී සිටිද්දී, මීට වසර 2500 ටත් පෙර, සෘධි බල ලාභීන් අතරින් අගතැන් ගත් මුගලන් මහ තෙරුන් සැවැත්පුර වැසියන් සංකස්සය ට ගෙන ගියේ උන්වහන්සේ ධර්මාවබෝධය තුළින්ම ලත් ප්‍රඥා මහිමයෙනි.

    ලෝක ධාතුව පිළිබඳව වඩා ප්‍රායෝගික වූ දැනුම ලද හැක්කේ සම්මුතීන්හි එල්බ සිටීමෙන් නොව, පරමාර්ථ ධර්ම අවබෝධයෙන් ලබා ගන්නා උසස් ඤාණ දර්ශනයකින් පමණක් බව අවධාරණය කරනු කැමැත්තෙමි. එසේ උසස් ආර්ය ඤාණය ලැබීමෙන්ම විශ්වය පිළිබඳ යථාවබෝධය ලැබෙන අතර එහි පදාර්ථයන් තමාට උචිත පරිදි හැඩගස්වා ගත හැකිය. එතුලින්ම පුහුදුන් විද්‍යාවන්ට ගෝචර නොවන අද්බූත-අශ්චරිය සිද්ධීන් කෙලෙස සිදුවන්නේද යන්න පසක් කරගත හැකිය.

    මෙලෙස ලෝකය පිළිබඳව යථාවබෝධය ලබන මාර්ගය අපට පහදා දෙන්නේ බුද්ධ දේශනාවෙනි. ආර්ය ගවේෂණයෙන් පමණක් වටහා ගැනෙන ඇතැම් කාරනා නවීන විද්‍යාව තුළ පෙර කී ආකාරයේ මොඩලය න් ලෙසින් පමණක්ම පවතිනු ඇත. තත්වය එසේ වුව ද වර්තමාන බහුතරය සරණ යන්නේ මේ මොඩලයන් ය. ආර්ය ගවේශනයත් නිර්වානගාමී මාර්ගයත් වල් බිහි වෙමින් යයි.”

  10. හුග කාලෙකින් හම්බුනේ කැමති දෙයක් කියවන්න දිගටම ලියන්න.

  11. වේගය = දුර / කාලය අනුව වේගය සිමා කිරීමටනම් කාලය ගතවීම වැඩි කලයුතු නොවේද?
    (සමාවන්න මම පාසල් සිසුවෙක්……)

    1. ඔව් මල්ලි ඔබ නිවැරදියි.. ඒක ඒ තරම්ම නිර්ණායකව සරල නෑ.. මෙතනදි වෙන්නේ අවකාශයේ වේගයට අනුපාතව කාළයේ හෙවත් සතරවැනි මානයේ යම් නැම්මක් සිදුවන එක…අයින්ස්ටයින් ඒ බව තහවුරු කළා 1946 වර්ෂයෙදි.. ඔබ කියන එක තර්කයක් හැටියට නිවැරදියි… කාළය ගත වීම වැඩි කිරීමෙන් වේගය පාලනය වෙනවා… නමුත් වේග පාලන සීමාව ආලෝකයේ වේගය වී තිබෙන්නේ අපි ඉහතින් සඳහන් කළ දෙය නිසා… සාපේක්ෂතාවය කියන්නෙ හුඟක් විශාල විග්‍රහයක්… වේග නිර්ණය එහි එක් කොටසක්…

      1. ස්තුතිය් පිළිතුරට…. දිගටම මෙවැනි ලිපි ලියන්න….. ඔබට ජය!!

  12. අර්ථවත් ලිපි පෙලක් …
    නොදන්නා පැතිකඩක් නිරවුල්ව පැහැදිලි කර දී ඇත.
    ස්තූතියි….

  13. මේ දේ යන්ත්‍රයක් හරහා නැතුව අපිට යම් දෙයක් හිතින් මවාගෙන, චිත්ත ශක්තියෙන් කාලය හරහා යන්න බැරිද???

  14. මේ දේ යන්ත්‍රයක් හරහා නැතුව, අපිට යම් දෙයක් හිතින් මවාගෙන, චිත්ත ශක්තියෙන් කාලය හරහා යන්න බැරිද???

  15. නියම ලිපියක්. ආසාවෙන් සේ්රම කියෙව්වා.. දවසක මම කාළය හරහා ගියොත් උබ මේ ලිපිය ලියපු වෙලාවට මම එනවා උබ හති දාගෙන මේ ලිපිය ටයිප් කරනවා බලන්න.. අම්මපා.. ජය වේවා සහෝ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s